World War

2024 පෙබරවාරි 22, බ්‍රහස්පතින්දා, ගාසා තීරයේ රෆාහි නේවාසික ගොඩනැගිලි සහ මුස්ලිම් පල්ලියකට ඊශ්‍රායල ප්‍රහාරයකින් පසු, පලස්තීනුවන් එම විනාශය දෙස බලයි. (AP ඡායාරූපය /ෆාතිමා ෂ්බෙයාර්)

ගාසා තීරයේ විනාශය සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සමූල ජන ඝාතක ගෝලීය යුද්ධය

ආන්ඩ්‍රේ ඩේමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 මාර්තු 31 දින පල වූ ‘The destruction of Gaza and American imperialism’s genocidal global war ‘ යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරි දර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

පසුගිය සතියේ මිචිගන් රිපබ්ලිකන් කොන්ග්‍රස් සභික ටිම් වෝල්බර්ග්, දෙවන ලෝක යුද්ධය අවසානයේ 1945 දී එක්සත් ජනපදය පරමාලු බෝම්බ හෙලීමෙන් විනාශ කල ජපන් නගර වන “නාගසාකි සහ හිරෝෂිමා” ආකාරයෙන් ගාසා තීරය මුලුමනින්ම විනාශ කරන ලෙස ඉල්ලා සිටියේය.

 “අපි මානුෂීය ආධාර සඳහා සතයක්වත් වියදම් නොකල යුතුයි,” වෝල්බර්ග් ,ඇන් ආබර්හි  දකුලින් පිහිටි ඩන්ඩී හි නගර සභා රැස්වීමකදී පැවසීය. “එය නාගසාකි සහ හිරෝෂිමා වැනි විය යුතුය. එය ඉක්මනින් අවසන් කල යුතුය,” ඔහු පැවසීය.

2024 පෙබරවාරි 22, බ්‍රහස්පතින්දා, ගාසා තීරයේ රෆාහි නේවාසික ගොඩනැගිලි සහ මුස්ලිම් පල්ලියකට ඊශ්‍රායල ප්‍රහාරයකින් පසු, පලස්තීනුවන් එම විනාශය දෙස බලයි. (AP ඡායාරූපය /ෆාතිමා ෂ්බෙයාර්)
2024 පෙබරවාරි 22, බ්‍රහස්පතින්දා, ගාසා තීරයේ රෆාහි නේවාසික ගොඩනැගිලි සහ මුස්ලිම් පල්ලියකට ඊශ්‍රායල ප්‍රහාරයකින් පසු, පලස්තීනුවන් එම විනාශය දෙස බලයි. (AP ඡායාරූපය /ෆාතිමා ෂ්බෙයාර්)

සම්පූර්‍ලයෙන්ම අනාරක්ෂිත සහ සිරකර සිටින ජනතාවක් සමූලඝාතනය කිරීම සඳහා කොන්ග්‍රස් සභිකයෙකු විසින් කරන ලද කැඳවීම, ඇමරිකානු පාලක පන්තිය ග්‍රහලය කර ඇති මිනීමරු හැඟීම් ප්‍රකාශ කරයි. දශක කිහිපයක් පුරා එකදිගට පැවති  යුද්ධයෙන් පසුව, එක්සත් ජනපදය එතෙක් නාසි ජර්මනිය සමග පමලක් සමීප වූ සාපරාධී මට්ටමකට ලඟා වෙමින් සිටී.

ඩිමොක්‍රටික් පක්ෂ නිලධාරීන්ගේ ව්‍යාජ කෝපයේ ප්‍රකාශන, කුහකකමේ උච්චතම අවස්ථාවයි. ඉහල “සීඅයිඒ ඩිමොක්‍රටිකයෙක්” වන  නියෝජිත එලිසා ස්ලොට්කින් වෝල්බර්ග්ගේ ප්‍රකාශය  “කවුරු කලත් මෙය හෙලා දැකිය යුතු යෝජනාවක්” ලෙස හැඳින්වීය. ඇත්ත වශයෙන්ම, රිපබ්ලිකන් කොන්ග්‍රස් සභිකයා, ගාසාව සම්බන්ධයෙන් බයිඩන් පරිපාලනයඅනුගමනය කරන ප්‍රතිපත්තියේ මූලික අන්තර්ගතය ප්‍රකාශ කරමින් සිටියේය.

නෙතන්යාහු ආන්ඩුව, ධවල මන්දිරයේ සහාය ඇතිව, පලස්තීන ප්‍රශ්නයට එහි “අවසාන විසඳුමේ” කොටසක් ලෙස, ගාසා තීරය බිමට සමතලා කිරීමට, එහි ජනතාව සාගින්නෙන් මරා දැමීමට සහ ජීවතුන් අතර  ඉතිරිව සිටින අය පලවා හැරීමට තීරලය කර ඇත.

රාත්තල් 2,000 තවත් බෝම්බ 1,800ක් ඊශ්‍රායලයට යැවීමට පසුගිය සතියේ බයිඩන් ගත් තීරලයේ අර්ථය මෙයයි.

ඊශ්‍රායලය ගාසා තීරයේ කුඩා ප්‍රදේශය තුල න්‍යෂ්ටික අවි භාවිතා නොකරනු ඇත, එය ඊශ්‍රායලයම වාසයට නුසුදුසු බවට පත් කරනු ඇති අතර පලස්තීනුවන් අවතැන් වූ පසු ඊශ්‍රායලය අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වන වෙරල තීරයේ ඉඩම්- දේපල විකිරලශීලීත්වයට අනාවරලය කරයි. එහෙත් ඊශ්‍රායලය දැනටමත් ගාසා තීරයට ටොන් 65,000කට අධික බෝම්බ සහ උල්ඩ ප්‍රමාලයක් හෙලා ඇත, එය හිරෝෂිමා සහ නාගසාකි සමතලා කල බෝම්බවල පුපුරන සුලු බලය මෙන් තුන් ගුලයකටත් වඩා වැඩිය.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, නාගසාකි නගරයට බෝම්බ හෙලීමෙන් පසු සිදුවූ සියයට 40 ක විනාශය හා හානිය හා සසඳන විට ගාසා තීරයේ ගොඩනැගිලිවලින් සියයට 54කට වැඩි ප්‍රමාලයක් හානි වී හෝ විනාශ වී ඇත.

කෙසේ වෙතත්, පලස්තීනුවන් සමූලඝාතනය කිරීම සඳහා වොල්බර්ග්ගේ විවෘත කැඳවීම තරම්ම වැදගත් වන්නේ, යුක්රේනයේ රුසියාව සමඟ එක්සත් ජනපදයේ ප්‍රොක්සි යුද්ධයට ගාසාවේ ජන සංහාරයේ සම්බන්ධය සහ චීනය සමඟ එහි නැගී එන ගැටුම ගැන ඔහුට කීමට තිබූ දෙයයි.

ඊශ්‍රායලය “අපගේ ශ්‍රේෂ්ඨතම මිතුරා” ලෙස හඳුන්වමින් වෝල්බර්ග් පැවසුවේ, ගාසා තීරයේ සාගින්නෙන් පෙලෙන ජනගහනය පෝෂලය කිරීමේ ඕනෑම පියවරක් “ඉරානයට සහ රුසියාවට” මෙන්ම “චීනයට” ද තෑග්ගක් වනු ඇති බවයි.

ගාසා තීරය සඳහා “නාගසාකි සහ හිරෝෂිමා” විසඳුමක් යෝජනා කිරීමෙන් පසු, වෝල්බර්ග්, වහාම “යුක්රේනයේ ද එය එසේම විය යුතුය” යනුවෙන්  එකතු කර ඇති අතර, එක්සත් ජනපදයේ අරමුන විය යුත්තේ “රුසියානු හමුදා අතුගා දැමීම” බව ප්‍රකාශ කලේය.

වෝල්බර්ග් පසුව පැහැදිලි කිරීමක් නිකුත් කරමින්, “හමාස් සහ රුසියාව ඉක්මනින් යටත් වන තරමට ඉදිරියට යාම පහසු වනු ඇත” යනුවෙන් ප්‍රකාශ කලේය.

වෙනත් වචන වලින් කිවහොත්, ගාසා තීරයේ සමූල ජන සංහාරයට වොල්බර්ග්ගේ විවෘත සහයෝගය , “රුසියානු හමුදාවන් අතුගා දැමීම” අරමුනු කරගනිමින් , රුසියාවට “යටත්වීමට” බල කරන්නාවූ,  පූර්ල යුද්ධය සඳහා කැඳවීමක් හා බැඳී තිබුලි.

සමස්ත එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය සහ මාධ්‍ය සැඟවීමට උත්සාහ කරන දෙය වෝල්බර්ග් පැහැදිලිවම පවසයි. එක්සත් ජනපදය රුසියාව සමග යුද්ධයක නොයෙදෙන බවත්, එය චීනය සමග “ගැටුමක්” නොසොයන බවත් බයිඩන් පරිපාලනය නැවත නැවතත් ප්‍රකාශ කර ඇත. මෙසේ පවසන්නේ, නේටෝ ආධාර ලබන ත්‍රස්තවාදී කල්ඩායම් විසින් රුසියානු දේශසීමාව හරහා ධාවනය කරනා  යුධ ටැංකි , නේටෝ ව විසින් යුක්‍රේනයට යවද්දීමය.

එක්සත් ජනපදය  රුසියාව “යටත්කර”  ගැනීම අරමුලු කරගත්  ආක්‍රමලශීලී යුද්ධයක් දියත් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් – එනම් ඇඩොල්ෆ් හිට්ලර් අසාර්ථක වූ තැන එය සාර්ථක කර ගැනීම සඳහා නම් – ඊට දෙවන ලෝක යුද්ධයෙන් පසු නොදුටු විරෑ  මහා සමූහ ඝාතනයක් හා විනාශයක් සිදුකිරීම අනිවාර්යයෙන්ම අවශ්‍ය වනු ඇත.

මෙම සන්දර්භය තුල, ගාසා සමුල ජන ඝාතනය ගෝලීය ගැටුමක ආරම්භක ක්‍රියාව වන අතර එහි මරල සංඛ්‍යාව දස හෝ සිය මිලියන ගනනක් වනු ඇත.

20 වන සියවසේ විශාලතම භීෂලය: ලෝක යුද්ධය, ගාසා සමුල ජන ඝාතනය සහ න්‍යෂ්ටික සංහාරයේ දසුන යලි මතුවෙමින් තිබේ.

එහි අලුත් අවුරුදු ප්රකාශය තුල, ලෝක සමාජවාදී වෙබ් අඩවිය පහත දැක්වෙන අනතුරු ඇඟවීම සිදු කලා:

ගාසා තීරයේ යුද්ධය, අධිරාජ්‍යවාදී ප්‍රතිපත්ති වල  පිලිගත හැකි මෙවලමක් ලෙස සමූල ජන ඝාතනය සාමාන්‍යකරලය කර ඇති ලෙසම, රුසියාවට එරෙහි එජ-නේටෝ යුද්ධය අනවරත ලෙස උත්සන්න කිරීම, උපායාත්මක (tactical) සහ මූලෝපායික ( strategic) න්‍යෂ්ටික අවි භාවිතය සදහා ඉහල මට්ටමේ ශක්‍යතාවක් එසේ නැත්නම් සම්භාවිතාවක් පවා , යථා වශයෙන්  (de facto) පිලිගැනීම හා සහගාමීවී (එක්ව සිදු වෙමින්) තිබේ.

එය නිගමනය කලේ:

සමස්තයක් ලෙස ගත් කල, විවිධ ආකාරයේ සමාජ ම්ලේච්ඡත්වයන් සාමාන්‍යකරලය වීම ධනේශ්වර පන්තිය ආවෘත අන්තයකට පැමිල ඇති බව පෙන්නුම් කරයි. විවිධ ආකාරයේ සමාජ ඝාතනවලින් සමන්විත ප්‍රතිපත්ති ඇති පන්තියක් පැහැදිලිවම එහි ඓතිහාසික, ආර්ථික, සමාජීය සහ දේශපාලන නීත්‍යානුකූලභාවය අවසන් කරගන  ඇත.

ගාසා සමූල ජන ඝාතනයට සහාය දීමේදී බයිඩන් සමස්ත එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය වෙනුවෙන් කතා කරයි. පසුගිය සතියේ,  ගාසාවේ ජන සංහාරක යුද්ධය සඳහා බයිඩන් ගේ සහයෝගය ඉතා පැහැදිලි ලෙස වර්ලනා කරමින් හිටපු ජනාධිපතිවරුන් වන බැරැක් ඔබාමා සහ බිල් ක්ලින්ටන්  සහභාගී වූ අරමුදල් රැස්කිරීමේ හමුවක් බයිඩන් විසින් පැවැත්වීය. ” ඊශ්‍රායලයේ පැවැත්ම ආරක්ෂා කිරීම ගැන ඔහු අවංකවම සැලකිලිමත් වෙනවා” ක්ලින්ටන් බයිඩන් ගැන පැවසීය.

රේඩියෝ සිටි සංගීත ශාලාව තුල සමූල ජන සංහාර විරෝධී විරෝධතාකරුවන් එක්සත් ජනපද ප්‍රතිපත්තියට විරුද්ධත්වය ප්‍රකාශ කල විට, ඔබාමා බයිඩන් ආරක්ෂා කිරීමට මැදිහත් වූ අතර ඊශ්‍රායල සමූල ජන ඝාතනය ආරක්ෂා කිරීම සඳහා බයිඩන්ට “ඇහුම්කන් දීමට” අකමැති වීම ගැන විරෝධතාකරුවන් විවේචනය කලේය.

සමස්ත එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය විසින්ම ගාසා සමූල ජන ඝාතනය පොදුවේ අනුමත කිරීම, ලොව පුරා කම්කරුවන් හා තරුනයින් අතර වැඩෙන මහජන විරෝධයට හාත්පසින් වෙනස්ය. සති අන්තයේ, සමූල ජන ඝාතනයට එරෙහි පෙලපාලිවලට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගී වූහ. ඊශ්‍රායලයේ, නෙතන්යාහු ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටි මහජන විරෝධතාවලට දස දහස් ගලන් ජනයා සහභාගී වූහ.

https://twitter.com/i/status/1774509132290142219

සමූල ජන ඝාතනයට හා යුද්ධයට එරෙහිව වැඩෙන ව්‍යාපාරය සමාජවාදී වැඩපිලිවෙලකින් සන්නද්ධ කිරීම හදිසි අවශ්‍යතාවයයි. වොල්බර්ග්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් X හි ප්‍රකාශයක් තුල, සමාජවාදී සමානතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝශප් කිෂෝර් මෙසේ ප්‍රකාශ කලේය.

සමූල ජන ඝාතනයට විරුද්ධත්වය එක්සත් ජනපද-නේටෝ අධිරාජ්‍යවාදයට එරෙහි සටනක් ලෙස වර්ධනය කල යුතුය. මේ සඳහා ධනේශ්වර පාලක ප්‍රභූවට සහ එහි සමූල ජන ඝාතනය සහ න්‍යෂ්ටික යුද්ධය සාමාන්‍යකරලයට  එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම අවශ්‍ය වේ. සිය මැතිවරන උද්ඝෝෂනයේ දී, සමාජවාදී සමානතා පක්ෂය, යුද්ධයට එරෙහි සටන අසමානතාවයට හා ධනේශ්වර ක්‍රමයට එරෙහි අරගලය සමග සම්බන්ධ කරමින් කම්කරු පන්තිය තුල නායකත්වයක් වර්ධනය කරමින් සිටී. මෙය මූලික හා හදිසි කාර්යයි.

ගාසා තීරයේ විනාශය සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සමූල ජන ඝාතක ගෝලීය යුද්ධය Read More »

Gaza

“මනුෂ්‍යත්වයට එරෙහි යුද්ධයක්”: ගාසා සමූල ජන ඝාතනයේ මාස හයක්

ආන්ඩ්‍රේ ඩේමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 අප්‍රේල් 07 දින පල වූ “A war against humanity”: Six months of the Gaza genocide‘ යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරි දර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

අප්‍රේල් 07, ගාසා තීරයේ එක්සත් ජනපද-ඊශ්‍රායල් සමූල ජන ඝාතනය, එහි ආරම්භයේ සිට මාස හයක් ගතවීම සනිටුහන් කරයි.

මෙම යන්තම් අඩ වසරක කාලසීමාව තුල ඊශ්‍රායලය, ගාසා තීරයේ මිලියන 2.2 ක ජනතාවගෙන් මිලියන 1.9 ක් අවතැන් කර, සමස්ත ජනගහනයට, ආහාර, ජලය සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රවේශය අහෝසි කර, දස දහස් ගනනක් මිනිසුන්ගේ මරනයට තුඩු දෙන ක්‍රමානුකූල සමූලඝාතන දිනපතා සිදු කර ඇත. 

Gaza
අෂ්රෆ් අබු ඩ්‍රාස් , 2024 අප්‍රේල් 4 බ්‍රහස්පතින්දා දකුනු ගාසා තීරයේ රෆාහි රෝහල් මෘත ශරීරාගාරයකදී ගාසා තීරයට සිදුකල ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ඔහුගේ දියනියන් දෙදෙනාගේ දේහයන් ගැන වැලපෙයි. [AP Photo/Fatima Shbair]

දැනට මරන සංඛ්‍යාව 33,137 කි. අතුරුදහන් වූවන් එකතු කල පසු, සැබෑ සංඛ්‍යාව 44,000 ඉක්මවනු ඇත. තවත් 75,815 දෙනෙකු තුවාල ලබා ඇත.

යන්තම් මාස හයක කාලය තුල, ගාසා තීරයේ ජනගහනයෙන් සියයට 5.45 ක් මිය ගොස්, තුවාල ලබා හෝ අතුරුදහන් වී ඇත. ඇමරිකානු ජනගහනය හා සැසදීමේදී  මෙම ප්‍රතිශතය මිලියන 18 කට වඩා වැඩි වනු ඇත.

සියල්ලටම වඩා කම්පනය කරනසුලු වන්නේ ඝාතනයට ලක්වූවන්ගෙන් තුනෙන් දෙකක්ම කාන්තාවන් සහ ලමුන් වීමය. ඊශ්‍රායලය හිතාමතාම වෛද්‍ය සේවකයින්, මානුෂීය සේවකයින්, මාධ්‍යවේදීන් සහ කලාකරුවන් ඉලක්ක කර ඇත. වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන් නිර්මාතෘ හොසේ අන්ඩ්‍රෙස් ඉරිදා ප්‍රකාශ කල පරිදි, ඊශ්‍රායලය “මනුෂ්‍යත්වයට එරෙහි යුද්ධයක්” සිදු කරයි.

පසුගිය මාස හයක කාලය තුල, ගාසා තීරයට බෝම්බ හෙලීම, ආක්‍රමනය කිරීම සහ අවහිර කිරීම පිලිබඳ එක්සත් ජනපද-ඊශ්‍රායල සාධාරනීකරනයේ සෑම අංගයක්ම මුසාවක් බව  හෙලිදරව් වී ඇත.

හමාස් හි දේශසීමා හරහා ප්‍රහාරයෙන් සති කිහිපයක් තුලදීම, යුද්ධයට කඩතුරාව ලෙස භාවිතා කල ඔක්තෝබර් 7 ප්‍රහාරය සඳහා වූ හමාස්ගේ සම්පූර්න මෙහෙයුම් සැලැස්ම, ඊශ්‍රායලය සතුව තිබූ බව හෙලි විය. මෙම දැනගැන්ම නොතකා, ප්‍රහාරයට ආසන්න පූර්වයේදී ගාසා දේශසීමාවෙන් පසුබැස  වෙනත් අත ස්ථානගත වන ලෙස ඊශ්‍රායල බුද්ධි අංශ සහ හමුදා බලකායන්ට නියෝග දෙන ලදී.

දින කිහිපයක් තුලදීම, ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ ජනගහනයට එරෙහි සමූල ජන ඝාතක යුද්ධයක් සඳහා වූ දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කලේය. ඔක්තෝබර් 9 දා ,ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොආව් ගැලන්ට්  ප්‍රකාශ කලේ, “අපි සටන් කරන්නේ මිනිස් සතුන් සමඟයි, අපි ඒ අනුව ක්‍රියා කරන්නෙමු. ගාසා තීරයේ සම්පූර්න වැටලීමක් මම නියෝග කලෙමි. විදුලිය, ආහාර, ඉන්ධන නැති වනු ඇත.” යන්නයි.

යන්තම් දින හතරකට පසුව, ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් ප්‍රකාශ කලේ, “එයට  මුලු ජාතියම වගකිව යුතුය. දැනුවත් නැති, සම්බන්ධයක් නැති සිවිල් වැසියන් ගැන කරන මේ වාචාල තර්ක ඇත්ත නොවෙයි…  අපි ඔවුන්ගේ පිටකොන්ද කැඩෙනකම් සටන් කරනවා.” කෘෂිකර්ම අමාත්‍ය අවි ඩික්ටර් ප්‍රකාශ කලේ, “අපි ගාසා නක්බාව දියත් කරන්නෙමූ” (ඊශ්‍රායල් රාජ්‍යය පිහිටුවද්දී,  1947-48 පලස්තීනුවන්ට එරෙහිව සිදු කල  මුල් ජනවාර්ගික පවිත්‍රකරනය  පිලිබඳ සඳහනකි).

සමූල ජන ඝාතක චේතනාවෙන් මෙම ප්‍රකාශයන් සිදු කිරීමෙන් පසු, නෙතන්යාහු රජය ගාසාවේ සමාජ, ආර්ථික සහ සංස්කෘතික ජීවිතයේ සියලු අංශ ක්‍රමානුකූලව ඉලක්ක කර, සෑම රෝහලක්ම, පාසලක් සහ නිවසක්ම සමතලා කිරීමට සහ හැකිතාක් පිරිමින්, කාන්තාවන් සහ ලමයින් මරා දැමීමට කටයුතු කලේය.

සියොන්වාදයේ ඉදිරිදර්ශනයේ බංකොලොත් සහ ප්‍රතිගාමී බව මෙම සමූල ජන ඝාතනය මගින් අවිවාදිතව පෙන්වා දී ඇත.  සමූහ මිනීමැරුම් සමඟ එහි සබඳතාවය මගින්, ඊශ්‍රායලය සදහටම  සලකුනු කෙරෙනු ඇත. එය දශක ගනනාවක පලස්තීනුවන්ට එරෙහි ම්ලේච්ඡ මර්දනයේ සහ  සමස්තයක් ලෙස යුදෙව් ජනතාවගේ අවශ්‍යතා ඊශ්‍රායල රාජ්‍යය සමඟ ව්‍යාජ ලෙස අනන්‍ය කර ගැනීමේ අවසාන ප්‍රතිඵලය යුතුයි.

ඊශ්‍රායලයෙන් ඔබ්බෙහි, මෙම සමූල ජන ඝාතනය සමස්ත අධිරාජ්‍යවාදී පර්යායටම එරෙහි ගර්භාවක් ලෙස පවතී. එක්සත් ජනපද-නේටෝ අක්ෂයේ ධනේශ්වර බලවතුන්, නූතන යුගයේ දැවැන්තම අපරාධවලින් එකකට සහයෝගය දී, සන්නද්ධ කර, අරමුදල්  සපයා දේශපාලනිකව යුක්ති සහගත කිරීම සිදු කර ඇත.

ඊශ්‍රායල ආන්ඩුව ගාසා තීරයේ ජනගහනය ඝාතනය කර පලවා හැරීමේ එහි අභිප්‍රාය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් සිටියදී, බයිඩන් පරිපාලනය ගැටුම පිලිබඳව සාකච්ඡාමය සමථයකට තම විරුද්ධත්වය නැවත නැවතත් ප්‍රකාශ කලේය. සටන් විරාමයක් සඳහා “කිසිදු හැකියාවක් නැත”ව, බයිඩන් නොවැම්බර් 9 දා පැවසීය.

මෙයින් යන්තම් දින කිහිපයකට පසුව, සෙනෙට් බහුතර නායක චාල්ස් ෂුමර් වොෂින්ටනයේ සමූල ජන ඝාතනයට පක්ෂ රැලියක් අමතමින්, “අපි ඔබ සමඟ සිට ගන්නෙමු… ඔබට අවශ්‍ය සහය ලැබෙන තුරු අපි නතර නොවෙමු”යි  බෙරිහන් දුනි.

මේ මාස හයක කාලය තුල, බයිඩන් පරිපාලනය ඊශ්‍රායලයට වෙන් වෙන් ආයුධ සැපයුම් 100 කට වඩා සිදු කරමින්, නෙතන්යාහු ආන්ඩුවට හිතුමතේ ගාසාවේ ජනගහනය හාමත් කිරීමට, ඝාතනය කිරීමට සහ වධ හිංසා කිරීමට කොල එලිය ඇති බව පැහැදිලි කර තිබේ.

මෙම යථාර්ථය, ධවල මන්දිරය විසින් සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා නෙතන්යාහු ආන්ඩුවට “පීඩනය” යෙදීමට උත්සාහ කර ඇති බවට බයිඩන් පරිපාලනය සහ එක්සත් ජනපද මාධ්‍ය විසින් කරන ලද ප්‍රකාශයන් සඳහා, ප්‍රති උත්තර දිය නොහැකි ප්‍රතික්ෂේප කිරීමක් ලෙස පවතී.

ඇත්ත වශයෙන්ම, බයිඩන් පරිපාලනයේ  ප්‍රතිපත්තිය, ඊශ්‍රායලයට දුන් හිස් චෙක්පතකට සමාන වන අතර, එය,  නෙතන්යාහු පිලිබඳව ධවල මන්දිරය විසින් සිදු කරන හුදු වාචික විවේචන නොතකා අද දක්වාම පවතින ප්‍රතිපත්තියක් වේ.

බයිඩන් පරිපාලනය ඊශ්‍රායල සමූල ජන ඝාතනයට නිශ්චිත සහයෝගය ලබා දීම, රුසියාව සහ චීනය ඉලක්ක කර ගනිමින් ගෝලීය ආධිපත්‍යය සඳහා පුලුල් අරගලයක කොටසක් ලෙස ඉරානය ඇතුලු මැද පෙරදිග පුරා එක්සත් ජනපද මිලිටරිවාදය පුපුරා යාමේ කොටසකි.

ගාසා සමූල ජන ඝාතනය විශාල හා දුරදිග යන සමාජ හා දේශපාලන ප්‍රතිවිපාක ඇති කරනු ඇත. දැනටමත් ගාසා හි සමූහ ඝාතනය , ඉරාක යුද්ධයෙන් පසු විශාලතම ගෝලීය මහජන උද්ඝෝෂන අවුලුවා ඇත. ඔවුන්ගේ යුද්ධ යුක්තිසහගත කිරීම සඳහා අතොරක් නැතිව “මානව හිමිකම්” කැඳවා ගන්නා අධිරාජ්‍යවාදී බලවතුන්, සමූල ජන ඝාතනය සක්‍රීය කරන්නන් සහ සහචරයින් ලෙස එය පෙන්වා දී ඇත.

