politics

Dehin

කොක්‍රික වෘත්තීය සමිති නායකයන්ගේ පහරකෑමට ලක් වූ සසප සාමාජිකයා අයත් වෘත්තීය සමිතියට ලියයි

ලේකම්, කොලඹ ක්‍රියාකාරී කමිටුව විසිනි.

මොරටුව විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලංකා කාර්මික නිලධාරීන්ගේ සංගමයේ (ශ්‍රී.ලං.කා.නි.සං) සාමාජික හා සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජික දේහින් වසන්තට හා තවත් සසප සාමාජිකයෙකුට මොරටුව සරසවිය අසල දී පසුගිය නොවැම්බර් 30 දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිතියක් වන පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ මොරටුව විශ්ව විද්‍යාල ශාඛාවේ සභාපති හා ලේකම් විසින් එල්ල කර මැර ප්‍රහාරයට හෙලා දකිම්න්, දේශපාලන අදහස් සඳහා උද්ඝෝෂනය කිරීමට ඇති ප්‍රජාතන්ත්‍රීය අයිතිය ආරක්ෂා කරමින් කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) ගෙන යන උද්ඝෝෂනයේ කොටසක් ලෙස ශ්‍රී.ලං.කා.නි.සං වෙත කොක්‍රික ලිපියක් යවන ලදී. එම ලිපිය පහත පලවේ.

Dehin
ප්‍රහාරයෙන් තුවාල ලැබූ සසප සාමාජික දෙහින් වසන්ත

2024-01-02

ලේකම්,

ශ්‍රී ලංකා කාර්මික නිලධාරීන්ගේ සංගමය,

මොරටුව විශ්ව විද්‍යාලය,

කටුබැද්ද,

මොරටුව.

ශ්‍රී.ලං.කා.නි. සංගමයේ සාමාජික දේහින් වසන්තට හා තවත් සමාජවාදී සමානතා පක්ෂ සාමාජිකයෙකුට මොරටුව සරසවිය අසල දී එල්ල කළ ප්‍රහාරය 

ඔබ සමිතියේ වසර ගණනාවක සිට සාමාජිකත්වය දරන දේහින් වසන්තට හා සමාජවාදී සමානතා පක්ෂයේ තවත් ක්‍රියාකාරිකයෙකු වන ලක්ෂ්මන් ප්‍රනාන්දුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිතියක් වන පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ මොරටුව විශ්ව විද්‍යාල ශාඛාවේ සභාපති හා ලේකම් ධුර දරන ඉන්දික පෙරේරා සහ සුරංග පියවර්ධන නම් අය විසින් එල්ල කර ඇති මැර ප්‍රහාරය පිළිබඳව ඔබ දන්නා බව අපේ විශ්වාසයයි. 

දේහින් ශත වර්ෂයකින් හතරෙන් පංගුවකට අධික කාලයක් මොරටුව විශ්ව විද්‍යාලයේ සේවය කර ඇත. ප්‍රහාරයෙන් ඔහුගේ අතේ අස්ථි බිඳීමක් සිදු වී ඇති අතර එම හානිය සිදු වී ඇත්තේ හිසට එල්ල වූ මාරක පොලු පහරක් වැලැක්වීමට ඔහු දැරූ උත්සාහයේ දී ය. මේ සා ප්‍රචණ්ඩ ප්‍රහාරයකට වසන්ත ගොදුරු වී ඇත්තේ ප්‍රසිද්ධ දේශනයක් පිළිබඳ පත්‍රිකාවක් සිය සේවා ස්ථානය වන මොරටු විශ්ව විද්‍යාලය අසල බෙදමින් සිටිය දී ය. ප්‍රහාරය එල්ල වී ඇත්තේ දේශපාලනය කිරීමට කම්කරු පන්තියට ඇති අයිතියට ය. මෙය පොදු පෙරමුනු මැරයන්ට අනුගත නොවන අදහස් දැරීම හා ප්‍රචාරය කිරීම සීමා කිරීමේ ප්‍රචණ්ඩත්වයකි. මේ නිසා, අඩුම තරමින් ඔබේ සාමාජිකයා වෙනුවෙන් යුක්තිය ඉල්ලීමට හා එකී මැරයන් කම්කරු ව්‍යාපාරය තුළ හෙළිදරව් කර අපකීර්තියට භාජනය කිරීමට ප්‍රමාද වීම් වශයෙන් සිදු වී ඇති පැහැර හැරීම සුළුපටු නොවේ. මේ තතු වහා නිවැරදි කිරීමට පියවර ගන්නා මෙන් ඔබෙන් ඉල්ලා සිටිමු.

මෙම ප්‍රහාරයට විරුද්ධව සක්‍රිය ලෙස ප්‍රතිචාර දැක්වීමට ඔබට හේතු ගණනාවක් වෙයි. එම හේතු අතර මූලිකතම ඒවා පහත දක්වමු.

  1. සමස්ත කම්කරු පන්තිය මේ මොහොතේ මුහුණ පා සිටින ආන්තික ප්‍රහාරයන් අප අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත. අධික ජීවන වියදම සමඟ අතිනත පටලවා ගත් වැටුප් කප්පාදු, අධික බදු බර සහ අත්‍යන්ත ලෙස ඉහළ නැඟෙන ජීවන වියදමට ද අමතරව නිදහස් සෞඛ්‍ය සේවය ඇතුළු සේවාවන් වෙත එල්ල කෙරෙන ඍජු හා වක්‍ර ප්‍රහාර කම්කරු පන්තිය මත අඛණ්ඩව පතිත කෙරෙමින් පවතී. මෙම ප්‍රහාරවල පසුබිමේ පවතින්නේ ලංකාවේ ධනපති ආන්ඩුව ගෙල මුලින් අල්ලා ගෙන සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පනවා ඇති රුදුරු කොන්දේසි කෙලින් ම කම්කරු පීඩිතයන්ගේ උර මත පටවමින්, ඔවුන්ගේ ජීවන කොන්දේසිවල වියදමින් අයිඑම්එෆ් ඉල්ලා සිටින මස් රාත්තල ලබා දීමේ ආන්ඩුවේ ප්‍රයත්නයයි. 

මීට එරෙහි කම්කරු ප්‍රතික්‍රියා වලක්වනු වස්, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතීන් තලා දැමීමේ සැලසුම් ද නො අඩුව ක්‍රියාත්මක වේ. ඒ සඳහා අණපනත් ගණනාවක් දැනටමත් ඉදිරිපත් කෙරී ඇත. මහජනයා ඉදිරියේ අවලංගු කාසියක් වී ඇති ධනපති පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිතියක් පත්‍රිකාවක් බෙදීමේ අයිතියට එරෙහිව කායික ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ මේ පසුබිම යටතේ ය. එය ආන්ඩුවේ හා අයිඑම්එෆ් සංවිධානය විසින් හෙලනු ලබන පහරට සමගාමීව, ඒ හා අත්වැල් බැඳ ක්‍රියාත්මක වන ප්‍රහාරයකි. ධනපති පොදුජන පෙරමුනේ ප්‍රධාන දේශපාලකයෙකු වන ගාමිනී ලොකුගේ මැදිහත් වී මැරයන් බේරා ගැනීම විසින් පෙන්නුම් කෙරෙන්නේ මෙම මැරකම හුදෙක් හුදෙකලා අහම්බයක් නොවන බවයි.  

මේ වර්ගයේ ප්‍රහාර, ලංකාවේ කම්කරුවන්ට ඉදිරියේ දී මුහුන දීමට සිදුවන ප්‍රධානතම අභියෝගයක් වනු ඇත. ඉදින් ඔබේ ම සාමාජිකයෙකු මේ මැර ප්‍රහාරයට ගොදුරු නොවූයේ වුව ද, ඊට එරෙහිව තීරණාත්මක ලෙස මැදිහත් වීමට ඔබට හැම හේතුවක් ම පවතී. 

  1. එසේ වුව, ප්‍රහාරයට ගොදුරු වී ඇත්තේ ඔබේ සමිතියේ දීර්ඝ කාලීන සාමාජිකයෙකි. සාමාජිකයන්ගේ අයිතීන් සුරැකීමේ අරමුණ පෙරදැරි කර පිහිටුවා ඇති වෘත්තීය සමිතියකට, සිය සාමාජිකයෙකුගේ ජීවිතාරක්ෂාවට එල්ල වන තර්ජනයක් සහ ඔහුගේ මූලික අයිතීන් උල්ලංඝනය කිරීමක් නොතකා සිටීමට අයිතියක් නැත. මේ සාමාජිකයන්ට යුක්තිය ඉල්ලා සිටීම සෑම අතින් ම ඔබේ වගකීමක් වෙයි. 
  2. මෙසේ මැරයන් වෘත්තීය සමිති නිලධාරීන් ලෙස කටයුතු කරමින් සිටීම ම කම්කරු පන්තිය හමුවේ ඉතා ඉහළ අන්තරායයක් දනවයි. කම්කරු පන්තියේ කාර්මික ශක්තියට එරෙහි මදාවි ප්‍රහාරවලට ඉදිරිපත් වන්නන් කම්කරු නායකයන් ලෙස පෙනී සිටීමේ අපකීර්තියෙන් ඔබේ සමිති රැක ගැනීමට නම්, මේ සම්බන්ධ ඍජු ආස්ථානයක් ගනිමින් තීරණාත්මක මැදිහත් වීමක් සිදු කිරීම ඔබට මඟ නොහැරිය හැකි වගකීමකි. 

මෙම තතු යටතේ කාර්මික නිලධාරීන්ගේ සංගමය මෙකී ප්‍රහාරයට එරෙහිව ඉදිරිපත් නොවී මුණිවත රැකීම, ඊට දක්වන අනුග්‍රහයක් විනා අනෙකක් නොවේ.

එසේ නොකිරීම, ඔබේ සමිතියේ සාමාජිකයන් ද ඇතුලුව මෙම අභියෝගයට මුහුන දී සිටින කම්කරුවන් අනාරක්ෂිත කර අනතුරේ හෙලීමක් වෙයි. 

මේ අනුව, මෙම ප්‍රහාරය පිලිබඳව කාර්මික නිලධාරී සංගමයේ සාමාජිකයන් දැනුවත් කර, ඊට විරුද්ධත්වය ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කිරීමට ඔවුන්ගේ පංති ශක්තිය බලමුලු ගැන්වීම සඳහා නොපමාව හා බැරෑරුම් ලෙස ක්‍රියාත්මක වන මෙන් කොලඹ ක්‍රියාකාරී කමිටුවේ අපි ඉල්ලා සිටිමු. 

ආන්ඩුව, ධනපති පන්තිය හා ජාත්‍යන්තර ධනේශ්වර පර්යාය අත්වැල් බැඳ එල්ල කරන ඒකාබද්ධ ප්‍රහාරයට එරෙහිව කම්කරු පන්තිය ස්වකීය පන්ති ශක්තිය ඒකාබද්ධ කර මෙහෙයවිය යුතු බව සහ එහි දී විවිධ ශ්‍රේනිවලට අයත්, විවිධ සමිතිවලට බැඳී සිටින සහ සමිතිවල සාමාජිකත්වය නොදරන කම්කරුවන්ගේ එක්සත් කාර්මික ශක්තිය ගොනු කල යුතු බව කොලඹ ක්‍රියාකාරී කමිටුවේ අපේ විශ්වාසයයි. එකෙකුට එල්ල වන පහර සියල්ලන්ට එරෙහි පහරක් ලෙස සලකා ගැනීම අත්‍යවශ්‍ය ය. එය පමා වන දිනක් පාසා කම්කරුවන්ට එරෙහිව එල්ල වන මැර හස්තයන් වඩවඩාත් ශක්තිමත් වනු ඇත.

මේ ප්‍රහාරයට එරෙහිව ක්ෂනික පියවර ගන්නා ලෙසත්, ඔබ ගන්නා පියවර පිලිබඳව නොපමාව අප දැනුවත් කරන ලෙසත් අපි මෙයින් ඉල්ලා සිටිමු. 

මෙයට,

ශාන්ත විජේසූරිය

ලේකම්,

කොළඹ ක්‍රියාකාරී කමිටුව

Image Courtesy of WSWS.org.

කොක්‍රික වෘත්තීය සමිති නායකයන්ගේ පහරකෑමට ලක් වූ සසප සාමාජිකයා අයත් වෘත්තීය සමිතියට ලියයි Read More »

Gaza

ගාසා තීරයේ මරණ 30,000 ට ආසන්න වන විට, ඊශ්‍රායල නායකයෝ වාර්ගික ශුද්ධ කිරීමක් ඉල්ලා සිටී

ආන්ඩ්‍රේ ඩේමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 27 දින පල වූ ‘As Gaza death toll nears 30,000, Israeli leaders call for ethnic cleansing’ යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද  ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත  විසිනි.

බදාදා, ගාසාවේ රජයේ මාධ්‍ය කාර්යාලය වාර්තා කළේ, රෝහල්වල හඳුනාගෙන ඇති මළ සිරුරු සංඛ්‍යාව 21,110 ක් සහ ආසන්න වශයෙන් 7,000 ක් පමණ අතුරුදහන් වී ඇති බවත්, බොහෝ දෙනා සුන්බුන් යට වැළලී ඇති අතර, ඒ අනුව , ඝාතනයට ලක් වූ ගාසා වැසියන්ගේ සංඛ්‍යාව 28,110 ක් වී ඇති බවයි.

Gaza
2023 දෙසැම්බර් 26 වන අඟහරුවාදා, ගාසා තීරයේ රෆා හි සමූහ මිනීවළකට බුල්ඩෝසරයක් මගින් ඊශ්‍රායලය විසින් මරා දැමූ පලස්තීනුවන්ගේ සිරුරු ගොඩ බායි. [AP Photo/ෆාතිමා ෂ්බෙයාර්]

වෙනම වාර්තාවක, යුරෝ-මෙඩ් හියුමන් රයිට් මොනිටර් (Euro-Med Human Rights Monitor) ආයතනය වාර්තා කලේ, “ගාසා තීරයට ඊශ්‍රායල ගුවන් හා කාලතුවක්කු ප්‍රහාරවලින් මිය ගිය අයගෙන් බහුතරය සිවිල් වැසියන් වන අතර , ඊට ළමුන් 11,422 ක් සහ කාන්තාවන් 5,822 ක් ඇතුළත් වන ” බවයි. 

එම සංවිධානය ප්‍රකාශ කලේ, “ප්‍රතිප්‍රහාර සහ සාමූහික දඬුවම් ක්‍රමයක් ලෙස හැකිතාක් ජීවිත හානි, ද්‍රව්‍යමය අලාභ හා විනාශයන් ඇති කිරීම සඳහා ඊශ්‍රායලය හිතාමතාම සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ඇති.” බවයි.

සංවිධානය නිගමනය කළේ, “මෙය ජාත්‍යන්තර මානුෂවාදී නීතියට සහ 1949 ජිනීවා සම්මුතියට පටහැනි වන අතර ජාත්‍යන්තර අපරාධ අධිකරණය පාලනය කරන රෝම ප්‍රඥප්තියට අනුව යුද අපරාධවලට අයත්වන”  බවයි. එය තවදුරටත් සදහන් කලේ, “ඊශ්‍රායලය ජාත්‍යන්තර මානුෂවාදී නීතියේ නියමයන් පැහැදිලිවම කඩ කර ඇති අතර, එය  ‘වැළක්වීමේ මාධ්‍යයක්’ ලෙස දේපල හානි කිරීම් තහනම් කරන අතර, හමුදාමය අරමුණු සඳහා වුව, වැළැක්වීමේ මාධ්‍යයක් ලෙස දේපල විනාශ කිරීම තහනම් කරයි, ” යන්නයි.

ගාසා රජයේ මාධ්‍ය කාර්යාලය, තම වාර්තාවේ ප්‍රකාශ කළේ වෛද්‍ය නිලධාරීන් 310 ක් සහ මාධ්‍යවේදීන් 97 ක් මරා දමා ඇති බවයි. නිවාස ඒකක 65,000ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් 290,000කට හානි සිදුව ඇති බව වාර්තා වේ. රජයේ මාධ්‍ය කාර්යාලය වාර්තා කළේ ඊශ්‍රායලය “රෝහල් 23ක්, සෞඛ්‍ය මධ්‍යස්ථාන 53ක්, සෞඛ්‍ය සේවා සපයන ස්ථාන 140ක් සහ ගිලන්රථ 102කට වඩා ඉලක්ක කර ඇති” බවයි.

වෙනම වාර්තාවක ගාසා හි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ ගාසා තීරයට එල්ල කරන ඊශ්‍රායල ප්‍රහාරය ආරම්භයේ සිට සිසුන් 4,037 කට අධික සංඛ්‍යාවක් සහ අධ්‍යාපන කාර්ය මණ්ඩලයේ 209 කට අධික සංඛ්‍යාවක් මරා දමා ඇති බවයි. ඔක්තෝබර් 7 සිට සිසුන් 7,259 කට වැඩි පිරිසක් සහ ගුරුවරුන් 619 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

බදාදා, අල්-අමල් රෝහල අසල ගොඩනැගිල්ලකට ඊශ්‍රායලය බෝම්බ හෙලීමෙන් 30 කට වැඩි පිරිසක් මිය ගියහ. ජන සංහාරය පිළිබඳ සිය දෛනික වාර්තාවේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ, “දෙසැම්බර් 27 වැනි දින,ගුවනින්, ගොඩබිමෙන් සහ මුහුදෙන්, ගාසා තීරයේ බොහෝ ප්‍රදේශ පුරා දැඩි ලෙස ඊශ්‍රායල බෝම්බ හෙලීම දිගටම සිදු විය. උතුරේ, ගාසා නගරය සහ ජබල්යා වඩාත් බලපෑමට ලක් විය; මැද ප්‍රදේශයේ පිහිටි අල් බුරෙයිජ්, අන් නුසෙයිරාත්, ඩීර් අල් බාලාහ් සහ අල් මාගාසි සරණාගත කඳවුරු හතරට එරෙහි ප්‍රහාර දිගටම පැවතුනි. ඊට සමගාමීව, ඊශ්‍රායල හමුදා විසින් ඛාන් යුනිස් සහ රෆා යන දකුණු නගරවල ඉලක්ක කිහිපයකට පහර දෙන ලදී.”

මෙලෙස මරණ සංඛ්‍යාව ඉහළ යද්දී, ඊශ්‍රායල දේශපාලඥයින්, සමස්ත පලස්තීන ජනතාව බලහත්කාරයෙන් අවතැන් කිරීම හරහා ගාසා තීරය ජනවාර්ගිකව ශුද්ධ කිරීම සඳහා විවෘතව පෙනී සිටිති.

බදාදා, කලින් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සේවය කළ ඊශ්‍රායලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අවිග්ඩෝර් ලිබර්මන්, සීනායි කාන්තාරයට ජනගහනය විස්ථාපනය කිරීම හරහා ගාසා තීරය ජනවාර්ගිකව ශුද්ධ කිරීම සඳහා විවෘතව පෙනී සිටින නවතම ඊශ්‍රායල දේශපාලනඥයා බවට පත්ව ඇත. ලිබර්මන් ඊශ්‍රායල හමුදාවෙන් ඉල්ලා සිටියේ ගාසා තීරය සහ ඊජිප්තුව අතර “වැටවල් කඩා” දමන ලෙසයි. ඔහු තවදුරටත් කියා සිටියේ, “එහි කිසිදු බාධාවක් නොමැති වූ වහාම, මිලියන එකහමාරක ගාසා වැසියන් සීනායි වෙත පිටත්ව යනු ඇති අතර අපි කිසිවෙකුට බාධා නොකරනු ඇතැයි මම අනුමාන කරමි”, වශයෙනි.

මෙය අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් සඳුදා පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයක් මගින් මෙය ප්‍රතිරාවය කලේය, ඔහු ප්‍රකාශ කලේය, “ස්වේච්ඡා සංක්‍රමණ සම්බන්ධයෙන් … අපි ඒ මත වැඩ කරමින් සිටිමු. අපි යන දිශාව මෙයයි.”

මෙම මස මුලදී, ලිබර්මන් විසින් ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්  පුවත්පතේ  “ගාසාවේ අහිංසකයෝ? බොළඳ නොවන්න, ” යන මාතෘකාව යටතේ ප්‍රධාන ලිපියක් ප්‍රකාශයට පත් කළේය. එහිදී ඔහු ගාසාවේ සමස්ත සිවිල් ජනතාවට එරෙහිව සාමූහික දඬුවම් ඉල්ලා සිටියේය.

ජන සංහාරයේ රුදුරු බව වැඩි වන විට, ඊශ්‍රායලය මැද පෙරදිග පුරා යුද්ධය දැවැන්ත ලෙස ව්‍යාප්ත කිරීමට සූදානම් වෙමින් සිටී.

මෙම සතිය මුලදී, ආරක්ෂක අමාත්‍ය යොආව් ගැලන්ට්  කියා සිටියේ ඊශ්‍රායලය රටවල් කිහිපයක් සමඟ “යුද්ධයක” යෙදී සිටින බවයි. “අපි ඉන්නේ බහු පෙරමුණු යුද්ධයක. ගාසා, ලෙබනනය, සිරියාව, ජුදා සහ සමාරියාව (බටහිර ඉවුර), ඉරාකය, යේමනය සහ ඉරානය යන පෙරමුණු හතකින් අපට ප්‍රහාර එල්ල වේ,” ඔහු පැවසීය. ඉරානයට පැහැදිලි තර්ජනයක් ලෙස, “අපි දැනටමත් එම පෙරමුණු හයකට ප්‍රතිචාර දක්වමින් ක්‍රියා කර ඇත්තෙමු.”

බදාදා, ඊශ්‍රායල යුද කැබිනට් සාමාජික බෙනී ගැන්ට්ස්  මාධ්‍ය හමුවකදී ලෙබනනයට තර්ජනය කරමින්, “ඊශ්‍රායලයේ උතුරු දේශසීමාවේ තත්වය වෙනස් විය යුතුය. රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් සඳහා වූ කාලය අවසන් වෙමින් පවතී. ඊශ්‍රායලයේ උතුරු වැසියන්ට වෙඩි තැබීම වැළැක්වීමට සහ හිස්බුල්ලා දේශ සීමාවෙන් ඈත් කිරීමට ලෝකය සහ ලෙබනන් රජය ක්‍රියා නොකරන්නේ නම්, [ඊශ්‍රායල් හමුදාව] එය කරනු ඇත.” ඔහු නිගමනය කළේ, “යුද්ධය දිගටම පවතිනු ඇත, පුළුල් වනු ඇත.” යන්නයි.

