Poverty

ධීවර ජනයා වෙලාගත් ආර්ථික සමාජ ගැටලු තව තවත් ඔද්දල් වෙයි

පී.ජී. පුන්‍යවර්ධන විසිනි 

ධීවර කම්කරුවා, සුලු පන්නකරුවා සහ සුලු හා මධ්‍යම පරිමාන ව්‍යාපාරිකයා දක්වා ධීවර කර්මාන්තයේ නියැලි ලක්ෂ ගනනක් පැවැත්ම පිලිබද ගැඹුරු වන අවිනිශ්චිත තත්වයකට මුහුන දී සිටිති. උපකරන හා ඉන්ධන මිල උද්ධමනය, තරගකාරිත්වය, කිසිදා නො පියවෙන නය අර්බුදය යනාදියෙන් වෙලාගෙන සිටින ධීවර ජනයා තවමත් ජීවත් වන්නේ වැඩවසම් බැමිවලින් මුලුමනින් අත් මිදී ගත නො හැකි තත්වයක ය.    

පසු ගිය දා හලාවත ප්‍රදේශයේ ධීවරයන් අතර කල මැදිහත් වීමක දී අප ලද තොරතුරුවලින් නියෝජනය වන්නේ ශ්‍රී ලංකා ධීවර ප්‍රජාවගේ ජීවන කොන්දේසි හා ජීවන තත්වයන් පිලිබඳ හරස්කඩකැයි අපට හැඟේ.     

Image Not Found
තොඩුවාව ධීවරයෝ

එහි දී, අපට මුන ගැසුනු, බහු දින යාත්‍රා හිමිකරුවකු වන නාලක කර්මාන්තය තුල තමන් මුහුන දී සිටින තත්වය මෙසේ ගෙන හැර පෑවේ ය. ඔහු පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත, තොඩුවාව ධීවර ග්‍රාමයේ වසන, දෙමාපිය උරුමයෙන් ධීවරයෙකු වූ අයෙකු වෙයි. විවාහයෙන් පසු ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා 2003 වර්ෂයේ ඉතාලියේ රැකියාවක් සඳහා පිටත්ව යන ඔහු, වසර දෙකක් ගිය පසු තම බිරිඳ ද කම්කරුවකු ලෙස ඉතාලිය වෙත ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත. බිරිඳත් සමග තවත් වසර 13ක් එහි සේවය කර පෙරලා දිවයිනට පැමිනියේ ය.

බහු දින යාත්‍රාවක් යොදාගෙන කර්මාන්තයේ යෙදීම සඳහා ඔහු 2017 වසරේ දී, (ඉතාලියෙන් ආපසු පිටත් වීමට පෙර ම) ලංකා බැංකුවෙන් රුපියල් කෝටියක්, සියයට හතක වාර්ෂික පොලියට, මාසිකව 150,000ක වාරික වශයෙන් අඛන්ඩව වසර 7ක් තුල ගෙවා නිම කිරීමේ කොන්දේසි මත ලබා ගන්නා ලදී. ඒ අනුව 2018 දී බහු දින යාත්‍රාවක් දියත් කල තමන්ට, දැන් සිය දූ දරුවන් ඥාති මිත්‍රාදීන් සමග යහපත් ජීවිතයක් ගත කල හැකි යයි කල්පනා කල බව නාලක අපට කීවේ ය.

2018 සහ 2019 වසර දෙකේ මුහුදු ගමන් 15ක් මගින් ඉහල ආදායමක් ලැබීමේ හැකියාව විසින් ඔහු දිරිමත් කරන ලදී. එහෙත් 2019 අවසානය වන විට කොවිඩ් ව්‍යාප්තිය ධීවර කර්මාන්තය ද වෙලා ගත්තේ ය. මේ වන විට ඔහු අඩි 50ක තවත් බහු දින ධීවර යාත්‍රාවක් සදහා මුදල් වැය කර තිබිනි.  

ඒ සඳහා සිය බිරිඳගේ ලංකා බැංකු ගිණුමෙන් වාර්ෂිකව සියයට 13 පොලියට තවත්  රුපියල් කෝටියක ණය මුදලක් ලබා ගත්තේ ය. කොවිඩ් වසංගතයත් සමග මාලු අලෙවියේ ඇද වැටීමට සියලු ධීවරයෝ මුහුන පෑහ. ලක්ෂ 30-40 අතර මුදලක් යාත්‍රාව දියත් කිරීම සදහා වැය කලත් ඒ මුදලවත් උපයා ගැනීමට අවස්ථාවක් නො වූ වාර ගනන වැඩි විය. මාලු හිගයකට ද මුහුන දීම නිසා තව දුරටත් තත්වය නරක අතට හැරුනි. පොදුවේ ගත් කල 2019-20 කාලයේ මත්ස්‍ය නිශ්පාදනය 20% කින් පහත වැටුනු බව වාර්තා වී ඇත.