සියල්ලටම වඩා ගාසා සමූල ජන ඝාතනය ධනවාදයේ අපරාධයකි. න්‍යෂ්ටික යුද්ධයේ සිට වැලැක්විය හැකි වසංගතයක් මගින් සදාකාලික සමූහ මිය යෑම් සහ සමූල ජන ඝාතනය දක්වා, සමාජ ම්ලේච්ඡත්වයේ සෑම ආකාරයක්ම,  ධනේශ්වර සමාජ පර්යාය නීත්‍යානුකූල කරමින් සිටී. අනාගත පරම්පරාවන් විසින් ගාසා සමූල ජන ඝාතනය, ධනේශ්වර සමාජ පර්යායට එරෙහිව බලගතු ප්‍රවාහයන්ගේ  වර්ධනය ඉදිරියට තල්ලු කල ප්‍රත්‍යාවර්තක ලක්ෂ්‍යයක් ලෙස දකිනු ඇත.

ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත්, සියොන්වාදයේ තර්කනය: ජාතිකවාදී මිථ්‍යාවේ සිට ගාසා සමූල ජන ඝාතනය දක්වා  හි පැහැදිලි කරන පරිදි:

එහි සියලු භීෂනයන් තිබියදී, දැන් පවතින යුද්ධය එක් සැලකිය යුතු දේශපාලන දායකත්වයක් ලබා දී ඇත. එය තරුන පරපුර අවදි කර ඇත. එය ලෝකයේ ඇස් විවර කර ඇත. එය සියොන්වාදී තන්ත්‍රය සහ එහි අධිරාජ්‍යවාදී හවුල්කරුවන් අපරාධකරුවන්   බව හෙලිදරව් කර ඇත. එය ලොව පුරා පැතිර යන කෝපයේ උදම් රැල්ලක් ක්‍රියාත්මක කර ඇති අතර , එය මෙම සමූල ජන ඝාතනයට වගකිවයුත්තන් පිස දා ගලා යනු ඇත.

කර්තව්‍යය වන්නේ, තවමත් දේශපාලනික වශයෙන් නිශ්චිත හැඩයක් නොගත් මෙම වැඩෙන විරුද්ධත්වය, කම්කරු පන්තිය වෙත නැඹුරු වූ සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් වූ සවිඥානික ව්‍යාපාරයක් බවට පත් කිරීමයි.

“මනුෂ්‍යත්වයට එරෙහි යුද්ධයක්”: ගාසා සමූල ජන ඝාතනයේ මාස හයක් Read More »

2024 අප්‍රේල් 4, බ්‍රහස්පතින්දා, බ්‍රසල්ස් හි නේටෝ මූලස්ථානයේ නේටෝ-යුක්රේන කවුන්සිලයේ වට මේස රැස්වීමේ සාමාන්‍ය දසුනක්. [AP Photo/Geert Vanden Wijngaert]

නේටෝවේ වසර 75 : සීතල යුද්ධයේ සිට උනුසුම් යුද්ධය දක්වා

පීටර් ෂ්වාට්ස් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 අප්‍රේල් 05 දින පල වූ ‘′75 years of NATO: From Cold War to hot war”  යන හිසින් පීටර් ෂ්වාට්ස් විසින් ලියන ලද  ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු විසිනි.

අප්‍රේල් 4 දා නේටෝ හමුදා සන්ධානය සිය 75 වැනි සංවත්සරය සනිටුහන් කලේය. දෙවන ලෝක යුද්ධය අවසන් වී වසර හතරක් ගතවීමටත් පෙර, සීතල යුද්ධයේ ආරම්භක වසර තුල 1949 දී, නේටෝව ආරම්භ කරන ලද්දේ  සෝවියට් සංගමයට එරෙහිව එල්ල වූ සන්ධානයක් ලෙස ය. අද එය මානව වර්ගයා තුන්වන ලෝක යුද්ධයකට ඇද දමමින් තිබේ.

2024 අප්‍රේල් 4, බ්‍රහස්පතින්දා, බ්‍රසල්ස් හි නේටෝ මූලස්ථානයේ නේටෝ-යුක්රේන කවුන්සිලයේ වට මේස රැස්වීමේ සාමාන්‍ය දසුනක්. [AP Photo/Geert Vanden Wijngaert]
2024 අප්‍රේල් 4, බ්‍රහස්පතින්දා, බ්‍රසල්ස් හි නේටෝ මූලස්ථානයේ නේටෝ-යුක්රේන කවුන්සිලයේ වට මේස රැස්වීමේ සාමාන්‍ය දසුනක්. [AP Photo/Geert Vanden Wijngaert]

සංවත්සරය සනිටුහන් කෙරුනේ, යුක්රේනයේ රුසියාවට එරෙහි යුද්ධයේ ප්‍රධාන නව උත්සන්න කිරීමක් සඳහා කැප වූ බ්‍රසල්ස්හි නේටෝ විදේශ ඇමතිවරුන්ගේ රැස්වීමක් මගිනි. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් රුසියානු හමුදාවන්ට එරෙහිව සටන් කිරීම සඳහා යුක්‍රේනයට ගොඩබිම් භටයන් යැවීමට යෝජනා කිරීමෙන් යන්තම් සති කිහිපයකට පසුව, නේටෝව, යුක්‍රේනයට ආධාර සම්බන්ධීකරනය කරන යුක්‍රේන ආරක්ෂක සම්බන්ධතා කන්ඩායම (Ukraine Defense Contact Group) අත්පත් කර ගැනීමට සූදානම් වේ. රුසියාවට එරෙහි යුක්රේනයේ යුද්ධය නේටෝව විසින් අන දෙන මෙහෙයුමක් ලෙස ඉස්මතු වෙමින් තිබේ.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්, යුක්‍රේනය සදහා නේටෝවේ සහය “කලුගල් මෙන් දෘඪ” බව පවසමින්, “යුක්‍රේනය නේටෝවේ සාමාජිකයෙකු වනු ඇති” බව සපථ කලේය. ජර්මනියේ, ප්‍රන්සයේ සහ පෝලන්තයේ විදේශ ඇමතිවරුන් – ඇනලීනා බියබොක්, ස්ටෙෆනි සෙජන්, රඩොස්ලාව් සිකෝස්කි (Annalena Beerbock, Stéphane Séjourné, Radosław Sikorski) – පොලිටිකෝ (Politico) හි ප්‍රකාශ කලේ නේටෝ බලවතුන් යුක්‍රේනයට යුරෝ බිලියන 200කට වඩා ලබා දී ඇති බවයි. “අපගේ සහයෝගය අවශ්‍ය තාක් කල් සහ අවශ්‍ය තීව‍්‍රතාවයෙන්  දිගටම පවතිනු ඇත.” ඔවුන් ප්‍රතිඥා දුනි.

40,000 කට වැඩි පලස්තීනුවන් ජනයා මරා දැමූ ගාසා තීරයේ ඊශ්‍රායලයේ ජන සංහාරයට, නේටෝ බලවතුන් මේ වන විට සහාය දක්වයි. මෙය පුලුල් වන ගෝලීය යුද්ධයක කොටසක් ලෙස දැක ගනී.

“අපගේ ආරක්ෂාව කලාපීය නොවන බව අපි දනිමු – එය ගෝලීයයි” යනුවෙන් නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් සිය සංවත්සර ප්‍රකාශයේදී පැවසීය. “යුක්රේනයේ යුද්ධය මෙය පැහැදිලිව පෙන්නුම් කරයි. රුසියාවට, ආසියාවේ එහි  මිතුරන් ආක්‍රමනශීලී යුද්ධය දිගටම කරගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වේ. චීනය රුසියාවේ යුද ආර්ථිකයට මුක්කු ගසයි. ඒ වෙනුවට මොස්කව් තම අනාගතය බීජිං වෙත උකස් කරයි. උතුරු කොරියාව සහ ඉරානය සැලකිය යුතු ආයුධ සහ පතොරම් සැපයීම සිදු කරයි. ප්‍රතිඋපකාර වශයෙන්, ප්යොංයෑන් සහ ටෙහෙරාන් , ඔවුන්ගේ මිසයිල සහ න්‍යෂ්ටික හැකියාවන් දියුනු කර ගැනීමට උපකාර වන රුසියානු තාක්ෂනය සහ සැපයුම් ලබා ගනිමින් සිටිති.

නේටෝව යුරෝපයේ “රැකවල” සහ “සුරැකුම” සඳහා සේවය කරයි යන හිමිකම් පෑම, එහි ආරම්භයේ සිටම ප්‍රචාරකමය බොරුවකි. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය සැමවිටම අවධාරනය කල පරිදි, නේටෝව ආරම්භයේ සිටම මහා අධිරාජ්‍යවාදී බලවතුන්ගේ යුද සන්ධානයක් වීය.

වසර 75 කට පෙර නේටෝව ආරම්භ කරන විට, ජේම්ස් පී. කැනන් යටතේ ඇමරිකානු සමාජවාදී කම්කරු පක්ෂය විසින් එවකට ප්‍රකාශයට පත් කෙරුනු හතරවන ජාත්‍යන්තරය සඟරාව මෙසේ ප්‍රකාශ කලේ ය: “උතුරු අත්ලාන්තික් ගිවිසුම තවත් මිලිටරි සන්ධානයක් නොවේ. … මෙම සිදුවීමේ අතිමහත් වැදගත්කම, එය වහාම සැලසුම් කර නිර්මානය කිරීම සඳහා නිමිත්ත වූ  ‘සීතල යුද්ධය’ කෙරෙහි එහි බලපෑම  බොහෝ සෙයින් ඉක්මවා යයි.”

“නැගෙනහිර කැරලිකාර ජනයා ‘සමනය කිරීමට’ ඔවුන් දරන උත්සාහය ඉතිහාසයේ වඩාත්ම මිල අධික හා දැවැන්ත අසාර්ථකත්වය බව පෙන්නුම් කරන්නාවූ”; “තමන්ගේම සම්පත්වලින් පමනක් තම රට තුල ‘ස්ථාවරත්වය’ අත්කර ගැනීම  අශාක්‍යම  පාහේ වූ “; සහ “බාහිර උදව් නොමැතිව, තනි තනිව හෝ සාමූහිකව සෝවියට් සංගමයේ බලයට මුහුන දීම නොහැකි  තම බෙලහීන බව පිලිගත්”, යුරෝපයේ පැරනි අධිරාජ්‍යවාදී බලවතුන්ගේ අර්බුදය, “ලෝක ධනවාදයේ භාරකරු වීම සදහා ඇමරිකානු අධිරාජ්‍යවාදයට බැදී ගැනීමට සිදුවිය.”

“නමුත් එයට මෙම භූමිකාව ඵලදායී ලෙස ඉටු කල හැක්කේ ගෝලීය පරිමානයෙන් පමනි,” හතරවන ජාත්‍යන්තරයේ කතුවැකිය අනතුරු ඇඟවීය. “මේ හේතුව නිසා, ලෝක ආධිපත්‍යයට යන මාර්ගය ලෝක යුද්ධයට මාර්ගය විය යුතු බව අපි නැවත නැවතත් පුරෝකථනය කර ඇත්තෙමු.”

මෙම වචන අද සඳහා  නැවතත් දැවෙන සේ  අදාල වේ. එය පිහිටුවා වසර හැත්තෑපහකට පසු, නේටෝව වෙන කවරදාකටත් වඩා තුන්වන ලෝක යුද්ධයක් අවුලුවාලීමට ආසන්න ය.

1949 දී නේටෝව පිහිටුවීමේ දී, ජර්මනියේ බෙදීම තහවුරු වී චීනයේ විප්ලවය ජයග්‍රහනය කරනා විට, නේටෝව ප්‍රචන්ඩ ප්‍රතිවිප්ලවවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කලේය. එක්සත් ජනපදය, ප්‍රංශය සහ අනෙකුත් නේටෝ අධිරාජ්‍යවාදී බලවතුන් ඉන්දු චීනයේ, කොරියාවේ, ඇල්ජීරියාවේ සහ ඉන් ඔබ්බෙහි කුරිරු යටත්විජිත යුද්ධ කර ගෙන ගියහ. සෝවියට් සංගමයේ බලපෑම මැඩපැවැත්වීම සඳහා නේටෝව, ග්‍රීසියේ සහ තුර්කියේ ද, අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාව පුරාද, වාමාංශික ජාතිකවාදී ආන්ඩුවලට එරෙහිව  කුමන්ත්‍රනවලට පිටු බලය දුන්නේය.

කෙසේ වෙතත්, ඇමරිකානු පාලක ප්‍රභූව තුල, සෝවියට් සංගමයට එරෙහිව සටන් කරන්නේ “සීමා කිරීම” හරහා ද නැතිනම් න්‍යෂ්ටික යුද්ධයේ අවදානමක් සහිත මිලිටරිමය “ආපසු තල්ලු කිරීමක්” හරහාද යන්න පිලිබඳ ගැටුමක් ඇවිල ගියේය. සීතල යුද්ධයේ ආරම්භක කාල පරිච්ෙඡ්දය තුල, “සීමා කිරීම” සඳහා පක්ෂව සිටි අය  මූලිකත්වය ලබා ගත්හ. කෙසේ වෙතත්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය කිසිවිටෙකත් ඔක්තෝබර් විප්ලවයේ ජයග්‍රහන ආපසු හැරවීම සහ සෝවියට් සංගමය විනාශ කිරීමේ දිගුකාලීන ඉලක්කය අත් නොහලේය.

කෙසේ වෙතත්, 1991 දී සීතල යුද්ධය අවසන් වූයේ, ස්ටැලින්වාදී නිලධරය සිය ඓතිහාසික පාවාදීමේ අවසාන පියවර ගෙන ඔක්තෝබර් විප්ලවය විසින් නිර්මිත දේපල සබඳතා ඈවර කර, ධනවාදය පුනස්ථාපනය කර, වෝර්සෝ ගිවිසුම සහ සෝවියට් සංගමය විසුරුවා හැරීමත් සමඟ ය.

සෝවියට් සංගමය විසින් එල්ල කරන්නේ යැයි කියන අන්තරාය සමඟ සෑම විටම තම පැවැත්ම යුක්ති සහගත කල නේටෝව, තමන් විසින්ම විසුරුවා ගත්තේ නැත. හතරවන ජාත්‍යන්තරය 1949 දී ලියා තැබූ පරිදි, නේටෝව පිහිටුවීම, “එය වහාම සැලසුම් කර නිර්මානය කිරීම සඳහා නිමිත්ත වූ  ‘සීතල යුද්ධය’ කෙරෙහි එහි බලපෑම  බොහෝ සෙයින් ඉක්මවා යයි”, එමෙන්ම, “ලෝක ආධිපත්‍යයට කරා මාවත” “ලෝක යුද්ධය කරා  මාවත” විය. ”

ඇමරිකානු අධිරාජ්‍යවාදය සෝවියට් සංගමය විසුරුවා හැරීම දුටුවේ එහි ලෝක ආධිපත්‍යය යලි ස්ථාපිත කිරීමට සහ කොරියාවේ, වියට්නාමයේ සහ වෙනත් තැන්වල තමන් අත්විඳි පරාජයන් ආපසු හැරවීමේ අවස්ථාවක් ලෙස ය. ගොර්බචෙව්, යෙල්ට්සින් සහ පසුව පුටින් සෝවියට් සංගමය ජාත්‍යන්තර ප්‍රාග්ධනය විසින් සූරාකෑමට විවෘත කර තිබීම ගැන සෑහීමකට පත් නොවූ ඔවුන්ට, රුසියාව යටත් විජිතමය ආකාරයෙන්  දමනය කර ගැනීමට අවශ්‍ය විය.

ඇමරිකාවේ යුරෝපීය සහචරයෝ, තමන්ගේම අධිරාජ්‍යවාදී අවශ්‍යතා හඹා යමින්, එහි (ඇමරිකානු අධිරාජ්‍යවාදයේ)  නායකත්වය අනුගමනය කලෝය. නේටෝව යනු ඔවුන් මෙම ඉලක්කය හඹා යන මෙවලමයි. සෝවියට් සංගමය විසුරුවා හැරීමේ සිට, නේටෝව හෝ එහි සාමාජිකයන් නොකඩවාම පාහේ  යුද්ධ කරමින් සිටිති.

එක්සත් ජනපදය 1990 දී ප්‍රථම වරට ඉරාකයට පහර දුනි. 1999 දී නේටෝව එක්සත් ජාතීන්ගේ වරමකින් තොරව – ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් – සර්බියාවට බෝම්බ හෙලූ අතර කොසෝවේ  වෙන්වීමට බලය යෙදීය. 2001 දී, නේටෝව පලමු සහ එකම වතාවට අන්‍යෝන්‍ය ආරක්ෂක වගන්තිය ක්‍රියාත්මක කර ඇෆ්ගනිස්ථානය වාඩිලා ගත් අතර, වසර 20 ක් පැවති යුද්ධයක් ගෙන ගොස් එය අවසන්කලේ, රට විනාශ කර, තලේබාන්වරුන්ට නැවත බලයට පැමිනීමට කටයුතු සලසමිනි. ඉරාකය, ලිබියාව සහ සිරියාවට එරෙහිව පසුකාලීන යුද්ධ නිල නේටෝ ව්‍යුහයෙන් පිටත සිදු වුවද, බොහෝ නේටෝ සාමාජික රාජ්‍යයන් විසින් ඒවාට සහාය දක්වන ලදී.

මැද පෙරදිග යුද්ධවලට සමාන්තරව, නේටෝව රුසියාව දෙසට ක්‍රමානුකූලව ඉදිරියට ගිය අතර, මුලු නැගෙනහිර යුරෝපයම සහ-බෝල්ටික් රාජ්‍යයන් සමඟ-පැරනි සෝවියට් සංගමයේ කොටස්ද සංයුක්ත කරගත්තේය.

ලෝකයේ බලවත්ම හමුදා සන්ධානය, සාමාජිකයින් 12 සිට 32 දක්වා වර්ධනය විය. පසුගිය වසරේ එය ඩොලර් ට්‍රිලියන 1.3ක්, නැතහොත් ගෝලීය මිලිටරි වියදම්වලින් සියයට 60ක් ආරක්‍ෂාව සඳහා වැය කලේය. එක්සත් ජනපද මිලිටරි අයවැය පමනක් ඩොලර් බිලියන 905 ක් වූ අතර එය ඊලඟ රටවල් 15 වේ ඒකාබද්ධයට වඩා වැඩි ය. ඊට විසංසන්දනාත්මකව, චීනය ඩොලර් බිලියන 220 ක් සහ රුසියාව ඩොලර් බිලියන 109 ක් පමනක් ආරක්ෂක කටයුතු සඳහා වියදම් කලහ.

කියෙව්හි බටහිර ගැති රූකඩ තන්ත්‍රයක් ස්ථාපනය කිරීමේ කුමන්ත්‍රනයකට එක්සත් ජනපදය හා ජර්මනිය පිටුබලය දුන් 2014 සිට නේටෝව රුසියාව සමග යුද්ධයට ක්‍රමානුකූලව සූදානම් වී ඇත. 2022 දී පුටින් තන්ත්‍රයේ මංමුලා සහගත ප්‍රතිගාමී ප්‍රහාරය උසිගන්වමින් නේටෝව අනවරත ලෙස යුක්‍රේනය සන්නද්ධ කලේය. ඉන්පසුව නේටෝව, යුක්‍රේනියානුවන්  ‘කාලතුවක්කු උන්ඩ’ ලෙස යොදා ගනිමින්, ලක්ෂ සංඛ්‍යාත යුක්‍රේන ජීවිත බිලිගත්, න්‍යෂ්ටික ගැටුමක් දක්වා වර්ධනය වීමට තර්ජනය කරන යුද්ධයක්, රුසියාවට එරෙහිව දියත් කලේය.

මෙම උමතුව ජාත්‍යන්තර ධනේශ්වර ක්‍රමයේ විසඳිය නොහැකි ප්‍රතිවිරෝධතා තුල මුල් බැස ඇත. නිෂ්පාදන මාධ්‍යවල පුද්ගලික හිමිකාරිත්වය සහ ඒ මත පදනම් වූ ධනේශ්වර ජාතික රාජ්‍යය, බිලියන ගනන් කම්කරුවන් තනි සමාජ ක්‍රියාවලියක් තුල ඒකාබද්ධ කරන නවීන නිෂ්පාදනයේ ගෝලීය ස්වභාවය සමග සාමාධානය/ගැලපීම   (reconcile) කල නොහැක. මෙයට අධිරාජ්‍යවාදය දන්නා එකම පිලිතුර ලෝකය ප්‍රචන්ඩ ලෙස නැවත බෙදීමයි.

මෙම යුද්ධය කිරීමට නම්, නේටෝ අධිරාජ්‍යවාදී බලවතුන්, මිලිටරිවාදයේ අතිමහත් පිරිවැය සහ යුද්ධයේ ප්‍රතිවිපාක දැරීමට සිදුවීම සම්බන්ධයෙන් කම්කරු පන්තිය තුල වැඩෙන විරුද්ධත්වය මැඩපැවැත්වීම සඳහා ෆැසිස්ට්වාදී පොලිස්-රාජ්‍ය තන්ත්‍ර තම රටවල් තුල ගොඩ නැගිය යුතුය. ට්‍රම්ප්, මෙලෝනි,  අන්ත දක්ෂිනාංශික ජර්මනිය සඳහා විකල්පය (AfD) සහ අනෙකුත් නව-ෆැසිස්ට්වාදීන්ගේ නැගීම, සියලු ධනේශ්වර පක්ෂවල දක්ෂිනාංශික වර්ධනයේ තියුනුම ප්‍රකාශනය පමනි.

එහෙත් ධනේශ්වර ක්‍රමයේ අර්බුදය සමාජවාදී විප්ලවය සඳහා කොන්දේසි ද නිර්මානය කරයි. හතරවන ජාත්‍යන්තර සඟරාවේ 1949 අප්‍රේල් කතුවැකිය අවසන් වූයේ මෙසේය: “හමුදාවල සාමාන්‍ය කාර්ය මන්ඩල (general staffs) සියලු හදිසි අවස්ථා සහ සිදුවිය හැකි අවස්ථා ප්‍රවේශමෙන් ගනනය කර ඇත- සියල්ල, එකක් හැර. ඒ, සියල්ලටම වඩා සාමයට කැමති ලෝක ජනතාවගේ සන්ධානයයි. ක්‍රෙම්ලිනයේ උපාමාරු නොව, ෂැංහයි සහ ඉන්දුනීසියාවේ, මිලාන්හි, රූර් සහ ඩෙට්‍රොයිට් හි පන්ති අරගලය, මරනය ප්‍රතිගාමීත්වය සහ ආඥාදායකත්වය රැගත් මෙම අශුද්ධ සංයුක්තයේ ඇකිලීස් විලුඹ (Achilles heel- මූලික දුර්වල තැන)  බව  ඔප්පු කරනු ඇත.

මේ වචන එදා මෙන්ම අදටද  අදාල වේ. ලෝක යුද්ධයට හා න්‍යෂ්ටික ව්‍යසනයට මාවත නැවැත්විය හැක්කේ, යුද්ධයට එරෙහි අරගලය, ධනේශ්වර සූරාකෑමට එරෙහි අරගලය සමග ඒකාබද්ධ කරන කම්කරු පන්තියේ ජාත්‍යන්තර මහජන ව්‍යාපාරයකට පමනි. 

නේටෝවේ වසර 75 : සීතල යුද්ධයේ සිට උනුසුම් යුද්ධය දක්වා Read More »

WCK

එක්සත් ජනපදය-ඊශ්‍රායලය විසින්  වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන් සහන ආධාර සේවකයින් ඝාතනය කිරීම

අන්ඩ්‍රේ ඩේමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 අප්‍රේල් 04 දින පල වූ ‘The US-Israeli murder of World Central Kitchen aid workersයන හිසින් අන්ඩ්‍රේ ඩෙමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු විසිනි.

WCK
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පසු මිනිසෙක් ලේ තැවරුනු බ්‍රිතාන්‍ය, පෝලන්ත සහ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර ප්‍රදර්ශනය කරයි, ඩීර් අල්-බාලා, ගාසා තීරය, 2024 අප්‍රේල් 1. ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් මියගිය වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන්හි සේවකයන් අතර බ්‍රිතාන්‍ය පුරවැසියන් තිදෙනෙක්, පෝලන්ත සහ ඕස්ට්‍රේලියානු ජාතිකයන්, කැනේඩියානු-ඇමරිකානු ද්විත්ව පුරවැසියෙක් සහ පලස්තීන ජාතිකයෙක් වූහ. (AP ඡායාරූපය/අබ්දෙල් කරීම් හනා)

සඳුදා රාත්‍රියේ ඊශ්‍රායල ආරක්ෂක හමුදා, ඔවුන්ගේ වාහන පෙලට එල්ල කල ගුවන් ප්‍රහාර තුනකින්, වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන් හි  ( World Central Kitchen)  ජාත්‍යන්තර සහන ආධාර සේවකයින්  හත් දෙනෙකු ගාසාවෙහි දී මරා දැමූහ. සහන සේවකයන් එක්සත් ජනපදය/කැනඩාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, පෝලන්තය සහ පලස්තීනයේ පුරවැසියන් විය.

ඒවායේ ගමන් කල මගීන් මානුෂීය සේවකයින් ලෙස පැහැදිලිව හඳුනා ගන්නා විශාල ලාංඡන ප්‍රදර්ශනය කර තිබූ වාහනවල වහලවල් සෘජුවම ඉලක්ක කරගත්, සුනිශ්චිත ගුවන් ප්‍රහාරක අවි (precision airborne munitions) ප්‍රහාර සඳහා භාවිතා කර තිබුනි. 

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සහ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රකාශකයෝ, ගුවන් ප්‍රහාර තුන “වැරදීමක” සහ “වැරදි ලෙස හඳුනාගැනීමේ” ප්‍රතිඵලයක් බව විකාර සහගත ලෙස ප්‍රකාශ කලහ. මාධ්‍ය තුල දෝංකාර දුන් මෙම ප්‍රකාශයන්, ප්‍රහාර  සුපරීක්ෂාකාරීව ඉලක්ක කරගත් බවට වැඩෙන සාක්ෂි හමුවේ බිඳ වැටී ඇත.

වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන් හි නිර්මාතෘ වන හොසේ ඇන්ඩ්‍රෙස් රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ කම්කරුවන් ඉලක්ක කර ඇත්තේ “ක්‍රමානුකූලව, රථයෙන් රථයට” බවයි. වැඩ වර්ජන නොදැනුවත්ව සිදු වූ බවට එක්සත් ජනපදය හා ඊශ්‍රායලය විසින් කරන ලද ප්‍රකාශයන් ඇන්ඩ්‍රේස් ප්‍රතික්ෂේප කලේ, “ඒකාන්ත ම නැත” කියාය.

වාඩිලාගෙන සිටින පලස්තීන ප්‍රදේශ පිලිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු වන ෆ්‍රැන්චෙස්කා ඇල්බනීස් විසින් මෙම ප්‍රහාරයේ අරමුන පිළිබඳව පැහැදිලි කලේ, “පරිත්‍යාග කරන්නන් ඉවත්ව යෑමට සහ ගාසා තීරයේ සිවිල් වැසියන් දිගටම නිහඬවම සාගින්නෙන් පෙලීමට හැකි වන පරිදි” කටයුතු සැලසීම බවයි.

