politics

75 ‍‍වන නිදහස් සැමරුම – ජාතික නිදහසේ මායාව හා සැබෑ නිදහස – 2

කොලඹ ක්‍රියාකාරී කමිටුව

නන්දන නන්නෙත්ති සහ සංජය ජයසේකර විසිනි

මෙහි පලවන්නේ “75 ‍‍වන නිදහස් සැමරුම – ජාතික නිදහසේ මායාව හා සැබෑ නිදහස” යන සිරසින් යුතුව 2023 මාර්තු 11 දින පලකල ලිපියේ දෙවන හා සමාප්ති කොටස යි. 

සැබෑ නිදහසේ උරුමය

Image
යුද්ධයට, අධිරාජ්‍යවාදයට එරෙහිව එල්එස්එස්පී උද්ඝෝෂනයක් -1942

1948 දී, පශ්චාත් යුධකාලීන සමතය යටතේ ලෝකය නැවත බෙදාගැනීමේදී, ඉන්දු උප මහාද්වීපයේ සිදුකෙරුනු දේශපාලන විපර්යාසයන්හි කොටසක් ලෙස ලංකාව තුල එහි දේශීය ධනපති පාලක පන්තිය අතට පාලන බලය හුවමාරු කිරීම වේගවත් කරනු ලැබූවේ, අවම වශයෙන් ඊට පෙර අර්ධ ශතවර්ෂයක කාලයක් තුල රට තුල වර්ධනය වී, ආසන්නම දශකයකට වැඩි කාල පරිච්ජේදය තුල සමාජවාදී ඉදිරිදර්ශනයක් මත විප්ලවකාරී වෙමින් පැවති කම්කරු පන්තික අරගලයට එදිරිව යි. 

19 වන ශත වර්ශයේ මැදභාගය වන විට යටත්විජිත ලංකාව තුල ප්‍රධාන වශයෙන් වතු, පතල් හා නගර ආශ්‍රිත ධනේශ්නවර නිශ්පාදන ක්‍රමය ස්ථාපිත වීමත් සමග රටේ පන්ති සම්බන්ධතාවල දැවැන්ත පරිමාන පරිවර්ථනයන්ට දුඩු දුනි.  පැරනි  ගොවි නැගිටීම්, කැරලි හා හුදෙකලා විරෝධතා ආකාරයන්ට සම්පූර්නයෙන් වෙනස් වූ කම්කරු ව්‍යාපාරයක් වර්ධනය වන්නට විය. කෝපි වගාව හරහා වතු කර්මාන්තය ආරම්භ කල 1830 දශකයේ සිට  1890 වන විට තේ, රබර් හා පොල් දක්වා ව්‍යාප්ත වුනු කර්මාන්ත තුල ලංකාවේ නැගී එන ධනපති පංතියකට සාපේක්ෂව පැටුප් ශ්‍රමික සම්බන්ධතා වර්ධනය වන්නට විය. වැඩෙමින් පැවති සුදු කරපටි කම්කරු පන්තියක්,  පහල මධ්‍යම පන්තියක් හා දුම්රිය ඇතුලු ප්‍රවාහන කම්කරු පන්තියක් තවත් ආකාරයකින් එකිනෙකාට බද්ධ කෙරිනි. එකල ලංකා ආර්ථිකයේ සීඝ්‍ර වර්ධනය කොතෙක් ද යත්,  සමස්ථ අපනයන ආදායම 1885 දී රුපියල් මිලියන 35 සිට 1915 දී රුපියල් මිලයන 266 දකිවා වර්ධනය වී තිබිනි.

Image
Image
දේශීය ධනපති පන්තිය වැඩෙයි  – දොන් හේවා විතාරන හා ඔහුගේ  සටීම් ෆර්නිචර් වර්ක්ස් – 1907

පන්ති ප්‍රතිඝතිතතා උත්සන්න වීම නව ආර්ථික-සමාජ සම්බන්ධතාවල අත්‍යවශ්‍ය නිර්මිතය යි.  

1893  කොලඹ මුද්‍රන සේවා කම්කරු වර්ජනය කම්කරු සටන් වල වර්ධනයේ පෙරටුගාමී අවස්ථාවකි. එයින් දශක තුනක් ඇවෑමෙන්, ඒ.ඊ. ගුනසිංහ 1922 දී ලංකා කම්කරු සමිතිය (LLU) පිහිටුවීමේන් පසුව 1923 එය යටතේ කොලඹ 20,000ක් කම්කරුවන් සහභාගීත්වයෙන් මහා වැඩවර්ජනයක් පැවැත්විනි. 1927 වරාය කම්කරුවන්ගේ වැඩවර්ජනයක් ද, 1928 කුලී රථ රියදුරන්ගේ හා කාර්මික කම්කරුවන්ගේ වැඩවර්ජනයක් ද, 1929 ට්‍රෑම් රථ කම්කරුවන්ගේ වර්ජනයක්ද ඔහු යටතේ සංවිධානය කෙරුනි. ස්වරාජ්‍යයක්, ව්‍යවස්ථා සංශෝධන, සර්වජන ජන්ද බලය හා කම්කරු අයිතීන් දිනා ගැනීම 1928 දී ඔහු පිහිටුවාලූ ලංකා කම්කරු පක්ෂයේ අරමුනු වූ බව සඳහන් ය. 

Image
මැයි දින පෙලපාලියක් – ’30 දශකයේ මුල

මේ දැවැන්ත චලනයන් පසුබිමෙහි, ජාතික සංගමේ නිවට ධනපතියන්ට හා 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරනවලටත් විරුද්ධව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් පලවා හැර සැබෑ නිදහස වෙනුවෙන් සටන් කිරීමට 20 ශතවර්ශයේ එලිපත්තේ  සිට තරුන කන්ඩායම් ලෙස සංවිධානය වී කරන ලද අරගලයේ මස්තකප්‍රාප්තියක් ලෙස 1935 දෙසැම්බරයේ  ලංකා සමසමාජ පක්ෂය (LSSP) ගොඩනගනු ලැබිනි. අද ධනපති පක්ෂ පතුරක් බවට පත්ව සිටින එම පක්ෂයට  එකී ඉතිහාසය සැමරිය නොහැක.

ලංකා සමසමාජ පක්ෂයේ ආරම්භය පිලිබඳ ලියමින් පක්ෂයේ විසිපස් වන සංවත්සරයට ලෙස්ලි ගුනවර්ධන සම්පාදනය කල ලියවිල්ලේ මෙම කාරනා නිශ්චිතව පැහැදිලි කරයි:

“ඒ අදහස [නිදහස හා සමාජවාදය සාක්ෂාත් කිරීමේ පලල් එල්ලයන් සහිතව එල්එස්එස්පී ය පිහිටුවීම පිලිබඳ] අහසින් වැටුනු එකක් නොවීය.  එය කාලයක් මෝරමින් පැවතින.  එකල පැවතියේ යැයි කිව හැකි අනෙක් පක්ෂ වූයේ ලංකා ජාතික කොංග්‍රසය සහ ලංකා කම්කරු පක්ෂය පමණි.  ලංකා ධනපතියන්ගේ අවශ්‍යතා නියෝජනය කල ලංකා ජාතික කොංග්‍රසය ද ඉන්දියාවේ ලිබරල්වාදීන් මෙන් ඩොමීනියන් තත්ත්වය අරමුනු කරගනිමින් ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරන සඳහා හිඟමන් යදින ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටියේය.  එක් දහස් නවසිය විසි ගණන්වල ලංකාවේ කම්කරු පන්තියේ පළමු වැදගත් පිබිදීමේ  දී ලංකා කම්කරු සංගමය සමඟ ප්‍රගතිශීලී කාර්යභාරයක් ඉටු කල [ඒ. ඊ. ගුනසිංහගේ] ලේබර් පක්ෂය, ඒක පුද්ගල සංදර්ශනයක් බවට පරිහානියට පත් වූ අතර, කෙසේ නමුත් එය  සමාජවාදයත් සමග මොනම සම්බන්ධයක්වත් තිබුනේ නැත. [මේ තත්ත්වය තුල] පිරවීම සඳහා රික්තකයක් සැකසී පැවතින.

“අලුත් පක්‍ෂය පිළිබඳ අදහස අහසින් නොවැටුනා සේම එය ගොඩනැගූ පිරිසද කොහෙන් හෝ හිටි හැටියේ එකතු වූයේ නැත.  එය වසර කිහිපයක ඉවසිලිවන්ත වැඩවල ප්‍රතිඵලයක් ලෙස එකතු වූ සමූහයකි.  ලංකා සමසමාජ පක්‍ෂයේ පූර්වගාමියා වූ කන්ඩායම මුලින්ම ගොඩනැගුනේ 1933 වසරේ අග භාගයේදීය. නමුත් යමෙකුට 1932 වැල්ලවත්ත රෙදි මෝලේ [කම්කරු] වර්ජනය දක්වාම ආපසු හැරී බැලිය හැකිය.  මෙම වර්ජනයට නායකත්වය දුන්නේ ඉහත කී කන්ඩායමේ සාමාජිකයන් විසිනි” (ලංකා සමසමාජ පක්ෂයේ කෙටි ඉතිහාසයක්, ලෙස්ලි ගුණවර්ධන, 1960).

Image
වැල්ලවත්ත රෙදි මෝල්  කම්කරුවන් -1907

1936 පෙබරවාරියේ දී ලසසපයේ පිලිප් ගුනවර්ධන හා එන්.එම් පෙරෙරා රාජ්‍ය මන්ත්‍රන සභාවට තේරී පත් වූහ. ලදරු අවධියේ පසු වූ එමෙන් ම තවමත් ජාත්‍යන්තර විප්ලවවාදී ව්‍යාපාරයක් නො වූ සහ ටී කන්ඩායම නම් ට්‍රොට්ස්කිවාදයට ආකර්ශනය වූ කන්ඩායමක් ද ඇතුලත් සමසමජ පක්ෂය සමාජවාදය වෙනුවෙන් පෙනී සිටිමින්, කම්කරු පන්තියේ ආකර්ශනය දිනාගෙන වැඩෙමින්, මුල් කාලයේ ම ජයග්‍රනය කල ප්‍රතිසංස්කරන අතර ගම්මුලාදෑනි ක්‍රමය වෙනස් කිරීම, උසාවිවල දේශීය භාෂා භාවිතය, විරැකියා සහන ලබා ගැනීම වැනි ප්‍රතිසංස්කරන විය. 

1936 ජුලි 26 දින රාජය මන්ත්‍රන සභා විවාදයේ දී පිලිප් ගුනවර්ධන මෙසේ ප්‍රකාශ කලේ ය:

 “…මිලිටරිවාදයෙන්, අඥානයෙන්, මිථ්‍යා බන්ධනවලින් හා දුගී දුප්පත්කමෙන් මිනිස් වර්ගයා මුදා ගැනීම සදහා ඕනෑම පරිත්‍යාගයක් කිරීම සදහා සූදානම් පිරිසක් සිටී නම්, ඒ පිරිස, අවශ්‍යයෙන් ම සමාජවාදීන් කන්ඩායමක් විය යුතුය යි මම විශ්වාස කරමි. සමාජවාදය සදහා එනම්, අවශ්‍යතාවය නමැති ක්ෂේත්‍රයේ සිට නිදහස නමැති රජදහන කරා, මිනිස් වර්ගයාගේ ආරෝහනය සදහා, තුවක්කු අතැතිව, අවශ්‍ය තැන්හි දී සටන් කරීමට, ලංකා සමසමාජ පක්ෂයේ සාමාජිකයෝ සූදානම් වී සිටිති.

“එහෙත්,අධිරාජ්‍යවාදීන් වෙනුවෙන් සටන් කරන්ට, අප සූදානම් නැත. වස්තුව බෙදා ගැනීමට පොර කන එංගලන්තයේ සිටින දඩයක්කාරයන් වෙනුවෙන් සල්ලි ගරා දීමේ වැඩපිලිවෙලක මූනිස්සම් බවට පත් වීම, අපි ප්‍රතික්ෂේප කරමු. ලසසප සාමාජිකයන්, නියම ජාතික විප්ලවවාදී හමුදාවකට බැදෙන්ට සූදානම් ය. එහෙත්, ලාංකික ආරක්ෂක බලඇනියට බැදීම, අපි ප්‍රතික්ෂේප කරමු. මෙම බල ඇනිය පාවිච්චි කෙරෙන්නේ එංගලන්තය වෙනුවෙන් සටන් කිරීම සදහා මිස මේ රටේ මිනිසුන්ගේ සටන් සදහා නො වේ ය යි අපි විශ්වාස කරමු.”   ( කීර්ති බාලසූරිය, සමසමාජ ඉතිහාසයෙන්, 6-7 පිටු )  

අව්‍යාජ නිදහස් සටන යනු  බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය හා දේශීය කොම්ප්‍රදෝරුවන් විසින් මෙසේ කම්කරු පීඩිත ජනයාගේ ලේ දහඩිය උරා බී රැක ගැනීමට තතනන පන්ති පාලනයට එරෙහිව පන්ති සටන බවට පත්ව තිබිනි. ය. ‌එය දේශීය ධනපතීන් හා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් එක් වර පරාජය කිරීමේ කම්කරු පන්තියේ ‌ඓතිහාසික අවශ්‍යතාව සමග බැදී පැවතිනි. 

1939 සැප්තැම්බරයේ දී දෙවන ලෝක යුද්ධය පුපුරා යාමත් සමග ම, ලංකා ජාතික කොංග්‍රසයේ (සීඑන්සී) නායක ඩි.එස් සේනානායක බ්‍රිතන්‍ය ආන්ඩුවට “මුලු හදින් ම සහාය” පලකරන යොජනාවක් ඉදිරිපත් කරන තතු තුල, ලසසප මන්ත්‍රී පිලිප් ගුනවර්ධන මෙම අභියෝගය යලි මතුකරමින් මෙසේ කී ය: “රටක් යුද්ධයට එලබීම නිසා පන්ති අරගලය නැවතී නැත” (ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයෙහි ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්).

රනිල් වික්‍රමසිංහ වැඩකරන ජනයාට විරුද්ධව අද මුදා හැර ඇති මෘග මර්දනය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලන සමය සමග සැසඳූ කල මැනවින් තහවුරු වන්නේ, පාලක පන්තියේ නිදහස සුන් කර දමා ස්වකීය නිදහස පිනිස වැඩ කරන ජනයාගේ ප්‍රහාරාත්මක ආරමිභකත්වයන් පාවා දීමේ හා පරාජයට ගොදුරු කිරීමේ ප්‍රතිවිපාක ලෙස මේ තත්වයට මහජනයා ගොදුරු කර ඇති බව ය. 

එදා සමසමාජ පක්ෂය යුද්ධය පිලිබද සිය කම්කරු පන්ති ආස්ථානය, රාජ්‍ය මන්ත්‍රන සභාවේ දී අභියෝගාත්මකව ඉදිරිපත් කරමින් සහ මහජනතාව අතර උද්ඝෝෂනය වර්ධනය කරමින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලන දෙදරුම් කවන පන්ති ගැටුම් වර්ධනය කලේ ය. 

“ඉන්දියාව හා ලංකාව වැනි විජිත සූරා කෑමේ අයිතිය සදහා අද දින බ්‍රිතාන්‍යයෝ ජර්මානුන්ට එරෙහිව සටන් වැද සිටිති. මේ කරුන සගවාගෙන සිටින බ්‍රිතාන්‍යයෝ, උන්ගේ යුද්ධය, ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස වෙනුවෙන් කෙරෙන්නක් සේ මවා පාති….බ්‍රිතාන්‍යයන්ට උන්ගේ යුද්ධය තව දුරටත් ගෙන යා හැක්කේ ඒ සදහා වියදම් සොයා ගනු වස්, විජිත සූරා කෑම උත්සන්න කිරීමෙන් පමනකි. විජිතයන්හි ප්‍රජාතන්ත්‍රවාදය රකිනු වෙනුවට, බ්‍රිතාන්‍යයෝ ලංකාවේ ජනතාවගේ සිවිල් හා දේශපාලන නිදහස වනසති. වතුකරයේ කම්කරුවන්ගේ නිත්‍යානුකූල සංවිධාන පොඩිපට්ටම් කර දැමීමට ඔවුහු වලි කති. අපගේ නායකයන් සිරගත කරන ලද්දේ, අධිරාජ්‍යවාදී පීඩකයන්ගෙන් ද ධනපති සූරා කන්නන්ගෙන් ද, කම්කරු අයිතීන් ආරක්ෂා කිරීමට ඔවුන් සටන් කල බැවිනි.” (Larski, 240 පිට, සමසමාජ ඉතිහාසයෙන්, ibid, පිටුව 21හි උපුටනය) 

සමසමාජ නායකයෝ අත් අඩංගුවට ගන්නා ලදහ. 1941 අප්‍රේල් 27 ඉරිදා “සමසමාජය” පත්‍රය, පලකරන මේ වාර්තාව ඒ සම්බන්ධයෙනි. 

“සමසමාජ නායකයන් සිර කිරීමට විරුද්ධව පැවැත් වූ ප්‍රයිස්පාක් රැස්වීම පිලිබද නඩුවේ අවසාන ජවනිකාව, එම නඩුවේ ප්‍රධාන විත්තිකාරිය වූ සෙලිනා පෙරෙරා සහෝදරිය සහ ටෙරන්ස් ද සිල්වා, ධර්මවර්ධන යන සහෝදරයන් ද බන්ධනාගාරගත වීමෙන් අවසන් වී තිබේ.

“මේ නඩුවේ ඉතිහාසය අමුතුවෙන් මතක් කලයුතු නො වේ. පොලිස්කාරයන්ගේ මැරවරකම් ද, පොලිස් ලොක්කන්ගේ තක්කඩිකම් ද, පොලිස් නිලධාරීන්ගේ බොරු සාක්කි කීම් ද, නඩුකාරයන්ගේ ධනපති පන්ති පක්ෂපාත අධිරාජ්‍ය ඇට්ටඹි නඩු තීන්දු ද, මේ ආදී සියල්ලක ම මේ නඩුවේ දී ප්‍රදර්ශනය විය….” (සමසමාජ ඉතිහාසයෙන්, ibid 22 පිට) 

එහෙත් වර්තමාන අරලගලයේ වීරයන් ලෙස පුම්බනු ලැබෙන ව්‍යාජ වාම රැඩිකලුන් මෙන් නො ව, ලසසප සටන්කරුවෝ ධනපති උසාවි හා නීති වැනි පන්ති පාලනයේ මර්ධන යන්ත්‍රයේ උපාංග ගැලවුම්කාර, නිදහස ආරක්ෂා කරන මන්ඩල ලෙස කිසි දිනෙක ඉස්මතු නො කලහ. 

“එහිදී, සෙලිනා සහෝදරිය විසින් කම්කරු ගොවිකරු ජනයාගේ සිත්සතන් පුබුදු කරවමින් ද, උසාවිය භ්‍රාන්ත කරමින් ද, අධිරාජ්‍යවාදීන් හා පොලිසිය වෙව්ලවමින් ද, මෙසේ ක්‍රියා කල නො හැකි ධනපති දේශපාලක දීනයන් ලජ්ජාවට පත් කරමින් ද ස්ටැලින්වාදී අමනයන්ගේ ඊර්ෂ්‍යාවට හා ක්‍රෝධයට ඉලක්ක වෙමින් ද, මීට පෙර ලක්දිව උසාවි ඉතිහාසයේ කිසි කලෙක සිදු නො වූ අන්දමේ සිද්ධියක මූලස්ථානය ගනිමින්, කල මා හැගි ප්‍රකාශය අද සියලු දෙනා ම දනිති.   

