politics

උග්‍ර වන දේශපාලන අර්බුදය මධ්‍යයේ තායිලන්ත මැතිවරණය පැවැත්වීමට යයි

රොබර්ට් කැම්පියන් විසිනි.

මැයි 14 ට නියමිත තායිලන්තයේ මහ මැතිවරණය පවත්වනු ලබන්නේ මහජන අප්‍රසාදය මෙන්ම චීනය සමග එක්සත් ජනපදය විසින් උසිගන්වන ලද යුද්ධයක වැඩෙන අන්තරාය යටතේ ය.  මීළඟ ආන්ඩුව කුමන පක්‍ෂයක් විසින් පිහිටුවනු ලැබුවද, වැඩකරන ජනතාව මුහුණ දෙන මෙම ප්‍රශ්න වලට සහ අනෙකුත් බරපතල ප‍්‍රශ්නවලට විසඳුම් සෙවීමට එයට නොහැකි වනු ඇත.

Image

අගමැති ප්‍රයුත් චාන්-ඕ-චා දැඩි ලෙස ජනතා අප්‍රසාදයට ලක්ව ඇත.  2014 මිලිටරි කුමන්ත‍්‍රණයක නායකයා වූ ඔහුගේ ආන්ඩුව යටතේ අත්දුටුවේ, මිලියන සංඛ්‍යාත කම්කරු පන්තිය සඳහා නරක අතට හැරෙන කොන්දේසි, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එරෙහි ප‍්‍රහාර සහ COVID-19 වසංගතයට මුහුණ දීමට කිසිදු බැරෑරුම් පියවරක් ගැනීම ප්‍රතික්ෂේප කිරීමයි.  2020 සහ 2021 දී ප්‍රයුත් රජයට එරෙහිව මහජන විරෝධතා පුපුරා ගියේය.

ප්‍රයුත්ට ඇති අප්‍රසාදය විශේෂයෙන් මිලිටරියට සහ රාජාණ්ඩුවට සමීප පාලක කවයන් තුල භේදයකට තුඩු දුන්නේය.  ප්‍රයුත් 2022 අවසානයේ එක්සත් තායි ජාතික පක්ෂයට (United Thai Nation Party-UTN) සම්බන්ධ වීමට පාලක පලං ප්‍රචාරත් පක්ෂය (Palang Pracharath Party  -PPRP) හැර ගියේය. පීපීආර්පී ය නව ආන්ඩුවක් පිහිටුවීම සඳහා සිය අපේක්ෂකයා ලෙස විශ්‍රාමික ජෙනරාල්, නියෝජ්‍ය අගමැති ප්‍රවිට් වොන්ග්සුවොන් සහාය දැක්වීම සඳහා තෝරා ගත්තේය.  2014 කුමන්ත්‍රණයේදී ප්‍රවිට් ද ප්‍රමුඛ භූමිකාවක් ඉටු කළේය.

මෙම බෙදීම් පිළිඹිබු කරමින්, ප්‍රයුත්ට අගමැතිව සිටීමට ඇති සුදුසුකම, ඔහුගේ අට වසරක ධුර කාලය සීමාවට පැමිණීමෙන් පසු, පසුගිය සැප්තැම්බර් මාසයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය හමුවට ගෙන එන ලදී.  කෙසේ වෙතත්, එහිදී, ප්‍රයුත්ට 2025 දක්වා ධුරයේ රැඳී සිටීමට ඉඩ සලසන බවට අධිකරණය තීන්දු කරන ලද්දේ, ප්‍රයුත්ගේ ධුර කාලය ආරම්භ වූයේ 2014 දී නොව 2017 දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ප්‍රකාශයට පත් කළ විට බව පදනම් කර ගනිමිනි.

බැංකොක්හි සුආන් දුසිත් (Suan Dusit) විශ්ව විද්‍යාලය විසින් පවත්වන ලද මෑත මත විමසුමකින් පෙන්නුම් කළ පරිදි, අනුමැතිය ප්‍රකාශ කර ඇත්තේ අතර, පීපීආර්පී සඳහා  7.49% ක් සහ යූටීඑන් සඳහා  8.48% ක් පමණක් වන ලෙසය. මෙය මිලිටරි පිටුබලය ලබන මෙම පක්ෂ දෙක සඳහා සමස්ත සහයෝගයේ දුබල බව පෙන්නුම් කරයි.

ඊට ප්‍රතිකූලව, ප්‍රධාන විපක්ෂය වන පියු තායි පක්ෂය   (Pheu Thai-PTP) සහාය සියයට 41.37 දක්වා ළඟා වූ අතර, සමස්තයක් ලෙස විපක්ෂ පිල සඳහා සියයට 60 කට වඩා වැඩි සහයෝගයක් ලැබිණි.  තායි ධනේශ්වරයේ ප්‍රධාන කොටස් නියෝජනය කරන පියු තායි ය (පීටීපී ය)  සඳහා ධනවත් ෂිනවත්‍රා පවුල පිටුබලය දෙනු ලබයි.  එය කුමන්ත්‍රණයකින් නෙරපා හරින ලද , 2001 සිට 2006 දක්වා අගමැති ලෙස කටයුතු කළ තක්ෂින් ෂිනවත්‍රා විසින් ආරම්භ කරන ලද ,තායි රක් තායි පක්ෂයේ අනුප්‍රාප්තිකයා වේ.  ඔහුගේ සොහොයුරිය වන යින්ග්ලක් 2011 සිට 2014 දක්වා අගමැති ලෙස කටයුතු කල අතර ඒ හා සමානවම ඇයද  හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කරනු ලැබීය.

තක්ෂින්ගේ දියණිය වන පේතොන්ග්ටාර්න්, පියු තායි (පීටීපී) හි අගමැති අපේක්ෂකයා වේ.  පියු තායි (පීටීපී) කියා සිටින්නේ, තමන් මිලිටරි පිටුබලය ලබන කිසිදු කොන්සර්වේටිව් පක්ෂයක් සමඟ සභාගයකට නොඑළඹෙන අතර, ද්විමණ්ඩල ජාතික සභාවේ පහළ මණ්ඩලය වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පවතින ආසන 500 න් 310 ක් දිනා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

පියු තායි (පීටීපී) යට ,තවත් ධනවත් ව්‍යාපාරිකයෙකු වන පිටා ලිම්ජාරෝඑන්රත්  නායකත්වය දෙන පෙරට යනු පක්ෂය (Move Forward Party-MFP) විසින් සහාය දක්වයි.  එම්එෆ්පී ‘ප්‍රගතිශීලී’ පක්ෂයක් ලෙස පෙනී සිටින අතර එය වාම නැඹුරු තරුනයන්ගේ සහ කම්කරුවන්ගේ සහයෝගය දිනා ගැනීම සඳහා විටෙක නොපැහැදිලි ධනේශ්වර විරෝධී ප්‍රකාශ කරයි.  කෙසේ වෙතත්, එහි අරමුන වන්නේ, මිලිටරි පිටුබලය ලබන ගතානුගතිකයින්ට විකල්පයක් ලෙස පියු තායි (පීටීපී) ව්‍යාජ ලෙස ඔසවා තබාගෙන තායි පාලක පන්තියට එරෙහිව මතු වන අව්‍යාජ ව්‍යාපාරයක් අවහිර කිරීමයි.  මාර්තු මාසයේදී පිටා මෙසේ ප්‍රකාශ කළේ, “පියු තායි (පීටීපී)  හි ඕනෑම [අගමැති] අපේක්ෂකයෙකු සමඟ වැඩ කිරීමට  සූදානම්.” බවයි.

පියු තායි (පීටීපී) සහ එහි ආධාරකරුවන්ට ආන්ඩුවක් පිහිටුවීම සඳහා අවම වශයෙන් ආසන 376ක් දිනා ගැනීමට අවශ්‍ය වනු ඇත.  ජාතික සභාවේ සෙනෙට් සභාව ආසන 250 කින් සමන්විත වන අතර, එහි සියලුම සාමාජිකයින් තායි හමුදාව විසින් පත් කරනු ලැබේ.  ප්‍රයුත් සහ ප්‍රවිට්ගේ මිලිටරි පිටුබලය ලබන පක්ෂවලට ප්‍රබල වාසියක් ලබා දෙමින් නව ආන්ඩුවක් සඳහා සභා දෙකම ඡන්දය දෙනු ඇත.  පාලක ප්‍රභූව තමන්ට කැමති අපේක්ෂකයා තෝරා ගැනීම සහතික කිරීම සඳහා ක්‍රියාත්මක වන ඒකාධිපති ක්‍රියාමාර්ග මෙයින් පෙන්නුම් කරයි.  හමුදාව විසින් පාලනය කරනු ලබන හෝ එහි බලපෑමට ලක් වන අනෙකුත් රාජ්‍ය ආයතන වලට මැතිවරණ ප්‍රතිඵලය වෙනස් කළ හැකිය.  ඒවාට පරිපාලන අධිකරණය, ව්‍යවස්ථා අධිකරණය සහ මැතිවරණ කොමිසම ඇතුළත් වේ.

තවත් කුමන්ත්‍රණයක් සිදු නොවන බවට සහතිකයක් ඇත්තේ  නැත. මාර්තු මාසයේදී ,දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන පත්සරවලී තනකිත්විබුල්පොන් සමග සම්මුඛ සාකච්ඡාවකදී  ප්‍රවිට් මෙසේ ප්‍රකාශ කළේ: “රට එක්සත් නම් සහ ජීවිත හානිවලට තුඩු දෙන ගැටුම් නොමැති නම්, තවත් කුමන්ත්‍රණ සිදු නොවනු ඇත, නමුත් රට කැළඹිලි සහිත නම්, එය [කුමන්ත්‍රණයක්] අවශ්‍ය විය හැක.” යන්නයි.

සමස්ත ක්‍රියාවලිය තරයේම ප්‍රජාතන්ත්‍ර විරෝධී ය.  පියු තායි (පීටීපී) සහ මිලිටරි පිටුබලය ලත් විශාල පක්ෂවල ආධිපත්‍යයට අනුග්‍රහය දක්වමින්, පසුගිය වසරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් මගින් පක්ෂ-ලැයිස්තු ආසන සංඛ්‍යාව 150 සිට 100 දක්වා අඩු වූ අතර, ඒවා වෙනම ඡන්දයකින් පිරවීමට නියමිතය.  මුළු ලැයිස්තු-ආසන ඡන්ද 100 න් බෙදා සමානුපාතිකව ප්‍රදානය කෙරේ.  අපේක්ෂකයින් 100 දෙනෙකුගෙන් යුත් සම්පූර්ණ පක්ෂ ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත්තේ පියු තායි (පීටීපී)  සහ යූටීඑන් පමණි.

තවත් කරුණක් වන්නේ සිසුන් සඳහා ජාතික විභාග දිනය වන මැයි 14 වන දින මැතිවරණ දිනය නියම කිරීමයි.  මෙය නිසැකවම තීරණය කරනු ලැබුවේ තරුණයින් ඡන්දය දීමෙන් අධෛර්යමත් කිරීමේ උත්සාහයක් ලෙස වන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඡන්දයේදී විරුද්ධ පක්ෂ තෝරා ගනු ඇත.

2019 පැවති අවසන් මහ මැතිවරණයට හමුදාවේ දැඩි මැදිහත්වීම් සමග සිදු විය.  තරඟ කළ ආසන ආසන 350 න්,  පියු තායි (පීටීපී)  එසේ වුවත් ආසන 137ක් දිනා ගත් අතර, පීපීආර්පී ජයග්‍රහණය කළේ ආසන 97 කි. මත විමසුම් මගින් එකල  පියු තායි (පීටීපී) ට පක්ෂව සියයට 45ක් සහ පීපීආර්පී සඳහා සියයට 7ක් පෙන්වූ බැවින් විශාල විෂමතා සිදු වී තිබුණි.  හමුදාව විසින් ඡන්ද මිලදී ගැනීම් සහ වෙනත් වංචනික ක්‍රියා පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පුලුල්ව වාර්තා විය.

මැතිවරනයට මතින්  ලඹ දෙන්නේ, චීනය සමග එක්සත් ජනපදය විසින් උසිගන්වන ලද යුද්ධයක වැඩෙන අන්තරාය වන අතර, එය කිසිදු පාර්ශ්වයක් විසින් පිළිගෙන නොමැත.  අප්‍රේල් 24 වෙනිදා, යූඑස් එස් නිමිට්ස් ගුවන් යානා වාහක ප්‍රහාරක කණ්ඩායම (USS Nimitz aircraft carrier strike group )  තායිලන්තයේ බැංකොක් අගනුවර අසල ලැම්  ෂබැං (Laem Chabang) වරායට පිවිසුණි.  ලෝකයේ බලවත්ම හමුදාවේ විශාලතම යුධ නෞකා වලින් එකක් වන යූඑස් එස් නිමිට්ස් හි සිව්දින සංචාරය, එක්සත් ජනපදය තායි මැතිවරනය කෙරෙහි යොදන පීඩනය අවධාරනය කරයි.

යුද්ධයක් ඇති වූ විට, වියට්නාම් යුද්ධයේදී ඉන්දුචීනය පුරා කළාක් මෙන්, වොෂින්ටනය චීනයට ප්‍රහාර දියත් කිරීම සහ බෝම්බ හෙලීම සඳහා මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස තායිලන්තය භාවිතා කරනු ඇත.  එක්සත් ජනපදය ඉල්ලා සිටින්නේ මීළඟ තායි ආන්ඩුව බීජිනයෙන් ඈත් විය යුතු බවයි.  බැංකොක් චීනය මත ආර්ථික වශයෙන් රඳා පවතින අතර බීජිං සහ වොෂින්ටනය අතර තුලනයක් ඇති කිරීමට උත්සාහ කර ඇත.

යූඑස් එස් නිමිට්ස් තායිලන්තයට පැමිණීමට පෙර ජපානය සහ දකුණු කොරියාව සමඟ යුද අභ්‍යාසවල නිරත විය. මෙම ප්‍රහාරක කණ්ඩායමේ වරායට ආගමනය නිල වශයෙන් පවත්වන ලද්දේ “එක්සත් ජනපද-තායි ආරක්ෂක හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම” සහ “එක්සත් ජනපද-තායි රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 190 වැනි සංවත්සරය සැමරීම” සඳහා ය.  ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම ගැන වොෂින්ටනයේ සියලු කතා තිබියදීම, එක්සත් ජනපදය, බැංකොක් සහ බීජිං යන දෙකටම පැහැදිලි පණිවිඩයක් යවමින් සිටින්නේ තම අවශ්‍යතා සපුරාලීම සහතික කිරීම සඳහා අවශ්‍ය නම් තම මිලිටරිය භාවිතා කරන බවයි.

මැතිවරණයක් ආසන්නයේ චීනය මෙවැනි අභ්‍යාස පවත්වා ගුවන් යානා ප්‍රවාහකක නෞකාවක් ඕනෑම රටක වරායකට නැංගුරම් දැමුවහොත්, ජාත්‍යන්තර පුවත්පත් තුළ ඇති වන චීන බලහත්කාරය සහ අධිකාරීවාදය පිළිබඳ සටන්කාමී හෙලාදැකීම් ගැන කෙනෙකුට සිතාගත හැකිය.  එහෙත් චීනය සමග වැඩෙන ගැටුම නොතකා, මෙය, එක්සත් ජනපදය සඳහා ‘එදිනෙදා කටයුත්තක්’ ලෙස ඉදිරිපත් කෙරෙයි.

#theSocialistLK #WSWS

උග්‍ර වන දේශපාලන අර්බුදය මධ්‍යයේ තායිලන්ත මැතිවරණය පැවැත්වීමට යයි Read More »

thesocialist.lk

මැක්‍රොන්ගේ පොලිස් රාජ්‍යය ප්‍රංශ කම්කරුවන්ට එරෙහිව යුද්ධය දියත් කරයි

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි මස 02 දින Macron’s police state wages war on French workers යන සිරසින් යුතුව පලවූ ඇලෙක්ස් ලැන්ටියර් සහෝදරයා විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සංහල පරිවර්තනයයි. පරිවර්තනය කිත්රුවන් මොලදණ්ඩ විසිනි. 

Image

කම්කරු පන්තියේ සහයෝගීතාවයේ ජාත්‍යන්තර දිනය වන මැයි දිනයේ දී, ප්‍රන්ස ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, අතිමහත් මහජන විරෝධය නොතකා ඔහු පනවා ඇති විශ‍්‍රාම වැටුප් කප්පාදුවට එරෙහිව මිලියන ගනනක් විරෝධය පලකරද්දී, දැඩි ලෙස සන්නද්ධ කැරලි මර්දන පොලිස් කණ්ඩායම් ඒ වෙත මුදා හැරියේය.  වීදි වෛද්‍යවරුන් විසින් බරපතල ලෙස තුවාල ලැබූ 30ක් ඇතුළුව තුවාල ලැබූ විරෝධතාකරුවන් 200කට ප්‍රතිකාර කළ අතර බරපතල ලෙස කඳුළු ගෑස් ආශ්වාස කල පිරිස 2,000ක් පමණ විය.

මෙම ප්‍රහාරය හුදෙක් වැටුප් සඳහා වැඩ කරන ජනගහනයෙන් අතිමහත් බහුතරය කෙරෙහි “ධනවතුන්ගේ ජනාධිපතිවරයා” අවඥාවට ලක් කිරීමේ සලකුණකට වඩා වැඩි යමක් විය.  එය ධනේශ්වර ආන්ඩු වැඩෙන මහජන විරෝධයට ප්‍රතිචාර දක්වන ආකාරය පිලිබඳව ප්‍රන්සයේ හා ජාත්‍යන්තරව කම්කරුවන්ට අනතුරු ඇඟවීමකි.  මැක්‍රොන් ආන්ඩුව, ෆැසිස්ට් විචි (Vichy) තන්ත‍්‍රයෙන් පසු මෙතෙක් නොදුටු දේශපාලන මර්දනයක මට්ටමකට හැරී ඇත.

ප‍්‍රන්ස ජනතාවගෙන් සියයට 75කට වැඩි ප‍්‍රතිශතයක් විරුද්ධ වන කප්පාදුවලට කම්කරුවන් අඛණ්ඩව විරෝධතාවයේ යෙදෙද්දී, මැක්‍රොන් විසින් එය පාලනය කරනු ලබන්නේ පොලිස් ප‍්‍රචණ්ඩත්වය යෙදීමෙනි.  මැක්‍රොන්ගේ කප්පාදුවලට එරෙහිව මාස හතරක විරෝධතාවල දී පොලිස් නිලධාරීන් විසින් මුදා හරින ලද සංහාරයේ මට්ටම, සමාජ අසමානතාවයට එරෙහි “කහ කබාය” විරෝධතා මර්දනය කිරීමේ දැවැන්ත ප්‍රමාණයට වේගයෙන් ළඟා වෙමින් තිබේ.  එම විරෝධතා තුලදී, වසරකට වැඩි කාලයක් තුළ, 10,000 කට අධික පිරිසක් අත්අඩංගුවට ගන්නා ලදී. තුවාල ලැබූවන් ගනන 4,400 කි. ආබාධිත වූ පිරිස 30 ක් වූ අතර, අසල සිටි 80 හැවිරිදි සෙයිනාබ් රඩ්වාන් ඝාතනය කරන ලදී.

2023 දී, රටේ සමස්ත වෘත්තීය සමිති සන්ධානය විසින් පවත්වන ලද රටපුරා විරෝධතා වර්ජන 14 කදී, සිය ගනනක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සිය ගනනක් තුවාල ලබා ඇත.  පොලිසිය ප්‍රවෘත්ති කැමරා ඉදිරිපිට සාමකාමී විරෝධතාකරුවන්ට පහර දෙයි, රබර් උණ්ඩවලින් ඔවුන්ගේ ඇස්වලට වෙඩි තබයි, අත්බෝම්බවලින් ඔවුන්ගේ දෑත් පුපුරවා හරියි, ඔවුහු රූගත කරන මාධ්‍යවේදීන්ට සහ පෙලපාලියෙහි පාගමනෙන් යන විට අනාරක්ෂිත විරෝධතාකරුවන් එලියට ඇද පහර දෙති.

මේ අවස්ථාව වන විට මේ ආණ්ඩුව, සම්පූර්ණයෙන්ම ජනගහණයට එරෙහි සංවිධානාත්මක ප්‍රචණ්ඩත්වය පදනම් කරගනිමින් පාලනය ගෙන යයි.

ප‍්‍රන්සයේ මර්දනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා යුක්‍රේනයේ දී රුසියාව සමග නේටෝව යුද්ධයක යෙදී සිටී යන බොරුව පුපුරුවා හරියි.  මැක්‍රොන් ප්‍රජාතන්ත්‍රවාදය පාගා දමමින් සිටින්නේ, ඔහු පොහොසතුන් සඳහා සිය බදු කප්පාදුවලට මුදල් සැපයීමට සහ යුද්ධය තීව්‍ර කිරීම සඳහා යුරෝ බිලියන 90 ක මිලිටරි වියදම් ඉහළ නැංවීම සඳහා විශ්‍රාම වැටුප් වලින් යුරෝ බිලියන ගනනක් කපා හරිමිනි.  නේටෝ අධිරාජ්‍යවාදී බලවතුන් රුසියාව සමග යුද්ධයකට තල්ලු කරන එම සමාජ හා පන්ති අවශ්‍යතාම ධනවත්ම අධිරාජ්‍යවාදී රටවල පවා ඔවුන් පොලිස්-රාජ්‍ය පාලනයට තල්ලු කරයි.

නමුත් නැවත නැවතත් ප්‍රචණ්ඩත්වය යොදා තිබියදීත්, මහජන ව්‍යාපාරය පාලනයට ගෙන ඒමට මැක්‍රොන්ට නොහැකි වී තිබේ.  එය බලවත් ඉදිරි ගම්‍යතාවයක් වර්ධනය කර ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය 2023 මැයි දිනය සඳහා වන එහි කැඳවීමේ දී, යුද්ධයේ උත්සන්න වීමත් සමග විප්ලවවාදී ව්‍යාපාරයක් වර්ධනය වෙමින් පවතින බව ලිවීය:

අධිරාජ්‍යවාදී පාලක ප්‍රභූව යුද මාවතට තල්ලු කරන එම ආර්ථික, භූ දේශපාලනික හා සමාජීය ප්‍රතිවිරෝධතාම කම්කරු පන්තියේ රැඩිකල්කරණයට හා විප්ලවවාදී අරගල පුපුරා යාමට වෛෂයික ආවේගය සපයයි.

ප්‍රංශ කම්කරු පන්තියට එරෙහි දැවැන්ත පොලිස් ප්‍රචණ්ඩත්වය නොවැලැක්විය හැකි ලෙස එක් නිගමනයකට ගෙන එයි: සම්මුතියකට ඉඩක් නැති අතර මැක්‍රොන් සමග සාකච්ඡා කිරීමට කිසිවක් ඉතිරිව නැත.  කම්කරු පන්තියේ ඉදිරි මාවත වන්නේ මහා වැඩවර්ජනයක් හරහා ඔහුව බිමට ඇද දැමීමයි.

ප්‍රංශ ජනතාවගෙන් තුනෙන් දෙකක් ආර්ථිකය අවහිර කිරීමේ මහා වැඩවර්ජනයකට සහාය දක්වන බව මත විමසුම් පෙන්නුම් කරයි.  කෙසේ වෙතත්, මහජන ව්‍යාපාරය නැවැත්වීමට ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය සහ වෘත්තීය සමිති දරන උත්සාහයට එරෙහිව කම්කරු පන්තියේ පූර්ණ සමාජ හා කාර්මික බලය මේ සඳහා අවශ්‍ය වනු ඇත.

ප්‍රන්සය තුල වැඩෙන කම්කරු පන්තියේ කෝපය පිලිබඳව ජාත්‍යන්තරව පාලක කවයන් තුල  අනතුරු ඇඟවීම් වැඩෙමින් පවතින බවට බොහෝ ඇඟවුම් තිබේ.  මැක්‍රොන් විසින් කප්පාදුව නීති ගත  කිරීමෙන් පසු විරෝධතා අවසන් වී නැත. එය  ඔහුගේ ආන්ඩුවේ සුජාතභාවය බව නැති කර ඇත්තේ,  ජර්මනිය, බ්‍රිතාන්‍ය සහ යුරෝපය පුරා සහ ඉන් ඔබ්බෙහි රටවල ද වැටුප් කප්පාදුවලට, සමාජ කප්පාදුවලට සහ උද්ධමනයට එරෙහිව වැඩ වර්ජන වර්ධනය වෙමින් තිබියදී ය. විවිධ ධනේශ්වර ආන්ඩු, මැයි දිනයේදී, මැක්‍රොන්ගේ පොලිස් ම්ලේච්ඡත්වය පිලිබඳ දැනුවත්ව සිදු කරන ලද නිශ්ශබ්දතාවය අවසන් කර කනස්සල්ලට පත් ප්‍රකාශ නිකුත් කළහ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ස්වීඩනය ප්‍රංශයෙන් ඉල්ලා සිටියේ “උද්ඝෝෂණ  වලදී විරෝධතාකරුවන්ට එරෙහිව පොලිසිය සහ ෂොන්ඩාමරී [පොලිස් බලතල සහිත මිලිටරි  සේවයක්]  විසින් අධික ලෙස බලය යෙදවීම සම්බන්ධ චෝදනාවලට විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමට පියවර ගන්නා ලෙසයි.” ප්‍රංශයේ “සාමකාමී පුරවැසියන් විසුරුවා හැරීම ඉලක්ක කරගත් දරුණු සහ සමහර විට ප්‍රචණ්ඩකාරී පියවර” කනස්සල්ලට හේතුවක් බව රුසියාව පැවසීය.

“සංක්‍රමණිකයන්ගේ අයිතීන් උල්ලංඝනය කරන ක්‍රියාමාර්ග නවත්වන ලෙස” චීනය ප්‍රංශයෙන් ඉල්ලා සිටි අතර, “ආගමික වෛරයෙන් පෙලඹී ඇති අපරාධ සහ ප්‍රචණ්ඩත්වයේ තර්ජන මැඩපැවැත්වීමේ ප්‍රයත්නයන්ට” සහාය දෙන ලෙස එක්සත් ජනපදය පැරීසියෙන් ඉල්ලා සිටියේය.

ඩෙන්මාර්කයේ සැක්සෝ බැංකුව (SaxoBank) ද සංක්ෂිප්ත පත්‍රිකාවක් නිකුත් කරමින් අනුමාන කරනු ලබන්නේ, මෙය තමන්ගේ කප්පාදු පිලිවෙත් සඳහා පාර්ලිමේන්තු සහයෝගය නොමැතිකම හේතුවෙන් ඇති වූ දේශපාලන අර්බුදයක් වශයෙන් එයට ප්‍රතිචාර ලෙස ඔහු ඉල්ලා අස්විය හැකි බව යි.

එහෙත් මෙම බලවේග කතා කරන්නේ ප්‍රංශයේ පොලිස් ම්ලේච්ඡත්වය පිලිබඳ හදිසි සැලකිල්ලක් නිසා හෝ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ධනේශ්වර තන්ත්‍රයක් මතුවනු දැකීමට ඇති ආශාව නිසා නොවේ; දිනකට, පොලිසිය විසින් සාමාන්‍යයෙන් පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කරන, ලොව විශාලතම ජේලර්වරයා වන එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන මිලියන ගණනක් සිරකර තබන බන්ධනාගාර පද්ධති මොවුහු ක්‍රියාත්මක කරති. ඒ වෙනුවට, තත්වය කළමනාකරණය කිරීමට සහ ධනේශ්වර මූල්‍ය කතිපයාධිකාරයේ අවශ්‍යතා ඉදිරියට ගෙන යාමට මැක්‍රොන්ට ඇති හැකියාව කෙරෙහි ඔවුන් තුළ ඇති විශ්වාසය බොඳ වෙමින් තිබේ.

වැටුප්  හා සමාජ කප්පාදුවේ එකම ආඥාදායක පිලිවෙත් සිය රට තුල පැටවීමට සහ – නේටෝ අධිරාජ්‍යවාදී බලවතුන් සම්බන්ධවයෙන් නම් – යුක්‍රේනය තුල රුසියාවට එරෙහි යුද්ධය සඳහා ඔවුන්ගේම හැකියාව පිලිබඳව ප‍්‍රන්සයේ විප්ලවවාදී පිපිරුමකින් ඇති වන ඇගවුම් කෙරෙහි  ඔවුහු බිය වෙති.

1968 මැයි ප්‍රන්ස මහා වැඩවර්ජනය කම්කරු පන්තිය විසින් ජාත්‍යන්තර විප්ලවවාදී අරගල රැල්ලක් අවුලුවාලූ ආකාරය ලොව පුරා ධනේශ්වර පාලක ප්‍රභූන්ට අමතකව නැත.  යුරෝපයේ පමනක්, බ්‍රිතාන්‍යයේ, පෘතුගාලයේ, ග්‍රීසියේ සහ ස්පාඤ්ඤයේ ආන්ඩු බිඳ වැටුනු අතර, මිලියන ගනනක් කම්කරුවන් ජර්මනියේ, ඉතාලියේ සහ ඉන් ඔබ්බෙහි වූ වැඩ වර්ජන හා විරෝධතා වලට සම්බන්ධ විය.  මෙය ලොව පුරා තරුණ ශිෂ්‍යයන් සහ කම්කරුවන්ගේ පරම්පරාවක් රැඩිකල්කරණය කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කළේය.

වසර පනස් පහකට පසුව සහ 1991 දී ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු දශක තුනකට වැඩි කාලයක් තුළ පන්ති අරගලයේ නැගිටීමක් ලොව පුරා සිදුවෙමින් පවතී.  නව නේටෝ-රුසියා ලෝක යුද්ධයකට තව තවත් ගැඹුරට කිඳා බසින තතූ තුල, ගෝලීයකරණය වූ ධනවාදයේ නොවිසදිය හැකි භූ දේශපාලනික හා මූල්‍ය ප්‍රතිවිරෝධතා විසින් මෙහෙයවනු ලබන ධනේශ්වර පාලක ප්‍රභූවකට කම්කරු පන්තිය වෙත ඉදිරිපත් කිරීමට ප්‍රතිසංස්කරන නොමැත.  කම්කරු පන්තියේ වැඩෙන විරුද්ධත්වය සහ කෝපය වෙත ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ පොලිස් ප්‍රචණ්ඩත්වයෙන් පමනි.

කම්කරු පන්තිය මැක්‍රොන් ආන්ඩුව බිම දැමිය යුතුය.  කම්කරුවන් මුහුන දී සිටින්නේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන සඳහා පාලක පන්තියට බලපෑම් කිරීමට නොව බලය සඳහා ජාත්‍යන්තර අරගලයක් දියත් කිරීමට තමන්ම සංවිධානය වීමේ කර්තව්‍යයට ය.  මෙයට අවශ්‍ය වන්නේ කම්කරු පන්තියේ පුලුල් මහජනතාව සටන්කාමී ක්‍රියාවන් තුල බලමුලු ගැන්වීමටත් ආන්ඩු බිම හෙලීමට සහ කම්කරුවන්ගේ ආන්ඩු බලයට ගෙන ඒම සඳහා මහා වැඩ වර්ජන සූදානම් කිරීමටත් හැකි වන පරිදි ක්‍රියාකාරී කමිටු (සංවිධාන) ගොඩනැගීමයි.

ප්‍රංශයේ ව්‍යාපාරය වැඩි වැඩියෙන් වර්ධනය වන තරමට, එය වෘත්තීය සමිති නිලධරයේ සහ ජීන්-ලූක් මෙලන්චොන් වැනි දේශපාලන චරිතවල ද්‍රෝහීත්වය එලිදරව් කරයි. මෙම ව්‍යාපාරය අඩුවී යනු ඇතැයි සියල්ලෝම බලාපොරොත්තු වෙති.

කම්කරුවන්ට ප්‍රන්ස වෘත්තීය සමිති නිලධරයන් මත විශ්වාසය තැබිය නොහැක. ඔවුන් වෙනත් තැන්වල සිටින තම සගයන්ට වඩා “රැඩිකල්” යයි මවාපෑම් තිබියදීත්, ප්‍රතිවිප්ලවවාදී භූමිකාවක් ඉටු කරයි.  ඔවුන් මැක්‍රොන් පරාජය කිරීමට කම්කරුවන්ට ඉදිරිදර්ශනයක් නොදෙන අතර ඒ වෙනුවට ප්‍රන්සයේ ෆැසිස්ට් පොලිස් රාජ්‍යය සමග “සමතය” (mediation) සඳහා ආයාචනා කිරීමට නැවත නැවතත් වැඩ වර්ජන අත්හිටුවයි.  ප්‍රංශ ජනතාවගෙන් විශාල බහුතරයක් සහ ප්‍රංශ කම්කරුවන්ගෙන් අතිවිශාල බහුතරයක්  මහා වැඩ වර්ජනයක් ඉල්ලා සිටිය දී එය සංවිධානය කිරීමට ඔවුන් අසමත් වීම, ඔවුන් සේවය කරන්නේ කම්කරුවන්ගේ අරගල සංවිධානය කිරීමට නොව අවහිර කිරීමට සහ ප්‍රමාද කිරීමට බව පැහැදිලි කරයි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රංශ ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (Parti de l’égalité socialiste – PES) මැක්‍රොන් ඉවත් කිරීමට සහ ඔහුගේ කප්පාදු නවතා දැමීමට බල කරන යෝජනා සඳහා ඡන්දය ප්‍රකාශ කරන ලෙස, ප්‍රංශය පුරා සේවා ස්ථානවල සහ පාසල්වල මහා සභා රැස්වීම් පැවැත්වීමට ඉල්ලා සිටී. මෙම රැස්වීම් වලින් කම්කරුවන්ට හා තරුනයින්ට වැඩවර්ජන සහ විරෝධතා ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය කිරීමට සහ මැක්‍රොන් බලයෙන් පහකිරීම සඳහා මහා වැඩ වර්ජනයක් සූදානම් කිරීමට ක්‍රියාකාරී  කමිටු පිහිටුවා ගත හැකිය.

