This week in history: May 8-14| ඉතිහාසයේ මෙම සතිය: මැයි 8-14

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි 07 දින ඉංග්‍රීසියෙන් පලවූ This Week in History යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි.  පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

වසර 25 කට පෙර: ඉන්දියාව න්‍යෂ්ටික බෝම්බ අත්හදා බලයි

1998 මැයි 11 වන දින, ලෝක ජනගහනයෙන් අඩකට වඩා වැඩි ජීවත් වන ප්‍රදේශයක් වන දකුණු හා නැගෙනහිර ආසියාවේ න්‍යෂ්ටික අවි තරඟයක කොටසක් ලෙස ඉන්දියාව න්‍යෂ්ටික උපාංග පහක් පුපුරුවා හැරියේය.  ඉන්දියාව සමඟ දේශසීමා යුද්ධ කිහිපයක්ම සිදු කර ඇති පකිස්ථානය බිය ගැන්වීම සහ ඉන්දියාවේ කලාපීය ප්‍රතිවාදියා වන චීනයට අනතුරු හැඟවීමක් සිදු කිරීම යන දෙකම මෙම බල ප්‍රදර්ශනයේ අරමුණ විය.

පරීක්ෂණවලට දේශීය දේශපාලන අරමුනක් ද තිබුණි. එනම්, අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි යටතේ හින්දු ස්වෝත්තමවාදී භාරතීය ජනතා පක්ෂය දිල්ලියේ බලය අල්ලාගෙන සිටි බව පෙන්නුම් කිරීමයි. 

Image
ජායාරූපය: ඉන්දීය අගමැති වජ්පායි [ඡායාරූපය: ඉන්දීය රජය]

ඊට පෙර මාර්තු මාසයේ පැවති ජයග්‍රාහකයෙකු නිශ්චය නොවූ මැතිවරනයේ ප්‍රතිඵලයක් ලෙස පක්ෂ 18ක සභාගයක් බලයට පැමිණීයේය. සභාගයේ පාර්ලිමේන්තු ආසනවලින් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් සහ ප්‍රධාන අමාත්‍යාංශ සියල්ල හිමිකර ගනිමින් නව ආන්ඩුව මත භාරතීය ජනතා පක්ෂය ආධිපත්‍යය දැරීය. එහෙත් න්‍යෂ්ටික අත්හදා බැලීම් දක්වාම, ආන්ඩුවේ න්‍යාය පත්‍රය ප්‍රසිද්ධියේ සකස් කර තිබුනේ භාරතීය ජනතා පක්ෂයේ ප්‍රාදේශීය සහචරයින් විසිනි. ඔවුන් සභාගයට ඇති සහය ඉල්ලා අස්කර ගන්නා බවට තර්ජනය කරමින් භාරතීය ජනතා පක්ෂයෙන් නැවත නැවතත් සහන ලබාගෙන තිබුණි.

අත්හදා බැලීමෙන් පසු පකිස්තාන රජය තම න්‍යෂ්ටික උපකරණය ළඟදීම අත්හදා බලන බවට සංඥා කළේය. පකිස්ථාන විදේශ ඇමති ගොහාර්ඩ් අයූබ් මැයි 14 ප්‍රකාශ කලේ, “න්‍යෂ්ටික අත්හදා බැලීමකින් තොරව අප දැඩි දුෂ්කරතාවයකට පත් වනු ඇත. අපගේ ප්‍රතිපත්තිය වූයේ ඉන්දියාව සමඟ බල තුලනයක් ඇති කර ගැනීමයි.”

ඉන්දීය ආරක්‍ෂක අමාත්‍ය ජෝර්ජ් ෆර්නැන්ඩස් විසින් ඉන්දීය ආරක්‍ෂාවට දැඩි තර්ජනයක් ලෙස ආසන්න කාලයේ සඳහන් කර තිබූ චීනය, ඉන්දීය පරීක්‍ෂණවලට කෝපයෙන් ප්‍රතිචාර දැක්වීය. න්‍යෂ්ටික හැකියාව අත්හැරීමට ඉන්දියාවට බලපෑම් කරන ලෙස චීන විදේශ අමාත්‍ය ටැං ජියාක්සුආන් සියලු රජයන්ගෙන් ඉල්ලා සිටියේය.