“… අවසාන නඩු විභාග දිනයේ දී ද, තමා මෙම උසාවියේ දී නිදහසට කිසිවක් නො කියන බවත් ඒ වෙනුවට, උසාවියෙන් පිට දී  තමා අධිරාජ්‍ය ක්‍රමයට හා ඔවුන්ගේ පොලිසියට විරුද්දව සටන් කරන්නට බලාපොරොත්තු වන බවත්, ඈ කීවා ය.” ( ibid 23-24 පිටු)  

1939 දී ට්‍රොට්ස්කිවාදී ජාත්‍යන්තරවාදී කම්කරු පන්තික පක්ෂයක් ලෙස වර්ධනය කර පැවති එම පක්ෂයේ මූලිකත්වයෙන් 1942 ඉන්දියා, ශ්‍රී ලංකා හා බුරුම (මියන්මාර්) ට්‍රොට්ස්කිවාදීන් ඒ්කාබද්ධ කර 4වන ජාත්‍යන්තරයේ ශාකාවක් ලෙස  ගොඩ නැගූ ඉන්දියාවේ බොල්ශෙවික් ලෙනිනිස්ස්ට් පක්ෂය (BLPI) ලංකාව මතු නො ව ඉන්දු උප මහද්වීපයේ ම නිදහස වෙනුවෙන් කම්කරු පන්තිය වටා ගොවි ජනයා හා සෙසු පීඩිතයින් බලමුලු ගැන්වීමේ සටන දියත් කලේ ය.

Image
ලියොන් ට්‍රොට්ස්කි

පක්ෂය බ්‍රිතාන්‍ය අධිරාඅධිරාජ්‍යවාදීන්ට එරෙහි මහා දේශපාලන වැඩ වර්ජනයක් සහ බදු කුලී නො ගෙවීමේ ගම්බද ව්‍යාපරයක් ඒකාබද්ධ කොට, ගොවි ජන කමිටු ගොඩ නගා, ඉඩම් අල්ලා ගැනීම කරා ඉදිරියට යන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය. අද ද වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන අවසන් කිරීම බැදී ඇත්තේ මෙබදු මහජන ක්‍රියා සමග ය.

BLPI ප්‍රමුඛ නායකයෙකු වූ කොල්වින්. ආර්. ද සිල්වා 1948 මර්තු 5 දා බෙංගාලයේ උලුබේරියාවේ පැවැත් වුන සමස්ථ බෙංගාලි ශිෂ්‍ය සංමේලනයේ වාර්ෂික සමුලුවේ ආරම්භක දේශනය,“ඉන්දියාවේ වර්තමාන දේශපාලන  තත්වය” යන ප්‍රස්තුතය යටතේ, පවත්වමින් කල ප්‍රකාශය තව දුරටත් වලංගු ය:

“නිදහස කුමක් ද යනු ආන්ඩු කරන්නේ කව්ද යන්න නො වේ. ප්‍රශ්නය වන්නේ පාලනය සිදු වන්නේ කාගේ, එනම් කොයි පන්තියේ අවශ්‍යතාවන් සදහා ද යන්න යි. එසේ නො වුවහොත් දුඹුරුපාට නිලධාරි පැලැන්තියක් [විසින්] සුදු පාට නිලධාරි පැලැන්තියක් විස්ථාපනය කර නිදහස පිලිබඳ මායාවක් ඇති කිරීමට පමනක් නො ව සැබැවින් නිදහස තිබේ යන මායාව ද මවන්නට පුලුවන.” 

“…ඉන්දියාව තුල සිදුව ඇත්තේ… අධිරාජ්‍යවාදී සෘජු පාලන රූපය වක්‍ර පාලන රූපයක් වබට පත් කිරීම පමනකි…

“…මහජන ආරක්ෂක පනත වැනි නීතිත්, වර්ජන මර්දනයත්, කම්කරු පන්ති සටන්කාමීන් ගොදුරට ගැනීමත්, බදු ප්‍රතිපත්ති හා එවැනි දේවලුත් මේ අතින් දැවැන්ත ලෙස අධ්‍යාපනය දෙයි. …අධිරාජ්‍යවාදයෙන් ඒකාධිකාරී නියෝජිතකම උරුම කරගත් ධනපති පන්තියට විශේෂයෙන් රාජ්‍ය පාලනයේ දී දැන් අවශ්‍ය වන්නේ මහජන ව්‍යාපාරය බලමුලුගැන්වීමට වඩා මර්දනය කිරීමට අවශ්‍ය වන බලතල ය. (1948, කොල්වින් ආර්. ද. සිල්වා,7, 8, 9, පිටු, කම්කරු මාවත ප්‍රකාශනයකි) 

සිල්වා ඉතා නිවැරදිව පෙන්වා දී ඇති පරිදි, ලංකාවට “නිදහස” යෝජනා කරමින්, සෝලබරි යෝජනා සමග ගෙන ආ 1948 “බ්‍රිතාන්‍ය ආන්ඩුවේ නිදහස් පනත් කෙටුම්පත සහ එයට අනුයුක්ත කර ඇති ගිවිසුම් සේනානායක බලමන්ඩලය සමග අධිරාජ්‍යවාදී හාම්පුතුන් ගෙන ගිය දිගු කුමන්ත්‍රනයක අවසාන අධියර ය. 

“වහල් ධනේශ්වරය තම අධිරාජ්‍යවාදී ලොක්කන්ගෙන් ඉල්ලා සිටින එකම නිදහස මෙම පනතින් ඔවුන්ට ලැබිනි. ඔවුන්ට අවශ්‍ය නිදහස මහජනතාවගේ නිදහස නොව තමන්ගේ නිදහස ය.” (Colvin. R. De. Silva, How England ‘frees’ a Colony, 16 February 1948)

මේ “නිදහස” උදෙසා කම්කරු පන්තියේ හා ගොවි ජනයාගේ ආර්ථික දේශපාලන නිදහස හැකි හැම අයුරින් ම පාගා දැමිය යුතු ව පැවතුනි. සෝලබරි නිදහස් කෙටුම්පත් සැකසෙන්නේ කම්කරු පන්තියේ රැකියා, වැටුප් හා ජීවන තත්වයන් ආරක්ෂා කරන, මර්දනීය තන්ත්‍රයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම සදහා පාලක කල්ලි දෙකටම විරුද්ධව කම්කරු පන්තිය ගෙන ගිය අරගලයක තියුනුතම අවධියක දී ය. 

1947 මහා වර්ජනය එතෙක් සිදු වූ දැවැන්ත ම කම්කරු පන්ති සටනයි. රජයේ ලිපිකරු සේවා සංගමය (GCSU) වෘත්තීය සමිති අයිතිය පිලි ගන්නා ලෙස රජයට බල කලේ ය. 

ලන්ඩනයේ විජිත කාර්යාලය වෙනුවෙන් පත් කර සිටි  ලේකම් මන්ඩලයේ ප්‍රධානියාගේ (chief secretary) මෙසේ නිවේදනය කලේය:  

“එබදු සංකීර්න හා දැවැන්ත කාරනයක් සම්න්ධයෙන් ප්‍රශ්නය සලකා බැලිය යුතු වන්නේ නව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ගොඩනගන ආන්ඩුව විසිනි.”

ඒ අනුව යමින්, එවක රාජ්‍ය මන්ත්‍රන සභාවේ ප්‍රධානියා වූ ඩී.එස්.සේනනානයක තම කම්කරු වරෝධී ආස්ථානය ප්‍රකාශ කලේ මෙසේය:

Image
1947 මහා වැඩවර්ජනයේ දසුනක්

 “රාජ්‍ය සේවකයන්ට කුමන තත්වයක් යටතේවත් දේශපාලන අයිතිය හිමි නො විය යුතු අතර රජය කිසි විටෙකත් නිල වසයෙන් වෘත්තීය සමිති පිලි නොගනු ඇත” (General Strike 70 years ago – 2017.11.29, Daily News – උපුටා ගැනීම D.S. Senanayake,  leader of the house, Times of Ceylon- Jan 26, 1947) 

සේනානායක කම්කරු උද්ඝෝෂන මැඩීම සඳහා තම පන්තිය අතටම බලය අවශ්‍ය බව නොවලහා පැවසුවේ මේසේය: “‘නිදහස’ පිලිබඳ පොරොන්දුව ලැබෙන තෙක්, වැඩවර්ජනය සම්බන්ධයෙන් ඇඟිල්ලක්වත් නොසොල්වමි”. (ibid)

1947 මැයි-ජුනි මහා වර්ජනය මේ සියලු ප්‍රහාර ඉදිරියේ කම්කරු පන්තියේ ‌ඓතිහාසික විප්ලවවාදී ශක්‍යතාව පිලිබිඹු කලේ ය. එවක 21 වියැති විඝනන ලිපිකරුවෙකුව සිටි හා පසු කලෙක (1958) ජීසීඑස්යූ සභාපති තනතුර ට පත් ටී.බී. දිසානායකගේ වාර්තාවක් මෙසේ දක්වයි:

“වැඩ වර්ජනයට එහි උච්ඡතම අවස්ථාවේ දී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයෝ 50,000ක් සහභාගී වූහ. වර්ජනයට නායකත්වය දුන්නේ, පොදු සේවා සංගමය (PCL), ලංකා කම්කරු සංගමය (CFL) හා ලංකා වෘත්තීය සමිති සම්මේලනය (CTUF) යි.

“වර්ජන රැල්ල ඇති කලේ ගාලු මුවදොර පිටියේ පැවති ජන රැලිය යි. රැස්වීම ඇමතූ පීසීඑල් ප්‍රමුඛ සාමජිකයන්ට යටත් විජිත රජය විසින් තහනම් පනවන ලදී. දහස් ගනනින් සංවිධානාත්මක කම්කරුවෝ එලියට ආහ. ජීසීඑස්යූ නායකත්වය යටතේ රජයේ ලිපිකරුවෝ වර්ජනයට පැමිනියහ. මධ්‍යම පන්තියේ සේවකයන් එක් වූ ප්‍රථම අවස්තාව මෙයයි.”

මෘග මහජන ආරක්ෂක පනත වර්ජනයට එරෙහිව ගෙන එන ලදී. ජුනි 5දා කම්කරුවන්ගේ පෙලපාලියට දෙමටගොඩ දී විශාල පොලිස් බල ඇනියක් කඩා පැන බැටන් පහර දී, 25 වතාවක් වෙඩි තබා 18 දෙනෙකු තුවාල කර එක් සටන් සගයෙකු වන වේලුපිල්ලේ කන්දසාමී මරා දැමීම ගැන දිසානායක ආවර්ජනය කරයි. වැඩ වර්ජිත කම්කරුවෝ, මිය ගිය සගයාගේ දේහය දැවැන්ත පෙලපාලියකින් බොරැල්ල මහ රොහලේ සිට කොටුව දුම්රිය ස්ථානය දක්වා ඔසවාගෙන ආ හැටි ඔහු විස්තර කරන්නේ ය:

“මැකලම් පාර [දැන් විජයවර්ධන මාවත] ජනයාගෙන් පිරී ඉතිරී තිබිනි. අගනුවර හා තදාසන්න රත්මලාන කොලොන්නාව ප්‍රදේශවල කාර්යාල, කර්මාන්ත ශාලා, වැඩපොලවලින් අති විශාල ජනකායක්, යාපනයේ සිට පැමින දිවිදුන් ආන්ඩුවේ ලිපිකරුවාට උපහාර දැක්වීමට පැමින සිටියහ. වර්ජකයෝ කන්ඩායම් වශයෙන් සංවිධානය වී වාරය ලබාගෙන  දෙනට කර ගැසූහ…”(1947 General strike – Colombo, Sri Lanka, T.B.Dissanayake) 

ලංකාවේ ආන්ඩුකාර සර් හෙන්රි මේසන් මූවර් ලියූ 1944-1948 සිය ධුර කාලය පිලිබද ලිපියක එදා පන්ති අරගල කුඩුපට්ටම් කිරීම සඳහා මර්දක නීති සකස් කරමින් යටත්විජිත පාලකයන් සමග  ලාංකික ධනපති පන්තිය කුමන්ත්‍රය කල ආකාරය පිලබඳව දක්වන ඇඟ හිරිවටවන සටහන මෙසේ ය: 

“මම ඒ වන විට මහනුවර සිටි අතර වහාම පියවර ගන්නා ලෙස ජෝර්ජ් ඊ. ද සිල්වා මහතා මගෙන් ඉල්ලා සිටියේය [ජෝර්ජ් සිල්වා 1929 ලංකා ජාතික කොංග්‍රසයේ සභාපති වූ අතර නුවර ප්‍රදේශ⁣යෙන් පත්ව 1942 සිට ’47 දක්වා ලංකා රාජ්‍ය මන්ත්‍රන සභාවේ සෞඛ්‍ය ඇමති විය]. මම කොළඹට ගොස් ඇමැතිවරුන් හමුවුනා. හදිසි නීතිය ප්‍රකාශ කර ඒකාධිපති බලතල ක්‍රියාත්මක කරන ලෙස ඔවුහු සියලු දෙනා මගෙන් ඉල්ලා සිටියෝය.  එවැනි [මර්දන] උපකරනයක් ඉතා රහසිගතව පැවතියද ඔවුන් එය කෙසේ හෝ දැනගෙන තිබුනි.

රාජ්‍ය මන්ත්‍රන සභාව තුළ එවැනිම නීතියක් සම්මත කිරීමට ඔවුන්ට පූර්න බලතල ඇති බවත්, එවැනි ක්‍රියාමාර්ග ගැනීමට කාලය පැමින ඇති බව සලකන්නේ නම්, අවශ්‍ය ක්‍රියාමාර්ගය තමන් විසින්ම ගැනීම ඔවුන්ගේ සරල කාර්යභාරය සහ වගකීම බවත් මම එවිට ඔවුන්ට පෙන්වා දුන්නා.  ඔවුන් එසේ කලේ නම්, මම ඔවුන්ට හැකි සෑම ආකාරයකින්ම සහයෝගය දැක්වීමට සූදානම් බව ද, මා සන්තකයේ ඇති කෙටුම්පත මත ඔවුන්ගේ නීති සම්පාදනය කිරීමට ඔවුන්ට හැකි බවද දැන්වීමි. අවසානයේ ඔවුන් එසේ කල අතර, ඇත්තෙන්ම මා සන්තකයේ තිබූ මුල් කෙටුම්පතේ තිබූ දඬුවම් වලට වඩා වැඩි දැඩි දඬුවම් අන්තර්ගත කලෝය.  එවැනි ප්‍රබල ක්‍රියාවක් විවේචනයට ලක් වුවහොත්, පැහැදිලිවම එහි වගකීම මා පිට පැවරීම  ඔවුන්ගේ උත්සාහය විය.” ( British Governors of Ceylon by H. A. J. Hulugalle, ANCL, Lake House, Colombo, 1983, පිට 232– උපුටා ගැනීම, An Account of 1947 General Strike of Ceylon by T. B. Dissanayake යන libcom.org හි පල වූ ලිපියෙන්)  

’47 මහා වැඩවර්ජනයට එරෙහිව භාවිතා කිරීමෙන් පසුව එතුවක් පටන් අද දක්වා ලංකාවේ පාලක පන්තිය කම්කරුවන්ට, රටේ උතුරේත්, දකුනේත් තරුන තරුනියන්ට,  මාධ්‍යවේදීන්ට හා ශිෂ්‍යයන්ට එරෙහිව නිරන්තරයෙන් යොදාගැනුනු හා ගැනෙන 1947අංක 25 දරන මහජන ආරක්ෂක ආඥා පනත සම්මත කරගැනුනේ ඒ ආකාරයෙනි.

වර්ජනයට සහභාගී වූ දහස් ගනනක් පෞද්ගලික හා රාජ්‍ය අංශයේ සේවකයන්ගේ රැකියා අහිමි කරන ලදී. ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ සටන කුඩු කල බව වුව ද වෘත්තීය සමිති ලෙස සෑම තැනකම කම්කරුවන්ගේ සංවිධාන ගොඩ නැගීම එතැනින් ඉදිරියට ගැනුනි.  

අධ්රාජ්‍යවාදී ඒජන්තයෙන් ලෙස මෙසේ සුදුසුකම් සපුරා සිටි දේශීය කොම්ප්‍රදෝරු ධනපති පන්තියට බලය මාරු කරනු ලැබුනේ මෙම තත්ත්වයන් ය⁣ටතේ ය.

’50 ගනන්වල මුල සිට ම කම්කරු පන්ති ජාත්‍යන්තරවාදයේ සිට ධනපති පාර්ලිමේන්තුවාදයට නතු වෙමින් සම සමසමාජ පක්ෂය 1964 සිරිමා බන්ඩාරනායකගේ  ධනපති සභාගයට ඇතුල් වී සිදු කල මහා පාවාදීමෙන් පසු ලංකාවේ ධනපති පාර්ලිමේන්තුව 1972 දී ලසසපයේ මූලිකත්වයෙන්  සම්මත කල, බුද්ධාගම ප්‍රමුඛත්වයේ සැලකූ ව්‍යවස්ථාවකින් ’48 ව්‍යවස්ථාව තවත්  සවිමත් කලේ ය. 

මෙකී ධනපති “නිදහස්” ව්‍යාපාරයේ නායකයෙකු වූ ද, ප්‍රථම  “නිදහස්” ආන්ඩුවේ මුදල් ඇමති වූ ද, එදා ආන්ඩු පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ පුරෝගාමී නායකයෙකු වූ ද, ජේ. ආර්.ජයවර්ධනගේ 1978 ආන්ඩුව, ඒකාධිපති ජනාධිපති ව්‍යවස්ථාව මගින් අද වික්‍රමසිංහ ආන්ඩුවේ මර්දනයට අවශ්‍ය පදනම් හා පුහුනුව ලබා දුන්නේ ය.

ජේ.ආර් ජයවර්ධනගේ සහාය ලැබ දේශපාලනිකව වැඩුනු රනිල් වික්‍රමසිංහ වර්තමාන අර්බුදය පාලනය කිරීම සදහා කැදවීම, මෘග පාලන ක්‍රමයේ අඛන්ඩතාව පිලිබද නාටකාකාර සිද්ධියකි.  

දැන් වික්‍රමසිංහ ආන්ඩුවේ සූදානම හා ක්‍රියාව බොල්ශෙවික් ලෙනින්වාදී පක්ෂයේ ඉලක්කය නැවත වේදිකාවට කැදවා ඇත. ලෝක තත්ත්වය විසින් සංවර්ධිත අධිරාජ්‍යවාදී ආර්ථිකයක් මත යැපෙන විජිත හා අර්ධ විජිත රටවල ධනේශ්වරය අතීතයේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය සමග සම්බන්ධව තිබූ කිසිම ‌ඓතිහාසික කරතව්‍යයක් විසදීමේ ලා අසමත්ය යන ලියොන් ට්‍රොට්කිගේ සංකල්පය මත පිහිටා බොල්ශෙවික්වාදය මත පිහටා සිටි සමසමාජ පක්ෂය පෙන්වා දුන්නේ,  “ධනපති පාලනය කෙරේ නිවැරදි ආකල්පය නම් ක්ෂමා විරහිත දැඩි විරුද්ධත්වය යි. ඒවාට අදාල අපේ කාරයයන් වන්නේ පෙරලා දැමීම අරමුනු කොට ගෙන ඒවා ක්‍රමානුකූලව එලිදරව් කිරීමයි. නිදහසට හා සමාජවාදයට වෙනත් මගක් නැත.” ( 1948, supra පිටුව 11)

සියලු පාවා දීම්වලට, සංශෝධනවාදයන්ට එරෙහිව ඉතා අසීරු වෛශයික කෙනේදේසි දරාගෙන 4වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව බීඑල්පීඅයි අනුයන ලද ඉදිරි දර්ශන හා ක්‍රියා මාර්ගය වර්ධනය කරයි. එම අරගලය, මෙම ධනපති රාජ්‍යය, වංචාවෙන්, දූෂනයෙන් නිදහස් කර පිරිසිදු කොට පවත්වා ගැනීමට ප්‍රතිගාමී යෝජනා ගෙන එන සියලු ප්‍රවනතා පිටු දැකීම හා පලවා හැරීම ඉල්ලා සිටී.  