දේශසීමා නොමැති වෛද්‍යවරු (Doctors Without Borders) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කලේ:

“කනගාටුදායක සිදුවීම් පිලිබඳ ආඛ්‍යානය අපි පිලිගන්නේ නැහැ. … වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන් සහ  දේශ සීමා නැති වෛද්‍යවරු (MSF) රථ පෙලට සහ රක්ෂාස්ථාන වලට සිදුවී ඇත්තේ, මානවවාදීන් , සෞඛ්‍ය සේවකයින්, මාධ්‍යවේදීන්, එක්සත් ජාතීන්ගේ නිලධාරීන්, පාසල් සහ නිවාසවලට හිතාමතාම ප්‍රහාර එල්ල කිරීමේ එකම රටාවේ කොටසක් වන නිසා අපි එය පිලිගන්නේ නැත.”

මෙම ප්‍රහාර, දැනටමත්  200 කට ආසන්න ප්‍රමානයක් ඝාතනය කර ඇති සහන සේවකයන්ට එරෙහි ඊශ්‍රායලයේ අලුත්ම ප්‍රහාරයක් පමනි. මීට අමතරව, ඊශ්‍රායලය “පිටි සංහාර” (“flour massacres.”) මාලාවකින් ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථානවලින් ආහාර ලබා ගැනීමට උත්සාහ කරන විට කුසගින්නෙන් පෙලෙන මිනිසුන්ට (පරිවර්තක: වෙඩි තබා ඝාතනය කරමින්) ක්‍රමානුකූලව පහර දී ඇත.

මාස හයක ඊශ්‍රායල ඇවුරුමෙන් (blockade) පසුව, ගාසා තීරයේ සමස්ථ ජනගහනයම කුසගින්නෙන් පෙලෙන අතර, සාගතය අත ලඟ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක බැංකුව අනතුරු අඟවා ඇත. මන්දපෝෂනයෙන් දරුවන් දුසිම් ගනනක් දැනටමත් මිය ගොස් ඇති අතර, සාගතයෙන් සිදුවන මරන බෝම්බ වලින් මිය ගිය සංඛ්‍යාව ඉක්මනින්ම යටපත් කරනු ඇති බවට මානුෂීය සංවිධාන අනතුරු අඟවා ඇත.

සහන සේවකයන්ගේ ඝාතනයට බයිඩන්  පරිපාලනයේ ප්‍රතිචාරය වූයේ, ඊශ්‍රායලය ආරක්ෂා කිරීම, ඝාතන ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව ප්‍රතික්ෂේප කිරීම සහ සමූලඝාතනය පිලිබඳ කිසිදු ජාත්‍යන්තර පරීක්ෂනයක් ප්‍රතික්ෂේප කිරීමයි.

“ඊයේ ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස ඊශ්‍රායලය සහ ගාසා තීරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තියේ කිසියම් වෙනසක් තිබේදැයි” බදාදා ඇසූ විට ධවල මන්දිර ප්‍රකාශිකා කරීන් ජීන්-පියරේ  (Karine Jean-Pierre) ප්‍රකාශ කලේ, “කිසිවක් වෙනස් වී නැත” යනුවෙනි.

එදිනම පෙර ප්‍රකාශයක දී ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි ප්‍රකාශ කලේ, “හමාස් ගෙන් එන තර්ජනය තුරන් කිරීම සදහා  ඊශ්‍රායලය ගෙන යන සටනට ඇමරිකානු සහාය දිගටම ලබා දීම පිලිබදව අපි සෘජුවම පෙනී සිටිමු. ” 

බ්‍රහස්පතින්දා, බයිඩන් නෙතන්යාහු සමඟ, සමූල ඝාතනයේ රාජ්‍යතාන්ත්‍රික අතුරු පල සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා  කැප වූ  පැය භාගයක සංවාදයක් පැවැත්වීය. ඇමතුම සම්බන්ධ ප්‍රකාශය වාර්තා කලේ බයිඩන්, “සිවිල් හානිය, මානුෂීය දුක් වේදනා සහ සහන සේවකයින්ගේ ආරක්ෂාව සඳහා නිශ්චිත, සංයුක්ත සහ මිනිය හැකි පියවර මාලාවක් ඊශ්‍රායලය විසින් ප්‍රකාශයට පත් කර ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය  පැහැදිලි කල” බවයි.

මෙම ප්‍රකාශ එක්සත් ජනපද මාධ්‍ය විසින් ප්‍රධාන ප්‍රතිපත්තිමය වෙනසක් ලෙස වහාම ප්‍රකාශයට පත් කරන ලදී. නමුත් පසුව පැවති මාධ්‍ය හමුවකදී ධවල මන්දිර නිලධාරීන් නැවතත් අවධාරනය කලේ කිසිවක් වෙනස් වී නොමැති බවයි. ජෝන් කර්බි පැවසුවේ බයිඩන්  “හමාස් පමනක් නොව විවිධ තර්ජන වලින් ආරක්ෂා වීමට ඊශ්‍රායලයට ඇති හැකියාව සඳහා එක්සත් ජනපදයේ සහාය අයෝමය ලෙස පවතින බව අගමැතිට ඉතා පැහැදිලිව පෙන්වා දුන්” බවයි. ඇමතුම, “අවසාන නිවේදනයක්” දැයි ඇසූ විට, කරීන් ජීන්-පියරේ පැවසුවේ “නැහැ” යනුවෙනි.

වෙනත් වචන වලින් කිවහොත්, බයිඩන් ගේ “බල කිරීම්”, ගාසා තීරයේ ඊශ්‍රායල ජන සංහාරයට අරමුදල් සැපයීම, සන්නද්ධ කිරීම සහ විත්තිවාචනය කිරීමේ (සාධාරනීකරනයේ) එක්සත් ජනපද පිලිවෙත වසන් කිරීමටත්, සහන සේවකයන් ඝාතනයට වගකිව යුතු මිලිටරි නායකයින්ට සහ සිවිල් ප්‍රතිපත්ති සම්පාදකයින්ට වගවීමක් නොමැති බව සහතික කිරීමටත් අරමුන කලේ විය. 

ගාසා  සමූල ජන සංහාරය, කලාපයේ අධිරාජ්‍යවාදී ආධිපත්‍යයට එරෙහි සියලු ප්‍රතිරෝධය බිඳ දැමීම අරමුනු කරගත්, මැදපෙරදිග පුරා ක්‍රමානුකූල එක්සත් ජනපද-ඊශ්‍රායල් මිලිටරි ව්‍යාපාරයක කොටසක් වන නිසා, නෙතන්යාහු තන්ත්‍රයේ සාපරාධී ක්‍රියාවන්ට එක්සත් ජනපදය සහාය දක්වයි.

ඒවා සියල්ලම, කොන්ග්‍රස් බලය දීම සහ අනුමැතිය සඳහා අවශ්‍ය සීමාවට වඩා ප්‍රමානයට වඩා අඩුව තබා ගනිමින්, ඔක්තෝබර් 7 දා සිට, එක්සත් ජනපදය වෙන වෙනම ආයුධ නැව්ගත කිරීම් 100 කට වඩා ඊශ්‍රායලයට ලබා දී ඇත. පසුගිය සතියේ, අල්-ෂිෆා රෝහලේදී 400කට අධික පිරිසක් ඊශ්‍රායලය විසින් සමූලඝාතනය කිරීමට එක්සත් ජනපදය ප්‍රතිචාර දැක්වූයේ තවත් රාත්තල් 2,000 බෝම්බ 1,800ක් ඊශ්‍රායලයට යැවීමෙනි. සඳුදා, ඊශ්‍රායලය වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන් සහන ආධාර සේවකයින් සමූලඝාතනය කල දිනයේ, බයිඩන් පරිපාලනය තවත් බෝම්බ දහස් ගනනක් යැවීම අනුමත කලේය.

දැන් මාස හයක් සපිරෙන ගාසා ජන සංහාරය, අධිරාජ්‍යවාදී විදේශ ප්‍රතිපත්තිය සාපරාධීකරනය කිරීමේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. එහි දී ක්‍රමානුකූල සමූහ ඝාතන, සාගතය සහ  සමූල ජන සංහාරය, එදිනෙදා භාවිතා කරන ක්‍රම  බවට පත්  කරමින් සාමාන්‍යකරනය සිදු කෙරේ.

ඊශ්‍රායලය විසින් ලෝක සෙන්ට්‍රල් කිචන් සහන ආධාර සේවකයින් ඝාතනය කල සතියේම, ඊශ්‍රායල සහ පලස්තීන මාධ්‍යවේදීන් කන්ඩායමක් විසින්, ඊශ්‍රායල ආරක්ෂක හමුදා විසින් ඔක්තෝබර් 7 සිට දහස් ගනනක් ජනයා ඝාතනය කිරීමට තුඩු දුන් බෝම්බ ප්‍රහාර සඳහා ඉලක්ක තෝරා ගැනීම සඳහා භාවිතා කරන කෘතිම බුද්ධි පද්ධතියක් වන “ලැවෙන්ඩර්” පැවැත්ම හෙලි කරන ලදී. 

නීති විරෝධී මිනීමැරුම් සඳහා ඉලක්ක ලෙස දහස් ගනනක් ගාසා වාසීන්   සලකුනු කිරීමට මෙම පද්ධතිය භාවිතා කර ඇත. එය, ඉලක්ක කරන ලද වින්දිතයින් ඔවුන්ගේ පවුල් සමඟ නිවසේ සිටින විට හඳුනා ගනිමින්, ඊශ්‍රායල ගුවන් හමුදාවට ඔවුන් හට බෝම්බ හෙලීමට නියෝග උත්පාදනය කරනා’තර, ක්‍රියාවලිය තුලදී ඔවුන්ගේ පවුල් සහ අවට සිටින අය පුපුරවා දමනු ලැබේ. සෑම ප්‍රහාරයකදීම ඉලක්ක කරගත් සෑම පුද්ගලයෙකු සඳහාම අවට සිටින්නන් 20 දෙනෙකු දක්වා මරා දැමීමට අවසර ඇති අතර, සමහර අවස්ථාවලදී, තෝරාගත් ඉලක්ක සඳහා අවට සිටින්නන් 100ක් දක්වා ඝාතනය කිරීමට අවසර දෙනු ලැබේ.

අඩ සියවසක් පුරා, ඊශ්‍රායල රාජ්‍යයේ ක්‍රියා වොෂින්ටනය විසින් එක්සත් ජනපද පිලිවෙත සඳහා පූර්වාදර්ශයක් ලෙස භාවිතා කර ඇත. වඩාත්ම කැපී පෙනෙන උදාහරනය නම්, තමන්ගේම පුරවැසියන්ට එරෙහිව එක්සත් ජනපදය විසින් සම්මත කර ගැනීමට පෙර ඊශ්‍රායලය විසින් වර්ධනය කරන ලද “ඉලක්කගත ඝාතන” හෝ රාජ්‍ය-සංවිධානාත්මක ඝාතන මූලධර්ම යයි.

ඊශ්‍රායලය අද ගාසා තීරයේ ජනතාවට එරෙහිව කරන දේ, නුදුරු අනාගතයේදී එහි අධිරාජ්‍යවාදී පිටුබලය සපයන්නන් විසින්  ක්‍රියාත්මක කරනු ඇත. වත්මන්  සමූල ජන සංහාරයේ සියොන්වාදී තන්ත්‍රයේ ක්‍රියාමාර්ග, කැරලිකාර නාගරික ජනගහනයන්ට එරෙහිව මහා සාගතය සමග මහා පරිමානයෙන් යුධ අපරාධ කිරීම සදහා , කෘත්‍රිම බුද්ධිය යොදා ගනු ලබන ඒවා ඇතුලු අධි- තාක්‍ෂනික අවි භාවිතය සඳහා පූර්වාදර්ශයක් සකසනු ඇත.

යුද්ධයේ පිපිරීම, සමූල ජන සංහාරය සහ දේශපාලන මර්දනය අපේරනයක් (අපගමනයක්) නොවේ. අධිරාජ්‍යවාදය, ලෙනින් සඳහන් කල පරිදි, හුදු ප්‍රතිපත්තියක් නොව, ධනේශ්වර සංවර්ධනයේ නිශ්චිත ඓතිහාසික අවධියකි. එබැවින් අධිරාජ්‍යවාදයට එරෙහි වීම විප්ලවවාදී ප්‍රශ්නයකි, එය ආන්ඩුවකට බලපෑම් කිරීම නොව, ධනවාදය සමාජවාදය මගින් ප්‍රතිස්ථාපනය කිරීම අරමුනු කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට, ජාත්‍යන්තර අධිකරනයට සහ තනි ධනපති ආන්ඩුවලට අභියාචනා ඉදිරිපත් කරමින් ගාසා ජන සංහාරයට එරෙහි වීමට ගත් සියලු උත්සාහයන් අසාර්ථක වී ඇත. මෙම අපරාධවලට වගකිව යුතු ධනේශ්වර ආන්ඩුවලට ගමන් මග වෙනස් කරන ලෙස ආයාචනා කිරීම පිලිබඳ කාරනාවක් නොව, කම්කරු පන්තිය දෙසට හැරී යුද්ධයට එරෙහි අරගලය අසමානතාවයට හා සූරාකෑමට එරෙහිව ලොව පුරා කම්කරුවන්ගේ වර්ධනය වන අරගලයන් සමඟ ඒකාබද්ධ කිරීම ඉල්ලා සිටින්නක් වේ.

එක්සත් ජනපදය-ඊශ්‍රායලය විසින්  වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන් සහන ආධාර සේවකයින් ඝාතනය කිරීම Read More »

Damascus

ඊශ්‍රායලය දමස්කස් හි ඉරාන තානාපති කාර්යාලයට බෝම්බ දමයි: මැද පෙරදිග, කලාපය අලලා ගත් යුද්ධයක අද්දර

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 අප්‍රේල් 02  දින පල වූ ‘Israel bombs Iran’s embassy in Damascus: The Middle East on the brink of region-wide war ‘යන ඇලෙක්ස් ලැන්ටියර් විසින් ලියන ලද ඉදිරි දර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු විසිනි.

ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) ජ්‍යෙෂ්ඨ නායකයින් තිදෙනෙකු සහ තවත් තිදෙනෙකු මරා දමමින්, සඳු දින  දමස්කස් හි ඉරාන තානාපති කාර්යාලයට ඊශ්‍රායලය විසින්  බෝම්බ හෙලීම, දේශපාලනිකව වොෂින්ටනය සහ එහි නේටෝ සහචරයින් විසින් වගකීම දරන, ඉරානයට එරෙහි යුද ක්‍රියාවකි.

Damascus
2024 අප්‍රේල් 1 වන සඳුදා, සිරියාවේ ඩැමස්කස් හි ගුවන් ප්‍රහාරයකට ගොදුරු වූ ගොඩනැගිල්ලක හදිසි සේවා වැඩ කරයි. [AP Photo/Omar Sanadiki]

බෝම්බ හෙලීම ඉරානයට එරෙහි ඊශ්‍රායල යුද්ධයේ ප්‍රධාන නව අදියරක් සනිටුහන් කරයි, මන්ද යත් එහි ඉලක්කය වූයේ ජාත්‍යන්තර නීතියට අනුව ඉරාන භූමිය වීමයි. විශේෂයෙන්ම  2020 දී ඉරාකයේදී එක්සත් ජනපදය විසින් IRGC  (Islamic Revolutionary Guard Corps) ජෙනරාල් කාසෙම් සොලෙයිමානි ඝාතනය කිරීමෙන් පසුව, දිගු කලක් තිස්සේ, ඉරාන සහ සිරියානු නිලධාරීන් ඝාතනය කිරීම පිනිස නිරන්තර බෝම්බ හෙලා සිදු කල ඉලක්ක කරගත් මිනීමැරීමේ  නීති විරෝධී විදේශ ප්‍රතිපත්තියක්  ඊශ්‍රායල තන්ත්‍රය ගෙන ගොස් ඇත. කෙසේ වෙතත්, එහි නවතම ක්‍රියාව ඉරානය සහ ඊශ්‍රායලය අතර මෙන්ම ඊශ්‍රායලයේ නේටෝ අධිරාජ්‍යවාදී ආධාරකරුවන් අතර සෘජු යුද්ධයක් අවුලුවාලීමට තර්ජනය කරයි.

ඊයේ ඉරාන නිලධාරීන් ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට සපත කලහ. ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පැවසුවේ, “මෙම අපරාධය කල (ඊශ්‍රායලයට), සහ එය සිදු කල අනෙකුන්ට ඒ ගැන පසුතැවීමට  අපි  කටයුතු කරමු.” රුසියානු, චීන සහ සෞදි විදේශ අමාත්‍යාංශ ද ප්‍රහාරය හෙලා දකිනා ප්‍රකාශ නිකුත් කලෝය.

බයිඩන් පරිපාලනය ප්‍රහාරයෙන් පසු ආසන්නයේ ඉරාන නිලධාරීන් සම්බන්ධ කර ගත් බව වාර්තා වූ අතර, වගකීම ප්‍රතික්ෂේප කරමින් කියා පා ඇත්තේ, ඊශ්‍රායල නිලධාරීන්  ප්‍රහාරය පිලිබඳව  ඔවුන්ව දැනුවත් කර ඇත්තේ එය සිදු කිරීමට මිනිත්තු කිහිපයකට පෙර පමනක් බව ය. කෙසේ වෙතත්, බයිඩන් ට දැනුම් දුන්නත් නැතත් එවැනි ක්‍රියාමාර්ගයක් ගත හැකි බව ඊශ්‍රායලයට හැඟී ගියේ, මාස හයක් පුරාවට ගාසා තීරයට එරෙහි  සමූල ජන සංහාරය තුල  වොෂින්ටනය සහ එහි නේටෝ අධිරාජ්‍යවාදී සහචරයින් ඔවුන්ට හිස් චෙක්පතක් ලබා දී තිබූ බැවිනි.

ධවල මන්දිරය සමඟ සම්බන්ධීකරනයකින් තොරව ඊශ්‍රායලය මෙම ක්‍රියාමාර්ගය ගනු ඇතැයි විශ්වාස කිරීමට අපහසුය. එය එසේ නම්, නොවැම්බර් මැතිවරනයට පෙර බයිඩන් පරිපාලනය යුද්ධයේ  දැවැන්ත උත්සන්න කිරීමට උත්සාහ කරන බව ඇඟවුම් කෙරෙයි.

කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ, එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමකදී ඊශ්‍රායල ප්‍රහාරය හෙලා දැකීම ප්‍රතික්ෂේප කලහ. ප්‍රහාරය සඳහා ඊශ්‍රායලයේ තර්කනය සඑල ලෙස අනුමත කරමින්, එක්සත් ජාතීන්ගේ එක්සත් ජනපද තානාපති රොබට් වුඩ් පැවසුවේ, “ත්‍රස්තවාදී නායකයින් සහ එවැනි කොටස් මෙම මධ්‍යස්ථානයේ සිටින බවට වන වාර්තා පිලිබඳව තමන් කනස්සල්ලට පත්වන අතර, ඉරානය විසින් ත්‍රස්තවාදීන් සහ අනෙකුත් ප්‍රචන්ඩ අන්තවාදීන් අඛන්ඩව සම්බන්ධීකරනය, පුහුනු කිරීම සහ සන්නද්ධ කිරීම හෙලා දකිනවා” යනුවෙනි.

මෙම සතියේ එක්සත් ජනපද නිලධාරීන් ගාසා හි අල්-ෂිෆා රෝහලේදී ඊශ්‍රායල හමුදාව විසින් මිනිසුන් 400ක් සමූලඝාතනය කිරීම නිර්ලජ්ජිත ලෙස ආරක්ෂා කලහ. ධවල මන්දිර ප්‍රකාශිකා කරීන් ෂොන්-පියා (  Karine Jean-Pierre) සැහැසි ලෙස ප්‍රකාශ කලේ, “හමාස් රෝහල් වල සිට ක්‍රියාත්මක නොවිය යුතු” බවයි. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක මයික් මැතිව්ස් ද පෙන්නුම් කලේ, පලස්තීන සරනාගතයින් මිලියන 1.5ක් කූඩාරම් නගරවල වෙසෙන රෆා වෙත ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල කිරීම අනුමත කරන බව ය. ඔහු පැවසුවේ හමාස් සටන්කරුවන දිගටම රෆා වල සිටිද්දී ඊශ්‍රායලය නිකං බලා සිටින සෙනාරියක් (තත්ත්වයක්) පිලිගත නොහැකි බවයි.”

වොෂින්ටනය සහ එහි නේටෝ සහචරයින් පලස්තීනුවන් 32,000ක් මරා දැමූ ඊශ්‍රායල ජන සංහාරයට කොල එලි දල්වන්නේ ඔවුන් මැද පෙරදිග පුරා සමාන අපරාධ සූදානම් කරමින් සිටින බැවිනි. ගාසා ජන සංහාරයේ ආරම්භයේ දී, වොෂින්ටනය  ඉරානය වෙත පැහැදිලිවම ඉලක්ක කෙරුනු  ගුවන් යානා වාහක සටන් කන්ඩායම් (carrier battle groups) සහ න්‍යෂ්ටික මිසයිල සබ්මැරීන කලාපයට යවන ලදී. අද, ඊශ්‍රායල නිලධාරීන් හිස්බුල්ලා මිලීෂියාවට ප්‍රහාර එල්ල කිරීම සඳහා ලෙබනනය ආක්‍රමනය කිරීම ගැන සාකච්ඡා කරන විට, ලෙබනනය, සිරියාව සහ ඉන් ඔබ්බට එරෙහි නව යටත් විජිතවාදී යුද්ධ සඳහා ඊශ්‍රායලය ප්‍රොක්සියක් ලෙස භාවිතා කිරීමට නේටෝ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සැලසුම් හොඳින් ඉදිරියට ගොස් ඇත.

දශකයක් තිස්සේ රුසියානු, ඉරාන සහ හිස්බුල්ලා හමුදා, නේටෝ පිටුබලය ලබන “කැරලිකාර” ඉස්ලාමීය හෝ කුර්දි ජාතිකවාදී මිලීෂියාවන්ට එරෙහිව රජයේ හමුදා සමග එක්ව සිරියාවේ සටන් කර ඇත. සිරියාවේ පාලන තන්ත්‍රය වෙනස් කිරීම සඳහා වූ නේටෝ යුද්ධය වසර 13 ක් රට විනාශ කර ඇති අතර, මිලියන භාගයක් මිය ගොස් මිලියන 10 කට වැඩි සරනාගතයින් නිර්මානය කර ඇත.

යුරේසියාවේ ආධිපත්‍යය සඳහා අධිරාජ්‍යවාදී බලවතුන් දියත් කරමින් සිටින ගෝලීය යුද්ධයක් මධ්‍යයේ ඊශ්‍රායලය, සඳුදා, සිරියාවේ සහ ලෙබනනයේ ඉරාන හමුදා අනදෙන  මධ්‍යස්ථානයේ හිස ගසා දැමීය. කියෙව්හි අන්ත දක්ෂිනාංශික යුක්‍රේන තන්ත්‍රය සන්නද්ධ කරමින් වොෂින්ටනය සහ එහි නේටෝ සහචරයින් යුරෝපයේ රුසියාවට එරෙහිව සටන් කරන අතරතුර, ඔවුන් රුසියාවට සහ මැද පෙරදිග එහි සහචරයින්ට ද පහර දෙමින් සිටිති. සිරියාවේ එක්සත් ජනපද සහ ඉරාන IRGC හමුදා අතර සටන් ආවරනය කරමින්, නිව් යෝර්ක් ටයිම්ස් තීරු ලිපි රචක තෝමස් ෆ්‍රීඩ්මන් මෑතකදී මෙසේ ලිවීය.

“ඔවුන් ඉරානය සමඟ යුද්ධයක යෙදී සිටින බව ඇමරිකානුවන් නොදන්නවා විය හැක, නමුත් ඉරානයේ විප්ලවවාදී ආරක්ෂකයින් (Iran’s Revolutionary Guards), ඔවුන්ගේ ප්‍රොක්සින්  හරහා ඇමරිකාව සමඟ සෙවනැලි යුද්ධයක යෙදී සිටින බව නිසැකවම දනී. මෙම ඉරාන ප්‍රොක්සිවරුන්ගෙන් එක් පාර්ශ්වයක් “වාසනාවන්ත” වී එක්සත් ජනපද යුද නැවකට හෝ ජෝර්දානයේ හෝ සිරියාවේ එක්සත් ජනපද කඳවුරක බැරැක්කයකට පහර දීමෙන් විශාල ජීවිත හානි සිදුවීමක් නිර්මානය කලහොත් …ලෝකය බොහෝ දුරට එහි තෙල් මත රඳා පවතින කලාපය තුල සෘජු වෙඩි තබා ගැනීමේ යුද්ධයක් බවට පත්වනු ඇත.  මට, මෙසේ නිකමට   ඔබව  දැනුවත් කිරීමට සිතුනි.”

ව්‍යසනකාරී මිලිටරි උත්සන්න වීමේ අත්‍යාසන්න අන්තරාය පිලිබඳව ඇමරිකාව හා ලෝකය පුරා කම්කරුවන් අවදි කල යුතුය. ෆ්‍රීඩ්මන් සාකච්ඡා කරන යුද්ධය පර්සියානු ගල්ෆ් තෙල් වෙලඳාම අවහිර කිරීම නිසා ඇති වූ ගෝලීය ආර්ථික බිඳවැටීමෙන් ඔබ්බට  පවා යන  විනාශකාරී ප්‍රතිවිපාක ගෙන දෙනු ඇත. යුක්රේනයේ නේටෝ-රුසියානු යුද්ධය මධ්‍යයේ සහ 2017 දී ඩොලර් බිලියන 400 ක චීන-ඉරාන වෙලඳ සහ මිලිටරි ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව, එය සියලු ප්‍රධාන න්‍යෂ්ටික බලවතුන් ගෝලීය ගැටුමකට ඇද ගැනීමේ අවදානමක් ඇත.

ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපද නිලධාරීන් එන්න එන්නම, චීනය සමඟ ගැටුම ඔවුන්ගේ කේන්ද්‍රීය අවධානය බව සඟවන්නේ නැත. පසුගිය මාසයේ, එක්සත් ජනපද මධ්‍යම අනදෙන නිලධාරී ජෙනරාල් මයිකල් කුරිල්ලා ඉරාන, චීන සහ රුසියානු පාලන තන්ත්‍රයන් අතර නේටෝවට එරෙහිව මතුවෙමින් පවතින අස්ථාවර ආරක්ෂක සන්ධානය හෙලා දුටුවේය.

“සාමූහිකව, ඉරානය, රුසියාව සහ චීනය ඔවුන්ගේ සබඳතා ශක්තිමත් කරමීන්, ඔවුන්ගේ අයථා උපයෝජනය සදහා හිතකර ව්‍යාකූල භූ දර්ශනයක් පෝෂනය කරයි,” කුරිල්ලා පැවසීය. “මෙම හවුල්කාරිත්වයේ ප්රතිවිපාක ගෝලීය ගම්‍යයයන් දරනු ඇත.” යුක්රේන යුද්ධය සඳහා ඉරාන ඩ්‍රෝන රුසියාවට  අපනයනය කිරීම සහ රුසියානු සහ ඉරාන තෙල් චීනයට අපනයනය ගැන සඳහන් කරමින් ඔහු මැසිවිලි නැගුවේ : “ඉරානය, එක්සත් ජනපදය විසින් සම්බාධක යෙදූ සිය තෙල්වලින් සියයට 90 ක්, චීනයට විකුනයි,” ලෙස පවසමිනි.