ජන සංහාරයට අරමුදල් සපයන සහ සන්නද්ධ කරන එක්සත් ජනපදය, ඊශ්‍රායලය සමඟ මැද පෙරදිග තමන්ගේම මිලිටරි උත්සන්න කිරීම සම්බන්ධීකරණය කරයි. නත්තල් දිනයේදී එක්සත් ජනපද හමුදාව ඉරාකයේ ස්ථාන තුනකට ප්‍රහාර එල්ල කළේ ඉරාන ප්‍රොක්සි හමුදා ලෙස හැඳින්වූ දෙය ඉලක්ක කරමිනි.

බදාදා කොන්ග්‍රසයට ලිපියක් යවමින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මෙසේ ලිවීය, “2023 දෙසැම්බර් 25 දින රාත්‍රියේ, මගේ මඟපෙන්වීම අනුව, එක්සත් ජනපද හමුදා ඉරාකයට අනුබද්ධ කණ්ඩායම් විසින් පුහුණුව, සැපයුම් සහාය සහ වෙනත් අරමුණු සඳහා භාවිතා කරන ඉරාකයේ මධ්‍යස්ථාන තුනකට එරෙහිව වෙන වෙනම ප්‍රහාර එල්ල කරන ලදී…. මෙම ප්‍රහාර අරමුණ වූයේ එක්සත් ජනපදයට සහ අපගේ හවුල්කරුවන්ට එරෙහිව සිදුවෙමින් පවතින ප්‍රහාර මාලාව පහල දැමීම හා කඩාකප්පල් කිරීම සහ ඉරානය සහ ඉරානයේ පිටුබලය ලබන මිලීෂියා කණ්ඩායම් එක්සත් ජනපද කාර්ය මණ්ඩල සහ මධ්‍යස්ථාන වලට තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමෙන් හෝ සහාය දීමෙන් වලක්වා ලීමටයි.”

“තවදුරටත් තර්ජන හෝ ප්‍රහාර සමග පොර බැදීම සඳහා අවශ්‍ය සහ සුදුසු පරිදි ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජනපදය සූදානම්ව සිටී” යනුවෙන්, බයිඩන් තර්ජනය කලේය.

ගෙවී යන සෑම දිනකම, ඊශ්‍රායල-එක්සත් ජනපද ජන සංහාරය සහ ගාසා තීරයේ ජනගහනය වාර්ගිකව ශුද්ධ කිරීම, මැද පෙරදිග අධිරාජ්‍යවාදී බලවතුන් විසින් ගෙන යන ප්‍රධාන නව මිලිටරි ප්‍රහාරයක තීරනාත්මක සංරචකයක් බව පැහැදිලි වෙමින් තිබේ. නව වසරට දින කිහිපයක් ඉතිරිව තිබියදී, අධිරාජ්‍යවාදී බලවතුන් 2024 තවත් නිමක් නැති යුද්ධයේ සහ මිලිටරි ම්ලේච්ඡත්වයේ වසරක් බවට පත් කිරීමට උත්සාහ කරමින් සිටී

ගාසා තීරයේ මරණ 30,000 ට ආසන්න වන විට, ඊශ්‍රායල නායකයෝ වාර්ගික ශුද්ධ කිරීමක් ඉල්ලා සිටී Read More »

Palestine

ගාසාව: යටත් විජිතයක සිට විවෘත සිර කඳවුරකට හා ඝාතන භූමියක් දක්වා – 02 කොටස

ජීන් ෂෝල් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 නොවැම්බර් 03 දින පල වූ “Gaza: From colony, to open air prison, to killing field—Part two” යන ජීන් ෂෝල් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි. මෙම ලිපිය කොටස් දෙකක ලිපි මාලාවක දෙවැන්නයි. පලමු කොටස 2023 නොවැම්බර් 2 දින ඉංග්‍රීසි බසින් ප්‍රකාශයට පත් විය (පළමු කොටසේ පරිවර්තනයට මෙහි පිවිසෙන්න).

1993 දී, ඊශ්‍රායලයේ මීලග කම්කරු පක්ෂ අගමැති යිට්ෂැක් රබීන්  සහ අරෆත් ඔස්ලෝ ගිවිසුමට අත්සන් තබමින්, අරෆත් සහ පලස්තීන අධිකාරිය ඊශ්‍රායලයේ ආරක්ෂාව සහතික කරන අතර ඊශ්‍රායලයෙන් වෙන් වූ නමුත් එහි අඩංගු වූ දෙකට බෙදුනු, යා-නොබැඳි රාජ්‍යයක පාලනය බාර ගන්නා “ද්වි-රාජ්‍ය විසඳුමක්” සදහා පොරොන්දු විය. පලස්තීනුවන්ගේ සමාජ හා ආර්ථික තත්ත්වයන්හි කිසියම් ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ දියුනුවක් තබා ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් සඳහා ඇති ඕනෑම හැකියාවක් මෙයින් වැලැක්විය.

Palestine
ඊශ්‍රායල අගමැති යිට්ෂාක් රබින්, එක්සත් ජනපද ජනාධිපති බිල් ක්ලින්ටන් සහ PLO හි සභාපති යසීර් අරෆත්, 1993 සැප්තැම්බර් 13 දින.

ඔස්ලෝ හි ආර්ථික විධිවිධාන , විදේශ ප්‍රතිපත්තිය, ආරක්‍ෂාව, ජනාවාස සහ දේශසීමා සහ ඊශ්‍රායලයට ඇතුල්වීම , ඊශ්‍රායල පාලනයට නතු කලේය. එය පලස්තීනුවන්ට ඊශ්‍රායලයේ වැඩ කිරීමේ අයිතිය ලබා දෙන අතරම, ඊශ්‍රායල භාන්ඩ රේගු බදුවලින් නිදහස් කොට පලස්තීනයේ  ජලය සහ අනෙකුත් සම්පත්වල යථා  පාලනය,  පලස්තින අධිකාරිය  සමඟ ඊශ්‍රායලයට අධිකරන බලය ලබා දුන් රේගු සංගමයකට  සම්බන්ධයෙන් .තීරු බදු සහ එකතු කල අගය මත බදු , පලස්තින අධිකාරිය (PA) වෙනුවෙන් එය විසින් එකතු කිරීම අනුග්‍රහයෙන්, එය  පලස්තීන අධිකාරියෙහි මුදල් පසුම්බිය රඳවා තබාගත් අතර – පලස්තින අධිකාරියෙහි සියලු ආදායමෙන් සියයට 75 කට පමන සමාන වන – බදු ආදායම නිතිපතා රඳවා තබා ගත්තේය.

ඔස්ලෝ හි ආර්ථික විධිවිධාන , විදේශ ප්‍රතිපත්තිය, ආරක්‍ෂාව, ජනාවාස සහ දේශසීමා සහ ඊශ්‍රායලයට ඇතුල්වීම , ඊශ්‍රායල පාලනයට නතු කලේය. එය පලස්තීනුවන්ට ඊශ්‍රායලයේ වැඩ කිරීමේ අයිතිය ලබා දෙන අතරම, ඊශ්‍රායල භාන්ඩ රේගු බදුවලින් නිදහස් කොට සහ පලස්තීනය ජලය සහ අනෙකුත් සම්පත්වල සැබෑ පාලනයෙන් ඉවත් කරනු ලැබූ  පලස්තින අධිකාරිය  සමඟ රේගු සංගමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයට අධිකරන බලය ලබා දුන්නේය.තීරු බදු සහ එකතු කල අගය මත බදු , පලස්තින අධිකාරිය (PA) වෙනුවෙන් එය විසින් එකතු කිරීම අනුග්‍රහයෙන්, එය  පලස්තීන අධිකාරියෙහි මුදල් පසුම්බිය රඳවා තබාගත් අතර – පලස්තින අධිකාරියෙහි සියලු ආදායමෙන් සියයට 75 කට පමන සමාන වන – බදු ආදායම නිතිපතා රඳවා තබා ගත්තේය.

අලුතින් පිහිටුවන ලද ඉස්ලාමීය කන්ඩායම්, හමාස් සහ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සහ පලස්තීනයේ විමුක්තිය සඳහා වූ ජනතා පෙරමුන (PFLP), ඔස්ලෝ ගිවිසුම ප්‍රතික්ෂේප කර ඊශ්‍රායලයට එරෙහි ඔවුන්ගේ ප්‍රහාර තීව්‍ර කලහ. රබීන් ප්‍රතිචාර දැක්වූයේ වසා දැමීමේ පාලන තන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීම, ඊශ්‍රායලයේ දේශසීමා මුද්‍රා තැබීම, මුරපොලවල් ස්ථාපිත කිරීම සහ පලස්තීනුවන්ගේ රැකියා හෝ ව්‍යාපාර සඳහා ඊශ්‍රායලයට ඇතුලුවීම සීමා කිරීම මගින් ඔස්ලෝ ගිවිසුම් බිඳ දැමීමෙනි. ගාසා තීරය නැවත නැවතත් වසා දැමීම්වලට ලක් විය. 1994 දී, ගිවිසුම් අවසන් වන විටත්, ඊශ්‍රායලය මෙම වටකල භූමිය [ ගාසා තීරය] වටා පරිමිති වැටක් ඉදිකිරීමට පටන් ගෙන තිබුනි.

ඔවුන්ගේ පලස්තීන ශ්‍රම බලකාය අහිමි වූ ඊශ්‍රායලයේ ලොක්කන් ලාභ ශ්‍රමය සඳහා ආසියාව දෙසට හැරුනු අතර, සංක්‍රමනික කම්කරුවන් සංඛ්‍යාව 1996 වන විට 100,000 දක්වා ලඟා විය, එය ඔවුන්ගේ උපරිමයේ සිටි පලස්තීනුවන් 70,000 ට වඩා බෙහෙවින් වැඩි ය.පලස්තීනුවන්ට ඊශ්‍රායලයේ සේවා යෝජකයන් සදහා ඔවුන්ගේ සීමිත ප්‍රයෝජනය අහිමි වූ නමුත් ඔවුන්ගේ ඉඩම්, සම්පත් සහ වෙලඳපොලවල් සම්බන්ධයෙන් එය එසේ නොවීය. 

ඊශ්‍රායලයේ ඉඩම් අත්පත් කර ගැනීම සහ ජනාවාස ගොඩනැඟීම ශීඝ්‍රව සිදු විය. 2000 වන විට නිවාස ඒකක සංඛ්‍යාව සියයට 52 කින් වැඩි වූ අතර නිල නොවන ජනාවාස 42 කට අධික සංඛ්‍යාවක් සමඟින් නව ජනාවාස තුනක් නිල වශයෙන් ස්ථාපිත කරන ලදී. පදිංචිකරුවන්ගේ සංඛ්‍යාව 1993 දී 115,700 සිට 1999 මැද භාගයේදී 176,973 දක්වා ඉහල ගියේය. ඊශ්‍රායලය විසින් පලස්තීන ජල සම්පත් උකහා ගැනීම උත්සන්න කල අතර, ගාසා තීරයේ ජලය පානය කල නොහැකි තත්ත්වයට පත් කර 2000 දී ගාසා තීරයේ උග්‍ර ජල අර්බුදයක් ඇති කලේය.

ඔස්ලෝ ගිවිසුම් මගින් පලස්තීන ඉඩම් හා සම්පත් සොරකම  වැඩි කිරීම සහ  ශ්‍රමිකයන්ගේ  සුලු ශුන්‍ය චලනයකින් තොරව භාන්ඩ එක් පැත්තකට පමනක්  ගමන් කිරීම නීත්‍යානුකූල කෙරු. ඔස්ලෝ වසර වල  ඊශ්‍රායලය සමෘද්ධිමත්ව,  අරාබි (රටවල) වර්ජනයේ අවසානය බොහෝ දුරට තහවුරු කර ගත් අතර, පලස්තීන කෘෂිකර්මාන්තය සහ එහි ආර්ථිකය කඩා වැටී, විරැකියාව සහ දරිද්‍රතාවය ඉහල ගියේය. ඔස්ලෝ වසර වල , ඊශ්‍රායලයේ ඒක පුද්ගල දල දේශීය නිෂ්පාදිතය සියයට 14කින් ඉහල ගිය අතර, පලස්තීනුවන්ගේ ඒක පුද්ගල දල දේශීය නිෂ්පාදිතය සියයට 3.8කින් පහත වැටුනි. ගාසා තීරයේ තත්වය ඊටත් වඩා තියුනු විය. පලස්තීන ආර්ථිකයේ එහි කොටස 1994 දී සියයට 37 සිට 2000 දී සියයට 31 දක්වා පහත වැටුනි.

දෙවන ඉන්ටිෆාඩාව සහ පලස්තීනුවන් ගෙටෝකරනය කිරීම 

දක්ෂිනාංශික, ආගමික අන්තවාදියෙකු විසින් 1995 දී රබීන් ඝාතනය කිරීම,ඊශ්‍රායලයේ පාලක ප්‍රභූව විසින් පලස්තීනුවන්ට කිසිදු අර්ථවත් සහනයක් ලබා දීම ප්‍රතික්ෂේප කරන බව සංඥා කලේය. පලස්තීන ධනේශ්වරයේ ඉහවහා ගිය දූෂනය සහ ගජමිතුරුකම් මධ්‍යයේ පලස්තීන කම්කරුවන්ට හා ගොවීන්ට බිහිසුනු දරිද්‍රතාවය සහ පරිහානිය පමනක් ගෙන ආ ඔස්ලෝ ක්‍රියාවලියේ ස්වයං-පැහැදිලි වංචාව මගින් 2000 සැප්තැම්බර් මාසයේදී දෙවන ඉන්ටිෆාඩාව ඇති කලේය. මෙය ඊශ්‍රායලයට එරෙහිව මෙන්ම, ඉන්ටිෆාඩා අවසන් කරන ලෙස ඉල්ලා සිටි ඔස්ලෝ ගිවිසුමේ සාකච්ඡාකරුවන්ගෙන් එක් අයෙකු වන මහමුද් අබ්බාස් සමග ඔස්ලෝ ගිවිසුම අත්සන් කල PLO නායකත්වයට එරෙහි නැගිටීමක්ද විය.  මෙම රික්තය පිරවීම සඳහා දේශපාලන බලවේගයක් ලෙස හමාස් නැගී සිටීමට එය මග පෑදීය.

අරෆත්, 2004 දී , තවමත් පැහැදිලි කල නොහැකි ඔහුගේ මරනය දක්වාම රමල්ලාහි පලස්තින අධිකාරියේ  පරිශ්‍රය තුල,  සිරගෙයක බදුව  සීමා කරනු ලැබීමත් සමඟ කැරැල්ල තලා දැමීමට , දැවැන්ත ඊශ්‍රායල ප්‍රචන්ඩත්වයට සහ ම්ලේච්ඡත්වයට වසර හයක් ගත විය.

Gaza
ෆාරිස් ඔඩේ, 2000 නොවැම්බර් මස මුලදී-දෙවන ඉන්ටිෆාඩා සමයේදී-ගාසා තීරයේ ඊශ්‍රායල ආරක්ෂක හමුදා ටැංකියකට ගලක් දමා ගසමින් සිටියදී  ඝාතනය කරන ලද 14 හැවිරිදි පිරිමි ලමයෙකි. මෙම ඡායාරූපය ගනු ලැබුවේ 2000 ඔක්තෝබර් 29 වන දින වන අතර, ඔඩේ ඊට  දින 10 කට පසුව , නොවැම්බර් 8 වන දින, නැවතත් ඊශ්‍රායල හමුදා වෙත ගල් ගසමින් සිටියදී වෙඩි තබා ඝාතනය කරන ලදී. [ඡායාරූපය: ඇසෝසියේටඩ් ප්‍රෙස්/ලෝරන්ට් රිබෝර්ස්)]

“ජන විකාශ ගැටලුව” උත්සන්න වීමත් සමග, සියලුම සියොන්වාදී පක්ෂ බටහිර ඉවුරේ පාලනය පුලුල් කිරීමටත්, ජනාවාස ඉදිකිරීම උත්සන්න කිරීමටත්, ජනගහනය විතැන් කිරීම් සහ වාර්ගික පවිත්‍ර කිරීම ප්‍රවර්ධනය කිරීමටත් උත්සාහ කලහ.

ඒරියල් ෂැරෝන්  ගේ රජය , ඊශ්‍රායලය වාඩිලාගත් ප්‍රදේශ වල පලස්තීනුවන්ගෙන් සහ බටහිර ඉවුරේ සිටින පලස්තීනුවන් ගාසා තීරයේ සිටින පලස්තීනුවන්ගෙන්  වෙන් කිරීමේ ප්‍රතිපත්තියක් ආරම්භ කලේය. ගාසා තීරය අවහිර කිරීම , තීරුව වටා උස් තාප්පයක් ඉදිකිරීම, 1998 දී විවෘත කර වසර තුනකට පසුව ගාසා හි නව ජාත්‍යන්තර ගුවන් තොටුපලට බෝම්බ හෙලීම සහ , ආයුධ ජාවාරම් නැවැතීම මුවාවෙන්   ගාසා තීරය වටකරමින් ධීවර කර්මාන්තය ගෙල සිර කිරීම මෙයට ඇතුලත් විය.

2003 දී ඊශ්‍රායලය ගාසා තීරයෙන් “ඉවත් වන” බව නිවේදනය කරමින්, ෂැරොන් ජනාවාස වසා දමා , බටහිර ඉවුරේ වඩා වැදගත් ජනාවාස ව්‍යාප්තිය සහ තහවුරු කිරීම සඳහා වොෂින්ටනයේ කොල එලිය ලබා ගනිමින්, ගාසා තීරයේ ඊශ්‍රායලයේ වත්කම් ආරක්ෂා කරන හමුදා ඉවත් කර ගත්තේය .බටහිර ඉවුරෙන් සියයට 9 ක් ලබා ගනිමින්, එනම් එම භූමිය තුල තවත් කිලෝමීටර් 18 ක භූමි ප්‍රමානයක් අත්පත් කර ගත් කුප්‍රකට වෙන් කිරීමේ පවුර ඉදිකිරීමට ඔහු නියෝග කලේය.

Palestine
එක්සත් ජනපදයේ ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් (මැද) ඊශ්‍රායලයේ අගමැති ඒරියල් ෂැරොන් (වමේ) සහ පලස්තීන අගමැති මහමුද් අබ්බාස් සමඟ මැද පෙරදිග සම්බන්ධයෙන් සාකච්ඡා කරයි [ඡායාරූපය: එක්සත් ජනපද රජය]

2005 දී PA ජනාධිපති ධූරයට පත් වූ විට, අබ්බාස් විශ්වාසවන්තව ඊශ්‍රායලයේ අනපනත් පැනවීය. 2006 ජනවාරියේ පලස්තීන මැතිවරනයේදී හමාස් විසින් ඔහුගේ ෆාටා සංවිධානය ආධිපත්‍යය දරන , බහු කෝටිපතියන් අතලොස්සක දූෂිත නියෝජිතයා සහ ඊශ්‍රායලයේ ප්‍රොක්සි ආරක්ෂක බලකාය ලෙස පුලුල් ලෙස සැලකෙන PLO පරයමින් විස්මිත ජයග්‍රහනයක් ලබා ගැනීමෙන් පසු ,අබ්බාස්-ඊශ්‍රායලයේ පිටුබලය ඇතිව-හමාස්ගේ ගාසා බලකොටුවෙන් පලවා හැරීම සඳහා අසාර්ථක සිවිල් යුද්ධයක් දියත් කලේය. මෙම  භාතෘ ඝාතක අරගලය , ඔස්ලෝ “ද්වි-රාජ්‍ය විසඳුමේ” සහ වඩාත් මූලික වශයෙන් පලස්තීනුවන් ඊශ්‍රායලයට එරෙහි අරගලයට පදනම් වූ ජාතිකවාදී ඉදිරිදර්ශනයේ නිශ්චිත අවසානය සලකුනු කලේය.

ෆාටා සංවිධානයෙහි පරාජයෙන් පසුව, ඊස්රායලය විසින් පලස්තින අධිකාරියේ , ඊජිප්තුවේ, අරාබි පාලන තන්ත්‍රවල සහ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ පිටුබලය ඇතිව ගාසා තීරයට පූර්න පරිමානයේ ආර්ථික අවහිරයක් පැනවීය. ඊශ්‍රායලය පලමු වසර තුන තුල ගාසා තීරයෙන් පිටවීමට යන්තමින් වානිජ ට්‍රක් රථ 259කට අවසර දුන් අතර, කෘෂිකාර්මික නිෂ්පාදන ඇතුලු ගාසාවේ අපනයනය නතර විය. වසරක් ඇතුලත ගාසා තීරයේ නිෂ්පාදන කර්මාන්තවල රැකියා නියුක්තිය 35,000 සිට 860 ක්  වූ අඩු අගයක් දක්වා පහත වැටුනි. 2010 දී, පලස්තීනුවන්ගේ මිත්‍රයෙකු නොවූ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ගාසාව හැඳින්වූයේ “එලිමහන් සිරගෙයක්” යනුවෙනි.

ගාසා තීරයේ දුක්ඛිත තත්වය එහි පොදු සහ සමාජ යටිතල පහසුකම් සහ නේවාසික සහ වානිජ ගොඩනැගිලි බොහොමයක් විනාශ කල ඊශ්‍රායලයේ නැවත නැවතත් ප්‍රහාර මගින් උග්‍ර විය.පලස්තීන ආර්ථිකයේ එහි කොටස 2008 දී සියයට 22 දක්වා සහ 2018 දී සියයට 18 දක්වා පහත වැටුනි. එහි ඒක පුද්ගල දල දේශීය නිෂ්පාදිතය ඩොලර් 1,500ක් වන අතර එය දැන් 1990 ගනන්වල මැද භාගයෙන් අඩකි. යුද්ධය ආරම්භ වීමට පෙර පවා, දරිද්‍රතා අනුපාත සියයට 50කට වඩා වැඩි වූ අතර, විරැකියාව ඊට සමාන මට්ටමක පැවතුනි. ගාසා තීරයේ මිලියන 2.3 ජනගහනයෙන් සියයට 80ක් ජාත්‍යන්තර ආධාර මත යැපෙන්නට සිදු  විය.

