politics

Helen Halyard

හෙලන් හෙල්යාඩ්ට උපහාරයක්

ඩේවිඩ් නෝර්ත් විසිනි.

Helen Halyard

වයස අවුරුදු 73 දී හෙලන් හෙල්යාර්ඩ්ගේ (නොවැම්බර් 24, 1950-නොවැම්බර් 28, 2023) අනපේක්ෂිත හා හදිසි මරනය, එක්සත් ජනපදයේ සහ ලොව පුරා, කම්කරු පන්තියට සමාජවාදය සඳහා නිර්භීත හා පරහිතකාමී සටන්කරුවෙකු අහිමි කර ඇත. හෙලන්ගේ වියෝව ඇය සමග දශක ගනනාවක්, සමස්ථ අර්ධ ශතකයක් පවා වැඩ කර ඇති, සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදයේ) සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාකාවල ඇගේ සහෝදරයින්ට ඉමහත් පුද්ගලික පාඩුවකි. 

1971 දී වර්කර්ස් ලීගයට (සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියා) පළමු වරට සම්බන්ධ වූ දා සිට, හෙලන් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ වැඩ කටයුතුවල තීරනාත්මක භූමිකාවක් ඉටු කලා ය. මහජන සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය සහ වියට්නාම් යුද්ධයට එරෙහි අරගලය විසින් දේශපාලනිකව රැඩිකලීය වූ ඇය, අප්‍රිකානු-ඇමරිකානු කම්කරු පන්තියේ වඩාත් ම දියුනු කොටස්වල උරුමය සහ සටන් සම්ප්‍රදායන් තුල බුද්ධිමය ව, සංස්කෘතික ව හා භාවාත්මක ව ගැඹුරින් මුල් බැස සිටියා ය. 

වර්කර්ස් ලීගයට බැඳීමට පෙර පවා, හෙලන් එක්සත් ජනපදය තුල වාර්ගික පීඩනයට එරෙහි අරගලය ධනවාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි පුලුල් ජාත්‍යන්තර පන්ති අරගලයක් සමග අනන්‍ය ලෙස හඳුනා ගත්තා ය. එම නෛසර්ගික ප්‍රවනතාවය හෙලන් සියලු ආකාරයේ ජාතිකවාදී දේශපාලනයෙන් බිඳී වර්කර්ස් ලීගයට බැඳීමට හේතු විය. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වෙත ඇයගේ හැරීම වඩාත් සවිඥානික විය. ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය සහ පැබ්ලෝවාදී සමාජවාදී කම්කරු පක්ෂය විසින් අනුමත කරන ලද කළු ජාතිකවාදයට අවස්ථාවාදී අනුගත වීම හෙලන් තරයේ ප්‍රතික්ෂේප කලා ය. 

ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල වසර 52ක් පුරා විහිදුනු හෙලන්ගේ ඓතිහාසික භූමිකාව පිලිබඳ සවිස්තරාත්මක සමාලෝචනයක් සහ සාරාංශයක් මෙම ආරම්භක උපහාරයේ විෂය පථයේ සීමාව තුල කල නො හැකි ය. ඇගේ පක්ෂ සහෝදරවරු තවමත් මෙම බිහිසුණු අහිමි වීමේ කම්පනය පෙල ගස්වමින් සිටිති. එහෙත් ප්‍රකාශ කළ යුතු දෙය නම්, එක්සත් ජනපදයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය, හෙලන් හෙල්යාඩ්ගේ ජීවිතය සමග අවියෝජනීය ලෙස බැඳී ඇති බවයි. 

විප්ලවවාදී පක්ෂයක් එහි සාමාජිකයන් අධ්‍යාපනගත කරයි. එහෙත් අනෙක් අතට පක්ෂයේ දේශපාලන, සමාජීය, සංස්කෘතික සහ සදාචාරාත්මක හැඩගැසීමට එහි කේඩරයන්ගේ චරිත ස්වභාවය ප්‍රබල ලෙස බලපායි. විශේෂයෙන් ම හෙලන් සම්බන්ධයෙන් එය එසේ ම ය. ඇයගේ පෞරුෂය තුල දැවැන්ත ශක්තියක්, සුවිශේෂී බුද්ධියක්, සමාජවාදී අරමුන සඳහා දැඩි කැපවීමක්, ප්‍රතිපත්තිගරුක බව, බුද්ධිමය ඒකාග්‍රතාවය, පුද්ගලික ත්‍යාගශීලීභාවය, විනෝදකාමීත්වය සහ කරුණාව කැපී පෙනේ. හෙලන් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ සහ පසුගිය වසර 50 තුල පන්ති අරගලයේ ප්‍රධාන  සියලු තීරනාත්මක අත්දැකීම්වල කේන්ද්‍රය විය. 

වසර ගණනාවක් හෙලන් සමඟ වැඩ කිරීමේ වරප්‍රසාදය ලැබූ සසප වැඩිහිටි සාමාජිකයින්ට විශ්වාසවන්ත සහෝදරාත්මක සහ ආදරණීය සහ අසමසම සහෝදරියක අහිමි වී ඇත. තරුසාමාජිකයින්ට දිරිගන්වන ගුරුවරයෙකු අහිමි වී ඇත.

මෙම කෙටි ලිපිය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 නොවැම්බර් 29 දින A Tribute to Helen Halyard යනුවෙන් ඉංග්‍රීසි බසින් පලවිය.

හෙලන් හෙල්යාඩ්ට උපහාරයක් Read More »

Morocco

මොරොක්කෝ භූමිකම්පා ව්‍යසනය: ධනවාදය උරුම කර දුන් තවත් එක් ඛේදවාචකයක්

මිගාර මල්වත්ත විසිනි.

දමොරොක්කෝවේ සිව්වන විශාලතම නගරය වන මරකේෂ් සිට දළ වශයෙන් කිලෝමීටර් 70 ක් දකුණින් පිහිටි අල්-හවුස් පළාතේ ඉගිල් අපිකේන්ද්‍රය කර ගනිමින් රික්ටර් පරිමාණයේ 6.8 ක ප්‍රබල භූ කම්පනයක් සැප්තැම්බර් 8 වෙනි සිකුරාදා රාත්‍රී 11ට පමන දකුණු මොරොක්කෝවේ දී සිදු විය. මෙම භූමිකම්පාව කේන්ද්‍රගත වූ උස් ඇට්ලස් කඳුකරයේ කුඩා, හුදකලා ගම් සහ නගරවලට ඉන් විනාශකාරී බලපෑමක් ඇති කළේය. මරණ සංඛ්‍යාව 2900 ඉක්මවා පැවතිනි. 5500 වැඩි පිරිසක් තුවාල ලැබූ අතර, ඉන් බොහොමයකට බරපතලය. කඩා වැටුණු ගොඩනැගිලි යට සිර වී මිය ගිය බොහෝ දෙනෙකුගේ සිරුරු සොයා නොගැනුණි. 

Morocco
2023 සැප්තැම්බර් 11, සඳුදා, මොරොක්කෝවේ, Marrakech අසල, Tafeghaghte ගම්මානයේ භූමිකම්පාවකින් හානියට පත් වූ තම නිවසේ සුන්බුන් අතර යමක් සොයන කාන්තාවක් (AP Photo/Mosa’ab Elshamy) [AP ඡායාරූපය /මොසාබ් එල්ෂාමි]

මෙම භූමිකම්පාවෙන් පුද්ගලයන් 300,000 ක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ. මරාකේෂ් සිට පිළිවෙලින් කිලෝමීටර් 180 සහ 200 ක දුරකින් පිහිටි, බටහිර මොරොක්කෝවේ වෙරළබඩ ඉම්සුවන් (Imsouane) සහ එසුවේරා (Essaouira) යන නගරවලට සහ අපිකේන්ද්‍රයට කිලෝමීටර් 350ක් උතුරින් රබාත් අගනුවරට ද භූමිකම්පාව දැනී තිබුණි.

නමුත්, නවීනතම ඉන්ජිනේරු තාක්ෂණය මගින් භූමිකම්පා ප්‍රතිරෝධී ගොඩනැගිලි ඉදිකිරීම සාර්ථකව කරගෙන යන තතු තුල, තවදුරටත් භුමිකම්පා, රික්ටර් පරිමානයේ ඉහළ අගයක් ගැනීම මගින්ම එම භූමිකම්පාවේ ව්‍යසනකාරී බව තීන්දු වන්නේ නැත.

මන්ද, ලෝකයේ වඩාත්ම භූමිකම්පා ඇති රටවලින් එකක් වන ජපානයේ, 2022 සිදු වූ ෆුකුෂිමා භූමිකම්පාව රිච්ටර් පරිමාණයෙන් 7.4 ක් විය. එහෙත්, ජපානයේ භූමිකම්පාවලට ඔරොත්තු දෙන ගොඩනැගිලි ඉදිකර තිබූ බැවින්, ලක්ෂ තුනකට ආසන්න සංඛ්‍යාවක් වෙසෙන ෆුකොෂිමා නගරයේ එම භූමි කම්පාවෙන් මිය ගියේ තිදෙනෙකු පමණි.  

මෙයින් පෙනී යන්නේ, ආරක්ෂිත ගොඩනැඟිලි නිසි යටිතල පහසුකම් සහිතව ඉදිකර ඇත්නම්, මොරොක්කෝවේ සිදු වූ භූමිකම්පාවට වඩා බලවත් භූමිකම්පාවලින් පවා නගර බේරී සිටිය හැකි බවයි.

ඒ බව මෙම භූමිකම්පාව තුළ දීම දැක ගත හැකි විය. මරණ 2900 කට වැඩි ප්‍රමාණයක් සිදු වූ, රික්ටර් පරිමාණයෙන් 6.8 වූ භූමිකම්පාවෙන්ද, මිලියනයකට ආසන්න ජනගහනයක් සහිත ගෝලීය සංචාරක මධ්‍යස්ථානයක් වන, ශක්තිමත්ව භූ කම්පනයන්ට ඔරොත්තු දෙන ගොඩනැගිලි ඉදිකර තිබූ මරාකේෂ් හි මිය ගියේ 18 දෙනෙකු පමණි. සැබැවින්ම, මරාකේෂ් ට ආසන්න කදුකර ගම්මානවල විනාශයට සාපේක්ෂව මරාකේෂ් හි භූමිකම්පා හානිය ඉතාමත් අල්පය. 

Map
මොරොක්කෝ භූමිකම්පා සිතියම (Encyclopedia Britannica)

වාර්තාගත 2900කට වැඩි වූ මුළු මරණ සංඛ්‍යාවෙන් 2000 කට ආසන්න ගනනක් වාර්තා වී ඇත්තේ, ප්‍රමුඛවම අල්-හවුස් කලාපයේ, තාරූඩන්ට් (Taroudant) හා චිචෝවා (Chicagoland) වැනි කදුකර ප්‍රදේශ වලිනි. එහි මිය ගිය බොහෝ දෙනෙක් කඳුකර ගම්මානවල වැසියෝ වූහ. පැරණි, අවදානමට ලක්විය හැකි ඔවුන්ගේ මඩ ගඩොල් නිවාස භූමිකම්පාවෙන් විනාශ වූ අතර එම සුන්බුන් තුළ සිරවීමෙන් ඔවුහු මිය ගියහ. මරාකේෂ් සිට සැතපුම් 40ක් නිරිත දෙසින් පිහිටි ටෆහෝටා (Tafeghaghte) ගම්මානයේ වැසියන් 200 න් 90 ක් මියගොස් ඇති බව තහවුරු වී ඇත. තවත් දුසිම් ගනනක් අතුරුදහන් වී ඇති අතර ඔවුන්  සුන්බුන්වල සිරවී මිය ගොස් ඇතැයි විශ්වාස කරනු ලබයි. 

අයහපත් තත්ත්වය නිසා ගලවාගැනීමේ කණ්ඩායම් වලට එහි ළඟා වීමට අපහසු වීය. ඉන්ටර්නැෂනල් ජර්නල් ඔෆ් ඩිසාස්ටර් රිස්ක් (International Journal of Disaster Risk) සඟරාව අපේක්ෂා කල අන්දමට, මේ නිසා දරුණුතම බලපෑමට මුහුන පෑ, දුෂ්කර කඳුකර ගම්මානයන්හි මරණ සංඛ්‍යාව ඛේදජනක ලෙස ඉහළ ගොස් තිබුණි. 

2021 දී, ඉහත කී සගරාව මගින් කෝටි 150 ක ජනතාවක්, ලොව පුරා භූමිකම්පා ඇති ප්‍රදේශවල ජීවත් වන බව සොයා ගෙන ඇත. ෆෝබ්ස් සගරාවේ ලැයිස්තුවට අනුව කත්මන්ඩු, ඉස්තාන්බුල්, දිල්ලි, ක්විටෝ, මැනිලා, ඉස්ලාමාබාද්, සැන් සැල්වදෝර්, මෙක්සිකෝ සිටි, ඉස්මීර් සහ ජකර්තා යන මිලියන සංඛ්‍යාත ජනතාවන් ජීවත් වන නගර 10ක්, භූමිකම්පා සිදු විය හැකි විශාල නගර වශයෙන් නම් කර ඇත. භූමිකම්පාවලට ඔරොත්තු දෙන නිවාස තැනීමට අඩු ප්‍රමුඛතාවයක් දෙන බවට 1999 නේචර් සඟරාව අනතුරු අඟවමින් සදහන් කොට තිබුනේ, “අනාගත නගරවල භූමිකම්පාවලට ඔරොත්තු දෙන ඉදිකිරීම් නොමැතිකම අනාරක්ෂිත වනු ඇත,” යනුවෙනි.

අප්‍රිකානු සහ යුරේසියානු භූගෝලීය තැටි අතර වූ දිගු බිදීම් මත මොරොක්කෝව පිහිටා ඇත. එම ප්‍රසිද්ධ භූමිකම්පා කලාපය මොරොක්කෝවේ එමාසිග් (Amazigh) හෙවත් බර්බර් (Berber) ප්‍රජාවගේ නිවහන වේ. 1960 දී අගඩිර් සහ 2004 දී අල් -හොසීමාහි විශාල භූමිකම්පා මේ කලාපය අත් දැක්කේ ය. එහෙත්, මොරොක්කෝවේ හයවන මොහොමඩ් රජුගේ පාලන තන්ත්‍රය මරාකේෂ් වැනි විශාල නගරවල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී මෙම කලාපය ක්‍රමානුකූලව අතහැර දැමීය. ඊට එරෙහිව කලාපයේ වැසියන්ගෙන් පැනනැගි විරෝධතා ද මර්දනය කෙරුනි.

මෑත භූමිකම්පා සිදු වී තිබියදීත් මොරොක්කෝවේ භූමිකම්පා කලාපවල බොහෝ ගොඩනැගිලි සහ විශේෂයෙන් ග්‍රාමීය නිවාස ඉදිකර තිබුනේ කම්පනවලට ඔරොත්තු දීමට නොවේ. එහෙයින්, දිලිදු ග්‍රාමීය මොරොක්කෝ වැසියන්ට සිදු ව ඇත්තේ අනාරක්ෂිත මඩ ගඩොල් නිවාසවල ජීවත්වීමට ය. එපමණක් නොව, හදිසි ආපදාවක දී, ඊට ප්‍රතිචාර දැක්වීමට සැලකිය යුතු, කිසිදු සැලසුමක් රජය සිදු කර නොතිබුණි.

ඉතා දුර්වල යටිතල පහසුකම් නිසා සාමාන්‍ය දිනක දී වුවත් ප්‍රවේශ වීමට අපහසු , වඩාත්ම දුෂ්කර කලාපයකි එය. රෝහල් පද්ධතිය ද ඉතා දුර්වල තත්ත්වයක පවති. භූමිකම්පාව හේතුවෙන් ඇති වූ සුන්බුන් වලින් මාර්ග පද්ධතිය ඇහිරී තිබූ නිසා, එම කලාපයට ප්‍රවේශ වීම වඩා දුෂ්කර වී තිබුණි. එහෙයින් මෙම ආපදාව සදහා ක්ෂණික ආධාර ලබා දීමට යම් ආශ්චර්යයක් සිදු විය යුතු යැයි, මොරොක්කෝව පිලිබඳව අධ්‍යයනය කරන ස්ටැන්ෆෝර්ඩ් විශ්ව වවිද්‍යාලයේ පර්යේෂකයෙකු වන සමියා එරැසවුකි ( Samia Errazzouki ) පැවසුවාය.

එක්සත් ජනපදයේ සහ ප්‍රංශ අධිරාජ්‍යවාදයේ දිගුකාලීන මිත්‍රයෙකු වූ මොරොක්කෝවේ හයවන මොහොමඩ් රජු, භූමිකම්පාව සිදු වන විට පැරිසියේ අයිෆල් කුළුණ අසල පිහිටි ඔහුගේ යුරෝ මිලියන 80 වටිනා මන්දිරයේ නිවාඩුවක් ගත කරමින් සිටියේය. ඔහු නැවත මොරොක්කෝවට පැමිනිය ද මේ සම්බන්ධව කිසිදු බැරෑරුම් ප්‍රකාශයක් කළේ නැත. එමෙන්ම, ආන්ඩුවේ වෙනත් නිලධාරියෙකුවත් ඒ පිලිබද ව ප්‍රකාශයක් නිකුත් කොට නොතිබුනි.

භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ගේ දුක්ඛිත තත්වය පිළිබඳ දක්වන උදාසීනත්වයේ දී මොරොක්කෝ රජු අභිබවා ගියේ මොරොක්කෝවේ හිටපු යටත් විජිත බලයක් වූ ප්‍රංශය පමණි. ප්‍රංශයේ මොරොක්කෝ ඩයස්පෝරාව මිලියන 1.5 කට අධික ජනතාවක් සිටින අතර මරාකේෂ් යනු ප්‍රංශයේ ඉතා ජනප්‍රිය නිවාඩු ගමනාන්තයකි. 

මෙහි දී මොරොක්කෝ රාජාණ්ඩුව ප්‍රංශයට වඩා ස්පාඤ්ඤ, බ්‍රිතාන්‍ය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයන්හි ගලවා ගැනීමේ කණ්ඩායම්වලට ආරාධනා කිරීමට කැමති බව ඇඟවීමෙන් පසු, ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ රජය මොරොක්කෝවේ බේරා ගැනීමේ කටයුතු වලට සහ එහි සංවිධානවලට ආධාර වසයෙන් යුරෝ මිලියන 5 ක සොච්චමක් පරිත්‍යාග කරන බවට නිවේදනය කළේය. එහෙත්, රුසියාවට එරෙහි නේටෝ යුද්ධය සඳහා මැක්‍රොන් යුක්රේනයට යවා ඇති සීසර් බර කාලතුවක්කු පද්ධති 30 න් එකක වටිනාකම මොරොක්කෝවට පරිත්‍යාග කළ මුදලට සමාන වේ!

මෙම නොසලකා හැරීමෙන් හා ව්‍යසනය සුලු කොට සැලකීමෙන් පෙනී යන්නේ, කම්කරු පීඩිත මහජනතාවගේ ජීවිත කෙරෙහි පාලක පන්තියේ අවඥා සහගත ආකල්පය යි.  ධනපති අර්බුදය දිනෙන් දින උඩු දුවන තත්ත්වයේ දී ධනපති ක්‍රමය තුළ ස්වකීය අර්බුදය ජය ගැනීමට ධනපති පන්තිය, කම්කරු පන්තියේ සියලු සුබසාධනයන් කප්පාදු කොට ස්වකීය ලාභ අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම පමණක් තෝරා ගැනීමට සිදු වීම මෙම මහා ව්‍යසනයන් පිටුපස පවතින වෛෂයික යථාර්ථයයි.

පෙබරවාරියේ, තුර්කියේ සහ සිරියාවේ සිදු වූ භූමිකම්පාවෙන් 50,000 කට වැඩි පිරිසක් මිය ගියේ ය. භූමිකම්පාවෙන් පීඩාවන්ට පත් වූ දහස් ගණනක් තවමත් කූඩාරම්වල ජීවත් වේ. ඔවුන්ගේ මෙම ගැටළුව විසදීමට තුර්කි ආන්ඩුවට කිසිදු වැඩ පිළිවෙලක් නැත. එකී පාලනය යටතේ, ඔවුන්ට බල කෙරෙනු ඇත්තේ යලි එම ප්‍රදේශ වලට ගොස්, නිවාස තනා ගෙන පෙර පරිදි ජීවත් විමටත් අනාගතයේ ඇති වන භූමිකම්පාවන් තුල දස දහස් ගණනින් මිය යෑමටත් ය.

පසුගිය සැප්තැම්බර් 10 දා, ලිබියාවේ ඩර්නා නගරයට ආසන්නව පිහිටා තිබූ වේලි දෙකක් පුපුරා ගොස්, ඩර්නා නගරය හා ඒ අවට ප්‍රදේශය ජලයෙන් යට වීමෙන් 20, 000 වැඩි ගනනක්ගේ ජීවිත විනාශ කෙරුනි. එය ද ස්වභාවික විපතක් ලෙස අර්ථ දැක්වීමට ධනපති මාධ්‍ය මගින් උත්සාහ කරනු ලැබුවද , එම ව්‍යසනය පිටුපස පවතින සාධකය වන්නේ, 2011 ලිබියාවට එරෙහි නේටෝ ආක්‍රමණයයි. එහි ප්‍රතිඵලයක් ලෙස අධිරාජ්‍යවාදීන්ගේ හා වෙනත් ධනපති බලවේගයන්ගේ පිටුබලය ලබන ප්‍රතිවාදී ධනපති කල්ලි කණ්ඩායම් අතර ඉන්ධන සම්පත මත සිය ආධිපත්‍යය තහවුරු කර ගැනීමේ දශකයකට වැඩි කාලයක් ඇදී ගිය සිවිල් යුද්ධයකට තල්ලු විය. එමගින් රටේ යටිතල පහසුකම් පද්ධතිය සම්පූර්ණ නොතකා හැරිනි.

ඊට අමතරව, මේ සදහා ඇති වඩාත් ප්‍රශස්ත උදාහරණය නම්, 2019 වසරේදී ඉස්මතු වී, විටින් විට, රැළි වශයෙන් මතුවෙමින්, අද දක්වාම ලොව පුරා ව්‍යාප්තව පවතින, කොවිඩ් වසංගතයි. මේ වන විට එමගින් මරා දැමූ මිනිස් ජීවිත සංඛ්‍යාව කෝටි 3 ඉක්මවනු ලබයි. එනම් පලමු වන ලෝක සංග්‍රාමය මගින් විනාශ වූ ජීවිත සංඛ්‍යාවට වඩා 1 කෝටියක් මේ වන විටත් වැඩිය. මේ වසංගතය පුපුරා යන මොහොතේම නිසි පරිදි අගුළු දැමීම් ඇතුළු සෞඛ්‍ය පියවර ගනු ලැබුණි නම්, සති කිහිපයක් තුළ මෙම වෛරසය ලෝකයෙන් තුරන් කළ හැකිව තිබුණි. නමුත් එහි බර පැන දැරීමට ධනපති ආන්ඩු සූදානම් නොවීය. ඔවුන්ගේ උත්සුකය වූයේ ධනපති ආර්ථිකය රැකීමයි.

මර්දනය කල හැකිව තිබූ වෛරස් රෝගයක් මිලියන ගනනින් ජීවිත අහිමි කල ගෝලීය වසංගතයක් බවට පත් වූයේත්, ඉවක් බවක් නොමැතිව කාබන් වායුව වායුගෝලයට මුදා හැරීමෙන්, මධ්‍යධරණී මුහුද අධික ලෙස රත් වීමෙන් ඒ හරහා හමා ගිය, ඩැනියෙල් කුණාටුව අති බිහිසුනු වූයේත්, ලිබියාවේ ඩර්නා නගරයට ආසන්නව පිහිටා තිබූ වේලි දෙක කඩා බිද වැටී, ඩර්නා නගරය හා ඒ අවට ප්‍රදේශය ගංවතුරට යට වීමෙන් 20,000 වැඩි පිරිසක් මරණයට පත් වූයේත්, පසුගිය පෙබරවාරියේදී ඇති වූ තුර්කි-සිරියානු භූමිකම්පාව,  මොරොක්කෝ භූමිකම්පාව මගින් දහස් ගණනක් මිය ගොස් ඛේදවාචකයන් බවට පත්වූයේත්, ඇෆ්ගනිස්ථානයේ ඔක්තෝම්බර් අග සිදුවූ භූමිකම්පා මගින් තවත් දස දහස් ගනනකට උන්හිටි තැන් අහිමි කෙරුනේත් මෙම ලාභ ගරන පද්ධතියේ ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය කර ඇති, පාරිසරික, සමාජ, ආර්ථික හා දේශපාලන කොන්දේසි හේතුවෙනි.