ඉන්දියානු න්‍යෂ්ටික අත්හදා බැලීම් මගින් තමන් සම්පූර්ණයෙන්ම නොදැනුවත්ව හසු වූ බව එක්සත් ජනපද ආන්ඩුව පිළිගත් අතර, මෙකී ප්‍රමාද දෝෂය එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්ති විශ්ලේෂකයන් විසින් දශකයේ “නරකම බුද්ධිමය දෝෂය” ලෙස විස්තර කරන ලදී. 1994 නීතියක් වන , න්‍යෂ්ටික ව්‍යාප්තිය වැලැක්වීමේ පනතට අනුව, නොවැලැක්විය හැකි ලෙස, වොෂින්ටනය ඉන්දියාවට එරෙහිව පුලුල් සම්බාධක පැනවීමට නියමිතව තිබුණි. එහෙත් ඉන්දියාව සමග නව “මූලෝපායික හවුල්කාරිත්වයක්” සොයමින් සිටි ක්ලින්ටන් පරිපාලනය මුලදී ඇඟවුම් කළේ න්‍යෂ්ටික අත්හදා බැලීම් තහනම් කරන ජාත්‍යන්තර ගිවිසුමක් අත්සන් කිරීමට වහාම එකඟ වුවහොත් ඉන්දියාවට සම්බාධකවලින් ගැලවිය හැකි බවයි. ඊට දිල්ලියේ ප්‍රතිචාරය වූයේ තවත් න්‍යෂ්ටික උපකරණ දෙකක් පුපුරුවා හැරීමයි.

මේ තාක් කලක් තුල කෙදිනක හෝ යුද්ධයක දී න්‍යෂ්ටික අවි භාවිතා කර ඇති එකම බලවතා වන එක්සත් ජනපදය – න්‍යෂ්ටික ව්‍යාප්තිය සම්බන්ධයෙන් කුහක ආස්ථානයක් දැරීය. වොෂින්ටනයේ අරමුන වූයේ න්‍යෂ්ටික අවි තුරන් කිරීම නොව, එක්සත් ජනපදයට මෙතෙක් ලෝකයේ විශාලතම හා මාරාන්තික අවි ගබඩාව දරන්නා ලෙස තිබූ තත්ත්වය පවත්වා ගැනීමයි. ඊට ඉහත දශක දෙක පුරා එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ නියතයක් වූයේ එක්සත් ජනපද බලය ලෝක තලය මත ප්‍රක්ෂේපණය කිරීමට සහ ඇමරිකාවේ දේශපාලන හා ආර්ථික ආධිපත්‍යය අහිමි වීම සඳහා වන්දි ගෙවීමට එක්සත් ජනපද හමුදාව යොදා ගැනීමයි. 

වසර 50 කට පෙර: හිටපු එක්සත් ජනපද නීතිපති ජෝන් එන්. මිචෙල් අධිචෝදනා ලබයි. 

1973 මැයි 10 දින, අපරාධ මූල්‍යකරු සහ නික්සන් ආධාරකරු රොබට් එල්. වෙස්කෝ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළ කුමන්ත්‍රණ චෝදනා මත නික්සන්ගේ හිටපු කැබිනට් සාමාජිකයින් දෙදෙනෙකුට ෆෙඩරල් මහා ජූරි සභාවක් විසින් අධිචෝදනා ගොනු කරන ලදී. හිටපු නීතිපති ජෝන් එන්. මිචෙල් සහ හිටපු වාණිජ ලේකම් මොරිස් එච්. ස්ටැන්ස් විසින් ජනාධිපති නික්සන්ගේ නැවත තේරී පත්වීමේ ව්‍යාපාරයට වෙස්කෝ ලබා දී තිබූ ඩොලර් 200,000 ක නීති විරෝධී පරිත්‍යාගයක් පිළිබඳ විමර්ශනයට බාධා කරන ලද බවට චෝදනා එල්ල විය.