පලස්තීන ජාතිකවාදයේ අසාර්ථකත්වය සහ පලස්තීන හා යුදෙව් කම්කරුවන් සඳහා ඉදිරි මාවත

“යුදෙව්වන්ට ආරක්ෂිත තෝතැන්නක්” සුරක්ෂිත කිරීම සදහා  සියොන්වාදී ව්‍යාපෘතියේ අසාර්ථකත්වයට නොඅඩුව පලස්තීනුවන් මත පැටවී ඇති දුක් වේදනා ගලා එන්නේ ජාතිකවාදී ඉදිරිදර්ශනයක පදනම මත ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ සමාජ-ආර්ථික ඉල්ලීම් සුරක්ෂිත කර ගැනීමේ නොහැකියාවෙනි. සන්නද්ධ අරගලයක් මගින් අනාගමික, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් පිහිටුවීමේ ෆාටා වෙහි ඉදිරිදර්ශනයට, සියොන්වාදී රාජ්‍යය විසුරුවා හැරීම සඳහා අවශ්‍ය යුදෙව් හා පලස්තීන කම්කරුවන් එක්සත් කිරීම සඳහා කිසිදා පදනම සැපයිය නොහැක. ඊශ්‍රායල ධනේශ්වරයට අරාබි පාලන තන්ත්‍රයන්ගේ සහ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ පිටුබලය ලැබීමත් සමඟ, සියල්ලටම වඩා එක්සත් ජනපදයේ අවශ්‍යතා සදහා සේවය කරන මෙම  සියොන්වාදී රාජ්‍යය පෙරලා දැමීම සඳහා අරාබි පාලන තන්ත්‍රයන් පෙරලා දැමීම අවශ්‍ය වනු ඇත.

පලස්තීන ධනේශ්වරය ආධිපත්‍යය දැරූ ෆාටා සංවිධානයට කිසිදා එය ආමන්ත්‍රනය කිරීමට නොහැකි විය. එහි අරමුන වූයේ මැද පෙරදිග තුල පලස්තීන ප්‍රභූ පැලැන්තියේ අවශ්‍යතා වෙනුවෙන් සේවය කරන රාජ්‍යයක් සුරක්ෂිත කර ගැනීමට  අධිරාජ්‍යවාදය සමග සාකච්ඡාමය විසඳුමකට එලඹීමයි. එය “සියලු අරාබි රාජ්‍යයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට” ප්‍රතිඥා දුන්නේය.සියලුම ජාතිකවාදී ව්‍යාපාර මෙන්ම එය, ජෝර්දානයේ, ලෙබනනයේ හෝ සිරියාවේ වේවා, නමුත් සියල්ලටම වඩා ඊශ්‍රායලයේ, වාර්ගික,ආගමික හා ජාතික බෙදීම් කපා හැරිය හැකි පන්ති-පදනම් වූ අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයක් වර්ධනය කිරීමට නොහැකි කරමින් පන්ති අරගලයට වඩා ජාතික අරගලයට ප්‍රමුඛත්වය දුන්නේය. ඒ වෙනුවට, එය එක් හෝ වෙනත් ධනේශ්වර අරාබි තන්ත්‍රයක් අතර උපාමාරු දැමූ අතර, ඔවුන් සියල්ලෝම PLO සහ පලස්තීන ජනතාව හුදකලා කර අත්හැර දැමූහ.

ඊශ්‍රායල සිරගෙවල්වල රඳවා සිටින පලස්තීන සිරකරුවන් නිදහස් කර ගැනීම සහ කොටු කිරීම අවසන් කිරීම සඳහා දියත් කරන ලද ඔක්තෝබර් 7 වැනි දින හමාස් සංවිධානයෙහි ක්‍රියාව  අතිදැවැන්ත සුපිරි   බලවේගවලට එරෙහිව , මරාගෙන මැරෙන මෙහෙයුමකට සමාන වූ අතර, ප්‍රහාරයෙන් පලස්තීනුවන් 1,500කට ජීවිත අහිමි විය. එහෙත් එහි නීත්‍යානුකූල ප්‍රතිරෝධයට, නූතන ඉතිහාසයේ දීර්ඝතම එනම් දශක ගනනාවක ඊශ්‍රායලයේ    පීඩනයට හා වැටලීමට ලක් වූ  පලස්තීන ජනතාවගේ බිහිසුනු දුක් වේදනා අවසන් කිරීමට හෝ කලාපය තුල පුලුල් යුද්ධයක් සඳහා ඊශ්‍රායලයේ සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සැලසුම් ඊට නැවැත්විය නොහැක.

Gaza
පලස්තීනුවන් 2023 ඔක්තෝම්බර් 31 වන දින ගාසා තීරයේ නුසෙයිරාත් සරනාගත කඳවුරේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් අය සොයති. [AP Photo/Doaa AlBaz]

බයිඩන් පරිපාලනය නැගෙනහිර මධ්‍යධරනී මුහුදට සහ මැද පෙරදිගට එක්සත් ජනපද යුද නැව් සහ හමුදා යොදවා ඇති අතර සිරියාවේ ඉරාන පිටුබලය ලබන ඉලක්ක වෙත ප්‍රහාර දියත් කර ඇත. මේ අතර ඊශ්‍රායලය විසින් සිරියාවට නැවත නැවතත් ප්‍රහාර එල්ල කිරීමට අමතරව, ඊශ්‍රායලය, ලෙබනනය සහ සිරියාවේ දේශසීමා කලාපයේ හිස්බුල්ලා සංවිධානය සමඟ වෙඩි හුවමාරු කර ගෙන ඇත. 

දැන් ගාසා තීරය ගිල ගනිමින් පවතින ජන සංහාරක යුද්ධය ඊශ්‍රායල කම්කරු පන්තියට ද  නොඅඩු ඛේදවාචකයකි. ජාතිකවාදයේ ඉදිරිදර්ශනය යුදෙව්වන්ට ඔවුන්ගේ පලස්තීන සගයන් තරමටම විනාශකාරී බව ඔප්පු වී ඇත. ඊශ්‍රායලය වර්නභේදවාදී රාජ්‍යයක් ලෙස වර්ධනය වී ඇති අතර, යුදෙව් නොවන අයට වෙනස් කොට සැලකීම සහ වාඩිලාගෙන සිටින ප්‍රදේශවල සහ අසල්වැසි රටවල පලස්තීනුවන්ට එරෙහිව දශක ගනනාවක කෲරත්වයට එය වගකිව යුතුය. ෆැසිස්ට්වාදය වැලඳගෙන සිටින ඊශ්‍රායලයේ පාලක ප්‍රභූවට, ස්වදේශීයව ආඥාදායකත්වය, ජන සංහාරය සහ වාර්ගික ශුද්ධ කිරීම් සහ විදේශයන්හි ම්ලේච්ඡ යුද්ධ හැර වෙනත් දේශපාලන ඉදිරිදර්ශනයක් නොමැත. ඊශ්‍රායල පාලක ප්‍රභූවේ සහ එහි අධිරාජ්‍යවාදී ආධාරකරුවන්ගේ සේවය සඳහා ඊශ්‍රායල කම්කරුවන් බිලි දෙනු ඇත.

නෙතන්යාහුගේ ෆැසිස්ට් ආන්ඩුවට එරෙහි මාස නවයක විරෝධතා ව්‍යාපාරය පුරා ලෝක සමාජවාදී වෙබ් අඩවිය අනතුරු ඇඟවූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එල්ල වන තර්ජනයට එරෙහිව සටන් කිරීමට සහ යුද්ධයේ අන්තරායට තිත තැබීමට ඇති එකම මාර්ගය නම් සියොන්වාදී ධනේශ්වරයේ සියලු කන්ඩායම්වලින් බිඳී පලස්තීන හා යුදෙව් කම්කරු පන්තිය එක්සත් කිරීමේ අරගලයක් ගෙන යාමයි.  “පලස්තීනුවන්ගේ වියදමින් ඊශ්‍රායලයේ දේශසීමා පුලුල් කිරීමට , විරුද්ධ පක්ෂ නායකයින් නොඅඩු කැපවී සිටිති” යනුවෙන් වූ අපගේ අනතුරු ඇඟවීම් ප්‍රකාශය , විපක්ෂ නායකයින් වන බෙනී ගැන්ට්ස්  සහ ගැඩී අයිසන්කොට් විසින් නෙතනයාහුගේ යුද කැබිනට් මන්ඩලයට බැඳීමට පැන ගන යාම මගින් තහවුරු විය. 

Protests
2023 ජූලි 24, සඳුදා, ටෙල් අවිව්හි දී, අධිකරන පද්ධතිය ඉලක්ක කරගත් නෙතන්යාහුගේ ඒකාධිපති ක්‍රියාමාර්ගවලට එරෙහි විරෝධතාවක් අතරතුර උද්ඝෝෂනය කරුවන් නගරය හරහා යන අධිවේගී මාර්ගයක ගමනාගමනය අවහිර කරති. [AP Photo/ Oded Balilty]

 “පලස්තීනුවන්ට එරෙහිව පවතින මර්දනයේ පදනම මත පිහිටුවන ලද රාජ්‍යයක් සෑම විටම අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් වර්ධනය කිරීමට අසමත් විය. එහි අරාබි අසල්වැසියන් සමඟ නැවත නැවතත් යුද්ධ කරන අතර පලස්තීනුවන් සමඟ සදාකාලික යුද්ධයක යෙදෙනා  එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සඳහා බලකොටු රාජ්‍යයක් ලෙස lඑහි පරිනාමය ; ව්‍යාප්තවාදී ‘මහා ඊශ්‍රායල්’ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම; ලෝකයේ ඉහලම මට්ටම් අතර වන සමාජ අසමානතාවයේ උග්‍ර මට්ටම්වල අස්ථාවර බලපෑම සමනය කිරීම සඳහා වාඩිලාගෙන සිටින ප්‍රදේශ වල දක්ෂිනාංශික පදිංචිකරුවන් මත සහ  එක්සත් ජනපදයෙන් පිදෙන, මිලිටරි ආධාරතව දුරටත් දැඩි ලෙස රැඳී සිටීම , නෙතන්යාහුගේ ආන්ඩුව නම්  ෆ්‍රැන්කන්ස්ටයින් රකුසාට මග පාදා ඇත. ”

මෙම ලේවැකි ආවෘත අන්තයෙන්  මිදීමේ මාවතක් සකස් කිරීම යනු ,අරාබි සහ ඊශ්‍රායල ප්‍රභූව තුල අධිරාජ්‍යවාදයේ  සහ එහි ධනේශ්වර ඒජන්තයින්ට සහ නෙතන්යාහුගේ ෆැසිස්ට්වාදී යුදවාදී කල්ලියට එරෙහිව අධිෂ්ඨානශීලී ස්ථාවරයක් ගැනීම සහ පලස්තීනුවන් කෙරෙහි වෛරය අවුලුවාලීමට ඔවුන් දරන ප්‍රයත්නයන්ට හා ජාතික භේදය පරයමින්   සමස්ත කම්කරු පන්තියම – යුදෙව් හා පලස්තින –   ඒකාබද්ධ සමාජවාදී අරගලයක් වෙත දිනා ගැනීම සඳහා පන්ති ආයාචනයක් ඉදිරිපත් කිරීමයි. 

යුද්ධය ලොව පුරා මහජන විරෝධය අවුලුවමින් තිබේ. ඊශ්‍රායලය තුල විරෝධයක් මතුවෙමින් පවතින බවට ලකුනු පහල වී තිබේ. එහෙත් මෙම විරුද්ධත්වය ධනවාදයට එරෙහිව සහ සමාජවාදය සඳහා ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක කොටසක් ලෙස බලමුලු ගැන්විය යුතුය. කම්කරුවන් හා තරුනයින් මුහුන දෙන තීරනාත්මක කර්තව්‍යය නම්, සියොන්වාදී රාජ්‍යය හා අරාබි ධනේශ්වර තන්ත‍්‍ර පෙරලා දමා මැද පෙරදිග එක්සත් සමාජවාදී රාජ්‍යක් ගොඩනැගීමට අවශ්‍ය දේශපාලන නායකත්වය සැපයීම සඳහා, ඊශ්‍රායලය/පලස්තීනය ඇතුලු කලාපය තුල , හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ කොටස් ලෙස විප්ලවවාදී පක්ෂ ගොඩනැගීමයි.

ගාසාව: යටත් විජිතයක සිට විවෘත සිර කඳවුරකට හා ඝාතන භූමියක් දක්වා – 02 කොටස Read More »

Wb

අඩු ආදායම්ලාභී ජාතීන් නය ආපසු ගෙවීම් පිළිබඳ වාර්තාවක් තබයි

නික් බීම්ස් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 18 දින පල වූ “Record high for debt repayments by low-income nations” යන නික් බීම්ස්  විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනයයි. පරිවර්තනය සුනිල් ‍ප්‍රනාන්දු  විසිනි.

දහස් ගනනක් මරා දමමින්, පාසල්, රෝහල් සහ සරනාගත මධ්‍යස්ථාන විනාශ කරමින්, ජීවිතයට අවශ්‍ය පහසුකම් සහ සම්පත් කුඩුපට්ටම් කරමින්, සාගින්නෙන් හා ලෙඩ රෝගවලට තුඩු දෙමින්, දිනපතා බෝම්බ වරුසාව ඇදහැලෙන ගාසා තීරයේ ජන සංහාරය, ලෝක ජනතාවටද ජීවිතයටමද එරෙහි ධනේශ්වර අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වයේ අතිශය භයානක ආකාරය පමනි. 

මෙවැනිම  තව එකක්  නම්, නය සහ පොලී ආපසු ගෙවීම හරහා ඊනියා අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල බිලියන සංඛ්‍යාත මිනිසුන්ගේ ජීවන රුධිරය උරා බොන ගෝලීය මූල්‍ය පද්ධතිය විසින් පනවා ඇති විනාශකාරී පීඩනය සහ ප්‍රචන්ඩත්වයයි.

ගෝලීය ධනේශ්වර මූල්‍ය පද්ධතියේ නිර්දය මෙහෙයුම් හරහා දිනකට ඩොලර් මිලියන සිය ගනනක් දක්වා මෙම ධනය ඉවතට ඇද ගැන්ම බාධාවකින් තොරව, ස්වයංක්‍රීයව සිදු වේ. පසුගිය සතියේ ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද වාර්ෂික ජාත්‍යන්තර නය වාර්තාවෙන් මෙහි පරිමාව අනාවරනය විය.

සෞඛ්‍ය, අධ්‍යාපනය සහ දේශගුනික විපර්යාසවල බලපෑම්වලට එරෙහිව සටන් කිරීම වැනි තීරනාත්මක අනෙකුත් සමාජ අවශ්‍යතාවලින් සම්පත් ඉවතට ඇද ගැනීම මගින්, සංවර්ධනය වෙමින් පවතින රටවල් ඔවුන්ගේ රාජ්‍ය නය ගෙවීමට ඩොලර් බිලියන 443.5 ක් – ඩොලර් ට්‍රිලියන භාගයක් පමන- වියදම් කල බව එය සොයා ගත්තේය .

පෙර වසරට වඩා සියයට 5 කින් ඉහල ගිය සහ 2023-2024 දී සියයට 10 කින් වැඩි විය හැකි මෙම ගෙවීම්, වාර්තාගත ඉහලම අගයන් වේ.

කෙසේ වෙතත්, දුප්පත්ම රටවල් 75 සඳහා තත්වය වඩාත් දරුනු ය. ඔවුන්ගේ බාහිර නය සේවා ගෙවීම් 2022 දී වාර්තාගත ඩොලර් බිලියන 88.9 දක්වා ලඟා වූ අතර ලෝක බැංකුව විසින් 2023-2024 ට වඩා සියයට 40 කින් ඉහල යනු ඇතැයි පුරෝකථනය කර ඇත. ඔවුන්ගේ පොලී ගෙවීම් පමනක් 2012 සිට ඩොලර් බිලියන 23.6 දක්වා හතර ගුනයකින් වැඩි වී ඇත.

Wb
ලෝක බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ සහ උප සභාපති ඉන්ඩර්මිට් ගිල් [ඡායාරූපය: ලෝක බැංකුව]

ලෝක බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ සහ උප සභාපති ඉන්ඩමිට් ගිල් (Indermit Gill) පැවසුවේ “වාර්තාගත නය මට්ටම් සහ ඉහල පොලී අනුපාත බොහෝ රටවල් අර්බුද කරා මාවතේ තබා ඇත.”

සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ මෙය අවතක්සේරුවක් වැනි  දෙයක් බවයි. බොහෝ රටවල් සහ ඔවුන්ගේ ජනගහනයන් සිටින්නේ අර්බුදයට කරා යන මාවතක නොවේ. ඔවුන් සිටින්නේ දිනෙන් දින නරක අතට හැරෙන එවන්නක් මතය.

“පොලී අනුපාත ඉහල මට්ටමක පවතින සෑම කාර්තුවකදීම දියුනු වෙමින් පවතින රටවල් පීඩාවට පත්වන අතර ඔවුන්ගේ රාජ්‍ය නය, සේවා කිරීම (ගෙවීම) හෝ මහජන සෞඛ්‍ය, අධ්‍යාපනය සහ යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීම අතර  තේරීමකට මුහුන දෙයි ” ගිල් පැවසීය.

මෙම තත්ත්වය සදහා කඩිනම් පියවර ගත යුතු බව ඔහු පැවසීය. නමුත් ලෝක බැංකුව වැනි ගෝලීය ධනවාදයේ ආයතන පුරා සිටින ගිල් සහ අනෙකුත් නිලධාරීන් හොඳින් දන්නා පරිදි මෙය සිදු නොවනු ඇත. අර්බුදය වසර ගනනාවක් තිස්සේ ගොඩනැගෙමින් පැවති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව මෙන්ම ඔක්ස්ෆෑම් වැනි ආධාර ආයතන විසින්ද නිකුත් කල  ගනන් කල නොහැකි තරමේ වාර්තා වන් සදහා  විෂය වී ඇති මුත් එයට එරෙහි වීම සදහා  කිසිවක් සිදු කර නොමැත.

ලෝකයේ ප්‍රධාන මහ බැංකු විසින් පොලී අනුපාත ඉහල දැමීමේ මුලුමනින්ම පුරෝකථනය කල හැකි බලපෑම් හේතුවෙන් නය තත්වය පසුගිය වසර දෙක තුල කැපී පෙනෙන ලෙස නරක අතට හැරී ඇත. පසුගිය වසර තුන තුල සංවර්ධනය වෙමින් පවතින රටවල් 10 ක ස්වෛරී පැහැර හැරීම්   (රාජ්‍ය නය ගෙවීම පැහර හැරීම්) 18 ක් සිදුවී ඇත. මෙය පසුගිය දශක දෙක තුල වාර්තා වූ සංඛ්‍යාවට වඩා වැඩි ය.

ඒ සමගම පෞද්ගලික මූල්‍ය ප්‍රවාහය සිඳී ගොස් ඇත. ගිල් සඳහන් කල පරිදි, 2022 දී පොලී අනුපාත ඉහල යාමට පටන් ගත් විට, පුද්ගලික නය හිමියන් වඩා ලාභ ජනක ආයෝජන පසුපස හඹා ගිය අතර  එහි ප්‍රතිඵලය සමඟ ඔවුන් නව නය ලබා දුන් ප්‍රමානයට වඩා ඩොලර් බිලියන 185 ක මූලික නය මුදල්  ආපසු ගෙවීමක් ලබා ගත්හ.

“අද, සෑම සංවර්ධනය වෙමින් පවතින රටවල් හතරෙන් එකක්ම ඵලදායී ලෙස ඉහල මිල හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙලඳපොලෙන් ඉවතට  තල්ලුවී ඇත” ගිල් පැවසීය. දුප්පත්ම රටවල සම්බන්ධයෙන් ගත් කල “නය, පක්ෂාඝාතක බරක් බවට පත්ව ඇත.”

සංවර්ධනය වෙමින් පවතින රටවල අර්බුදය ඉහල පොලී අනුපාතවල ප්‍රතිඵලයක් පමනක් නොව, කෝවිඩ් වලට ප්‍රතිචාර වශයෙන් ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන්ගේ “එය (සමාජය) කඩාබිඳ ගෙන  ගියදෙන්” ( “let it rip” ) ප්‍රතිපත්තිය මගින් උග්‍ර කර ඇත. 2022 ඔක්තෝම්බර් මාසයේදී නිකුත් කරන ලද වාර්තාවක, ඔක්ස්ෆෑම් විසින් සොයාගනු ලැබුවේ “සියවසක කාලය  තුල දරුනුතම සෞඛ්‍ය අර්බුදය තිබියදීත්, අඩු සහ පහල මධ්‍යම ආදායම් ලබන රටවලින් අඩක් ඔවුන්ගේ අයවැයේ සෞඛ්‍ය වියදම්වල කොටස කපා හරින ලද ” බවයි.

සියලුම රටවලින් අඩක් පමන “සමාජ ආරක්‍ෂාව” සඳහා යන කොටස කපා හරින ලද අතර සියයට 70 ක් අධ්‍යාපනයට යන කොටස කපා දැමූහ.

“කොවිඩ්-19 විසින් නිර්මානය කරන ලද අසමානතාවයේ  පුපුරා යෑමට එරෙහිව පියවර ගැනීමට බොහෝ රජයන් සම්පූර්නයෙන්ම අසමත් වූ බව අපගේ දර්ශකය පෙන්නුම් කරයි. මහජන සේවාවන් මිනිසුන්ට වඩාත්ම අවශ්‍ය වූ කල ඔවුන්  ඒවා ඉරා දැමූ අතර ඒ වෙනුවට වාර්තාගත ලාභ ලබා ගැනීම සඳහා ප්‍රකෝටිපතියන් සහ විශාල සමාගම් කොක්කෙන් ඉවත් කර තැබූහ.”

ධනේශ්වර ක‍්‍රමයේ රාමුව තුලින් කිසිඳු විසඳුම් මගක් සොයා ගැනීමට නොහැකි වන්නේ කෙසේදැයි අර්බුදය විමසා බැලීමෙන් හෙලිවේ. ඇත්ත වශයෙන්ම, එසේ කිරීමට උත්සාහ කිරීම වඩාත් නරක තත්ත්වයන් ඇති කරයි.

නිදසුනක් වශයෙන්, ගාඩියන් ආර්ථික වාර්තාකරු ලැරී එලියට් සඳහන් කල පරිදි, අඩුම ආදායම් ලබන රටවල් බොහොමයක් අමතර බරකට මුහුන දී සිටිති. ඒ ඔවුන් “2020 දී කොවිඩ්-19 වසංගතයේ උච්චතම අවස්ථාවේදී ප්‍රකාශයට පත් කරන ලද G20 හි නය සේවා අත්හිටුවීමේ  ආරම්භකත්වය (Debt Service Suspension Initiative) යටතේ නය-සේවා අත්හිටුවීමේ වරප්‍රසාදය සඳහා ඔවුන්ට දැරීමට සිදුවුනු සමුච්චිත මූලික, පොලී සහ ගාස්තුවලට මුහුන දීමයි.”

තවත් උදාහරනයක් නම් ධනේශ්වර ආර්ථික විද්‍යාඥයන් විසින් වසර කිහිපයකට පෙර ඉදිරිපත් කරන ලද සැලැස්මේ ඉරනමයි. 1980 ගනන්වල සහ 1990 ගනන්වල එතරම් විනාශකාරී බලපෑමක් ඇති කල විදේශ නය මත යැපීම සඳහා විසඳුමක් ඇති බව ඔවුහු කියා සිටියහ. එහි අදහස වූයේ රටවල් තම දේශීය මුදල්වලින් නය ගත යුතු බවයි.

