lead article

GAZA

පුවත්: අධිරාජ්‍යවාදය ගාසා තීරය ලේ විලක් කිරීමට සැරසෙයි

අපේ ලියුම්කරු විසිනි.

GAZA
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් අතරතුර 2023 ඔක්තෝබර් 7 වන දින ගාසා නගරයේ ගොඩනැගිලිවලට ඉහළින් ,දුමාරයක් නැඟේ.  මහමුද් හම්ස් |  AFP |  Getty Images

ඊශ්‍රායලයේ බෙන්ජමින් නෙතනයාහුගේ පාලන තන්ත්‍රය, අධිරාජ්‍යවාදී සියලු මධ්‍යස්ථානවල පූර්න අනුමැතිය හා සහාය සහිතව, වර්ග සැතපුම් 141ක් වන ගාසා තීරයේ ජීවත් වන මිලියන දෙකකට අධික ජනයාට ආහාර, ඉන්ධන යනාදී අත්‍යාවශ්‍ය දෑ අවහිර කරමින් ද, ගුවන් හා මිසයිල් ප්‍රහාරවලට ඔවුන් ගොදුරු කර ගනිමින් ද, සමූල  ඝාතක යුද්ධයක් අරඹා ඇත. ඊශ්‍රායලය සඳුදා කියා සිටියේ, ප්‍රහාර එල්ල කරන අතරම තමන් මෙකී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය – එනම්, “ආහාර, ඉන්ධන හා ඖෂධ ආදී සියල්ල – වලක්වන” බව ය. සඳුදා එල්ල කල ප්‍රහාරය එතෙක් මෙතෙක් ගාසා තීරයට තමන් විසින් එල්ල කෙරුනු විශාලතම ප්‍රහාරය බව ඊශ්‍රායලය පවසයි. 

ප්‍රහාරය මගින් පැය 24ක් තුල 187,518 නිවාස හැර ගොස් ඇති බව එක්සත් ජාතී්ගේ සංවිධානය වාර්තා කර ඇත. එයින් 137,427ක් පාසැල් 43 ක නවාතැන් ගෙන ඇති අතර, 41,000කගේ නිවාස මුලුමනින් ම විනාශ වී හෝ අලාභහානි වී ඇති නිසා නෑ-හිතවතුන්ගේ නිවෙස්වල රැකවරන ලබති. 

සඳුදා, ගාසා නගරයට උතුරින් පිහිටි ජබාලියා සරනගත කඳවුරට බෝම්බ හෙලන ලදී. එහි සිටි එක් වාර්තාකාරිනියක් සඳහන් කර ඇත්තේ, සිය ජිවිත මුලුමනින් ම අනාරක්ෂිත බව ය. මේ වන විටත් පුවත්පත්කලාවේදීන් දුසිම් භාගයක්වත් බෝම්බ ප්‍රහාරවලින් මරනයට පත් වී ඇත.   

එක්සත් ජනපදයේ රිපබ්ලිකන් සෙනෙට් සභිකයෙකු වන ජෝෂ් හෝලි  සමාජ මාධ්‍ය ඔස්සේ කර ඇති ප්‍රනාශයක් අද “අල් ජසීරා” වාර්තා කර ඇත. “ඊශ්‍රායලය පැවැත්ම පිලිබඳ තර්ජනයකට මුහුන දී සිටී. යුක්රේනයට දෙන කවර හෝ අරමුදලක් වේ නම් එය වහා ම ඊශ්‍රායලයට හරවා යැවිය යුතු ය.” ඒ වන විටත් ඇමරිකානු යුද නැවක් ඊශ්‍රායලයට සහාය පිනිස වහා යවනු ලැබ තිබිනි.

මේ අතර ඇමරිකානු ඒකාබද්ධ කාර්‍ය මන්ඩල ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් චාල්ස් කිව්. බ්‍රවුන් “මෙම සටනට අත නො දමන්නැයි (not get involved) ඉරානයට තර්ජනය කර ඇත. 

එක්සත් රාජධානියේ විදේශ ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි ප්‍රකාශ කර ඇත්තේ “ගාසා තීරය මුලුමනින් අවහිර කිරීමට” තමන් විරුද්ධ නො වන බවයි. “පලස්තීන ජනයා අතර තමන්ගේ ම ආරක්ෂාව සලසා ගැනීමට” හමාස් සංවිධානයට එවිට සිදු වනු ඇත යන නරුම ප්‍රකාශය ඔහු ඊට එකතු කර ඇත. 

කොටු කරනු ලැබූ සිවිල් ජනතාව හා ස්ථාන ඉලක්ක කරගනිමින් බෝම්බ හෙලන සෑම මොහොතකම  ජාත්‍යන්තර මානුෂවාදී නීති සම්මුතීන් අමු අමුවේ උල්ලංගනය කර ඇති

නෙතනයාහු යුධ අපරාධ කරුවෙකි.  එහෙත් අධිරාජ්‍යවාදය මෙම සම්මුති මායිම් කරන්නේ නැත. යුක්‍රේනයේ හිටපු නාසි ඝාතකයන් කැනේඩියානු පාර්ලිමේන්තුව තුල උත්කර්ෂයට නංවමින් ද, නව නාසි වාදීන්ගේ නියෝජිතයෙක් වන සෙලෙන්ස්කිගේ ආන්ඩුවයට සියලු මිලිටරි හා මූල්‍යමය සහාය දෙමින් ද සිටින අධිරාජ්‍යවාදයට ඊශ්‍රායලයේ අපරාධවලට එරෙහි පුලුල් ව්‍යාපාරය  “යුදෙවි විරෝධය” ලෙස හංවඩු ගැසීම නරුමවාදයකි.  එහි අර්ථය ඊශ්‍රායලයේ ලේ පිපාසිත සියෝන්වාදය වහංගු කිරීමයි.

පුවත්: අධිරාජ්‍යවාදය ගාසා තීරය ලේ විලක් කිරීමට සැරසෙයි Read More »

Flood Luv ya

ලිබියාවේ ගංවතුර ව්‍යසනය: නෝටෝ අධිරාජ්‍යවාදී මංකොල්ලයේ ඛේදනීය විනාශයක් 

මිගාර මල්වත්ත විසිනි.

ඉතාමත් කෙටි කාලයක් තුළ යෝධ වර්ෂාපතනයක් ගෙන ආ ඩැනියෙල් කුණාටුව ග්‍රීසිය, බල්ගේරියාව සහ තුර්කිය ගංවතුරට ලක් කරමින් , මීටර් 400 ක් පමණ ගැඹුරකින් යුත් ලිබියාවේ වියලි නිම්නයක් (වොඩියක්) ජලයෙන් යට කර දැමීය. එය සැප්තැම්බර්  10  ඉරුදින පස්වරුවේදී, එහි ඩර්නා නගරය අසල ජල පෝෂක වේලි දෙකක් පුපුරුවා හැරියේය.

ඩර්නා නගරයට බටහිර දෙසින් සැතපුම් 150ක් දුරින් පිහිටි අල්- බේදා, අල්-මාර්ජි, ටොබෘක්, ටැකෙනිස්, අල්- බේදා, බටා සහ බෙන්ගාසි යන ලිබියාවේ නැගෙනහිර නගර ද මෙම කුණාටුවේ විනාශකාරී බලපෑමට ගොදුර විය.

Flood Luv ya
Derna නගරය 2023 සැප්තැම්බර් 12, අඟහරුවාදා දක්නට ලැබුනු ආකාරය. මධ්‍යධරණී කුණාටුව ඩැනියෙල් ලිබියාවේ විනාශකාරී ගංවතුර ඇති කළ අතර එය වේලි බිඳ දැමීය. වෙරළබඩ නගර කිහිපයක මුළු අසල්වැසි ප්‍රදේශම ගසාගෙන ගියේය. විනාශය විශාලතම ලෙස දිස් වූයේ Derna නගරයේ ය. [AP Photo/Jamal Alkomaty]

ඩර්නාහි වැසියන්ට වේලි දෙක පුපුරා යන විට විශාල පිපිරීම් ශබ්දයක් ඇසුණු අතර ටික වේලාවකට පසු නගරය මීටර් හතක් උස රළ පහරකට යට විය.

ඩර්නා අසල අනෙකුත් නගර ද සුනුවිසුනු විය. මාධ්‍යවේදී මොහොමඩ් එල්ජාර් පැවසුවේ බේරා ගැනීමේ කණ්ඩායම් ඒ වනවිටත් වෙරළබඩ නගරයක් වන සුසා සහ අවට ගම්මාන වෙත ළඟා වී නොමැති බවයි. 

ඩෙර්නා හි 13 වන දා රාත්‍රිය වන විට 11,300 මිය ගොස් ඇති බව තහවුරු විය. නමුත් 100,000 කට වැඩි පිරිසක් වාසය කරන ඩර්නා හි හතරෙන් එකක් මුළුමනින්ම ගසාගෙන ගොස් ඇත. එහි නගරාධිපති අබ්දුල්මේනම් අල්-ගයිති තම නගරයේ පමණක් මියගිය සංඛ්‍යාව 20,000 ට ළඟා වී ඇතැයි පිලිගත්තේ ය. මෙම සංඛ්‍යාව,1927 දී ඇල්ජීරියාවේ  මොස්ටෙගැනම් හා ඔරාන් (Mosteganem & Oran ) නම් දරුණු උතුරු අප්‍රිකානු ගංවතුරෙන් විනාශ වූ ජිවිත සංඛ්‍යාවට වඩා දස ගුණයකින් වැඩිය. 

ඩර්නා නගරය ජලයෙන් යටවීම මහ ව්‍යසනයකි. මේ වන විට එහි ජලය බැස ගොස් තිබුනද ඉන් බේරුණු අයට ද එවැනි ම දරුණු ව්‍යසනයක් අත් පත් වී ඇත.

ඩර්නාහි රෝහල්  තවදුරටත් ක්‍රියාත්මක නොවුනු අතර ඒවායේ මෘත ශරීරගාර පිරී ගොස් පැවතියේය. හදිසි සේවා  නොමැත. එහෙයින් මිනිසුන් බේරා ගැනීමට කිසිවක් නොමැති බැවින් හදිසි උපකාර අත්‍යවශ්‍යව පැවතී ය. 

 කුනු වූ මල සිරුරු එකතු කිරීමට ජනතාව කටයුතු කරමින් සිටිය හ. මල සිරුරු තනි තනි සොහොන්වල  මිහිදන් කිරීමට කාලයක් හෝ ඉඩක් නොමැති බැවින් සමූහ මිනී වලවල මිහිදන් කරනු ලැබෙයි. එක් තැනක මල සිරුරු 500ක් සාමුහිකව  මිහිදන් කළ බව වාර්තා වේ.මේ තත්ත්වය තුල මෙම කලාපයට සිරුරු බෑග් හදිසි නැව් ගත කිරීමක් කරන ලෙස සහන සේවකයෝ ඉල්ලා සිටිය හ.

“ඇත්ත වසයෙන් ම  මලසිරුරු ගොඩ නැගීමට විශේෂ කන්ඩායම්  අවශ්‍ය යි. මල සිරුරු විසාල ප්‍රමානයක් සුන්බුන් යට සහ ජලයේ තිබීම නිසා නගරය  වසන්ගතයකට ගොදුරු වේ යැයි මම බිය වෙමි”යැයි ඩර්නාහී නගරාධිපති අබ්දුල්මේනම් අල්-ගයිති බිය පල කලේය.

දුරකථන මාර්ග සහ අන්තර්ජාල ප්‍රවේශය ක්‍රියා විරහිත වූ අතර  නගරයට ප්‍රවේශවීම සුන්බුන් හේතු.වෙන් දැඩි ලෙස අවහිර වී පැවතීය.

මේ සමගම ගංවතුරෙන්  මහජනයා ආරක්ෂා කිරීමට අපොහොසත් වු බලදාරීන්ට එරෙහිව නගරයේ කම්කරුවන් අතර කෝපය පුපුරා යෑමත් සමග ඩර්නාහී විරෝධතා පුපුරා යන්නට විය. විරෝධතාකරුවෝ ඩර්නා නගරාධිපතිගේ නිවසට පිටතින් රැස්වී, ඊට  කඩා වැදී එය පුලුස්සා දැමූහ.

මේ තතු යටතේ ඩර්නාහී සිදුවීම් පිලිබද වාර්තා බාහිර ලෝකයට පැමිනීම වැලැක්වීමට නැගෙන්හිර බලදාරීහූ පුලුල් පියවර ගත්තහ. ට්විටර්හි අත්ලන්තික් කවුන්සිලයේ එමඩින් බාඩි සදහන් කර ඇත්තේ  ඩර්නාහී  මාධ්‍ය අවහිරය දැන් ක්‍රියාත්මක ව පවතින අතර සන්නිවේදනය  අලුයම සිට අක්‍රියව පවතීය  යන්නයි. එමෙන්ම, ඔහු තවදුරටත් එහි සඳහන් කර පැවතියේ හෆ්තාර්ගේ  හමුදා බලකාය වන ලිබියානු අරාබි සන්නද්ධ හමුදාව(LAAF) විරෝධතා වැසියන්ට  දඬුවම් කිරීමක් ලෙස තුර්කියේ සහ ඇල්ජිරියාවේ සෙවීම් හා ගලවා ගැනීමේ කන්ඩායම්, මාධ්‍යවේදීන් සහ ට්‍රිපොලිටේනියාවේ වෛද්‍ය කන්ඩායම්වලට පිටවී යන ලෙස නියෝග ලබාදී ඇති බවයි . 

ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් හෆ්තාර්ගේ පාලන තන්ත්‍රයට අබියෝග කරන විරෝධතාකරුවන්ට සලකන ආකාරය වාර්තා කලේ මෙසේය:

 “රට පුරා පැවති සාමකාමි විරෝධතා මර්දනය කිරීමට මිලිෂියා  හා සන්නද්ධ කණ්ඩායම් නීතිවිරෝධී බලය  යොදාගති. පුද්ගලයන් දුසිම් ගණනක් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට, දීර්ඝ සිර දඬුවම් හෝ මරණ දණ්ඩනයට නියම කිරීම …….මිලිෂියා සහ සන්නද්ධ කණ්ඩායම් ක්‍රමානුකූලව වධහිංසා පමුනුවා වෙනත් ආකාරයෙන් රැඳවියන්ට දණ්ඩ මුක්තිය නොමැතිව අයහපත් ලෙස සැලකීය. සිරකරුවන්ට  පහරදීම, විදුලි සැර වැද්දීම, සමච්චල් කිරීම, ඝාතනය කිරීම, කසපහර දීම, අඩන්තේට්ටම් කිරීම සහ ලිංගික හිංසනයන් වාර්තා විය”

මෙම බිහිසුනු ව්‍යවසනය ධනපති ක්‍රමයේ අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස හටගෙන ඇති, ගෝලීය උණුසුම ඉහළ යෑම ප්‍රමුඛ කොටගත් දේශගුනික විපර්යාස මගින් තීව්‍ර වූ දරුණු කාලගුනයේ ප්‍රතිඵලයක් පමනක් නොවේ. ඩර්නා කලාපයේ වේලි හා තීර්නාත්මක මහජන සේවාවන් අසාර්ථක වීම ගලා එන්නේ ලිබියාව පුරා දශකයට වැඩි කාලයක් අධිරාජ්‍යවාදී විසින් කොල්ලකෑමට ලක්ව තිබීමෙන් හා 2011 දී ලිබියාවට  එරෙහිව නේටෝව   දියත් කළ යුද්ධය මගින් රට සුනුවිසුනු කළ සිවිල් යුද්ධ ඇද දැමීමේ හේතුවෙනි.

