War

Gaza

පලස්තීන නැගිටීමෙන් නෙතන්යාහු තන්ත්‍රය සැලී යයි

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 08 දින පල වූ ‘Netanyahu regime staggered by Palestinian uprising‘ යන ඇලෙක්ස් ලැන්ටියර් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය  මිගාර මල්වත්ත විසිනි.

කපටිකමෙන් සහ ප්‍රචන්ඩත්වයෙන් වහලෙකුට විලංගු ලන වහල් හිමිකරුවෙක් සහ, කපටිකමෙන් හෝ ප්‍රචන්ඩත්වයෙන් විලංගු බිඳ දමන වහලෙක් යන මේ දෙදෙනා සදාචාරය පිලිබඳ උසාවියක් ඉදිරියේ සමානයන් වෙතැයි අපට කීමට කිසිදු නීචයෙක් ඉදිරිපත් නොවෙත් වා! ” – ලියොන් ට්‍රොට්ස්කි, 1938

Gaza
2023 ඔක්තෝබර් 7 සෙනසුරාදා, ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ගාසා තීරයේ පහර දුන් ගොඩනැගිල්ලක සුන්බුන් පරීක්ෂා කරන පලස්තීනුවන් . [AP Photo/Fatima Shbair]

සිකුරාදා රාත්‍රියේ දී, ගාසා තීරයේ පලස්තීන හමුදා, රොකට් ප්‍රහාර මාලාවක් සමග ගාසා තීරය වට කර සිටින ඊශ්‍රායල හමුදාවන් එල්ල කරමින් හදිසි ප්‍රහාරයක් දියත් කලහ. සෙනසුරාදා රාත්‍රිය වන විට ඊශ්‍රායල ජාතිකයන් 200ක් මිය ගොස් 1100 ක් තුවාල ලබා තිබූ අතර පලස්තීනුවන් 232ක් මිය ගොස් 1697ක් තුවාල ලබා තිබුනි. මුලදී ඊට සූදානම්ව නොම සිටි ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටින අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගාසා තීරයේ රුධිරයෙන් “පෙර නොවූ විරූ මිලක්” ලබා ගැනීමට ශපථ කර  ඇත.  

සිකුරාදා රාත්‍රියේ ආරම්භ වූයේ, ප්‍රචන්ඩ සහ ම්ලේච්ඡ ලෙස පීඩාකාරී ඊශ්‍රායල වාඩි ලා ගැන්මට එරෙහි පලස්තීන ජනතාවගේ නැගිටීමකි. නෙතන්යාහු ආන්ඩුව, ෆැසිස්ට් වැනි ඊශ්‍රායල පදිංචිකරුවන් විසින් පලස්තීන ඉඩම් නිරන්තර සොරකම් කිරීම අනුමත කිරීමද, ගාසා තීරය අවහිර කිරීම ද, එහි පාලක හමාස් පක්ෂයේ සාමාජිකයින් ඉලක්ක කර ඝාතනය කිරීම ද,  අල්-අක්සා පල්ලියේදී මුස්ලිම්වරුන්ට එරෙහිව ප්‍රකෝප කිරීම් සංවිධානය කිරීමද සිදු කර ඇත. එය, ගාසා තීරයට දරාගත නොහැකි කොන්දේසි පැනවීම මගින්  සන්නද්ධ ප්‍රතිරෝධය අනිවාර්යය කලෙහි ය. 

ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරයට කිසිදු පැකිලීමකින් තොරව සහාය දෙන අතරම පලස්තීන ප්‍රතිරෝධය “ත්‍රස්තවාදයක්” ලෙස හෙලා දකින යුරෝපා සංගමයේ නායකයින් සහ ජනාධිපති ජෝ බයිඩන්ගේ දුෂ්ට හා අශ්ලීල කුහක ප්‍රකාශයන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය හෙලා දකියි.

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල මිලිටරි මෙහෙයුම් සඳහා “අචල සහ නොසැලෙන” සහයෝගය සදහා ප්‍රතිඥා දෙමින් බයිඩන් මෙසේ පැවසීය: “එක්සත් ජනපදය ගාසාවේ සිට හමාස් ත්‍රස්තවාදීන් විසින් ඊශ්‍රායලයට එරෙහි මෙම බිහිසුනු ප්‍රහාරය අවිවාදිතව හෙලා දකින අතර, . ඊශ්‍රායල රජයට සහ ජනතාවට අවශ්‍ය සියලුම අදාල  ආධාරක විධි ඉදිරිපත් කිරීමට අපි  සූදානම් බව මම අගමැති නෙතන්යාහුට පැහැදිලි කලෙමි. ත්‍රස්තවාදය කිසිවිටෙක යුක්ති සහගත නොවේ. ඊශ්‍රායලයට තමන් සහ තම ජනතාව ආරක්ෂා කිරීමට අයිතියක් ඇත.”

ජර්මානු විදේශ ඇමති ඇනලේනා බෙයර්බොක් මෙසේ ප්‍රකාශ කලාය: “ඊශ්‍රායලයේ සිවිල් වැසියන්ට එරෙහිව හමාස් සංවිධානයේ පිලිකුල් සහගත ප්‍රචන්ඩත්වය, පෙර නොවූ විරූ මෙන්ම අයුක්ති සහගත ය. මෙම ත්‍රස්තවාදය වහා නැවැත්විය යුතුය. ඊශ්‍රායලයට අපගේ පූර්න සහයෝගීතාව ඇත.”

මෙම ප්‍රකාශවල කුහකකම විශ්ම සහගතය. සෑම විටම මෙන් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහයෝගය ලැබී ඇත්තේ පීඩකයන්ට ය. පීඩිතයන්ගේ ප්‍රතිරෝධයේ කිසියම් ම ප්‍රකාශනයක් ආවේශගත හෙලාදැකීම් වලින් පිලිගනු ලැබේ. ඊස්රායල් ආන්ඩුව  අපරාධකරුවෙකු විසින් මෙහෙයවනු ලබන බවත්, ඔහුගේ සභාගය ෆැසිස්ට්වන් වර්ගවාදීන් විසින් ආධිපත්‍යය දරන බවත්, එය ව්‍යවස්ථාව යටපත් කිරීමේ උත්සාහයක නියැලී සිටින බවත්  මාධ්‍ය නොසලකා හරියි.

යුක්රේන යුද්ධය පිලිබඳ එහි ආවරනය තුල, රුසියාව “නීත්‍යානුකූල නොවන ලෙස ක්‍රිමියාව ඈඳා ගැනීම” ලෙස ඔවුන් පුරුද්දක් ලෙස හඳුන්වන දෙය හෙලා දැකීමට මාධ්‍ය කිසිවිටකත් අසමත් නොවේ. එක්සත් ජනපදය පුන පුනා ප්‍රකාශ කර ඇත්තේ ක්‍රිමියාව යලි අත්පත් කර ගැනීම සඳහා, “අවැසි තාක් කල්” යුක්රේනයේ යුද්ධයට සහය දෙන බවයි. එහෙත් පලස්තීන භූමියේ විශාල බිම් කොටස් ඊශ්‍රායලය විසින් නීති විරෝධී ලෙස ඈඳා ගැනීම, එය කිසිවිටෙක හෙලා දකින්නේ නැත.

ගාසා තීරයේ පලස්තීන ජනගහනයට සහ හමාස් ආන්ඩුවට ඩොලර් බිලියන සිය ගනනක් තරම් ආයුධ සපයන බලවත් අධිරාජ්‍යවාදී ආධාරකරුවන් නොමැත. සෑම වසරකම ඩොලර් බිලියන ගනනින් එක්සත් ජනපද මිලිටරි ආධාර ලබන ඊශ්‍රායල හමුදාවේ වාඩිලෑමකට එරෙහිව පලස්තීනුවන් ආයුධ අතට ගන්නා විට, ඔවුන් අතිමහත් අවාසි සහගත තත්ත්වයන්ට මුහුන පාමින් සිටින බව ඔවුහු දනිති.

එහෙත් නේටෝ රටවල ප්‍රතිගාමී දේශපාලඥයින් සහ වහල් මාධ්‍ය විසින් පලස්තීන හමුදාවන් වීරයන් ලෙස ගෞරව නොදක්වන අතර, ඒ වෙනුවට ත්‍රස්තවාදීන් ලෙස හෙලා දකී. යථාර්ථය නම්, ඊශ්‍රායල රාජ්‍යය , වසර ගනනාවක් තිස්සේ ජනාකීර්න ගාසා තීරයට එල්ල කරන ලද ඉවක් බවක් නොමැති  ප්‍රහාරවලින් සිවිල් වැසියන් සිය හෝ දහස් ගනනක් ඉලක්ක කර මරා දමා ඇති බවයි.

සෙනසුරාදා රාත්‍රියේ ත්‍රාසය දනවන ජාතිය ඇමතීමකින්, නෙතන්යාහු  “ගාසාවේ පදිංචිකරුවන්ට” පැවසුවේ “දැන් ඉවත්ව යනු, මන්ද අපි සෑම තැනකම සහ පූර්න බලයෙන්  යුතුව ක්‍රියා කරන්නෙමු” යනුවෙනි. ඔහුගේ ආන්ඩුව ගාසා තීරය අවහිරකරමින් කිසිවෙකුට පිටව යාමට ඉඩ නොදෙන බැවින්, මෙය, ගාසා තීරයේ සමස්ත ජනගහනයම නීත්‍යානුකූල ඉලක්කයක් ලෙස නෙතන්යාහු දකින බව ප්‍රකාශ කිරීමකි. නෙතන්යාහු, “හමාස් සංවිධානයට අවශ්‍ය වන්නේ අප සියල්ලන්ම ඝාතනය කිරීමට” බව ප්‍රකාශ කරමින්, “ කටුක අවසානය දක්වා ඔවුන් සමග සටන් කිරීමට” ප්‍රතිඥා දුන් අතර හමාස් ක්‍රියාත්මක වන නගර “විනාශයේ නගර” බවට පත් වනු ඇති බව කියා සිටියේය.

ගාසා තීරය විනාශ කිරීමේ මෙම ම්ලේච්ඡ තර්ජනය නෙතන්යාහුගේ පාලන තන්ත්‍රයේ ෆැසිස්ට් ආකාර   ස්වභාවයට සාක්ෂි දරයි. සියොන්වාදී පාලන තන්ත්‍රය දශක ගනනාවක දකුනට මාරුවීමේ අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ, ආගමික සියොන්වාදී පක්ෂය වැනි ප්‍රචන්ඩ අන්ත දක්ෂිනාංශික කන්ඩායම්, ඔහු විසින් ඔහුගේ ආන්ඩුව තුල සංස්ථාපිත කිරීමයි. එහි සාමාජිකයින් විසින් අල්ලා ගත් ප්‍රදේශවලින් පලස්තීනුවන්  නෙරපා හැරීම සඳහා කැඳවීම් කරමින්, 1994  කුලදෙටු ගුහාවේ සංහාරය (Cave of Patriarchs massacre) වැනි පලස්තීනුවන් ඝාතනය කිරීම් ප්‍රවර්ධනය කරමින්, අල්-අක්සා පල්ලිය විනාශ කරන ලෙස බලකර සිටිමින්, ඇමරිකාවේ උපන් ෆැසිස්ට්වාදී මීර් කහාන් ( Meir Kahane) ගේ උරුමය ප්‍රවර්ධනය කරමින් ක්‍රියාත්මක වෙයි.

ඔහුගේ යුද්ධය සඳහා නෙතන්යාහුගේ සාධාරනීකරනය පදනම් වී ඇත්තේ ඔහු විසින් ජනඝාතක සංවිධානයක් ලෙස සලකන හමාස්ගේ අරමුනු මුසාකරනය කිරීම මත ය. යථාර්ථය නම්, හමාස් හමුදා අංශය වන අල්-කසාම් බලකාය විසින් නිකුත් කරන ලද ප්‍රකාශය අවධාරනය කරන්නේ, යුදෙව්වන්ට නොව ඊශ්‍රායල් වාඩි ලා ගැනීමට එරෙහි එහි විරෝධය යි. ඊශ්‍රායල හමුදා සහ පදිංචිකරුවන් (settlers) විසින් පලස්තීනුවන් ඝාතනය කිරීම, පලස්තීනුවන් දිගු කාලීනව සිරගත කිරීම, පලස්තීන ඉඩම් සොරකම් කිරීම සහ අල්-අක්සා පල්ලියේ ප්‍රකෝප කිරීම් හෙලා දකිමින්, එය  අවසන් කරන්නේ:

“ඊශ්‍රායල් වාඩි ලා ගැනීම  ගාසා තීරය වැටලීම පවත්වා ගෙන යමින් අපගේ පලස්තීන ජනතාවට එරෙහි අපරාධ දිගටම කරගෙන යන අතර, එක්සත් ජනපදයේ සහ බටහිර සහයෝගය සහ ජාත්‍යන්තර නිශ්ශබ්දතාවය මධ්‍යයේ ජාත්‍යන්තර නීති සහ යෝජනා සම්පූර්නයෙන් නොසලකා හරියි;   ඒ සියල්ල සදහා  තිත තැබීමට අපි තීරනය කලෙමු. පලස්තීන ජනතාවට එරෙහි ඊශ්‍රායල අපරාධ සහ අල්-අක්සා පල්ලියේ උල්ලංඝනය කිරීම් වලට ප්‍රතිචාර වශයෙන් ගෙන එන ඊශ්‍රායල වාඩිලා ගැනීමට එරෙහිව මිලිටරි මෙහෙයුමක් අපි නිවේදනය කරමු” යනුවෙනි.

එවැනි මෙහෙයුමක් රහසිගතව සූදානම් කර එය – යොම් කිප්පූර් යුද්ධයෙන් වසර 50 කට පසු – ඔක්තෝබර් 6දා දියත් කිරීමට හමාස් සතු හැකියාව ඊශ්‍රායල රාජ්‍යයේ අර්බුදයේ ගැඹුර හෙලිදරව් කරයි. එය ෆැසිස්ට් ආකාර  කොටස් විසින් ඉහවහා ගොස්  ඇති අතර, නෙතන්යාහුගේ දූෂන සම්බන්ධයෙන් වසර ගනනාවක නඩු විභාගයක් සමග  සටනේ යෙදී ඇත. එසේම එය , අධිකරනයේ නෛතික ස්වාධීනතාවයට  වල කැපීම සඳහා ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරනයක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කර එහි අසාර්ථකත්වය  මධ්‍යයේ, මෙම වසර මුලදී කම්කරුවන්ගේ හා තරුනයන්ගේ මහජන විරෝධතාවලට මුහුන දුන්නේය. ෆැසිස්ට් ආකාර  ත්‍රස්තය හරහා පලස්තීන විරෝධය යටපත් කිරීමේ  එහි උත්සාහය අසාර්ථක ව ඇත.

1943 දී වෝර්සෝ ගෙටෝවේ (ghetto-විශේෂයෙන් යුරෝපයේ යුදෙව්වන් කොටුකල නාගරික මුඩුක්කු වන් ප්‍රදේශ)  යුදෙව්වන්ගේ නැගිටීමෙන්  සහ 1944 වෝර්සෝ කැරැල්ලෙන් , අල්ලා ගත් පෝලන්තයේ නාසි අන දෙන නිලධාරීන් පුදුමයට පත් වූ ආකාරයටම, පලස්තීන නැගිටීම ගැන නෙතන්යාහු රජය මවිතයට පත් විය. උඩඟුකම සහ වාර්ගික වෛරය නිසා අන්ධව සිටි එය, තම මර්දනය මගින් පලස්තීනුවන්ගේ කොන්ද බිඳ දමා ඇති බැවින් ප්‍රතිරෝධය අශක්‍ය යැයි   විශ්වාස  කලේය. එහි වරද හෙලිදරව් වී දැන් එය – දස සහ සිය දහස් ගනනක් ඝාතනය කරමින් නැගිටීම් වලට ප්‍රතිචාර දැක්වූ නාසීන් වාඩිලා ගත්  පෝලන්තයේ දී මෙන් – රුධිර ස්නානයක් කරා ගමන් කරමින් සිටී.

මෙම පිලිවෙත අරාබි හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ පෘථුල විරෝධයට මුහුන දෙයි. අධිරාජ්‍යවාදී බලවතුන්ගේ නිර්ලජ්ජිත බොරු නොතකා, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාව අතර පලස්තීනුවන් කෙරෙහි පුලුල්  සහයෝගයක් පවතී. 

කෙසේ වෙතත්, මෙම සහයෝගය සහ විරෝධය දේශපාලනිකව බලමුලු ගැන්විය යුතුය. විශේෂයෙන්ම, ඊශ්‍රායලයේ කම්කරුවන් හා තරුනයන් නෙතන්යාහු ආන්ඩුවේ මිනීමැරු පිලිවෙත්වලට එරෙහිව තමන්  වෙන් කර ගනිමින්  විරුද්ධ විය යුතු අතර මර්ධනයට හා වාඩිලෑමට එරෙහිව පලස්තීනුවන්ගේ සටනට සහාය දිය යුතුය.

දූෂිත අරාබි සහ මැද පෙරදිග ධනේශ්වර තන්ත‍්‍ර , අධිරාජ්‍යවාදී පිටුබලය ලත් ලේවැකි මර්දනයක් දියත් කිරීමේ  නෙතන්යාහුගේ සූදානමට හවුල් ය. නෙතන්යාහු විසින් නොසලකා හරිනු ඇති, උත්සන්න වීම  අඩු කිරීම සහ සංයමය සඳහා තුර්කියේ, ඊජිප්තුවේ, සවුදි අරාබියේ සහ කලාපයේ වෙනත් තැන්වල ධනේශ්වර ආන්ඩු,   ආයාචනා කරති. ඒ අතරම, ඔවුන් සියල්ලෝම තමන්ගේ මිලිටරි සහ මූලෝපායික හේතු උදෙසා ඊශ්‍රායල පාලන තන්ත්‍රය සමඟ සමීප සබඳතා වර්ධනය කර ගැනීම සඳහා මං  සොයමින් සිටිති.

ඊශ්‍රායලය තුල නෙතන්යාහුගේ ප්‍රහාරය නැවැත්විය හැකි බලවේගය වන්නේ, ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරය නැවැත්වීමට, නෙතන්යාහු පාලනය බිඳ දැමීමට සහ ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ  ඊශ්‍රායල වාඩිලා ගැන්ම අවසන් කිරීමට,  ඒකාබද්ධ අරගලයක් පෙරට ගන්නා  ඊශ්‍රායල, පලස්තීන සහ ජාත්‍යන්තර කම්කරු පන්තියයි.

පලස්තීන නැගිටීමෙන් නෙතන්යාහු තන්ත්‍රය සැලී යයි Read More »

GAZA

පුවත්: අධිරාජ්‍යවාදය ගාසා තීරය ලේ විලක් කිරීමට සැරසෙයි

අපේ ලියුම්කරු විසිනි.

GAZA
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් අතරතුර 2023 ඔක්තෝබර් 7 වන දින ගාසා නගරයේ ගොඩනැගිලිවලට ඉහළින් ,දුමාරයක් නැඟේ.  මහමුද් හම්ස් |  AFP |  Getty Images

ඊශ්‍රායලයේ බෙන්ජමින් නෙතනයාහුගේ පාලන තන්ත්‍රය, අධිරාජ්‍යවාදී සියලු මධ්‍යස්ථානවල පූර්න අනුමැතිය හා සහාය සහිතව, වර්ග සැතපුම් 141ක් වන ගාසා තීරයේ ජීවත් වන මිලියන දෙකකට අධික ජනයාට ආහාර, ඉන්ධන යනාදී අත්‍යාවශ්‍ය දෑ අවහිර කරමින් ද, ගුවන් හා මිසයිල් ප්‍රහාරවලට ඔවුන් ගොදුරු කර ගනිමින් ද, සමූල  ඝාතක යුද්ධයක් අරඹා ඇත. ඊශ්‍රායලය සඳුදා කියා සිටියේ, ප්‍රහාර එල්ල කරන අතරම තමන් මෙකී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය – එනම්, “ආහාර, ඉන්ධන හා ඖෂධ ආදී සියල්ල – වලක්වන” බව ය. සඳුදා එල්ල කල ප්‍රහාරය එතෙක් මෙතෙක් ගාසා තීරයට තමන් විසින් එල්ල කෙරුනු විශාලතම ප්‍රහාරය බව ඊශ්‍රායලය පවසයි. 

ප්‍රහාරය මගින් පැය 24ක් තුල 187,518 නිවාස හැර ගොස් ඇති බව එක්සත් ජාතී්ගේ සංවිධානය වාර්තා කර ඇත. එයින් 137,427ක් පාසැල් 43 ක නවාතැන් ගෙන ඇති අතර, 41,000කගේ නිවාස මුලුමනින් ම විනාශ වී හෝ අලාභහානි වී ඇති නිසා නෑ-හිතවතුන්ගේ නිවෙස්වල රැකවරන ලබති. 

සඳුදා, ගාසා නගරයට උතුරින් පිහිටි ජබාලියා සරනගත කඳවුරට බෝම්බ හෙලන ලදී. එහි සිටි එක් වාර්තාකාරිනියක් සඳහන් කර ඇත්තේ, සිය ජිවිත මුලුමනින් ම අනාරක්ෂිත බව ය. මේ වන විටත් පුවත්පත්කලාවේදීන් දුසිම් භාගයක්වත් බෝම්බ ප්‍රහාරවලින් මරනයට පත් වී ඇත.   

එක්සත් ජනපදයේ රිපබ්ලිකන් සෙනෙට් සභිකයෙකු වන ජෝෂ් හෝලි  සමාජ මාධ්‍ය ඔස්සේ කර ඇති ප්‍රනාශයක් අද “අල් ජසීරා” වාර්තා කර ඇත. “ඊශ්‍රායලය පැවැත්ම පිලිබඳ තර්ජනයකට මුහුන දී සිටී. යුක්රේනයට දෙන කවර හෝ අරමුදලක් වේ නම් එය වහා ම ඊශ්‍රායලයට හරවා යැවිය යුතු ය.” ඒ වන විටත් ඇමරිකානු යුද නැවක් ඊශ්‍රායලයට සහාය පිනිස වහා යවනු ලැබ තිබිනි.

මේ අතර ඇමරිකානු ඒකාබද්ධ කාර්‍ය මන්ඩල ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් චාල්ස් කිව්. බ්‍රවුන් “මෙම සටනට අත නො දමන්නැයි (not get involved) ඉරානයට තර්ජනය කර ඇත. 