සියල්ලටත් වඩා, ජාත්‍යන්තරව කම්කරු පන්තියේ වැඩෙන වැඩ වර්ජන රැල්ල සහ දේශපාලන විරුද්ධත්වය සමග ප්‍රන්සයේ කම්කරුවන්ගේ අරගල සම්බන්ධීකරණය කිරීමට එවැනි ක්‍රියාකාරී කමිටුවලට හැකිය.  මැක්‍රොන්ට එරෙහි අරගලයේ දී, ප්‍රංශ කම්කරුවන්ගේ හොඳම සහකරුවන් වන්නේ ජාත්‍යන්තරව එම ප්‍රතිගාමී ප්‍රතිපත්ති හා මූල්‍ය ප්‍රභූන්ට එරෙහිව සටන් කරන ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් ය.

කම්කරුවන්, ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (IWA-RFC) තුල බලමුලු ගන්වා විප්ලවවාදී ඉදිරිදර්ශනයකින් සන්නද්ධව,  මැක්‍රොන් බලයෙන් පහකිරීමේ අරගලය පාලක මූල්‍ය කතිපයාධිකාරය අත්පත් කර ගැනීමේ සහ ගෝලීය වශයෙන් සමාජවාදී සමාජයක් ගොඩනැගීමේ අරගලයේ පළමු පියවර බවට පත් කළ යුතුය.  [අවධාරනය සංස්කාරකගෙනි]

#theSocialistLK #WSWS

මැක්‍රොන්ගේ පොලිස් රාජ්‍යය ප්‍රංශ කම්කරුවන්ට එරෙහිව යුද්ධය දියත් කරයි Read More »

ඇමරිකානු ජනාධිපති බයිඩන් පැපුවා නිව් ගිනිහි දාමරික බලය පෑමේ සංචාරයක

මයික් හෙඩ් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අප්‍රේල් මස 30 දින US President Biden to make bullying visit to Papua New Guinea යන සිරසින් යුතුව පලවූ මයික් හෙඩ් සහෝදරයා විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සංහල පරිවර්තනයයි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

චීනය සමග එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ තීව්‍ර වන ගැටුම පිටුපස පෙලගැසිම සඳහා පැසිෆික් දූපත් රටවලට එල්ල වන පීඩනය සැලකිය යුතු  පරිදි ඉහල දැමීමක් ලෙස, එක්සත් ජනපද ජනාධිපතිවරයෙකු පැපුවා නිව්ගිනියාවට (PNG) කරන පළමු සංචාරය වන එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මේ මාසයේදී එහි ළගා වනු ඇත.

Image

පැපුවා නිව්ගිනියාවෙහි අගනුවර වන පෝර්ට් මෝර්ස්බි (Port Moresby) හි ​​නැවතුමේ දී , බයිඩන් පැසිෆික් දූපත් නායකයින් දුසිමකට වැඩි පිරිසක්ක් හමුවනු ඇත. ඕස්ට්‍රේලියාවට උතුරින් පිහිටි මෙම උපායමාර්ගිකව තීරණාත්මක සහ සම්පත් බහුල දූපත් සමූහය, ලෝක යුද්ධ දෙකේදීම නිරිතදිග පැසිෆික් කලාපයත් සමග ප්‍රධාන සටන් බිමක් බවට පත්විය.

මැයි 20දා බයිඩන් මෙම පෙර නොවූ විරූ සංචාරය සිදු කරනු ඇත්තේ, යුක්රේනයේ රුසියාවට එරෙහිව එක්සත් ජනපදය විසින් දායකත්වය දෙන යුද්ධය කෙරෙහි අවධානය යොමු කරනු ඇති, ජපානයේ පැවැත්වෙන ජී-7 සමුලුවක් හා  සිඩ්නි හි දී පැවැත්වීමට නියමිත  චීන විරෝධී ක්වාඩ් (Quad ) නායකයින්ගේ   –  එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය සහ ඔස්ට්‍රේලියාව –  චීනයට එරෙහි මිලිටරි හා ආර්ථික ප්‍රහාරය තීව්‍ර කිරීමෙහි පූර්ණව නියැලෙනු ඇති, රැස්වීමක්  අතර දීය. 

චීනය සමඟ ගැටුම සඳහා ඉන්දියාව පෙරමුණු කදවුරක් බවට පත් කර ඇති ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් සංවිධානය කරන ලද, පපුවා නිව් ගිනිහි පවත්වන ඉන්දියා-පැසිෆික් දූපත් සංසදයේ වාසිය, එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින්ලබා ගනු ඇත.  බයිඩන්ගේ සංචාරයෙන් දිනකට පසු පැවැත්වීමට නියමිත මෝඩිගේ මණ්ඩපය, ඉන්දු-පැසිෆික් කලාපය පුරා එක්සත් ජනපද හවුල්කරුවෙකු ලෙස වඩාත් විශාල බලයක් සඳහා ඉන්දියානු පාලක පන්තියේ හිමිකම ප්‍රදර්ශනය කිරීමක් වේ.

පැසිෆික් දූපත් නායකයින් සමග බයිඩන් ගේ රැස්වීමේ තර්ජනාත්මක ස්වභාවය එක්සත් ජනපද ආන්ඩුවේ වොයිස් ඔෆ් ඇමරිකා ( Voice of America) අවධාරනය කලේ,  “මෙම රැස්වීම කලාපය තුළ චීන ආක්‍රමණයට එරෙහිව, එය පසුපසට තල්ලු කිරීමේ එක්සත් ජනපද ප්‍රයත්න වල සැලකිය යුතු පියවරක් වනු ඇති අතර, එය සිදු වන්නේ  පසුගිය සැප්තැම්බරයේ ධවල මන්දිරයේදී පැසිෆික් දූපත් නායකයින්ට බයිඩෙන් විසින් සත්කාරකත්වය දැක් වීමෙන් පසුවයි,” ලෙසිනි.

අද දින “ඔස්ට්‍රේලියන්” ( Australian) හි කතුවැකියක් මේ හා සමාන පණිවිඩයක් එවා ඇත. බයිඩන්  සහ මෝඩි චාරිකාවල “වැදගත්කම නොසලකා හැරීම චීනයේ  නුවණට හුරු නැත”, යැයි එය ප්‍රකාශ කළේය.  “රැස්වීම් සහ ක්වාඩ් (Quad) සමුලුව මගින් දැනුම් දෙන්නේ බීජිංනය , කලාපය පුරා තමන්ට රිසි ආකාරයෙන් දේවල් සිදුවනු ඇති බව විශ්වාස කළ දිනයන් අවසන් වී ඇති බවයි.”

එම අනතුරු ඇඟවීම යථාර්ථය එහි හිස මත හිටවයි.  කලාපය පුරා ලේ වැකි සටන් තුතුලින් ජපන් අධිරාජ්‍යවාදය පරාජය කළ එක්සත් ජනපදයේයේ ආන්ඩු, දෙවන ලෝක යුද්ධයෙන් පසු කාල පරිච්ඡේදය පුරා,  පැසිෆික් කලාපය ඇමරිකාවේ “විල” ලෙස සැලකූහ.  බොහෝ දුරට, එක්සත් ජනපදය නිරිතදිග පැසිෆික් කලාපයේ අධීක්‍ෂණය එහි ප්‍රාදේශීය අධිරාජ්‍යවාදී සහචරයින් වන ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට පැවරූ අතර, එම රටවල් දෙක බොහෝ දුරට, ජර්මානු නිව්ගිනි ඇතුළු දූපත් භූමි ප්‍රදේශයන්හි යටත් විජිත පාලනය, පළමු ලෝක යුද්ධයේදී අත්පත් කර ගත්හ.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය පසුගිය දශකය පුරා චීනය සමග යුද්ධය සඳහා එහි සූදානම වේගවත් කර ඇති හෙයින්, පැසිෆික් දූපත් රාජ්‍යවල කටයුතු වලට එය වඩ වඩාත් සෘජුව මැදිහත් වී ඇත.

පසුගිය සැප්තැම්බරයේ, බීජිනයට වල කැපීමට සහ වොෂින්ටනයේ ආධිපත්‍යය පිලිබඳ එහි  තිරසාර ප්‍රකාශය ඉදිරියට ගෙන යාමට, සැලසුම් කළ “හවුල්කාර” ගිවිසුමකට තල්ලු කිරීම සඳහා බයිඩන් පැසිෆික් නායකයින් 14 දෙනෙකුගේ සමුලුවක් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දී කැඳවීය. “සෘජුවම, ඇමරිකාවේත්ත් ලෝකයේත්   ආරක්‍ෂාව සහ රඳා පවතින්නේ ඔබගේ ආරක්‍ෂාව සහ පැසිෆික් දූපත්වල ආරක්‍ෂාව මත” යැයි බයිඩන් රැස්වීමට කෙලින්ම පැවසීය.

බයිඩන්ගේ ගේ සංචාරයට පිටුබලය දෙන අතර, වාර්තා වන පරිදි ඊට එකතු වන, ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් , ජනවාරි මාසයේදී පැපුවා නිව් ගිනි වෙත ඔහුගේම සංචාරයක් සිදු කරනු ලැබුවේ චීනය අවහිර කිරීම සඳහා ඕස්ට්‍රේලියාව සමඟ ආරක්ෂක ගිවිසුමකට එළැඹීමට  එහි ආන්ඩුව එකග කරවා ගැනීම සඳහාය.  එක්සත් ජනපදය පපුවා නිව් ගිනිහි අගමැති ජේම්ස් මාරපේ තල්ලු කරනු ලබන්නේ මීට සමාන “ආරක්ෂාෂා සහයෝගිතා ගිවිසුමක්” ඇති කර ගැනීමටය.

ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය අතර ඇතිකර ගත් ඔ්කස් (AUKUS) මිලිටරි ගිවිසුම සම්බන්ධයෙන් පැසිෆික් දූපත් පුරා නොසන්සුන්තාවක් සහ විරෝධයක් පවතී.  ක්වාඩ් සමග, ඔ්කස් නොවරදින ලෙසමලෙසම පිහිටුවා ගෙන ඇත්තේ, සමස්ත කලාපයේම ජනතාවට විනාශකාරී ප්‍රතිවිපාක ඇති කරමින්, චීනයට එරෙහි ව්‍යසනකාරී න්‍යෂ්ටික යුද්ධයක් සඳහා සූදානම් වීමටය.

පසුගිය වසරේ, සොලමන් දූපත් ආන්ඩුව බීජිං සමග නොපැහැදිලි උපායමාර්ගික ගිවිසුමක් අත්සන් කිරීම, වොෂින්ටන් , කැන්බරා හා වෙලින්ටන් හි අනතුරක හැගීමක් ඇති කළේය.  ඕනෑම තථ්‍ය ලෙස වන චීන ස්ථීර මිලිටරි පැවැත්මක් වැලැක්වීමට සන්නද්ධ මැදිහත්වීමක් කරන බවට වොෂින්ටනය තර්ජනය කරනු ලැබීය.  ධවල මන්දිරයේ ඉන්දු-පැසිෆික් සම්බන්ධීකාරක කර්ට් කැම්බල්ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනපද නියෝජිත කණ්ඩායමක් සොලමන් දූපත් අගමැති මනස්සේ සොගවාරේ හමුවිය.  එවන් ඕනෑම පියවරකට “ඊටට අනුව ප්‍රතිචාර දක්වන” බවට එක්සත් ජනපදය පසුව බිය උපදවන සුලු අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.

එහි තර්ජන ශක්තිමත් කිරීම සඳහා, එක්සත් ජනපදය මෙම දූපත් තුළ සිය රාජ්‍යතාන්ත්‍රික පැවැත්ම තීව්‍ර කළේය.  එය සොලමන් දූපත් වල නව තානාපති කාර්යාලයක් සහ වනුවාටු, කිරිබති සහ ටොංගා හි රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල (diplomatic missions) විවෘත කළ අතර කලාපීය නායකයින්ගේ පර්ෂදයක් වන පැසිෆික් දූපත් සංසදයට (Pacific Islands Forum) නියෝජිතයෙකු පත් කළේය. බයිඩන් පරිපාලනය, ගෝලීය වශයෙන් එක්සත් ජනපද මැදිහත්වීම් සඳහා යොදා ගැනෙන වාහක දෙකක් වන, එක්සත් ජනපද සාම බලකායේ ( US Peace Corps) සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (US Agency for International Development) මෙහෙයුම් පුළුල් කිරීමට ද පියවර ගෙන ඇත.

එක්සත් ජනපදය තව දුරටත්, ඕස්ට්‍රේලියාවේ කම්කරු ආන්ඩුව සමග එක්ව,  , දූපත් ජාතීන් 10ක් සමග වූ වඩා පුලුල්, පෙර කී වැන්නට සමානවම නොපැහැදිලි, චීන ආරක්‍ෂක සහ වෙළඳ ගිවිසුමටට විරෝධය පා අවසන් කර දැමීය. මෙම දූපත් ජාතීන්, වෙළඳාම, ආධාර සහ ආයෝජන සඳහා ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය වන චීනය මත සැලකිය යුතු ලෙස රඳා පැවතුනද, ඉන්දු-පැසිෆික් කලාපය පුරා ඇති ආන්ඩු වලට, බීජිං සමඟ සබඳතා අඩු කිරීමට හෝ කපා හැරීම සඳහා හිරිහැර කරනු ලැබේ.

පපුවා නිව් ගිනි හි විදේශ අමාත්‍ය ජස්ටින් කචෙන්කො (Justin Tkatchenko) පසුගිය මාසයේ ඕස්ට්‍රේලියානු ගුවන් විදුලි සංස්ථාවට ප්‍රකාශ කළේ, මෙම වසර මුලදී හවායි සහ පපුවා නිව් ගිනි හි නිලධාරීන් අතර පැවති සාකච්ඡා වලට පසු පසින්,  එක්සත් ජනපදය සහ පපුවා නිව් ගිනි ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක් අත්සන් කර අවසන් කරන බවයි.   පුහුණු කිරීම්  සහ කඳවුරු ගොඩනැගීම් ආවරණය කරන මෙම ගිවිසුම, ඔහු විසින් “ඉතා වැදගත්” යැයි විස්තර කරන ලදී.

කෙසේ වෙතත්, කචෙන්කො, ඕස්ට්‍රේලියාව වැනි සම්ප්‍රදායික “හවුල්කරුවන්ගේ” උපායමාර්ගික උත්සුකයන් සමනය කරන අතරම, චීනය සමඟ නව ආර්ථික අවස්ථා විවෘත කිරීමට උත්සාහ කරන බැවින් පැපුවා නිව් ගිනි සඳහා එය, “සියුම් සමතුලිතතා ක්‍රියාවක්” බව පැවසීය.  පපුවා නිව් ගිනි චීනය සමඟ ආර්ථික වශයෙන් දිගටම කටයුතු කරන නමුත් “ආරක්ෂාව සම්බන්ධයෙන් අපගේ හවුල්කරුවන් හා බද්ධ වී සිටින” බව ඔහු පැවසීය. මෙවැනි සමාන පීඩනයන්  යටතේ, පපුවා නිව් ගිනිය  පසුගිය මාසයේ එක්සත් රාජධානිය සමඟ සහ පසුගිය වසරේ අගභාගයේදී ප්‍රංශය සමඟ බලකා-තත්ව ගිවිසුමක් (Status of Forces Agreement) අත්සන් කරනු ලැබීය.

2018 නොවැම්බර් මාසයේදී පෝට් මෝර්ස්බි හි ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවක් පැවැත්වූ අවස්ථාවේදී චීන ජනාධිපති ෂී ජින්පින් පැපුවා නිව් ගිනි වෙත දින කිහිපයක් සංචාරය කළේය.  නව මාර්ග සහ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයක් ඇතුළුව සමුළුව සඳහා බොහෝ යටිතල පහසුකම් සඳහා චීනය අරමුදල් සපයන ලදී.

එජ සහ, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි එහි සමීපතම සහචරයින් සම්බන්ධයෙන් සැලකූ කළ, ඔවුන්ගේ ස්වයං-ප්‍රකාශිත ” පිලිකන්න” තුල එවැනි චීන බලපෑම නොඉවසිය හැකි ය. බයිඩන්ගේ සංචාරය, වොෂින්ටනයේ ප්‍රහාරයෙන් කිසියම්ම හෝ අපගමනයක් වැලැක්වීම සඳහා වූ,  මුලු ක්ෂේත්‍රයම අලලා ගත්   තියුණු තද කිරීමක් නියෝජනය කරයි. 

පසුගිය මාසයේ, ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පෙනී වොං , නවසීලන්ත නියෝජ්‍ය අගමැති කාර්මෙල් සෙපුලෝනි සහ විදේශ අමාත්‍ය නානායා මහුතා මෙන්ම බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි විසින් ද මෙම කලාපය වෙත සංචාර සිදු කෙරිණ.

වොං, එජ සහ ඕස්ට්‍රේලියානු අධිරාජ්‍යවාදයේ ප්‍රහාරක බල්ලෙකු ලෙස ඇල්බනීස් ආන්ඩුවේ භූමිකාව අවධාරනය කරමින්,  නිලයේ පළමු වසර තුලදී ඇය ඒ වන විට සංචාරය නොකළ පැසිෆික් රටවල් 17න් ඉතිරි දෙකට ගියාය.  පැසිෆික් “පවුල” වෙත ඇයගේ චාරිකා චීන ආධිපත්‍යයෙන් කලාපය මුදා ගැනීමේ දූත මෙහෙවර ලෙස  නිරූපණය කල  ඇය, කලාපය “හැඩ ගැස්වීම ”  පිළිබදව ප්‍රකෝපකාරී කතා සිදු කළාය.

පසුගිය සතියේ ඇල්බනීස් ගේ රජය තවත් ඉදිරියට ගියේය.  එය දෙවන ලෝක සංග්‍රාමයේ අවසානයෙන් පසු ඕස්ට්‍රේලියාවේ විශාලතම මිලිටරි ගොඩ නැගීම සහ  එක්සත් ජනපදය විසින් චීනය මිලිටරිමය ලෙස වැටලීමේ කොටසක් ලෙස ඉන්දු-පැසිෆික් කලාපය හරහා “බලපෑම් ප්‍රක්ෂේපණය” පිළිබඳ නව මූලධර්මයක් අනුගමනය කිරීම ගෙනහැර දක්වන ආරක්ෂක උපායමාර්ගික සමාලෝචනයක් නිකුත් කළේය.

ලෝකයේ සෙසු රටවල් මෙන්ම, නිරිතදිග පැසිෆික් සාගරයේ දුරස්ථ සේ  පෙනෙන  දූපත් පවා,  20 වැනි සියවසේ ලෝක යුද්ධ දෙකේදීම මෙන්, නැවතත් අධිරාජ්‍යවාදී යුද්ධයේ වෙඩි බිමට තල්ලු කරකරමින් පවතී.

#theSocialistLK #WSWS

ඇමරිකානු ජනාධිපති බයිඩන් පැපුවා නිව් ගිනිහි දාමරික බලය පෑමේ සංචාරයක Read More »

වෝර්සෝ හි ගෙටො නැගිටීමට වසර 80 ක් සපිරෙයි – 01 කොටස

ක්ලාරා වෙයිස් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අප්‍රේල් 26 දින පල වූ ක්ලාරා වෙයිස් සහෝදරිය විසින් ලියන ලද “80 years since the Warsaw Ghetto Uprising” යන ලිපියේ සිංහල පරිවර්තනය යි. කොටස් දෙකකින් පලකරනු ලැබෙන මෙම ලිපිය පරිවර්තනය කලේ මිගාර මල්වත්ත විසිනි.

අප්‍රේල් 19, 1943 වෝර්සෝ ගෙටො හි [නාසින් අල්ලාගත් කලාපවල යුදෙව්වන්ට වෙන් කල ප්‍රදේශ] නැගිටීමෙහි ආරම්භය සිදු විය. පසුගිය බදාදා,  එහි 80 වැනි සංවත්සරය සනිටුහන් කළේය. මෙම නැගිටීම මහාද්වීපයේ ( යුරෝපයේ) නාසි පාලනයට එරෙහිව මහා පරිමාණ නාගරික සන්නද්ධ ප්‍රතිරෝධයේ පළමු ක්‍රියාව විය.

දුර්වල ලෙස සන්නද්ධ සටන්කාමීන් සිය ගණනක් – ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ නව යොවුන් වියේ හෝ විසි ගණන්වල මුල් භාගයේ පසු වූ අය වූ අතර – සති කිහිපයක් නාසීන්ගේ කුරිරු එස්එස් හමුදාවන්ට එරෙහි වීමට සමත් වූහ.  මෙම නැගිටීම මෙහෙයවනු ලැබුවේ සමාජවාදී සියොන්වාදී හෂෝමර් හට්සායර්, වාම පෝලන්ත සියොන්වාදීන් සහ යුදෙව් කම්කරු බුන්ඩ් ඇතුළු කොමියුනිස්ට් තරුනයන්ගේ සහ යුදෙව් සමාජවාදී පක්ෂවල සන්ධානයක් විසිනි. ඒ සියල්ලෝම දැඩි ලෙස සෝවියට් ගැති වූ අතර යුදෙව් විරෝධී හා ෆැසිස්ට්වාදයට එරෙහි සටන නොබිඳිය හැකි ලෙස ධනවාදයට එරෙහි සටන බව ඒත්තු ගෙන සිටියහ.    නාසීන්ට කැරැල්ල මැඩපැවැත්වීමට හැකි වූයේ ගෙටොව ගිනිබත් කර, 13,000 ක් පමණ මිනිසුන් මරා දැමීමෙන් පමණි. ඔවුන්ගෙන් අඩක් පමණ පණපිටින් පුළුස්සා හෝ ගින්න මගින් ඇතිවන දුමාරයෙන් හුස්ම හිර කර මරා දැමුණි.

Image
SS සොල්දාදුවන් දැවෙන ගෙටෝවේ වීදි හරහා ගමන් කරයි.  පින්තූරය SS කමාන්ඩර් Jürgen Stroop විසින් වාර්තාවක් සඳහා ගන්නා ලද්දකි

සමූලඝාතනයේ (හොලොකොස්ටයේ) ගමන් මග නැවැත්වීමට හෝ වෙනස් කිරීමට එයට නොහැකි වුවද, නැගිටීම මගින් නාසි ආක්‍රමණිකයන්ගේ පදනම දෙදරුමට ලක් විය. එය සිදු වූයේ, ස්ටාලින්ග්‍රෑඩ්හිදී රතු හමුදාව විසින් නාසි ජර්මනිය පරාජය කිරීමෙන් යන්තම් මාස දෙකකට වැඩි කාලයකට පසුවය. එහිදී ( ස්ටැලින්ග්‍රාඩ්) මුළු ජර්මානු හමුදාවක්ම අතුගා දමා තිබුණි.  මෙම නැගිටීම නිසා සමකාලීනයන් අතර වෝර්සෝ ගෙටොව “කුඩා ස්ටාලින්ග්‍රෑඩ්” යන පදය උපයා ගත්තේය.  රතු හමුදාවේ දැන් ආරම්භක ප්‍රගතිය සමග, එය යුරෝපය පුරා නාසි තන්ත‍්‍රයට සහ එහි සහචරයින්ට එරෙහිව සමාජ හා විප්ලවවාදී අරගල පුපුරා යාම හඟවන ලදී.  එය ( වෝර්සෝ ගටො නැගිටීම) එතැන් සිට නාසි නායකත්වය යුරෝපීය යුදෙව්වන් මිලියන 6 ක ජන සංහාරය කිරීමේ ඉතිහාසයේ හොඳම ප්‍රචලිත කථාංගයක් බවට පත් වූ අතර ෆැසිස්ට්වාදයේ අතිමහත් සන්නද්ධ බලය හමුවේ ධෛර්ය සම්පන්න විරෝධයේ සංකේතයක් බවට පත්ව ඇත.

එහි දැවැන්ත ඓතිහාසික හා දේශපාලන වැදගත්කම තිබියදීත් – එසේත් නැතිනම් ඒ නිසා – 80 වැනි සංවත්සරයේ සැමරුම් අතිශයින් නිහඬය.  ජර්මනියේ ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටේන්මියර්,  වෝර්සෝහිදී වූ සිදුවීම ගැන “සමාව” ඉල්ලා සිටිමින්  වාචාල කතා ගණනාවක් ප්‍රකාශ කරන  අතරම ජර්මන් ආණ්ඩුව යුක්‍රේනය තුළ දී රුසියාවට එරෙහිව යුද්ධයක් සඳහා යුද ටැංකි යවමින් සිටී. ඉතිහාසය මුසාකරනය කිරීමේ කේන්ද්‍රීය භූමිකාවක් ඉටුකරමින් සිටින පෝලන්ත ආණ්ඩුව යුදෙව් විරෝධීවාදය ප්‍රවර්ධනය කිරීමට සහ රුසියාවට එරෙහිව නේටෝ යුද්ධය ඉදිරියට ගෙන යාම සඳහා දායකත්වය සපයයි.

ජර්මනිය තුලම, ඉතා සුළු අනුස්මරණ පැවති අතර, ඒවා සියල්ලම පාහේ යුදෙව් ප්‍රජාවන් විසින් සංවිධානය කරන ලදී.  කැපී පෙනෙන විශේෂිත දෙයක් වූයේ ලයිප්සිග්හි සයිමන් ඩබ්නොව් ආයතනය විසින් සංවිධානය කරන ලද තෙදින ශාස්ත්‍රීය සම්මන්ත්‍රණය වන අතර, පෝලන්ත යුදෙව් ඉතිහාස ක්ෂේත්‍රය පලිබද  ප්‍රමුඛ පෙළේ ඉතිහාසඥයින් බොහෝ දෙනෙකුගෙන් එහි සිටි අතර නැගිටීම පිළිබඳ මෑත කාලීන ඓතිහාසික සොයාගැනීම් පිලිබඳව හා එයට සම්බන්ධ වූ විවිධ දේශපාලන ප්‍රවණතා ද සමාලෝචනය කරන ලදී.  .

සම්මන්ත්‍රණයේ සන්දර්භය තුළ, ලයිප්සිග් විශ්ව විද්‍යාලයේ සිසුන් නාසිවාදය විසින් හිංසාවට ලක් වූ, මරා දැමූ හෝ පිටුවහල් කරන ලද නිර්මාපකයින්ගේ කෘති පිළිබඳව ක්‍රියාකාරී ප්‍රසංගයක් ද සංවිධානය කළහ.  නාසීන් විසින් විනාශ කරන ලද සංගීත සංස්කෘතියේ පුලුල් විවිධත්වය සහ පොහොසත්කම ප්‍රකාශ කිරීමට පමණක් නොව, මෙම නිර්මාපකයින් පීඩාවට පත් වීමට පෙර ඔවුන් ජීවත් වූ ජීවිත පිළිබඳ හැඟීමක් ලබා දීම සඳහා සිසුන් විසින්ම සංගීත ඛණ්ඩ තෝරාගෙන තිබුණි.  1920 ගණන්වල බර්ලිනයේ සංගීත ජීවිතයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ සහ පසුව එක්සත් ජනපදයට සංක්‍රමණය වීමට බල කෙරුනු, පෝලන්ත-යුදෙව් නිර්මාපකයෙකු වන ඉග්නාට්ස් වැගල්ටර්ගේ, පලමු පියවරයන් තුනෙහි මුල්ම කෘතිවලින් එකක් වන ඩී මේජර් හි ස්ට්‍රිං ක්වාර්ටේට් හි පළමු පියවර  විශේෂයෙන් කැපී පෙනේ.  නාසීන් විසින් ඝාතනය කරන ලද චෙක්-යුදෙව් නිර්මාපකයෙකු වන අර්වින් ෂුල්හෝෆ්ගේ “අයිරනීස්” හි අත් හතරක් සඳහා කෙටි නමුත් නව්‍ය පියානෝ ඛණ්ඩ තුනක් ද සිදු වාදනය කරන  ලදී.

සිසුන් මහත් උනන්දුවෙන් සංගීත ඛණ්ඩ වාදනය කළ අතර එක් සිසුවෙකු එක් එක් නිර්මාපකයෙකු හා වාදනය කල සෑම නිර්මාන කොටසක් පිලිබඳව  බැරෑරුම් හැඳින්වීමක් ඉදිරිපත් කළේය.  සංගීත භාණ්ඩ සඳහා වූ ලීප්සිග් කෞතුකාගාරයේ පැවති මෙම ප්‍රසංගය කෙතරම් උනන්දුවක් දැක්වුයේද යත්, ප්‍රේක්ෂකයන්ට අසුන් ගැනීමට අමතර පුටු ගෙන ඒමට ද සිදු විය.

හොලෝකොස්ටයේ  පවතින බුද්ධිමය හා සංස්කෘතික බලපෑම  ග්‍රහණය කර ගැනීමට තරුනයන් හා කම්කරුවන් අතර ඇති පැහැදිලි පෙළඹවීම සමඟම ඓතිහාසික සත්‍යය යටපත් කිරීමට හා විකෘති කිරීමට සහ සිදු වූ දෙය හෑල්ලු කිරීමට හෝ සිදු වූ දේ අනුස්මරණය නොකිරීමට ආන්ඩු දරන උත්සාහයන් අතර කැපී පෙනෙන වෙනසක් ඇත. නිශ්චිතවම, එය සැමරීමට ධනේශ්වර ආන්ඩුවලට උනන්දුවක් නැත්තේ වෝර්සෝ ගෙටො නැගිටීමේ ඓතිහාසික පාඩම් වල සමකාලීන දේශපාලන අදාළත්වය නිසාය.

එහෙත් ලෝකයේ නව අධිරාජ්‍යවාදී යලි බෙදීමක දිග හැරෙන සුළි කුණාටුවට, ෆැසිස්ට් බලවේග ගොඩනැගීමට, සමාජ ප්‍රතිවිප්ලවයට සහ දැනට පවතින වසංගත හා දේශගුණික ව්‍යසනයට අද මුහුන දී සිටින කම්කරුවන්ට, වෝර්සෝ ගෙටො සමූලඝාතනය( හොලෝකොස්ටය) නැගිටීම සහ නම් වීරෝදාර එනමුත් ඛේදනීය අත්දැකීමෙන් ඉගෙන ගැනීමට ඉමහත් පාඩම්  රැසක් ඇත.  

වෝර්සෝ ගෙටෝ නැගිටීමේ මූලයෝ

සති හයක් වැනි කෙටි කාලයක් තුළ, එනම් 1942 ජූලි 22-සැප්තැම්බර් 8 වැනි දින අතර සිදු වූ, ඇස්තමේන්තුගත පරිදි, ගේටොවෙන් පිටුවහල් කරන ලද   යුදෙව්වන් 265,000ක් ,  ට්‍රෙබ්ලින්කා මරණ කඳවුරට ගෙන ආ  විගස ගෑස් යොදා ඝාතනය කිරීම, එනම් “මහා ක්‍රියාවේ” දී ලැබූ විනාශකාරී අත්දැකීම ගෙටොවේ සන්නද්ධ ප්‍රතිරෝධය සඳහා වූ සැලසුම්වල ක්ෂනික මූලාරම්භය විය. නැගෙනහිර යුරෝපය පුරා ගේටො හා ගාල් කඳවුරු මුර කිරීමට නාසීන් විසින් පුහුණු කරන ලද යුක්රේනියානු කුලී හේවායන් වන ඊනියා “ට්‍රව්නිකි” හමුදාව, යුදෙව්වන් ක්‍රමානුකූලව වටකර ගැනීමේ දී සහ ට්‍රෙබ්ලින්කා වෙත ප්‍රවාහනය කිරීමේදී සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළහ.

Image
වෝර්සෝ හි ඊසාන දෙසින් පිහිටි ට්‍රෙබ්ලින්කා සමූලඝාතන කඳවුරේ ස්මාරකය.  1942 ගිම්හානය සහ 1943 ගිම්හානය අතර ට්‍රෙබ්ලින්කා හි දී යුදෙව්වන් මිලියනයක් පමණ ගෑස් කුටි තුළ දී මරණයට ගොදුරු කරන ලදී .  එය අවුෂ්විට්ස්ට පසු යුරෝපයේ දෙවන මාරාන්තික සමූලඝාතන කඳවුර විය. © WSWS

“මහා පිටුවහල් කිරීම” (Great Deportation) යනු ඊනියා ” රයින්හාඩ් මෙහෙයුම” (Aktion Reinhard) හි කොටසකි, එය නාසි-ආක්‍රමණය කරන ලද පෝලන්තයේ මහා ආණ්ඩුවේ ගෙටෝවල ජීවත් වූ මිලියන 2ක සමස්ත යුදෙව් ජනගහනය ක්‍රමානුකූලව කාර්මික ඝාතනය කිරීම සඳහා වූ කේත නාමයයි.  රයින්හාඩ් ක්‍රියාකාරකම්  1942 ජනවාරි මාසයේ කුප්‍රකට වන්සී ( Wannsee) සමුළුවෙන් සති කිහිපයකට පසු, එනම්, 1942 මාර්තුවේ දී ආරම්භ කරන ලදී. මෙම සමුළුුවේදී ප්‍රමුඛ නාසි සහ ජර්මානු රාජ්‍ය නිලධාරීහු යුරෝපයේ සියලුම යුදෙව්වන් කාර්මිකව විනාශය කිරීමට එකඟ විය.  1942 මාර්තු සහ 1943 මාර්තු අතර වසරක කාලය තුළ, හොලෝකෝස්ටයට ගොදුරු වූ මිලියන 6 න් අඩකට වඩා ඝාතනය කරන ලදී.  යුදෙව්වන් මිලියන 1.47ක් ගෑස් යොදා ඝාතනය කරන ලද,1942 අගෝස්තු සහ නොවැම්බර් අතර මාස තුන තුළ, කාර්මිකකරන ලද ඝාතන එහි උච්චතම අවස්ථාවට ළඟා විය – සමූලඝාතනයට ගොදුරු වූ මුළු සංඛ්‍යාවෙන් හතරෙන් එකක් සහ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම ඒක පුද්ගල ඝාතන අනුපාතය විය.