ජාත්‍යන්තර   අර්බුද කණ්ඩායමේ නිලධාරියෙකු ක්ලෝඩියා  එය පැහැදිලි කොට තිබුනේ මෙසේය: “ගඩාෆි   තන්ත්‍රය බිඳ වැටීමෙන් වසර 10ක් තුළ, ඊළඟ වසර 10 ක යුද්ධය, ප්‍රතිපත්තීමය එදිරිවාදිකම්   ආණ්ඩු දෙකම යටිතල පහසුකම් මුළුමනින්ම නොසලකා හැර ඇත”.

ලිබියානු ඛේදවාචක වගකීම එක්සත් ජාතීන්ගේ සංවිධානය ද දරයි. 2011 මාර්තු  17  වැනි දින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය  ලිබියාවට එරෙහි  ක්‍රියාමාර්ග අනුමත කළේය.

නේටෝව   ලිබියාව  යටත් කර ගැනීම සාමය, සෞභාග්‍ය, ප්‍රජාතන්ත්‍රවාදය හා “ලිබියානුවන්ට සාමාන්‍ය  ජීවිතයක් ගත කිරීමට ඉඩ දීමේ” අපේක්ෂාව නිර්මාණය කරන   නිසා යුද්ධයට සහාය දුන් බවට තර්ක කල සියලුම නිලධාරීන් සහ මහාචාර්යවරුන්  ලිබියාව විනාශ කොට රට යලිත් වහල්බාවයට ඇද දැමීමට, දහස් ගනනින් මරා දැමීමට සහ ගැනිය නොහැකි මිනිස් දුක්කිතබාවයට ඇද හෙලීමට වග කීම් දරනු ලබයි. 

හෆ්තාර්ගේ  හමුදා විසින් ඩර්නාහි සිදු කරනු ලබන  ඕනෑම  මර්දනයක් කෙරෙහි, ඔහුව  බලයට පත් කිරීමට උදව් කළ සහ  නැගෙනහිර ලිබියාවේ තෙල් ධනයට ප්‍රවේශය ලබා ගැනීම සඳහා තවමත් ඔහු සමග සබඳතා පවත්වන නේටෝ අධිරාජ්‍යවාදී බලවතුන් සෘජුවම සම්බන්ධ වනු ඇත.

එවන් මර්දනයකට විරුද්ධ වීමට ලිබියාවේ හා ජාත්‍යන්තර කම්කරුවන්  හා තරුනයින් බලමුලු ගැන්වීම අවශ්‍ය වන්නේ දූෂිත බලදාරීන්ට පමනක් නොව,නේටෝ බලවතුන්ට සහ ඔවුන්ගේ  දේශපාලන සහකරුවන්ට එරෙහිව ය.

ලොව පුරා කම්කරුවන් හා තරුනයන්  මුහුන දෙන තීර්නාත්මක  කර්තව්‍ය නම් පෙර නොවූ විරූ මහා ව්‍යසනය දාමයක් ඇති කරමින් චලනය වන මෙම මිලිටරි උත්සන්න කිරීමේ සර්පිලාකාරය නැවැත්වීමට අධිරාජ්‍යවාදයට එරෙහිව ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීම යි. නේටෝ අධිරාජ්‍යවාදී බලවත්තු යුක්‍රේනයේ යුද්ධය තීව්‍ර කර රුසියාව බෙදීමට සහ එහි ස්වාභාවික සම්පත් උදුරා ගැනීමට කුමන්ත්‍රනය කරන විට, ඔවුන් නැවතත් “ප්‍රජාතන්ත්‍රවාදයේ” සහ “නිදහසේ” ආරක්ෂකයින් ලෙස පෙනී සිටිති. මෙවර එය රුසියාවේ ජනාධිපති  ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව ය. යථාර්ථය නම්, ලිබියාව දූෂනය කිරීම සහ ඩර්නාහී ව්‍යවසනය, අධිරාජ්‍යවාදී කොල්ල කෑමේ යුදවල  විනාශකාරි ප්‍රතිඵලය යන්නය.

ලිබියාවේ ගංවතුර ව්‍යසනය: නෝටෝ අධිරාජ්‍යවාදී මංකොල්ලයේ ඛේදනීය විනාශයක්  Read More »

ඉන්දීය ආරක්ෂක ඇමතිගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කෙරුනේ ඇයි?

එල්.පී. උදයප්‍රේම විසිනි.

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සැප්තැම්බර් 2-3 දිනවල ශ්‍රී ලංකාවේ සිදු කිරිමට නියමිතව පැවති සිය සංචාරය හදිසියේ අවලංගු කලේ ය. ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය, එහි විදේශ අමාත්‍යාංශය මෙන්ම ලංකාවේ බලධාරීන් ද, මේ වන තෙක් ඊට හේතු වූ කරුනු සඳහන් කොට නැත. 

Singh
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං (වමේ) සහ එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ජෙනරාල් ලොයිඩ් ඔස්ටින් (දකුනේ) අතර 2021 මාර්තු මස පැවති සාකච්ඡාවේදී ඉන්දියාව සහ එක්සත් ජනපදය ඔවුන්ගේ හමුදා කටයුතු පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කලහ.

එක්සත් ජනපදය, ජපානය, ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව එක් වී තනාගෙන තිබෙන ක්වෝඩ් (QUAD) මිලිටරි සංවිධානය යටතේ ඉන්දියාව, සමස්ත දකුනු ආසියාව ඒ තුලට ඇද ගැනීමට වෙර දරයි. තම ආරක්ෂක ඇමතිවරයා දෙදින නිල සංචාරයක් සඳහා ලංකාවට එවීමට තීන්දු කොට, දෙ රටේ ආරක්ෂක සම්බන්ධතා යලි අලුත් කරගැනීමට යත්න දරන්නේ එබැවිනි. ජනාධිපති හා ආරක්ෂක අමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සහ අගමැති දිනේෂ් ගුනවර්ධන ඇතුලු ආන්ඩුවේ බලධාරීන් සමග සිදු කරනු  ලබන සාකච්ඡා මගින් එකී සම්බන්ධතා තර  කර ගැනීමට සැලසුම් කර තිබුනි.

රාජ්නාත් සිංගේ සංචාරය සූදානම් කෙරුනේ, ජනාධිපති වික්‍රමසිංහ ඉන්දියාවට කල සංචාරයේ දී, ආරක්ෂක සම්බන්ධතා වැඩිදියුනු කිරීමට අගමැති මෝදි සමග ඇති කරගත් එකඟතාවයන්ගේ දිගුවක් ලෙස ය. 

අමාත්‍ය රාජ්නාත් සිංගේ මේ සංචාරය හදිසියේ අවලංගු කෙරුනේ, චීන ෂී යැන් 6 (shi yan 6) පර්යේෂන නෞකාව ලංකාවට පැමිනීමට අවසර ගෙන සිටින තතු යටතේ, ඒ පිලිබඳ ව විශේෂයෙන් ම ඉන්දියාවේ  බලධාරීන් අතර බලගතු විරුද්ධත්වයක් පැන නැගී ඇති තත්ත්වයක දී ය. 

Ship
ෂී යැන් 6 (shi yan 6) පර්යේෂන නෞකාව

ඉන්දියාවේ මතභේදයන්ට තුඩු දී තිබෙන ෂී යැන් 6 චීන පර්යේෂන නෞකාවට, ඔක්තෝබර් 26දා සිට නොවැම්බර් 10දා දක්වා දින 17ක් ලංකාවේ රැඳී සිටීමට හා  ක්‍රියාකාරකම්වල නිරත වීමට ආරක්ෂක අමාත්‍යාංශය අවසර දී තිබෙන්නේ ඒ තතු තුල ය. ඊටත් වඩා, ගිය වසරේ චීන යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොට වරායේ නැංගූරම් ලෑමට එරෙහි ව දිල්ලි ආන්ඩුව බලගතු විරුද්ධත්වය පෑමෙන් අනතුරුව ය.

වසර ගනනාවක සිට ම චීනය හා ලංකාව අතර වැඩෙන මිලිටරි සබඳතාවන්ට ඉන්දියානු බලධාරීන්ගේ බලගතු විරුද්ධත්වයක් එල්ල වී තිබේ. සැප්තැම්බර් 01දා Economynext වෙබ් අඩවියේ සඳහන් කර තිබුනේ, ඉන්දීය සාගරයේ චීන ක්‍රියාකාරිත්වය ඉහල නැඟීම පිලිබඳ ව ඉන්දියාවේ අවධානය යොමු වී පවතින බවයි. ඉන්දියාවේ ‘ද වීක්’ (The week) සඟරාව, චීන නෞකාවේ සිද්ධිය පිලිබඳ සඳහනේ දී, ඉන්දියාවේ ආරක්ෂක අංශයේ ප්‍රධානියෙකුගේ ප්‍රකාශයක් උපුටමින් අවධාරනය කර තිබුනේ, ‘ඉන්දියාවේ හා ලංකාවේ ද්විපාර්ශවික සබඳතාවල ඉරි තැලීමක් වන බව’ යි.

ලෝක බලවතුන් හා  ලංකාව අතර මිලිටරි සහයෝගීතා හා ආරක්ෂක සම්බන්ධතා වැඩි දියුනු වීම වර්තමානයේ වෙන කවරදාටත් වඩා වැඩියෙන් දැකිය හැකිය. ඉන්දියානු කලාපයේ මෙය සිදු වන්නේ, ලොව පුරා යුද ආතතිය, විශේෂයෙන්ම චීනයට එරෙහි ව සිදු කරන යුද ප්‍රකෝපකාරීත්වය මධ්‍යයේ ය.  චීනයට එරෙහි ඉන්දියාවේ මිලිටරි උත්සුකතා එහි කොටසකි. සැප්තැම්බර් 4දා දිවයින පුවත්පතේ පල කරනු ලැබූ ලිපියකට අනුව, පසුගිය වසර 3 දී, ලංකාවේ වරායට ආ යුද නැව් 126න් 45ක්ම ඉන්දියාවෙන් වීම කැපී පෙනෙන සංසිද්ධියකි.

ඉන්දියාව  පෙල ගැසී සිටින්නේ ඇමරිකාව ඇතුලු අධිරාජ්‍යවාදී බලයන් චීනයට එරෙහි ව සකස් කරමින් සිටින ආර්ථික හා මූලෝපායික සැලසුම් සමග ය. එකී පිලිවෙත පිටුපස ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය හා මාල දිවයින යන දුගී රටවල් පෙල ගස්සා ගැනීමට ඉන්දියාව තම ආර්ථික හා මිලිටරි බලයන් ඍජුව හා වක්‍රව යොදා ගනී. ඊට සිත් කාවදින උදාහරනයකි, 2015 ජනවාරි 8දා ජනාධිපති මහින්ද රාජපක්ෂ නෙරපා හැර මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන ඒමට ලංකාවේ සිදු කල තන්ත්‍ර මාරුව. එය ඉන්දියාවේ අනුදැනුම සහිතව වොෂින්ටනය හරහා සැලසුම්කර ක්‍රියාත්මක කල මෙහෙයුමකි.

ලෝකයේ බලවත් ම මිලිටරි බලයක් ඇති ඉන්දියාවේ එබඳු බලහත්කාරයන්ට දකුනු  ආසියාවේ රටවල් නිරන්තරව මුහුන දී සිටිති.

මේ මූලෝපායික අක්ෂයෙන් ස්වාධීන වීමට ලංකාව බඳු බෙලහීන පාලන තන්ත්‍රයන්ට නො හැකි ය. එබැවින් ඔවුන්ගේ කටයුත්ත වී ඇත්තේ ලෝක බලවතුන් අතර දෝලනය වෙමින් තම පැවත්ම සහතික කර ගැනීම ය. රාජපක්ෂ තන්ත්‍රය මෙන් ම රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ද මුහුන දී සිටින්නේ එම කොන්දේසිවලට ය. 

ජාතික ධනපති පංතියේ ඊනීයා ස්වාධීනත්වයේ වංචනික කතා වෙනුවට ඔවුහු, අධිරාජ්‍යවාදී උවමනා එපාකම් වෙනුවෙන් එලිපිටම පෙනී සිටින පාලක ප්‍රභූවන් බවට හැරී සිටිති. සෑම තැනකම පාලක නඩ කම්කරු පංතිය ප්‍රමුඛ පීඩිත මහජනයාට එරෙහි ඒකාධිපති පාලනයන්ට පාර කපා ගනිමින් සිටින්නේ ඒ නිසා ය. රනිල් වික්‍රමසිංහගේ අධිරාජ්‍ය ගැති, ප්‍රජාතන්ත්‍ර විරෝධී පිලිවෙත් මගින් පෙන්නුම් කෙරෙන්නේ එම සූදානම යි.

අධිරාජ්‍යවාදී ක්‍රමයේ පුපුරා යන අර්බුදය යුද්ධයටත් ලෝක පරිමාන පංති අරගලයටත් තුඩු දී පවතින තතු යටතේ පාලක පංතිය වඩවඩාත් ප්‍රතිගාමීත්වයට ගමන් කරනු ඇත. ඉන්දීය උප මහාද්වීපයේ කම්කරුවන් මෙන් ම සෑම රටකම කම්කරු ජනයා මුහුන දී සිටින්නේ එම අනතුරටය. එම අනතුර පරාජය කල හැක්කේ අධිරාජ්‍යවාදී මූලෝපාය පරාජය කිරීමේ ශක්‍යතාව ඇති ජාත්‍යන්තර කම්කරු පන්තිය, ධනේශ්වරයෙන් ස්වාධීනව සමාජවාදී පිලිවෙත මත සංවිධානය වීමෙනි.

ඉන්දීය ආරක්ෂක ඇමතිගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කෙරුනේ ඇයි? Read More »

Palitha

වාර්තාකරනයේ විකට රූප: අර්ථසාධක උද්ඝෝෂනය පිලිබඳ ලෝසවෙඅ ලංකා වාර්තාකරුවන්ගේ චර්යාව

නන්දන නන්නෙත්ති විසිනි.