එක්සත් රාජධානියේ විදේශ ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි ප්‍රකාශ කර ඇත්තේ “ගාසා තීරය මුලුමනින් අවහිර කිරීමට” තමන් විරුද්ධ නො වන බවයි. “පලස්තීන ජනයා අතර තමන්ගේ ම ආරක්ෂාව සලසා ගැනීමට” හමාස් සංවිධානයට එවිට සිදු වනු ඇත යන නරුම ප්‍රකාශය ඔහු ඊට එකතු කර ඇත. 

කොටු කරනු ලැබූ සිවිල් ජනතාව හා ස්ථාන ඉලක්ක කරගනිමින් බෝම්බ හෙලන සෑම මොහොතකම  ජාත්‍යන්තර මානුෂවාදී නීති සම්මුතීන් අමු අමුවේ උල්ලංගනය කර ඇති

නෙතනයාහු යුධ අපරාධ කරුවෙකි.  එහෙත් අධිරාජ්‍යවාදය මෙම සම්මුති මායිම් කරන්නේ නැත. යුක්‍රේනයේ හිටපු නාසි ඝාතකයන් කැනේඩියානු පාර්ලිමේන්තුව තුල උත්කර්ෂයට නංවමින් ද, නව නාසි වාදීන්ගේ නියෝජිතයෙක් වන සෙලෙන්ස්කිගේ ආන්ඩුවයට සියලු මිලිටරි හා මූල්‍යමය සහාය දෙමින් ද සිටින අධිරාජ්‍යවාදයට ඊශ්‍රායලයේ අපරාධවලට එරෙහි පුලුල් ව්‍යාපාරය  “යුදෙවි විරෝධය” ලෙස හංවඩු ගැසීම නරුමවාදයකි.  එහි අර්ථය ඊශ්‍රායලයේ ලේ පිපාසිත සියෝන්වාදය වහංගු කිරීමයි.

පුවත්: අධිරාජ්‍යවාදය ගාසා තීරය ලේ විලක් කිරීමට සැරසෙයි Read More »

Graves

ලිබියාව සඳහා නේටෝවේ ඊනියා “මානුෂික ආධාර වැඩසටහන” හෙවත් අපරාධකරුවන් ගැලවුම්කරුවන්ගේ වෙස් ගැනීම 

මිගාර මල්වත්ත විසිනි.

Graves
2023 සැප්තැම්බර් 15 සිකුරාදා ලිබියාවේ ඩර්නා හි හදිසි ගංවතුරෙන් විපතට පත් වූවන්ගේ සොහොන් අසල මිනිසෙක් වාඩි වී සිටියි. [AP Photo/Yousef Murad]

මධ්‍යධරණී මුහුද අවට යුරෝපිය රාජ්‍යයන් දරුණු ගංවතුරකින් යටකරමින් හමාගිය ඩැනියෙල් කුණාටුව, අප්‍රිකාවේ ලිබියානු මධ්‍යධරණී වෙරලබඩ පිහිටි ඩර්නා නගරයට හා අසල වියලි නිම්නයට, ඉතා කෙටි කාලයක් තුළ අසාමාන්‍ය වර්ෂාපතනයක් ලබා දෙමින්, එම වියලි නිම්නය (වොඩිය) ජලයෙන් පුරවා ඩර්නා නගරය අසල ජල පෝෂක වේලි දෙකක් පුපුරුවා හැරියේය.

ලක්ෂයකට  වැඩි පිරිසක් වාසය කරන ඩර්නා හි හතරෙන් එකක් මුළුමනින්ම ගසාගෙන ගියේය. නගරයේ  පමණක් මියගිය සංඛ්‍යාව 20,000 ක් යැයි විශ්වාස කෙරේ. 1927 දී ඇල්ජීරියාවේ ඇති වූ දරුණු  ගංවතුරෙන් සිදු වූ  ජිවිත විනාසය  හා සැසදීමේදී මෙහිදී සිදු වූ ජීවිත විනාශය, එය අගුටුමිටි ස්වභාවයකට පත් කරයි.

ලිබියාවට එරෙහිව , මහා ව්‍යසනයක් හැරෙන්නට වෙන කිසිවක් ලබා නොදුන්, එක්සත් ජනපද-නේටෝ ආක්‍රමණය, ට්‍රිපොලි සහ සර්ටේ වෙත  බෝම්බ හෙලා ජීවිත 25000ක් බිලි ගත් අතර මාස 7ක් ගෙන ගිය යුද්ධය, 2011 ඔක්තෝම්බර් 20 වෙනිදා මුවමර් ගඩාෆි ඝාතනයත් සමග අවසන් විය. 

ඉනික්බිතිව, බාහිර බලවතුන්ගේ  පිටුබලය ලද  ප්‍රතිවාදී කන්ඩායම් අතර ඇවිලී ගිය සිවිල් යුද්ධය  මිනිස් ජීවිත දහස් ගණනක් බිලි ගත්තේ, විශාල තෙල් හා ගෑස් සංචිත පාලනය කිරීමට ගෙනගිය  තරඟයේ ප්‍රතිඵලයක් ලෙසිනි. දැන් බෙන්ගාසි මූලස්ථානය කොට ගත් නැගෙනහිර කලාපයක් සහ අගනුවර වන ට්‍රිපොලියෙන් පාලනය වන බටහිර කලාපයක් ලෙස, එකිනෙකට සතුරු රජයන් දෙකකට ලිබියාව  බෙදා ඇත. ට්‍රිපොලි සිට අගමැති අබ්දුල් හමීඩ් ඩ්බෙයිබේගේ  ජාතික එකමුතුවේ රජය විසින් පාලනය කරනු ලබන අතර  කලීෆා හෆ්තාර්ගේ ලිබියානු ජාතික හමුදාවේ සහාය ඇතිව අගමැති ඔසාමා හමාඩ් යටතේ නැගෙනහිර පාලනය කෙරේ.

 නේටෝ ආක්‍රමණයට පෙර, 2010 දී, අප්‍රිකානු මහද්වීපයේ විශාලතම මෙන්ම වඩාත් සංවර්ධිත,  වැඩිම ආයු අපේක්ෂාව සහිත, ආර්ථික වශයෙන් වඩාත් සමෘද්ධිමත් රට වූයේ ලිබියාව යි.  

එක්සත් ජනපදය ගෙන ගිය   ව්‍යසනකාරී යුද්ධයේ ප්‍රතිවිපාක ලෙස ගරාවැටෙන යටිතල පහසුකම් සහිත, දරිද්‍රතාවය සහ හිගනකම උරුම කර ගත් රටක්  බවට ලිබියාව පරිවර්තනය වී ය. ජනගහණයෙන් තුනෙන් එකක් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වේ.  මිලියන 6.7 ක ජනගහනයෙන් 900,000 කට ආසන්න පිරිසකට දැන් මානුෂීය ආධාර අවශ්‍යව පවතී.

යුද්ධයට පෙර වර්ෂය වන 2010 දී ලිබියාවේ දළ දේශීය ,නිෂ්පාදිතය ඒක පුද්ගල ආදායම ඩොලර් 11,611 කි. 2021 වන විට,එකී ආදායම ඩොලර් 5,909 දක්වා අඩකින් අඩු විය. ඉතියෝපියාව (සියයට 591 කින් ඉහළට), කෙන්යාව (සියයට 468 කින් ඉහළට) සහ නයිජීරියාව (සියයට 230 කින් ඉහළ ගොස්) වැනි අප්‍රිකානු රටවලට  ප්‍රතිවිරුද්ධව, 2010 සිට 2021 දක්වා රටේ ශුද්ධ ධනය සියයට 21 කින් තියුනු ලෙස පහත වැටිනි.

ලිබියාවට එරෙහිව  එක්සත් ජනපද- නේටෝ ආක්‍රමණය සිදු වන්නේ ජනාධිපති බරක් ඔබාමාගේ පරිපාලනය යටතේ දීය.

ඔබාමා, ජනාධිපති ධුරයට පත්වූ 2009 වසරේ දීම, සාමය සඳහා වන නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබීය. අට වසරක තම ජනාධිපති ධුර  කාලසීමාව තුලදී ඔහු එක් දිනක් හෝ යුද්ධයෙන් වියෝ නොවුනි. එමෙන්ම    ඔහු ඉරාකයට  හා ඇෆ්ගනිස්ථානයට එරෙහි හමුදා ආක්‍රමණය තවදුරටත්  තීව්‍ර කලේ ය.ඔහු  2013 දී සිරියාව ආක්‍රමණය කරමින්, සිරියාව විනාශ කොට සිවිල් වැසියන් ලක්ෂ ගණනින් මරා දැමූ යුද්ධකට මුල් පිරී ය. ,  ඩ්‍රෝන යානා මගින් කරනු ලබන යුද්ධයකට මුල පුරමින් ,ඔහු  ඇෆ්ගනිස්ථානය , පකිස්ථානය, යේමනය , සෝමාලියාව යන රටවලට ඩ්‍රෝන වැසි වස්සා,අහිංසක මිනිසුන් දහස් ගණනක් මරා දැමීය. 

2011 ලිබියාව ආක්‍රමනයෙන් පසුව එහි ප්‍රතිවාදී මිලිෂියා කන්ඩායම් අතර සිවිල් යුද්දයක් ඇවිලීම පිටුපස අදිරාජ්‍යවාදීන්ගේ හා දනපති බලයන්ගේ පිටුබලය ලැබූ පාර්ශවයන්ගේ අරමුන වූයේ තෙල් සම්පත් මත සිය ආදිපත්‍ය පිහිටුවාලීමයි.

මේ කොන්දේසි යටතේ ඩර්නා වේලි නඩත්තු නොකෙරුනි.එබැවින්, ඩර්නාහී වේලි දෙක බිද වැටී එහි මිනිස් ජීවිත  20000 එක් රැයකින් පිස දැමීමේ  වගකීමෙන් ගැලවීමට ඔබාමාට සහ ඔහුගේ සගයන්ට නොහැකිය.

ගඩාෆි තන්ත්‍රය පෙරලා දැමීම සඳහා මුස්ලිම් මූලධර්මවාදී කන්ඩායම් යොදා ගනු ලැබුනි. ISIS ලෙස හඳුන්වනු ලබන මුස්ලිම් මූලදර්මවාදී කොටසක්  ජනාධිපති බෂාර් අල්-අසාද්ට එරෙහි කැරලිකාරී ව්‍යාපාරයකට සම්බන්ධ වීමට සිරියාවට යවන ලදී . ඉත පුහුණුව ලත්  අනෙකුත් ඉස්ලාම් මූලධර්මවාදීන් දකුණට ගමන් කරමින්, චැඩ්, නයිජර්, මාලි, බුර්කිනා ෆාසෝ , මධ්‍යම අප්‍රිකානු ජනරජය සහ නයිජීරියාව ඇතුළු  සහේල් ප්‍රදේශ අස්ථාවර කරමින් අප්‍රිකාවේ පුරා ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත කෙරුනි. 21 වන සියවසේ දෙවන දශකයේ, ලොව පුරා ව්‍යාප්ත වූ ඉස්ලාමිය මූලධර්මවාදී පිළිලය රෝපණය කර ව්‍යාප්ත වීමට ඉඩ සලසා දීමේ,  ප්‍රධාන වග උත්තරකරු වන්නේ ද ඔබාමා ය.

ගංවතුරෙන් විනාශ වූ  ඩර්නා හි ජනතාවට ආධාර කරන පුණ්‍යායතනට  දායක වන ලෙස මෙම ව්‍යසනකාරී ආක්‍රමණයේ ප්‍රධාන නියමුවා වූ , හිටපු ජනාධිපති බරක් ඔබාමා සති අන්තයේ ට්විටර්හි  මිලියන 132ක් වූ ඔහුගේ  අනුගාමිකයන්ගෙන් ඉල්ලා සිටියේ ය

ලිබියාව හා මැද පෙරදිග කලාපය අස්ථාවරත්වයට  ඇද දැමූ,  ලොව පුරා භීෂණය , ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදය  පැතිර වීමට දායක වු, 21 වන සියවසේ, අංක එකේ යුද  අපරාධකරු වන ඔබාමා, තමන් ද ඍජුවම වගකිව යුතු සිය අපරාධයකාරී අතීතය සැගවීම වස් ඩර්නාහී ඊනියා ” මානුෂික ආධාර වැඩසටහනක්” ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් විය.

ලිබියාවේ යුද්ධයට වගකිව යුතු , යුද්ධය  යුක්තිසහගත කිරීමේ ප්‍රධාන භූමිකාව ඉටු කළ එවකට දී උප ජනාධිපති වූ ජෝ බයිඩන් සහ  රාජ්‍ය ලේකම් වූ හිලරි ක්ලින්ටන් ද ඊට  ඇතුළත් ය. 

බිල් සහ හිලරි ක්ලින්ටන් විසින් පවත්වාගෙන යනු ලබන පදනම වන ගෝලීය ක්ලින්ටන් පදනම (Clinton Global Initiative )  අනුග්‍රහය දක්වන  සමුළුව සැප්තැම්බර් මස 19 හා 20 යන දෙදින තුළ  පැවත් වීය. පුරසාම් හා නොයෙකුත් නන්දෙඩවිලි ඇතුළත් වූ එහි න්‍යාය පත්‍රයේ ලිබියානු ව්‍යසනය හෝ එහි හිලරි ක්ලින්ටන්ගේ භූමිකාව හෝ සඳහනක් නොවී ය.

මේ ව්‍යසනය පිලිබද එලිදරව්වේ දී ඇමරිකානු සංගත මාද්‍ය ඊට ඔබාමා-බයිඩන් පාලනය සහ එක්සත් ජනපද ආන්ඩුවේ වගකිවයුතු යන්න ගැන කිසිවක් නොකි යයි.

එමෙන්ම  වොෂින්ටනයේ යුද අපරාධකරුවන් සම්බන්ධයෙන් දේශපාලනිකව හෝ අධිකරණමය වශයෙන් කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොවනු ඇත.

ජනාධිපති බයිඩන් ලිබියානු ජනතාවට සහයෝගය සහ අනුකම්පාව සඳහා ඔහුගේම ශුද්ධ ආයාචනයක් නිකුත් කළේය. “ලිබියාවේ විනාශකාරී ගංවතුරෙන් ආදරණීයයන් අහිමි වූ සියලුම පවුල්වලට ජිල් සහ මම අපගේ ගැඹුරු ශෝකය ප්‍රකාශ කරමි,”  පසුගිය සතියේ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ එක්සත් ජනපදය සහන සංවිධාන වෙත හදිසි අරමුදල් යවන බවයි. තවමත් ඩොලර් ප්‍රමානයන් ප්‍රකාශයට පත් කර නැත. නමුත් එය යුක්රේනයේ රුසියාවට එරෙහි යුද්ධයට  වියදම් කර ඇති ඩොලර් මිලියන 80,000  කට ආසන්න මුදල තබා 2011 දී ලිබියානු යුද්ධය සඳහා එක්සත් ජනපදය විසින් වියදම් කරන ලද ඩොලර් මිලියන 1100  හා සසඳන විට එය සොච්චම් අගයක් ගනු ඇත.

2011මාර්තු 19 දින ලිබියාවට එරෙහි හමුදා ආක්‍රමනය දියත් කෙරෙනු ලැබුවේ, බෙන්ගාසි ජනයා සමූලගාතනය කිරීමේ ගඩාෆි හමුදා තර්ජනයෙන්  බේරා ගැනීමේ කඩතුරාවට මුවාවී ගෙන ය.

ඊට දින දෙකකට පෙර,  එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මෙම ප්‍රබන්ධය අනුමත කරමින්, ලිබියාවට පහර දීම සඳහා එක්සත් ජාතීන්ගේ අනුමැතිය ලබා දුන්නේය. එහෙයින් නේටෝ අධිරාජ්‍යවාදීන් පමණක් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ලිබියානු ඛේදවාචකයේ වගකීම ඍජුවම දරයි.

සැප්තැම්බර් 18-26 දිනයන්හී නිව් යෝක් නගරයේ දී පැවත් වූ එක්සත් මහ මන්ඩල රැස්වීමේ දී ගෝලීය කුසගින්න හා රෝග වැලක් වීමට, මොරොක්කෝව,ලිබියාව ,තුර්කිය සහ තවත් ගනන් නැති රටවල් ගනනාවක “ස්වාභාවික විපත්”සදහා උපකාර කිරීමේ අවශ්‍යතාව පිලිබද ව ද සුලු සදහනක් විය.එහිදී ලෝක බලවතුන් හදිසි අවශ්‍යතාව ලෙස ඉස්මතු කලේ යුක්‍රේනයට සහය දැක්වීමට ලෝකය බලමුලු ගැන්වීම යි.

එහි දී ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂුල්ස් , 20 වන සියවසේ ජර්මානු අධිරාජ්‍යවාදයේ මහා අපරාධකරු ඇඩෝල්ෆ් හිට්ලර් විසින්, 2 වන ලෝක මහා සංග්‍රාමයේ දී රුසියාවට එරෙහිව අනුගමනය කරන ලද වැඩ පිළිවෙල , තමන් ඉදිරියට රැගෙන යන බවට පැහැදිලිව ඉගි කලේය .

මෙහි දී  රුසියාවට එරෙහි යුද්ධයට ඩොලර් මිලියන 40,000 කට ආසන්න මුදලක් වැය කොට  ඇති යුරෝපා සංගමය, ඩර්නා ගංවතුරෙන් විපතට පත් වූවන්ට ආධාර වශයෙන් ඩොලර් 537,000ක් ( එනම් ඩොලර් මිලියන භාගයකට මදක් වැඩි මුදලකි) ලබා දීමට පොරොන්දු විය.  

මෙසේ අධිරාජ්‍යවාදී බලවතුන් යුද  විනාශය සදහා මිනිය නොහැකි  ධනස්කන්දයක් යොදවන අතරතුර, මිනිස් ජීවිත  ගොඩනැගීම සඳහා වෙන්කරනුයේ, නොසලකා හැරිය හැකි තරම් වූ සොච්චම් මුදලකි. එපමණක් නොව, පසුගිය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී තවදුරටත් පැහැදිලි වූයේ , අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ප්‍රධානතම උත්සුකය වන්නේ, ඕනෑම මිලක් ගෙවා දමාඉ, අධිරාජ්‍යවාදී යුධ අග්නි ජාලාව තව තවත් අවුලුවා ලීමයි.

ලිබියාවේ එක්සත් ජනපද-නේටෝ යුද්ධයට  සහ  යුක්රේනයේ රුසියාවට එරෙහි යුද්ධයට පිටුබලය දුන් ව්‍යාජ-වාම කන්ඩායම් සහ “වාම” විද්වත් හූ නිශ්ශබ්දතාවයක් පවත්වාගෙන යති. නමුත් , නුදුරේදීම, මෙම බුද්ධි ජීවීන් ,තම නිශ්ශබ්දතාවය බිද දමා,අදිරාජ්‍යවාදීන්ගේ  ඊනියා ” මානුෂික ආධාර වැඩසටහන්” තොරොම්බල් කිරීමට    හා ඒ පිලිබද ව සිදු කරන  ප්‍රශස්ති ගායනා මගින්, කමිකරු පීඩිත මහජනතාවන් නැවතත් මුලාවෙහි හෙලීමට ක්‍රියා කරනු ඇත. 

ව්‍යාජ-වාම කණ්ඩායම් හා වාම බුද්ධිමතුන් ලෙස පෙනී සිටින අධිරාජ්‍යවාදයේ සියලුම ඒජන්සි වලට, අධිරාජ්‍යවාදයට  සහ එහි සියලු අපරාධවලට  එරෙහි දේශපාලන වාර්තාවක් ඇත්තේ ලෝක සමාජවාදී වෙබ් අඩවියට සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට පමනි. 

එහෙයින්, අප විසින් මෙහි පළකරනු ලබන ලිපි ලේඛන හදාරමින්, ඒවා පුළුල් සාකච්ඡාවකට බදුන් කරන ලෙස, අපි කම්කරුවන්ගෙන්, තරුණයන්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටිමු.

ලිබියාව සඳහා නේටෝවේ ඊනියා “මානුෂික ආධාර වැඩසටහන” හෙවත් අපරාධකරුවන් ගැලවුම්කරුවන්ගේ වෙස් ගැනීම  Read More »

Flood Luv ya

ලිබියාවේ ගංවතුර ව්‍යසනය: නෝටෝ අධිරාජ්‍යවාදී මංකොල්ලයේ ඛේදනීය විනාශයක් 

මිගාර මල්වත්ත විසිනි.

ඉතාමත් කෙටි කාලයක් තුළ යෝධ වර්ෂාපතනයක් ගෙන ආ ඩැනියෙල් කුණාටුව ග්‍රීසිය, බල්ගේරියාව සහ තුර්කිය ගංවතුරට ලක් කරමින් , මීටර් 400 ක් පමණ ගැඹුරකින් යුත් ලිබියාවේ වියලි නිම්නයක් (වොඩියක්) ජලයෙන් යට කර දැමීය. එය සැප්තැම්බර්  10  ඉරුදින පස්වරුවේදී, එහි ඩර්නා නගරය අසල ජල පෝෂක වේලි දෙකක් පුපුරුවා හැරියේය.

ඩර්නා නගරයට බටහිර දෙසින් සැතපුම් 150ක් දුරින් පිහිටි අල්- බේදා, අල්-මාර්ජි, ටොබෘක්, ටැකෙනිස්, අල්- බේදා, බටා සහ බෙන්ගාසි යන ලිබියාවේ නැගෙනහිර නගර ද මෙම කුණාටුවේ විනාශකාරී බලපෑමට ගොදුර විය.

Flood Luv ya
Derna නගරය 2023 සැප්තැම්බර් 12, අඟහරුවාදා දක්නට ලැබුනු ආකාරය. මධ්‍යධරණී කුණාටුව ඩැනියෙල් ලිබියාවේ විනාශකාරී ගංවතුර ඇති කළ අතර එය වේලි බිඳ දැමීය. වෙරළබඩ නගර කිහිපයක මුළු අසල්වැසි ප්‍රදේශම ගසාගෙන ගියේය. විනාශය විශාලතම ලෙස දිස් වූයේ Derna නගරයේ ය. [AP Photo/Jamal Alkomaty]

ඩර්නාහි වැසියන්ට වේලි දෙක පුපුරා යන විට විශාල පිපිරීම් ශබ්දයක් ඇසුණු අතර ටික වේලාවකට පසු නගරය මීටර් හතක් උස රළ පහරකට යට විය.