Image
1942-1944 මාසය අනුව සමූලඝාතන අනුපාතය

වින්දිතයන් අතර වෝර්සෝහි යුදෙව් ප්‍රජාවේ බහුතරය විය.  යුද්ධයට පෙර, වෝර්සෝ යනු 400,000 ජනතාවක්, එනම් නගරයේ මුළු ජනගහනයෙන් තුනෙන් එකක් සමන්විත වූ ලොව විශාලතම යුදෙව් ප්‍රජාවගේ නිවහන විය.  1940 නොවැම්බරයේ පිහිටුවන ලද මෙම ගෙටොව, නාසින් වාඩිලාගෙන සිටි යුරෝපයේ තිබූ එවැනි ආකාරයේ විශාලතම එක වූ අතර යෝධ රැදවුම් කඳවුරක් ලෙස ක්‍රියාකාරී ලෙස ක්‍රියාත්මක විය.  වෝර්සෝ හි ඊනියා “ආර්ය කලාපය” තාප්පයක් මගින් ගෙටෝවෙන් වෙන් කළ අතර, ගෙටෝව පැවැති කාලය පුරාම වෙළඳාම සහ ජාවාරම් දෙකලාපය අතර දිගටම පැවතුනි.  එහි වැසියන්ට දිනකට කැලරි 184ක පමණ සාගිනි සලාකයක් ලබා ගැනීමට සිදු විය.  කුසගින්න, ටයිෆස් උණ  සහ වෙනත් රෝගවලින් පීඩා විදීම නිසා, මහා පිටුවහල් කිරීමට පෙර ගෙටෝ වැසියන්ගෙන් හතරෙන් එකක් පමණ මිය ගියහ.

නාසීන් විසින් ඇති කරනු ලැබූ  බිහිසුණු ජීවන තත්වයන් සහ දිගටම පැවති භීෂණය තිබියදී, පෝලන්ත යුදෙව්වන්ගේ පොහොසත් බුද්ධිමය හා සංස්කෘතික සම්ප්‍රදායන් පිළිබිඹු කරමින් ගෙටෝව විශිෂ්ට සංස්කෘතික හා දේශපාලන වැඩබිමක් බවට පත් විය.

ශ්‍රේෂ්ඨතම දේශපාලනික සහ සංස්කෘතික වැදගත්කමක් දැරූයේ ඔයනෙග් ෂබ්ෂ් (Oyneg Shabbes) ලේඛනාගාරය ආරම්භ කර පවත්වාගෙන ගිය සමාජවාදී සියොන්වාදී ඉතිහාසඥයෙකු වන එමානුවෙල් රිංගල්බ්ලම්  (Emanuel Ringelblum) විසින් සිදු කරන ලද ප්‍රතිපදානයයි. නාසිවාදය විසින් 1940 සිට ගෙටොව දියකර හැරීම දක්වා ඔයනෙග් ෂබ්ෂ් (Oyneg Shabbes ) විසින් පෝලන්ත යුදෙව්වන් අඛණ්ඩව විනාශ කිරීම ගැන පමණක් නොව, ගෙටොවේ එදිනෙදා ජීවිතය සහ සංස්කෘතික හා දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳවද විශාල තොරතුරු රාශියක් රැස් කරන ලදී.

ලේඛනාගාරය, විශේෂයෙන්ම, පෝලන්ත යුදෙව්වන්ට සහ ගෙටො ජීවිතයට මාක්ස්වාදයේ සහ සමාජවාදයේ දැවැන්ත බලපෑම පෙන්නුම් කරයි. එම බලපෑම හැදෑරිමෙන් තොරව නැගිටීමේ දේශපාලන මූලාරම්භය තේරුම් ගත නොහැක. ගෙටොවේ වඩාත් ක්‍රියාකාරී දේශපාලන ප්‍රවනතා අතර සමාජවාදී සියොන්වාදී බාලදක්ෂ ව්‍යාපාරය වන හෂෝමර් හට්සර්  (Hashomer Hatzair) සහ රිංගලබ්ලම්  සම්බන්ධ වූ වාම  පෝලන්ත සියෝන්වාදීන්  මෙන්ම කොමියුනිස්ට්වාදීන් ද විය. අන්තර් යුද්ධ පෝලන්තයේ බොහෝ දුරට කලා ශිල්පී යුදෙව් ජනතාව අතර සැලකිය යුතු බලපෑමක් ඇති කළ සහ දශක කිහිපයක් තිස්සේ සංවිධිත සංහාරවලට එරෙහිව යුදෙව් ප්‍රජාවන් තුළ ආත්මාරක්ෂක ඒකක පිහිටුවීමට මූලිකත්වය ගෙන සිටි යුදෙව් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු බුන්ඩ් පක්ෂය ද ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළේය. මෙම ප්‍රවනතාවන් සියල්ලම [1943] නැගිටීමට සම නායකත්වය දෙනු ලැබීය.

මහා පිටුවහල් කිරීම දක්වාම පාහේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වෝර්සෝ ගෙටො හි දේශපාලනිකව ක්‍රියාකාරීව සිටි බව රිංගල්බ්ලම්ගේ ලේඛනාගාරය පෙන්නුම් කරන අතර සමහර මූලාශ්‍ර පෙන්වා දෙන්නේ ට්‍රොට්ස්කිවාදීන් නැගිටීමට සම්බන්ධ වූ බවයි. [1]

1940 සහ 1941 අතර ට්‍රොට්ස්කිවාදීන් පෝලන්ත භාෂා සඟරා දෙකක් වෝර්සෝ ගෙටො හි ප්‍රකාශයට පත් කළහ. එනම් “රතු බැනරය” (Czerwony Sztandar) සහ න්‍යායාත්මක සඟරාව “මාක්ස්වාදී සමාලෝචන” (Pregłąd Marksistowski ) යි. ඒවා ගෙටොවේ  තාප්පයේ දෙපැත්තටම බෙදා හරින ලදී.  ඔවුන්ගේ ප්‍රකාශනවල ලියොන් ට්‍රොට්ස්කි විසින් රචනා කරන  ලද ලිපි පලවූ අතර, 1941 අගෝස්තුවේ නිකුත් කරන ලද ඔහුගේ ඝාතනයේ පළමු සංවත්සරය වෙනුවෙන් කැප කරන ලද පත්‍රිකාවක් ද, ඔක්තෝබර් විප්ලවයේ  සහ පැරිස් කොමියුනයේ පාඩම් සහ විප්ලවවාදී මාක්ස්වාදය සහ ස්ටැලින්වාදය අතර වෙනස ආදිය සහ සමකාලීන හා ඓතිහාසික සිදුවීම්වල න්‍යායික හා දේශපාලන විශ්ලේෂණ ද ඇතුළත් විය. පෝලන්ත ට්‍රොට්ස්කිවාදී  නායකයා සහ “පෝලන්ත ට්‍රොට්ස්කිවාදයේ පියා” වන සොලමන් එර්ලිච් (1907-1942) පිටමං කරනු ලැබූ අතර 1942 ගිම්හානයේදී ට්‍රෙබ්ලින්කාහි ගෑස් කුටියක් තුළ දී ඝාතනය කෙරුණි. [2]

Image
1941 අගෝස්තු මාසයේදී ට්‍රොට්ස්කි ඝාතනයේ පළමු සංවත්සරය වෙනුවෙන් වෝර්සෝ ගෙටෝහිදී
ට්‍රොට්ස්කිවාදීන් විසින් නිකුත් කරන ලද “ලියොන් ට්‍රොට්ස්කි පිළිබඳ මතකය” පත්‍රිකාවේ කවරය.

පෝලන්ත ට්‍රොට්ස්කිවාදීන්ගේ අවසන් සංරක්‍ෂිත ප්‍රකාශනය 1942 මැයි 1 දින පලවූ මැයි දින පත්‍රිකාවකි. පෝලන්තයේ සියලුම ජාතීන්ට අයත් කම්කරුවන්ට ආයාචනයක් ලෙස ලියා ඇති එය, යුරෝපයේ වාඩිලාගත් නාසීන්ට එරෙහිව සංවිධානාත්මක, සන්නද්ධ ප්‍රතිරෝධයක් සඳහා වූ බලගතු කැඳවීමකි. එය ධනවාදයට එරෙහි අරගලයේ දී යුරෝපයේ කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සඳහා සහ යුරෝපය පුරා හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීම සඳහා කැඳවුම් කලේය.  විශේෂයෙන්ම පෝලන්ත, යුදෙව් හා ජර්මානු කම්කරුවන්ගේ එකමුතුවේ අවශ්‍යතාවය ට්‍රොට්ස්කිවාදීන් අවධාරනය කලේ ය:

ජර්මානු කම්කරු පන්තිය සිය හදවතේ ගැඹුරින් සමාජවාදයේ පරමාදර්ශවලට සැබෑව රැඳී සිටින අතර අප සමඟ එක්ව හිට්ලර්වාදය සහ ධනවාදය තුරන් කිරීමට උත්සාහ කරයි.  මැයි දිනයේදී, අපි අපගේ ජර්මානු කම්කරු පංතියේ සහෝදරවරුන්ට අපගේ සහෝදරාමක හස්තය දිගු කරමු, අපි ලොව පුරා සිටින කම්කරුවන්ට අපගේ දෑත් දිගු කරමු, ඔවුන් සමඟ එක්ව අපගේ පොදු සතුරාට එරෙහිව සම්පූර්ණ හා අනුකම්පා විරහිත පළිගැනීමක් කරන්නෙමු. [3]

යුදෙව් සංස්කෘතික ජාතිකවාදය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ සමාජවාදී ප්‍රවනතාවන් අතර පවා, යුදෙව්වන්ගේ ඉරනම, සියල්ලටම වඩා යුරෝපයේ ජනතාවගේ උපකාරය සහ සමාජ විප්ලවයේ වර්ධනය මත රඳා පවතින බවට අවබෝධයක් තිබුණි.  විශේෂයෙන්ම 1942 වසන්තයේ දී යුරෝපයේ විප්ලවයක් සිදු විය හැකි බවට බලාපොරොත්තු ඉහළ ගියේය. රිංගලබ්ලම් මෙන් වාම පෝලන්ත සියෝන්වාදීන්ගේ සහ ඔයනෙග් ෂබ්ෂ් (Oyneg Shabbes) ලේඛනාගාරයේ සාමාජිකයෙකු වූ ඒබ්‍රහම් ලෙවින් (Abraham Lewin), 1942 මැයි 16 වන දින ඔහුගේ දිනපොතේ මෙසේ සටහන් කර ඇත:

මරණය, විනාශය, ව්‍යසනය, මරණ-වේදනාව යන වචන නළලේ ලියා ඇති නාසි යුගාවසාන විනාශයේ තිරිසන් දර්ශනය වන අගාධය අප සෑම කෙනෙකුටම සමීප වෙමින් පවතී.  අසීමිත අනාරක්ෂිත බවක්, කිසිදා නොනවතින බියක්, අපගේ සියලු ඛේදජනක හා කටුක අත්දැකීම්වල භයානකම පැතිකඩයි … සත්‍යය නම් වර්තමානයේ ජීවිතයත් මරණයත් අතර අරගලයක් පවතින රුසියානු භූමියේ සිදුවන සිදුවීම් සමඟ අපගේ හදවත් කාලයත් සමග  ස්පන්දනය වේ.  මෙම භූමිය තුල, මිනිසා සහ තිරිසනුන් අතර ද, දුක්ඛිත සහ ලේ වැගිරෙන මනුෂ්‍ය වර්ගයා සඳහා වඩා හොඳ හෙටක් පිළිබඳ බලාපොරොත්තුව සහ ලොව මෙතෙක් දැක ඇති වඩාත්ම ලේ පිපාසිත නීරෝගේ ජයග්‍රහණය පිළිබඳ බිය අතර ද ජීවිතය හා මරණය පිලිබඳ අරගලයක් සිදුවෙමින් පවතී.  [4]

ලෙවින් සහ අනෙකුත් අය ෆැසිස්ට්-පාලක ඉතාලියේ නොසන්සුන්තාව පිළිබඳ පුවත් සහ, විශේෂයෙන් ජර්මනියෙන් අලුතින් පැමිණි පිටුවහල් කරනු ලැබූවන් විසින් ගෙන එන ලද  ආර්ථික අර්බුදයේ ලක්ෂණ සහ ජර්මන් රයිකයේ (Reich) [තුන්වන රයිකය යනු1933 සහ 1945 අතර ජර්මනියේ නාසි පාලනය යි] දේශපාලන නොසන්සුන්තාවයන් ගැන වාර්තා දැන ගැනීමට උනන්දුවෙන් කටයුතු කළහ.  මහා පිටුවහල් කිරීම ආරම්භ වීමට සති හයකට පෙර, 1942 ජූනි 3 වන දින, ලෙවින් මෙසේ සඳහන් කළේය:

ජර්මනිය, ඔස්ට්‍රියාව සහ චෙකොස්ලොවැකියාව යන රටවලින් පැමිණෙන ලිපි සමස්ත ජර්මන් රයිකය  පුරා යම් විප්ලවීය පැසවීමක් පෙන්නුම් කරයි.  නිදසුනක් වශයෙන්, බර්ලිනයේ සිට පහත සඳහන් අන්තර්ගතය සහිත ප්‍රකාශන වීදියේ අලවා ඇති බව අපට අසන්නට ලැබුණි: “අපි සාමය ඉල්ලා සිටිමු, අපි අපේ ස්වාමිපුරුෂයන් සහ පුතුන් නැවත කැඳවන ලෙස බලකර සිටිමු”.  චෙකොස්ලෝවැකියාවේ ලිපිවල ද මෙම දැඩි විප්ලවීය ස්වභාවය ඇත.  … මෙම සියලු ලිපි ස්පන්දනය වන්නේ මෙම ලෝක ව්‍යාප්ත ඝාතනයට ඉක්මන් අවසානයක් පිළිබඳ විශ්වාසය සමඟිනි.  මුළු පීඩිත යුරෝපයම වරදවා වටහා ගැනීමකට ලක්ව පැවතිය හැකිද?  හදවත ඉතා ගැඹුරින් ආශා කරන්නේ ගැළවීමයි.  අපි මේ සිහිනය සමඟ නිදාගන්නෙමු;  අපි මේ සිහිනෙන් අවදි වන්නෙමු.  ලෝකවාසීන්ගෙන් සියයට 95කගේ ආදරණීය බලාපොරොත්තු ඉටු නොවී, පිරිහුණු සහ ම්ලේච්ඡ මිනීමරුවන්ගේ නපුරු බලවේගය ජයගත හැකිද?  හේතුව සහ හදවත අපට පවසන්නේ, හිට්ලර්ගේ සහ මුසෝලිනිගේ භූමියේ වන සතුන් නොව සෝවියට් රුසියාවේ, එංගලන්තයේ සහ ඇමරිකාවේ මිනිසුන් තුළ මූර්තිමත් වූ මානව වර්ගයා පිළිබඳ ජයග්‍රහනය සාක්ෂාත් වනු ඇති  බවයි. [5]

Image
සමාජවාදී සියොන්වාදී වාම පෝලන්ත  සියෝන් හි සාමාජිකයෙකු වන ඒබ්‍රහම් ලෙවින් , ඔහුගේ දියණිය ඔරා සමඟ.

මහා පිටුවහල් කිරීමේ දී ලෙවින්ට ඔහුගේ බිරිඳ සහ දියණිය අහිමි විය.  ඔහුද 1943 මුල් භාගයේදී ඝාතනය කරන ලදී. ගෙටොවේ මහා පිටුවහල් කිරීමෙන් දිවි ගලවා ගත් සෑම කෙනෙකුටම ඔහුගේ හෝ ඇයගේ පවුලේ වැඩි කොටසක් අහිමි විය.  දිවි ගලවා ගත් අය, සාමාන්‍යයෙන්, කම්කරුවන් ලෙස “ප්‍රයෝජනවත්” ලෙස සලකනු ලැබූ තරුණ අය වූ අතර, එබැවින් පිටුවහල් කිරීම්වලින් තාවකාලිකව නිදහස් කරන ලදී.

ඉතිරිය දෙවන කොටසින්.

1] ලුඩ්වික් හාස්, 1945 දක්වා පෝලන්තයේ ට්‍රොට්ස්කිවාදය. URL: https://www.marxists.org/archive/hass/1992/xx/tinpoland.html

 [2]Warsaw Ghetto හි ට්‍රොට්ස්කිවාදීන්ගේ ප්‍රකාශන Archiwum Ringelbluma, Tom 21, Prasa Getta Warszawskiego: Radykalna lewica niesyjonistyczna, opracowali: Piotr Laskowski, Sebastian Matuszewski, Warszawa 2016. මෙම වෙලුම අන්තර්ජාලය ඔස්සේ ප්‍රකාශනය කර ඇත:  https://cbj.jhi.pl/documents/940239/19/ 

 [3] Ulotka “1 Maja 1942” in: Ibid., p.  279. මෙම කතුවරයාගේ පරිවර්තනය.

 [4] Abraham Lewin, A Cup of Tears: A Diary of the Warsaw Ghetto, සංස්කරණය කර පරිවර්තනය කළේ Antony Polonsky, Blackwell Publishers, 1988, pp. 73, 74.

 [5] Ibid., පි.  115.

#theSocialistLK #WSWS 

වෝර්සෝ හි ගෙටො නැගිටීමට වසර 80 ක් සපිරෙයි – 01 කොටස Read More »

කම්කරු අරගල: ආසියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය – 2023 අප්‍රේල් 21

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අප්‍රේල් 21 දින කම්කරු අරගල තීරුවේ Workers Struggles: Asia, Australia and New Zealand සිරසින් යුතුව වාර්තා කරන ලද පන්ති අරගල අතරින් තෝරාගත් වාර්තා කිහිපයකි. පරිවර්තනය SF විසිනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙම නිත්‍ය විශේෂාංගයට දායක වන ලෙස කම්කරුවන්ට සහ අනෙකුත් පාඨකයන්ට ආරාධනා කරයි.

ආසියාව:

ඉන්දියාව:  හර්යානා හි බ්ලින්කිට් (Blinkit) සමාගමේ සිල්ලර බඩු බෙදා හැරීමේ ගිග් (Uber වැනි) සේවකයින්ගේ වැඩ වර්ජනය දෙවන සතියට.

Image
සිල්ලරබඩු බෙදාහරින කම්කරුවෙක්

බ්ලින්කිට් සිල්ලර බඩු බෙදාහැරීමේ වේදිකාවේ හි ගිග් කම්කරුවන්  දහස් ගණනක් අප්‍රේල් 12 සිට දිල්ලි-NCR (දිල්ලියය සහ අවට) සහ අසල්වැසි නගරයක් වන ගුර්ගෝන්  (Gurgaon) හි වැඩ වර්ජනයක නිරතව සිටිති. සේවකයින්ගෙන් සියයට 10 ක් පමණක් වැඩ කරන අතර බ්ලින්කිට් අඳුරු වෙළඳසැල් (dark stores- ඔන්ලයින් ඇනවුම් බෙදාහැරීම සඳහා වූ ගබඩා) 200 කට ආසන්න ප්‍රමාණයක් වසා දමා ඇත. වැඩවර්ජනය බිඳ දැමීමේ උත්සාහයක් ලෙස වෙනත් පරිගනක යෙදැවුම් මත (app-based )  පදනම් වූ වේදිකාවක් වන රෙපිඩෝ (Repido) වෙතින් කම්කරුවන් භාවිතා කරන බවට වර්ජකයෝ බ්ලින්කිට් සමාගමට චෝදනා කළහ.

ඔවුන් වැඩ වර්ජන ක්‍රියාව ඇරඹුවේ  දැඩි ලෙස වැටුප් අඩු කරන බ්ලින්කිට් හි නව වැටුප් ව්‍යුහයට ප්‍රතිචාරයක් වශයෙනි. කම්කරුවන් පැවසුවේ ඔවුන්ට මීට පෙර එක් බෙදාහැරීමකට රුපියල් 25 ($ US 0.3) සහ රුපියල් 50 අතර මුදලක් ගෙවා ඇති බවයි. දැන් ඔවුන්ට බෙදාහැරීමක් සඳහා රුපියල් 7 සිට 18 දක්වා ගෙවීමක්ද, ප්‍රසාද දීමනා වශයෙන්  බෙදාහැරීම් 100ක් සඳහා රුපියල් 500ක් සහ බෙදාහැරීම්  1000 කට රුපියල් 1000ක් පමණක්  ගෙවනු ලැබේ. බොහෝ බ්ලින්කිට් ගබඩා අතරින් එකකින් සිල්ලර බඩු ලබා ගන්නා බෙදා හැරීම් සේවකයන් විනාඩි දහයක් තුල තම බෙදා හැරීම සම්පූර්න කරතැයි අපේක්ෂා කෙරේ..

පෙර පැවති වැටුප් ක්‍රමය ප්‍රතිෂ්ඨාපනය කිරීම මෙන්ම, වලංගු වාහන නැවැත්වීමේ ස්ථානයක්, වාඩි වීමට ඉඩක් සහ වැසිකිළි, පානීය ජලය ඇතුළු මූලික පහසුකම් කම්කරුවන් ඉල්ලා සිටී. ඔවුන්ගේ ගැටළු විසඳීමට අප්‍රේල් 15 වැනිදා කම්කරු කොමිසම සමඟ පැවති සාකච්ඡාව අසාර්ථක විය.

අඩු වැටුප් සහ ඒ හා සමාන දරාගත නොහැකි සේවා කොන්දේසි වලට එරෙහිව විරෝධය පාමින් සිට ඇති ඕලා  (Ola), ඌබර් (Uber) සහ ස්විගී (Swiggy) වැනි අනෙකුත් වේදිකාවන්හි  ගිග් සේවකයින් සමඟ සංවිධානය වීමට වර්ජකයින් තර්ජනය කර ඇත.

බ්ලින්කිට් ඉන්දියාවේ නගර 30කට වැඩි ගණනක ක්‍රියාත්මක වේ. 2022 ජුනි මාසයේදී බහු ජාතික ආහාර බෙදා හැරීමේ සමාගමක් වන සොමාටෝ ( Zomato) නිවේදනය කලේ, තමන් ඩොලර් මිලියන 568 කට බ්ලින්කිට් අත්පත් කර ගත් බවයි..

බටහිර බෙංගාලයේ නගර සභා කම්කරුවෝ නොගෙවූ වැටුප් ඉල්ලා වර්ජනය කරති

බටහිර බෙංගාලයේ දුර්ගාපූර් නාගරික සංස්ථාවේ කොන්ත්‍රාත් පිරිසිදු කිරීමේ කම්කරුවන් 1,700 කට ආසන්න පිරිසක් අප්‍රේල් 15 වන දින වැඩ නවතා, කල් ඉකුත් වූ වැටුප් ඉල්ලා සංස්ථාවේ ප්‍රධාන ගේට්ටුවෙන් පිටත විරෝධතා දැක්වූහ. වර්ජනය හේතුවෙන් නගරයේ කසළ එකතු කිරීම සිදු නොවීය.

සාමාන්‍යයෙන් මාසයේ මුල් සතියේ වැටුප් ලබන සේවකයන්ට තවමත් වැටුප් ලැබී නැත. පුද්ගලික කොන්ත්‍රාත්කරුවෙකු විසින් සේවයේ යොදවා ඇති මේ කම්කරුවන්ට වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් මාර්තු මාසයේදී ද එවැනිම විරෝධතාවක් පැවැත්වීමට සිදුවිය. සමහරුන්ට මාස තුනකින් වැටුප් ලැබී නැත.  කම්කරුවන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ වැටුප් නියමිත වේලාවට ගෙවීම සහ රජය විසින් නියම කර ඇති අවම වැටුප ගෙවීම ය.

ඕස්ට්‍රේලියාව:

නිව් සවුත් වේල්ස් හි එයාර්බස් පැසිෆික් ගුවන් යානා නඩත්තු සේවකයින් බැහැර කර අගුලු (locked out) දමා ඇත

සති හතක ආරක්‍ෂිත කාර්මික ක්‍රියාමාර්ගයෙන් පසුව, සිඩ්නි නගරයට බටහිරින් රිච්මන්ඩ්හි රාජකීය ඔස්ට්‍රේලියානු ගුවන් හමුදා (RAAF)   ගුවන් කඳවුරේ ගුවන් යානා නඩත්තු සේවකයෝ  80ක් පමණ, වැටුප් ආරවුලක් හේතුවෙන්, සිය  සේවායෝජකයා විසින් සඳුදා පැය දෙකක කාලයක් බැහැර කරනු ලැබ  අගුලු  දමන ලදහ. කම්කරුවන් මාර්තු මුලදී කාර්මික ක්‍රියාමාර්ග ආරම්භ කළ අතර, අතිකාල වැඩ තහනම් කිරීම (වර්ජනය කිරීම), අකුරට වැඩ කිරීම සහ මාර්තු 24 දින වැඩ වර්ජනය මීට  ඇතුළත් විය.

අධ්‍යාපන වෘත්තීය සමිතිය බටහිර ඕස්ට්‍රේලියාවේ කර්ටින් විශ්ව විද්‍යාලයේ තවත් සංකේත වැඩ වර්ජනයක් කැඳවයි.

බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් හි කර්ටින් විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය ආවරණය කරන ජාතික තෘතීයික අධ්‍යාපන සංගමය (NTEU) විසින්, කළමනාකාරිත්වයේ යෝජිත ව්‍යවසාය ගිවිසුම සම්බන්ධයෙන් ඔවුන්ගේ දිගුකාලීන ආරවුල මත, සිය සාමාජිකයින් සඳුදා පැය දෙකක වැඩ වර්ජනයක් සඳහා කැඳවන ලදී. මාර්තු 13දා සිදුකළ පැය තුනක වැඩ වර්ජනය කළමනාකාරීත්වයේ මුල් වැටුප් යෝජනාවට එතරම් බලපෑමක් කළේ නැත.

නොවැම්බර් මාසයේදී NTEU සාමාජිකයින් 700 කට අධික සංඛ්‍යාවක් කාර්මික ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ, කොන්දේසිවල සැබෑ දියුණුවක් නොමැති නිසා සහ ඔවුන්ට, 2022 දෙසැම්බර් කාර්තුවේ පර්ත්හි උද්ධමන අනුපාතය වන සියයට 8.3 ට වඩා බෙහෙවින් අඩු සියයට 2.2 ක වාර්ෂික වැටුප් වැඩි කිරීම් පමණක් වසර පහක් තුළ ලබා දුන් නිසාය. පසුගිය වසරේ විශ්ව විද්‍යාලය ඩොලර් මිලියන 113 ක අතිරික්තයක් ලබාගත් නමුත් NTEU ඉල්ලා සිටින්නේ සියයට 5 ක වාර්ෂික වැඩිවීමක්  පමණි; මෙය සැබෑ වැටුප් කප්පාදුවකි.

ශාස්ත්‍රාලීන්ට අවශ්‍ය වන්නේ, විශේෂයෙන් අනියම් කාර්ය මණ්ඩලය සඳහා, අධික වැඩ ප්‍රමාණය කපා හැරීම සහ  වැඩි රැකියා සුරක්ෂිතභාවයකි. එන්ටීඊයූ පවසන්නේ තමන් කලින් ගිවිසුම්වලින් අතහැර දැමූ අනියම් 5,800 සඳහා දැනට පවතින තනතුරු සහ රැකියා සුරක්ෂිතභාවය අවශ්‍ය බවයි.

දැනට සමහර දෙපාර්තමේන්තුවල ඉගැන්වීම්වලින් සියයට 70ත් 80ත් අතර ප්‍රමාණයක් අනියම් අය විසින් සිදු කරනු ලැබේ. ඔවුන්ට අසනීප නිවාඩු සඳහා ප්‍රවේශයක් නොමැති අතර වර්ෂාර්ධයන් (සෙමෙස්ටර්) අතර වැටුප් ගෙවනු නොලැබේ. බොහෝ දෙනෙකුට  පැයකට වැටුපක් වෙනුවට පැවරුම් අනුව ගෙවනු ලැබේ. මේ සැකැස්ම අනුව ඔවුන්ට වාර්ෂිකව ඩොලර් දහස් ගණනක වැටුප් අහිමි වේ.

සාමාජිකයින්ගෙන් සියයට 94ක් පැය 24ක් දක්වා වැඩ වර්ජන ක්‍රියාමාර්ග ගැනීමට ඡන්දය ප්‍රකාශ කර තිබුණද, NTEU කැඳවා ඇත්තේ අවම බාධා ඇති කෙරෙන, නමුත් කම්කරුවන්ගේ කෝපය විසුරුවා හැරීමට යොදා ගන්නා කෙටි කාලීන වැඩවර්ජන පමණි.

පර්ත් නගරයේ  ක්ලීනවේ (Cleanaway) කසළ එකතු කරන සේවකයෝ වර්ජනය කරති

සමාගමේ යෝජිත ව්‍යවසාය ගිවිසුම (enterprise agreement) සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකදී පර්ත්හි තදාසන්න ප්‍රදේශ හතකින් ක්ලීනවේ කසළ එකතු කරන්නෝ  බදාදා පැය 24 ක් සේවා ස්ථානයෙන් ඉවත් වූහ (walked off). එය වසර විස්සකට පසු ඔවුන්ගේ පළමු වැඩවර්ජනය වන අතර ක්වීන්ස්ලන්ඩ්, නිව් සවුත් වේල්ස් සහ කැන්බරාහි ක්ලීනවේ කම්කරුවන්ගේ  කාර්මික ක්‍රියාමාර්ගවලට සමගාමීව සිදුවෙමින් පවතී.

මෙල්බර්න් ගුවන් තොටුපළේ ගුවන් යානා ඉන්ධන පිරවුම් කරුවන් වැටුප් වැඩිවීමක් ඉල්ලා යළි වර්ජනයක

මෙල්බන් ගුවන්තොටුපල-ටලමරීන් (Melbourne Airport-Tullamarine) හි කොන්ත්‍රාත්කරුවෙකු වන රිවට් එනර්ජි ඒවියේෂන් ( Rivet Energy Aviation) ආයතනයේ සේවය කරන  ගුවන් යානා ඉන්ධන පිරවුම් කරුවන් 40 කට අධික සංඛ්‍යාවක් නව ව්‍යවසාය ගිවිසුමක වැඩි දියුණු කළ වැටුප් සහ වඩා හොඳ කොන්දේසි ඉල්ලා බදාදා සවස 5 ට පැය 24 ක කාලයකට සේවා ස්ථානයෙන් ඉවත් වූහ. ඔවුන්ගේ ප්‍රවාහන සේවක සංගමය (Transport Workers Union-TWU), අඟහරුවාදා සවස රිවට් ආයතනය සමඟ  “අර්බුද” සාකච්ඡාවලට එළඹියද ඒවා එකඟතාවයකින් තොර විය.

නවසීලන්තය: 

ගැඹුරු වන සෞඛ්‍ය අර්බුදය පිළිබඳව නවසීලන්ත හෙදියෝ විරෝධය පළ කරති

කාර්ය මණ්ඩල හිඟයට විසඳුම් ලබා දෙන ලෙස දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිමින් පසුගිය සෙනසුරාදා නවසීලන්තයේ ස්ථාන 20 ක හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයින් දහස් ගණනක් සහභාගී වූ විරෝධතා සහ රැලි පැවැත්විණි. NZ හෙද සංවිධානය (NZNO) එහි සාමාජිකයින් 57,000 න් ඉල්ලා සිටියේ අනාරක්ෂිත කාර්ය මණ්ඩල මට්ටම්වලට සහ ඔවුන්ගේ කාර්යය “අඩු තක්සේරුවට” එරෙහිව එක්සත් වන ලෙසයි.

NZNO ප්‍රධාන විධායක පෝල් ගුල්ටර් එලඹෙන මැතිවරනයේදී හෙද හිඟය විසඳීම උදෙසා වන ප්‍රතිපත්ති සඳහා දේශපාලනඥයන් වෙත ආයාචනා කළේය. “දශක ගනනාවක දුර්වල සැලසුම්, ප්‍රමාණවත් අරමුදල් නොමැතිකම සහ අනුප්‍රාප්තික ආන්ඩු මගින් සම්පූර්ණයෙන් නොසලකා හැරීම විසින්, හෙද ක්ෂේත්‍රය පුරා වැටුප්, කාර්ය මණ්ඩල සම්පත් සහ චිත්ත ධෛර්යය සම්බන්ධයෙන් සම්පූර්ණ අර්බුදකාරී  කාලයකට අපව ගෙන යනු ලැබ ඇත,” ඔහු ප්‍රකාශ කළේය. හෙද හෙදියන් 5,000 ක් පමණ හොඳ වැටුප් අපේක්ෂාවෙන් ඔස්ට්‍රේලියාවට ගොස් ඇත.

