විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය මාසය ඉක්මවයි

එල්.පී. උදයප්‍රේම විසිනි.

තම ඉල්ලීම් දිනා ගැනීමට රාජ්‍ය විශ්ව විද්‍යාල 17ක 13,000 ක් වූ අනධ්‍යන සේවකයන් දියත් කල අරගලයට ජුනි 5 දා වනවිට දින 33ක් පිරී ඇත.    

කම්කරු පංතියේ අවශේෂ  කොටස්වල සහයෝගය එකී අරගලයට අහිමි කල  වෘත්තීය සමිති නායකත්වයේ  ද්‍රෝහිත්වය, විශ්ව විද්‍යාලීය බලධාරීන් හා ආන්ඩුව විසින් ඊට  එරෙහිව මුදාහල මර්ධනය මෙන් ම කඩාකප්පල්කාරි ක්‍රියාවලට අභිමුඛ වෙමින් අනධ්‍යන  සේවකයන්ගේ අරගලය පෙරට ආවේ ය.

අනධ්‍යන සේවකයන්ගේ ධෛර්ය සම්පන්න අරගලයේ අත්දැකීම් සහ ක්‍රියා මාර්ගික ගැටලු විවේචනාත්මක සලකා බැලීම ආන්ඩුවේ ප්‍රහාරයට මුහුනදී සිටින කම්කරු පංතියට බරපතල පාඩම් ගෙන එන්නකි.

13-05-24- demo
විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය අරඹා ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව මැයි 13 පාර්ලිමේන්තුව අසල පැවති විරෝධතාවය පොලීසිය පහර දෙති-අනුග්‍රහය Unions Lanka FB page

මෙහි කැපී පෙනෙන කාරනයක් වන්නේ, ධනපති ක්‍රමයට මෙම ප්‍රශ්න විසදිය හැකිය යන පදනම මත, ආන්ඩුවත් සමග සිදු කරන සාකච්ඡා හා බලපෑම්  මගින් වැටුප් හා දීමනා ලබා ගත හැකි යැයි සමිති නායකත්වය ගෙන ගිය මහා බොරුව,  මැයි 27දා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මංඩලය ගත් තීන්දුව ල්මල්ගිල්ල් කීතු කර දැමීම යි.

කැබිනට් මංඩලයේ තීන්දුවට අනුව  අනධ්‍යන සේවකයන්ට පමනක් නොව සෞඛ්‍යය අංශයේ සේවකයන්, ගුරු වෘත්තිකයන් ඇතුලු රාජ්‍ය අංශයේ සේවකයන්ගේ “වැටුප් විෂමතා” විසඳීමට “මේ වසරේ” පියවරක් නො ගැනේ. ඒ සදහා ආර්ථික හැකියාවක් නැත.

වැඩ කරන ජනයාගේ අයිතීන්ට එරෙහිව කැබිනට් මංඩලය ගත් තීන්දු මාධ්‍යයට නිවේදනය කල ඇමති බන්දුල ගුනවර්දන ප්‍රකාශ කලේ, මේ ප්‍රශ්න 2025 අයවැයේ දී ද විසඳෙන්නේ නැති බව යි. ඉල්ලීම් විසඳීමට “රජයට කල හැකි උපරිමය” කිරීමට ජනාධිපති වික්‍රමසිංහ කැබිනට් මංඩලයේ දී දුන් පොරොන්දුව, ගුනවර්දනට අනුව, විසඳුමක් හැටියට කම්කරුවන් පිලිගත යුතු ව ඇත!

ඊට අමතරව “විශේෂඥ කමිටුවක්” තනා ඇතැයි සඳහන් කල ගුනවර්දන, කම්කරුවන් තම අරගලය නතර කොට එකී කමිටුවට සිය ඉල්ලීම් ඉදිරිපත් කල යුතු යැයි දැඩි ව අවධාරනය කලේ ය. ආන්ඩුවේ  තීන්දු පිලි ගනු! වෙනත් විසඳුමක් නැත!! යන තර්ජනය මෙ ප්‍රකාශය තුල අන්තර්ගත වී ඇත.