ඩර්නා අසල අනෙකුත් නගර ද සුනුවිසුනු විය. මාධ්‍යවේදී මොහොමඩ් එල්ජාර් පැවසුවේ බේරා ගැනීමේ කණ්ඩායම් ඒ වනවිටත් වෙරළබඩ නගරයක් වන සුසා සහ අවට ගම්මාන වෙත ළඟා වී නොමැති බවයි. 

ඩෙර්නා හි 13 වන දා රාත්‍රිය වන විට 11,300 මිය ගොස් ඇති බව තහවුරු විය. නමුත් 100,000 කට වැඩි පිරිසක් වාසය කරන ඩර්නා හි හතරෙන් එකක් මුළුමනින්ම ගසාගෙන ගොස් ඇත. එහි නගරාධිපති අබ්දුල්මේනම් අල්-ගයිති තම නගරයේ පමණක් මියගිය සංඛ්‍යාව 20,000 ට ළඟා වී ඇතැයි පිලිගත්තේ ය. මෙම සංඛ්‍යාව,1927 දී ඇල්ජීරියාවේ  මොස්ටෙගැනම් හා ඔරාන් (Mosteganem & Oran ) නම් දරුණු උතුරු අප්‍රිකානු ගංවතුරෙන් විනාශ වූ ජිවිත සංඛ්‍යාවට වඩා දස ගුණයකින් වැඩිය. 

ඩර්නා නගරය ජලයෙන් යටවීම මහ ව්‍යසනයකි. මේ වන විට එහි ජලය බැස ගොස් තිබුනද ඉන් බේරුණු අයට ද එවැනි ම දරුණු ව්‍යසනයක් අත් පත් වී ඇත.

ඩර්නාහි රෝහල්  තවදුරටත් ක්‍රියාත්මක නොවුනු අතර ඒවායේ මෘත ශරීරගාර පිරී ගොස් පැවතියේය. හදිසි සේවා  නොමැත. එහෙයින් මිනිසුන් බේරා ගැනීමට කිසිවක් නොමැති බැවින් හදිසි උපකාර අත්‍යවශ්‍යව පැවතී ය. 

 කුනු වූ මල සිරුරු එකතු කිරීමට ජනතාව කටයුතු කරමින් සිටිය හ. මල සිරුරු තනි තනි සොහොන්වල  මිහිදන් කිරීමට කාලයක් හෝ ඉඩක් නොමැති බැවින් සමූහ මිනී වලවල මිහිදන් කරනු ලැබෙයි. එක් තැනක මල සිරුරු 500ක් සාමුහිකව  මිහිදන් කළ බව වාර්තා වේ.මේ තත්ත්වය තුල මෙම කලාපයට සිරුරු බෑග් හදිසි නැව් ගත කිරීමක් කරන ලෙස සහන සේවකයෝ ඉල්ලා සිටිය හ.

“ඇත්ත වසයෙන් ම  මලසිරුරු ගොඩ නැගීමට විශේෂ කන්ඩායම්  අවශ්‍ය යි. මල සිරුරු විසාල ප්‍රමානයක් සුන්බුන් යට සහ ජලයේ තිබීම නිසා නගරය  වසන්ගතයකට ගොදුරු වේ යැයි මම බිය වෙමි”යැයි ඩර්නාහී නගරාධිපති අබ්දුල්මේනම් අල්-ගයිති බිය පල කලේය.

දුරකථන මාර්ග සහ අන්තර්ජාල ප්‍රවේශය ක්‍රියා විරහිත වූ අතර  නගරයට ප්‍රවේශවීම සුන්බුන් හේතු.වෙන් දැඩි ලෙස අවහිර වී පැවතීය.

මේ සමගම ගංවතුරෙන්  මහජනයා ආරක්ෂා කිරීමට අපොහොසත් වු බලදාරීන්ට එරෙහිව නගරයේ කම්කරුවන් අතර කෝපය පුපුරා යෑමත් සමග ඩර්නාහී විරෝධතා පුපුරා යන්නට විය. විරෝධතාකරුවෝ ඩර්නා නගරාධිපතිගේ නිවසට පිටතින් රැස්වී, ඊට  කඩා වැදී එය පුලුස්සා දැමූහ.

මේ තතු යටතේ ඩර්නාහී සිදුවීම් පිලිබද වාර්තා බාහිර ලෝකයට පැමිනීම වැලැක්වීමට නැගෙන්හිර බලදාරීහූ පුලුල් පියවර ගත්තහ. ට්විටර්හි අත්ලන්තික් කවුන්සිලයේ එමඩින් බාඩි සදහන් කර ඇත්තේ  ඩර්නාහී  මාධ්‍ය අවහිරය දැන් ක්‍රියාත්මක ව පවතින අතර සන්නිවේදනය  අලුයම සිට අක්‍රියව පවතීය  යන්නයි. එමෙන්ම, ඔහු තවදුරටත් එහි සඳහන් කර පැවතියේ හෆ්තාර්ගේ  හමුදා බලකාය වන ලිබියානු අරාබි සන්නද්ධ හමුදාව(LAAF) විරෝධතා වැසියන්ට  දඬුවම් කිරීමක් ලෙස තුර්කියේ සහ ඇල්ජිරියාවේ සෙවීම් හා ගලවා ගැනීමේ කන්ඩායම්, මාධ්‍යවේදීන් සහ ට්‍රිපොලිටේනියාවේ වෛද්‍ය කන්ඩායම්වලට පිටවී යන ලෙස නියෝග ලබාදී ඇති බවයි . 

ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් හෆ්තාර්ගේ පාලන තන්ත්‍රයට අබියෝග කරන විරෝධතාකරුවන්ට සලකන ආකාරය වාර්තා කලේ මෙසේය:

 “රට පුරා පැවති සාමකාමි විරෝධතා මර්දනය කිරීමට මිලිෂියා  හා සන්නද්ධ කණ්ඩායම් නීතිවිරෝධී බලය  යොදාගති. පුද්ගලයන් දුසිම් ගණනක් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට, දීර්ඝ සිර දඬුවම් හෝ මරණ දණ්ඩනයට නියම කිරීම …….මිලිෂියා සහ සන්නද්ධ කණ්ඩායම් ක්‍රමානුකූලව වධහිංසා පමුනුවා වෙනත් ආකාරයෙන් රැඳවියන්ට දණ්ඩ මුක්තිය නොමැතිව අයහපත් ලෙස සැලකීය. සිරකරුවන්ට  පහරදීම, විදුලි සැර වැද්දීම, සමච්චල් කිරීම, ඝාතනය කිරීම, කසපහර දීම, අඩන්තේට්ටම් කිරීම සහ ලිංගික හිංසනයන් වාර්තා විය”

මෙම බිහිසුනු ව්‍යවසනය ධනපති ක්‍රමයේ අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස හටගෙන ඇති, ගෝලීය උණුසුම ඉහළ යෑම ප්‍රමුඛ කොටගත් දේශගුනික විපර්යාස මගින් තීව්‍ර වූ දරුණු කාලගුනයේ ප්‍රතිඵලයක් පමනක් නොවේ. ඩර්නා කලාපයේ වේලි හා තීර්නාත්මක මහජන සේවාවන් අසාර්ථක වීම ගලා එන්නේ ලිබියාව පුරා දශකයට වැඩි කාලයක් අධිරාජ්‍යවාදී විසින් කොල්ලකෑමට ලක්ව තිබීමෙන් හා 2011 දී ලිබියාවට  එරෙහිව නේටෝව   දියත් කළ යුද්ධය මගින් රට සුනුවිසුනු කළ සිවිල් යුද්ධ ඇද දැමීමේ හේතුවෙනි.

ජාත්‍යන්තර   අර්බුද කණ්ඩායමේ නිලධාරියෙකු ක්ලෝඩියා  එය පැහැදිලි කොට තිබුනේ මෙසේය: “ගඩාෆි   තන්ත්‍රය බිඳ වැටීමෙන් වසර 10ක් තුළ, ඊළඟ වසර 10 ක යුද්ධය, ප්‍රතිපත්තීමය එදිරිවාදිකම්   ආණ්ඩු දෙකම යටිතල පහසුකම් මුළුමනින්ම නොසලකා හැර ඇත”.

ලිබියානු ඛේදවාචක වගකීම එක්සත් ජාතීන්ගේ සංවිධානය ද දරයි. 2011 මාර්තු  17  වැනි දින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය  ලිබියාවට එරෙහි  ක්‍රියාමාර්ග අනුමත කළේය.

නේටෝව   ලිබියාව  යටත් කර ගැනීම සාමය, සෞභාග්‍ය, ප්‍රජාතන්ත්‍රවාදය හා “ලිබියානුවන්ට සාමාන්‍ය  ජීවිතයක් ගත කිරීමට ඉඩ දීමේ” අපේක්ෂාව නිර්මාණය කරන   නිසා යුද්ධයට සහාය දුන් බවට තර්ක කල සියලුම නිලධාරීන් සහ මහාචාර්යවරුන්  ලිබියාව විනාශ කොට රට යලිත් වහල්බාවයට ඇද දැමීමට, දහස් ගනනින් මරා දැමීමට සහ ගැනිය නොහැකි මිනිස් දුක්කිතබාවයට ඇද හෙලීමට වග කීම් දරනු ලබයි. 

හෆ්තාර්ගේ  හමුදා විසින් ඩර්නාහි සිදු කරනු ලබන  ඕනෑම  මර්දනයක් කෙරෙහි, ඔහුව  බලයට පත් කිරීමට උදව් කළ සහ  නැගෙනහිර ලිබියාවේ තෙල් ධනයට ප්‍රවේශය ලබා ගැනීම සඳහා තවමත් ඔහු සමග සබඳතා පවත්වන නේටෝ අධිරාජ්‍යවාදී බලවතුන් සෘජුවම සම්බන්ධ වනු ඇත.

එවන් මර්දනයකට විරුද්ධ වීමට ලිබියාවේ හා ජාත්‍යන්තර කම්කරුවන්  හා තරුනයින් බලමුලු ගැන්වීම අවශ්‍ය වන්නේ දූෂිත බලදාරීන්ට පමනක් නොව,නේටෝ බලවතුන්ට සහ ඔවුන්ගේ  දේශපාලන සහකරුවන්ට එරෙහිව ය.

ලොව පුරා කම්කරුවන් හා තරුනයන්  මුහුන දෙන තීර්නාත්මක  කර්තව්‍ය නම් පෙර නොවූ විරූ මහා ව්‍යසනය දාමයක් ඇති කරමින් චලනය වන මෙම මිලිටරි උත්සන්න කිරීමේ සර්පිලාකාරය නැවැත්වීමට අධිරාජ්‍යවාදයට එරෙහිව ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීම යි. නේටෝ අධිරාජ්‍යවාදී බලවත්තු යුක්‍රේනයේ යුද්ධය තීව්‍ර කර රුසියාව බෙදීමට සහ එහි ස්වාභාවික සම්පත් උදුරා ගැනීමට කුමන්ත්‍රනය කරන විට, ඔවුන් නැවතත් “ප්‍රජාතන්ත්‍රවාදයේ” සහ “නිදහසේ” ආරක්ෂකයින් ලෙස පෙනී සිටිති. මෙවර එය රුසියාවේ ජනාධිපති  ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව ය. යථාර්ථය නම්, ලිබියාව දූෂනය කිරීම සහ ඩර්නාහී ව්‍යවසනය, අධිරාජ්‍යවාදී කොල්ල කෑමේ යුදවල  විනාශකාරි ප්‍රතිඵලය යන්නය.

ලිබියාවේ ගංවතුර ව්‍යසනය: නෝටෝ අධිරාජ්‍යවාදී මංකොල්ලයේ ඛේදනීය විනාශයක්  Read More »

ඉන්දීය ආරක්ෂක ඇමතිගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කෙරුනේ ඇයි?

එල්.පී. උදයප්‍රේම විසිනි.

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සැප්තැම්බර් 2-3 දිනවල ශ්‍රී ලංකාවේ සිදු කිරිමට නියමිතව පැවති සිය සංචාරය හදිසියේ අවලංගු කලේ ය. ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය, එහි විදේශ අමාත්‍යාංශය මෙන්ම ලංකාවේ බලධාරීන් ද, මේ වන තෙක් ඊට හේතු වූ කරුනු සඳහන් කොට නැත. 

Singh
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං (වමේ) සහ එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ජෙනරාල් ලොයිඩ් ඔස්ටින් (දකුනේ) අතර 2021 මාර්තු මස පැවති සාකච්ඡාවේදී ඉන්දියාව සහ එක්සත් ජනපදය ඔවුන්ගේ හමුදා කටයුතු පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කලහ.

එක්සත් ජනපදය, ජපානය, ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව එක් වී තනාගෙන තිබෙන ක්වෝඩ් (QUAD) මිලිටරි සංවිධානය යටතේ ඉන්දියාව, සමස්ත දකුනු ආසියාව ඒ තුලට ඇද ගැනීමට වෙර දරයි. තම ආරක්ෂක ඇමතිවරයා දෙදින නිල සංචාරයක් සඳහා ලංකාවට එවීමට තීන්දු කොට, දෙ රටේ ආරක්ෂක සම්බන්ධතා යලි අලුත් කරගැනීමට යත්න දරන්නේ එබැවිනි. ජනාධිපති හා ආරක්ෂක අමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සහ අගමැති දිනේෂ් ගුනවර්ධන ඇතුලු ආන්ඩුවේ බලධාරීන් සමග සිදු කරනු  ලබන සාකච්ඡා මගින් එකී සම්බන්ධතා තර  කර ගැනීමට සැලසුම් කර තිබුනි.

රාජ්නාත් සිංගේ සංචාරය සූදානම් කෙරුනේ, ජනාධිපති වික්‍රමසිංහ ඉන්දියාවට කල සංචාරයේ දී, ආරක්ෂක සම්බන්ධතා වැඩිදියුනු කිරීමට අගමැති මෝදි සමග ඇති කරගත් එකඟතාවයන්ගේ දිගුවක් ලෙස ය. 

අමාත්‍ය රාජ්නාත් සිංගේ මේ සංචාරය හදිසියේ අවලංගු කෙරුනේ, චීන ෂී යැන් 6 (shi yan 6) පර්යේෂන නෞකාව ලංකාවට පැමිනීමට අවසර ගෙන සිටින තතු යටතේ, ඒ පිලිබඳ ව විශේෂයෙන් ම ඉන්දියාවේ  බලධාරීන් අතර බලගතු විරුද්ධත්වයක් පැන නැගී ඇති තත්ත්වයක දී ය. 

Ship
ෂී යැන් 6 (shi yan 6) පර්යේෂන නෞකාව

ඉන්දියාවේ මතභේදයන්ට තුඩු දී තිබෙන ෂී යැන් 6 චීන පර්යේෂන නෞකාවට, ඔක්තෝබර් 26දා සිට නොවැම්බර් 10දා දක්වා දින 17ක් ලංකාවේ රැඳී සිටීමට හා  ක්‍රියාකාරකම්වල නිරත වීමට ආරක්ෂක අමාත්‍යාංශය අවසර දී තිබෙන්නේ ඒ තතු තුල ය. ඊටත් වඩා, ගිය වසරේ චීන යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොට වරායේ නැංගූරම් ලෑමට එරෙහි ව දිල්ලි ආන්ඩුව බලගතු විරුද්ධත්වය පෑමෙන් අනතුරුව ය.

වසර ගනනාවක සිට ම චීනය හා ලංකාව අතර වැඩෙන මිලිටරි සබඳතාවන්ට ඉන්දියානු බලධාරීන්ගේ බලගතු විරුද්ධත්වයක් එල්ල වී තිබේ. සැප්තැම්බර් 01දා Economynext වෙබ් අඩවියේ සඳහන් කර තිබුනේ, ඉන්දීය සාගරයේ චීන ක්‍රියාකාරිත්වය ඉහල නැඟීම පිලිබඳ ව ඉන්දියාවේ අවධානය යොමු වී පවතින බවයි. ඉන්දියාවේ ‘ද වීක්’ (The week) සඟරාව, චීන නෞකාවේ සිද්ධිය පිලිබඳ සඳහනේ දී, ඉන්දියාවේ ආරක්ෂක අංශයේ ප්‍රධානියෙකුගේ ප්‍රකාශයක් උපුටමින් අවධාරනය කර තිබුනේ, ‘ඉන්දියාවේ හා ලංකාවේ ද්විපාර්ශවික සබඳතාවල ඉරි තැලීමක් වන බව’ යි.

ලෝක බලවතුන් හා  ලංකාව අතර මිලිටරි සහයෝගීතා හා ආරක්ෂක සම්බන්ධතා වැඩි දියුනු වීම වර්තමානයේ වෙන කවරදාටත් වඩා වැඩියෙන් දැකිය හැකිය. ඉන්දියානු කලාපයේ මෙය සිදු වන්නේ, ලොව පුරා යුද ආතතිය, විශේෂයෙන්ම චීනයට එරෙහි ව සිදු කරන යුද ප්‍රකෝපකාරීත්වය මධ්‍යයේ ය.  චීනයට එරෙහි ඉන්දියාවේ මිලිටරි උත්සුකතා එහි කොටසකි. සැප්තැම්බර් 4දා දිවයින පුවත්පතේ පල කරනු ලැබූ ලිපියකට අනුව, පසුගිය වසර 3 දී, ලංකාවේ වරායට ආ යුද නැව් 126න් 45ක්ම ඉන්දියාවෙන් වීම කැපී පෙනෙන සංසිද්ධියකි.

ඉන්දියාව  පෙල ගැසී සිටින්නේ ඇමරිකාව ඇතුලු අධිරාජ්‍යවාදී බලයන් චීනයට එරෙහි ව සකස් කරමින් සිටින ආර්ථික හා මූලෝපායික සැලසුම් සමග ය. එකී පිලිවෙත පිටුපස ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය හා මාල දිවයින යන දුගී රටවල් පෙල ගස්සා ගැනීමට ඉන්දියාව තම ආර්ථික හා මිලිටරි බලයන් ඍජුව හා වක්‍රව යොදා ගනී. ඊට සිත් කාවදින උදාහරනයකි, 2015 ජනවාරි 8දා ජනාධිපති මහින්ද රාජපක්ෂ නෙරපා හැර මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන ඒමට ලංකාවේ සිදු කල තන්ත්‍ර මාරුව. එය ඉන්දියාවේ අනුදැනුම සහිතව වොෂින්ටනය හරහා සැලසුම්කර ක්‍රියාත්මක කල මෙහෙයුමකි.

ලෝකයේ බලවත් ම මිලිටරි බලයක් ඇති ඉන්දියාවේ එබඳු බලහත්කාරයන්ට දකුනු  ආසියාවේ රටවල් නිරන්තරව මුහුන දී සිටිති.

මේ මූලෝපායික අක්ෂයෙන් ස්වාධීන වීමට ලංකාව බඳු බෙලහීන පාලන තන්ත්‍රයන්ට නො හැකි ය. එබැවින් ඔවුන්ගේ කටයුත්ත වී ඇත්තේ ලෝක බලවතුන් අතර දෝලනය වෙමින් තම පැවත්ම සහතික කර ගැනීම ය. රාජපක්ෂ තන්ත්‍රය මෙන් ම රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ද මුහුන දී සිටින්නේ එම කොන්දේසිවලට ය. 

ජාතික ධනපති පංතියේ ඊනීයා ස්වාධීනත්වයේ වංචනික කතා වෙනුවට ඔවුහු, අධිරාජ්‍යවාදී උවමනා එපාකම් වෙනුවෙන් එලිපිටම පෙනී සිටින පාලක ප්‍රභූවන් බවට හැරී සිටිති. සෑම තැනකම පාලක නඩ කම්කරු පංතිය ප්‍රමුඛ පීඩිත මහජනයාට එරෙහි ඒකාධිපති පාලනයන්ට පාර කපා ගනිමින් සිටින්නේ ඒ නිසා ය. රනිල් වික්‍රමසිංහගේ අධිරාජ්‍ය ගැති, ප්‍රජාතන්ත්‍ර විරෝධී පිලිවෙත් මගින් පෙන්නුම් කෙරෙන්නේ එම සූදානම යි.

අධිරාජ්‍යවාදී ක්‍රමයේ පුපුරා යන අර්බුදය යුද්ධයටත් ලෝක පරිමාන පංති අරගලයටත් තුඩු දී පවතින තතු යටතේ පාලක පංතිය වඩවඩාත් ප්‍රතිගාමීත්වයට ගමන් කරනු ඇත. ඉන්දීය උප මහාද්වීපයේ කම්කරුවන් මෙන් ම සෑම රටකම කම්කරු ජනයා මුහුන දී සිටින්නේ එම අනතුරටය. එම අනතුර පරාජය කල හැක්කේ අධිරාජ්‍යවාදී මූලෝපාය පරාජය කිරීමේ ශක්‍යතාව ඇති ජාත්‍යන්තර කම්කරු පන්තිය, ධනේශ්වරයෙන් ස්වාධීනව සමාජවාදී පිලිවෙත මත සංවිධානය වීමෙනි.

ඉන්දීය ආරක්ෂක ඇමතිගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කෙරුනේ ඇයි? Read More »

Mine

යුක්‍රේනයේ අමුද්‍රව්‍ය නිධි සඳහා යුද්ධය හා රුසියාව න්‍යෂ්ඨික අවි යෙදවුමකට ප්‍රකෝප කිරීම

මිගාර මල්වත්ත විසිනි.

මෙම ලිපිය ලෝක සමාජවාදී වෙබ් අඩවියෙහි (wsws.org) පළ වූ අදාල ලිපි සහ වෙනත් මූලාශ්‍ර ද ඇසුරෙන් සම්පාදනය කරන ලද්දකි. මෙය ⁣යුක්‍රේනය තුල ඇමරිකා එක්සත් ජනපදය හා⁣ නැටෝව විසින් රුසියාවට එරෙහිව සිදුකරගෙන යන විනාශකාරී යුද්ධයේ වර්ධනය පිලිබඳ ලියවෙන ලපි මාලාවක කොටසක් වේ.