2022 තෙල්, ගෑස්, විදුලිය ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සම්පාදනය ඇන හිටුවීමට හෝ සීමා කිරීමට ආන්ඩුව තල්ලු වීමත්, ඒවායේ මිල ගනන්-විශේෂයෙන් ඉන්ධන මිල – තුන් ගුනයකින් ඉහල දැමීමත් ඊට සාපේක්ෂව මාලු මිලෙහි පැවති පහල අගයත් යන මේවා විසින් ධීවරයාගේ අනාගත සිහින ක්ෂ්මා විරහිත ලෙස සුන් කර දැමුනේ ය. ගෙවී ගිය මාස 5ට ම ‍යාත්‍රව දියත් කලේ දෙවරක් පමනක් බව නාලක කීය. ඒ වන විටත් ධනපති මූල්‍ය ආයතන, ධීවර කර්මාන්තයේ උපකරන සපයන සමාගම් හා අපනයන සමාගම් ඔහුගේ උත්සාහයේ සාරය උරාගෙන අවසානය. තමන් අල්ලන ටූනා මත්ස්‍යයන් මිල දී ගන්නා අපනයකරු වන ජාඇල ජෝන් සී ෆුඩ් සමාගම ඒකාධිකාරයක් වීම නිසා මසුන් වැඩි ප්‍රමානයක් අල්ලා ගත් විට මිල පහල දැමීමට එම සමාගමට ඇති බලය තමන් අසහනයට පත් කරන බව ධීවරයෝ පැවසූහ.   

දැන් නම් තවත් ලංකාවේ අපේ ව්‍යාපාර කරගෙන දරුවන්ට උගන්වන්න, වෙනත් කිසි දෙයක් කරගන්න බැහැ.” ඒ නිසා බිරිඳ හා දරුවන් සමඟ යලි ඉතාලිය බලා පිටත්වීම හැර කල හැකි දෙයක් නැතැයි නාලක කීවේය. 

තොඩුවාව පාලම අසල පදිංචි ධීවරයකු වන රෝහන, සිය සහෝදරයා සමග එන්ජින් බෝට්ටුවක් භාවිතයෙන් මසුන් ඇල්ලීම ජිවිකාව කර ගත්තෙකි. ඒ සඳහා දිනකට පෙට්‍රල්, ඔයිල් සහ බූමි තෙල් සදහා රුපියල් 7,100ක් වැය වන අතර ගිය වසරේ එම වියදම පැවතියේ රුපියල් 2000ක් ලෙස බව පෙන්වා දෙමින් ඔහු කීවේ, මෙසේය: 

අපි ගැන බලන්නෙ නැහැ මේ ආන්ඩු. අපි පාවිචි කරන දැල් පීස් එකක් දැනට අවුරුදු දෙකකට වගේ කලින් රුපියල් 18,000 තිබුනා. දැන් ඒ්කම රුපියල් 30,000ක් පමණ වෙනවා. දැල් කූට්ටමක් සම්පූර්ණ අලුතෙන් හදනවනම් රුපියල් ලක්ෂ හයක් පමණ යනවා. අපේ පාඩුවේ රස්සාව කරන් ජීවත් වෙන්න දැල් ආම්පන්න, එන්ජින් සහ අමතර කොටස්, භූමි තෙල් මිල අඩුකරල දෙනව නම් අනෙකුත් බඩු මුට්ටු මිල අඩු වෙනවා නම්, අපි අල්ලන මාළු වලට සාධාරන ස්ථාවර මිලක් ලැබෙනව නම් මේ කර්මාන්තය කරන්න පුළුවන්.” 

සිය එකම පුතා ධීවරයකු නො විය යුතු යයි තමන් සිතන බව ඔහු පැවසී ය. 

රෝගුස් නැමැති අත්දැකීම් බහුල ධීවරයා හා තවත් ධීවරයෝ දෙදෙනෙක් අප සමග කතාබහට එක් වූයේ මෙසේය:

මේ සතියේ දින තුනක් මං තවත් දරුපවුල් කාරයෙක් එක්ක මූදට ගිහින්, පලවැනි දවසේ හුරුල්ලන් කිලෝ එකයි. දෙවෙනි දවසෙ කිලෝ දෙකයි. තුන්වැනි දවසෙ කිලෝ එකක්වත් අහු උනේ නැහැ.