වෝල් ස්ට්‍රීට් ජර්නලයේ මෑත ලිපියක එහි ප්‍රතිඵල කිහිපයක් විස්තර කර ඇත. “දේශීය මුදල් නය, දැන් බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල ශේෂ පත්‍රවල විශාලතම ඉවතට ගලායාම” බව එය සඳහන් කලේය.

පසුගිය වසරේ රාජපක්ෂ ආන්ඩුව බිඳ වැටෙන විට, ශ්‍රී ලංකාව සිය ආදායමෙන් සියයට 40කට ආසන්න ප්‍රමානයක් දේශීය මුදල් නය සඳහා පොලී ගෙවීම සඳහා වැය කරමින් සිටියේය.

2022 දී, ඝානා රජය විසින් නිකුත් කරන ලද තුන් මස් භාන්ඩාගාර බිල්පත් සඳහා පොලී අනුපාතිකය  සියයට 36 දක්වා ඉහල ගිය බැවින්, ඝානාව එහි ආදායමෙන් තුනෙන් එකක් දේශීය නය සඳහා වැය කලේය. දේශීය නය සඳහා වූ පොලී ගෙවීම් සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා වියදම් කල මුලු  ප්‍රමානයට වඩා වැඩි ය.

පකිස්ථානයේ, දේශීය මුදල් නය මත ගෙවීම් මේ වසරේ රජයේ ආදායමෙන් අඩකට වඩා වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 ගාසා තීරයේ ජනතාව මත එල්ල කරන සමූල ජන ඝාතක ම්ලේච්ඡත්වය, ධනේශ්වර පර්යාය “දෙපා මතම කුනුවීමේ” ප්‍රතිඵලය බව ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැහැදිලි කර ඇත. මූල්‍ය පද්ධතිය නිර්දයව, පසුතැවිලි විරහිතව තලා අඹරාගන පෙරට ඇදීම හරහා බිලියන සංඛ්‍යාත ජනතාවක් මත ඇති කරන සමාජ හා ආර්ථික විනාශය ගැන ද එයම කිව හැකිය.

මෙම සමාජ ක්‍රමයේ මරනාන්තික වේදනාවෙන් නැගෙන දුර්ගන්ධය කෙතරම් ප්‍රබලද යත්, 20 වැනි සියවසේ මුල් භාගයේ දී පුපුරා ගිය භීෂනය  පාලනය කල හැකිය යන  මිත්‍යාව නිර්මානය කිරීම සඳහා දෙවන ලෝක යුද්ධයෙන් පසු පිහිටුවන ලද ආයතනවල සමහර ඉහල ස්ථානගත පුද්ගලයින්ගේ නාස්පුඩු තුලට එය හමන්නට පටන් ගන ඇත.

පසුගිය ගිම්හානයේදී, පැරිසියේ පැවති දේශනයකදී, එක්සත් ජාතීන්ගේ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්, “ගෝලීය මූල්‍ය ව්‍යූහය යල් පැන ගිය, අක්‍රිය හා අයුක්ති සහගත” බවත්, “සාගින්න සහ දරිද්‍රතාවය පිලිබඳ මූලිකම ඉලක්ක පවා දශක ගනනාවක ප්‍රගතියෙන් පසු ආපසු හැරවී ඇති බවත් ප්‍රකාශ කලේය.”

එහෙත් ක්‍රියාවට නැංවෙන තුරු බලා සිටින විසඳුමක් ධනවාදයට නැත. පසුගිය කාලපරිච්ඡේදයේ ඇති වූ සාපේක්ෂ ප්‍රගතිය ගෙවී ගිය යුගයක ප්‍රතිඵලයකි.

ධනේශ්වර අධිරාජ්‍යවාදය දැන් එහි අත්‍යාවශ්‍ය ලක්ෂන තත්‍ය කාලීන (real time) හෙලි කරමින් සිටී. එය ප්‍රතිසංස්කරනය කල නොහැක. දියුනු ධනේශ්වර රටවල කම්කරු පන්තියේ සහ දරිද්‍රතාවයෙන් පෙලෙන ජාතීන් තුල මිලියන සංඛ්‍යාත මහජනතාවගේ ඒකාබද්ධ අරගලය මගින් පෙරලා දැමිය යුතුය.

අඩු ආදායම්ලාභී ජාතීන් නය ආපසු ගෙවීම් පිළිබඳ වාර්තාවක් තබයි Read More »

Gaza

ඇමරිකාවේ ජන සංහාරය: සමූහ ඝාතනයන් සහ ජනඝාතක පාරම්බෑම මධ්‍යයේ, ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරයට එ.ජ ලබා දෙන සහයෝගය තවත් ගැඹුරු කරයි

ආන්ඩ්‍රේ ඩේමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 22 දින පල වූ ‘Amid mass executions and genocidal rhetoric, US deepens support for Israeli onslaught on Gaza‘ යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි. 

ඊශ්‍රායලය ගාසා තීරයේ සිවිල් සිරකරුවන් සමූහ වශයෙන් මරාදැමීම සිදුකරන බවට වන වාර්තා සහ ඊශ්‍රායල දේශපාලකයන්ගේ ජන සංහාරක අභිලාෂයන් පිළිබඳ විවෘත ප්‍රකාශ මධ්‍යයේ, එක්සත් ජනපදය විසින් පලස්තීන සිවිල් වැසියන්ට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට දක්වනු ලබන සහයෝගය  දෙගුණ කර ඇත. මුළු ලෝකයේම ඇස් ඉදිරිපිට ගාසා තීරයේ ලේ වැගිරීම “ඇමරිකාවේ ජන සංහාරයක්” ලෙස මතුවෙමින් තිබේ.

Gaza
2023 දෙසැම්බර් 21 වැනි බ්‍රහස්පතින්දා ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ ස්ථාන ගත වන ආකාරය, දකුණු ඊශ්‍රායලයේ සිට පෙනෙන පරිදි [AP ඡායාරූපය/ ඔහාඩ් ස්විගන්බර්ග් ]

බදාදා, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝ-මෙඩ් මානව හිමිකම් නිරීක්‍ෂන ආයතනය විසින් උතුරු ගාසා තීරයේ සිවිල් වැසියන් සමූහ වශයෙන් ඝාතනය කිරීම ගැන ඊශ්‍රායල හමුදාවලට චෝදනා කරමින් වාර්තා පළ කරන ලදී. උතුරේ ඉතිරිව සිටින සියලුම මාධ්‍යවේදීන් පලවා හැරීමෙන් හෝ මරා දැමීමෙන් ඉවත් කර ඇති ඊශ්‍රායලය, බෝම්බ හෙලීම හරහා සිවිල් වැසියන් සමූල ඝාතනය කිරීමේ සිට නීති විරෝධී ලෙස මරණ දණ්ඩනය දීම දක්වා ගමන් කර ඇත.

මෙම යුධ අපරාධ, ඊශ්‍රායෙල නිලධාරීන් ජන සංහාරයට පක්ෂව විවෘතව පෙනී සිටීම සමඟ අත්වැල් බැඳ පැමිණ ඇත. මෙකී ජනඝාතන සඳහා ඍජු ලෙස පෙනී සිටීම තවදුරටත් ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ “අමලෙක්” ආයාචනය වන් හුදු බයිබලීය සඳහන්වල ආවරනයෙන් මුවා කළ ඒවා නොව, යුදෙව්වන්ගේ නාසි ජන සංහාරය අනුගමනය කිරීමට කෙරෙන සෘජු කැඳවුම් වේ:

  • ඉරිදා ගුවන්විදුලි සම්මුඛ සාකච්ඡාවකදී ඊශ්‍රායලයේ ප්‍රාදේශීය මෙටුලා කවුන්සිලයේ ප්‍රධානී ඩේවිඩ් අසූලායි පැවසුවේ, ගාසා තීරය “අවුෂ්විට්ස්” [දෙවන ලෝක යුද්ධ සමයේ දී යුදෙව්වන් මිලියනයක් පමණ ඝාතනය කරන ලද , පෝලන්තයේ පිහිටි නාසි වධ කඳවුරක්] අයුරින් පෙනෙන්නට සැලැස්විය යුතු බවයි. ඔහු පැවසුවේ, “ගාසාවේ සිටින සියලු දෙනාටම මුහුදු වෙරළට යන්න කියන්න. නාවික හමුදාවේ නැව් මගින් ත්‍රස්තවාදීන් ලෙබනනයේ වෙරළට පැටවිය යුතුය. අවුෂ්විට්ස්හි මෙන් මුළු ගාසා තීරයම හිස් කර සමතලා කළ යුතුය,” යනුවෙනි.
  • රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී ඊශ්‍රායලයේ කාන්තා අභිවෘද්ධතා අමාත්‍ය මීරි ගෝලාන් පැවසුවේ, “මම  ගාසාවට කුමක් වුවත් සලකන්නේ  නැහැ. .. මට ඔවුන් සියලු දෙනා පිට කර දමා පීනන්න දැම්මත් මට කාරියක් නැහැ.” ඇය ඊට ම එක් කළේ, “මට ගාසා තීරය පුරාම ත්‍රස්තවාදීන්ගේ මළ සිරුරු දැකීමට අවශ්‍යයි” යනුවෙනි.
  • බටහිර ඉවුරේ ඊශ්‍රායල ජනාවාසයක හිටපු නගරාධිපති සහ ඊශ්‍රායල පදිංචිකරුවන්ගේ ව්‍යාපාරයේ නායිකාවක් වන ඩැනියෙලා වයිස් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ, ඊශ්‍රායලයේ ඉලක්කය වන්නේ “ගාසා තීරය පුරාම  යුදෙව් ජනාවාස පිහිටුවීම සඳහා” සූදානම් කිරීමට, “ගාසාව අරාබිවරුන්ගෙන් නිදහස්” කර ගත යුතු බවයි.

ඊශ්‍රායලය ගාසා තීරයේ මිලියන 2.2 ක ජනතාව හාමතේ තබයි. සඳුදා හියුමන් රයිට්ස් වොච් සංවිධානය ඊශ්‍රායලයට චෝදනා කළේ, “යුද උපායක් ලෙස සිවිල් වැසියන් කුසගින්නේ තැබීමේ අපේක්ෂාවක්” ඔවුන්ට ඇති බවයි. ලෝක ආහාර වැඩසටහනට අනුව, “ඉතා දරුණු සාගිනි මට්ටම්” අත්විඳින ගාසා වැසියන්ගේ කොටස සියයට 24 සිට සියයට 44 දක්වා ඉහළ ගොස් ඇත.

මෙම පසුබිමට එරෙහිව, එක්සත් ජනපදය ඊශ්‍රායලයේ ජන සංහාරය සඳහා එහි නිශ්චිත සහයෝගය ගැඹුරු කර ඇත. බදාදා මාධ්‍ය හමුවකදී , වාර්තාකරුවෙකු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්ගෙන්  ඉල්ලා සිටියේ “ලෝකයේ බොහෝමයක් එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට දොස් පවරමින් සිටින” සහ “එය ඇමරිකාවේ යුද්ධයක් ලෙස දැකීම” යන කාරනය පිළිබඳව අදහස් දක්වන ලෙසයි.

බැරෑරුම් ලෙස, බ්ලින්කන් ඊශ්‍රායලය “ඇමරිකාවේ යුද්ධය” දියත් කරන බවට කෙරුණු ප්‍රකාශයෙන් දුරස් වීමට උත්සාහ කළේ නැත. ඒ වෙනුවට, ඔහු එහි බර දෙගුණ කළේය:

හමාස් සංවිධානය සිවිල් වැසියන් පිටුපස සැඟවී සිටීම නවත්වන ලෙසත්, ආයුධ බිම තබන ලෙසත්, යටත් වන ලෙසත් කිසිවෙකු ඉල්ලා සිටිනු මට කිසිසේත් ම ඇසෙන්නේ නැත. හමාස් එසේ කළහොත් මෙය හෙටින් ඉවර වනු ඇත, හමාස් එසේ කළේ නම්, මෙය මාසයකට පෙර, සති හයකට පෙර ඉවර වන්නට තිබුණි. .. ආක්‍රමණිකයාට ඉල්ලීම් ඉදිරිපත් නොකරන අතර වින්දිතයාට පමණක් ඉල්ලීම් ඉදිරිපත් කිරිම සිදු වන්නේ කෙසේද?

ඊශ්‍රායල ආන්ඩුව , ගැටුමේ “ගොදුර” බවට බ්ලින්කන් කරන තිරසාර ප්‍රකාශය ප්‍රතික්ෂේප කිරීමට පවා නොවටිනා තරමේ විකාරයකි. ඔක්තෝබර් 7දා හිතාමතාම මිලිටරි සහ බුද්ධිමය තොරතුරු පිළිබඳ නොතකා හැරීමක් සැකසීමෙන් පසුව, නෙතන්යාහු ආන්ඩුව එදින මරා දැමූ සෑම ඊශ්‍රායල ජාතිකයෙකුටම ගාසා වැසියන් 25ක් වශයෙන් සංහාරය කර ඇත. තමන් පීඩාවට පත් කරන සහ ආධිපත්‍යය දරන පලස්තීනුවන්ගේ “ගොදුරක්” ලෙස තමා හඳුන්වා ගැනීමට ඔක්තෝබර් 7 ප්‍රහාරයන් ඩැහැ ගන්නා අතර ම, නෙතන්යාහු ආන්ඩුව පියවර ගෙන ඇත්තේ ඊශ්‍රායල කෘෂිකර්ම ඇමති අවි ඩික්ටර් ” ගාසා නක්බා  2023″ ලෙස හැඳින්වූ දෙය, එනම්, ගාසා තීරය වාර්ගිකව ශුද්ධ කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාවට නැංවීමට ය.

තුන්වන රීචයේ නිලධාරීන් සමඟ පමණක් සැසඳිය හැකි මට්ටමේ නරුම කමකින් යුතුව බ්ලින්කන් ප්‍රකාශ කළේ, ඊශ්‍රායලයේ ඉලක්කය ගාසා තීරයේ ජනගහනය සමූලඝාතනය කිරීම නොව ඔවුන් ආරක්ෂා කිරීම බවයි. “සිවිල් වැසියන් ආරක්ෂා කිරීම, හානිය අවම කිරීම සහ ඔවුන් වෙත ලැබෙන ආධාර උපරිම කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, ඊශ්‍රායලය නැවතත් සිය මෙහෙයුම් සිදු කරයි” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

“ඔබට රතු ඉරක් තිබේද?” යනුවෙන්, ඊශ්‍රායලයට කොපමණ පිරිසක් සංහාරය කිරීමට ඉඩ දෙන්නේද යන්න සම්බන්ධයෙන්, පසු විපරම් ප්‍රශ්නයක දී බ්ලින්කන්ගෙන් අසන ලදී. මෙයට බ්ලින්කන් පිළිතුරු දුන්නේ, එක්සත් ජනපදය “මෙය සම්පූර්ණ කරනු දැකීමට අදහස් කරන” බවයි.

බ්ලින්කන්ගේ ප්‍රකාශය සිදුවූයේ, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මැතිවරණ ප්‍රචාරක උත්සවයකදී, ඊශ්‍රායලය විසින් “වගවිභාගයකින් තොරව බෝම්බ ප්‍රහාර” – ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධයක් –  සිදු කරනු ලබන බව පිළි ගැනීමෙන් හා, ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍යවරයා “සියලු පලස්තීනුවන්ට එරෙහිව පළිගැනීමේ” මං සොයන බව පිළි ගැනීමෙන් පසුව ය.

යමෙකු බයිඩන් සහ බ්ලින්කන් විසින් දක්වන ලද අදහස් එකතු කළහොත්, එහි පැහැදිලි නිගමනය වන්නේ, “සියලුම පලස්තීනුවන්ට එරෙහිව …. පළිගැනීම” ඇත්ත වශයෙන්ම “ඇමරිකාවේ යුද්ධය” බවයි; වඩාත් නිවැරදිව කිවහොත්, එය ඇමරිකාවේ ජන සංහාරය බවයි.

මෙම සමස්ත ක්‍රියාවලිය පුරා ම, පලස්තීනුවන් සමූහ වශයෙන් ඝාතනය කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන් තුළ මැදිහත්වීම් කරන අතරම, එක්සත් ජනපදය ජන සංහාරය සඳහා මූල්‍ය, ප්‍රවර්ධනීය සහ මිලිටරිමය සහාය ලබා දී ඇත. පසුගිය වසරේ එක්සත් ජනපදය, දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු ලබා දුන් ඩොලර් බිලියන 260 ට අමතර ව, ඊශ්‍රායලයට ඩොලර් බිලියන 3.3 ක ආර්ථික ආධාර ලබා දුන්නේය. පසුගිය සති 10 තුළ, එක්සත් ජනපදය ඊශ්‍රායලයට සන්නද්ධ වාහන, යුද්ධ ආයුධ සහ පතොරම් ඇතුළු මිලිටරි උපකරණ ටොන් 10,000 ක් ලබා දී ඇත. එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ගාසා තීරය හරහා ඩ්‍රෝන නිරීක්ෂණ ගුවන් ගමන් සිදු කර ඇති අතර එක්සත් ජනපද නිලධාරීන් භූමියේ ක්‍රියාත්මක වන බවට වාර්තා පවා තිබේ.

ඊටත් වඩා බැරෑරුම් ලෙස, එක්සත් ජනපදය යුද්ධයේ සටන් විරාමයක් ඉල්ලා සිටින ඕනෑම ආරක්ෂක කවුන්සිල යෝජනාවක් නිශේධ කිරීමට පොරොන්දු වී ඇති අතර, එහි එක්සත් ජාතීන්ගේ තානාපති ලින්ඩා තෝමස්-ග්‍රීන්ෆීල්ඩ් ප්‍රකාශ කළේ, “මේ මොහොතේ ඇති කෙරෙන ඕනෑම සටන් විරාමයක් සැලකූ කල, එහි හොඳ ම එක තාවකාලික ද, නරක ම එක භයානක ද වනු ඇත,” යනුවෙනි.

එක්සත් ජනපදය ගාසා තීරයේ ජන සංහාරයට සහාය දැක්වීමට ගැඹුරින් මුල් බැසගත් සහ මූලික හේතු තිබේ. පළමුව, ලෝක ආධිපත්‍යය සඳහා පැවැත්මේ අරගලයක් ලෙස එය දකින දෙයෙහි කොටසක් ලෙස, චීනය, රුසියාව සහ ඉරානය මත ආධිපත්‍යය දැරීම ඉලක්ක කරගත්, මැද පෙරදිග කලාපය තුළ විශාල මිලිටරි උත්සන්න කිරීමක් සිදු කිරීමට එක්සත් ජනපදය පැහැදිලිවම තීරණය කර ඇත. මැද පෙරදිග කලාපයේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආරක්ෂක රාජ්‍යයක් ලෙස සිද්ධිදායක අයුරින් ක්‍රියා කරන ඊශ්‍රායලය මෙම සැලැස්මේ තීරනාත්මක සංරචකයකි.

දෙවනුව, වැඩෙන වැඩ වර්ජන ව්‍යාපාරයක් සහ වැඩෙන දේශීය දේශපාලන විරුද්ධත්වයක් මධ්‍යයේ, බයිඩන් පරිපාලනය උත්සාහ කරන්නේ කැරලිකාර නාගරික ප්‍රදේශ සමඟ සමූහ මිනීමැරුම් හරහා ගනුදෙනු කිරීමේ පූර්වාදර්ශයක් නිර්මාණය කිරීමට ය. අභ්‍යන්තර දේශපාලන අර්බුදය ආඥාදායකත්වය හරහා විසඳීමට උත්සාහ කරන එක්සත් ජනපද කතිපයාධිකාරයේ එම කන්ඩායම්, ගාසා තීරයේ ජන සංහාරය පෙරහුරුවක් ලෙස සලකයි.

අවසාන වශයෙන්, ජන සංහාරය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව දැවැන්ත මර්දනයක් ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව බවට පත්ව ඇත. යුරෝපය පුරා උද්ඝෝෂන පෙලපාලි තහනම් කර ඇති අතර, හුදෙක් සියොන්වාදයට විරුද්ධ වීම නිසා විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. එක්සත් ජනපදයේ, විශ්ව විද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම් විසුරුවා හැර ඇති අතර, එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියට විරුද්ධ වීම නිසා ශාස්ත්‍රාලිකයන්ට සහ සිසුන්ට ඔවුන්ගේ තනතුරු අහිමි වී ඇත.  “පලස්තීනයට සහය දැක්වීමේ සාමකාමී ප්‍රකාශ ඇතුළු ආරක්ෂිත කථනයන් අනවශ්‍ය ලෙස ඉවත් කිරීම සහ මර්දනය කිරීමේ රටාව” ලෙස හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් හැඳින්වූ, සමාජ මාධ්‍ය ජාල අන්තර්ජාල වාරණයේ කුරිරු තන්ත්‍රයක් ක්‍රියාත්මක කර ඇත.

ගාසා තීරයේ ජන සංහාරයට එරෙහි අරගලය, එය සක්‍රීය කරන අධිරාජ්‍යවාදී ආන්ඩුවලට එරෙහි සටන බවට වන නොවැළැක්විය හැකි නිගමනය, මෙම යථාර්ථයෙන් පැන නගී.

“ධනවාදී සමාජය එහි ජීර්ණය නොකළ ම්ලේච්ඡත්වය වමනය කරමින් සිටී,” යැයි 20 වැනි සියවසේ ෆැසිස්ට්වාදයේ නැගීම විස්තර කරමින් ලියොන් ට්‍රොට්ස්කි ලිවීය. ගාසා ජන සංහාරය නියෝජනය කරන්නේ එම ක්‍රියාවලිය ම ය. ඇමරිකාව මූලික කරගත් ධනේශ්වර සමාජ පර්යාය, සිය මිනීමරු ම්ලේච්ඡත්වය මුළු ලෝකය ඉදිරියේ ප්‍රදර්ශනය කරමින් සිටී. මෙම සමාජ පර්යාය මනුෂ්‍යත්වයට පිරිනමනු ඇත්තේ සමාජ අසමානතාවය, යුද්ධය සහ සමූහ මිනීමැරුම් හැර අන් කිසිවක් නොවේ.

එම හේතුව නිසා, ගාසා තීරයේ ජන සංහාරයට එරෙහි සටන, කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම හරහා සමාජය සමාජවාදී ලෙස පරිවර්තනය කිරීමේ අරගලය බවට පත් වී ඇත. යුද්ධයට එරෙහි දේශපාලන මහා වැඩවර්ජනයක් සඳහා ක්‍රමානුකූලව සූදානම් වීමේ කොටසක් ලෙස, ඊශ්‍රායලයට යැවෙන මිලිටරි භාවිතයක් සහිත කවර හෝ භාණ්ඩයක් නැව්ගත කිරීම වැලැක්වීමට කම්කරුවන් නැව් තටාකවල සහ ගුවන් තොටුපලවල වැඩ වර්ජන සූදානම් කළ යුතුය.