ගාසා තීරයේ ජන සංහාරය සඳහා අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහයෝගය මතුවන්නේ රුසියාව, චීනය සහ ඉරානය ඉලක්ක කරගත්, යුද්ධය හරහා ලෝකය යටත් කර ගැනීමේ ඔවුන්ගේ තල්ලුවෙන් ය. “නාගසාකි සහ හිරෝෂිමා සේ” ගාසා තීරයට න්‍යෂ්ටික බෝම්බ හෙලන ලෙසත්, “රුසියානු හමුදා අතුගා දැමීමට” “යුක්‍රේනයේ සදහා ද එයම” ඉල්ලා සිටි එක්සත් ජනපද කොන්ග්‍රස් සභික ටිම් වෝල්බර්ග්ගේ මෑත හඬ තැලීමෙන් මෙය පැහැදිලිවම හෙලිදරව් විය. දශක ගනනාවක යුද්ධයෙන් සහ මංකොල්ල කෑමෙන් නිර්මිත ගැටුම් නිරාකරනය කිරීමට නොහැකි අධිරාජ්‍යවාදී දේශපාලඥයින්, වැඩි වැඩියෙන්ම තම මග  අවුරා සිටින්නන් සමූල ඝාතනය කිරීම හැර වෙනත් මගක්  දැක නොගනියි.

ගාසා ජන සංහාරයට විරුද්ධත්වය, එක්සත් ජනපද-නේටෝ අධිරාජ්‍යවාදී යුද්ධයට හා ධනේශ්වර පද්ධතියට එරෙහිව කම්කරු පන්තිය තුල ජාත්‍යන්තර ව්‍යාපාරයක් ලෙස වර්ධනය කල යුතුය. එහි අලුත් අවුරුදු ප්‍රකාශයෙහි  ලෝක සමාජවාදී වෙබ් අඩවිය අනතුරු ඇඟවූයේ :

“සමස්තයක් ලෙස ගත් කල, විවිධ ආකාරයේ සමාජ ම්ලේච්ඡත්වයන් සාමාන්‍යකරනය කිරීම ධනේශ්වර පන්තිය ආවෘත අන්තයකට පැමින ඇති බව පෙන්නුම් කරයි. විවිධ ආකාරයේ සමාජ ඝාතනවලින් සමන්විත ප්‍රතිපත්ති ඇති පන්තියක් පැහැදිලිවම එහි ඓතිහාසික, ආර්ථික, සමාජීය සහ දේශපාලන නීත්‍යානුකූලභාවය අවසන් කර ගන ඇත.”

තීරනාත්මක ප්‍රශ්නය වන්නේ, ඊශ්‍රායලයේ සහ මැද පෙරදිග පුරා මෙන්ම නේටෝ රටවල මහජන විරෝධතා තුලින් හෙලිදරව් වන, කම්කරුවන් හා තරුනයින් අතර වැඩෙන විරුද්ධත්වය, ගාසා සමූල ඝාතනයට එරෙහිව, සමාජවාදී ඉදිරිදර්ශනයකින් සන්නද්ධ කිරීමයි. මේ සඳහා සෑම රටකම කම්කරු පන්තිය තුල ට්‍රොට්ස්කිවාදී නායකත්වයක්, එනම් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා  ගොඩනැගීම අවශ්‍ය වේ. මැදපෙරදිග යුද්ධය උත්සන්න වීම මගින් මතුවන මූලික හා හදිසි කර්තව්‍යය මෙයයි.

ඊශ්‍රායලය දමස්කස් හි ඉරාන තානාපති කාර්යාලයට බෝම්බ දමයි: මැද පෙරදිග, කලාපය අලලා ගත් යුද්ධයක අද්දර Read More »

Alshifa

400 කට අධික පිරිසක් ඝාතනය කල ෂිෆා රෝහල් සංහාරය ධවල ​​මන්දිරය ආරක්ෂා කරයි

අන්ඩ්‍රේ ඩෙමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 අප්‍රේල් 01 දින පල වූ ‘White House defends Shifa hospital massacre that killed over 400′ යන හිසින් අන්ඩ්‍රේ ඩෙමන් විසින් ලියන ලද  ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු විසිනි.

සඳුදා ඊශ්‍රායල හමුදාව ගාසාවේ ෂිෆා රෝහලෙන් ඉවත් වීමෙන් පසු හෙලි වූයේ, එම සංකීර්නය ඝාතන පිටියක් බවට පත් කර ඇති බවයි. පිරිමි, කාන්තා සහ ලමයින්ගේ මල සිරුරු සිය ගනනකින් පෙන්නුම් කෙරුනේ සමූහ වශයෙන් කිසිදු වග විභාගයක් නැතිව මරා දැමීම, වධහිංසා පැමිනවීම් සහ විකෘති කිරීම්, සිදුකර ඇති බවයි.

මේ වන විට අවම වශයෙන් පුද්ගලයන් 32,000ක් පමන ඝාතනය කර ඇති, ගාසා තීරයේ මාස හයකට ආසන්න කාලයක් පුරා පැවති එක්සත් ජනපද-ඊශ්‍රායල් ජන සංහාරයේ විශාලතම සංහාරයන් අතර මෙම සංහාරය එක්වේ.

Alshifa
ගාසා නගරයේ ෂිෆා රෝහලේ නටබුන්, 2024 අප්‍රේල් 1 සඳුදා. (AP Photo/Mohammed Hajjar)

ගාසා රජයේ මාධ්‍ය කාර්යාලයට අනුව, රෝහලට ඊශ්‍රායලය එල්ල කල ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 400 ඉක්මවයි. සඳුදා ප්‍රකාශයක් නිකුත් කරමින් යුරෝ-මෙඩ් මොනිටර් (Euro-Med Monitor  යනු යුරෝපයේ සහ මැදපෙරදිග සහ උතුරු අප්‍රිකා කලාපය සහ යුරෝපය  පුරා සිටින සියලුම පුද්ගලයින්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින තරුණ නායකත්වයෙන් යුත් ස්වාධීන, ලාභ නොලබන සංවිධානයකි.) පැවසුවේ,  “පලස්තීන ඉතිහාසයේ විශාලතම සංහාරය වලින් එකක්” වන  මෙහිදී, මියගිය, අතුරුදහන් වූ හෝ තුවාල ලැබූ මුලු සංඛ්‍යාව 1,500 ඉක්මවිය හැකි බවයි.

සමාජ මාධ්‍යවල බහුලව හුවමාරු වූ පින්තූරවලින් පෙන්නුම් කලේ අසංඛ්‍ය නරක් වූ මල සිරුරු ඊශ්‍රායල බුල්ඩෝසර් මගින් වල දමා තිබූ රෝහල් මලුවෙන් ගොඩ ගන්නා ආකාරයයි. සිරුරු අතර කාන්තාවන් සහ ලමුන් මෙන්ම දෑත් එකට සිප් දමා  බැඳ සිටි පිරිමින්ද ඇතුලත් විය.

ඇසින් දුටු සාක්ෂිකරුවන් අල් ජසීරා සහ අනෙකුත් මාධ්‍ය ආයතනවලට පැවසුවේ ප්‍රාන ඇපකරුවන්ට මාංචු දමා සිටියදී වෙඩි තබා හෝ අගල් වලට විසිකර දමා  බුල්ඩෝසර් මගින් පනපිටින් වල දැමූ බවයි.

ජන සංහාරයේ විශාලතම සංහාරය විය හැකි ම‌ේ පිලිබඳ හෙලිදරව් කිරීම් සමාජ මාධ්‍යවල පුලුල්ව පැතිරුනු මහජන කෝපයට හේතු වූ අතර මිලියන සංඛ්‍යාත ජනතාවන්  ලේඛනගත සාක්ෂි බෙදාහදා ගත්හ.

“[ඊශ්‍රායල්] වාඩිලෑම අල්-ෂිෆා වෛද්‍ය සංකීර්නය තුල ඇති සියලුම ගොඩනැගිලි විනාශ කර පුලුස්සා දැමීය. ඔවුන් මලුව ඩෝසර් කර, දිවි පිදූවන්ගේ සිරුරු දුසිම් ගනනක් සුන්බුන් තුල වලලා, එම ස්ථානය සමූහ සොහොන් පිටියක් බවට පත් කලහ, ” ගාසා රජයේ කාර්යාලයේ අධ්‍යක්ෂ ඉස්මයිල් අල්-තවබ්තා පැවසීය. “මෙය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක්” බව ඔහු වැඩිදුරටත් පැවසීය.

“වෛද්‍ය කාර්ය මන්ඩලයේ  සමහරෙකු මරා දමන ලදී, අනෙක් අය වධ හිංසාවට ලක් කරන ලදී, අනෙක් අය රඳවා තබා ගැනුණි, අන් සියල්ලටත් වඩා, ඔවුන් සති දෙකක් තිස්සේ කිසිදු වෛද්‍ය සැපයුම් හෝ ආහාර හෝ ජලය නොමැතිව වටලනු ලැබ තිබුණි,” පලස්තීන රතු ක්‍රෙසන්ට් සමිති සංවිධානයේ ප්‍රකාශකයෙකු වන රයිඩ් අල් නිම්ස්  (Raed al-Nims) , අල් ජසීරාට පැවසීය.

ඔහු තවදුරටත් කියා සිටියේ, “ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ වාර්තා සහ නිල වාර්තාවලට අනුව, සිවිල් වැසියන් බොහෝ දෙනෙකු ඝාතනය කරනු ලැබුණි. වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුලු  වෛද්‍ය කාර්ය මන්ඩලය, ඊශ්‍රායල වාඩිලාගැනීමේ හමුදා විසින් මරා දමන ලදී; ඔවුන්ව හිතාමතාම ඊශ්‍රායල සොල්දාදුවන් විසින් මරා දමන ලදී.”

භූමියේ සිට වාර්තා මත පදනම්ව, සමූලඝාතනය පිලිබඳ එහි මූලික වාර්තාවේ, යුරෝ-මෙඩ් මොනිටර් වාර්තා කලේ, “සමහරක් පිලිස්සූ, සහ තවත් අයගේ හිස් සහ අත්පා කපා දැමූ මල සිරුරු සිය ගනනක් ඇතුලුව, අල්-ෂිෆා වෛද්‍ය සංකීර්නය තුලම සහ රෝහල අවට ප්‍රදේශය තුළ සොයා ගෙන ඇති බවයි.”

ඊශ්‍රායල ජන සංහාරයේ ප්‍රමුඛ අනුග්‍රාහකයා වන බයිඩන් පරිපාලනය, කිසිවක් තහවුරු නොකරමින්ම, ෂිෆා රෝහල නීත්‍යානුකූල මිලිටරි ඉලක්කයක් බවද, හමාස් සංවිධානය එය මූලස්ථානයක් ලෙස භාවිතා කල බවටද චෝදනා කරමින් සමූල ඝාතනය ආරක්ෂා කලේය.

“හමාස් සටන්කාමීන් අල් ෂිෆා රෝහලේ සැඟවී සිටියා” යැයි රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මැතිව් මිලර් පැවසීය.

“මෙම ප්‍රහාරය රෝහලට එල්ල වූවක් යැයි විශ්වාස නොකරන්න,” මිලර් වැඩිදුරටත් පැවසීය. “ප්‍රහාරය එල්ල වූයේ රෝහලක් තුල සැඟවී සිටින හමාස් සටන්කාමීන්ට ය.”

ඔහු තවදුරටත් කියා සිටියේ, “රෝහල්වලට යාම නවත්වන ලෙස වැඩි පිරිසක් හමාස් සංවිධානයෙන් ඉල්ලා සිටිනු මට ඇසෙන්නේ නැත්තේ මන්දැයි මම නොදනිමි.”

ධවල මන්දිර ප්‍රකාශිකා කැරීන්  ෂාන්-පියර් ( Karine Jean-Pierre) තවදුරටත් පැවසුවේ, “එබැවින් බලන්න, හමාස් සංවිධානය රෝහල් වල සිට ක්‍රියාත්මක නොවිය යුතු බව, එයින් සිවිල් වැසියන් අවදානමට ලක් කරන බව අපි නැවත නැවතත් පවසා ඇත”

“ඔවුන් රෝහල්වල සිට  ක්‍රියාත්මක වෙනවා, රෝහල්වල සිට,” ඇය වැඩිදුරටත් පැවසුවාය. “ඔවුන් කරන්නේ එයයි. ඔවුන් සිවිල් ජනතාව තුලට කාවැදී ඉන්නවා. ඔවුන් කරන්නේ එයයි.”

ධවල මන්දිරය සමූලඝාතනයට ප්‍රතිචාර දැක්වූයේ මිලියනයකට අධික සංඛ්‍යාවක් අවතැන් වූ ජනතාව නවාතැන් ගන්නා රෆා වෙත ඊශ්‍රායලයේ සැලසුම් සහගත ප්‍රහාරය සඳහා කෙලින්ම කොල එලියක් දල්වමිනි.

“රෆාහි දිගටම සිටිනා හමාස් සටන්කාමීන් සම්බන්ධයෙන් ඊශ්‍රායලය කිසිවක් නොකර සිටින” තත්ත්වය “පිලිගත හැකි විකල්පයක්” නොවන බව මිලර් පැවසීය.

ෂාන්-පියර් තවදුරටත් පැවසුවේ, “රෆාහි ද හමාස් ක්‍රියාකාරීන් සිටින බව අපි දනිමු. නමුත් ඔවුන් හමුදා මෙහෙයුම් ඉදිරියට ගෙන යන්නේ නම්, අප මෙම සංවාදය පැවැත්විය යුතුයි. ඔවුන් ඉදිරියට යන්නේ කෙසේද යන්න අපි තේරුම් ගත යුතුයි. ”

යුරෝ-මෙඩ් ට අනුව, ඊශ්‍රායල හමුදා ෂිෆා රෝහල් සංකීර්නයෙන් “සියලුම වැඩ කරන පුද්ගලයින්-විශේෂයෙන් වෛද්‍ය නිලධාරීන්-අනීතික මරා දැමීම් හෝ බලහත්කාරයෙන් අවතැන් කිරීම් හෝ අත්අඩංගුවට ගැනීම් මගින්” ඉවත් කරන ලදී.

දැඩි ලෙස රෝගාතුර වූ රෝගීන් සදහා  ආහාර, ජලය සහ වෛද්‍ය පහසුකම් ප්‍රතික්ෂේප කල කොන්දේසි යටතේ, වටලෑමේදී රෝගීන් 22 දෙනෙකු රෝහල් ඇඳන් මතම මරා දැමුනු බව මානව හිමිකම් සංවිධානය පැවසීය.

ප්‍රහාරයෙන් මියගිය වෛද්‍ය සේවකයන් අතර යුස්රා අල්-මකාද්මේ ( Yusra Al-Maqadmeh) සහ ඇගේ පුත් අහමඩ් අල්-මකාද්මේ (Ahmed Al-Maqadmeh) යන වෛද්‍යවරුන් දෙදෙනාද විය.

මීට පෙර ගාසාවේ සේවය කල වෛද්‍යවරයකු වන අබු සිටා විසින් රචතව පුලුල්ව බෙදාගත් උපහාරයක් පැවසූ  ලෙස, “ලස්සන ආත්මයක් සහ විශිෂ්ට ශල්‍ය වෛද්‍යවරයෙක්. “ආපසු යෑමේ මහා පාගමනේ” (Great March of Return) සහ 2021 යුද්ධයේ සහ පසුව මෙම මෑත යුද්ධයේදී අපි එකට වැඩ කලා. ඔහුගේ කැපවීම මා දැක ඇති කිසිවකට සමකල නොහැකියි. අපි කිසි දින අමතක නොකරමු.”

ඔහු තවදුරටත් පැවසුවේ, “ඔහු මෙම යුද්ධය තුල  ෂිෆා රෝහලේ හා  අල් කුඩ්ස් රෝහල අතර ගත කලා, ඉන් බැහැරව නිදහස් වූ විට අල් අහ්ලි හිදී ඔහු මා සමඟ  එක් වුනා. සෑම විටම කැපවී ගත්, සෑම විටම ඉගෙන ගැනීමට කැමැත්තෙක්. ඔහු උතුරෙන් පිටව යෑම  ප්‍රතික්ෂේප කලා,  ඔහුගේ සැත්කම් වල ඡායාරූප මට එව්වා. ඔහුගේ නික්ම යෑමෙන් බිරිඳක් සහ බිලින්දෙකු තනිවුනා. ”

මෙම මස මුලදී, යුරෝ-මෙඩ් වාර්තා කලේ, ඊශ්‍රායල හමුදා, රැඳවියන් සමූහ වශයෙන් ඝාතනය කිරීම් සිදු කරන බවයි. මෙම වාර්තා එක්සත් ජනපදයේ ප්‍රධාන මාධ්‍ය ආයතන විසින් සම්පූර්නයෙන්ම නොසලකා හරින ලදී. නමුත් දැන් ෂිෆා රෝහලෙන් මතුවන දර්ශන මගින් බයිඩන් පරිපාලනයේ පූර්න සහයෝගය ඇතිව ඊශ්‍රායල හමුදා විසින් රෝහල දැවැන්ත ඝාතන පිටියක් බවට පත් කල බවට එල්ල වන චෝදනා සනාථ කරයි.

400 කට අධික පිරිසක් ඝාතනය කල ෂිෆා රෝහල් සංහාරය ධවල ​​මන්දිරය ආරක්ෂා කරයි Read More »

ARON

ගාසා ජන සංහාරය හා ආරොන් බුෂ්නෙල්ගේ මරනය විසින් මතු කෙරෙන දේශපාලන පාඩම් කවරේද? –  02 වන කොටස

ඩේවිඩ් නෝර්ත් විසිනි.

පහත පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් ඈන් ආබර්හි මිචිගන් සරසවියේ “The Gaza genocide and the death of Aaron Bushnell: What are the political lessons?” නමින් පසුගිය මාර්තු 12 වන අඟහරුවාදා පැවැත්වූ දේශනයකි. එය ලෝසවෙඅ තුල ඉංග්‍රීසි බසින්  පසුගිය මාර්තු 14 දින පල විය. කොටස් දෙකකින් යුතුව පල කෙරෙන මෙම පරිවර්තනයේ පලමු කොටස theSocialist.LK හි 2024 මාර්තු 19 දින පල කෙරුනි. මේ එහි දෙවන හා අවසන් කොටසයි. සිංහල පරිවර්තනය පරාක්‍රම කුරුප්පු විසිනි. 

ආරොන්ගේ සියදිවි නසා ගැනීම සාධාරනීකරනය කිරීමට දැරෙන ප්‍රයත්න වලින් වඩාත් ම කැලඹීමක් ඇති කරන සුලු එක වන්නේ මාධ්‍යවේදී ක්‍රිස් හෙජස් ලියා ඇති, “ආරොන් බුෂ්නෙල්ගේ දිව්‍යමය ප්‍රචන්ඩත්වය” නම් මැයෙන් යුත් රචනයයි. එය Scheerpost, Consortium News හා අනෙකුත් විවිධ අන්තර්ජාල වෙබ් අඩවිවල පල වී ඇත. මෙම රචනය ආගමික ගූඪවාදයේ, මධ්‍යම පාන්තික මනෝරාජිකවාදයේ, දේශපාලන මංමුලාවේ, ඓතිහාසික මුසාකරනයේ සහ අහේතුකවාදය උත්කර්ෂයට නැංවීමේ සංකලනයකින් සමන්විත වේ.    

මෙම සියදිවි නසා ගැනීම ආගමික වාං මාලාව ඇසුරෙන් අර්ථ දක්වමින් හෙජස් සිය රචනය ආරම්භ කරන්නේ, බුෂ්නේල්ගේ මරනය “ආන්තික නපුරට එරෙහි ව ප්‍රචන්ඩත්වය අභිමුඛ කල” බව ප්‍රකාශයට පත් කරමිනි. යුද්ධයට ධාවක බලය දෙන සමාජ පන්තීන්, ආර්ථික උත්සුකයන් හා භූ දේශපාලනික මූලෝපායයන් හඳුනා ගැනීම වෙනුවට හෙජස්, තථ්‍ය සමාජ-ආර්ථික ප්‍රපංචයක් අධ්‍යාත්මික වියුක්තනයක් වන, පොදුවේ යක්‍ෂයා ලෙස ද හඳුන්වනු ලබන “ආන්තික නපුර”ට දිය කර හරියි. මෙම පදනම මත හෙජස් යුද්ධයේ වගකීමෙන් ආන්ඩු හා දේශපාලනඥයන් ද, ඔවුන් ක්‍රියාත්මක වන්නේ කිසියම් සමාජ පන්තියක අවශ්‍යතා වෙනුවෙන් නම් එකී පන්තිය ද මුදා හරිමින් එය පොදුවේ මානව වර්ගයා මත පවරයි. “ආරොන් බුෂ්නෙල් අපේ පාපයන් වෙනුවෙන් මිය ගියේයැ”යි හෙජස් ප්‍රකාශ කරයි. ඒ අනුව ගම්‍ය වන්නේ, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ, නැටෝවේ හා එහි ඊශ්‍රායල අනුචරයන්ගේ අපරාධවලට සමස්ත මානව වර්ගයා වගකිව යුතු බවයි.    

මෙසේ මෙම ගැටුම ගූඪකරනය කිරීමෙන් පසුව හෙජස්, ඇමරිකානු මිලිටරිය යහපත සඳහා බලයක් බවට පරිවර්තනය කිරීමේ ශක්‍යතාව සිත්හි මවා ගනී.

ඔහු මෙසේ අසයි:

“සාධාරන ලෝකයක එජ නාවුක බලඇනිය, ගාසාවට ආහාර, නිවාස හා ඖෂධ ලබා දීමට ඊශ්‍රායල සම්බාධක බිඳ දැමිය යුතු නොවන්නේ ද? අතොරක් නැති බෝම්බ හෙලීම් නැවැත්වීමට එජ යුද ගුවන්යානා ගාසාවට ඉහල අහසේ පියාසර තහනම් කලාපයක් ප්‍රකාශයට පත් කල යුතු නොවන්නේ ද? ගාසාවේ සිය හමුදා ඉවත් කර ගැනීමට ඊශ්‍රායලයට අවසාන නිවේදනයක් නිකුත් කල යුතු නොවන්නේ ද? ඊශ්‍රායලයට නැව් පිටින් ආයුධ යැවීම, බිලියන ගනන් යුදමය ආධාර සහ රහස් තොරතුරු ලබා දීම නැවැත්විය යුතු නොවන්නේ ද? ජන ඝාතනයේ යෙදුනු අයට මෙන් ම ඊට ආධාර කල අයට ද එයට වග කියන්නට සැලැස්විය යුතු නොවන්නේ ද? 

බුෂ්නෙල්ගේ මරනය අපට බල කරන්නේ මෙම සරල ප්‍රශ්නවලට මුහුන දීමට ය.”  

ඔහුගේ ප්‍රශ්නවලට පිලිතුරු දැක්වීම් වශයෙන් යමෙකුට හෙජස්ගෙන් මෙසේ ඇසීමට අයිතියක් ඇත: “මේ “සාධාරන ලෝකය” සාක්ෂාත් කර ගැනීම සඳහා අප යාඥා කල යුතු වන්නේ කවර දේවස්ථානයක ද? කවර සිනගෝගයක ද? කවර පල්ලියක ද?” ඔහුගේ ප්‍රශ්න “සරල” නොවේ. ඒවා හුදෙක් අභූතරූපී ය. දේශපාලන යථාර්ථය පිලිබඳ කවර හෝ වැටහීමක් ඇති කිසියම් ම හෝ බුද්ධිමත් තැනැත්තෙකු ඒවා ඇසිය යුත්තේ මන්ද? හෙජස්ගේ ප්‍රශ්නවලින් ඉදිරිපත් කෙරෙන්නේ, “නපුර”, “හොඳ” දෙයින් විස්ථාපනය කලහොත් සියල්ල යහපත් ආකාරයෙන් සිදු වන, ලිබරලුන් විසින් සිතා ගනු ලැබූ ආකාරයේ ලෝකයකි. හරය වශයෙන්, එය සියලු විරෝධතා දේශපාලනයන් හි දර්ශනයයි.    

එහෙත් ඔහුගේ ප්‍රශ්නවල කිසිත් අර්ථයක් නැත. මක්නිසාද යත්, ඉදින් හෙජස් විසින් සිතේ මවා ගන්නා ලද ආකාරයේ “සාධාරන ලෝකය”කට යුද ගුවන්යානා, පියාසර තහනම් කලාප සහ අවසාන නිවේදන ආදියේ අවශ්‍යතාවයක් තිබේ ද? හෙජස්ගේ “සරල ප්‍රශ්න”වල කවර හෝ අර්ථයක් පැවතිය හැක්කේ යමෙකු එජ අධිරාජ්‍යවාදය වෙනස් කල හැකි, හා යහපතට විභවයක් ඇති, බලයක් ලෙස සිතා ගතහොත් ය. අනෙක් අතට ඊශ්‍රායලය වටහා ගනු ලබන්නේ ශුද්ධ හා නොවෙනස්කලහැකි නපුර පහලවීමක් ලෙස ය. මෙම කල්පිතයේ ඇති ක්‍රිස්තියානි හා ආධානග්‍රාහී උපරිතානයන් පැහැදිලි ව දෘශ්‍යමාන ය.

යහසාධක එජ අධිරාජ්‍යවාදයක් සඳහා ඔහු කරන සදාචාරවාදී ආයාචනයට සහාය පිනිස හෙජස් මෙසේ කියා සිටී: “ප්‍රථම ගල්ෆ් යුද්ධයෙන් ඉක්බිති 1991 දී කුර්ද් ජාතිකයන් රැකීමට ඒකාබද්ධ හමුදා උතුරුදිග ඉරාකයට මැදිහත් වූහ.” 1991 ගල්ෆ් යුද්ධය, සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් මෙපිට ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප්‍රචන්ඩ පුපුරා හැලීමේ ආරම්භය සනිටුහන් කල බව හෙජස්ට අමතක වී ඇති සේ ය. එම යුද්ධය අතරතුර දී ලක්ෂ ගනන් ඉරාක ජාතිකයෝ මරනයට පත් වූහ. පියාසර තහනම් කලාපය ප්‍රකාශයට පත් කිරීමේ ක්‍රියාවට කුර්ද්වරුන් ආරක්ෂාව සමඟ කිසිදු සම්බන්ධයක් නොවීය. ජනාධිපති බුෂ් (ජ්‍යෙෂ්ඨ) විසින් අනුයන ලද පිලිවෙත් මුලුමනින් ම මෙහෙයවන ලද්දේ ඉරාක ආක්‍රමනය මධ්‍යයේ එක්සත් ජනපද හමුදාවේ උපායාත්මක උත්සුකයන්ගේ තක්සේරුව විසිනි.