හෙදියන්ගේ වැටුප් හා සේවා කොන්දේසි පහත හෙලීමට NZNO ව අනුප්‍රාප්තික ආන්ඩු සමඟ වසර ගනනාවක් සහයෝගයෙන් ක්‍රියා කල අතර, වැඩ වර්ජන ක්‍රියාමාර්ග නැවැත්වීම සහ උද්ධමනයට පහලින් වැටුප් වැඩි කිරීම් පැනවීම ද ඊට ඇතුලු විය. කිසිදු කාර්මික ක්‍රියාවකින් තොර වූ පසුගිය සතියේ විරෝධතාවයන්, ගැඹුරු වන සෞඛ්‍ය සේවා අර්බුදය මධ්‍යයේ එහි පීඩනය මුදා හැරීමේ නරුම ව්‍යායාමයකි.

වෙලින්ටන් රාත්‍රී සමාජශාලා නර්තන ශිල්පීහු සූරාකෑමේ කොන්දේසිවලට විරෝධය පල කරති

කර්මාන්තය තුළ පැතිරී ඇති සූරාකෑමේ සහ අපචාරාත්මක තත්ත්වයන් සම්බන්ධයෙන් වෙලින්ටන් රාත්‍රී සමාජශාලා නර්තන ශිල්පීන් පිරිසක් පසුගිය ඉරිදා පාර්ලිමේන්තුවෙන් පිටත විරෝධතාවක නිරත වූහ. වඩා හොඳ ගිවිසුම් සඳහා සාමූහිකව කේවල් කිරීමට උත්සාහ කිරීමෙන් පසු, මෙම වසර මුලදී කැලැන්ඩර් බාලිකා සමාජය විසින් නර්තන ශිල්පීන් සේවයෙන් පහ කරන ලදී.

ජායාරූපය අනුග්‍රහය: The Hindu

#theSocialistLK #WSWS

කම්කරු අරගල: ආසියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය – 2023 අප්‍රේල් 21 Read More »

ඕස්ට්‍රේලියානු මිලිටරි තර කිරීම චීනය සමග යුද්ධය සඳහා එ.ජ. සැලසුම් වලට පිටුබලය සපයයි

 ඔස්කාර් ග්‍රෙන්ෆෙල් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අප්‍රේල් මස 27 දින Australian military buildup backs US plans for war with China සිරසින් යුතුව පලවූ ඔස්කාර් ග්‍රෙන්ෆෙල් සහෝදරයා විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සංහල පරිවර්තනයයි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

Image
අගමැති ඇන්තනි ඇල්බනීස්  2023 අප්‍රේල් 24 වන දින ආරක්‍ෂක උපායමාර්ගික සමාලෝචනයෙන් පසුව කැන්බරා හි මාධ්‍ය හමුවක් අමතයි. ඇල්බනීස්ගේ වම් පසින් ආරක්‍ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් සිටියි .  [ඡායාරූපය: @AlboMP]

ඕස්ටේ‍්‍රලියාවේ මිලිටරි ගොඩ නැගීම පෙන්නුම් කරන්නේ, ධනවාදයේ බිඳවැටීම සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පිපිරුම මගින් මෙහෙයවනු ලබන එලඹෙන ලෝක යුද්ධයක සුළි කුණාටුවකට ලෝක ගෝලයේ සෑම කලාපයක්ම ඇදගෙන යන බවයි.

මෙම සතියේ නිකුත් කරන ලද ආරක්ෂක උපායමාර්ගික සමාලෝචනයක් (DSR) දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ විශාලතම මිලිටරි ගොඩ නැගීම ගෙනහැර දක්වයි.

එහි කතුවරුන් සහ සමාලෝචනය ආරම්භ කළ ලේබර් ආන්ඩුව, ගුවන් හමුදාව, නාවික හමුදාව සහ මිලිටරි හමුදාව ඇතුළුව “සියලු ක්ෂේත්‍ර වල වැඩි දියුණු කළ දිගු දුර ප්‍රහාරක හැකියාවක්” රට වේගයෙන් අත්පත් කර ගත යුතු බව ප්‍රකාශ කර ඇත.  ඒ, ඉන්දු-පැසිෆික් කලාපය දැන් “ප්‍රධාන ගැටුමක අපේක්ෂාව” මතු කරන “ප්‍රධාන බල මූලෝපායික තරඟයේ” වේදිකාව බවට පත්ව ඇති බැවිනි.

මෙම ලියවිල්ල චීනයට එරෙහි එක්සත් ජනපදය විසින් මෙහෙයවන ආක්‍රමණශීලී යුද්ධයකට සහභාගී වීමට ඕස්ට්‍රේලියාව සූදානම් බව ප්‍රකාශ කිරීමකට වඩා අඩු දෙයක් නොවේ.  “වඩා හොඳ අනාගතයක්” යන සටන් පාඨය මත වසරකට අඩු කාලයකට පෙර තේරී පත් වූ කම්කරු ආන්ඩුවක් විසින් මෙම වැඩපිලිවෙල මහජනතාවගේ පිටුපසින් ඉදිරියට ගෙන ගොස් ඇත.  යුද සැලැස්ම සඳහා ජනවරමක් නොමැති අතර, වැඩකරන ජනතාව අතර පුලුල්ව පැතිරුනු යුද විරෝධී මනෝභාවයක් පවතී.

ඕස්ට්‍රේලියානු මිලිටරි ගොඩනැගීම ජාත්‍යන්තර ප්‍රපංචයක  කොටසකි.  1930 ගනන්වල සිට , දැන් ධනවාදයේ ගැඹුරුම අර්බුදය මධ්‍යයේ, සියලු අධිරාජ්‍යවාදී බලවතුන් නැවත මිලිටරිකරණය වෙමින් සිටිති.  ජර්මනිය නැවතත් යුක්රේනය තුල රුසියාවට එරෙහිව ප්‍රහාරක මෙහෙයුම් සිදු කරයි.  ජපානය සිය මිලිටරි අයවැය දෙගුණ කර ඇත.  ප‍්‍රංශය සහ බ්‍රිතාන්‍ය ඔවුන්ගේ අධිරාජ්‍ය අභිලාෂයන් යලි පණගන්වමින් සිටිති.

භූගෝලීය වශයෙන් හුදකලා රටක් වන ඔස්ට්‍රේලියාව ද මෙම ක්‍රියාවලියට සම්බන්ධ වෙමින් සිටින බව පෙන්නුම් කරන්නේ මිලිටරිවාදයේ පුපුරා යාමේ ගෝලීය ස්වභාවයයි.

ඉහත සඳහන් ඕස්ට්‍රේලියානු සමාලෝචනය හුදකලාව පවත්වනු ලැබුවේ නැත.  එය බයිඩන් පරිපාලනය සහ එක්සත් ජනපද රාජ්‍යය සමඟ සමීපතම සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක විය.

එක්සත් ජනපදය යුක්රේනය බලල් අතක් ලෙස යොදාගෙන එතුල රුසියාවට එරෙහිව ගෙන යන යුද්ධය අඛණ්ඩව තීව්‍ර කරයි.  ඩොලර් බිලියන 100කට වැඩි ආධාර සැපයීම සහ යුක්රේනයටම විශේෂ බලකායන් සහ අනෙකුත් පිරිස් යෙදවීම මෙයට ඇතුලත් කර ඇත.  දැන්, එක්සත් ජනපදය සහ එහි සහචරයින් යුක්රේනය නේටෝව තුලට ඇතුලත් කර ගැනීම සඳහා තල්ලුව සපයයි. එය රුසියාව සමග සෘජු යුද්ධයක් අවුලුවාලිය හැකි පියවරකි.

එහෙත් න්‍යෂ්ටික ව්‍යසනයකට තුඩු දිය හැකි මෙම ප්‍රතිපත්ති නැගෙනහිර යුරෝපයේ ඔවුන් අනුගමනය කරමින් සිටින විට පවා, ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ එහි සහචරයෝ ගෝලීය යුද්ධයක් ලෙස වර්ධනය වෙමින් පවතින දෙයෙහි නව පෙරමුනක් විවෘත කරති.

එක්සත් ජනපදය විසින් ඉන්දියාව, ජපානය, දකුනු කොරියාව සහ ඕස්ට්‍රේලියාව මෙන්ම කලාපයේ කුඩා රටවල් ද කේන්ද්‍රගතව සම්බන්ධ කරගනිමින් ආක්‍රමණශීලී මිලිටරි සන්ධාන ජාලයක් වර්ධනය කිරීම ඇතුලුව, චීනයට එරෙහිව පූර්ණ ප්‍රහාරක සැලැස්මක් ක්‍රියාත්මක කරයි.  මේ අතර, එක්සත් ජනපදය, තායිවානය සම්බන්ධයෙන් දශක ගනනාවක් තිස්සේ පවතින තත්ත්වයට වල කැපීම ද ඇතුලුව, උණුසුම් යුද්ධයකට තුඩු දිය හැකි ප්‍රකෝපකරනයන් හිතාමතාම අවුස්සමින් සිටී.

මෙහිදී‍, ඕස්ට්රේලියාව විශේෂයෙන් කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කිරීමට යොදවා ඇත.  එනම්, ඉන්දු-පැසිෆික් කලාපයේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ වඩාත්ම විශ්වාසදායක සගයා ලෙස, එය වොෂින්ටනයේ පිලිවෙතට ගැට ගැසීමට අනෙකුත් රටවලට තරවටු කිරීම සහ හිරිහැර කිරීම ය.  ඕස්ට්‍රේලියාවේ විදේශ අමාත්‍ය පෙනි වොං වසරකට අඩු කාලයකදී සෑම පැසිෆික් දූපත් රාජ්‍යයකටම සහ බොහෝ අග්නිදිග ආසියාතික රටවල සංචාරය කරමින් මෙම පිලිවෙත ඔස්සේ වෙහෙස මහන්සි වී වැඩ කර ඇත; එහිදී ඇය කිසිදු අපගමනයක් නොඉවසන  බව පැහැදිලි කර ඇත.

හිටපු ට්‍රම්ප් නාවික හමුදා ලේකම් රිචඩ් ස්පෙන්සර්ගේ වචනවලින් කිවහොත්, මිලිටරිමය වශයෙන් ඕස්ට්‍රේලියාව “හෙල්ලයේ තුඩ” විය යුතුය.  එනම්, එය කලාපය තුල නිර්දය ලෙස මිලිටරි ගොඩ නැගීම සඳහා වේගය සැකසීමයි. එහි තර්කය නම් චීනය සම්පුර්ණයෙන්ම මිලිටරිමය ලෙස වටලෑමයි.

එමෙන්ම එය එ.ජ. හමුදාව සඳහාම “දකුණු නැංගුරමක්” ලෙස ක්‍රියා කිරීමට නියමිත අතර, ප්‍රහාරක ජෙට් යානා, ප්‍රහාරක සබ්මැරීන සහ යුධ නැව් ඇතුළුව ඉහළම එක්සත් ජනපද ප්‍රහාරක වත්කම් සමූහයක් මෙම දූපත් මහාද්වීපය තුල ස්ථානගත කිරීමට නියමිතය. මෙම ස්ථානගත කිරීම් බොහෝ චීන මිසයිල පරාසය ඉක්මවයි.

ඩීඑස්ආර් විශාල මිලිටරි තරකිරීමක් ඉල්ලා සිටිනවා පමණක් නොවේ.  එය අවම වශයෙන් 1970 ගණන්වල සහ 1980 ගණන්වල සිට ඕස්ට්‍රේලියානු ආරක්ෂක ප්‍රතිපත්ති නාමිකව පාලනය කර ඇති මූලධර්ම අවලංගු කරයි.

ඔස්ට්‍රේලියාව, අධිරාජ්‍යවාදී බලවතෙකු ලෙස, විශේෂයෙන්ම දකුණු පැසිෆික් කලාපයේ, එහි කොල්ලකාරී අවශ්‍යතා අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් ඇත.  ඉරාකයේ සමාජ ඝාතන ආක්‍රමණය සහ ඇෆ්ගනිස්ථානය වසර විස්සක දිගු වාඩිලෑම ඇතුලුව, එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන සෑම සාපරාධී යුද්ධයකටම එය සම්බන්ධ වී ඇත.

එහෙත් එහි මුඛ්‍ය මිලිටරි ප්‍රතිපත්තිය, අවම වශයෙන් කඩදාසි මත ලියවුනු දේ ⁣හැටියට, සාපේක්ෂ වශයෙන් හුදකලා වූ ඕස්ට්‍රේලියානු මහාද්වීපයේ ආරක්ෂාව තහවරු කිරීම  සහ ඊට ආසන්නම ප්‍රදේශයේ පහළ මට්ටමේ ගැටුම්  සඳහා ප්‍රවේශයන් සහ සූදානම් වීමක් විය.  තවදුරටත් එය එසේ වන්නේ නැත.  ඩීඑස්ආර් ප්‍රකාශ කරන්නේ, දැන “ඉලක්ක අපේ දේශසීමාවෙන් ඔබ්බට” පවතින නිසා මිලිටරිය සමස්ත ඉන්දු-පැසිෆික් කලාපය පුරා “බලපෑම්කාරී ප්‍රක්ෂේපණයට” යෙදවිය යුතු අතර වඩාත් පුලුල් ලෙස යෙදිය යුතු බවයි.

DSR තවත් නව මූලධර්මයක් හඳුන්වා දෙයි.  පිටු 110ක ලේඛනයක 37 වතාවක් පුනරුච්චාරණය කරන ලද වාක්‍ය ඛණ්ඩවල, මිලිටරි ප්‍රයත්නය “සම්පූර්ණ රජයේ” සහ “මුළු ජාතියේ” ප්‍රයත්නයක් විය යුතු බව ප්‍රකාශ කරයි.  මේ සඳහා “ජාතික සමගිය සහ සහජීවනය” අවශ්‍ය බව ලේඛනය ප්‍රකාශ කරයි.

මෙය පාසල් හා විශ්ව විද්‍යාලවල සිට ආර්ථිකය සහ සියලු සේවා ස්ථාන දක්වා සමාජයේ සෑම අංශයක්ම “ජාතික ආරක්ෂාවට” සහ යුද ප්‍රයත්නයට යටත් කළ යුතු බවට කරන ප්‍රකාශයකට වඩා අඩු දෙයක් නොවේ.

නාමිකව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස හද්‍රන්වන ආයතනවලට ඉහලින් මිලිටරිය තබන අතර සම්බන්ධතාවය ප්‍රතිලෝම කරමින් මිලිටරිය කෙරෙහි සිවිල් අධීක්‍ෂණය සහ පාලනය එය ප්‍රශ්න කරයි.  එය “ජාතික සමගියට” වල කැපීමක් ලෙස සැලකිය හැකි කම්කරුවන්ගේ වැඩ වර්ජන සහ අනෙකුත් විරෝධතා ක්‍රියා නීති විරෝධී කිරීම ඇතුළු පොලිස්-රාජ්‍ය ක්‍රියාමාර්ග සඳහා රාමුව ද සපයයි.

මෙම විශාල වෙනස්කම් යුක්ති සහගත කිරීම සඳහා, සමාලෝචනය පුනරුච්චාරණය කරන්නේ, චීනය පශ්චාත් දෙවන ලෝක යුද්ධයේ විශාලතම මිලිටරි ගොඩ නැගීම සිදු කරමින් සිටින බවත්, එය කලාපය පුරා “ආර්ථික බලහත්කාරයන්” සහ ආක්‍රමණශීලී මෙහෙයුම්වල යෙදී සිටින බවත් යන වොෂින්ටනයේ ව්‍යාජ ප්‍රකාශයන් ය.

මේ සියල්ල හුදෙක් ප්‍රක්ෂේපණය වේ.  එක්සත් ජනපදය ඉන්දු-පැසිෆික් කලාපයේ සහ ඕස්ට්‍රේලියාවේ ම ඇතුළුව මිලිටරි කඳවුරු මගින් ලෝකය වට කර ඇත.  2011 දී ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ සිට ඔබාමා පාලනාධිකාරය එහි “ආසියාවට හැරීම” ප්‍රකාශ කිරීමෙන් පසු පෙන්ටගනය ඉන්දු-පැසිෆික් කලාපයේ දැවැන්ත මිලිටරි ව්‍යාප්තියක් සිදු කර ඇත.

DSR හි දක්වා ඇති සෑම මිලිටරි වත්කමක්ම ආක්‍රමණශීලී ස්වභාවයක් ගනී.  ඕස්ට්‍රේලියාව විසින් අත්පත් කර ගැනීමට නියමිත න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන සමූහය ඊට ඇතුළත් වන අතර ඒවා “මුහුදේ ප්‍රභලම විලෝපිකයා” ලෙස නම් කර ඇත.  මීට හමුදාව සඳහා දිගු දුර ප්‍රහාරක මිසයිල, නම් නොකළ සන්නද්ධ ඩ්‍රෝන යානා සමඟ නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට සපයන ප්‍රහාරක මිසයිල ද ඇතුලත් වේ.

මහාද්වීපයේ මුළු උතුරම තථ්‍ය හමුදා ස්ථානගත වන ප්‍රදේශයක්  බවට පරිවර්තනය වෙමින් පවතින අතර, මෙය විශාල නවතුම් ස්ථාන සහ ඉන්ධන සැපයීමේ සැලසුම් සහිතව එය චීනයේ ප්‍රධාන භූමියට එරෙහිව ද ඇතුළුව කලාපය පුරා ආක්‍රමණශීලී එක්සත් ජනපද සහ ඕස්ට්‍රේලියානු මෙහෙයුම් දියත් කිරීමේ ලක්ෂ්‍යයක් ලෙස සේවය කළ හැකි වන පරිදිය.

එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ පුද්ගලයන් විසින් පෙන්වා දී ඇති පරිදි යුද සැලසුම්වල සැබෑ අරමුන චීනයට එරෙහිව යුද්ධ කිරීමයි. මන්ද චීනයේ  ආර්ථික වර්ධනය ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප්‍රමුඛත්වයට තර්ජනයක් වන බැවිනි.  රුසියාව හා චීනය සමග ගැටුම් දිගටම පෙන්නුම් කරන්නේ එය භූ-මූලෝපායික වශයෙන් තීරනාත්මක යුරේසියානු ගොඩබිම මත එක්සත් ජනපද ආධිපත්‍යය තහවුරු කර ගැනීම අරමුනු කරගත්, තනි ගැටුමක පෙරමුණු දෙකක් ලෙස ය.

සියලුම ප්‍රධාන බලවතුන් සම්බන්ධ වන යුද ධාවනය ධනේශ්වර ක්‍රමයේ බිඳ වැටීමෙන් පැන නගී.  මෙම ආන්ඩු සියල්ලම පුපුරන සුලු සමාජ ආතතීන් පිටතට හරවා යැවීමට උත්සාහ කරමින් සිටින අතර, තම ප්‍රතිවාදීන්ට එරෙහිව එල්ල කරන ආක්‍රමණශීලී මිලිටරි ක්‍රියාමාර්ග හරහා තමන්ගේ අර්බුදය සමනය කර ගැනීමට යයි.

අධිරාජ්‍යවාදීන් යුද්ධයට පොලඹවන එම ක්‍රියාවලීන්ම කම්කරු පන්තියේ පුපුරන සුලු සමාජ අරගලවලට ආවේගය ලබා දෙයි.  දැනටමත්, සෑම මහාද්වීපයකම පාහේ බලගතු වැඩ වර්ජන සහ විරෝධතා සිදුවෙමින් පවතින අතර පන්ති අරගලයේ ප්‍රධාන වර්ධනයක් සිදුවෙමින් පවතී.  මෙම අරගල පුපුරා යන්නේ, ඉහල යන උද්ධමනය සහ දැවැන්ත මිලිටරි ගොඩ නැගීම සඳහා වැඩකරන පන්තිය විසින් ගෙවීමට සැලැස්වීම අරමුනු කරගත් කප්පාදු පිලිවෙත් ඇතුලු, යුද්ධයේ ප්‍රතිවිපාක වලට එරෙහිව ය.

යුද්ධය අවසන් කළ හැක්කේ ධනවාදය සහ එහි යල්පැනගිය ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කිරීමෙන් පමනි.  එනම්, සමාජ සමානාත්මතාවය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ සාමය සඳහා වන පොදු අරගලයක් තුල ලොව පුරා ශ්‍රමිකයන් එක්සත් කරමින් ජාත්‍යන්තර වැඩකරන පන්තියේ සමාජවාදී ව්‍යාපාරයක් සඳහා වන අරගලයයි.

මෙම ඉදිරිදර්ශනය 2023 මැයි දිනය සැමරීම සඳහා වන ගෝලීය ඔන්ලයින් රැලියේදී ගෙනහැර දක්වනු ඇත. [අවධාරනයන් සංස්කාරක ගෙනි]

#theSocialistLK #WSWS 

ඕස්ට්‍රේලියානු මිලිටරි තර කිරීම චීනය සමග යුද්ධය සඳහා එ.ජ. සැලසුම් වලට පිටුබලය සපයයි Read More »

global socialist reviews

2023 මැයි දිනය: කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය ගොඩනඟමු! ලෝක යුද්ධය වලක්වමු !!

කොලඹ ක්‍රියාකාරී කමිටුව

මෙම මැයි දිනය ලොව පුරා කම්කරු පන්තිය විසින් සමරනු ලබන්නේ ඉස්මතු වෙමින් පවත්නා 3 වන ලෝක යුද්ධයේ ඉමහත් අනතුර හා ලොව පුරා ධනේශ්වර පාලනය විසින් පනවනු ලැබ ඇති ඝෝර ජීවන කොන්දේසිවලට එරෙහිව සටන් වදිමින් සිටින කම්කරු පන්තියේ ප්‍රතිප්‍රහාරය මධ්‍යයේ ය.

තමා විසින් ම නිර්මිත ලෝක පර්යායේ ප්‍රතිවිරෝධයන් සමඟ මේ මොහොතේ පොර බදමින් සිටින සුපිරි ධනපතීන්ගෙන් සමන්විත ප්‍රභූව, ධනේශ්වර ක්‍රමය විසින් නිර්මානය කෙරුනු සියල්ල ද ඇතුලත් සමස්ත පෘථිවියේ අත්‍යන්ත විනාශය සූදානම් කරමින් සිටිති. 

ඔවුන්ට ඒ සම්බන්ධයෙන් තෝරා ගැනීමක් ඉතිරි ව නැත. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය පසුගිය දශක තුන ගත කර ඇත්තේ, එහි එක් දිනක් හෝ නොහැර අඛන්ඩව ඒ හෝ මේ යුද්ධයේ පැටලී සිටිමිනි. බෝල්කන් අර්ධ ද්වීපයේ වේවා, ඉරාකයේ වේවා, ඇෆ්ගනිස්ථානයේ හෝ සිරියාවේ වේවා, මේ සෑම තැනෙක දී ම, අහිංසක සිවිල් වැසියන් මරා දැමීමට ඔවුන්ට තමන්ගේ ම හේතු තිබූ අතර, ඒ සම්බන්ධයෙන් තමන් ම නිර්මානය කරගත්, එහෙත් වසර ගනන් ගත වෙත් දී ඒවා පවත්වා

ගෙන යාමේ උනන්දුවක් තමන්ට හෝ නොතිබූ ව්‍යාජ යුක්තියුක්ත කිරීම් ද ඔවුන් සතු ව තිබින. රුසියාවට එරෙහිව යුක්‍රේනය තුල බලල් අත් යොදා ගනිමින් දියත් කර ඇති නැටෝ යුද්ධය න්‍යෂ්ටික ගැටුමක හා සමූල විනාශයක තර්ජනය මතු කරයි. චීනයට එරෙහි එක්සත්
ජනපද ප්‍රකෝපකරනයන් මෑතක දී උත්සන්න කර ඇති අතර, චීනය සමඟ යුද ගැටුමක් නොවැලැක්විය
හැකියැයි එජ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීහු විවෘතව ම නිවේදනය කරති.      

නාසිවාදය පරාජයෙන් ශතවර්ෂ තුන් කාලක් ගෙවී යාමෙන් පසු නැවතත් යුරෝපය, ඇමරිකාව, හා ලෝක ගෝලයේ බොහෝ ප්‍රදේශවලින් නැවත සිය විරූපී හිස ඔසවමින් සිටින ෆැසිස්ට්වාදය සමඟ කම්කරු පන්තිය මුහුනට මුහුන දී සිටී. තම ෆැසිස්ට්වාදී විභවය පිලිබඳ ව සමාජයේ
වඩාත්ම අන්ත-දක්ෂිනාංශික ස්වෝත්තමවාදී කොටස්වලට ඒත්තු ගැන්වීමේ තරඟයක ප්‍රධාන ධනපති පක්ෂ නිමග්න වී සිටී. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මැඩ පැවැත්වෙමින් පවතින අතර, ‘ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයන්’ ලෙස පෙනී සිටින්නෝ එකී අයිතීන්
සම්බන්ධයෙන් කෙරෙන අත්‍යන්ත උල්ලංඝනයන් විවෘතව ම ආරක්ෂා කරමින් සිටිති.

ජාත්‍යන්තර කම්කරු පන්තිය මේ මොහොතේ පොර බදමින් සිටින්නේ, අද වනවිට ජීවිත මිලියන 21 ක් ඉක්මවා විනාශ කර ඇති කොවිඩ්-19 වසංගතයේ තුවාල තවමත් ලේ ගලමින් තිබෙන අතරතුර ම, ඒ මතට පැටවෙන කප්පාදු පියවරයන්හි ඝෝර ප්‍රතිවිපාක සමඟ ය. ධනේශ්වර ආන්ඩු, සුපිරි ධනපති ප්‍රභූවට අයත් මිනිසුන්ගේ තුනී සමාජ ස්ථරයක ලාභය සහ ඓශ්චර්යය වෙනුවෙන්, වසංගතය
පිලිබඳ ව අපරාධකාරී නොතැකීමක් පවත්වා ගෙන යමින් මෙම දැවැන්ත ජීවිත විනාශයට කැමැත්තෙන් ම ඉඩ දී සිටියෝ ය. මෙකී ම්ලේච්ඡ ආකල්පය හුදු කොවිඩ් 19 වසංගතයට සීමා වූවක් නොව, දුගීන්ගේ ජීවිත පිලිබඳව – සහ යුද්ධය පිලිබඳව – ඔවුන් දරන පොදු ආකල්පයයි. 

ශ්‍රී ලංකාව තුල ඇතැම් බරපතල රෝගාබාධ සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගැනෙන අත්‍යවශ්‍ය ඖෂධවල බැරෑරුම් හිඟයක් පවතින බව දැන් පොදුවේ දන්නා කරුනකි. මෙය හුදෙක් ශ්‍රී ලංකාවට හෝ ඊනියා ‘දියුනු වෙමින් පවතින’ රටවලට සීමා වූ තත්ත්වයක් නොවේ. ලෝකයේ වඩාත්ම බලගතු රටවල ජනයා පවා මුහුන දී සිටින්නේ එකී ඉරනමට ම ය. (ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ඉංග්‍රීසි පිටුවේ 2023 අප්‍රේල් 26
වාර්තාවකට අනුව)  ඇලබාමා සරසවියේ අනුක මූර්තන හා චිකිත්සක අංශයේ අධ්‍යක්ෂ ජොනතන් මැකිනති සඳහන් කරන අන්දමට, “එක්සත් ජනපදයේ පවා ජනයා, මෙම” ඖෂධ “හිඟකමින් මිය යාමට නියමිත බව නිසැක” ය.

අධිරාජ්‍යවාදය ව්‍යසනකාරී න්‍යෂ්ටික යුද්ධයක් දෙසට ගමන් කරමින් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කරමින් සිටින
අතරතුර, ජාත්‍යන්තර කම්කරු පන්තිය ඊට ප්‍රතික්‍රියා දැක්වීමේ දිශාවට අනවරත ලෙස ගමන් කරමින් සිටී. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් මේ තතු විචිත්‍ර ආකාරයෙන් විස්තර කර ඇති ආකාරය
පහත උපුටා දක්වමු:

 “ඉහත දශකය තුල පැවතියේ පන්ති අරගලයේ අනවරත උත්සන්න වීමකි. පන්ති අරගලයේ එක් කැපී පෙනෙන සුලු ලක්ෂනයක් වූයේ එහි ජාත්‍යන්තර ස්වභාවයයි. සන්නිවේදන තාක්ෂනයේ විප්ලවකාරී වර්ධනයන් විසින් විවිධ රටවල කම්කරුවන් අතර පැවැති බාධක දියකර හැරෙමින් පවතී. ඕනෑම එක් සුවිශේෂී රටක ඇති වන සමාජ ගැටුමක්, එය ආරම්භ වූයේ කොතැනක ද යන්න නොතකා, ක්ෂනිකව ම පාහේ ජාත්‍යන්තර ප්‍රේක්ෂක ජනයා දිනා ගනිමින් ලෝක සිදුවීමක් බවට එක පැහැර පත් වෙයි. චිරාත්කාලීන භාෂාමය බාධක පවා, ලේඛන හා භාෂිතයන් ඒවා ලියන ලද හා කථනය කරන ලද භාෂාව කුමක් වුව එය නොතකා ඒවා පරිවර්තන කිරීමට හා අනු පිටපත් කිරීමට සමත්
ක්‍රමලේඛයන් හරහා ලෝක ගෝලීය ප්‍රේක්ෂා ගෘහයකට පහසුවෙන් වටහා ගත හැකි පරිදි ජය ගනු ලැබේ.”
(WSWS, 08 April 2023) 

මේ ආකාරයෙන් කම්කරු පන්තිය, ජාතික මායිම් ඉක්මවා යමින් පාලක පන්තියේ ප්‍රහාරයන්ට ප්‍රතිචාර දක්වමින් සිටිති. සන්නිවේදන තාක්ෂනයේ නව වර්ධනයන්ගෙන් සන්නද්ධව සිටින ඔවුහු ලෝක ගෝලීය ආර්ථිකයකින් හා ජාතික ආන්ඩුවලින් සමන්විත පවත්නා ලෝක පර්යායට අභියෝග කරමින් සිටිති. ලාභ ඉපැයීම මත පදනම් වූ ධනේශ්වර පර්යාය සහ අධිරාජ්‍යවාදය, ජනයා සිය ජාතිය, වර්ගය, ආගම
හා සමේ වර්නය මත බෙදා වෙන් කරමින්, තාක්ෂනයේ, විද්‍යාවේ, සංස්කෘතියේ, සහ මානව වර්ධනයේ කවර හෝ සංවර්ධනයක් ඇති වීමට එරෙහිව විවෘතව ම බාධක පනවමින් සිටිති. ධනපති පන්තියට හා, එකී පන්තිය කම්කරුවන් සඳහා සූදානම් කරමින් සිටින කුරිරු ප්‍රහාර සම්බන්ධයෙන් කම්කරුවන් නොමඟ යවමින් ඔවුන් අතර පන්ති සහයෝගීතාවයේ දේශපාලනය ප්‍රවර්ධනය කරන සියලු ධනපති ඒජන්තයන්ට එරෙහිව අත්‍යවශ්‍ය හා මඟ හැර යා නොහැකි අවශ්‍යතාවය ව පවතින්නේ කම්කරුවන්ගේ සංවිධානාත්මක උපකරනය නිමවාගැනීමයි.     

හාමත, මරනය සහ විනාශය රැගත් වර්තමානයේ දිග හැරෙමින් පවතින සමාජ අර්බුදයට තමාගේ ම විසඳුම පිලිබඳ ව සාකච්ඡා කරමින්, විවාද කරමින් හා සටන් වදිමින්, සුපිරි ධනපතීන්ගේ හා මූල්‍ය කතිපයාධිපත්‍යයේ ලෝක පර්යාය වන අධිරාජ්‍යවාදයේ කුරිරු ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර දීමට තමන්ගේ ම ස්වාධීන ක්‍රියාකාරී කමිටු (සාමාන්‍ය කම්කරුවන්ගේ කමිටු) ආකාරයෙන් ස්වකීය සංවිධාන පිහිටුවා ගන්නා ලෙස කොලඹ ක්‍රියාකාරී කමිටුව මුලු රට පුරාත්, ලෝක ගෝලය පුරාත් සියලු කම්කරුවන්ට කැඳවුම් කරයි.  

2023 මැයි දිනය සමරමින්, ධනේශ්වර ප්‍රහාරවලට මෙන්ම ලෝක යුද්ධයක් කරා කෙරෙන ප්‍රයානයට ද එරෙහිව ස්වකීය ප්‍රතිප්‍රහාරයේ ක්රියාකාරකම් හා වැඩ පිලිවෙල පිලිබඳ ව සාකච්ඡා කිරීමට තමන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු, කම්හල් හා නිවහන් ප්‍රදේශ කමිටු ගොඩ නැඟීමටත්, එකී ප්‍රහාරවලට එරෙහිව කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (IWA-RFC) ගොඩ නැඟීම සඳහා සිය ජාත්‍යන්තර සහෝදරයන් සමඟ එක්සත් වීමටත් නැඟී සිටින ලෙස කොලඹ ක්‍රියාකාරී කමිටුව ශ්‍රී ලංකාව තුල හා සමස්ත ලෝකය පුරා සියලු පන්ති සහෝදරයන් හා සහෝදරියන්ට කැඳවුම් කරයි.    