ඇමරිකාවේ ජන සංහාරය: සමූහ ඝාතනයන් සහ ජනඝාතක පාරම්බෑම මධ්‍යයේ, ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරයට එ.ජ ලබා දෙන සහයෝගය තවත් ගැඹුරු කරයි Read More »

Gaza

මහා සාගතය මධ්‍යයේ ගාසා සමූල ජනඝාතනයෙන් මියගිය සංඛ්‍යාව 20,000 ඉක්මවයි

ආන්ඩ්‍රේ ඩේමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 23 දින පල වූ ‘Gaza genocide death toll tops 20,000 amid mass starvation’ යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද  ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත  විසිනි.

ගාසාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිකුරාදා ප්‍රකාශයකට අනුව ගාසා තීරයේ ඊශ්‍රායලයේ ජන සංහාරයෙන් මියගිය සංඛ්‍යාව 20,057 ක් විය.  අතුරුදහන් වූ 7000ක පිරිස අතරින් බොහෝ දෙනා සුන්බුන් යට වැළලී ඇති බව සැලකිල්ලට ගත් විට, සැබෑ මරණ සංඛ්‍යාව දැනටමත් 25,000 ඉක්මවා ඇත.

Gaza
2023 දෙසැම්බර් 22 වැනි සිකුරාදා, පලස්තීනුවෙක්, දකුණු ගාසා හි රෆා රෝහලේදී, ගාසා තීරයේ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයෙන් මියගිය තම මුනුබුරාගේ දේහය රැගෙන යයි. [AP ඡායාරූපය /ෆාතිමා ෂ්බෙයාර්]

යන්තම් මිලියන 2 කට වැඩි ජනගහනයකින් 20,000-25,000 ක මරණ සංඛ්‍යාවක් යනු පසුගිය මාස දෙකහමාරක කාලය තුළ ගාසා තීරයේ පුද්ගලයින් 100 කින් එකකට වඩා මරා දමා ඇති බවයි. මෙය එක්සත් ජනපදයේ මිලියන 3.3 ක ජනතාවකට සමාන වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ පුද්ගලයින් 50,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් , ඔවුන්ගෙන් 5,000 ක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන හෙයින් ප්‍රතිකාර සඳහා විදේශගත නොකළහොත් මරණයට පත්වීමේ අවදානමක් පවතින බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු වන අෂ්රොෆ් අල්-කුද්‍රා  පැවසුවේ ගර්භනී කාන්තාවන් 50,000 ක් සහ ළමුන් 900,000 ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බවයි. අවශ්‍ය ආධාර වලින් පනහෙන් එකක් පමණක් ගාසා තීරයට ගමන් කරන බව ඔහු පැවසීය.

බ්‍රහස්පතින්දා එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කළේ ගාසා තීරයේ ජනගහනයෙන් හතරෙන් එකක් හෝ 500,000 කට අධික ජනතාවක් කුසගින්නේ සිටින බවයි. “සාගින්නෙන් ගාසා තීරය විනාශ වෙමින් පවතින අතර, මෙය ළමුන්, ගැබිනි සහ කිරි දෙන කාන්තාවන් සහ වැඩිහිටි පුද්ගලයින් අතර වඩාත් උග්‍ර ලෙස , ගාසා තීරය පුරා රෝගාබාධ වැඩි කරනු ඇතැයි අපේක්ෂා කෙරේ” යනුවෙන් එක්සත් ජාතීන් සිය වාර්තාවේ ලියා ඇත.

ජනගහනයෙන් සියයට 93ක් “ අර්බුද මට්ටමේ කුසගින්නට” මුහුන දී සිටින බවත්, නිවාස හතරකින් එකක්  “ව්‍යසනකාරී තත්වයේ ” සාගින්නට  දී සිටින බවත් , එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කරන අතර,  එය නිගමනය කළේ, “සාගින්න, දරිද්‍රතාවය සහ මරණය පැහැදිලි.” බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, “WHO කාර්ය මණ්ඩලය පවසන්නේ ඔවුන් ගාසා තීරයේ කතා කළ සෑම පුද්ගලයෙකුම කුසගින්නේ පසුවන බවයි.” ඔවුන් තවදුරටත් කියා සිටියේ, “අපි ගාසා තීරයේ වෛද්‍ය සැපයුම් ලබා දෙමින් ගමන් කරද්දී.  ඒ ආහාර යැයි බලාපොරොත්තුවෙන් මිනිසුන් අපගේ ට්‍රක් රථ වෙත දිව එනවා ”

පාචනය රෝගීන් 100,000 කට වඩා වාර්තා වී ඇත. ඉන් අඩක් අවුරුදු පහට අඩු ළමුන් වන අතර, එය , ඊශ්‍රායල් ප්‍රහාරයට පෙර පැවති ප්‍රමාණයට වඩා 25 ගුණයක වැඩි වීමකි.

එක්සත් ජාතීන් සදහන් කළේ, “නිරෝගී ශරීරයකට මෙම රෝග සමඟ පහසුවෙන් සටන් කළ හැකි වුවත් , ක්ෂය වූ සහ දුර්වල වූ ශරීරයක් ඒ සමග සටන අසීරු වනු ඇත. කුසගින්න ශරීරයේ ආරක්ෂාව දුර්වල කරන අතර රෝග සඳහා දොර විවර කරයි. “අද ගාසා තීරයේ සාමාන්‍යයෙන් සෑම පුද්ගලයන් 4,500 කටම ඇත්තේ එක් ෂවරයක් (වතුර මලක්) සහ සෑම 220කටම ඇත්තේ එක වැසිකිළියක්” බවත්, “මෙම තත්ත්වයන් නිසා බෝවන රෝග පැතිරීම නොවැළැක්විය හැකි” බවත් ,එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  වාර්තාව සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ සහ පර්යේෂණ, තක්සේරු කිරීම් සහ අධීක්ෂණ අධ්‍යක්ෂ අරිෆ් හුසේන් AP පුවත් වෙත විශ්මය ජනක ප්‍රකාශයක් කරමින්, ගාසා තීරයේ මහා සාගින්න  ඔහුගේ ජීවිත කාලය තුළ ඔහු දුටු දරුණුතම දෙය බව ඇඟවුම් කළේය. “එය මීට වඩා නරක අතට හැරෙන්න විදියක් නැත,” ඔහු පැවසුවේය, “ගාසා තීරයේ සිදුවන පරිමාණයේ දෙයක් මම කවදාවත් දැකලා නැහැ.මෙවැනි වේගයකින්.”

ගාසා තීරයේ පදිංචිකරුවන් මිලියන 1.9 ක් හෝ ජනගහනයෙන් ආසන්න වශයෙන් සියයට 80 ක් අවතැන් වී ඇත. උතුරු ගාසා තීරයේ ක්‍රියාත්මක රෝහල් නොමැති අතර, මුළු රටේම සෞඛ්‍ය මධ්‍යස්ථාන නවයක් පමණක් අර්ධ වශයෙන් ක්‍රියාත්මක වේ.

සිකුරාදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ගාසා තීරයට මානුෂීය ආධාර ලබා දිය යුතු බවට යෝජනාවක් සම්මත කළේය. පසුගිය මාස දෙක තුළ එක්සත් ජනපදය සටන් විරාමයක් ඉල්ලන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනා දෙකකට එරෙහිව  නිෂේධ බලය යොදා ඇත. සටන් විරාමයක් කැඳවීම සඳහා වන සියලුම වාක්‍ය කෙටුම්පතෙන් ඉවත් කිරීමෙන් පසුව සහ ඒ වෙනුවට “සතුරුකම් තිරසාර ලෙස නැවැත්වීම සඳහා කොන්දේසි නිර්මානය කිරීම සඳහා ඉල්ලා සිටි” විට පමනක් , එක්සත් ජනපදය මෙවර ඡන්දය දීමෙන් වැළකී සිටි යේය. එක්සත් ජනපදය නිෂේධ බලය භාවිතා නොකිරීමේ භාෂාව (වැකි) සොයා ගැනීම පිළිබඳ කේවල් කිරීමේ සාකච්ඡා, සඳුදා සිට සිකුරාදා දක්වා ඡන්දය ඇදගෙන ගියේය. 

ආරක්ෂිත සහ බාධාවකින් තොරව මානුෂීය ප්‍රවේශයට ඉඩ දීම සඳහා ඉදිරිවාදීකම් වල හදිසි අත්හිටුවීම සහ ඉදිරිවාදීකම් තිරසාර ලෙස නැවැත්වීම සඳහා හදිසි පියවර ගැනීම” කැඳවූ  කලින් වූ භාෂාව, එක්සත් ජනපදය එය නිෂේධ කිරීම වැළැක්වීම සඳහා ඉවත් කරන ලදී. “හදිසි සහ තිරසාර සතුරුකම් නැවැත්වීම” ඉල්ලා රුසියාව විසින් කරන ලද යෝජනාවකට, පක්ෂව ඡන්ද 14 න් 10 ක් ලැබුණද, එක්සත් ජනපදය විසින් නිෂේධනය කරන ලදී, 

රුසියාවේ එක්සත් ජාතීන්ගේ තානාපති වාසිලි නෙබෙන්සියා එක්සත් ජනපදයට චෝදනා කළේ ” ‘සතුරුකම් නැවැත්වීම සඳහා කොන්දේසි නිර්මානය කිරීමේ’ කඩතුරාව යටතේ ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් ඝාතනය කිරීම සදහා  ඊශ්‍රායලයට හරයාත්මක බලපත්‍රයක් පාඨයට ඇතුළත් කිරීමට බලකිරීම” ගැන ය.

සිකුරාදා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසුවේ ඊශ්‍රායලය සිය මෙහෙයුම ක්‍රියාත්මක කරන ආකාරය ගාසා තීරයේ “මානුෂීය ආධාර බෙදා හැරීමට දැවැන්ත බාධක නිර්මාණය කරන” බවයි. ගුටරෙස් පැවසුවේ “ලෝකයේ ඕනෑම තැනක සිටින දැඩි කුසගින්නෙන් පෙළෙන පුද්ගලයින්ගෙන් පස් දෙනෙකුගෙන් හතර දෙනෙක් ගාසා තීරයේ” ​​වන බවයි.

“දින පහක් තිස්සේ සිදුකළ හිතාමතා ප්‍රමාදයන් සහ දියාරු කිරීම් වලින් පසු සටන් විරාමයක් ඉල්ලා සිටීමට යෝජනාව අපොහොසත් වීම තේරුම්ගත නොහැකි සහ සම්පූර්ණයෙන්ම නිර්දය ක්‍රියාවකි, ”ඔක්ස්ෆෑම් පුණ්‍යායතනයේ ප්‍රකාශක සාලි අබි-ඛලීල් පැවසීය. “එය සාමය පවත්වා ගැනීම සහ ජීවිත ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ආරක්ෂා කිරීම සඳහා පිහිටුවා ඇති සංවිධානයක වගකීම් පැහැර හැරීමකි.” 

“ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දැන් සාගතයේ අවදානමක් ලඹ දෙමින් තිබියදී කුසගින්නෙන් පෙළෙන –  මිලියන දෙකකට අධික පලස්තීනුවන් මාස දෙකහමාරකට ආසන්න කාලයක් තිස්සේ විඳදරාගත් නිර්දය බෝම්බ ප්‍රහාරවලින් සහ වැටලීමෙන් ලිහිල් වීමක් ලබා ගැනීම, එය  සක්‍රීයව වළකා ලයි.”

මෑත පෙරදිග පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සියේ (UNRWA) හිටපු ප්‍රධාන ප්‍රකාශක ක්‍රිස්ටෝපර් ගනෙස් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ( UNSC ) යෝජනාව ” සමූල ජන ඝාතනය සදහා කොළ එළියක් ” බවට අල් ජසීරා වෙත ප්‍රකාශයක් කරමින් චෝදනා කළේය. ගාසා තීරයේ සමූලඝාතනය “ඇමරිකානු-ඊශ්‍රායල් සමූල ජන ඝාතනයක් – එය හුදෙක් ඊශ්‍රායල ජන සංහාරයක් නොවන” බව ගනෙස් පැවසීය.

“ඇමරිකාව ඊශ්‍රායලයට වාර්ෂිකව ඩොලර් බිලියන 4 ක මිලිටරි ආධාරයක් සපයන්නා  සේම – අද රාත්‍රියේ අප දුටු  පරිදි – ජාත්‍යන්තර මානුෂීය නීතිය තොග පිටින් සහ මහා පරිමාණයෙන් නොතකා හැරීම මගින් සලකුනු කෙරෙන , සමූල ජන ඝාතනය දිගටම කරගෙන යාමට ඊශ්‍රායලයට රාජ්‍ය තාන්ත්‍රික හා දේශපාලන ආවරණයක් ලබා දීමද,  එය සිදු කරයි” ගනෙස් අල් ජසීරා වෙත පැවසීය.

ගනෙස්  නිවැරදිය. බදාදා මාධ්‍ය හමුවකදී, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් බ්ලින්කන් ගාසා තීරයට ඊශ්‍රායලයේ ප්‍රහාරය “ඇමරිකාවේ යුද්ධය” ලෙස දැකීම ගැන ලෝකයට අදහස් දක්වන ලෙස ඉල්ලා සිටියේය. බ්ලින්කන් මෙම ගුනාංගීකරනයට විරුද්ධ නොවූ අතර, ඒ වෙනුවට ඔහු, එක්සත් ජනපද ආන්ඩුව “මෙය සම්පූර්ණ කිරීම දක්වාම දැකීමට අදහස් කරන” බව ප්‍රකාශ කළේය.

මහා සාගතය මධ්‍යයේ ගාසා සමූල ජනඝාතනයෙන් මියගිය සංඛ්‍යාව 20,000 ඉක්මවයි Read More »

Gaza

ගාසා වැසියන් 10 දෙනෙකුගෙන් 9 දෙනෙකුට ආහාර හිඟ බව වාර්තා වෙයි

ආන්ඩ්‍රේ ඩේමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 12  දින පල වූ ‘As Israel’s genocide continues, 9 in 10 Gazans report lack of food’ යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද  ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි. 

ඊශ්‍රායලය ගාසා තීරයේ මිනිසුන්ට එරෙහිව බෝම්බ හෙලීම, කුසගින්න සහ වාර්ගික ශුද්ධ කිරීම දිගටම කරගෙන යද්දී, කුසගින්න වසංගත මට්ටමට ළඟා වී තිබේ. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන වාර්තා කරන ලද්දේ , ගාසා තීරයේ පුද්ගලයන් 10 දෙනෙකුගෙන් නව දෙනෙකුම කුසගින්නෙන් නින්දට යන බවයි.

Gaza
2023 නොවැම්බර් 8 බදාදා ,දකුණු ගාසා තීරයේ රෆාහි දී , ආහාර බෙදා හැරීම සිදුවන තුරු, පලස්තීනුවන් එකට රැස්ව බලා සිටියහ. ඊශ්‍රායලය, ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භයේ සිටම , ගාසා තීරුව පුරා පැතිරීගිය සාගින්නක් ඇතිකරමින්, එම ප්‍රදේශයට ඇතුළු කිරීමට අවසර දී ඇති ආහාර සහ ජලය ප්‍රමාණය සීමා කර ඇත. [AP Photo/හැටම් අලි ]

ජනගහනයෙන් අඩකට වඩා – සියයට 63 කට වඩා – දින ගණනාවක් ආහාර නොමැතිව සිටින බව වාර්තා වේ. පලස්තීන සරණාගතයින් සඳහා වගකිව යුතු එක්සත් ජාතීන්ගේ සංවිධානය වන UNRWA (පලස්තීනය සඳහා එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනය) ට්විටර් හි ප්‍රකාශයක ලියා ඇත්තේ,”කුසගින්න සෑම කෙනෙකුම පසුපස හඹා යයි,” “ගාසා තීරයේ බොහෝ දෙනෙක් දැන් දින දෙක තුනක් තිස්සේ ආහාර ගෙන නැත.” යනුවෙනි.

එක්සත් ජාතීන්ගේ ආහාර පිළිබඳ විශේෂ වාර්තාකරු මයිකල් ෆක්රි , අල් ජසීරා අරාබි සේවයට දුන් සම්මුඛ සාකච්ඡාවකදී, “ගාසාවේ සිටින සෑම පලස්තීනුවෙක්ම කුසගින්නේ සිටින” බව පැවසු අතර, ගාසාවේ ජනගහනය සමූල ඝාතනය කිරීම “ජන සංහාරයක්” ලෙස ඔහු විසින් හඳුන්වන ලදී. 

මෙම වාර්තා සටහන් වන්නේ, සටන් විරාමයක් සදහා ඉල්ලා සිටින එක්සත් ජාතීන්ගේ යෝජනාවක්, එක්සත් ජනපදය විසින් සිකුරාදා නිශේධ බලය යොදා ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවය. මෙම සතියේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී නොබැඳි සටන් විරාම යෝජනාවක් සම්මත කිරීමට අපේක්ෂා කෙරේ. මේ අතර එක්සත් ජනපදය ජන සංහාරය විවෘතව අනුමත කරමින් අර්බුදයට “මිලිටරි” විසඳුමක් ඉල්ලා සිටීම දෙගුණ කර ඇත. 

“ඔක්තෝබර් 7 ප්‍රහාර සැලසුම් කර ක්‍රියාත්මක කළ හමාස් සංවිධානයේ නායකත්වය ඉවත් කිරීමටත්, ඊශ්‍රායලයට ඇතුළු වී එම ප්‍රහාර එල්ල කළ සටන්කාමීන් ඉවත් කර ගැනීමටත් යුදමය විසඳුමක් තිබිය හැකි යැයි අපි සිතමු,” යනුවෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මැතිව් මිලර් දැනුවත් කිරීමකදී පැවසීය.

මෙම ප්‍රකාශය සිදුවූයේ,” හමාස් තවමත් ජීවතුන් අතර සිටිද්දී, හා තත්වය තවමත් නොවෙනස්ව පවතිදිදී, මේ මොහොතේ සටන් විරාමයක් ඇති වූවොත්, නැවත නැවතත්, ඔක්තෝබර් 7 වෙනිදා, පුනරුච්චාරණය කිරීමේ ප්‍රකාශිත අභිප්‍රාය ඇති හෙයින, සරලව, ගැටලුව දිගටම පවතිනු ඇත.” යනුවෙන් එ.ජ. රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්ගේ ඉරිදා කල ප්‍රකාශයෙන් අනතුරුවය.

සඳුදා වොෂින්ටන් පෝස්ට් වාර්තා කළේ, ජනාකීර්ණ ප්‍රදේශවල ගිනි අවුළුවන සුළු [ සුදු පොස්පරස් ] අවිය භාවිතා කිරීම තහනම් කරන ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින්, ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය එක්සත් ජනපදය සැපයූ සුදු පොස්පරස් යුධෝපකරණ භාවිතා කළ බවයි. සති ගනනාවක් තිස්සේ වීඩියෝ පට වලින් පෙන්නුම් කර ඇත්තේ ඊශ්‍රායලය ජනාකීර්ණ ප්‍රදේශවලට සුදු පොස්පරස් වැසි පතිත කරන ආකාරයයි. මෙම වාර්තාව කෙරෙන්නේ, කොංග‍්රස් මණ්ඩලයේ අවසරය මග හරිමින් , ඊශ‍්‍්රායලයට ඩොලර් මිලියන 100ක් වටිනා ටැංකි පතොරම් යැවීමට  ධවල මන්දිරය විසින් සිකුරාදා නිවේදනය කිරීමෙන් පසුවය.

සඳුදා, ගාසා තීරයට බෝම්බ හෙලීමෙන් මියගිය සංඛ්‍යාව 18,205 දක්වා ඉහළ ගිය අතර, දළ වශයෙන් තවත් 7,000 ක් තවමත් අතුරුදහන් වී ඇති අතර සුන්බුන් යට වැළලී ඇත.  ජීවිතය පවත්වාගැනීමට උපකාර කිරීම සඳහා වූ සියලු යටිතල පහසුකම් විසුරුවා හැරීම මධ්‍යයේ, පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු ඇඟවූයේ  බෝවන රෝග වලට ගොදුරු වූවන් 325,000 ක් සිටින බවයි. එයින් අදහස් කරන්නේ ගාසා තීරයේ මිනිසුන් හය දෙනෙකුගෙන් එක් අයෙකු එවැනි රෝගයකින් රෝගාතුර වී ඇති බවයි, 

දේශසීමා නොමැති වෛද්‍යවරුන් (Doctors Without Borders) සඳහා ගාසා හි හදිසි සම්බන්ධීකාරක  නිකලස් පැපක්රිසොස්ටොමෝ , අල් ජසීරා වෙත පැවසුවේ, “රෆා හි අනෙකුත් සෑම රෝගියෙකුටම වැසි සහ සීතල තත්වයන් මධ්‍යයේ ශ්වසන ආසාදන තිබේ. සමහර නවාතැන් ස්ථානවල, පුද්ගලයන් 600 ක් එක් වැසිකිළියක් බෙදා ගනී. අපි දැනටමත් බොහෝ පාචන රෝගීන්  දකිමු. බොහෝවිට වැඩිපුරම පීඩාවට පත් වෙන්නේ ළමුන්ය.” යනුවෙනි.

“දෙසැම්බර් 11 වන දින, ගාසා තීරයට උතුරින් බෙයිට් ලහියා හි කමල් ඇඩ්වාන් රෝහලේ මාතෘ අංශයට පහර වැදී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මව්වරුන් දෙදෙනකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති” බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක මණ්ඩලය ගාසා තීරයේ සෞඛ්‍ය සේවා පද්ධතියේ සම්පූර්ණ බිඳවැටීමක් ගැන අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.  “ගාසාවේ සෞඛ්‍ය පද්ධතිය දණින් වැටී කඩා වැටෙමින් පවතින අතර, නරක අතට හැරෙන තත්ත්වය සහ සීත සෘතුව වෙත ළඟා වීමත් සමඟ අවදානම තවත් නරක අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කරන ” බව , ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසන ලදී.

“වැඩි වැඩියෙන් මිනිසුන් , කුඩා හා කුඩා ප්‍රදේශයකට සංක්‍රමණය වන විට, ප්‍රමාණවත් ආහාර, ජලය, නවාතැන් සහ සනීපාරක්ෂාව නොමැතිකම සමඟ ජනාකීර්ණ වීම රෝග පැතිරීමට සුදුසුම තත්වයන් නිර්මාණය කරයි,” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.