හෙජස්ගේ රචනයේ වඩාත් ගර්හා කට යුතු කොටස් වනුයේ, බුෂ්නෙල්ගේ “ස්වයං බිලිපූජාව” “බලගතු දේශපාලන පනිවුඩයක්” ලෙස ගැනීමට පක්ෂව ඔහු උද්‍යෝගී ලෙස තර්ක කරන එකී කොටස් ය. 

ඔහු මෙසේ නිවේදනය කරයි: “එය ප්‍රේක්ෂකයා තිගස්සවා ඔහුගේ නිද්‍රාවෙන් පුබුදුවයි. එය කල්පිතයන් ප්‍රශ්න කිරීමට ප්‍රේක්ෂකයාට බල කරයි. එය ක්‍රියාකරන ලෙස ප්‍රේක්ෂකයාට කන්නලව් කරයි. එය දේශපාලන රඟහලකි. නැතහොත්, ඇතැම්විට, එහි වඩාත්ම ප්‍රබල ආකාරයෙන් කෙරෙන ආගමික පූජාවිධියකි.”  

බුෂ්නෙල්ගේ දිවි නසා ගැනීම පිලිබඳ හෙජස් ලබා දෙන අසීමිත අනුමැතිය විසින් ඔහු, හුදෙක් තරුනයාගේ මරනයට සිද්ධියෙන් පසු හවුල් වූ අපරාධ සහායකයෙකු කෙරෙනු පමනක් නොවේ; ඇත්තෙන් ම, අනාගත විරෝධතා දිවි නසා ගැනීම් සඳහා පොලඹවන්නෙකු බවට ද පත් කෙරෙයි. මෙම අනුමැතිය ගලා එන්නේ, දේශපාලන යථාර්ථය පිලිබඳ පරිපූර්නව ම සාවද්‍ය වූ සංවර්නනයකිනි. යමෙකු, හෙජස් ලියා ඇති දේ මත පදනම් ව, ආරොන් සියදිවි නසා ගත්තේ පලස්තීනුවන් සමූහ ලෙස ඝාතනය කිරීමට එරෙහි කිසිදු බහුජන විරෝධයක සේයාවක් හෝ නොපවතින, ගාසාවේ ජන සංහාරය පිලිබඳ මහජනයා කිසිත් නොතකා සිටින තතු යටතේයැයි සිතනු ඇත. ඉදින්, සාර්වභෞමික උදාසීනත්වයක එවන් තතු යටතේ සිය ජීවිතය පුදා, ගාසාවේ ජනයා පිලිබඳ කිසියම් දෘශ්‍යමාන මට්ටමක සැලකිල්ලක් පුබුදුවා ගනු වස් දැරෙන අපේක්ෂාභංග ප්‍රයත්නයක් තුල තමන් බිහිසුනු ප්‍රචන්ඩත්වයකට ගොදුරු කරනු විනා ඔහුට වෙනත් කල හැකිව තිබුනේ කුමක් ද?  

එහෙත් හෙජස් විසින් උපකල්පිත හා ගොතනු ලැබූ තතුවලට පටහැනි ලෙස, ඊශ්‍රායල ආක්‍රමනයට ලෝකයේ දස අතින් ම නැඟුනු මහජන විරෝධතාවලට මූහුන දීමට සිදු විය. ගනන් තැබිය නොහැකි තරම් පෙලපාලි පැවැත්වින. ඉන් ඇතැම් ඒවාට ලක්ෂ ගනනින් ජනයා සම්බන්ධ වූහ. බොහෝ අවස්ථාවන් හි දී යුදෙව්වන් විශාල සංඛ්‍යාවක් සැලකිය යුතු විරෝධතාවලට සහභාගී වූ බවත්, ඒවා සංවිධානය කිරීමට පවා සම්බන්ධ වූ බවත් ඊට එක් කල යුතුය.     

Rally
Jewish Voice for Peace විසින් නිව්යෝර්ක්හි සංවිධානය කරන ලද විරෝධතාවයකට දහස් ගනනක් සහභාගී වෙමින් 

විරෝධතාවල කාර්යසාධකතාව සීමා කල ගැටලුව වූයේ ගාසාවේ ජන ඝාතන පිලිබඳව මහජනයා නොතකා සිටීම නොව, එකී ජනඝාතනවලට ද, වඩාත් පුලුල් ව ගතහොත් තුන්වැනි ලෝක යුද්ධයකට හා න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට අධිරාජ්‍යවාදීන් විසින් සිදු කෙරෙන සූදානම්වීමට ද එරෙහි අරගලය පදනම් කල හැකි දේශපාලන ඉදිරි දර්ශනයක් සහ මූලෝපායයක් නොපැවතීම යි.  

විරෝධතා පැවැතී ඇත්තේ ධනේශ්වර දේශපාලනයේ පවතින ව්‍යුහයන්හි සීමාවන් තුල ය. ඒවා මෙහෙයවනු ලැබ ඇත්තේ ධනපති පාලනයට එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලනික බලමුලු ගන්වා ගැනීම දිශාවට නොව, ඒ වෙනුවට, සිය පිලිවෙත් වෙනස් කර ගන්නා ලෙස ධනපති ආන්ඩුවලට බලපෑම් කිරීමේ දිශාවට ය.    

ඇත්තෙන් ම හෙජස් විසින් සහයෝගය දෙනු ලබන දේශපාලනික දිශානතිය වන්නේ මෙයයි. ඔහු, චාරිත්‍රානුකූල සියදිවි නසා ගැනීම්වල කාර්යසාධකතාවය පිලිබඳ උදාහරන ලෙස, ඉතිහාසයේ දී ටියුනීසියාවේ, දකුනු වියට්නාමයේ හා ටිබෙටයේ සිදු කෙරුනු ස්වයං ජීවිත පූජාවන් පිලිබඳ විශේෂ අවධාරනයන් සිදු කරමින් එවැනි ඉහත සිදුවීම් පිලිබඳව සඳහන් කරයි. ඔහු සඳහන් කර ඇත්තේ, “මෙකී තනි තනි ආත්ම පූජාවන් නිරතුරුව ම, බහුජන විරෝධය කැඳවුම් කරන ඒකරාශී කිරීමේ නිමිති ලෙස ක්‍රියාත්මක වී ඇති” බවයි.   

මෙහිදී, එවැනි නාටකාකාර සිදුවීමක් විසින් විරෝධතා දල්වන ලද, හා පැවැති විරෝධතා තීව්‍ර කරන ලද අවස්ථා තිබෙන බව සත්‍යයකි. එහෙත් විධිගත ජීවිත පූජාවක් සමාජය විප්ලවවාදී ලෙස පරිවර්තනය කිරීම සඳහා වූ ඵලදායී මූලෝපායයකට සම්මාදම් වූ අවස්ථා නොමැත. ඇත්තෙන් ම, ඔහු උපුටා දක්වන අවස්ථා තුනෙන් දෙකක දී, එනම්, දකුනු වියට්නාමය හා ටිබෙටය සම්බන්ධ සිදුවීම්වල දී, ස්වයං-ජීවිත පූජා සිදු කරන ලද්දේ ප්‍රතිගාමී දේශපාලන බලවේග විසින් වන අතර, ඇමරිකානු අධිරාජ්‍යවාදය ඒවා තමාගේ ම අරමුනු වෙනුවෙන් භාවිතා කලේය.    

උදාහරනයක් ලෙස, 1963 දී තික් ක්වෑන් ඩුක් නම් බෞද්ධ භික්ෂුවගේ ප්‍රාන පූජාව විසින් ධාවිත සිදුවීම් දාමය, උතුරු වියට්නාමයට හා ජාතික විමුක්ති පෙරමුනට එරෙහි ව ඵලදායී අරගලයක් දියත් කිරීමට අසමර්ථ ලෙස (ඇමරිකාව විසින්) දක්නා ලද එවකට පැවැති ඩියෙම් තන්ත්‍රය පෙරලා දමා මිලිටරි ජුන්ටාවක් බලයට ගෙන ඒම සඳහා කෙනඩි පාලනය භාවිතා කලේය.  

Tibet

ටිබැටයේ ජීවිත පූජා සම්බන්ධයෙන් ගත් කල, ඒවා, චීනයට එරෙහි ආයුධයක් ලෙස, බෙදුම්වාදී ව්‍යාපාරයට දිරි දෙමින් සිටි වොෂින්ටනයේ උත්සුකයන්ගෙන් මඟ පෙන්වන ලද සිදුවීම් විය. මෙකී ව්‍යාපාරයේ ඉතා දුරස්තර ආකාරයෙන් හෝ ප්‍රගතිශීලී වූ කිසිවක් නොවීය. තරුන කම්කරුවෙකුගේ සියදිවි නසා ගැනීම මහජන විරෝධතා අවුලුවා ලූ ටියුනීසියාව පිලිබඳ ව සැලකු කල, ඉන් දශකයක ඇවෑමෙන්, එදා පෙරලා දමන ලද එකී පිරිස ම, විරෝධතාවල මුල් රැල්ලේ දී පෙරලා දමන ලද එම දේශපාලන බලවේග ම, යලිත් බලයට පත් ව සිටියෝය.

එහෙත් හෙජස්ට සිය උද්දාමය දරා සිටිය නොහැක. ඔහුට අනුව ස්වයං ප්‍රාන පූජාවන් යනු, “පූජාමය උත්පත්තීන් ය. ඒවා අලුත් යමක් පිලිබඳ අශුභ නිමිති දක්වයි. ඒවා, සම්මුතීන් හා බලය රජයන පර්යායයන් පිලිබඳ පරිපූර්න ප්‍රතික්ෂේපනය එහි වඩාත්ම නාටකීය ආකාරයෙන් පලකිරීම් ය.”   

මෙය අසත්‍යයකි. එබඳු ක්‍රියා ඔය කියන කිසිවක් නොවේ. අවස්ථානුකූල ව ඒවා පුද්ගලයන්ගේ වෙනසක් හෝ පවතින තන්ත්‍රයක් වෙනස් කිරීම හෝ අරමුනු කර ගත් ක්‍රියාවන් විය හැකිය. නැතහොත්  – වඩාත් සුලබ ලෙස සිදුවන්නේ මෙයයි – එමඟින් අපේක්ෂා කරන්නේ දැනට බලය දරන්නන් ලවා පවතින ප්‍රතිපත්ති වෙනස් කරවා ගැනීම විය හැකිය.  

ඒවා පවතින දේපල සම්බන්ධතා පෙරලා දමා, ධනපති රාජ්‍යය හා එහි ආයතන බිඳ හෙලා කම්කරු පන්තිය අතට බලය මාරු කිරීමේ දිශාවට දැනුවත් ව එල්ල කල ක්‍රියාවන් නොවේ.

ඊට පටහැනි ලෙස, ඉතාම මූලික අර්ථයෙන් සලකන කල්හි, විධිගත ප්‍රාන පූජාවෝ සමාජවාදයේ හා සමාජවාදී විප්ලවයේ ඉදිරි දර්ශනය සමඟ මූලිකව ම අසංගත වෙති. සමාජවාදී විප්ලවයේ වැඩ පිලිවෙල සූත්‍රගත කෙරෙන්නේ සමාජයේ සමාජ-ආර්ථික ව්‍යුහය පිලිබඳ විද්‍යාත්මක විශ්ලේෂනයක පදනම මත ය. සමාජ විප්ලවයේ මූලික ධාවක බලවේගය වන්නේ අපරිනත හා මංමුලාසහගත ප්‍රකෝපය නොව, ලෝක ධනේශ්වර පර්යායේ වෛෂයික ප්‍රතිවිරෝධයන් පිලිබඳ අවබෝධය හා, එකී ප්‍රතිවිරෝධයන් ග්‍රහනය කර ගැනීම විසින් මඟ පෙන්වනු ලබන බහුජන සමාජ ක්‍රියාකාරීත්වයයි.     

කොයිහැටියටත් හෙජස්, දේශපාලන යථාර්ථය පිලිබඳ සහේතුක වැටහීමක් ඇති කර ගැනීම ඵල රහිත ක්‍රියාවක් ලෙස බැහැර කරයි. ඔහු දේවධර්මාචාර්ය රයින්හෝල්ඩ් නීබර්ගේ “ආත්මයාගේ උත්කෘෂ්ඨ උමතුවක්” සැමරීම සහ “එවැනි උමතුවක් විනා අන් කිසිවක් මාරක බලය සහ උසස් ස්ථානවල වැජඹෙන ආධ්‍යාත්මික දුෂ්ටකම සමඟ සටන් නොකරනු ඇත” යන ඔහුගේ ප්‍රකාශය සහයට කැඳවයි. මෙය ඇත්ත වශයෙන්ම වමට නොව දකුනට පෙලගැසීමක් ප්‍රකාශයට පත් කරන දේශපාලන අතාර්කිකත්වය උත්කර්ෂයට නැංවීමක් මිස අන් කිසිවක් නොවේ. දක්ෂිනාංශික දේශපාලනය අතාර්කික මනෝභාවයන් සමඟ සමීපව පෙල ගැසී ඇති අතර, සැබෑ ලෙසම ප්‍රගතිශීලී, වාමාංශික, සමාජවාදී චින්තනය පෙල ගැසී සිටින්නේ විද්‍යාව සමග ය.

හෙජස් සිය රචනය සමාප්ත කරන්නේ පහත දැක්වෙන ප්‍රකාශයෙනි:  

“දිව්‍යමය ප්‍රචන්ඩත්වය දූෂිත සහ අපකීර්තියට පත් පාලක පන්තියක් භීතියට පත් කරයි. එය ඔවුන්ගේ දුශ්චරිතය හෙලිදරව් කරයි. සෑම කෙනෙකුම තැති ගැන්මෙන් අංශභාග වී නැති බව එයින් විදහා දැක්වෙයි. එය ආන්තික නපුරට එරෙහි ව සටන් වැදීමේ සංඥා නාද ඇමතුමකි. බුෂ්නෙල් අදහස් කලේ එයයි. ඔහුගේ පරිත්‍යාගය අපගේ යහපත්කමට ආමන්ත්‍රනය කරයි.

කරුනු නොසඟවා කිවහොත්, හෙජස්ගේ රචනය ආමන්ත්‍රනය කරන්නේ, මධ්‍යම පන්තික ව්‍යාජ-වාමවාදයේ අශුභවාදය, බුද්ධිමය බංකොලොත්භාවය සහ අත්‍යවශ්‍යයෙන්ම ප්‍රතිගාමී ස්වභාවයට ය; එනම්, පොදුවේ විශ්ව විද්‍යාල මන්ඩපවල ආධිපත්‍යය දරන දෘෂ්ටිවාදාත්මක සංකල්පවලට ය.”

1940 දී, හතරවන ජාත්‍යන්තරයේ ඇමරිකානු ශාඛාව තුල මතුව තිබූ මාක්ස්වාදී විරෝධී ප්‍රවනතාවයකට එරෙහිව අභ්‍යන්තර පක්ෂ දේශපාලන අරගලයක ගමන් මග තුල ලියොන් ට්‍රොට්ස්කි සඳහන් කලේ, ඉතිහාසයේ දැවැන්තතම සමාජ විප්ලවය – එනම්, මිහිතලය කම්පා කල සිදුවීමක් වූ, 1917 ඔක්තෝබර් මාසයේ දී රුසියානු කම්කරු පන්තිය බලය අල්ලා ගැනීම – මෙහෙයවනු ලැබුවේ, සිය ක්‍රියාකාරකම් බෝම්බ වීසි කිරීමෙන් නොව, අපෝහක භෞතිකවාදී න්‍යාය ආරක්ෂා කිරීම සහ විස්තාරනය කිරීමෙන් ආරම්භ කල පක්ෂය විසින් බවයි.

ට්‍රොට්ස්කි සඳහන් කර තිබුනේ 1860 ගනන් තරම් අතීත කාලයක දී රුසියානු ජනතාවාදීන් අධිවාචනය කල ත්‍රස්තවාදී විධික්‍රමවලට එරෙහි ව, රුසියානු මාක්ස්වාදීන් විසින් දියත් කරනු ලදුව පැවැති දීර්ඝ අරගලය පිලිබඳ ව ය. ඒ කාලයේ, රජයේ නිලධාරීන්ට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් මාක්ස්වාදීහු වාදවිවාද කලෝය. මේ වූ කලී සියදිවි නසා ගැනීමේ ක්‍රියාවට වඩා බොහෝ ආකාරවලින් වෙනස් වූ එකකි. සියදිවි නසා ගැනීම එම කාලයේ කිසිදු බැරෑරුම් දේශපාලන ප්‍රවනතාවයක පක්‍ෂපාතීත්වය දිනා ගත් ක්‍රියාවක් නොවේ. එහෙත් ත්‍රස්තවාදී ක්‍රියාවන්ට එරෙහි ව ඉදිරිපත් කෙරී ඇති තර්කවල, හෙජස් විසින් ප්‍රවර්ධනය කෙරෙන ආකාරයේ සියදිවි හානි කර ගැනීමේ “දේශපාලන රංග භූමිය” ප්‍රතික්ෂේප කිරීමට එකහෙලා අදාල වන ඇතැම් විචාරාත්මක මුඛ්‍යාංග එහි පවතී.  

මෙහි සාරාත්මක කාරනය වනුයේ, ත්‍රස්තවාදයේ දේශපාලනය විසින්, තනි පුද්ගල වීරෝදාර ක්‍රියා, කම්කරු පන්තියේ බහුජන ක්‍රියාවන් වෙනුවට ආදේශ කරනු ලැබීමයි. ත්‍රස්තවාදී ඝාතන විසින් – ඉදින් එයට බිලිවන්නේ රාජ්‍යයේ අධිපතියා වූ කල පවා – සමාජයේ රැඩිකල් පෙරලියක් ගෙන එනු ලැබීමෙහි ලා අසමත් ය. සිදුවනු ඇත්තේ එක් ප්‍රජා පීඩකයෙකු වෙනුවට තවත් ප්‍රජා පීඩකයෙකු ආදේශ වීම පමනෙකි. තව ද, මහජනයාගේ දේශපාලන විඥානය ඉහල දැමීම වෙනුවට ත්‍රස්තවාදී ක්‍රියාවලින් සිදු කෙරෙන්නේ ඔවුන්, ඝාතකයන් හා පොලිස් අධිකාරීන් අතර ගැටුම නිරීක්ෂනය කරන අකර්මන්‍ය නරඹන්නන්ගේ මට්ටමට පහත හෙලීමයි.   

දෙවැනි ලෝක යුද්ධය අද්දර දී, 1938 නොවැම්බරයේ, සිදු වූ කනගාටුදායක සිදුවීමක් සිහිපත් කරමින් මම මෙම දේශනය සමාප්ත කරමි.

පෝලන්තයේ දී උපත ලබා පැරීසියේ ජීවත් වූ හර්ෂෙල් ග්‍රයින්ස්පෑන් නම් 17 හැවිරිදි යුදෙව් සංක්‍රමනික තරුනයෙක් ජර්මන් තානාපති කාර්යාලයේ දී අර්න්ස්ට් වොම් රත් නම් නාසි රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ඝාතනය කලේය. ප්‍රවේශමෙන් සූදානම් කල ක්‍රියාවක් නොවූ මෙම ඝාතනය පිලිබඳ ව ඉන් ඉක්බිති පැවැති විභාගයේ දී පෙන්නුම් කෙරුනේ, නාසීන් විසින් යුදෙව්වන්ට තාඩන පීඩන පමුනුවනු ලැබීම සහ තමාගේ ම පවුලේ අයට පත් පීඩාවන් නිසා සාහසික වූ ග්‍රයින්ස්පෑන් පලි ගැනීමේ අරමුනින් ජර්මන් තානාපති කාර්යාලයට ගිය බවයි. ඔහු සිය ඉලක්කය ලෙස කිසියම් නිශ්චිත පුද්ගලයෙකු තෝරා ගෙන නො සිටියේ ය. ඔහුට දේශපාලන අත්දැකීම් කිසිත් නො තිබින. ග්‍රයින්ස්පෑන් තමන්ට මුන ගැසුනු ප්‍රථම නිලධාරියාට වෙඩි තැබීය. වොම් රත්ගේ අවාසනාවට එම තැනැත්තා වූයේ ඔහු ය.      

Germany

මෙම ඝාතනයේ දුරදිග යන සහ අපකීර්තිමත් පසුවිපාක පැවතින. මෙම ඝාතනය ජර්මානු යුදෙව්වන්ට එරෙහි ප්‍රහාර ප්‍රචන්ඩ ලෙස උත්සන්න කිරීම සඳහා භාවිතා කිරීමට හිට්ලර්ගේ තන්ත්‍රය තීරනය කලේය. 1938 නොවැම්බර් 9 දින සිදු වූ වොම් රත්ගේ මරනයෙන් පැය ගනනක් ඇතුලත නාසීහු, පසුකලෙක ක්‍රිස්ටල්නොට් (බිඳුනු වීදුරුවල රාත්‍රිය) නමින් හඳුන්වන ලද, යුදෙව්-විරෝධී වාර්ගික සංහාරය දියත් කලෝය.

වහා අත්අඩංගුවට ගනු ලැබ තිබු ග්‍රයින්ස්පෑන් කෝපාවිෂ්ට හෙලාදැකීම් වලට පාත්‍ර විය. මෙම හෙලාදැකීම් ගලා ආවේ හුදෙක් ෆැසිස්ට්වාදීන් වෙතින් පමනක් නොවේ. ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ සහාය ලද “වාම” මහජන පෙරමුනු ආන්ඩුව ද, ප්‍රංශය හා ජර්මනිය අතර සම්බන්ධතාවලට වල කපමින් වමේ ආන්ඩුව දුර්වල කිරීම සම්බන්ධයෙන් යොවුන් තරුනයා හෙලා දුටුවේය.

ග්‍රයින්ස්පෑන්ගේ ආරක්ෂාව සඳහා පැන නැඟුනු එක ම හඬ වූයේ, ලියොන් ට්‍රොට්ස්කි හා ප්‍රංශයේ සිටි ඔහුගේ ආධාරකරුවන් නැඟූ හඬ ය. එහෙත් ට්‍රොට්ස්කි, විභූතිමත් ලිපියකින් තරුනයා විසින් තෝරා ගන්නා ලද ත්‍රස්තවාදී විධික්‍රමය පිලිබඳ සිය ප්‍රතික්ෂේපය පැහැදිලි ලෙස දක්වන අතරතුර ම, ග්‍රයින්ස්පෑන්ගේ වධකයන්ට එරෙහි ව ඔහු ආරක්ෂා කලේය. ඔහු ප්‍රතිචාර දක්වමින් සිටියේ සියදිවි නසා ගැනීමකට නොව ෆැසිස්ට් නිලධාරියෙකුට එරෙහිව සිදු කර තිබූ දේශපාලන ඝාතනයකට ය. එහෙත් ග්‍රයින්ස්පෑන්ට තමාගේ ම ජීවිතය අහිමි කල ඔහුගේ ක්‍රියාව පිලිබඳ ට්‍රොට්ස්කිගේ විවේචනය (අපේ විෂය කරුනට) ඉමහත් අදාලත්වයක් දරයි. ෆැසිස්ට්වාදයේ නියෝජිතයා කෙරේ යෞවනයා තුල පැවැති වෛරය හා ඔහුට හැඟුනු අපේක්ෂා භංගත්වය ට්‍රොට්ස්කි වටහා ගත්තේය.     

එහෙත්, ග්‍රයින්ස්පෑන්ගේ ක්‍රියාව තරුනයන් විසින් අනුකරනය කරනු ලැබීමට එරෙහිව තරුනයන්ට තරයේ උපදෙස් දීමට විප්ලවවාදී නායකයෙකු ලෙස තමන්ට පැවරී ඇති වගකීම ට්‍රොට්ස්කි හඳුනා ගත්තේය. ඔහු මෙසේ ලිවූ අතර, මෙම ලේඛනය එය බිහි වූ කාලයේ බිහි වූ අසමසම ලේඛනයකි:

“ඔහු අනුගමනය කල ක්‍රමය සම්බන්ධයෙන් එසේ කිව නොහැකි නමුත්, හුදු සදාචාරාත්මක අර්ථයෙන් ගත් කල ග්‍රයින්ස්පෑන් සෑම තරුන විප්ලවවාදියෙකුටම ආදර්ශයක් විය හැක. ග්‍රයින්ස්පෑන් සමඟ අපගේ විවෘත සදාචාරාත්මක සහයෝගීතාවය, ඒකාධිපත්‍යයට සහ මෘග භාවයට එරෙහි අරගලය තුල ස්වයං පරිත්‍යාගයෙහි සමත් ග්‍රයින්ස්පෑන් කෙනෙකු විය හැකි සැමට මෙසේ කීමට අමතර අයිතියක් අපට ලබා දෙයි: වෙනත් මාවතක් සොයන්න! පන්ති සූරාකෑමේ, ජාතික පීඩනයේ සහ වාර්ගික පීඩාවන්හි සමස්ත ව්‍යුහයේ කිසිදු ශේෂයක් ඉතිරි නොකරන ව්‍යාපාරයක් වන පීඩිතයන් නිදහස් කල හැක්කේ, හුදකලා පලිගන්නාට නොව මහා විප්ලවවාදී මහජන ව්‍යාපාරයකට පමනි. ෆැසිස්ට්වාදයේ පෙර නොවූ විරූ අපරාධ, මුලුමනින් ම යුක්ති සහගත වන පලිගැනීමේ ආශාවක් ඇති කරයි. එහෙත් ඔවුන්ගේ අපරාධවල විෂය පථය කෙතරම් බිහිසුනු ද යත්, හුදකලා ෆැසිස්ට් නිලධරයන් ඝාතනය කිරීමෙන් මෙම ආශාව තෘප්තිමත් කළ නොහැක. ඒ සඳහා මුළු ලොව පුරා පීඩිතයන්; මිලියන ගනන්, දශ මිලියන සහ සියක් මිලියන ගනන් ජනයා; ක්‍රියාකාරීත්වයට කැඳවමින්, පැරනි සමාජයේ බලකොටුවලට පහර දීමට ඔවුන් මෙහෙයවීම අවශ්‍ය වේ. මහජන කෝපයට සැබෑ තෘප්තිය ලබා දිය හැක්කේ සියලු ආකාරයන්හි වහල්භාවය පෙරලා දැමීමෙන් පමනෙකි, ෆැසිස්ට්වාදයේ පරිපූර්න විනාශයෙන් ම පමනෙකි, ජනයා වර්තමාන කොල්ලකරුවන් සහ මැර කල්ලි සම්බන්ධයෙන් නිර්දය විනිශ්චයක් සඳහා විනිශ්චයාසනය අරා හිඳීමෙන් පමනෙකි. නිරවද්‍ය ලෙස ම, හතරවන ජාත්‍යන්තරය තමා සඳහා නියම කර ගෙන ඇති කර්තව්‍යය වන්නේ මෙයයි. එය ස්ටැලින්වාදයේ වසංගතයෙන් කම්කරු ව්‍යාපාරය පිරිසිදු කරනු ඇත. එය තරුනයන්ගේ වීරෝදාර පරපුර තම පෙල තුල ඒකරාශී කරනු ඇත. එය වඩාත් වටිනා සහ වඩාත් මානුෂීය අනාගතයකට මාවතක් කපා සකසනු ඇත.”