Over 1000 workers protest in Colombo against Sri Lanka government’s attacks” (ශ්‍රී ලංකා ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව 1000කට අධික කම්කරුවෝ කොලඹ දී උද්ඝෝෂනය කරති) යන හිසින් සැප්තැම්බර් 1දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පලකල වාර්තාව එහි ලංකා කර්තෘ මන්ඩලය එම වෙබ් අඩවියේ  ඓතිහාසික විශ්වාසනීයත්වය පලුදු කිරීමට ගන්නා ලද සාපරාධී නොසැලකිල්ල නැවතත් ප්‍රදර්ශනය කලේය. සේවක අර්ථසාධක අරමුදල ආන්ඩුවේ නය ප්‍රතිව්‍යුහගත කිරීම යටතට ගැනීමට එරෙහිව වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන එකතුවක් විසින් සංවිධානය කෙරුනු උද්ඝෝෂනයක් කොලඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට දී අගෝස්තු 28 දින පවත්වන ලදී. ඉහත සඳහන් වාර්තාව ඒ ගැන ය. සංවිධාන 40ක සහභාගීත්වයෙන් පැවුත්වුනු මෙම උද්ඝෝෂනයට වෘත්තීය සමිති, ධනපති පක්ෂවල, ව්‍යාජ වාම සංවිධානවල හා රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් ඇතුලුව සහභාගී කර ගත හැකි වූයේ 300ට බෙහෙවින් ම  අඩු ප්‍රමානයකි. (පහත කෙටි වීඩියෝව බලන්න CACPS Facebook පිටුවෙන්)

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජජාක) ප්‍රකාශන උපකරනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය ලෝක කම්කරු පන්තියේ න්‍යාය සම්පාදකයා, ප්‍රචාරකයා හා සංවිධායකයා ලෙස කීර්තියක් උසුලන එකම අව්‍යාජ සමාජවාදී ලෝක මාධ්‍යය යි. ලක්ෂ සංඛ්‍යාත පාඨක සමූහයක් දෛනික ව පරිහරනය කරන එය, නිර්වද්‍යතාව, විද්‍යාත්මක විශ්ලේෂනය හා අව්‍යාජ බව නිසා එහි සතුරන්ගේ පවා ගෞරවයට පාත්‍ර වන්නේ ය. කම්කරු පන්තියට සත්‍ය දැනගැනීමට ඇති එක ම ජාත්‍යන්තර මාධ්‍ය වන්නේ එයයි. මින් පෙර ද අවස්ථා කිහිපයක ම වෙබ් අඩවියේ ශ්‍රී ලංකා කතෘ මන්ඩලය ව්‍යාජ වාර්තා එහි පල කිරීම ගැන අපගේ විරෝධය පල කර ඇත.  

“වික්‍රමසිංහ ආන්ඩුව විසින් විශ්‍රාම වැටුප්වලට එරෙහිව හා රටේ පවතින කම්කරු නීති ප්‍රජාතන්ත්‍ර විරෝධී සංශෝධන මගින් වෙනස් කරනු ලැබීමට එරෙහිව 1200ක් පමන කම්කරුවෝ, 28 දා කොලඹ දුම්රියපොල ඉදිරිපිට දී දිවා ආහාර පැයේ විරෝධතා උද්ඝෝෂනයක් කලහ” යි සඳහන් වාර්තාව වෘත්තීය සමිතිවලට දොස් තබමින් තව දුරටත් කියා සිටියේ සහභාගීත්වය මේ තරම් හීන වූයේ උද්ඝෝෂනය කෑම පැයේ තිබීම නිසා ය යි පවසමිනි. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ වෘත්තීය සමිතිවලට එවැනි වුවමනාවක් නැතිකම හා අරගලය දියකර දැමීම සඳහා ඒවායේ කැපවීමය.    

මේ වනාහී වාර්තාකරුවන් “කෑම පැය” යනුවෙන් තමන් විසින් නම් කරගත් දෙයක් වාර්තාවට ඔබ්බවා කරන ලද විකෘතියකි.  මෙසේ තර්ක කරන්නේ කෑම පැය තුල පමනක් උද්ඝෝෂනය සංවිධානය කර ඇත්තේ කම්කරුවන්ගේ පැමිනීම වැලැක්වීමට බවත්, වැඩ වර්ජනයක් ලෙස කැඳවීනම් ඔවුන්ගේ එම කැඳවීමට කම්කරුවන් අවනතව දහස් ගනනින් රොද බැඳ ගනු ඇති බවත් ය. මෙසේ තිබියදීත් කොලඹින් බැහැර කටුනායක නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන් ද උද්ඝෝෂනයට සහභාගී වූ බව එම වාර්තාව කියයි. සමස්ත සංඛ්‍යාව අනුව එහි ප්‍රතිශතයද දශම ගනනක් බව ⁣කව යුතු නැත. එහෙත්, සැබවින්ම නම්, දොලහේ පැයට මෙය යොදා ගැනීමෙන් වැඩි පරිත්‍යාගයක් නැතිවම අහලපහල සිටිනා කම්කරුවන්ට සහභාගී වීමට අවස්ථාව උදාකර දීම මගින් වැඩි සහභාගීත්වයක් ලගා කර ගැනීම සමිතිවල අසාර්ථක වූ උපාය වූයේ නොවේ ද? වෛෂයික සාධක නම් පවතින්නේ ඊට සාක්ෂි ලෙස ය. නිදසුනක් ලෙස, ලංකා බැකු සේවක සංගමයෙන් උද්ඝෝෂණයට සහභාගී වූයේ ඇඟීලි ගැන පෙන්විය හැකි සංඛ්‍යාවකි. එහි කොලඹ කොටුව අවට බැංකුවල සේවකයන් පමනක් සහභාගී වූයේ නම් දුම්රියපොල අසල ප්‍රදේශය ඉඩ මදි වන බව කිව යුතු නො වේ.

කම්කරුවන් අරගලවලට එන්නේ සහ ආවේත්, ඉදිරියට එනු ඇත්තේත් නිවාඩු පැය හෝ දවස් ගැන බලා නො වන බව සහ ඇතැම් විට තම ජීවිත පවා නො තකා බව සාමාන්‍ය දැනීම ඇති ඔනෑම කෙනෙකුට අවබෝධ විය යුතු අතර මෙම ‘කෑම පැය’ යන ව්‍යාජය එහි පටවා ඇත්තේ හුදෙක් වාර්තාකරුවන්ගේ ආත්මීය වුවමනාවට ගැලපෙන ලෙස වාර්තාව ගොඩ නැගීම සඳහා ය. වෘත්තීය සමිති, 5000ක පමන පිරිසක සහභාගීත්වය අපේක්ෂා කලෝ ය. ඔවුන්ට අවශ්‍ය වූයේ තමන්ගෙන් ගිලිහී යන කම්කරුවන් සටනක නාමයෙන් මංමුලාවට පත් කර තමන් වටා රොක් කර ගනිමින්, තමන්ට තවමත් බලයක් ඇතැයි පාලක පන්තිය ඉදිරියේ ප්‍රදර්ශනය කර  වාසිදායක ගනුදෙනුවක් ඇති කර ගැනීමට ය. එය බොහෝ කම්කරුවෝ වටහාගෙන සිටියහ. මේ තතු තුල උද්ඝෝෂනයට සැබැවින් ම සහභාගී වූයේ සමිති නායකයන් අපේක්ෂා කල ප්‍රමානයෙන් 5%කට ආසන්න සංඛ්‍යාවක් පමනි.

පසු ගිය කාල පරිච්ඡේදය පුරා කම්කරුවන් හා සෙසු මහජනතාව අරගලයට පැමිනියේ කාගේ හෝ ඉල්ලීමක් උඩ නො වන අතර ඒවා එකකට පසු එකක් පාවා දීමේ ප්‍රතිඵලය ලෙස කම්කරු පන්තිය තාවකාලික ව හති අරිමින් සිටිති. එසේ නො වූයේ නම් කැඳවීමක් ලැබුනත් නැතත් මෙම උද්ඝෝෂනයට සහභාගීවිමට වෛෂයික පදනම් ඇත. උක්ත වාර්තාව ‘කෑම පැය’ට සිමා නො කලේ නම් දහස් ගනනින් සහභාගී වනු ඇති බව පාඨකයාට ඒත්තු ගැන්වීමට වෙර දරන්නේ මෙම සත්‍යය කරුනු පැදුර යටට තල්ලු කර දමමිනි.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය සේවක සමිති සම්මේලනයේ එම්.ඩී.ආර්. අතුල ප්‍රමුඛ ව මෙම නායකයන්ගෙන් කොටසක් සහභාගී වූ විදුලි පාරිභෝගික සංගමයේ රැස්වීමක් එදිනම උදේ කොලඹ මහජන පුස්තකාල‌ ශ්‍රවනාගාරය තුල පැවැත්වින. පුනර්ජනන බලශක්ති ප්‍රභවය වර්ධනය කිරීමට ඉදිරිපත් වූ ආයෝජකයන් දුර්මුඛ කරමින් හා ඔවුන්ට විශාල අලාභ ගෙන එමින් ලංකා විදුලි බල මන්ඩලය (ලංවීම) හදිසි මිල දී ගැනීම් සිදු කරන බවට එහි කථිකයෝ චෝදනා කලෝ ය. පුනර්ජනන බලශක්ති ප්‍රවර්ධන සමාගම්වල අනුග්‍රහය මත පැවැත්වෙන බව පෙනෙන්නට තිබුනු මෙම රැස්වීම සඳහා සහභාගී වූ ප්‍රේක්ෂාගාරයේ වැඩි කොටසක් ද සමන්විත වූයේ එකී සමාගම් විසින් සහභාගී කරවන ලද අයවලුන්ගෙනි. එහි දී මෙම තත්ත්වය නිවැරදි කිරීමට මැදිහත් වන ලෙස ජනාධිපති වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටි එකී සංගමයේ නායකයෝ, ඊලඟට කොටුව දුම්රියපොල ඉදිරිපිට අර්ථසාධක උද්ඝෝෂනයට එක් වූහ. වේදිකා දෙදරවන බිරුසන් දීම් හා ප්‍රශ්නය විසඳන ලෙස ජනාධිපතිවරයාට කන්කෙඳිරි ගෑම විනා, විදුලි පාරිභෝගිකයන් වෙත වේවා, EPF අරමුදලේ සාමාජික කම්කරුවන් වෙත වේවා, ඉදිරිපත් කල හැකි කිසියම් ම හෝ සාධ්‍ය වැඩ පිලිවෙලක් මේ නායකයන් අත තිබුනේ නැත. කම්කරුවන් සහ දුගීන් මේ නායකත්වයන් තුට්ටුවකට නොතැකීමේ කවර නම් පුදුමයක් ද?

වසරකටත් අඩු කාලයකට පෙර පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ හා නියෝජිතයන් ප්‍රතික්ෂේප කරනු ලැබූ ශ්‍රී ලංකාවේ මහජනතාවට වෘත්තිය සමිතිකාරයන්ගේ දිගු කාලීන පාවා දීම නො දැනෙන්නට හේතුවක් නැත. ඔවුන්ගේ ගැටලුව වන්නේ ඔවුන්ට එම පාවා දීම සැබෑ පන්තිමය අර්ථයකින් වටහා ගැනීමට නො හැකි වීම හා, ඔවුන් සතු විකල්ප ක්‍රියා මාර්ගයක් හා ඊට මඟ පෙන්වන නායකත්වයක් නොතිබීම ය. අව්‍යාජ කම්කරු පන්ති සංවිධානයකට මේ තත්වය යටතේ කම්කරු පන්තියේ නායකත්වය අත්පත් කරගත හැකි ය. ඒ සඳහා වැනීම්, පැකිලීම්වලින් තොර අරගලයක් අවස්ථාවාදයට එරෙහි ව වර්ධනය කල යුතු ය. ඒ වනාහි, දැනටමත් දන්නා වියුක්ත සත්‍යයන් ජීවමාන පන්ති අරගලය මත පැටවීමේ කුසීත භාවිතයෙහි ගැලී, ‘කම්කරුවන් තවම සූදානම් නැත’ යන මන්ත්‍රය පසුපස දොරෙන් පිලිගැනීමේ ම එක් ආකාරයක් වන, කම්කරු පන්තියේ සටන් උවමනාව උත්කර්ශයට නැංවීමේ ආත්මීයත්වයට යට වීමේ පිලිවෙත්වලට ද එරෙහි දෘඩ අරගලයක් සමග බැදී ඇති කර්තව්‍යයකි.

ඒ වෙනුවට, “මෙම සීමිත විරෝධතාවය කැඳවනු ලැබුනේ ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහි කම්කරු පන්තියේ වර්ධනය වන කෝපය සමනය කිරීමට ය” යි යන සාමාන්‍යයීකරනය කෙරුනු සත්‍යය උක්ත ලෝසවෙඅ වාර්තාව තුල නිවේදනය කර ඇත. සමිතිවලට “වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහි ව සැබෑ දේශපාලන හා කාර්මික අරගලයක් තුල කම්කරුවන් බලමුලු ගැන්වීමට කිසිදු අදහසක් නැත” යනුවෙන් එහි සඳහන් කෙරෙන්නේ ද එවැනි ම සත්‍යයකි. එහෙත් මේ කිසිවක්, අප හමුවේ මේ මොහොතේ පවතින සත්‍ය කරුනු තුල විමර්ශනය කිරීමෙන් තොර ව, මේවා පිලිබඳව තම ඔලුවට එන අදහස් අනුව තත්‍ය සිදුවීම් හැඩ ගස්වමින් ඒවා මහජනයා මත පැටවීමට යත්න දැරීම ලොසවෙඅ අනුගමනය කරන මාක්ස්වාදී විධික්‍රමයට සපුරා ම හතුරු ය.    

මෙම සිද්ධිය පිලිබද ද-සෝෂලිස්ට් හි පල කල ලිපියේ මාතෘකාව වූයේ “සඳුදා කොලඹ දුම්රියපොල ඉදිරිපිට රඟ දැක් වූ සුලු ධනේශ්වර නාඩගම” යන්න යි. ඒ අප සොයාගත් කරුනු විශ්ලේෂනය කිරීමෙන් බැසගත් නිගමනයයි. එය පෙන්වා දී ඇති පරිදි, සමිති නායකත්වය කම්කරුවන් සහභාගීකරවා ගැනීමේ අසීරුතාවකට මුහුන දී සිටිති. “පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයෙකු වන දුමින්ද නාගමුව කල් ඇතිව ම කම්කරුවන්ගේ සහභාගී නො වී ම ගැන මැසිවිලි නගා තිබිනි. ‘ලක්ෂ 22 පමන වන කම්කරුවන් දැන්වත් මේ ගැන සිතා බලනු ඇතැයි විශ්වාස කරන’ බව ඔහු ප්‍රකාශ කලේ ය. පොදුවේ සමිති නායකයන් සමාජගතකරන අදහස වන්නේ, “කම්කරු පන්තිය වනාහී තමන්ගේ ම අයිතීන් රැක ගැනීමට වුවමනාවක් නැති, මෝඩ, පසුගාමී පිරිසක් බවයි.” කම්කරුවන්ට මේ සමිති හා නායකත්වයන් ගැන විශ්වාසයක් නැති බව ද, නිලධරය ක්‍රියාකරන්නේ කම්කරුවන් දුර්මුඛ කිරීමට හා ඔවුනට විරුද්ධව සුලු ධනේශ්වරය උසිගැන්වීමට බව ද අපි එම ලිපියෙන් කරුනු සහිත ව තහවුරු කලෙමු. 

සඳුදා කොටුව දුම්රියපොල ඉදිරිපිට නැටුවේ සුලු ධනේශ්වර නාඩගමකි, වෘත්තීය සමිති විගඩම කි. ඉල්ලීම් නොලැබුනහොත් ආන්ඩුව පෙරලන බවට වහසි බස් දෙඩූ සමිති නායකයෝ, පෙලපාලියක් ලෙස මහ බැංකුවට යන නියායෙන් මඳක් ඉදිරියට ගියහ. 95(1) වගන්තිය යටතේ විසිර යන්න ඔයගොල්ලන්ට අන කරනවා”යි පොලිසිය ඇනවූ කල, “අපිට එහෙම (පෙලපාලි) යන්න ඕනෑ කමක් නෑ. මේක අද කරන්නෙ නෑ කියා ප්‍රකාශයක් කරන්න, අපි (තව ඉදිරියට) යන්නෙ නැහැ” යි සමිති නායකයෝ පොලිසියට සපථ වූහ. අර්ථසාධක අරමුදල ප්‍රතිව්‍යුහගත කරන්නේ නෑ කියා පොරොන්දුවක් ඉල්ලා රැස්ව සිටි ඇතැමෙකු හඬ නැගූ විට, ඒ වෙනුවට “අද කරන්නෙ නෑ කියා” පොරොන්දුවක් දෙන්නැයි උද්ඝෝෂනයේ මෙහෙයුම් භාරව සිටි ප්‍රධානියෙකු වන, සමගි වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුනේ කැඳවුම්කරු හා පාර්ලිමේන්තුවේ ප්‍රධාන විරුද්ධ පක්ෂයේ වෘත්තීය සමිති අංශයේ නායකයෙකු ද වන ආනන්ද පාලිත කිහිප වරක් ම අවධාරනය කලේ ය. “අපට මිනිස්සුන්ගෙ විශ්වාසය දිනා ගන්න ඕනෑ” යි ඔහු ඇත්ත ම කීවේ ය. සියල්ල සිදු වූයේ කල් ඇතිව සකසා ගත් පිටපතට අනුව ය. 