“අපිට අර පසුගිය අවුරුද්දේ මූදට යන්න තහනම් කලේ නැවක් පමුණුගමට ඉස්සරහ මූදේ ගිලිලා පරිසර හානියට ලක් වෙනවා කියලා. අන්න ඒ තහනමට වන්දි ලැබුනෙ භූමි තෙල් ලීටර් 150ක කූපන් එකක්. ඒකෙන් ලීටර් හැත්තෑ පහක් තමයි ඔය දවස් තුනේ පාවිච්චි කලේ. අපේ අක්කා කීවා මල්ලි බොරු වැඩ කරන්නේ නැතිව මාලු අහුවෙන දවස් එනකම් ඉන්න කියා.” 

සත්‍යය නම් එසේ බලා හෝ නො බලා සිටීම යන කුමන හෝ පියවරක් ධීවරයන් තමන්ගේ පීඩාවෙන් මුදා හරින්නේ නැති බව ය.  

42 වියැති තිදරු පියෙක් හා ධීවර කම්කරුවකු වන නිරෝෂන් ද අප හා දොඩමලු විය. ඔහුගේ බිරිඳ ගර්භාෂයේ පිලිකාවක් වැළඳී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටී. නමුත්, ඇය දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සදහා වෙනත් ගෙදරක කුලී වැඩ කරයි. 

Discussion
නිරෝෂන් ද-සෝෂලිස්ට් වාර්තාකරුවන් සමග කතා කරමින්

ඔහු බහුදින ධීවර යාත්‍රාවක ධීවර කම්කරුවකු වශයෙන් රැකියාව ආරම්භ කර ඇත්තේ වයස 17 දී ය. 25 වසරක් මහ මුහුද සමග පොර බැදීමෙන් ඔහුට ජීවිතය සඳහා ඉතිරි වූ දෙයක් නැති බව මෙයින් පෙනේ.

අප ධීවරයාගේ වැඩි මහල් පුත්‍රයා සාමාන්‍ය පෙල අවසන් වූ වහාම, එනම් පසු ගිය නොවැම්බර් මාසයේ, බහු දින යාත්‍රාවක කම්කරුවෙකු ලෙස සේවය ආරම්භ කලේ, සිය සොහොයුරන් දෙදෙනාට අධ්‍යාපනය ලබා දීමට ය. ගෙවී ගිය මාස හතටම ඔහුට යා හැකි වූයේ එක මුහුදු ගමන් වාරයක් පමනි. ඔහුගේ දෙවන පුතාට තොඩුවාව ගමේ පාසැලේ දැක් වූ ක්‍රීඩා හැකියාවන් නිසා මීගමුවේ ප්‍රසිද්ධ පාසැලකට ඇතුලු වීමේ අවස්ථාව ලැබුනි. “බස්ගාස්තු තුන්ගුනයක් වැඩි වෙලා, යන්න එන්න, කෑම කන්න, රුපියල් දාහක් දෙන්න ඕන දවසකට. මගේ ධීවර ජීවිතේ දී මම යන්තම් ගෙයක් හදා ගත්ත විතරයි,” ඔහු කීවේ ය. 

මේසා පරිමානයෙන් ධීවර ජීවිතවල අවිනිශ්චිත බව නැඟෙන්නේ, වර්තමාන ධීවර කාර්මිකයාට අවශ්‍ය බොහෝ තාක්ෂනික උපකරන නිර්මානය කර ඇති සමාජයක ය. එකෝ සවුන්ඩර් (Echo Sounder) සාගරයේ මසුන් සිටිනා තැන් සොයා දෙන උපකරනයකි. සොනාර් (Sonar) මුහුද යට ඇති ගල් පර හා වෙනත් බාධක මෙන් ම ගැඹුරු මුහුදේ මසුන් ගැවසෙන තැන් ගැන සංඥා ලබා දෙයි. කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුවට උෂ්නත්වය, සුලං, දිය වැල්, කුනාටු, උදම් රල කුනාටු, මසුන් රොක් වන තැන් සහ ඔවුන් පිහිනන දිසාව පෙන්වා දිය හැකි සැටලයිට් ගනනාවක් ඇත. බහු දින යාත්‍රා සදහා ශීතාගාර යන්ත්‍ර හා මසුන් පමා නො වී ගොඩට ගෙන ආ හැකි ප්‍රවාහන ක්‍රම ලෝකය විසින් සොයාගනු ලැබ ඇත. එහෙත් කර්මාන්තය ධීවරයන්ගේ ජීවිත උරා බීම පෙරටත් වඩා රුදුරු ලෙස සිදු කරයි. එම ජිවිතවලට වර්තමාන ලෝකය දිනාගෙන ඇති සංස්කෘතියේ ඉහල මට්ටමේ අසලකටවත් ලං විය හැකි බවට ඉඟියක් හෝ පවතින ක්‍රමය තුල නොපවතී. එය සාක්ෂාත් වනු ඇත්තේ ධීවර ජනයා කර්මාන්තය පාලනය තමන් අතට ගැනීම සඳහා කම්කරු පන්තිය සමග පෙල ගැසීමෙන් පමනි. 