#CACPS #theSocialistLK 

Images courtesy of Kumari Jayawardena, jamhoor.org, srilankabysh.com, libcom.org 

75 ‍‍වන නිදහස් සැමරුම – ජාතික නිදහසේ මායාව හා සැබෑ නිදහස – 2 Read More »

මාර්තු 15 ‘මහා වැඩ වර්ජනය’ සහ බංකොලොත් වෘත්තීය සමිතිවාදය

කොලඹ ක්‍රියාකාරී කමිටුව

ඊයේ (15) දිවයින පුරා රාජ්‍ය අංශයේ කම්කරුවෝ හා වෛද්‍යවරු ඇතුලු වෘත්තිකයෝ ආන්ඩුවේ නව බදු අයකිරීමට, පොලී අනුපාතය ඉහල දැමීමට හා විදුලිය ගාස්තු වැඩි කිරීමට හා තවත් ප්‍රහාරවලට එරෙහිව වැඩ වර්ජනය කර විරෝධතාවල නිරත වූහ. බදුල්ල, මහියංගනය, මොනරාගල වැනි ඈත නගරවල පවා ගුරුවරු ඇතුලු රාජ්‍ය කාර්යාල සේවකයෝ සිය දහස් ගනනින් පෙලපාලිවලට හා පිකට් උද්ඝෝෂනවලට
සහභාගී වූහ. ශ්‍රී ලංකා රක්ෂන සංස්ථා සේවකයෝ වරුවක් නිවාඩු දමා නගර මධ්‍යට ගොස් පිකට් කලහ.

Image
බදුල්ල නගරයේ රාජ්‍ය සේවක උද්ඝෝෂනය 

විදුලිය හා තැපෑල වැඩ නො කලහ. පාසැල් වසා දැමුනු අතර බොහෝ තැන්වල නියමිතව තිබුනු වාර විභාග කල් දැමීීමට සිදු විය. රාජ්‍ය බැංකුවලින් වැඩි ගනනක් ඇනහිට වූහ. දුම්රිය රියදුරන්ගේ වර්ජනය නිසා නියමිත දුම්රිය වාර 400 ගනනකින් දුවවනු ලැබිය හැකි වූයේ වාර 11 හෝ ඊට ආසන්න ගනනකි. ජනාධිපති මාධ්‍ය අංශයට අනුව 20කි. නමුත් එහි වැඩට යොදාගත හැකි වී ඇත්තේ DIM නිලධාරීන් තිදෙනා සහ කොන්ත්‍රාත් ක්‍රමයට වැඩ කරන විශ්‍රාමික රියදුරන් කිහිප දෙනා පමනි. වරාය කම්කරුවන්ට වර්ජනය අත් හැර වැඩ කරන
ලෙස විධාන කිරීමට කොලඹ වරායට ගිය වරාය අධිකාරියේ සහාපති, කම්කරුවන් විසින් හූ කියා පලවා හරිනු ලැබ ඇත.

Image
වවුනියාව නගරයේ උද්ඝෝෂනයක්


දින කිහිපයකට පෙර දියත් කෙරුනු විශ්ව විද්‍යාල  ආචාර්යවරුන්ගේ දීප ව්‍යාප්ත අරගලයට අනධ්‍යයන සේවකයෝ ද එක් වූ අතර විශ්ව විද්‍යාල අකර්මන්‍ය විය. පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සේවකයෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනා ගැනීමට තමන් සමග එක් වන ලෙස ජනතාවට ඇරයුම් කරන සටන් පාඨ හඩ නගමින් ගලහ හන්දියේ පිකට් කිරීමක නිරතව සිටියහ. මෙදා පාර අපේ සටන-නවතනු බැහැ කිසිවෙකුටත්, සටන් කරල – ලබා ගත්තු, අපෙ අයිතීන් – රැකගන්නට, ඇප කැපවෙමු – අපි හැමෝම” යනුවෙන්  ඔවුහු සිය අධිෂ්ඨානය ප්‍රකට කලහ.

Image
යාපනය නගරයේ පැවති උද්ඝෝෂනයක්

ප්‍රවාහන, ගමනාගමන, වරාය, නැව් තොට, තැපැල්, විදුලි, යන මේ “අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇති රාජ්‍ය සේවාවන්හි නිරත වන සේවකයින් වෘත්තීය ක්‍රියා ක්‍රියාමාරගවල නිරත වී රටේ පොදු නීතිය කඩ කලහොත් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බව රජයේ ප්‍රවෘති ප්‍රකාශකයා, ප්‍රවාහන මහාමාර්ග හා ජන මාධ්‍ය ඇමති බන්දුල ගුනවර්ධන පෙරදා නිවේදනය කලේ ය. කම්කරුවන් සටනට පිවිසුනේ තමන්
සටන එන්නේ කදුලු ගැස් හා බැටන් ප්‍රහාර දෙන වෙඩි තබා ඝාතනය කරන ආන්ඩුවක් සමග බව නොදැන නො වේ.

ආන්ඩුව, මෙසේ, ආරම්භයේදී ම අරගලය තුලට දේශපාලන ප්‍රශ්න ගෙන ආවේ ය. කම්කරුවන්ගේ අවශ්‍යතාව වූයේ දේශපාලන මහා වැඩ වර්ජනයකි. එහෙත්  වෘත්තීය සමිති විසින් කැදවන ලද්දේ සරල වැඩ වර්ජනයකි. එය  කම්කරුවන්ට සිය අදහස් ප්‍රකාශ කිරීමට වෘත්තීය සමිති විසින් ඉඩක් ලබා දෙනු ලැබ සිදුකල දැනුවත් සටනක් වූයේ නැත.

අනිවාර්යය රාජ්‍ය මර්දනයට මුහුන දී ජයග්‍රහනය කරා ගමන් කිරීමට අවශ්‍යතාවක් වෘත්තීය සමිති වලට නො තිබුනා පමනක් නො ව සටන කෙසේ හෝ අවසන් කිරීම වෘත්තීය සමිතිවල ඉලක්කය වී තිබිනි. ජනතා විමුක්ති පෙරමුනට අයත් වෘත්තීය සමිතිවල ප්‍රමුඛ නායකයෙකු වන කේ. ඩී. ලාල් කාන්ත 13දා වෘත්තීය සමිති සහ තවත් සංවිධානවල සහභාගීත්වයෙන්  “ජන පීඩක බදු සංශෝධනය හා රටේ  හෙට දවස” යන සිරස්තලය යටතේ කොලඹ පැවති රැස්වීමක දී පැහැදිලිව ම මෙසේ කීවේ ය:“ 15දා වැඩ වර්ජනයට අපි සම්පූර්න සහයෝගය දෙනවා. අඛන්ඩ වැඩ වර්ජන කතාවට මේ මොහොතේ අපි සූදානම් නැහැ.”

විදුලි බල මන්ඩලය ප්‍රති ව්‍යුහගත කිරීම පිලිබද ජවිපෙ නායකත්වයේ සිටින තවත් වෘත්තීය සමිති නායකයෙක් වන රන්ජන් ජයලාල්
ද මෙසේ  කියයි. “ඇමති තුමා (විදුලි බල) ප්‍රතිව්‍යුහගත කරනය සම්බන්ධව මෙතෙක් කතා නො කලාට මින් ඉදිරියට දෛනිකව, මාසිකව,
සතියෙන් සතියට හෝ අප සමග කතා කරන බව කීවා. අපි ඒකට එකගයි. ඇමති තුමා කීවෙ විකුනන්නෙ නෑ කියා. ඒ නිසා ගැටුමකට යා යුතු නෑ.”

ගැටුමකට නො යා සිටීමට කරුනු තවත් වෘත්තීය සමිතිවලට ඇත. ඉල්ලීම් ලැබෙන තෙක් අඛන්ඩ වැඩ වර්ජනයකට යනවා යයි 13 සදුදා
වර්ජනයක් ආරම්භ කල රාජ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (රවෛනිසං) ඊයේ තාවකාලිකව නවතින බව කියමින් වර්ජනය අත් හැර දමා ඊට හේතු ගෙනහැර පෑ ය. ඔවුහු ආන්ඩුව තමන් වෙත ලබා දුන්නා යයි කියන පොරොන්දු පත්‍රයකට අනුව සැකසූ පුවත්පත් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව 1) විකල්ප යෝජනා පිලිබද අඛන්ඩව සාකාච්චා කිරීමට රජයේ අභිලාශය ප්‍රකාශයට පත් විය. 2) 2023 මාර්තු 20 සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා ක්‍රියාවට දැමීම අරඹන අතර බදු සංශෝධන ක්‍රියාත්මක කිරීම සදහා රජය කැමැත්ත දක්වා ඇත. 3) බදු සංශෝධන සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සෘජු ලෙස සාකච්ඡා කිරීමට වෘත්තීය සමිති සදහා අවස්ථාව සලසා දීමට රජයේ ඇති
කැමැත්ත දක්වා ඇත. 4) රාජ්‍ය  මූල්‍ය ප්‍රවනතාවයන් සැලකිල්ලට ගනිමින් රජයේ සේවකයන් වෙත 2023 අග කාර්තුවේ දී විශේෂ දීමනාවක් ලබා දීමට ඇති ඉඩ කඩ පිලිබදව කරුනු දක්වා ඇත.   

අවසානයේ දී වෛද්‍ය සංගමය කියා සිටින්නේ “ලිපිය හරහා අපට දී ඇති සඥා පිලිබද අවධානය යොමු කල රවෛනිගේ විධායක සභාව මේ වන විට ආරම්භ කර, අඛන්ඩව දියත් කිරීමට සැලසුම් කර තිබූ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය හෙට දින උදෑසන 8 සිට තාවකාලිකව නවතා දැමට තීරනය කරන ලදී.”

වෘත්තීය සමිතිවලට වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව අරගලයක් ගෙන යාමට මොන ම හැකියාවක්වත් නැති බව දැනටමත් පැහැදිලි
ය. ඒ්වාට යම් වුවමනාවක් පවතී නම් ඒ අර්බුදයේ මුලු බර කම්කරු පිඩිත ජනයා මත පැටවීමේ වර්තමාන ආන්ඩුවේ ක්‍රියා පිලිවෙත, වෘත්තීය සමිති නිලධරයට හා එබදු වරප්‍රසාදිතයන්ට හානියක් නො වන පරදි  අනුගමනය කිරීම ය.

වෘත්තීය සමිතිවලට නිශ්චිත දේශපාලන අර්ථයෙන් ජෙනරල් ස්ට්‍රයික් කැදවීමේ හැකියාවක් ද නැත. ඊයේ දුම්රිය වර්ජනය ඊට කැපී පෙනෙන නිදසුනකි. රියදුරෝ වර්ජනය කලහ. දුම්රිය ස්ථානාධිපති, ගාඩ්, ලිපිකරු, සහ සෙසු අංශවල දුම්රිය සේවකයන්ගේ වෘත්තීය සමිති ඊට සහාය නො දිනි.වෘත්තීය සමිති වර්ග බොහෝ ය. ඒ්වා වෙනස් ධනපති පක්ෂවල හෝ කන්ඩායම්වල අවශ්‍යතා නියෝජනය කරති. අවසානයේ දී ඒවා ඒකමතික වනවා නම් වන්නේ කම්කරු පන්තියේ සටන් පාවා දීම සම්බන්ධයෙන් පමනක් බව ‌ඓතිහාසික සත්‍යයකි.  

මෙවර ද,  ඉල්ලීම් දිනා ගැනීම කෙසේ වෙතත් සමිති එක් දිනක වර්ජනයක් කැදවීම මගින් කල් ඇතිවම ආන්ඩුවට සඥා කලේ බිය නො විය යුතු බවට ය. ‘ඉල්ලීම් ඉටු නො කලොත් අඛන්ඩ වර්ජනයක්’ යනුවෙන් කියාපෑම පාලක පන්තියේ අවබෝධය සහිතව කරන කම්කරුවන්ගේ ඇසට වැලි ගැසීමේ ක්‍රීඩාවේ ම අංගයකි.

කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) සෑම වැඩ බිමකම, නිවහන් ප්‍රදේශයකම කම්කරු ගොවි ක්‍රියාකාරී කමිටු ගොඩ නගමින් ධනවාදී ප්‍රහාර පරාජය කිරීමේ සැබෑ මහජන ව්‍යාපාරය සංවිධානය කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ එබැවිනි. තීරන ගැනීමේ අයිතිය එබදු කමිටු අතට පත් විය යුතුය. ඒවායේ නියෝජිතයන්ගේ සම්මේලනයක් මගින් මුලු දිවයිනේ ම පීඩිත මහජනයාගේ අවශ්‍යතා නියෝජනය කරන වැඩපිලිවෙලක් සදහා ඒකාබද්ධ අරගලය පෙරට ගත යුතු ඇත. 

16 මාර්තු 2023

#CACPS #theSocialistLK

මාර්තු 15 ‘මහා වැඩ වර්ජනය’ සහ බංකොලොත් වෘත්තීය සමිතිවාදය Read More »

75 ‍‍වන නිදහස් සැමරුම – ජාතික නිදහසේ මායාව හා සැබෑ නිදහස – 1

කොලඹ ක්‍රියාකාරී කමිටුව

නන්දන නන්නෙත්ති විසිනි

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීහු, 1815 සිට 1948 දක්වා, වසර 133ක් ලංකාව අල්ලාගෙන පාලනය කලහ. ඔවුන් තමන් විසින් බිහි කෙරුනු කොම්ප්‍රදෝරුවන් වූ දේශීය ධනපතියන් අතට රාජ්‍ය බලය මාරු කිරීමෙන්, 75 වසරක් සපිරීම  පෙබරවාරි 4දා සනිටුහන් කලේ ය.

සිංහල බෞද්ධ වර්ගවාදී රාජ්‍ය සංකේතය වන ‘ජාතික කොඩිය’ දිවයින පුරා සියලු රාජ්‍ය ආයතනවල ප්‍රදර්ශනය කරමින්, බෞද්ධ පූජකයන් පෙරටු කරගෙන, රාජ්‍ය හමුදා හා යුධෝපකරනවල බලය විදහා පාමින්, එදින, කොලඹ දී ප්‍රකෝපකාරී සැනකෙලියක් පැවැත්විනි. පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අර්ධ මිලිටරි පොලිස් පාලනයකට යටත් කර පවතින, යාපනයට ගොස් ‘නිදහස් උත්සවයක්’ පැවැත් වූයේ ය. රටේ සාමාන්‍ය ජනයා ජාතික කොඩි එල්ලීම ප්‍රතික්ෂේප
කල අතර නිදහසක් නැතැයි කියන්නට වූහ.

Image
නිදහසේ ගිවිසුම් ප්‍රකාශය අත්සන් කිරීම-1948.හෙන්රි මොන්ක් මේෂන් මූවර්, ඩී.එස්.සේනානායක.

4දා සිට ගෙවී ගිය සති දෙක තුල දිවයින ම ආවරනය වන පරිදි පැවැත්වූ සැනකෙලිය අවසන් කලේ, 16 දා, මහනුවර දලදා මාලිගය කේන්ද්‍ර කරගෙන, වීදි සංචාරය කල “ජනරජ පෙරහැරකිනි”. මෙය විශේෂ අවස්ථාවක දී රාජ්‍ය නායකයාගේ ඉල්ලීම අනුව පවත්වන සිංහල බෞද්ධ පෙරහැරකි. එබදු පෙරහැරක් 1875 දී, වේල්සයේ ආධිපාද එඩ්වඩ් කුමරුගේ ලංකාගමනය වෙනුවෙන් පවත්වනු ලැබ ඇත. පසුව 1954 හා 1981 වර්ෂවල ලංකාවට පැමිනි දෙවන එලිසබත් රැජින වෙනුවෙන් ද මෙම විශේෂ පෙරහැර පවත්වා ඇත. මීට අමතර ව එය පැවැත්වුනේ දලදා මාලිගාවේ ‘රන් වියන’ විවෘත කිරීම උදෙසා ය. මෙදා, බෞද්ධ ආගමික, වාර්ගික පූච්චානම්වලට අවස්ථාවක් වූ  පෙරහැරට පමනක් රුපියල් කෝටි 10ක් වැය කල බව වාර්තා වේ.   

Image
වික්‍රමසිංහ නුවර ජනරජ පෙරහැර අවස්ථාවට සහභාගී වෙමින්

රජය නිවේදනය කල පරිදි මෙම කටයුතු සිදු කෙරුනේ “රටේ පසුගිය කාලයේ පැවති වාතාවරනය වෙනස් වී සාමකාමී
වටපිටාවක් පවතින බවට ජාත්‍යන්තර සමාජය දැනුවත් කිරීමට” ය. පසු ගිය කාලයේ පැවති වාතාවරනය වූයේ ජීවන තත්වයන්
ආරක්ෂා කර ගැනීමේ නිදහසට එල්ල කෙරුනු ආන්ඩුවේ ප්‍රහාරයට එරෙහිව, 2022 මාර්තු අග සිට ඇවිලී ගොස්, මිලියන දෙකක පමන ජනයා කොලඹට කැදවූ කැරලිකාරී අරගලයක් විසින් දිවයින අලලා ගනු ලැබීමයි. එහි දී පක්ෂ විපක්ෂ සියලු පාර්ලිමේන්තු නියෝජතයන් එපා යයි මහජනයා උද්ඝොෂනය කලහ. කම්කරු පන්තිය මැදිහත් වී හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ,
එම ජුලි මස, පලවා හැර ආන්ඩුව අස්ථාවරත්වයට ඇද දැමූහ.

අද වන විට පන්ති යුද්ධය උත්සන්න වී ඇත. සියලු ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට තහන්චි පනවමින් ඇදෙන වික්‍රමසිංහ ආන්ඩුවේ ඉලක්කය පන්ති අරගලය තලා දමා, ලාභ පද්ධතිය රැක ගැනීමට, තම තන්ත්‍රයට සමත්කම් ඇති බව අධිරාජ්‍යවාදී හාම්පුතුන්ට
ඒත්තු ගනවා ගැනීම ය. එනම් මේ අසීරු මොහෙතේ පවා, 1948 ලැබුනු රාජ්‍ය සුරක්ෂිතව පවත්වා ගැනීම වෙනුවෙන් අවශ්‍ය ඔනෑම පියවරක් තමන් විසින් ගනු ලබනු ඇති බව සහතික කිරීම ය.

1931 ඩොනමෝර් කොමිසම මගින් ස්ථාපිත කල, “නිදහස්” සර්වජන ඡන්ද බලයමත් අභියෝගයට ලක් වී ඇත. මාර්තු මාසයේ කල් ඉකුත් විමට නියමිතව පැවති හා මැතිවරන කොමිසම විසින් කැදවන ලද පලාත් පාලන මැතිවරනය, ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් නො කිරීම මගින්  දින නියමයක් නැතිව කල් දැමීමට ආන්ඩුව පියවර ගත්තේ ය. වික්‍රමසිංහ කියන්නේ  කෙදිනක හෝ රටේ ආර්ථිකය ගොඩනගන තෙක් මැතිවරන නැති බව ය! ඒ මුදල් ඇමති ද වන ජනාධිපති වික්‍රමසිංහ, තමන් විසින් ම ඉදිරිපත් කරනු ලැබ පාර්ලිමේන්තුවේ දී සම්මත  කර ගැනුනු අය වැය ලේකනය මගින් මැතිවරනය සදහා මුදල් වෙන් කරන ලද බව පවා නො තකා හරිමිනි. වෙන් කර ඇති මුදල් ලබා දෙන ලෙස මුදල් ලේකම්ට නියෝග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරනයට සිදු වී ඇත.

වික්‍රමසිංහගේ වියරු ස්වභාවය වටහා ගත හැකි ය. එවක පැවති යටත් විජිතවලට සාපේක්ෂ නිදහස් රාජ්‍ය ගෙන ආවේ දෙවන ලෝක යුද්දයෙන් පසු ඇමරිකානු අධිරාජ්‍යවාදයේ බලවත් ආර්ථික ශක්තිය ද හා ස්ටැලින්වාදී පාවා දීම ද මත  ගොඩ නැගූනු පස්චාත් යුද සමතයයි. එය බිද වැටීම ප්‍රකාශයට පත් කිරීමෙන් වසර 40ක් පමන ගෙවී ගොසිනි. ලෝක යුද්ධ දෙකකට තුඩු දුන්
ආර්ථික දේශපාලන කොන්දේසි නැවතත් තීව්‍ර ලෙස ඉස්මත්තට පැමින ඇත. සමතය සදහා මුදා හල නය කන්ද පුපුරා ගොසිනි. සිය ආර්ථික දේශපාලන නිදහස ඉල්ලා කෙරෙන මහජන නැගිටීම්වලින් ලෝකය ඇලලී යමින් පවතී.