ද-සෝෂලිස්ට් වාර්තාව සඳහන් කල පරිදි, මීට අදාල නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරනයේ විභාග වෙමින් පවතින නිසා, මහ බැංකුව, අරමුදල ප්‍රතිව්‍යුහගත කිරීම පිලිබඳ තීන්දුව සැප්තැම්බර් 21 දක්වා කල් දැමී ය. සමිති නායකයෝ මෙය ද සිය අරගලයේ ජයග්‍රහනයක් යයි පාරම් බෑහ. (එම අවස්ථාව, පහත  කෙටි වීඩියෝවෙන්. CACPS Facebook පිටුවෙනි)

මේ අතර පොලිසිය මහ බැංකුව සමග සාකච්ඡාවක් දෙන බවට පොරොන්දුවක් ගෙන ආවේ ය. එවිට සමිති නායකයෝ ජයග්‍රහනයක් ලෙස මෙම පොරොන්දුව හුවා දක්වමින් රැස්ව සිටි පිරිසට කතා කර, උද්ඝෝනය අවසන් කිරීමට කටයුතු කලහ. සැප්තැම්බර් 5 දින මහ බැංකුව සමග පැවති මෙකී සාකච්ඡාව ඊට නියමිත පරිදි ම  අසාර්ථක විය. සමිතිවලට අනුව දැන් තිබෙන්නේ වෙනත් ධනපති ආන්ඩුවක් ගෙන්වාගෙන තව සාකච්ඡාවක් ගැනීම ය. අවාසනාව නම් ඒ වන විට කටයුතු අවසාන වී තිබීම ය. ද-සෝෂලිස්ට් පෙන්වා දුන් පරිදි, මෙම උද්ඝෝෂනය මුලුමනින් ම කම්කරුවන්ට විරුද්ධ, ඔවුන් සිරකර පහර දීම සදහා අවස්ථාව සලසා ගැනීම උදෙසා කැඳවන ලද ප්‍රතිගාමී මෙහෙයුමකි. වරාය නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරනය කිරීම, තෙල් සංස්ථාවේ කොටස් පෞද්ගලික අංශයට පැවරීම යනා දී සෑම අවස්ථාවක දී ම සිය බෙලහීනකම ද කම්කරු විරෝධී ධනේශ්වර ස්වභාවය ද ප්‍රදර්ශනය කල මෙම වෘත්තීය සමිතිවලින් අන් යමක් අපේක්ෂා කල නො හැකි ය. 

Upali
ආනන්ද පාලිත පොලිසිය සමග කේවලයේ

උක්ත ලෝසවෙඅ ලිපිය අවසන් වන්නේ පොහොර සංස්ථාවේ හිටපු සේවකයෙකුගේ ප්‍රකාශයකිනි. “අප දිගටම පීඩනය යෙදිය යුතු ය. රනිල්ට (වික්‍රමසිංහ) ඒකාධිපති පාලනය දිගටම ගෙන යාමට අවශ්‍ය නමුත් අපට අවශ්‍ය වන්නේ ඔහුව එලවා දැමීමටයි.” උද්ඝෝෂනය මෙහෙය වූ ධනපති හා ව්‍යාජ වාම පක්ෂවල නායකත්වය දරන සමිති නායකයන් ද කීවේ මෙය ම ය. ද-සෝෂලිස්ට් වාර්තාව පෙන්වා දුන් පරිදි වෘත්තීය සමිතිවල උද්ඝෝෂනය යොමු කෙරුනේ එක්කෝ සහන නැතිනම් තවත් ධනපති ආන්ඩුවක් යන මෙම ධනපති මතය සමාජගත කිරිමට ය. අපට මෙම සිද්ධිය තුල සරලව ම වාර්තා කිරීමට ඇති වැදගත් ම දේ වන්නේ පුලුල්ව පතුරවා හරින මෙම ධනපති මතය එලෙසම සටහන් කර තබන්නේ නම්, ආන්ඩුවේ ප්‍රවෘත්තිවලට සවන් දෙනවා විනා විප්ලවවාදී මාධ්‍ය වාර්තාකරනයේ පලක් ඇත්තේම නැත.   

ලෝසවෙඅ පදනම් වන බෝල්ෂෙවික්වාදය දත්ත ගැන දැක්වූයේ ඉමහත් සැලකිල්ලකි: 

“1917 දී බොල්ෂෙවික් පුවත්පත් විසින් සපයනු ලැබූ දත්තයන්, අන් සියලු පුවත්පත් විසින් සපයනු ලැබූ දත්තයන්ට වඩා නොසැසඳිය හැකි තරම් වඩා නිවැරදි බැව්, ඓතිහාසික විචාරයේ සහ යුගයට අදාල ලියවිලි වල අනුව සනාථ කරමින් ඇත. මෙම නිවැරදි බව බෝල්ෂෙවිකයන්ගේ විප්ලවීය ශක්තියේ ප්‍රතිඵලයක් විය. එහෙත් ඒ හා සමගම එය ඔවුන්ගේ ශක්තිය වඩාත් වැඩි කලේය. මෙම සම්ප්‍රදාය අත හැර දැමීම පසු කලෙක ස්ටැලින්වාදයේ වඩාත්ම පිලිකුල්සහගත ලක්ෂනයන්ගෙන් එකක්  බවට පත් විය.” (රුසියානු විප්ලවයේ ඉතිහාසය, දෙවෙනි වෙලුමේ 356වෙනි පිට)

අප කම්කරුවන් කැඳවිය යුතු වන්නේ ධනවාදයට එරෙහි අරගලයට විරුද්ධ ප්‍රධාන බාධකයක් ලෙස පවතින මෙම වෘත්තීය සමිති පෙරලා දමා, කම්කරු පන්ති ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් වන, ස්වාධීන ක්‍රියාකාරී කමිටු ස්ථාපනය කරමින්, ධනවාදයට එරෙහි මහජන ව්‍යාපාරයක් ගොඩනැඟීම සඳහා ය.   

(උද්ඝෝෂනය අමතමින්   කම්කරු විරෝධී ධනපති රාජ්‍ය රැකීමේ ව්‍යාජ වාම හා වෘත්තීය සමිති සූදානම නිර්ලජ්ජිතව ප්‍රකාශ කලේ විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් වන අතුලසිරි සම⁣රකෝන් ය. වීඩියෝව CACPS facebook පිටුවෙන්)

ඒ වෙනුවට ප්‍රස්තුත ලිපිය, වෘත්තීය සමිති හා ව්‍යාජ වාම නායකත්වය යටතේම පවා ශ්‍රී ලංකාවේ කම්කරුවන් සටන්කාමී ව අරගලයට ඇදී එන බවක් නිවේදනය කිරීම එහි ප්‍රමුඛ අරමුන ලෙස සලකාගෙන ඇත. මෙය කම්කරු පන්තිය මුහුන දී සිටින ‌ඓතිහාසික ගැටලු විසඳා ගැනීම සඳහා අරගලය වෙනුවට, එකී ගැටලු මගින්ම පන්තිය තුල ප්‍රකාශිත පසුගාමීත්වයට අනුගත වීමේ ඇඟවුම් ප්‍රකාශ කරයි. 

කම්කරුවන්ගේ පාර්ශ්වීය ඉල්ලීම්වලට අප පිටුපාන්නේ නැත. ආරම්භයේ සිටම EPF අරමුදල පාලනය කරනු ලබන්නේ මහ බැංකුවේ අධිපතිගේ ප්‍රධානත්වයෙන් පවතින මුදල් මන්ඩලයක් විසිනි. එය ධනපති ආන්ඩුවලට මිස කම්කරුවන්ට වගකීමට බැඳී  නැත. මෙය වෙනස් කල යුතු ය. අරගලය කැඳවූ ධනේශ්වර ඒජන්සි වන වෘත්තීය සමිති ඉල්ලා සිටින්නේ අර්ථසාධක අරමුදල කම්කරුවන්ගේ අරමුදලක් වන නිසා ඒ පිලිබද තීන්දු ගැනීමේ දී සමිති නායකයන් සහභාගි කර ගත යුතු බව ය. යථාර්ථයේ දී රටේ කම්කරු පන්තියෙන් ආසන්න වසයෙන් සියයට 15කට වඩා මෙම සමිති නියෝජනය නො කරන අතර ධනවාදයට පිටින් දශමයකුදු ඒවා සෙලවෙන්නේ නැත. කම්කරුවෝ මෙම වඳ ඉල්ලීම් වෙනුවෙන් නො ව, තමන් විසින් පත්කර ගනු ලබන, තමන් කැමති අවස්ථාවක ආපසු කැඳවිය හැකි මන්ඩලයකට මෙහි පාලනය ලබා ගැනීම සදහා සටන දියත් කල යුත්තාහ. ව්‍යාජ වාම රැවටිලි වලට එරෙහිව සිටගනිමින්, සෑම වැඩපොලක ම කම්කරු ක්‍රියාකාරී කමිටු මගින් වෘත්තීය සමිති විස්ථාපනය කිරීම ඒ සඳහා අවශ්‍ය මූලික කොන්දේසියකි.      

වාර්තාකරනයේ විකට රූප: අර්ථසාධක උද්ඝෝෂනය පිලිබඳ ලෝසවෙඅ ලංකා වාර්තාකරුවන්ගේ චර්යාව Read More »

Protest

සඳුදා කොලඹ දුම්රියපොල ඉදිරිපිට රඟ දැක් වූ සුලු ධනේශ්වර නාඩගම

නන්දන නන්නෙත්ති විසිනි.  

Protest
සඳුදා (28) කොටුව දුම්රියපොල අසල උද්ඝෝෂනය

දේශීය නය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිලිවෙල අනුව සේවක අර්ථසාධක අරමුදල ඇපයට තබා ගැනීමේ ආන්ඩුවේ යෝජනාව 2022 ජුලි 27දා පාර්ලිමේන්තුවේ සම්මත කරන ලදී. මහ බැංකුව වාර්තා කර ඇති පරිදි මෙම අරමුදලේ වත්කම්වලින් 96% ක්ම රජයේ බැදුම්කරවල ආයෝජනය කර ඇති අතර, ඒවා 2038 දක්වා වසර පහලොවකට දිගු කිරීම හා 9%ක ස්ථාවර පොලියක් ගෙවීමට කර ඇති යෝජනාව අරමුදලේ භාරකාර මන්ඩලය වන මුදල් මන්ඩලය වෙත අනුමැතිය සදහා යොමු කරනු ලැබ ඇත.

ආන්ඩුව, ධනපති නය මහජනයා මත හෙලීම සඳහා ගෙන ඇති වැටුප් කැටි කිරීම, රාජ්‍ය අංශයේ රැකියා හා ආයතන අහෝසිය, බදු බර, සියල්ලටමත් වඩා නිදහස් අදහස් ප්‍රකාශ කිරීම ඇතුලු සියලු ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට පහර දෙන මිලිටරි ආඥාදායක සැලසුම් හා වර්ගවාදය වැනි භේද මතු කර සිවිල් යුද වාතාවරනයක් නිර්මානය කිරීම වැනි අතිශය ප්‍රතිගාමී පියවර මාලාවක් ගෙන අතර අර්ථ සාධකය පමනක් බේරා ගැනීමේ විශේෂ ක්‍රමයක් නැති බව සෑම කම්කරුවෙකු ම දන්නා කරුනකි. සිරිත් පරිදි වෘත්තීය සමිති ඉහත යෝජනාව ගැන බොරු විරෝධතා මතු කර ඇත්තේ එම තත්වය තුල ය.  

බංකොලොත් පාලක පන්තියට, තමන් ම නිර්මානය කරගෙන ඇති නීතිමය හා හමුදාමය ආවරන යටතේ කම්කරු පීඩිත ජනතාව මරා, මල මිනී පවා අතුරුදහන් කර දැමීමේ තරම් හැකියාවන් ඇති රාජ්‍ය බලයක් ඇති බව, ඉතිහාසය සටහන් කර ඇත්තේ වරක් දෙවරක් නො වේ. ඒ අනුව තම ධනපති ආර්ථිකය හා මූල්‍ය පද්ධතිය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය වූ විට මේ මුදල් මුලුමනින් ම අත්පත් කර ගැනීමට වුවද මෙම ආන්ඩු පියවර ගැනීමට ඇති ඉඩ නො තකා සිටිය නො හැකි ය. මේ රාජ්‍ය බලය පිලිබඳ කාරනය නො තකා වේදිකා ගත කරන මධ්‍යම පන්තික, ව්‍යාජ වාම පුස් විරෝධතා දැක්වීම් බහුතර කම්කරුවෝ ප්‍රතික්ෂේප කරති.  