අනධ්‍යයන වෘත්තිය සමිති හවුල හෝ වෙනත් සමිතියක් හෝ මේ වන තෙක් ඊට එරෙහි කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

වැඩ කරන ජනයාගේ යුක්තියුක්ත ඉල්ලීම් කෙරෙහි ධනපති පාලකයන්  දක්වන දුෂ්ඨ විරුද්ධත්වය වත්මන් පාලක පංතිය ගිලී සිටින ආර්ථික අර්බුදයෙන් පැන නගින්නකි. එකී අර්බුදය විසඳා ගැනීමට පාලක පංතිය හැරී සිටින්නේ කම්කරු පංතිය දිනා ගෙන සිටින සකලවිධ දේ උදුරා ගැනීමෙනි. එම ක්‍රියා මාර්ගයේ එල්ලය වන්නේ සටන් වැද දිනා ගත් වැටුප්, දීමනා හා සුබසාධනයන් කප්පාදු කිරීම පමනෙකින් නො නැවතී, රැකියා ම අහිමි කිරීම ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යටතේ ප්‍රතිව්‍යුහගත කිරීමේ නමින් වික්‍රමසිංහ ආන්ඩුව  ක්‍රියාවට දමමින් සිටින්නේ එම වැඩ පිලිවෙලයි. සමගි ජන බල වේගය, ජාතික ජන බලවේගය ඇතුලු ධනපති විපක්ෂයේ ද, ව්‍යජ වාම කන්ඩායම්වල ද සහයෝගය විවිධාකාරයෙන් ඊට හිමි වේ. 

වික්‍රමසිංහ ආන්ඩුව යටතේ දිනපතා උග්‍ර වන ආර්ථික පීඩනය මධ්‍යයේ, වසර 8ට වැඩි කාලයක් නො විසඳී පැවති “වැටුප් විෂමතා” ගැටලුව මැයි 2 දා වර්ජනයක් ලෙස පිපිරුනි. හිලවු දීමනා ඇතුලු තවත් ඉල්ලීම් කීපයක්  වර්ජනයට මුල් වී  තිබේ .

ආන්ඩුව තම ඉල්ලීම් නොතකා හැරීම අභියෝග කරමින් විශ්ව  විද්‍යාල අනධ්‍යන සේවකයෝ, ජනවාරි 18 දා එක් දින වැඩ වර්ජනයකට අවතීර්න වෙමින් 2024 වසර ආරම්භ කලෝ ය. පෙබරවාරි 28 හා 29 දෙදින යලිත් ඔවුහු සංකේත වැඩ වර්ජනයකට එලඹුනෝ ය. සේවකයන් අතර වැඩෙන සටන්කාමිත්වය ඉදිරියේ කල් මරමින් සිටි අනධ්‍යන වෘත්තීය සමිති හවුල කලේ අප්‍රේල් 29 දා සිට අඛන්ඩ වැඩ වර්ජනයකට යන බව කම්කරුවන්ට අඟවා, වර්ජනයකට යාමට සිදු වී ඇත්තේ තමන්ගේ කැමත්තකින් නොවන බව ඇමතිවරයාට ලිපියකින් දැන්වීමයි. ඇමතිවරයාගෙන් හෝ ආන්ඩුවෙන් සිය සාමාජිකයන්ගේ “වැටුප් විෂමතා ” විසඳන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කරනවා  වෙනුවට ඔවුන් සිදු කලේ, සිය සාමාජිකයන්ගේ “පීඩනය හමුවේ වෘත්තිය සංවිධාන ලෙස අප සංගම්වලට මේ මොහොතේ නිහඬ ව සිටීමට හැකියාවක් නොමැත” යනුවෙන්  සිය අසරනකම ලියා යැවීමයි. මෙය සමිති නායකත්වයේ නිවට ධනපති ගැති  ස්වභාවය පෙන්වන්නකි.

වෘත්තිය සමිති හවුල අධ්‍යාපන ඇමතිවරයාට යැවූ ඉහත ලිපියෙන් එලිදරව් කෙරෙන්නේ, අනධ්‍යයන සේවකයන්ගේ අරගලය සංවිධාන නොකිරීමට ඔවුන් එකාවන්ව පෙල ගැසී සිටින අයුරුයි. මේ තතු යටතේ, දැන් පිපිරී ඇති අනධ්‍යයන  අරගලය නිශ්චිතව ම සමිති නායකත්වයේ සීමාවන්ට එරෙහි කැරැල්ලකින් පැන නැගුනක්ය යන්න පැහැදිලි ය.