මහජන අවශ්‍යතා පාගා නො දමා පද්ධතිය පවත්වා ගත නො හැකි ය. අරගලයට පිවිසෙන ජනයා කඩාකප්පල්කාරීන් හා ත්‍රස්තවාදීන් ලෙස ලේබල් කර අත්ඩංගුවට ගැනීම “රාජ්‍යයේ” සාමාන්‍ය ජීවිතය බවට  පත් ව ඇත්තේ මෙම තතු තුල ය. “මම ඒවාට ඉඩ දෙන්නේ නැහැ” යි ශ්‍රි ලංකාවේ ජනාධිපතිගේ නිරන්තර තර්ජනය මතුවන්නේ මෙම නො හැකියාවෙනි.  

රටේ පැරනි ම ධනපති පක්ෂය වන 1946 පිහිටුවා ගත්, වික්‍රමසිංහ නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂය අවසන් මහ මැතිවරනයෙන් එකදු ආසනයක්වත් දිනා නො ගෙන බිංදුවට ම බැස්සේ ය. ශ්‍රී ලංකාවේ පාලක පන්තියේ දැනුවත් නියෝජිතයන් විසින්, රටේ ආර්ථික දේශපාලන අර්බුදය වර්ධනය වෙමින් පැවතිය දී, ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඉඩකඩ භාවිත කර, කල් ඇතිවම පාර්ලිමේන්තු නියෝජිතයෙකු බවට පත් කර ගැනුනු ඔහු පසුව එම පාර්ලිමේන්තුව විසින් ම රාජපක්ෂගෙන් හිස් වූ ජනාධිපති පදවියට ඔසවා තබනු ලැබිනි.

මෙම පත් කිරීම බොහෝ සෙයින් 1933 ජනවාරි 30 දින, ජර්මනියේ ජනාධිපති වොන් හින්ඩන්බර්ග් විසින්, පාලක පන්ති දේශපාලන නියෝජිතයන් හා කර්මාන්තකරුවන්ගේ උපදෙස් සැලකිල්ලට ගෙන, ඇඩොල්ෆ් හිට්ලර් එරට චාන්සලර් පදවියේ
පිහිටු වනු ලැබීම සමග සැසදිය හැකි ය. පෙබරවාරි 27දා සිදු වූ, බර්ලිනයේ පිහිටා තිබූ ජර්මානු පාර්ලිමේනතු ගොඩනැගිල්ලට ගිනි තැබීමේ සිද්ධිය සමග ජර්මන් වැඩකරන ජනයාගේ අයිතීන් හා නිදහස දැඩි ලෙස සීමා කල කුප්‍රකට රිච්ටැග් ගිනි ආඥාව සම්මත කරවා ගත් හිට්ලර් කම්කරු පන්තියට එරෙහි මාරාන්තික ප්‍රහාරයක් දියත් කරමින් නිත්‍යානුකූල ආඥාදායකයෙකු ලෙස වැඩ ආරම්භ කලේ ය.

පෙර නොවූ විරූ මහජන කැරැල්ලක් මැද මහජන මතය නො තකා බලයේ පිහට වනු ලැබූ වික්‍රමසිංහ පාලනය තුල ‌ෆැසිස්ට් ව්‍යාපාරයක් ඉස්මතු වීමේ අනතුර පවතී. දැනට සැකසෙමින් තිබෙන ආකාරයේ මිලිටරිය හා පොලිසිය මත පදනම් වූ ආඥාදායකත්වයකට වෘත්තීය සමිති හා ඊනියා විරුද්ධ පක්ෂවල අනුග්‍රහය කැදවාගැනීමට මෙහා මාවතක් ඔහුගේ දේශපාලන නායකත්වය ලබන පාලක පන්තියට නැත.

1948 “නිදහස” පිලිබද මිත්‍යා කතා “ජාතික නිදහස” උදෙසා බෞද්ධ භික්ෂූන්, රදලයන් හා ධනපතියන් දිවි පරදුවට තබා සටන් කල බවට බොහෝ කතා වපුරනු ලැබ තිබේ. සත්‍ය නම් 1815 බ්‍රිතාන්‍ය පාලකයන්ට රට පාවා දුන් උඩ රට ගිවිසුමත්, බ්‍රිතාන්‍යයන් විසින් මෙරට ධනපතියන් අතට බලය පැවරූ 1848 නිදහස් පනතත් යන දෙකම පීඩිත මහජනතාවගේ නිදහසට වල කැපිම සදහා සිදු කල කුමන්ත්‍රනකාරී ක්‍රියාවන්බව ය.

Image
උඩරට ගිවිසුම 1815

“මෙතෙක් පැවති සියලු සමාජවල ඉතිහාසය (මුලු මහත් ලිඛිත ඉතිහාසය) පන්ති අරගලවල ඉතිහාසය වේ” යයි කාල් මාක්ස් සහ ෆෙඩ්රික් ඒංගල්ස් සුප්‍රකට කොමියුනිස්ට් ප්‍රකාශනයේ ලියා තබා ඇත. මෙම මූල ධර්මයට එරෙහිව සැබෑ ඉතිහාසය වටහා ගැනීමට කිසිවෙකු සමත් වන්නේ නැත.    

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් සිය පාලනය මුලු රටෙහිම ස්ථාපිත කලේ, 1815 මාර්තු මාසයේ 02 හෝ ඊට ආසන්න දිනක මල්වතු විහාරයට අයත් මහනුවර මගුල් මඩුවේ දී ඇතිකරගත් ගිවිසුමත් සමග ය. මල්වතු – අස්ගිරි උභයපාර්ෂවීය භික්ෂූහු හා උඩරට සිංහල රදලයෝ තම වරප්‍රසාද ආරක්ෂා කරන බවට බ්‍රිතාන්‍ය පාලකයන්ගෙන් ලද පොරොන්දු පත්‍රයට රට පාවා දුන්හ. උඩරට කිරීටය අධිරාජ්‍යවාදයට නතු කරනු ලැබීමකට වඩා මෙය මහජනයාට එරෙහි දැවැන්ත කුමන්ත්‍රනයක් විය.

උඩ රට ගිවිසුමේ 5ස් වන ඡේදයෙන් “උඩ රට මුලාදෑනින් හා වැසියන් අදහන බුද්ධශාසනයත්, දේවාගමත් කඩ නො කර පවත්වමින් සංඝයා හා විහාරාරාම රැකීම” ඉංග්‍රීසි ආන්ඩුවට බාර කරනු ලැබින. මුල් ගිවිසුම් 3 වෙන් වූයේ රදලයන්ගේ වෛරයට පාත්‍රව සිටි, උඩරට අවසන් රජු වූ ශ්‍රි වික්‍රම රාජසිංහට, ඔහුගේ ඥාතීන්ට හා එම වංශයේ කිසිවෙකුට රාජ්‍යයේ අයිතිවාසිකම් අහිමි බව තහවුරු කිරීමට ය. 4 වගන්තියෙන් සිංහලේ පරමාධිපත්‍යය බ්‍රිතාන්‍ය කිරීටයට යටත් කල අතර උඩ රට අධිකාරම්,  දිසාවේ, මොහොට්ටාල, කෝරලේ හා විදානෙලාට තම දේපල අයිතිය, වැඩවම් පද්ධතිය හා පීඩක කුල ක්‍රමය අයත් සිංහල නීති
හා චාරිත්‍ර ක්‍රම පවත්වා ගැනීමට ඉඩ දුන්නේ ය. 6 සිට 10 දක්වා දඩුවම් නියමකිරීම
ගැන ය. අවසාන අංක දෙක මගින් රාජ්‍ය ආදායම් එකතු කිරීම, වෙලදාම හා වානිජ කටයුතු බ්‍රිතාන්‍ය
ආන්ඩුවට පැවරුනි.

රදලයින්ගේ හා භික්ෂූන්ගේ අනුමැතිය ලැබුනු, කරුනු දොලහකින් සමන්විත ගිවිසුමේ රටේ පිඩිත මහජනතාවගේ අයිතිවාසිකම් හා ආරක්ෂාව ගැන එකදු වචනයක්වත් සදහන් නො වී ය. ගිවිසුම වරප්‍රසාධිත ප්‍රභූව ආක්‍රමනිකයා සමග ඒකාබද්ධ වී පීඩිත ජනයා තව දුරටත් මිරිකා උරා බීම සහතික කිරීම සදහා ය.

1818 දී, සිය වරප්‍රසාද පිලිබද පොරොන්දු කඩ වීම නිසා බ්‍රිතන්‍ය පාලනය සමග ගැටුනු රදලයන් පිරසක් ඌව  වෙල්ලස්ස කැරැල්ල නමින් ප්‍රකට සිද්ධියට යොමු වූහ. ඔවුන්ගේ අභිප්‍රාය වූයේ ප්‍රතිගාමී වැඩවසම්වාදය යලි ස්ථාපිත කිරීම හෙවත්
ඉතිහාසයේ රියසක ආපස්සට කරකැවීම ය. නිදහස් අරගලයේ වීරයෙක් ලෙස ඔජ වඩවන මොනරවිල කැප්පෙටිපොල
යනු 1815 පාවා දීමේ ගිවිසුමට අත්සන්කර පසුව බ්‍රිතාන්‍ය පාලකයන් සමග විරසක වී එම ව්‍යාපාරයට එක් වූ එක් රදලයෙකි. රදලයන්ගේ සෙසු පිරිස කැරැල්ල මැඩීමට බ්‍රිතාන්‍ය පාලකයන්ට සහාය වීමෙන් තම සීමිත වරප්‍රසාද දිනා ගැනීමට ක්‍රියා කලෝ ය. 

එම සහාය ඇතිව ඉංග්‍රීසි පාලකයෝ ‘බිම් පාලු’ උපාය ක්‍රියාත්මක කරමින් ඌව වෙල්ලස්ස ගැමින්ගේ වගාවන් හා ගේදොර ගිනි දමා වනසා දැමූහ. ඇතැම් ගැමියන් දිවි ගලවා ගත්තේ ඈත එපිට වනගත ප්‍රදේශවලට පලා යාමෙනි. මෙසේ පලා ගොස් යලි සිය ගම් බිම්වලට නො පැමිනි ජන සමූහයකින් පැවත එන ගම්මානයක් A4 මාර්ගයේ ගොස් සියබලාන්ඩුවෙන් හැරී
අම්පාරට යන විට හමුවන දමන ප්‍රදේශය ආසන්නයේ මේ වන විටත් පවතී. වසර 19කට පෙර, මෙම ලේඛකයාට එම ගම්මානයේ ජනයා සම්මුඛ වී ඇත. මේ ගැමියෝ දිවයිනේ අනෙක් පෙදෙස්වලට උරුම වූ සමාජ සංස්කෘතියෙන් කෙතරම් ඇත්
වී සිටියේ ද යත් 1950 ගනන් වන විටත් මෘත දේහ ‘කැලෑ ගැසීමේ’, එනම් පෙට්ටියක නො දමා කැලයට විසිකර දැමීමේ පුරුද්ද
අනුගමනය කලෝ ය. 

1820-30 දශකවල බ්‍රිතාන්‍ය පාලනය බලාපොරොත්තු වූ ආදායම් නො ලැබීම නිසා ආදායමට වඩා පරිපාලන වියදම් ඉහල යාමෙන් අර්බුදයකට මුහුන පායි. 1829 කෝල්බෲක් කොමිසම ලංකාවට එවන්නේ ඒ ගැන සොයා බලා පිලියම් යෙදීමට ය. වතු වගාව දියුනු කිරීමට අවශ්‍ය පරිපාලනමය පදනම් වැටෙන්නේ එතැනිනි. 1840 ඉඩම් පනත මගින් වසර 30ක් බුක්ති
විදීම ඔප්පු කල නො හැකි සියලු ගැමියන්ගේ ඉඩම් රජය සතු කර ගනී. ගැමියන් අත එවැනි ලියවිලි නො තිබිනි. දේශීය ප්‍රභූවෙන් ම ඉස්මතු වූ ඉඩම් හිමියන් හා ව්‍යාපාරවලින් ඉස්මතු වූ ධනපතියන් ට හා විදේශීය ව්‍යාපාරකයන්ට මේ ඉඩම් මිල දී ගැනීමේ අවස්ථාව උදා විය.

අනෝන්‍ය සහයොගීතාව තුල බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනය ලංකාවේ ගැමියන්ගේ ඉඩ කඩම් කොල්ලකමින් ද, ඇග බද්ද, බලු බද්ද, මාර්ග බද්ද, යනාදී බදු වර්ග 30ක පමන අයකරමින් ද, හමුදා පොලිස් ප්‍රහාරවලට ඔවුන් ගොදුරු කරගනිමින් ද,  රුදුරු
මර්දනයක් පවත්වා ගැනුනු අතර ඊට එරෙහිව පැන නැගි 1848 කැරැල්ල ලේ විලක ගිල්වනු ලැබිනි.

“1848 කැරැල්ල එහි වපසරියෙන් සාමාන්‍ය ස්වභාවයට වඩා හීනව පැවතියේ වුව ස්වභාවයෙන් වඩා නවීන ය. එය තම ඉඩම් උදුරාගැනීමේ ධනේශ්වර ක්‍රියාවලියට එරෙහි ග්‍රාමීය ජනයාගේ ප්‍රචන්ඩ අරගලයක් විය. එයට නායකයන් සිටියත් නායකත්වයක් නො පැවතුනි. පැරනි වැඩවසම්වාදීහු තලා දමා බල රහිත කරන ලදහ. අරගලයට නායකත්වය දී බලය කරා ගෙන යා හැකි නව පන්තියක් තවම බිහි වී තිබුනේ නැත.” (Hartal, Colvin R. De. Silva, September 1953,  LSSP Pamphlet)

මේ තත්වය තුල ම ලංකා යටත්වජිත ආන්ඩුව වතු වැඩට ගෙන්වාගත් ඉන්දියානු කම්කරුවෝ ම්ලේච්ඡ සූරා කෑමට ගොදුරු වූහ. සෙසු කම්කරුවන්ගේ තත්වය ද යහපත් වූයේ නැත. 1865 ආඥා පනතක් මගින් වැඩ වර්ජන සාපරාධී වරදක් බවට පත් කරන ලදී.

මේ මර්දනය නො තකා 1893 සැප්තැම්බර් 12 දින කොලඹ මුද්‍රන සේවා කම්කරු වර්ජනයත් සමග වෘත්තීය සමිතිවල ආරම්භය සලකුනු කලේ ය. වරාය දුම්රිය ඇතුලු අංශ ගනනාවක් කම්කරු අරගල හා සංවිධාන බිහි වීම ඇරබිනි. 1931 නඩේසන් අයියර්ගේ නායකත්වයෙන් සමස්ථ ලංකා වතු කම්කරු සංගමය බිහි විය.1946-47 මහා වැඩ වරජන දක්වා වසරින් වසර නිදහස උදෙසා කම්කරු පන්තියේ අරගල පැතිරී ගියේ ය.  

Image
1947 මහා වැඩ වර්ජනය

ලාභ පොදි ගැසීම උදෙසා පවතින ධනපති පන්තියේ අවශ්‍යතාවයට පටහැනි ව කම්කරු පන්තියේත්, පීඩාවට පත් ගොවි ජනතාවගේත් ප්‍රමුඛතම අවශ්‍යතාව වූයේ අධිරාජ්‍යවාදී ධනේශ්වර පීඩනයෙන් නිදහස් වීම ය. මහජනයා ප්‍රභූ පැලැන්තියේ වහලුන් ලෙස සැලකූ විහාරගම් සහ දේවාලගම්වලින් සමන්විත අඳ ගොවි ක්‍රමය, නියම කරන ලද රැකියාව
හැර අන් රැකියාවක් තහනම් කලා වූ ද, කුල අතර ආවාහ විවාහ තහනම්කලා වූ ද, කුල ධූරාවලිය ද වැනි වැඩවසම් සමාජ පීඩනය අහෝසි කර ප්‍රජාතන්ත්‍රවදී නිදහස සාක්ෂාත් කිරීම ඓතිහාසිකවම අවශ්‍යය කෙරී පැවති අතර, උපන් ගෙයි දී ම පක්ෂාඝාත ව එම කරතව්‍යයන් ඉටු කිරීමට අසමත් වූ මෙරට කල් පසුවී මතු වූ  ධනපති පන්තිය මෙම අරගල නිසා තැති ගත්තේ ය.  

ලංකා ධනපතියන් ලංකා ජාතික සංගමය (1888) නමින් සංවිධානය වූ අතර එය සෑම විටම යත්න දැරුවේ බ්‍රිතාන්‍ය
පාලනය තුල යම් බලතල හිමි කර ගැනීමට ය. ශ්‍රී ලාංකික ‘ජාතියේ පියා’ හා ‘නිදහසේ පියා’ ලෙස හැදින්වෙන ‘නිදහස් ලංකාවේ’ ප්‍රථම අගමැති වූ  ඩී.එස්.සේනානයක වනාහී කිසි දිනක කම්කරු පීඩිත ජනතාවගේ පසින් ජාතික නිදහස උදෙසා සටන් නො කල මෙම ලංකා ජාතික සංගමයේ නායකයෙකයෙකි. හුදෙක් බ්‍රිතාන්‍ය පාලනය යටතේ ඩොමීනියන් තත්වය වෙනුවෙන් පෙනී සිටි මෙම සංගමය 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරන යටතේ සර්වජන ඡන්ද අයිතිය ලබා දීමට බ්‍රිතාන්‍ය පාලකයන් කල
යෝජනාවට පවා  විපක්ෂව උද්ඝෝෂනය කිරීමට තරම් නිර්ලජ්ජිත වූ බව ඉතිහාසගත ය (1926 බැල්ෆෝර් ප්‍රකාශය අනුව ඩොමීනියන් තත්වය යනු, ‘බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තුල ස්වතන්ත්‍ර ප්‍රජාවන්’පිලිබද තත්වයකි. පසු කලෙක පොදු රාජ්‍ය මන්ඩලය
තුල ස්වෛරී රාජ්‍ය නමින් එය හැදින්විනි.).

ලංකා ජාතික සංගමය කියා සිටියේ ‘නූගත් මිනිසුන්ට’ ඡන්ද බලය ලබා දීම දූෂනවලට හේතු වන බව ය. 2021 ජනවාරි 15 දින එම්. තාරික්, ආන්ඩුවේ පුවත්පතක් වන දිනමිනට ලියූ ලිපියක සදහන් වන පරිදි,  1920 මල්ලිකා කුලගන සමිතිය හා 1927 ලංකා කාන්තා ඡන්ද අයිති සංගමය නමින් සංවිධානය වූ මධ්‍යම පන්තික කාන්තා සංගම් උගත් කාන්තාවන් සදහා ඡන්ද බලය ඉල්ලා උද්ඝෝෂනය කලේ ය. “ස්ත්‍රීන්ට ඡන්ද බලය ලබා දීම ඌරන්ට මුතු විසිකිරීම වැනි ක්‍රියාවකි” යි සර්ව ජන ඡන්දය ලබා දීම ප්‍රතික්ෂේප කල කොම්ප්‍රදෝරු ධනපතියෝ කීහ.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස කෙසේ වෙතත් මේ පාලක පන්තිය ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ ද සහාය ලබමින් දෙවන ලෝක යුද්ධයේ දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටීමේ වාර්තාවකට හිමිකම් පායි.

අන් යටත් විජිතවල මෙන් ම ලංකිකයන් ද යුද්දයට බදවා ගැනීමේ දී මොවුන්ගේ පූර්න අනුග්‍රහය හිමි විය. සෙබලුන් ලෙස  බදවා ගත් මිනිස්සු මහ මුහුදේ නැව්වලින් ගෙන යන අතරතුර දී පවා යුද්ධයට එරෙහිව කැරලි ගසා බ්‍රිතන්‍ය හමුදාව අතින් මැරුම් කෑහ.