එක්සත් ජාතීන් වාර්තා කළේ: “වාර්තා වූ පරිදි, , ඊශ්‍රායල හමුදා විසින් උතුරේ සහ ගාසා නගරයේ ,අභ්‍යන්තරව අවතැන් වූවන් (IDPs) සඳහා නවාතැන් ලෙස සේවය කරන පාසල් මෙන්ම පෞද්ගලික නිවාස වැනි පොදු ස්ථානවල රැඳී සිටි පිරිමින් සහ පිරිමි ළමයින් සිය ගණනක් රඳවා තබා ගත් බවයි . වාර්තා වන අන්දමට, රැඳවියන්ගේ යට ඇඳුම් තෙක් ඇඳුම් ගලවා, මාංචු දමා, පහරදීම්, හිරිහැර කිරීම්, කටුක කාලගුණයට නිරාවරණය කිරීම සහ මූලික අවශ්‍යතා ප්‍රතික්ෂේප කිරීම වැනි දේවලට යටත්ව විවෘත ස්ථානවල දණින් වැටී හිඳීමට නියෝග කරන ලදී.”

හියුමන් රයිට්ස් වොච් හි ඊශ්‍රායල හා පලස්තීන අධ්‍යක්ෂ ඕමාර් ෂාකීර්,ප්‍රකාශයක් නිකුත් කරමින්,  මෙම දරුණු යුද අපරාධය හෙළා දුටුවේය. “ගාසා තීරයේ ඇඳුම් ගලවා, ඇස් බැඳ, රඳවා සිටින පලස්තීන මිනිසුන්ගේ කම්පන සහගත ඡායාරූප ඊශ්‍රායල හමුදාව විසින් ප්‍රකාශයට පත් කිරීම ‘පුද්ගලික අභිමානය පිළිබඳ කෝපය දල්වන’- යුද අපරාධයකට සමාන අමානුෂික සැලකිල්ලක්”වන අතර, ඔවුන් “අපරාධකරුවන් ලෙස ගණන් ගත යුතුයි.” යනුවෙන් සකීර් සඳුදා ලිවීය. 

ඔක්තෝබර් 7 වැනිදා සිට මේ දක්වා පලස්තීන මාධ්‍යවේදීන් 81ක් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මිය ගොස් ඇති අතර වෛද්‍ය සේවකයන් 296ක් මිය ගොස් ඇත. සඳුදා, අල් ජසීරා මාධ්‍යවේදියෙකු වන අනාස් අල්-ෂරීෆ් අරමුනු කරගත්, උතුරු ගාසා තීරයේ ජබාලියා සරණාගත කඳවුරේ පිහිටි ඔහුගේ නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අතර එමඟින් ඔහුගේ පියා මිය ගියේය. අල් ජසීරා පැවසුවේ මෙම ඝාතනය සිදු වූයේ “පසුගිය නොවැම්බරයේ [අල්-ෂරීෆ්] විසින් ඔහුගේ රාජකාරිය ඉටු කිරීම වළක්වා ගැනීමේ උත්සාහයක් ලෙස ඔහුට ලැබුණු තර්ජන මාලාවකින් පසුව” බවයි.

මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සඳහා වූ කමිටුව ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වූයේ, “ගාසාවේ මාධ්‍යවේදීන්ට කරන තර්ජන වාර්තා කරන ආකාරය සහ පසුව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මරා දැමීමේ රටාව පිළිබඳව දැඩි ලෙස තැතිගන්වන” බව ප්‍රකාශ කරමිනි. “ගාසා තීරයේ මාධ්‍යවේදීන්ගේ පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීම නිසා මාධ්‍යවේදීන්ට වාර්තා කිරීම දිගටම කරගෙන යාමට නොහැකි තරම්ය, මන්ද දැන් අවදානම ඔවුන්ගෙන් ඔබ්බට ගොස් ඔවුන්ගේ ආදරණීයයන් ද ඇතුළත් කර ගැනීමයි.” එය තවදුරටත් සදහන් කලේය.

ඊශ්‍රායලයේ සමූහ මිනීමැරුම සමූහ අවතැන් වීමත් සමඟ සිදු වේ. උතුරු ගාසා තීරයෙන් මුළු ජනගහනයටම ඉවත් වන ලෙස නියෝග කිරීමෙන් පසුව, ඊශ්‍රායල හමුදාව විසින් දකුණු ගාසා තීරයෙන් තවත් සියයට 30ක් අනිවාර්යයෙන් ඉවත් කිරීම සඳහා ලකුණු කර ඇත. ඊජිප්තුව සමඟ රෆා දේශසීමා හරස් මාර්ගය ආසන්නයේ ජරා සරණාගත කඳවුරුවල සිරවී සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් තව තවත් දකුණට ගොඩ ගැසෙමින් සිටින අතර, එමගින් ඊශ්‍රායල දේශපාලඥයින් විසින් ගාසා වැසියන් අවතැන් කරන ලෙස ඉල්ලා ඇත.

ගාසා වැසියන් 10 දෙනෙකුගෙන් 9 දෙනෙකුට ආහාර හිඟ බව වාර්තා වෙයි Read More »

Gaza

ගාසා ජන සංහාරයේ දැවැන්තභාවය දර්ශනය වීම ඇරඹේ

ආන්ඩ්‍රේ ඩේමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 නොවැම්බර් 26 දින පල වූ ‘Vast scale of Gaza genocide comes into view’ යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

මාස දෙකක කාල පරාසයක් පුරා , ඊශ්‍රායලය විසින් සිදු කළ බෝම්බ හෙලීමේ සහ ගාසා තීරය ආක්‍රමණය කිරීමේ ප්‍රථම විවේකයෙන් දින තුනකට පසු, ලොව විශාලතම අපරාධ ස්ථානය වන ගාසා තීරයේ සිවිල් ජනතාව හිතාමතාම සමූල ඝාතනය කිරීමේ සාක්ෂි වාර්තාගත කිරීමට චිත්‍රපට කාර්ය මණ්ඩල පටන් ගෙන තිබේ.

ගාසා තීරයට එරෙහිව ඊශ්‍රායල ප්‍රහාරයේ “විරාමයක්” “මාධ්‍යවේදීන්ට ගාසා තීරයට පුළුල් ප්‍රවේශයක් ලබා දෙන අතර එහි විනාශය තවදුරටත් අනාවරණය කිරීමට සහ ඊශ්‍රායලයට එරෙහිව මහජන මතය හැරවීමට” අවස්ථාව සැලසෙනු ඇති බවට ධවල මන්දිරය “කනස්සල්ලට” පත්ව ඇති බව පසුගිය සතියේ පොලිටිකෝ ( Politico) වාර්තා කළේය.

ඉන්දුනීසියානු රෝහල විනාශ වී ඇත, එහි පරිශ්‍රයට විශාල හානියක් වී රෝගීන් ඒ තුළ සිරවී සිටී.

ඔවුන් එලෙස ම කර තිබේ. සති අන්තයේ පලවූ අල් ජසීරා හි ස්ථානීය වාර්තාවක් ගාසාහි ඉන්දුනීසියානු රෝහලේ දර්ශනය විස්තර කළ පරිදි: “මරණයේ දුර්ගන්ධය මිනිසුන්ට තම නාසය වසා ගැනීමට බල කරයි, පිළිස්සුණු, කුණුවූ මළ සිරුරු, ඔවුන් අතර සිටින දරුවන්, එක් මුල්ලක ගොඩගැසී ඇත. ඊශ්‍රායල ස්නයිපර්වරු මිනීවළක් හෑරීමට ගිය අය ඉලක්ක කළ නිසා මිහිදන් කිරීමක් සිදු වී නොමැත. වීදි, පාසල්, නිවාස, කඩ සාප්පු, ආදී සියල්ල ඊශ්‍රායල ප්‍රහාර මගින් විනාශ කර දමා ඇත.”

පලස්තීන සෞඛ්‍ය බලධාරීන් ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව ඉක්මවා සදහන් කළේ යයි, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් කී බොරුව මෙම වාර්තා මගින් මුලුමනින්ම හෙලිදරව් කර ඇත. ඇත්ත වශයෙන්ම, බයිඩන් පරිපාලනය  නිල මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අවතක්සේරු කිරීමක් කළ බව දැන් පිළිගනී.

සෞඛ්‍ය සේවා බිඳවැටීම හේතුවෙන් ,මියගිය අය ගණන් කිරීම කළ නොහැකි වීම හේතුවෙන් ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අවසන් නිල මරණ සංඛ්‍යාව ප්‍රකාශයට පත් කර සති දෙකක් ගත වී ඇත. කෙසේ වෙතත්, බදාදා ප්‍රකාශයට පත් කරන ලද රජයේ ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ නවතම නිල නොවන ගණන් කිරීම ඇස්තමේන්තු කර ඇත්තේ ළමුන් 6,000 ක් සහ කාන්තාවන් 4,000 ක් ඇතුළුව පුද්ගලයින් 14,352 ක් මරා දමා ඇති බවයි.

පලස්තීන චිත්‍රපට නිෂ්පාදක බීසාන් ඔව්ඩා ගාසා තීරයේ සමාජ මාධ්‍ය වාර්තා කිරීම ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් ආකර්ෂණය කරගෙන ඇති අතර, යථාර්ථය වඩාත් පැහැදිලිව පෙන්වා දෙයි: “ඔබ දැනගත යුතු ගාසාවේ සංඛ්‍යා: දින 50 ක් තුළ 20,000 ක් මිනිසුන් ඝාතනය කර ඇත – ඔවුන්ගෙන් 7,000 ක් තවමත් සුන්බුන් යට ය – ඔවුන්ගෙන් 8,000 ක් ළමයින් ය- ඔවුන් සියල්ලෝම සිවිල් වැසියෝ ය.

ගාසා හි නිලධාරීන්ට අනුව, නිවාස ඒකක 233,000 ක් හෝ ගාසා තීරයේ නිවාසවලින් අඩක් පමණ විනාශ වී හෝ හානි වී ඇත. පාසල් 266කට බෝම්බ හෝ මිසයිල ප්‍රහාර එල්ල වූ අතර ඉන් 67ක් විනාශ වී ඇත. ඊශ්‍රායලය විසින් සෞඛ්‍ය සේවා සපයන්නන් 205ක් සහ මාධ්‍යවේදීන් 64ක් මරා දමා ඇත. මරණ සංඛ්‍යාවේ වඩාත්ම කැපී පෙනෙන අංගය වන්නේ කාන්තාවන් සහ ළමුන් අතර සිදුවන දැවැන්ත මරණ පරිමානයයි.

Gaza
2023 නොවැම්බර් 26 ඉරිදා, ගාසා තීරයේ ඛාන් යුනිස් ප්‍රදේශයට නැගෙනහිරින් පිහිටි ඛුසා ( Khuzaa ) ගම්මානයේ පලස්තීන මවක් වන හියම් කුඩිහ්, ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයෙන් විනාශ වූ ඇගේ පවුලේ ගොඩනැගිල්ල ඉදිරිපිට ආහාර පිසීම කරන ආකාරය. [AP ඡායාරූපය/අදෙල් හනා ]

ඉරිදා ගාඩියන් පත්‍රයේ පළ වූ ලිපියක සඳහන් වූයේ, තමන් හමාස් සටන්කරුවන් 1000ත් 2000ත් අතර ප්‍රමාණයක් මරා දැමූ බව ඊශ්‍රායලය ප්‍රකාශ කරන බවයි. මෙය සත්‍ය වුවද, එයින් අදහස් වන්නේ මරා දමන ලද සෑම සටන්කරුවෙකු සඳහාම ඊශ්‍රායලය දරුවන් තිදෙනෙකු හෝ හය දෙනෙකු මරා දමා ඇති බවත්, මියගිය අයගෙන් සියයට 85ත් 92ත් අතර ප්‍රමාණයක් සිවිල් වැසියන් බවත්ය.

මෙම ඉරිදා, නිව් යෝර්ක් ටයිම්ස් විසින් මුල් පිටුවේ පළ කළේ, ගාසා යුද්ධයේ දී කාන්තාවන් සහ ළමුන් අතර දැවැන්ත මරණ සංඛ්‍යාව පිළිබඳව සැලකීමේදී, 21 වන සියවසේ ඊට සමාන වූ පූර්වාදර්ශයක් නොමැති බවයි.

“ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිවිල් වැසියන්ගේ මරණ කනගාටුදායක නමුත් නූතන ගැටුමේ දී, එය නොවැළැක්විය හැකි අංගයක් බව ප්‍රකාශ කර ඇත… නමුත් අතීත ගැටුම් සමාලෝචනය කිරීම සහ තුවාල ලැබූවන් සහ ආයුධ විශේෂඥයින් සමඟ සම්මුඛ සාකච්ඡා කිරීමේදී, ඊශ්‍රායලයේ ප්‍රහාරය වෙනස් බව අදහස් කරයි.”

ද ටයිම්ස් සටහන් කලේ : “එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛනවලට අනුව, වසර දෙකකට ආසන්න රුසියානු ප්‍රහාරවලින් පසුව, යුක්‍රේනයේ මියගිය බව තහවුරු වූ ප්‍රමාණයට වඩා දෙගුණයකටත් වැඩි ප්‍රමාණයක් දැනටමත් ගාසා තීරයේ දී ඝාතනය කර ඇති” බවයි.

බොහෝ ප්‍රතිරෝධක සටන්කරුවන් පිරිමින් වුවද, ගාසා තීරයේ වාර්තා වන සියලුම මරණවලින් සියයට 70 ක් කාන්තාවන් සහ ළමයින් බව වාර්තාව තවදුරටත් පවසයි. “උදාහරණයක් ලෙස, ඊශ්‍රායලය සහ හමාස් අතර ඇති වූ අතීත ගැටුම්වලදී, ගාසා තීරයේ වාර්තා වූ මරණවලින් සියයට 60ක් පමණ පිරිමින් විය,” ටයිම්ස් ලිවීය.

ඊශ්‍රායලය රාත්තල් 2,000ක බෝම්බ භාවිතා කිරීම මගින් , 21 වැනි සියවසේ පෙර පැවති යුද්ධවල දක්නට ලැබුණු ඕනෑම දෙයක් පරයා යන බව එම ලිපියේ සඳහන් වේ. “ඊශ්‍රායලය ගාසා තීරයට හෙළන ලද යුද්ධායුධ වලින්, දළ වශයෙන් සියයට 90ක් චන්ද්‍රිකා මගින් මෙහෙයවන ලද රාත්තල් 1,000 සිට 2,000 දක්වා බරැති බෝම්බ” බව එක්සත් ජනපද හමුදා නිලධාරියෙකු උපුටා දක්වමින් ටයිම්ස් වාර්තා කරයි.

ටයිම්ස් මෙසේ ලියයි: “ ඊට වෙනස්ව, මෙම ශතවර්ෂයේ සටන්වලදී, එක්සත් ජනපද හමුදා නිලධාරීන් බොහෝ විට විශ්වාස කළේ, ඉරාකයේ මොසුල් සහ සිරියාවේ රක්කා වැනි නාගරික ප්‍රදේශවල ඉස්ලාමීය රාජ්‍යයට [ IS සංවිධානය] එරෙහි සටන්වලදී වඩාත් සුලභව යොදාගත් ඇමරිකානු ගුවන් බෝම්බ—රාත්තල් 500ක් බරැති— බොහෝ ඉලක්ක වල ප්‍රමාණයට වඩා විශාල වූ බව ය.

ටයිම්ස් ලිපිය, එය ප්‍රකාශයට පත් කරන සෑම දෙයක් මෙන්ම, ඇමරිකානු රාජ්‍ය අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා සකස් කර පරීක්ෂා කර ඇත. සිවිල් ජනතාව හිතාමතා ඉලක්ක කිරීම මගින් පමණක් පැහැදිලි කළ හැකි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන අතර, ටයිම්ස් මෙම ක්‍රියාවන් පලස්තීන සිවිල් වැසියන් ඝාතනය කිරීම බව පුන පුනා ප්‍රකාශ කරන ඊශ්‍රායල නිලධාරීන්ගේ ප්‍රකාශවලට කිසිවිටෙක සම්බන්ධ නොකිරීමට වගබලා ගනී.

මේ මස මුලදී, ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග්, “එහි සමස්ත ජාතියම වගකිව යුතු ය… සිවිල් ජනතාව දැනුවත් නොවීම සහ සම්බන්ධ නොවී සිටීම පිළිබඳ මෙම වාචාල කතාව සත්‍ය නොවේ. එය සම්පූර්ණයෙන්ම සත්‍යය නොවේ.”යනුවෙන් දකුණු ඊශ්‍රායලයේ ඔක්තෝබර් 7 ප්‍රහාරයට ගාසා තීරයේ සමස්ත ජනතාවම වගකිව යුතු බව ප්‍රකාශ කළේය.

“එය මහජනතාව නීත්‍යානුකූල ඉලක්ක බවට පත් කරනු ලබත් ද?” යනුවෙන් ඇසූ විට, හර්සොග් පිළිතුරු දුන්නේ, “ඔබේ මුලුතැන්ගෙයි මිසයිලයක් තිබෙන විට සහ ඔබට එයින් මට වෙඩි තැබීමට අවශ්‍ය වූ විට, මා ආරක්ෂා කර ගැනීමට මට අවසර තිබේද?” යනුවෙනි.

පසුගිය මාසයේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ, “අමලෙක් ඔබට කළ දේ ඔබ මතක තබා ගත යුතුයි”, “පිරිමියන් සහ ගැහැනුන්, ළමයින් සහ ළදරුවන්, ගවයන් සහ බැටළුවන්, ඔටුවන් සහ කොටළුවන් මරා දමන්න” යන බයිබලියානුකුල කොටසට ආයාචනා කරමිනි.

“අපි මිනිස් සතුන් සමඟ සටන් කරනවා, අපි ඒ අනුව ක්‍රියා කරනවා,” ආරක්ෂක අමාත්‍ය යොආව් ගැලන්ට් පසුගිය මාසයේ පැවසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්ගේ නිව්යෝර්ක් කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ ක්‍රේග් මොකිබර් පැහැදිලි කළ පරිදි: “ඊශ්‍රායල් ආන්ඩුවේ සහ හමුදාවේ නායකයින්ගේ පැහැදිලි ප්‍රකාශයන්, ඔවුන්ගේ අභිප්‍රාය  සැකයකට හෝ විවාදයකට ඉඩ නොතබයි,” එනම් ඊශ්‍රායලය “පොතේ හැටියට” සමූල ජන ඝාතනයේ යෙදී ගෙන ඇති බවයි.

වෙනත් වචන වලින් කිවහොත්, “ඊශ්‍රායලයේ ප්‍රහාරය මීට පෙර පැවති යුද්ධවලට වඩා වෙනස් ය” යන භාෂාව ටයිම්ස් විසින් භාවිතා කිරීම හුදෙක් සිවිල් ජනතාව අතර මරණ පරිමාණය පමණක් නොව,හිතාමතාම හැකිතාක් සිවිල් වැසියන් මරා දැමීමේ අරමුණක් ඇති බව පිළිගැනීමට ඊශ්‍රායල නිලධාරීන්ගේ කැමැත්ත ප්‍රකාශ කරයි. 

එපමනක් නොව, ඊශ්‍රායලය සිදු කර ඇති සෑම දෙයක්ම, එය බයිඩන් පරිපාලනය සමඟ සම්බන්ධීකරණය කර ඇත. එය විසින් ගාසා තීරයට හෙළා ඇති රාත්තල් 2000ක බෝම්බ සියල්ලම එක්සත් ජනපදයේ නිෂ්පාදිත ඒවා වන අතර පෙන්ටගනය විසින් සපයන ලදී. ඊශ්‍රායලයේ සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආස්ථානයෙන්, “විරාමයේ” එක් අරමුනක් වන්නේ බිඩෙන් පරිපාලනය උනන්දුවෙන් ක්‍රියාත්මක කරන ඊශ්‍රායල මිලිටරියට යලි [ අවි ආයුධ] සැපයීමයි.

මේ අතර, ටයිම්ස් පුවත්පත ගාසා තීරයේ ජනගහනයට එරෙහි ඊශ්‍රායලයේ ප්‍රහාරය ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය තුල එක්සත් ජනපද ආක්‍රමණයෙන් ඈත් කිරීමට උත්සාහ කරන අතර, ගාසාවේ ජන සංහාරය සනිටුහන් කරන්නේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අපරාධවල දිගුවක් හා ප්‍රසාරනයකි. මෙම යුද්ධය මිලියන 1 කට අධික ජනතාවක් මරා දැමූ අතර රාජ්‍ය ප්‍රතිපත්තිය ලෙස ඊට පැහැර ගැනීම සහ ස්ත්‍රී දූෂණය භාවිතා කිරීම ඇතුලත් විය.

මෙම දැවැන්ත අපරාධ සඳහා සිරගත වීම තබා, තේරී පත් වූ එකදු නිලධාරියෙකුට හෝ හමුදා නිලධාරියෙකුට චෝදනා එල්ල නොවීය. දැන්, ගාසා තීරයේ විනාශයේ දසුන් පෙන්නුම් කරන පරිදි, එක්සත් ජනපදය හා ලෝක අධිරාජ්‍යවාදය ඊටත් වඩා විශාල පරිමාණයෙන් අපරාධ සිදු කරමින් සිටින අතර අනාගතය සඳහා තවත් විශාල අපරාධ සූදානම් කරමින් සිටී.

ගාසා තීරයේ ජන සංහාරය නැවැත්වීමට සමාජවාදී ඉදිරිදර්ශනයකින් සන්නද්ධ ජාත්‍යන්තර කම්කරු පන්තියේ මහා යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම අවශ්‍ය වේ. මෙම ව්‍යාපාරයේ ප්‍රධාන ඉල්ලීමක් විය යුත්තේ, ඊශ්‍රායල සිවිල් සහ හමුදා නිලධාරීන් පමණක් නොව, වොෂින්ටන්, පැරිස්, ලන්ඩන් සහ බර්ලිනයේ නායකයින් ද ඇතුළුව මෙම යුද අපරාධවලට වගකිව යුතු අය යුද අපරාධ සම්බන්ධයෙන් නඩු කටයුතු වලට යටත්  කිරීමයි.

ගාසා ජන සංහාරයේ දැවැන්තභාවය දර්ශනය වීම ඇරඹේ Read More »

Munnel

“මනල්” (වැලි) චිත්‍රපටයේ අධ්‍යක්ෂ විසාකේස චන්ද්‍රසේකරම් සමඟ හෝරාවක්

නන්දන නන්නෙත්ති විසිනි.