චෝදනා ප්‍රකාශයට පත් කරමින් එක්සත් ජනපද නීතීඥ විට්නි නෝර්ත් සේමූර් ජූනියර් පැවසුවේ, වෙස්කෝගේ ක්‍රියාකාරකම් පිළිබඳව කොමිසමේ විමර්ශනය සහ සාමාන්‍ය ගිණුම්කරණ කාර්යාලය යන දෙකට ම වංචා කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාට චෝදනා එල්ල වන බවයි. “යුක්තිය ගැන සැලකිලිමත් වන අපට මෙය බැරෑරුම් ලෙස කණගාටුදායක දිනයක්” යැයි නීතීඥවරයා වැඩිදුරටත් පැවසීය.

Image
ජායාරූපය: ජෝන් මිචෙල්

1970 දී, අන්‍යෝන්‍ය අරමුදල් ආයෝජන සමාගමක් වන Investors Overseas Service (IOS) පවරා ගැනීමට වෙස්කෝ මෙහෙයුම් ආරම්භ කළේය. මෙම සමාගම එක්සත් ජනපදයේ සහ යුරෝපයේ සුපිරි ධනවත් ප්‍රභූ සාමාජිකයන්ගෙන් මුදල් රඳවාගෙන ආයෝජනය කළේය.

සමාගමේ ප්‍රධානියා වූ පසු වෙස්කෝ IOS වෙතින් මුදල් වංචා කිරීමට පටන් ගත්තේය. අවම වශයෙන් ඩොලර් මිලියන 200ක් වූ එම මුදල් කොස්ටාරිකාවේ ඔහුගේ පුද්ගලික ගිණුම්වලට බැර වුනි. 1973 දී කොස්ටාරිකාවට පලා ගිය ඔහු එහි දේශපාලනඥයන්ට ඩොලර් මිලියන 2කට වඩා අල්ලස් දී නීති සම්මත කරවා ගනිමින් එක්සත් ජනපදයට පිටුවහල් කිරීම වලක්වා ගැනීමට ක්‍රියා කළේය.

එහෙත් එක්සත් ජනපදයෙන් පිටව යාමට පෙර, 1972 දී, බලයේ සිටින ජනාධිපති නැවත පත් කර ගැනීම සඳහා වූ කමිටුවට වෙස්කෝ ඩොලර් 200,000 රහසිගතව යවා ඇත. වෙස්කෝගේ  ආයතනයේ සේවය කළ ජනාධිපති නික්සන්ගේ බෑණනුවන් වන ඩොනල්ඩ් නික්සන් හරහා ඔහු තවත් දායකත්වයක් ලබා දුන්නේය. දෙවන ගෙවීම සිදු කරනු ලැබුවේ නීතිපතිවරයා ලෙස මිචෙල් තමන්ට එරෙහි වංචා විමර්ශනයට මැදිහත් වන බවට ඇති පැහැදිලි අවබෝධයත් සහිතවය.

අධිචෝදනා පත්‍රය නික්සන් පාලනාධිකාරය සොලවා ලමින් වර්ධනය වූ අර්බුදය තව දුරටත් පුලුල් වීමක් විය. වෝටර්ගේට් කඩාවැටීමට සෘජුවම සම්බන්ධ නොවූවත්, මෙම අල්ලස් සම්බන්ධ අවමානය, ජනාධිපතිවරයා නැවත තෝරා පත්කර ගැනීම සඳහා පවත්වා ගෙන ගිය ප්‍රචාරක සංවිධානය වූ ජනාධිපතිවරයා නැවත තෝරා පත්කර ගැනීමේ කමිටුව නීතිවිරෝධී ක්‍රියාකාරකම් රාශියකට සම්බන්ධ බව ඔප්පු කරන තවත් සාක්ෂියක් විය.