සමාජ පිලිගැනීම හෝ නීතිය කුමක් වුවත්, එක් ජන කොටසකට පරම්පරාවෙන් පරම්පරාවට එකම රැකියාව උරුම වන පසුගාමී වැඩවසම් බන්ධනයට ධීවරයා බැද දමා ඇත්තේ පවතින ආර්ථිකය හා සමාජ තතු විසිනි.   

අප ධීවරයාගේ ජීවිතය මේ තත්වය පිලිබිඹු කරන සංකේතයකි. ඔහු මෙසේ කීවේය: 

මුහුදු රැකියාව ආරම්භ කරපු කාලෙ වගේ නො වෙයි, දැන් මේ රස්සාව නිශ්චිතව බලාපොරොත්තු තියාගෙන කරන්න බැහැ. දැන් මාළු ඉන්න ප්‍රදේශ වලට යන්න විතරක් දින පහළොවක්, විස්සක් ගත වෙනවා. සමහර අවස්ථාවල බෝට්ටුවෙ ගැන් එක පිරෙන්න මාළු අස්වැන්න ගෙනාවත් අපට සොච්චම් මුදලක් තමයි  ලැබෙන්නේ. අපි මාස දෙකක්, දෙක හමාරක් මුහුදේ ගතකරල එද්දී, සමහර විට මාළු මිල හොඳටම පහත වැටිලා තිබීම, මූදෙ ගත කරන දින ගනන වැඩී වී මාලු අවපැහැ ගැනිම ආදිය නිසා අපේ ආදායම පහල යනවා.” 

ගෙවීම සිදු වන්නේ ශ්‍රමයට හෝ ශ්‍රම ශක්තියට නො ව ආදයම ලැබුනොත් පමනි. එසේ නොමැති නම් ධීවර කම්කරුවාගේ ශ්‍රමය නොමිලේ “විකිනේ.” රැකියාවට පිටත්ව යන විට බෝට්ටු හිමිකරුගෙන් රුපියල් 25,000ක හෝ 30,000ක නය මුදලක් ගෙදර වියදම සඳහා ලැබෙයි. 

මේ අවුරුද්දේ පසු ගිය මාස හතටම ට්‍රිප් දෙකයි ලැබුනේ. මුල් ට්‍රිප් එක සාර්ථක නැහැ. මේ වතාවෙදී ගොඩ ආවේ මැයි මාසයේ 20 වැනි දා. හොඳ මිලක් තිබුනා. මට ලැබුනා  රුපියල් ලක්ෂ පහයි තිහක්. නමුත් කෑමට කඩවලට ගෙවීමට ඇති නය, යහළුවන්ගෙන් ගත් අතමාරු, බැංකු නය වාරික හා විදුලිය බිල් ආදිය ගෙවිමෙන් පසු, ඊට අමතරව කලේ දරුවන්ගෙ හිත හැදෙන්න පල්ලියේ වාර්ෂික මංගල්‍යය දිනයට අඳීන්නත් එක්ක තුන්දෙනාට ඇදුම් හා සපත්තු ගැනීම. කෑමට බඩු ටිකක් ගෙනාවා. තවත් නය තියෙනවා පියව ගන්න බැරිවුනු.”