ලොව ප්‍රමුඛතම සිනමා උලෙල ත්‍රිත්වයෙන් එකක් ලෙස සැලකෙන නෙදර්ලන්තයේ 52වන රොටඩෑම් අන්තර් ජාතික සිනමා උලෙලේ “ටයිගර් තරගකාරී අංශය” නියෝජනය කරමින්, මෙතෙක් මේ උලෙල සදහා ඉදිරිපත් කල කිසිදු ශ්‍රී ලාංකික චිත්‍රපටයකට ලබා ගැනීමට නො හැකි වූ එහි වැදගත්ම සම්මානයක් වන ටයිගර් ජූරි සම්මානයට හිමිකම් කී සහ, 2023 වසරේ තවත් අන්තර් ජතික සිනමා උලෙල 10කට ඉදිරිපත් කර සම්මාන තුනක් ද, දෙරන ලක්ස් සිනමා උලෙලේ “හෙට දිනයේ සිනමා කෘතිය” සම්මානය ද හිමි කර ගත් “මනල්” (වැලි) නොවැම්බර් 3දා සිට ශ්‍රී ලංකාවේ තෝරාගත් සිනමාහල් කිහිපයක පමනක් සීමා සහිත වාර ගනනක් ප්‍රදර්ශනය කෙරුනි. සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂ  විසාකේස චන්ද්‍රසේකරම් මෙම සිනමා කෘතිය අධ්‍යක්ෂනය කර තිබේ.

Visakesa
අධ්‍යක්ෂ විසාකේස චන්ද්‍රසේකරම්

මනල්, වසර 27ක උතුරු-නැගෙනහිර යුද්ධයේ වධ වේදනාවලින් පසු ජයග්‍රාහී වර්ගවාදී රාජ්‍ය හමුදාවලට කොටු වී, රුදුරු වැලි කතරේ ජීවිතය සඳහා පොර බදන මිනිසුන්ගේ කතාවයි.

සිය මවගේ හුදකලා, එහෙත් අප්‍රතිහත ධෛර්යයෙන්, කල අරගලය නිසා නිදහස ලබන දෙමල සටන්කරුවෙකු වන රුද්‍රන්, සිරගෙයින් පිටතට පා තබන්නේමත්, අතුරුදන් වූ සිය පෙම්වතියගේ ඡායාරූපයක් පැලඳ ගෙන ය. එහි “දුටුවාද?” යන ප්‍රශ්නය සටහන් ව ඇත. ඔහු සිරගතව කරනු ලැබ තිබුනේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ආන්ඩුවේ ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් ලබා ගන්නා ලද කටඋත්තර සාක්ෂි ලෙස යොදාගෙන ය.

Mun
“මනල්” (වැලි)

නිදහස් වූ දින සිට රුද්‍රන් සිය මන බැඳි අවිහිංසක යුවතිය, වානි සොයා ගැනීමට සියලු වෙහෙස දරයි. ශාස්ත්‍රකාරියක් වන ඔහුගේ මව, සෙල්ලම්මා, සෙසු ගම් වැසියන්ගේ අතුරුදන් වූ ඥාතීන් ගැන ශාස්ත්‍ර කීමෙන් ජීවත් වන නමුත්, සිය පුතුගේ ආදරවන්තිය ගැන කීමට ඇය අපොහොසත් ය. මිනිස්සු සිය ඥාතීන් ඉල්ලා කෝවිල් හා දේවාල තුල පිරෙති. රුද්‍රන් දෙවියන් විශ්වාස නො කරයි. එහෙත් සියලු උත්සාහයක් අසාර්ථක ව අසරන වූ ඔහුට දෙවියන් යදින්නට අවසානයේ සිදු වේ. එල්ටීටීඊ සැකකාරියක් ලෙස සිරගතව සිට නිදහස ලැබූ වානි සිය පවුල සමග ගමට එන්නේ මේ අතරතුර ය. ඒ රුද්‍රන්ගේ ප්‍රේමවන්තියයි. ඇය නිහඩ ය. දුක්බර ය. සිත රුද්‍රන්ට ය. එහෙත් අනාරක්ෂිත ය. නිදහස අහිමි ය. රුද්‍රන් බලා සිටිය දී ඇගේ දෙමාපියෝ වානි ඔස්ට්‍රේලියාවට පටවති.

ද සෝෂලිස්ට් වෙබ් අඩවිය චන්ද්‍රසේකරම් සමග මනල් ඇතුලු ඔහුගේ නිර්මාන කාර්යය සම්බන්ධව සංවාදයක යෙදුනේය. 

විසාකේස චන්ද්‍රසේකරම් (විසා):          

මනල් චිත්‍රපටයෙ මතු පිටින් තියෙන්නෙ පුද්ගලික, මානුෂික ප්‍රශ්නයක්. එක පැත්තකින් යුද්ධයෙන් ජය ගත් ලංකාවේ හමුදාවේ සහ රාජ්‍ය යන්ත්‍රනයෙන් පීඩාවට පත් වීමත්, අනික් අතට එම සමාජය තුලම මිනිසුන් මුහුන දෙන පීඩනයත් යන මේ  දෙක තුල තමයි මිනිසුන් ජීවත් වෙන්නේ.

නන්දන නන්නෙත්ති (නන):   

ඔබ වෘත්තියෙන් නීතිඥවරයෙක්, විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් මේ අතර කලාවට ඔබේ ප්‍රවිශ්ඨය සිදු වුනේ ඇයි? කෙසේ ද? එයින් ඔබ බලාපොරොත්තු වුනේ කුමක් ද? සමාජ දේශපාලන ප්‍රවනතා නියෝජනය කරන ප්‍රවනතාත්මක කලා නිරිමාන සඳහා ඔබේ යොමු වීමට විශේෂිත හේතුවක් තිබේ ද?

විසා::         

සාමාන්‍ය පෙල කලාට පසු මට චිත්‍රපට කිහිපයක ම සහාය අධ්‍යක්ෂකවරයෙකු ලෙස වැඩ කිරීමට අවස්ථාව ලැබෙනවා. මට චිත්‍රපට කලාවට පැවති උනන්දුව යටපත් කරන්න සිදු වුනා, අධ්‍යාපන අවශ්‍යතා හා රැකියාවක් කිරීමට ඇති වුවමනාව නිසා. නමුත් විශ්ව විද්‍යාලය තුල කෙටි නාට්‍ය කලා. ශුද්ධ කලා එනම් භරත නාට්‍ය වගේ දේ පවා මම කර තිබෙනවා. පසුව විශ්ව විද්‍යාලයෙන් පිටවෙන්න ඔන්න මෙන්න වගේ ප්‍රථම දිගු නාට්‍යය “තහනම් අඩවිය” ලියනවා. ඒක එල්ටීටීඊ සංවිධානයේ සිය දිවි නසා ගන්නා බෝම්බකරුවෙකු පිලිබඳ කතාවක්. එහි ඉංග්‍රීසි පිටපතට ග්‍රේෂියන් සම්මානය හිමි වෙනවා. ඉන් වසර 4කට පමන පසු මගේ දෙවන නාට්‍යය “දේවදාසි” නමින් එලි දක්වනවා. ඒක කඳුකරයට ගෙන අවුත් පදිංචි කරවන ලද වතු කම්කරුවන් සම්බන්ධ කතාවක්. මෙය සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා ද්වයෙන් ම නිර්මානය කරනවා. “කටු යහන”  2004 අග දී නිෂ්පාදනය වෙනවා. එය LGBTIQ, එනම් සමකාමී ආදරය, පිලිබඳ කතාවක්. පසුව Tigers Don’t Confess නමින් නවකතාවක් ලියා පල කරනවා. “සයපෙති කුසුම” සිංහල චිත්‍රපටය, “රජ සහ ඝාතකයා” නව කතාව, ඊට පසු පාංශු චිත්‍රපටය. අවසානයට කල මනල් අවුරුදු 14ට පෙර ලියු කතාවකින් කල චිත්‍රපටයක්.

නන:

ඔබේ අවසන් චිත්‍රපට දෙක නම්වලට යොදා ගත්තේ “පාංශු” (පස්) සහ “මනල්” (වැලි) යන සංකල්ප රූපයි. මේ නාමකරනයන් ඒ චිත්‍රපටවල ආකෘතියෙන් හා අන්තර්තයෙන් ගලා අවුත් ඇති බව අපට හොදටම දැනෙනවා.   

Paangshu
“පාංශු” (පස්)

විසා:

“පාංශු” සමූහ මිනී වලක පස්වලට යට කරපු සිද්ධියක්. ඒ සැඟවූ දේ එලියට ගැනීමට සමාජයේ පවතින පසුබෑම, ඒ පිටුපස තියෙන අධ්‍යාත්මික සංකල්ප – පාංශුකූලය වගේ පුරුදුවලින් එන – මේ හැම දේම බල පෑවා. “මනල්” වලදීත් පයට පෑගෙන වැලි දූවිලි කියන අදහස, ඒ තරමටම පුද්ගලයන් සමාජයේ පහත් කොට සලකනවා කියන එක. ඒ වගේම මූදෙ වැලි කනවා කියන එක බඩගින්නට. එලෙස ඉතාම දුෂ්කර ලෙස ජීවිතය නැවත ලබා ගත් ජන කොටසක් ගැන කියවෙන කතාවක්. ඒ වාගෙම මිනිස්සු මේ වැල්ලේ පෙරලෙනවා, වැල්ලෙ චිත්‍ර අදිනවා, නේකාකාර දේවල් සිද්ධ කරනවා. පඨවිමය ද්‍රව්‍ය මේ චිත්‍රපටයේ රූපවලට ගෙන ඒම දේශපාලන අදහසක් ඉස්මතු කිරීම සඳහා හිතා මතා කල දෙයක්. එමෙන්ම, එය අමු දේශපාලනය නො වේ, සෞන්දර්යාත්මක ව්‍යායාමයක්. ඒ එක්කම, යම් කිසි ආකාරයකට පුද්ගලයන්ගේ අධ්‍යාත්මික විශ්වාස – spirituality – ගැන පිටතින් සිට බලන කෙනෙක් ලෙස මම දකින දේ ප්‍රතිනිර්මානය කිරීමක් සඳහා මේ සංකල්ප යොදා ගෙන තියෙනවා.

නන:

මනල් චිත්‍රපටයේ දී, ප්‍රේම වෘත්තාන්තයක් තුලින් යුද්ධයේ සිදු වීම්, විශේෂයෙන් එල්ටීටීඊ අභිලාෂයන් හා සාමාන්‍ය ජනතාවගේ අභිලාෂයන් අතර යම් පරස්පර විරෝධතාවක් සමහර තැන්වලින් ඉස්මතු වෙනවා. පෙම්වතිය සම්බන්ධ පෙම්වතාගේ සිත් කා වදින මතකයන්, විනෝද චාරිකා, ඉතා හුරතල් විදියට හැසිරුනු සෙසු අය මවිතයට පත් කල ඇගේ විශේෂී ගායනා හැකියාව; ඒ වගේ ම හොඳටම දැනෙන දෙයක්, යුද්ධය තුල ඔවුන් ඇද වැටෙන තත්වය. ඇය එල්ටීටීඊ පුහුනු වලදී දී එක ඇහැක් වපර බව පෙන්වා ඒකෙන් ගැලවෙන්න වැඩ කරපු හැටි. මේවා, යුද්ධය තුල ම පැවති පරස්පර විරෝධයන් අපට මුන ගස්වනවා. මේ අත්දැකීම කලාත්මකව ප්‍රතිනිර්මානය කර ගැනීම සිදුකලේ කෙසේ ද?

Munnel
මනල්

විසා:

මගේ වැඩ බොහොමයක් පුද්ගලික අත්දැකීම්වලින් පටන්ගන්න වැඩ. මේ අත්දැකීම් හරිම විස්තරාත්මකයි. හේතුව මට උතුරු නැගෙනහිර සම්බන්ධකම් තිබීම සහ නීති වෘත්තියේ දී ඒ පැතිවල වැඩ කරපු එක. එල්ටීටීඊ සංවිධානය හා ඒ පිරිස් සම්බන්ධයෙන් මට පැවති යම් කිසි ආකාරයේ දැනුම බලපානවා විශ්වාසනීයත්වය ඇති කර ගන්න. ඒ එක්කම මෙය වරද්දා නො ගැනීම සඳහා ඒවා සම්බන්ධයෙන් කරන ශාස්ත්‍රීය මට්ටමේ පර්යේෂනත් වැදගත් වෙනවා. මගේ පීඑච්ඩී තීසිස් එක ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ බලහත්කාරයෙන් ගන්නා පාපෝච්ඡාරන යොදා ගැනීම. අත්දැකීම සහ පර්යේෂනය කියන දෙකම වඩාත් වැදගත් වෙනවා කතාවක් විශ්වාසනීය විදියට කියන්න. තුන්වෙනුව, චිත්‍රපටකරනයේ දී තවත් කරුනක්, එම සිද්ධීන්ට මුහුන දුන් අය ලංකර ගැනීම. මම හැම වෙලාවෙම උතුරු නැගෙනහිර දැනට ජීවත් වන හෝ කලින් ජීවත් වෙලා අත්දැකීම් ඇති අය සම්බන්ධ කර ගත්තා. කාර්මික ශිල්පීන් පවා එහෙමයි ගත්තේ. විශ්වාශනීය විදියට මේ කතාව කියන්න ඒවා ප්‍රයෝජනවත් වුනා.

මම ප්‍රවනතාත්මක කලාවට යොමු වීමට හේතු කීපයක් තියෙනවා. එකක් මම ජීවත් වන අවධිය. නීති වෘත්තියෙන් ලැබෙන අවස්ථාව, සමාජයේ පවතින යටි පැත්ත වටහා ගන්න. කරපු හැම නිර්මානයක් පිටිපස්සෙම තියෙන්නෙ යටත් විජිතවාදී නීතිමය සම්බන්ධතා පිලිබඳ යම් කිසි ප්‍රශ්න කිරීමක්. මේ හැම නිර්මානයකම සෘජුව හෝ වක්‍රව ඒක තිබුන කියා මට හිතෙනවා.

නන:

පැහැදිලියි. නීතිය සම්බන්ධ ඔබේ අභියෝගය කුමක් ද?

විසා:

අවුරුදු 70ක් වෙනවා යටත් විජිතවාදයෙන් නිදහස ලැබිලා. කාර්මීකරනයත් සමඟ අපට ලැබුනු ධනවාදී ආයතන ව්‍යුහය ඉතා වැදගත්. දෙවනුව එය පවත්වා ගැනීමට අපට දීපු නීති ව්‍යුහය. ඒ නීති අපට ලබා දෙන්නේ අපේ පැවැත්මට නො වේ. ඔවුන්ගේ පැවැත්මටයි. කුමන තත්වයක් යටතේ වුවත් සුජාතභාවයක් නැති ආන්ඩුවක් පවත්වාගෙන යන්න සුජාතභාවයක් නැති නරුම නීති  අපට හඳුන්වා දී තිබෙනවා. නමට ප්‍රජාතන්ත්‍රවාදය තිබිය දී වැඩවසම්වාදයත් මෙහි ඉතිරි කර ගත්තා. වෙනස් ස්වරුපයකින් වැඩවසම් ක්‍රමයත් පවත්වාගෙන යනවා. යටත් විජිත කාලයේ රදල සමාජ ක්‍රමය මුලිනුපුටා දමන්නෙ නැහැ.

නන:

මෙම වෙහෙස කර කලාත්මක නිර්මානාත්මක ශ්‍රමය සමග ගත් කල, ප්‍රේක්ෂකාගාරය ඉතා සීමිතයි. චිත්‍රපටය කර්මාන්තයක් ලෙසයි සලකන්නේ. ඒක ලාභය මත දුවන්නේ. උගත් විනිශ්චය මන්ඩලවල ඉහල ඇගයීම නො තකා මෙම සීමිත භාවය ඇති වුනේ මාර්කටින් දුර්වල වූ නිසා ද?

විසා:

මනල් චිත්‍රපටයට මාකටින් තිබුනෙ නැහැ ම කියන්න බෑ. දෙරන සම්මානය නිසා අපට හම්බවුනා  ලක්ෂ 50ක ටෙලිවිෂන් ප්‍රචාරයක් සුමාන දෙකක්. අපි සෑහෙන තරම් මුදලක් සමාජ මාධ්‍යවලට වියදම් කලා. ඊට අමතරව නොමිලේ හිතවත් මාධ්‍යවේදීන් හරහා ප්‍රචාරයක් ලැබුනා. රුපවාහිනී හා යූ ටියුබ් වැඩ සටහන් 10කට වඩා මම සහභාගි වුනා. මාර්කටින් වැඩ කලේ නෑ. මගේ අදහසක් තියෙනවා, විකුනන්න බැරි බඩු කොච්චර ඇඩ්වටයිස් කරත් වැඩක් නෑ.

ඇත්තටම බැලුවොත් මේක විකුනන්න ඉතාම අපහසු භාන්ඩයක්. ඊට හේතු ගනනාවක් තියෙනවා. ප්‍රධානම එක එය දෙමල චිත්‍රපටයක් වීම. ලංකාවේ හැදෙන දෙමල චිත්‍රපට දෙමල ප්‍රේක්ෂකයෝ බලන්නෙ නැති වීම. ඒ අය ඉන්දියානු මසාල චිත්‍රපට කර්මාන්තය විසින් ග්‍රහනයට ලක් කරගෙන තියෙනවා. ඉතාම සාර්ථක විදියට ඉන්දියාව විසින් කරන සංස්කෘතික අපනයනයක් හැටියට ඒක පවතිනවා. ඒකත් එක්ක හැප්පෙනවා තියා හිතන්නවත් බැහැ. ඒවාට කරන වියදම, ඒවයේ රඟන තරුවලට ඇති වටිනාකම වගේ ඒවත් එක්ක බැලුවම අපට හිතන්නවත් බෑ.

මගේ හොඳට ප්‍රදර්ශන වූ චිත්‍රපටයක් වුනේ සයපෙති කුසුම. එය මිල දී ගත් අයට ලොකු ලාභයක් ලැබුනා, සුලු ගානකට මගෙන් මිල දී ගත්ත නිසා. මූල්‍යමය වසයෙන් මට උදව් කරන්න අය හිටියෙ නැහැ. මගේ රැකියාව සහ පිටරට හිටපු නිසා ගොඩක් කල්, මට පුලුවන් වුනා චිත්‍රපට තුනක් බොහොම ප්‍රවේසමෙන් මුදල් ආයෝජනය කරල නිර්මානය කරන්න.

නන:

මෙය කලාකරුවා මුහුන දෙන බරපතල අර්බුදයක්. ඔබ මෙය දකින්නේ කෙසේ ද?

විසා:

මම මේක  පැති තුනකින් දකිනවා. එකක් නිරන්තරයෙන් හොඳ නිර්මාන බිහි නො වීම. ඉඳහිට එන අතරමැදි නිර්මානයකට මිනිස්සු ගෙන්වන්න බැහැ. එකක් බලල ආයෙ ඊ ලඟට බලන්න චිත්‍රපටයක් නැහැ. පොදුවේ කලාත්මක හා වානිජ කියන ප්‍රශ්නයක් නැහැ. වානිජ චිත්‍රපට කියන ඒවත් මම රස විඳිනවා. ඒවා අදේශපාලනික වුනාම මට ප්‍රශ්නයක් තියෙනවා. වට්ටෝරු චිත්‍රපටත් දේශපාලනිකව කරන්න පුලුවන්. සමහර විට සිනමා උලෙලවලට යන ඒවාට වඩා වැදගත් විදියට දේශපාලන කතාවක් වට්ටෝරු චිත්‍රපට හරහා ගේන්න පුලුවන්.

මට තියන ප්‍රශ්නය, ඒවා පවා වටහා ගැනීමට තරම් රස වින්දනයක් තියනවද කියන එක. ඒකට පාර්ෂව ගනනාවක් වග කිව යුතුයි. නිරන්තරයෙන් හොඳ නිර්මාන නො කරන සිනමාකරුවන් වන අප; රස වින්දනය ගැන හික්මීමක් දැනුමක් ලබා නො දෙන අධ්‍යාපනය; එවන් ජාත්‍යන්තර මට්ටමේ නිර්මාන ධෛර්යමත් කිරීමට කිසියම් රාජ්‍ය යාන්ත්‍රනයක් නො මැති වීම. අඩු තරමින් කිසිම බදු සහනයක්වත් නැහැ. ප්‍රංශය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව වගේ රටවල කලාත්මක නිර්මාන බිහි වෙන්නෙ ඒවාට යම් සහන ලැබෙන නිසා. ඒවා ලාබ ලබන ව්‍යාපාර නො වේ. ඒ වගේම චිත්‍රපට බෙදා හැරීම සම්බන්ධයෙන් තීරන ගනු ලබන ආයතන. ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට ලාබ ලබන්න ඕනෙ. හොඳ කලාත්මක නිර්මාන ද නැද්ද කියන එක ඒවාට ප්‍රශ්නයක් නොවෙයි. ඒ සීමාව ජය ගන්න රජය උදව් කරන්නේ නෑ.

ලංකාවේ දෙමල නිර්මාන පිලිබඳ කතිකාව තුල අධිපතිවාදී එල්ටීටීඊ හිතවාදී හෙජමනියක බලපෑම තියෙනවා. ඒ නිසා දෙමල දේශපාලන සිනමාවේ දී අපට විවෘත මනසකින් කතා කරන්න අමාරුයි. ප්‍රතික්ෂේප වෙනවා. මට පමනක් නොවේ, තවත් දෙමල නිර්මානකරුවන් කිහිප දෙනෙකු මේ තත්වයට මුහුන දුන්නා. ප්‍රජාව පුරුදු වෙලා තියෙන්නේ ප්‍රොපගැන්ඩා ආර්ට්ස්වලට. මේ විදියට පලවෙනි වතාවට ලංකාවේ දෙමල චිත්‍රපටයක් ජාත්‍යන්තර පිලිගැනීමකට ලක් වුනේ. අර බලපෑම නිසා ඩයසපෝරා එක සූදානම් නෑ ඒක මොකක්ද කියලවත් හොයල බලන්න. වෙන එකක් වුනා නම් ඒ ගොල්ලො කැනඩාවෙ, යුරෝපීය නගරවල පෙන්නනවා.

බුද්ධිමය ක්ෂේත්‍රයේ ආධිපත්‍ය දරන්නේ එල්ටීටීඊ මතවාදය කියා මට හිතෙනවා. එල්ටීටීඊය විවේචනය කරන්නා පිටස්තර කිරීම සමාජය තුල දක්නට ලැබෙනවා.