මිචෙල් සහ ස්ටැන්ස් වෙස්කෝ නඩුවේ දී තමන් චෝදනා ලද සෑම වරදක්ම දිගටම ප්‍රතික්ෂේප කලෝය. 1974 දී දෙදෙනාටම එරෙහි චෝදනා අවසානයේ ඉවත් කර ගන්නා ලදී. එහෙත් බලයේ සිටින ජනාධිපතිවරයාගේ හිටපු නීතිපතිවරයෙකුට එල්ල වූ අධිචෝදනා පත්‍රය, අපවාදයන් තම නිලයට අභියෝගයක් නොවන මට්ටමේ පවත්වා ගැනීමට තවමත් අපේක්ෂා කරමින් සිටි නික්සන්ට විඳින්නට වූ දැවැන්ත පසුබෑමක් බව ඔප්පු විය.

ඉදිරියේ දී එළැඹී මැයි මාසයේදී වෝටර්ගේට් පිළිබඳ එක්සත් ජනපද සෙනෙට් අනුකමිටු විමර්ශනය සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සජීවී විකාශන සමඟ නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිත විය. ජූලි මාසයේදී මිචෙල් එම කමිටුව ඉදිරියට කැඳවනු ලැබූ  අතර එහිදී ඔහු ද කුමන්ත්‍රණය පිළිබඳ කිසිදු දැනුවත්කමක් තිබූ බව ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කළේය. 1975 දී කුමන්ත්‍රණය කිරීම සහ වෝටර්ගේට් අනවසර ප්‍රවිෂ්ඨය සම්බන්ධයෙන් යුක්තිය ඉටුවීමට බාධා කිරීම යන චෝදනාවලට ඔහු වරදකරු විය. මුලදී වසර අටක් දක්වා ඊට සිරදඬුවම් නියම වූ අතර, ඔහු විසින් සිරදඬුවම් විඳිනු ලැබුවේ මාස 19 ක් පමණි.

වසර 75 කට පෙර: සියොන්වාදී නායකයෝ පලස්තීනයේ ඊශ්‍රායල රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරති

1948 මැයි 14 වන දින ඩේවිඩ් බෙන්-ගුරියන් විසින් නායකත්වය දෙනු ලැබූ සියොන්වාදී නායකයෝ ඊශ්‍රායල නිදහස ප්‍රකාශයට පත් කරමින්, සමීපස්ථව පැවැති එම වසර අවසානයේ බ්‍රිතාන්‍යය පලස්තීනයේ යටත් විජිත පාලනයෙන් ඉවත් කර ගැනීම අතරතුර යුදෙව් රාජ්‍යයක් පිහිටුවනු ඇති බව නිවේදනය කලෝය.

අරාබි මුස්ලිම්වරුන්ගේ, ක්‍රිස්තියානීන්ගේ සහ පලස්තීනයේ අනෙකුත් වැසියන්ගේ අයිතීන්ට ගරු කිරීම පිළිබඳ යන්තමින් කල සඳහනක් මෙම ප්‍රකාශනයේ ඇතුලත් වී තිබූ අතර ම, එම රාජ්‍යය ජාතිකවාදයේ අන්ත දක්ෂිනාංශික ස්වරූපයක් වන යුදෙව් ආගම සහ වාර්ගිකත්වය මත පදනම් වන බව එහි පැහැදිලිව කියැවින. මෙය, වාර්ගික-ආගමික පදනම් මත පලස්තීනය බෙදීම අනුමත කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඊට ඉහත වසරේ අගභාගයේ දී සම්මත කර තිබූ යෝජනාවකට අනුකූල විය.

Image
ජායාරූපය : බෙන්-ගුරියන් ඊශ්‍රායල රාජ්‍යය ප්‍රකාශ යට පත්කරයි.

එක්සත් ජනපදයේ ජනාධිපති හැරී ටෲමන්ගේ ඩිමොක්‍රටික් පාලනය විසින් මෙම ප්‍රකාශය වහාම සාදරයෙන් පිළිගනු ලැබීය. ටෲමන් එක්සත් ජාතීන්ගේ සහ අනෙකුත් ජාත්‍යන්තර සංසදවලදී ඊශ්‍රායල රාජ්‍යයක් සඳහා වූ තල්ලුවට නායකත්වය දුන්නේ, එය මැද පෙරදිග පුරා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ විභව වෙරළ තීරයක් ලෙස සලකමිනි.