මැයි 2දා වර්ජනයට ආ අනධ්‍යයන සේවකයෝ මැයි 7දා කොලඹ වෝඩ් පෙදෙසේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරියේ බලගතු විරෝධතාවක නිරත වූහ. ඉන් දින 5ට ඉක්බිති, මැයි 12දා පාර්ලිමේන්තුවේ වටරවුමට එක් වූ අනධ්‍යන සේවකයෝ යලි විරෝධතාවක් පැවත්වීම මඟින් තම සටන්කාමිත්වය තවදුරටත් ප්‍රදර්ශනය කලෝය. අධිකරනයෙන් තහනම් නියෝග ලබා ගත්  පොලිසිය කැරැලි මර්දන ඒකක මෙහෙයවා ගනිමින් ජල හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කොට එකී විරෝධතාව විසුරුවා හැරීමට ක්‍රියා කලේ ද, 2007 අනධ්‍යයන සේවක වර්ජනයට නිකුත් කල චක්‍ර ලේඛනයක් යොදා ගනිමින් වර්ජිතයන් දඩයම් කිරීම ඇරඹුවේ ද මේ තතු තුල ය. අතිකාල හා වෙනත් දීමනා කපා හැරීමෙන් නොනැවතී රැකියාවෙන් ම පලවා හැරීමට චක්‍ර ලේඛන යොදා ගත හැකි බව විශ්ව විද්‍යාල බලධාරීන් මාධ්‍යයට සඳහන් කර තිබුනි. ඔවුන් ආදර්ශයට ගෙන ඇත්තේ, චක්‍රලේඛවලට මුවා වී විදුලි බල මන්ඩලයේ අරගලයට සහභාගී වූ සේවකයන් දඩයම් කිරීමට ලංවිම පාලන අධිකාරීන් ගත් ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයි. එමගින් විදුලි සේවකයන් 66 දෙනෙක් වැඩ තහනමට ලක් වූහ.

ලංවිම, ඛනිජතෙල් සංස්ථාව ඇතුලු ප්‍රතිව්‍යුහගතකරනයට ලක් ව පවතින සෑම ස්ථානයකම වෘත්තිය සමිති ක්‍රියා කරන ආකාරයෙන් ම අනධ්‍යයන වෘත්තිය සමිති නායකත්වය ද නියැලී සිටින්නේ, සිය සේවා අංශවල ගැටලු හා ඉල්ලීම් තම ආයතනයේ සෙසු සේවකයන්ගෙන් වෙන් කොට තබා ගැනීමේ ය; කම්කරු පංතියේ අවශේෂ කම්කරුවන්ගෙන් වෙන් කිරීමේ ය. අනධ්‍යයන සමිති විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරුන්ගේ හා ශිෂ්‍යයන්ගේ සහයෝගය ලබා නො ගැනීමෙන් එය ප්‍රකාශයට පත් කෙරුනි. එම කොන්දේසි යහමින් ගසාකන අනිකුත් සමිති ද සිය වගකීමෙන් පලායාමට එය ම යොදා ගනී. විශ්ව විද්‍යාලීය කථිකාචාර්යවරුන්ගේ වෘත්තිය සමිතිය අනධ්‍යන අරගලයට සහය නොදී රූටා යෑම මගින් එය පෙන්නුම් කෙරේ.  විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපති හමු වී සේවක ඉල්ලීම් ලබා දෙන ලෙස තමන් ආයාචනා කලේ යැයි කියමින් අන්තර්  විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩල නායකයෝ ද අනධ්‍යන අරගලය මඟ හැර ගියෝය. 

පෙරටුගාමි සමාජවාදී පක්ෂය, ජනතා විමුක්ති පෙරමුන හා  ඊනියා වාම සංවිධාන පතුරුවමින් සිටින්නේ, ධනපති ආන්ඩුවලට හා එහි ආයතනවල බලධාරීන්ට   බලපෑම් දමා නම්මා ගත හැකිය යන මාරක මිත්‍යාවයි. ධනපති ක්‍රමයට විකල්පයක් දැක ගත නොහැකි ව සිටින එබඳු  අවස්ථාවාදීහූ, ධනපති පිලිවෙත් යෝජනා කරමින් කම්කරු අරගල අනතුරට හෙලීමට උගුල් අදිති. දශක ගනනාවක් පුරා කම්කරු පන්තිය මේ ඛෙදවාචකය හරහා ගමන් කර ඇති අතර, අද දින ඔවුන් සමිති නායකත්වයන් දෙස බලන්නේ, එම අත්දැකීම් විසින් ජනිත බලගතු අවිශ්වාසයෙන් ද යුතුව ය.   