නන:

උතුරු නැගෙනහිර ජනතාවට එල්ටීටීඊයෙන් මෙන් ම එල්ටීටීඊ නො වන දේශපාලඥයන්ගෙන් හරි මේ ආන්ඩුවෙන් හරි වෙච්ච සෙතේ නෑ නේ. මට හිතෙන විදියට කිසියම් කන්ඩායමක් මතු වෙනවා මේ උතුරු නැගෙනහිර ජනතාව මුහුන දෙන දැරිය නො හැකි පීඩනයට පිලිතුරු නැති සංවිධානවලට විරුද්ධව. ඒ තත්වය ඇතුලෙ පැරනි එල්ටීටීඊ වගේ ඒවා ගැන ඔවුනගෙන් යම් කොටසක් යොමු වෙලා ඇති.

විසා:

ඔව්, සැබෑ ප්‍රගතිශීලී දේශපාලනයක් ඇති කර ගන්න එහි වැසියන් අසමත් වී තියෙනවා. එතන රික්තකයක් තියෙන නිසා එය පුරවනු ලබන්නේ එල්ටීටීඊ සමයේ නාමික සාධාරනත්වයෙන්.

නන:

සම්මාන උලෙලවලින් ජය ගනු ලැබූ විට මෙවැනි ප්‍රතිරෝධයන් ලිහිල් වීමක් සිදු වනු ඇතැයි නිර්මානකරුවන් විශ්වාස කරනවා. නමුත් විසාකේසගේ අත්දැකීම් අපට පෙන්වා දෙන්නේ සම්මානයක් දිනාගත් විට ඒවායින් ලැබෙන යම් මූල්‍යමය සහනයට සීමා වන තරමට ම තත්වය නරක් වී තිබෙන බවයි. පවතින සංස්කෘතිය සමස්ථ ධනේශ්වරයේ ම ග්‍රහනයෙන් මුදා ගැනීමෙන් තොරව සමාජ සංස්කෘතික ජයග්‍රහනවල සුව පහස විඳින්නට නො හැකි බව මෙම සාකච්ඡාව අපට පෙන්වා දෙනවා.

මනල් චිත්‍රපටයේ තිර රචක, අධ්‍යක්ෂක හා නිශ්පාදක විසාකේස චන්ද්‍රසේකරන් නිර්මානකරුවාට ‘ද සෝෂලිසට්’ කතෘ මන්ඩලය හා එහි පාඨකයන් වෙනුවෙන් ස්තුතියි.

“මනල්” (වැලි) චිත්‍රපටයේ අධ්‍යක්ෂ විසාකේස චන්ද්‍රසේකරම් සමඟ හෝරාවක් Read More »

Gaza

එක්සත් ජනපදය හා ඊශ්‍රායලය, විශ්වාස කළ හැකි සාක්ෂි නොමැති සමූහ ස්ත්‍රී දූෂණ ප්‍රචාර ගාසා ජන සංහාරය යුක්ති සහගත කිරීම සඳහා  යොදා ගනී

පැට්‍රික් මාර්ටින් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 07  දින පල වූ ‘US and Israeli mass rape propaganda, without credible evidence, is being used to justify Gaza genocide‘ යන පැට්‍රික් මාර්ටින් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රචාරක යන්ත්‍රය ගාසා තීරයේ ඊශ්‍රායලයේ සමූහ ඝාතනය ආරක්ෂා කිරීම සඳහා නව තර්කයක් දියත් කර ඇත: එනම්, වත්මන් යුද්ධයට පෙරටුව ඔක්තෝම්බර් 7දා ඊශ්‍රායලයට දේශසීමා හරහා ප්‍රහාරයක් දියත් කල හමාස් සංවිධානය, එම නැගිටීම තුලදී ඊශ්‍රායල කාන්තාවන් සමූහ ලෙස දූෂණය කිරීමේ වරදකරුයැයි කියා සිටීමයි.

මෙම චෝදනා සනාථ කිරීමට සෘජු සාක්ෂි නොමැතිය යන කරුණ, ගාසා තීරයේ ජන සංහාරයේ අපරාධකරුවන්ට සහ එහි ආරක්ෂකයින්ට අදාළ නොවේ. හමාස් විසින් රඳවාගෙන සිටින ලද ප්‍රාණ ඇපකරුවන් ඊශ්‍රායල සිරගෙවල් වල රඳවා ගෙන සිටි පලස්තීනුවන් සමග හුවමාරු කර ගැනීම සඳහා ඇති කළ සීමිත “විරාමය” අවසන් වීමෙන් පසු හදිසියේ ම මෙම කියාපෑම මාධ්‍ය හරහා ඝෝෂාකාරී ලෙස පතුරුවා හැරුනේ, ව්‍යසනකාරී ආකාරයෙන් තීව්‍ර කර ඇති ගාසා තීරයේ ජනයාට එරෙහි ඊශ්‍රායල හමුදා මෙහෙයුම්වලින් මහජන අවධානය වෙනතකට යොමු කිරීම සඳහා ය.

ඊශ්‍රායල බෝම්බ සහ මිසයිල ප්‍රහාරවලින් සති අන්තයේ පලස්තීනුවන් 1000කට වැඩි පිරිසක් මිය ගියහ. පලස්තීනුවන් මිලියන 2ක් පමණ ගාසා තීරයේ කුඩා කොනකට ගාල් කර ඇත. එය ප්‍රමාණයෙන් ෆිලඩෙල්ෆියා හෝ ඩෙට්‍රොයිට් නගරවලට වඩා විශාල නොවන නමුත්, ඊට වඩා බොහෝ වැඩි ජනගහණයකින් යුතුය. ඊශ්‍රායල හමුදා මෙහෙයුම්වල අරමුන වඩ වඩාත් පැහැදිලි වී ඇත: එනම්, ගාසා තීරයේ සමස්ත ජනගහනය ඊජිප්තු දේශසීමා හරහා සීනායි කාන්තාරයට පලවා හැරීම, ගාසා තීරය හිස් කිරීම සහ එය යුදෙව් පදිංචිකරුවන් සඳහා ලබා දීමයි.

 Refugee
2023 ඔක්තෝම්බර් 31 වන දින ගාසා තීරයේ නුසෙයිරාත් සරණාගත කඳවුරට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් අය සොයන පලස්තීනුවන් [AP Photo/Doaa AlBaz]

සඳුදා, දකුණු ගාසා තීරයේ විශාලතම නගරය වන ඛාන් යූනිස් වෙත ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් පූර්ණ පරිමාන භූමි ප්‍රහාරයක් එල්ල කිරීමට සමගාමී ව, ඊශ්‍රායලයේ ධනවත් සහ බලගතු ආධාරකරුවන් 150ක කන්ඩායමක් හමාස් වෙත සමූහ ස්ත්‍රී දූෂණය පිලිබඳ චෝදනා ප්‍රවර්ධනය කිරීම සඳහා නිව්යෝර්ක් නගරයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ රැස්වීමක් පැවැත්වූහ. හිටපු ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක හිලරි ක්ලින්ටන් දුරස්ථව කණ්ඩායම ඇමතූ අතර, ප්‍රකෝටිපතියෙකු වූ හිටපු ෆේස්බුක් විධායක ෂෙරිල් සැන්ඩ්බර්ග් ද සෙනෙට් සභික කිර්ස්ටන් ගිලිබ්‍රෑන්ඩ් (ඩිමොක්‍රටික්-නිිව්යෝක්) සමඟ එක්ව ඇගේ සහයෝගය ලබා දුන්නාය.

ඔබාමා පාලනයේ රාජ්‍ය ලේකම්වරිය ලෙස ලිබියාවට එරෙහි ම්ලේච්ඡ එක්සත් ජනපද-නේටෝ යුද්ධයට නායකත්වය දුන් ක්ලින්ටන් ඇගේ පටිගත කරන ලද ප්‍රකාශය තුල කියා සිටියේ, “යුක්තිය වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන ඇතැමුන් හමාස් වින්දිතයන් හමුවේ තම දෑස් සහ හදවත් වසාගෙන සිටීම පිළිකුල් සහගතය,” යනුවෙනි. යුද්ධයෙන් පසු බලය සඳහා තරඟ වදින ප්‍රතිවාදී ප්‍රතිගාමී ජුන්ටාවන් යටතේ ලිංගික වහල්භාවයට විකුණා දැමූ දහස් ගනන් කාන්තාවන් ද ඇතුලුව, ලිබියාවේ එක්සත් ජනපද යුද්ධයේ ගොදුරු වූ දස දහස් ගනනක් ගැන ඇය කිසිවක් කීවේ නැත. එක්සත් ජනපදය සැපයූ බෝම්බ සහ මිසයිල ප්‍රහාරවලින් මිය ගිය හා ආබාධිත වූ, ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල ප්‍රහාරයේ ගොදුරු බවට පත් දස දහස් ගනනක් ගැන ද ඇය සඳහන් කළේ නැත.

මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ ඊශ්‍රායලයේ නිත්‍ය දූත මණ්ඩලය විසින් අනුග්‍රහය දක්වන ලද අතර, ඊශ්‍රායල රජය සහ IDF විසින් සපයන ලද යැයි කියනු ලබන සාක්ෂි සහ ලේඛන ඔවුන් විසින් එකට එක කරන ලදී. ගාසා තීරයේ යුද අපරාධ විමර්ශනය කරන එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසමක්, ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ ඕනෑම සාක්ෂියක් තමන් විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ලබා දෙනු ඇති බව පවසා ඇති අතර, එක්සත් ජනපද යුද අපරාධ සම්බන්ධයෙන්චෝදනා ඉදිරිපත් වනු ඇතැයි පවතින බිය නිසා එක්සත් ජනපද රජය එම අධිකරණය පිළිගන්නේ නැත. ඊශ්‍රායලය අල්ලා ගෙන සිටින බටහිර ඉවුරේ ඊශ්‍රායල යුද අපරාධ පිළිබඳ සාක්ෂිවලට ICCයේ දොර විවෘතව තිබීමේ හේතුවෙන්, ඊශ්‍රායල විරෝධී නැඹුරුවක් ඇති බව පවසමින් ඊශ්‍රායලය එය සමඟ සහයෝගයෙන් කටයුතු නොකරයි.

ඊළඟ දවසේ, ජනාධිපති ජෝ බයිඩන් බොස්ටන්හි අරමුදල් රැස් කිරීමේ උත්සවයකදී ස්ත්‍රී දූෂණ චෝදනා ඉස්මතු කලේය.  “පසුගිය සති කිහිපය තුළ, ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් අය සහ සාක්ෂිකරුවන්, සිතාගත නොහැකි තරමේ කුරිරුකම්වල බිහිසුණු වාර්තා බෙදා ගෙන ඇත,” බයිඩන් වෙස්ටින් හෝටලයේ රැස්ව සිටි ඔහුගේ කෝටිපති ආධාරකරුවන්ට පැවසීය. ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලට මහා පරිමාණයෙන් ගොදුරු වූවන් ගැන වෛද්‍යවරුන් දුසිම් ගනනක් ද ඇතුලත් ගාසා තීරයේ පලස්තීන ජාතික “දිවි ගලවා ගත් අය සහ සාක්ෂිකරුවන්ගේ” වාර්තා එක්සත් ජනපද ජනාධිපතිවරයා කලින් ප්‍රතික්ෂේප කළේ, ඔවුන් හමාස් හරහා පැමිණි නිසා ඒවා විශ්වාස කළ නොහැකි බව පවසමිනි.

එදින රාත්‍රියේ, NBC නිවුස් විකාශය සිය “රාත්‍රී ප්‍රවෘත්ති” හි ප්‍රධාන අයිතමය ලෙස ස්ත්‍රී දූෂණ චෝදනා පිළිබඳ මිනිත්තු පහක වාර්තාවක් විකාශනය කළ අතර, නිව්යෝර්ක් ටයිම්ස් සහ වොෂින්ටන් පෝස්ට් හි මුල් පිටුවේ වාර්තා සහ අනෙකුත් රූපවාහිනී ජාල වල වාර්තා සමඟ මාධ්‍ය කුණාටුවක් ඇති විය. සීඅයිඒ මාධ්‍ය මෙහෙයුම් පිළිබඳ එක් ඉතිහාසඥයෙකු වරක් එය හැඳින්වූ පරිදි, මෙය ඇමරිකානු ආන්ඩුවේ ප්‍රචාරනයේ “මහා ව’ලිස්ටරය (Wurlitzer- වර්ලිස්ටර් පියානෝව)” එහි උපරිම හඬින් වාදනය කිරීමක් විය.

හමාස් සංවිධානයට එරෙහි ව විශාල වාද්‍ය වෘන්දයක් යොදවා පවත්වා ගෙන යනු ලබන මෙම අඛණ්ඩ සමූහ වාදනයට අනුබල දෙන සැබෑ සාක්ෂිය කුමක්ද? ඒ සියල්ල ඊශ්‍රායල රජයෙන් සහ IDF වෙතින් ඉදිරිපත් වූ ඒවා ය; කිසිවෙකුගේ ස්වාධීන තහවුරු කිරීමක් නොමැත; වින්දිතයන්ගෙන් හෝ ඇසින් දුටු සාක්ෂිකරුවන්ගෙන් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැත. ඊශ්‍රායල නිලධාරීන්ට අනුව, ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් දිවි ගලවා ගත්, ස්ත්‍රී දූෂණයට ගොදුරු වූවන් කිහිප දෙනා ඒ ගැන කතා කිරීමට නොහැකි තරම් කම්පනයට පත් ව සිටිති. ඊශ්‍රායල පොලිස් ප්‍රධානී යාකොව් ෂබ්තායි බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාවට පැවසුවේ “ප්‍රහාරවලින් දිවි ගලවා ගත් බොහෝ දෙනෙකුට කතා කිරීමට අපහසු වූ අතර ඔවුන්ගෙන් සමහරෙක් ඔවුන් දුටු හෝ අත්විඳින දේ ගැන කිසි විටෙකත් සාක්ෂි නොදෙනු ඇතැයි ඔහු සිතන” බවයි.

වයස්ගත වූවන් සහ කලින් සිටම දුර්වලව සිටි අය හැර, පසුගිය සතියේ හමාස් විසින් මුදා හරින ලද ප්‍රාණ ඇපකරු කාන්තාවෝ යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසු වූහ. ඔවුන්ගෙන් කිසිවෙකු, රඳවා ගෙන සිටි කාල සීමාව තුල දී ලිංගික අතවර සිදු වූ බවක් වාර්තා කළේ නැත. කෙසේ වෙතත්, ඔවුන්ගෙන් කිහිප දෙනෙක්, ඊශ්‍රායල බෝම්බ සහ මිසයිල ප්‍රහාරවලින් යන්තම් ගැලවී ගිය බව වාර්තා වූ අතර, ඊශ්‍රායල නිලධාරීන් ඔවුන්ගේ මතකයන් “අවිශ්වාසනීය” ලෙස බැහැර කරන ලදී. මේ අනුව, විශ්වාස කළ යුත්තේ නෙතන්යාහු රජයේ ප්‍රචාරක අවශ්‍යතා වෙනුවෙන් සේවය කරන සාක්ෂිකරුවන් පමණි.

පලස්තීනුවන්ට පක්ෂපාතී වෙබ් අඩවියක් වන මොන්ඩෝවයිස් (Mondoweiss) ට අනුව, නොවැම්බර් 13 දින , ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ නව සාක්ෂි සැපයීම සඳහා කැඳවන ලදැයි කියනු ලබන ඊශ්‍රායල පොලිස් සාකච්ඡාවක්, “නව තොරතුරු සහ පැහැදිලි සාක්ෂි නොමැතිකම” නිසා පොලිස් නිලධාරීන් සහ මාධ්‍යවේදීන් අතර ගැටුමකට තුඩු දුන්නේය. පොලිස් ප්‍රධානියා කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළ අතර, පොලිස් මාධ්‍ය නිලධාරි මෙරිට් බෙන් මයර් හා මාධ්‍යවේදීන් අතර උණුසුම් කතාබහක් ඇති විය. ඔහු එම සාකච්ඡාවේ අපේක්ෂිත පණිවිඩය පැහැදිලි කරමින්, මෙසේ ප්‍රකාශ කළේය: “මළ සිරුරුවල තත්වයන් මත පදනම්ව, දූෂණයක් සිදු වී ඇත. මෙම සිදුවීම් ප්‍රශ්න කිරීමට ඉඩක් නැත.”

මෙම සමූහ දූෂණ චෝදනා වල දී අනුගමනය කෙරෙන්නේ, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව වැඩෙන මහජන විරෝධයේ කොන්දේසි යටතේ මහජන මතය හැසිරවීමට පෙර පැවති එක්සත් ජනපද ආන්ඩුව අනුගමනය කළ “විශාල බොරු” පැවසීමේ රටාව ම ය. ඉරාකය ආක්‍රමණය කර විනාශ කිරීමට ගත් තීරණය සාධාරණීකරණය කිරීම සඳහා බුෂ් පරිපාලනය ඉරාකයේ “සමූහ විනාශක අවි” පවතින බව කියා සිටියේය. ඔබාමා සහ හිලරි ක්ලින්ටන් ලිබියාවට එක්සත් ජනපද-නේටෝ බෝම්බ හෙලීමේ කඩතුරාව ලෙස බෙන්ගාසිහි සමීපස්ථ සමූහ ඝාතන පිලිබඳ චෝදනා ප්‍රවර්ධනය කළහ. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් ඉලක්ක කරන ලද රටවල නායකයන් – පැනමාවේ නොරීගා, ලිබියාවේ මුවම්මර් ගඩාෆි, ඉරාකයේ සදාම් හුසේන්, සිරියාවේ අසාද් සහ දැන් රුසියාවේ පුටින් – ඇමරිකානු මාධ්‍යවලින් එකසේම නිරූපණය කෙරෙන්නේ නරක ම සැලකිල්ල ලැබීමට උචිත වූවන් සේ ය.

ස්ත්‍රී දූෂණ චෝදනා, ඊශ්‍රායල රාජ්‍යය තුල ෆැසිස්ට් බලවේග විසින් ප්‍රවර්ධනය කරනු ලබන අතර ඇමරිකාවේ අධිරාජ්‍යවාදී මිලිටරිවාදයේ වියරු අනුගාමිකයින් විසින් භාරගනු ලැබේ. ගාසා තීරයේ ඊශ්‍රායල ජන සංහාරයට තම හෘදයාංගම විරෝධය ප්‍රකාශ කිරීමට උත්සාහ කරන ඕනෑම අයෙකු බිය ගැන්වීම ඔවුන්ගේ එකම අරමුණයි. ඔවුන්ට කිසිම විශ්වාසනීයත්වයක් නැත.

තව ද, ඉදින් ඔක්තෝබර් 7 ප්‍රහාරයේදී සමහර හමාස් සටන්කාමීන් ලිංගික ප්‍රචණ්ඩත්වය සිදු කළේ වී වුව, එයින් ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරයේ දහස් ගණන් කාන්තාවන් සහ ළමුන් ඝාතනය කරනු ලැබීම සාධාරණීකරණය වන්නේ කෙසේද? ලෝසවෙඅ සඳුදා කර්තෘ මණ්ඩල ප්‍රකාශයක ප්‍රකාශ කළ පරිදි, ඊශ්‍රායලය “කාන්තාවන්ට හා ළමයින්ට එරෙහි යුද්ධයක” යෙදී සිටින බවට වන අනභියෝගී කාරනය සලකන විට හමාස් විසින් කරන ලදැයි කියන සමූහ දූෂණ පිලිබඳ කියාපෑම් විශේෂයෙන් නරුම ය.

බයිඩන්, ක්ලින්ටන් සහ කොම්පැනිය ඔක්තෝම්බර් 7 සිදුවීම්වලින් “බියට” පත්ව සිටින බවට කරන ප්‍රකාශවලට ද කිසිදු විශ්වසනීයත්වයක් නොමැත. 1945 දී නාසි ජර්මනියේ පරාජයෙන් මෙපිට, එක්සත් ජනපදය තරම් යුද්ධයේදී පිරිමින්, කාන්තාවන් සහ ළමයින් ඝාතනය කර ඇති වෙනත් රටක් නැත. ස්ත්‍රී දූෂණ පිළිබඳ ප්‍රකාශයන් සම්බන්ධයෙන් ගත් කල, සමූහ දූෂණය , වියට්නාමයේ මයි ලායි සංහාරය වැනි සාහසික ක්‍රියාවන්හි මකා ලිය නොහැකි අංගයකි. ඉරාකයේ යුද්ධය අබු ග්‍රයිබ්හි ලිංගික ප්‍රචණ්ඩත්වයේ අමතක නොවන රූප නිර්මාණය කළ නමුත්, ඊට සමාන හෝ ඊටත් වඩා නරක සිදුවීම් දහස් ගණනක් වින්දිතයන්ගේ මතකයන් – ඉදින් ඔවුන් දිවි ගලවා ගත්තේ නම් – සහ අපරාධකරුවන්ගේ මතකයන් තුල හැර වෙනත් ස්ථානයක ඉතිරි නොවූ, වාර්තා නොවූ සිදුවීම් බවට පත් ව ඇත.

hooded detainee imprisoned at Abu Ghraib
අබු ග්‍රයිබ් හි සිරකර තබන ලද මුහුණු වැසුම් ලූ රැඳවියෙක්. ඔහුගේ වම් සහ දකුණු අතට වයර් සවි කර ඇති අතර, පෙට්ටියක් මත සිටුවා ඇත; පෙට්ටියෙන් වැටුණොත් විදුලි සැර වැදෙන බව ඔහුට කියා තිබුණි. [ඡායාරූපය: එක්සත් ජනපද රජය]

ගාසා තීරයේ ඊශ්‍රායල ජන සංහාරයේ යථාර්තය වසන් කිරීමට බයිඩන් පරිපාලනය සහ සංගත මාධ්‍ය දරන නවතම ප්‍රයත්නයෙහි අඳුරු අසාර්ථක බව ඔප්පු වනු ඇත. මැද පෙරදිග ඇමරිකානු හා යුරෝපීය අධිරාජ්‍යවාදයේ තෝමර තුඩ ලෙස ක්‍රියා කරමින් ඊශ්‍රායලය කරමින් සිටින අපරාධ සම්බන්ධයෙන් ලොව පුරා වැඩෙන කෝපය එයට වැළැක්විය නොහැක. යුද විරෝධී ව්‍යාපාරයේ කේන්ද්‍රීය දේශපාලන කර්තව්‍යය වන්නේ, ගාසා තීරයේ යුද්ධය නැවැත්විය හැකි සහ අධිරාජ්‍යවාදී යුද්ධයේ උල්පත වන ධනේශ්වර පද්ධතියට තිත තැබිය හැකි එකම සමාජ බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙත හැරීමයි.

එක්සත් ජනපදය හා ඊශ්‍රායලය, විශ්වාස කළ හැකි සාක්ෂි නොමැති සමූහ ස්ත්‍රී දූෂණ ප්‍රචාර ගාසා ජන සංහාරය යුක්ති සහගත කිරීම සඳහා  යොදා ගනී Read More »

Scroll to Top