එවැනි සන්ධානයක් සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව දැනටමත් කර ඇති කැඳවීමට පූර්න සහයෝගය පල කරන අපි, කම්කරුවන්ගේ හා ග්‍රාමීය දුගී ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවීමෙහි ලා එක්සත් හා පොදු ක්‍රියාමාර්ග ගැනීමට හජාජාකයේ ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයට (සසප) අප ඉදිරිපත් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන්නැයි එම පක්ෂයෙන් ඉල්ලා සිටිමු.

අධිරාජ්‍යවාදී යුද ප්‍රයත්න භංග වේවා!

ලෝකයේ කම්කරුවනි,
එක්වව්!!

ඡායාරූප අනුග්‍රහය ලෝසවෙඅ    

#CACPS #theSocialistLK  

2023 මැයි දිනය: කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය ගොඩනඟමු! ලෝක යුද්ධය වලක්වමු !! Read More »

ආර්. අමරතුංග සහෝදරයාට 80 යි: විප්ලවවාදී කම්කරුවකුගේ ජීවිතය පිලිබඳ සටහනක්

නන්දන නන්නෙත්ති විසිනි

Image

ප්‍රතිපත්ති හා මූලධර්ම ආරක්ෂා කිරීමේ දී ඉන්ද්‍රකීලයක් වන් කම්කරුවෙක්, මනස්කාන්ත මිනිසෙක්, අව්‍යාජ විප්ලවවාදියෙක්,ආදරවන්තයෙක්, ලෙන්ගතු මිත්‍රයෙක්, යන සෑම භූමිකාවකම තමන් දන්නා කියන හැමගේ හද දිනූ අමරතුංග සහෝදරයා නව පරම්පරාවන්ට ජිවිතය කියා දීම සදහා වටිනා මොඩලයකි යි අපට සිතේ.

අමරතුංග සහෝදරයාගේ ජීවිතය හා ආත්මය සමාජවදය පිලිබද ඔහුගේ අවබෝධය සහ වගකීමේ ස්වභාවය ගැන වැටහීමකින් තොර ව පරිපූර්න ලෙස දැනගනු නො හැකි ය. 1990 අවුරුද්දේ සිට මේ දක්වාත් හෘද රෝගියකුව ප්‍රතිකාර ගන්නා ඔහු තම වෛද්‍යවරයාගේ ප්‍රශ්නයකට දුන් පිලිතුර ඊට එක් නිදසුනකි.

වි‌ශේෂඥ වෛද්‍ය මදුරාවේ වරක් ඔහුගෙන් අසයි. “ඔබ මෙහි පැමිනි කාලයේ ම ප්‍රතිකාර ගනීමට පැමිනි අය අතරින් කී දෙනෙක් දැන් මේ පෝලිමේ සිටී ද?”

“එක්කෙනෙක්වත් නැහැ” අමරතුගගේ පිලිතුරයි. 

” ඒ ඇයි?” වෛද්‍යවරයා අසන්නේ ය.

“මම සමාජවාදියෙක්. මට ඉදිරි දර්ශනයක් තියෙනවා.” අමරතුංග පවසන්නේ සෙසු රෝගීන් මෙන් නොව තමන් අනාගතය වෙනුවෙන් දැනුවත්ව ජීවත් වන නිසා අසීරු තත්වයන් ජය ගැනීමේ අන් රෝගීන්ට නැති හැකියාවක් තමන්ට ඇති බව ය.  

සැතපුම් ගනන් දුර ඇවිදිමින් අප සමග හරි හරියට දේශපාලන වැඩවල යෙදුන අමරතුංග පසු බැස්සවීමට තරම් රෝගය සමත් නො වීය. වැඩිම වුනොත් “පොඩ්ඩක් ඉන්න සහෝදරයා” කියා පෙත්ත දිව යට තබාගෙන ටික වෙලාවක් මදවේගී වීම හැර බාධාවක් ඔහුට නො වී ය.

මෙම ක්ෂ්මා විරහිත පන්ති සටන්කරුවා 1943 අප්‍රේල් 26දා හික්කඩුවේ දී උපත ලැබී ය. තොටගමුව විජයබා විද්‍යාලයේ 6 වන පන්තිය දක්වා පමනක් උගත් ඔහු  17 විය සම්පූර්න වීමටත් පෙර, එනම් 1959 දී බෝගලට ගොස් පතල් කම්කරුවෙකු ලෙස ජීවනෝපාය ද, ජීවිත අධ්‍යනය ද ආරම්භ කලේ ය. පසුව තමන් සරන පාවා ගත් ඉතා ආදරනීය බිරිද දයා සහෝදරිය සමග එක්ව පුතුන් 4 දෙනෙකු හදා වඩා ගත්තේ ය.

කතෝනිස් බාස් නම් පුද්ගලයෙකු විසින් අත්පත් කර ගත් බෝගල මිනිරන් කැනීම 1887 න් පසු කැපී පෙනෙන ධනපති කර්මාන්තයක් ලෙස ඔසවන්නේ කතෝනිස්ගේ උගත් දරුවන්ගේ මෙහෙයවීම යටතේ ය. පීඩිත කම්කරුවන්ගේ ජීවිතය උරා බී වැඩුනු කර්මාන්තය සදහා මේ පතල මුහුදු මට්ටමට ද වඩා ගැඹුරට ඛනින ලදී. එහි සම්පූර්න ගැඹුර මීටර් 275කි. අමරතුංග ජීවිතයේ ගැඹුර ක්‍රමානුකූලව සොයා ගනිමින් සිටියේ ය.

1972 දී එවක පැවති ලංකා සමසමාජ පක්ෂය (ලසසප), කොමියුනිසට් පක්ෂය (කොප) සහභාගී වූ සිරිමා බන්ඩාරනායකගේ සමගි පෙරමුනු ආන්ඩුව බෝගල පතල ද ධනපතියන්ට වන්දි ගෙවා ‘ජනසතු’ කලේ ය. ඉහත නම් සදහන් පක්ෂ දෙක ම මේ ‘ජනසතුව’ හැදින් වූයේ ධනපති විරෝධී හා සමාජවාදය කරා ප්‍රගතිශීලි ධනපතියන් ය යි ඔවුන් විසින් හැදින් වූ ධනපතියන් සමග එක්ව පියවර තැබීමක් ලෙස ය.

එවක අමරතුංග ඇතුලු බෝගල පතල් කම්කරුවෝ සමසමාජ පක්ෂයට අයත් වෘත්තීය සමිතියේ සාමාජිකයෝ වූහ. ජනසතුවෙන් දෙවසරක් ගිය තැන 1974 වසරේ පරිපාලනය හා වෘත්තීය සමිති නායකත්වය අමරතුංග සහෝදරයාගේ රැකියාව අහිමි කලහ. සමිති නායකයෝ හාම්පුතුන් සමග එක්ව සාද පැවැත්වීම ඔහු විසින් ප්‍රශ්න කරනු ලැබීම ඊට තුඩු දුන් හේතුවයි. එවකට අපගේ සහෝදරයා මුරකරුවෙකු ලෙස රැකියාව කරමින් සිටි අතර කුමන්ත්‍රනකරුවෝ ඔහුගේ ආරක්ෂාව යටතේ තිබූ  උපකරනයක් අතුරදහන් කර ඒ අනුව ඔහු රැකියාවෙන් නෙරපූහ. වෘත්තීය සමිති නායකයෝ, තමන් මෙම කුමන්ත්‍රනයේ හවුල්කරුවන් නො වන සේ පෙනී සිටි නමුත්, පැමිනිල්ලක් දැමීමට නියමිත කාලයට එක් දිනක් පසුවන තෙක් බලා සිට කම්කරු උසාවියට පැමිනිලි කිරීම මගින් නීතිමය රැකවරන සදහා උත්සාහ කිරීමට ඇති අවස්ථාවද ඔහුට අහිමි කලහ.   

අමරතුංග සිය දරු පවුල සමග පෙරලා හික්කඩුවට පැමින කුලී වැඩ කරමින් ජීවිතයට මුහුන දුනි. 1976 රංගල්ල පාලම අසල කරදිය බාධක වේලි බැදීමට සහභාගී වූ කම්කරුවෙකු ලෙස සේවය කරමින් සිටි ඔහු විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට මුන ගැසේ. සාකච්ඡා වට කිහිපයකින් පසු පක්ෂයේ සාමාජිකයෙකු ලෙස ආරම්භ කල ඔහුගේ අකලංක විප්ලවවාදී දේශපාලන ජීවිතය නො මැකෙන සටහන් තැබූ එකකි. 

මෙම කම්කරුවා බදවා ගැනීමේ සාකචඡා කීපයක් සිදු කිරීමට එවක පක්ෂයේ නව යව්වන සාමාජිකයෙකුව සිටි මෙම ලිපියේ ලේඛකයාට ද අවස්ථාව ලැබුනේ ය යන්න ඉමහත් සන්තුෂ්ඨියකි. එතැන් සිට අමරතුංග, දැන් සමාජවාදී සමානතා පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙක් වන රත්නසිරි මලලගම විසින් කුමන්ත්‍රනකාරී ලෙස පක්ෂයෙන් ඉවත් කිරීම සඳහා කටයුතු සැලසුම් කරනු ලබන තෙක් කිසිදු බාධාවකින් නො සෙල්වී පක්ෂයත් එහි ඉදිරි දර්ශනයත් ආරක්ෂා කරමින් සටන් වැදුනේ ය. 

අමරතුංග පක්ෂයට බැදීම ජාත්‍යතර කම්කරු පන්තිය තලා දැමීම සදහා ක්‍රියාත්මක වූ දක්ෂිනංශික ව්‍යාපරයට එරෙහිව සිදු වූවකි. 1971 බ්‍රෙටන්වුඩ් සම්මුතිය බිද දමමින් ප්‍රකාශයට පත් ලෝක ධනේශ්වර අර්බුදය පන්ති අරගලය උත්සන්න කලේ ය. වෘත්තිය සමිති හා කම්කරු පන්තියේ නමින් පෙනී සිටි පක්ෂවල පාවාදීම මත හිස එසවූ පාලක පන්තිය කම්කරු පන්තියට එරෙහි සම්ම්මුති විරහි ප්‍රහාරයක් දියත් කලේ ය. බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර්ගේ සිට මෙරට ජේ. ආර් ජයවර්ධන දක්වා අන්ත දක්ෂිනංශික ආන්ඩු සම්පූර්න යටත් වීම කම්කරු පන්තයෙන් ලබා ගැනීමට වැඩ ආරම්භ කලේ ය.  අමරතුංග කම්කරු පන්ති ජාත්‍යන්තරවාදය පිලිගනිමින් ඒ වෙනුවෙන් ජීවිතයම කැප කිරීම තෝරා  ගන්නේ මෙවන් පසුබිමක ය.

මෙම කම්කරුවා, සමසමාජකාරයන්ගේ කුමන්ත්‍රනයට ගොදුරු වූවා සේම සමසමාජයේ මහා පාවා දීමට එරෙහිව සටනක් කොට ගොඩ නැගූ  සමාජවාදී සමානතා පක්ෂය (එකල විකොස) තුල වැඩී ඇති, මුලධර්ම විරෝධී, අවස්ථාවාදී උමතු කල්ලියේ ගොදුරක් වීම නාටකාකාර දේශපාලන ප්‍රකාශනයකි.

මීට වසර කිහිපයකට පෙර හික්කඩුව කලුපෙ ගම්මානයේ ලදරු පාසැලක පැවැත් වූ උත්සවයක පොල් තෙල් පහන දැල්වීමට අමරතුංගට ආරාධනා කරන ලදී. ගම්වැසියන් ඒ තරමටම මේ කම්කරුවාට ගරු කලේ ය, ආදරය කලේ ය, අවංක නායකයෙකු ලෙස පිලිගත්තේ ය. 

එහෙත් අමරතුංග ඉතා ලෙංගතුව ආරාධනය ප්‍රතික්ෂේප කලේ ය. එම විවෘත කිරිමට පාලක පක්ෂයේ අතුකොරාල නමැත්තා ද සහභාගී විම නිසා ය, අමරතුංග දෙවරක් නො සිතා එය ප්‍රතික්ෂේප කලේ. ධනපති නියෝජතයන් සමග කම්කරු පන්තියට ගනුදෙනුවක් නැති බව ඔහු තම හිතවතුන්ට පෙන්වා දුන්නේ ය.

ප්‍රතිපත්ති සම්බන්ධ මේ දෘඩභාවය විප්ලවවිදියෙක් වුවත් කම්කරු පන්තිකයෙකු  ලෙස තමන් හරියට ම ස්ථානගත කරගැනීමට අසමත් ඹධ්‍යම පන්තිකයෙකුට නැත. විකොස මධ්‍යම කාරක සභිකයෙකුව සිටින ගමන් මහාචාර්ය සුචරිත ගම්ලත්, එවක 60,000ක් ගම්බද තරුනයන් ඝාතනය කල යුඑන්පී ආන්ඩුවේ ඇමතියෙකු සමග 1990 දී වේදිකාරූඩ විම නිදසුනක් ලෙස පෙන්වා දිය හැකි ය. 

අමරතුංග ආරාධනය ප්‍රතික්ෂේප කල දිනවලම මෙහි  සදහන් රත්නසිරි මලලගම, පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු ලෙස සිටින ගමන්, සිය බිරිදගේ ලදරු පාසැලේ විවිධප්‍රසංගයේ දී ආරධනා කර ගෙන්වා ගත් අතුකෝරල නමැති, අමරතුංග විසින් ප්‍රතික්ෂේප කරන ලද, පොදු පෙරමුනේ මන්ත්‍රී සමග එකට සිට පහන් දැල්වීම් යනාදිය සිදු කලේ ය. අමරතුංග ඇතුලු සාමාජිකයන් ඊට විරුද්ධ වූ විට රත්නසිරි සොයා බැලුවේ කැමරා ශිල්පියා ‍”එඩිට්” නො කර වීඩියෝව පිට කිරීම ගැන මිස සිය දේශපාලන නිවටකම කුමකින් පැන නැංගේ ද යන්න නො වේ. 

විප්ලවවාදී පක්ෂය තුල මධ්‍යම පන්තික ප්‍රවනතා මතු වීම අරුමයක්වත් අසාමාන්‍ය දෙයක්වත් නො වේ. පක්ෂය ගොඩ නගන්නේ ප්‍රවනතා අතර දේශපාලන ගැටුම් තුලිනි. පක්ෂය පවතින මෙබදු ප්‍රවනතා හදුනා ගැනීමේ දී අමරතුංග සහෝදරයාගේ දේශපාලන ජීවිතයෙන් ගත හැකි පාඩම් බොහෝ ය. 

1988-89 විකොස සාමාජිකයින් තිදෙනෙක් ජවිපෙ ඝාතකයන් විසින් බිලි ගනු ලැබුනහ. මේ අතර කිහිප වතාවක් ම ඝාතකයෝ මෙම ලියුමකරුගේ නිවස ද වට කල හ. පැරනි සාමාජිකයෙකු වූ සෝමරත්න කොඩිකාර සහෝදරයාට ද මරන තර්ජන එල්ල වී තිබිනි. පක්ෂය ජවිපෙ ක්‍රියාව හෙලිදරව් කරමින් කම්කරු පන්ති පිලිවෙත පැහැදිලි කල ලිපියක් මහජනයා අතර බෙදා හැරීම සදහා අම්බලන්ගොඩට එවන ලදී. අම්බලන්ගොඩ ලෝකලෙයේ සාමාජික රත්නසිරි එදා අතුරුදන් වූ පසු නැවත දේශපාලනයට එන්නේ විජේවීර ඝාතනයෙන් පසුව ය. අමරතුංග මරනීය තර්ජනය මැද සිය පුතුන් පක්ෂයට බදවා ගැනීමට හා, එසේ නො හැකි නම්, පක්ෂයේ ආධාරකරුවන් බවට පත් කර ගැනීමට තමන් කල කටයුතු ඉස්මත්තට ගත් අතර එක් පුතෙකු පක්ෂයට බදවා ගත්තේ ය. අනතුරුව තාරක අමරතුංග නම් එම තරුනයා මරනයට කැප ව සිටි මෙම ලිපිකරුගේ ආරක්ෂාව ගැන ද දැනුවත් කර මා සමග දේශපාලන කටයුතුවල නිරත කලේ ය. ධනපති පන්තියට මෙන් ම කම්කරු පන්තියට ද බියපත්ව සැග වී සිටිය නො හැකි ය. 

මධ්‍යම පන්තියෙන් පක්ෂයට බැදෙන පුද්ගලයන් කම්කරු පන්තිය නැමති පාසැලේ වසර ගනනාවක් පුහුනු කිරීමෙන් පසු මිස මොන ම වගකිව යුතු කටයුත්තක්වත් නො පවරන ලෙස ට්‍රොට්ස්කි පවසා ඇති දෙය ගැන තව බොහෝ ආදර්ශයන් අමරතුංගගේ ජීවිතයෙන් උකහාගත හැකි ය.

එවක අපගේ කම්කරුවාගේ කුඩා නිවස සෑම ඉරිදාවක ම පක්ෂයේ කටයුතු වෙනුවෙන් ම වෙන් විය. මේ කම්කරුවා ඒ හැම සාකච්චා වාරයක දී ම 15කට 20කට ආහාර පාන සැපයී ය. ඔහුගේ ආදරනීය බිරිද හා දරුවන් සැලකුවේ එය තමන්ට ලැබුනු අගනා අවස්ථාවක් ලෙස ය.

අපගේ කම්කරුවා පක්ෂයට බැදෙන්නට පෙර තරමක් හිතුවක්කාරී හා දැඩි තීරන ගෙන තමන් නො රුස්නා දෙයට මුහුන දීමේ තත්වයක පසු වූ බව කියවේ. පක්ෂය තුල අමරතුංග අත්පත් කර ගත් දේ කෙතෙක් ද යත් මොහු සන්සුන් පුද්ගලයෙක් කර දීම ගැන තමන් පක්ෂයට නයගැති ය යි ඔහුගේ බිරිඳ දයා සහෝදරිය නිරන්තරයෙන් හා දැඩි තෘප්තිකරභාවයෙන් ප්‍රකාශ කරන්නී ය.

අමරතුංග සියලු අසීරුතා තිබිය දී සිය පුතුන් සිව් දෙනාට හැකි ඉහලම අධ්‍යාපනය ලබා දීමට අධිශ්ඨානවත් විය. 

අමරතුංග තම එක් අතක පවතින දුර්වලතාව නො තකා වොලි බෝල් ක්‍රීඩාවට යොමු ව සිටියේ ය. නාට්‍යය, ගීතය, චිත්‍රය සහ මූර්තිය වෙත ඔහුගේ යොමු වීම දියුනු සංස්කෘතික කම්කරුවා පිලිබද ලකුනකි. 80 වියැති නමුත් තවමත් තරුන සිතැති මේ කම්කරුවා පොල් කටු යොදාගෙන කරන කලාත්මක භාන්ඩ නිර්මානය කිරීමෙන් යම් ආදායමක් ද උපය යි. 

මාක්ස්වාදී ව්‍යාපාරය හැම විට ම මෙබදු පෙරටුගාමී කම්කරුවන් දිනා ගැනීම ඉලක්ක කර  ගනී. ඔවුන්ට මිලියන ගනන්වලට නායකත්වය දිය හැකි ය. 

අවාසනාවට දැන් සිදුව ඇත්තේ වෙන දෙයකි. 2022 ජුලු 7 දින සිට සමාජවාදී සමානතා පක්ෂයෙන් ඔහු දොට්ට දමනු ලැබ ඇත. මෙම ලිපිකරුට එය හොදටම දැනේ. සංජය ජයසේකර සහෝදරයා සහ මා පක්ෂයෙන් දොට්ට දැමීමේ මුග්ධ තීරනය අමරතුංග මහත් සේ කම්පාවට පත් කලේ ය. දැන් මේ පක්ෂයේ සිට පලක් නැතැයි කියමින් වුවත් ඔහු උත්සාහ කලේ පක්ෂය තුල රැදී සිටිමින් එය නිවැරදි කර ගැනීමට ය. අමරතුංග දොට්ට දැම්මේ හරියටම මේ උත්සාහය නිසා ය. මලලගමගේ මෙම කුමන්ත්‍රනය ප්‍රධාන ලෙකම් දීපාල් ජයසේකර ඇතුලු දේශපාලන කමිටුව අනුමත කර ඇත.

එහෙත් අමරතුංග සහෝදරයා 4 ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සහ සමාජවාදී සමානතා පක්ෂයේ ‌‌එතිහාසික හා දේශපාලන පදනම් මත පිහිටාගෙන සිය ජීවිත කාලයම සටන් වදින බව ගැන අපට සැක නැත. ඔහු එදා මෙන් ම අදත් සියල්ලට ම පෙර පක්ෂය යන අදහස අත් නො හැර වැලද ගෙන සිටී. සහෝදරයා, නුඹට දීර්ඝායු!

#theSocialistLK 

ආර්. අමරතුංග සහෝදරයාට 80 යි: විප්ලවවාදී කම්කරුවකුගේ ජීවිතය පිලිබඳ සටහනක් Read More »

යුරෝපා හා එක්සත් ජනපද අන්තර්-අධිරාජ්‍යවාදී සීතල යුද්ධය මැක්‍රොන් සංඥා කරයි

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අප්‍රේල් 10 දින ‘In China, Macron criticizes US policy on Taiwan, demands European “war economy”’ ශීර්ෂයෙන් යුතුව පලකෙරුනු ඇලෙක්ස් ලැන්ටියර් සහෝදරයා විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි.  පරිවර්තනය සංජය ජයසේකර විසිනි.

Image

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් 2023 අප්‍රේල් 6 බ්‍රහස්පතින්දා බීජිං හි පැවති ප්‍රංශ-චීන ව්‍යාපාරික කවුන්සිල රැස්වීමකට සහභාගී වෙමින්. [AP Photo/Ludovic Marin/Pool via AP]

මෙම සති අන්තයේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ජනාධිපති ෂී ජින්පින් සමඟ සාකච්ඡා කිරීම සඳහා චීනයේ සිව්දින රාජ්‍ය සංචාරයක් අවසන් කළේය.  අතිමහත් මහජන විරෝධය හමුවේ ගැඹුරු විශ‍්‍රාම වැටුප් කප්පාදුවක් පැනවීමෙන් පසු ප‍්‍රන්සය පුරා වැඩ වර්ජන හා විරෝධතාවලින් කම්කරු පන්තියේ විරෝධය පුපුරා යද්දී පවා, මැක්‍රොන් යුරෝපීය “යුද ආර්ථිකයක්” ගොඩනැගීම සඳහා මිලිටරි වියදම්වල නව දැවැන්ත වැඩිවීමක් ඉල්ලා සිටියේය.

මැක්‍රොන්ගේ චීන සංචාරය දිග හැරුනේ යුක්‍රේනයේ රුසියාව සමග නේටෝ යුද්ධයේ සෙවණැල්ල යටතේ සහ තායිවානය සම්බන්ධයෙන් චීනයට එරෙහි එක්සත් ජනපද මිලිටරි තර්ජන තීව්‍ර කරමිනි.  සාකච්ඡාවේ පළමු දිනයේදී ඔහු යුක්රේනය සම්බන්ධයෙන් “රුසියාව සාධාරණ ප්‍රතිපත්තියකට ගෙන ඒමට” ෂගේ උදව් ඉල්ලා සිටියේය. “යුක්රේන අර්බුදය තවදුරටත් පිරිහීමට තුඩු දෙන ක්‍රියාමාර්ග වළක්වා ගැනීම සඳහා තාර්කිකත්වය සහ සංයමය පවත්වා ගන්නා ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටීමට ප්‍රංශය සමඟ වැඩ කිරීමට” ප්‍රතිඥා දෙමින්  ෂී ප්‍රතිචාර දැක්වූ බව චීන පීපල්ස් ඩේලි වාර්තා කළේය.

මැක්‍රොන්ගේ සංචාරය, වොෂින්ටනය සමග වැඩෙන ආතතීන් මධ්‍යයේ චීනය සමග ප්‍රංශ ආර්ථික සබඳතා ගැඹුරු කිරීමට සහ ප්‍රංශ හා යුරෝපීය මිලිටරි හමුදා ශක්තිමත් කිරීමට සාකච්ඡා කරා හැරුනි.  මැක්‍රොන් සමඟ ඔහුගේ සංචාරයට බලශක්ති ඒකාධිකාරී Electricité de France, Airbus සහ Safran යන අභ්‍යවකාශ සමාගම්, දුම්රිය නිෂ්පාදක Alstom, LVMH සහ L’Oréal සහ සංචාරක සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්ගේ දැවැන්ත නියෝජිත පිරිසක් ද එක්ව සිටියහ.  ඉලෙක්ට්‍රොනික සංගීත නිර්මාපකයෙකු වන ජීන්-මයිකල් ජැරේ සහ ඔහුගේ බිරිඳ, චීන චිත්‍රපට තරුවක් වන Gong Li ද ප්‍රංශ නියෝජිත කණ්ඩායමේ කොටසක් විය.

වොෂින්ටනය “එක් චීනයක්” ප්‍රතිපත්තිය අවසන් කිරීමට සහ බීජිං-තායිවාන යුද්ධයක් අවුලුවාලීමට කොන්දේසි නිර්මානය කරන තායිවානය සමග සමීප සබඳතා ගොඩනගා ගැනීමේ එක්සත් ජනපද පිලිවෙත මැක්‍රොන් විවේචනය කෆළ්ය. චීන ප්‍රකාශයකට අනුව, මැක්‍රොන් තායිවාන ජනාධිපති ට්සායි ඉන්ග්-වෙන්ගේ එක්සත් ජනපද සංචාරය “කණගාටුදායක” ලෙස හැඳින්වූ අතර “එක් චීනයක්” ප්‍රතිපත්තියට ඔහුගේ සහාය නිල වශයෙන් ප්‍රකාශ කළේය.  මැක්‍රොන් 11 අඟහරුවාදා පැරිසිය වෙත ආපසු පැමිනි විට මූල්‍ය සඟරාවක් වන Les Echos සමඟ සවිස්තරාත්මක සම්මුඛ සාකච්ඡාවකදී මෙම කාරනය සම්බන්ධව නැවත කතා කළේය.

මැක්‍රොන් මෙසේ පැවසුවේය: “යුරෝපීයයන් වන අපෙන් අසන ප්‍රශ්නය නම්: තායිවානය සම්බන්ධයෙන් වඩා වේගවත් වන වර්ධනයන් ගැන අපට උනන්දුවක් තිබේද?  නැත. නරකම දෙය නම් යුරෝපීයයන් වන අප එක්සත් ජනපද රිද්මයට සහ චීනයේ ඕනෑවට වඩා ප්‍රතික්‍රියා දැක්වීම් වලට අනුගත වෙමින් මෙම ප්‍රශ්නය දෙස අන්ධ ලෙස බලා සිටිය යුතු යැයි සිතීමයි.  අන් අය අප වෙනුවෙන් තෝරාගෙන ඇති රිද්මයක් අප අනුගමනය කළ යුත්තේ ඇයි?  යම් අවස්ථාවක දී, අපි අපේම ඕනෑ එපාකම් පිළිබඳ ප්‍රශ්නය ඉදිරිපත් කළ යුතුය.  අපි සැබෑ යුරෝපීය ආරක්ෂක (strategic) ස්වාධිපත්‍යයක මූලද්‍රව්‍ය සම්පාදනය කරමින් සිටින බැවින්, හදිසියේ යම් ආකාරයක භීතිකාවකින් මෙන් ප්‍රතිචාර දක්වමින් එක්සත් ජනපද ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට පටන් ගත්තොත් එය පරස්පර විරෝධී වනු ඇත.”

මැක්‍රොන් ප්‍රන්සය සහ ප්‍රධාන යුරෝපා සංගමයේ අධිරාජ්‍යවාදී බලවතුන්ට වොෂින්ටනය සමග වැඩෙන ආතතීන්ට ප්‍රතිචාර දැක්වීමට කම්කරු පන්තියට එරෙහි ප්‍රහාර මගින් මූල්‍ය සම්පාදනය කරන ලද දැවැන්ත මිලිටරි තරකිරීමක් වෙනුවෙන් තර්ක කලේය.  ඔහු මෙසේ කීවේය: “බොහෝ කාලයක් තිස්සේ යුරෝපය මා සටන් කරමින් සිටින මෙම ආරක්ෂක ස්වයං පාලනයක් ගොඩනඟා ගත්තේ නැත.  අද මතවාදී සටන දිනා ඇත, ව්‍යුහය සකස්කර තිබේ. [කෙසේනමුත්]  එය අනිවාර්යයෙන්ම වියදමකින් පැමිණේ.… අපි කප්පාදු ක්‍රියාත්මක. කළා, ඒවා දරුණුයි, අපි ප්‍රතිඵල දකින්න පටන් ගනිමින් සිටිනවා, නමුත් ඒ සමඟම, අපි පසුගිය වසර 20 තුළ නොකළ දේ වෙනුවෙන් අපි ගෙවමින් සිටිනවා.”

“ඉතිහාසය අතිධාවනාකාරීව ගමන් කරන විට, අපි සමාන්තරව යුරෝපීය යුද ආර්ථිකය වේගවත් කළ යුතුය.  අපි ප්‍රමාණවත් තරම් වේගයෙන් [ආයුධ] නිපදවන්නේ නැත,” ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “ඇමරිකානුවන් මත අඩුවෙන් යැපීමේ යතුර වන්නේ අපගේ ආරක්ෂක කර්මාන්තය ශක්තිමත් කිරීම සහ [යුරෝපයේ ආයුධ නිෂ්පාදනය පිළිබඳ] පොදු ප්‍රමිතීන්ට එකඟ වීමයි”.

යුරෝපා සංගමයේ මිලිටරි තරකිරීම සම්පූර්ණ වීමට පෙර, වොෂින්ටනය ඉතා ඉක්මනින් චීනය සමග සම්පූර්‍ණ යුද්ධයක් අවුලුවන්නේ නම්, යුරෝපා සංගම් රාජ්‍යයන් “ආවතේව කරුවන්” බවට පත්විය හැකි බවට මැක්‍රොන් කනස්සල්ලට පත් විය.  ඔහු මෙසේ පැවසීය: “[එක්සත් ජනපද-චීන] ද්වි-අධිකාරය පිපිරීමේ වේගවත් වීමක් වේ නම්, අපට අපගේ ආරක්ෂක ස්වාධිපත්‍යය සඳහා මුදල් සැපයීමට කාලය හෝ මාධ්‍යයන් නොමැතිවනු ඇති අතර, එය ගොඩනඟා ගැනීමට වසර කිහිපයක් ලැබුනොත් අප  තුන්වන ධ්‍රැවය විය හැකි වුවද, එසේ නොවුවහොත් අප ආවතේව කරුවන්  බවට පත්වනු ඇත.”

මැක්‍රොන් එක්සත් ජනපද ඩොලරය කෙරෙහි විශ්වාසයක් නොමැතිකම ද පෙන්වා දුන්නේය.  සිලිකන් වැලි බැංකුව ඇපදී ගලවා ගැනීමෙන් පසුව සහ ඉරානය සහ එහි ක්‍රියාත්මක යුරෝපීය සමාගම් ඉලක්ක කර සම්බාධක පැනවීමට එක්සත් ජනපද භාණ්ඩාගාරය ඩොලරය භාවිතා කිරීමෙන් පසුව වැඩෙන ප්‍රශ්න වලට ඩොලරය මුහුන දී සිටී. රුසියාව, බ්‍රසීලය සහ අනෙකුත් රටවල් චීනය සමඟ වෙනත් මුදල් ඒකකවලින් තම වෙළඳාම සිදු කිරීමට පියවර ගන්නා අතර මැක්‍රොන් පැවසුවේ, “මට එක කරුණක් අවධාරනය කිරීමට අවස්ථාව ලබා ගැනීමට අවශ්‍යයි: අප එක්සත් ජනපද ඩොලරයේ දේශභූමි සීමා අභිබවා යෑම මත රඳා නොසිටිය යුතුය,” යනුවෙනි.

මැක්‍රොන්ගේ “ස්වාධීනත්වයට” ප්‍රශංසා කරන ප්‍රංශ පුවත්පත්වල ලිපි පළ කරමින්, ප්‍රංශ ප්‍රතිපත්තියේ නවතම හැරීම සඳහා බීජිං පාලන තන්ත්‍රයේ සහාය පිළිඹඳව චීන විචාරකයෝ සංඥා කළහ.  චීන රජයේ ග්ලෝබල් ටයිම්ස් පුවත්පත “මැක්‍රොන්ගේ චීන සංචාරය ආරක්ෂක ස්වාධිපත්‍යයේ වටිනාකම මූර්තිමත් කරයි” යන මාතෘකාවෙන් යුත් කතුවැකියක් නිකුත් කරමින්, වොෂින්ටනයේ බලපෑම තුලනය කරන චීන-යුරෝපීය සන්ධානයකට මාවතක් විවර කිරීම ගැන මැක්‍රොන්ට ප්‍රශංසා කළේය.