ඊශ්‍රායල ප්‍රකාශයෙන් මිනිත්තු 11කට පසු ට්‍රෲමන් ප්‍රකාශයක් නිකුත් කළේය: “පලස්තීනයේ යුදෙව් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කර ඇති බව මෙම ආන්ඩුවට දන්වා ඇති අතර, එහි තාවකාලික ආන්ඩුව තමන් පිළිගන්නා ලෙස ඉල්ලා ඇත. නව ඊශ්‍රායල රාජ්‍යයේ තථ්‍ය අධිකාරිය ලෙස එක්සත් ජනපදය තාවකාලික රජය පිළිගනී.”

නිවේදනයට පෙර සියොන්වාදී නායකයින් අතර පැවති විවාදයකින් ප්‍රකාශයේ ඇඟවුම් පැහැදිලි විය. සමහර අය අමතර ඈඳීම්වලින් තොරව එක්සත් ජාතීන්ගේ යෝජිත බෙදීම පිළිගැනීමට ඉල්ලා සිටියහ.

නමුත් බෙන්-ගුරියන් සහ අනෙකුත් අය මෙම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබිණ. අනාගත ඊශ්‍රායල අගමැති සාකච්ඡාව අතරතුර මෙසේ ප්‍රකාශ කළේය: “අප එක්සත් ජාතීන්ගේ යෝජනාව පිළිගත් නමුත් අරාබිවරුන් එසේ කළේ නැත. ඔවුහු අපට එරෙහිව යුද්ධ කිරීමට සූදානම් වෙමින් සිටිති. අප ඔවුන් පරාජය කර ජෙරුසලමට යන මාර්ගයේ දෙපස ම ඇති ප්‍රදේශ හෝ බටහිර ගලීලය අල්ලා ගත්තොත්, මෙම ප්‍රදේශ රාජ්‍යයේ කොටසක් වනු ඇත.”

ප්‍රකාශනයට පෙර මාසවලදී, ඉර්ගුන් (Irgun) වැනි අන්ත දක්ෂිනාංශික සියොන්වාදී පැරාමිලිටරි හමුදා, වඩා පුලුල්  හගානා (Haganah) සංවිධානය සමග එක්ව වාර්ගික පවිත්‍ර කිරීමේ වැඩසටහනක් මෙහෙයවීමට වග බලා ගෙන තිබුණි. අරාබි කැරලිකරුවන්ට එරෙහිව සටන් කිරීමේ ආවරණය යටතේ, දැඩි ලෙස සන්නද්ධ වූ සියොන්වාදී හමුදා නැවත නැවතත් ගම්මානවලට ඇතුළු වී සමූහ ඝාතනයන් සහ සංහාරයන් හරහා සියලුම හෝ බොහෝ අරාබි වැසියන් ඒවායින් ඉවත් කර තිබුණි. එහි ප්‍රත්‍යක්ෂ අරමුන වූයේ බෙදීමට පෙර හැකි තරම් ප්‍රධාන නගර සහ නගරවල යුදෙව් බහුතරය සහ සියොන්වාදී පාලනය තහවුරු කිරීමයි.

ඊශ්‍රායල ප්‍රකාශය සහ එක්සත් ජනපදය හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන් විසින් එය ක්ෂනිකව අනුමත කරනු ලැබීම, පලස්තීන ජනතාවට එරෙහි මෙම යුද්ධය, නව ඊශ්‍රායල රාජ්‍යය සහ කලාපීය අරාබි බලවතුන් අතර ගැටුමක් බවට පරිවර්තනය කිරීමේ වේදිකාව සැකසීය.

වසර 100 කට පෙර: සෝවියට් රාජ්‍ය තාන්ත්‍රිකයා ස්විට්සර්ලන්තයේදී ඝාතනය කෙරේ 

1923 මැයි 10 වන දින,ස්විට්සර්ලන්තයේ ලෝසාන් හි සිසිල් හෝටලයේ අවන්හලේදී ස්විට්සර්ලන්ත-රුසියානු හිටපු සාර්වාදී සහ ධවල ආරක්ෂක නිලධාරියෙකු වූ මොරිස් කොන්රාඩි විසින් ඉතාලියේ සෝවියට් නියෝජිත වට්ස්ලාව් වොරොව්ස්කි  ඝාතනය කරන ලදී.