2022 මාර්තු මාසයේ 2 දින ලෝක බැංකුව ලංකාවේ ‍ධීවර කර්මාන්තය සම්බන්ධ වාර්තාවක සඳහන් කර ඇත්තේ, “දැනට ශ්‍රී ලංකාවේ සති 5ක් මුහුදේ ගත කරන 5000කට ආසන්න ‘බහු දින’ ධීවර යාත්‍රා බොහොමයක නිසි ශීතකරන නොමැතිකම හේතුවෙන් අල්ලා ගත් කෙලවල්ලන්ගෙන් අඩක් පමන වෙරලට ගෙන ඒමට පෙර නරක් වී යන” බව ය. යාත්‍රා නවීකරනය, වැඩි දියුනු කල මත්ස්‍යයන් ඇල්ලීමේ ක්‍රමෝපාය යොදා ගැනීම, මුහුදේ ගතකරන කාලය අඩු කිරිම සඳහා වැඩි දියුනු කල ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරිම මගින් මේ ගැටලු විසදා ගත හැකි බව එම වාර්තාව කියයි. පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම හා ව්‍යාපාරය පලදායී ලෙස සංවිධානය කිරීමට ද එය යෝජනා කරයි. කෙසේ වෙතත් නවීන ක්‍රම භාවිතය සමග ධීවර රැකියා සෑහෙන ප්‍රමානයක් අහෝසි වීම ගැන ද එය අනතුරු හඟවා ඇත. සුලු ව්‍යාපාරිකයන්ට මෙවැනි වැඩි දියුනු කිරීම් සදහා ප්‍රාග් ධනය නැත. විශාල ජනකායක් නට්ටම් කිරීම වත්මන් ධනපති සංවර්ධනයේ අර්ථයයි.  

තවමත් තනි ඔරු, යාන්ත්‍රික නොවූ ෆයිබර් ග්‍ලාස් ඔරු, කොල්ලෑ සහිත රුවල් ඔරු, කොල්ලෑ සහිත පදින ඔරු, වල්ලම්, තෙප්පම්, කට්ටුමරන් යනාදී ඉතා නො දියුනු සහ අනතුරුදායක වැඩවසම් තාක්ෂන උපකරන භාවිත කරන දුප්පත් ධීවරයින් තව දුරටත් නො සලකා හැරීමට නියමිත ය. දැනටමත් ධීවරයෝ වරාය හෝ සුදුසු තොටුපල නැතිව පීඩා විඳීති. කර්මාන්තය වැඩි දියුනු කිරිම සිදු කලත් ඒ ධනපති ඒකාධිකාරයන්ට ධීවරයන් තව දුරටත් මිරිකා උරා ගැනීමට මිස දුප්පත් ධීවරයන්ට සහන සැලසීම සඳහා නො වේ. සමස්ථ නිෂ්පාදන කර්මාන්තය ම කම්කරු පාලනය යටතේ ජනසතු කරන සමාජවාදී වැඩ පිලිවෙලකට පමනක් ධීවර ආම්පන්න පහසු මිලට සපයමින්, ධනේශ්වර මූල්‍ය ආයතනවලින් නිකුත් කල නය අහෝසි කර, අවශ්‍ය පහසුකම් සපයා ධීවර ගැටලු අවසාන වසයෙන් විසඳිය හැකි ය. 

ධීවර ජනයා වෙලාගත් ආර්ථික සමාජ ගැටලු තව තවත් ඔද්දල් වෙයි Read More »

Priyantha

සමෘද්ධිය හා අස්වැසුම අහිමි කරනු ලැබූවෝ  ‘ද සෝෂලස්ට්’ වෙබ් අඩවියට කතා කරති

අපේ වාර්තාකරුවන්

ජාත්‍යයන්තර මූල්‍ය අරමුදගේ නය ප්‍රතිවෘහගතකරනයට අදාල නියෝග ක්‍රියාත්මක කරමින් සිටින රනිල් වික්‍රමසිංහ ආන්ඩුව විසින් ක්‍රියාවට දමා ඇති සමාජ කප්පාදු වල කොටසක් ලෙස දුගී කම්කරු, ගොවි ඇතුලු පීඩිත මහජනතාව මතට හෙලන ලද දැවැන්ත කප්පාදු අතරින් සොච්චමක් වූ “සමෘද්ධි” සහනාධාරය ද කපා දැමීම මගින් එම ජනතාව අන්ත අසරනභාවයට ඇද දමා ඇත.

සමෘද්ධිය කපා දැමීමෙන් පසු ආන්ඩුව “අස්වැසුම”  නමින් ඉදිරිිපත් කර ඇති නව සීමිත සහන සැලැස්මේ ප්‍රතිලාභ ලැබීම සඳහා නුසුදුුසු බවට ⁣යෝජනා කිරීම නිසා කර කියා ගත නොහැකි වූ දුප්පත් ජනයා හෙට දින ජීවිතය ගටගසා ගන්නේ කෙසේද යන්න පිලිබඳ පසුවන්නේ මහත් අවිනිශ්චිතතාවයකිනි. 