ග්ලෝබල් ටයිම්ස් මෙසේ ලිවීය: “වෙනස් වන ජාත්‍යන්තර භූ දර්ශනය තුළ ප්‍රංශය විසින් පෙන්නුම් කරන ලද උපායමාර්ගික ස්වයං පාලනය සහ ස්වාධීන රාජ්‍යතාන්ත්‍රික උද්‍රෝගය චීන ජනතාව සැමවිටම අගය කර ඇත.  එවකට හිටපු ප්‍රංශ ජනාධිපති චාල්ස් ඩි ගෝල් ප්‍රංශයේ ජාතික ස්වෛරීභාවය සහ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.… වොෂින්ටනයේ ආරක්ෂක ආවතේවකරුවෙකු වීම මාරාන්තික අවසානයක් බව කාටත් පැහැදිලිය.  චීන-ප්‍රංශ සබඳතාව චීන-යුරෝපීය සහයෝගීතාවය සඳහා පාලමක් බවට පත් කිරීම දෙපාර්ශවයට මෙන්ම ලෝකයට ප්‍රයෝජනවත් වේ.”

වොෂින්ටනය සිය ගෝලීය ආධිපත්‍යය රැක ගැනීම සඳහා රුසියාව හා චීනය සමඟ යුද්ධ ඇවිලවීමේ ප්‍රමුඛ භූමිකාව ඉටු කරන අතරම, පැරිසියෙන් සහ බීජිං වෙතින් ඔවුන්ගේ ජාතික අවශ්‍යතා වඩා හොඳින් ආරක්ෂා කර ගැනීම සඳහා “බහු ධ්‍රැව” ධනේශ්වර පර්යායක් සඳහා ගෙන එන යෝජනා ද ස්ථිරවම ප්‍රතිගාමී ය.  ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලයේ [එක්සත් ජනපදයේ] ප්‍රතිපත්තිය පමනක් නොව, 20 වැනි සියවසේ ලෝක යුද්ධවලට පෙර මෙන්, සමස්ත ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතියම, මුලු මුනින්ම බංකොලොත් ය.

ප්‍රංශයේ මැක්‍රොන්ගේ ප්‍රතිපත්තියෙන් මෙය වඩාත් පැහැදිලිව මතු වේ.  අතිමහත් මහජන විරෝධයක් නොතකා පාර්ලිමේන්තු ඡන්දයකින් තොරව විශ‍්‍රාම වැටුප් සඳහා ගැඹුරු කප්පාදුවක් පනවමින්, දැවැන්ත මිලිටරි ගොඩනැංවීමකට මුදල් සැපයීම සඳහා ඔහු ජනතාවට එරෙහිව පාලනය කරයි.  ඇත්ත වශයෙන්ම, චීනයේ සිටියදී, මැක්‍රොන් ඔහුගේ කප්පාදුවලට විරුද්ධ වන ප්‍රංශ ජනතාවගෙන් බහුතරයක් ප්‍රසිද්ධියේ සමච්චලයට ලක් කරමින්, ඔහුගේ පාලන තන්ත්‍රය “ප්‍රජාතන්ත්‍රවාදී” බව අවධාරනය කර පසුව,  “මිනිසුන්ට විශ්‍රාම යන වයස අවුරුදු 60 ට අවශ්‍ය නම්, ඔවුන් මට ඡන්දය නොදිය යුතුව තිබුණි” යනුවෙන් අතුල් පහරක් ගැසුවේ ය.

පැරිස් සහ බීජිනය විසින් උත්කර්ෂයට නංවන “ජාතික ස්වාධිපත්‍යය” වැඩකරන ජනතාවගේ නිදහස හා සමාජීය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිලිබඳව නොව, ඒ වෙනුවට ධනේශ්වර පන්තීන්ට තම ලාභ අවශ්‍යතා සඳහා යුද්ධ කිරීමට ඇති නිදහසයි.

ප්‍රංශය සම්බන්ධයෙන් මෙය විශේෂයෙන් පැහැදිලි වේ.  එක්සත් ජනපද ඩොලරය සම්බන්ධයෙන් වොෂින්ටනය සහ පැරිස් අතර නැගී එන ගැටුම් සහ ඇල්ජීරියානු නිදහසට එරෙහි ප්‍රංශයේ යුද්ධයේදී ඩි ගෝල් ඝාතනය කිරීමට උත්සාහ කළ ප්‍රංශ දක්ෂිනාංශයේ ප්‍රතිවාදී කන්ඩායම්වලට සීඅයිඒ උදව් කර ඇති බවට ප්‍රංශයේ සැකය මධ්‍යයේ 1965 දී ඩි ගෝල් නේටෝවෙන් ඉවත් විය [නැවත ප්‍රංශය නේටෝවට සම්බන්ධ වීම 2004-2009 කාලය තුලදී සම්පූර්ණ කෙරිණි]. 1964 දී මහජන චීන සමූහාණ්ඩුව පිළිගත් පළමු නේටෝ රට බවට ප්‍රංශය පත් වූයේ මෙම ගැටුම් වර්ධනය වීමත් සමඟ ය.

1991 දී සෝවියට් සංගමය ස්ටැලින්වාදීන් විසින් විසුරුවා හැරීමත් සමඟ නේටෝ කඳවුරට පොදු සතුරෙකු අහිමි කිරීමෙන් පසු එක්සත් ජනපද – ප්‍රංශ ආතතීන් තියුණු විණි.  මෙම ආතතීන්ගේ ද්‍රව්‍යමය මූලාශ්‍රය වූයේ ලෝක ආර්ථිකයෙන් ලාභ බෙදා ගැනීම පිලිබඳ අරගලයයි.  2003 දී වොෂින්ටනය තෙල්වලින් පොහොසත් ඉරාකයට නීති විරෝධී ආක්‍රමණය දියත් කිරීමත් සමඟ ඇතිවූ එක්සත් ජනපද-ප්‍රංශ ආතතීන්ට අමතරව, ප්‍රංශ අධිරාජ්‍යවාදය පශ්චාත්-සෝවියට් යුගයේ එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද සියලුම ප්‍රධාන යුද්ධවලට සම්බන්ධ වී ඇත – ඉරාකය, යුගෝස්ලාවියාව, ඇෆ්ගනිස්ථානය වෙත හමුදා යැවීම, ලිබියාව, සිරියාව තුල සහ ඉන් ඔබ්බට.

බීජිං සහ වොෂින්ටනය යන දෙකටම ප්‍රතිවාදී “තුන්වන ධ්‍රැවයක්” ලෙස යුරෝපය ගොඩනැගීම සඳහා කම්කරුවන්ගේ කරමතින් මූල්‍යකරණය කරන ලද “යුද ආර්ථිකයක්” සඳහා මැක්‍රොන්ගේ ප්‍රතිගාමී කැඳවීම්වලට යටින් පවතින්නේ වොෂින්ටනය සමඟ ඇති ප්‍රංශ අධිරාජ්‍යවාදී එදිරිවාදිකමයි.

රට තුල පුපුරන සුලු අර්බුදයක් මධ්‍යයේ මැක්‍රොන්ගේ ගමනට දේශීය මෙන්ම ගෝලීය මානයක් තිබුණි.  ඔහු වෘත්තීය සමිති නිලධරයන්ගේ හා ව්‍යාජ වාම කන්ඩායම්වල සේවය වර්ජනය අවසන් කිරීමට හා අවසානයේ කප්පාදුව පිලිගැනීමට කම්කරුවන්ට බලපෑම් කිරීමට යොදා ගැනීමට බලාපොරොත්තු වෙයි.  ඩි ගෝල් සහ ස්ටැලින්වාදී ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂය සමග ඔහුගේ සන්ධානය අගයන වෘත්තීය සමිති නිලධරය අතර සිටින ස්වෝත්තමවාදීන්ට ආයාචනා කරමින් ප්‍රංශ ජාතික ස්වයං පාලනය පිලිබඳ කරන වාචාල කතා, නිලධරයන් තුල ඔහුගේ සහයෝගය ඉහල නංවනු ඇතැයි මැක්‍රොන් නිසැකව ම බලාපොරොත්තු වේ.

සැලකිය යුතු ලෙසම, මැක්‍රොන්ගේ චීන සංචාරය සිදුවන්නේ ව්‍යාජ වාම ‘යටත් නොවන ප්‍රංශ පක්ෂයේ [Unsubmissive France party]’ නායක ජීන්-ලූක් මෙලන්කොන් [Jean-Luc Mélenchon] පසුගිය සරත් සමයේ එක්සත් ජනපද තායිවාන ප්‍රතිපත්තිය නැවත නැවතත් විවේචනය කර “එක් චීනයක්” ප්‍රතිපත්තියට සහාය දීමෙන් පසුවය.

කම්කරුවන් යුද්ධයට එරෙහි අරගලය මැක්‍රොන්ට සහ බීජිං හි චීන ස්ටැලින්වාදී තන්ත‍්‍රයට පැවරීම දේශපාලනිකව සියදිවි නසාගැනීමක් වනු ඇත.  මැක්‍රොන්, කම්කරු පන්තියේ මහා වැඩවර්ජනයක් මගින් පන්නා දැමිය යුතු, ප්‍රන්සයේ තවත් ඒකාධිපති පාලනයකට නායකත්වය දෙයිඔහුගේ බීජිං සංචාරය අවධාරනය කරන්නේ එවන් අරගලයක් සඳහා ඇමරිකාව, යුරෝපය, චීනය සහ ඉන් ඔබ්බට අධිරාජ්‍යවාදී යුද්ධයට හා ධනවාදයට එරෙහිව කම්කරුවන් එක්සත් කරමින් කම්කරු පන්තියේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම අවශ්‍ය වන බවයි. [අවධාරනය පරිවර්තකගෙනි]

#theSocialistLK #WSWS 

යුරෝපා හා එක්සත් ජනපද අන්තර්-අධිරාජ්‍යවාදී සීතල යුද්ධය මැක්‍රොන් සංඥා කරයි Read More »

තෙවන ලෝක යුද සූදානම ගැඹුරට: නෝටෝව රුසියාව වට කරද්දී, චීනයට එරෙහි ඇමරිකානු-නේටෝ ප්‍රමුඛ යුද පෙරමුණ තර කෙරේ

Weekly Political Report | සතියේ දේශපාලන වාර්තාව 

සංජය ජයසේකර විසින් සම්පාදනය කෙරුනි

Image
අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන් සමඟ 2023 මාර්තු 13 වන දින සැන් ඩියාගෝ හි පොයින්ට් ලෝමා නාවික කඳවුරේදී.  [AP ඡායාරූපය/Evan Vucci]

ජෝ බයිඩන් තන්ත්‍රය හා නේටෝව රුසියාවට එරෙහිව යුක්‍රේනය බලල් අතක් කරගෙන ගෙනයන ප්‍රකෝපකාරී යුද්ධයේ ගැඹුරු ඇඟවුම් පසුගිය වාර්තාවල අප සලකා බැලීමු. මෙම යුද්ධයේදී රුසියාවේ මිලිටරි ශක්තිය ක්ෂීන වීම හා යුක්‍රේනයේ මිලිටරි ‘ජයග්‍රහන’ පිලිබඳ වාර්තා බුරුතු පිටින් බටහිර මාධ්‍ය පල කරනු ලැබිනි.  එහෙත් පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ මහජනයාට හෙලිදරව් කරනු ලැබූ පෙන්ටගනයේ විඛේතනය කරන ලද රහස් මිලිටරි ලේකන දුසිම් ගනනාවකින් හෙලිදරව් කරනු ලැබ ඇත්තේ සමස්ථ යුද ප්‍රචාරනයම මහජනයා නොමඟ යැවීම අරමුනු කරගත් බොරු බවයි.  

මේ අතර, තායිවානයේ ජනාධිපතිනය එක්සත් ජනපදයේ සංචාරයෙන් ප්‍රකෝපකරනය කරනු ලැබූ චීනය මිලිටරි අභ්‍යාස උත්සන්න කන විට  චීනයේ සංචාරය කල ප්‍රංස ජනාධිපති මැක්‍රොන් තායිවානය සම්බන්ධ ඇමරිකානු ප්‍රතිපත්ති විවේචනය කලේ ය. ඔස්ට්‍රේලියා, එක්සත් ජනපද හා ඇමරිකානු AUKUS මිලිරි සබ්මැරීන ගිවිසුම චීනය සමග යුද්ධයකට සූදානම් වීමට බව ඇමරිකානු නාවික ලේකම් පිලිගන්නා අතර, ඕස්ට්‍රේලියානු ආරක්ෂක ලේකම් නවසීලන්තයබලා ගියේ චීනයට එරෙහි සංධානය ශක්තිමත් කිරීමට යි. ඇමරිකානු මන්ත්‍රී මන්ඩලයේ කතානායක කෙවින් මැකාති තායිවානයට කරනු ලබන යුධඋපකරන වෙලඳාම වේගවත් කරන ලෙස අවධාරනය කලේය. ඕස්ට්‍රේලියානු පාර්ලිමේනතු වාර්තාවක් යුද්ධය සඳහා වියඳම් වැඩි කිරීමට නිර්දේශ කලේය. 

ලෝක යුද තත්වය කෙරෙහි තවත් වැදගත් වර්ධනයක් වූයේ පින්ලන්තයේ නව පාලනය යටතේ රුසියානු දේශ සීමාවෙන් විශාල කලාපයක් නේටෝ හමුදාවේ අධීක්ෂනයට නතු කරමින් පින්ලන්තයට නේටෝ සාමාජිකත්වය ලබා දීමයි. තුර්කිය මෙයට සහාය පලකර තිබේ. 

යුක්රේන යුද්ධයෙන් දැනටමත් සිය දහස් ගණන් ජනයා ජීවිතක්ෂයට පත්ව සිටියද, එක්සත් ජනපදය, සමස්ත යුරෝපයට සහ සමස්ත මානව වර්ගයාටම ව්‍යසනයක තර්ජනය කරමින්, ගැටුම දැවැන්ත ලෙස ව්‍යාප්ත කිරීමට නැඹුරු වී ඇත.  මේ යුද්ධය නැවැත්විය යුතුයි.  කම්කරු පන්තියේ වැඩෙන අරගල වෙත නැඹුරු වූ ද සමාජවාදී වැඩපිලිවෙලකින් සන්නද්ධ වූ ද යුද්ධයට එරෙහිව මහජන ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීම හදිසි අවශ්‍යතාවයකි.

මෙම දේශපාලන වාර්ථාව  ද වර්ධනය වන ලෝක යුද්ධ අන්තරාය පිලිබඳව අවධානය යොමු කරන අතර, වාර්තාව සැකසීමේ දී ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපි ප්‍රධාන වශයෙන් පාදක කර ගන්නා ලදී. මෙම වාර්තාව පසුගිය දේ්ශපාලන වාර්තා සමඟ සැබැඳෙන අතර මේ දක්වා වූ ප්‍රධාන වර්ධනයන් සලකනු ලැබ ඇත. 

පෙන්ටගන් යුධ ලේඛන හෙලිදරව් කරන්නේ කුමක් ද ?

යුක්‍රේන හමුදාව කුලී හේවා ප්‍රොක්සි බලකායක් ලෙස සේවය කරන යුද්ධයේ ප්‍රධාන ගාමක බලවේගය එක්සත් ජනපදය හා නේටෝව බව කාන්දු වූ ලේඛන පැහැදිලි කරයි.  නේටෝව යුක්රේනයට හමුදා භටයින් 150 කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බව ඒවා පෙන්වා දෙන අතර නේටෝව විසින් යුක්රේන හමුදාවට අරමුදල්, ආයුධ, දුම්රිය සහ සෘජුවම අණ දෙන මට්ටම පෙන්නුම් කරයි.

යුක්‍රේන දේශපාලන පද්ධතිය පැහැරගෙන සිය දහස් ගනනක් රුසියානු සහ යුක්‍රේන ජීවිත හානි වලට තුඩු දුන් විනාශකාරී යුද්ධයක් සඳහා එහි ජනගහනය තුවක්කු උන්ඩ බවට පත් කිරීමට ඩොලර් බිලියන ගනන් වියදම් කර ඇති නේටෝව යුද්ධයේ නිර්මාපකයා බව ලේඛන සනාථ කරයි.

නේටෝව යුද්ධයට සම්බන්ධ නැත යන බයිඩන් පරිපාලනයේ බොරුව ක්‍රමානුකූලව ප්‍රවර්ධනය කර ඇති එක්සත් ජනපද මාධ්‍ය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රචාරක හස්තය මිස අන් කිසිවක් නොවන බව ලේඛන හෙලිදරව් කර ඇත.

2022 මැයි මාසයේදී ධවල මන්දිර ප්‍රකාශක ජෙන් සාකිගෙන් යුක්රේනයේ යුද්ධය “නේටෝ ප්‍රොක්සි යුද්ධයක්”දැයි විමසන ලදී.  සාකි පිළිතුරු දෙමින්, “මේ ගැන රුසියානු තර්කය එය බව මම දනිමි, නමුත් එය ප්‍රොක්සි යුද්ධයක් නොවේ… මෙය රුසියාව සහ යුක්රේනය අතර යුද්ධයකි.  නේටෝව සම්බන්ධ නැහැ.”

කාන්දු වී තිබෙන ලේකන පහත කරුනු හෙලිදරව් කරන්නේ මෙම තොරතුරු කිසිවක් ඇමරිකාන ආන්ඩුව හෝ නිවයෝක් ටයිම්ස් ප්‍රමුඛඛ මාධ්‍ය හෙලිදරව් කර හෝ පිලිගෙන නැති තත්වයක් යටතේ ය:

  • නේටෝ විශේෂ මෙහෙයුම් භටයන් 97ක් දැනට යුක්රේනය තුළ යොදවා ඇත.
  •  එක්සත් ජනපද හමුදා සාමාජිකයින් 71 ක් ඇතුළුව එක්සත් ජන.පද භටයින් 100 ක් යුක්රේනය තුළ යොදවා ඇත.
  •  එක්සත් ජනපද හමුදාව යුක්‍රේන හමුදා පුහුණුව, යුරෝපයේ නේටෝ යෙදවීම් සහ යුක්‍රේනය තුල එක්සත් ජනපද හමුදා යෙදවීම් අන්තර් ක්‍රියාකාරී ලෙස දකින අතර, ඒ සියල්ල තනි පිටුවක වාර්තා කරයි.
  •  එක්සත් ජනපදය විසින් ක්‍රිමියාව රුසියාව විසින් අත්පත් කරගෙන සිටින යුක්‍රේන භූමියෙන් කපා දැමීමේ අරමුණින් සැලසුම් කරන ලද ප්‍රහාරක මෙහෙයුමක් සඳහා සවිස්තරාත්මක සිතියම් සකස් කර ඇති අතර, මැයි මස මැද භාගයේ ආරම්භ වන ප්‍රහාරය සඳහා “හිතකර” කොන්දේසි ඇත.
  • එක්සත් ජනපදය සහ එහි නේටෝ සහචරයින් මෙම ප්‍රහාරයේ කොටසක් ලෙස සටනට ඇද දැමීමට නියමිත හමුදාවන්ගෙන් හතරෙන් තුනක් පුහුණු කිරීම, අරමුදල් සැපයීම සහ සන්නද්ධ කිරීම සිදු කරයි.  එක් ලේඛනයක් ප්‍රකාශ කරන්නේ “වසන්තයේ ප්‍රතිප්‍රහාර සඳහා විශ්වාස කළ හැකි යුධ [බ්‍රිගේඩ] 12ක් උත්පාදනය කළ හැකි බවයි: යුක්රේනය විසින් ජාත්‍යන්තර වශයෙන් 3ක්, සහ එක්සත් ජනපදය, ‘මිත්‍ර පාක්ෂික සහ හවුල්කාර’ කඳවුර විසින් පුහුණුකරනු ලැබූ  සහ සන්නද්ධකරනු ලැබූ 9ක්”.

පෙබරවාරි 2දා, එක්සත් ජනපද නිලධාරීන් උපුටා දක්වමින්, නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කලේ, “යුක්රේනයේ මියගිය සහ තුවාල ලැබූ රුසියානු හමුදා සංඛ්‍යාව 200,000 ට ආසන්න වෙමින් පවතී”යනුවෙනි.  ඊට වෙනස්ව, අභ්‍යන්තර ලේඛන පෙන්වා දුන්නේ සටනේ දී මියගිය රුසියානු සොල්දාදුවන් ගණන 35,000 ත් 43,000 ත් අතර සංඛ්‍යාවකි

යුක්‍රේනය නේටෝ සන්ධානයට ගෙන ඒමේ උත්සාහයන් යුක්‍රේන ජනතාවට ව්‍යසනකාරී ප්‍රතිවිපාක සමග රුසියාවෙන් මිලිටරි ප්‍රතිචාරයක් අවුලුවාලන බව එක්සත් ජනපදය හොඳින්ම දැන සිටි බව ලේඛන පෙන්නුම් කරයි.

ලේඛනවල අනෙකුත් කොටස්, ලොව පුරා සිටින එහි “මිතුරන් සහ හවුල්කරුවන්” පිළිබඳ එක්සත් ජනපදය ඔත්තු බැලීමේ තරම හෙළි කරයි.

මෙම හෙළිදරව් කිරීම් උද්දීපනය කරනවා වෙනුවට, මාධ්‍ය අවධානය යොමු කර ඇත්තේ ලේඛන කාන්දුවේ මූලාශ්‍රය යැයි කියනු ලබන ඒවා හඹා යාමට පෙන්ටගනය දරන උත්සාහයන් සොයා බැලීමයි 

සමස්ත එක්සත් ජනපද මාධ්‍ය ක්‍රමානුකූල ස්වයං-වාරණයක නිරත වී ඇත.  නීතිවිරෝධී සහ ප්‍රකාශ නොකළ යුද්ධයක් දියත් කිරීමේදී බයිඩෙන් පරිපාලනය විසින් දැවැන්ත බොරු කීම සහ සාපරාධී බව පෙන්නුම් කළත්, ඔවුන් ලේඛන හෝ ඒවායේ උද්ධෘත පවා ප්‍රකාශයට පත් කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

එක්සත් ජනපදය ගැටුමට වඩා ගැඹුරු මැදිහත්වීමක් සූදානම් කරමින් සිටින විටය මේ ලේඛන කාන්දු වූ⁣යේ.  ලේඛනවල දක්වා ඇති වසන්ත ප්‍රහාරයක් සඳහා සැලසුම් ක්‍රියාවට නැංවුවත් නැතත්, එක්සත් ජනපදය හා නේටෝව, ෆින්ලන්තය සන්ධානයට ඇතුල් වීමෙන් පසු රුසියාවට මායිම්ව ඇති නේටෝ රාජ්‍යයන් වෙත දැවැන්ත හමුදාවන් යෙදවීමට සැලසුම් කරමින් සිටිති.

අවසාන වශයෙන්, යුද්ධය පිලිබඳ ආන්ඩුව සහ මාධ්‍ය විසින් ක්‍රමානුකූලව කරන බොරුවල අරමුන වන්නේ, ලේ වැගිරීමකට ඇද දැමෙනු ලැබෙමින් සිටින “ගෙදර සිටින සතුරා”, එනම් කම්කරු පන්තිය නොමග යැවීමයි.

මෙම ලේඛන පෙන්නුම් කරන්නේ රුසියාවට එරෙහි එක්සත් ජනපද යුද්ධයක් මුලුමනින්ම මහජනයාට හොරෙන් ආරම්භ කර ඇති බවයි.  පැහැදිලි නිගමනය නම්, නේටෝ හමුදා සෘජුවම යුක්‍රේනයට යැවීමට අවශ්‍ය බව එක්සත් ජනපදය තීරණය කරන්නේ නම්, එය මෙතෙක් යොදවා ඇති ක්‍රම භාවිතා කරමින් එය සිදු කරනු ඇත: එනම්, ක්‍රමානුකූලව මාධ්‍ය හැසිරවීම හා ඒ හරහා ගෙන යන බොරුවල ව්‍යාපාරයක් මගිනි.

රුසියාව වටකිරීමට ෆින්ලන්තය නෙටෝවට ඈදා ගැනේ  

අප්‍රේල් මස මුලදී, යෝජනාව අනුමත කිරීමට අවශ්‍ය නේටෝවේ අවසාන සාමාජිකයා වූ තුර්කි පාර්ලිමේන්තුව විසින් එකදු විරෝධී ඡන්දයකින්වත් තොරව අනුමත කිරීම kසම්මත කිරීමෙන් පසුව, ෆින්ලන්තය  එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ හමුදා සන්ධානයේ 31 වැනි සාමාජිකයා බවට පත්විය.

රුසියාවට එරෙහිව එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ බලවතුන් විසින් තීව්‍ර කෙරෙන යුද්ධය මධ්‍යයේ මෙම පියවර, නේටෝවේ දශක ගනනාවක් තිස්සේ ආක්‍රමණශීලී නැගෙනහිර දෙසට ව්‍යාප්ත කිරීමේ කොටසකි.  එය රුසියාව සමඟ යුද්ධයක දී සමස්ත නෝර්ඩික් කලාපයම විභව යුධ පිටියක් බවට පත් කරන අතර න්‍යෂ්ටිකව සන්නද්ධ බලවතුන් අතර ලෝක යුද්ධයක අන්තරාය වැඩි කරයි.

ෆින්ලන්තය ඇතුළත් කිරීමින් නේටෝව තවදුරටත් ව්‍යාප්ත කිරීම, විශාලතම න්‍යෂ්ටික සන්නද්ධ බලවතුන් දෙදෙනා වන එක්සත් ජනපදය හා රුසියාව අතර සෘජු යුද්ධයක තර්ජනය නව තලයකට ඔසවා තබයි.  ෆින්ලන්තයේ කිලෝමීටර් 1,300ක දේශසීමාව දැන් රුසියාව අර්ධ යටත් විජිතයක තත්ත්වයට යටත් කර එහි ස්වභාවික සම්පත්වල පාලනය අල්ලා ගැනීමේ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ යුද්ධයේ පෙරමුණේ කොටසකි.

ආක්‍රමණශීලී මිලිටරි සන්ධානයට රට සීඝ්‍රයෙන් ප්‍රවේශ වීම සිදුවූයේ, අන්ත දක්ෂිනාංශික ෆින්ස් පක්ෂය සමග විභව සභාග ආන්ඩුවකට වේදිකාව සකසමින්, අප්‍රේල් 2 වැනිදා පැවති මහා මැතිවරනයේ දී දක්ෂිනාංශික ජාතික සභාග පක්ෂය (National Coalition Party) ජයග්‍රහණය කර දින දෙකකට පසුවය.  නව ජනාධිපති Sauli Niinistö පැවසුවේ, “අපේ ඉතිහාසයේ හමුදා නොබැඳි යුගය අවසන් වී ඇත.  නව යුගයක් ආරම්භ වේ,” යනුවෙන් ය.

ෆින්ලන්තයේ නේටෝ ප්‍රවේශය, පසුගියදා පැවති මහ මැතිවරනයේදී පරාජයට පත් වූ, ඉවත්ව යන සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයෙන් යුත් සභාග ආන්ඩුවේ යුද ගැති උරුමයේ කූටප්‍රාප්තිය විය. මැතිවරණයේ ප්‍රධාන ජයග්‍රාහකයින් වූයේ කොන්සර්වේටිව් ජාතික සභාග පක්ෂයයි.

හිටපු අගමැතිනි සනා මාරින්ගේ යුද ගැති වැඩපිලිවෙලට ඇයගේ ආන්ඩුවේ විදේශ ඇමති තනතුර දැරූ හරිතයන් සහ ෆින්ලන්ත කොමියුනිස්ට් පක්ෂයේ අනුප්‍රාප්තික සංවිධානය වන වාම සන්ධානය විසින් සහාය දක්වන ලදී.

ප්‍රධාන කම්කරු පන්තික අරගලවල ඇඟිලි ගැසීම්වලින් තොරව ඡන්දය ඉදිරියට යන බව සහතික කර ගනිමින් දක්ෂිණාංශික පක්ෂවලට ජයග්‍රාහී ලෙස මැතිවරනයෙන් මතුවීමට කොන්දේසි නිර්මානය කිරීමට ෆින්ලන්ත වෘත්තීය සමිති ද ප්‍රමුඛ විය.  මෑත මාස කිහිපය පුරා, උද්ධමනය විසින් මෙහෙයවනු ලබන විවිධ කම්කරුවන්ගේ සටන්කාමී වැඩ වර්ජන පුපුරා ගොස් ඇත.  කෙසේ වෙතත්, සියලු අරගල සාමූහික කේවල් කිරීමේ ක්‍රමයේ රාමුව තුළ යටපත් කර එකිනෙකින් වෙන්ව තබා ගන්නා ලදී.

ෆින්ලන්තයේ ප්‍රවේශය යුක්රේනයේ වසන්ත කාලයේ ප්‍රහාරයක් සඳහා වන එක්සත් ජනපද සැලසුම් සමඟ සමීපව බැඳී ඇති අතර, එය රුසියානු දේශසීමාවේ ප්‍රධාන මිලිටරි ගොඩ නැගීමක් සමඟින් සිදුවනු ඇත.

නේටෝ රාජ්‍ය පහක් දැනට රුසියාවට මායිම් වේ: එස්තෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව, පෝලන්තය සහ නෝර්වේ.  ෆින්ලන්තය එක් වූ පසු නේටෝ දේශ සීමාව දෙගුණයක් වනු ඇත.  යුරෝපයේ රාජ්‍යයන් අතරින් රුසියාව සමඟ විශාලතම ගොඩබිම් මායිම, සැතපුම් 830 ක දුරක්, ෆින්ලන්තය සතුව ඇත.

ෆින්ලන්ත දේශ සීමාව රුසියාවේ වැදගත්ම ආර්ථික හා දේශපාලන මධ්‍යස්ථානයක් වන ශාන්ත පීටර්ස්බර්ග් සිට සැතපුම් 100 ක් දුරින් පිහිටා ඇත.  ෆින්ලන්තය රුසියාව විසින් භාවිතා කරන වැදගත් මුහුදු සන්නිවේදන මංතීරු පාලනය කරන අතර එය බෝල්ටික් මුහුදේ සහ ආක්ටික් ප්‍රදේශයේ ආධිපත්‍යය සඳහා පොරබැදීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.

රුසියාව සමඟ නේටෝවේ පුළුල් කළ ගොඩබිම් දේශසීමාව දැවැන්ත ලෙස මිලිටරීකරනය වෙමින් පවතී.  මාර්තු 18දා Politico වාර්තා කලේ, “ඉදිරි මාසවලදී, සන්ධානය සන්ධානයේ නැගෙනහිර මායිමේ ආයුධ ගබඩා කිරීමේ ප්‍රයත්නයන් වේගවත් කරන අතර කෙටි දැනුම්දීමකින් මිත්‍ර පාක්ෂිකයින්ගේ ආධාර සඳහා මැදිහත් විය හැකි දස දහස් ගනනක් හමුදා පිහිටවනු ඇත.”

නේටෝවේ “නැගෙනහිර බලඇනිය” වැඩි වැඩියෙන් ෆින්ලන්තයේ සිට යුක්රේනය දක්වා විහිදී ගිය දෙවන ලෝක සංග්‍රාමයේ නැගෙනහිර පෙරමුණේ යුධ රේඛාවලට සමාන වේ.  දෙවන ලෝක සංග්‍රාමයේදී නාසි ජර්මනියේ ප්‍රධාන මිතුරෙකු වූ අතර, දැන් ශාන්ත පීටර්ස්බර්ග් වන ලෙනින්ග්‍රෑඩ් වටලෑම ඇතුළුව සෝවියට් සංගමයට එරෙහි සමූලඝාතන යුද්ධයේදී තීරනාත්මක කාර්යභාරයක් ඉටු කළ බැවින්, ෆින්ලන්තය නේටෝ සන්ධානයට ඇතුළත් කිරීමේ පියවරට දැවැන්ත ඓතිහාසික වැදගත්කමක් ඇත. .

නේටෝව තවදුරටත් පුලුල් කිරීමේ පියවර බයිඩෙන් පරිපාලනය සහ මාධ්‍ය විසින් “ප්‍රකෝප නොකළ යුද්ධයක්” පිලිබඳ ප්‍රවර්ධනය කරන ලද සියලුම ප්‍රකාශයන් ද යටපත් කර ඇත.  ධවල මන්දිරයේ ගොතනලද ආඛ්‍යානයට අනුව, යුක්‍රේනයේ යුද්ධය 2022 පෙබරවාරි මාසයේදී තනි මිනිසෙකු (රුසියානු ජනාධිපති පුටින්) විසින් දියත් කරන ලද “තෝරාගත් යුද්ධයකි”. 

එහෙත් එක්සත් ජනපදය/නේටෝව සහ රුසියාව අතර ගැටුම යුක්‍රේන දේශසීමාව සම්බන්ධයෙන් පුපුරා ගිය අතර, එය ඇත්ත වශයෙන්ම, චීනය සමඟ ගැටුමක් සූදානම් කිරීම සඳහාවන කොටසක් වශයෙන්, රුසියාව වටකර, දුර්වල කිරීමට සහ අවසානයේ කපා කොටා කඩා බිඳ දැමීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් ගෙන යන දශක ගනනාවක නැගෙනහිර දසට කෙරෙන ප්‍රකෝපකාරී ව්‍යාප්තකරනයක ප්‍රතිපලයකි.  

රුසියාවට එරෙහිව එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ බලවතුන් විසින් තීව්‍ර කෙරෙන යුද්ධය මධ්‍යයේ මෙම පියවර, සමස්ත නෝර්ඩික් කලාපයම විභව යුධ පිටියක් බවට පත් කරන අතර න්‍යෂ්ටික සන්නද්ධ බලවතුන් අතර ලෝක යුද්ධයක අන්තරාය වැඩි කරයි.