පෙරටුගාමී සමාජවාදී  පක්ෂය (පෙසප) මැදිහත් වී, වෘත්තීය සමිති එකමුතුවේ නිලධරය සාකච්ඡාවක් සඳහා කැඳවා සඳුදා (28) කොටුව දුම්රියපොල අසල උද්ඝෝෂනය පිලිබඳ තීන්දුව ගෙන තිබිනි. තවත් සමිති ගනනාවක් සටනක් සදහා පිලින දෙමින් සිටියේ ය. රතු සේවක සංගමය, ස්ටෑන්ඩ් අප් කම්කරු සංගමය, වී වුමන් ලංකා නෙට්වර්ක්, එක්සත් කම්කරු සම්මේලනය, සමගි සේවක සංගමය, ලංකා බැංකු සේවක සංගමය, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය, කම්කරු අරගල මධ්‍යස්ථානය, ඇතුලු රාජ්‍ය නො වන සංවිධාන හා වෘත්තීය සමිති 40කට වඩා සඳුදා  උද්ඝෝෂනයට සහභාගී වූ බව සංවිධායකයෝ පවසති. මෙම උද්ඝෝෂනයට 5000ක පමන පිරිසක් කොටුව දුම්රියපොල ඉදිරිපිටට රැස් වනු ඇතැයි සංවිධායකයෝ කල් ඇතුව ගනන් බලා තිබුනහ. යාන්තම් 300 පමන ඊට සහභාගී වීම පෙන්නුම් කලේ සංවිධාන එකකටවත් තමන්ගේ ම සාමාජිකයන් මෙහෙයවා ගැනීම පවා කල නො හැකි වීම මෙන් ම ඔවුන්ට එවැනි දුර දිග යන සටනක් මතු වනු දැකීමට වුවමනාවක් ද නැති බව ය. (උද්ඝෝෂනයේ අවස්ථා නිරූපනය කරන වීඩියෝව මෙහි පහත පල වේ)

පෙරටුගාමී පක්ෂයේ නායකයෙකු වන දුමින්ද නාගමුව කල් ඇතිවම කම්කරුවන් සහභාගී නො වීම ගැන මැසිවිලි නගා තිබිනි. ලක්ෂ 22ක් පමන වන කම්කරුවන් දැන්වත් මේ ගැන සිතා බලනු ඇතැයි විශ්වාස කරන බව ඔහු ප්‍රකාශ කලේ ය. පොදුවේ සමිති නායකයන් සමාජගත කරන අදහස වන්නේ කම්කරු පන්තිය වනාහී අයිතීන් ආරක්ෂා කර ගැනීම සදහා සටන් කිරිමේ වුවමනාවක් නැති මෝඩ, පසුගාමී පිරිසක් බවයි. ලංකා වෙලඳ හා කාර්මික පොදු සේවක සංගමයේ නියෝජ්‍ය ලේකම් පීටර් ඩී අල්මේදා බීබීසීයට කියා තිබුනේ කම්කරුවන්ට මේ සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නැති බව ය. “ඒ අය හිතන් ඉන්නේ අපේ අර්ථසාධකයේ යම් කිසි මුදලක් තියෙනවා. ඒකට 9%ක් හම්බ වෙයි. එහෙම හරි හම්බ වෙනවා නම් කමක් නෑ කියලයි,” ඔහු කියයි. සත්‍යය නම් වෘත්තීය සමිති හා සෙසු ව්‍යාජ වමුන් අත කිසිවක් හෝ දිනාගත හැකි ක්‍රියා මාර්ගයක් නැති බවත්, ඔවුන්ගේ අවශ්‍යතා අනුව කැඳවන උද්ඝෝෂනවලට සහභාගී වී කෙරෙන පරිත්‍යාගවලට සරිලන දෙයක් නො ලැබෙන බවත් කම්කරුවෝ දන්නා බවයි. පසු ගිය දා තෙල් සංස්ථාව පුද්ගලීකරනයේ දී ගිරිය පිප්පූ නමුත්, කම්කරුවන් අරගලයට පැමිනිම වැලැක්වීමට සියල්ලම කල සමිති නායකයන්, පාලකයන් වෙත බඩ ගා ගොස් එය පාවා දීම වැනි නින්දාසහගත අත්දැකීම් කෙතෙක් නම් කම්කරුවන්ට තිබේ ද? 

සඳුදා සිද්ධිය මේ සම්බන්ධ මනා අත් දැකීමකි. යොදාගත් පරිදි දවල් 12ට ඇරඹුනු උද්ඝෝෂනය දුම්රියපොල පදිකය දිගේ පැයකට ආසන්න කාලයක් සිදුකෙරුනු අතර සමිති නායකයෙක් පිරිස ඔල්කට් මාවත මැදට කැඳවී ය. මාර්ගය අවහිර වීමත් සමග අනෙක් පසින් පොලිසිය පෙල ගැසීම ආරම්භ කලේ ය. ටික වෙලාවකින් පෙලපාලියක් ලෙස සෙමෙන් සැකෙන් පිරිස කොල්ලුපිටිය දිසාවට ගෙන යෑමට නායකයෝ පටන් ගත්හ. පොලිසිය උසාවි නියෝගය කියවා, ඉදිරියට ගමන් කලේ ය. “අපට පොඩ්ඩක් ඉදිරියට යන්න දෙන්න, අපි ආපහු එන්නම්.” සමිති නායකයෝ පොලිසියෙන් ඉල්ලා සිටියහ. පොලිසිය එකඟ නො වී ය. එවිට සමිති නායක ජගත් ගුරුසිංහ, “අපට සති දෙකක් ඇතුලත සාකච්ඡාවක් ලබා දෙන්න”යි බැගෑපත් විය. පොලිස් නිලධාරියා ඊට එකඟ වූ කල සමිති නායකයෝ ආපසු හැරුනෝය.

පසුව කම්කරුවන්ට කතාවක් පවත්වමින් ගුරුසිංහ පොලිසියෙන් ඉල්ලා ගත් පොරොන්දුව ජයග්‍රහනයක් ලෙස හුවා දක්වමින් සැර කතාවක් කලේ ය. එදින රාත්‍රී ප්‍රවෘත්තිවල ප්‍රකාශයට පත් වූයේ ද මෙම පොලිස් හා සමිති නායක විජ්ජාවයි. මෙවැනි පොරොන්දු හුවා දක්වා අරගලවලින් පලා යාමට සමිති නායකයන්ට හොඳ හුරුවක් ඇත. ඇත්තටම නම් මේ උද්ඝෝෂනයෙන් ලැබුනු දෙයක් නැත. ඒ සමගම තවත් නායකයෙක් සැප්තැම්බර් 21 දින දක්වා මුදල් මන්ඩලයේ තීන්දුව කල් යාම තමන්ගේ අරගලයේ ජයග්‍රහනයක් යයි ගුගුරන්නට විය. කල් දැමීමට හේතු වූයේ, දේශීය ආදායම් සදහා 30% බද්දක් අය කිරිමේ යෝජනා සංශෝධන කෙටුම්පත සම්බන්ධ නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරනයේ විභාග වෙමින් තිබීම මිස මෙම වෘත්තීය සමිති විගඩම නො වේ.  

විශේෂයෙන් මෙම වර්ගයේ වැඩ මගින් කම්කරු පන්තියට අරගල එපා කරවීම ද නිලධරය අපේක්ෂා කරයි. ඒ සමග ම කම්කරු පන්තියට හැකියාවක් හෝ වුවමනාවක් නැතැයි හුවා දක්වමින් සුලු ධනේශ්වරයේ පිලිකුලට හා වෛරයට එය හසු කිරීම ද මෙම කටයුතුවල ප්‍රතිඵල ලෙස සිදු වේ. ඔවුන් සිදු කලේ පාලක පන්තියට, තමන්ගේ, එනම් සුලු ධනේශ්වර නිලධරයේ අවශ්‍යතාව ඒත්තු ගන්වා ගැනීම ය. ඒ අතර පවතින ආන්ඩුව වෙනුවට වෙනත් ධනපති ආන්ඩුවක් බලයට ගැනීමේ අපේක්ෂාවක් දැල්වීම මගින් ස්වාධීන පන්ති අරගල සදහා කම්කරු පන්තියේ උත්සුකයන් කල් ඇතිව තලා දැමීම ද එහි එක් අපේක්ෂාවකි.  

කොටින් ම මෙම උද්ඝෝෂනය ධනපති පන්තියේ අරමුනු වෙනුවෙන් සංවිධානය කල බවට, සඳුදා උදේ කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරය තුල පැවතුනු විදුලි පාරිභොගික සංගමයේ රැස්වීම සාක්ෂි දරයි. එය පැවැත් වුනේ විදුලි බිල ඉහල දැමීමේ සැලසුම්වලට විරෝධය දක්වන එකක් හැටියට ය. රැස්වීම ඇමතූයේ විදුලි පාරිභෝගික සංගමයේ සභාපති, ලේකම් හා විදුලි සේවක සංගමයේ නියෝජිතයෙකි. විදුලි අංශවලට සම්බන්ධ ව්‍යාපාරික සමාගම්වල සේවකයන් මෙම රැස්වීමට සහභාගී කරවා තිබූ බව පෙනී ගියේය. පුනර්ජනන බලශක්ති ප්‍රභවයන් වර්ධනය කිරීමට ඉදිරිපත්වූ ආයෝජකයන් දුර්මුඛ කරමින් හා ඔවුන්ට විශාල අලාභ ගෙන එමින් ලංකා විදුලිබල මන්ඩලය (ලංවීම) හදිසි මිල දී ගැනීම් සිදු කරන බවට කථිකයෝ චෝදනා කලෝ ය. අනතුරුව මෙම සමිති නායකයෝ කොටුව දුම්රියපොල ඉදිරිපිට අර්ථසාධක උද්ඝෝෂනයට එක් වූහ. එක ම අවස්ථාවේ ව්‍යවසායකයනගේ හා කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිය හැකි සූත්‍රය කුමක් ද?  

ධනවාදයේ වත්මන් අවධියේ දී, කම්කරු පන්තියේ පැවැත්ම තව දුරටත් ශ්‍රම ශක්තිය විකිනීමෙන් ආරක්ෂා කර ගත නො හැකි ය. නමුත් වෘත්තීය සමිති යනු, කම්කරුවන් ශ්‍රම ශක්තිය විකුනන්නන් ලෙස ම සිටිය යුතු ය යන ප්‍රතිවිප්ලවවාදී ස්ථාවරයක පිහිටා සිටින ව්‍යාපාරයකි. මේ නිසා ඉහල මට්ටම්වල සූරා කෑමට අවශ්‍ය වන නව ශ්‍රම රූප සදහා ප්‍රාග්ධනයේ වෙනස් වන අවශ්‍යතාවන්ට අනුගත වීම හැර අන් මගක් වෘත්තීය සමිතිවලට නැත. රැකියා, වැටුප් හා ජීවන තත්වයන් පිරිහීමේ කොන්දේසි පිලිගත් නව වර්ගයක කම්කරුවෙකු ධනේශ්වර නිශ්පාදනයේ නව විධි සහ රූපාකාරයන් විසින් ඉල්ලා සිටිනු ලබන අද දින, වෘත්තීය සමිතිවාදය එක්කෝ මෙම අවශ්‍යතා සම්පාදනය කිරිම හෝ වේදිකාවෙන් බැස යාම යන දෙකින් එකක් තෝරාගත යුතු ය. සමිති නායකයන්ගේ වංචනික ක්‍රීඩාව මෙම ඓන්ද්‍රීය දුර්වලකමින් ගලා එන අතර කම්කරුවන්ට සිය පැවැත්ම රැක ගැනීමට නම්, මෙම ප්‍රතිගාමී සමිති විසුරුවා හැර තමන්ගේ ම ඡන්දයෙන් ගනු ලබන තීන්දු අනුව ක්‍රියාත්මක වන ධනේශ්වර විරෝධී කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ගනිමින් අරගලය පෙරට ගැනීම හැර මාවතක් නැත.      

තමන් සේවය කරන වැඩපොළ හා කම්හල්වල ද තම නිවහන් ප්‍රදේශවල ද එවන් ක්‍රියාකාරී කමිටු ගොඩ නඟා ගැනීමත්, ඒවා හරහා කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අභිමතය ක්‍රියාවට නැංවීමත් මඟ නොහැරිය හැකි අවශ්‍යතාවයක් ලෙස දැන් ඉස්මතු වී ඇත්තේ එබැවිනි. ඒ සඳහා එක්වන ලෙස සියලු කම්කරු පීඩිත ජනයාට හා තරුනයන්ට කැඳවුම් කරන කොලඹ ක්‍රියාකාරී කමිටුව, සිය කම්හල්, වැඩපොල හා නිවහන් ප්‍රදේශවල එවන් ක්‍රියාකාරී කමිටු ගොඩ නඟා ගැනීමේ දී ඔවුන්ට සහාය වෙමින්  සහෝදරත්වයේ හස්තය දිගු කරයි.

සඳුදා කොලඹ දුම්රියපොල ඉදිරිපිට රඟ දැක් වූ සුලු ධනේශ්වර නාඩගම Read More »

Strike

වෘත්තීය සමිති නිලධරයේ මැර ප්‍රහාරයන්ට එරෙහිව තුර්කි කම්කරුවන් ආරක්ෂා කරනු!

කොලඹ ක්‍රියාකාරී කමිටුව 

Strike
Gaziantep හි වැඩ වර්ජන කරන Şireci රෙදිපිළි කම්කරුවන් [ඡායාරූපය: birlesiktekstil/Twitter]

තුර්කියේ  කැන්කායා (Cankaya) මහ නගර සභාවේ  වෘත්තීය සමීති නායකත්වය  ගෙන යන පාවා දීමට එරෙහිව එහි  කම්කරුවන් සිදු කල විරෝධතාවයේ  දී  සමිති නිලධරය ඔවුන්ට තර්ජනය කරමින් පහර දුන් සිදුවීමක් අගෝස්තු 14දා ලෝක සමාජවාදී වෙබ් අඩවිය වාර්තා කලේය.

මේ පහර දීම සිදු කරනු ලැබ ඇත්තේ, ජීවත්  වීමට අපහසු වැටුපකට එකඟ ව පාලකයින් සමග වෘත්තීය සමිති  ගැසූ ගිවිසුම කම්කරුවන්ට සැඟවීමට හා  කම්කරුවන් හා එකඟ වූ තීරන ගිවිසුමට ඇතුළත් නොකිරීමට සමිති නිලධරය සිදු  කල වංචාවන් ප්‍රශ්න කිරීමට වෘත්තීය සමිති කාර්යාලයට ගිය කම්කරුවන්ට ය. 

කැන්කායා  මහ නගර සභාවේ කම්කරුවන්ට එරෙහිව තුර්කියේ DİSK වෘත්තීය සමිතියට අනුබද්ධ ජෙනෙල්-ඉස්(Genel-İş) වෘත්තීය සංගමයේ නිලධරය නගර සභා පාලකයන්ගේ පොලිස්කාරයන් හැටියට සිදු  කල මේ තුච්ඡ ප්‍රහාරය දැඩිව හෙලා දකින  ලංකාවේ කොලඹ ක්‍රියාකාරි කමිටුව (කොක්‍රික), ඊට එරෙහිව නැඟී සිටින කම්කරුවන්ට තම සහෝදරාත්මක දෑත දිගු  කරයි.

තුර්කියේ ද්‍රෝහි සමිති නිලධරයේ මැර ක්‍රියා, කම්කරු අරගල මැඩීමට ලොව පුරා රාජ්‍ය හා සංගත සමග පෙල ගැසී සමිති නිලධරයන් ගෙන යන කුමන්ත්‍රණවල කොටසකි. ලෝකය පුරා ක්‍රියාත්මක වන මේ ප්‍රතිගාමී ව්‍යාපාරයන්ට එරෙහිව කම්කරුවන්ට  සටන් කල හැක්කේ සෑම රටකම වැඩකරන පංතියේ දැනුවත් එකමුතුවකට සටන් වැදීමෙන් ය යන වැටහීමෙන් සිටින කොක්‍රික, ඒ සඳහා ජාත්‍යන්තර කම්කරු පංතියේ සහයෝගය බල මුලුගැන්වීමට පෙරට එන මෙන් වැඩ කරන ජනයාගෙන් ඉල්ලා සිටී. 

කොක්‍රික ගොඩ නැගුවේ, හිටපු  විධායක ජනාධිපති ගෝටාභය රාජපක්ෂ පලවා හරිමින් නැගී සිටි මහජන ව්‍යාපාරය තුල, ධනේශ්වරයෙන් ස්වාධීන අව්‍යාජ කම්කරු ව්‍යාපාරයක් ගොඩනැගීමේ අරගලයක් හරහාය. එය පදනම් වී ඇත්තේ ධනපති පන්තියේ සියලුම පක්ෂවලින් හා වෘත්තීය සමිතිවාදයෙන් ස්වාධීන ව කම්කරුවන්ගේ බල සංස්ථා ලෙස ක්‍රියාකාරි කමිටු ගොඩ නැගීමට, හතරව ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (ICFI) කල ඉදිරි දර්ශනාත්මක කැඳවුම මතය.