G7 සමුළුව රුසියාවට එරෙහි යුද සූදානමක

මැයි 19 සිට 21 දක්වා ජපානයේ හිරෝෂිමා හි පැවති G7 සමුළුව රුසියාවට එරෙහි ප්‍රකෝපකරනයේ තවත් ඉදිරි පියවරක් සනිටුහන් කළේය. G7 රාජ්‍ය – එනම්, එක්සත් ජනපදය, ජපානය, ජර්මනිය, එක්සත් රාජධානිය, ප්‍රංශය, ඉතාලිය සහ කැනඩාව – රාජ්‍යතාන්ත්‍රික විසඳුම් සඳහා කිසිදු ඉඩක් නොතබා රුසියාවට අවසාන නිවේදනයක් නිකුත් කළේය.

අප රුසියාවෙන් ඉල්ලා සිටින්නේ එහි අඛණ්ඩ ආක්‍රමණ නතර කරන ලෙසත්, යුක්රේනයේ ජාත්‍යන්තරව පිළිගත් භූමියෙන් වහාම, සම්පූර්ණයෙන් සහ කොන්දේසි විරහිතව සිය හමුදා සහ හමුදා උපකරණ ඉවත් කර ගන්නා ලෙසත් ය,” යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.

මෙයින් කියවෙන්නේ, ක්‍රිමියාවෙන් ඉවත් වීම සහ මූලෝපායික වශයෙන් වැදගත් සෙවාස්ටොපෝල් නාවික කඳවුර අතහැර දැමීමයි. මෙසේ, ඕනෑම සාම සාකච්ඡාවක් සඳහා පූර්ව අවශ්‍යතාවයක් ලෙස G7 සාමාජිකයෝ මොස්කව්හි කොන්දේසි විරහිත යටත් වීම ඉල්ලා සිටිති. මොස්කව් ආරක්ෂාව සහතික කිරීමක් හෝ යුක්රේනය නේටෝවට ඇතුළත් කර ගැනීම අත්හැරීම හෝ වැනි සහන කිසිවක් ඔවුන් ලබා දුන්නේ නැත. ඒ වෙනුවට, එම ප්‍රකාශය “අවශ්‍ය වන තාක් කල්“ – එනම්, රුසියාවේ මිලිටරි පරාජය සිදු වන තාක් – “යුක්‍රේනයට අවශ්‍ය මූල්‍ය, මානුෂීය, මිලිටරි සහ රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය ලබා දීමට ” ප්‍රතිඥා දුන්නේය. 

G7
වමේ සිට කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්, බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් සහ යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් හිරෝෂිමා හි හිරෝෂිමා සමුළුවේදී , 2023 මැයි 19, සිකුරාදා. [AP Photo/Franck Robichon]

යුක්රේනය න්‍යෂ්ටික බලය සහිත F16 ප්‍රහාරක ජෙට් යානාවලින් සන්නද්ධ කිරීමට තීරණය කරන්නේ මෙම සන්දර්භය තුළ ය. F16 යානා, යුද්ධය රුසියානු භූමියේ ගැඹුරට ගෙන යාමට සමත් වනු ඇත. මෙයින් නේටෝ හමුදා සෘජුවම සටනට සම්බන්ධ වන සහ යුරෝපය ගිනිබත් කිරීමට තර්ජනය කරන තවත් මිලිටරි තීව්‍රවීමක් නොවැළැක්විය හැකිය.

මේ සමගම, මොස්කව් හි පාලන තන්ත්‍රය වෙනස් කිරීමට බල කර, රට ආර්ථික හා මූල්‍යමය වශයෙන් අස්ථාවර කිරීමට ඔවුහු අදහස් කරති. රුසියාවට තවදුරටත් සම්බාධක පනවමින්, “යුක්රේනයේ දිගුකාලීන ප්‍රතිසංස්කරණය සඳහා යන වියදම රුසියාව විසින් ගෙවනු ලැබීමටත්,” එහි නායකයන්ගේ “යුද අපරාධ සහ අනෙකුත් කුරිරුකම්” සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීම සහතික කිරීමටත් වග බලා ගැනීමට ඔවුහු තීරණය කළහ.

ව්ලැඩිමීර් පුටින්ගේ පාලන තන්ත්‍රයට තමන්ගේම මරණ වරෙන්තුවක් අත්සන් නොකර මෙම අවසාන නිවේදනය සපුරාලිය නොහැකි බව පැහැදිලිය. මෙම අවසාන නිවේදනයෙන් කියැවෙන්නේ, නේටෝව එහි ඉලක්කය සපුරා ගන්නා තෙක් යුද්ධය දිගටම කරගෙන යන බවයි. මොස්කව්හි රූකඩ පාලනයක් පිහිටුවීම සහ රුසියානු සමූහාණ්ඩුව විනාශ කිරීම සඳහා දැරෙන මෙම ප්‍රයත්නය තුල න්‍යෂ්ටික යුද්ධයක අන්තරාය උත්සන්න වීමේ අවදානම G 7 සමුළුව දැනුවත්ව පිළිගනියි.

“න්‍යෂ්ටික ගැටුමක් තීව්‍ර වීමේ තර්ජනය අහවර වී නැති අතර ම, යුක්‍රේන දේශසීමා හරහා සිදු කරන මෙහෙයුම් හරහා න්‍යෂ්ටික අවියක් භාවිතා කිරීමට පෙළඹවීම ශක්‍ය ක්‍රියාවක් නො වන බව” එක්සත් ජනපදයේ නිලධාරීහු කියති. “පුටින් මහතා බලය දැරීම තර්ජනයට ලක්වුව හොත්, යුක්‍රේනය තුල එහි මිලිටරිය මුලුමනින් ම ඇදවැටීම ආරම්භ වුව හොත් හෝ 2014 දී රුසියානු හමුදා විසින් අල්ලාගත් ක්‍රිමියාව අහිමි වීමට එය මුහුන දුන්න හොත් පමනක්, රුසියාව උපායික න්‍යෂ්ටික අවියක් භාවිතා කරනු ඇතැයි “ ඇමරිකානු ඔත්තු සේවා නිලධාරීන් කියා තිබේ.

ඉන් පැහැදිලි වන්නේ, අධිරාජ්‍යවාදය දැන් සියලු කටයුතු සූදානම් කර දියත් කරනු ලබන්නේ, රුසියාව උපායික න්‍යෂ්ටික අවියක් භාවිතා කිරීමේ දෙසට තල්ලු කිරීමට බව ය.

යුක්‍රේනයේ යුද්ධය හෙවත් “හොඳම මූල්‍ය  ආයෝජනය”

මෙලෙස, එක්සත් ජනපදය හා නේටෝ බලවත්හු යුද්ධයට සෘජුවම සම්බන්ධ වීම පිලිබදව ඉතිරිව ඇති සියලු සීමා කිරීම් අත්හැරීමට වේගයෙන් ගමන් කරමින් සිටිති. වර්තමානයේ, ගෝලීය මිලිටරි වියදම් සඳහා වෙන්කර ඇති දැවැන්ත මුදලත්, ඉන් යුක්‍රේන යුද්ධයට වෙන් කෙරෙන මුදලත් සලකා බැලීමේදී, මෑත දී පළ වූ වාර්තාවන්ට අනුව, ගෝලීය මිලිටරි වියදම සදහා වෙන් කරන ලද මුදල ඩොලර් බිලියන 2240ක අති දැවැන්ත අගයක් ගන්නා අතර, මෙයින් නේටෝ සමාජිකයින්ගේ පංගුව ඩොලර් බිලියන 1237 කි. ඉන් ඩොලර් බිලියන 150 ක ප්‍රමාණයක් වෙන්වන්නේ යුක්‍රේන යුද්ධය සඳහාය. මෙය මුළු නේටෝ රටවල මිලිටරි වියදමින් 12% වැඩි ප්‍රමාණයකට සමාන වන අතර, යුක්‍රේනයේ යුද්ධය සදහා වෙන් කෙරෙන මුදලින් අඩකටත් වඩා වැඩි, එනම් ඩොලර් බිලියන 77 ක දායකත්වයක් ලබා දෙන්නේ එක්සත් ජනපදය විසිනි. එය, මෙවර, එක්සත් ජනපදය මිලිටරි වියදම් සඳහා වෙන්කර ඇති ඩොලර් බිලියන 877 ක මුදලින් 9% කට ආසන්න ප්‍රමාණයකට සමාන වේ. 2022 ජනවාරි 24 සහ 2023 පෙබරවාරි 24 දක්වා කාලය තුළ යුක්රේනය විසින් මෙම මෙම මුදල් ප්‍රමාණය ලබා ගෙන ඇත.

යන්තම් වසරක යුද්ධයකදී යුක්රේන හමුදාව ඇස්තමේන්තුගත මරණ 200,000ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකට ගොදුරු වී ඇත. මිය ගිය එක් අයෙකු සඳහා 4 දෙනෙකු තුවාල ලැබූ සාමාන්‍ය අනුපාතය සලකා බලන විට, තවත් 800,000 පුද්ගලයින් තුවාල ලබා ඇති බව මෙයින් හැඟවේ. රුසියානු හා යුක්‍රේන සොල්දාදුවන්ගේ ඇස්තමේන්තුගත මරණ සංඛ්‍යාව 350,000 ඉක්මවයි.

එමෙන්ම, යුක්‍රේන ජනතාවගේ ජීවිත කෙරෙහි සාපරාධී නොතැකීමක් ප්‍රදර්ශනය කරමින් එක්සත් ජනපදය, යුක්රේන භූමියේ රුසියාව සමඟ යුද්ධයේදී භාවිතා කිරීම සඳහා පිළිකා ඇති කරන ක්ෂය වූ යුරේනියම් උණ්ඩ එම රටට යැවීමට සූදානම් විය. 

වෝල් ස්ට්‍රීට් ජර්නලය වරක් වාර්තා කළේ බයිඩන් පරිපාලනය මෙම විෂ සහිත සහ විකිරණශීලී යුද්ධෝපකරණ යුක්‍රේනයට යැවීමට තීරණය කර ඇති බව සහ එම තීරණය ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බවත්ය.

ක්ෂය වූ යුරේනියම් උණ්ඩ M1 Abrams වැනි ටැංකිවල ප්‍රධාන තුවක්කුවෙන් වෙඩි තබන අතර රුසියාවේ සෝවියට් ටැංකිවල සන්නාහය සිදුරු කිරීමට එය භාවිතා කරනු ඇත.

ජර්නලය වාර්තා කළේ, මෙම ආයුධය යැවීම මඟින් “සෞඛ්‍ය හා පාරිසරික අවදානම් ගෙන යා හැකි ආයුධයක් සපයන බවට වන විවේචනයට වොෂින්ටනය විවෘත වනු ඇත” යන කාරනය සම්බන්ධයෙන් ධවල මන්දිරය තුළ ඇති වූ විවාදයකින් පසුව මෙම තීරණය ගෙන ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන පසුගිය වසරේ වාර්තා කළේ යුරේනියම්වල “රසායනික විෂ” ක්ෂය වීම “සමේ සංකූලතා, වකුගඩු අකර්මණ්‍ය වීම සහ පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කළ හැකි” බවයි.

මෙවැනි මහා ධනස්කන්ධයක් ආයෝජන කරමින් ද, මිලියන ගණනකගේ ජීවිත මරණයට හා අනතුරට ලක් කරමින් ද, මෙම යුද්ධය දිනෙන් දින ධනපති පන්තිය විසින් උග්‍ර කරනු ලබන්නේ ඉන් මානව සංස්කෘතියට අත්පත් වන ඛේදනීය ඉරණම නොතකා, මෙම යුද්ධය මගින් කොල්ලකා ගත හැකි සුවිශාල සම්පත් තුලින් තම ලාභ අවශ්‍යතාවය ඉටු කර ගැනීමේ අවස්ථාවන් ගණන් බලා ඇති හෙයිනි.

ලෝකයේ විශාලතම රට වන රුසියාව තුල පවතින අතිමහත් ස්වභාවික සම්පත් ප්‍රමාණය පසෙක තැබුවත්, යුක්‍රේනය තුල පමණක් ඇති ස්වභාවික සම්පත් ප්‍රමාණය අති දැවැන්තය. 

කර්මාන්ත සඟරාව Mining World ට අනුව, යුක්රේනයේ අමුද්‍රව්‍ය තැන්පතු 20,000ක් පමණ ඇති අතර, ඒවායින් ගවේෂණය කර ඇත්තේ 7,800ක් පමණි. 

ජර්මනියේ වෙළඳාම සහ ආයෝජනය (GTAI) ජනවාරි 16 දින “යුක්රේනයේ අමුද්‍රව්‍ය අවදානමේ” යන මාතෘකාව යටතේ එහි වෙබ් අඩවියේ වාර්තා කළේ මෙසේය:

“යුරෝපයේ විශාලතම ලිතියම් නිධියට ඇත්තේ ඩොන්බාස් ප්‍රදේශයේ ඩොනෙට්ස්ක්හි ඉදිරි පෙරමුණේ සිට කිලෝමීටර් කිහිපයක් පමණි. රුසියානු ආක්‍රමණයෙන් මාස දෙකකට පසු ප්‍රකාශයට පත් කරන ලද ” ටැගෙස්පීග්ල්” (Tagesspiegel) හි ලිපියක්, පොට්‍රොව්ස්ක් (Potrovsk) අසල ෂෙව්චෙන්කො (Shevchenko) හි ටොන් 500,000ක ලිතියම් සංචිත සහ අවම වශයෙන් තවත් යුක්‍රේන තැන්පතු දෙකක් පෙන්වා දෙයි.”

ගල් අඟුරු පතල් 41ක්, ගෑස් නිධි 27ක්, තෙල් බිම් 9ක් සහ යපස් නිධි 6ක් ඇතුළුව “ඩොලර් ට්‍රිලියන 12.4ක් වටිනා අමුද්‍රව්‍ය තැන්පතු” යුක්‍රේන හමුදාවේ පාලනයෙන් ඔබ්බට පවතී. යුක්රේනයේ ගල් අඟුරු, ගෑස්, තෙල් සහ තිරිඟු පමණක් නොව දුර්ලභ පස් සහ ලෝහ ද පවතී. ලිතියම්, නව බලශක්ති සහ ප්‍රවාහන තාක්‍ෂණයන් වෙත සංක්‍රමණය වීමේ “සුදු රත්‍රන්” ලෙස හැඳින්වේ. යුරෝපයේ ගවේෂණය කරන ලද ලිතියම් තැන්පතු වලින් තුනෙන් එකක් පමණ යුක්‍රේනය සතුය.

Mine
යුක්‍රේනයේ පොල්ටාවා හි ඇති යපස් ආකරයක්

කරුණ දැන් වඩාත් පැහැදිලිය. අධිරාජ්‍යවාදී බලවතුන් මේ දක්වා යුක්‍රේන යුද්ධය සදහා ආයෝජන කර ඇති මුළු මුදල ඩොලර් බිලියන 150 කි. නමුත්, තම ආධිපත්‍යය යටතේ පවතින යුක්‍රේන භූමිය සහ අනාගතයේදී තමන් කොල්ලකෑමට බලාපොරොත්තු වන මහා රුසියානු භූමිය හැර දමා සාපේක්ෂව කුඩා බිම් ප්‍රමාණයක් පමණක් අත්පත් කර ගන්නා, යුක්‍රේනයේ රුසියානු හමුදාව අත පවතින බිම් කොටස පමණක් සැලකිල්ලට ගනු ලැබූව ද එහි ඩොලර් බිලියන 12400 අමුද්‍රව්‍ය තැන්පතු ඇති බවට ගණන් බලා තිබේ. මේ අනුව, ඉහත සඳහන් කරන ලද ඉතිරි භූමි ප්‍රදේශ වල ද ඇති අමුද්‍රව්‍ය වල වටිනාකම ගණනය කල හොත් එය දැවැන්ත අගයක් සහිත වනු ඇත. එහෙයින් අනාගතයේ දී, කොල්ලකාගත හැකි සම්පත් හා අමුද්‍රව්‍ය ප්‍රමාණයේ වටිනාකම හා සැසඳීමේ දී, අධිරාජ්‍යවාදය විසින් මෙම යුද්ධය සඳහා ආයෝජනය කර ඇති මුදල සොච්චමකි.

දිනෙන් දින, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය තම “ප්‍රජාතන්ත්‍රවාදී” සළුපිළි ඉවතලා, ඉතා නග්න ලෙස තම අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරියට එන අයුරු පැහැදිලිව දැන් දැක ගත හැක. එහි නියෝජිතයන් , එය මෙලෙස වචන බවට පෙරලනු ලබයි. 

දකුණු කැරොලිනාවේ රිපබ්ලිකන් සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි කියෙව්හිදී හමුවූ අතර යුක්‍රේනයේ එක්සත් ජනපද-නේටෝ ප්‍රොක්සි යුද්ධයේදී රුසියානුවන්ගේ මරණ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ප්‍රශංසාව පල කළේය. යුක්රේනයේ යුද්ධය සඳහා එක්සත් ජනපදයේ සහයෝගය “අප මෙතෙක් ආයෝජන කළ හොඳම මුදල” බව ද ග්‍රැහැම් පැවසීය.

පසුගිය පෙබරවාරියේ දී, උපායමාර්ගික සහ ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ පසුගිය දශක තුනේ එක්සත් ජනපද යුද්ධවල යෝජකයෙකු වන ඇන්තනි කෝඩ්ස්මන්, “වියදම් කිරීමෙන් ඉතිරිකිරීම: යුක්‍රේනයට දෙන එක්සත් ජනපද ආධාරවල සැබෑ වටිනාකම සහ පිරිවැය-ඵලදායිතාව” යන මාතෘකාවෙන් විවරණයක් පළ කළේය.

ඇස්තමේන්තුගත යුද්ධය සඳහා එක්සත් ජනපදය විසින් වියදම් කරන “බිලියන ගනනක වැඩිවීම” එක්සත් ජනපදයට සැලකිය යුතු ඉතිරි කිරීම් ලබා දෙන “අත්‍යවශ්‍ය ආයෝජනයක්” බව කෝඩ්ස්මන් පැවසීය. මෙම ආයෝජනයන්හි ලාභ සිය දහස් ගනනකගේ ලේ ගංගා දිගේ ගලා එන බව ඔවුහු දනිති. 

යුක්‍රේනයේ අමුද්‍රව්‍ය නිධි සඳහා යුද්ධය හා රුසියාව න්‍යෂ්ඨික අවි යෙදවුමකට ප්‍රකෝප කිරීම Read More »

Korean war

කොරියානු යුද්ධය අවසන් වී වසර 70 යි – 01 කොටස

බෙන් මැග්‍රාත් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුලි 26 දින පල වූ ‘70 years since the end of the Korean War‘ යන බෙන් මැග්‍රාත් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය  මිගාර මල්වත්ත විසිනි.

Korean war
1951 දී එක්සත් ජනපද B-26 බෝම්බ හෙලන යානයක් උතුරු කොරියාවේ වොන්සාන් නගරයට බෝම්බ හෙලයි.

තෙවසරක කොරියානු යුද්ධයේ සටන් අවසන් කර කොරියානු අර්ධද්වීපයේ සීතල යුද බෙදීම ස්ථාවර කල සටන් විරාමය අත්සන් කිරීම සනිටුහන් කරන කොටස් දෙකකින් යුත් ලිපියක පලමු කොටස මෙයයි. දෙවන කොටස මෙතැනින් ලබා ගත හැක.

1953 ජූලි 27 වන දින උතුරු සහ දකුනු කොරියාව අතර දැඩි ලෙස මිලිටරිකරනය වූ දේශසීමාවේ පිහිටි පැන්මුන්ජොම් (Panmunjeom) හිදී සටන් විරාමයක් අත්සන් කර , කොරියානු අර්ධද්වීපයේ සතුරුකම් අවසන් වීමෙන් දැනට  වසර හැත්තෑවක් ගත වී ඇත. සටන් විරාමය කොරියාවෙහි  යුද මුක්ත කලාපය (DMZ) වශයෙන් අර්ධද්වීපය හරහා විහිදෙන කිලෝමීටර් හතරක් පලල බිම් තීරුවක් ස්ථාපිත කරන ලදී. දෙවන ලෝක යුද්ධය අවසානයේ 38 වැනි සමාන්තරය ඔස්සේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් කොරියාව කෘත්‍රිම ලෙස බෙදීමෙන් පසු, සීතල යුද්ධයේ ආරම්භයේ දී පුපුරා ගිය ගැටුමක අද දක්වා ම ඇදී එන ප්‍රතිඵලය මෙයයි.

විශේෂයෙන්ම 1949 චීන විප්ලවයේ ප්‍රතිඵලයක්  ලෙස එයට එල්ල වූ දැවැන්ත පහරින් පසුව, එක්සත් ජනපදය ආසියාවේ සිය ආධිපත්‍යය යලි තහවුරු කර ගැනීම සඳහා යුද්ධය උසිගැන්වීය.කිසිඳු සාම ගිවිසුමක් අත්සන් කර නොමැති වීමේ හේතුවෙන් අර්ධද්වීපය රූපික යුද තත්ත්වයකට පත් කර ඇත . අද දක්වාම, එක්සත් ජනපදය උතුරු කොරියාවට රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික බාධක පවත්වාගෙන යමින් , 1953 ඔක්තෝබර් 1 දින අත්සන් කරන ලද දකුනු කොරියාව සමග වන මිලිටරි සන්ධානයක් ද පවත්වාගෙන යයි. වොෂින්ටනය, සිය ගෝලීය ආධිපත්‍යයට ඇති ප්‍රධාන තර්ජනය ලෙස සලකන චීනයට එරෙහි සිය යුද සූදානම වේගවත් කිරීමත් සමග පසුගිය දශකය තුල සන්ධානය ශක්තිමත් වී ඇත.  දකුනු කොරියාව දැනට එක්සත් ජනපද කඳවුරු දුසිම් ගනනකට සහ ආසන්න වශයෙන් 28,500 භට පිරිස් සඳහා සත්කාරකත්වය සපයයි.