ලංකා ජාතික සංගමයේ නායකයන් අධිරාජ්‍යවාදීන්ට කනලව්කිරීම මගින්තම පන්තියේ වරප්‍රසාද  රැකගැනීමේ සඟවන ලද වාර්ථාව  කෙබදුද යන්න, ව්‍යවස්ථා සංශෝධන  ඉල්ලා එංගලන්තයට ගියේ යයි කියන  “කෝට්ටේ
සිංහයාගේ” කතාව මගින් උපහාසාත්මකව හෙලි වේ. ඒ අනුව පලමු ලෝක යුද්ධය සමයේ දී, 1915 මුස්ලිම් විරෝධී වර්ගවාදී කලබල පසුබිමෙහි,  “සිංහලයන්ට” වූ අකටයුතු කම් ගැන යටත් විජිත මහ ලේකම්ට යොමු කිරීම සදහා පෙත්සමක් ජාතික සංගමයේ එච්. සී. ද මැල්, ජේම්ස් පීරිස් හා පොන්නම්බලම් රාමනාදන් එක්ව සකස් කරන ලද බව සඳහන් ය. මෙම පෙත්සම, අධිනීතිඥ ඊ.ඩබ්ලිව්. පෙරේරා නොහොත් “කෝට්ටේ සිංහයා” සිය සපත්තු අඩියේ සගවාගෙන බ්‍රිතාන්‍යයේ සිටි
යටත් විජිත ලේකම් වෙත භාර දීම සඳහා ගෙන ගිය බව කියනු ලැබේ. එහෙත් අන්තර්ගතය හෙලිදරව් කර නැති මෙම පෙත්සම පෙරේරා විජිත ලේකම්ට බාර නො දුන්නේ ය.  ඊ. ඩබ්ලිව්. පෙරෙරා “සිංහයෙක්” වන්නේ ලිපිය බ්‍රිතාන්‍ය පාලකයන්ට හසු වී නම් මැරුම් කන්නට සිදු වන බව දැනදැනත් ඔහු එය සපත්තුවේ සගවාගෙන සිටීම නිසා ය! ඔහු 1924 දී ලංකා ජාතික කොංග්‍රසයේ නායකත්වයට පත්කර ගන්නා ලදී.  

දේශීය ධනපති ප්‍රභූව සිය “නිදහස්” රාජ්‍ය පාලනය 1948 පෙබරවාරියේ ආරම්භ කර මාස 9ක් ගතවන්නට පෙර එනම් 1948 නොවැම්බර් 15 දින අංක 18 දරන පුරවැසි පනතක් මගින්  එවක දිවයිනේ ආර්ථිකයේ ජීවනාලිය වූ
වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය අහෝසි කරන ලදී. කම්කරුවන්ට තාවකාලික පදිංචි සහතික (TRP) ලබා දුන් අතර ධනපති ඉන්දියානුවන්ට,ව්‍යාපාරිකයන්ට පුරවැසිකම පිරිනමනලදී.

හුදෙක් කුල, ගෝත්‍ර හා වාර්ගික සංකලනයක් ව පැවති ලංකා සමාජය එම වෙනස්කම් පැවතිය දී ම, සිංහල වාර්ගික ආධිපත්‍ය යටතේ ජාතිය ලෙස නම් කලේ  ය. මෙසේ වර්ගය ජාතියටත්, ජාතිය රාජ්‍යයටත් සම කිරිමේ පාලක පන්තියේ මෙම නිවට ප්‍රතිපදාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනයා දැනටමත් වසර 27 යුද්ධයක් ද සහිත ලේ විලකින් වන්දි ගෙවා ඇත.

(ඉතිරිය, 2 කොටසින්

Images courtesy of SundayTimes, pmd.gov.lk, dailynews.

#CACPS #theSocialistLK

75 ‍‍වන නිදහස් සැමරුම – ජාතික නිදහසේ මායාව හා සැබෑ නිදහස – 1 Read More »

ශ්‍රී ලංකාව තුල වැඩෙමින් පවත්නා විප්ලවවාදී ගැටුමේ ජාත්‍යන්තර අර්ථභාරය

කීත් ජෝන්ස් විසිනි

ලංකාවේ කම්කරු පන්තිය, වෛරයට පාත්‍ර වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පන්නා දැමූ මහජන නැගිටීමෙන් මාස අටකට පසු, ඔහුගේ අනුප්‍රාප්තිකයා වන, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග බලාත්මක කරන්නෙකු ලෙස කුප්‍රකට සහ එක්සත් ජනපද-ගැති අධිරාජ්‍යවාදයේ අතවැසියෙකු වන රනිල් වික්‍රමසිංහ සමඟ මුහුනට මුහුන ගැටුමක් කරා ඉදිරියට එමින් සිටී.

අද දින, ඛනිජ තෙල්, විදුලිය, ජල සම්පාදන හා සෞඛ්‍ය සේවා කම්කරුවන් ඇතුලු කම්කරුවන් මිලියන භාගයක්, වික්‍රමසිංහ ආන්ඩුවේ ම්ලේච්ඡ කප්පාදු වැඩපිලිවෙලට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන පුලුල් ප්‍රහාර වලට විරෝධය දැක්වීම සඳහා එක්දින මහා වැඩ වර්ජනයකට එක්වනු ඇත. මීට අමතරව, ලක්ෂ සංඛ්‍යාත ගුරුවරුන්, අනෙකුත් රජයේ සේවකයින් සහ රාජ්‍ය අංශයේ කම්කරුවන් දිවා ආහාර පැයේ පිකට් උද්ඝෝෂන සහ අනෙකුත් විරෝධතාවලට සම්බන්ධ වෙමින් ජාමූඅ කප්පාදු වලට විරුද්ධත්වය ප්‍රකාශ කරනු ඇත.

අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ රුදුරු වැඩ වර්ජන විරෝධී විධිවිධාන කම්කරු පන්තියේ තවත් ක්ෂේත්‍රයන් කරා පුලුල් කරමින් වික්‍රමසිංහ සඳුදා (පෙබරවාරි 07) රාත්‍රියේ දුන් නියෝගය හමුවේ, වරාය කම්කරුවන් නියෝජනය කරන වෘත්තීය සමිති ඇතුලු වෘත්තීය සමිති කිහිපයක්, අද පැවැත්වීමට නියමිත වැඩ වර්ජනයට සහභාගී වීම අවසන් මොහොතේ දී අවලංගු කර ඇත. එසේ වුව ද, පනත යටතේ ආන්ඩුව විසින් වෘත්තීය ක්‍රියාමාර්ග සාපරාධීකරනය කිරීම සහ මුදල් දඩ, අවුරුදු දෙකේ සිට පහ දක්වා වන සිර දඬුවම් සහ රැකියා අහිමි කිරීමේ තර්ජන සෘජුවම නොතකා හරිමින් ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් වැඩවර්ජනය කරනු ඇත.

පාලක පන්තියේ කුමන්ත්‍රනයක ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති ධූරයට ඔසවා තැබුනු වික්‍රමසිංහ, රාජ්‍ය සේවාවන් අලලාගත් සුවිසල් කප්පාදු, රාජ්‍ය අංශයේ දැවැන්ත රැකියා විනාශයන්, ඉසිලිය නොහැකි පරිමානයෙන් විදුලි බිල වැඩිකිරීම්, බදු වැඩිකිරීම් හා මහා පරිමාන පුද්ගලීකරනය ආදී නග්න අධිකාරීවාදී පියවරයන් වෙත එකදිගට යොමුවෙමින් සිටී.

පසුගිය සතියේ, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අමු අමුවේ උල්ලංඝනය කරමින්, මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිත ව තිබූ දීප-ව්‍යාප්ත පලාත් පාලන මැතිවරනය වික්‍රමසිංහ විසින් අවලංගු කරන ලදී. පලාත් පාලන මැතිවරනයේ ප්‍රතිඵල වික්‍රමසිංහ ආන්ඩුවේ නීත්‍යනුකූල පාර්ලිමේන්තු පැවැත්මට සෘජු බලපෑමක් ඇති නොකරනු ඇත. එහෙත්, මැතිවරනයේදී ආන්ඩුවට අත්වීමට නියමිත දැවැන්ත මහජන ප්‍රතික්ෂේපනය මගින්, එයට මහජන සහයෝගයක් නොමැති බව සහ මුලුමනින්ම යුක්තියුක්ත නොවන බව අවධාරනය කරනු ඇතැයි ඔහු නිවැරදිව ගනන් බැලුවේය.

වික්‍රමසිංහ විසින් පලාත් පාලන මැතිවරනය අහෝසි කිරීමට විරෝධය පලකරමින් ජවිපෙ විසින් සංවිධානය කරන ලද පෙලපාලියකට පහර දීම සඳහා පසුගිය ඉරිදා ආන්ඩුව දැඩි ලෙස සන්නද්ධ පොලිස් කන්ඩායමක් යෙදවුවේය. පොලිස් ප්‍රචන්ඩත්වයේ ප්‍රතිඵලය වූයේ, ජවිපෙ අපේක්ෂකයෙකු වන එක් විරෝධතාකරුවෙකු මිය යාම සහ තවත් දුසිමකට වැඩි පිරිසක් රෝහල් ගත කිරීමයි.

‘ආර්ථික ප්‍රකෘතිය’ එලඹෙන තෙක් මැතිවරනය කල් දැමිය යුතු බවත්—එයින් ඔහු අදහස් කරන්නේ ගෝලීය ප්‍රාග්ධනයේ මිනී කන ගිජු ලිහිනියන්ට නය ගෙවීම නැවත ආරම්භ කල හැකි මට්ටම දක්වා ශ්‍රී ලංකාවේ කම්කරුවන් හා වෙහෙස වී වැඩ කරන්නන් මත සූරාකෑම තීව්‍ර කිරීමයි—එම ‘ආර්ථික ප්‍රකෘතිය’ සඳහා ‘මහජන සාමය’ අවශ්‍ය බවත් වික්‍රමසිංහ උඩඟු ලෙස ප්‍රකාශ කර ඇත. ඔහු පසුගිය වසරේ මහජන නැගිටීම යලි යලිත් හෙලාදකිමින්, ත්‍රස්ත විරෝධී නීති යටතේ විරෝධතා නායකයින් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර ඇති අතර රට “අරාජිකත්වයට” පත්වීමට ඉඩ නොදෙන බවට දිවුරා පැවසුවේය.

දැඩිසේ කප්පාදු කෙරුනු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වලින් පවා මහජන විරුද්ධත්වය මතුවීම සඳහා අන්තරායකාරී මාවතක් සම්පාදනය කරන බව, ඔහු සහ ශ්‍රී ලංකාවේ ධනේශ්වරය පැහැදිලිවම දකින අතර, කම්කරු පන්තික අරගලයේ නව පිපිරීමක් මැඩපැවැත්වීම සඳහා ධනේශ්වර රාජ්‍යයේ සම්පූර්න බලය—ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමයේ සහ අධිකරනයේ ඒකාධිපති බලතලවල සිට පොලිසිය සහ හමුදාව දක්වා—යොදා ගැනීමට ඔවුහු සැරසී සිටිති.

කම්කරු පන්තිය සහ ගම්බද ජනයා සම්බන්ධයෙන් ගත්කල, උද්ධමනය සියයට 50 ඉක්මවා ඉහල යාමෙන් ඔවුන් මත පැටවෙන නිමක් නොමැති බර ඔවුන්ට දරාගත නොහැක. ශ්‍රී ලාංකිකයින්ගෙන් තුනෙන් එකකට වැඩි ප්‍රමානයකට තම දෛනික ආහාර වේල් ප්‍රමානය අඩු කිරීමට බල කෙරී ඇති තතු තුල, කුසගින්න, මන්දපෝෂනය සහ පූර්න හාමත දිවයින වෙලා ගනිමින් පවතී.

පසුගිය වසරේ සිවුමසක මහජන නැගිටීමේ සටන්කාමිත්වය සහ පුලුල්බව නොතකා එයින් කිසියම් සාරභූත වෙනසක් ගෙන ඒමට අසමත් වීම සම්බන්ධයෙන් වැඩකරන ජනතාවගේ පුලුල් කොටස් අතර පැවති ව්‍යාකූලත්වය සහ කලකිරීම ගසාකෑමට මුලදී වික්‍රමසිංහ සමත් විය. ආන්ඩුව, විරුද්ධ පක්ෂවල සහ වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිව තල්ලු කරගත්, හාත්පසින්ම ව්‍යසනකාරී ජාමූඅහි නියෝග මාලාවක් හරහා ප්‍රහාරය යලි ආරම්භ කලේය.

එහෙත් දැන් වැඩි වැඩියෙන් අධිකාරීවාදී පියවරයන් වෙත යොමුවීම ඇතුලු සියල්ල, කම්කරු පන්තික විරුද්ධත්වයේ යලි නැගීම වෙත ඉලක්ක කෙරි පවතී. මෙම විරුද්ධත්වය තම පාලනයෙන් ගිලිහී යනු ඇතැයි බියෙන්, අන්තර්-සමාගම් සේවක සංගමයේ ප්‍රධානී සහ ජවිපෙ නායකයෙකු වන වසන්ත සමරසිංහ ඇතුලු සමහර වෘත්තීය සමිති නායකයෝ, අඛන්ඩ මහා වැඩවර්ජනයක හැකියාව ගැන දොඩවති.

ශ්‍රී ලංකාවේ ධනේශ්වරයේ දේශපාලන නියෝජිතයන් තමන්ට “දැරියහැකි” යැයි කියන දේ සඳහා නොව, මහජන අවශ්‍යතා මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී ඉල්ලීම්වලින් සමන්විත ක්‍රියාමාර්ගයක් සඳහා සටන් කරනුවස්, තමා පසුපස ගම්බද ජනයා පෙලගස්වා ගත් ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස කම්කරු පංතිය බලමුලු ගැන්වීමට, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය ගෙන යන (සසප) අරගලය, මෙම ආන්තික පන්ති ආතතියේ කොන්දේසි යටතේ වඩාත් හදිසි වේ.

පසුගිය වසරේ මහජන නැගිටීම ආරම්භයේ සිටම, ධනපති ගැති වෘත්තීය සමිතිවල ග්‍රහනයෙන් කම්කරු පන්තිය මුදා ගැනීමට සසප සටන් කලේය. වැඩ වර්ජන සහ අනෙකුත් වෘත්තීය ක්‍රියාමාර්ග හරහා කම්කරුවන් පන්තියක් ලෙස මැදිහත් වීම වැලැක්වීමට මුලදී උත්සාහ කල වෘත්තීය සමිති, ජාමූඅ කප්පාදු පිලිවෙතට භක්තිමත්ව කැපවූ අන්තර්කාලීන ධනේශ්වර ආන්ඩුවක් සඳහා ධනේශ්වර විපක්ෂයේ කැඳවීම ඔජවඩමින්, පසුව එක්දින විරෝධතා වැඩ වර්ජනය අනුමත කලහ.

වාර්ගික රේඛා කපා දමමින් කම්කරු පන්තිය එක්සත් කිරීමටත්, වෘත්තීය සමිතිවලින් සහ පාලක පන්තියේ සියලුම දේශපාලන නියෝජිතයන්ගෙන් ස්වාධීනවූ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම හරහා එහි ස්වාධීන ආරම්භකත්වයන් වර්ධනය කිරීමටත් සසප සටන් වදී. සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත පාලක පන්තිය එල්ල කරන ප්‍රහාරවලට එරෙහිව ක්‍රියාත්මකවීමට සහ කම්කරු බලය සඳහා අරගලය වැඩිදියුනු කිරීමට, කම්කරු පන්තියේ සහ ගම්බද වැඩකරන ජනයාගේ පුලුල්තම කොටස් බලමුලු ගැන්වීමේ මාධ්‍යයන් බවට මෙම කමිටු පත්විය යුතුය.

ජූලි මාසයේදී, රාජපක්ෂ රටින් පලවා හැරීමෙන් දින කිහිපයකට පසු, ජාමූඅ කප්පාදු බලාත්කාරයෙන් පැටවීමට සහ තම දැවැන්ත ධනස්කන්ධය ආරක්ෂා කර ගැනීම සඳහා ආන්ඩුව වඩාත් ඵලදායි උපකරනයක් බවට හැඩගස්වා ගැනීමට පාලක පන්තිය උපාමාරු දමමින් සිටියදී, සසප කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් සඳහා අරගලය ආරම්භ කලේ ය.

වැඩකරන ජනයාගේ ක්‍රියාකාරී කමිටු මත පදනම්ව, ‘ගෝඨාභය රාජපක්ෂගේ ද ඔහුගේ අනුප්‍රාප්තික විධායක ජනාධිපතිවන හා ඒකාධිපතියාවීමට ඉඩ ඇති රනිල් වික්‍රමසිංහගේ ද අපකීර්තිමත් පාර්ලිමේන්තු ගජමිතුරන් විසින් අටවමින් තිබෙන ප්‍රතිගාමී ධනේශ්වර අන්තර්වාර ආන්ඩුවට විප්ලවවාදී දේශපාලන විකල්පයක්” සම්මේලනය විසින් මූර්තිමත් කරනු ඇතැ යි සසප පැහැදිලි කලේය.

මෙම මූලෝපායෙන් කම්කරු පන්තිය සන්නද්ධ කිරීමට සසප අද දින පැවැත්වෙන මහා වැඩවර්ජනයට ධෛර්යසම්පන්නව මැදිහත් වේ. ‘ආන්ඩුවේ මුර්ග කප්පාදු ප්‍රහාරවලට එරෙහි වර්ජනයට සහාය ගොනුකරමු! ජනාධිපතිගේ කුරිරු අත්‍යවශ්‍ය සේවා නියෝග ඉවත් කරනු! සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් රැකීමට සමාජවාදී වැඩපිලිවෙලට සටන් වදිමු!” යන හිසින් පල කෙරුනු සසප ප්‍රකාශය මෙසේ පැහැදිලි කලේය:

“ධනපති ක්‍රමය තුල කම්කරුවන්ට සහ දුප්පතුන්ට විසඳුමක් නැත. කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීම වික්‍රමසිංහ ආන්ඩුවේ පන්ති යුද වැඩපිලිවෙලට එරෙහිව ප්‍රතිප්‍රහාරයක් වර්ධනය කිරීම සඳහා අන් කවරදාකටත් වඩා හදිසි වේ.’

වික‍්‍රමසිංහට කරන කනිපින්දන් මගින් හෝ ආන්ඩු මාරුවකින් ජාමූඅ කප්පාදු වැඩසටහනේ සැරබාලකල හැකියැයි ප‍්‍රකාශ කරමින්, බංකොලොත් වූ ශ‍්‍රී ලංකාවේ ධනවාදයට හා එහි කුනු වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතනවලට කම්කරු පන්තිය ගැටගැසීමට වැඩකරන වෘත්තීය සමිති, ජවිපෙ සහ ව්‍යාජ වාම සංවිධානවලට මෙම ප‍්‍රකාශය චෝදනා එල්ල කර සිටී.

වික්‍රමසිංහ විසින් පලාත් පාලන මැතිවරනය අවලංගු කිරීමට ප්‍රතිචාර වශයෙන්, අනෙකුත් ධනේශ්වර විරුද්ධ පක්ෂ සමග, ජවිපෙ, බටහිර බලවතුන්ගේ මැදිහත්වීම සඳහා ආයාචනා කර ඇත. මෙයාකාරයෙන්, ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවන් ලෙස හුරේ දමමින් සිටින්නේ, එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන්ට ය. මෙම බලවතුන්, රුසියාවට එරෙහි යුද්ධය අනවරතව තීව්‍ර කරමින් සිටී. එමතු නොව, ඔවුහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදුවල සුවිසල්ම අද්වකාත්වරුන් වන අතර, දෙමල සුලුතරයට එරෙහි දශක තුනක සිවිල් යුද්ධයේදී සිංහල අධිපතිවාදී ශ්‍රී ලංකා රාජ්‍යයට සහය දුන්හ. එක්සත් ජනපදය සම්බන්ධයෙන් තවත් දෙයක් මීට එකතු කල යුතුය: එය, චීනයට එරෙහිව යුද්ධයක් දියත් කිරීමේ සූදානම් සඳහා දිවයින මුලුමනින්ම යොදා ගැනීමේ අරමුනින් ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදය නිර්දය ලෙස ගසාකමින් සිටී.