අස්වැසුම ⁣ප්‍රතිලාභ නොලැබීම සම්බන්ධ අභියාචනා ගොනුකිරීම ජුලි 6 දින අවසන් විය. ඒ වන වට අභියාචනා ⁣968,000ක් ද, විරෝධතා 17, 500ක් ද ලැබී තිබුනු බව  කැබිනට් ප්‍රකාශක ඇමති බන්දුල ගුනවර්ධන ප්‍රකාශ කලේය.

මෙම නව ප්‍රතිලාභ ලැබීම ද අහිමි කරනු ලැබූ පවුල්වල සාමාජිකයෝ “ද සෝෂලිස්ට්” වෙබ් අඩවියට තම දුක් ගැනවිලි ප්‍රකාශ කලෝය. ඒ කිහිප දෙනෙකු මුහුන දී ඇති ජීවන අර්බුදය පිලිබඳ කෙටි වාර්තාවක් අපි පහත පල කරමු:

විමලජීව පවුල, බිංගිරිය ප්‍රාදේශීය  ලේකම් කොට්ටාශයේ, විලත්තව ප්‍රදේශයේ පදිංච්ව සිටිති. පියා, මව හා දුව සහිත පවුලේ සමාජිකයින් 3 කි. පියා වෘත්තියෙන් ත්‍රීවීල්  රියදුරෙක් වන අතර අපස්මාර රොගයෙන් පෙලේ. ත්‍රීවීලරය වෙනත් අයෙකුට  අයත් එකකි. ඒ සදහා  දිනකට රු 500ක් ඔහුට ගෙවිය යුතුය. මව කඩයක ඇදුම් මැසිම කරයි. දුව උසස් පෙල  හදාරන  ශිෂ්‍යාව කි. ප්‍රදේශයේ  දුගීම පවුලට නිවසක් ඉදිකිරීමට රජය විසින් ලබදෙන රුපියල් ලක්ෂ  6ක මුදල මේ පවුලට ලබා ගැනීමට හැකිව ඇත. මව මෙසේ පැවසීය:

“නිවස හැදීමට ලක්ෂ  10ක පමන මුදලක් වැය වෙන නිසා ඒ මුදල අපිට වෙනම හොයාන්න වුනා. ඒ නිසා, ඒ මුදල සමෘද්ධි බැංකුවෙන් නයක් විදියට ගත්තා. සමෘද්ධි  සහනාධාර  වශයෙන්  රැපියල් 3000ක මුදලක් අපට ලැබුනා. බැංකුවේ නය වාරිකය රුපියල්  6000ක්.  සහනාධාර  වශයෙන්  ලැබෙන රුපියල් 3000ට අමතරව තව රුපියල්  3000 ක මුදලක් අතින් පියවන්න ඕන. එම රුපියල් 3000 ත්‍රීවීල්  එකෙන්  උපයන මුදල් වලිනුයි මම ඇදුම්  මැසීමෙන් හොයන මුදලිනුයි තමයි ගෙවුවෙ. දූ පුලියන්කර විදුහලේ උසස් පෙල  පංතියේ ජනමාධ්‍ය  විශය ධාරවේ ඉගෙන ගන්නවා.  වසරක් යනතුරුත් මීඩියා  විෂයට ගුරුවරයකු නොලැබුනු නිසා මාදම්පේ  ජාතික  පාසලට දූව ඇතුල් කලා. ඒත්  නැවත වරක් එයාව ඇතුල් කලේ  12 වසරට. ඒ නිසා දූට වසරක කාලයක් අහිමිවී වුනා. උසස් පෙල  පංති සදහා මාසෙකට රුපියල්  12000ක් පමන වැය කිරීමට සිදු වෙනවා. මුදල් සොයා ගැනීමට  නොහැකි නිසා දූ පංති යාම නතර කලා. මේච්චර අසරන වෙලා ඉන්න අපේ සමෘද්ධි  සහනාධාර⁣යත් දැන් කපා දමලා. දැන් අපි නය ගවාගන්නෙත් කෙහොම ද?,” මව හඬූ කදුලින් ප්‍රකාශ කර සිටියා ය.  