ගැඹුරු ඓතිහාසික කැලැල් කොරියාවේ  ඉතිරිව පවතී. විශාල ජීවිත හානි සහ ආර්ථික විනාශයන් සමඟ කොරියානු රටවල් දෙකම විනාශ විය. ගැටුමේදී , සිවිල් වැසියන් මිලියන 2.5 ක් මිය ගිය බව ගනන් බලා ඇත. උතුරේ  සහ දකුනේ පිලිවෙලින් ආසන්න වශයෙන් 520,000 ක් සහ 415,004 ක් සොල්දාදුවන්ගේ ජීවිත  අහිමි විය. තවත් චීන භටයන් 900,000 ක් සහ ඇමරිකානුවන් 36,940 ක් මිය ගියහ. යුද්ධයට සම්බන්ධ එක්සත් ජනපද මිත්‍ර පාක්ෂිකයින්ගේ තවත් සොල්දාදුවන් දහස් ගනනකට ද ජීවිත අහිමි විය. කොරියාවේ, අර්ධද්වීපයේ කෘතිම බෙදීම මගින් මිලියන ගනනක පවුල් වල සාමාජිකයන් එකිනෙකාගෙන් වෙන් කරන ලදී. බොහෝ දෙනෙකුට තවමත් කිසිදු සම්බන්ධයක් පවත්වා ගැනීමට නොහැකි වී ඇත.

korean war
1951 මාර්තු 22 වන දින තම නිවස සොයා ගැනීමට උත්සාහ කිරීම සඳහා චංචොන් හි බෝම්බ ප්‍රහාරයෙන් සුන්බුන් විසිරී ඇති වීදිවල, ​​තමා සන්තක  දේපල හිස මත තබාගෙන මහලු කාන්තාවක් ඇවිද යයි. [AP Photo/Jim Pringle]

කොරියාවෙන් පිටත, යුද්ධය ගැන එතරම් දැනුමක් නැති අතර එහි මූලාරම්භය ගැන අවබෝධය ඊට ද වඩා අඩුය. ඉතිහාසඥ බෲස් කමිංස්  එය “අමතක වූ යුද්ධයක් සහ කිසිදා නොදන්නා ලද යුද්ධයක්” ලෙස විස්තර කරයි [1]. ඒ සම්බන්ධව පවතිනුයේ. , දෙවන ලෝක යුද්ධයෙන් පසු එහි පලමු ප්‍රධාන නව යටත් විජිත මැදිහත්වීමේ ම්ලේච්ඡත්වය යුක්ති සහගත කිරීම සඳහා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් ප්‍රවර්ධනය කරන ලද ප්‍රචාරයයි. මෙම ආඛ්‍යානය තුල, උතුරු කොරියාව 1950 ජූනි 25 දින ප්‍රකෝප නො කරන ලදුව සිදුකල ප්‍රහාරයකින් දකුනු කොරියාව ආක්‍රමනය කලේය. ඒකාධිපති උතුරේ ආක්‍රමනකාරීත්වයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී දකුන ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනුමතකරන ලද යුද්ධයකට එක්සත් ජනපදය සහ එහි සහචරයින් නායකත්වය දුන්හ.

යථාර්ථයේ දී, මෙම ප්‍රකාශයන් මහා විකෘති කිරීම් සහ අමූලික බොරුවලට වඩා වැඩි දෙයක් නොවේ. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් 1945 දී කොරියාව ඒකපාර්ශ්විකව බෙදීමත්, ඉන්පසුව කිසිදු සැලකිය යුතු මහජන සහයෝගයක් නොමැති, මර්දනය තුලින් පමනක් පාලනය කල හැකි පාලනයක් දකුනේ ස්ථාපනය කරමින්, ක්‍රියාත්මක වූ ක්‍රියාවලියක අවසාන ප්‍රතිඵලය වූයේ පූර්න පරිමාන සතුරුකම් වල ආරම්භයයි.

කොරියානු යුද්ධයේ මූලාරම්භය කුමක්ද?

ජපානය, රුසියාව සහ චීනය අතර ඊසානදිග ආසියාවේ උපායමාර්ගිකව පිහිටා ඇති කොරියාව දිගු කලක් අධිරාජ්‍යවාදී කූටෝපායන්වල කේන්ද්‍රස්ථානය වී ඇත. 1905 රසෝ-ජපන් යුද්ධයේදී සාර්වාදී රුසියාව පරාජය කිරීමෙන් පසු කොරියාව ජපානයේ තනි බලපෑමට යටත් විය. 1910 දී ජපානය විධිමත් ලෙස කොරියාව ඈඳා ගත් අතර 1945 අගෝස්තු 15 වන දින දෙවන ලෝක යුද්ධයේදී ජපානය යටත් වන තෙක් වසර 35 ක් පුරා අර්ධද්වීපය පුරා එහි කුරිරු යටත් විජිත පාලනය පවත්වාගෙන ගියේය.

දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිතිව ගෝලීයව විනාශ වූ ධනවාදයේ අර්බුදය සහ අස්ථාවරත්වයේ පුලුල් සන්දර්භය තුල පමනක් කොරියාවේ බෙදීම සහ පසුව කොරියානු යුද්ධය පුපුරා යාම තේරුම් ගත හැක.  1937 දී ජපානය විසින් චීනය ආක්‍රමනය කිරීමත් සමඟ ඈත පෙරදිග ක්ෂේත්‍රය තුල දී ආරම්භය ලබන  ජාත්‍යන්තර ගැටුම, යුරෝපයේ සහ ආසියාවේ පෙර නොවූ විරූ මරන හා විනාශයන්  ශේෂ කර තිබුනි. උග්‍ර  ආර්ථික හා සමාජ අර්බුදය, ලෝක යුද්ධ දෙකක් සහ මහා අවපාතය හරහා ගමන් කල  ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල ගැඹුරු විරුද්ධත්වයක්  අවුලුවාලමින් තිබුනි. ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් ආසියාව පුරා වර්ධනය වෙමින් තිබූ යටත් විජිත විරෝධී කැරලිවලට මුහුන පා සිටියහ.

අධිපති අධිරාජ්‍යවාදී බලවතා ලෙස යුද්ධයෙන් මතු වූ එක්සත් ජනපදයට ලෝක ධනවාදය යලි ස්ථාවර කිරීමට ඇති හැකියාව සාධක දෙකක් මත රඳා පැවතුනි: තමන්ගේම අතිමහත් ආර්ථික ශක්තිය සහ පශ්චාත් යුද විප්ලවවාදී ව්‍යාපාර සෝවියට් ස්ටැලින්වාදී නිලධරය විසින් කරන ලද පාවාදීම් ය.

1941 දී සෝවියට් සංගමය නාසි ආක්‍රමනයෙන් පසුව, ස්ටාලින් ජාත්‍යන්තර කම්කරු පන්තිය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී බලවතුන්ගේ සන්ධානයකට යටත් කලේය. පශ්චාත් යුද විධිවිධාන ගැන ටෙහෙරාන්, යොල්ටා සහ පොට්ස්ඩෑම් හි එක්සත් ජනපද හා බ්‍රිතාන්‍ය නායකයන් සමඟ පැවති යුද කාලීන සම්මන්ත්‍රනවලදී, ඔහු නැගෙනහිර යුරෝපයේ සෝවියට් බලපෑම් කලාපයක් වෙනුවෙන් ලෝකයේ සියලුම රටවල සහ ඒවායෙහි කම්කරු පන්තියේ ඉරනම නරුම ලෙස හුවමාරු කලේය.

බටහිර යුරෝපය පුරා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂවලට උපදෙස් දෙනු ලැබුවේ ධනේශ්වර පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම සදහා  කම්කරු පන්තියේ විරුද්ධත්වය යටපත් කරන ලෙසයි – සමාජවාදී විප්ලවය න්‍යාය පත‍්‍රයෙන් ඉවත් විය. විශේෂයෙන්ම ප්‍රන්සයේ සහ ඉතාලියේ, ස්ටැලින්වාදීන් ආක්‍රමනිකයාට එරෙහි සටන්කරුවන් (partisans ) නිරායුධ කිරීමේ සහ අපකීර්තියට පත් ධනේශ්වර පක්ෂවල දේශපාලන වාසනාව පුනර්ජීවනය කිරීමේ ප්‍රධාන භූමිකාව ඉටු කලහ. ස්ටැලින්වාදී නායකයින් පශ්චාත් යුධ ධනේශ්වර ආන්ඩුවලට ඇතුල් වූයේ වැඩ වර්ජන සහ විරෝධතා මැඩලීමේ කේන්ද්‍රීය  භූමිකාව බාරගත් ඇමතිවරුන් ලෙස ය.

ආසියාවේ, ස්ටැලින්වාදී පක්ෂ රටින් රට යටත් විජිත බලවතුන්ගේ නැවත පැමිනීමට සහ ධනේශ්වර පාලනය ස්ථාවර කිරීමට සහය වීමට මූලික විය. ජපානයේ දී, වෘත්තීය සමිති හා කාර්මික ක්‍රියාමාර්ගවල දැවැන්ත වර්ධනයක් මධ්‍යයේ, කොමියුනිස්ට් පක්ෂය ඇමරිකානු වාඩිලෑම ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ වාහකයා ලෙස නිරූපනය කල අතර වැඩ වර්ජන මැඩපැවැත්වීමට සහාය විය.

බටහිර යුරෝපයේ ධනවාදය යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු, සෝවියට් බලපෑමේ ඕනෑම වර්ධනයක් නැවැත්වීමට අධිෂ්ඨාන කර ගත් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ප්‍රහාරයක් දියත් කලේය. 1947 මාර්තු මාසයේදී, එක්සත් ජනපද ජනාධිපති හැරී ටෲමන් ඔහුගේ “සීමා කිරීමේ” ප්‍රතිපත්තිය නිවේදනය කරමින්, “සන්නද්ධ සුලු ජාතීන්ට” සහ “බාහිර පීඩනයන්ට” ප්‍රතිරෝධය දක්වන “නිදහස් ජනතාවන්ට” එක්සත් ජනපදයට සහාය දිය යුතු බව කොන්ග්‍රසයට පැවසීය. දිග්ගැස්සුනු සීතල යුද්ධයේ ආරම්භය සනිටුහන් කල ටෲමන් මූලධර්මය,  “ප්‍රජාතන්ත්‍රවාදයේ” නාමයෙන්ය යන කඩතුරාව යටතේ, එක්සත් ජනපදයේ අනුග්‍රහය ලත් කුමන්ත්‍රන, මිලිටරි මැදිහත්වීම් සහ ලොව පුරා ආඥාදායකත්වයන් සඳහා පිටුබලය සැපයිම ආදී සියලු දේම සිදු කෙරිනි. 

කොරියාවේ ආක්‍රමනයට පෙරවදනක්

1943 මාර්තු මාසයේදී වොෂින්ටනය ප්‍රථමයෙන් කොරියාව වැනි රටවල් සඳහා ඊනියා “භාරකාරත්වය” පිලිබඳ ප්‍රශ්නය – යටත් විජිත පාලනය සඳහා මෘදූක්තියක් හෙවත් මෘදු යෙදුමක් – ඉදිරිපත් කරමින් කොරියානුවන් ස්වයං පාලනය පිලිබඳව “අධ්‍යාපනගත” කිරීම අවශ්‍ය බව ප්‍රකාශ කලේය. ස්වාධීන කොරියාවක්, සෝවියට් සංගමය දෙසට නැඹුරු විය හැකි බව හොඳින් දැන සිටි වොෂින්ටනය, “නිසි කලදී”කොරියාවේ ස්වාධීනත්වයට එකඟ වුවද, කොරියාවේ භාරකාරත්වය සඳහා 1945 මැයි මාසයේදී ස්ටාලින්ගෙන් වාචික එකඟතාවයක් ලබා ගත්තේය.

කෙසේ වෙතත්, 1945 ජූලි මාසයේදී පරමානු බෝම්බය සාර්ථක ලෙස අත්හදා බැලීමත් සමඟ, වොෂින්ටනය පශ්චාත් යුද ආසියාවේ ඇමරිකානු ආධිපත්‍යය සහතික කිරීම සඳහා එහි මූලික සැලසුම් දැඩි ලෙස වෙනස් කලේය. බෲස් කමිංස්  ගේ වචනවලට අනුව, එක්සත් ජනපද මූලෝපාය වූයේ, “රාජ්‍ය තාන්ත්‍රිකභාවය අත්හැරීම, පැසිෆික් යුද්ධය ඉක්මනින් අවසන් කිරීම සහ පශ්චාත් යුධ නැගෙනහිර ආසියානු කටයුතුවල සැලකිය යුතු සහභාගීත්වයෙන් සෝවියට් සංගමය ඉවත් කිරීමය”[2].

සෝවියට් සංගමය 1941 අගෝස්තු 08 දින දී ජපානය සමඟ අත්සන් කල ආක්‍රමන-නොකිරීමේ  ගිවිසුම බිඳ දමමින් පැසිෆික් සාගරයේ යුද්ධයට අවතීර්න වීමේ  හිලව්වට – මෙය අගෝස්තු 8 වෙනි දින සිදුවිය- මැන්චූරියාව සහ කොරියාව  වෙත මොස්කව් විසින්යම් ආනුභාවයක් පවත්වා ගැනීමට ඉඩ දීම සඳහා මුලදී එක්සත් ජනපදය කැමැත්තෙන් සිටියේ ය. කොරියාව සහ මැන්චූරියාව ආක්‍රමනය වාඩිලා සිටි  දක්ෂ ජපන් ක්වාන්ටුන්ග් හමුදාව විසින් රතු හමුදාවට  අධික විනාශයක් ලබා දෙනු ඇති බවත්,එනයින් එම වියදම එක්සත් ජනපද හමුදාවට දැරීමට සිදු නොවනු ඇති බවත් වොෂින්ටනයේ  විශ්වාසය විය.

පසුදා, අගෝස්තු 6 හිරෝෂිමා වෙත පරමානු බෝම්බය හෙලීමෙන් දින තුනකට පසුව එක්සත් ජනපදය නාගසාකි වෙත ද පරමානු බෝම්බයක් හෙලුවේ,  සිවිල් ජනතාව මත දැවැන්ත මරන හා විනාශයන් සිදු කරමිනි. ටෝකියෝව ඒ වන විටත් යටත් වීමට ඇති කැමැත්ත පෙන්නුම් කරමින් සිටියද, ආක්‍රමනයකදී ඇමරිකානු සොල්දාදුවන්ගේ ජීවිත බේරා ගැනීමට අවශ්‍ය යැයි කියමින් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මෙම බිහිසුනු යුද අපරාධ යුක්ති සහගත කලේය. සැබෑ අරමුන වූයේ සෝවියට් සංගමයට තර්ජනය කිරීම සහ පශ්චාත් යුධ සමථය සඳහා එක්සත් ජනපදය විසින් කොන්දේසි නියම කරන බව ලෝකයට පෙන්වීමයි.

කෙසේ වෙතත්, සෝවියට් රතු හමුදාව මුලු කොරියානු අර්ධද්වීපයම අල්ලා ගනු ඇතැයි යන බිය මතු කරමින් ජපානයේ ක්වාන්ටුන්ග් හමුදාව වේගයෙන් බිඳ වැටෙනු ඇතැයි වොෂින්ටනය ගනන් බලා තිබුනේ නැත. ජපානයට එරෙහිව යුද්ධය ප්‍රකාශ කිරීමෙන් පසු දින, අගෝස්තු 9 වන දින සෝවියට් හමුදාව කොරියාවේ මෙහෙයුම් ආරම්භ කල අතර දින කිහිපයක් ඇතුලත කොරියානු නගර සහ නගර ගනනාවක පාලනය අතට ගත්තේය.

Attlee Truman Stalin
බ්‍රිතාන්‍ය අගමැති ක්ලෙමන්ට් ඇට්ලි, එක්සත් ජනපද ජනාධිපති හැරී එස්. ටෲමන් සහ ජෝසප් ස්ටාලින් 1945 ජූලි මාසයේ පොට්ස්ඩෑම් සමුලුවේදී.

ආසියාව පුරා ජපානයේ ඉතා ආසන්න යටත් වීම ගැන සම්පූර්නයෙන්  නිමග්න ව සිටි එක්සත් ජනපදය ප්‍රතිචාරයක් සඳහා වලිකමින් සිටියේය. වොෂින්ටනයේ යුද සැලසුම්කරුවන් අගෝස්තු 10 සහ 11 යන දිනවල පැවති රැස්වීම් වලදී ඒකපාර්ශ්වික තීරනයක් ගත්තේ 38 වැනි සමාන්තරයට අනුව කොරියාව වෙනම වාඩිලාගැනීමේ කලාපවලට බෙදීමටය. ඔහු යුරෝපයේදී , ඔහු එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමඟ කේවලයේ යෙදුනු ආකාරයෙන්ම , ස්ටැලින් , විරුද්ධත්ටයේ මැසිවිල්ලකින් තොරව බෙදීම පිලිගත්තේය.

එක්සත් ජනපදය කොරියානු මහජන සමූහාන්ඩුව පසෙකට අතුගා දමයි

මාසයකට පසු, ජෙනරාල් ජෝන් හොජ්ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනපද හමුදාව 1945 සැප්තැම්බර් 8 වන දින කොරියාවට පැමිනියේ කොරියාවේ එක්සත් ජනපද හමුදා රජය (USAMGIK) ලෙස නිල වශයෙන් හැඳින්වූ එම වාඩිලෑම ස්ථාපිත කිරීම සඳහා ය.

කෙසේ වෙතත්, ඉවත්ව යන ජපන් යටත් විජිත රජය ඒ වන විටත් යෙඕ උන්-හයියොං (Yeo Un-hyeong) වෙත පරිපාලන කටයුතු පවරා තිබුනි. වාමාංශික හා දක්ෂිනාංශික ධනේශ්වර ජාතිකවාදීන්ගේ එකතුවක් සමඟින්, යෙඕ කොරියානු නිදහස සූදානම් කිරීම සඳහා කමිටුව සහ පසුව සැප්තැම්බර් 6 වන දින කොරියානු මහජන සමූහාන්ඩුව (KPR) පිහිටුවා තිබුනි. පලාත් පාලන කාර්යයන් ඉටු කිරීම සඳහා රට පුරා මහජන කමිටු පිහිටුවිනි.

එක්සත් ජනපද මිලිටරිය දෙසට නැඹුරු වූයේ කොරියානු ධනේශ්වරයේ වඩාත්ම දක්ෂිනාංශික කොටස් පමනි. මෙයට 1945 සැප්තැම්බර් 16 වැනි දින පිහිටුවන ලද කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (KDP) ඇතුලත් විය. KDP ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් සහ විශාල ඉඩම් හිමියන්ගෙන් පිරී ගිය අතර, ඔවුන්ගේ දේපල අවශ්‍යතා සහ  පලිගැනීම් වලින් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ මාධ්‍යයක් ලෙස කොරියාවේ “භාරකාරත්වය” සඳහා එක්සත් ජනපද සැලසුම්වලට සහාය විය. 

මෙම ගතානුගතිකයින්ගෙන් බොහෝ දෙනෙක්, පෙර යුගයේ නිදහස් ව්‍යාපාරයට සම්බන්ධ වූවන් පවා, පසුව දකුනු කොරියානු රජයේ පදනම සංයුක්ත කල  ජපන් සහයෝගිතාකරුවන් විය. එවැනි එක් සහයෝගිතාකරුවෙකු වූයේ, Dong-A Ilbo පුවත්පත ආරම්භ කල සහ කොරියානු යුද්ධ කාලයේ, 1951 සිට 1952 දක්වා දකුනු කොරියාවේ උප සභාපති ලෙස සිංමන් රී (Syngman Rhee) යටතේ සේවය කිරීමට ගිය කිම් සිඔං-සු (Kim Seong-su) ය.

එක්සත් ජනපදයට කොරියානු කම්කරු පන්තිය හා ගොවීන් අතර පිලිගැනීමක් හෝ සහයෝගයක් නොතිබූ අතර ඒ වෙනුවට ශූන්‍ය තත්ත්වයක සිට පාලන තන්ත්‍රයක් නිර්මානය කිරීමට උත්සාහ කලේය. USAMGIK, KDPය  සිය මෙහෙයුම් වලට ඒකාබද්ධ කලේ , KPR , සිය වාඩිලෑමට  විරුද්ධත්වය අවුලුවනු ඇතැයි යන බියෙන් ත්‍රස්ත වී ගනය. USAMGIK පසුව දෙසැම්බර් 8දා කම්කරුවන්ගේ වැඩවර්ජන තහනම් කල අතර දෙසැම්බර් 12දා මහජන කමිටු සමග KPR නීති විරෝධී කලේය.

මහජන විරෝධය සමඟ කටයුතු කිරීම සඳහා, සිය යටත් විජිත පාලනයට එරෙහි ඕනෑම විරෝධයක් කුරිරු ලෙස මර්දනය කිරීමට මූලික වූ ජපාන යටත් විජිත පොලිසියේ සේවය කල කොරියානු නිලධාරීන්ගෙන් වැඩි ප්‍රමානයක් එක්සත් ජනපදය විසින් රඳවා තබා ගත්තේය. ඔවුන් එක්සත් ජනපද වාඩිලෑමට සහාය දීමේ දී එම භූමිකාවම ඉටු කලහ.

ඒ අතරම, වොෂින්ටනය කොරියාවේ සිය කූටෝපායන්ට රබර් මුද්‍රා තබා ගැනීම සඳහා සෝවියට් සංගමය මත රඳා පැවතුනි. අනෙකුත් රටවල යුද්ධයේ අවසානය සමාජවාදය සඳහා ජනතා සහයෝගය ඉහල නැංවීමට හේතු වූවා සේම, මර්දනකාරී ජපන් පාලනයේ අවසානය කොරියානු කොමියුනිස්ට් පක්ෂයේ (KCP) වර්ධනයට තුඩු දෙනු ඇතැයි යන්න පිලිබඳව එක්සත් ජනපදය විශේෂයෙන් සැලකිලිමත් විය.

ස්ටැලින්වාදයේ භූමිකාව

ජපානයේ සිදු වූවාක් මෙන්, සෝවියට් ස්ටැලින්වාදී නිලධරය සහ කොරියාවේ එහි ආධාරකරුවන් කොරියාව බෙදීමට ප්‍රතිචාර දැක්වූයේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට ප්‍රශංසා කිරීමෙනි. ඔවුන් කියා සිටියේ එක්සත් ජනපද මිලිටරි ආක්‍රමනය ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් සිදු කරන බවත්, එය ඈත අනාගතයේ සමාජවාදී විප්ලවයකට පෙර අත්‍යවශ්‍ය පලමු පියවරක් බවත් ය. ඊනියා ප්‍රගතිශීලී ධනේශ්වර බලවේග සඳහා සහයෝගය සාධාරනීකරනය කරන මෙම අදියර දෙකේ විප්ලව න්‍යාය සෑම විටම කම්කරු පන්තියට ව්‍යසනයක් ගෙන දෙමින්    අවසන් වී ඇත.