සසප ප්‍රකාශය, මහජනතාවගේ අවශ්‍යතා ප්‍රකාශයට පත් කරන සහ ඔවුන්ගේ ස්වාධීන බලමුලු ගැන්වීමේ කේන්ද්‍රස්ථානයක් ලෙස සේවය කල හැකි, සමාජවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් මාලාවක් ගෙනහැර දක්වයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම; සියලුම අත්‍යාවශ්‍ය භාන්ඩ නිෂ්පාදනය හා බෙදා හැරීම මත කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ස්ථාපිත කිරීම; සියලුම ජාමූඅ කප්පාදු පියවර අහෝසි කිරීම සහ ශ්‍රී ලංකාවේ ධනේශ්වරය දරාසිටින විදේශ නය ප්‍රතික්ෂේප කිරීම මේවාට ඇතුලත්වෙයි.

ඉන්පසුව එය මෙසේ පැහැදිලි කරයි: “රට පුරා කම්කරුවන්ගේ සහ ගම්බද දිලිදු ජනයාගේ ක්‍රියාකාරී කමිටුවලින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කරගත් නියෝජිතයින් සමන්විත කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනය ඉහත ඉල්ලීම් සඳහා සටන් කිරීමේ ක්‍රියාමාර්ගය තීරනය කරනු ඇත. මේ අනුව එය සමාජවාදී වැඩපිලිවෙලකට කැපවී සිටින කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා පදනම දමනු ඇත.”

ශ්‍රී ලංකාවේ විප්ලවය සහ ප්‍රතිවිප්ලවය අතර වර්ධනය වන ගැටුම ලොව පුරා කම්කරුවන්ට පූර්ව නිමිත්තක් මෙන්ම අනතුරු ඇඟවීමකි.

සෑම තැනකම පාලක පන්තිය, ජනගහනයේ අවශ්‍යතාවන් කෙරෙහි මුලිමනින්ම අසංවේදී ය. යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ අධිරාජ්‍යවාදී මධ්‍යස්ථාන තුල පාලක පන්තිය රුසියාවට එරෙහි සිය යුද්ධයට අරමුදල් සම්පාදනය කරගැනීම සඳහාත්, දැනටමත් දුරදිග ගොස් ඇති චීනය සමග යුද සූදානම පිනිසත් කම්කරු පන්තියේ සමාජ අයිතීන්වලින් ශේෂවූ යමක් වේ නම් ඒවා මත දැවැන්ත ප්‍රහාරයන්ගේ නව රැල්ලක් දියත් කරමින් සිටී.

එමෙන්ම වැඩෙන සමාජ විරෝධය හමුවේ, වැඩ වර්ජන විරෝධී නීති සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි අනෙකුත් ප්‍රහාර යොදාගනිමින් කම්කරු පන්තියේ ප්‍රතිරෝධය සාපරාධීකරනය කිරීම දක්වාත්, පොලිස් රාජ්‍ය මර්දනයේ සහායකයින් ලෙස සේවය කිරීම සඳහා ෆැසිස්ට් බලවේග වගාදිගා කිරීම දක්වාත් එය ගමන් කරයි.

තම පන්ති අවශ්‍යතා තහවුරු කිරීමට, එහි ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි වීමට සහ රාජ්‍ය දේශසීමා හා මහාද්වීප හරහා එහි අරගල එක්සත් කිරීමට කම්කරු පන්තිය අරගලයේ නව සංවිධාන ගොඩනැගීම මගින්, ජාතිකවාදී-සංගත ගැති වෘත්තීය සමිති නිලධරයන් දිගු කලක් තිස්සේ සිර කර ඇති යකඩ සැට්ටය කපා හැරිය යුතුය.

කම්කරු පන්තිය දේශපාලන බලයක් බවට පරිවර්තනය කිරීම, නව සමාජ පර්යායක ප්‍රධානියා සහ එහි අරගල ඒකාබද්ධ කිරීම, සියල්ලටත් වඩා, ඉතිහාසයේ පාඩම් තුල මුල් බැසගත් විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීම ඉල්ලා සිටී— ඒ වනාහි, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, ලියොන් ට්‍රොට්ස්කි විසින් පිහිටුවන ලද සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය සහ ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා එහි ජාතික ශාඛාවන් ය.

[අප පාඨකයන්ට මෙම වැදගත් ඉදිරිදර්ශන ලියවිල්ල නිර්දේශ කරමු. මෙය The international significance of the developing revolutionary confrontation in Sri Lanka යන මැයෙන් 2023 මාර්තු 01 ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ඉංග්‍රීසියෙන් පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි. උපුටා ගැනුනේ wsws.org/sinhala වෙතිනි]

Image courtesy of AFP, Quatar-Tribune. 2022 ජුලි, ජනාධිපති ලෙස පත්වීමෙන් පසු පාර්ලිමේනතුවෙන් පිටත වික්‍රමසිංහ හමුදා භටපිරිස් සමග 

ශ්‍රී ලංකාව තුල වැඩෙමින් පවත්නා විප්ලවවාදී ගැටුමේ ජාත්‍යන්තර අර්ථභාරය Read More »

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානයට එරෙහි මැර තර්ජන හෙලා දකිමු!

2023 පෙබරවාරි 23 වන දින ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය තුල දී එහි මානව ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමයේ සාමාජික පිරිසක් එම විශ්ව විද්‍යාලයෙන් ම මෑතක දී පිට වූ ආදී ශිෂ්‍යයෙකු හා සසජාතශි සාමාජිකයෙක් වන සකුන්ත හිරිමුතුගොඩට සහ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) කර්තෘ මන්ඩල සාමාජිකයන් දෙදෙනෙකුට පහර දීමට තැත් කරමින් ද, ඔවුන්ගේ ජංගම දුරකථන උදුරා ගනිමින් ද සිදු කර ඇති මැර ක්‍රියාව කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) පිලිකුලෙන් යුතුව හෙලා දකී. 

Image

සරසවිය තුල සසජාතශි සංවිධානයේ දේශපාලන අයිතිය පැහැර ගැනීමට මින් පෙරද උත්සාහ දරා ඇති අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලයට (අවිශිබම) සම්බන්ධ මෙම ශිෂ්‍ය සංගම් නායකයන්  හිරිමුතුගොඩ වැලැක්වීම සඳහා සරසවි විනය පාලක නිලධාරීන්ගේ සහය ද නිර්ලජ්ජිතව ලබාගෙන ඇත. ආන්ඩුව හා විශ්ව විද්‍යාල පරිපාලනය ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස වෙනත් දේශපාලන මත වලකන වාතාවරනය විශ්ව විද්‍යාලය තුල නිර්මනය කිරීම සම්බන්ධයෙන් අවිශිබමය හා ඊට සම්බන්ධ ශිෂ්‍ය සංගම් සමග ගිවිසුම් ගතව සිටී. විනය පාලකයන්ගේ ක්‍රියාකලාපය නැවතත් ඔප්පු කර ඇත්තේ මෙම සත්‍යය යි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) සමඟ එකඟතාවයකට එලඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආන්ඩුව සියලු දේ කරමින් සිටින්නේ කම්කරු හා පීඩිත ජනතාව  මත පෙර නොවූ විරූ කප්පාදුවේ බර කඩා පාත් කරවමින් ද, නිදහස් සෞඛ්‍යය හා අධ්‍යාපනය මුලුමනින් කාබාසිනියා කර දමා දුගියන්ගේ සහනාධාර කපා දැමීමේ ද පියවරයන් සහිතව ය.

මේ තත්වයන් යටතේ, තමන් අභිමුඛයේ ඇති ප්‍රහාරය සමඟ මුහුනට මුහුන දී සිටින ශිෂ්‍යයන්ගේ, කම්කරුවන්ගේ, දුගීන්ගේ සහ පීඩිත ජනයාගේ ඉහල ම සටන් සමඟිය හා ඒකාබද්ධතාවය ඉල්ලා සිටින කාලයක ම, ශිෂ්‍යයන්ට දේශපාලනය සාකච්ඡා කිරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරා ගනිමින් එම ඒකාබද්ධතාවය කඩාකප්පල් කිරීමේ ප්‍රහාරයකට පෙරටුගාමී සමාජවාදී පක්ෂ (පෙස) යටතේ ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගම් නායක ක්‍රියාකාරීන් හා පාලනාධිකාරය අත්වැල් බැඳ ගැනීම මෙම මධ්‍යම පන්තික රැඩිකල් සංවිධානවල කම්කරු පන්තියට හා එහි ස්වාධීන වැඩපිලිවෙලකට දක්වන ඓන්ද්‍රිය සතුරු කම විදාහා පායි. 

සසජාතශි සාමාජිකයාට තර්ජනය කල කන්ඩායම, “පක්ෂ දේශපාලනය  ගෙන ඒමෙන්  ශිෂ්‍යයන් බෙදෙනවා” යැයි කියා සිටි බව ලෝසවෙඅ වාර්ථා කර ඇත. ශිෂ්‍යයන් බෙදෙන්නේ දේශපාලන අදහස් නිදහසේ සාකච්ඡා කිරීමට සිසුන්ට ඇති අයිතිය අවහිර කිරීමෙන් බව අපි අවධාරනය කරමු. ශිෂ්‍යයන් මේ මොහොතේ මුහුන දී සිටින අභියෝග හුදෙක් එක් සරසවියකට, එක් ක්‍ෂේත්‍රයකට හෝ සිසුන්ට පමනක් හෝ එල්ල වූ ඒවා නොවේ. සෑම පාසලකම, සරසවියකම,  අධ්‍යාපන හා පුහුනු ආයතනයකම ශිෂ්‍යයන්, ආචාර්යවරුන්, අනධ්‍යයන සේවකයන්, මෙන්ම කම්කරුවන්, සුලු ව්‍යාපාරිකයන්, දෙමව්පියන් හා රැකියා විරහිතයන් එකම ධනපති ප්‍රහාරයකට මුහුන දී සිටින තතු හමුවේ, ඊට මුහුන දිය හැකි බලගතු කම්කරු හා මහජන ව්‍යාපාරයක ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ජාව, ඒකාබද්ධතාව හා නායකත්වය තහවුරු කිරීම යුගයේ අත්‍යවශ්‍යතාවය බවට පත් ව තිබේ. 

ඒ නයින්, එවන් ව්‍යාපාරයක පදනම වන, සිය දේශපාලන වෙනස්කම් විවෘතව සාකච්ඡා කිරීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ හා ඒවා වෙනුවෙන් වාදවිවාද කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංගනය කිරීම එවන් සංවිධිත දේශපාලන ව්‍යාපාරයකට හරයෙන්ම හතුරුව පිහිටයි. විශ්ව විද්‍යාල සිසුන් මෙම ප්‍රිතිගාමී කඳවුරු හඳුනාගෙන ඒවා ප්‍රතික්ශේප කල යුතු අතර දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා දෘඩතරව උද්⁣ඝෝෂනය කල යුතු යැයි අපි කියා සිටිමු.

වික්‍රමසිංහ ආන්ඩුවේ කප්පාදු මගින් මරිකී සිටින විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් මේ මොහොතේ මුහුන දී සිටින ප්‍රහාරයන්ට එරෙහිව හා නිදහස් අධ්‍යාපන අයිතිය රැකීම සඳහා සිසුන්ගේ, ආචාර්යවරුන්ගේ හා අනධ්‍යයන සේවකයන්ගේ ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙසත්, සියලු විශ්ව විද්‍යාලවල පිහිටුවනු ලැබෙන එම ක්‍රියාකාරී කමිටුවල ඒකාබද්ධතාවය ගොඩ නැඟීමට හා අවසානයේ සෑම ක්ෂේත්‍රයක් ම අලලා ගත් ක්‍රියාකාරී කමිටු ඒකාබද්ධ කරමින් ආන්ඩුවේ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාරය සංවිධානය කිරීමට මූලිකත්වය ගන්නා ලෙසත් අපි ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටිමු.

කොලඹ ක්‍රියාකාරී කමිටුව සටන් වැද සිටින්නේ එම වැඩපිලිවෙල සමඟ යි.

මෙම සිද්ධිය සම්බන්ධව සසජාතශි කැඳවුම්කරු කපිල ප්‍රානාන්දු අවිශබම හා අනෙක් ශිෂ්‍ය සංගම් නායකයන් අමතා  ලෝසවෙඅට ලියා ඇති විවෘත ලිපිය තුල මෙසේ සඳහන් කරයි:

“ඔබ විසින් මෙම මැර ක්‍රියාවන් මෙහෙයවනු ලබන්නේ විශ්ව විද්‍යාල “උප සංස්කෘතිය” ආරක්ෂා කිරීම යන කඩතුරාව යටතේ ය. සසජාතශි ට එරෙහි කඩා පැනීමෙන් එම ‘උප සංස්කෘතියේ’ පවත්නා අසංස්කෘතිකභාවය ගැඹුරෙන්ම ප්‍රකාශයට පත්වෙයි. ඔබේ ‘උප සංස්කෘතිය’ සම්බන්ධයෙන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇත්තේ අපකීර්තිමත් ඉතිහාසයකි. 2002 වසරේ නොවැම්බරයේදී, “නවක වදයට” එරෙහි වූ සමන්ත විතානගේ නම් වූ ශිෂ්‍යයාගේ හිසට පරිගනක මොනිටරයකින් ගසා ඝාතනය කිරීමට ශිෂ්‍ය කන්ඩායමක් පොලඹවනු ලැබුවේ ‘නවක වදය’ ආරක්ෂා කරන මෙම ‘උප සංස්කෘතිය’ ඉදිරියට දමමිනි.”

සැබවින්ම මෙම ‘උප සංස්කෘතිය’ යනු අවිශිබමයට හා ඊට සම්බන්ධ ශිෂ්‍ය සංගම්වලට පමනක් අනිත් දේශපාලන ප්‍රවනතා යටපත් කොට තම දේශපාලනය විශ්වවිද්‍යාල තුල කරගෙනයාමට තනාගත් වහන්තරාවකි. නවක වදය ද ඊට ඇතුලත් ය.  අනෙකුත් ඊනියා සංස්කෘතික අංග මේ මර්දනකාරී භීෂනය විශ්වවිද්‍යාල තුල පවත්වාගැනීමට යොදාගන්නා ඇස්බැන්දුම් පමනි.   විශ්වවිද්‍යාල පරිපාලනය සමග එක්ව රජය විශ්වවිද්‍යාල තුල විප්ලවවාදී දේශපාලන භාවිතාවන් මර්දනය කිරීම සදහා මෙම ‘ශිෂ්‍ය දේශපාලනයේ’ ‘උප සංස්කෘතිය’ යහමින් යොදා ගනී. ආන්ඩුවේ එම  මර්දනය සදහා අවශ්‍ය පසුබිම මෙම සුලු ධනේශ්වර ශිෂ්‍ය සංවිධාන සකසා දෙයි. මර්දනය පෙනි පෙනී ආන්ඩුවලට බලපෑම් දැමීමේ පුහු විරෝදතාවලට සිසුන් කැදවන්නේ  ප්‍රතිගාමී බලපෑම් දැමීමේ දේශපාලනය හරහා පාර්ලිමේන්තුවාදය ශක්තිමත් කිරීමේ ධනපති වැඩපිලිවෙල මත පදනම් වෙමිනි.

කෙසේ නමුත්, මෙම උප සංස්කෘතියේ කොටසක් ලෙස සමන්ත විතානගේ ශිෂ්‍යයා ඝාතනය කිරීමේ චෝදනාව තම ප්‍රතිවාදියෙකු වන ශිෂ්‍ය සංවිධානයකට එරෙහිව දමා ගැසීම සසජාතශි සංවිධානයට තරමි නොවේ යැයි අපි කියා සිටිමු. ආන්ඩුවේ භාෂාවම  ශක්තිමත් කරන මෙම චෝදනාව, කෙලින්ම එහි මර්දන යාන්ත්‍රනය මෙම ශිෂ්‍ය සංවිධාන වලට එරෙහිව පිහිටුවයි.

ප්‍රජාතන්ත්‍රවාදී  අයිතීන් ආරක්ෂා කරගැනීමට හෝ කප්පාදුවට එරෙහිව ශිෂ්‍යයින්ට ‘ශිෂ්‍ය දේශපාලනය’ යනුවෙන් පිලිවෙතක් නැත. ආන්ඩුවලට බලපෑම් දැමීමේ දේශපාලනය මගින් මර්දනය හෝ කප්පාදුව අවසන් කල නොහැක. එය තොරම්බල් කරන ඊනියා ශිෂ්‍ය නායකයෝ දැනුවත්වම ශිෂ්‍යයන්ගේ දේශපාලන දැනුවත්භාවයට වල කපති. 

ඉදිරි අරගල කම්කරු පන්ති නායකත්වය යටතේ සංවිධානය කිරීමට එහි ස්වාධීන බල සංස්ථාවක් වන  අප කමිටුව සමඟ ඒකාබද්ද වන ලෙස අපි සිසුන්ට ආරාධනා කරන්නෙමු.

කොලඹ ක්‍රියාකාරී කමිටුව

09 මාර්තු 2023

#CACPS @PK&SJ

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානයට එරෙහි මැර තර්ජන හෙලා දකිමු! Read More »

ශිෂ්‍ය මර්දනය නතර කරනු! ශිෂ්‍යයිනි, කම්කරු ක්‍රියාකාරී කමිටු සමග එක්වනු!

රනිල් – රාජපක්ෂ ජුන්ටාව පන්නමු’, ‘මැතිවරනය කල් දැමීමට එරෙහි වෙමු’, ‘ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත  අහෝසි කරනු’ ආදී සටන් පාඨ කිහිපයක් ඉදිරිපත් කරමින් ඊයේ (07) අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලය හා තවත් සංවිධාන කිහිපයක් එක්ව සංවිධානය කර තිබූ කොලඹ ශිෂ්‍ය උද්ඝෝෂනයට වික්‍රමසිංහ ආන්ඩුව එල්ල කල පොලිස් ප්‍රහාරය කොලඹ ක්‍රියාකාරී කමිටුව තරයේ හෙලා දකියි.

කොලඹ කොටුව දුම්රිය ස්ථානය අසලින් ඇරඹී ⁣කොලඹින්  පිටතට ගමන් කරමින් සිටි සිසුන් පසුපස හඹා යමින් ⁣ කොලඹ  විශ්ව විද්‍යලය  අසලදී කදුලු ගෑස් හා ජල ප්‍රහාර එල්ලකිරීමෙන් පසු විශ්ව විද්‍යාලය තුලට කඩා වැදුනු පොලීසිය ආරක්ෂාව සඳහා එහි පිවිස සිටි සිසුන්ට පහර දුන්හ. පොලිස් නිලධාරීන් අත බර දඩු මුගුරු තිබෙනු දක්නට විය.

සුපුරුදු පරිදි පොලීසිය කොටුව හා මාලිගාකන්ද යන මහේස්ත්‍රාත් අධිකරනවලින් විරෝධතාකරුවන්ට එරෙහිව මාර්ග ‘අවහිර කිරීම’ වලකන උසාවි නියෝග ලබාගෙන තිබුනි. කොටුව ප්‍රදේශයේ අවි රැගත් ‘කැරලි මර්දන’ පොලීසිය සීරුවෙන් යොදවා තිබිනි.

මේ අතරතුර පෙරවරුවේ වික්‍රමසිංහ පාර්ලිමේන්තුව තුල අවධාරනය කලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු වැඩපිලිවෙල තමන් අකුරටම ක්‍රියාත්මක කරමින් සිටින බවත් මහජනතාව එයට සහාය දැක්විය යුතු බවත්, ‘උද්ඝෝෂන මාර්ගයෙන් මේව කඩාකප්පල් කරන්න යනවනම් ඒ පිලිඹඳ මේ ආන්ඩුව තදින් ක්‍රියාත්මක වන’ බව යි. 

2022 ජුලි 9 සිට මහජන අරගල මර්දනය කිරීම සඳහා එල්ල කල ම්ලේච්ඡ ප්‍රහාරයන් උත්කර්ෂයට නංවමින් වික්‍රමසිංහ ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට ස්තූති කලේ ය. 