සෝවියට් සංගමය විසුරුවා හැරීම මධ්‍යයේ සහ ඉන් පසුව, එක්සත් ජනපදය නැගෙනහිර යුරෝපීය රාජ්‍යයන් නේටෝවට ඇතුළත් කිරීම සක්‍රීයව ක්‍රියාත්මක කළ අතර, රට අස්ථාවරත්වය ඇති කිරීමට සහ රට ඛණ්ඩනය කිරීමට රුසියාව තුළ ජාතිකවාදී ව්‍යාපාරවලට ඉන්ධන සපයයි.

1990 සිට, රටවල් 13ක් නේටෝවට සම්බන්ධ වී ඇති අතර, එහි සාමාජිකත්වය ඵලදායී ලෙස දෙගුණ කරයි.  එම කාලය තුළ නේටෝ දේශ සීමාව සැතපුම් 800 ක් නැගෙනහිර දෙසට ගෙන ගොස් ඇත.

1998 දී, එක්සත් ජනපද සෙනෙට් සභාව පෝලන්තය, හංගේරියාව සහ චෙක් ජනරජය අන්තර්ග්‍රහනය කර නේටෝව ව්‍යාප්ත කිරීමට පක්ෂව ඡන්දය දුන්නේය.  “ඇත්ත වශයෙන්ම, මෙය තවත් වසර 50ක සාමයේ ආරම්භයයි,” එවකට සෙනෙට් සභික වූ  බයිඩන් පැවසීය.  2001 ජූනි 15දා, පෝලන්තයේ වෝර්සෝ හි පැවති දේශනයකදී එක්සත් ජනපද ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්, “බෝල්ටික් සිට කළු මුහුද දක්වා” විහිදෙන රටවල වළල්ලක් නිර්මාණය කිරීම සඳහා ඔහුගේ “නේටෝව විශාල කිරීමේ සැලැස්ම” ප්‍රකාශ කළේය.

2004 දී නේටෝව තවත් රටවල් හතක් එකතු කරමින් නැවතත් පුළුල් විය: එස්තෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව, ස්ලෝවැකියාව, ස්ලෝවේනියාව, බල්ගේරියාව සහ රුමේනියාව එම රටවල් වේ. මෙම නැගෙනහිර යුරෝපීය රටවල් සියල්ලම සීතල යුද්ධයේදී සෝවියට් සංගමයේ කොටසක් හෝ එහි පරිවාර රාජ්‍යයන් විය.

ක්‍රොඒෂියාව සහ ඇල්බේනියාව 2009 දී නේටෝවට සම්බන්ධ විය.  මොන්ටිනිග්‍රෝව 2017 දී එක් වූ අතර උතුරු මැසිඩෝනියාව 2020 දී එක් විය.

යුක්රේනය නේටෝවේ සාමාජිකයෙකු බවට පත් නොවන බවට රුසියාව සහතිකයක් ඉල්ලා සිටීම පිලිබඳව සාකච්ඡා කිරීම බයිඩෙන් පරිපාලනය ප්‍රතික්ෂේප කිරීම මගින් යුක්රේනයට එරෙහි යුද්ධයම උසිගන්වන ලදී.  ආක්‍රමණය, අධිරාජ්‍යවාදී වටලෑමට ප්‍රතිචාරයක් ලෙස රුසියානු කතිපයාධිකාරයේ කන්ඩායමක් නියෝජනය කරන පුටින් ආන්ඩුව දැක්වූ ප්‍රතිගාමී සහ අදූරදර්ශී ප්‍රතිචාරයයි.

1997 දී, ක්ලින්ටන් පරිපාලනය චෙක් ජනරජය, හංගේරියාව සහ පෝලන්තය නේටෝවට ඇතුළත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරමින් සිටියදී, සීතල යුද්ධයේ මූලෝපායඥයා සහ “පාලනය කිරීම” පිළිබඳ න්‍යායේ කර්තෘ ජෝර්ජ් එෆ්. කෙනන් “එය කෙසේ හෝ සිදු වී ඇති බව” පිළිගත්තේය.  රුසියාවේ දේශසීමා දක්වා නේටෝව ව්‍යාප්ත කිරීමට කොතැනක දී හෝ තීරණය ගෙන තිබේ.  “නේටෝව පුලුල් කිරීම සමස්ත පශ්චාත් සීතල යුධ යුගයේ ඇමරිකානු ප්‍රතිපත්තියේ වඩාත්ම දෛවෝපගත වැරැද්ද වනු ඇති” බවට ඔහු අනතුරු ඇඟවීය.

ඉනික්බිති දශක දෙකක කාලය තුල, සමස්ත එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය සහ මාධ්‍ය නේටෝවේ ව්‍යාප්තිය සහ රුසියාව සමග ගැටුමක් අවුලුවාලීමේ උත්සාහයන් වැලඳගෙන ඇත.  නේටෝවේ ව්‍යාප්තියට එරෙහි ඕනෑම විරුද්ධත්වයක් “රුසියානු ප්‍රචාරකයක්” බව ප්‍රකාශ කිරීමත් මෙම යුද උණ රෝගය සමඟ සමපාත විය.

තුර්කි ව්‍යාජ වමේ සහාය ආන්ඩුවට:

එලඹෙන මැයි 14 ජනාධිපතිවරනය සහ පාර්ලිමේන්තු මැතිවරනයට පෙර, තුර්කි ජනාධිපති අර්ඩොගන් (Recep Tayyip Erdoğan)  ෆින්ලන්තයේ NATO සාමාජිකත්වය අනුමත කිරීම ඔහුගේ NATO සහචරයින්ට සංඥාවක් විය.  “ෆින්ලන්තය සම්බන්ධයෙන් ගත් තීරණය, ‘තුර්කිය සන්ධානයේ ව්‍යාප්තියට බාධාවක්’ බවට බටහිර රටවල, විශේෂයෙන් එක්සත් ජනපදයේ වැඩෙන විවේචනවලට එරෙහිව පියවරකි,” යි BBC හි Türkçe ලිවීය. මෙම පියවර  “අපි නේටෝවට කැපවී සිටිමු” යි යන පණිවිඩයක් යවන ලදී.

ෆින්ලන්තයේ නේටෝ සාමාජිකත්වය අනුමත කරන ප්‍රොටෝකෝලය ඡන්දයට සහභාගී වන සියලුම පක්ෂවල ඡන්දයෙන් සම්මත විය. පාලක යුක්තිය සහ සංවර්ධන පක්ෂය (AKP) සහ එහි සගයා වන ෆැසිස්ට් ජාතික ව්‍යාපාර පක්ෂය (MHP) මෙන්ම කෙමාලිස්ට් රිපබ්ලිකන් ජනතා පක්ෂය (CHP) සහ ධනේශ්වර විරුද්ධ ජාතික සන්ධානයට නායකත්වය දෙන අන්ත දක්ෂිනාංශික “හොඳ පක්ෂය” (Good Party) සියල්ලෝම පක්ෂව ඡන්දය දුන්හ.

එර්ඩොගාන්ට “විකල්පයක්” ලෙස දක්වමින් ව්‍යාජ-වාම පක්ෂ සහාය දෙන CHP, ෆින්ලන්තයේ නේටෝ සාමාජිකත්වයට උද්‍යෝගයෙන් සහයෝගය දැක්වීය.  2022 පෙබරවාරියේ රොයිටර් පුවත් සේවයට කතා කරමින්, CHP නායක Kılıçdaroğlu අධිරාජ්‍යවාදී යුද සන්ධානයක් වන නේටෝව “ප්‍රජාතන්ත්‍රවාදයේ සහතිකයක්” ලෙස වර්ණනා කළේය.

ව්‍යාජ වාම පක්ෂ CHP හි විවෘත නේටෝ ගැති ආස්ථානය නොතකා, එයට දෙන සහාය, අධිරාජ්‍යවාදයට ඔවුන්ගේ සහයෝගය හෙලිදරව් කරයි.

ෆින්ලන්තයේ නාසි සහයෝගීත්වයේ වාර්තාව:

1917 ඔක්තෝබර් විප්ලවයෙන් ටික කලකට පසු බොල්ෂෙවික්වරුන් විසින් ප්‍රදානය කරන ලද නිදහසින් පසු දශක කිහිපය තුළ ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් සම්බන්ධයෙන් ෆින්ලන්තය තමන් දැරූ ආස්ථානය වෙත නැවත පැමිණෙමින් සිටී. සෝවියට් සංගමයට එරෙහි හිට්ලර්ගේ සමූලඝාතන යුද්ධයේ කොටසක් ලෙස දෙවන ලෝක සංග්‍රාමයේදී නාසි ජර්මනිය සමඟ සන්ධානයක් පිහිටුවීමට පෙර, ෆින්ලන්තය මුලින්ම සේවය කළේ  සිවිල් යුද්ධයේදී ප්‍රතිවිප්ලවවාදී සුදු ජාතිකයින්ගේ  මෙහෙයුම් වල ප්‍රධාන යුද කඳවුරක් ලෙසය.  ෆින්ලන්තයේ මිලිටරි නොබැඳිකම (military nonalignment), නාසි හමුදා සමඟ එක්ව ෆින්ලන්ත හමුදා ආක්‍රමණය කිරීමට සහ ෆින්ලන්ත දේශසීමාවේ සිට කිලෝමීටර් 250ක් දුරින් පිහිටි ලෙනින්ග්‍රෑඩ්, එනම් දැන් ශාන්ත පීටර්ස්බර්ග්, වටලෑමට ඔවුන්ගේ සහභාගීත්වයට ප්‍රතිචාර වශයෙන් සෝවියට් සංගමය විසින් කරන ලද ඉල්ලීමකි.  1945 න් පසු සෝවියට් සංගමයට එරෙහිව මිලිටරි මෙහෙයුම් දියත් කිරීමට ජර්මානු හෝ ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් ෆින්ලන්තය භාවිතා කළ හැකි බවට ස්ටැලින්වාදී නිලධරයේ භීතිය විය.

නිනිස්ටේ (Niinistö) ද අසම්භාව්‍ය ප්‍රකාශයක් කළේය: “ෆින්ලන්තයේ සාමාජිකත්වය කිසිවකුට එරෙහිව ඉලක්ක කර නැත.  එය ෆින්ලන්තයේ විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්තියේ පදනම් හෝ අරමුණු වෙනස් නොකරයි.  ෆින්ලන්තය යනු ආරවුල් සාමකාමීව විසඳා ගැනීමට උත්සාහ කරන ස්ථාවර සහ පුරෝකථනය කළ හැකි නෝර්ඩික් රටකි.”

යථාර්තය නම්, ෆින්ලන්තය නේටෝවට ඇතුල් වීම, නෝර්ඩික් සහ බෝල්ටික් කලාපය පුරා දැවැන්ත මිලිටරි ගොඩ නැගීමක් සමග අත්වැල් බැඳගෙන තිබීමයි.  මාර්තු මාසයේදී, එක්සත් ජනපදය ප්‍රකෝපකාරී ලෙස න්‍යෂ්ටික බලය සහිත B-52 බෝම්බ හෙලන යානයක් ෆින්ලන්ත වෙරළට කිලෝමීටර් 40ක් ඔබ්බෙන් රුසියානු දූපතක් වන ගොග්ලන්ඩ් ආසන්නයට පියාසර කළේය.  නේටෝ හමුදා කලාපය තුළ ඔවුන්ගේ පැවැත්ම විශාල වශයෙන් පුළුල් කරනු ඇති අතර, එක්සත් ජනපදය ෆින්ලන්ත භූමියේ මිලිටරි මෙහෙයුම් සඳහා වැඩි ඉඩක් ලබා දීම සඳහා තමන්ගේම ද්විපාර්ශ්වික ආරක්ෂක ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරයි.  රට තුලට එන සංක්‍රමණිකයන්ගෙන් එල්ලවන “දෙමුහුන් යුද්ධ” පිලිබඳ  තර්ජනය උපුටා දක්වමින් හෙල්සින්කි රුසියාව සමග දේශසීමා වැටක් ඉදිකිරීමට ද පටන් ගෙන ඇත.  ස්වීඩනය නේටෝව තුලට ගෙන ඒමට ගෙනයමින් පවතින තල්ලුවෙන් අදහස් වනු ඇත්තේ රුසියාව මුලුමනින්ම මූලෝපායික වශයෙන් වැදගත් බෝල්ටික් මුහුදේ සතුරු විරුද්ධවාදීන් විසින් වට කර ඇති බවයි.

ෆින්ලන්තයේ නේටෝ ප්‍රවේශය, හිටපු අගමැති සන්නා මරින් විසින් නායකත්වය දෙන ලද පැවති සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සභාග ආන්ඩුවේ යුද ගැති උරුමයේ කූටප්‍රාප්තිය විය.  යුක්රේනයේ එක්සත් ජනපද-නේටෝ යුද්ධයට ඔවුන්ගේ සහයෝගය අවධාරනය කිරීමට මාරින් සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් මැතිවරන ව්‍යාපාරය යොදා ගත්හ.  ලොව ලාබාලතම අගමැතිවරියක ලෙස පුළුල් ලෙස ප්‍රශංසාවට ලක් වූ සහ සමලිංගික දෙමව්පියන් විසින් ඇය හදා වඩාගත් නිසා විවිධත්වයේ සංකේතයක් ලෙසින් ඔසවා තැබූ Marin, ෆින්ලන්තය අන්තයටම සන්නද්ධ කරමින් සහ එය නේටෝවට බද්ධ කිරීම සඳහා කටයුතු කරමින් කම්කරු පන්තියට ප්‍රහාර එල්ල කළ ආන්ඩුවකට නායකත්වය දුන්නාය. 

චීනයට එරෙහි ඇමරිකානු කඳවුරේ  යුද සැලසුම් තීව්‍ර කෙරේ

තායි ජනාධිපතිනියගේ ප්‍රකෝපකාරී ඇමරිකානු සංචාරය:

චීනය සමග හිතාමතාම ආතතීන් මතු කරන තවත් පියවරක් ලෙස, තායිවාන ජනාධිපති ට්සායි ඉන්ග්-වෙන් (Tsai Ing-wen) මාර්තු මස අවසානයේ නිව් යෝර්ක් හි ඇමරිකානු දේශපාලනඥයන් සහ නියෝජිතයින් සමඟ ඉහළ මට්ටමේ රැස්වීම් මාලාවක් පැවැත්වීය.

මෙම සංචාරය සම්බන්ධයෙන් චීනය කෝපයෙන් ප්‍රතිචාර දක්වා ඇත.  චීනයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශක Zhu Fenglian අනතුරු ඇඟවූයේ Tsai සභානායක McCarthy හමුවුවහොත් එය “එක් චීනයක්” මූලධර්මය බරපතල ලෙස උල්ලංඝනය කරන, චීනයේ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවයට හානි කරන සහ තායිවාන් සමුද්‍ර සන්ධිය කලාපයේ සාමය සහ ස්ථාවරත්වය විනාශ කරන තවත් ප්‍රකෝප කිරීමක් වනු ඇති බවයි. ”

ඇගේ රැස්වීම් මාධ්‍යයෙන් වසා තැබුනි. මාධ්‍ය වෙත කාන්දු වූ තොරතුරු පැහැදිලි කරන්නේ, චීනය සමඟ ආර්ථික හා මූලෝපායික ගැටුම උග්‍ර කරන විට ට්සායි එක්සත් ජනපදය සමග සබඳතා තහවුරු කරන බවයි.

‘එක් චීනයක්’ මූලධර්මය යටතේ, බීජිං තායිවානය සලකන්නේ චීනයේ අවියෝජනීය කොටසක් වනමුත් එය වෙතින් පලා යන පළාතක් ලෙස ය.  එය “එක් රටක්, ක්‍රම දෙකක්” පදනම මත සාමකාමී යලි එකමුතු කිරීම සඳහා කැඳවුම් කර ඇති නමුත්, තායිවාන ආන්ඩුව චීනයෙන් නිදහස නිල වශයෙන් ප්‍රකාශ කළහොත් එය බලහත්කාරයෙන් දිවයින ඈඳාගනු ඇති බවට දිගු කලක් තිස්සේ අනතුරු අඟවා ඇත.

බයිඩන් පරිපාලනය ප්‍රතිචාර දැක්වූයේ චීනයේ උත්සුකයන් බැහැර කිරීමෙනි.  ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි වාර්තාකරුවන්ට පැවසුවේ ට්සායිගේ සංචාරය ඇය සහ පෙර තායිවාන ජනාධිපතිවරුන් කළ දේට අනුකූල බවයි.  ඇගේ “සංක්‍රමණය”[සංචාරය] තායිවානය සමඟ අපගේ දිගුකාලීන නිල නොවන සබඳතාවයට අනුකූල වන අතර එක්සත් ජනපදයේ ඒක-චීන ප්‍රතිපත්තියට අනුකූල වේ, එය නොවෙනස්ව පවතී,” ඔහු පැවසුවේය. “චීනය තායිවාන් සමුද්‍ර සන්ධිය වටා යම් ආක්‍රමණශීලී ක්‍රියාකාරකමක් වේගවත් කිරීමට කඩතුරාවක් ලෙස එය භාවිතා කිරීම” ට එරෙහිව ඔහු චීනයට අනතුරු අඟවීය.

යථාර්ථය නම්, තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා ආතතීන් අවුළුවන්නේ, චීනය සමග යුද්ධය සඳහා එහි සැලසුම් වේගවත් කරන එක්සත් ජනපද අධිරාජ්‍යවාදයයි.  ට්‍රම්ප් සහ දැන් බිඩෙන් යටතේ, වොෂින්ටනය 1979 දී බීජිං සහ වොෂින්ටනය අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමට තුඩු දුන් සියුම් සමතුලිත හැසිරීම මූලික වශයෙන් වෙනස් කර ඇත.

එම අවස්ථාවේ දී, චීනය තායිවානය තම භූමියේ කොටසක් ලෙස සලකන බව එක්සත් ජනපදය පිළිගත් නමුත් බීජිං හි ස්ථාවරය නිල වශයෙන් අනුමත නොකළේය.  කෙසේ වෙතත්, එහි ක්‍රියාවන් ප්‍රායෝගිකව වැළඳ ගත්තේ One China මූලධර්මයයි: වොෂින්ටනය විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා කපා හැර තායිපේ සමග එහි මිලිටරි සන්ධානය අවසන් කර එක්සත් ජනපද හමුදා දිවයිනෙන් ඉවත් කර ගත්තේය.

දශක ගනනාවක් තිස්සේ, තායිවානයට ආරක්ෂක අවි අලෙවි කරන අතරතුර, ගැටුම් ඇති වූ විටක චීනයට එරෙහිව යුද්ධ කිරීමට එක්සත් ජනපදය පැහැදිලි ලෙස කැපවීම ප්‍රතික්ෂේප කළේය.  එය තායිවානයේ  අර්ධ තානාපති කාර්යාලයක් ලෙස ක්‍රියාත්මක වන ඇමරිකානු ආයතනය හරහා තායිපේ සමඟ පහත් නිල නොවන සම්බන්ධතා පවත්වා ගෙන ගියේය.  ට්‍රම්ප් සහ බිඩෙන් යටතේ මෙම රාජ්‍යතාන්ත්‍රික ප්‍රොටෝකෝල ඉරා දමා ඇත.

1995 ජූනි මාසයේදී තායිවානයේ එවකට ජනාධිපති ලී ටෙන්ග්-හුයි විසින් එක්සත් ජනපදයේ කල සංචාරයට, එනම් “තෙවන තායිවාන සමුඳු සංධීය අර්බුදය” සමඟ ට්සායිගේ සංචාරය සසැඳිය හැකිය.

නිව් යෝර්ක් වෙත පැමිණීමෙන් පසු, මාර්තු 30 වන දින, දක්ෂිණාංශික චින්තන පර්ශදයක් වන හඩ්සන් ආයතනය විසින් සංවිධානය කරන ලද රැස්වීමක දී සායි දේශනයක් පැවැත්වූ අතර, ට්සායි ප්‍රකාශ කළේ “තායිවානය ආරක්ෂා කිරීම ඇත්ත වශයෙන්ම ඇමරිකාවේ ආරක්ෂාවයි” යනුවෙනි.  වෙනත් වචන වලින් කිවහොත්, තායිවානය සම්බන්ධයෙන් චීනය සමග යුද්ධයකක් කිරීමට එක්සත් ජනපදය පැහැදිලි ලෙස කැපවිය යුතුය.

2022 අගෝස්තු මාසයේදී, ඩිමොක්‍රටිකයින් විසින් නියෝජිත මන්ත්‍රී මන්ඩලය පාලනය කරන විට, සභා කථානායක ලෙස නැන්සි පෙලෝසි, තායිවානය අවට මුහුදේ විශාල මිලිටරි ගැටුමක අන්තරාය මතු කරමින් තායිපේ වෙත ප්‍රකෝපකාරී සංචාරයක් කළේය.  චීන මිලිටරිය තායිවාන් සමුද්‍ර සන්ධිය තුලට මිසයිල අත්හදා බැලීම් සහ යුධ නෞකා යෙදවීමත් සමග, එක්සත් ජනපදය සහ එහි සහචරයින් තායිවානයට යාබදව ප්‍රධාන නාවික මෙහෙයුම් දියත් කලහ.

රුසියාවට එරෙහිව යුක්රේනයේ එක්සත් ජනපද-නේටෝ යුද්ධයට සමාන ආකාරයකින්, වොෂින්ටනය සිය ගෝලීය ආධිපත්‍යයට ප්‍රධාන තර්ජනය ලෙස සලකන චීනය අස්ථාවර කිරීමේ සහ අවසානයේ බිඳ දැමීමේ මාධ්‍යයක් ලෙස තායිවානය සම්බන්ධයෙන් විනාශකාරී ගැටුමකට බීජිනය ඇද ගැනීමට එක්සත් ජනපදය උත්සාහ කරයි.

ට්සායි – මැකාති හමුව: 

ඇය තායිවානයට ආපසු යාමට සූදානම් වෙමින්, ට්සායි එක්සත් ජනපද වත්මන් සභා කථානායක කෙවින් මැකාති සහ කැලිෆෝනියාවේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් සමඟ ඉහළ මට්ටමේ රැස්වීමක් සහ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය.

මෙම රැස්වීම “එක-චීන” ප්‍රතිපත්තිය අවසන් කිරීමට, තායිවානය සමඟ විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමට සහ චීනය සමඟ එක්සත් ජනපදයේ ගැටුම තීව්‍ර කිරීමට ධවල මන්දිරය සහ කොන්ග්‍රසයේ ද්විපාර්ශ්වික උත්සාහයේ නවතම පියවර විය.  උප ජනාධිපති කමලා හැරිස්ට පසුව, ජනාධිපති පදවියේ දෙවන අනුප්‍රාප්තිකයා වන මැකාති සමඟ හමුවීම, වොෂින්ටනය 1979 දී තායිපේ සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා විධිමත් ලෙස බිඳ දමා බීජිං සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනඟා ගැනීමෙන් පසු එක්සත් ජනපද භූමියේ ඉහළම මට්ටමේ හමුවීම විය.  එකල, එක්සත් ජනපදය තත්‍යානුකූලව, තායිවානය ඇතුළු සමස්ත චීනයේ නීත්‍යානුකූල ආන්ඩුව ලෙස බීජිනය පිළිගනිමින් එක් චීනයක් ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.

රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැකාති, තායිවානයට ආයුධ පොම්ප කිරීමට එක්සත් ජනපදය දිරිමත් කළේය.  “අපි තායිවානයට ආයුධ අලෙවිය දිගටම කරගෙන යා යුතු අතර ඒවා ඉතා කාලෝචිත පදනමක් මත තායිවානය වෙත ළඟා වන බවට වග බලා ගත යුතුය,” ඔහු පැවසීය.  “ඉතිහාසය හරහා අපි දන්නා පාඩම නම්, යුද්ධය වැලැක්වීමට හොඳම ක්‍රමය” යනු “යුද්ධය වැලැක්වීමට මිනිසුන්ට ඉඩ දෙන ආයුධ සැපයීමයි” ඔහු ඕවෙලියානු ස්වරයෙන් ප්‍රකාශ කළේය. ඔහු පැවසුවේ යුක්රේනය සන්නද්ධ කර පැවතීම යුද්ධය වළක්වනු ඇතිව පැවති බවය. එහෙත්, සත්‍යය නම් එවැනි ආයුධ සන්නද්ධවීමක් කිසි විටෙකත් යුද්ධය වැළැක්වා නැති බවත්, නමුත් තවත් යුද්ධ අවුලුවා ඇති බවත් ය.

චීනයට එරෙහි ඩිමොක්‍රටික්-රිපබ්ලිකන් දෙකට්ටුව:

තායිවානය සන්නද්ධ කිරීම සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකානුවන් අතර මතභේද තිබේදැයි වාර්තාකරුවෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මැකාති පැවසුවේ, “එය ද්විපාර්ශ්වික ආස්ථානයක් බව මම විශ්වාස කරමි…  ඔවුන්ගෙන් [ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගෙන්] මට ඇති වූ හැඟීමම එයයි… චීනය සම්බන්ධයෙන් ගත්කල අපි එක හඬින් කතා කරන්නෙමු, ”ඔහු වැඩිදුරටත් පැවසීය.

චීන කොමියුනිස්ට් පක්ෂය (සීසීපී) සම්බන්ධ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ඩිමොක්‍රටික් සාමාජිකයෙක් වන රාජා ක්‍රිෂ්ණමූර්ති, ධවල මන්දිරයේ සටන්කාමී චීන විරෝධී ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සම්පූර්ණ ඒකමතිකත්වයේ ස්වරයම ප්‍රකාශ කළේය.

සෙනෙට් සන්නද්ධ සේවා කමිටුවේ ද්විපාර්ශ්වික සෙනෙට් සභිකයින් පිරිසක් මාර්තු 31 සිකුරාදා නිව් යෝර්ක් නගරයේ දී ට්සායි හමුවූ බව හෙළි කළහ.  රැස්වීම ගැන ඔවුන්ගේ අදහස්, මැකාතිගේ අදහස්වලට වඩා යුද ධාවනකාරී විය.

“බෙයිජිංහි ආඥාදායකයින් කොංග්‍රසයේ සාමාජිකයින්ට, විශේෂයෙන්ම ඇමරිකානු භූමියේදී, හමුවිය හැකි හෝ නොහැකි කුමන විදේශීය නායකයින්ද යන්න තීරණය නොකළ යුතුය,” යනුවෙන් රිපබ්ලිකන් සෙනෙට් සභික ඩෑන් සුලිවන් පැවසීය.  “එක්සත් ජනපද සෙනෙට් සභාව … චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝග පිලිපදින්නේ නැත.  තායිවානය හුදකලා යයි ලෝකය විශ්වාස කිරීමට සීසීපීයට අවශ්‍ය වුවද, සත්‍යය එය හුදෙකලා නොවන බවයි”.

“අපි දන්නවා කොමියුනිස්ට් චීනය, එනම් අපගේ නැගඑන තර්ජනය, ඔවුන්ගේ අසල්වැසි සහ ප්‍රධාන එක්සත් ජනපද හවුල්කරු වන තායිවානය දෙස නෙත් යොමා සිටින බව,” ඔහු පැවසීය, “තායිවානය සමඟ ඇමරිකාවේ හවුල්කාරිත්වය වැඩි දියුණු කළ හමුදා පුහුණුව සහ වේගවත් ආයුධ හුවමාරුව හරහා ශක්තිමත් කළ යුතුය.”

එක්සත් ජනපද ගුවන් හමුදාවේ ජෙනරාල් මයිකල් මිනිහාන් මේ වසර මුලදී 2025 වන විට චීනය සමඟ ඇමරිකානු යුද්ධයක් පුරෝකථනය කළේය.

‘එක-චීනයක්’ ප්‍රතිපත්තිය අවසානයකට ගෙන එමින්:

මැකාති ට්සායි සමඟ හමුවීම, චීනය සහ එක්සත් ජනපදය අඩසියවසකට ආසන්න කාලයක් යුද්ධයෙන් වැළකී සිටීමට සමත් වූ ඒක-චීන ප්‍රතිපත්තිය ඉරා දැමීම ඉලක්ක කරගත් පියවර මාලාවක නවතම එක පමණි.

ඉහල මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික හුවමාරු දිරිමත් කිරීම, තායිවානයට ආයුධ අලෙවිය වේගවත් කිරීම සහ පටු තායිවාන් සමුද්‍ර සන්ධියේ සහ දකුනු චීන මුහුදේ නාවික ප්‍රකෝප කිරීම් සිදු කිරීම මගින් දශක හතරක් තිස්සේ එක්සත් ජනපද-චීන ​​සබඳතා පදනම් වූ  එක්-චීනයක් ප්‍රතිපත්තිය බිඩෙන් පරිපාලනය බලාත්මකව අත් හැර දමමින් තිබේ.

මාර්තු 24 වන දින, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය “තායිවානයට සහතිකවීම ක්‍රියාත්මක කිරීමේ පනත” (Taiwan Assurance Implementation Act) සම්මත කරන ලද අතර, එය “එක්සත් ජනපද-තායිවාන සබදතා මත ඉතිරිව ඇති ඕනෑම ස්වයං-පනවා ඇති සීමාවන් ඉවත් කිරීමට සහ ඒ සඳහා සැලැස්මක් ප්‍රකාශ කිරීමට” අවස්ථාවන් හඳුනා ගැනීමට රාජ්‍ය දෙපාර්තමේන්තුවට පවරයි.  මෙය එක්-චීනයක් ප්‍රතිපත්තිය විධිමත් ලෙස අවසාන කිරීම ක්‍රියාවට දමයි.

චීනය අනතුරු අඟවයි:

තායිවානය තම රටින් ඉවතට පලා යන පළාතක් ලෙස සලකන චීනය, දිවයින සාමකාමීව යලි ඒකාබද්ධ කිරීමට අවශ්‍ය බව පැහැදිලි කර ඇති නමුත්, අවශ්‍ය නම්, විශේෂයෙන්, තායිපේ විසින් විධිමත් ලෙස නිදහස ප්‍රකාශ කිරීමකදී බලය භාවිතා කරන බව පැහැදිලි කර ඇත.

ට්සායිගේ සංචාරයට ප්‍රතිචාර වශයෙන් චීනය දින තුනක් (9-11) පුරා හමුදා අභ්‍යාස මාලාවක් සමඟ ප්‍රතිචාර දක්වා ඇත.  සටන් මෙහෙයුම් පෙරහුරු කිරීම සඳහා සෑම දිනකම මිලිටරි ගුවන් යානා විශාල ප්‍රමාණයක් සහ චීන යුද නැව් බලමුලු ගන්වන ලද අතර, ඒවායින් බොහොමයක් ජාත්‍යන්තර නීතියේ පිලිගැනීක් නොමැති තායිවානයේ ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපය සහ තායිවාන් සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව හරහා ගමන් කළහ.

බීජිං හි අනතුරු ඇඟවීම් නොතකා පසුගිය අගෝස්තු මාසයේදී එවකට සභා කථානායක නැන්සි පෙලෝසි තායිවානයට ගිය විට, චීන හමුදාව, එනම් මහජන විමුක්ති හමුදාව (PLA), දිවයින වටා ඇති ගුවන් අවකාශයේ සහ ජලයේ සතියක ප්‍රධාන අභ්‍යාස පැවැත්වීය.  නවතම අභ්‍යාසයන් එතරම්ම විශාලත්වයක් නොතිබුණද, එය තායිවාන රජයට පණිවිඩයක් ලබා දීම අරමුණු කෙරුනි.

“මෙය විදේශ බලවේග සමඟ හවුල් වී සිටින ‘තායිවානයේ ස්වාධීනත්වය’ පිලිබඳ බෙදුම්වාදීන්ගේ ප්‍රකෝප කිරීම්වලට එරෙහිව බරපතල අනතුරු ඇඟවීමක් වන අතර ජාතියේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයකි,” යි PLA හි නැගෙනහිර නාවික විධානය පැවසීය.  ජනාධිපති ට්සායි සහ ඇගේ තායිවාන ජාතිකවාදී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය (DPP) බීජිං වෙතින් වැඩි නිදහසක් ඉල්ලා සිටියි.

චීනයේ ප්‍රතිචාරය සාපේක්ෂ වශයෙන් නිශ්ශබ්ද වුවද, එක්සත් ජනපදය මිලිටරි සහ රාජ්‍යතාන්ත්‍රික වශයෙන් සිය ප්‍රකෝප කිරීම් දිගටම කරගෙන ගියේය.  එක්සත් ජනපද නාවික හමුදාවේ හත්වන බලඇණිය  අප්‍රේල් 10 සඳුදා නිවේදනය කළේ එහි  මිසයිල විනාශ කරන්නා වූ Milius නැව දකුණු චීන මුහුදේ ස්ප්‍රැට්ලි දූපත් වල චීන පාලිත දූපත් වලට සමීපව “නාවික ගමනේ නිදහස” යන කඩතුරාව යටතේ බව යාත්‍රා කළ බවයි.