අදියර දෙකේ න්‍යාය 1917 රුසියානු විප්ලවයේ පාඩම් වල නිෂේධනයයි. එහි ප්‍රධාන නායකයන් වන ව්ලැඩිමීර් ලෙනින් සහ ලියොන් ට්‍රොට්ස්කි යන දෙදෙනාම අවධාරනය කර තිබුනේ රුසියාවේ ඊනියා ලිබරල් ධනේශ්වරය අත්‍යවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් ඉටු කිරීමට ඓන්ද්‍රීයව අසමත් බවයි. රුසියානු විප්ලවයට න්‍යායිකව මග පෙන්වූ මෙම නොනවතින විප්ලවයේ න්‍යාය තුල ට්‍රොට්ස්කි පෙන්නුම් කලේ, කොරියාව වැනි ප්‍රමාද වූ ධනේශ්වර සංවර්ධනයක් ඇති රටවල, එම කර්තව්‍යයන් නගරවල සංකේන්ද්‍රනය වී සිටින කම්කරු පන්තිය වෙත පැවරුනු බවයි. කොරියාවද , රුසියාව මෙන්, බොහෝ දුරට කෘෂිකාර්මික රටක් වුවද, එහි තරුන නිර්ධන පංතියට, යටත් විජිත පීඩනයට එරෙහිව සටන් කිරීමේදී, ගොවි ජනතාව බලමුලු ගන්වා බලයට පැමිනිය හැකිය. එසේ කිරීමේදී, ධනේශ්වර පුද්ගලික හිමිකාරිත්වය තුලට ගැඹුරට විනිවිදිමටත්, ලෝක සමාජවාදී විප්ලවය සඳහා අරගලයේ කොටසක් ලෙස ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙත හැරීමටත් එයට බල කෙරෙනු ඇත.

කොරියාවේ, අදියර දෙකක න්‍යාය විශේෂයෙන් විකාරරූපී ස්වරූපයක් ගත්තේය. එක්සත් ජනපදය සමග සබඳතා රැක ගැනීම සඳහා සෝවියට් සංගමය විශ්වාසය තැබුවේ කොරියානු ධනේශ්වර පන්තියේ නොපවතින ප්‍රගතිශීලී අංශයක් ප්‍රවර්ධනය කිරීම මත නොව අධිරාජ්‍යවාදය විසින්ම ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් සිදු කරන බවටය.

මොස්කව්හි බලපෑම යටතේ, කොරියානු කොමියුනිස්ට් පක්ෂයේ දකුනු පියොංගන් පලාත් කමිටුව, උදාහරනයක් ලෙස, 1945 ඔක්තෝබර් 6 වැනි දින මෙසේ ප්‍රකාශ කලේය: “ජාත්‍යන්තර ගැටලු පිලිබඳ පැහැදිලි සාමාන්‍ය අවබෝධයක් නොමැතිකම නිසා, පක්ෂය කටිටිවාදීප්‍රවනතාවකින් පැන නගින වැරදි සිදු කර ඇත. , සහ ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය සහචරයින්ගේ ඓතිහාසික වශයෙන් ප්‍රගතිශීලී ලක්ෂන නොපැහැදිලි ලෙස සලකනු ලැබ ඇත.”[3]

එය තවදුරටත්: “අපේ කොරියාව සිය ලේ නොසෙල්වූ විප්ලවය සාර්ථක කර ගත්තේ සෝවියට් සංගමයේ ගාමක බලයෙන් සහ මහා බ්‍රිතාන්‍යයේ සහ එක්සත් ජනපදයේ දායකත්වයෙන් වන අතර, විප්ලවය දැන් අවසන් ලෙස නිම කිරීමේ ක්‍රියාවලියේ පවතී.”[4]

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය කොරියාවේ ධනේශ්වර විප්ලවය සම්පූර්න කරන බවට කරන ප්‍රකාශය සම්පූර්න ප්‍රෝඩාවකි. එහෙත් සෝවියට් පාලන තන්ත‍්‍රය කොරියාවේ පන්ති අරගලයේ ගෙල මිරිකීමට මෙම බොරුව මත විශ්වාසය තැබුවේ එක්සත් කොරියාවක් තුල තමන්ට හඬක් නැගීමට එක්සත් ජනපදය ඉඩ දෙනු ඇතැයි යන අපේක්ෂාවෙනි. අන් සියල්ලටමත් වඩා, වෙනත් රටවල කම්කරු පන්ති නැගිටීම් සෝවියට් සංගමය තුල දේශපාලන විරුද්ධත්වය අවුලුවාලනු ඇතැයි සෝවියට් පාලන තන්ත‍්‍රය භීතියට පත් විය.

එක්සත් ජනපදයට එහි අනුග්‍රහය දැක්වීමේදී , ජපන් යටත්විජිතවාදයට එරෙහිව වසර ගනනාවක අරගලය තුලින් අත්පත් කරගත් පුලුල්ව පැතිරුනු බලපෑමක් ඇති KPC යට මුඛවාඩම් දැමීමට මොස්කව් උත්සාහ කලේය. ඉතිහාසඥ Suh Dae-sook ප්‍රකාශ කලේ KCPය  “කොරියානු විප්ලවය ජාතිකවාදීන්ගෙන් උදුරා  ගැනීමට සමත්වූහ; ඔවුන් කොරියානු ජනතාව, විශේෂයෙන්ම සිසුන්, තරුන කන්ඩායම්, කම්කරුවන් සහ ගොවීන් අතර කොමියුනිස්ට් බලපෑමේ ගැඹුරු හරයක් රෝපනය කලහ. ඔවුන්ගේ ධෛර්යය සහ සමහර අවස්ථාවලදී සාර්ථක වීමට ඇති දැඩි අධිෂ්ඨානය කොරියානු බුද්ධිමතුන්ට සහ ලේඛකයින් කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කලේය.”[5]

උතුරු සහ දකුනු කොරියාවේ වෙනම පාලන තන්ත්‍ර පිහිටුවීම

එක්සත් ජනපද, බ්‍රිතාන්‍ය සහ සෝවියට් විදේශ අමාත්‍යවරු 1945 දෙසැම්බර් 16-27 දක්වා මොස්කව්හිදී කොරියාව ඇතුලු පශ්චාත් යුධ ගැටලු සාකච්ඡා කලහ. භාරකාරත්වය පිහිටුවීම සඳහා වූ එක්සත් ජනපදයේ ඉල්ලීමට සෝවියට් විදේශ ඇමති එකඟ වීම නිසා කොරියාව සඳහා වූ ඕනෑම ස්වාධීනත්වයක් පසෙකට තල්ලු විය.

මොස්කව් සමුලුව උතුරු සහ දකුනු කොරියාවේ පිලිවෙලින් සෝවියට් හා එක්සත් ජනපද හමුදා විසින් පාලනයක්ද,  ඒකාබද්ධ කොමිසමක් හරහා එක්සත් කොරියාවක තාවකාලික රජයක් පිහිටුවීමටද කැදවා  සිටියේය. ඉන්පසුව, එවැනි ආන්ඩුවක් පිහිටුවීමෙන් පසු, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, සෝවියට් සංගමය සහ ජාතිකවාදී චීනයෙන් සමන්විත සිව් බල “භාරකාරත්වයක්” පිහිටුවනු ලැබීය යුතුය.

කෙසේ වෙතත්, වොෂින්ටනය, මෙම සැලසුම් හිතාමතාම කඩාකප්පල් කලේ, යෝජිත තාවකාලික ආන්ඩුව තුල සෝවියට් සංගමයට කිසිදු ප්‍රකාශයක් කිරීමට ඉඩ දීම ප්‍රතික්ෂේප කරමිනි. 1946 මාර්තු 20 වන දින විවෘත කරන ලද ඒකාබද්ධ කොමිසමේ ඇමරිකානු පාර්ශවය පැහැදිලිවම කියා සිටියේ මොස්කව්ට කොරියාවේ එක්සත් ජනපද ඉල්ලීම් පිලිගැනීමට සිදුවනු ඇති බවයි. එසේ නොවුනහොත් එක්සත් ජනපදය දකුනේ පමනක් තම න්‍යාය පත්‍රය  තනිවම ක්‍රියාත්මක කරනු ඇත . කොමිසම එකඟතාවයකින් තොරව මැයි මැද දක්වා පැවතුනි.

මොස්කව් දැන් එක්සත් ජනපද ඉල්ලීම්වලට අනුකූලව භාරකාරත්වයක් ඉල්ලා සිටීමත් සමඟ, වොෂින්ටනය තනිකරම පිටුබලය දුන්නේ, සෝවියට් සංගමයට විරුද්ධ සහ වොෂින්ටනය අනුව යමින් භාරකාරත්වය ප්‍රතික්ෂේප කරන්නේ යයි කියා සිටි,  අන්ත දක්ෂිනාංශික කොරියානුවන් කන්ඩායමකට ය. මෙයට KDP සහ සිංමන් රී  වටා සිටි ඊනියා  “කොරියානු ස්වාධීනත්වයේ  වේගවත් සාක්ෂාත්කරනය සඳහා වූ ජාතික සංගමය” ඇතුලත් විය. 

රී 1910 දී කොරියාවෙන් පිටව ගොස්, දශක ගනනාවක් එක්සත් ජනපදයේ ගත කර තිබූ අතර, 1945 ඔක්තෝබර් 16 වන දින එක්සත් ජනපද හමුදාව විසින් ඔහුව ආපසු රැගෙන එන  තෙක් ආපසු පැමිනියේ නැත. ඔහුට කොරියාවේ සුලු බලපෑමක් පමනක් තිබූ අතර බොහෝ දුරට නොදන්නා චරිතයක් විය. ඒ වෙනුවට, ඔහු එ.ජ. ආන්ඩුව තුල, විශේෂයෙන්ම සීඅයිඒ හි පූර්වගාමියා වන මූලෝපායික  සේවා කාර්යාලය (Office of Strategic Services) තුල හොදින් ස්ථානගත සබදකම් තිබූ අතර, ඊට අමතරව උමතු සහ  විෂඝෝර කොමියුනිස්ට් විරෝධියෙකු විය.

Macarthur Rhee
එක්සත් ජනපද ජෙනරාල් ඩග්ලස් මැක්ආතර් සහ සිංමන් රී, 1948 අගෝස්තු 15.

එවැනි දක්ෂිනාංශික කන්ඩායම් ඇතුලත් කිරීමට විරුද්ධ වූ සෝවියට් සංගමය මොස්කව් ගිවිසුමට විරුද්ධ අය ඒකාබද්ධ කොමිසමේ උපදෙස් සදහා නොගත යුතු බව ප්‍රකාශ කලහ. එක්සත් ජනපදය , වාම නැඹුරුවක් ඇති දකුනු කොරියානුවන්ගේ කිසිදු සහභාගීත්වයකින් බැහැර කල අතර, පසුව නව තාවකාලික ආන්ඩුවක් පිහිටුවීමට එරෙහිව සෝවියට් සංගමය වැඩ කරන බවට කුහක ලෙස චෝදනා කලේය.

ඒ සමගම, වොෂින්ටනයට වඩාත් පිලිගත හැකි වනු ඇතැයි ඔහු බලාපොරොත්තු වූ සුලු ධනේශ්වර සංවිධානයක් බවට KCP නිල වශයෙන් දියකර හැරීමට ස්ටාලින් පියවර ගත්තේය. 1946 ජූලි මාසයේදී, නිදහස් ව්‍යාපාරයට සහභාගී වූ නමුත් සමාජවාදය පැහැදිලිවම ප්‍රතික්ෂේප කල මධ්‍යම පන්තික සහ වාමාංශික ජාතිකවාදීන් සමඟ ඒකාබද්ධ වීමට ඔහු කොරියාවේ උතුරේ සහ දකුනේ පක්ෂයට නියෝග කලේය.

එහි ප්‍රතිඵලය වූයේ වෙනම සංවිධාන දෙකක් සමඟ කොරියාව බෙදීම යථා වශයෙන් පිලිගැනීමයි: එනම්, අවසානයේ 1949 දී වත්මන් උතුරු කොරියානු පාලක පක්ෂය වන කොරියාවේ කම්කරු පක්ෂය පිහිටුවීමට ඒකාබද්ධ වූ උතුරු සහ දකුනු කොරියාවේ කම්කරු පක්ෂයි.  

සීතල යුද්ධයේ ආරම්භයත් සමඟම, සෝවියට් සංගමයට කිසිදු සහනයක් ලබා දීමට හෝ අනාගත කොරියානු රජයක සෝවියට් හිතවාදී පක්ෂයකට ඉඩ දීමට එක්සත් ජනපදයට කිසිදු අදහසක් නොතිබුනි. 1947 මැයි මාසයේදී ඒකාබද්ධ කොමිසමේ දෙවන වටයේ සාකච්ඡා ආරම්භ වූ නමුත් එය ආරම්භ වූයේද පසුගිය වර  සමාන   එකඟතාවයක් නොමැතිකම සමඟය.

ඒකාබද්ධ කොමිසමේ දෙවන වටයේ සාකච්ඡාවලට පෙර, එක්සත් ජනපදය එවිටමත් මෙම ගැටලුව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ගෙන යාමට අදහස් කර තිබුනි.  කොරියාව ඒකාබද්ධ කිරීමේ මුහුනු ඉච්ඡාවට  පිටුපස, වොෂින්ටනය, එක්සත්, ස්වාධීන කොරියාවක් තුල එක්සත් ජනපදය කොන් කරනු ඇතැයි දැනුවත්ව, සෝවියට් සංගමයට එරෙහිව ආරක්ෂක බැම්මක් ලෙස දකුනේ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට පැහැදිලිවම වැඩ කරමින් සිටියේය.

කොරියාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ තාවකාලික කොමිසම පසුව 1948 මැයි 10 වන දින, එක්සත් ජනපද වාඩිලාගැනීමේ හමුදා සහ ඔවුන්ගේ දක්ෂිනාංශික කොරියානු සහචරයින් විසින් වංචා කරන ලද, දකුනේ ව්‍යවස්ථාදායක සභා මැතිවරනය අධීක්ෂනය කරන ලදී. ව්‍යවස්ථාදායක සභාව විසින් 1948 ජූලි 20 වන දින එක්සත් ජනපද රූකඩයක් වන සිංමන් රී ජනාධිපති ලෙස තෝරා පත් කර ගත් අතර කොරියානු ජනරජය විධිමත් ලෙස 1948 අගෝස්තු 15 දින පිහිටුවන ලදී.

උතුරු කොරියාව ප්‍රතිචාර දැක්වූයේ 1948 අගෝස්තු 25 දින තමන්ගේම පාර්ලිමේන්තු මැතිවරනයක් පැවැත්වීමෙන් 1948 සැප්තැම්බර් 9 වන දින කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාන්ඩුව නිර්මානය කිරීමට මග පාදමිනි. නාමිකව, උතුරු කොරියානු නායකයා වූයේ උත්තරීතර මහජන සභාවේ  ප්‍රෙසිඩියම් (විධායක කමිටුවේ) හි සභාපති කිම් ඩු-බොං ය (Kim Du-bong). කෙසේ වෙතත්, සැබෑ දේශපාලන බලය රැඳී තිබුනේ අගමැති ලෙස පත් කර ඊලඟ වසරේ කම්කරු පක්ෂයේ සභාපති වූ කිම් ඉල්-සුන් වෙත ය.

කිම් ඉල්-සුන් 1930 ගනන්වල මුල් භාගයේදී මැන්චූරියාවේ චීන ගරිල්ලන් සමඟ ජපන් ජාතිකයින්ට එරෙහිව සටන් කර තිබුනි, නමුත් ඔහු හෝ ඔහුගේ අනුගාමිකයින් කිසි දිනෙක KCP හි සාමාජිකයින් වී හෝ කොරියානු කොමියුනිස්ට් ව්‍යාපාරයට සහභාගී වී නොතිබුනි. ඔහුගේ දේශපාලන දැක්ම අනුව ඔහු තරුන කාලයේ සිටම මූලික වශයෙන් ජාතිකවාදියෙක් විය.

කෙසේ වෙතත්, කිම් රතු හමුදාවේ නිලධාරියෙකු ලෙස ද සේවය කල අතර සෝවියට් සංගමය උතුර අත්පත් කර ගැනීමෙන් පසු එහි සහාය ලැබ සිටියේ ය. මොස්කව්හි ආශිර්වාදය ඇතිව, පැරනි KCP තුල සිටි දේශපාලන විරුද්ධවාදීන් තුරන් කරමින් ඔහු නායකත්ව තනතුරු වලට උසස් කරන ලදී. කොරියානු යුද්ධයෙන් ඉක්බිතිව, ඔහු බලය මත තම අනභියෝගී ග්‍රහනය තහවුරු කර ගත් අතර,  ජුචේ සංකල්පය, නැතහොත්  ස්ටාලින්ගේ ප්‍රතිගාමී “තනි රටේ  සමාජවාදයේ” කොරියානු අනුවාදය ප්‍රකාශයට පත් කලේය .

ඔහු , 1994 දී මිය යන තුරුම බලය හෙබවූ අතර, පරම්පරාගත රාජ වංශයකට සමාන වූවක් ස්ථාපනය කලේය. ඔහුගෙන් පසුව ඔහුගේ පුත් කිම් ජොන්ග්-ඉල් සහ ඔහුගේ මුනුපුරා වන දැන් උතුරට නායකත්වය ලබා දෙන කිම් ජොන්-උන් බලයට පැමිනියහ.

මතු සම්බන්ධයි.

[1] Bruce Cumings, The Korean War: A History, Modern Library 2010, p. 63.

[2] Cumings, The Origins of the Korean War, Volume 1: Liberation and the Emergence of Separate Regimes 1945-1947, Yuksabipyungsa 2002, p. 120.

[3] Documents of Korean Communism 1918-1948, edited by Dae-sook Suh, Princeton University Press 1970, p. 489.

[4] Ibid.

[5] Dae-sook Suh, The Korean Communist Movement 1918-1948, Princeton University Press 1967, p. 132.

කොරියානු යුද්ධය අවසන් වී වසර 70 යි – 01 කොටස Read More »

air defender

යුක්‍රේනය තුල “ප්‍රොක්සි යුද්ධයේ” සිට නැටෝවේ ඍජු මැදිහත්වීමක් කරා..

මිගාර මල්වත්ත විසිනි.

air defender
Air Defender 23 is the largest deployment exercise of air forces in NATO’s history. Tornado and Eurofighter in formation: In composite air operations, combat aircraft with different capabilities are employed in combination Bundeswehr/Stefan Petersen. bundeswehr.de/en

මෙම ලිපිය ලෝක සමාජවාදී වෙබ් අඩවියෙහි (wsws.org) පළ වූ අදාළ ලිපි සහ වෙනත් මූලාශ්‍ර ද ඇසුරෙන් සම්පාදනය කරන ලද්දකි. මෙය ⁣යුක්‍රේනය තුල ඇමරිකා එක්සත් ජනපදය හා⁣ නැටෝව විසින් රුසියාවට එරෙහිව සිදුකරගෙන යන විනාශකාරී යුද්ධයේ වර්ධනය පිලිබඳ ලියවෙන ලපි මාලාවක කොටසක් වේ.

ජුලි මැද දක්වා මාසයකට වැඩි කාලයකදී, යුක්රේන සන්නද්ධ හමුදා විනාශකාරී භෞතික පාඩු ලබා ඇති අතර, එක්සත් ජනපද මාධ්‍ය විසින් මාස ගනනාවක් තිස්සේ ප්‍රවර්ධනය කරන ලද යුක්‍රේනයේ “වසන්ත ප්‍රතිප්‍රහාරය” සැලකිය යුතු ඉදිරි ගමනක් ගෙන නොමැති බව පැහැදිලිය.

මෙම ප්‍රහාරයේදී දිනකට යුක්‍රේන භටයින් 1000 පමණ මිය යන ලද බව යුක්‍රේනය ම පිලිගතතේය. එහෙයින්, දැන් හුදෙක් පුහුනුව හා ආයුධ සම්පාදනය අතින් පමනක් නොව, යුද්ධය තීව්‍ර කිරීම සඳහා අවශ්‍ය මිනිස් බලය සැපයීම අතින් ද යුක්‍රේන මිලිටරිය වඩ වඩා ඇමරිකා එක්සත් ජනපදය (එ.ජ) හා නැටෝව මත රැඳී සිටී.

රුසියාවට එරෙහි, මෙම මිලිටරි වටලෑම වඩාත් උච්චස්ථානයකට නංවමින්, එය රුසියානු භූමිය තුළට සිදු කරනු ලබන මිලිටරි ආක්‍රමණයක් දක්වා දිගු කර ගැනීම සඳහා, මෙතෙක් තමන් සිදු කරන ලද “ප්‍රොක්සි” මැදිහත් වීම පසෙක ලා, රුසියාවට එරෙහි ඍජු මැදිහත් වීමක් දක්වා එය වර්ධනය කර ගැනීම අධිරාජ්‍යවාදයේ ඊලඟ පියවරයි.

මුලින්, එ.ජ හා එක්සත් රාජධානිය මෙන් දැඩි ආක්‍රමණශීලි ස්ථාවරයක නොසිටි ප්‍රංශය, අද යුක්‍රේනයට නේටෝ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා පෙරමුණ ගෙන සිටී. එමෙන් ම, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් යුක්‍රේන විදේශ කටයුතු අමාත්‍ය ඩිමිට්‍රෝ කුලේබා සමඟ ලන්ඩනයේදී හමු වී, තව තවත් ආයුධ සහ මුදල් ඉක්මනින් ගලා එනු ඇති බව හැඟවීය. කුලේබා පසුව ප්‍රකාශ කළේ, යුක්‍රේනයේ නේටෝ සාමාජිකත්වය ලබා දීමේ යෝජනාව විල්නියස් සමුලුවට ඉදිරිපත් කිරීම සූදානම් කිරීමට ඔවුන් එහිදී සාකච්ඡා කළ බවයි. තවද, බයිඩන් ගේ පරිපාලන නිලධාරියෙක් සීඑන්එන් වෙත පැවසුවේ යුක්රේනය නේටෝවට බැඳීමට කඩිනම් සැලැස්මක් “විවෘතව” පවතින බවයි. ඔස්ලෝහි දී හමු වූ නේටෝ විදේශ ඇමතිවරුන්ගේ රැස්වීමකින් පසු  නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් ප්‍රකාශ කළේ “යුක්‍රේනයට හිමි ස්ථානය ඇත්තේ නේටෝව තුල” බවයි. “අද අපගේ අවධානය යොමු වූයේ යුක්රේනය නේටෝව වෙත සමීප කරවන්නේ කෙසේද” යන්නයැයි ඔහු කියා සිටියේය.