වික්‍රමසිංහ මෙසේ ප්‍රකාශ කලේ දැවෙන ජීවන බර, බදු හා කප්පාදු හේතුවෙන් සමස්ථ ධනපති පාලනයටම එරෙහිව සටන් කිරීමට සූදානම්ව වැඩවර්ජන ඉල්ලා සිටින කම්කරු මහජනතාවගේ පීඩනය සමහන් කිරීම සඳහා වෘත්තීය සමිති සංධාන කිහිපයක් විසින් මාර්තු 08 දින සිට වැඩවර්ජනයක් කැඳවා තිබූ පසුබිමකය.

ජාමූඅ නිර්දේශ කර ඇති කප්පාදු පියවරයන් ජනතාව මත පටවමින් සිටින වික්‍රමසිංහ නැවත නැවතත් කියා ඇත්තේත්, ක්‍රයාවට දමා ඇත්තේත් එම නවලිබරල් වැඩපිලිවෙලට හරස් වන ඕනෑම විරෝධයක් ම්ලේච්ඡ ලෙස මර්දනය කරන බවයි.  

පසුගිය පෙබරවාරි 26 දා  ජනතා විමුක්ති පෙරමුන විසින් පැවැත්වූ මෙවැනිම විරෝධතාවයකට පොලීසිය මාර්ග හරස් කොට වටකර කදුලු ගෑස් හා ජල ප්‍රහාර එල්ලකල අතර එහිදී එක් විරෝධතාකරුවෙකු ඝාතනය කරනු ලැබීය. වික්‍රමසිංහ ආන්ඩුව එයට වගකිව යුතුය.

Image
මුගුරු රැගත් හමුදාව

සමාජය හා සාමයික කේන්ද්‍රය ⁣ඊයේ (07) කොලඹදී වාර්තාවක් ඉදිරිපත්කරමින් හෙලිදරව් කර ඇත්තේ පසුගිය වසරේ ගෝඨාගෝහෝම් අරගල තුලදී පලවා හැරුනු  රාජපක්ෂ  පාලන තන්ත්‍රය විසින් මාස හතරක් තුල ‘අරගලකරුවන්ට’ විරුද්ධව යොදාගැනුනු ලැබුනු 6000 ක් පමන වන කඳුලු ගෑස් වසර 20ක් පමන පරන කල් ඉකුත් වූ ඒවා බවයි. අඩුතරමින් අරගලකරුවන්ගේ මරන තුනකට පමන මෙම විෂ රසායනික ප්‍රහාරයන් වගකිව යුතුය. 

කොක්‍රික අවධාරනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී  අයිතීන් ආරක්ෂා කරගැනීමට හෝ කප්පාදුවට එරෙහිව ශිෂ්‍යයින්ට ‘ශිෂ්‍ය දේශපාලනය’ යනුවෙන් පිලිවෙතක් නැති බවයි. බලපෑම් දැමීමේ දේශපාලනය මගින් මර්දනය හෝ කප්පාදුව අවසන් කල නොහැක. එය තොරම්බල් කරන ඊනියා ශිෂ්‍ය නායකයෝ දැනුවත්වම ශිෂ්‍යයන්ගේ දේශපාලන දැනුවත්භාවයට වල කපති.

වෘත්තීය සමිති-සමාගම්-ආන්ඩුව යන සංධානයේ සමාජ ප්‍රහාරයට එරෙහිව එලඹීමට නියමිත මහා කම්කරු වැඩවර්ජන සංවිධානය කිරීම සඳහා කොක්‍රික ඇතුලු ස්වාධින ක්‍රියාකාරී කමිටු සමග එක්වෙමින් කම්කරු නායකත්වය යටතේ සමාජවාදී වැඩපිලිවෙලකට සටන් කිරීමට පෙලගැසෙන ලෙස අපි ශිෂ්‍යයන්ට ඇරයුම් කරමු.

කොලඹ ක්‍රියාකාරී කමිටුව

08 මාර්තු 2023

#CACPS @SJ 

Images credit to Shehan Gunasekera and IUSF fb.

ශිෂ්‍ය මර්දනය නතර කරනු! ශිෂ්‍යයිනි, කම්කරු ක්‍රියාකාරී කමිටු සමග එක්වනු! Read More »

ජෙනරල් ස්ට්‍රයිකය වටා වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහි කම්කරු, පීඩිත ජනයා බලමුලුගන්වමු!

ජෙනරල් ස්ට්‍රයිකය වටා වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහි කම්කරු, පීඩිත ජනයා බලමුලුගන්වමු!

යෝජිත වැඩ වර්ජනයට සියලු තරුනයන්, ශිෂ්‍යයින්, පීඩිතයින්  ඇතුලුව වැඩ කරන ජනතාව සහාය ලබා දිය යුතුය යි කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) කියා සිටී. මෙම වර්ජනය කැඳවනු ලබන්නේ විදුලිය, ජලය, ප්‍රවාහන ආදී අත්‍යවශ්‍ය සේවාවල හා බෙහෙත් හා ආහාර ද්‍රව්‍ය මිල නො ඉවසිය හැකි තරම් ඉහල දමා ඇති, ඹෟෂධ හිගය හේතුවෙන් රෝගීන්ගේ ජිවිත වැනසෙන, කම්කරුවන්ගේ වැටුප් සිඳවන උද්ධමනය අහස උසට නංවා ඇති තතු යටතේ ය. නිදහස් අධ්‍යාපනය වැනි සුබ සාධන සේවාවලට මල බෙරය හැඬවෙමින් පවතී.

ප්‍රජාතන්ත්‍රවාදයේ ශේෂයන්ද වනසමින්, මුදල් අමාත්‍යාංශය මැතිවරන කොමිසම විසින් නිවේදනය කෙරුනු මැතිවරනයකට මුදල් ප්‍රතිපාදන ලබා දීම ප්‍රතික්ෂේප කරන, මහජන උද්ඝෝෂන මර්දනයට පොලිසිය මෙහෙයවන, ලේඛකයන්ගේ,  සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ ප්‍රකාශන අයිතිය එලිමහනේ උල්ලංගනය කරන පාලන තන්ත්‍රයකට අපි මුහුන දී සිටිමු.

පසුගිය වසරේ මාර්තු අග පුපුරා ගොස්, ඇදී ගිය මහජන අරගලය අනතුරට මුහුන දුන් මැයි 9දා ක්ෂනිකව ස්වේච්ඡාවෙන් නැගී සිට අරගලය ආරක්ෂා කල කම්කරු පන්තිය එම අරගලයේ අත් දැකීම් විශේෂයෙන් සිහි කැඳවා ගනු ඇතැයි අපි විශ්වාස කරමු.

ව්‍යවස්ථාවට පිටින් කම්කරු පන්තියේ පන්ති ශක්තීන් මෙහෙයවා රාජ්‍ය නායකයෙකු පලවා හැරීමෙන් පසුව වුව ද කම්කරුවන්ට අරමුනු ජය ගන්නා තෙක් ගමන් කිරීමට වෘත්තීය සමිතිවලින් ඉඩ ලැබුනේ නැත.

මෙරට බ්‍රිතාන්‍ය පාලනය දෙදරවා හරින ලද 1946 හා 1947 මහා වැඩ වර්ජන දෙක පාර්ශවීය ජයග්‍රහන ලබා ගත් නමුත් ඒවා මර්දනයට ගොදුරු විය. 1953 කැබිනට්ටුව මහ මුහුදේ නැවකට පලවා හරින ලද නමුත් සමසමාජ, කොමියුනිස්ට්  නායකයන් විසින් කැබිනට්ටුව නැවත ගොඩ බිමට කැඳවා ධනපති  පාලනය තහවරු කරන ලදී. 1964 කම්කරු අරගල පාලනය කර ගනු ලැබුවේ සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ නායකයින් සිරිමා බන්ඩාරනායකගේ සමගි පෙරමුනු ආන්ඩුවට රිංගීමෙනි. 1976 මහා වර්ජනය ආන්ඩුව පෙරලා දැමීමට සමත් වුවත්, නායකත්වයේ නුසූදානම හා පාවා දීම මගින් අති දක්ෂිනාංෂික ජේ.ආර්.ජයවර්ධන තන්ත්‍රය පාලනයට ගෙන ආවේ ය. ජයවර්ධන 1980 ජුලි මහා වර්ජනයේ දී කම්කරු පන්තිය ඛේදනීය පරාජයකට ඇද දැමීය. රනිල් වික්‍රමසිංහට පාලන තන්ත්‍රය ස්ථාපිත කිරීමට ඉඩ සැලසීම මගින් අත් කර දෙනු ලැබ ඇත්තේ ද ඊට නොදෙවෙනි හානියකි.

’80 වැඩ වර්ජනය ජුලි 18 දින කරන බවට එක්සත් වෘත්තීය සමිති ක්‍රියාකාරී කමිටුව විසින් රජය දැනුවත් කරන ලදී. ඊට පිලිතුර ලෙස, වැඩ වර්ජනයට සහභාගී වන රාජ්‍ය ආයතන  හා සංස්ථාවල සේවකයන් සියලුම දෙනා සේවය අත් හැර ගිය අය ලෙස සලකන බව ආන්ඩුව ජුලි 14 දින නිවේදනය කලේ ය. එය නො තකා වර්ජනයට සහභාගී වූ ලක්ෂයකට ආසන්න කම්කරුවන්ට රැකියා අහිමි කෙරුනි.

එම 21 දින සිට ම නවක සේවකයන් බදවා ගැනීමට ඇමතිවරුන්ට බලය ලබා දෙන ලදී.

ජයවර්ධන තමන් මෙසේ ක්‍රියා කිරීමට හේතු මෙසේ පැහැදිලි කර තිබිනි: “මෙවැනි තර්ජන මගින් රජයට අනිසි බලපෑම් ඇති කිරිමට ඉඩ දීමට කිසි සේත් නුපුලුවන…පසු ගිය තෙවසරක කාලයක තිස්සේ ස්වදේශිකයන් පන්ලක්ෂයකට පමන රැකියා ලබා දෙමින් කටයුතු කරන රජයේ සංවර්ධන වැඩ පිලිවෙලට ද මෙයින් බා‍ධා වී, රට තුල නිෂ්පාදනය හීන වී ජීවන වියදම ඉහල යන අතර භාන්ඩ සැපයීමේ කර්යයන් අඩාල වේ.” (ලංකාදීප 1980 ජුලි 15)  ඔහු තව දුරටත් කියා සිටියේ වෘත්තීය සමිති තමන් ආඥාදායකයෙකු කරන බව ය.

’80 වැඩ වර්ජනය වෘත්තීයසමිතිවාදයේ ඓතිහාසික බංකොලොත්කම සනිටුහන් කලේය. ජයවර්ධන 1960 ගනන් මැද සිට ඇදී ගිය ආර්ථික අර්බුදයකට මුහුන දී සිටියේ ය. ඊට පිලියම් ලෙස නව ලිබරල් ආරථිකය ලෙස දැන් හඳුන්වන දෙය කෙසේ හෝ ක්‍රියාවට දැමීම හැර වෙන මාවතක් ජයවර්ධන ආන්ඩුවට නො තිබිනි. ලක්ෂ ගනනක් රැකියා සම්පාදනය ගැන සඳහන් කරන විට ජයවර්ධන පවසන්නේ වහල් සූරා කෑමේ මධ්‍යස්ථාන ලෙස නිර්මානය කල නිදහස් වෙලඳ කලාප ගැන ය. වෘත්තීය සමිති තමන් ආඥාදායකයෙකු බවට පත් කරන බවට ජයවර්ධන නගන චෝදනාව මගින් නග්න සහ නිදහස් සූරා කෑමට බා‍ධා වන කිසිවක් සමග සම්මුතියක් නැත යන්න ඔහු අවධාරනය කරයි.

එනම්, නවීනතම තාක්ෂනය මත ගොඩ නැගුනු භූගෝලීය නිෂ්පාදන විධිය විසින්, කේවල් කිරීම සදහා වෘත්තීය සමිතිවලට පැවති හැකියාව සදහටම අහෝසි කරනු ලැබ තිබූ අතර, ඒ අනුව කම්කරු පන්තියේ අවශ්‍යතා මතු කරන හැම අවස්ථාවකම පන්ති යුද්ධයක් ඉල්ලා සිටින තතු උදා වී තිබින. ඒ අනුව වෛෂයිකව බෙල හීනත්වයට පත් වෘත්තීය සමිති, එවක් පටන් සංගත හා ආන්ඩුවල අර්බුද කම්කරු පන්තිය මත හෙලන විවෘත ධනපති ඒජන්සි බවට පරිවර්තනය වි ඇත.

දැන් වික්‍රමසිංහ තන්ත්‍රය ඇතුලු ධනපති පාලක පන්තිය මුහුන දි  සිටින ආර්ථික අර්බුදය මහජනයා මත පැටවීම හැර අන් මගක් ඔවුනට නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලා සිටින්නේ එයයි. වික්‍රමසිංහ ස්ථාවර ආන්ඩුවක් හෙවත් පන්ති අරගලය පාගාගෙන  ඉදිරියට යා හැකි ආන්ඩුවක් ලෝකය හමුවේ නො තැබුවහොත් රටේ ධනපති  ආර්ථික හා දේශපාලන අර්බුදය තව දුරටත් කුනු වීම සිදු වනු ඇත යන්න ගැන වෘත්තීය සමිති මෙන් ම සියලු ධනේශ්වර ගැති පක්ෂ ද සංවේදී ය. ඒ්වා දැනටමත් මූල්‍ය අරමුදලේ යෝජනා පිලිගෙන ඇත. එසේ නම් ඒවායේ අරමුන වන්නේ කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවීය මැදිහත් වීමක් මගින් එම වැඩ පිලිවෙල ව්‍යාකූල කිරීම වැලැක්වීම උදෙසා කම්කරු පන්තිය තමන්ගේ අත යට පවත්වා ගැනීම ය.

රුසියානු විප්ලවයේ සම නායකයා වන ලියොන් ට්‍රොට්ස්කි ප්‍රකාශ කලේ ඇතැම් අවස්ථාවල පක්ෂ හා කන්ඩායම් ජනතාවගෙන් හුදකලා වීමෙන් වැලකීමේ මහා වැඩ වර්ජන යෝජනා කරන බවයි. නමුත් ධනපති පන්තිය හා කම්කරු පන්තිය බැරිකේඩ වෙත කැඳවන මහා දේශපාලන වැඩ වර්ජනයක ඓතිහාසික අවශ්‍යතාවයකි දැන් පැන නැගී ඇත්තේ. පසු ගිය අරගල මාලාව තුල ම නො නවත්වා අවධාරනය වූයේ එය යි. මේ තත්වයට සූදානම් නැති අරගලයකට කිසිවක් ජය ගනු නො හැකි ය.

අංක එකේ ප්‍රායෝගික අවශ්‍යතාව නම් වෘත්තීන්, ශ්‍රේනි, හා වාර්ගික, ආගමික සීමා කපාගෙන ගොඩ නගන කම්කරු පන්තියේ ඒ්කාබද්ධතාව හා සෙසු පීඩිත ජනයා ඒ වටා බලමුලු ගැන්වීමයි. එය වෘත්තීය සමිති හෝ ධනපති ගැති පක්ෂ විසින් සිදු නො කරයි. ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු සෑම වැඩපොලකම, ප්‍රාදේශිකයකම ගොඩ නගමින් මෙම එකමුතුව සදහා සටන් වැදීම ය කල යුත්තේ. ඒ සදහා  කම්කරුවෝ පෙරමුන ගත යුත්තාහ. එවැනි කමිටු අතර නිරන්තරයෙන් කරන සාකච්ඡා හා සංනිවේදන නිසි ලෙස පවත්වමින් ක්‍රියාමාර්ගයන්ට නුසූදානම්ව යොමු වීමේ අන්තරායන් මඟ හැරිය යුතු ය.

ධනපති නය කන්දට කරගැසීමට අප සූදානම් නැත. *සියලු විදේශ නය නො ගෙවනු! *ධනපති මහා සංගත, මූල්‍ය සමාගම් කම්කරු පාලනයට නතු කරනු! *මහජනයා පෙලන බදු අහෝසි කරනු! * රැකියා, වැටුප් හා සුභසාධන සේවාවන් කප්පාදුව නතර කරනු! * පුද්ගලීකරනය එපා! * අත්‍යවශ්‍ය සේවා නියෝග හා මර්දන නීති අහෝසි කරනු! * කම්කරු පන්ති ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් වන ව්‍යවස්ථාවක් සම්පාදනය සදහා ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් කැඳවනු! *සමාජවාදී වැඩපිලිවෙලකට සටන් වදිමු!

කොලඹ ක්‍රියාකාරී කමිටුව.

07 මාර්තු 2023

#CACPS

image courtesy of #WSWS

ජෙනරල් ස්ට්‍රයිකය වටා වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහි කම්කරු, පීඩිත ජනයා බලමුලුගන්වමු! Read More »

වික්‍රමසිංහ හමුදා විනයගත සමාජයක් කැඳවුම් කර යි

ජාතික ශිෂ්‍යභට බළකායට ‘වර්ණ’ ප්‍රදානය කිරීමෙහි ලා 19 දා රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට පුහුණු මධ්‍යස්ථානයේ පැවැති උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ, “අනාගතයට මුහුන දීම සඳහා විනයක් සහ කැපවීමක් අවශ්‍ය” බවයි.

Image
රනිල් වික්‍රමසිංහ

“රටේ අනාගතයට අවශ්‍ය පුද්ගලයන් මෙම ශිෂ්‍යභට බළකාය මගින් පුහුණු කරනු ලැබේ, ” යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇත.

“අද පාසල් රැසක ශිෂ්‍යභට බළකාය ක්‍රියාත්මක වෙනවා… සෑම මධ්‍ය විද්‍යාලයකම ශිෂ්‍යභට බළකාය පිහිටුවිය යුතුයි. අපි මෙය තවදුරටත් දියුණු කළ යුතුයි. මෙ මගින් මේ රටට අවශ්‍ය විනයගරුක පුරවැසියන් බිහිවනු ඇතැයි මම විශ්වාස කරනවා.”

“රටේ තරුණ පරපුර වෙනුවෙන් ශක්තිමත් ආර්ථිකයක් මෙන්ම නව සමාජයක් ගොඩනැගිය යුතුයි. එවැනි නව සමාජ ක්‍රමයක් ගොඩනැගීමට විනයගරුක නායකත්වයක් අවශ්‍යයි. මම අපේක්ෂා කරනවා ශිෂ්‍යභට බලකාය අවශ්‍ය නායකත්වය  ලබාදෙනු ඇති කියා”, ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

මෙම ප්‍රකාශයන් පැහැදිලිය. වික්‍රමසිංහ අදහස් කරන්නේ කුමන විනයද? එය හමුදා විනයයි. 

විනය ගත කළ යුත්තේ කවුරුන් ද? තරුණයින් සහ සිසුන්. හමුදා පුහුණුව ලැබූ සහ එමගින් හමුදා විනය ලබා ඇති ශිෂ්‍යභට බලකාය “රටේ අනාගතයට අවශ්‍ය මිනිසුන්” බව ඔහු පවසයි.

සමාජයේ මිලිටරිකරණය මේ අයුරින් ප්‍රවර්ධනය කරන අතර , වික්‍රමසිංහට අනුව “මේ රටට අවශ්‍ය කරන” “විනය ගරුක පුරවැසියන් බිහි කිරීමට” රජයේ පාසල් යොදා ගැනීමට නියමිතය.

මෙම කැඳවීම, රටේ සියලුම තරුනයින් සඳහා හමුදා පුහුණුව දීම නැවත නැවතත් කැදවුම් කල අන්ත-ජාතිකවාදී කොටස්වල හඬ තැලීමට අනුකූල වන අතර, ඔවුන් සනසා ලයි. වර්ගවාදී අතුරලියේ රතන භික්ෂුව පසුගිය දා මේ සම්බන්ධයෙන් දැඩි ලෙස කෑ මොර ගැසූ අයෙකි.

දේශපාලන විරෝධය මැඩලීමේ අරමුනෙන්, ‘සුරක්ෂිත රටක්, විනයගරුක, ගුණවත් සහ නීතිගරුක සමාජයක්’ ගොඩනැගීම සඳහා, තනිකර, හමුදා, බුද්ධි අංශ සහ පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් 2020 දී ප්‍රකාශයට පත් කළ, බලයෙන් පහකළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සැලසුම්, මෙම සැලසුම් ප්‍රතිරාවය කරයි. 