Fi
ලියොන් ට්‍රොට්ස්කි 

මෙම වචන අපේ ම යුගය තුල නින්නාද දෙයි. අවස්ථානුකූල ව වෙනස් කල යුතු දෑ වෙනස් කර ගත් කල එම වචන ආරොන් බුෂ්නෙල්ගේ ඛේදජනක මරනයෙන් උකහා ගත යුතු දේශපාලන පාඩම් බලගතු ලෙස පිඬු කොට දක්වයි. 

ඔබට; ඇත්තෙන් ම සටන් කිරීමට අවශ්‍ය, දිනපතා අප දකින දෙයින් කෝපයට හා තැති ගැනීමට පත් වී සිටින, මේ අප කතා කරන මොහොතේ පවා ගාසා තීරයේ කුඩා දරුවන් සහ ලදරුවන් පවා මිය යන බව, ජල බිඳක් පානය කිරීමට අවසර නැති බව, ආහාර නො ලැබෙන බව, අතිශය අමානුෂික තතු යටතේ වැඩ කරන බව වටහාගෙන සිටින, එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා මෙම ක්‍රියාවන් යුක්ති සහගත කරමින් නො නැවතී, “හරි, ගාසා වැසියන් තවත් 30,000 ක් මිය යාමට අප ඉඩ දිය යුතු නැත. ඇතැම් විට, තවත් 5,000 ක් විය හැකියි. නැතහොත් තවත් 10,000 ක් හෝ 15,000 ක් විය හැකියි; එහෙත් එය 30,000 ක් විය නොහැකියි” – බයිඩන්ට පවා එය පමනට වැඩි ගනනකි – ලෙස ද පවසන බව අසන ඔබ; 

ඔබ දකින දෙය පිලිකුල් කරන ඔබ, එයින් උකහා ගැනීමට යන දේශපාලන නිගමන මොනවාද? මෙම තතු අවසානයක් කර දැමීමට අවශ්‍ය වන්නේ කුමක්ද? අවශ්‍ය වන්නේ තනි පුද්ගල පලි ගැනීමේ ක්‍රියාවන් නොවේ; පෞද්ගලික ආත්ම පරිත්‍යාගී ක්‍රියාවන් නොවේ; ඇත්තෙන් ම අවශ්‍ය කෙරෙන්නේ, ධනේශ්වර නිෂ්පාදනයේ සමස්ත ක්‍රියාවලිය තුල තම වෛෂයික භූමිකාව, නිෂ්පාදන බලවේගයන් තුල සිය පිහිටීම, සිය ආර්ථික ශක්තියේ විභවය හා සිය ලෝක ගෝලීය ස්වභාවය මඟින් ධනවාදය දන ගැස්වීමේ හා යුදවාදයේ පදනම් ම විනාශ කර දැමීමේ හැකියාව හා බලය සැබැවින්ම අත දරන එකම සමාජ බලවේගය වෙත හැරීමකි. 

අපේ පක්ෂය එහි කර්තව්‍යය බවට පත් කර ගෙන සිටින්නේ, ලෝක සමාජවාදී වෙබ් අඩවිය ප්‍රකාශනය කිරීම හරහා, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානයේ ක්‍රියාකාරකම් හරහා, සහ එක්සත් ජනපදයේ ජනාධිපතිවරනයේ සමාජවාදී සමානතා පක්ෂයේ අපේක්ෂකයන් ලෙස ජනාධිපති ධුරයට ජෝසප් කිෂෝර්ගේ ද, උප ජනාධිපති ධුරයට ජෙරී වයිට්ගේ ද වත්මන් අපේක්ෂකත්වය හරහා අප සිදු කිරීමට අපේක්ෂා කරන්නේ එයයි. අප මෙම ජනාධිපතිවරන ව්‍යාපාරය භාවිතා කරන්නේ දිග හැරෙනු ඇති, හා දිග හැරිය යුතු අරගල සඳහා කම්කරුවන්, තරුනයන් හා ශිෂ්‍යයන්ට අධ්‍යාපනය දීමට හා ඔවුන් දේශපාලනික ව සූදානම් කිරීමට, කම්කරු පන්ති අරගලවලට සහභාගී වීමෙහි හා ඒවාට නායකත්වය දීමෙහි හැකියාව ඔවුන්ට ලබා දීමට,  සහ එලඹෙන එකී බලගතු ව්‍යාපාරයට සැබෑ විප්ලවවාදී ඉදිරිදර්ශනයක් ලබා දීමට ය.

එබැවින්, ඔබේ කෝපය සහ සාහසිකත්වය ඵලදායී දේශපාලන ක්‍රියාවක් බවට පරිවර්තනය කරන්න; මාක්ස්වාදී න්‍යාය ප්‍රගුන කිරීමට, ඉතිහාසයේ පාඩම් හැදෑරීමට, පසුගිය සියවසේ මහා විප්ලවවාදී අරගල සමඟ හුරුපුරුදු වීමට අධිෂ්ඨානය බවට එය පත් කර ගන්න.

එමෙන් ම – මේ කොටස මා කියන්නේ කිසියම් හදිසි භාවයකින් යුතුව ය. මක්නිසාද යත්, වැඩිමනත් කාලයක් ඉතිරි වී නැති හෙයිනි – ඔබ නිතිපතා ප්‍රවෘත්ති බලන්නෙහි නම්, යුක්‍රේනය තුල නැටෝ මැදිහත්වීම ගැන සක්‍රිය සාකච්ඡා පවතී. බයිඩන් සහ නැටෝවේ ඔහුගේ සගයෝ හා සහ-කුමන්ත්‍රනකරුවෝ න්‍යෂ්ඨික යුද්ධයක අන්තරාය සමඟ රුසියානු රූලට් ක්‍රීඩාවේ (තරඟකරුවෙකුගේ මරනයෙන් කෙලවර විය හැකි බිහිසුනු ක්‍රීඩාවකි – ප.) යෙදෙති. කොවිඩ් වසංගතය කෙරේ දැක්වූ ආකල්පය තුලත්, ඇමරිකාවේ ලෝක ගෝලීය මූලෝපායික උත්සුකයන් හඹා යාම වෙනුවෙන් යුක්‍රේන වැසියන් ලක්ෂ ගනනකගේ ජීවිත බිලි දීමට ඔවුන් ක්‍රියා කල ආකාරය තුලත්, න්‍යෂ්ඨික අවි භාවිතය යුද ගැටුම් සඳහා පිලිගත හැකි භාවිතයක් ලෙස සැලකීම තුලත් ඔවුහු මහා පරිමාන ජීවිත විනාශයක ඉඩකඩ පිලිබඳ ස්වකීය නොතැකීම විදහා දක්වා ඇත්තාහ. 

අපි විශාල දේශපාලන ප්‍රශ්න සහ අභියෝගවලට මුහුන දී සිටිමු. ඒවා විසඳිය හැකිය. එහෙත් ඒවා විසඳීමට නම් අප විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගිය යුතුය. මෙම පක්ෂය කම්කරු පන්තියේ මහා ජනතාවගේ පක්ෂපාතීත්වය දිනාගත යුතුය. ආරොන් බුෂ්නෙල්ගේ මරනයෙන් සහ අපේ කාලයේ අර්බුදය පිලිබඳ අපේ සමවබෝධයෙන් අප උකහා ගත යුතු මූලික, ආවශ්‍යක පාඩම වන්නේ එයයි.

  1. “2004 හා 2009 අතර එජ සෙබලුන් අතර සියදිවි නසා ගැනීම් අනුපාත දෙගුන වූ බව පර්යේෂනයකින් පෙන්වා දෙයි.” BMJ හි 2014 මාර්තු 6 දින පල විය.  
  2. Journal of Affective Disorders, 148 වෙලුම (2013), 37-41.
  3. “Theses on Feuerbach”, මාක්ස්-එංගල්ස් එකතු කල කෘති (ඉංග්‍රීසි), වෙලුම 5 (නිව්යෝර්ක්: International Publishers, 1976), පි. 7
  4. E. A. ප්‍රියොබ්‍රෙසන්ස්කි, The Preobrazhensky Papers, Documents and Materials, වෙලුම 1: 1886-1920, සංස්කරනය: රිචඩ් ඩේ සහ මිඛායෙල් M. ගොරිනොව්, ඉංග්‍රීසි පරිවර්තනය: රිචඩ් ඩේ [චිකාගෝ: Haymarket Books, 2015], පි. 243-44

ගාසා ජන සංහාරය හා ආරොන් බුෂ්නෙල්ගේ මරනය විසින් මතු කෙරෙන දේශපාලන පාඩම් කවරේද? –  02 වන කොටස Read More »

Gzafood

පලස්තීන ප්‍රශ්නයට අධිරාජ්‍යවාදයේ “අවසාන විසඳුම”

මෙහි පලවන්නේ 2024 මාර්තු 18 දින ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පල වූ ‘Imperialism’s “final solution” to the Palestinian question” යන සිරසින් යුතු ලෝසවෙඅ කර්තෘ මන්ඩල ප්‍රකාශයේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි

Gzafood
2024 පෙබරවාරි 25, ඉරිදා, ගාසා නගරයේ, ගාසා තීරයේ වෙරල තීරයේ සාගින්නෙන් පෙලෙන පලස්තීනුවන් දහස් ගනනක් මානුෂීය ආධාර ලබා ගැනීම සඳහා බලා සිටිති. [AP Photo/Mahmoud Essa]

රෆා වෙත එල්ල වන ප්‍රහාරය ගැන සාකච්ඡා කිරීම, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් වොෂින්ටනයට “නිලධාරී කන්ඩායමක්” එවීමට එකඟ වී ඇති බවට ධවල මන්දිරය විසින් සඳුදා ප්‍රකාශ කිරීම මගින් එජ අධිරාජ්‍යවාදය පලස්තීනුවන්ට එරෙහි ජන සංහාරයේ සෘජු කොටස්කරුවෙකු බව යලිත් ඔප්පු කරයි. ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කලේ මෙම රැස්වීම ඉදිරි දිනවලදී පැවැත්වෙන අතර ඊට “හමුදා, බුද්ධි අංශ සහ මානුෂීය විශේෂඥයින්” ඇතුලත් වන බවයි. එම කරුන, මෙම සාකච්ඡාවට ලක්වනු ඇත්තේ රෆා හි සිරවී සිටින මිලියන 1.5ක පලස්තීනුවන් මත ලේ වැකි ප්‍රහාරයක් එල්ල කරන්නේ කෙසේද යන්න පිලිබඳව බවට  නොවරදින සලකුනක් වේ.

රැස්වීම පිලිබඳ පුවත පැමිනියේ, කුමන මට්ටමේ ජාත්‍යන්තර පීඩනයක් එල්ල කලත්, ගාසා තීරයේ පලස්තීනුවන්ට ඉතිරිව ඇති අවසාන රැකවරනස්ථානයට පහර දීමෙන් තම ෆැසිස්ට්මය ආන්ඩුව   වලකින්නේ නැති බවට, ඊශ්‍රායල යුද කැබිනට් රැස්වීමකදී නෙතන්යාහු ප්‍රතිඥා දීමෙන් දිනකට පසුවය. “අපි රෆා හි ක්‍රියාත්මක වන්නෙමු, මෙයට සති කිහිපයක් ගතවනු ඇත, එමෙන්ම එය සිදුවනු ඇත” නෙතන්යාහු පැවසීය. “ඊට ප්‍රතිචාර වශයෙන්, ජනාධිපති ජෝ බයිඩන් සඳුදා නෙතන්යාහු සමඟ කතා කලේ ඊශ්‍රායලයට ඔහුගේ පරිපාලනයේ සහයෝගය යලි තහවුරු කිරීමට ය.

නෙතන්යාහුගේ ම්ලේච්ඡ අභිප්‍රායන් අවධාරනය කරමින්, ජන සංහාරය දියත් කරන තෙක්  ගාසා තීරයේ විශාලතම වෛද්‍ය මධ්‍යස්ථානය වූ අල්-ෂිෆා රෝහල වෙත, සදුදා ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) විසින්  ම්ලේච්ඡ කඩා වැදීමක් සිදු කරන ලදී. මෙම ගොඩනැගිල්ලට කඩා වැදීමෙන් දුසිම් ගනනක් මිය ගිය අතර අවම වශයෙන් 200 ක පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

වොෂින්ටනයේ අධිරාජ්‍යවාදී යුද අපරාධකරුවන් ඔවුන්ගේ ෆැසිස්ට් ඊශ්‍රායල සහචරයින් සමඟ අසුන්ගෙන රෆාහි විනාශය ගැන සාකච්ඡා කරනු ඇත්තේ, ගසා තීරයේ පුලුල් බිම් කඩවල් හරහා ව්‍යසනකාරී සාගතයක් මතුවීම මධ්‍යයේ ය. සඳුදා නිකුත් කරන ලද එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ ආධාර සංවිධාන දුසිමක් විසින් නිෂ්පාදනය කරන ලද ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා අදියර වර්ගීකරන වාර්තාවක් සොයාගත්තේ උතුරු ගාසා තීරයේ ඉතිරිව සිටින සියලුම පදිංචිකරුවන්ගෙන් සියයට 70ක් “ව්‍යසනකාරී” කුසගින්නෙන් පෙලෙන බවත් දුර්භීක්ෂය “වහා සිදුවෙන්නට යන” බවත්ය. මේ මොහොතේ  සිට මැයි දක්වා ඕනෑම වේලාවක, උතුරේ  දුර්භීක්ෂය ඇතිවිය හැකි බවත්, රෆා (Rafah) වෙත එල්ල කරන ප්‍රහාරයක්  දකුනටද දුර්භීක්ෂය ගෙන එනු ඇති බවත් වාර්තාව අනතුරු ඇඟවීය. 

 “අද ලෝකයේ සාගතයට මුහුන දෙන විශාලතම මිනිසුන් සංඛ්‍යාව මෙයයි,” වාර්තාව ප්‍රකාශ කලේය. දුර්භීක්ෂය යනු, ජනගහනයෙන් සියයට 20ක් අධික ආහාර හිඟයකින් පෙලෙන, දරුවන්ගෙන් සියයට 30ක් උග්‍ර මන්දපෝෂනයෙන් පෙලෙන, වැඩිහිටියන් 10,000කින් දෙදෙනෙකු කුසගින්නෙන් දිනකට මියයන තත්වය සේ අර්ථ දක්වා ඇත.

අධිරාජ්‍යවාදී බලවතුන් මෙම මානුෂීය ව්‍යසනය ගැන නිකම්ම උදාසීන වනවා පමනක් නොවේ; ඔවුන් එය යථාවත් බවට පත් කලවුන්ය. ගාසා තීරයේ යටිතල පහසුකම් ක්‍රමානුකූලව විනාශ කිරීම සහ එහි ජනගහනයෙන් සියයට 80ක් බලහත්කාරයෙන් අවතැන් කිරීම සිදු කර ඇත්තේ වොෂින්ටනයේ සිට ටෙල් අවිව් වෙත දශක ගනනාවක් තිස්සේ ගලා ආ ඩොලර් බිලියන 3කට අධික වාර්ෂික ආධාර වලට  මත්තෙන්, එක්සත් ජනපදය හා එහි යුරෝපීය සහචරයින් විසින් සපයන ලද ආයුධ මගිනි. ආහාර, වෛද්‍ය සැපයුම්, විදුලිය, ජලය සහ ඉන්ධන හිතාමතාම අවහිර කිරීම දැඩි ලෙස බලාත්මක කර කලේ, කලාපයේ අධිරාජ්‍යවාදයට සමීපතම බැඳීම් ඇති පාලන තන්ත්‍ර දෙක වන ඊශ්‍රායලය සහ ඊජිප්තුව විසිනි. පසුගිය ඉරිදා යුරෝපීය සංගමය, ඊජිප්තු විප්ලවයේ ඝාතකයා සහ ගාසාවේ පලස්තීනුවන්ගේ සාගතයේ හවුල්කරුවා වන ඊජිප්තු ආඥාදායක අබ්දෙල් ෆටා අල්-සිසි සමඟ දේශසීමා ආරක්ෂාව ශක්තිමත් කිරීමට සහ ආර්ථික ආයෝජන පුලුල් කිරීමට යුරෝ බිලියන 7 ක ගිවිසුමක් සමාප්ත කලේය.

අනාරක්ෂිත පිරිමින්, කාන්තාවන් සහ ලමුන් සමූල ඝාතනය කිරීම ආරම්භයේ සිටම ඊශ්‍රායලය විසින් විවෘතව ප්‍රකාශ කරන ලද ප්‍රතිපත්තියක් විය. ප්‍රහාරයේ මුල් දිනවල, ආරක්ෂක අමාත්‍ය යොආව් ගැලන්ට් , පලස්තීනුවන් “මිනිස් සතුන්” ලෙස විස්තර කල අතර , ඊට තර්ජනාත්මක එකතු කලේ ඊශ්‍රායලය ඒ අනුව ක්‍රියා කරන බවයි. නෙතන්යාහු ඇතුලු බොහෝ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේඅවසාන ඉලක්කය, ගාසා තීරයේ පදිංචිකරුවන් ඝාතනය කිරීම හෝ බලහත්කාරයෙන් නෙරපා හැරීම හරහා එය  ජනහරනය කිරීම බවයි. නොවැම්බරයේදී, ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ හිටපු ප්‍රධානියා වූ ගිඕරා අයිලන්ඩ්  විසින් සාගින්න සහ රෝග යුද අවි ලෙස භාවිතා කිරීම සඳහා වූ ඉල්ලීමක් ප්‍රකාශයට පත් කරන ලදී. “ගාසා තීරයේ මානුෂීය ව්‍යසනයක් සහ දරුනු වසංගත ගැන ජාත්‍යන්තර ප්‍රජාව අපට අනතුරු අඟවයි. එය කොතරම් දුෂ්කර වුවත් අප මෙයින් පසුබට නොවිය යුතුය. අවසානයේ , දකුනු ගාසා තීරයේ දරුනු වසංගත මගින්  ජයග්‍රහනය වඩාත් සමීප කර IDF සොල්දාදුවන් අතර ජීවිත හානි අවම කරනු ඇත, ”ඔහු ලිවීය. 

මෙවැනි අසීමිත ම්ලේච්ඡත්වය නැවැත්වීම සඳහා ඇමරිකානු අධිරාජ්‍යවාදයට ක්‍රියා කල හැකි යැයි සිතන අය තමන්වම රවටා ගනිමින් සිටිති. ඉවක්බවක් නොමැතිව සිදු කරන බෝම්බ  ප්‍රහාර හරහා සිවිල් වැසියන් සමූල ඝාතනය කිරීම සහ මිනිස් ජීවිතයට අත්‍යවශ්‍ය මූලික අවශ්‍යතා අත්හිටුවීමෙන් ඔවුන් සාගතයට ලක් කිරීම, සියොන්වාදී පාලන තන්ත්‍රයේ බංකොලොත්භාවයේ සහ දශක ගනනාවක් තිස්සේ පලස්තීන භූමි ප්‍රදේශය නීතිවිරෝධී ලෙස අත්පත් කර ගැනීමේ නිෂ්පාදන පමනක් නොවේ. මනුෂ්‍යත්වයට එරෙහි එවන් අපරාධ පැන නගින්නේ දශක තුනකට අධික කාලයක් තිස්සේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදී නායකත්වයෙන් යුත් අඛන්ඩ ආක්‍රමනකාරී යුද්ධ මගින් වොෂින්ටනය, සමස්ත සමාජයන්ම මිලිටරි බලය අනුකම්පා විරහිතව යොදා කුඩු පට්ටම් කිරීමෙන්  එහි වේගවත් ආර්ථික පරිහානිය සමනය කිරීමට ගත් උත්සාහයේදීය.

පසුගිය දශක තුනහමාරක කාලය තුල ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් සිදු කරන ලද ම්ලේච්ඡ අපරාධ ලේඛනගත කිරීමට නොහැකි තරම් විශාලය. පලමු ගල්ෆ් යුද්ධයේදී ඉරාක සිවිල් වැසියන් සහ දුර්වල ලෙස සන්නද්ධ අනිවාර්ය ලෙස බඳවාගත්  හමුදා සෙබලුන්ගේ (conscript soldiers) රුධිර ස්නානයේ සිට, 1999 දී යුගෝස්ලාවියාවට එරෙහි නේටෝවේ ම්ලේච්ඡ ගුවන් යුද්ධය දක්වාද, 2001 සිට ඇෆ්ගනිස්ථානයේ නව යටත් විජිත ආක්‍රමනය, 2003 දී ඉරාකය නීති විරෝධී ආක්‍රමනය කිරීම, 2011 දී නේටෝව විසින් ලිබියාව විනාශ කිරීම, සහ 2014 දී සිරියාවේ ලේ වැකි මැදිහත්වීම, ලෙස ඇමරිකානු අධිරාජ්‍යවාදයට ලොව පුරා දරිද්‍රතාවයට පත් සහ පීඩිත ජනයා ම්ලේච්ඡත්වයට පත් කිරීම සම්බන්ධයෙන් අසමසම වාර්තාවක් ඇත. මෙම මෙහෙයුම් බොහොමයක ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කල ජනාධිපති බයිඩන්, රෆා (Rafah) ප්‍රහාරය පිලිබඳ සාකච්ඡා අධීක්ෂනය කරනු ඇත.

ලෝකය නැවත බෙදීමක යෙදී සිටින මහා බලවතුන් අතර වර්ධනය වෙමින් පවතින තුන්වන ලෝක යුද්ධයත් සමඟ මෙම ම්ලේච්ඡත්වය දැන් නව අදියරකට පැමින තිබේ. රුසියාවේ අමුද්‍රව්‍ය සහ යුරේසියානු භූ ස්කන්ධය මත තම ආධිපත්‍යය තහවුරු කර ගැනීම සඳහා යුක්‍රේනියානුවන් මිලියන භාගයකට වඩා කැමැත්තෙන්ම බිලි දී ඇති එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදීන්, යුක්‍රේනයේ රුසියාවට එරෙහිව යුද්ධයක් දියත් කර තිබේ. ඔවුන් රුසියාව සමඟ යුද්ධය තීව්‍ර කරමින් චීනය සමඟ යුද්ධයට සූදානම් වෙමින් සිටින්නේ පෘථිවියේ මානව ශිෂ්ටාචාරයේ අවසානය සනිටුහන් කරන න්‍යෂ්ටික අග්නි ජාලාවක් අවුලුවාලීමේ අවදානම මැද ය. එක්සත් ජනපද පාලක පන්තිය තම කලාපීය ආධිපත්‍යයට බාධාවක් ලෙස සලකන ඉරානයට මුහුන දීම සඳහා, කලාපීය වශයෙන් මැද පෙරදිග පුරා ගැටුම   තීව්‍ර කිරීම සඳහා වේදිකාව සකසා ගැනීමට  පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායලයේ ජන සංහාරය ද වොෂින්ටනය විසින් ග්‍රහනය කර ගෙන ඇත.

බැලූ බැල්මට උමතු ලෙස පෙනෙන මෙම පිලිවෙත් මුල් බැස ඇත්තේ අර්බුද-ග්‍රස්ත ධනවාදයේ ප්‍රතිවිරෝධතා තුල වන අතර එයට ලෝක යුද්ධයේ ක්‍රියාමාර්ගය හැර අධිරාජ්‍යවාදීන්ට වෙනත් පිලිතුරක් නැත. 20 වන ශතවර්ෂයේ නාසි පාලනය යටතේ ජර්මානු අධිරාජ්‍යවාදය තම ආර්ථික හා භූ මූලෝපායික අභිලාෂයන් ඉදිරියට ගෙන යාම සඳහා යුරෝපීය යුදෙව්වන් සමූලඝාතනය කිරීම අවශ්‍ය බව දුටුවා සේම, පලස්තීන ප්‍රශ්නයට “අවසාන විසඳුම” අවශ්‍ය බව ඇමරිකානු සහ යුරෝපීය අධිරාජ්‍යවාදය 21 ශත වර්ෂයේ දී  නිගමනය කර ඇත. 

ලෝක සමාජවාදී වෙබ් අඩවිය එහි අලුත් අවුරුදු ප්‍රකාශයේ පැහැදිලි කර ඇති පරිදි:

ගාසා ජන සංහාරය අසමසම කථාංගයක් නොවේ, එය වඩාත් හොඳින් වටහා ගත හැක්කේ ඊශ්‍රායල-පලස්තීන ගැටුමට සම්බන්ධ සුවිශේෂිත තත්වයන් සහ සියොන්වාදී ව්‍යාපෘතියේ සහජයෙන්ම ප්‍රතිගාමී ස්වභාවයේ සහ එහි වාර්ගික සහ විජාතික භීතික-ජාතිකවාදී දෘෂ්ටිවාදයේ නිෂ්පාදනයක් ලෙස ය. අවසාන සාධකය, ඇත්ත වශයෙන්ම, ඊශ්‍රායල පාලන තන්ත්‍රයේ ක්‍රියාවන්හි සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි. එහෙත් එහි අධිරාජ්‍යවාදී මූල්‍යධාර සැපයුම්කරුවන්ගේ සහ ආයුධ සැපයුම්කරුවන්ගේ පූර්න සහයෝගය ඇතිව සිදු කරන  වත්මන් යුද්ධයේ අසීමිත රුදුරු බව තේරුම් ගත හැක්කේ සහ පැහැදිලි කල හැක්කේ ලෝක අධිරාජ්‍යවාදී හා ජාතික රාජ්‍ය පද්ධතියේ බිඳවැටීමේ සන්දර්භය තුල පමනි.

අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වය නිපදවන එම අර්බුදයම එය පෙරලා දැමීමේ කොන්දේසි ද නිර්මානය කරයි. කප්පාදු පිලිවෙත් වලට එරෙහිව කම්කරුවන්ගේ අරගල සහ ඔවුන්ගේ ජීවන තත්වයන්ට එල්ල කරන ප්‍රහාර සියලු ප්‍රධාන අධිරාජ්‍යවාදී මධ්‍යස්ථාන තුල තීව්‍ර වන තතු තුල ගාසා ජන සංහාරයට එරෙහි මහජන විරෝධතා ලොව පුරා පැතිර ගොස් ඇත.

කම්කරු පන්තිය ඉදිරියේ ඇති හදිසි කර්තව්‍යය වන්නේ ගාසා ජන සංහාරයට එරෙහි අරගලය අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය බව හඳුනා ගැනීමයි. 20 වැනි සියවසේ මුල් දශක හතරෙන් පසුව  නොදුටු ආකාරයේ ම්ලේච්ඡත්වයට සහ අවනීතියට පාලක පන්තිය හැරී ගැනිම  සඳහා පිලිතුරු දිය හැක්කේ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක පදනම මත පමනි. මෑත මාසවල ලොව පුරා ජන සංහාරයට එරෙහිව විරෝධතා දැක්වූ මිලියන සංඛ්‍යාත කම්කරුවන් හා තරුනයින් ලෝක සමාජවාදී විප්ලවයේ වැඩපිලිවෙල යටතේ ධනේශ්වර ම්ලේච්ඡත්වයට විරුද්ධ විය යුතුය. ගාසා තීරයේ දැනටමත් දිග හැරෙමින් පවතින මානව ව්‍යසනය නැවැත්වීමට ඇති එකම මාර්ගය මෙයයි.