සමෘද්ධිය කපා අස්වැසුම  සහනාධාර  සැලැස්මට හිමිකම් ලැබී නැති  කුමාරසිංහ පවුලේ තත්ත්වය  මෙසේ ය.  කුමාරසිංහගේ පදිංචිය-බිංගිරිය ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාශයේ,  නිතලව ප්‍රදේශයේ ය. ඔහු තම කතාව මෙ⁣සේ ප්‍රකාශ කලේය: 

“මම ත්‍රීවීල් රියදුරෙක්. ත්‍රීවීල් එක හයර් කරල තමයි ජීවත්  වෙන්නෙ. ඊට අමතරව සහල් පිටි කරල කෑම සකස් කරන කඩ වලට දෙනව. මාගේ පවුලේ  සාමාජිකයින් 6යි. මගේ වැඩි මහල් දරුවා විශේෂ  අව්‍යශ්‍යතා  සහිත දරුවෙක්.  දැන් වයස අවුරුදු 22 ක්. එක ගැහැනු දරුවෙක් උසස් පෙල අධ්‍යාපනය හදාරනව.  අනික් දරු දෙන්න නිවුන්නු, ඉගෙනගන්නෙ  6 වසරෙ. මගේ බිරිද රැකියාවක් කරන්නෙ නැහැ. අපිට සමෘද්ධි  සහනාධාරය  ලැබුන.  රුපියල්  3000ක් ලැබුනා.  දැන් ඒක කපල.  අපි සමෘද්ධි බැංකුවෙන් රුපියල්  ලක්ෂ  2ක නයක් අරන් තියෙනවා. සමෘද්ධි  රැපියල් 3000 යොදා ගත්තෙත් ඒක ගෙවන්න. වාරිකයෙ ඉතිරි ටික හම්බ කරල තමයි ගෙව්වෙ.                      

දැන්  රටේ ආර්ථික  ප්‍රශ්න  නිසා හයර් ලැබෙනව අඩුයි. පිටි වෙලදාම 25%කින් විතර අඩු වෙලා. වියදම්  දරාගන්න බෑ. ලමුන්ගේ  පංති  ගාස්තු  වලට මාසෙකට රුපියල්  9000ක් විතර යනව. බස් ගාස්තු දවසකට රුපියල් 400ක්.  කෑමට යන වියදම්  කියල වැඩක් නැහැ.  නොකනව කිව්වොත් නිවැරදියි. මෙහෙම තියෙද්දි  තමයි සමෘද්ධි  සහනාධාර  කපල තියෙන්නෙ.  හේතුව  මම ත්‍රීවීල්  එකක් එලවන එක.  ත්‍රීවීල්  එකේ ටයර් දෙක දාගන්න රුපියල්  26000ක් ඕනෙ. ඉදිරියෙ මොනවද කරන්නෙ කියල හිතා ගන්න බැහැ. හුගක් දවස්වල  රෑට  නින්ද යන්නෙ නැහැ.”

අස්වැසුමට අභියාචනයක් ඉදිරිපත් කල මුත් ඒ පිලිබඳ විශ්වාසයක් නැතැයි ඔහු වැඩිදුරටත් කීවේය.

ප්‍රියන්‍ත, බිංගිරිය ප්‍රාදේශීය ලේකම්  කොට්ටාශයය්, නිතලව, දඹුවවත්ත ප්‍රදේශයේ වාසය කරයි. ඔහුගේ පවුලට සමෘද්ධිය ද, අස්වැසුම ද දෙකම අහිමි කරනු ලැබ ඇත.  ඔහු මෙසේ ප්‍රකාශ  කලේය:

priyantha
ප්‍රියන්‍තගේ නිවස

“මගේ රැකියාව වාහන අලුත් වැඩියා කරන එක. ගරාජ්  එක තියෙන්නෙ  ගෙදරමයි. තනියෙන් වැඩ කරන්නෙ. ගොලයො දාගෙන වැඩ කරන්න තරම් ආදායමක්  නැහැ. මට දරුවො තුන්  දෙනෙක් ඉන්නවා. එක් කෙනෙක් 4  වසරේ. තවත් එක්කෙනෙක් පෙර පාසල් යනව. බාලම දුවට අවුරුදු 2 යි. තුන් දෙනාම  ගැහැනු දරුවො. ඉන්න ඉඩම මට අයිති එකක් නෙවෙයි. මගේ ඥාතියෙකුගේ. බිරිඳ රැකියාවක් කරන්නේ නැහැ.  මට සමෘද්ධි සහනාධාර ලැබුනා රුපියල් 3500ක්.  ඒකෙන්  රුපියල්  500 ක්  රක්ෂණ  සහ සුභසාධන වලට කැපෙනව. මම ගේ හදන්න රු 100, 000ක් සමෘද්ධි  බැංකුවෙන්  නය අරගෙන තියෙනව. ඒ ණය වාරිකය ගෙව්වෙත්  සහනාධාර  3000න් තමයි. ගරාජ්  එකෙන් ලැබෙන ආදායම  හැර වෙනත් ආදායමක්  මට නැහැ. ගරාජ් එකෙනෙනුත් ලැබෙන ආදායම  හොදටම අඩුවෙලා. මේ සැරේ මට ලැබුනු සමෘද්ධි සහනාධාර  මුදලත් කපල. සමෘද්ධි බැංකුවෙන් ගත්තු නයත් දැන් අතින් ගෙවන්න වෙලා. ගමේ නය දෙන  සුභසාධන සමිතියෙනුත් නය අරන් තියෙනව. ගේ හදල ඉවරත් නැහැ. ලමයගෙ ශිෂ්‍යත්ව පංතියට මාසෙකට රුපියල් 6000ක්  විතර යනව. මෙහෙම තියෙද්දි තමයි මගේ සමෘද්ධි  සහනාධාර  කැපුවෙ. ජීවිතේ  අන්තිම දුෂ්කර තත්ත්වෙකට පත්වෙලා ඉන්නෙ. මොකද කරන්නෙ කියල හිතා ගන්නවත් බැහැ. ගරාජ්  එකක් කරන නිසා තමයි මගේ සහනාධාර  කැපුවෙ. බලන්න ආපු මිනිස්සුන්ට [අස්වැසුම සමීක්ෂකයන්ට] මම පත්වෙලා  ඉන්න තත්ත්වය කිවුව. ඒත් වැඩක් වෙලා නැහැ. අම්ම, තාත්තා  වෙනම ඉන්නෙ. ඒ අයටත් රැකියාවක් නැහැ. ඒ අයගෙත් සහනාධාර  කපල. අභියාචනයක්  දැම්මා ඒත් විශ්වාසය ක් නැහැ.”

බලපිටිය ප්‍රාදේශීයට අයත් පරගහතොට ගමේ ජීවත්වන ජයසේකර සමෘද්ධි සහනාධාරය ලැබු දුගී පෙදරේරුවෙකි. මෙවර අස්වැසුම වැඩසටහන යටතේ ඔහු ලැබු සහනාධාරය අහිමි කොට ඇත. රැකියාව නිරතව සිටි කාලයේ සමෘද්ධිය ලැබු ඔහුට මෙවර සහනාධාරය අහිමි වී ඇත්තේ අසනීප තත්ත්වය නිසා වසර 3ක සිට රැකියාවක් නොකරන තත්ත්වයේදී ය. ඔහුගේ දුක් ගැනවිල්ල මෙසේය: 

“දරුවන් විවාහ වෙලා අපෙන්  ඈත් වෙලා ඉන්නෙ. ඒ අයගෙ දරුවන්  නඩත්තු කරන කොට එයාලට අපට උදව්වක් කරන්න අමාරුයි. මගේ බිරිඳ ගොඩාක් කාලයක ඉඳල ආතරයිටීස් රෝගය හැදිල ඉන්නෙ. ඒ නිසා එයාට කුලි වැඩකටවත් යන්න බෑ.”

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත්  දිනපතා මිල වැඩිවීම ගැන ජයසේකර පැවසුවේ, “අතට හම්බෙන සොච්චම් මුදලින්  මිල වැඩි වෙන විදියට දේවල් ගන්න තියා හිතන්නවත් බැහැ. අපි නොකා නොබී තමයි ජීවත් වෙන්නෙ.”

පරගහතොට ප්‍රදේශයේ ම 75හැවිරිදි සෝමාවතී ද  තමන් මුහුන දෙන දුෂ්කර ජීවන කොන්දේසි හෙලි කලාය: 

“මහත්තයා මගෙන් ඈත් වෙලා. මට දරුවො නැහැ. ගෙවල්වල කුලී වැඩක් කරලා තමයි ජීවත් වෙන්නෙ. අපි දැන් වයස නිසා එහෙම වැඩක් හොයා ගන්න අමාරුයි.”

කලින් ඇයට සමෘද්ධිය ලැබුනු නිසා යම් සහනයක් ලැබුනු බව සදහන් කල සෝමාවතී, එකී සහනය කපා හැරීයේ ඇයි ද කියා හිතාගන්න බැහැයි පැවසුවාය.

“අපි වගේ අයට සහනාධාර නැත්නම් කාටද දෙන්න ඕන ?”, ඇය ප්‍රශ්න කලාය.

සමෘද්ධිය හා අස්වැසුම අහිමි කරනු ලැබූවෝ  ‘ද සෝෂලස්ට්’ වෙබ් අඩවියට කතා කරති Read More »

Scroll to Top