වර්තමානයේ දී, සමාජ සුබසාධනයට හා මහජන යටිතල පහසුකම් සදහා වෙන්කරන ඉතා සුළු මුදලක් වුව සිය ලාභ අවශ්‍යතාවයට මාරකව පිහිටා ඇති බැවින්, ලෝකයේ, සෑම ජාතික ආන්ඩුවකම පාලනයේ සිටින ධනේශ්වර පන්තිය, මේ වන විට ඒ සියලු දේ ප්‍රතික්ෂේප කර ඇත. ඒ වෙනුවට, 1990 සිට, යුගෝස්ලාවියාව, ඇෆ්ගනිස්ථානය, ඉරාකය, ලිබියාව, සිරියාව මාලි සහ යුක්රේනයේ එක්සත් ජනපද-නේටෝ යුද්ධ හා වර්තමානයේ පලස්තින මහජනතාවට එරෙහිව ඊශ්‍රායලය ගෙනයන සංහාරය සඳහා මේ වන විට,  ඩොලර් ට්‍රිලියන ගනනක් වියදම් කර ඇති අතර, තවත් ඩොලර් බිලියන ගණනක් ඒ සදහා වෙන් කර ඇත. ලෝක ජනගහනයෙන් අඩක සතු ධනයට සමාන මුදලක්, අද ලෝකයේ ධනවත්ම පුද්ගලයන් අට දෙනා සතුව ඇත. නමුත්, පහසුවෙන් සුවකළ හැකි මෙන්ම නිවාරණය කල හැකි රෝග නිසා මිලියන ගණනින් මහජනතාව මිය යන අතර, මෙසේ භූමිකම්පා අවධානම් ප්‍රදේශවල,  භූමිකම්පාවකදී ඔවුන්ව මරණයට පත් කළ හැකි නිවාසවල විශාල පිරිසක් ජීවත් වෙති.

උමතු ආකාරයෙන් ධනය පසුපස හඹා යන,  වෙනසක් සඳහා වන ඉල්ලීම් වලට මිලිටරිවාදීමය ආකාරයෙන් පිලිතුරු දෙන, ඉතා කුඩා, වගකීම් විරහිත පාලක ප්‍රභූවක්, ජනගහනයේ යහපැවැත්මට සහ පැවැත්මට පවා අත්‍යවශ්‍ය අතිවිශාල සමාජ සම්පත් යුද්ධය හා මර්දනය පිනිස නාස්ති කරන යථාර්ථයකට ලොව පුරා කම්කරු පන්තිය මුහුන දී සිටී. 

කම්කරු පන්තියේ ඉදිරි මාවත නම්, සමාජ සම්පත් පුද්ගලික ලාභයට යටත් කිරීමට එරෙහිව, ඒවා ධනපති ග්‍රහනයෙන් උදුරා ගැනීමෙන් ඒවා පාලනය කිරීම සහ භූමිකම්පා ආරක්ෂාව ඇතුළු මූලික සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා ඒවා භාවිතා කිරීමයි. ප්‍රන්ස හමුදා නයිජර්, මාලි සහ බර්කිනා ෆේසෝ වැනි රටවලින් ඉවත් විය යුතු යැයි ද, පලස්තින ජන සංහාරය වහා නවතා දමන ලෙස කම්කරුවන් හා තරුනයින් විශාල පිරිසක් ඉල්ලා සිටින තතු යටතේ, යුරෝපය හා අප්‍රිකාව පුරා කම්කරු පීඩිත මහජනතාවගේ කෝපය පුපුරා යද්දී – එවන් අරගලයක් සඳහා වෛෂයික කොන්දේසි මතුවෙමින් තිබේ. ධනවාදයට එරෙහිව සහ සමාජවාදය සඳහා අරගලයක් තුල අප්‍රිකාවේ, යුරෝපයේ හා ජාත්‍යන්තරව කම්කරුවන් එක්සත් කිරීම අත්‍යවශ්‍ය වේ.

මොරොක්කෝ භූමිකම්පා ව්‍යසනය: ධනවාදය උරුම කර දුන් තවත් එක් ඛේදවාචකයක් Read More »

Saman

විවෘත ලිපිය: සසප උප ලේකම් සමන් ගුනදාස හමාස් සමග පෙල ගැසීමක් ඉල්ලා සිටියි

නන්දන නන්නෙත්ති විසිනි.

සමාජවාදී සමානතා පක්ෂයට විවෘත ලිපියක් 

සහෝදරවරුනි, සහෝදරියනි,

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) “ගාසා තීරය තුල පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායල ජන සංහාරක යුද්ධය නවතනු! මැයින් “පවත්නන ලද රැස්වීම් 3කින් දෙවන රැස්වීම නොවැම්බර් 19 දින ගාල්ල ගෝල් ඩි ගෝල් ශ්‍රවනාගාරයේ පැවැත් විනි. එහි දී, සසප උප ලේකම් සමන් ගුනදාස සහෝදරයා පැය දෙකක් තිස්සේ කල සිය දේශනය තුල දී මෙසේ කියයි: ඊශ්‍රායලය විසින් දිගින් දිගට ම පලස්තීන ජනතාව පීඩාවට පත් කිරීම නිසා, එම පීඩාව දරාගත නො හැකිව, ඔක්තෝම්බර් 7 හමාස් සංවිධානය ඊශ්‍රායලය තුල එල්ල කල ප්‍රහාරයේ දී, “සිවිල් ජනතාව ඝාතනය වීම හෝ ප්‍රාන ඇපකාරයන් ගැනීම, හෝ ඒ සියලු ම දේවල් අපි ආරක්ෂා කරනවා.”

ඔහුට අනුව “ඉතිහාසය ගමන් කරන්නේ මේ විදියේ පීඩිත ජනතාවගේ නැගිටීම් හරහා” ය. මේ වනාහී “මෙතෙක් පැවති සමාජවල ලිඛිත ඉතිහාසය පන්ති අරගලයේ ඉතිහාසය යි” යන මාක්ස්වාදී ප්‍රස්තුතය විකෘති කිරීමකි. මාක්ස්වාදය හෝ කම්කරු පන්තිය සිය දිවි නසා ගැනීමේ සුලු ධනේශ්වර විධික්‍රම සමග එකට සිටගෙන නැත. 

නොවැම්බර් 15 යාපනය, මිලේනියම් ගෙස්ට් හවුස්හි පැවති, උක්ත රැස්වීම් මාලාවේ, පලමු රැස්වීමේ ද ප්‍රධාන දේශකයා වූ සමන් සහෝදරයා, “හමාස් සංවිධානයේ ආගමික විශේෂතා ජාතිකවාදී වැඩපිලිවෙල මම අනුමත කරන්නේ නෑ” යි කියන ගමන් ම අවධාරනය කරන්නේ “එහෙම උනා වුනත් පලස්තීන ජනතාවගේ නැගිටීමේ දී හමාස් සංවිධානයේ තියෙන නායකත්වය, හා එතන දී හමාස් සංවිධානය කරන ඒ ක්‍රියා කලාපය එක්ක අපි හිටගෙන ඉන්නවා යනාදී වශයෙනි. 

Saman
සමන් ගුනදාස යාපනය රැස්වීම අමතමින්

සමන් සිය කතාවට පදනම් කර ගත් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවත් (හජාක), ලෝක සමාජවාදී වෙබ් අඩවියත් (ලෝසවෙ) දැනටමත් පල කර ඇති පලස්තීන ප්‍රශ්නය පිලිබද සිය ගනනක් ලිපි අතර මෙබදු සංකල්පයකට කිසිදු ඉඩක් තබා නැත. ඒ වෙනුවට, ඒවා ඊශ්‍රායලය පිහිටු වීමේ කුමන්ත්‍රනයේ සිට මේ දක්වා පලස්තීන ජනයාට එරෙහි මුදා හරින ලද ප්‍රහාරයන් මාලාවකින් ඔක්තෝබ්බර් 7 ප්‍රතික්‍රියාව ජනනය කරනු ලැබූ බව පෙන්වා දෙන්නේ, සමස්ථ මහා ගිනි ජාලාව පැන නැංවූ මූලයන් වෙතින් මහජන අවධානය ඉවත හැරවීමට ගෙන යන පුලුල් ව්‍යාපාරයකට එරෙහිව ය. එහි දී අප පදනම් වන්නේ නිශ්චිත දේශපාලන දෘෂ්ඨි ආස්ථානයකිනි. එනම්, සියලු අපරාධවල මූලය වන අධිරාජ්‍යවාදය හා ධනවාදය මිහිතලයෙන් අතු ගා දමා කම්කරු පන්ති පාලනයක් ස්ථාපිත කිරීම සදහා ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීම ය.

ජාතික එක්සත්භාවයේ සහ විමුක්තියේ ප්‍රජාතනත්‍රවාදී කර්තව්‍යය, අදීරාජ්‍යවාදී යුගයේ ඉටු කිරීමට සමත් වන්නේ මාක්ස්වාදී ක්‍රියා මාර්ගයෙන් සන්නද්ධ වූත් පන්ති අරගලය මත පදනම් වූත්, කම්කරු පන්තියට පමනි” යන නො නවතින විප්ලව න්‍යායෙන් ඉවත හැරීමක්  “හමාස් සංවිධානයේ ඒ තියෙන නායකත්වය, එතන දී හමාස් සංවිධානය ඒ කරන ක්‍රියා කලාපය එක්ක  හිට ගෙන” සිටීමේ සමන්ගේ යෝජනාව නියෝජනය කරයි.

“අපි පීඩාවට පත් වූ ඒ ජනතාවට නැගීටීමට තියෙන අයිතිය ආරක්ෂා කරනවා” යනාදී වශයෙන් ද විස්තර කල බව ඔහු නිදහස සදහා කියා පෑමට ඉඩ තිබේ. එහෙත්, පීඩාවට පත් ජනතාව හා ධනේශ්වර හමාස් නායකත්වය නියොජනය කරන ප්‍රතිවිරුද්ධ පන්ති දෙකක අවශ්‍යතා නො තකා හමාස්  නායකත්වය හා ක්‍රියාකලාපය සමග හිට ගැනීම සිදු කල යුතු වන්නේ කුමන දේශපාලන අරුතකින් දැ යි පැහැදිලි නො කරයි. ඔහු එය සිදු කරනු ද නැත. හජාජාකව, හීලි අතුලු අවස්ථාවාදී කල්ලිය විසින් කම්කරු පන්තියේ ස්වාධීන නායකත්වය අවධාරනය කරනු වෙනුවට පලස්තීන විමුක්ති සවිධානය ඉස්මතු කරනු ලැබීමට එරෙහිව, මෙසේ ලිවී ය: “ජාතික ව්‍යාපාර තුල පවතින සුවිශේෂී පන්ති බලවේගයන් නිර්වචනය නොකර පලස්තින ජනතාව ගැන කරන සදහන යලිත් වරක් කම්කරු පන්තියේ තීරනාත්මක කාර්යභාරය වලලා දැමීමට උදව් කරන්නා වූ දේශපාලන වියුක්තයකි” [කම්කරු විප්ලවවාදී පක්ෂය ට්‍රොට්ස්කිවාදය පාවා දුන්නේ කෙසේ ද-1973- 1985, පිටුව 107]. මාක්වාදී ව්‍යාපාරයේ ඉතිහාසය හා පදනම් ගොඩ නැගී ඇත්තේ එබදු අරගල හරාහා ය.

කෙසේ වෙතත් පසු ගිය 21 දින කොලඹ මහජන පුස්ථකාල ශාලාවේ පැවැත් වූ ප්‍රස්තුත රැසිවීම් මාලාවේ අවසන් රැස්වීමේ දී සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර සහෝදරයා සමන්ට පටහැනිව පිහිටා සිටින බව උදක් ම පැහැදිලි විය. ඔහු අවධාරන කල පරිදි, “ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය හැටියට අපිට හමාස් සංවිධානය සම්බන්ධයෙන් විවේචන ඇත. ඒවා දේශපාලනික විවේචන ය. ඒවා කිසි සෙත් සදාචාරමය නො වේ.

“හමාස් සංවිධානය ධනපති ජාතිකවාදී ව්‍යාපාරයකි. ඔක්තෝම්බර් හත්වෙනිදා ඔවුන් එල්ල කල මිලිටිරි ප්‍රහාරය ඇතුලු ඔවුන් යොදා ගන්නා විධික්‍රම කිසි සේත් ම සියොන්වාදී රාජ්‍යය පරාජය කිරීමටවත්, පලස්තීන ජනයාගේ විමුක්තියටවත් හේතු වන්නේ නැත යන කාරනාව අපි එක හෙලා කියා සිටිමු. එමෙන් ම , හමාස් සංවිධානය පාදක වන්නේ මැදපෙරදිග පවතින විවිධ ධනපති තන්ත්‍රයන්ගෙන් ලැබෙන සහයෝගය මත ය. හමාස්හි යොමුව ඒ දෙසට ය. ඔවුන්ගේ ආයාචනය එම ආන්ඩු වෙත ය. ඒ නිසා ඔවුහු හැම විට ම සියොන්වාදී රාජ්‍යයට එරෙහි අරගලය, මැදපෙරදිග ධනපති තන්ත්‍රයන්ගේ අවශ්‍යතාවන්ට හා ඊශ්‍රායල් හෝ ලෝක අධිරාජ්‍යවාදී බලයන් සමග අටවා ගැනීමට සුදානම් කෙරෙන සමතයන්ට යටත් කරති.

“ඊශ්‍රායල් සියොන්වාදී තන්ත්‍රය ගෙනයන මෙම ජන ඝාතක යුද්ධය සම්බන්ධයෙන් නිසොල්මනේ බලා සිටීමේ පුරුද්දක් ලෝකය පුරා කම්කරුවන්ට හා තරුනයන්ට නැති බව පෙන්නුම් කර ඇත. … මෙම කම්කරුවන්, තරුනයන් සමග අපි සහයෝගී වෙමින් එක පෙලට හිට ගනිමු. ගාසා යුද්ධයට විරුද්ධව මෙම ව්‍යාපාර හැකි තාක් වර්ධනය කිරීම අපි ඉල්ලා සිටිමු. එමෙන් ම මෙම ව්‍යාපාරය කම්කරු පන්තිය දෙසට යොමු කර ගැනීමට අපි විශේෂයෙන් ම මැදිහතත් වෙමු.අධිරාජ්‍යවාදී යුද්ධය, ඊශ්‍රායල් ආක්‍රමනය නතර කිරීමට හැකි එකම සමාජ බලවේගය එය යි.”   

Deepal
දීපාල් ජයසේකර කොලඹ රැස්වීම අමතමින්

ජයසේකර සහෝදරයා යෝජනා කරන ජාත්‍යන්තර කමිටුවේ පිලිවෙත පැහැදිලි වන අතර අප ඒ සමග සහයෝගයෙන් ක්‍රියාකරන බව කිව යුතු ය. එහෙත් පක්ෂයේ ලේකම් සහ උප ලේකම් එකිනෙකට එරෙහි පිලිවෙත් දෙකක් යෝජනා කිරීම හා එම පිලිවෙත් දෙක ම පක්ෂය තුල සාමාන්‍ය පරිදි පැවතීමට ඉඩ හැරීම පක්ෂයේ දේශපාලන සෞඛ්‍යය පිරිහී ඇත යනුවෙන් අප පෙන්වා දෙමින් සිටි කාරනයට  පැහැදිලි සාක්ෂියකි. සමන් ප්‍රසිද්ධ රැස්වීම් දෙකක දී සිය ආස්ථානය ප්‍රසිද්ධියේ කියා සිටියේ ය. අවම වසයෙන් දේශපාලන කමිටුව හෝ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන සාමාජිකයන් දුසිම් භාගයක් ඇතුලු පක්ෂ සාමාජිකයෝ එම සාකච්ඡාවලට සහභාගී වූහ. රැස්වීමේ සම්පූර්න වීඩියෝ සසප ෆේස්බුක්හි ප්‍රසිද්ධ කර ඇත. කිසිවෙකුත් සමන්ගේ යෝජනාවට විරුද්ධ වූ බවක් නැත. මෙයින් පැහැදිලි වන්නේ කුමක් ද? පක්ෂය තුල කම්කරු පන්තික මෙන්ම, එසේ නො වන වෙනත් පන්ති ආස්ථාන වුව දරා සිටීමට ද, ඒ වෙනුවෙන් උද්ඝෝෂනය කිරීමට ද ඉඩ ඇති බව නෙ වේ ද? 

සියල්ලටමත් වඩා ජයසේකර කොලඹ රැසිවීමේ දී කල සිය කතාවෙන්, සමන්ගේ ප්‍රකාශයෙන් මතු කරන අනතුර ගැන ඉගියක්වත් නො පෑම පෙන්නුම් කලේ පක්ෂය තුල එවන් තත්වයක් පවතින බව ය. ලේකම් සහ උප ලේකම් එකම කරුන සම්බන්ධයෙන් අන්ත දෙකක සිට කතා කරද් දී, සාමාජිකයෝ හා හිතවත්තු දෙකට ම නො මසුරුව අත්පොලසන් දෙති. දේශපාලනිකව ගත් කල මෙම පැවැත්ම මාධ්‍යමික ය. මාධ්‍යමික දේශපාලනය විප්ලවවාදීන් මෙන් ම ප්‍රතිවිප්ලවවාදීන් ද නිර්මානය කරයි. එහෙත් පොදුවේ පක්ෂය තුල අවස්ථාවාදය ශක්තිමත් කරයි. 

පලස්තීනයේ රජුන්ටත්, ධනපතීන්ටත්, කම්කරුවන්ට හා  ගොවීන්ටත් ඊශ්‍රායල ප්‍රහාරය සමාන ලෙස බල පා තිබෙන බවත් ඒ නිසා මේ සියලු දෙනා සහභාගී වන විසදුමක් අවශ්‍ය බවත්, ඒ වෙනුවෙන් ද්වි රජ්‍යය හෝ නෙල්සන් මැන්ඩෙලාගේ දකුනු අප්‍රිකාව වැනි ධනපති ඒකීය රාජ්‍යයක් යන දෙකින් එකක් සුදුසු යයි පවසන ව්‍යාජ වම්මු, පලස්තීන ප්‍රශ්නය විසින් වර්ධනය කරනු ලැබ ඇති ලෝක පරිමාන මහජන කැරැල්ල යලි ධනවාදයට යට කිරිම සදහා කැප වී වැඩ කරති. හමාස් නායකත්වය පිලිගනිමින් පීඩිත ජනතාවගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින විට සමන්ගේ යෝජනාව අනුමැතිය පල කරන්නේ කම්කරු පන්තිය අවස්ථා ගනනක දී ලෙයින් වන්දී ගෙවූ මෙම ප්‍රතිගාමී පන්ති සහයෝගිතා ව්‍යාපාරයට නො වේ ද?  

මෙය හදිසියේ සිදු වූ අත් වැරැද්දක් ද? 2021 ගුරු අරගලය තුල ජෙනරල් ස්ට්‍රයිකයක් සදහා උද්ඝෝෂනය කිරීමට යෝජනා කල විට පක්ෂ  තන්ත්‍රය බියට පත් වූවා පමනක් නොව, එසේ යෝජනා කල පක්ෂ සාමාජිකයන්ට එලවා එලවා පහර ගැසී ය. කොරෝනා වසංගතය තුල මුස්ලිම් ජනතාවගේ මෘත දේහ ආදාහනය කිරීමට නිහඩව ඉඩ දී, පසුව මල සිරුරු සම්බන්ධ අවසන් කටයුතු විද්‍යාවට අනුකූල විය යුතු ය යන ආන්ඩුවේ දුෂ්ට ප්‍රතිඝාමී යෝජනාවට සහාය විය. එම ගැටලුව නිරාකරනය කර ගැනීම සදහා  මධ්‍යම කාරක සභිකයන් කීප දෙනෙකු විසින් සාකචඡාවක් ඉලලා සිටිනු ලැබූ නමුත් පක්ෂ තන්ත්‍රයේ වැඩි කන්ඩායම ඊට ඉඩ නො දුනි. 2022 මහජන අරගලයේ දී ජාත්‍යන්තර කමිටුවේ සහාය ඇතිව සම්පාදනය කර ගත් උචිත ඉදිරි දර්ශනය හා ක්‍රියා මාර්ගය තිබිය දී, අවශ්‍ය නායකත්වය සම්පාදනය කිරීමට සෑම අතින් ම කල යුතු මැදිහත් වීම නො තකා ලිස්සා ගියේ ය. සියල්ලටමත් වඩා මෙවැනි තත්වයන් ගැන පැහැදිලි කර ගැනීම උදෙසා  සාකච්ඡාවක් ඉල්ලා සිටි, සසප වාම කන්ඩායමට නායකත්වය දුන් මෙම ලියුම්කරු ඇතුලු සහෝදරවරුන් බුරුතු පිටින් දොට්ට දමන ලදී.

සසප වාම පාර්ශවය අවම වශයෙන් 2014 වසරේ සිට පක්ෂයේ න්‍යායික අරගලය වර්ධනය කිරීම වෙනුවෙන් පෙනී සිටියේ ය. 1992 හජාජා කමිටුවේ 12 වන සැසි වාරය නිගමනය කල පරිදි ස්ටැලින්වාදය ඇතුලු අවස්ථාවාදය විසින් පිරිහෙලනු ලැබ ඇති මාක්ස්වාදී සංස්කෘතිය යලි ගොඩ නැගීම, පක්ෂයේ ප්‍රමුඛ වග කීම වන නිසා පක්ෂය ඒ සදහා සූදානම් කිරීම පමා කල නො හැකි බව වාම කන්ඩායම වටහා ගෙන සිටියේ ය. එහෙත් අවශ්‍ය මොහොතේ නියමිත හැරී ගැනීම් මග හැරීමට තුඩු දුන් ගතානුගතිකත්වයක් විසින් මෙම අවශ්‍යතාව නො තකා හරිනු ලැබිනි. ගතානුගතිකත්වය සංලක්ෂිත වූයේ කම්කරු පන්තිය තුල මාකස්වාදී ඉදිරි දර්ශනය සාක්ෂාත් කිරීමට පැවති බාධකවලිනි. මෙය පක්ෂය තුල මත භේදවල මූලය වූ අතර පක්ෂ තන්ත්‍රය ව්‍යාපාරයේ ඉතිහාසයේ පාඩම් මත මේ ප්‍රශ්න විසදීම වෙනුවට ඒවා නො තකා ඉදිරියට යාමේ පහසු මාවත අනුගමනය කලේ ය.

සමන් සම්බන්ධයෙන් සැලකූ කල මෙම තත්වය පිලබිඹු වූයේ ඔහු වැඩ කරන රත්මලාන කම්කරු පන්ති මධ්‍යස්ථානයේ ෆැක්ටරිවල කලක් තිස්සේ කරන ලද වැඩවලින් ඉවත් වීම ලෙසිනි. අඩු තරමින් එහි කම්කරු පන්තියක් ඉන්නා බවට වාර්තාවක්වත් බොහෝ කාලයකින් ලියා නැත. ඒ වෙනුවට, මෑත දී, ඔහු සාවද්‍ය දුම්රිය කම්කරු ක්‍රියාකාරී කමිටුවක් නිවේදනය කලේ ය. විප්ලවය පිලිබද ආත්මීය කැමැත්ත කොතෙක් වුවත් කම්කරු පන්තිය තුල ඉදිරි දර්ශන සදහා කල යුතු අරලගය පිලිබද සංශය මෙවන් වංචාවන්ට මග පාදයි.