පලස්තීන ප්‍රශ්නයට අධිරාජ්‍යවාදයේ “අවසාන විසඳුම” Read More »

Gaza

ඊශ්‍රායලය “ආහාර අහිමි කිරීම යුද විධික්‍රමයක් ලෙස” භාවිතා කරන බව එක්සත් ජාතින්ගේ සංවිධානය පවසයි

ආන්ද්‍රේ ඩේමන් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 මාර්තු 19  දින පල වූ ‘United Nations says Israel using “starvation as a method of war” ‘යන ආන්ද්‍රේ ඩේමන් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ජනගහනයට ආහාර ලබා නොදීමට කටයුතු කිරීම එහි ජනගහනය හාමතයෙන් (starvation) පෙලීමට හිතාමතාම දරන උත්සාහයක් විය හැකි බව, අගහරුවාදා දින, එක්සත් ජාතීන්ගේ ඉහලම මානව හිමිකම් නිලධාරියා විසින් ප්‍රකාශ කලේය.

Gaza
2023 නොවැම්බර් 8 වන දින දකුනු ගාසා තීරයේ රෆා හි ආහාර බෙදා හරින තෙක් පලස්තීනුවන් එකට රැස්ව බලා සිටිති. [AP ෆොටෝ /හැටෙම් අලි ]

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක්, ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ, “ගාසා තීරයට ආධාර ඇතුලුවීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය අඛන්ඩව පනවා ඇති සීමාවන්ගේ ප්‍රමානය සහ එය සතුරුකම් දිගටම කරගෙන යන ආකාරය අනුව යුද්ධයේ ක්‍රමයක් ලෙස හාමතය භාවිතා කිරීමකට සමාන විය හැකි බවත් , එය යුද අපරාධයක්” වන බවත්ය.

ටර්ක්ගේ ප්‍රකාශයන් එන්නේ මිලියන 2කට අධික වූ ගාසා තීරයේ සිරගතව සිටින ජනගහනය පුරා හාමතය සහ මන්දපෝෂනය පැතිර යාම ඉහල යාමත් සමඟය.

ටර්ක්ට අනුව, “කුසගින්න, හාමතය සහ දුර්භික්ෂ තත්වය, මානුෂීය ආධාර සහ වානිජ භාන්ඩ ඇතුලුවීම සහ බෙදා හැරීම කෙරෙහි ඊශ්‍රායලයේ විස්තීර්න සීමා කිරීම්, ජනගහනයෙන් වැඩි ප්‍රමානයක් අවතැන් වීම මෙන්ම තීරනාත්මක සිවිල් යටිතල පහසුකම් විනාශ කිරීමේ ප්‍රතිඵලයකි.”

අඟහරුවාදා දින, ඊශ්‍රායලය විසින් “යුද්ධයේ ආයුධයක්” ලෙස හාමතය භාවිතා කරනු ඇතැයි යන ටර්ක්ගේ ප්‍රකාශවලට පිලිතුරු දෙන ලෙස , එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක වේදන්ට් පටෙල් විමසූ විට , ඔහුගේ පිලිතුර වූයේ, “එය අප නිරීක්ෂනය කල හෝ දැක ඇති දෙයක් නොවේ.” යන්නයි.

මෙම විකාර සහගත වූ  ප්‍රතික්ෂේප කිරීම ගාසා තීරයේ ජනගහනය මත පටවා ඇති මහා හාමතය පිලිබඳ යථාර්ථයට පටහැනි ය. 

හාමතය නම් කරන (designating) , නිල ගෝලීය ආයතනය වන ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා අදියර වර්ගීකරනයේ (IPC) හවුල්කාරිත්වය විසින් අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන ලද වෙනම වාර්තාවක්, “මරන හා මන්දපෝෂනයේ ප්‍රධාන ත්වරනයක්” සමඟින් “දුර්භික්ෂය (famine) ආසන්න බව” සොයා ගන්නා ලදී.

වත්මන් වර්ගීකරන ක්‍රමයේ ආරම්භයේ සිට මෙතෙක් වාර්තා වී ඇති එම කාන්ඩයේ වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව වන ගාසා තීරයේ මිලියන 1.1 ක ජනතාවක්, ව්‍යසනකාරී  මට්ටම් වල සාගින්න හා අවදානම්කාරී දුර්භික්ෂයට මුහුන දෙනු ඇතැයි අපේක්ෂා කරන බව IPC තක්සේරුව සටහන් කරයි.

“කොතැනක හෝ, කවර කලකදී හෝ, ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා වර්ගීකරන පද්ධතිය මගින් මෙතෙක් වාර්තා වූ , ව්‍යසනකාරී සාගින්නෙන් පෙලෙන වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව මෙයයි,” එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්  සඳුදා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීමට පෙර, ගාසා තීරයේ උග්‍ර ලෙස මන්දපෝෂනයෙන් පෙලුනේ  වයස අවුරුදු පහට අඩු ලමුන්ගෙන් සියයට 1කටත් අඩු ප්‍රමානයක් පමනි . නමුත් එම අගය සියයට 12.4 ත් 16.5 ත් අතර දක්වා ඉහල ගොස් ඇත.

වාර්තාව නිගමනය කලේ, “උතුරු පාලන ප්‍රදේශවලට දුර්භික්ෂය ඉතා ආසන්නව පවතින අතර 2024 මාර්තු මැද සහ මැයි අතර ඕනෑම වේලාවක එය සිදුවනු ඇතැයි පුරෝකථනය කර ඇත.” යන ලෙසය. 

ගාසා තීරයේ සෑම පුද්ගලයෙකුම යම් මට්ටමක ආහාර අනාරක්ෂිතභාවයකින් ජීවත් වන බව වාර්තාව සොයා ගත්තේය. වාර්තාව පුරෝකථනය කලේ දැනට මුලු  ගාසා තීරය ම ආහාර අනාරක්ෂිත භාවයේ “හදිසි” අවධියක පවතින අතර, උතුරු ගාසා තීරය මාස කිහිපයක් ඇතුලත දුර්භික්ෂයට ලක් වනු ඇති බවයි.

ඊශ්‍රායලය විවිධ ආකාර වලින් ගාසා තීරයේ ජනගහනය මත දුර්භික්ෂය පටවයි. වඩාත්ම දෘශ්‍යමාන දේ  වන්නේ කුසගින්නෙන් පෙලෙන මිනිසුන්ට ආහාර සැපයීමේ හැකියාව ඇති මානුෂීය සංවිධානවලට ඇතුලු වීමට ඉඩදීම ප්‍රතික්ෂේප කරන අවහිරයක් (blockade) පැනවීමයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලය අඟහරුවාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගාසා තීරයට යැවීමට සැලසුම් කර තිබූ මානුෂීය මෙහෙයුම් වලින්   අඩකටත් වඩා අඩු ප්‍රමානයකට පමණක් ඊශ්‍රායලය විසින් ඉඩ ලබා දී ඇති බවයි.

” මාර්තු පලමු සති දෙක තුල, උතුරු ගාසා තීරයට සැලසුම් කරන ලද මානුෂීය ආධාර මෙහෙයුම් වලින් අඩකටත් වඩා අඩු ප්‍රමානයකට ඊශ්‍රායල බලධාරීන් විසින් පහසුකම් සලසා ඇත-එය මෙහෙයුම් 24 න් 11 ක් වේ,” යැයි, එම ප්‍රකාශය පවසයි. “ඉතිරි ඒවා ප්‍රතික්ෂේප කර හෝ කල් දමා ඇත. ගාසා තීරයේ උතුරට ආධාර යැවීමට ඊශ්‍රායල බලධාරීන්ගේ දෛනික අනුමැතිය අවශ්‍ය වේ.”

පවතින අවහිර කිරීම් සමග ක්‍රමානුකූලව සහ හිතාමතාම සහන සේවකයන් මරාදැමීම සිදු කරනු ලබයි. ගාසා නගරයේ ඉතිරි ජනගහනය ආහාර ආධාර ලබා ගැනීමට යන කුවේට් වටරවුමට (Kuwait Roundabout) බ්‍රහස්පතින්දා, ඊශ්‍රායල හමුදාව  දියත් කලේ නැවත නැවතත් එල්ල කරන  ප්‍රහාරවල නවතම ප්‍රහාරය ාලෙසය.

අල් ජසීරා වාර්තා කලේ නවතම ප්‍රහාරයෙන්  සහන සේවකයන් 23 දෙනෙකු මිය ගිය බවයි. එය ආහාර බෙදා හැරීමේ සේවකයින් ඉලක්ක කරගත් ප්‍රහාරයක් බව ප්‍රාදේශීය බලධාරීහු පැවසූහ.

ආහාර බෙදා හැරීමේ සේවකයින්ට එල්ල වූ මෙම ප්‍රහාරය ගාසා හි අල්-ෂිෆා රෝහලට එල්ල කල පූර්න පරිමාන  ප්‍රහාරයක් සමග සිදු වූ අතර, ඊශ්‍රායල හමුදාව පැවසුවේ දුසිම් ගනනක් මිය ගිය බවයි.  

නමුත් මෙම ලේ වැගිරීම පවා, සැලසුම් කර ඇති රෆා ආක්‍රමනයත් සමඟ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අතේ  තබාගෙන ඇති දෙයින් දුන්  අත්තිකාරමක් පමනි.

අඟහරුවාදා, නෙතන්යාහු කියා සිටියේ තමා දුරකථන සංවාදයකදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන්ට මේ බව “උපරිම ආකාරයකින් පැහැදිලි” කල බවයි. එනම් “අපි රෆාහි මෙම බලඇනි තුරන් කිරීම සම්පූර්න කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින බවත්, ඒ සදහා බිමින්  යාම හැර එය කිරීමට වෙනත් ක්‍රමයක් නොමැති බවත්ය.”

මිලියනයකට අධික ජනතාවක් රැකවරන  ගන්නා රෆා පෙදෙස ආක්‍රමනය කිරීමේ නෙතන්යාහුගේ සැලසුම් පිලිබඳ එහි  වාචාල විවේචන නොතකා, බයිඩන් පරිපාලනය පැහැදිලි කර ඇත්තේ ඊශ්‍රායලය කුමක් කලත්, තමන් ඊශ්‍රායලයට ආයුධ සහ අරමුදල් සැපයීම දිගටම කරගෙන යන බවයි.  

සඳුදා පැවති මාධ්‍ය හමුවකදී ධවල මන්දිර ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් පැවසුවේ “ඊශ්‍රායලයේ දිගු කාලීන ආරක්ෂාව සහතික කිරීම සඳහා ඔහුගේ ගැඹුරු කැපවීම ජනාධිපතිවරයා අවධාරනය කල” බවයි. සලිවන් තවදුරටත් පැවසුවේ, “හොලෝකෝස්ටයෙන් පසු දරුනුතම යුදෙව් ජනතා සංහාරය සිදු කල හමාස් සංවිධානය පසුපස යාමට ඊශ්‍රායලයට අයිතියක් ඇත. හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායලය සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇත.” යන්නයි.

මේ මස මුලදී, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑනා සහ මැද පෙරදිග ගැටලු සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රධාන උපදේශකයෙකු වන ජරෙඩ් කුෂ්නර්, ගාසා තීරයේ ජනගහනය පලස්තීනයෙන් නෙරපා හැරීමේ අපේක්ෂාව අනුමත කලේය.

හාවඩ් විශ්ව විද්‍යාලයෙහි පෙනී සිටිමින් කුෂ්නර් පැවසුවේ ගාසාවේ ජනගහනය “ඊජිප්තුව තුලට… නිවැරදි රාජ්‍ය තාන්ත්‍රිකභාවය” භාවිතයෙන් ගෙන ඒම “කල හැකි” බවයි. ගාසා තීරයේ ජනගහනය ඊශ්‍රායලයේ නෙගෙව් කාන්තාරයට විස්ථාපනය කිරීමේ අපේක්ෂාව ද ඔහු මතු කලේය, “මම ඊශ්‍රායලය නම්,  දැන් මම කිරීමට උත්සාහ කරන දෙය වන්නේ නෙගෙව්හි යම දෙයක් බුල්ඩෝසර් කිරීමයි. මම එතනට මිනිස්සුන් ගෙනියන්න උත්සාහ කරනවා. එය සිදු කළ හැකි ජනප්‍රිය දෙය නොවන බව මම දනිමි, නමුත් මම හිතන්නේ එය කිරීමට වඩා හොඳ විකල්පයක් වන අතර එවිට ඔබට එහි (ර‌ෆා) ගොස් කාර්යය අවසන් කල හැකිය.”

“ගාසා තීරයේ වෙරලබඩ දේපල ඉතා වටිනා විය හැකි,” බව කුෂ්නර් පැවසීය.

ඊශ්‍රායලය “ආහාර අහිමි කිරීම යුද විධික්‍රමයක් ලෙස” භාවිතා කරන බව එක්සත් ජාතින්ගේ සංවිධානය පවසයි Read More »

ARON

ගාසා ජන සංහාරය හා ආරොන් බුෂ්නෙල්ගේ මරනය විසින් මතු කෙරෙන දේශපාලන පාඩම් කවරේද? – 01 කොටස

ඩේවිඩ් නෝර්ත් විසිනි. 

පහත පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් ඈන් ආබර්හි මිචිගන් සරසවියේ “The Gaza genocide and the death of Aaron Bushnell: What are the political lessons?” නමින් පසුගිය මාර්තු 12 වන අඟහරුවාදා පැවැත්වූ දේශනයකි. මෙය ලෝසවෙඅ ඉංග්‍රීසි බසින්  පසුගිය මාර්තු 14 දින පල විය. සිංහල පරිවර්තනය පරාක්‍රම කුරුප්පු විසිනි.

යූ ටියුබ් නාලිකාවේ පල කරන ලද මෙකී දේශනයේ වීඩියෝව, “වයස් සීමාවක” ට හා “නරඹනනාගේ විචක්ෂනය” ට යටත් වීඩියෝවක් ලෙස වර්ග කිරීම දේශපාලන වාරනයක් ලෙස හඳුන්වා දෙමින් ලෝසවෙඅ ඊට දක්වා ඇති විරෝධය සමඟ සහෝදරාත්මක ව එක් වන TheSocialist.LK වෙබ් අඩවිය, ලෝකය පුරා ම අර්බුද-ග්‍රස්ත ධනේශ්වර පාලක පන්තිය මුදා හැර ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වනසා දැමීමේ, ම්ලේච්ඡත්වයේ හා ආඥාදායකත්වයේ ප්‍රහාරවල කොටසක් ලෙස මෙම වාරනය දැක ගන්නා අතර, ලෝසවෙඅට එරෙහි වාරනය පරාජය කිරීමට එක් වන මෙන්, ලොව පුරා සියලු කම්කරුවන්, පීඩිතයන්, තරුනයන්, ශිෂ්‍යයන් හා බුද්ධිමතුන් ඇතුලු, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් පෙනී සිටින සියල්ලන් කැඳවා සිටියි.

2024 පෙබරවාරි 25 වන දින ප.ව. 1 ට සුලු වෙලාවකට පෙර, 25 වියැති ආරොන් බුෂ්නෙල්, වොෂින්ටන් ඩී.සී. හි පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලය ඉදිරිපිට දී සිය දිවි නසා ගත්තේය. තානාපති කාර්යාලය කරා පැමිනෙන අතරතුර ආරොන් සජීවී ලෙස ප්‍රකාශයක් අන්තර්ජාලයේ විකාශනය කලේය. ඔහු මෙසේ කීය:

“මම එක්සත් ජනපද ගුවන් හමුදාවේ ක්‍රියාකාරී කාර්ය නියුතු සාමාජිකයෙක් මි. මම තව දුරටත් ජන ඝාතනයේ අපරාධ සහායකයෙකු නොවන්නෙමි. මා සූදානම් වන්නේ විරෝධතා දැක්වීමක් වශයෙන් ආන්තික ක්‍රියාවක් සිදු කිරීමට ය. එහෙත් පලස්තීනය තුල ජනයා අත්දකිමින් සිටින දෙය සමඟ සැසඳීමේ දී මෙම ක්‍රියාව කිසිසේත් ආන්තික නොවේ. අනාගතයේ සාමාන්‍ය තතු බවට පත් විය යුතුයැයි අපේ පාලක පන්තිය විසින් තීරනය කරනු ලැබ ඇති තත්ත්වය වන්නේ මෙයයි.”

තානාපති කාර්යාලය කරා පැමිනීමත් සමඟ කිසියම් ගිනි ගන්නා සුලු ද්‍රවයක් තමා මත වත් කර ගත් ආරොන් ගිනි තබා ගත්තේය. ගිනි දැල්වලින් සිය සිරුර වෙලී යද්දී ඔහු “පලස්තීනය නිදහස් කරනු!” යනුවෙන් කෑ ගැසීය. එම ස්ථානයට කැඳවනු ලැබූ රහස් සේවා නිලධාරියෙක් තරුනයාට තුවක්කුවක් එල්ල කර “බිම දිගා වෙනු” යනුවෙන් අන කලේය. තවත් නිලධාරීහු එහි පැමිනෙමින් ගින්න නිවා දැමීමට ගිනි නිවන උපකරන පාවිච්චි කලෝය. ප්‍රාදේශීය රෝහලකට ප්‍රවාහනය කරන ලද ආරොන්, ඉන් පැය හතක ඇවෑමෙන් ප.ව. 8.06ට පිලිස්සුම් තුවාලවලින් මරනයට පත් වූයේය. 

Ab
ආරොන් බුෂ්නෙල් 

අපේක්ෂා කල හැකි පරිද්දෙන් ම, මෙම සිය දිවි නසා ගැනීම සම්බන්ධයෙන් බයිඩන් පාලනය කිසිදු නිල නිවේදනයක් නිකුත් නො කෙලේය. සිය සෑම කථාවක් ම “දෙවියෝ අපේ සෙබලුන් රකිත්වා,” යන ධෘව පදයෙන් අවසන් කරන ජනාධිපති බයිඩන්, එජ ගුවන් හමුදා සාමාජිකයෙකු වන ආරොන් බුෂ්නෙල්ගේ මරනය සම්බන්ධයෙන් කනගාටුව පල කරනු තබා ඒ පිලිබඳ ව වචනයක්වත් කියා නැත.  

ඊශ්‍රායල රජයේ සහචර සහ සියොන්වාදයට පක්ෂපාතී මාධ්‍ය බොහෝ දුරට ම මේ සිදුවීම යට ගසමින්, ආරොන් යනු, ඔහුගේ සියදිවි නසා ගැනීම කවර හෝ දේශපාලනික හා සමාජමය වැදගත්කමකින් තොර සංසිද්ධියක් ලෙස සැලකිය යුතු හුදු රෝගියෙකු ලෙස අපකීර්තිමත් ආකාරයෙන් චිත්‍රනය කිරීමටත් ක්‍රියා කලෝය. 

එහෙත් මෙය ලෝක ජනගහනයේ අතිමහත් බහුතරයක ප්‍රතිචාරය නො වීය. අසංඛ්‍ය සංඛ්‍යාත දශ ලක්ෂ ගනනක් ජනයා මෙම සිදුවීම වීඩියෝවක් ලෙස හෝ ඡායාරූපයක් ලෙස දුටු අතර, එය, විය යුතු ම ලෙස, කම්පනය, සංවේගය හා අනුවේදනය ජනිත කර ඇත. තරුනයෙකු – ඒ සා බියකරු අයුරින් – මරනයට පත්වීම සෞඛ්‍ය සම්පන්න මානව සංවේදනයන්ට ප්‍රගාඪ බලපෑමක් නො කල හැකි නොවේ මය. 

කෙසේවතුදු, ආරොන් බුෂ්නෙල්ගේ මරනය නිසා ජනිත ශෝකය හා ඔහුගේ පරමාදර්ශවාදය සහ නොවක්බව කෙරේ ඇති වන ගෞරවය, එවැනි “ආන්තික විරෝධයේ” ස්වයං-විනාශකාරී ක්‍රියාවක් ගාසාවේ ජන ඝාතනයටත්, වඩාත් පොදුවේ කිවහොත් අධිරාජ්‍යවාදයේ අපරාධවලටත් දේශපාලන විරෝධය දැක්වීමේ ඵලදායී ආකාරයක් ලෙස නිර්දේශ කිරීම තිබියේවා, එකී සියදිවි නසා ගැනීම සාධාරනීකරනය කිරීම හා ප්‍රශංසා කිරීම හෝ දක්වා විස්තීරනය කිරීම නො කල යුත්තකි.   

ආරොන්ගේ සියදිවි නසා ගැනීම දැන් අනුමත කරන, හා එමඟින් ඍජු හෝ වක්‍ර ලෙස ඒ මඟ අනුකරනය කිරීමට දිරි දෙන සියල්ලෝ – කෝනෙල් වෙස්ට් ද ඒ අතර සිටී – හුදෙක් වගකීම් විරහිත අය පමනක් නො වෙති. ඔවුහු ගාසා ජන ඝාතනයට එරෙහි විරුද්ධත්වයන්ගේ – හා වඩාත් පුලුල් ව ගත් කල අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලයේ – දිරිය බල සුන් කිරීමට හා එම විරෝධතා දේශපාලනික ව අවමංගත කර දැමීමට දායකත්වය ලබා දෙති. ඔවුහු අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වය හා එය පදනම් වී සිටින ධනේශ්වර පර්යාය නවතා එය අවසානයක් කර දැමීම සඳහා අත්‍යවශ්‍ය වන, දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ දේශපාලනික ව සවිඥානක මහජන ව්‍යාපාරයක් ගොඩනැඟීමේ මඟ අවුරා පුද්ගල ප්‍රානත්‍යාගියෙකුගේ නිරර්ථක විරෝධය ඒ හරහට ඉදිරිපත් කර සිටිති.

මෙම කථාබහ අතරතුර මෙකී විවේචනය තවදුරටත් ප්‍රසාරනය කිරීමට මම අදහස් කරමි. එහෙත් පලමුවෙන් ආරොන්ගේ මරනය වඩාත් පුලුල් සමාජ සන්දර්භයක බහා ලීමට මට අවශ්‍ය ය. 

ආරොන්ගේ මරනය සිදු වූ නිරවද්‍යතම තතු සත්තකින් ම සුවිශේෂී ය. එහෙත් සියදිවි නසා ගැනීම වූ කලී එක්සත් ජනපදය තුල මරනවල අසාමාන්‍ය හේතුවක් නොවේ. මෙය නො තකා නො හල යුතු වැදගත් කරුනකි.    

2021 දී සියදිවි නසා ගැනීම එක්සත් ජනපදය තුල මරනවල හේතුව වශයෙන් ප්‍රමුඛතාවය අනුව එකොලොස්වන ස්ථානය ගත්තේය. (එම වසරේ) 48,183 ක් ඇමරිකානුවෝ සිය පන හානි කර ගැනීමෙන් මරනයට පත් වූහ. ලක්ෂ 17 ක් දෙනා සියදිවි නසා ගැනීමේ ප්‍රයත්න දැරූහ. වයස අනුව ගලපන ලද සියදිවි නසා ගැනීම් අනුපාතය (එක් එක් වයස් කාන්ඩවල මරන අනුපාත එකී වයස් කාන්ඩවල ජන අනුපාතය සමඟ ගලපා ප්‍රමත කල අගයකි) පුද්ගලයන් 100,000 කට 14 ක් පමන විය. දිනක සාමාන්‍යය ලෙස 132 ක් දෙනා සියදිවි නසා ගත්හ. බැරෑරුම් පෞද්ගලික අර්බුද හරහා ගමන් කල හා ඇතැම්විට සිය ජීවිතය අවසාන කර ගැනීමේ උත්සාහය සාර්ථක කර ගත් පවා සිසු සගයන්, මිතුරන් හඳුනන බොහෝ දෙනෙකු මෙහි රැස් ව සිටින ඔබ අතර සිටින බව මට නිසැක ය. 2021 සියදිවි නසා ගැනීමේ මරනවලින් සියයට 69 ක් සුදු පිරිමින් වන අතර, අප්‍රිකානු-ඇමරිකානු පිරිමින්ගේ එම අනුපාතය සියයට 8.3 කි. පුරුෂයන්ගේ සියදිවි නසා ගැනීම්, ස්ත්‍රී දිවි නසා ගැනීම් මෙන් සිව් ගුනයක් පමන නිරතුරු ව සිදු වී ඇත. වැඩි ම සියදිවි නසා ගැනීම් අනුපාත වාර්තා වන්නේ 25-34 හා 75-84 වයස් කාන්ඩවල වැඩිහිටියන් අතරිනි.       

Sucide

එක්සත් ජනපදය තුල ප්‍රාන හානි කර ගැනීම්වල සැලකිය යුතු කොටසක්, සෙබලුන් හා පැරනි සොල්දාදුවන්ගෙන් සමන්විත වේ. සෙබලුන් අතර සියදිවි නසා ගැනීම්වල සැලකිය යුතු ඉහල යාම, මෙම රට අඛන්ඩ ව යුද්ධවලට පැටලී සිටීම සමඟ පැහැදිලි සම්බන්ධයක් දරයි.

2014 දී නිකුත් කරන ලද අධ්‍යයන වාර්තාවක් පෙන්නුම් කරන පරිදි, “2004-05, 2006-07 හා 2008-09 වර්ෂවල (සෙබල) සියදිවි නසා ගැනීම් අනුපාත සක්‍රිය සේවයේ යෙදී සිටි පුද්ගලයන් 100,000 කට 12.1 සිට 18.1 දක්වාත්, 24.5 දක්වාත් අනුපිලිවෙලින් ඉහල ගියේය.” හමුදා සේවා සාමාජිකයන් මුහුන දෙන අවදානම් හා ඔවුන්ගේ ප්‍රත්‍යස්ථිතිය තක්සේරු කිරීමේ හමුදා අධ්‍යයනයක් මඟින් ද සොයා ගනු ලැබුවේ, “සියදිවි නසා ගැනීම් අවදානම, සුදු ජාතික පිරිමින් වීම, කනිෂ්ඨ ශ්‍රේනියකට බඳවා ගනු ලැබ සිටීම, මෑතක දී නිලයෙන් පහල හෙලනු ලැබ තිබීම හා වර්තමානයේ හෝ ඉහත දී (යුද) සේවයේ යොදවා තිබීම සමඟ සම්බන්ධ” බවයි;[1] මෙම විස්තරය ආරොන් බුෂ්නෙල්ට බොහෝ සෙයින් අදාල වන්නකි.   