දශක ගනනාවක් තිස්සේ, එක්සත් ජනපදය චීනය සහ අග්නිදිග ආසියාවේ අසල්වැසි රටවල් අතර දකුනු චීන මුහුදේ භෞමික එදිරිවාදිකම් නොසලකා හැරියේය.  කෙසේ වෙතත්, ජනාධිපති ඔබාමාගෙන් පටන්ගෙන, පසුව ට්‍රම්ප් සහ බිඩෙන් යටතේ, එක්සත් ජනපද මිලිටරිය, බීජිනය සමග එහි ආක්‍රමණශීලී ගැටුමේ කොටසක් ලෙස, මෙම ගැටුම්කාරී සාගර කලාපය  තුළ චීනයට එරෙහිව එහි “නාවික ගමනාගමනයේ නිදහස” යන්න යටතේ ප්‍රකෝප කිරීම් උග්‍ර කර ඇත.

PLA හි දකුනු නාවික විධානය ඇමරිකානු නාවික හමුදාවේ මෙම මෙහෙයුම “නීති විරෝධී” ලෙස හෙලා දුටු අතර චීන නාවික යාත්‍රා “නැව (මිලියුස්) අධීක්ෂනය කර ඇති අතර නාවික සහ ගුවන් හමුදා සෑම මාර්ගයකම සීරුවෙන් තබා ඇති” බව නිවේදනය කලේය.

ප්‍රකෝපකරනය ඉදිරියටම: 

ඒ සමගම තවත් එක්සත් ජනපද නියෝජිත පිරිසක් ට්සායි සහ අනෙකුත් රජයේ නිලධාරීන් සමග ඉහල මට්ටමේ සාකච්ඡා සඳහා තායිපේ වෙත පැමිණියහ.  මෙම සංචාරයට අප්‍රේල් 08 සෙනසුරාදා තායිවාන ජනාධිපතිවරයා හමුවූ නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ විදේශ කටයුතු කමිටුවේ සාමාජිකයින් සම්බන්ධ විය.

වොෂින්ටනයේ එක්-චීනයක් ප්‍රතිපත්තිය යටතේ, එක්සත් ජනපදය තායිවානය සමඟ සාමාන්‍යයෙන් පවත්වාගෙන ගියේ නොසලකා හරින ලද සම්බන්ධතාවයන්ය.   ට්‍රම්ප් සහ දැන් බිඩෙන් යටතේ, හමුදා නිලධාරීන් ඇතුළු සියලු මට්ටම්වල අසීමිත සංචාර සඳහා ඉඩ සැලසීම පිණිස රාජ්‍යතාන්ත්‍රික රීති පොත ඉරා දමා ඇත.

විශේෂයෙන් ප්‍රකෝපකාරී ප්‍රකාශයක් කරමින්, කමිටු සභාපති මයිකල් මැකෝල්, තායිවානයේ මිලිටරියට එක්සත් ජනපද පුහුණුව සඳහා සහය ලබා දෙන බවට පොරොන්දු විය.  එක්සත් ජනපදය 1979 දී තායිවානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අවසන් කිරීමත් සමඟ, එය දිවයින සමඟ තිබූ මිලිටරි සන්ධානය අවලංගු කර සියලු හමුදා ඉවත් කර ගත්තේය. එහෙත්, එක්සත් ජනපදය දැන් තායිවානයේ තම නිලධාරීන් සංඛ්‍යාව වැඩි කරමින් සිටී.

මැකෝල් චීනයේ “ඔබේ ජාතියට එරෙහි ආක්‍රමණශීලී ක්‍රියා” හෙළා දුටුවේය: “මම අපේ ජාතීන් දෙක එක්ව, සාමය සහ සමෘද්ධියෙන් යුත්  විශිෂ්ට අනාගතයක් බලාපොරොත්තු වෙමි.  අපි තායිවානය සමඟ සිටිමු” යි පැවසීය.

මෙම  ප්‍රකාශවල වංචනීයභාවය බේරෙයි.  එහි ලෝක ආධිපත්‍යය පවත්වා ගැනීමේ උත්සාහයේදී, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය පසුගිය දශක තුන පුරා මැද පෙරදිග, මධ්‍යම ආසියාව, උතුරු අප්‍රිකාව සහ බෝල්කන් ප්‍රදේශවල අඛණ්ඩව ආක්‍රමනකාරී යුද්ධ දියත් කර ඇත.  දැන් එක්සත් ජනපදය හා එහි නේටෝ සහචරයෝ න්‍යෂ්ටික සන්නද්ධ රුසියාව සමග නොසැලකිලිමත් ලෙස යුක්‍රේනය බලල් අතක් ලෙස යොදාගෙන යුද්ධයක යෙදී සිටිති. එය වොෂින්ටනය සලකන්නේ එහි ගෝලීය තත්වයට ප්‍රධාන තර්ජනයක් ලෙස පවතින චීනය සමග යුද්ධයේ පූර්විකාවක් ලෙස ය.

චීනයට එරෙහි බිඩෙන් පරිපාලනයේ ක්‍රියාන්විතය රුසියාවට එරෙහි ක්‍රියා පටිපාටියට සමාන ය: තායිවානයට පහර දීමට බීජිං පොළඹවා චීනය දුර්වල කිරීමට හා ඛණ්ඩනය කිරීමට ඉවහල වන යුද්ධයකට ඇද දැමීම.  තායිවානය ආරක්ෂා කරන බවට වොෂින්ටනයේ ප්‍රකාශයන් යුක්‍රේනයට සහය දැක්වීමේ ප්‍රකාශ මෙන් ම ව්‍යාජ ය.  එහි අතිමූලික මූලෝපායික අරමුන වන්නේ යුරේසියානු භූමි ප්‍රදේශයේ සහ එහි අතිවිශාල ස්වභාවික හා මානව සම්පත්වල ආධිපත්‍යය යි.

“චීනය පරාද කිරීමේ” AUKUS මිලිටරි ගිවිසුම:

ඔස්ට්‍රේලියානු කම්කරු පක්ෂ මන්ත්‍රී මෙරිල් ස්වන්සන් සහ ලිබරල් සෙනෙට් සභික ජේම්ස් පැටර්සන්, පසුගිය මාසයේ ප්‍රකාශයට පත් කරන ලද ඩොලර් බිලියන 368 ක සබ්මැරීන ගනුදෙනුව, චීන විරෝධී AUKUS (ඕස්ට්‍රේලියාව-එක්සත් රාජධානිය-එක්සත් ජනපදය) මිලිටරි ගිවිසුම ක්‍රියාත්මක කිරීම ගැන සාකච්ඡා කිරීමට අප්‍රේල් මස මුලදී වොෂින්ටනයට පැමිණ සිටියහ.  ගිවිසුම යටතේ, ඕස්ට්‍රේලියාව ලබන දශකය තුළ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන බල ඇණියක් එක්සත් ජනපදයෙන් අත්පත් කර ගනු ඇත. බ්‍රිතාන්‍යය සමඟ සහයෝගයෙන් සබ්මැරීනයේ නව සැලසුමක් මත ඒකාබද්ධ ඉදිකිරීම් ආරම්භ කිරීමට පෙර මේවා ඔස්ට්‍රේලියාවට ලැබීමට නියමතය.

න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන අත්පත් කර ගැනීම සඳහා ඕස්ට්‍රේලියාව සඳහා වූ AUKUS ගිවිසුම “අපගේ ජීවිත කාලයටම තර්ජනයක්” ලෙස ඔවුන් විස්තර කළ චීනය “පරාජය කිරීම” අරමුනු කරගත් බව බයිඩන් පරිපාලනයේ ඉහල නිලධාරීහු ප්‍රකාශ කළෝය.

මාර්තු මාසයේදී, බයිඩන් පරිපාලනයේ එක්සත් ජනපද ජාතික ආරක්ෂක සම්බන්ධීකාරක කර්ට් කැම්බල් ද නවසීලන්තයේ වෙලින්ටන් වෙත ගොස්, ඉදිරි යුද මෙහෙයුම් වලදී නවසීලන්තය මූලික කොටසක් බවට පරිවර්තනය කල හැකි AUKUS මිලිටරි ගිවිසුමේ භූමිකාවක් එරටටද ඉටු කළ හැකිද යන්න සාකච්ඡා කළ බව වාර්තා වේ.  

අධිරාජ්‍යවාදී සන්ධානය රුසියාව සමඟ සෘජු යුද්ධයකට සමීප වෙමින් තිබියදී පවා, නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග්, අප්‍රේල් 4දා මාධ්‍යවේදීන්ට පැවසුවේ, “[චීනය] රුසියානු ප්‍රචාරණය ප්‍රතිරාවය කරන අතර එය රුසියාවේ ආර්ථිකයට මුක්කු ගසයි”  යනුවෙනි.  නේටෝව “දැන් ඉන්දු-පැසිෆික් කලාපයේ අපගේ හවුල්කරුවන් වන ජපානය, දකුණු කොරියාව, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව සමඟ අපගේ සහයෝගීතාවය ඉහළ නංවමින් සිටින බව” ඔහු පැවසීය.

ඕස්ටේ‍්‍රලියාව සබ්මැරීන අත්පත් කර ගැනීම, කම්කරු ආන්ඩුව අවධාරනය කර ඇති පරිදි, “ප්‍රහාර වළක්වන්නක්” ලෙස අදහස් කරන ලද  ආරක්ෂක පියවරක් බවට කරන ප්‍රකාශයන්ට පටහැනිව, එක්සත් ජනපදයේ ඉහල නිලධාරීන් AUKUS මෙන්ම සබ්මැරීන ද ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ ආක්‍රමණශීලී මෙවලමක් ලෙස ඉදිරිපත් කළහ. 

රාත්‍රී භෝජන සංග්‍රහයේදී අදහස් දක්වමින් එක්සත් ජනපද නාවික හමුදා ලේකම් කාලෝස් ඩෙල් ටෝරෝ මෙසේ ප්‍රකාශ කළේය: “කියුබාවේ උපත ලැබීමෙන් මම කොමියුනිස්ට්වාදය යනු කුමක්දැයි පෞද්ගලිකව වටහාගෙන සිටිමි. ඇත්ත වශයෙන්ම  චීනයේ තර්ජනය සහ ඔවුන් ලෝක පර්යාය විනාශ කිරීම හැකි සෑම ආකාරයකින්ම පරාජය කිරීම සඳහා අප රාජ්‍යයන් තුන කැපවී සිටිමු.”

දශක ගණනාවකට පෙර ධනවාදය ප්‍රතිෂ්ඨාපනය කළ චීන තන්ත්‍රයක් ගැන ඩෙල් ටෝරෝගේ උමතු කොමියුනිස්ට් විරෝධී ප්‍රකාශය, එක්සත් ජනපදයේ ෆැසිස්ට්වාදී කියුබානු සංක්‍රමණික ප්‍රජාව තුළ ඔහුගේ පසුබිම සමඟ බැඳී ඇති බවට සැකයක් නැත.

එම ප්‍රකාශ එක්සත් ජනපද ආන්ඩුවේ සහ පෙන්ටගනයේ මූලධර්මවලට සම්පුර්ණයෙන්ම අනුකූල විය.  2018 දී, පෙන්ටගනයේ යුද මූලෝපායික ලේඛනයක් ප්‍රකාශ කළේ: “මහා බල තරඟය – ත්‍රස්තවාදය නොවේ – දැන් එක්සත් ජනපද ජාතික ආරක්ෂාවේ මූලික අවධානයයි.”  එය පැහැදිලිවම චීනය සහ රුසියාව එක්සත් ජනපද ගෝලීය ආධිපත්‍යයට තර්ජනයක් ලෙස හඳුනා ගත්තේය.

බයිඩන් පරිපාලනයේ 2022 ජාතික ආරක්ෂක උපායමාර්ගය ප්‍රකාශ කළේ: “අපි මහජන චීන සමූහාණ්ඩුව සමඟ ප්‍රතිථලදායී ලෙස තරඟ කරන්නෙමු. චීනය ජාත්‍යන්තර පර්යාය නැවත හැඩගැස්වීමේ අභිප්‍රාය සහ වැඩි වැඩියෙන් හැකියාව ඇති එකම තරඟකරුවා වේ.”

ඇමරිකානු හමුදාවේ ගෝලීය ක්‍රියාකාරකම්වලට චීනය තර්ජනයක් නොවන බව අනෙකුත් එක්සත් ජනපද රජයේ ලේඛන පිළිගෙන ඇත.  නිදසුනක් වශයෙන්, පසුගිය වසරේ, ආරක්ෂක දෙපාර්තමේන්තු වාර්ෂික වාර්තාව ප්‍රකාශ කළේ චීනයේ එකම මිලිටරි අභිලාෂය වූයේ “එක්සත් ජනපදය චීනයේ පරිධියේ වාඩිලෑම සීමා කිරීම” බවයි.

යථාර්ථයේ දී, “ජාත්‍යන්තර පර්යාය” පිලිබඳ සඳහන් කිරීම්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ දිග්ගැස්සුනු පරිහානිය මධ්‍යයේ සිදුවන චීනයේ ආර්ථික වර්ධනය ඇමරිකානු ධනවාදයේ ප්‍රමුඛත්වයට තර්ජනයක් වේ යැයි බිය මතු කරයි.

ඕස්ට්‍රේලියානු සංචාරයේ එක් අංගයක් වූයේ, ආසියාවෙන් දියත් කරන ලද ආක්‍රමණයක තර්ජනයට ඕස්ට්‍රේලියාව මුහුණ දී නොමැති බවට වන හිටපු අගමැති පෝල් කීටින්ගේ ස්ථාවරයට සහ AUKUS වෙත එල්ලවී ඇති පුලුල් විරුද්ධත්වයට තමන් එරෙහි වන බවට බයිඩන් පරිපාලනයට සහතික කිරීම බව පෙනේ.

දක්ෂිනාංශික චරිතයක් වන කීටින් යුද්ධයට හෝ ඇමරිකානු අධිරාජ්‍යවාදයට කිසිම ආකාරයකින් විරුද්ධ නොවේ.  ඔහු ඕස්ට්‍රේලියාවේ විශාලතම වෙලඳ සහකරු වන චීනය සමග පූර්න යුද්ධයක ප්‍රතිවිපාක පිලිබඳ බියෙන් සිටින පාලක ප්‍රභූවේ සුළුතර කොටසක් නියෝජනය කරයි.

පසුගිය දශකය පුරා චීනය සමග යුද්ධය සඳහා එක්සත් ජනපද සැලසුම් තුල ඔස්ට්‍රේලියාවේ තීව්‍රවන භූමිකාව පිලිබඳව සාමාන්‍ය ජනයා අඳුරේ තැබීමෙන් පසුව AUKUS නිවේදනය පුලුල්ව පැතිරුනු කම්පනය සහ කෝපය අවුලුවා ඇත.  සබ්මැරීන සඳහා වියදම් කරන ඩොලර් බිලියන 368, සමාජ වියදම් සඳහා දැවැන්ත කප්පාදුවක් පටවනු ඇති අතර යුද්ධයට එරෙහිව වඩ වඩාත් යොමු වෙන පන්ති අරගලයේ වර්ධනය වන නැගිටීමක් උත්සන්න කරනු ඇත.

ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර නීතිය නොතකා ඇමරිකානු-නේටෝවේ චීනයට එරෙහි යුද්ධයට කරබදු වීමට අරඅඳියි:

මාර්තු අග, ඕස්ට්‍රේලියානු රජය විසින් ආරම්භ කරන ලද පාර්ලිමේන්තු විමර්ශනයක් , විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතියකින් තොරව යුද්ධ දියත් කිරීමට වැඩි විධායක බලයක් යෝජනා කර සිටියේය.  කෙසේ වෙතත්, නැගී එන යුද විරෝධී මනෝගතිය වෙනතකට යොමු කිරීමට උත්සාහ කිරීම සඳහා සුලු සැරසිල්ලක් වශයෙන් එවැනි යුද්ධ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය යැයි ද එය යෝජනා කලේය.  නමුත් එම අනුමැතිය ද දැනටමත් යුද්ධය ආරම්භ වූ පසුව ලබා ගත යුත්තක් ලෙස පමණි!

පසුගිය සැප්තැම්බරයේ ආරක්ෂක ඇමති රිචඩ් මාර්ල්ස් විසින් පත් කරන ලද විමර්ශන වාර්තාව, කම්කරු ආන්ඩුව චීනයට එරෙහි එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුත් ආක්‍රමණශීලී යුද්ධයකට සම්බන්ධ වීමට සූදානම් වන බවට තවත් අනතුරු ඇඟවීමකි. ඒ ජාත්‍යන්තර නීතියට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මන්ඩලයෙන් ඒ සඳහා අනුමැතිය ලබාගත යුතු යැයි යන්නට අවනත වන බවේ බොරු මවාපෑමක් පවා නොසලකා හරිමිනි. 

පාර්ලිමේන්තු වාර්තාව ලිලිබඳව සංගත මාධ්‍යවල නිවැරදිව වාර්තා නොකෙරුනු අතර යන්තම් සඳහනක් පමනක් කර ඇත.  එය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී යුද දියත් කිරීමේ යාන්ත‍්‍රණය ශක්තිමත් කිරීම ප‍්‍රසිද්ධ කිරීම පිලිබඳව පාලක කවයන් තුල නලියන සැබෑ චකිතය පිලිබිඹු කරයි.

එක්සත් ජනපද සහ එක්සත් රාජධානියේ ආන්ඩු සමඟ ඇති චීනයට එරෙහි යුද්ධයට සූදානම් වීමේ AUKUS ගිවිසුමේ කොටසක් ලෙස, න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රහාරක සබ්මැරීන, හයිපර්සොනික් මිසයිල සහ අනෙකුත් ප්‍රහාරක අවි මිලදී ගැනීම සඳහා වසර 30ක් පුරා ඩොලර් බිලියන 368ක් වෙන් කිරීම ජනාධිපති ඇල්බේනියානු ආන්ඩුව විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මෙම විමර්ෂන වාර්තාව නිකුත් කෙරුණි.

කම්කරු පක්ෂ බහුතරයක් සහිත කමිටුවක් විසින් සකස් කරන ලද පාර්ලිමේන්තු වාර්තාව, “යුද්ධය හෝ යුධමය මෙහෙයුම් ඇතුළු සන්නද්ධ ගැටුම් සම්බන්ධ තීරණ මූලික වශයෙන් විධායකයේ පරමාධිකාරී බලයක්” බව අවධාරණයෙන් ප්‍රකාශ කරයි.

වාර්තාව නිර්දේශ කරන්නේ,  එම බලතල, විශේෂයෙන්ම “එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවකින් හෝ ස්වෛරී ජාතියක ආරාධනයකින් සහාය නොදක්වන” යුද්ධ සඳහා ද බලාත්මක ක යුතු බවයි.

මෙය ඕස්ටේ‍්‍රලියානු පාලක පන්තිය සහ එහි සහචරයින්, විශේෂයෙන්ම AUKUS හවුල්කරුවන්, සූදානම් කරමින් සිටින ආකාරයේ යුද්ධය පිලිබඳ තවත් අනතුරු ඇඟවීමකි.  චීනයට එරෙහි මිලිටරි ක්‍රියාමාර්ගය සඳහා කඩතුරාව කුමක් වුවත්, එක්සත් ජනපදය ප්‍රමුඛ බලවතුන්, 2003 දී ඉරාකයේ කළාක් මෙන්, එක්සත් ජාතීන්ගේ අනුමැතියේ කඩදාසි කොළයක්වත් නොමැතිව යුද්ධයට යාමේ බලය ඉල්ලා සිටිති.

අධිරාජ්‍යවාදී බලවතුන්ගේ අවශ්‍යතා සඳහා අවශ්‍යයෙන්ම නිෂ්කාශන මධ්‍යස්ථානයක් වන එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන යුද්ධවලට කිසිවිටෙක බාධාවක් බව ඔප්පු කර නොමැති නමුත්, ආරක්ෂක මණ්ඩලයේ  විධිමත් අනුමැතියකින් තොරව සිදු කෙරෙන යුද්ධයක් නීති විරෝධී හා ආක්‍රමණකාරී යුද්ධයක් දියත් කිරීමේ චෝදනාවලට වගකිව යුත්තන් හෙලිදරව් කිරීමේ අවදානම දරයි.  

විදේශ කටයුතු, ආරක්‍ෂාව සහ වෙළෙඳාම පිළිබඳ ඒකාබද්ධ ස්ථාවර කමිටුවේ ආරක්‍ෂක අනුකමිටුව විසින් නිකුත් කරන ලද වාර්තාව, ආරක්ෂක පනත යටතේ ආරක්ෂක අමාත්‍යවරයාගේ බලතල ක්‍රියාත්මක කිරීම වෙනුවට, ඔස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 68 වැනි වගන්තිය යටතේ සන්නද්ධ හමුදාවන්හි ප්‍රධානියා වශයෙන් “ප්‍රධාන අන දෙන්නා” ලෙස ආණ්ඩුකාරවරයාගේ බලය ක්‍රියාවට දමමින් ඕනෑම සන්නද්ධ ගැටුමකට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ ඒ නිසයි.

මෙම ක්‍රමවේදය දේශීය හෝ ජාත්‍යන්තරව ඕනෑම නෛතික අභියෝගයකින් යුද්ධයේ තීරණ ආරක්ෂා කරන අතර ඕස්ට්‍රේලියානු හමුදා නිලධාරීන් යුද අපරාධ චෝදනාවලින් ආරක්ෂා කරනු ඇත බව වාර්තාව දක්වයි.

ප්‍රායෝගිකව, චීනය සමඟ යුද්ධයට යාමේ ඕනෑම තීරණයක් ගනු ලබන්නේ වොෂින්ටනයේ දී ය. ඒ  ව්ශේෂයෙන්ම ඔස්ට්‍රේලියාව මධ්‍යම ඕස්ට්‍රේලියාවේ පයින් ගැප් (Pine Gap) සන්නිවේදන සහ නිරීක්ෂණ මධ්‍යස්ථානය සහ උතුරු ඕස්ට්‍රේලියාව පුරා අනෙකුත් කඳවුරු වැනි අත්‍යවශ්‍ය එක්සත් ජනපද මිලිටරි සහ බුද්ධි පහසුකම් සඳහා සත්කාරකත්වය සපයන බැවිනි.

විශේෂයෙන්ම 2011 සිට, එක්සත් ජනපද ජනාධිපති ඔබාමා ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේදී වොෂින්ටනයේ මිලිටරි සහ මූලෝපායික “ආසියාවට හැරීම” ප්‍රකාශ කළ විට, ලේබර් සහ ලිබරල්-ජාතික ආන්ඩු ද ඔස්ට්‍රේලියාව චීනයට එරෙහිව

යුද්ධයක් සඳහා අත්‍යවශ්‍ය වේදිකාවක් බවට පත් කරමින් එක්සත් ජනපද මිලිටරි මෙහෙයුම්වලට ඔස්ට්‍රේලියාව වඩ වඩාත් ඒකාබද්ධ කර ඇත.  

මෙම ඒකාබද්ධතාවය මූර්තිමත් කරන්නේ, ඉන්දු-පැසිෆික් කලාපයේ තමන්ගේම කොල්ලකාරී අධිරාජ්‍යවාදී අවශ්‍යතාවන් ඉෂ්ඨ කරගැනීම සඳහා දෙවන ලෝක යුද්ධයේ සිට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය පිටුපස ඕස්ට්‍රේලියානු පාලක පන්තියේ කොන්දේසි විරහිත පෙලගැසීමයි.

චීන-විරෝධී අධිරාජ්‍යවාදී සංධානය තර කිරීමට ඕස්ට්‍රේලියානු ආරක්ෂක ඇමති නවසීලන්තයේ සංචාරය කරයි: 

ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍ය සහ නියෝජ්‍ය අගමැති රිචඩ් මාල්ස් අප්‍රේල් මුල් සතියේ අසල්වැසි නවසීලන්තයට ගොස්  නවසීලන්ත ආරක්ෂක ඇමති ඇන්ඩෲ ලිට්ල් හමුවිය.  මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඕස්ට්‍රේලියානු රජය පැවසුවේ මෙම සංචාරය “අපගේ කලාපයේ බහුවිධ ආරක්ෂක අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව සහ ඵලදායීව සහතික කිරීම සඳහා අපගේ ආරක්ෂක සහයෝගීතාව ගැඹුරු කරනු ඇති” බවයි.

නවසීලන්තයේ කම්කරු පක්ෂය-ග්‍රීන් සභාග ආන්ඩුව රුසියාවට සහ චීනයට එරෙහිව තුන්වන ලෝක යුද්ධයක් කරා තීව්‍ර වන තල්ලුව පිටුපස පැහැදිලි ලෙස පෙලගැසෙන ලෙස ඕස්ට්‍රේලියාවේ සහ එක්සත් ජනපදයේ වැඩි පීඩනයකට ලක්වෙමින් තිබේ.

නවසීලන්තය එක්සත් ජනපදය ප්‍රමුඛ “පංච අක්ෂි” බුද්ධි තොරතුරු බෙදාගැනීමේ ජාලයේ සාමාජිකයෙකු වන අතර ඕස්ට්‍රේලියාවේ සමීප සගයෙකි.  කෙසේ වෙතත්, මේ දක්වා, නවසීලන්තයේ වැදගත්ම වෙළඳ හවුල්කරුවා වන චීනයට එරෙහි ප්‍රකෝප කිරීම් වලට විවෘතව සම්බන්ධ වීමට වෙලින්ටන් පැකිලෙමින් තිබේ.

අප්‍රේල් 6දා පැවති මාධ්‍ය හමුවකදී ඇමති ලිට්ල් පැවසුවේ තමන් සහ මාර්ල්ස් චීන විරෝධී AUKUS (ඕස්ට්‍රේලියාව-එක්සත් ජනපදය) මිලිටරි ගිවිසුම ගැන “විශේෂයෙන් කතා නොකළ” බවයි.  කෙසේ වෙතත්, නවසීලන්ත ආන්ඩුව මිලිටරි ගිවිසුමේ “කණු දෙක” සඳහා සහභාගී වීමට සලකා බලයි, එය රටවල හමුදාවන්ගේ අන්තර් ක්රියාකාරිත්වය ශක්තිමත් කිරීම සඳහා උසස් මිලිටරි තාක්ෂණය බෙදාහදා ගැනීම ඇතුළත් වේ.

වර්තමානයේ, නවසීලන්තයේ න්‍යෂ්ටික විරෝධී නීති මගින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන රටේ සාගර කලාපයට ඇතුළු වීම වළක්වනු ඇත.

පසුව, ගුවන්විදුලි සම්මුඛ සාකච්ඡාවකදී, ඕස්ට්‍රේලියාව, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය සමඟ සබඳතා ශක්තිමත් කිරීම නවසීලන්තයට “අර්ථවත්” යැයි පවසමින්, පැසිෆික් කලාපයේ “මිලිටරිකරණය” ගැන ලිට්ල් වංචනික ලෙස චීනයට චෝදනා කළේය. 

ඔහු ඕස්ට්‍රේලියාවේ මිලිටරි ගොඩ නැගීම ‘ආරක්‍ෂනවාදී’ යැයි සාවද්‍ය ලෙස නිරූපනය කරමින්, මෙසේ කීවේය: ” [චීනය] ඔවුන්ගේ නාවික හමුදාවේ ප්‍රමාණය, ඔවුන්ගේ හමුදාවේ සහ ඔවුන්ගේ ගුවන් හමුදාවේ ප්‍රමාණය සැලකිය යුතු ලෙස වැඩි කරගෙන ඇත, ඔවුන් සිය න්‍යෂ්ටික අවි සැලකිය යුතු ලෙස වැඩි කර ඇත.  මේ කාරණා ඔස්ට්‍රේලියාව ඔවුන්ගේ ආරක්ෂාව වැඩි කර ගත යුතු බවට තීරනය කරීමට පොලඹවා ඇත”. 

එහි න්‍යෂ්ටික අවි ගබඩාව ඇතුළුව එක්සත් ජනපද මිලිටරි වියදම් විශාල වශයෙන් ප්‍රසාරණය කිරීම, තායිවානයේ හමුදා ස්ථානගත කිරීම සහ ජපානය, දකුනු කොරියාව සහ පිලිපීනය සමඟ ගිවිසුම් ඇතිකර ගැනීම ඇතුළුව ඉන්දු-පැසිෆික් කලාපය පුරා එහි වැඩෙන ව්‍යාප්තිය ගැන ඇමති ලිට්ල් සඳහන් කළේ නැත.  එක්සත් ජනපදය සහ එහි සහචරයින් දකුනු චීන මුහුද සහ තායිවාන් සමුද්‍ර සන්ධිය ඇතුලු චීනය ආසන්නයේ ප්‍රකෝපකාරී නාවික අභ්‍යාස නිතිපතා සිදු කරයි.

පසුගිය වසරේ, න්‍යෂ්ටික සන්නද්ධ චීනයට සහ රුසියාවට එරෙහි එහි යුදමය ක්‍රියාදාමයට සහය දක්වමින් නේටෝ සමුළුවක් ඇමතූ පළමු නවසීලන්ත නායිකාව බවට එවකට අගමැතිනි ජසින්ඩා ආර්ඩර්න් පත් වූවාය.

මේ අතර, ලේබර් ආන්ඩුව සිය මිලිටරි හා බුද්ධි අංශ වැඩිදියුණු කිරීම සඳහා බිලියන ගනන් වියදම් කරයි.  අප්‍රේල් 2 දා, සටෆ් (Stuff) මාධ්‍යය හෙළි කළේ, ඕක්ලන්ඩ් හි ගුවන් හමුදා කඳවුරක නව දත්ත මධ්‍යස්ථානයක් සඳහා ඩොලර් මිලියන 300ක් වැය කරමින් සටින බවත්, එය එක්සත් ජනපදය මෙහෙයවන “පංච-අක්ෂි” වැඩසටහන යටතේ  ආසියාවේ, පැසිෆික් කලාපයේ සහ ජාත්‍යන්තරව  තොරතුරු බැලීමේ කොටසක් ලෙස නිරීක්ෂණ සිදු කරන රජයේ සන්නිවේදන ආරක්ෂක කාර්යාංශය (GCSB) විසින් රැස් කරන ලද තොරතුරු ගබඩා කරන බවත්ය. 

සුළු අධිරාජ්‍යවාදී බලවතෙකු ලෙස, නවසීලන්තයේ ධනේශ්වරය සැමවිටම විශ්වාසය තබා ඇත්තේ එක්සත් ජනපදය හා ඕස්ට්‍රේලියාව සමඟ ඇති සන්ධානය මත ය;  පැසිෆික් කලාපයේ සහ වඩාත් පුලුල් ලෙස නවසීලන්තයේ කොල්ලකාරී අවශ්‍යතා සඳහා සහාය සහතික කිරීම පිණිස එය කොරියාවේ, වියට්නාමයේ, ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ සහ දැන් යුක්රේනයේ යුද්ධවලට සහාය දුන්නේ ය.

නවසීලන්ත කම්කරු පන්තිය තුල පුලුල්ව පැතිරුනු යුද විරෝධී මනෝභාවයක් පවතී.  කෙසේ වෙතත්, ලේබර්, ග්‍රීන්ස්, ජාතික හෝ වෙනත් ධනේශ්වර පක්ෂයක් තුන්වන ලෝක යුද්ධයෙන් ඉවත් වී සි⁣ටීමට බලපෑම් කරනු ලැබිය හැකි යැයි විශ්වාස කිරීම මාරාන්තික වැරැද්දකි.

යුද්ධයේ හා පන්ති අරගලයේ ඉහලම කාලපරිච්ජේදයක්

අධිරාජ්‍යවාදී යුද්ධයේ සූදානම පසුබිමෙහි පන්ති අරගලය පූර්ව විප්ලවවාදී ආකාරයක් අත්කරගනිමින් තිබේ. යුරෝපයේමත් රටක් රටක් පාසා නව ඉහල මට්ටමකින් වර්ධනය වන පන්ති අරගල ධනපති විරෝධී විභවයන් අත්කරගෙන තිබේ. 

වර්තමාන ජාත්‍යන්තර භූ-දේශපාලනය අන්තර් සම්බන්ධිත සංසිද්ධි දෙකකින් සංලක්ෂිත වේ: එනම් ලෝක යුද්ධය දෙසට අධිරාජ්‍යවාදී තල්ලුව සහ ජාත්‍යන්තර පන්ති අරගලයේ පුනර්ජීවනයයි.  මෙම ක්‍රියාවලීන්  දෙක ගැඹුරින් සම්බන්ධ වේ.  අධිරාජ්‍යවාදී පාලක ප්‍රභූව යුද මාවතට තල්ලු කරන එම ආර්ථික, භූ දේශපාලනික හා සමාජීය ප්‍රතිවිරෝධතා කම්කරු පන්තියේ රැඩිකල්කරණයට හා විප්ලවවාදී අරගල පුපුරා යාමට වෛෂයික ආවේගය සපයයි.

න්‍යෂ්ටික සන්නද්ධ බලවතුන් අතර ලෝක යුද්ධය දෙසට වන මෙම විනාශකාරී වෛශික ධාවනය නැවැත්වීමේ එකම මාධ්‍යය වන්නේ ගෝලීය ධනවාදයට සහ එහි යල්පැනගිය  ප්‍රතිවාදී ජාතික රාජ්‍ය  ක්‍රමය අවසන් කිරීමට සමාජවාදී ඉදිරිදර්ශනයක පදනම මත ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම ය.  

#theSocialistLK #CACPS 

තෙවන ලෝක යුද සූදානම ගැඹුරට: නෝටෝව රුසියාව වට කරද්දී, චීනයට එරෙහි ඇමරිකානු-නේටෝ ප්‍රමුඛ යුද පෙරමුණ තර කෙරේ Read More »

Scroll to Top