මේ තත්වයට ගැලපෙන පරිදි සංවිධානය වීම උදෙසා ඊට විරෝධය පෑ වාම කන්ඩායමෙන් නිදහස් වීම පක්ෂ තන්ත්‍රයේ අවශ්‍යතාවක් විය. මධ්‍යම කාරක සභාවට හා මුලික කමිටුවලට දේශපාලනිකව පරික්ෂාවට බදුන් නො වූ හෝ දේශපාලනික මූලිකත්වයක් ගැනීමට අසමත් “එහෙයියන්” පත් කර ගැනීම ඒ සදහා ගත් එක් පියවරකි. ඔවුන්ගේ දේශපාලනය කෙබදු ද යන්න දැනටමත් පැහැදිලි වී ඇත. අලුතෙන් මධ්‍යම කාරක සභාවට පත් කර ගැනුනු ව්‍යාපාරිකයෙකු වන අරුන මලලගම සිය ලෝකල් ලේකම් රත්නසිරි මලලගම සමග එක් වී කරන මෙම දේශපාලන වංචාව පමනක් සලකා බලමු. දකුනු පලාත් ක්‍රියාකාරී කමිටුවක් ඔහු නිවේදනය කලේ ය. කුරුදු තලන්නන්ගේ, ඇගලුම් කම්කරුවන්ගේ, තංගල්ල ගොවීන්ගේ, හෝටල් කම්කරුවන්ගේ වැනි ක්‍රියාකාරී කමිටු මාලාවක් ඔහු හා රත්නසිරි විසින් නිවේදනය කරන ලදී. මේවා ගැන ලෝසවෙ අඩවියෙන් පවා ප්‍රචාරය කලේ ය. කීර්තිමත් වෙබ් අඩවියේ හා පක්ෂයේ නිර්ව්‍යාජ අරගලයේ ඉතිහාසය ගැන අංශුමාත්‍ර හැගීමක් ඇති කෙනෙක් මෙවන් බොරුවලට පක්ෂය ඈදා ගන්නේ නැත. මලලගම සිය හෝටලයේ සේවකයන් බලහත්කාරයෙන් කැදවා නිවේදනය කල ඊනියා හෝටල් කමිටුව ටික දවසක් පවත්වා ගත්තේ එම සේවකයන් තුල රැකියාව අහිමි වීමේ බිය නිර්මානය කිරීම තුලිනි. එහිදී සිදු කලේ ක්‍රියාකාරී කමිටු යන සංවිධාන රූපය ම අප්‍රසාදයට පාත්‍ර කිරීම ය.

සමන් ගුනදාස නතාශා එදිරිසූරිය අත් අඩංගුවට ගැනීමට එරෙහිව ක්‍රියාශීලීව මැදිහත් වූ එකම කම්කරු පන්තික සංවිධානය වන කොලඹ ක්‍රියාකාරී කමිටුවේ ප්‍රසිද්ධ රැස්වීමක් මැදට පැන එම කමිටුව කඩාකප්පල් කිරීමට දැරූ ප්‍රයත්නය තුලින් ප්‍රකාශයට පත් වූ වියරුසහගත මංමුලාව පක්ෂය ඇද වැටී සිටින තැන පිලිබද පැහැදිලි ඉගියකි. අද එම සමන්ම ධනපති හමාස් සමග එකට සිටගැනීම යෝජනා කිරීම පුදුම සහගත නැත.

ජාතික ප්‍රජාතනත්‍රවාදී අයිතියක් වන ස්වයං නීර්නය කම්කරු පන්තියේ ආඥාදායකත්වය තුලින් පමනක් සාත්ෂාත් කර ගත හැකිය යන මාක්ස්වාදී ආස්ථානයට සමස්ථ පක්ෂ තන්ත්‍රයම එල්ල කල ප්‍රහාරයේ ප්‍රධාන ලිපිකරුවෙකු ලෙස සමන් මතු වීම ද අහම්බයක් නො වන බව මෙයින් හෙලි වේ. 

ලෝකය ලෝක යුද්ධයක් හා සමාජවාදී විප්ලවයක් අතර ලඹ දෙයි. පක්ෂය ඒ සදහා සූදානම් කිරීම යනු ජාත්‍යන්තර කමිටුවේ වචන මත හුදෙක් යැපීම නො වේ. එම ඉදිරි දර්ශන, පක්ෂය තුලත් පන්තිය තුලත් ක්‍රියාශීලී භාවිතය මගින් වර්ධනය කිරීම අවශ්‍යය. ඒ අර්ථයෙන් සැලකූ කල සමන්ගෙන් ප්‍රකාශයට පත් වන මාධ්‍යමික චර්යාව විමර්ශනයට ලක් කිරීම කල් නො දැමිය යුතු ය. අනෙක් අතට ඔහු විසින් සමාජගත කර ඇති පක්ෂ විරෝධී ආස්ථානය වහාම නිවැරදි කල යුතු ය. පක්ෂය ගොඩ නැගීමේ ජාත්‍යන්තර අරගලයට සම්බන්ධිත ඉතිහාසය තුල පිහිටා මලලගම වැනි අයගේ ක්‍රියා කලාපය ද එවන් දේට පක්ෂය තුල ඉඩප්‍රස්ථාව සැලසුනේ කෙසේ ද යන කරුන ද පරීක්ෂාවට බදුන කල යුතු ය. 

මේ සදහා පක්‍ෂ සාමාජිකත්වය තමන් විසින් මූලිකත්වයක් ගත යුතු වන අතර, ජාත්‍යන්තර කමිටුව හා සසප ඉතිහාසයේ අත් දැකීම් මගින් දැනටමත් සම්පාදනය කර ඇති න්‍යායික ප්‍රාග්ධනය ඊට අවශ්‍යය අවි සම්පාදනය කරනු ඇත. ජාත්‍යන්තර කමිටුවේ ශාකාවන් ගොඩ නැගිය යුතු වන්නේ, ජාක විසින් සියලු ශාකාවල සාමාජිකයන්ගේ ද සහභාගීත්වයෙන් වර්ධනය කර සම්පාදනය කරන ඉදිරි දර්ශන හා මග පෙන්වීම්වලට යටත්ව අදාල  ශාකාවේ නායකත්වය හා සාමාජිකත්වය විසින් ම ය. ඒ වෙනුවට ජාත්‍යන්තර කමිටුවට සාමාජිකයන් වෙනුවට ආදේශ විය නො හැකි බව වටහා ගැනිම අවශ්‍යය ය.  

අවසාන වශයෙන් අපි මෙසේ අවධාරනය කරමු: පලමුව, ඉතිහාසය, ඉදිරි දර්ශනය හා ක්‍රියා මාර්ගය පැහැදිලි කිරීම; දෙවනුව, කම්කරු පන්තිය තුල අවස්ථාවාදී බලපෑම්වලට එරෙහි දේශපාලන අරගලය තීව්‍ර කිරිම; තෙවනුව, කම්කරු පන්තිය තුලට නිරන්තරයෙන් සෘජු ශාරීරික හැරීම. පක්ෂය ගොඩ නැගීම ජාකවේ මෙම අවධාරනය සමග අත්‍යන්තයෙන් බැදී ඇත.

සහෝදරත්වයෙන් 

නන්දන නන්නෙත්ති. (සසප වාම පාර්ෂවය වෙනුවෙන්)   

විවෘත ලිපිය: සසප උප ලේකම් සමන් ගුනදාස හමාස් සමග පෙල ගැසීමක් ඉල්ලා සිටියි Read More »

Ford

එක්සත් ජනපදය මැද පෙරදිග පුරා යුද්ධය අවුලුවයි

ඇන්ඩෘ ඩැමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 24 දින පල වූ “US inflames war throughout the Middle East” යන  ඇන්ඩෘ ඩැමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය  කිත්රුවන් මොලදණ්ඩ විසිනි.

Ford
2023 ඔක්. 11 වැනි දින, යූඑස්එස් ජෙරල්ඩ් ආර්. ෆෝර්ඩ් ගුවන් යානා ප්‍රවාහක නෞකාව, නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් පවතින යූඑස්එන්එස් ලරිමී (USNS Laramie) තෙල් පිරවුම් තෙල් නෞකාවෙන් ඉන්ධන ලබා ගනී. (එක්සත් ජනපද නාවික හමුදාවේ ඡායාරූපය AP හරහා) [AP ඡායාරූපය]

පසුගිය විසිපස් වසර තුල දී,  මැද පෙරදිග නීතිවිරෝධී යුද්ධ වලින් මිලියනයකට වඩා මිනිසුන් ඝාතනය කර ඇති එක්සත් ජනපදය, කලාපය පුරා පුලුල් යුද්ධයක් අවුලුවාලීම සඳහා පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායලයේ ප්‍රහාරය භාවිතා කරයි.

එක්සත් ජනපදය මැද පෙරදිගට හමුදා, යුද නැව් සහ ගුවන් යානා එවීම වැඩි කර ඇත. අවම වශයෙන් නැවියන්, සොල්දාදුවන් සහ ගුවන් භටයන් 10,000ක් දැනටමත් කලාපයට යොදවා ඇති අතර, නිශ්චිත නොවන භට පිරිසක්-සමහර විට දස දහස් ගනනක් – යෙදවීමට සූදානම් වන බව දන්වා ඇත.

සෑම දිනකම පුද්ගලයන් 300 ත් 400 ත් අතර සංඛ්‍යාවක් ඝාතනය කිරීම මෙන්ම හිතාමතාම   ජනගහනය විජලනයට පත් කිරීම, සාගින්නෙන් පෙළීමට සැලැස්වීම සහ  සිවිල් වැසියන්ට විශාල බෝම්බ හෙලීම  සිදුවෙමින් පවතින, පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායලය විසින් සිදු කරනු ලබන ජන සංහාරයට බයිඩන් පරිපාලනය සිය පූර්ණ සහයෝගය ලබා දී ඇත.

ඒ අතරම, එය ඊශ්‍රායලයට ලෙබනනය, සිරියාව සහ බටහිර ඉවුර වෙත එකවර ප්‍රහාර එල්ල කිරීමට  ආයුධ සපයයි.

ඇමරිකානු අවි භාවිතා කරමින් සහ ඇමරිකානු දේශපාලන, මිලිටරි සහ සැපයුම් ආධාර ඇතිව පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලය සිදු කරන ජන සංහාරය, කලාපය පුරා එක්සත් ජනපද මිලිටරි උත්සන්න කිරීමේ එක් අංගයක් පමනි.

සෙනසුරාදා ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් විසින් “ඉරානයේ උත්සන්න කිරීම්” උපුටා දක්වමින් , එක්සත් ජනපද මිලිටරිය “කලාපය තුළ පෙනී සිටීම ” “ශක්තිමත් කිරීමේ” පියවර නිවේදනය කලේය. ඔස්ටින් පැවසුවේ තමා කලාපය පුරා එක්සත් ජනපද මිසයිල ආරක්ෂක පද්ධති සීරුවෙන් තබන බවත්, “අතිරේක බලකා සංඛ්‍යාවක් යෙදවිමට සූදානමේ-අන මත තබා ඇති” බවත්ය.

පසුගිය සතිය පුරා ඉරාකයේ ස්ථානගත කර ඇති එක්සත් ජනපද හමුදා,  ඉරාන ප්‍රොක්සි හමුදා යැයි කියා ගන්නා හමුදාවන්ගේ ප්‍රහාරයන්ට ලක්ව ඇති බව එක්සත් ජනපද හමුදාව ප්‍රකාශ කර ඇත.

“ඉරානය මෙම සිදුවීම් සමීපව නිරීක්ෂණය කරමින් සිටින සිටී. සමහර අවස්ථාවලදී, මෙම ප්‍රහාර සඳහා ක්‍රියාකාරීව පහසුකම් සපයන අතර මෙම ගැටුම, තම යහපත සඳහා 

යොදා ගැනීමට කැමති අන් අය පෙළඹවීම හෝ ඉරානයේම අවශ්‍යතා සඳහා යොදා ගන්නා” බව පෙන්ටගනයේ ප්‍රකාශක ජෝන් කර්බි සඳුදා පැවසීය.

ඉරිදා සම්මුඛ සාකච්ඡාවකදී රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ප්‍රකාශ කළේ, “ඉරාන ප්‍රොක්සින්  විසින් අපගේ හමුදාවන්ට , අපගේ පිරිස්වලට එරෙහිව එල්ල කරන ලද ප්‍රහාර උත්සන්න වීමේ සම්භාවිතාවක් ඇතැයි අපි අපේක්ෂා කරමු. අපගේ ජනතාව ඵලදායී ලෙස ආරක්ෂා කිරීමට සහ අපට අවශ්‍ය නම් තීරණාත්මක ලෙස ප්‍රතිචාර දැක්විය හැකි බවට වග බලා ගැනීමට අපි පියවර ගනිමින් සිටිමු.”

බ්ලින්කන් අවධාරනය කලේ, “මෙය අපට අවශ්‍ය දේ නොවේ, අප සොයන දෙය නොවේ. අපට උත්සන්න කිරීම අවශ්‍ය නැත. ” ඔහු තවදුරටත් පැවසුවේ, “අපි කලාපයට ඉතා වැදගත් වත්කම් යොදවා ඇත, ගුවන් යානා වාහක යුධ කණ්ඩායම් දෙකක්, කුපිත කිරීමට නොව, වළක්වා ගැනීමටය.”

හැම විටම වාාගේ, බ්ලින්කන් බොරු කියයි. මැදපෙරදිග, හමුදා සහ අවි ආයුධ මගින් සිදු කරනු ලබන ගිල ගැනීම මගින්, මෙම උත්සන්න වීම එක්සත් ජනපදයේ පැත්තෙන් සිදු කරයි.

එක්සත් ජනපදය, එහි ප්‍රොක්සියක් වන ඊශ්‍රායලය මගින්, හිතාමතාම ඉරානය කුපිත කිරීමේ  උත්සාහයක් ලෙස ගාසා, බටහිර ඉවුර, ලෙබනනය සහ සිරියාවට බෝම්බ හෙලයි. එය යුධ නෞකා සහ ගුවන් යානා මගින් ඉරානය වටකරමින් සිටින අතර ඔවුන්ට එරෙහි ඕනෑම ප්‍රහාරයක් ඉරානයට පහර දීමට කඩතුරාවක් ලෙස යොදා ගන්නා බවට තර්ජනය කරයි.

2003 දී, එක්සත් ජනපදය විසින් සිදු කළ, ම්ලේච්ඡ සහ නීතිවිරෝධී ඉරාක ආක්‍රමණයෙන් පසුව ඉරාකය තුළ  හමුදා දහස් ගණනක් නඩත්තු කරයි. සිරියානු ආන්ඩුවට එරෙහිව එක්සත් ජනපද හමුදා ඒ හා සමානව සිරියාවේ නීති විරෝධී ලෙස යොදවා ඇත. මේ සියලු හමුදා මොහොතකින් ඉරානයට පහර දීමට සූදානමින් සිටිති.

ඊශ්‍රායල නිලධාරීහු ලෙබනනයට එරෙහිව දිගින් දිගටම තර්ජන කරති. ඉරිදා , ලෙබනන්  දේශසීමාවේ , භට පිරිස් සමඟ සංචාරයක යෙදී සිටියදී, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු “හිස්බුල්ලා සංවිධානයට සහ ලෙබනන් රාජ්‍යයට ඇති වීමට නියමිත විනාශකාරී ප්‍රතිවිපාක” ගැන අනතුරු ඇඟවීය, “අපි එයට සිතාගත නොහැකි බලයකින් එයට පහර දෙන්නෙමු.” ඊශ්‍රායලය සිය උතුරු දේශසීමාවෙන් 200,000 කට අධික පිරිසක් ඉවත් කිරීමට නියෝග කර ඇත.

ඉරිදා, ඊශ්‍රායලයේ ආර්ථික ඇමති නිර් බාර්කැට් තර්ජනය කලේ, යුද්ධය ලෙබනනය තුලට පැතිර ගියහොත්, “අපි එම පෙරමුණුවලට පමණක් ප්‍රතිප්‍රහාර එල්ල නොකරමු, නමුත් අපි ඉරානය නම් සර්පයාගේ හිස වෙතට යමු” යනුවෙනි.

මේ අතර එක්සත් ජනපදය හා අනෙකුත් අධිරාජ්‍යවාදී මාධ්‍ය ඉරානය සමග සෘජු මිලිටරි ගැටුමක් සඳහා උද්ඝෝෂණ කරමින් සිටී. ද ඉකොනොමිස්ට් හි ප්‍රධාන ලිපියක, මෑත පෙරදිග කටයුතු සඳහා එක්සත් ජනපදයේ හිටපු සහකාර රාජ්‍ය ලේකම් ඩේවිඩ් ෂෙන්කර් ඉරානය සමඟ මිලිටරි ගැටුමක් විවෘතව ඉල්ලා සිටියේය. “කෙසේ වෙතත්, මූල්‍ය මෙවලම්වලට වඩා ඵලදායී වන්නේ මිලිටරි ශක්තියයි. … අවාසනාවකට මෙන්, ගාසා තීරයේ යුද්ධය පුලුල් වීම වැලැක්වීමට වොෂින්ටනයට මිලිටරිමය වශයෙන් සම්බන්ධ වීම හැර වෙනත් විකල්පයක් තිබිය නොහැක.”

බ්‍රහස්පතින්දා ඔහුගේ ප්‍රයිම්-ටයිම් ( ශ්‍රාවකත්වය උපරිම වන වේලාව) කතාවේදී, බයිඩන් ඇමරිකානු ගෝලීය ආධිපත්‍යය පිළිබඳ ගැලවුම්කාරී දැක්මක් ඉදිරිපත් කළේ, ඇමරිකානු මිලිටරි හා ආර්ථික අධිපතිත්වය ලෝකයේ එක්සත් කිරීමේ මූලධර්මය බව ප්‍රකාශ කරමිනි. “ඇමරිකානු නායකත්වය ලෝකය එකට තබා  ගනී” බයිඩන් පැවසීය.

පසුදා පැවති ප්‍රචාරක පිළිගැනීමේ උත්සවයකදී ඔහු වඩාත් පැහැදිලි ලෙස ප්‍රකාශ කළේ, “අපි වසර 50ක් පශ්චාත් යුධ සමයක සිටියෙමු. එහිදී එය ඉතා හොඳින් ක්‍රියාත්මක විය. නමුත් එය යම් ආකාරයකට වාෂ්ප වී ඇත. එය ලෝක පර්යායක් වූවාක් මෙන්, එක් අර්ථයකින් නව ලෝක පර්යායක් අවශ්‍ය වේ.”

“පශ්චාත් යුධ සමය” අවසන් බව පැවසීම ලෝක යුද්ධයේ නව කාල පරිච්ඡේදයක් ප්‍රකාශ කිරීමකි. බයිඩන් පරිපාලනය මැද පෙරදිග යුද්ධය උත්සන්න කරමින්, නැගෙනහිර යුරෝපයේ සිට මැද පෙරදිග හා පැසිෆික් කලාපය දක්වා විහිදෙන ලෝක ආධිපත්‍යය සඳහා ලොව පුරා පැතිර යන ගැටුමක් ලෙස එය දකින දෙයෙහි කොටසක් වශයෙන් ඉරානයට සෘජුවම පහර දෙන බවට තර්ජනය කරයි. චීනයේ ආර්ථික නැගීම හා එක්සත් ජනපද ආර්ථිකයේ ගෝලීය පරිහානිය සමඟ මුහුන දී සිටින ඇමරිකානු අධිරාජ්‍යවාදය, ලෝක ආධිපත්‍යය තහවුරු කිරීමේ මාධ්‍යයක් ලෙස යුද්ධය දකී.

එක්සත් ජනපදය, “රුසියාව දුර්වල  කිරීම” ඉලක්ක කරගත් ප්‍රොක්සි ගැටුමකට මොස්කෝව ඇද ගැනීමේ අරමුන ඇතිව යුක්රේනයේ යුද්ධය අවුලුවාලීමට ක්‍රියා කළේය. එහෙත් වසර දෙකකට පසුව, යුක්රේනයේ නවතම ප්‍රහාරය අසාර්ථක වී ඇති අතර, රුසියාවට “මූලෝපායික පරාජයක්” ලබා දීම සඳහා එක්සත් ජනපදය ගැටුම උත්සන්න කිරීමට මංමුලා සහගත ලෙස උත්සාහ කරයි. ඒ අතරම, වොෂින්ටනය, තායිවානය සම්බන්ධ කර ගනිමින්, චීනය සමඟ ගැටුමක් අවුලුවාලන අතර, දියුණු පරිගණක තාක්‍ෂණයට එහි [ චීන] ප්‍රවේශය අවහිර කරමින්, ආර්ථික වශයෙන් චීනයේ ගෙල සිර කිරීමට උත්සාහ කරයි.

පසුගිය සතියේ, මෙම සියලු පෙරමුනු සඳහා අතිරේක මිලිටරි වියදම් සඳහා ඩොලර් බිලියන 105 ක් සඳහා  බයිඩන් විසින් කරන ලද ඉල්ලීම, ඇත්ත වශයෙන්ම, තුන්වන ලෝක යුද්ධයක ආරම්භක අදියරයන් උත්සන්න කිරීමේ ප්‍රධාන පියවරක් සලකුනු කරයි.

එක්සත් ජනපදය න්‍යෂ්ටික සන්නද්ධ බලවතුන් වන රුසියාව සහ චීනය සමඟ ගැටෙමින් සිටී. ඊශ්‍රායලය සතුව න්‍යෂ්ටික අවි ද ඇති අතර, අවම වශයෙන් ඊශ්‍රායලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රිවිටාල් ” ටැලි” ගොට්ලිව් ( Revital  “Tally” Gotliv ) වත්මන් ගැටුමේදී “ඩූම්ස්ඩේ ආයුධය” [න්‍යෂ්ටික අවිය] භාවිතා කරන ලෙස ඉල්ලා ඇත. මෙසේ, වොෂින්ටනයේ මිලිටරි ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම මානව ශිෂ්ටාචාරයේ පැවැත්මට තර්ජනය කරයි.

එහෙත් ඇමරිකානු අධිරාජ්‍යවාදය ලෝක යුද්ධය අවුලුවාලීම පුලුල් මහජන විරෝධයට මුහුන දෙයි. පසුගිය සති අන්තය පුරා, පලස්තීනුවන්ට එරෙහි එ.ජ.-ඊශ්‍රායල් ජන සංහාරයට එරෙහිව ජනාකීර්ණ සෑම මහාද්වීපයකම මිලියන ගනන් ජනයා උද්ඝෝෂන පැවැත් වූහ. ලන්ඩනයේ දී, 2003 ඉරාකය ආක්‍රමණය කිරීමෙන් පසු නගරයේ පැවැත්වූ  විශාලතම යුද විරෝධී රැලියට 300,000 ජනයා සහභාගී වූහ.

මෙම වර්ධනය වෙමින් පවතින යුද විරෝධී ව්‍යාපාරය ගැඹුරු කර පුළුල් කළ යුතුය. යුද්ධයට එරෙහිව වැඩෙන ව්‍යාපාරය තම රැකියා, වැටුප් සහ ජීවන තත්වයන් ආරක්ෂා කර ගැනීම සඳහා සටන් කරන කම්කරුවන්ගේ ගෝලීය වැඩවර්ජන ව්‍යාපාරය සමග ඒකාබද්ධ කල යුතුය. මේ සඳහා ධනේශ්වර ලාභ පද්ධතියට එරෙහි විරුද්ධත්වය සමග යුද්ධයට එරෙහි සටන ඒකාබද්ධ කරමින් කම්කරු පන්තිය තුල සමාජවාදී නායකත්වයක් ගොඩනැගීම අවශ්‍ය වේ.

එක්සත් ජනපදය මැද පෙරදිග පුරා යුද්ධය අවුලුවයි Read More »

Intofada1

ගාසාව: යටත් විජිතයක සිට විවෘත සිර කඳවුරකට හා ඝාතන භූමියක් දක්වා – 01 කොටස

ජීන් ෂෝල් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 නොවැම්බර් 02 දින පල වූ “Gaza: From colony, to open air prison, to killing field—Part One” යන ජීන් ෂෝල් විසින් ලියන ලද  ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි. මෙම ලිපිය කොටස් දෙකක ලිපි මාලාවක පළමු වැන්න යි.

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට කාපට් බෝම්බ හෙලීමෙන් සිදු වූ විනාශයේ පෙර නොවූ විරූ පරිමාණය සමාජ මාධ්‍යවල ගුවන් දර්ශන මගින් පෙන්වයි. මුළු අසල්වැසි ප්‍රදේශ මකා දමා , මිලියනයකට අධික ජනතාවක් , බලහත්කාරයෙන් තම නිවෙස්වලින්  ඉවත් කර ඇත. ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ දේශසීමා මුද්‍රා තැබීම සහ ආහාර, ඉන්ධන, විදුලිය සහ පානීය ජලය පවා සැපයුම අත්හිටුවීම , සිතාගත නොහැකි දුක් වේදනා ඇති කර තිබේ.