තුර්කී කම්කරුවන් ආරක්ෂා කිරිමට අප කමිටුව ඉදිරිපත්  වන්නේ ලංකාවේ ධනපති පංතියේ ප්‍රහාරයන්ට එරෙහිව වැඩකරන ජනයාගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා අරගලයක යෙදීමේ අත්දැකීම් ද සහිත සංවිධානයක් හැටියට ය.   

කොවිඩ් වසංගතය හා යුක්‍රේන  යුද්ධය මගින් තීව්‍ර වී ඇති තුර්කි පාලක පංතියේ අර්බුදය උද්ධමනය, රැකියා කප්පාදුව හා  සුබසාධනයන් උදුරා ගැනීම හැටියට වැඩ කරන ජනයාගේ කර මත පටවමින් සිටී. ඊට එරෙහිව තුර්කිය පුරා දස දහස් ගනන් වැඩ කරන ජනයා විරෝධතා හා වැඩ වර්ජන මගින් ප්‍රතිප්‍රහාරය අරඹා ඇති තතු යටතේ වෘත්තීය සමිති ඇතුලු ධනේශ්වරයේ ආවතේවකරුවන් හා ව්‍යාජ වම්මුන් කම්කරුවන්ට එරෙහි ව කඩා පැනීම සිදු කරනු ලැබ ඇත්තේය. 

තුර්කි කම්කරුවන් මෙන් ම ලංකාවේ වැඩ කරන ජනයා ද අත්විඳිමින් සිටින්නේ එකී තතුමය. වර්තමාන රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුවේ කප්පාදු වැඩ පිලිවල සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන මෘග ප්‍රහාර දිනපතා උත්සන්න කෙරෙන්නේ ඒවාට එරෙහිව අතක් හෝ එසවීමට ක්‍රියා නොකරන වෘත්තීය සමිතිවල වාරුව ලබමිනි. මේ වසරේ මුල දී ඛනිජ තෙල්, විදුලිය ජල සම්පාදන හා සෞඛ්‍ය සේවා කම්කරුවෝ මිලියන භාගයකට වැඩි සංඛ්‍යාවක් කප්පාදු හා පෞද්ගලීකරණයට එරෙහිව වර්ජන හා විරෝධතා මගින් ප්‍රතිචාර දැක්වුහ. දිනපතා කම්කරුවන් හා ශිෂ්‍යයන්ගේ විරෝධතාවන්ට ආන්ඩුවේ උත්තරය වී ඇත්තේ අධිකරන  තහනම් පනවමින් ඒවාට මිලිටරිය යොදා පහර දී විසුරුවා හැරීමයි. වෘත්තීය සමිති ව්‍යාපාරයේ අත්වාරුව ලබමින් මර්දන අන පනත් යොදා ආන්ඩුව ගෙනයන මෘග මර්දනයෙන් පෙන්නුම් කෙරෙන්නේ වැඩකරන ජනයාට ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ලබා දීමට ඔවුන්ගේ කිසිම සූදානමක් නැති බවයි.

තුර්කි වෘත්තීය සමිති නිලධරය මෙන් ම ලංකාවේ වෘත්තීය සමිති ද ආන්ඩුවේ සැලසුම් සමග පෙලගැසී සිටින අයුරු කම්කරුවෝ දිනපතා අත් දකිති. “රටේ වත්මන් තත්ත්වයට ගැලපෙන පරිදි ප්‍රතිව්‍යුහගත කිරීම කල යුතු”යැයි  ආන්ඩුවේ පුද්ගලිකරනයට මුහුන දී සිටින ලංකා විදුලි සේවක සංගමයේ නායකයන් විසින් කරනු ලබන ඉල්ලීමෙන් පමනක් නොව කොලඹ වරාය, තෙල් සංස්ථා ඇතුලු  පුද්ගලිකරනයට නතු වූ සෑම තැනකම සමිති  නිලධරයන් එකාවන්ව එම වැඩ පිළිවෙලට දක්වන  සහයෝගයෙන් එය පැහැදිලි ව පෙනී යයි.

ජාත්‍යන්තර පරිමාන අර්බුදයක ගිලී සිටින ධනපති ක්‍රමය විසින් එල්ල කෙරෙන මාරාන්තික ප්‍රහාරවලට කම්කරු පන්තිය මුහුනට මුහුන දී සිටින තතු යටතේ, එකී ප්‍රහාරයට එරෙහිව කම්කරු පන්තිය මෙහෙයවීමට වෘත්තීය සමිති ව්‍යාපාරයට නොහැකි ය. නිෂ්පාදනය සාපේක්ෂ ලෙස ජාතික සීමාවන් තුල පැවැති යුගයක කම්කරු පන්තියට ප්‍රතිසංස්කරන දිනා දීමේ අරගල මෙහෙයවමින්, ධනපති පන්තිය හා කම්කරු පන්තිය අතර හෙට්ටු කරන්නන් ලෙස කටයුතු කරමින්, එමඟින් පන්ති අරගලයේ සමථකරුවන් ලෙස සේවය කල ලෝ පුරා වෘත්තීය සමිති ව්‍යාපාර, නිෂ්පාදනයේ ගෝලීයකරනයත් සමඟ සම්පූර්න අර්බුදයක් කරා ගමන් කර ඇත. වර්තමාන ලෝක පරිමාන ධනේශ්වර අර්බුදයට ප්‍රතිචාර ලෙස ධනපති පන්තිය විසින් කම්කරු පන්තිය මත හෙලනු ලබන ප්‍රහාරවලට මුහුන දීමේ මොනම හෝ ජාතික වැඩ පිළිවෙලක් නොපැවතීම නිසා, කම්කරු පන්තියට ‘සහන’ දිනා දෙන්නන් ලෙස පැවැති භූමිකාව වෛෂයික ව අහෝසි වී ගොස් ඇති තතු යටතේ, දැන් වෘත්තීය සමිති කෙලින්ම වැඩකරන්නේ ධනපති පාලනයේ ආරක්ෂක ⁣බල ඇනියක් ලෙසයි. මෙසේ ගෝලීය අර්බුදයකින් ගිලී සිටින ධනපති ක්‍රමය සිය පැවැත්ම සඳහා දරන මාරාන්තික ප්‍රයත්නයේ දී ඔවුන්ගේ සහකරුවා ලෙස කම්කරු පංතියට එරෙහි ව ඕනෑම දුරක් යෑමට සමිතිවල ඇති සූදානම ලොව පුරා අත්දැකීම් මගින් තහවුරු වෙයි. තුර්කියේ ඉහත සිදුවීමේ දී වෘත්තීය සමිති කම්කරු හිමිකම් වෙනුවෙන් පෙනී නොසිටීම ගැන ප්‍රශ්න කරන්නට කාර්යාලයට පැමිනි කම්කරුවන්ට එරෙහිව කායික ප්‍රහාර එල්ල කිරීමට ක්‍රියා කිරීම පසුපසින් පවතින යථාර්තය වන්නේ එයයි.

තුර්කියේ මෙන් ම සෑම රටකම ද කම්කරුවන්ට රැකියා, වැටුප් ඇතුලු අයිතීන් රැක ගැනීමේ මාවත වැටී ඇත්තේ ධනපති ක්‍රමයටත්, එහි ආරක්ෂකයා වන වෘත්තීය සමිතිවලටත් එරෙහි අරගලය හරහා බව වටහා ගෙන සිටින කොක්‍රික, වෘත්තීය සමිති හා මධ්‍යම පංතික ව්‍යාපාර ධනපති රාජ්‍යය හා සංගත සමග පෙල ගැසී ගෙනයන ප්‍රතිගාමී ව්‍යාපාරය හෙලිදරව් කරමින්, කම්කරු පන්තික ප්‍රජාතන්ත්‍රවාදය  ක්‍රියාත්මක වන කම්කරු පන්තියේ ස්වාධීන සංවිධාන ගොඩ නැඟීම තීරනාත්මක කාරනයක් බවට පත්ව ඇතැයි යන්න පිලි ගනී. කම්කරු පීඩිත ජනයාගේ ආර්ථික, දේශපාලන හා ජීවන අවශ්‍යතා නියෝජනය කරන, ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අභිමතය මත ක්‍රියාත්මක වන එකී සංවිධාන තුල, කම්කරුවන් ධනපති පන්තියට හා එහි රාජ්‍යයට ගැට ගසමින් ධනේශ්වර අර්බුදයේ බර කම්කරු පන්තියේ කර මත පටවන වෘත්තීය සමිති නිලධරයන් ඇතුලු ධනපති ඒජන්තයන්ට මොනම ඉඩක්වත් නැත. පාවාදීම් කපා හරිමින් අරගලය අවසාන ජයග්‍රහනයක් දක්වා ගෙන යාමට නම්, සාකච්ඡා හරහා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තීන්දුවලට එළඹෙන කම්කරු පන්තියේ එවැනි ස්වාධීන, අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන අත්‍යවශ්‍ය ය. 

කම්කරු පන්තියේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැඟීම ද, ලෝකය පුරා එවැනි ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් පිහිටුවීම මඟින් කම්කරු පන්තියේ වෛෂයික එකමුතුව තහවුරු කිරීම ද සඳහා ලෝසවෙඅ හරහා හජාජාක නිකුත් කර ඇති කැඳවීමට කොක්‍රික සිය සහයෝගය පල කරයි. මෙම වැඩ පිලිවෙල ඉදිරිපත් කරමින් මෑත කාලයේදීම සසප ක්‍රියාකාරීන් සිදු කල මැදිහත්වීම් ගනනාවක දී ම වෘත්තීය සමිතිවල මැදිහත් වීමෙන් ඔවුන්ට කායික අඩම්තේට්ටම් සහ වාචික තර්ජන ද, බාධා කිරීම් ද සිදුකෙරුනි. කොක්‍රික එම ප්‍රහාර වලට එරෙහිව සසප හා ස්වාධීන කම්කරුවන් ආරක්ෂා කලේය. 

කොක්‍රක තුර්කි කම්කරුවන්ගෙන් මෙන් ම ලංකාවේ ද, ලොව පුරා ද කම්කරුවන්ගෙන් ද ඉල්ලා සිටින්නේ සමාගම් හා ආන්ඩු සමග කම්කරු පොලීසියක් ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිතිවලින් ස්වාධීනව තමන්ගේම දේශපාලන බල සංස්ථා ගොඩනගා ගනිමින්, ඒවා ජාතිකවත්, ජාත්‍යන්තරවත් එකමුතු කරමින්, කටයුතු තම පාලනය යටතට ගැනීම සඳහා වන අරගලය හා අත්වැල් බැඳ ගන්නා ලෙසය. නිදහස උදෙසා ඒ හැර අන් මාවතක් කම්කරු පංතියට නැත.

තුර්කි කම්කරුවනි, ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩ නගනු!

ලංකාවේ කම්කරුවන්ගේ හා දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනය ගොඩනගමු! 

⁣කමිකරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සංධානයක් සඳහා පෙරට!

වෘත්තීය සමිති නිලධරයේ මැර ප්‍රහාරයන්ට එරෙහිව තුර්කි කම්කරුවන් ආරක්ෂා කරනු! Read More »

Protest

වික්‍රමසිංහ ආන්ඩුව ප්‍රමුඛ සංස්ථාපිතය කම්කරුවාට එරෙහි අශුද්ධ සංධානයක

සංජය ජයසේකර විසිනි.

Protest
“සේවක අරමුදල් කොල්ලය වහා නවතනු!” ජුලි 25 කොලඹ කොටුව අසල නිදහස් වෙලද කලාප සහ පොදු සේවා සේවක සංගමය උද්ඝෝෂනයක් පැවැත් වීය (ජායාරූපය :ෆේස්බුක්)

දේශීය නය ප්‍රතිව්‍යුහගත කිරීම (දේනප්‍ර) නොහොත්  ප්‍රශස්තිකරනය යන ප්‍රෝඩාකාරී වචන යට සඟවා කම්කරුවාගේ අවසාන ඉතිරි කිරීම් ද මංකොල්ල කෑමේ පියවර රනිල් වික්‍රමසිංහ ආන්ඩුව පසුගියදා තැබුවේය. ආන්ඩුවේ දේශීය නය වලින් වැඩි ප්‍රතිශතය බැංකු හා මූල්‍ය සමාගම් විසින් දරන තතු යටතේම, ඒවාට අතක්වත් නොතබා, මූල්‍ය වෙලඳපොල වසා දමමින් හා ඉතිහාසයේ දීර්ඝතම දින පහක බැංකු නිවාඩු ලබා දී කුමන්ත්‍රනය කරන ලද මහ බැංකු අධිපතිවරයාගේ සැලැස්ම යටතේ, ආන්ඩුව කම්කරු මහජනතාවගේ අවසාන බලාපොරොත්තුව වන සේවක අර්ථසාධක අරමුදල (ඊපීඑෆ්) හා සේවක භාරකාර අරමුදල (ඊටීඑෆ්) යන අරමුදල්වලට දැවැන්ත පාඩු ගෙන එමින්  ඊනියා ප්‍රශස්තිකරන සැලැස්ම ⁣කැබිනට්ටුවේ සම්මත කරනලදී.  එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමෙන් පසු රටේ ඉහලම අධිකරනය ද, මෙම සැලැස්මට එ⁣රෙහිව යැයි කියමින් ගෙනෙන ලද නඩු කටයුතු ද වැඩි දුර නොඅසාම විසිකර දැමුවේය. 

අශුද්ධ සංධානය

මේ ආකාරයෙන් සමස්ත ධනපති සංස්ථාපිතයම – විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරනය – කම්කරු පන්තියට එරෙහිව ලේ උරා බොන සංධානයකට එලඹ ඇත්තේය. 

නඩු කටයුතු ශ්‍රේෂ්ඨාධිකරනය තුල විභාග වෙමින් පවතිද්දීම ඊනියා පාර්ලිමේන්තු වරප්‍රසදවලට මුවා වෙමින් අගෝස්තු 9 දින පාර්ලිමේන්තුවේ දී කතානායක මහින්ද යාපා අබේවර්ධන කියා  සිටියේ පාර්ලිමේන්තු පටිපාටිය අධිකරනයට ප්‍රශ්න කල නොහැකි බැවින්, පාර්ලිමේන්තුව විසින් ‘නිසි පරිදි’ සම්මත කල පසුව ශ්‍රේෂ්ඨාධිකරනය ඇතුලු කිසිදු  අධිකරනයකට දේනප්‍ර සැලැස්ම පිලිබඳව කිසිදු ආකාරයක නියෝග නිකුත් කිරීමේ අධිකරන බලයක් නොමැති බවය. 

එදිනම ශ්‍රේෂ්ඨාධිකරනය ජාතික ජන බලවේගය ගොනුකල නඩුවක් ඇතුලු නඩු හතක් විසිකර දැම්මේ ය. අනෙක් නඩුව 11 දා බැහැර කෙරුනි.  ඒ කිසිදු හේතු දැක්වීමකින් තොරව මුල් අවස්ථාවේම ය.

අධිකරනයේ නඩුව ඇසෙමින්  පවතින අතරතුර මහ බැංකුව හා මූල්‍ය මන්ඩලය ද, අරමුදල්වල භාරකාර පාලකයන් ද උසාවිය තුල පෙනී සිටියේ ලක්ෂ 25කට වැඩි සාමාජික කම්කරුවන් හෙවත් තැන්පත්කරුවන් වෙනුවෙන් නොව ආන්ඩුවේ බැංකු ආරක්ෂා කිරීමේ වැඩපිලිවෙල වෙනුවෙනි. වැටත් නියරත් ගොයම් කා දමා ඇත.