Journal of Affective Disorders (චිත්තවේගික අක්‍රමතා පිලිබඳ ජර්නලය)හි 2013 පල වූ තවත් අධ්‍යයනයකින් වාර්තා කර ඇත්තේ, ගුවන් හමුදාව තුල “සියදිවි නසා ගැනීම් නාටකාකාරයෙන් ඉහල ගොස් ඇති” බවයි. 2010 දී එය 27 වසරක් තුල වාර්තා වූ ඉහල ම අගය කරා එලඹුණු බව අධ්‍යයනය පෙන්වා දෙයි.[2] මෙම ප්‍රවනතාව දිගට ම ඉදිරියට යමින් 2020 දී ගුවන් හමුදාවේ සියදිවි නසා ගැනීම් සංඛ්‍යාව 109 ක් බවට පත් වූයේය. මෙම සංඛ්‍යාවට සක්‍රිය සේවයේ යෙදී සිටියවුන්, අතිරේක භටයන් හා රැකවලුන් ද ඇතුලත් විය. 2021 දී සියදිවි නසා ගැනීම් 72 ද, 2022 දී 91 ද වාර්තා වූ අතර, 2023 මුල් කාර්තු දෙක තුල සියදිවි නසා ගැනීම් 46 ක් ගුවන් හමුදාව වාර්තා කලේය. ගුවන් හමුදා සාමාජිකයන් අතර මරනයේ ප්‍රමුඛතම තනි හේතුව වන්නේ සියදිවි නසා ගැනීමයි. 

චිත්තවේගික අක්‍රමතා පිලිබඳ ජර්නලයේ 2013 අධ්‍යයනය, ගුවන් හමුදාවේ සියදිවි නසා ගැනීම්වල හේතු අගයමින් මෙසේ සඳහන් කරයි: “සියදිවි නසා ගැනීමෙන් මරනයට පත් සක්‍රිය ගුවන් හමුදා සාමාජිකයන් අතරින්, සටන් පවතින ප්‍රදේශයක කවදා හෝ සේවයේ යොදවා ඇති අයවලුන් ඇත්තේ හතරෙන් පංගුවක් පමනකි. ඍජුවම සටන් අත්දැකීම් ලබා ඇත්තේ සියයට 7 කට අඩු කොටසකි.” කෙසේවෙතත්, “ශෝකාකූල හෝ කනස්සලුකාරී සංවේදනයක්, නැතහොත් ‘මා කල දේ පිලිබඳ පසුතැවිලි වීමක්'” ගුවන් හමුදා සාමාජිකයන් අතර ස්වයං ප්‍රානඝාතක ආවේගයන්ට අදාල ව පවතින බවට වාර්තාව සොයා ගත්තේය. ඍජු සටන් අත්දැකීම් ලද්දවුන් අතර එවැනි හැඟීම් විශේෂයෙන් සැලකිය යුතු ලෙස පවතින අතර, හමුදා සාමාජිකයන්ගේ වඩාත් පුලුල් කන්ඩායම් අතර එම හැඟීම් කෙතෙක් දුරට පවතින්නේ ද යන්න තවමත් නො පැහැදිලි ය.    

ආරොන් බුෂ්නෙල්ගේ සිය පන නසා ගැනීම තක්සේරු කිරීමේ දී මෙම සාධකය සැලකිල්ලට ගත යුතුය. ඔහුගේ ක්‍රියාවන්ට යටින් අතිශය බලගතු දේශපාලන ආවේගයන් හා අභිප්‍රායයන් පැවැති බව මෙයින් ප්‍රතික්ෂේප නො කෙරේ. එහෙත් එම සාධකය එසේ සැලකිල්ලට ගැනීම, ඔහුගේ මරනයට මඟ පෑදූ අත්දැකීම්වල වඩා පුලුල් සමාජ සන්දර්භය පිලිබඳ ව වටහා ගැනීමට ආධාරකාරී වේ.

ආරොන් බුෂ්නෙල්, රෙඩිට් (Reddit) සමාජ මාධ්‍යය තුල “acebush1” නමින් පෙනී සිටි බව, ‘ද ඉන්ටර්සෙප්ට්’ (The Intercept) නම් එජ අන්තර්ජාල පුවත්පත තහවුරු කර ගෙන ඇත. එය මෙසේ වාර්තා කරයි:  

acebush1 නම් Reddit පරිශීලකයා, වසංගතයේ ආරම්භයේ දී ඔවුන්ගේ මුදල් (හිඟකම්) පිලිබඳ අරගලයන් සම්බන්ධයෙන් පල කිරීමෙන් පසු වහා හමුදාවට බැඳුනේය. 2020 මාර්තු 19 වන දින acebush1 ඌබර් ඊට්ස්හි රියදුරෙක් වීමට විමසුම් කලේය. ඊලඟ මාසයේ ඔවුහු මූල්‍යාධාර ඉල්ලීමක් පල කලෝය:

“උදව් අවශ්‍යයි – stimulus (එජ රජය බදු ගෙවන්නන්ට ආර්ථික දුෂ්කරතාවලින් පෙලෙන කාල වලදී ගෙවනු ලබන දීමනාවක්) හෝ විරැකියා ආධාර හෝ ලබා ගත නොහැකියි. මුදල් සම්පූර්නයෙන් හිඳී යාමට ආසන්නයි.” 

2020 මැයි මාසයේ ආරොන් ගුවන් හමුදාවේ “මූලික සහ තාක්ෂනික පුහුනු” වැඩ සටහන සඳහා ලියාපදිංචි වූ අතර, අවසානයේ ඔහු සන් අන්ටෝනියෝහි ලැක්ලන්ඩ් ගුවන් හමුදා මූලස්ථානයේ ස්ථානගත කෙරින. ඔහු සයිබර්-ආරක්ෂක මෙහෙයුම් විශේෂඥයෙකු ලෙස 531 වන රහස් තොරතුරු සහායක බලගනය සමඟ පුහුනු කෙරින. 

ඉන්ටර්සෙප්ට් පුවත්පතට අනුව, 2020 අගෝස්තුවේ දී ඔහු, හමුදා ගුවන් යානයක වීඩියෝවක්, ගුවන් හමුදාවට කල හැකි වී තිබෙන දේ පිලිබඳ විස්මය පල කරන සිරස්තලයක් එක් කරමින්, නැවත පල කලේය. කෙසේවෙතත්, ගුවන් හමුදාව පිලිබඳ ඔහුගේ ආකල්පය සහ ඔහුගේ ම දේශපාලන සංකල්ප ද සැලකිය යුතු ලෙස වමට දෝලනය වෙමින් පැවැති බව ඔහුගේ පලකිරීම්වලින් නිසැක ලෙස පැහැදිලි වේ. ඇලබාමාවේ පැවැති සිරකරුවන්ගේ වර්ජනයක් කෙරේ සහානුකම්පාව දැක්වූ ඔහු, 19 වන සියවසේ විසූ අරාජකවාදී දාර්ශනික මැක්ස් ස්ටර්නර් දැක්වෙන මේම් රූපයක් පලකලේය. ඉන්ටර්සෙප්ට් මෙසේ වාර්තා කරයි: “2023 දී acebush1 ‘පලස්තීනය නිදහස් කරනු!’ යන මැයෙන් යුත් පල කිරීමක් සිදු කරමින්, ක්‍රියාකාරිකයෙකු විසින් ඊශ්‍රායල ආරක්ෂක කොන්ත්‍රාත්කාර එල්බිට් සිස්ටම්ස් ක්‍රියාකාරිත්ව කොටස්කාරීත්වය දරන ඩ්‍රෝන සමාගමක් වන යූඒවී ටැක්ටිකල් සිස්ටම්ස් අත්පත් කර ගනු ලැබීම දැක්වෙන වීඩියෝවකට සම්බන්ධ වන අන්තර්ජාල සම්බන්ධක ඇමිනුම ද එයට ඈඳීය.”  

2023 ජූනියේ acebush1 මෙසේ ලිවීය:

“අඩ දුරකට වඩා ගෙවා නිම වනතුරු එය කෙතරම් දැවැන්ත වැරදීමක් දැයි වටහා ගැනීමට මා අසමත් වූ හෙයින්, සහ මේ මොහොතේ මට ඉතිරි ව ඇත්තේ තවත් එක් වසරක් පමනක් හෙයින්, මගේ කොන්ත්‍රාත් කාලය අවසන් වන තුරු මෙය දරා සිටින්නෙමි. කෙසේවෙතත්, එය මගේ ඉතිරි මුලු ජීවිත කාලය පුරා ම මට දරා සිටින්නට සිදුවන පසුතැවීමකි.”

තම ජීවිත නසා ගත්තා වූ හෝ ඒ සඳහා යත්න දැරුවා වූ ගුවන් හමුදා සාමාජිකයන්ගේ ශෝකාකූල භාවයේ සාධකය සිහියට නඟා ගන්න. තවත් ප්‍රකාශයක, r/AirForce සබ්රෙඩිට් හුය තුල පරිශීලකයෙකු විසින්, පැරනි සෙබලුන්ට, ඉදින් එය යලිත් කරන්නට සිදු වුවහොත්, ඔවුන් තවමත් ඒ සඳහා ඉදිරිපත් වනු ඇත්දැයි අසන ලද ප්‍රශ්නයකට acebush1 මෙසේ පිලිතුරු දී ඇතැයි ඉන්ටර්සෙප්ට් වාර්තා කරයි: 

“කොහෙත්ම නැත. ප්‍රචන්ඩ ලෙස ලෝකාධිපත්‍යය (සඳහා දැරෙන ප්‍රයත්නය)ට මම දුස්සහාය දී ඇත්තෙමි. මගේ අත්වලින් ලේ සෝදා හැරීමට මට කිසි දා නොහැකි වනු ඇත.  

දැන් ලබා ගත හැකි තොරතුරු මත පදනම් ව කිව හැකි පරිදි ආරොන් ගුවන් හමුදාවේ ප්‍රහාරක මෙහෙයුම්වලට ඍජු ව සම්බන්ධ වී නැත. එ නමුත්, ඔහු එක්සත් ජනපදය විසින් සිදු කරනු ලැබ ඇති අපරාධවලට තමන් ද සදාචාරාත්මක වගකීමක් දරන බව පැහැදිලි ව හඟිමින්, ගුවන් හමුදා සාමාජිකයන් අතර සියදිවි නසා ගැනීම්වලට හේතු වන සැලකිය යුතු සාධකයක් ලෙස චිත්තවේගික අක්‍රමතා පිලිබඳ ජර්නලයේ අධ්‍යයනය සඳහන් කරන වරදකාරී හැඟීම බෙදා ගනී.”

මෙම වරදකාරී හැඟීම ආරොන්ගේ සියදිවි නසා ගැනීමට දායකත්වය දී ඇති තාක් දුරට, එය ඔහුගේ සදාචාරාත්මක අවංක භාවය පිලිබඳ සාක්ෂි දරයි. තව ද එය, ආරොන් බුෂ්නෙල්ගේ මරනයට, පවත්නා සමාජ පර්යාය – ධනේශ්වර ක්‍රමය තුල මුල් බැස ඇති ආර්ථික, දේශපාලනික හා දෘෂ්ටිවාදාත්මක මර්දනයේ හා අපරාධකාරීත්වයේ දැවැන්ත සමාජමය ව්‍යුහය – පැටලී සිටින ආකාරය ගැඹුරින් හසු කර ගනී. ආරොන්ගේ මරනය සම්බන්ධයෙන් ඔහුගේ පෞද්ගලික මානසික තතු කෙරේ පමනක් අවධානය සංකේන්ද්‍රනය කරන සියලු පැහැදිලි කිරීම් ව්‍යාජ ය; එය, පෞද්ගලිකත්වය සමාජයෙන් හුදෙකලාව වර්ධනය වන්නේයැයි සලකනු වැනි ය. ආරොන්ගේ මරනයේ ප්‍රධාන හා තීරනාත්මක හේතූන් වනුයේ පරිබාහිර සාධක ය; සමාජයීය හා දේශපාලනික තතුවලින් පැන නඟින ඒවා ය. ආරොන්ගේ සියදිවි නසා ගැනීම පිලිබඳ සියල්ල අතර වඩාත් ම වැදගත් කරුන වන්නේ මෙය යි.  

ඊශ්‍රායල රාජ්‍යය හා බයිඩන් පාලනයේ එහි අනුග්‍රාහකයන්ගේ අපරාධවලට දෙන අත්‍යවශ්‍ය හා එක ම ප්‍රතිචාරය වන්නේ සියදිවි නසා ගැනීමයැයි ආරොන් තීරනය කලේ ඇයි? පැහැදිලිව ම දේශපාලනික වන තත්ත්වයකට ඒ සා තනි පුද්ගල ආකාරයකින් ප්‍රතිචාර දැක්වීමට ඔහු තීරනය කලේ මන් ද?

ආරොන්ගේ මරනයේ ඛෙදාන්තය හා තත්කාලීන සමාජයේ වඩාත්ම දුෂ්කර ගැටලු අනාවරනය කෙරෙන්නේ මෙම ප්‍රශ්නය පිලිබඳ ව කෙරෙන පරීක්ෂාව තුල ය. පන්ති උත්සුකයන්ගේ මැදිහත්වීම හරහා අන්තර් සම්බන්ධිත ගෝලීය ආර්ථික හා දේශපාලන සම්බන්ධතා වලින් පැන නඟින්නා වූ ද, මෙම ග්‍රහලෝකයේ ජීවත් වන සෑම මානවයෙකුට ම බල පවත්වන්නා වූ ද වඩාත් ම සංකීර්න සමාජ ගැටලු පවා, සාමාන්‍යයෙන් අත්දකිනු ලබන්නේත්, පොදුවේ අර්ථ කථනය කෙරෙන්නේත් පුද්ගලභාවය අනුසාරයෙනි.   

මෙම ප්‍රවනතාව හුදු පෞද්ගලික විනිශ්චයේ දෝෂයක් ප්‍රකාශයට පත් වීමක් නොවේ. ධනේශ්වර ක්‍රමය – ඊනියා “පෞද්ගලික ව්‍යවසායය” – සමාජය හුදු හුදෙකලා පුද්ගලයන්ගේ සමුච්චයක් ලෙස සැලකීමේ සංකල්පය වැර ගන්වයි.   

ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සංකල්පනය විස්තාරනය කිරීමේ ක්‍රියාවලිය තුල, මෙම සංකල්පනයට අභියෝග කරමින් එය ප්‍රතික්ෂේප කල ප්‍රථමයා වන්නේ මාක්ස් ය. 1845 දී ඔහු මෙසේ ලිවී ය: “මිනිසාගේ සාරය වන්නේ එක් එක් තනි පුද්ගලයාට නෛසර්ගික වූ වියුක්තනයක් නොවේ. එහි යතාර්ථය තුල එය සමාජ සම්බන්ධතාවයන්ගේ සමූහ වෘන්දයයි.”[3]   

දෛනික ජීවිතයේ තනි පුද්ගල ස්වභාවය හා ඒ සමඟ බැඳුනු පෞද්ගලික හුදෙකලාවත්, එමඟින් පෝෂනය කෙරෙන පරත්වාරෝපනයේ සංවේදයත්, අප ජීවත් වන කාල සීමාව බඳු දේශපාලන ප්‍රතිගාමීත්වයේ කාල පරිච්ඡේදයක් තුල, සමාජ හා පන්ති සාමූහිකත්වයන්හි බැඳීම් ඛාදනය කර දමන සුවිශේෂී මාරාන්තික ස්වභාවයක් අත්පත් කර ගනී. මාක්ස්වාදී විප්ලවවාදියෙකු වූ ද, බෝල්ෂෙවිකයෙකු හා පසුව ලියොන් ට්‍රොට්ස්කි නායකත්වය දුන් වාම විපාර්ශ්වයේ ප්‍රමුඛයෙකු වූ ද, අවසානයේ ස්ටැලින්ගේ විරේක කිරීම්වල ගොදුරක් වූ ද එව්ජිනි ප්‍රියොබ්‍රසන්ස්කි 1912 දී ලියූ ලිපි මාලාවක් තුල, සියදිවි නසා ගැනීම වූ කලී, පන්ති අරගලය මැඩ පැවැත්වූ කල් හි විශේෂයෙන් ම ව්‍යාප්ත වන, සමාජය විසින් සිදු කරනු ලබන “සමාජ ඝාතනයේ” රූපාකාරයක් ලෙස අර්ථ කථනය කලේය.   

එව්ජිනි ප්‍රියොබ්‍රසන්ස්කි

ඔහු මෙසේ ලිවීය:

“ප්‍රතිවිප්ලවයේ හා සමාජ අක්‍රමවත්භාවයේ යුගයක් තුල සියදිවි නසා ගැනීම්වල ඉහල අනුපාත පැවතීම ද අප සාකච්ඡා කරමින් සිටි දෘෂ්ටි කෝනය අනුසාරයෙන් ම පහසුවෙන් පැහැදිලි කල හැක. උද්‍යෝගී යුගයක දී ජනයා පොදු අරමුනු ජය ගැනීමට වඩාත් සමීප ව ඒකරාශී වෙති, පුද්ගලයන් හුදෙකලා වීම අවමයකට සිඳී යයි, සාමූහිකත්වයේ බලගතු බලවේග පුද්ගලයාගේ ජීවිතය හා අරගලය තුල ඔහුගේ සහායයට සිටී. විසමෝධානයේ යුගයක් තුල, පැරනි සංගමනයන් කඩා වැටෙන කල්හි හා නව සංගමනයන් තවමත් බිහි විය යුතු ව ඇති කල්හි, සමාජයේ කේන්ද්‍රාභිසාරී බලයන් අභිබවා කේන්ද්‍රාපසාරී බලයන් බල පවත්වන කල්හි මැවෙන චිත්‍රය මෙහි පරිපූර්න ප්‍රතිබද්ධයයි. බලරහිත තනි පුද්ගලයා සමාජයට මුහුන දෙන විට, වඩාත් වෙනස් කාල පරිච්ඡේදයක දී, අහිතකර තතු සමඟ මුහුනට මුහුන දෙන ඔහුගේ ප්‍රථම ගැටුමේ දී ම ඔහුගේ සමතුලනය බිඳී, විනාශ මුඛයට පත් වී යයි. එකී කොන්දේසි වඩාත් වෙනස් කාල පරිච්ඡේදයක දී ඔහු මත ආවශ්‍යක පසුවිපාක ඇති නොකරනු ඇත“.[4] 

ප්‍රියොබ්‍රසන්ස්කිගේ විශ්ලේෂනය, ආරොන්ගේ සියදිවි නසා ගැනීමට මඟ පෑදූ පෞද්ගලික, සමාජයීය හා දේශපාලනික සාධකවල අන්තර්ක්‍රියා සම්බන්ධයෙන් වඩාත් ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට දායක වෙයි. වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ පල කරන ලද තොරතුරුවලට අනුව, ආරොන් ඇතිදැඩි වී ඇත්තේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ ඕර්ලියන්ස්හි පිහිටි කමියුනිටි ඔෆ් ජීසස් (ජේසූන්ගේ ප්‍රජාව) නම් ආගමික සංකීර්නයක් තුල ය. 1970 ගනන්වල මැද භාගය තරම් ඉහත කාලයක සිට මෙම කන්ඩායමට එරෙහිව එහි හිටපු සාමාජිකයන් අපයෝජන චෝදනා එල්ල කර ඇත. ආරොන් 2019 දී කන්ඩායමෙන් බිඳී වෙන් විය. ඉනික්බිති ව, වසංගතය විසින් අවුලුවන ලද ආර්ථික ගැටලුවල පීඩනය යටතේ ඔහු මිලිටරියට බැඳුනේ ය.      

එම සංස්කෘතියේ පැවැති කිසිත් නොතකන ස්වභාවය හා කෲරත්වය විසින් ඔහු වැඩි කල් නොයවා ම පලවා හැරින. ඔහු වාම දේශපාලනයේ දිශාවට ගමන් කල අතර, නිරතුරු ව සිදු වන පරිද්දෙන් ඔහු පලමුව විවිධාකාර මධ්‍යම පාන්තික දේශපාලන ප්‍රවනතා සමඟ සම්බන්ධතා ඇති කර ගත්තේය.  

ගාසාවට එල්ල කල ඊශ්‍රායල ප්‍රහාරය ක්‍රියාවට නැඟුනේ ආරොන්, දේශපාලනික වාං මාලාවෙන් කිවහොත්, ආගමෙන් හා ප්‍රතිගාමී ඇමරිකානු ජාතිකවාදයෙන් බිඳී යාමේ පසුවිපාක සමඟ ගනුදෙනු කිරීම ආරම්භ කල මොහොතේ ම ය. උචිත වචන ප්‍රියොබ්‍රසන්ස්කිගෙන් නයට ගෙන ගැලපෙන පරිදි යලි වචන යොදා කිවහොත්, ආරොන්ගේ “පැරැනි සංගමනයන්” බිඳ වැටී තුබූ අතර, “නව සංගමනයන්” යන්තම් මතුවීමට පටන් ගත්තා පමනක් විය.

ඒ අනුව, පෞද්ගලික ආත්ම පරිත්‍යාගයේ ක්‍රියාවක් මඟින් ගාසාවේ භීෂනය අවසාන කිරීමට ආරොන් යත්න දැරීය. සිය උදාර අභිමතාර්ථය ජය ගත හැකි අන් මඟක් ඔහු නොදිටී ය. සිය පෞද්ගලික ප්‍රාන පූජාව හරහා ඔහු සෙසු තනි පුද්ගලයන්ට ආයාචනා කලේය. සිය පෞද්ගලික ශෝකය හා කෝපාවේගය සඵල ක්‍රියාවකට පරිවර්තනය කල හැකි අන් මඟක් ඔහුට නො පෙනින. තමාගේ ම ජීවිතය අවසාන කර ගැනීමෙන් තම පෞද්ගලික විරෝධය දැක්වීමට ගත් තීරනය මඟින් ප්‍රකාශයට පත් වූයේ ආගමික ආභාෂයෙන් යුතු ලෝක දෘෂ්ටියෙන් ඔහුගේ බුද්ධිමය බිඳී යාමේ අසම්පූර්නකම මෙන් ම, ධනේශ්වර-අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට යටින් දිවෙන, එහෙත් ඒ අතර ම පන්ති අතර ගැටුමේ විදාරනය පොලඹවා ලන සහ ලෝක සමාජවාදී විප්ලවයට විභවය නිර්මානය කරන ධනවාදී සමාජයේ වෛෂයික ප්‍රතිවිරෝධතා පිලිබඳ ඔහුගේ අනවබෝධයයි.

යලිත් කිව යුත්තේ, ආරොන්ගේ වර්ධනයේ මෙකී සීමාවන් හුදෙක් පෞද්ගලික ස්වභාවය සම්බන්ධ ඒවා නොව, ඊට වඩා, පවත්නා සමාජ, දේශපාලන හා බුද්ධිමය තතු ප්‍රකාශයට පත්වීමක් බවයි. ආරොන් උපත ලද්දේ 21 වන සියවසේ එලිපත්තෙහි ය; ඒ, ස්ටැලින්වාදය, සමාජ ප්‍රජාතන්ත්‍රය හා එක්සත් ජනපදය තුලත් ජාත්‍යන්තරවත් පන්ති සහයෝගීතාවාදී වෘත්තීය සමිති ද විසින් කම්කරු පන්තියේ අරගල පාවා දෙනු ලැබීම්වල ප්‍රතිඵලයක් ලෙස සිදු වූ සෝවියට් සංගමය විසුරුවා හැරීමේ දේශපාලන හා සමාජ ව්‍යසනයට දශකයකට ම පාහේ පසුව ය. එක්සත් ජනපදය තුල සංවිධිත කම්කරු පන්ති අරගලයේ සැලකිය යුතු හා කල් පවත්නා විද්‍යමාන වීම් මුලුමනින් ම පාහේ අහෝසි වී තිබින. සිය ජීවිතයේ මුල් විසි වසර තුල ආරොන් සැලකිය යුතු වැඩ වර්ජනයක් දැක නැතිවා විය යුතුය.

තවත් කරුනකි. ඩිමොක්‍රටික් පක්ෂය සමඟ සමඟ කරට අත ලා ගත් වෘත්තීය සමිති නිලධරයන් විසින් පන්ති අරගලය මැඩ පවත්වනු ලැබීම සමඟ අතින’ත ගෙන ගමන් කල සිදුවීමක් විය. ඒ, සරසවි තුල පදනම් වූ බුද්ධිජීවීන් එකාවන් ව ම පාහේ මාක්ස්වාදය ප්‍රතික්ෂේප කිරීමයි. සමාජවාදය කම්කරු පන්තිය සමඟ ඇති ඓතිහාසික සම්බන්ධය බැහැර කෙරුනු අතර, සමාජවාදී විප්ලවයේ ඉදිරි දර්ශනයට ද ලැබුනේ එකී සැලකිල්ල ම ය. “වාම” දේශපාලනය යන්න සමාජ පන්තිය පිලිබඳ තීරනාත්මක ප්‍රශ්නය මත නොව, පෞද්ගලික අනන්‍යතාවයේ විවිධාකාර රූපාකාරයන් මත අවධානය යොමු කෙරෙන ආකාරයෙන් ප්‍රති අර්ථකථනය කරන ලදී.  මෙම තතු, පුද්ගලවාදයේ ප්‍රතිගාමී හා දිරිසුන් දෘෂ්ටියේ බලපෑම වෙර ගැන්වීමට බල පෑ අතර, අද ද එම බලපෑම පවතී.    

ආරොන්ගේ පරමාදර්ශවාදයට ගෞරවය පුද කිරීම වැදගත් ය. ඔහුගේ පෞද්ගලික කැප කිරීම අමතක නො කල යුතුය. එහෙත් ඔහුගේ මරනයට ගරු කිරීම් වස් ඔහුගේ මරනයේ නිසි දේශපාලන පාඩම් උකහා ගැනීම අවශ්‍ය ය. මේ කාර්යයෙහි ලා, ආරොන්ගේ සියදිවි නසා ගැනීම උත්කර්ෂයට නැංවීම – ඊශ්‍රායල රාජ්‍යය විසින් පවත්වා ගෙන යනු ලබන ජන ඝාතනයට එරෙහි අරගලය තුල ඵලදායී මූලෝපායයක හා උපායක් ලෙස අවධාරනය කිරීම ම පවා දක්වා එකී පෞද්ගලික ජීවිත පූජාව ඔසොවා තැබීම – කර්කශ ම විවේචනයට පාත්‍ර කිරීම වූ කලී  මඟ හැර යා නොහැකි දේශපාලන වගකීමක් වෙයි.  

  1. “2004 හා 2009 අතර එජ සෙබලුන් අතර සියදිවි නසා ගැනීම් අනුපාත දෙගුන වූ බව පර්යේෂනයකින් පෙන්වා දෙයි.” BMJ හි 2014 මාර්තු 6 දින පල විය.  
  2. Journal of Affective Disorders, 148 වෙලුම (2013), 37-41.
  3. “Theses on Feuerbach”, මාක්ස්-එංගල්ස් එකතු කල කෘති (ඉංග්‍රීසි), වෙලුම 5 (නිව්යෝර්ක්: International Publishers, 1976), පි. 7
  4. E. A. ප්‍රියොබ්‍රෙසන්ස්කි, The Preobrazhensky Papers, Documents and Materials, වෙලුම 1: 1886-1920, සංස්කරනය: රිචඩ් ඩේ සහ මිඛායෙල් M. ගොරිනොව්, ඉංග්‍රීසි පරිවර්තනය: රිචඩ් ඩේ [චිකාගෝ: Haymarket Books, 2015], පි. 243-44

මතු සම්බන්ධයි…

ගාසා ජන සංහාරය හා ආරොන් බුෂ්නෙල්ගේ මරනය විසින් මතු කෙරෙන දේශපාලන පාඩම් කවරේද? – 01 කොටස Read More »

Scroll to Top