 දෛනික මරණ සංඛ්‍යාව බිහිසුණු ය. 

Field Killing
2023 නොවැම්බර් 1 වැනි බදාදා, උතුරු ගාසා තීරයේ, ජබාලියා සරණාගත කඳවුරේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර මගින් ඉලක්ක කරන ලද ගොඩනැගිලිවල සුන්බුන් අතර අනෙක් අය සැරිසරන විට මිනිසෙක් සුන්බුන් මත වාඩි වී සිටී. (AP ඡායාරූපය/අබෙඩ් කලීඩ්)

රෝහල්, පාසල් සහ වෙනත් සරණාගත ස්ථාන ඉලක්ක කර ගැනීමත් සමඟ, ඊශ්‍රායලයේ කාපට් බෝම්බ හෙලීම සහ පැවැත්මේ සියලු මාධ්‍යයන් අහිමි කිරීම යන ඊශ්‍රායල ද්විත්ව ප්‍රතිපත්ති මගින් , පලස්තීනුවන් ගාසා තීරයෙන් පලවා හැරීම සහ ඔවුන් නැවත කිසිදා නොපැමිණීම සහතික කිරීම අරමුණු කර ගෙන ඇති බව වඩාත් පැහැදිලිව පෙනේ.

මෙය ඊශ්‍රායල බුද්ධි අමාත්‍යාංශය විසින් ලියන ලද කාන්දු වූ ලේඛන සහ ඊශ්‍රායල පුවත්පත්වල සම්මුඛ සාකච්ඡා මගින් හෙළිදරව් කර ඇති පරිදි, ගාසා තීරයේ ජනගහනය ඊජිප්තුවේ සීනායි කාන්තාරයට බලහත්කාරයෙන් විස්ථාපනය කිරීම හරහා ඊශ්‍රායලය වසර ගණනාවක් තිස්සේ සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කර ඇති , පූර්ව සැලසුම් කළ ප්‍රතිපත්තියකි. ඉරිදා, හෙබ්‍රෙව් භාෂා ප්‍රකාශනය වන මීකොමට් (Mekomit)  වාර්තා කළේ, “ලේඛනය මගින් ගාසා තීරයේ ජනගහනය සිනායි වෙත බලහත්කාරයෙන් මාරු කිරීම නිර්දේශ කරන අතර, එම පියවර සඳහා ජාත්‍යන්තර ප්‍රජාව යොදා ගන්නා ලෙස ඉල්ලා සිටින.” බවයි.

ඊශ්‍රායලයේ  සහ වාඩිලාගෙන සිටින පලස්තීන භූමි ප්‍රදේශ තුළ පලස්තින ජනගහනය , දැන් යන්තමින් යුදෙව්වන් ජනගහනය අභිබවා යමින් සිටින විට, අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ ෆැසිස්ට් ආන්ඩුව විසින් යුද්ධය සහ වාර්ගික සුද්ද කිරීම “ජනගහන ප්‍රශ්නයට” එකම විසඳුම ලෙස සලකයි. ඔක්තෝබර් 7දා ඊශ්‍රායලයට එරෙහි පලස්තීනුවන්ගේ ප්‍රහාරයට ඊශ්‍රායලයේ ප්‍රතිචාරය “මැදපෙරදිග වෙනස් කරන” බවත්, “ඉදිරි දිනවලදී අපි අපේ සතුරන්ට කරන දේ පරම්පරා ගණනාවක් තිස්සේ ඔවුන් සමඟ ප්‍රතිරාවය කරනු ඇති” බවත් ජාතිය අමතමින් නෙතන්යාහු ප්‍රතිඥා දුන්නේය..

ගාසා තීරයේ සිවිල් වැසියන්ට එරෙහි මෙම ජන සංහාරක යුද්ධය, දශක ගනනාවක් තිස්සේ ඊශ්‍රායල ධනේශ්වරය විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්තිවල උත්සන්න කිරීමකි. එමගින් , පාලක ප්‍රභූව සාමූහික ඓතිහාසික අමතක වීමේ රෝගයක් සිහියට කැදවා ගන්නා , පලස්තීන ජනතාවගේ ඉඩම්, දේපළ සහ නිවාස අහිමි කිරීම අරමුණු කර ගෙන ඇත.

1967 දී බටහිර ඉවුර සහ ගාසා තීරය අල්ලා ගැනීමෙන් පසු, මිලිටරි සහ දේශපාලන මර්දනය ඇතුළු පලස්තීනුවන් කෙරෙහි ඊශ්‍රායලයේ ප්‍රතිපත්ති වඩාත් දැඩි වී ඇත. ගාසා තීරය ඊශ්‍රායලයේ හුස්ම හිරවන අවහිරයකින් වසර 16 ක් දුක් විඳ ඇත.2012 දී , පලස්තීන අධිකාරිය (PA) සහ ඊජිප්තුව  එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ,   පුරෝකථනය කළේ,  වටලනු ලැබූ වාසභූමිය , 2020 වන විට ජනාවාස කළ නොහැකි වනු ඇති බවයි. 2017 දී අනතුරු ඇඟවූයේ මෙය අනාවැකි කීවාට වඩා වේගයෙන් සිදුවන බවයි.

මෙම සිදුවීම් ඊශ්‍රායලයේ සංස්ථාපිතයෙන් නොවැළැක්විය හැකි ලෙස ගලා එන්නේ යුදෙව්වන්ට යුරෝපීය හිංසා පීඩා කිරීමේ ගැටලුවට පිළිතුරක් ලෙස – ඔවුන් ආරක්ෂිත තෝතැන්නක්, සමාජ සාධාරණත්වය සහ සමානාත්මතාවය සොයා ගනු ඇත. රාජ්‍යය යථාර්ථයේ දී වෙනත් ජනතාවක් නෙරපා හැරීම මත පදනම් වූ අතර, දේශීය සමාජ අසමානතාවයට සමගාමීව උග්‍රවන යුද්ධ, භෞමික ව්‍යාප්තිය සහ මර්දනය හරහා නඩත්තු විය.

Mandate
1923 සිට බලාත්මක වීමට පෙර, 1922 දෙසැම්බර් මාසයේදී එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පලස්තීන වරපත්‍රය සහ ට්‍රාන්ස්ජෝර්ඩන් සංදේශයේ මුල් පිටුව. [ඡායාරූපය: බ්‍රිතාන්‍ය රජය – Archive.org]

1949 දක්වා පැවති, අරාබි අසල්වැසියන් සමඟ යුද්ධයක් ඇති කරමින්, බ්‍රිතාන්‍යයේ අනුග්‍රාහක රාජ්‍යයක් වන ට්‍රාන්ස්ජෝර්දානයේ අබ්දුල්ලා රජු බටහිර ඉවුරත්, ඊජිප්තුව ගාසා තීරය අල්ලා ගැනීමත් සමඟ ජාතීන්ගේ සංගමය විසින් ප්‍රදානය කරන ලද ජනවරම යටතේ බ්‍රිතාන්‍යයන් විසින් පාලනය කරන ලද භූමියෙන් සියයට 80 ක් මත ඊශ්‍රායලය 1948 දී පිහිටුවන ලදී. මෙය විවිධ සියොන්වාදී කන්ඩායම් කිසිවකට අවශ්‍ය දෙයකට වඩා අඩු විය. නමුත් ඊශ්‍රායලයේ ප්‍රථම අගමැති ඩේවිඩ් බෙන් ගුරියන් ප්‍රායෝගික ප්‍රවේශයක් ගත්තේය: එනම්, පළමුව යුදෙව් රාජ්‍යයක් ස්ථාපිත කර පසුව දේශ සීමා වෙනස් කිරීමයි.

1967 යුද්ධය සහ  නව පලස්තීන යටත් විජිත ඊශ්‍රායලය විසින් කොල්ලකෑම

1967 යුද්ධය ඊශ්‍රායලයට දේශසීමා වෙනස් කිරීමට අවස්ථාව සලසා දුන් අතර, බටහිර ඉවුර හා  ගාසා තීරය ජෝර්දානයේ සහ ඊජිප්තුවේ නොව පලස්තීනයේ කොටසක් වූ බැවින් විදේශීය භූමි ප්‍රදේශ “අල්ලා ගැනීමක්” බවට පත් වූ හෙයින් එය ප්‍රතික්ෂේප කෙරිණි.

1967 ජූනි මාසයේදී, සිරියාව සමඟ ගැටුම් උත්සන්න වූ කාලපරිච්ඡේදයෙන් පසුව, ඊශ්‍රායලය අරාබි ජාතියේ නායකයා ලෙස ඊජිප්තු ජනාධිපති ගමාල් අබ්දුල් නසාර්ගේ නොසැලෙන ස්ථාවරය  විසින් ඉදිරිපත් කරන ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් , තම අරාබි අසල්වාසීන්ට එරෙහිව පූර්ව-භංගාත්මක නමුත් දිගුකාලීන සැලසුම් සහගත ප්‍රහාරයක් දියත් කරන ලදී. 1949 දී පිහිටුවනු ලැබූ ඊශ්‍රායල  දේශසීමා “වැඩිදියුණු කිරීම” සහ විශාල කිරීම එහි අරමුණ විය.  සිරියාවේ ගෝලාන් කඳුකරය, ජෝර්දානය විසින්  පාලනය කරන බටහිර ඉවුර සහ එය [ ජෝර්දානය] කඩිනමින් ඈඳාගත් නැගෙනහිර ජෙරුසලම සහ ඊජිප්තුවේ සීනායි අර්ධද්වීපය මෙන්ම ඊජිප්තුව පාලනය කළ ගාසා තීරය ද ඊශ්‍රායලය විසින් අත්පත් කර ගත්තේය.

Tanks
1967 ජූනි සය දින යුද්ධයේදී ගෝලාන් කඳුකරයේ ඉදිරියට යන ඊශ්‍රායල ටැංකි [ඡායාරූපය රජයේ පුවත්පත් කාර්යාලය (ඊශ්‍රායලය) / CC BY-SA 4.0]

ඊශ්‍රායලය 1979 දී නසාර්ගේ අනුප්‍රාප්තිකයා වූ අන්වර් සදාත් සමඟ කෑම්ප් ඩේවිඩ් ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු ඊජිප්තුවේ සීනායි සහ 1973 යුද්ධයෙන් පසු සිරියාවේ ගෝලාන්හි කොටසක් ආපසු ලබා දුන් අතර, එය ගෝලාන්, බටහිර ඉවුර සහ – 1948 දී ඊශ්‍රායලය බවට පත් වූ ප්‍රදේශයෙන් පලා ගිය හෝ තම නිවෙස්වලින් පලවා හැරි බොහෝ සරණාගතයින් ගෙන් සමන්විත වූ මිලියන 1.4 ක් පමණ පලස්තීනුවන් වාසය කරන – ගාසා තීරයේ බොහෝ ප්‍රදේශ රඳවා තබා ගත්තේය.

ඊශ්‍රායලය වේගයෙන් – දින හයක යුද්ධය අවසන් වීමටත් පෙර ගත් යම් ක්‍රියාමාර්ග සමඟ – අලුතින් අත්පත් කරගත් ප්‍රදේශ තම ආර්ථිකයට ඇතුළත් කර ගැනීමට ක්‍රියා කලේය. ඇත්ත වශයෙන්ම, පලස්තීන භූමි ප්‍රදේශ පසුකාලීනව යටත් විජිතයක් බවට පත් කිරීමට නියමිතව තිබුණි – යුරෝපීය බලවතුන් අප්‍රිකාවේ සහ ආසියාවේ ඔවුන්ගේ යටත් විජිතවලට විධිමත් නිදහස ලබා දීමට බල කෙරුණු පසුව පවා – ඊශ්‍රායලයේ වාණිජ ප්‍රභූවට ප්‍රතිලාභ ලබා දෙන අතරම පලස්තීන ජීවිතයේ සෑම අංශයකටම විනාශකාරී බලපෑමක් ඇති කෙරුණි.

ලෙවි එෂ්කෝල් යටතේ වූ , ඊශ්‍රායලයේ කම්කරු ආන්ඩුව තම යටත් විජිතකරණ ප්‍රතිපත්තිය ආරක්ෂා කිරීමට සහ පලස්තීනුවන් යටත් කර ගැනීමට මිලිටරි පාලනයක් පනවන ලදී. පලස්තීනුවන්ට හැඳුනුම්පත් රැගෙන යාමට අවශ්‍ය වූ අතර ඇඳිරි නීතිය සහ මාර්ග බාධක යෙදීම මගින් ගමන් කිරීමේ නිදහස සීමා කෙරුණි.  සාමූහික දඬුවම්, නිවාස කඩා දැමීම්, බලහත්කාරයෙන් පිටුවහල් කිරීම් සහ නඩු විභාගයකින් තොරව රඳවා තබා ගැනීම් වැනි ප්‍රතිරෝධයකට පලස්තීනුවන්ට  මුහුණ දීමට සිදු විය. 

ඊශ්‍රායලය, මූල්‍ය හා මූල්‍ය ආයතනවල පාලනය සියතට ගත් අතර, ආරම්භක ණය සොයන අයට ඊශ්‍රායල රෙගුලාසිවලට අනුකූල වීමට බැඳී සිටින අතර පලස්තීනුවන්ට කාර්මිකකරණයට හා ඊශ්‍රායල සමාගම් සමඟ තරඟ කිරීමට සම්පූර්ණයෙන්ම පාහේ නොහැකි විය. එය ජෝර්දාන, ඊජිප්තු සහ සිරියානු මුදල් වෙනුවට තමන්ගේම සහ දැඩි ලෙස පාලනය කරන ලද පලස්තීන වෙළඳාම ඊට ආදේශ කළේය.

1983 වන විට ඊශ්‍රායලය බටහිර ඉවුරේ ප්‍රධාන කෘෂිකාර්මික භූමියෙන් සියයට 52 කට වඩා අත්පත් කරගෙන තිබුණි. 1993 ඔස්ලෝ ගිවිසුම ආසන්නයේ, මෙම රාජසන්තක කිරීම් භූමියෙන් හතරෙන් තුනකට වඩා ආවරණය විය. කම්කරු පක්ෂය බලය අල්ලා ගත් , වාඩිලාගැනීමේ පළමු වසර 10 තුළ, පළමු ජනාවාස නැගෙනහිර ජෙරුසලමේ පලස්තීන ජනගහනය වටා සහ ජෝර්දාන් නිම්නයේ ඉදිකරන ලද්දේ , නගරයේ පලස්තීන අසල්වැසි ප්‍රදේශ ව්‍යාප්ත කිරීම අවහිර කිරීමට සහ ඔවුන් නගරය හැර යාම “දිරිමත්” කිරීම සදහාය. 1977 වන විට බටහිර ඉවුරේ ඊශ්‍රායල ජාතිකයන් 4,500 ක් ද නැගෙනහිර ජෙරුසලමේ 50,000 ක් ද ජීවත් වූහ.

1977 මැයි මාසයේදී මෙනකම් බෙගින් විසින් නායකත්වය දුන් ලිකුඩ් ආන්ඩුවක් තේරී පත්වීම ජනාවාස ගොඩනැගීම වාර්ගික-ආගමික ව්‍යාපෘතියක් බවට පත් කළේය.මුල්‍ය දිරිගැන්වීම් සමූහයක් සමඟින්, බයිබලානුකුල හදවත වූ බටහිර ඉවුරේ ප්‍රධාන පලස්තීන සුලු නගර සහ මහ නගරවලට යාබදව ජනාවාස ඉදිකර ඇත. 1983 වන විට බටහිර ඉවුරේ පදිංචි කරුවන් සංඛ්‍යාව 28,400 දක්වා ඉහළ ගියේය. 

Begin
ඊශ්‍රායල අගමැති මෙනචෙම් බෙගින් 1978 දී රාජ්‍ය සංචාරයක් සඳහා එක්සත් ජනපදයට පැමිණි පසු දේශනයක් පවත්වයි. ස්ථානය: ඇන්ඩෲස් ගුවන් හමුදා කඳවුර, මේරිලන්ඩ්.

ගොඩනැගිලි සහ යටිතල පහසුකම් සංවර්ධනය සහ ජලාධාර  වෙත ප්‍රවේශය සීමා කිරීම නිසා බොහෝ පලස්තීනුවන් යැපෙන කෘෂිකර්මාන්තය ඇතුළු සංවර්ධනය අවහිර වූ අතර, ඔවුන්ට භූමියෙන් ඉවත් වීමට බල කෙරුනේ, වගා නොකළ ඉඩම් බලධාරින්ට රාජසන්තක කිරීමට අවස්ථාව සලසමිනි.එහි හිටපු පදිංචිකරුවන්ට ඊශ්‍රායලයේ, විශේෂයෙන් ඉදිකිරීම් සහ කෘෂිකර්මාන්තයේ රැකියා සෙවීමට බල කෙරුනි, එහිදී ඔවුන් ඊශ්‍රායල හාම්පුතුන් සඳහා ලාභ ශ්‍රම සංචිතයක් පිහිටුවා ගත්හ.

1974 වන විට පලස්තීන ශ්‍රම බලකායෙන් තුනෙන් එකක් ඊශ්‍රායලයේ සේවයේ යොදවා ඇති අතර , ගාසා තීරයෙන් පැමිණි ප්‍රතිශතය ඊටත් වඩා වැඩිය.  මෙම යැපීම පසුව ඊශ්‍රායලයට සාමූහික දඬුවමක් ලෙස විරැකියාව භාවිතා කිරීමට ඉඩ ලබා දුන්නේය, ආතති කාලවලදී සහ 1987-93 සහ 2000-05 ඉන්ටිෆඩා වලදී දේශසීමා වසා දැමීය. ඒ සමගම ගල්ෆ් රාජ්‍යවල තෙල් මිල ඉහළ යාම, පලස්තීන පුහුණු ශ්‍රමිකයන් එහි රැකියා සෙවීමට දිරිමත් කළේය. යුද්ධයෙන් පසු වසරවලදී, නෙරපා හරින ලද කිහිප දෙනෙකුට අමතරව, ඔවුන් ද  ඇතුළුව 700,000 ක් පමණ සදහටම පිටව යාමට නියමිතව තිබුණි.

මෙම ප්‍රතිපත්තිවල අරමුන වූයේ පලස්තීනුවන් කෙරෙහි ඊශ්‍රායලයේ පාලනය වැඩි කිරීම සහ සන්නද්ධ අරගලය හරහා පලස්තීන රාජ්‍යයක් සාක්ෂාත් කර ගැනීමට කැප වූ , පලස්තීන ජාතික විමුක්ති ව්‍යාපාරයේ (ෆාටා) නායක යසර් අරෆත්ගේ පලස්තීන විමුක්ති සංවිධානයට (PLO) වූ සහයෝගය හෑල්ලුවට ලක් කිරීමයි. 1967 යුද්ධයෙන් ඉක්බිතිව, බටහිර ඉවුරේ ආර්ථිකය වසරකට සියයට 15 කින් ද ගාසා තීරයේ සියයට 11 කින් ද වර්ධනය වූ අතර, ඔවුන් ඔවුන්ගේ පූර්ව යුද මට්ටමට, එනම් යථා තත්ත්වයට පත් විය.  එහෙත් ඒ සමගම, පලස්තීන දළ දේශීය නිෂ්පාදිතයේ කර්මාන්තයේ කොටස 1968 හි සියයට 9 සිට 1987 දී සියයට 7 දක්වා පහත වැටුනි. 

Pnlm
පලස්තීන ජාතික විමුක්ති ව්‍යාපාරයේ (ෆාටා) සංවත්සරය සඳහා ගාසා නගරයේ රැලිය [ඡායාරූපය ෆාර්ස් මීඩ්යා කෝර්පරේෂන්   / CC BY 4.0]

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, 1970 සිට 1987 දක්වා පලස්තීන ආර්ථිකයට අහිමි වූ ආදායම ඩොලර් බිලියන 6-11 ක් හෝ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 කි. මෙම වෙනස්කම් ඊශ්‍රායල ප්‍රාග්ධනයේ ආර්ථික හා දේශපාලන නියෝගවලට යටත්ව, ගොවීන්, කුඩා ව්‍යාපාරිකයන් සහ වෘත්තිකයන්ගේ විවිධාංගීකරණය වූ සමාජයක සිට පලස්තීන භූමි ප්‍රදේශ කම්කරු පන්තියක් සහ ඊශ්‍රායල හාම්පුතුන් සඳහා සංචිත ශ්‍රම හමුදාවක් බවට වේගයෙන් පරිවර්තනය කළේය.

පුළුල් ජාත්‍යන්තර වර්ධනයන් ද ඔවුන්ගේ හානියට හේතු විය. 1987-88 කොටස් වෙලඳපොල කඩාවැටීමෙන් පසුව, තෙල් මිල පහත වැටීම, ගල්ෆ් කලාපයේ අඩු රැකියා අවස්ථා, එක්සත් ජනපදයේ අනුගමනය කරන ලද අවධමනකාරී ප්‍රතිපත්ති, වාඩිලාගැනීමේ පිරිවැය වැඩිවීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස අයවැය සහ වෙළඳ හිඟය ප්‍රධාන වශයෙන් උද්ධමනය ඉහළ යාමත් සමඟ ඊශ්‍රායලයේ විශාල ආර්ථික අර්බුදයකට තුඩු දීමට හේතු විය. පලස්තීනුවන් සඳහා, මෙයින් අදහස් කළේ ඔවුන්ගේ වැටුප්වල වටිනාකමෙහි තියුනු පහත වැටීමක්, ඒ වන විටත් , ඔවුන්ගේ ඊශ්‍රායල සගයන්ට වඩා බෙහෙවින් පහලින් වූ   සදාකාලිකව පිරිහෙමින් පවතින සේවා කොන්දේසි , අඩු රැකියා අවස්ථා සහ අය වැයෙන් අඩු සහායක් ලැබීමයි. රාජසන්තක කරන ලද පලස්තීන ඉඩම් වල ජනාවාස ඉදිකිරීම සහ පදිංචිකරුවන්ට පමණක් මාර්ග ඉදිකිරීමට සහ ජනාවාස  සුරක්ෂිත කිරීමට අල්ලා ගත් ඉඩම් පුළුල් කිරීම මගින් පලස්තීන ආර්ථිකයට  තවදුරටත් යටින් වල කැපුණි. 

ඊස්රායලයේ 20 වසරක දීර්ඝ මිලිටරි වාඩි ලා ගැනීම සහ පලස්තීනුවන්ට සහ ලෙබනනයේ ඔවුන්ගේ සගයන්ට එරෙහි යුද්ධයට එරෙහි කෝපය සමග – ආර්ථික පසුබෑම 1987 පළමු වන ඉන්ටිපාඩාව (නැගිටීම) පිපිරී යෑමේ එක් සාධකයක් විය.1970 දී ජෝර්දානයෙන් සහ 1982 දී ලෙබනනයෙන් පලවා හැර, අරාබි පාලන තන්ත්‍රයන් විසින් අතහැර දමනු ලැබ තිබූ ,  ටියුනිස් හි පදනම් වූ PLO නායකත්වයේ පාලනයෙන් බොහෝ දුරට පිටස්තරව  එය [ ඉන්ටිෆාඩාව] පුපුරා ගියේය.