වික්‍රමසිංහගේ සැලැස්ම – වර්ථමානයේ වෙනත් ඕනෑම ධනපති රාජ්‍යයක මෙන්ම, මේ රටේද පාලක පන්තියේ කම්කරු පීඩිත මහජනතාවට එරෙහි කුමන්ත්‍රණවල  කොටසක් වන  – මලිටර් පුහුණුව ලත් ශිෂ්‍යභට බළකාය සහ හමුදා නිලධාරීන් මගින්, “ශක්තිමත් ආර්ථිකයක් සහ නව සමාජයක්” ගොඩනැගීමට අවශ්‍ය “විනයගරුක නායකත්වය” සැපයීම ය. 

මෙම ශක්තිමත් ආර්ථිකය, IMF, ලෝක බැංකුව සහ WTO ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ සියලු නියෝග ඉටු කරන අධිරාජ්‍ය ගැති, නවලිබරල් ආර්ථිකය බව වික්‍රමසිංහ ඉතා පැහැදිලිව පෙන්වා දී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් ආර්ථිකයකට යටත් බවත් ඒ නිසා මැතිවරණ කල් දැමිය යුතු බවත් ඔහු දැනටමත් ප්‍රකාශ කර ඇත. එවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් හමුදා පුහුණුවට හා විනයකට යටත් කළ යුතු අතර ජාතිකවාදී අධිශික්ෂන ප්‍රචාරක යන්ත්‍රය ක්‍රියාත්මක කළ යුතුය.

නිදහස් දින සැමරුම, මහනුවර ජනරජ පෙරහැර සහ ඒ හා සමාන ජාතිකවාදී ප්‍රචාර වල අරමුන වන්නේ, වික්‍රමසිංහ නිර්දය ලෙස තලා දැමීමට දිවුරුම් දී ඇති කම්කරු පන්ති, තරුන හා ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාරවලට එරෙහිව අන්ත ජාතිකවාදී සහ වර්ගවාදී භටකාය යන් හමුදාවක් සූදානම් කිරීම සඳහා ජාතිකවාදී හැඟීම් ශක්තිමත් කිරීමට  ය. 

සිසුන් හා තරුනයන් “විනයගරුක” විය යුතු බවටත්, “ශක්තිමත් ආර්ථිකයක් සහ නව සමාජයක්” පිලිබඳ ඔහුගේ වැඩපිලිවෙලට කැපවිය යුතු බවටත්, නැතිනම් මිලිටරි, පොලිස් මර්දනයට මුහුණ දිය යුතු බවටත් වික්‍රමසිංහ අනතුරු අඟවයි.

“පද්ධති වෙනසක්” අපේක්ෂා කරන නව පරපුරේ තරුණ පරපුර තමාගේ සමාජය සහ ආර්ථිකය පිළිබඳ සැලැස්මට යටත් විය යුතු බව වික්‍රමසිංහ තහවුරු කර ඇත. රට තුළ දේශපාලනිකව ක්‍රියාකාරීව සිටින කිසිදු වාමාංශික තරුණ පෙරමුණක නියෝජනයක් නොමැති තරුණ පිරිසක් අමතමින් වික්‍රමසිංහ පෙබරවාරි 16 දා ප්‍රකාශ කළේ, 2048 වන විට රට “සංවර්ධනය” කිරීමේ කප්පාදු වැඩපිළිවෙලට තරුණයන් හිස නැමිය යුතු බවත්,  වැඩ කරන ජනතාව සහ පීඩිතයන් තමන් සිදු කළ “පසුගිය පව්” සඳහා “පව් ගෙවීමට” සූදානම් විය යුතු බවත් ය.

වික්‍රමසිංහ විසින් “පසුගිය පව්” යනුවෙන් අදහස් කරන්නේ ශතවර්ෂයකට වැඩි කාලයක් පුරා, විශේෂයෙන්ම පශ්චාත් දෙවන ලෝක යුද්ධයෙන් පසු කාල පරිච්ජේදය තුළ, රටේ සහ ලෝකයේ කම්කරු ව්‍යාපාරය දිනාගත් සීමිත සමාජ සුබසාධන වැඩසටහන් වන නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා සහ සහනාධාරයි. ධනවාදයට තවදුරටත් මෙම සහනදායි සුබසාධන කිසිවක් දැරිය නොහැක.

වික‍්‍රමසිංහ බොහෝ කාලයක් වැය කරමින්, ඉතා පැහැදිලිව මෙම ප‍්‍රකාශ නිකුත් කරන්නේ, ඔහුගේ වෙළඳපොළ ගැති වැඩපිළිවෙලට විරුද්ධ මත සහ විරුද්ධත්වය මර්දනය කිරීම ඔහුගේ එකම ප‍්‍රතිචාරය බව අවධාරණය කිරීමට ය. ඔහුගේ සහ ඔහුගේ පරපෝෂිත කල්ලියේ පාලනය දුර්වල බවත්, සංගත-රාජ්‍ය-වෘත්තීය සමිති සන්ධානය විසින් එය ඇබ ගසා රදවා නොගන්නේ නම්, වැඩකරන සහ පීඩිත සමස්ත ජනතාව තුළම, ධනේශ්වර සංස්ථාපිතයේ පැවැත්මටම තර්ජනයක් එල්ල කරනා දැවැන්ත  වික්ෂෝපයක් වර්ධනය වෙමින් පවතින බවත්, ඔහු හොඳින් දනී. පන්ති අරගලවල අවතාරය පාලක පන්තිය හොල්මන් කරන අතර වික්‍රමසිංහ මංමුලා සහගත තර්ජන වලින් වෙඩි තබමින් සිටී.

සංජය ජයසේකර

කොළඹ ක්‍රියාකාරී කමිටුව

2023 පෙබරවාරි 20

#CACPS

වික්‍රමසිංහ හමුදා විනයගත සමාජයක් කැඳවුම් කර යි Read More »

‘කලු ජනවාරියේ’ සිහිකල මාධ්‍යවේදියෝ හා ප්‍රකාශනයේ නිදහස සඳහා අරගලය

දශක ගනනාවක් තිස්සේ ලංකාවේ ආන්ඩුවල මර්දනයට, ඝාතනයට, හිරිහැරවලට ලක් කෙරුනු මාධ්‍යවේදීන් සිහිකරමින් “කලු ජනවාරිය” ලෙස නම් කෙරුනු සැමරුමක් හා උද්ඝෝෂනයක් ජනවාරි 27 සිකුරාදා කොලඹ විහාරමහාදේවී උද්‍යාන ඉදිරිපිට පැවැත්විනි. එය සංවිධානය කර තිබුනේ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසිනි. 

Image
ලසන්ත, කීත්, ප්‍රගීත්

මධ්‍යවේදීන් හා සිවිල් ක්‍රියාකාරීන් හතලිහකට ආසන්න ප්‍රමානක් සහභාගී වූ⁣ මෙම උද්ඝෝෂනයේදී මර්දනයට ලක් කෙරුනු මාධ්‍යවේදීන්ගේ ජායාරූප රැගත් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරනු ලැබිනි. මාධ්‍ය නිදහස හා මර්දනයට ලක්කෙරුනු මාධ්‍යවේදීන් සිහි කිරීම සඳහා යෝජිත සමරු ඵලකයක ආකෘතියක් ද එහිදි නිරාවරනය කෙරිනි. මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් රැස්ව සිටි පිරිස ඇමතූහ.

කොලඹ ක්‍රියාකාරී කමිටුවේ සහෝදරවරු එම අවස්ථාවට  සහභාගී වූ මාධ්‍යවේදීන් අතර උද්ඝෝෂනයේ යෙදුනු අතර කමිටුවේ මෑතම ප්‍රකාශයක් වන “සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල් අමරසිංහ නිදහස් කරනු! පාලක පන්තියේ කුමන්ත්‍රනය පරාජය කිරීමට කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නගනු!” යන ලිපියේ පිටපත් ඔවුන් අතට පත් කලෝය. එය කියවා බැලූ මාධ්‍යවේදීන් කිහිපදෙනෙක්ම එහි අන්තර්ගතයට තම එකඟතාවය පල කලෝය.

උද්ඝෝෂනයට යොදාගැනුනු වරෝධතා පුවරුවල දක්නට ලැබුනු එකම වාක්‍යය ඛන්ඩ වූයේ “යුක්තිය තවම ඉටුවී නැත (No Justice Yet)” යන්නයි.  මෙම වක්‍ය ඛන්ඩයේ සංවිධායකයන් අදහස් කල සැබෑ සංයුක්ත අර්ථය කථිකයන් තම අදහස් දැක්වීම් තුල ඉදිරිපත් කලෝය: එනම් අතරුදහන් කෙරුනු, ඝාතනය කෙරුනු, ශාරීරික හිරිහැරවලට ලක් කෙරුනු මාධ්‍යවේදීන්ට රනිල් වික්‍රසිංහගේ පසුගිය යහපාලන ආන්ඩුව යටතේ පවා යුක්තිය ඉටු නොවුනු බවත්, ඉදිරියේදී පත්වන ධනපති ආන්ඩුවකින් යුක්තිය ඉටුකරගැනීමට අපේක්ෂා කරන බවත් ය.

එක් කථිකයෙක් සඳහන් කලේ ඝාතනයට ලක්වූ  ලසන්ත වික්‍රමතුංග, අතුරුදහන් කරනු ලැබූ ප්‍රගීත් එක්නැලිගොඩ වැන මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් 2015 දී වික්‍රමසිංහ දුන් මැතිවරන පොරොන්දු ක්‍රියාත්මක කරනු ඇතැයි අපේක්ෂා කල බවයි. වික්‍රමසිංහ එම පොරොන්දු ඉටුකලා නම් මෙවැනි සමරු හා උද්⁣ඝෝෂන පැවැත්වීම අවසන් කල හැකිව තිබූ බව කියමින් ඔහු තවදුරටත් එම පොරොන්දු ඉටු නොකිරීම සම්බන්ධව වික්‍රමසිංහට චෝදනා කලේය. 

බලයට පත් එක එකක් ධනපති ආන්ඩු මාධ්‍යය, මාධ්‍යවේදීන් හා ප්‍රකාශනයේ නිදහස පාගාදමමින්  කටයුතු කලේය යන සත්‍යය අවධාරනය කරමින් “යුක්තිය ඉටුවී නැත ( Justice Denied)” යන සත්‍යය කම්කරු පීඩිත මහජනතාවට ගෙන යමින්, කම්කරු පාලනයක් යටතේ සියලු ධනපති පාලනයන්හි අපරාධවලට එරෙහිව යුක්තිය ඉටුකරගැනීමේ විප්ලවවාදී අපේක්ෂාව වෙනුවට එම අපරාධවලම උල්පත වන ධනපති පාලක පන්තියේ අනාගත නියෝජිතයන්ගෙන්ම වගවීම අපේක්ෂා කිරීම “යුක්තිය තවම ඉටුවී නැත” යන්නෙහි ගැබ්ව ඇති බව කථිකයෝ සනාථ කලහ. මෙය භයානක ප්‍රතිවිපාක ගෙන දෙන දේශපාලන අපගමනයකි.

මාධ්‍යවලට හා මාධ්‍යවේදීන්ට එරෙහි මර්දනය වලක්වා ගැනීමට මාධ්‍යවේදීන්ගේ වෘත්තීය සංවිධානවලට, එකමුතු වලට තනිව කල හැක්කක් නොවේ. 

මාධ්‍යයට එරෙහි ප්‍රහාරය වඩාත් පුලුල් දේශපාලන මර්දනයක, සමාජ ප්‍රතිවිප්ලවීය ප්‍රහාරයක  ප්‍රධාන කොටසක් පමනි. එය බැඳී පවතින්නේ දැවැන්ත සමාජ කප්පාදු වලට, ප්‍රජාතන්ත්‍ර විරෝධී පොලිස් හා මිලිටරි ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු හා පීඩිත ජනතාවගේ අරගල මර්දනය කිරීමේ දේශපාලන ප්‍රහාරයක අනිවාර්ය කොටසක් වශයෙනි. 

මෙම අපරාධ ඇතුලු සමස්ථයක් උතුරේත්, දකුනේත් දහස් ගනනින් ඝාතනවලට, අතරුදහන්කිරීම් වලට යුක්තිය ඉටුකර ගත හැකිවනු ඇත්තේ දේශපාලන බලය ධනපති පාලක පන්තිය වෙතින් කම්කරු මහජනතාව වෙත උදුරා ගනු ලැබුවහොත් පමනි.

ස්වාධීන ක්‍රියාකාරී කමිටු රටපුරාත්, ජාත්‍යන්තරවත් එකමුතු කරමින් කම්කරු පන්තියේ කාර්මික ශක්තිය මෙහෙයවා ගනිමින් රාජ්‍ය මර්දනයට  එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට කම්කරු පන්තික නායකත්වයක් ගොඩනැගිය යුතුව තිබේ. සමාජවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු සංධානයක්  පිහිටුවීම සඳහා කොලඹ ක්‍රියාකාරී කමිටුව ඇතුලු ක්‍රියාකාරී කමිටු මෙම වැඩපිලිවෙල දැනටමත් ක්‍රියාත්මක වෙමින් තිබේ. 

කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව (කප්‍රනිආක) 2019 දී පිහිටුවීම හා එය මගින් වි⁣ශේෂයෙන් ලේඛක ශක්තික සත්කුමාර නිදහස් කරගැනීම සඳහාත් කවිවර අහනාෆ් ජසීම්ගේ නිදහස සඳහාත් ගෙන ගිය අරගල ලංකාවේ වැඩකරන ජනතාට, මාධ්‍යවේදීන්ට, කලාකරුවන්ට තම නිර්මානකරනයේ හා ප්‍රකාශනයේ නිදහස රැකගැනීම සඳහා ගතයුතු දේශපාලන සටන කවරේද යන්න පිලිබඳ නැවුම් අත්දැකීම් එක් කලේය.  

කොක්‍රික පිහිටවනු ලැබූයේ මෙම අරගල පෙරට ගැනීම සඳහායි. ක්‍රික ඔබ ආයතන තුලමත් පිහිටුවා ගනිමින් ද කොක්‍රික සමග සමීපව කටයුතු කරමින් ද ඉදිරි අරගල සඳහා පෙරට එන ලෙස අපි මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිමු. 

සංජය ජයසේකර

කොලඹ ක්‍රියාකාරී කමිටුව

01 පෙබරවාරි 2023

#CACPS

 image courtesy of dailynews

‘කලු ජනවාරියේ’ සිහිකල මාධ්‍යවේදියෝ හා ප්‍රකාශනයේ නිදහස සඳහා අරගලය Read More »

“IMF තිත්ත බේත් ගිලින්නම වෙනවා” බන්දුල ගුනවර්ධන කියයි

“IMF තිත්ත බේත් ගිලින්නම වෙනවා”

බන්දුල ගුනවර්ධන (සිරස නිව්ස්ෆස්ට්, 24.01.2023 රෑ 07)

කැබිනට් ප්‍රකාශක බන්දුල ගුනවර්ධන ඊයේ කල ප්‍රකාශයේ ආන්ඩුවේ කප්පාදු ප්‍රතිපත්තිය පිලිබද සමස්ථය අන්තර්ගතව තිබේ. රුපියල් 45,000ක් ආදායම් ලබන සැම⁣ගෙන්ම, එනම් සමස්ථ වැඩකරන කම්කරු පීඩිත, ගොවි ජනතාවගෙන්ම පාහේ, (ආදායම්) බදු අය කල යුතුබව ජාත්‍යන්තර මූල්‍යඅරමුදල (IMF) නිර්දේශ කර තිබේ. ආන්ඩුව කියන්නේ මෙයයි: ‘මේ නිර්දේශවල සැර බාල කරගැනීම සඳහා ආන්ඩුව කේවල් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයේ සීමාවට ගෙන ඒමට හැකි විය. භාන්ඩාරය හිස් නිසා ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුලු මේ තිත්ත බෙහෙත් ඔබ ගිලිය යුතුය.” 

සමස්ථ බදු සංශෝධනය ඇතුලු කප්පාදු පියවරයන් IMF හි නිර්දේශ බවය ගුනවර්ධන මේ සහතික කරන්නේ. මෙම නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නැත්නම් IMF ගලවාගැනීමේ නය පහසුකම (EFF) ලැබෙනනේ නැත. ඒ නිසා නිර්දේශ ක්‍රියාත්මක කිරීම හැර අන් කල හැකි “විකල්පයක්” නැත, ආන්ඩුව කියයි.

ගුනවර්ධන ඇතුලු ආන්ඩුව නොකියන පැත්ත වඩාත් තිත්තය.  LMD සඟරාව ඊයේම (24) ඉදිරිපත් කල වාර්ථාවක ලංකාවේ ඉහලම බැංකු හා සමාගම් (ExpoLanka, Hayleys, LOLC, John Keells, Commercial Bank වැනි), කොවිඩ් වසංගතය හා මිලියන ගනනින් මහජනයා දුප්පත්කමට ඇදදමා ඇති ආර්ථික අර්බුදය මධ්‍යයේම, රුපියල් බිලියන ගනනින් බදු පසු ලාභ ලැබූ ආකාරය වාර්ථා කර තිබේ. මෑතක නිකුත් කල වාර්ථා ගනනකින්ම ලංකාවේ මෙන්ම ලොව පුරා මහා ධනපති සංගත, බැංකු හා මූල්‍ය සමාගම් කිහිප ගුනයකින් අදායම් වැඩිකරගත් ආකාරය හෙලිදරව්කර තිබේ. 2020 ආරම්භයේ සිට රාජපක්ෂ ආන්ඩුව මෙම සමාගම් වලට බදු සහන දීම වර්ථමාන අයවැය හිඟය හා ඩොලර් අර්බුදයට කෙලින්ම දායක විය. ඒ හේතුවෙන් බදු ආදායම රුපියල් ට්‍රිලියන 2ක් පමන අහිමි විය. තිත්තම ඇත්ත නම් ආන්ඩුව දැන්  කම්කරු, පීඩිත මහජනතාවගෙන් කර මතට කප්පාදු හරහා එම බදු බර පටවා ඇති බවයි. 

ලංකාවේ කුජීත ආන්ඩු ඇතුලු ලොව කිසිදු ආන්ඩුවක් ධනපති සංගතවල හා බැංකු වල ශ්‍රම සූරාකෑමෙන්, මූල්‍ය සූදුවන් (speculations) හා බදු සැඟවීමෙන් ගොඩගසාගත් මෙම ධනස්කන්ධයට අත තැබීමේ “උත්තරය” , “විකල්පය” හෙලිදරව් කරන්නේ නැත. මන්ද, එම උත්තරය ඇත්තේ කම්කරු පාලනයක් තුල නිසයි. කම්කරු මහජනයා අතට පාලනය උදුරා ගැනීම සඳහා දායක විය හැකි, මහජන විඥ්ඥානය සැබවින්ම සමාජවාදී ලෙස පරිවර්ථනය කල හැකි කිසිදු විරෝධයකට ඉඩ නොතැබීමට ගුනවර්ධන ඇතුලු පාලක පන්තිය සියල්ල කරමින් සිටින්නේ එබැවිනි. 

මහජන විඥ්ඥානය සැබවින්ම සමාජවාදී ලෙස පරිවර්ථනය කල හැකි අරගල ලෙස කම්කරු මහජන අරගල වර්ධනය වීම වැලැක්වීම  සියලු වෘත්තීය සමිතිවල නායකයන්ගේ උත්සුකය යි. අරගල දේශපාලන මාවතට පිවිසීම කිනිත්තෙන්ම ගලවා දැමීමට සියලු වෘත්තීය සමිති නායකයෝ වැඩකරමින් සිටිති. 

සංජය ජයසේකර 

කොලඹ ක්‍රියාකාරී කමිටුව

25.01.2023

#swjreviews #CACPS

“IMF තිත්ත බේත් ගිලින්නම වෙනවා” බන්දුල ගුනවර්ධන කියයි Read More »

Scroll to Top