උසාවියට නියෝග

අධිකරනය දේනප්‍ර සැලැස්මට ඇඟිලි නොගැසිය යුතු බවට වික්‍රමසිංහ අගෝස්තු  මුලදීම විවෘත අනතුරු ඇගවීමක් කලේය. පොල් වගා කරුවන්ගේ සංගමයේ රැස්වීමක දී අන්ඩුවේ නය “ප්‍රශස්තකරනයට” බාධා පැමිනවීම සඳහා යම් පාර්ශවයන් අධිකරන නියෝග අයැද ඇතැයි සඳහන් කරමින්  ඔහු කියා සිටියේ මෙසේය:

“රජයේ මූල්‍ය පාලනය අයිති පාර්ලිමේන්තුවට, වෙන කාටවත් නොවෙයි. මේ වැඩසටහන පාර්ලිමේන්තුව සම්මත කරල තියෙන්නෙ…ජනතාවගෙ පරමාධිපත්‍ය බලය යටතෙ ජනතාවගෙ අධිකරන බලය දීල තියෙන්නෙ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුව දෙන යෝජනා, නීති අනුව තමයි ආන්ඩුව ක්‍රියා කරන්න යන්නෙ. මේ කරන කටයුතු අපි නවත්වන්නෙ පාර්ලිමේන්තුව කිව්වොත් විතරයි. නැත්තං ඒක ඉදිරියට ගෙනියනවා. මොකද බලය තියෙන්නෙ පාර්ලිමේන්තුවෙ. බලය පාර්ලිමේන්තුවෙ තියෙනව නම් අපිට වෙන කාගෙන්වත් උපදෙස් ගන්නත් බෑ, නියෝග ගන්නත් බෑ… විශේෂයෙන් මේ නය ප්‍රතිව්‍යුහගතකරනයෙදි අපි වගකියන්නෙ පාර්ලිමේන්තුවට විතරයි.”

වික්‍රමසිංහගේ මෙම ප්‍රකාශය අධිකරනයේ තීන්දු වලට බලපෑම් කිරීමේ හිටපු විධායක ඒකාධිපති පාලකයාගේ වැඩ කටයුතු සිහි කැඳවයි. බලයෙන් පහ කරනු ලැබූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2019 අග ජනාධිපති ලෙස පත් වීමෙන් පසු මුල් අවධියේ සිටම අධිකරනයට විවෘතවම කියා සිටියේ තම ආර්ථික ප්‍රතිපත්ති වලට අකුල් හෙලන ලෙස අධිකරනය නොහැසිරිය යුතු බවයි. 

ධනපති දේශපාලකයන් කියා ඇති පරිදි පාර්ලිමේන්තුව හා අධිකරනය අතර ඝට්ඨනයක් ඇතිවී ව්‍යවස්ථාමය අර්බුදයක් නිර්මානය වීම වැලැක්වීම අධිකරනයේ උත්සුකය වීය යන්න අමූලික බොරුවකි. සත්‍යය නම් පාලක සංස්ථාපිතයේ කොටසක් ලෙස ආන්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්‍තිය ක්‍රියාවට දැමීම අවහිර නොකිරීමට අධිකරනය පරිස්සම් වී ඇති බවය.

පාර්ලිමේන්තු සම්මතය

ජුලි 1 වන දින දේනප්‍ර සැලැස්ම පිලිබද මෝසම පාර්ලිමේන්තුවේ සම්මත කිරීමේදී වික්‍රමසිංහ රඳා සිටින සිංහල  ස්වෝත්තමවාදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ (එස්එල්පීපී) මන්ත්‍රීවරු එයට පක්ෂව චන්දය දුන්හ. මන්ත්‍රීන් 122 ක් ඊට පක්ෂව ඡන්දය දෙමින් එය වැඩි ජන්ද 60 කින් පාර්ලිමේන්තුවේ සම්මත විය. මෙසේ ව්‍යවස්ථාවට අනුව එය නීතියක් වන්නේ නැති නමුත්, එය පාර්ලිමේන්තුව විසින් අනුමත කල ආන්ඩුවේ ප්‍රතිපත්තියක් වේ.

කප්පාදුවේ තරම හා ස්වභාවය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) ඩොලර් බිලියන 2.9ක ඇප නය ලබාගැනීමේ සිව් අවුරුදු කප්පාදු ඇතුලු නය ස්ථායීකරනය හා ආර්ථික ප්‍රතිව්‍යුහගතකරන වැඩසටහනේ කොටසක් ලෙස විදෙස් නය හිමියන් සමග එලඹෙන ගනුදෙනුවේ දී ආන්ඩුවේ දේශීය නය ප්‍රතිව්‍යුහගත කිරීම නොවැලැක්විය හැකි කොන්දේසියක් ලෙස ආන්ඩුව ක්‍රියාවට දමා ඇත. මෙම ක්‍රියාදාමය සම්බන්ධ අයිඑම්එෆ් මීලඟ ඇගයීම සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබේ. ආන්ඩුව එයට සූදානම් වෙමින් සිටී.

පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවියට අනුව විශ්‍රාම වැටුප් (superannuation) අරමුදල් ආන්ඩුවේ සමස්ථ දේශීය නය ප්‍රමානයෙන් දරන්නේ 43%ක් පමනකි. සෙසු 57%ක ප්‍රමානය බැංකු, රක්ෂන ආයතන හා වෙනත් පාර්ශව විසින් දරනු ලබයි. මෙම සැලැස්ම යටතේ ඊපීඑෆ් හා ඊටීඑෆ් බැඳුම්කර වල කල් පිරෙන කාලය 2038 දක්වා දීර්ඝ කෙරෙනු ලැබෙන අතර කල් පිරෙන තෙක් ගෙවන පොලී අනුපාතය 2025 සිට 9% ක, එනම්, සෙසු බැඳුම්කර වලට සාපේක්ෂව ඉතා පහල හා ස්ථාවර අගයක, රඳවා ගැනීමට නියමිතය. එම කාලය තුල ඊපීඑෆ් අරමුදලට, එනම් අරමුදලේ සාමාජික කම්කරුවන්ට, සිදුවන අතිමහත් අලාභය රුපියල් බිලියන 12000ක් පමන වනු ඇති බව ගනන් බලා තිබේ. 

බැංකු ගලවා ගැනීම

දල දේශීය නිෂ්පාදිතයෙන් (ජීඩීපී) 64.6%ක් හෙවත් ඩොලර් බිලියන 42ක් වන භාන්ඩාගාරයේ දේශීය නය ප්‍රමානය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක ඉතුරුම් ගිනුම් පමනක් දංගෙඩියට යැවීමේ පාලක පන්තියේ තීන්දුව සම්බන්ධයෙන් මූල්‍ය කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවට කීවේ, “2023 වන විට දල දේශීය නිෂ්පාදිතයෙන් (ජීඩීපී) දැනට පවතින 128%ක නය ප්‍රමානය දල දේශීය නිෂ්පාදිතයෙන් 95% දක්වා අඩු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම මගින් නියම කර ඇති ඉලක්කය සපුරාලීමට මෙම නය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය” බවයි.

අපි මෙය කරන්නේ බැංකු, තැන්පත්කරුවන් සහ විශ්‍රාම වැටුප් ආරක්ෂා කරමින්,” යනුවෙන් සේමසිංහ කියන විට විශ්‍රාම වැටුප් ආරක්ෂා කිරීම සමිබන්ධව ඔහු බොරු කියයි. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ම මෙම බොරුව ජනගත කිරීම සඳහා විශාල වෙහෙසක් ගත්තේය. සත්‍යය නම්, ජුලි අග වීරසිංහ කැබිනට්ටුවට පැහැදිලි කිරීමේදී ම කියා ඇති පරිදි, සියල්ල කරනු ලැබ ඇත්තේ අර්බුදය මධ්‍යයේම දැවැන්ත ලාභ ගැරූ බැංකු හා මූල්‍ය සමාගම් ආරක්ෂා කිරීමට ය යන්නය.  

මාලදිවයින, නේපාලය හා ශ්‍රී ලංකාව සම්බන්ධ ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ෆරිස් හඩාඩ් සර්වොස් ජුලි 18 කොලඹ පැවති මාධ්‍යවේදීන් හමුවේ කරන ලද දේශනයකින් පසුව මෙම ලියුම්කරු ඔහුගෙන් මෙසේ විචාලේය: “ආන්ඩුවේ සමස්ථ දේශීය නය ප්‍රතිශතයෙන් වැඩි කොටසක් බැංකු හා මූල්‍ය ආයතන සතුව පවතිද්දී සේවක ඉතුරුම් අරමුදල් වලට පමනක් අලාභ වන පරිදි නය ප්‍රතිව්‍යුහගත කිරීම ඔබ දකින්නේ කෙසේ ද?” ඔහුගේ පිලිතුර සේමසිංහ හා වීරසිංහ උච්චාරනය කරන භාෂාවේ නිරුක්තිය සනිටුහන් කලේය: “ඒක ආන්ඩුව හා නයකරුවන් අතර තීන්දුවක්. කුමක් උවත් වැදගත් වන්නේ බැංකු පද්ධතිය බේරා ගැනීම යි.” 

සූරාකෑමේ න්‍යායපත්‍රයක් 

කම්කරුවාගේ අවසාන ඉතුරුම් ද ඇපයට තබමින් බැංකු හා මූල්‍ය සමාගම් පද්ධතිය ආරක්ෂා කරන වික්‍රමසිංහගේ ආන්ඩුව, වැඩකරන මහජනතාව වෙත හෙන පිට හෙන පාත් කිරීම සඳහා, දැනටමත් ඉදිරිපත් කර ඇති නව ලිබරල් න්‍යාය පත්‍රය ක්‍රියාවට දැමීමට අර්බුදය යහමින් ගසා කමින් සිටී. 

පොලිස් හා මිලිටරි යාන්ත්‍රනය ද මෘග ලෙස යොදා ගනිමින්, වික්‍රමසිංහ තම වැඩපිලිවෙල නොසඟවා ඉදිරිපත් කර විටින් විට අවධාරනය කර ඇත්තේ රාජ්‍ය ව්‍යවසායයන් පුද්ගලීකරනය හා වානිජකරනයට ලක් කරමින්, කම්කරු නීති ලිහිල් කරමින් සූරාකෑමේ කොන්දේසි ශක්තිමත් කරන බවට දේශීය හා විදේශීය ධනපති ආයෝජකයන්ට දී ඇති තම සහතිකය ස්ථාවර කිරීමටයි.   

ගිය බදාදා (16), කොලඹ තේ වෙලඳුන්ගේ 129 වන වාර්ෂික සමුලුවේදී, ලංකාවේ පුමුඛ ම ධනපති සූරාකන්නන් කොටසක් ඉදිරියේ වික්‍රමසිංහ කල ප්‍රකාශය පාලක පන්තියට දුන් නිශ්චිත පොරොන්දුවකි. ඔහු මෙසේ කීවේය:

“අද අපට ආර්ථික වශයෙන් සහ නියාමන වශයෙන් රජය විසින් ආධිපත්‍යය දරන ආර්ථිකයක් පවත්වාගෙන යා නොහැකියි.  නියාමනය ඉවත් කර පුද්ගලික ව්‍යවසාය [ආර්ථිකය] භාර ගත යුතුය.  ඒක තමයි අපි ඉලක්ක කරන්නේ.”

ජවිපෙ පන්ති අරගලයට ඇබ ගසයි

ප්‍රධාන විපක්ෂය වන  දක්ෂිනාංශික සමගි ජන බලවේගය (සජබ) සේම අයිඑම්එෆ් කප්පාදු පිලිවෙත ආරක්ෂා කර ඇති ජනතා විමුත්කි පෙරමුන (ජවිපෙ) ප්‍රමුඛ ජාතික ජන බල වේගය (එන්පීපී) ද  පාර්ලිමේන්තුවේදී දේනප්‍ර සැලැස්මට විරුද්ධව ජන්දය දීම ප්‍රෝඩාවකි. ආන්ඩුව, මහ බැංකු අධිපති හා අධිකරනය සේම ධනපති මූල්‍ය හා බැංකු පද්ධතිය කඩා නොවැටීම තහවරු කිරීමට මෙම පක්ෂ බැඳී සිටී. 

ධනපති ලිබරල් පාර්ලිමේන්තුවාදය ආරක්ෂා කිරීමට ලංකාවේ හා විදේශ ආයෝජකයන්ට හා වෙලඳ සංගම්වලට අයත් පාලක ප්‍රභූවට ශපත කර ඇති ජවිපෙ, අධිකරනය තුල “යුක්තිය” පිලිබඳ ව්‍යාජයන් උත්කර්ෂයට නංවමින්, කම්කරු මහජනතාවගේ ඉතුරුම්වල ඝාතකයන්ට එරෙහිව බංකොලොත් නාටක රඟ දැක්වූයේ කම්කරුවන්ගේ දැවෙන ප්‍රතිරෝධය අවසාන වශයෙන්  භූමදානය කිරීමට උත්සාහ ගනිමිනි. ජවිපෙට අයත් හා සෙසු වෘත්තීය සමිති සුපුරුදු ලෙස ව්‍යාජ සාකච්ජා හා විරෝධතා උද්ඝෝෂන මගින් කම්කරුවන්ගේ වැඩෙන අරගල දේශපාලනික සටනක් දක්වා වර්ධනය වීම සිරගතකර තැබීමේ ක්‍රියාන්විතයක නිරතව සිටී.

විශ්‍රාම වැටුප රැකගන්නේ කෙසේද? 

ප්‍රංශය, බ්‍රිතාන්‍යය ඇතුලු ප්‍රධාන ධනපති රටවල සිට ලංකාව වැනි රටවල් දක්වා පවතින ආන්ඩුවල මෙම සමාජ ප්‍රතිවිප්ලවවාදී ප්‍රතිපත්ති මගින් සෑම රටකම කම්කරු පන්තිය තල්ලු කරමින් පවතින්නේ, තම අතට දේශපාලන බලය ලබා ගැනීම සඳහා සටන් කිරීම හැර විදෙස් නය අවලංගු කොට, කප්පාදුව, පුද්ගලීකරනය හා යුද්ධය නතර කිරීමේ අන් මාවතක් නැති බව වටහා ගැනීම කරා ය. 

අධික බදු, බඩු මිල හා සේවා ගාස්තු මගින් මිරිකනු ලැබ ඇති වැඩකරන මහජනතාවගේ විශ්‍රාම වැටුප ආරක්ෂා කර ගැනීමේ අරගලය, එකී බලය සෑම කර්මාන්ත ශාලාවකම, වැඩපොලකම, සේවා ස්ථානයකම ද්වි-බලයක් ලෙස ගොඩනැගීම මගින් පෙරට ගත යුත්තේය. ඒ සඳහා වෘත්තිය සමිති-ආන්ඩුව-සමාගම් යන තුන් කට්ටුවට එරෙහිව ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතුය. එම කමිටුවල ජාතික සංධානයක් මගින් මහා වැඩවර්ජනයක් සූදානම් කිරීම තීරනාත්මක දේශපාලන පියවරක් වන්නේය.

වික්‍රමසිංහ ආන්ඩුව ප්‍රමුඛ සංස්ථාපිතය කම්කරුවාට එරෙහි අශුද්ධ සංධානයක Read More »

ROTSKYTrOTSKYTSTROTAKY

ලියොන් ට්‍රොට්ස්කි සමරු උලෙල හෙට (20) ප්‍රින්කිපෝහි දී: එය නරඹන්න

theSocialist.LK කර්තෘ මන්ඩලය විසිනි.