මෙම කොන්දේසි,නසාර්ගේ සර්ව-අරාබිවාදයේ බිඳවැටීමෙන් පසු අරාබි ලෝකයේ ඉස්ලාමීය දේශපාලනය වෙත පුලුල් හැරීමත් සමග, ෆාටා [ යසීර් අරෆත් ගේ සංවිධානය] සංවිධානයට විරුද්ධව ,  ඊශ්‍රායලය විසින් මුලින්ම අනුග්‍රහය දැක්වූ සහ ධෛර්යමත් කළ ධනේශ්වර පූජක කණ්ඩායමක් වන මුස්ලිම් සහෝදරත්වයට අනුබද්ධ හමාස් (ඉස්ලාමීය ප්‍රතිවිරෝධී  ව්‍යාපාරය) වෙත ප්‍රතිලාභ ලබා දුන්නේය.  එහෙත් හමාස්, එහි ආගමික මූලධර්මවාදය මගින් ඉදිරිපත් කළේ, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ අවශ්‍යතා නොව පලස්තීන ධනේශ්වරයේ අවශ්‍යතා වෙනුවෙන් වඩාත් ආන්තික ජාතිකවාදයක් ප්‍රකාශ කිරීම පමණි 

ඔස්ලෝ ගිවිසුම නාස් ලණුව තද කරයි

ඉන්ටිෆාඩා  ආරම්භ වූයේ , 1987 දෙසැම්බරයේ ගාසාවේ ජබාලියා සරණාගත කඳවුරේදී ඊශ්‍රායල ආරක්ෂක හමුදා ට්‍රක් රථයක් සිවිල් මෝටර් රථයක ගැටීමෙන් පසුව කඳවුරේ සිටි තිදෙනෙකු ඇතුළු පලස්තීන කම්කරුවන් හතර දෙනෙකු මිය ගිය පසුවය.මෙම කැරැල්ල මැඩපැවැත්වීමට ඊශ්‍රායලයට වසර හයක් ගත විය. එම කාලය තුළ , පලස්තීන ජීවිත 1,000කට වැඩි ප්‍රමාණයක්, අත්අඩංගුවට ගැනීම් 175,000ක් සහ නිවාස 2,000ක් කඩා බිඳ දැමූ අතර මෙම ගැටුම පලස්තීන ආර්ථිකය විනාශ කර , පලස්තීනුවන්ගේ ජීවන මට්ටම දැවැන්ත ලෙස සියයට 30-40 කින් පහත වැටුනි.

Intofada1
පළමු ඉන්ටිඩාව අතරතුර වූ බාධක [ඡායාරූපය Abarrategi / CC BY-SA 4.0]

1977 සිට බලයෙන් ඉවත්ව සිටින ඊශ්‍රායලයේ කම්කරු පක්ෂ නායකයින්ට , PLO නායක අරෆත් සහ ඊශ්‍රායලයේ අරාබි අසල්වැසියන් සමඟ යම් ආකාරයක සම්මුතියක් ඇති කර ගැනීම අවශ්‍ය බව මෙම නැගිටීම ඒත්තු ගැන්වීය. පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම ඊශ්‍රායලයේ ස්ථාවරත්වය සහ සංවර්ධනය සහතික කිරීමට සහ එහි යුදෙව් බහුතරය පවත්වා ගැනීමට උපකාරී වනු ඇතැයි ඔවුහු විශ්වාස කළහ. පලස්තීන ජනතාවගේ එකම නියෝජිතයා ලෙස PLO පිළිගැනීම වෙනුවෙන් පලස්තීන ජනතාව පාලනය කිරීමේ ඊශ්‍රායලයේ භූමිකාව අරෆත් සහ පලස්තීන අධිකාරියක් (PA) භාර ගනු ඇත. මෙම ස්වාධීනත්වය මගින් ඊශ්‍රායලයේ පාලකයින් බලාපොරොත්තු වූයේ, අඛණ්ඩ ආර්ථක යැපීම සහතික කරන අතරම, ඊශ්‍රායලය ආරක්ෂක රාජ්‍යයට වඩා නව වෙලඳපොලවල් විවෘත කිරීම තුළින් , එය කලාපීය ආර්ථික බලවතෙකු බවට පරිවර්තනය කළ හැකිය යන්නයි.

ගාසාව: යටත් විජිතයක සිට විවෘත සිර කඳවුරකට හා ඝාතන භූමියක් දක්වා – 01 කොටස Read More »

S

ගාසා තීරයේ ඊශ්‍රායල ජන සංහාරය මධ්‍යයේ, වොෂින්ටනය ඉරානයට න්‍යෂ්ටික යුද්ධයකින් තර්ජනය කරයි

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි. 

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 නොවැම්බර් 07 දින පල වූ “Amid Israeli genocide in Gaza, Washington threatens Iran with nuclear war” යන ඇලෙක්ස් ලැන්ටියර් විසින් ලියන ලද  ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

ඉරිදා, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්  බැග්ඩෑඩ් වෙත සම්ප්‍රාප්ත වූයේ, මෙම සති අන්තයේ , ගාසා තීරයේ ඊශ්‍රායලයේ ජන සංහාරක යුද්ධයට එරෙහිව ලොව පුරා මිලියන ගණනක් විරෝධතා දැක්වීමෙන් අනතුරුවය. ඉරාක අගනුවරදී, ඔහු, වොෂින්ටනය නීතිවිරෝධී ලෙස ඉරාකය  ආක්‍රමණය කර, එහි ආන්ඩුව පෙරලා දමා, 2003 සිට 2011 දක්වා එය අත්පත් කරගත් දා සිට ඉරාකයේ ක්‍රියාකාරී වූ ඉරාන ගැති මිලීෂියා හෙලා දුටුවේය.

S
එක්සත් ජනපද නාවික හමුදාවේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සහ න්‍යෂ්ටික සන්නද්ධ ඔහියෝ පන්තියේ සබ්මැරීනයක් වන යූඑස්එස් වෙස්ට් වර්ජිනියා (USS West Virginia) හි ඡායාරූපයක්.

ගාසා යුද්ධය ආරම්භ වීමෙන් පසු , මෙම මිලීෂියාවන් විසින් ඉරාකයේ සහ සිරියාවේ එක්සත් ජනපද හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කල  බවට බ්ලින්කන් චෝදනා කළේය. ඔහු පැවසුවේ,”ගාසා තීරයේ ගැටුමෙන් ප්‍රයෝජන ගැනීමට, මෙහි හෝ කලාපයේ වෙනත් ඕනෑම තැනක අපගේ නිලධාරීන්ට තර්ජනය කිරීමට උත්සාහ කරන ඕනෑම කෙනෙකු : එය නොකල යුතුය.  ඉරානය සමඟ පෙලගැසී සිටින මිලීෂියාවෙන් එල්ල වන තර්ජන කිසිසේත්ම පිළිගත නොහැකි අතර, අපගේ ජනතාව ආරක්ෂා කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නෙමු.  අපි ඉරානය සමඟ ගැටුමක් සොයන්නේ නැත – අපි එය ඉතා පැහැදිලිව පෙන්වා ඇත්තෙමු – නමුත් අපගේ පිරිස් ආරක්ෂා කිරීමට අවශ්‍ය දේ අපි කරන්නෙමු.”යන්නයි.

බ්ලින්කන්ගේ තර්කය දේශපාලන බොරුවකි: ඉරානය එක්සත් ජනපදය සමඟ යුද්ධයක් සොයන්නේ නැත, නමුත් වොෂින්ටනය ඉරානය සමඟ යුද්ධයක් සොයයි. බ්ලින්කන් ඉරාකයේ, සිරියාවේ සහ මැද පෙරදිග පුරා ඉරානයට හෝ ඉරාන ගැති හමුදාවන්ට ඍජුවම තර්ජනය කරයි.

ඊශ්‍රායලය විසින් ගාසා තීරය නීති විරෝධී ලෙස අවහිර කිරීමට එරෙහිව පලස්තීන නැගිටීම ආරම්භ වූයේ මාසයකට පෙරය. එතැන් සිට පලස්තීනුවන් 10,000 කට අධික සංඛ්‍යාවක්, බොහෝ දුරට කාන්තාවන් සහ ළමයින් මරා දමා ඇත. ඊශ්‍රායලය ගාසා තීරයේ සරණාගත කඳවුරු, රෝහල් සහ පාසල්වලට බෝම්බ හෙලීය; එහි ආහාර, ජලය සහ විදුලිය කපා හැර; එහි ගොඩනැගිලි අඩක් විනාශ කර ඇත.

වොෂින්ටනය අර්බුදය සන්සුන් කිරීමට සංයමයෙන් යුතුව  ඉල්ලා සිටීමට උත්සාහ නොකළ අතර එය අවුලුවාලමින් යුද්ධය සඳහා මාවත සකස් කළේය. ඊශ්‍රායලය ගාසා තීරය ආක්‍රමණය කළහොත් පලස්තීනුවන් ජන සංහාරයෙන් ආරක්ෂා කිරීමට උත්සාහ කිරීමට, ඉරාන මිලිටරිමය මැදිහත් වීමක් සිදු විය හැකි බවට , ඉරාන පාලන තන්ත‍්‍රය අනතුරු ඇඟවූ අතර, වොෂින්ටනය ගෝලීය යුද විරෝධී විරෝධතා වලට අවඥා සහගත ලෙස ප්‍රතිචාර දැක්වූයේ,  ඊශ්‍රායලයේ ජනඝාතක පිලිවෙත් වැලඳ ගනිමින් සහ ඊශ්‍රායලයට “තමන්ව ආරක්‍ෂා කර ගැනීමට අයිතියක්” ඇති බව පවසමිනි. එය ඉරානය වැනි අනෙකුත් ප්‍රධාන බලවතුන්ට එරෙහිව  පමණක් යොදා ගැනීමේදී  ප්‍රයෝජනවත් වන යුද්ධායුධ එනම් ගුවන් යානා ප්‍රවාහන නෞකා සටන් කණ්ඩායම් දෙකක් සහ මිසයිල නාශක බැටරි,  මැද පෙරදිගට යවා ඇත.

මැදපෙරදිග අධීක්‍ෂණය කරන මධ්‍යම විධානයට (the Central Command), එක්සත් ජනපද න්‍යෂ්ටික මිසයිල සබ්මැරීනයක් යැවීම පිලිබඳ අසාමාන්‍ය ප්‍රසිද්ධ නිවේදනයත් සමග, ඉරානයට එක්සත් ජනපද තර්ජන මේ සතියේ පැහැදිලිවම මතුවිය. එවැනි සබ්මැරීනයකට න්‍යෂ්ටික තුණ්ඩ සහිත ටොම්හෝක් කෲස් මිසයිල 154ක් හෝ න්‍යෂ්ටික බැලස්ටික් මිසයිල 20ක් රැගෙන යා හැකිය. මෙය 1945 හිරෝෂිමාව විනාශ කළ පරමාණු බෝම්බයේ බලය මෙන් 1,900 හෝ 2,300 ගුණයක පමණ එනම් TNT ටොන් මිලියන 23 හෝ 28 ක සම්පූර්ණ විනාශකාරී බලයක් ලබා දෙයි. 

එක්සත් ජනපද ප්‍රවෘත්ති නාලිකාව වන සීඑන්එන් අදහස් දක්වමින්, “නිවේදනය ඉරානයට සහ කලාපයේ එහි ප්‍රොක්සිවරුන්ට එල්ල කරන ලද වැළැක්වීමේ පැහැදිලි පණිවිඩයකි.”

අපි සරලව කතා කරමු: වොෂින්ටනය ඉරානයට සහ එහි සහචරයින්ට න්‍යෂ්ටික යුද්ධයෙන් තර්ජනය කරයි. ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ ජන සංහාරක යුද්ධයට වොෂින්ටනය සහ එහි යුරෝපීය අධිරාජ්‍යවාදී සහචරයන්ගේ සහයෝගය , මනුෂ්‍යත්වයට එරෙහි ඊශ්‍රායල අපරාධවලට ඔවුන්ව සම්බන්ධ කරනවා පමනක් නොව, එය අනතුරු ඇඟවීමක් ද වේ: අධිරාජ්‍යවාදී බලවතුන් ඉරානයට හෝ කලාපයේ වෙනත් ඕනෑම බලවතෙකුට එරෙහිව ඊට සමාන ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවනු ඇත.

එක්සත් ජනපද නිලධරය, මෙම යුද්ධය ගෝලීය ආධිපත්‍යය සඳහා වන ලෝක ගැටුමක කොටසක් ලෙස දකින අතර මැදපෙරදිග ආධිපත්‍යය දැරීම සඳහා ඔවුන් කිසිවක් නතර නොකරනු ඇත.

අධිරාජ්‍යවාදී පාලක කවයන් ආසාදනය කරන සාපරාධී යුද උමතුව පිලිබඳ උදාහරණයක් නම්, ප්‍රභල අත්ලාන්තික් කවුන්සිලයේ ඒරියල් කොහෙන්  විසින් රචිත “චීනය-රුසියාව-ඉරාන අක්ෂය ඇමරිකාවට පැහැදිලි තර්ජනයකි” යන ලිපියයි. ඉරානය සමඟ රුසියානු සහ චීන සබඳතා හෙලා දකිමින්, කොහෙන් රුසියාව හා චීනය බිය ගැන්වීම සඳහා ඉරානය විනාශ කිරීමේ ස්වර්ණමය අවස්ථාවක් ලෙස ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල යුද්ධය සලකයි: “වත්මන් අර්බුදය මොස්කව් සහ බීජිං වෙත නිසැක පණිවිඩයක් යැවීමට වොෂින්ටනයට සුවිශේෂී අවස්ථාවක් සපයයි : පසු බහිනු  – නැතහොත් ඉරානය අහිමි කරගනු.” 

“ඉරානය වොෂින්ටනයේ අනතුරු ඇඟවීම්වලට අවනත නොවන්නේ නම් සහ ඊශ්‍රායල සිවිල් වැසියන්ට දරා ගත නොහැකි හානියක් සිදු කරන්නේ නම්, එයට දැඩි දඬුවම් දිය යුතු අතර එහි න්‍යෂ්ටික වැඩසටහන, මිලිටරි ස්ථානගත කිරීම් සහ සමහර විට තෙල් පර්යන්ත විනාශ කළ යුතුය. ක්ලෙප්ටොක්‍රටික් [ දූෂිත] ෂියා ජිහාඩි ආඥාදායකත්වය මෙයින් නොනැසී පවතිනු ඇතැයි සිතිය නොහැක. මොස්කව් සහ බීජිං නොසලකා හැරිය නොහැකි පණිවිඩය එය වනු ඇත.” මෙසේ, ඉරානයේ ක්‍රියාමාර්ගය , එහි සන්නද්ධ හමුදා, ප්‍රධාන කර්මාන්ත සහ ආන්ඩුව මුලිනුපුටා දැමීමට තුඩු දිය යුතු බව කොහෙන් අවධාරනය කරයි. 

මෙම පිලිවෙත උමතු සහ සාපරාධී වුවද, එය කෙසේ වෙතත් වොෂින්ටනය සහ එහි යුරෝපීය අධිරාජ්‍යවාදී සහචරයින් ගෙන යන ගමන මෙන්ම න්‍යෂ්ටික අවි කෙරෙහි ඔවුන්ගේ ආකර්ෂණය විස්තර කරයි. මෙය මුල් බැස ඇත්තේ 1991 ස්ටැලින්වාදී සෝවියට් සංගමය විසුරුවා හැරීමේ කාලයේ සිට දශක ගනනාවක් තිස්සේ වර්ධනය වී ඇති ඇමරිකානු හා ලෝක අධිරාජ්‍යවාදයේ ගැඹුරු අර්බුදය තුල ය.

ඉරානයට තර්ජනය කිරීම සඳහා බැග්ඩෑඩ් වෙත ගිය ගමනෙන් , බ්ලින්කන් එක්සත් ජනපද අධිරාජ්‍යවාදී රාජ්‍ය තාන්ත්‍රිකත්වය විසින් හොඳින් භාවිතා කරන ලද ලද මාවතක් යොදා ගත්තේය.1979 ඉරාන විප්ලවයෙන් පසුව, ඉරාක ජනාධිපති සදාම් හුසේන් ඉරානයට එරෙහිව යුද්ධ කිරීමට දිරිගැන්වීම සඳහා එක්සත් ජනපද නිලධාරීන් නැවත නැවතත් ඉරාකයට ගියහ. 2003 ඉරාකය ආක්‍රමණය අතරතුර අනාගත එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ්, 1980-88 ඉරාන-ඉරාක යුද්ධයේදී ඉරානයට මිත්‍ර වූ කුර්දි හමුදාවලට එරෙහිව විෂ වායු භාවිතා කිරීම සඳහා හුසේන් දිරිමත් කිරීමට එක්සත් ජනපද නියෝජිතයෙකු ලෙස 1983-84 දී ඉරාකයට ගියේය.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ එහි යුරෝපීය සහචරයින් අද, කෙසේ වෙතත්, එම යුද්ධයේදී හෝ 1991 එක්සත් ජනපදය විසින් ඉරාකයට එරෙහිව  කල  ගල්ෆ් යුද්ධයට වඩා බෙහෙවින් වෙනස් තත්වයන්ට මුහුණ දෙති. සෝවියට් සංගමයේ පැවැත්ම විසින් එල්ල කරන ලද මිලිටරි හා දේශපාලන බාධකයෙන් මිදී, ඔවුන් මෙම සම්පත් බහුල කලාපය හරහා-ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ලිබියාව, සිරියාව, යුක්රේනය සහ ඉන් ඔබ්බෙහි පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ යුද්ධ දියත් කරන ලදී. එහෙත් ,  මිලියන ගනනක් මිය ගියත් ඩොලර් ට්‍රිලියන ගනන් වියදම් කලත්, මෙම ජනප්‍රිය නොවන යුද්ධ අවසානයේ වොෂින්ටනයේ ආස්ථානයට යටින් වල කපා ඇත.

පළමුවෙන්ම, වොෂින්ටනය අද සිටින්නේ මංමුලා සහගත මිලිටරි අර්බුදයක ය. යුක්රේනයේ දී , රුසියාවට එරෙහි යුද්ධයෙන් එහි යුක්රේන සහචරයින් පරාජයට පත්ව ඇත. 2011 දී සිරියාවේ දියත් කරන ලද පාලන තන්ත්‍රය වෙනස් කිරීම සඳහා වූ නේටෝ යුද්ධයට එරෙහිව මොස්කව් සහ ටෙහෙරානය මැදිහත් වූ බැවින්, මැදපෙරදිග එක්සත් ජනපද හමුදා ඉරානය, රුසියාව හෝ ඔවුන්ගේ සහචරයින් විසින් සිරියාවේ සහ කලාපය පුරා ගොඩනගා ඇති කඳවුරු සිය ගණනක ජාලයකට මුහුන දෙති.එපමණක් නොව, 2021 දී ඉරානය සමඟ චීනයේ ඩොලර් බිලියන 400 ක ගිවිසුම සහ යටිතල පහසුකම් සැලැස්ම ද , ඉරානයට මිලිටරි සන්ධානයක් ලබා දෙන බව ද වාර්තා වේ. 

කෙසේ වෙතත්, මෙම මිලිටරි අර්බුදය විසින්ම වොෂින්ටනය තුල වඩාත් නොසැලකිලිමත්කම අවුලුවාලීම පමනක් සිදු කර ඇත.2003 දී ඉරාකය ආක්‍රමණය කළ 200,000 ට වඩා අඩු , බොහෝ සෙයින් මැද පෙරදිග ඉතිරිව ඇති භටයින් 40,000 ක් සමඟ,  වොෂින්ටනයට මේ වන විට ඉරාකයට වඩා හතර ගුණයක් විශාල රටක් වන ඉරානය ආක්‍රමණය කර එය අත්පත් කර ගැනීමට හෝ සාම්ප්‍රදායික යුද්ධ වලදී ඉරාන, රුසියානු සහ චීන හමුදා සමඟ සටන් කිරීමට නොහැකි ය.මෙය ලෝක බලවතුන් අතර ගිනි ජාලාවක් අවුලුවාලීමේ අවදානමක් ඇතත්, න්‍යෂ්ටික යුද්ධයේ තර්ජන වෙත වොෂින්ටනය දේශපාලනිකව සාපරාධී පිහිට සෙවීම මීට යටින් පවතී. 

තීරනාත්මක ප්‍රශ්නය නම්, යුද්ධයට හා ගාසා තීරයේ ඊශ්‍රායලයේ ජන සංහාරයට එරෙහිව කම්කරුවන්ගේ හා තරුනයන්ගේ ශීඝ්‍රයෙන් වර්ධනය වන ගෝලීය ව්‍යාපාරයකට අධිරාජ්‍යවාදය මුහුන දීමයි . ඊශ්‍රායල ප්‍රහාරය ආරම්භ වී සති කිහිපය තුළ සෑම මහාද්වීපයකම මිලියන ගණනක් විරෝධතා දක්වා ඇත. ප්‍රධාන ප්‍රශ්නය නම්, න්‍යෂ්ටික ආමගෙදොනය [ අවසන් මහ සටන] දක්වා වර්ධනය වීමට පෙර ජන සංහාරය සහ නැගී එන තුන්වන ලෝක යුද්ධය නැවැත්වීමට මෙම දැවැන්ත ව්‍යාපාරය එක්සත් කිරීම හා දේශපාලනිකව සන්නද්ධ කිරීම කළ හැක්කේ කුමන ඉදිරිදර්ශනයක් මතද යන්නයි.

ඉරානයට එරෙහි එක්සත් ජනපද තර්ජන හෙලිදරව් කරන්නේ ගාසා තීරයට බෝම්බ හෙලීම, අධිරාජ්‍යවාදී බලවතුන් විසින් මෙහෙයවනු ලබන ගෝලීය යුද්ධයක කොටසක් වන අතර, එමගින් ලෝකයේ සම්පත් සහ වෙලඳපොලවල් යලි බෙදීමට සහ කොල්ලකෑමට යන ආකාරයයි. එක් හෝ වෙනත් ධනේශ්වර ආන්ඩුවකට හෝ දේශපාලඥයෙකුට ආයාචනා කිරීමෙන් මෙම යුද්ධ නැවැත්විය නොහැක. ප්‍රශ්නය මුල් බැස ඇත්තේ ලෝක ධනේශ්වර ක්‍රමය තුළමය. ගාසා තීරයේ ජන සංහාරය නැවැත්විය හැකි අතර, ගෝලීය අග්නි ජාලාවක් ඇතිවීමේ තර්ජනයද නතර කළ හැකිය. එහෙත් ඒ සඳහා කම්කරු පන්තියට බලය පැවරීමට, ධනවාදය අහෝසි කිරීමට සහ එය සමාජවාදයෙන් විස්ථාපනය කිරීමට දැනුවත්ව එක්සත් ජාත්‍යන්තර ව්‍යාපාරයක් වර්ධනය කිරීම අවශ්‍ය වේ.

ගාසා තීරයේ ඊශ්‍රායල ජන සංහාරය මධ්‍යයේ, වොෂින්ටනය ඉරානයට න්‍යෂ්ටික යුද්ධයකින් තර්ජනය කරයි Read More »

Massacare

පලස්තීන පීඩිතයන්ට එරෙහි සියොන්වාදී-අධිරාජ්‍යවාදී වාර්ගික සුද්ද කිරීම නැවැත්විය හැක්කේ කෙසේද?

සංජය ජයසේකර විසිනි.

මෙහි පල කෙරෙන්නේ, නොවැම්බරු 19 ඉරිදා “පලස්තීන පීඩිතයන්ට එරෙහි සියොන්වාදී-අධිරාජ්‍යවාදී සමූල ඝාතනය නවත්වනු!” මාතෘකාව යටතේ කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික)  හා theSocialist.lk ⁣වෙබ් අඩවිය එක්ව සංවිධානය කරන ලද ඔන්ලයින් රැස්වීම ආරම්භයේ කොක්‍රික සභාපති හා theSocialist.lk කර්තෘ මන්ඩල සාමාජික සංජය ජයසේකර සහෝදරයා විසින් කල කතාවයි.