වොරොව්ස්කි සහ සෝවියට් නියෝජිත කණ්ඩායමේ තවත් සාමාජිකයින් දෙදෙනෙකු වන අයිවන් ඒරියන්ස් සහ මැක්සිම් ඩිවිල්කොව්ස්කි, ලෝසාන් සමුළුවේ නිරීක්ෂකයන් වූ අතර, එම සමුළුව තැත් කරමින් සිටියේ, අධිරාජ්‍යවාදී බලවතුන් සහ කෙමාල් අටටුර්ක්ගේ තුර්කි ජාතිකවාදී තන්ත්‍රය අතර සමථයක් ඇති කිරීමට ය.

Image
ජායාරූපය: වට්ස්ලාව් වොරොව්ස්කි.

කොන්රාඩි සහ ඔහුගේ සහචරයෙක් තිදෙනා රාත්‍රී ආහාරය ගනිමින් සිටි මේසය අසලට පැමිණ, පිස්තෝලයකින් වෙඩි තබා වොරොව්ස්කිව එතැනම මරා දමා ඒරියන්ස් සහ ඩිවිල්කොව්ස්කිට තුවාල සිදු කලෝය.

මැයි 20 වන දින මොස්කව්හි වොරොව්ස්කිගේ අවමංගල්‍යයට ශෝකවන්නන් 250,000 කට වැඩි පිරිසක් සහභාගී වූහ.

වොරොව්ස්කි යනු 1894 දී රුසියානු සමාජවාදී ව්‍යාපාරයට සම්බන්ධ වූ පැරණි බොල්ෂෙවික්වාදියෙකි. ඔහු 1897 දී සාර්වාදී රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඔර්ලොව් හි සිරගත කරන ලදී. 1902 දී ඔහු නිදහස් වූ පසු, ඔහු බටහිර යුරෝපයට සංක්‍රමණය වූ අතර එහිදී ඔහු සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී පුවත්පතක් වන ඉස්ක්‍රා බෙදා හැරීමට සහාය විය. 1903 දී ඔහු ලෙනින්ගේ නායකත්වයෙන් යුත් රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ බොල්ෂෙවික් කන්ඩායමට සහාය දුන්නේය.

1905 පළමු රුසියානු විප්ලවයට සහභාගී වූ ඔහු, එහි පරාජයෙන් පසු, 1907 සිට 1912 දක්වා රහසිගත වැඩවල නිරත වූ අතර, ඔහු නැවත අත්අඩංගුවට ගෙන වොලොග්ඩා පළාතට පිටුවහල් කරන ලදී. ඔහු 1917 රුසියානු විප්ලවයේ දී ප්‍රමුඛ පක්ෂ සාමාජිකයෙකු ලෙස ඊට සහභාගී වූ අතර, 1919 කොමියුනිස්ට් ජාත්‍යන්තරය පිහිටුවීමේ දී සහභාගී වූ රුසියානු නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙකු ද විය.  පසුව කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ විධායක කමිටුවේ සාමාජිකයෙකු බවට පත් වූ ඔහු, ස්වීඩනය සහ පෝලන්තය සමඟ සාකච්ඡා වලදී සෝවියට් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස සේවය කළේය.

කොන්රාඩිගේ මිනීමැරුම් නඩු විභාගය “කොන්රාඩි පලහිලව්ව” ලෙස  ලොව පුරා ප්‍රසිද්ධියට පත් විය. තතු වූ පරිද්දෙන් ගත් කල එය සෝවියට් සමූහාණ්ඩුවට එරෙහි විභාගයක් වූ අතර, එය කොමියුනිස්ට් විරෝධී සාවද්‍ය නිරූපණයට සහ අපවාදයට ලක් විය. කොන්රාඩි නිදොස් කොට නිදහස් කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top