වැටුප් ,දීමනා ඇතුලු වැඩ කරන ජනයා දිනාගත් සුබසාධනයන් අතුගා දැමීමට  පිඹුරුපත් සකසා ගෙන සිටින ධනපති පාලක පංතියෙන් ස්වාධීන ව කම්කරු පංති  පිලිවෙතක්  මත සිය අයිතීන් රැක ගැනීමේ අරගලය සංවිධානය කිරීම තීරනාත්මක කාරනයක් වී ඇත්තේ මේ නිසා ය.

අධිරාජ්‍යවාදී මූල්‍ය අධිකාරියේ ප්‍රමුඛ ආයතනය වන ජාමූඅ ලංකාවේ පාලක පංතිය මෙහෙයවාගෙන ක්‍රියාවට දමන සංගත හිමියන්ගේ ආර්ථික සැලසුම් බැඳී තිබෙන්නේ අධිරාජ්‍යවාදී මුල්‍ය කතිපයාධීකාරයේ දුෂ්ඨ ලාභ අවශ්‍යතාවයන් සමග ය. ඊට එරෙහිව රටක් රටක් පාසා කම්කරුවන් හා පීඩිතයන් අතර වැඩෙන විරුද්ධත්වය ලංකාවේ පැන නැගෙන පංති අරගලය මගින් ප්‍රකාශයට පත්වෙන්නට පටන් ගෙන තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අධිකාරියේ හා ලංකාවේ ධනපති පංතියේ ඒකාබද්ධ ප්‍රහාරයට මුහුන දීමට කම්කරු පන්තිය සමත් වන්නේ සිය පංතියේ ඒකාබද්ධ කාර්මික ශක්තිය දැනුවත් ව සංවිධාන කරගැනීමෙන් හා එම ශක්තිය සමාජවාදී ජාත්‍යන්තරවාදී පිලිවෙතක් තුල ක්‍රියාවේ යෙදවීමෙන් පමනෙකි. ආන්ඩුවේ ප්‍රහාරයට මුහුන දී සිටින කම්කරුවන් පටු ශ්‍රේනිවාදී හා භේදකාරී වෘත්තිය සමිති සීමාවන්ගෙන් කැඩී වෙන් වී ගත යුත්තේ එබැවිනි.  

කම්කරු පංතිය භේද කරන ධනපති දේශපාලනය ප්‍රතික්ෂේප කරමින්, ජාමූඅ නියෝග යටතේ ලංකාවේ පාලක පංතිය එල්ල කරන ප්‍රතිව්‍යුහගත සැලසුම් හා ඒ හරහා වේගවත් කරන වැටුප්, සුබසාධන හා රැකියා කප්පාදුවට එරෙහිව සමස්ත කම්කරු පංතියේ මහා වැඩ වර්ජනයක් සඳහා වූ දැනුවත් අරගලයකට අනධ්‍යයන සේවකයන් ඇතුලු කම්කරුවන් මූලිකත්වය ගත යුතුව ඇත. එය කල හැක්කේ ධනපති ආන්ඩු සමග සහයෝගය පවත්වන කම්කරු විරෝධී වෘත්තිය සමිතිවලින් ස්වාධීන වෙමින්, කම්කරු පංතිය තම කම්හල්වල, වතු, නිවහන් හා ගම්බද ප්‍රදේශයන්හී සටන් කමිටු ගොඩනැගීමට සිදු කරන අරගලය මඟිනි. සමාජවාදී ජාත්‍යන්තරවාදී නායකත්වය මගින් ඒවා මෙහෙයවනු ලැබිය යුතුය. ධනපති පක්ෂ හා ධනපති ඒජන්තයන්ගේ පිලිවෙත් ප්‍රතික්ෂේප කරමින්, එකී කමිටු වැඩ කරන මහජනයාගේ අව්‍යාජ අවශ්‍යතා නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී බල සංස්ථා බවට පත් කර ගත යුතු වේ.

* පුද්ගලිකරනය නතර කරනු ! රැකියා, වැටුප් හා සුබසාධන කප්පාදුව නතර කරනු !

*ජාමූඅ හා ලෝක බැංකු සැලසුම් ප්‍රතික්ෂේප කරනු ! 

*මහජනයා මත පටවන විදේශ  නය අහෝසි  කරනු !

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top