Massacare
දකුනු ගාසාහි කාන් යූනුස් හි මිහිදන් කිරීම සඳහා ඝාතනය වූ පලස්තීනුවන්ගේ මල සිරුරු ඒවා ප්‍රවාහනය කරන රථයක් වෙත ගෙන යමින්. Agent France Press / Getty Image

සහෝදරවරුනි, ස⁣හෝදරියනි, මිත්‍රවරුනි,

  1. ⁣අප මේ රෑස්වීම පවත්වන මොහොතේදී, අප ඇස් ඉදිරියේම, ⁣දෙවන ලෝක යුද්ධයෙන් මෙපිට දැවැන්තම සමූල මිනිස් ඝාතනය සිදුවෙමින් පවතී. දිනපතා අප සමාජ මාධ්‍ය හා අල් ජසීරා මාධ්‍ය හරහා දකිමින් සටින රූප රාමු අප සිහි මෘජාවට පත් කරයි. සියලු රෝහල් අකර්මන්‍යව වෙලා, පනිවිඩ හුවමාරු මාධ්‍ය අවහිර කරල, ගනන් බැලීම් ඇනහිට ඇති තත්වයක් ඇතුලෙමත්, යුරෝ-මෙඩ් හියුමන් රයිට්ස් මොනිටර් සංවිධානයෙ අලුත්ම තක්සේරුව අනුව, 17 සිකුරාදා වන විට බෝම්බ දමනු ලැබූ ගොඩනැගිලි සුන්බුන් යට අතුරුදහන්ව ඇති මිනිසුන් එක්ක  සාමාන්‍ය ගාසා වැසියන් 20,000කට වැඩි ප්‍රමානයක් ඝාතනය කර තිබෙනවා. එයින්  6400 ට වැඩි ප්‍රමානයක් කුඩා දුරුවන්. 32,000කට වැඩි ප්‍රමානයක් අසාධ්‍ය ලෙස තුවාල ලබා තිබෙනවා. ඔබ අප සියලු දෙනා මේ වන විට සිදුවන අපරාධ සම්බන්ධයෙන් හොඳින් දැනුවත්.
  1. අප වගේම, ලොව පුරා කම්කරු මහජනතාව, මධ්‍යම පන්තියේ සැලකිය යුතු කොටසක්, විවිධ රටවල, විවිධ ජාතීන්යට හා යුදවේවන් ඇතුලු විවිධ ආගම් වලට අයත් ශිෂ්‍යයින්, තරුනයින්, බුද්ධිමතුන්, කලාකරුවන් දස දහස් ගනනින්, ආන්ඩුවල මර්දනය නොතකාම, ලොව පුරා වීදිවලට පිවිස නෙතන්යාහු පාලනයේ මේ සියොන්වාදී වර්ගික සුද්ද කිරීමේ ඝාතනවලට එරෙහිවත් , වාර්ගික පීඩනයට හා අත්පත් කරගැනීම්වට එරෙහිවත්, ඒ වාගේම  සටන් විරාමයක් සඳහාත්  උද්ඝෝෂනය කරමින් සිටිනවා. ලොව පුරා වෘත්තීය සමිති අත් බැඳගෙන සිටින අතරේ යුද උපකරන ප්‍රවාහනය නතර කිරීම සඳහා වරායක්, වරායක් ගානේ සාමාන්‍ය කම්කරුවෝ ඒවා ප්‍රවාහනයට විරුද්ධව නැගී සිටියා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් 120ක් විසින් සටන් විරාමයක් සඳාහා කරනු ලැබූ කැඳවුම නෙත්යාහු ගනනකට ගත්තේ නෑ. මේ වන විට ජන සුද්ධ කිරීමේ ඝාතන ගාසා තීරයේ දකුනට ගෙනයාමට සූදානම් බව ඊශ්‍රායලය නිවේදනය කර තිබේ. උතුරින් පලා යන පලස්තීනු වැසියන්ට, තම දිවි ගලවා ගැනීමට නම් දකුනන්ද පලා යන ලෙස ඊශ්‍රායල ගුවන් හමුදා විසින් දැනුම් දී තිබෙනවා. ⁣මෙය යුද්ධයක් නොව සමූල ඝාතනයකි. එය “නක්බා-2023” බව නෙතන්යාහු තන්ත්‍රය දැනටමත් කියා තිබේ. එහි ආරක්ෂක ඇමති කියා ඇත්තේ “ගාසාවක පැවැත්මක තවදුරටත්  පිලි නොගන්නා” බවයි. මේ ආකාරයෙන්, මෙම ලේ පිපාසිත පාලක තන්ත්‍රය ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය වගේම ජාත්‍යන්තර මානූෂවාදී නීතියද අමු අමුවේ උල්ලංඝනය කර, මනුෂ්‍ය වර්ගයාට එරෙහි අපරාධ ඇතුලු දැවැන්ත යුද අපරාධ සිදුකරමින් සිටී. අපරාද වසන් කිරීම සඳහා සියොන්වාදී-අධිරාජ්‍යවාදී ධනපති මාධ්‍ය ජාලය  බොරු ප්‍රචාර ගෙන ගියත්, ඒවා හෙලිදරව් කිරීම සඳහා සමාජ මාධ්‍ය වල සාමාන්‍ය ක්‍රියාකාරීන් ක්‍රියාත්මක වී තිබේ.  යුක්‍රේනය තුල ඇමරිකා එක්සත් ජනපදය හා නේටෝව රුසියාවට එරෙහිව ගෙනයන යුද්ධයේදී පූටින්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කල ජාත්‍යන්තර අපරාධ අධිකරනය තමන්ගේ අධිරාජ්‍යගැති ස්වභාවය එලිපිට හෙලදරව් කර තිබෙනවා. මේ අපරාධ පෙනි පෙනීම, නෙතන්යාහු, ඔහුගේ ආරක්ෂක ඇමති හා මිලිටරි නායකයින් කිසිවෙකුට එරෙහිව කිසිදු අපරාධ යුක්ති ක්‍රියාදාමයක් ආරම්භ කොට නැහැ. සියලු අධිරාජ්‍යවාදී රටවල හා ලොව පුරා ඒවායේ කුලෑටි රාජ්‍යවල ක්‍රියාකාරී හෝ නිහැඩි සහාය යටතේ ඊශ්‍රායලය මෙම ජන සංහාරක ප්‍රහාරයන් භාධාවකින් තොරව කරගෙන යනවා. 
  1. යටත්විජිතවාදය නැවත පැමින තිබේ. මේ ක්‍රියාදාමය තුලින් ද පැහැදිලිව පේන්නේ ලෝකයේ අන් හැම මහජන ප්‍රශ්නයක් සම්බන්ධයෙන් වාගේම ලෝකය නිශ්චිතව දෙකට බෙදී තිබෙන බවයි: එනම් යුද්ධය, ජන ඝාතන, කප්පාදුව හා මර්දනය ඉල්ලා සිටින ධනපති පාලක පන්නීන් එක් පැත්තකත්, අනික් පසින් ඒ සියල්ල ප්‍රතක්ෂේප කරමින් ලොව පුරා, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හා යුද්ධයට එරෙහිව ධනපති විරෝධි ව්‍යාපාරයක් ගොඩනැගීමේ පුලුල් මහජන බලමුලු ගැන්වීමක් ජාත්‍යන්තරවම, නිරායාසයෙන්ම හටගනිමන් තිබෙන බවයි. එහෙත්, එයට තම ගෝලීය සතුරා පරාජය කල හැක්කේ කෙසේද?
  1. ඊශ්‍රායලය කියන්නෙ වාර්ගික සුද්ධ කිරීම්  මගින්, අපරාධ මතින්, කොල්ලකෑම් හා පලවා හැරීම් මතින් ගොඩ නැගූ රාජ්‍යයක්. සියලු ඝාතන සාධාරනීකරනය කිරීම සඳහා තමන්ගේ සියොන්වාදී රාජ්‍යයේ ආරක්ෂාවට ඇති අයිතිය සාවද්‍ය ලෙස කියාපාන ඊශ්‍රායලයට තම පැවැත්මේ යුක්තිසහගතභාවයම කියා පෑමට නොහැකියි. එය 1948 ආරම්භයේ සිටම පිහිටවනු ලැබූයේ අධිරාජ්‍යවාදයේ මැදපෙරදිග ප්‍රොක්සිය, බලල් අත විදියට. කොලඹ ක්‍රියාකාරී කමිටුවේ නොවැම්බර් 15 ප්‍රකාශයේ අප පෙන්වා දුන් පරිදි “ඇමරිකා එක්සත් ජනපදය ද, සෙසු අධිරාජ්‍යවාදීන් ද ඊශ්‍රායලයට පුදන සහායට යටින් පවතින්නේ පැරැණි යටත් විජිත රටවල් නැවත යටත් කරගැනීමේ ස්වකීය භූ දේශපාලනික අරමුණු සඳහා දඩ බල්ලෙකු ලෙස ඊශ්‍රායලය භාවිතා කිරීමේ උවමනාවයි. අධිරාජ්‍යවාදයට තමන්ට අවශ්‍ය විට පාරා ගැනීම සඳහා මේ ලේ ගලන තුවාලය පවත්වා ගැනීම අවශ්‍ය ය. ඊශ්‍රායල – පලස්තීන ද්වි රාජ්‍ය සැලැස්මක් ඔවුන් ඉදිරිපත් කරන්නේ එම අරමුණිනි. පලස්තීන ජනඝාතනයට එරෙහි වීම යනු එකී අධිරාජ්‍යවාදී අරමුණට එරෙහි නැඟී සිටීමකි.”
  1. පලස්තීන භූමි ප්‍රදේශ තුල 1947වන විටත්, ඒ වන විට සිදුව තිබූ මහා සංක්‍රමණවලින් පසුවත්, යුදෙව්වන් ජීවත් වූයේ  ජනගහණයෙන් තුනෙන් එකක් පමණයි.  ඒ වන විට පවතින රටක් බෙදා, එහි මුල්පදිංචිකරුවන් වූ පලස්තීනුවන්ට අඩුභූමි ප්‍රමානයක් වෙන් කරමින් ඊශ්‍රායල රාජ්‍යය ප්‍රකාශයට පත් කරන විට එහි ආරම්භය හා පවත්වාගෙන යෑම කිසි විටෙක  ප්‍රජාතන්ත්‍රවාදීව සාක්ෂාත් කරගත හැකි වූයේ වත්, හැකි  වන්නේවත් නැත. 1948 නක්බාව, එනම් ඝාතනයන් ඇතුලු ක්‍රියා හරහා පලස්තීනුවන් ප්‍රචණ්ඩ ලෙස අවතැන් කිරීම, නෙරපා හැරීම, යුදෙව් පදිංච් කිරීම්, සහ ඔවුන්ගේ සමාජය, සංස්කෘතිය, අනන්‍යතාවය, දේශපාලන අයිතිවාසිකම් වගේම ජාතික අභිලාෂයන් විනාශ කිරීමේ ක්‍රියාන්විතයෙන් පටන්, ගෙවී ගිය වසර 75 ක කාලය, පලස්තීනුවන් සමූලඝාතන, වර්ණභේදවාදය, අත්පත් කරගැනීම් ඇතුලු දෛනික පීඩනයන්ට නතු කල අනවරත භීෂනයකට, නක්බාවකට යටත් කෙරුනි. මෙලෙස අවතැන් කරනු ලැබූවන්ගේ නව පරම්පරාවේ මිලියන හයක් පමන අද පලස්තීනය පුරා සහ අසල්වැසි රටවල් වන ලෙබනනය, සිරියාව, ජෝර්දානය සහ ඊජිප්තුව පුරා නරකාදි කඳවුරු 58 ක සරණාගතයින් ලෙස ජීවත් වෙනවා. අනවරතව ක්‍රියාත්මක කෙරුනු මේ වාර්ගික පීඩනයේ උච්චතම අවස්ථාව 1967 දින සයේ යුද්ධයෙන් පසු ක්‍රියාත්මක කෙරුනේ “නස්කාව”, එනම් අලුත් වටයකින් අවතැන් කිරීමෙන්, ඒ වගේම ගාසා තීරය, බටහිර ඉවුර හා බටහිර ජෙරුසෙලම අල්ලා ගැනීමෙන් පසුව ඒවා විවෘත සිරමැදිරි බවට පත් කිරීමෙන්. 1967 යුද්ධය, අල්ලා ගත් භූමිය ස්ථිරවම ඈඳා ගැනීමේ මහා ඊශ්‍රායල (greater Israel) ප්‍රතිපත්තියක් වර්ධනය කිරීමේ සන්ධිස්ථානයක් විය.
  1. පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායලයේ ප්‍රහාර සහ අත්පත්කරගෙන ඇති ප්‍රදේශවල මහා හිංසන, පලස්තීනු විමුක්ති සංවිධානයේ (PLO)  පාලනයෙන් බැහැරව පුපුරා ගිය 1987-93 ස්වයංසිද්ධ පලස්තීන නැගිටීම වන පළමු ඉන්ටිෆාඩාවට තුඩු දුන්නා. එය ඊශ්‍රායලය විසින් ම්ලේච්ඡ ලෙස මර්දනය කලා.  පලස්තීනුවන් 1,000කට අධික ප්‍රමානයක් ඝාතනය කෙරුනා. අවසානයේ, 1993 දී ඊශ්‍රායලයේ  අගමැති රබින් සහ PLO නායක අරෆත් අතර බිල් කලින්ටන් ජනාධිපති ඉදිරියේ  ඔස්ලෝ ගිවිසුම අත්සන් කෙරුනා. මේ මගින් අරෆත් සහ පලස්තීන විමුක්ති සංවිධානය (PLO) ඊශ්‍රායලය පිළිගැනීමට සහ ත්‍රස්තවාදය අත්හැරීමට එකඟ වුනා. ඊශ්‍රායලය මෙම ගිවිසුම යොදා ගත්තේ බටහිර ඉවුරේ ජනාවාස වඩාත් වේගයෙන් ව්‍යාප්ත කිරීමට, ජලය සහ අනෙකුත් සම්පත් පාලනය කිරීමට, මාර්ග තැනීමට, මුරපොලවල් 600 කට වඩා ස්ථාපනය කිරීමට, කලාපය පුරා ගමන් කිරීමට බාධා ඇති කිරීමට හා එහි ආර්ථිකය විනාශ කිරීමට.
  1. 2000 සැප්තැම්බර් 28 වැනි දින දෙවන ඉන්ටිෆාඩාව ආරම්භ වූයේ, ලිකුඩ් විපක්ෂ නායක ඒරියල් ෂැරොන්, පැරණි ජෙරුසලමේ සහ අවට ආරක්ෂක හමුදා දහස් ගණනක් සමඟින් අල්-අක්සා මුස්ලිම් පල්ලි පරිශ්‍රයට ප්‍රකෝපකාරී සංචාරයක නිරත වීමෙන් පසුව. මෙම සිද්ධිය පුලුල්ව පැතිරුනු සන්නද්ධ නැගිටීමක් ඇති කලා.  මෙම ඉන්ටිෆාඩාව සලකුනු කරගත යුත්තේ විනාශකාරී ඔස්ලෝ ගිවිසුම අනුමත කළ PLO නායකත්වයට එරෙහි නැගිටීමක් ලෙස. ඉන්ටිෆාඩා අතරතුර ඊශ්‍රායලය පලස්තීන ආර්ථිකයට සහ යටිතල පහසුකම්වලට පෙර නොවූ විරූ හානියක් සිදු කළා. ඊශ්‍රායලය පලස්තීන අධිකාරිය විසින් පාලනය කරන ලද ප්‍රදේශ නැවත අත්පත් කර ගත්තා. අගමැති ෂැරොන්  වාර්ගික බෙදීමේ තාප්පයක් (Separation Wall) ඉදිකිරීම ආරම්භ කළා. යුදෙව් ජනාවාස ඉදිකිරීමත් සමඟ පලස්තීන ජීවනෝපායන් සහ ප්‍රජාවන් විනාශ කළා.
  1. මේ ශතවර්ශය ආරම්භයේදී,එනම් 2008, 2012, 2014 සහ 2021 දී  ඊශ්‍රායලය ගාසා තීරයට ඇදීගිය මිලිටරි ප්‍රහාර හතරක් දියත් කලා.  දරුවන් විශාල සංඛ්‍යාවක් ඇතුළුව පලස්තීනුවන් දහස් ගණනක් මරා දැමුනා. නිවාස, පාසල් සහ කාර්යාල ගොඩනැගිලි දස දහස් ගණනක් විනාශ කලා. ඉතාමත් අයුතු සහගත ලෙස අත්අඩංගුවට ගන්නා ලද පලස්තීනු තරුන තරුනියන්,  කම්කරුවන්, මාධ්‍යවේදීන් ඇතුලු 8000ක්  පමන ඊශ්‍රායල සිර කඳවුරුතුල ගාල්කර වද බන්ධනයන්ට යටත් කෙරෙනවා.
  1. ඔක්තෝම්බර් 7 හමාස් ප්‍රහාරයට පලස්තීනු මහජනතාවගේ පුලුල් මහජන සහයෝගයක් මේ පීඩක කොන්දේසි යටතේ ලැබීම අතිෂයින් තාර්කිකයි. එය සමූහ සියදිවි නසාගැනීමේ මෙහෙයුමකට සමාන වුවත්, එය අනිවාර්යයෙන්ම, පරම්පරා ගනනක් උපතේ සිට මරනය දක්වා පීඩනයට, අනවරත හිංසනයට ලක්කරනු ලැබූ ජනතාවකගේ අව්‍යාජ කැරැල්ලක්.
  1. ගාසාහි වර්තමාන මිනිස් සංහාරයේ ප්‍රධාන කොටස්කරුවන් වන්නේ  ඇමරිකානු අධිරාජ්‍යවාදය ප්‍රමුඛ කැනේඩියානු, ඕස්ට්‍රෙිලියානු හා බටහිර යුරෝපියානු  අධිරාජ්‍යවාදී කඳවුර. චීනය ආර්ථික වශයෙන් හිර කර එය මිලිටරි වශයෙන් වට කොට පහරදීමේ යුද්ධයක සැලසුම් මත ඇමරිකානු අධිරාජ්‍යවාදය ක්‍රියාත්මක වෙනවා. යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව ගෙනයන යුද්ධය හරහා රුසියාව කැබලිවලට කඩා දැමීම මගින් තම ධනපති සංගතවලට සමස්ථ යුරෝ-ආසියානු කලාපයේම ස්වාභාවික සම්පත් කොල්ල කෑම සඳහා තමන්ට අවනත කුඩා රාජ්‍ය කැබලි ඇටවීම එහි සැලැස්මයි. ⁣මේ සැලසුම් සමස්ථ ලෝකයම න්‍යෂ්ඨික ලෝක යුද අන්තරායකට ඇද දමා තිබෙනවා. තම හෙජමනික අවශ්‍යතා සඳහා වසර තිහක් තිස්සේ මැදපෙරදිග මිලියන ගනනින් මහජනතාව ඝාතනය කල ආක්‍රමනික යුද්ධ ගනනාවකින් වගේම, මැදපෙරදිග තම ආර්ථික අනසක සඳහා ඊශ්‍රායලය ගොඩනැගීම හා පවත්වාගෙන යාම ඇමරිකාවට අවශ්‍ය වෙයි. දෙවන ලෝක යුද්⁣ධයෙන් ඉක්බිති, 1946 සිට 2022 දක්වා එක්සත් ජනපදයේ ආධාර වැඩියෙන්ම ලැබූ රට ඊශ්‍රායල යි. එය එජ. ඩොලර් බිලියන 260කි. ඊශ්‍රායලයේ අයන් ඩෝම් යන මිසයිල් ආරක්ෂන පද්ධතිය සඳහා තවත් ඩෙලෙර් බිලියන 10ක ධනස්කන්දයක් ලබා දී තිබෙනවා. මේ සියල්ල මනුෂ්‍ය ඝාතන පිනිස මිස, මිනිසුන් ජීවත් කිරීමට නොවෙි. මෑතකදීමත්, කොවිඩ් වසංගතය තුල ලොවපුරා මිලියන 25කට ආසන්න මහජනතාවක් මරනයට අතහැර දැමුවේත් මේ මිනීමරු පාලක පන්තිය බව සිහිකර ගන්න.
  1. අධිරාජ්‍යවාදී පද්ධතියට ආක්‍රමන, ජන ඝාතන, හා යුද්ධ හැර අන් මාවතක් නැත. න්‍යෂිඨික යුද්ධයක් වලක්වා ගැනීම මෙන්ම පලස්තීනු ජන සංහාරය වලක්වා ගැනීමේ කාර්යභාරය සාක්ෂාත් කල හැක්කේ, ඒ හෝ මේ අධිරාජ්‍යවාදී කඳවුරට හෝ ඒවායේ සැඟවුනු ඒජන්තයන්ට ඇවටලි කිරීම මගින් නොව, ⁣යුද්ධයට සේවය කිරීම ප්‍රතික්ෂේප කිරීම සඳහා ලොව පුරා කම්කරු පන්තිය නිශ්චිතව තීරනය කර අධිරාජ්‍යවාදී පද්ධතියට එරෙහිව සෑම රටකමත්, ජාත්‍යන්තරවත් කාර්මික ශක්තිය ඒකාබද්ධ කිරීමෙනි. 
  1. ධනපති පද්ධතියේ සමහන් කල නොහැකි අර්බුදය ඉතිරි කර ඇත්තේ විකල්ප දෙකයි: එක්කෝ මුලු ලොවම නසන න්‍යෂ්ඨික තුන්වන ලෝක යුද්ධය හා දිග් ගැසුනු මහා ජන සංහාරයයි. එසේ නැත්නම්, යුද්ධයේ පදනමවූ ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කර සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය හා උසස් මානව සංස්කෘතියක් තහවරු කරන ලෝක සමාජවාදී ක්‍රමයක් මගින් අධිරාජ්‍යවාදී පදධතිය විස්තාපනය කිරීමයි. අධිරාජ්‍යවාදී ද්වි-රාජ්‍ය මර උගුලට එරෙහිව, පවතින ඊශ්‍රායල රාජ්‍ය විසුරුවා ඒ වෙනුවට යුදෙව්-අරාබි ඒකාබද්ධ සමාජවාදී ජනරජයක් බිහි කිරීමට මෙහායින්  පලස්තීනු-යුදෙව් කම්කරු මහජනතාවට සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය  උදා කර ගත හැකි වනු නැත.  
  1. මූල්‍ය කථිපයාධිපත්‍යය ⁣මගින් නිර්මිත අධිරාජ්‍යවාදී පද්ධතියට ගැටගැසී, යුද්ධයට සහාය දෙන ධනපති ජාතික රාජ්‍ය වල  ආන්ඩුවලට එරෙහිව  කම්කරු පන්තිය තම දේශයේ පාලක පන්තියට එරෙහිව බලය සඳහා සටන් කිරීම කප්පදුවට එරෙහිව අරගලයේම කොටසකි. නායකත්වයේ අර්බුදය විසඳිය යුතුව ඇත්තේ මේ අරගලය  ජයග්‍රහනය තෙක් පෙරටගැනීම සඳහාය. කොලඹ ක්‍රියාකාරී කමිටුව සිටගන්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ඉදිරිපත් කර ඇති මෙම නායකත්වය ගොඩනැගීමේ වැඩ පිලිවෙල සමගයි.
  1. අද දින අප පවත්වන මේ රැස්වීම තුල මේ වැඩ පිලිවෙල වඩාත් විස්තීරනව සාකච්ජා කර ගැනීම සඳහා ⁣අවකාශය සලසා ගනිමු යැයි සහෝදර ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

            ස්තූතියි.

පලස්තීන පීඩිතයන්ට එරෙහි සියොන්වාදී-අධිරාජ්‍යවාදී වාර්ගික සුද්ද කිරීම නැවැත්විය හැක්කේ කෙසේද? Read More »

Abbasas

බ්ලින්කන්-අබ්බාස් හමුව:  ගාසා තීරයේ ඊශ්‍රායලයේ පොලිස් කාරයා වන  ලෙස  පලස්තීන අධිකාරියට ඇරයුම් ලැබේ

ජීන් ෂෝල් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 නොවැම්බර් 06  දින පල වූ “Blinken-Abbas meeting: Palestinian Authority courted as Israel’s policeman in Gaza” යන ජීන් ෂෝල් විසින් ලියන ලද  ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

ඉරිදා, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්, නිවේදනයකින් තොරව , පලස්තීන අධිකාරියේ (PA) ජනාධිපති මහමුද් අබ්බාස් හමුවීමට  ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින බටහිර ඉවුරේ රමල්ලා හි සංචාරයක නිරත විය.

ඔහුගේ ප්‍රකාශිත අරමුන වූයේ හමාස් සංවිධානය බලයෙන් පහ කළ පසු ගාසා තීරය පවත්වාගෙන යාමේ දී පලස්තීන අධිකාරියට කළ හැකි කාර්යභාරය සාකච්ඡා කිරීමයි. බයිඩන් පරිපාලනයේ සාමාජිකයෙකු සමඟ එවන් රැස්වීමකට අබ්බාස් එකඟ වීම – එවැන්නක් තවමත් අවශ්‍ය නම් – ෆාටා ප්‍රමුඛ පරිපාලනය ඊශ්‍රායලයට සහ එහි අධිරාජ්‍යවාදී ආධාරකරුවන්ට පොලිස් බලකායක් ලෙස ක්‍රියා කරන බවට සාක්ෂියකි.