නේටෝ සාමාජිකයෙකු වීමට යුක්‍රේනය දරන උත්සාහයට නව යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපති සැන්චෙස් ද සිය උණුසුම් සහාය ප්‍රකාශ කලේය. “ස්පාඤ්ඤය නේටෝ-යුක්රේන කවුන්සිලයක් නිර්මාණය කිරීම හරහා යුක්රේනයේ දේශපාලන සහභාගීත්වය ශක්තිමත් කිරීමට සහාය දක්වයි, යුක්රේනය තවදුරටත් ආරාධිත පක්ෂයක් නොව පූර්ණ සාමාජිකයෙකු වනු ඇත. ප්‍රායෝගික සහයෝගීතාව ශක්තිමත් කිරීමටත්, ඔබේ ආරක්ෂක අංශය නේටෝ ප්‍රමිතීන්ට අනුව අනුවර්තනය කිරීමටත් අපි කැමැත්තෙමු, ”සැන්චෙස් පැවසීය.

යුක්රේනය තම සාමාජිකයෙකු ලෙස නේටෝව පිළිගතහොත්, නේටෝ ගිවිසුමේ 5 වැනි වගන්තිය යටතේ සියලුම නේටෝ රටවල්වලින් රුසියාව සමඟ යුද්ධයට එළඹෙන ලෙස ඉල්ලා සිටීමට ඔවුන්ට හැකි වනු ඇත. 5 වන වගන්තිය අනුව, මිලිටරි ප්‍රහාරයකට ලක්ව සිටින සාමාජිකයෙකුට ආධාර සැපයීමට සියලුම නේටෝ සාමාජිකයෝ බැඳී සිටිති.

කෙසේ වෙතත්, මෙහිදී සැබැවින්ම සිදුවන්නේ වන්නේ යුක්රේනය නේටෝවට ඇතුළු වීම නොව, නේටෝව යුද්ධයට තම මැදිහත්වීම විශාල ලෙස පුළුල් කිරීම හරහා යුක්‍රේනයට “ඇතුළු වීමයි”. 

මෙසේ නේටෝ බලවතුන්ට මෙම යුද්ධයට ඍජුව මැදිහත් වීම වඩාත් හදිසි කර්තව්‍යයක් බවට පත්ව ඇත්තේ, මේ මොහොතේ යුද්ධයේම සිදුවන අනපේක්ෂිත වර්ධනය නිසාය.

යුක්රේන මිලිටරිය විසින් බොහෝ ප්‍රබෝධමත් ආකාරයකින් ආරම්භ කරන ලද ප්‍රතිප්‍රහාරය දිග්ගැස්සුනු පරාජයක් බවට පත්ව ඇති තතු යටතේ, හිටපු නේටෝ අණ දෙන නිලධාරියෙකුගේ වචන වලින් පැවසුවහොත්, රුසියාවේ “කොන්ද කැඩීම” වූ එහි ඉලක්කය සහතික කිරීම සඳහා ගැටුමට සෘජුවම මැදිහත් වීමට දැන් නේටෝවට සිදුව ඇත. 

ජූලි 11 හා 12 යන දින දෙක තුළ පැවත්වීමට නියමිතව තිබූ ලිතුවේනියාවේ විල්නියස් සමුළුව නේටෝ බලවතුන් විසින් සලකනු ලැබ තිබුනේ ජයග්‍රාහකයන්ගේ සමුලුවක් ලෙස ය. ඒ වෙනුවට, නැටෝ බලවතුන් හමු වූයේ, මිලිටරි අසාර්ථකත්වයේ පසුබිමක සිට ය. සියලු ම නැටෝ පාලන තන්ත්‍ර ගැඹුරු අභ්‍යන්තර අර්බුදවලට මුහුන දී සිටින අතර, ඒවා තමන් විසින්ම අවුලුවා ලනු ලැබූ යුද්ධයේ සුවිසල් අසාර්ථකත්වයෙන් තීව්‍ර කෙරෙනු ඇත.

ලිතුවේනියාවේ විල්නියස් හි නේටෝ සාමාජිකයින් 31 දෙනාගේ රාජ්‍ය නායකයින් සහ ආන්ඩු විසින් එම සතියේ සම්මත කරන ලද ප්‍රකාශය ගෝලීය යුද්ධයේ සැලසුමකි. පිටු 24කින් යුත් ලේඛනයේ කොටසක් පමණක් සමුළුවේ කේන්ද්‍රීය ප්‍රශ්නය වන යුක්‍රේනයේ යුද්ධය සම්බන්ධයෙන් සඳහන් කරයි. ඉතිරිය තුළ, නේටෝව සිය කැමැත්ත සමස්ත ලෝකය මත පැටවීමේ අභිප්‍රාය ප්‍රකාශ කරයි. 

ලේඛනයේ, යුක්‍රේන යුද්ධයට අදාල කොටසෙහි, රුසියාව සමග සාකච්ඡාමය විසඳුමක් ඇතිකර ගැනීම සම්පූර්ණයෙන්ම බැහැර කොට ඇත. තවද, ඊටත් වඩා, එහි (පුටින් ආන්ඩුවේ) “යුද අපරාධ” වලට “දන්ඩ මුක්තියක්” තිබිය නො හැකි යයි ද, “වගකිව යුතු සියල්ල චෝදනාවට ලක්කල යුතු” යයි ද නැටෝව විධාන කරයි. සාමය සඳහා පූර්ව කොන්දේසියක් වන්නේ “රුසියාව මුලුමනින් ම හා කොන්දේසි විරහිත ව යුක්‍රේනයෙන් ඉවත් වීම යි”.

“යුක්‍රේනයෙහි අනාගතය පවතින්නේ නැටෝව තුලයි” යැයි ප්‍රකාශය අවධාරනය කරන නමුත්, නේටෝ හි යුක්‍රේනියානු සාමාජිකත්වය සඳහා සමුළුව තුල දී, කාල රාමුවක් එමගින් ඉදිරිපත් නොකෙරුනි. ඒ වෙනුවට එහි සඳහන් කර ඇත්තේ, “මිත්‍ර පාර්ශවයන් එකඟ වන විට හා කොන්දේසි සපුරන විට” අනාගතයේ යම් දිනයක යුක්‍රේනයට සාමාජිකත්වය ලැබෙනු ඇති බවයි.

මෙවැනි පියවරක් නේටෝව විසින් ගැනීම පිටුපස පවතින්නේ පැහැදිලිවම උපායාත්මක හැරීමකි. මේ අවස්ථාවෙහි, කඩිනමින්ම නැටෝ සම්මුතියේ 5වන වගන්තිය ක්‍රියාවට දැමීමට යුක්රේනයට අවස්ථාව ලබාදීම වඩා වාසිදායක නොවන බවට ඔවුන් ගණන් බලා ඇති බව පෙනී යයි. මෙය වඩාත් සැලසුම් සහගත ලෙස නේටෝ හමුදා යුද්ධයට මැදිහත් කරවීමට සුදුසු අවස්ථාවක් නිර්මාණය කරන තුරු කල්මැරීමේ පියවරකි. 

සැබවින්ම, රුසියාවට එරෙහිව නේටෝ බලමුලු ගැන්වීම වඩාත් ඉහළ අදියරකට රැගෙන යාමට අධිරාජ්‍යවාදයට අවශ්‍ය වී ඇත. “යුක්‍රේනය වඩවඩා සන්ධානය සමග අන්තර්-මෙහෙයුම්කාරී හා දේශපාලනික ව ඒකාග්‍ර වී ඇති” නිසා, 2008 දී ස්ථාපිත කරන ලද “සාමාජිකත්ව ක්‍රියාකාරී සැලැස්ම සඳහා අවශ්‍ය ප්‍රමානයෙන් ඔබ්බට යමින් යුරෝ-අත්ලාන්තික පූර්න ඒකාග්‍රකරනයට යුක්‍රේනය ගමන් කර ඇතැ”යි විල්නියස් හි “නව ලේඛනයෙහි” දැක්වීමෙන් අදහස් වන්නේ එයයි. එය තවදුරටත් මෙසේ පවසයි:  

“යුක්රේනය එහි ජාත්‍යන්තරව පිළිගත් දේශසීමා තුළ එහි ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව දිගටම ආරක්ෂා කරන බැවින්, එයට දේශපාලන සහ ප්‍රායෝගික සහයෝගය තවදුරටත් ඉහළ නැංවීමට අපගේ කැපවීමෙහි අපි ස්ථිරව සිටින අතර, එම සහයෝගය අවශ්‍ය තාක් කල් දිගටම ලබා දෙන්නෙමු.”  

ලේඛනයට අත්සන් තබන සෑම රටක් ම, යුද්ධයට සිය “දල දේශීය නිෂ්පාදිතයෙන් අවම වසයෙන් සියයට 2ක්” කැප කරන බවට ප්‍රතිඥා දෙති. එහෙත්, ඒ අතර ම එය, “පවතින ඌනතාවන්වලට පිලියම් යෙදීමට… සියයට 2ට වඩා අවශ්‍ය වනු ඇතැ”යි ද සඳහන් කරයි.

යුරෝපය පුරා හමුදා සහ ආයුධ යෙදවීම් විස්තර කෙරෙන, සම්මන්ත්‍රණයේ දී සම්මත කරගත්, පිටු 4,000කින් යුත් සම්පූර්ණ යුධ සැලැස්මෙහි නේටෝවේ වේගවත් ප්‍රතික්‍රියා බලකාය සොල්දාදුවන් 40,000 සිට 300,000 දක්වා වැඩි කිරීමට නියමිතය.

මේ ආකාරයෙන්, රුසියාවට එරෙහි අතිශය බිහිසුණු යුද්ධයක් සඳහා ඍජු මැදිහත්වීමකට කල් යල් බලන අතරතුර ම, යුක්‍රේනය බළල් අතක් ලෙස යොදවා ගනිමින් පවත්වා ගෙන යන යුද්ධයේ ගිනි මැලය වඩවඩාත් ඇවිලවීම සඳහා අනවරත ලෙස ඉන්ධන යොදමින් සිටී.  

සැපෝරීෂියා (Zaporizhzhia ) න්‍යෂ්ටික බලාගාරය (ZNPP) පුපුරුවා හැරීමේ අරමුණින් එහි කැණීම් කරන බවට යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙනිස්කි රුසියාවට චෝදනා කලේ මෙම පසුබිම යටතේ ය.

“රුසියානු හමුදා සැපෝරීෂියා න්‍යෂ්ටික බලාගාරයේ බල ඒකක කිහිපයක වහලය මත පුපුරණ ද්‍රව්‍ය තබා ඇති” බව කියා සිටි ඔහු රුසියාව බලාගාරයේ “නව නපුරක් කිරීමට” ඉලක්ක කර ඇති බවත්, “එය නැවැත්වීම ලෝකයේ සෑම දෙනාගේම වගකීමයි” බවත් පැවසීය.

සෙලෙන්ස්කි ගේ ප්‍රකාශයන්ට පටහැනිව, IAEA අධ්‍යක්ෂ ජනරාල් රෆායෙල් මරියානෝ ග්‍රෝසි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, සිය සංවිධානයේ අධීක්ෂණය යටතේ පවතින බලාගාරයේ “පතල් හෝ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ දෘශ්‍යමාන ඇඟවීම්” නිරීක්ෂණය වී නොමැති බවයි.

තම භූ දේශපාලනික අවශ්‍යතා උදෙසා ව්‍යාජ හේතූන් නිර්මාණය කර ගනිමින්, රටවල් ආක්‍රමණය කිරීමේ කුප්‍රකට ඉතිහාසයකට එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදයෝ හිමිකම් කියති. 

වියට්නාම් යුද්ධයට එක්සත් ජනපදය සෘජුවම සම්බන්ධ වීමට පෙලඹවූ 1964 ටොන්කින් බොක්ක සිද්ධිය ගොතන ලද එකකි. ඇෆ්ගනිස්ථානය, ඉරාකය ආක්‍රමණය කිරීම සහ සමස්ත ‘ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය’ යුක්ති සහගත කිරීමට 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය යොදා ගනු ලැබුණි. ඉරාක ආක්‍රමණය සඳහා එක්සත් ජනපදය භාවිතා කළ “සමූලඝාතක අවි” පිලිබඳ මුසාව කොල්ලකාරී යුද්ධයක් සාධාරණීකරණය කිරීමට ගෙතූ මුසාවක් බව හෙළිවීමට වැඩි කලක් ගත නොවීය.

සෙලෙන්ස්කිගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ, නේටෝවේ සෘජු මිලිටරි මැදිහත්වීම සඳහා කඩතුරාවක් ලෙස බලාගාරයේ සිදුවිය හැකි ඕනෑම සිදුවීමක් හෝ ප්‍රකෝපකරනයක් භාවිතා කිරීමට ඔවුන් යොමු වී ඇති බවයි. 

මෙහිදී , යුක්රේනයට මිලිටරි පරාජයක් සිදු වුවහොත්, (උපායශීලී න්‍යෂ්ටික අවි රැගෙන යා හැකි F – 16 ප්‍රහාරක ජෙට් යානා ද ඇතුළත් වන) නේටෝ ප්‍රහාරක ගුවන් යානා සම්බන්ධ කර ගනිමින් රුසියානු ගුවන් යානාවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා යුක්‍රේනයට ඉහළින් පියාසර තහනම් කලාපයක් ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කිරීමත් සමඟ මේ සදහා නේටෝ බලවතුන්ගේ ප්‍රතිචාර දැක්වීම අන්ත අන්තරායකාරී මට්ටමක පවතී. 

 “Air Defender 2023” යනු යුද්ධයට නේටෝවේ සෘජු මැදිහත්වීමේ ක්ෂනික ආරම්භක ලක්ෂ්‍යය බවට පත්වේ ද යන්න නොසලකා – ඇත්තෙන්ම මෙය යථා අනතුරක් ලෙස පවතී – මෙම උපාමාරුව තුන්වන ලෝක යුද්ධයක් කරා වර්ධනය වීමේ කොටසක් වනු ඇත.

යුක්‍රේනය තුල “ප්‍රොක්සි යුද්ධයේ” සිට නැටෝවේ ඍජු මැදිහත්වීමක් කරා.. Read More »

එක්සත් ජනපදය හා සහචර රටවල් යුරෝපය පුරා “යුද අභ්‍යාස” නමින් රුසියාව වටකිරීමේ  පෙරහුරු පවත්වයි

මිගාර මල්වත්ත විසිනි.

මෙම ලිපිය ලෝක සමාජවාදී වෙබ් අඩවියෙහි (wsws.org) පළ වූ අදාළ ලිපි සහ වෙනත් මූලාශ්‍ර ද ඇසුරෙන් සම්පාදනය කරන ලද්දකි. මෙම ලිපිය ⁣යුක්‍රේනය තුල ඇමරිකා එක්සත් ජනපදය හා⁣ නැටෝව විසින් රුසියාවට එරෙහිව සිදුකරගෙන යන විනාශකාරී යුද්ධයේ වර්ධනය පිලිබඳ ලියවෙන ලපි මාලාවක කොටසක් වේ.

Image Not Found
සබේර් ගාඩියන් 23, NATO Multimedia 2023

එක්සත් ජනපදයෙන් හා එහි සහකාරක රටවල භටයන් 26,000ක ද සහභාගීත්වයෙන් අප්‍රේල් 22දා ආරම්භ වූ “2023 යුරෝපා රැකවල” නමැති යෝධ අභ්‍යාසය ඇතුලුව, සමස්ත යුරෝපය පුරා යුද අභ්‍යාස පැවැත්වින. මෙම මෙහෙයුම්වල අවසන් සංරචකය වන “සබේර් ගාඩියන් 23” නමැති අභ්‍යාස සතියට කේන්ද්‍රගත වූයේ, යුක්‍රේනයෙන් දකුනට වන්නට පිහිටි කලු මුහුදයි. එයට ඇල්බේනියාව, බල්ගේරියාව, බෙල්ජියම, ප්‍රන්සය, ග්‍රීසිය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව, ස්ලොවීනියාව සහ එක්සත් ජනපදය යන රටවල සොල්දාදුවෝ හා නාවික භටයෝ සහභාගි වූහ.

වඩාත් විස්තීර්ණ අභ්‍යාසය ජර්මනියේ දී, ජූනි 12 වන සඳුදා සිට ආරම්භ වී  ජූනි  23 දින අවසන් විය. එයාර් ඩිෆෙන්ඩර් 2023 හි කොටසක් ලෙස ප්‍රහාරක ජෙට් යානා සිය ගණනක් රට පුරා පියාසර කළ අතර සම්පූර්ණ යුද තත්වයක් සඳහා පුහුණු කරන ලදී. එය නේටෝ ඉතිහාසයේ විශාලතම ගුවන් අභ්‍යාසයයි. සමස්තයක් වශයෙන්, රටවල් 25 ක සොල්දාදුවන් 10,000 කට වැඩි පිරිසක් ගුවන් යානා 250 ක් සමඟ ඊට සම්බන්ධ වී තිබුණි. ඔවුන් රුසියානු දේශසීමාව දක්වාම විය හැකි ප්‍රහාරාත්මක උපාමාරුවල යොදනු ලැබුණි.

අභ්‍යාසයේ විශාල පරිමාණය සහ එහි ස්වභාවය යන දෙකම පැහැදිලි කරන්නේ “එයාර් ඩිපෙන්ඩර් 23” (Air Defender 2023) යනු හුදෙක් සාමාන්‍ය උපාමාරුවක් නොවන බවයි. එය රුසියාවට එරෙහි නේටෝ යුද ප්‍රහාරයේ සෘජු සංරචකයකි. ලෝක යුද්ධ දෙකේ දී දැනටමත් රුසියාව මිලිටරිමය වශයෙන් යටත් කර ගැනීමට උත්සාහ කර ඇති ජර්මානු පාලක පන්තියේ නියෝජිතයෝ විශේෂයෙන්ම මෙය විවෘතව ප්‍රකාශ කරති.

නේටෝ ප්‍රකාශිකා වානා ලන්ජස්කෙ (Oana Lungescu) පැහැදිලි කළේ මෙම අභ්‍යාසය ඉලක්ක කරන්නේ උපකල්පිත විරුද්ධවාදියෙකු වෙත නොව රුසියාව වෙත බවයි. ” එයාර් ඩිපෙන්ඩර් 23 විසින් මිත්‍ර පාක්ෂික භූමියේ සෑම අඟලක්ම ආරක්ෂා කිරීමට නේටෝව සූදානම් බවට පැහැදිලි පණිවිඩයක් යවයි,” ඇය පැවසුවාය. “පරම්පරාවක විශාලතම ආරක්ෂක අර්බුදයට අප මුහුණ දෙන බැවින්, අපගේ රටවල් සහ අපගේ ජනතාව සුරක්ෂිතව තබා ගැනීමට අපි එක්සත්ව සිටිමු.” 

මෙම මිලිටරි අභ්‍යසයන්හි අරමුන යෝධ මිලිටරි බලමුලු ගැන්වීමක් මගින් රුසියාව වටකිරීමක් සූදානම් කිරීම මිස අන් කිසිවක් නොවෙි. 

නේටෝව රුසියාව වටලයි 

එසේම, රුසියාවට එරෙහිව යුරෝපය පුරාම නේටෝ භටයින් ස්ථානගත කිරීම හා මිලිටරි ප්‍රකෝපකරනයන් ද මේ වන විට තව තවත් වේගවත් කර ඇත. 

වොෂින්ටන් පෝස්ට් පත්‍රයෙහි පල කල ලිපියක, රුසියාවට දේශසීමා වන සහ සාන්ත පීටර්ස්බර්ග් නුවර සිට යන්තම් කිලෝමීටර 150ක් ඔබ්බේ පවතින එස්තෝනියාව තුලට ප්‍රන්ස පැරෂුට් භටයන් මුදාහරිනු ලැබීමේ විස්තරයක් ගැන සඳහන් වේ. “එස්තෝනියාව තුල ප්‍රන්ස යුද අභ්‍යාස, එම රට තුල රුසියාවට එරෙහිව නේටෝ සටන් කන්ඩායමක් ශක්තිමත් කිරීමට ගත්  වර්ධිත පෙර පුහුනුවක කොටසක්” බව පෝස්ට් පත්‍රය සටහන් කරයි.

ජූලි 11- 12 විල්නියස් හි පැවැත්වෙන නේටෝ සමුළුවවට පෙර, එස්තෝනියාව මෙන්ම රුසියාවට මායිම් රාජ්‍යයක් වන ලිතුවේනියාව තුල සටන් භටයින් 4,000 ස්ථිරවම ස්ථානගත කිරීමට ජර්මනිය කටයුතු කලේය.  

යුක්‍රේනයේ සිට රුසියාව තුලට සිදු කරන දේශසීමා හරහා කඩාවැදීම් වලට, පෝලන්ත පුරවැසියන්ගේ ඊනියා “පෝලන්ත ස්වේච්ඡා භට” සාමාජිකයන් සහභාගි කරවමින්, පෝලන්තය ගැටුමට ඍජු ව සම්බන්ධ වී තිබේ.

මේ අතර, වෝර්සෝ ව, පෝලන්ත හමුදාව සොල්දාදුවන් 250,000 දක්වා වැඩි කිරීම සඳහා වූ දැවැන්ත ව්‍යාප්තියක් ද සූදානම් කරමින් සිටින අතර එය යුරෝපයේ විශාලතම හමුදාවන්ගෙන් එකක් වනු ඇත. ඊට අමතරව, පෝලන්ත හමුදාවට යුද ටැංකි 1,500 ක් අත්පත් කර ගැනීමට අවශ්‍ය වන අතර එමඟින් පෝලන්තයේ හමුදාව නේටෝව තුළ තුන්වන විශාලතම ටැංකි හමුදාව බවට පත් කරනු ඇත. පෝලන්ත ධනේශ්වරයේ කන්ඩායම් දෙකම මෙම යලි සන්නද්ධ කිරීම සහ යුද සැලසුම් හරහා වේගයෙන් ගමන් කරමින් සිටී.