Abbasas
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් හමුවෙයි, නොවැම්බර් 5, 2023 [AP ඡායාරූපය]

ගාසා තීරය මත , නෙතන්යාහුගේ මිනීමරු කාපට් බෝම්බ හෙලීමට සහ සමූහ මිනීමැරුම් සහ ගාසා තීරය ජනවාර්ගික පවිත්‍ර කිරීම ඉලක්ක කරගත් දිග හැරෙන භූමි ආක්‍රමණයකට බිඩෙන් පරිපාලනය සිය පූර්ණ පිටුබලය ලබා දී ඇත. 350,000 දක්වා වූ හමුදා සංචිතවල සහාය ඇතිව, ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රදේශවලින් එකකට එරෙහිව ඊශ්‍රායලයේ ප්‍රහාරයේ දරුණුකම, දරුවන් 4,000ක්, කාන්තාවන් 2,500ක් සහ වයෝවෘද්ධ පුද්ගලයන් 500ක් ඇතුළුව, 10,000කට වඩා ජීවිත දැනටමත් බිලිගෙන තිබීමෙන් පෙන්නුම් කරයි. එනම් සමස්ත මරණ සංඛ්‍යාවෙන් අවම වශයෙන් සියයට 70 ක් සිවිල් වැසියන් බවයි.

තවත් 25,000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. ඊශ්‍රායලය වටලනු ලැබූ ප්‍රදේශයට ඉන්ධන, ආහාර, විදුලිය සහ පානීය ජලය පවා නතර කර ඇති අතර එමඟින් තවත් දහස් ගණනක් මිය යනු ඇත. එහි හමුදාව ගාසා තීරය දෙකට බෙදා , සන්නිවේදන විසන්ධි කර, ගාසාවේ වැසියන්ගෙන් හතරෙන් එකකගේ නිවෙස්වලට බෝම්බ හෙළා, ඔවුන්ගේ නිවාස, පලස්තීනුවන් රැකවරණය පතා සිටි එක්සත් ජාතීන්ගේ මධ්‍යස්ථාන සහ රෝහල්, පාසල් සහ පල්ලි ආදී සියල්ල ඔවුන්ට අහිමි කර ඇත, 

මේ සියලු මරණය හා විනාශය සිදු කර ඇත්තේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් සැපයූ සහ ගෙවන ලද නවීන අවි ආයුධ මගිනි. ඒ අතරම, ඊශ්‍රායල පදිංචිකරුවන් සහ හමුදාව ඔක්තෝබර් 7 දා සිට අවම වශයෙන් පලස්තීනුවන් 150 දෙනෙකුවත් මරා දමා බටහිර ඉවුරේ පලස්තීනුවන්ට එරෙහි ඔවුන්ගේ ප්‍රහාර තීව්‍ර කර ඇත.2023 පළමු මාස නවය තුළ අවම වශයෙන් පලස්තීනුවන් 200 ක් මරා දමා ඇත. පසුගිය වසරේ මුල සිට තීව්‍ර වන හමුදා ප්‍රහාර සහ සන්නද්ධ පදිංචිකරුවන්ගේ ප්‍රහාරයන් මත මෙය සිදු වේ. 

නෙතන්යාහු සහ ඔහුගේ ලේ පිපාසිත ෆැසිස්ට්වාදීන්ගේ කල්ලිය ගාසා තීරයේ වැඩි කොටසක් සුන්බුන් බවට පත් කිරීමෙන් පසු, මේ කිසිවක්, පලස්තීන අධිකාරිය විසින් ගාසා තීරයේ කුමන භූමිකාවක් ඉටු කළ හැකිද යන්න සාකච්ඡා කිරීම සඳහා බ්ලින්කන් හමුවීමට ,  මුලුමනින්ම නිර්ලජ්ජිත අබ්බාස් වළක්වන්නේ නැත. ඒ වෙනුවට ඔහු සටන් විරාමයකට පිටුබලය දෙන ලෙස එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියේ, ඊශ්‍රායලය ලවා “සිවිල් හානිය අවම කිරීම” සඳහා   වොෂින්ටනයේ දරන උත්සාහයන් පිළිබඳව, යුද අපරාධකරු බ්ලින්කන් කල  විසුළු සහගත ප්‍රකාශය අතරේ දීය.

නෙතන්යාහු පාලනයට ඔවුන්ගේ ජන ඝාතනයෙන් පසු ඉතිරි ව , එහි ජීවත්වන පලස්තීනුවන් ඇතුලත් කරගන්නා කිසිදු සැලසුමක් ගාසාව පිලිබදව නොමැති බව බයිඩන් පරිපාලනය හොඳින් දනී. 2006 සිට ගාසා තීරය පාලනය කරන මුස්ලිම් සහෝදරත්වයට අනුබද්ධ කන්ඩායම වන “හමාස්ගේ අවසාන අංශු මාත්‍ර සියල්ල මුලිනුපුටා දැමීම” යන්නෙන් අදහස් කරන්නේ “හමාස් සංවිධානය උපක්‍රමශීලීව හිස ගසා දැමීම පමණක් නොව, ගාසා තීරයේ , ඊට ඇති  ඕනෑම මිලිටරි හෝ අධිකරණ බලයක් ලබා ගැනීමේ හැකියාව තලා දැමීම බව” ඊශ්‍රායල බලධාරීන් ප්‍රකාශ කර ඇත. 

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) දැනටමත් සෘජු මිලිටරි පාලනයක් සඳහා අඩිතාලම සකස් කරමින් සිටින අතර ඊශ්‍රායලය ගාසා තීරයේ පූර්ණ පාලනය සියතට ගැනීමට අදහස් කරයි. අන්ත දක්ෂිණාංශික නීති සම්පාදකයින් අවම වශයෙන් ගාසා තීරයේ කොටසක් අත්පත් කර ගෙන එහි ජනාවාස නැවත ස්ථාපිත කිරීමේ හැකියාව මතු කර ඇත.

මේ වන විට, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගාසා තීරය අත්පත් කර ගැනීම ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර ඇත-එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන් නෙතන්යාහුට අනතුරු අඟවා ඇත්තේ ගාසා තීරය නැවත අත්පත් කර ගැනීම “විශාල වැරැද්දක්” වනු ඇති බවයි.නමුත් අභ්‍යන්තර ලේඛන කාන්දු වීමෙන් පසුව, ඒවා ප්‍රකාශයට පත් කර ඇති අතර, විකල්පයක් ලෙස සමස්ත ජනගහනයම ඊජිප්තුවේ සීනායි කාන්තාරයට හෝ ඊශ්‍රායලයේ නෙගෙව් වෙත මාරු කිරීමේ සැලසුම් සකස් කර ඇත.  බ්ලින්කන් සහ අබ්බාස් මුණගැසෙන විට පවා, යුදෙව් බලය නම් සංවිධානයේ සාමාජිකයෙකු වන ඊශ්‍රායලයේ උරුමය පිළිබඳව ඇමති අමිචයි එලියාහු, ගාසා තීරයේ න්‍යෂ්ටික බෝම්බයක් භාවිතා කිරීම , හමාස් තර්ජනය සමඟ කටයුතු කිරීමේ එක් ක්‍රමයක් විය හැකි බව යෝජනා කළේය. “ගාසා තීරයේ අහිංසකයන් කියා දෙයක් නැත,”  ඔවුන් සියල්ලෝම “කාන්තාරයට හෝ අයර්ලන්තයට” යා යුතු යැයි ඔහු පැවසීය. ඉන් අපහසුතාවයට  පත් නෙතන්යාහු, ඔහුව කැබිනට් මණ්ඩලයෙන් අත්හිටුවීමේ සංකේතාත්මක ක්‍රියාමාර්ගය ගත්තේය.

ඊශ්‍රායලයේ සැලසුම්වල සැබෑ යථාර්ථය වසන් කිරීමට උත්සාහ කිරීම සඳහා, එක්සත් ජනපදය ජාත්‍යන්තර බලවේගයක්-සමහරවිට අරාබි රාජ්‍යයන්ගෙන් සහ එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ සහාය ලැබෙන– වගකීම භාර ගැනීමේ හැකියාව මතු කර ඇති අතර, ඊශ්‍රායලය විසින් තත්‍ය ලෙස ගාසා තීරය අල්ලා ගැනීම සඳහා පලස්තීන ආවරණයක් සැපයීමට අබ්බාස් දැන් හඬ නගමින් සිටී. මෙය විශාල වශයෙන් ඉරානය ඉලක්ක කර ගනිමින් පුලුල් යුද්ධයකට පිටුබලය පතා බ්ලින්කන් මැද පෙරදිග සංචාරය කරන අතර තුර, ඊශ්‍රායලය ගාසා තීරයට සම්පූර්ණයෙන්ම විනාශ කරන විට දූෂිත අරාබි පාලන තන්ත්‍රයන්ට සහ තුර්කියට කිසිවක් නොකර සිටීමට , දේවල් පහසු කරවීමේ උත්සාහයක් විය.

ඊශ්‍රායල-පලස්තීන ගැටුමට “පුළුල් දේශපාලන විසඳුමක්” නොමැතිව ගාසාවේ භූමිකාවකට පලස්තින අධිකාරිය  එකඟ නොවන බව අබ්බාස්ගේ ප්‍රකාශකයා රංගනයක් ලෙස බ්ලින්කන්ට ප්‍රකාශ  කරන ලද අතර , ෆාටා සිතන්නේ මෙය ඔවුන්ගෙන් ඉටු කිරීමට ඉල්ලා සිටින සාපරාධී භූමිකාව සඳහා යම් ආවරණයක් සපයන බවයි, නමුත් මෙය මුළාවකි. පලස්තීන විරෝධය මැඩලීමේ එහි භූමිකාව නොතකා , ඊශ්‍රායලය දැනටමත් පලස්තින අධිකාරිය ඉවසන්නේ යන්තම් ය. එය යලි යලිත් එහි බදු ආදායම අත්හිටුවා ඇත, ජනාවාස ව්‍යාප්ත කිරීම වේගවත් කර ඇති අතර, පලස්තීනුවන් ඔවුන්ගේ භූමියෙන් පලවා හැරීමේ අරමුණින් සන්නද්ධ පදිංචිකරුවන් විසින් පලස්තීනුවන්ට එරෙහිව එල්ල කරන ප්‍රහාරවලට, එය  සහාය දක්වයි.

ගාසා තීරයේ වාර්ගික සුද්ධ කිරීම මෙන්ම , බටහිර ඉවුරේ ද එවැනිම මෙහෙයුමක් කිරීමට වැඩි කාලයක් ගත නොවනු ඇත. ආගමික සියොන්වාදයේ ප්‍රධානියා වන අන්ත දක්ෂිනාංශික මුදල් ඇමති බැසිලල් ස්මෝට්‍රිච්   සහ යුදෙව් බලයට නායකත්වය දෙන ජාතික ආරක්ෂක ඇමති ඉටමාර් බෙන්-ග්විර් , බටහිර ඉවුර  ඈඳා ගැනීමේ ඔවුන්ගේ සැලසුම්වල කොටසක් ලෙස පලස්තින අධිකාරියෙහි බිඳවැටීම ගෙන ඒමට හැකි සෑම දෙයක්ම කර ඇත. සියොන්වාදී පදිංචිකරුවන්, 700,000 දැනටමත් එක්සත් ජනපදය විසින් සපයනු ලබන ප්‍රහාරක රයිෆල් වලින් සන්නද්ධව සිටින අතර, IDF හි ආරක්ෂාව යටතේ පලස්තීනුවන්ට එරෙහි  ඔවුන්ගේ ත්‍රස්ත ප්‍රහාර වේගවත් කරයි.

පලස්තීනුවන් කෙරෙහි ඊශ්‍රායල ආධිපත්‍යය තහවුරු කිරීමට සේවය කළ ඔස්ලෝ ගිවිසුමේ සාකච්ඡාකරුවෙකු ලෙස, අබ්බාස් දූෂිත හා අකාර්යක්ෂම පරිපාලනයක මුලසුන හොබවන ඊශ්‍රායලයේ ගෝලයා ලෙස සැලකේ. 2006 මැතිවරනයේදී හමාස් හි ජයග්‍රහණයට තුඩු දුන්නේ පලස්තීන විමුක්ති සංවිධානයේ (PLO) ඔහුගේ ෆාටා කන්ඩායමට ඇති පුලුල්ව පැතිරුනු සතුරුකමයි.

ඊශ්‍රායලයේ පිටුබලය ඇතිව, අබ්බාස් එහි ගාසා බලකොටුව තුළ හමාස් සංවිධානයට එරෙහිව අවසානයේ අසාර්ථක සිවිල් යුද්ධයක් දියත් කළ අතර, ඔහුගේ පරාජයෙන් පසුව, ඔහු ගාසා තීරය අවහිර කිරීම, හුදකලා කිරීම සහ කුසගින්නෙන් පෙළීම සඳහා ඊශ්‍රායලය සමඟ සහයෝගයෙන් කටයුතු කළේය. දහස් ගණනකගේ ජීවිත අහිමි කිරීමට තුඩු දුන් 2008-09, 2012, 2014, 2018, 2021 සහ 2023 දී ඊශ්‍රායලයේ මිනීමරු ප්‍රහාරවලට එරෙහිව ගාසාවේ පුරවැසියන් ආරක්ෂා කිරීමට පලස්තින අධිකාරිය  කිසිවක් කළේ නැත. ෆාටා හි ජනප්‍රියත්වය කෙතරම් දුරට ඛාදනය  වූයේද යත්, 2006 න් පසු කිසිදු මැතිවරණයක් පැවැත්වීම අබ්බාස් විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

එය ගල් යුගයට ආපසු තල්ලු කරමින් බෝම්බ හෙලීමෙන් පසු ගාසාවේ ම්ලේච්ඡ ඊශ්‍රායල ආඥාදායකත්වයක් සඳහා මුහුණත වෙමින් පලස්තීන අධිකාරිය සඳහා භූමිකාවක් අබ්බාස් භාර ගන්නේ නම්, මෙම පාවාදීමේ වාර්තාවේ වැදගත් කම බොහෝසෙයින් හීන වනු ඇත.

බටහිර ඉවුරේ දරිද්‍රතාවයෙන් පෙළෙන බන්ටුස්තානයන් [වර්ණභේදවාදී රාජ්‍යයක ඇති ඊනියා ස්වයං පාලන ප්‍රදේශ] වල සහ ගාසා තීරයේ එළිමහන් සිර කඳවුරකට සීමා වූ , වාඩිලාගෙන සිටින ප්‍රදේශ තුළ ස්වාධීන පලස්තීන රාජ්‍යයක් ගොඩනැගීමේ ජාතිකවාදී ව්‍යාපෘතිය ,පලස්තීනුවන් පීඩාවට පත් කිරීමේ මාධ්‍යයක් ලෙස, කෙතරම් දුරට ඔප්පු වී ඇත්ද යන්න රමල්ලාහි සාකච්ඡා පෙන්නුම් කරයි. හමාස්ගේ නැගීම අනාගමික ධනේශ්වර ජාතිකවාදී PLO සමග මහජන කලකිරීමේ ප්‍රතිඵලයක් වී ඇත. නමුත් ඉස්ලාමීය ව්‍යාපාරය ශක්‍ය විකල්පයක් ඉදිරිපත් නොකරයි.

අධිරාජ්‍යවාදය විසින් මැදිහත්ව ගොඩනගන ලද  ජාතික රාජ්‍යයක් ගබ්සා කිරීමකින් පලස්තීන ජනතාවගේ විමුක්තිය කිසිදා සාක්ෂාත් කරගත නොහැක. ජාතික හා ආගමික සීමාවන් ඉක්මවා යමින් , අධිරාජ්‍යවාදයට සහ ඊශ්‍රායල හා අරාබි යන දෙඅංශයෙහිම, එහි දේශීය නියෝජිතයින්ට එරෙහි පොදු අරගලයක්, එක්සත් කල හැක්කේ කම්කරු පන්තියට පමනි.සියලුම පුරවැසියන්ට සමානාත්මතාවය සහිත බහුජාතික රාජ්‍යයක් සහ මැද පෙරදිග එක්සත් සමාජවාදී රාජ්‍යයක් සඳහා වන අරගලයේදී , පීඩාවට, දරිද්‍රතාවයට, වාර්ගික පවිත්‍ර කිරීමට සහ යුද්ධයට තිත තැබිය හැක .

ජාත්‍යන්තරව පන්ති අරගලයේ වර්ධනය අධිරාජ්‍යවාදී ආධිපත්‍යයට තිත තැබීමේ පදනම සපයයි. ගාසා තීරයේ යුද්ධයට එරෙහි අරගලය අසමානතාවයට හා සූරාකෑමට එරෙහිව කම්කරුවන්ගේ ලෝක ව්‍යාප්ත අරගලයට සම්බන්ධ කර ජාත්‍යන්තර සමාජවාදය සඳහා සවිඥානික දේශපාලන ව්‍යාපාරයක් ලෙස වර්ධනය කල යුතුය.

බ්ලින්කන්-අබ්බාස් හමුව:  ගාසා තීරයේ ඊශ්‍රායලයේ පොලිස් කාරයා වන  ලෙස  පලස්තීන අධිකාරියට ඇරයුම් ලැබේ Read More »

Demolition

ඊශ්‍රායලයේ ජබාලියා සරණාගත කඳවුරු බෝම්බ ප්‍රහාරය: අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයේ නව අදියරක්

ඇන්ඩෘ ඩැමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 නොවැම්බර් 01 දින පල වූ ‘Israel’s Jabaliya refugee camp bombing: A new stage of imperialist barbarism’යන ඇන්ඩෘ ඩැමන්  විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනයයි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

Demolition
2023 නොවැම්බර් 1 බදාදා, උතුරු ගාසා තීරයේ, ජබාලියා සරණාගත කඳවුරේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර මගින් ඉලක්ක කරන ලද ගොඩනැගිලිවල සුන්බුන් අතර, අනෙක් අය සැරිසරන විට, මිනිසෙක් සුන්බුන් මත වාඩි වී සිටියි. (AP ඡායාරූපය/අබෙඩ් කලීඩ්)

අඟහරුවාදා ගාසා තීරයේ ජබාලියා සරණාගත කඳවුරට බෝම්බ හෙලීමෙන් සිදු වූ බිහිසුණු ප්‍රතිඵලයෙන්  ඉක්බිතිව, එක්සත් ජනපදය සහ එහි සහචරයෝ ඊශ්‍රායලයේ කුරිරුකම් සාධාරණීකරණය කරනවා පමණක් නොව, ගාසා තීරයේ සිවිල් ජනතාව නීත්‍යානුකූල මිලිටරි ඉලක්කයක් බවට ප්‍රකාශ කර ඇත.

අඟහරුවාදා, ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානා, ගාසා තීරයේ විශාලතම සරණාගත කඳවුර පිහිටි ජනාකීර්ණ ජබාලියා අසල්වැසි ප්‍රදේශයට බෝම්බ රොත්තක් හෙලීමෙන් දුසිම් ගනනක් මිය යාමෙන් පසු , ඊළඟ දවසේ, ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ජබාලියා කඳවුරට යලිත් ප්‍රහාර එල්ල කරමින් සමූලඝාතනය පිලිබඳ ගෝලීය කෝපයට ප්‍රතිචාර දැක්වීය. මෙම බෝම්බ ප්‍රහාර දෙකෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 195 දක්වා ඉහළ ගොස් ඇති අතර 120 දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇත.

සියගණනක් කාන්තාවන් සහ ළමයින්ගෙන් පිරුණු ප්‍රදේශයකට හිතාමතාම ප්‍රහාර එල්ල කිරීම ගැන ඊශ්‍රායල බලධාරීන් සතුටු විය. “ඒත් ඔය සරණාගත කඳවුරේත් සරණාගතයෝ, අහිංසක සිවිල් මිනිස්සු, පිරිමි, ගෑණු, ළමයි ගොඩක් ඉන්නවා කියලා ඔයා දන්නවා නේද?” CNN නියාමක වුල්ෆ් බ්ලිට්සර්  IDF ප්‍රකාශක, ලුතිනන් කර්නල් රිචඩ් හෙක්ට්ගෙන් ඇසුවේය.

පිළිතුර ඔව් බව හෙක්ට් පැහැදිලි කළේය. “මෙය යුද්ධයේ ඛේදවාචකය, වුල්ෆ්,” ඔහු පිළිතුරු දුන්නේය.

හෙක්ට්ගේ ප්‍රකාශයට සෘජුවම ප්‍රතිචාර දක්වන ලෙස ඉල්ලා සිටි විට, එක්සත් ජනපද පෙන්ටගනයේ ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරල් පැට් රයිඩර් පලස්තීනුවන් “මිනිස් පලිහක්” ලෙස සේවය කරන බවට චෝදනා කරමින් ප්‍රහාරය අනුමත කළේය. බෝම්බ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ , ගාසා තීරයේ එක්සත් ජනපදය ඉවසීමට කැමති සිවිල් මරණ සංඛ්‍යාවට “සීමාවක්” නොමැති බවයි.

එක්සත් ජනපද-ඊශ්‍රායල සැලසුම් පැහැදිලි වෙමින් තිබේ. වසර 50ක් පුරා අධිරාජ්‍යවාදී බලවතුන් පලස්තීනුවන්ගේ “ප්‍රශ්නයට” “විසඳුමක්” ගැන කතා කරමින් සිටිති. දැන්, ඔවුන් එකක් සොයාගෙන ඇත: “පලස්තීන ප්‍රශ්නයේ අවසාන විසඳුමයි.”

ඊශ්‍රායලය අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහාය ඇතිව සමූහ සමූලඝාතන හා වාර්ගික ශුද්ධ කිරීමේ යුද්ධයක් දියත් කරමින් සිටින්නේ, හැකිතාක් පලස්තීනුවන් මරා දැමීම සහ ජීවතුන් අතර සිටින සියල්ලන් ගාසා තීරයෙන් එලවා දැමීමේ අරමුනෙනි-එක්කෝ රටක් නැති සරණාගතයින් ලෙස ලොව පුරා විසිරුවා හැරීම හෝ සීනයි කාන්තාරයට [ඊජිප්තුව] එලවා දැමීමයි. .

බදාදා, ඊශ්‍රායල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ඊශ්‍රායල ආන්ඩුවේ හිටපු තොරතුරු ඇමතිනී ගැලිට් ඩිස්ටල්-ඇට්බාරියන් ඉල්ලා සිටියේ,  “මුළු ගාසාව මිහිතලයෙන් මකා දැමිය යුතු” ලෙසත්, එසේ කිරීමේදී “ගාසාවේ රාක්ෂයන් දකුණු වැටට පියාසර කර ඊජිප්තු භූමියට ඇතුළු වීමට උත්සාහ කරනු ඇත – නැතහොත් ඔවුන් මිය යනු ඇත … ගාසාව මකා දැමිය යුතුය.” යන්නයි. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ නිව් යෝර්ක් කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ ක්‍රේග් මොකිබර් ගේ ඉල්ලා අස්වීම අඟහරුවාදා නිවේදනය කළ අතර, සමස්ත ලෝකයටම වඩ වඩාත් පැහැදිලිව පෙනෙන දේ එහි විස්තර කරයි., “මෙය සමූල ජන ඝාතනය සඳහා පාඨ ග්‍රන්ථමය වේ” යැයි මොකිබර් සඳහන් කළේය ය. “පලස්තීනයේ , යුරෝපීය, වාර්ගික-ජාතිකවාදී, පදිංචිකරුවන්ගේ යටත් විජිත ව්‍යාපෘතිය  ස්වදේශික පලස්තීන ජීවිතයේ අවසාන නටබුන් කඩිනම් විනාශ කිරීම කරා, එහි අවසන් අදියරට පිවිස ඇත. ඊටත් වඩා, එක්සත් ජනපදයේ, එක්සත් රාජධානියේ සහ යුරෝපයේ බොහෝ ආන්ඩු, බිහිසුණු ප්‍රහාරයට මුලුමනින්ම හවුල් වේ. මෙම ආන්ඩු ජිනීවා සම්මුතීන් සඳහා ‘ගෞරවය සහතික කිරීමට ‘ ඔවුන්ගේ ගිවිසුම් බැඳීම් සපුරාලීම ප්‍රතික්ෂේප කරනවා පමණක් නොව, ඇත්ත වශයෙන්ම ඔවුන් ප්‍රහාරය සක්‍රීයව සන්නද්ධ කරමින්, ආර්ථික සහ බුද්ධිමය සහාය ලබා දෙමින් සහ ඊශ්‍රායලයේ කුරිරුකම් සඳහා දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික ආවරණයක් ලබා දෙමින් සිටිති.”

ගාසා තීරයේ මෙම සමූහ ඝාතනයට සහ වාර්ගික ශෝධනයට එක්සත් ජනපද හමුදා විසින් සක්‍රියව දායකත්වය සපයනු ලබන අතර මෙහෙයවීමද කරනු ලබයි. අඟහරුවාදා රාත්‍රියේ, නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කළේ “ඇමරිකානු කමාන්ඩෝ භටයින් ඊශ්‍රායලයේ භූමියේ සිටි” බවයි. මෙය වූයේ පලස්තීනයේ හිටපු තානාපති සල්මාන් අල්-හර්ෆිගේ ප්‍රකාශයෙන් පසුවය. එක්සත් ජනපද හමුදා “ගාසාවේ භූමියේ හමුදා මෙහෙයුම්වලට සම්බන්ධ” බව ඔහු ප්‍රකාශ කළේය. එක්සත් ජනපද සහ නේටෝ හමුදා විසින් ගාසා තීරය ආක්‍රමණය කිරීම ඇතුළු ගැටුමේ දී , එක්සත් ජනපද හමුදා ඊටත් වඩා සෘජු භූමිකාවක් ඉටු කිරීම ගැන එක්සත් ජනපද නිලධාරීන් සාකච්ඡා කරමින් සිටිති.

ගාසා තීරයේ සිවිල් ජනතාවට එරෙහි කුරිරු යුද්ධය, සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව,එක්සත් ජනපදය විසින් දියත් කල , දශක තුනක නිමක් නැති යුද්ධයේ ප්‍රතිඵලයකි.  “මරණයේ මහා මාර්ගය” සහිත ගල්ෆ් යුද්ධයේ සිට යුගෝස්ලාවියාවේ සිවිල් යටිතල ව්‍යුහය ක්‍රමානුකූලව විනාශ කිරීම හරහා, “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” අතරතුර ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීම සහ අත්පත් කර ගැනීම දක්වා එය විහිදී යයි.

මෙම ගෝලීය යුද්ධ , ඉරානය, රුසියාව සහ චීනය ඉලක්ක කර ගනිමින් සර්ව ව්‍යාප්ත ගෝලීය ගැටුමක් ලෙස එක්සත්  ජනපදය විසින් දකින දෙය බවට පරිවර්තනය වී ඇත. බ්ලින්කන් කැපිටල් හිල් හි දී, සාක්ෂියක් ලෙස ප්‍රකාශ කළ පරිදි, “අපේ විරුද්ධවාදීන් සඳහා, ඔවුන් රාජ්‍යයන් හෝ රාජ්‍ය නොවන අය වේවා, මේ සියල්ල එක සටනකි.”

ගාසා තීරයේ සිදුවන සමූලඝාතනය, විදේශ ප්‍රතිපත්තියේ මෙවලමක් ලෙස එක්සත් ජනපදය විසින් ජන සංහාරය වැලඳ ගැනීම සනිටුහන් කරයි. මේ මාසයේ බයිඩන් යලිත් සඳහන් කල පරිදි ඇමරිකාවේ “නව ලෝක පර්යාය ” ගොඩනැගෙන්නේ සමූහ මිනීමැරුම් මත ය.

එක්සත් ජනපදයේ සහ එහි සහචරයන්ගේ පැත්තෙන් යුද අපරාධ සඳහා පහසුකම් සලසා ගැනීමට සහ යුක්ති සහගත කිරීමට යොදා ගනු ලබන, ඇමරිකානු “මානව හිමිකම්” අධිරාජ්‍යවාදයේ සම්පූර්ණ කුහකත්වය පෙන්නුම් කර ඇත.2021 මාර්තු මාසයේදී මාරිපෝල් හි මාතෘ වාට්ටුවකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයන් තිදෙනෙකු මරණයට පත් කළ බවට රුසියාවට චෝදනා එල්ල වූ විට , එක්සත් ජනපද උප ජනාධිපති කමලා හැරිස් ප්‍රකාශ කළේ එය “යුද අපරාධයක්” බවයි. එපමණකි .” එහෙත් ඊශ්‍රායලය, බයිඩන් පරිපාලනයේ පූර්ණ අනුග්‍රහය ඇතිව හිතාමතාම සිවිල් වැසියන් දහස් ගණනක් මරා දමයි. 

ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාව මහජන උද්ඝෝෂන වලට සහභාගී වෙමින් එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ සාපරාධීත්වයට ප්‍රතිචාර දක්වා ඇත. සමූහ ඝාතනවලට එරෙහි මෙම උද්ඝෝෂන , “යුදෙව් විරෝධවාදී” ලෙස ,සැකෙන් බියෙන් තොරව , අධිරාජ්‍යවාදී ආන්ඩු විසින් හදුන්වනු ලබයි. 

සංහාරය සිදු කරනු ලබන්නේ ඊශ්‍රායල රාජ්‍යය විසින් වන අතර, එය , යුදෙව් මිනිසුන්ගේ නොව එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ බළල් අතක් (ප්‍රොක්සියක්) ලෙස ක්‍රියා කරයි, ඔවුන්ගෙන් [ යුදෙව්වන්] බොහෝ දෙනෙක් ඝාතනයට එරෙහි උද්ඝෝෂන වලට සහභාගී වූහ.

ගාසා තීරයට එක්සත් ජනපද-ඊශ්‍රායල් බෝම්බ හෙලීම සහ සියලුම ඊශ්‍රායල හමුදා බලමුලු ගැන්වීම වහාම නතර කරන ලෙස සහ ගාසා තීරයේ දේශසීමාවෙන් ඊශ්‍රායල හමුදා ඉවත් කිරීමට  කම්කරුවන් ඉල්ලා සිටිය යුතුය. ගාසා තීරය වටලෑම අවසන් කළ යුතු අතර ආහාර, ජලය, විදුලිය, වෛද්‍ය ප්‍රතිකාර සහ අනෙකුත් සියලුම අවශ්‍යතා වහාම ලබා දිය යුතුය.

පසුගිය මාසයේ පලස්තීන වෘත්තීය සමිති කන්ඩායමක් ලොව පුරා කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේ යුද උපකරණ හැසිරවීම ප්‍රතික්ෂේප කරන ලෙසයි. ඔක්තෝබර් 31දා, බෙල්ජියම් ගුවන් තොටුපළ ගොඩබිම් කාර්ය මණ්ඩල වෘත්තීය සමිති එකමුතුවක්  “ඊශ්‍රායලයට ආයුධ නැව්ගත කිරීම නවත්වන ලෙස” ඔවුන්ගේ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේ ය. ඊශ්‍රායලයේ ජන සංහාරයට සහාය විය හැකි ඕනෑම සම්පත් සැපයුමක් කපා හැරීමට, වැඩ වර්ජනවල නිරත වන ලෙස ලෝක සමාජවාදී වෙබ් අඩවිය ගෝලීය වශයෙන් කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. ලොව පුරා නැව් තටාක සේවකයින්, ගුවන් තොටුපල කාර්ය මණ්ඩලය සහ ප්‍රවාහන සේවකයින් ඊශ්‍රායලයට යැවීම සඳහා අදහස් කරන ආයුධ නැව්ගත කිරීම ප්‍රතික්ෂේප කළ යුතුය.

ඊශ්‍රායලයේ ජන සංහාරයට එරෙහිව ලොව පුරා පුපුරා ගිය උද්ඝෝෂන සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත, කම්කරු පන්තිය වෙත හැරීමක් මගින් ගැඹුරු කර පුලුල් කල යුතුය. මෙම මහජන ව්‍යාපාරය සියලු ධනේශ්වර ආන්ඩුවලට සහ පාලක පන්තියේ දේශපාලන පක්ෂවලට එරෙහිව යොමු කළ යුතුය.

ඊශ්‍රායලයේ ජබාලියා සරණාගත කඳවුරු බෝම්බ ප්‍රහාරය: අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයේ නව අදියරක් Read More »

Bombing

ජබාලියා සරණාගත කඳවුරට ඊශ්‍රායලය බෝම්බ හෙලීම: ගාසා තීරයේ ජන සංහාරයේ තවත් කුරිරු ක්‍රියාවක්

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 31 දින පල වූ ‘Israel’s bombing of the Jabaliya refugee camp: Another atrocity in the genocide in Gaza’ යන ඇලෙක්ස් ලැන්ටියර් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනයයි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

Bombing
පලස්තීනුවන් , 2023 ඔක්තෝම්බර් 31 වන දින ගාසා තීරයේ නුසෙයිරාත් සරණාගත කඳවුරේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් අය සොයති. [AP Photo/Doaa AlBaz]

ඊයේ [ ඔක්තෝබර් 30] , ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) විසින් සිදු කරන බිහිසුණු කුරිරු ක්‍රියාවක් ලෙස ජබාලියා සරණාගත කඳවුරට එල්ල කරන ලද අනපේක්ෂිත බෝම්බ ප්‍රහාරයකින් පිරිමින්, කාන්තාවන් සහ ළමුන් සිය ගණනක් මරා දමා තුවාල  සිදු කරනු ලැබීය. කලක් උස් ගොඩනැගිලි රාශියක් තිබූ මෙම කඳවුරේ විශාල ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම සුන්බුන් ලෙස කඩා වැටී ඇති බව ඡායාරූපවලින් හෙළි විය.

ඊශ්‍රායල රාජ්‍ය පිහිටුවීමේදී තම භූමියෙන් පලා යාමට බලකෙරුණු පලස්තීනුවන්ගෙන් පැවතෙන්නන් නවාතැන් ගැනීම සඳහා ඉදිකරන ලද ජබාලියා කඳවුරට එල්ල කළ ප්‍රහාරයෙන් 50 දෙනෙක් මිය ගොස් සහ තුවාල ලැබූ අය 150 ක් හඳුනාගෙන ඇති බව ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළේය. සම්පූර්ණ මරණ සංඛ්‍යාව බොහෝ සෙයින් වැඩි විය හැකිය. කඳවුර විනාශ කළ දැවැන්ත බෝම්බ පිපිරීම් හයෙන් මියගිය බොහෝ දෙනෙක් වාෂ්ප වී හෝ හඳුනාගත නොහැකි කැබලිවලට ඉරා දැමූහ.

“මම එහි ගොස් විනාශය දුටුවෙමි … සුන්බුන් යට වැළලී ඇති නිවාස, ශරීර කොටස් සහ දිවි පිදූවන් සහ තුවාල ලැබූවන් විශාල සංඛ්‍යාවක්  ඇත,” සුන්බුන් හරහා හෑරීමට උදව් කළ 41 හැවිරිදි අයෙක් AFP පූවත් වෙත පැවසීය. “ඔවුන් සිය ගණනක් දිවි පිදූවන් සහ තුවාල ලැබූවන් ගැන කතා කරන විට අතිශයෝක්තියක් නැත. [මිනිසුන්] තවමත් ළමයින්ගේ, කාන්තාවන්ගේ සහ වැඩිහිටියන්ගේ දේහයන් ප්‍රවාහනය කරයි.”

අනාරක්ෂිත සිවිල් කඳවුරක් ඉලක්ක කරගත් මෙම සමූහ ඝාතන ක්‍රියාව බොහෝ “ත්‍රස්තවාදීන්” සමූලඝාතනය කර ඇති බවට උදම් අනමින් ඊශ්‍රායල නිලධාරීහු බෝම්බ ප්‍රහාරය නිර්ලජ්ජිතව ආරක්ෂා කළහ. IDF ප්‍රකාශක ඩැනියෙල් හගාරි  පැවසුවේ , බෝම්බ ප්‍රහාරයෙන් “ත්‍රස්තවාදී මිනීමරු ඊබ්‍රාහිම් බියරි තුරන් කිරීමට සමත් වූ” බවයි. ඔහු ගාසා තීරයේ IDF හමුදාවන්ට එරෙහි “සටනෙහි ප්‍රධාන නායකයා” බව හගාරි ප්‍රකාශ කළේය. බියරි ගේ “තුරන් කිරීම අතරතුර, බොහෝ ත්‍රස්තවාදීන්  ඝාතනය කරන ලද,” බව හගාරි පැවසීය.

ජබාලියා සරණාගත කඳවුරට බෝම්බ හෙලීම, ගාසා තීරයට එරෙහි IDF හි ජන සංහාරක ප්‍රහාරය හෙලා දකිමින් ලොව පුරා මිලියන සංඛ්‍යාත කම්කරුවන් හා තරුනයන්ගේ මහජන විරෝධතාවලට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ආන්ඩුව සහ ඔහුගේ නේටෝ අධිරාජ්‍යවාදී ආධාරකරුවන්ගේ ප්‍රතිචාරයයි. ඔවුන්ගේ පණිවිඩය නම්: අපි ඔබගේ විරෝධතා නොසලකා හරිමින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ ජන සංහාරයේ ක්‍රම මගින් යුද්ධ කිරීම ඉදිරියට කරගෙන යන්නෙමු , යන්නයි.

(ට්විටර් පණිවිඩය)

එහි යුරෝපීය නේටෝ සහචරයින්ගේ සක්‍රීය අනුග්‍රහය ඇතිව වොෂින්ටනය විසින් පෙර දින මෙම කුරිරු ක්‍රියාව සඳහා කොළ එළිය දෙන ලදී. ළමුන් 3,000කට වැඩි සංඛ්‍යාවක් ඇතුළුව ගාසා තීරයේ තහවුරු වූ මරණ සංඛ්‍යාව 8,000 ඉක්මවන විට, එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි ගාසා තීරයේ සටන් විරාමයකට පක්ෂව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 120-14 අතිමහත් ඡන්ද ප්‍රතික්ෂේප කළේය.

යුද්ධය සහ සිවිල් වැසියන්ගේ  සමූල ඝාතනයන් දිගටම කරගෙන යා යුතු බව කිර්බි අවධාරනය කළේය. ඔහු පැවසුවේ, “මේ මොහොතේ සටන් විරාමයක් නිවැරදි පිළිතුර යැයි අපි විශ්වාස නොකරමු … දැන් සටන් විරාමයක් හමාස් සංවිධානයට ප්‍රතිලාභ ලබා දෙන බව අපි විශ්වාස කරන අතර, දැන් එයින් ප්‍රයෝජන ලබන්නේ හමාස් පමණි.”

ඊයේ, කර්බි ජබාලියා කඳවුරට බෝම්බ හෙලීම ආරක්ෂා කරමින්, ඒ ගැන විශේෂයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේය. “අපි සෑම සිදුවීමකටම තත්‍ය කාලීනව ප්‍රතිචාර දක්වන්නේ නැහැ,” ඔහු පැවසීය. කෙසේ වෙතත්, එක්සත් ජනපද නිලධාරීන් ඊශ්‍රායලයේ “අපගේ සගයන් සමඟ දිනපතා සංවාදයේ” යෙදෙන අතර එමඟින් සිවිල් ජීවිත හානි වොෂින්ටනය පිළිගත හැකි මට්ටමක තබා ගන්නා බව ඔහු පැවසීය. “ඔවුන් සිවිල් හානි අවම කිරීමට උත්සාහ කරන බව අපට පැහැදිලිය”, මෙය කර්බි පවසන බොරුවකි.

කිර්බිගේ ප්‍රකාශය එක්සත් ජනපද ආන්ඩුව සහ නේටෝ මිලිටරි සන්ධානය විසින් ගාසා තීරයේ ඊශ්‍රායලයේ ජන සංහාරක ක්‍රම අනුමත කිරීමකි. පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායල යුද අපරාධ ආරක්ෂා කිරීම එහි අරමුන වන අතරම, මැද පෙරදිග පුරා සහ ලෝකය පුරා අධිරාජ්‍යවාදයේ ඉලක්ක තිබේ. අධිරාජ්‍යවාදී බලවතුන් ලෝක ජනගහනය හා සියල්ලටම වඩා ජාත්‍යන්තර කම්කරු පන්තිය අවධානයට ලක් කරමින් සිටී. ඔවුන් ජන සංහාරය, සමූහ ඝාතන සහ වාර්ගික ශුද්ධ කිරීම , ඔවුන්ගේ ආධිපත්‍යයට එරෙහි ප්‍රතිරෝධය තලා දැමීමේ නීත්‍යානුකූල මෙවලම් ලෙස සලකයි.

යුද්ධය ආරම්භයේදීම ,ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොආව් ගැලන්ට් පලස්තීනුවන් “මිනිස් සතුන්” ලෙස කුප්‍රකට ලෙස හැඳින්වූ අතර, IDF ප්‍රතිපත්තිය තෝරා බේරා ගැනීමකින් තොරව සිදු කරන ඝාතනයක් බව ප්‍රදර්ශනය කෙරුණි. එය මිලියන 2.3කට අධික ජනගහණයක් සහිත කලාපයට ජලය, ඉන්ධන සහ ආහාර සැපයුම් සියල්ල කපා හැරියේය. එය අල්-අහ්ලි අරාබි බැප්ටිස්ට් රෝහල වැනි සිවිල් ඉලක්කවලට බෝම්බ හෙලීමෙන් සිය ගනනක් සිවිල් වැසියන් සහ සෞඛ්‍ය සේවකයින් සමූලඝාතනය කළේය. IDF හමුදා විසින් තීව්‍ර ලෙස බෝම්බ හෙලන ලද මාර්ග ඔස්සේ , උතුරු ගාසා තීරයේ මිලියන 1.1 කට අධික ජනතාවකට තම නිවෙස් අතහැර දකුණු ගාසා වෙත පලා යන ලෙස ද එය නියෝග කළේය.

ඊශ්‍රායල, නේටෝ සහ ඊජිප්තු නිලධාරීන් අතර සාකච්ඡා වාර්තා පෙන්නුම් කරන්නේ ඊශ්‍රායල පාලන තන්ත්‍රය විසින් පලස්තීන ජනතාව ගාසා තීරයෙන් නෙරපා හැරීමට සහ ඊජිප්තු හමුදා පාලන තන්ත්‍රය විසින් අසල්වැසි සිනායි අර්ධද්වීපයේ ගාල් කඳවුරුවල දිවි ගලවා ගත් පලස්තීනුවන් සිරකර තැබීමට අදහස් කරන බවයි. මෙම සාපරාධී සැලැස්මට අනුව ගාසා තීරයේ පලස්තීනුවන් මරා දැමීම හෝ නෙරපා හරිනු ඇත.

ඊයේ , ඊශ්‍රායල බුද්ධි අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් නෙතන්යාහු “සංකල්ප පත්‍රිකාවක්” ලෙස හැඳින්වූ දෙය ප්‍රකාශයට පත් කරන ලද අතර, එය,  ගාසාවේ මිලියන 2.3 ක පදිංචිකරුවන් සිනායි වෙත බලහත්කාරයෙන් මාරු කිරීමට යෝජනා කර ඇත. මෙම සැලසුම් සාකච්ඡා කළ ඊජිප්තු නිලධාරීන්, දකුණු ඊශ්‍රායලයේ නිසරු නෙගෙව් කාන්තාරයේ ගාල් කඳවුරුවල පලස්තීනුවන් රඳවා තැබීමට ප්‍රති-යෝජනාවක් ඉදිරිපත් කළ බව පෙනේ.

ෆිනෑන්ෂල් ටයිම්ස් ඔෆ් ලන්ඩන්, “බටහිර රාජ්‍ය තාන්ත්‍රිකයෙකු” උපුටා දක්වමින් කියා සිටියේ, “ගාසා තීරයට එල්ල කරන අඛණ්ඩ ඊශ්‍රායල ප්‍රහාරයේ පීඩනය, තවමත්, ඊජිප්තු තන්ත්‍රයෙහි ස්ථාවරයේ වෙනසක් ඇති කිරීමට හේතු විය හැකි” බවයි. පෙනෙන විදිහට ඊශ්‍රායල සැලැස්ම අනුමත කරමින් නම් නොකළ රාජ්‍ය තාන්ත්‍රිකයා මෙසේ පැවසීය: “කළ හැකි එකම දෙය එයයි … එබැවින් එකඟ වන ලෙස ඊජිප්තුවරුන්ට වැඩි පීඩනයක් යෙදිය යුතු කාලය මෙයයි.”

ගාසා තීරයට එරෙහි යුද්ධයට එරෙහිව ජාත්‍යන්තරව විරෝධතා දක්වන මිලියන සංඛ්‍යාත කම්කරුවන්ට හා තරුනයින්ට මෙය ප්‍රශ්නය මතු කරයි. එනම් , IDF සහ NATO හි මිලිටරි යන්ත්‍රය නැවැත්විය හැක්කේ කෙසේද සහ ජන සංහාරය වළක්වා ගන්නේ කෙසේද? යන්නයි.

ජබාලියා සරණාගත කඳවුරේ සමූලඝාතනය ලේ වැකි සිද්ධියක්  නමුත් , ඉන්  ජාත්‍යන්තර කම්කරු පන්තියට දැඩි අනතුරු ඇඟවීමක් කරමින් පෙන්වා දෙනු ලැබුවේ ,  අධිරාජ්‍යවාදයට, ජන සංහාරයට හා යුද්ධයට එරෙහිව බලගතු, විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම, ඊට එරෙහිව ඇති එකම මාවත බවයි . සියොන්වාදී තන්ත‍්‍රය හෝ නේටෝ අධිරාජ්‍යවාදී ආන්ඩු සමග සාකච්ඡා කිරීමට කිසිවක් නැත. ඒවා බැංකුකරුවන්ගේ සහ ජෙනරාල්වරුන්ගේ කල්ලි විසින් පාලනය කරනු ලබන සහ දේශපාලන අපරාධකරුවන් විසින් පවත්වාගෙන යනු ලැබේ.

ඊශ්‍රායල ආන්ඩුව සහ එහි නේටෝ අධිරාජ්‍යවාදී සහචරයින් වාර්ගික පවිත්‍ර කිරීම සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ අත්හරින ලෙස ඉල්ලා සිටින විරෝධතාවලට ඇහුම්කන් නොදෙන බව ඔප්පු වී ඇත. 1991 දී සෝවියට් සංගමය ස්ටැලින්වාදී විසුරුවා හැරීමේ සිට මැද පෙරදිග හා අප්‍රිකාවේ වසර 30ක යුද්ධයේ දී, ඔවුන් මිලියන ගනනක් මරා දමමින් ඉරාකය, සෝමාලියාව, ඇෆ්ගනිස්ථානය, ලිබියාව, සිරියාව සහ මාලි රාජ්‍යය කොල්ලකා ඇත. ජබාලියා සංහාරය පෙන්නුම් කරන පරිදි, ජන සංහාරයට එරෙහි සදාචාරාත්මක අභියාචනාවලට ඔවුන්ගේ ප්‍රතිචාරය වන්නේ, ඔවුන්ගේ සමූහ ඝාතන ක්‍රියාවන් උත්සන්න කිරීම පමනි.

ජන සංහාරය නැවැත්විය හැකි බලවේගය වන්නේ තම ශ්‍රමය තුළින් සමාජයේ ධනය නිපදවන කම්කරු පන්තියයි. වැඩවර්ජන හා කම්කරුවන්ගේ අරගලවල ජාත්‍යන්තර මහජන ව්‍යාපාරයකට ප්‍රධාන ආර්ථිකයන් මුලුමනින්ම අවහිර කළ හැකි අතර ගාසා තීරයට එරෙහි අපරාධවලට හවුල්කාර ආන්ඩු බිඳ දැමිය හැකිය. පලස්තීනුවන්ට එරෙහි ජන සංහාරක ප්‍රහාරය නැවැත්විය හැක්කේ කම්කරුවන් අතර සහයෝගය බලමුලු ගැන්වීමට සහ ගොඩනැගීමට සහ ධනපතියන්ගේ සහ ඔවුන්ගේ මිලිටරි-බුද්ධි යන්ත්‍රවල බලයට සෘජු ප්‍රහාරයක් සූදානම් කිරීමේ අරගලයකට පමනි.

ගාසා තීරයේ ඊශ්‍රායල යුද්ධයට එරෙහි විරෝධතාවල සහභාගිවන්නන් මුහුන දෙන තීරනාත්මක ප්‍රශ්නය නම්, සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනය මත පදනම්ව කම්කරු පන්තියට ජාත්‍යන්තර බලය මාරු කිරීමක්  සූදානම් කරමින් මහා යුද විරෝධී, අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයක් වර්ධනය කිරීමයි.

ජබාලියා සරණාගත කඳවුරට ඊශ්‍රායලය බෝම්බ හෙලීම: ගාසා තීරයේ ජන සංහාරයේ තවත් කුරිරු ක්‍රියාවක් Read More »

Scroll to Top