තවද , බල්ගේරියාව, හංගේරියාව, රුමේනියාව හා ස්ලොවැකියාව යන අතිරේක රටවල් හතරක් තුල සටන් කන්ඩායම් ස්ථාපිත කිරීම මගින්, නැටෝව එහි නැගෙනහිර පාර්ශවය ශක්තිමත් කර ඇත්තේ, සටන් කන්ඩායම් අටක් හරහා භටයන් 10,000ක් යොදවමිනි. විශේෂයෙන් ම ලැට්වියාව, ලිතුවේනියාව හා එස්තෝනියාව යන බෝල්ටික් රටවල් ඇතුලු ව, රුසියාවට දේශසීමා වන රටවලට නැව් දුසිම් ගනනක් සහ යුද යානා සිය ගනනක් සමගින් භූමි-පාදිත ගුවන් ආරක්ෂාව යවනු ලැබ තිබේ.

මේ අතර , USS ජෙරල්ඩ් ආර්. ෆෝර්ඩ් (USS Gerald R. Ford) නෞකාව නෝර්වේ හි ඔස්ලෝ වෙත ළඟා විය. USS ෆෝර්ඩ් යනු මෙතෙක් නිපදවා ඇති විශාලතම යුධ නෞකාව වන අතර, එක්සත් ජනපදය විසින් ආරම්භ කරන ලද නව පරම්පරාවේ එවැනි වාහකයන්ගෙන් පළමුවැන්නයි.

ෆෝර්ඩ් විසින් මෙහෙයවන ලද වාහක ප්‍රහාරක කණ්ඩායමට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන ප්‍රහාරක සබ්මැරීන දෙකක්, ටිකොන්ඩෙරෝගා පන්තියේ කෲසර් දෙකක් සහ විනාශ කරන්නන්ගේ බලඝණයක් ඇතුළත් වේ. ප්‍රහාරක කණ්ඩායම මෙහෙයවන නාවික හමුදා සාමාජිකයින් දහස් ගණනක් වන අතර, ඔවුන් රුසියානු භූමියෙන් කැපී පෙනෙන දුරක් තුළ ක්‍රියාත්මක වනු ඇත.

ගැටුම පුලුල් කිරීමට එක්සත් ජනපදය දරන ප‍්‍රකෝපකාරී ප‍්‍රයත්නයන්ට තමන්ගේම මංමුලා සහගත සහ නොසැලකිලිමත් ප‍්‍රතිචාරයක් ලෙස මොස්කව් නිවේදනය කලේ තමන් අසල්වැසි බෙලරුසියාවේ උපායශීලී න්‍යෂ්ටික අවි ස්ථානගත කරන බවයි. “රුසියාවේ සහ බෙලරුස්හි බටහිර දේශසීමාවේ තර්ජන අතිශයින් තියුනු ලෙස උත්සන්න වන සන්දර්භය තුළ, මිලිටරි-න්‍යෂ්ටික ක්ෂේත්‍රයේ ප්‍රතිවිරෝධතා ජය ගැනීමට තීරණයක් ගන්නා ලදී,”යැයි රුසියානු ආරක්ෂක ඇමති සර්ජි ෂොයිගු පැවසීය.

දැනට සති කිහිපයක සිට, රුසියාව තුලට මහා පරිමාණ යුක්රේන ප්‍රහාර අඛන්ඩව එල්ල විය. රුසියාවේ බෙල්ගොරොඩ් පළාතේ ෂෙබෙකිනෝ නගරය පිට පිට තුන්වන දිනටත් නිරන්තර ෂෙල් ප්‍රහාරවලට ලක්විය. මේ සදහා යුක්‍රේනය විසින් පුටින් විරෝධී අන්ත දක්ෂිණාංශික මිලිෂියා භට කණ්ඩායම් යොදා ගැනුනි.

ප්‍රහාරය එල්ල වූයේ දින 224ක දරුණු සටනකින් පසු බක්මුත් සම්පූර්ණයෙන් අල්ලා ගත් බව රුසියාව ප්‍රකාශ කිරීමෙන් දිනකට පසුව වන අතර එම කාලය තුළ බක්මූත් සටනින් දස දහස් ගණනක් මිය ගිය බව විශ්වාස කෙරේ. 

රුසියානු සහ යුක්රේන නිලධාරීන් විසින් රුසියානු ස්වේච්ඡා බළකාය සහ රුසියාවේ “ෆ්‍රීඩම් ඔෆ් රුසියා ලීජන්” යන දෙකම නව ෆැසිස්ට් සංවිධාන ලෙස හඳුනා ගන්නා ලදී. 2022 දී පිහිටුවන ලද සහ රුසියාවේ “ත්‍රස්තවාදී” ලෙස වර්ගීකරණය කරන ලද මෙම සංවිධාන දෙක යුක්රේනයේ සන්නද්ධ හමුදාවන්ගේ තථ්‍ය පාලනය යටතේ ක්‍රියාත්මක වන බව යුක්රේන විදේශ බුද්ධි අංශ පිළිගත් පළමු අවස්ථාව එය විය.

ප්‍රහාරයට සම්බන්ධ බලවේගවල ස්වභාවය, රුසියාවට එරෙහිව අධිරාජ්‍යවාදී බලවතුන් විසින් ගෙන යන යුද්ධයේ සැබෑ අරමුනු පෙරට ගෙන එයි. රුසියානු ස්වේච්ඡා බළකාය සහ රුසියාවේ “ෆ්‍රීඩම් ඔෆ් රුසියා ලීජන්” යන දෙකම අන්ත ජාතිකවාදී සහ ජාතිවාදී සංයුතීන් වේ. ඔවුන් තම ඉලක්කය ලෙස ප්‍රකාශ කරන්නේ ව්ලැඩිමීර් පුටින්ගේ ආන්ඩුව ප්‍රචණ්ඩ ලෙස පෙරලා දැමීම සහ වාර්ගික වශයෙන් “පිරිසිදු” රුසියානු ජාතික රාජ්‍යයක් පිහිටුවීමයි.

රුසියානු වාග්නර් කුලී හේවා බලකායේ ප්‍රධානියා වූ එව්ගෙනි ප්‍රිගොෂින් නායකත්වය දුන් කුමන්ත්‍රන ප්‍රයත්නය එරට වේලාවෙන් 23 වන සිකුරාදා සවස ආරම්භ වී එරට වේලාවෙන් 24 වන සෙනසුරාදා සවස් වරුවේ, බිඳ වැටුනි. 

ප්‍රිගොෂින්, විනාඩි 30 ක වීඩියෝ පටයකින් රුසියාවේ මිලිටරි නායකත්වයට එරෙහිව තර්ජනය කරමින්, ඔහු රුසියානු පාලක පන්ති තුල සිටින නැටෝ ගැති කන්ඩායමට සෘජු ආයාචනයක් කලේය. සති කිහිපයකට පෙර, නැටෝවෙන් එල්ල වන තර්ජනයට එරෙහිව සටන් කිරීම සඳහා මහජන බලමුලු ගැන්වීමක් සහ යුද ආර්ථිකයකට පූර්න හැරීමක් ඉල්ලා සිටි ප්‍රිගොෂින්, “යුක්‍රේනයේ සන්නද්ධ හමුදා නැටෝව සමඟ එක්ව රුසියාවට පහර දීමට සූදානම් වෙමින් සිටියේ නැතැ” යි මෙහිදී පැවසීය.

මෙවැනි, ඉතා කෙටි කාලයක් තුළ ප්‍රිගොෂින් නේටෝව සම්බන්ධව සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ අස්ථානයක් ගැනීමෙන් පෙනී යන්නේ, සිදු කරන ලද මෙම කුමන්ත්‍රණය පිටුපස නේටෝව පැහැදිලිව සිටින බවයි. 

නැටෝ පිටුබලයෙන් යුක්‍රේනය එල්ල කල ප්‍රහාරයේ අසාර්ථකත්වයෙන් පසු සති තුනකටත් අඩු කාලයකදී මෙවැනි කුමන්ත්‍රනයක් මගින් හෝ රුසියාවට එරෙහි ප්‍රොක්සි යුද්ධය ඉදිරියට ගෙන යාමේ මංමුලා සහගත උත්සාහයක අධිරාජ්‍යවාදීන් නිරත වූ අයුරු මෙයින් පෙනී යයි.

යුක්‍රේන හමුදාව තුල යුක්‍රේන ෆැසිස්ට් හා නව ෆැසිස්ට් සංයුතිවල කේන්ද්‍රීය භූමිකාව මෙන්ම, මෙම රුසියානු අන්ත දක්ෂිනාංශික සංවිධාන නේටෝ යුද්ධයට සම්බන්ධ වීම අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සැබෑ අරමුන හෙලිදරව් කරයි: එනම් ජනවාර්ගික ආතතීන් උත්සන්න කිරීම හා ජාතික ගැටුම් නිර්මාණය කිරීම හරහා රුසියානු සමූහාණ්ඩුව බිඳ දැමීමයි. එනම්, මෙම බලවේග ප්‍රවර්ධනය කිරීමේ හා සන්නද්ධ කිරීමේ අරමුන වන්නේ අධිරාජ්‍යවාදී බලවතුන්ට සෘජුවම යටත් වන අන්ත දක්ෂිනාංශික රූකඩ පාලන තන්ත‍්‍ර පිහිටුවීමයි.

පසුගිය මැයි මස මුල් සතියේ, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ නිල නිවසට ඉහළින් ඩ්‍රෝන යානා දෙකක් පුපුරා ගියේය. ඩ්‍රෝන් ප්‍රහාරයෙන් පසුව, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් “තමන් ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න තීරණය කිරීම අපි යුක්‍රේනයට භාර දෙමු” පවසමින් රුසියානු ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ ඔනෑම උත්සාහයක් බැහැර කිරීම ප්‍රකික්ෂේප කළේය.

පෙබරවාරියේදී, දේශපාලන කටයුතු පිලිබඳ එක්සත් ජනපද උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් ක්‍රිමියාව තුල යුක්‍රේන ප්‍රහාර විවෘතව අනුමත කලාය. “ඒවා නීත්‍යානුකූල ඉලක්ක” යැයි  නුලන්ඩ් පැවසීය. “යුක්රේනය ඔවුන්ට පහර දෙනවා. අපි ඒකට සහයෝගය දෙනවා.” ඇය පැවසුවාය.

එක්සත් ජනපදය හා සහචර රටවල් යුරෝපය පුරා “යුද අභ්‍යාස” නමින් රුසියාව වටකිරීමේ  පෙරහුරු පවත්වයි Read More »

protest

ජූලියන් අසාන්ජ් නිදහස් කරනු! මාධ්‍යවේදියෙක් කොලඹ රැස්වීමකදී ඕස්ට්‍රේලියානු ආන්ඩුවට බලපෑම් කරයි

අපගේ වාර්තාකරු විසිනි 

ඊයේ (21) ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් (HC) පෝල් ස්ටීවන්ස් මහ බැංකු ගොඩනැගිල්ලේ පැවති උත්සවයකදී දේශනයක් පවත්වමින් සිටියදී, එක් මාධ්‍යවේදියෙක් පමනක්, තනිව, ඕස්ට්‍රේලියානු රජයට එරෙහිව සිය විරෝධය ප්‍රකාශ කරමින්, බොරු චෝදනා මත දඩයමට ලක් කරන ලද මාධ්‍යවේදී ජූලියන් අසාන්ජ් නිදහස් කර ගැනීමට එම රජයට  මැදිහත් වන ලෙස බලකර සිටීමට අවස්ථාව ලබා ගත්තේය.

මෙම උත්සවය ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI) සමඟ එක්ව මහ බැංකුව විසින් පවත්වන ලද සාර්ව-ආර්ථික විද්‍යා පාඨමාලාවක් හැදෑරූ මාධ්‍යවේදීන් දුසිම් දෙකහමාරකට පමන සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවක් විය. මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට ‘ඕස්ට්‍රේලියානු ඒඩ්’ අනුග්‍රහය ලබා දී ඇති අතර තවත් සමහරු තමන් වෙනුවෙන් මුදල් ගෙවා  සහභාගි වූහ. මෙම උත්සවයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ  සභාපති කුමාර් නඩේෂන් ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් සමඟ ප්‍රධාන මේසය බෙදා ගත්හ.

ආන්ඩුකාරවරයාගේ කථාවට පසුව ස්ටීවන්ගේ කතාව විය. මිනිත්තු අටක පමන කාලයක මහකොමසාරිස්ගේ මුලු කතාව අතරතුර, මාධ්‍යවේදී සංජය ජයසේකර, “ජුලියන් අසාන්ජ් – ජනතාවගේ මාධ්‍යවේදියා- නිදහස් කරනු!” යනුවෙන් පුවරුවක් ඔසවා ගෙන සිටියේය.

protest
ජයසේකර “ජූලියන් අසාන්ජ් නිදහස් කරනු!” යන පුවරුව ඔසවයි. [ඡායාරූපය ෂබීර් මොහොමඩ්]

එකී අවස්ථාවෙන් අනතුරුව ජයසේකර ද-සෝෂලිස්ට්.LK සමඟ කතා කලේය. ඔහු theRepublic.LK හි කර්තෘ වන අතර, ද-සෝෂලිස්ට්.LK හි ලේඛකයෙකි. ඔහු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ලේඛකයෙකුද, එහි ශ්‍රී ලංකා කර්තෘ මන්ඩලයේ සාමාජිකයෙකුද වී සිටියේය. වර්තමානයේ ඔහු කොලඹ ක්‍රියාකාරී කමිටුවේ සභාපතිවරයා ද වේ.

ජයසේකර මෙසේ ප්‍රකාශ කලේය:

“විකිලීක්ස් නම් විස්ල්බ්ලෝවර් (තොරතුරු හෙලිදරව් කරන) වෙබ් අඩවියේ නිර්මාතෘ, මාධ්‍යවේදී ජූලියන් අසාන්ජ්ගේ ජීවිතය සඳහා ඕස්ට්‍රේලියානු රජය වගකිව යුතුය. අසාන්ජ් ඕස්ට්‍රේලියානු පුරවැසියෙකි. එක්සත් ජනපද හමුදාවේ හා ආන්ඩුවේ ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය තුල ලෙයින් පෙඟී ගිය යුද අපරාධ හෙලිදරව් කිරීම නිසා  දැන් වසර 14ක් තිස්සේ ඔහුගේ පෞද්ගලික ජීවිතය අහිමි කර, අන්තිම දුෂ්කර තත්වයන් යටතේ ඹහු සිරගත කර ඇත. විදේශයන්හි අධිරාජ්‍යවාදී යුද්ධ කිරීමත්, පිරිමින්, ගැහැනුන් සහ දරුවන් මරා දැමීමත් සඳහා ජනතාවගේ අනුමැතියකින් තොරව ඔවුන්ගේ මුදල් විනාශ කරන බැවින්, ජනතාව සත්‍යය දැනගත යුතුය යන විශ්වාසය මත ඔහුගේ හෙලිදරව්ව පදනම් වූ බැවින් මෙම සම්මානලාභී මාධ්‍යවේදියා ජනතාවගේ වීරයෙකි.

“බයිඩන් පරිපාලනය අසාන්ජ් එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට උත්සාහ කරමින් සිටින අතර එහිදී ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් සහ මරන දන්ඩනය පවා ගෙන එන ඔත්තු බැලීමේ චෝදනාවලට මුහුන දීමට සිදුවනු ඇති. ඔහුගේ එකම “අපරාධය” නම්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සහ එහි සහචරයින්ගේ යුද අපරාධ සහ රාජ්‍යතාන්ත්‍රික කුමන්ත්‍රන හෙලිදරව් කරන රහසිගත ලේඛන සහ වීඩියෝ දර්ශන ප්‍රකාශයට පත්කිරීමයි. විකිලීක්ස් වෙත මෙම වීඩියෝ ලබා දුන් හිටපු එක්සත් ජනපද හමුදා බුද්ධි නිලධාරිනියක් වන චෙල්සී මැනිං ද රඳවා තබාගෙන හිංසනයට ලක් කරනු ලැබුනා.”

2019 අප්‍රේල් මාසයේදී ඔහුව බලහත්කාරයෙන් අත්අඩංගුවට ගෙන ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයෙන් ඇදගෙන යෑමෙන් පසු, අසාන්ජ් එක්සත් රාජධානියේ බෙල්මාර්ෂ් සිර කඳවුරේ සිරකර තැබෙනවා. ඔස්ට්‍රේලියානු ආන්ඩුව, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් ඔහුට එරෙහිව සිදුකරන අඛන්ඩ තාඩන පීඩන, පුද්ගලික අවලාද නැගීම්, කුමන්ත්‍රන සහ ඔත්තු බැලීම් වලට හවුල් වී ඇත. අසාන්ජ්ට එරෙහිව ව්‍යාජ ලිංගික අතවර චෝදනා එල්ල කිරීමට එක්සත් ජනපදය ස්වීඩනය යොදා ගත් අතර පසුව ඒවා අත්හැර දැමුනා. සංස්ථාපිතයේ මාධ්‍ය මේ පාපකර්මවල කොටස් කාරයන් වේ.

Assange
අසාන්ජ් අත්අඩංගුවට ගැනීමෙන් පසු වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරනයෙන් පිටත පොලිස් අත්අඩංගුවේ පසුවෙයි [sky.com]

“අසාන්ජ්ට එරෙහිව සිදුකරන පීඩාකාරී හඹායාම, ලෝකයේ ඕනෑම තැනකම, සියලුම ආන්ඩු විසින්, සියලුම මාධ්‍යවේදීන් සහ තොරතුරු හෙලිකරන්නන් ත්‍රස්ත කිරීම අරමුනු කර ගත්තකි.

දශක තුනකට වැඩි කාලයක් එක්සත් ජනපදය එහි පිරිහෙමින් පවතින ගෝලීය ආර්ථික ආධිපත්‍යය පියවා ගැනීම සඳහා විදේශයන්හි අඛන්ඩ අධිරාජ්‍යවාදී යුද්ධ කරමින් සිටින අතර දැන් නේටෝවේ සහ ඕස්ට්‍රේලියාව ඇතුලු එහි සහචරයින්ගේ පූර්න සහයෝගය ඇතිව යුක්රේනයේ දී රුසියාවට එරෙහිව ප්‍රොක්සි (තුන්වන පාර්ශවයක් හරහා කරන) යුද්ධයක නිරතව සිටී. දේශීය වශයෙන් කම්කරු පන්තිය මත යුද්ධයේ බර පැටවීම සඳහා දැඩි කප්පාදු ක්‍රියාත්මක කෙරේ. යුද්ධය ලෝකය න්‍යෂ්ටික ව්‍යසනයක අන්තරාය කරා ඇද ගෙන යයි. මෙම යුද්ධය එක්සත් ජනපදයේ ප්‍රධාන ප්‍රතිවාදියා වන චීනයට එරෙහි විශාල යුද්ධයක පුරෝගාමියෙක් පමනි.”

මනුෂ්‍යත්වය බේරා ගැනීමට නම් මේ යුද්ධ නැවැත්විය යුතුයි. ඒ සඳහා එක්සත් ගෝලීය යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම අවශ්‍ය වේ. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට ඔවුන්ගේම සමාජ වගකීමක් තිබෙනවා. අසාන්ජ් ඔවුන්ගේ ආදර්ශය බවට සැකයක් නැත,” ජයසේකර පැවසීය.

“සැබෑ මාධ්‍යවේදියකුගේ ඉහලම කර්තව්‍යය වන්නේ සමාජය සහ අවට ලෝකය පිලිබඳ සත්‍යය සෙවීම, විශ්ලේෂනය සහ හෙලිදරව් කිරීම බව මම විශ්වාස කරමි. ඔහු සත්‍යයට විශ්වාසවන්ත විය යුතුයි. සත්‍යය දැන ගැනීමට නම්, ඔහු සමාජයේ යාන්ත්‍රනයන් පිලිබඳ මනා අවබෝධයකින් යුතු විය යුතු අතර, සෑම විටම මහජනතාවට සහ සමාජ සාධාරනත්වයට පක්ෂපාතී විය යුතුය. ඒක තමයි සැබෑ පුවත්පත් කලාව.”

අසාන්ජ් ආරක්ෂා කරන්නේ ද යන්න ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියන අයගේ ලිට්මස් පරීක්ෂනයක් බව ද ජයසේකර පැවසීය.

මේ වසරේ මාර්තු අගදී, ඕස්ට්‍රේලියානු විදේශ ඇමති පෙනි වොං සෙනෙට් සභාවේදී සපල ලෙස ප්‍රකාශ කලේ, වෙනත් රටක “නෛතික ක්‍රියාදාමයන්” හේතුවෙන් අගමැති ඇන්තනි ඇල්බනීස්ගේ කම්කරු ආන්ඩුවට අසාන්ජ්ගේ නිදහස සුරක්ෂිත කිරීමට කිසිවක් කල නොහැකි බවයි. මෙය අසාන්ජ්ගේ දරුනු දුක්ඛිත තත්වය විසඳීමට “නිහඬ රාජ්‍ය තාන්ත්‍රිකභාවය” භාවිතා කරන බවට ආන්ඩුව කල වංචනික ප්‍රකාශයන්ට පටහැනිව පිහිටයි. මෙම හැසිරීම ඕස්ට්‍රේලියානු ආන්ඩුවේම පූර්ව භාවිතයන්ට පටහැනිය. 

අසාන්ජ්ගේ නිදහස ඕස්ට්‍රේලියාව වැනි අධිරාජ්‍යවාදී සහචරයින් විසින් සුරක්ෂිත කරනු නැත. “යුද්ධය ඔවුන්ගේ පන්ති අවශ්‍යතා ඉටු කරයි. අසාන්ජ්ගේ ජීවිතය බේරා ගැනීම සහ පුවත්පත් කලාවේ නිදහස මෙන්ම යුද්ධය නැවැත්වීම වැඩකරන ජනතාවගේ අතේ පමනක් පවතින කාරනා” යැයි ජයසේකර වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

ලෝක යුද්ධය සඳහා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සූදානම සහ අසාන්ජ්ට හිංසා පීඩා කිරීම ක්‍රමානුකූලව හෙලිදරව් කරමින්, කම්කරු පන්තියේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා කැඳවුම් කර ඇත්තේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සහ ලෝසවෙඅ යයි.

ජූලියන් අසාන්ජ්  වහා නිදහස් කරනු! ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරය ගොඩනගව්!

[මෙම ලිපිය ජුලි 22 දින මුල් වරට මෙහි ඉංග්‍රීසි බසින් පල විය]

ජූලියන් අසාන්ජ් නිදහස් කරනු! මාධ්‍යවේදියෙක් කොලඹ රැස්වීමකදී ඕස්ට්‍රේලියානු ආන්ඩුවට බලපෑම් කරයි Read More »

Scroll to Top