මෙම ලිපිය 2023 ජූලි 13 දින ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (wsws.org) ඉංග්‍රීසි භාෂාවෙන් පල වූ ලිපියක් ඇසුරෙන් සකස් කර ඇත.  

ROTSKYTrOTSKYTSTROTAKY
ලියොන් ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝහි සිය ලියන මේසය අසල

2023 අගෝස්තු 20 වන ඉරු දින – එනම්, හෙට දිනයේ – ඉස්තාන්බුල් වෙරලට ඔබ්බේ මාර්මරා මුහුදේ පිහිටි දිවයිනක් වන ප්‍රින්කිපෝ හි දී විශේෂ සමරු උත්සවයක් පැවැත්වේ. ලෝක ඉතිහාසයේ වැදගත් ස්ථානයක් උසුලන සිව් වසරක්; එනම්, ට්‍රොට්ස්කි තුර්කියේ ගෙවූ සිව්-වස් පිටුවාහල් දිවිය; කෙරේ ගෞරවය පිදෙන මෙම උත්සවය හෙට දින එහිදී පැවැත්වීමට නියමිතය. ස්ටැලින්වාදී තන්ත්‍රය විසින් සෝවියට් සංගමයෙන් පිටුවාහල් කරනු ලැබීමෙන් පසුව ට්‍රොට්ස්කි රැකවරනය ලැබූයේ තුර්කියේ ප්‍රින්කිපෝ දූපතෙහි ය.

“ලෝක ඉතිහාසයේ කේන්ද්‍රස්ථානයේ පිහිටි දූපතක්: ලියොන් ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝහි ගෙවූ දිවිය” ලෙස නම් කොට ඇති මෙම සමරු රැලියේ ප්‍රධාන කථිකයන් වනු ඇත්තේ, ලෝක සමාජවාදී වෙබ් අඩවියෙහි ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත්; තුර්කියේ Sosyalist Eşitlik Grubu [සමාජවාදී සමානතා කණ්ඩායම] හි ප්‍රමුඛ සාමාජිකයෙකු වන උලාෂ් අටෙෂ්චි සහ; ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය පිලිබඳ ව සවිස්තර ලෙස ලියා ඇති ලෝසවෙඅ කර්තෘ මන්ඩල සාමාජික එරික් ලන්ඩන් යන අයයි. තුර්කියේ ඉතිහාස පදනමෙහි සභාපති මහාචාර්ය මෙහ්මට් ඕ. අල්ඛන් සැමරුම් උත්සවය මෙහෙයවයි.

මෙම සමරුව පැවැත්වෙන්නේ නගාරාධිපති අර්ඩම් ගුල්ගේ නායකත්වයෙන් යුත් ප්‍රින්කිපෝ (අඩලර්) නගර සභාවේ අනුග්‍රහයෙනි. නගරාධිපති ගුල්, 2019 දී එම ධුරයට තේරී පත්වීමට පූර්වයෙන් සප්‍රතිපත්තික මාධ්‍යවේදියෙකු ලෙස කීර්තියක් ඉසිලූවෙකි.  2015 නොවැම්බරයේ දී චුම්හුරියත් දිනපතා පුවත්පතේ අන්කාරා නියෝජිතයා වශයෙන් “මිට් ට්‍රක්” [“MIT Trucks”] ලෙස හැඳින්වූ සිද්ධිය පිලිබඳ ව වාර්තා කිරීම නිසා එම පුවත්පතේ ප්‍රධාන කර්තෘ කැන් ඩුන්දාෂ් ද සමඟින් අත්අඩංගුවට ගනු ලැබ, ඔවුන් දෙදෙනා තුන් මසක් සිරගත කර තබන ලදී. මීට අදාල කථා ප්‍රවෘත්තිය වූයේ, සිරියාවේ සටන් වැදී සිටි ඉස්ලාම් ජිහාඩ්වාදී හමුදාවන්ට ලබා දීම සඳහා වූ ඒවා යයි සිතනු ලබන ආයුධ 2014 ජනවාරියේ දක්ෂින තුර්කියේ හටායි සහ අඩානා යන පලාත්වල දී නවත්වනු ලැබූ තුර්කි ජාතික රහස් තොරතුරු සංවිධානය (MIT) ට අයත් ට්‍රක් රථවල තිබී හමුවීමයි.

මෙම රැස්වීම 1933 ජූලියේ ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝවෙන් පිටත් වී යාමේ 90 වන සංවත්සරය සමඟ සමපාත වෙයි. එය පැවැත්වෙන දිනය යෙදී ඇත්තේ හරියට ම 1940 අගෝස්තුවේ සිදු වූ ඔහුගේ ඝාතනයේ 83 වන සංවත්සරයේ දිනයට ය.   

පුරා අඩ සියවසකට ම ආසන්න කාලයක් ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ නායක  කාර්යභාරයක් ඉටු කරමින් සිටින ඩේවිඩ් නෝර්ත්, සමරු උත්සවයේ ඓතිහාසික වැදගත්කම පිලිබඳ ව අවධාරනය කරමින් ලෝසවෙඅ වෙත මෙසේ පවසා ඇත:

ලියොන් ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝවේ ගෙවූ සිව් වසර හුදු ඔහුගේ ජීවිතයේ පමනක් නොව, විසිවන සියවසේ ඉතිහාසය තුල ද වඩාත්ම සංවිපාකී වර්ෂ අතර ලා ගිනිය හැක. ඔහු තුර්කියට සම්ප්‍රාප්ත වූයේ 1930 ගනන්වල දේශපාලන සංක්ෂෝභයන් වේගයෙන් පැතිර යාමට මඟ පෑදූ ලෝක ආර්ථික අර්බුදය ඇවිල යාමට මාස කිහිපයකට ඉහත 1929 පෙබරවාරියේ ය. ට්‍රොට්ස්කි තුර්කියෙන් නික්ම ගියේ කම්කරු පන්තිය කවරදාක හෝ අත් විඳි වඩාත්ම බැරෑරුම් පරාජය වූ හිට්ලර් ජර්මනියේ බලයට නැංවී ගැනීමෙන් මාස ගනනාවකට පසුව ය.    

යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ ප්‍රධාන දේශපාලන කේන්ද්‍රස්ථානවලින් ප්‍රින්කිපෝව හුදෙකලා වී තිබීම නොතකා, එම කාල පරිච්ඡේදයේ ප්‍රමුඛ සිද්ධීන් පිලිබඳ ට්‍රොට්ස්කිගේ දේශපාලන විශ්ලේෂන අසමසම ඒවා විය. හිට්ලර්ගේ නාසි ව්‍යාපාරයේ වර්ධනය විසින් මතු කරන ලද අන්තරායය පිලිබඳව ඒ සා පැහැදිලිව වටහා ගත්, හෝ ඒ සා ලාලසාවකින් ඒ පිලිබඳ ලියූ අනෙකෙකු නොවීය. ඉදින් ජර්මන් කම්කරු පන්තියේ බහුජන පක්ෂ ඔහුගේ අනතුරු හැඟවීම් කෙරේ සාවධානය දැක්වී නම්, 2 වන ලෝක යුද්ධයේ දැවැන්ත විනාශයෙන් ලෝකය ගලවා ගත හැකි වන්නට තිබින.   

නොර්ත් අවධානය කරන පරිදි, තත්කාලීන දේශපාලන හා සමාජ සිදුවීම් පිලිබඳව බොහෝ කෘතීන් රචනා කරන අතරතුර ම, ට්‍රොට්ස්කි මෙම කාලයේ සෙසු වැදගත් කෘතීන් ද ලිවීමට සමත් වූයේය.

දෛනික සිදුවීම් සමඟ තීව්‍ර ලෙස පොර බදමින් ම වුව, ට්‍රොට්ස්කි සිය ජීවිත කථාව වූ මගේ දිවිය (My Life) සහ රුසියානු විප්ලවයේ ඉතිහාසය (History of the Russian Revolution) යන කෘතීන් රචනා කලේය. මෙම කෘතීන් දෙකම 20 වන සියවසේ සාහිත්‍යයේ අග්‍රකෘතීන් ලෙස පිලි ගැනේ.

එහෙත් ප්‍රින්කිපෝ දිවයිනේ වාසය කල සමයේ ට්‍රොට්ස්කිගේ කටයුතුවලින් වඩාත්ම වැදගත් කටයුත්ත සිදු කෙරුනේ ඔහු ඉන් නික්ම ඒමට ඉතා ආසන්නයේ දී ය. 1933 ජූලියේ ට්‍රොට්ස්කි හතරවැනි ජාත්‍යන්තරය ගොඩනැඟීම සඳහා වූ සිය කැඳවුම නිකුත් කලේය. ස්ටැලින්වාදයේ පාවාදීම් විසින් අවුලුවන ලද්දා වූ එම ක්‍රියාව විසින් ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයේ අඛන්ඩත්වය තහවුරු කෙරින.

නගරාධිපති ගුල් සහ ප්‍රින්කිපෝ නගර සභාව මෙම සමරුවට සත්කාරකත්වය සැපයීමට ගත් තීරනය බැරෑරුම් එකකි. නෝර්ත්ගේ වචනවලින් කිවහොත්: 

“මෙම සමරු උත්සවයට සත්කාරකත්වය සැපයීමට ගන්නා ලද තීරනය, ඉතිහාසය කෙරේ, හා ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝවේ ගත කල තීරනාත්මක සිව් වසර තුල ඉටු කරන ලද විශිෂ්ඨ සහ කල් පවත්නා වැදගත්කමකින් යුත් කර්තව්‍යයන් පිලිබඳව වටහා ගැනීම කෙරේ දැක්වෙන බැරෑරුම් ආකල්පයක් පිලිබිඹු කරයි. 1929 හා 1933 අතර එය සත්‍ය වශයෙන්ම ලෝක ඉතිහාසයේ කේන්ද්‍රයෙහි පිහිටි දූපතක් ව තිබින. මෙය ප්‍රින්කිපෝවේ සදා සම්භාවනාවට හේතුකාරක වනු ඇති, ප්‍රින්කිපෝ ඉතිහාසයේ විභූතිමත් පරිච්ඡේදයක් ලෙස සනිටුහන් වනු ඇත.”

ට්‍රොට්ස්කිවාදී ප්‍රකාශන තුර්කි බසින් පලකරන මෙරිං යැයින්ජිලික් ආයතනයේ සංස්කාරක උලාෂ් අටෙෂ්චි ලෝසවෙඅ අමතා ප්‍රකාශ කලේ, “සෝවියට් සංගමයෙන් පිටුවාහල් කිරීමෙන් පසු ගත වූ මුල් වසරවල දී මෙම ශ්‍රේෂ්ඨ මාක්ස්වාදී විප්ලවවාදියාට සත්කාරකත්වය පිරිනැමීමේ වරප්‍රසාදය ලත් ප්‍රින්කිපෝහි පැවැත්වෙන මෙම අනුස්මරන උත්සවය, ජාත්‍යන්තර හා ඓතිහාසික වැදගත් කමකින් යුතු වූවක්” බවයි. “වසර 83 කට ඉහත දී අධිරාජ්‍යවාදී බලවතුන්ගේ හා ස්ටැලින්වාදී නිලධරයේ පරම සතුරෙකු ලෙස ඝාතනයට ලක් වූ ට්‍රොට්ස්කිගේ අදහස්, අර්බුදවලින් සසැලී ගිය හා ලෝක ගෝලීය යුද්ධයක් දිශාවට වේගයෙන් ඇදී යන ලෝකයක වඩවඩාත් වැඩි වැදගත්කමක් අත්පත් කර ගනිමින් පවතී.”         

මහාචාර්ය අල්කන් මෙම සැමරුම මෙහෙයවීම අටෙෂ්චිගේ සාදර පිලිගැනීමට පාත්‍ර වී ඇත. “ශාස්ත්‍රඥයෙකු ලෙස මහාචාර්ය අල්කන් සතුව, දීර්ඝ හා අග්‍රගන්‍ය අභිවෘත්තියක වාර්තාවක් පවතී. වර්තමානයේ ඉස්තාන්බුල් සරසවියෙහි දේශපාලන ඉතිහාසය පිලිබඳ අංශාධිපති වන ඔහු විසින් පල කෙරී ඇති ලිපි සංඛ්‍යාව 300 ක් ඉක්මවා යන අතර, ඔහු ග්‍රන්ථ 20 කට වැඩි සංඛ්‍යාවක් ලියා හෝ සංස්කරනය කොට ඇත. මෙම කෘතීන් අතර, ‘ටන්(z)සිමට් යුගයේ සිට වර්තමානය දක්වා (1839-2014) තුර්කි කම්කරු පන්තියේ ඉතිහාසය’; ‘දාස් කැපිටාල් පල කිරීමේ වසර 150 සංවත්සරය’; ‘1917: රුසියානු විප්ලවය’ සහ ‘ජනරජය: සියවසක පරිනාමය’ යන ග්‍රන්ථ පවතී.  

ප්‍රින්කිපෝහි ට්‍රොට්ස්කි විසූ මන්දිර අතරින් එකක් තවමත් පවතින නමුදු, එය පවතින්නේ අතිශයින් ජරාවාස වූ තත්ත්වයක ය. මෙම රැස්වීම පැවැත්වීම එහි පූර්න පුනස්ථානයට මඟ හෙලිපෙහෙලි කරනු ඇතැයි යන අපේක්ෂාව නෝර්ත් විසින් පල කෙරී ඇත. “ට්‍රොට්ස්කි ජීවත් වූ නිවෙස ප්‍රධාන ඓතිහාසික ස්ථානයකි,”යි නෝර්ත් ලෝසවෙඅ අමතා පැවසීය. එය එහි පෙර පැවැති තත්ත්වයට ප්‍රතිෂ්ඨාපනය කල යුතු අතර, ඔහුගේ කෘතීන් තවමත් වර්තමාන ලෝක සමාජවාදී ව්‍යාපාරයේ පදනම ලෙස පවතින්නා වූ, 20 වන සියවසේ අනුස්මරනීය පුද්ගල චරිතයක ජීවිතය පිලිබඳ අධ්‍යයනය කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස සේවය සැලසීමට එය පවත්වා ගෙන යා යුතුය.”  

විසිවන සියවසේ ද, අද දිනය දක්වා ම ද ඉතිහාසය කෙරේ අතිශය බලගතු බලපෑමක් සිදු කල හා සිදු කරමින් සිටින කේන්ද්‍රීය චරිතයක් වන ලියොන් ට්‍රොට්ස්කිගේ ජීවිතයේ අතිශය තීරනාත්මක කාල පරිච්ඡේදයක් අලලා පැවැත්වෙන මෙම සමරුව රාජ්‍ය දේශසීමා හා ජාතික සීමා ඉක්මවා යන වැදගත්කමකින් යුතු එකක් වෙයි. ජාතික මට්ටමේ විසඳා ගත නොහැකි අර්බුදයක් සමඟ මුහුනට මුහුන පා පොර බදිමින් සිටින කම්කරු පන්තියට තීරනාත්මක පාඩම් ගෙන එමින්, ජාත්‍යන්තර ඉදිරි දර්ශනයක් වර්ධනය කිරීම සඳහා ට්‍රොට්ස්කි යෙදීගත් බරපතල අරගලයක සිව් වසරක් සැමරීමේ මේ අවස්ථාව සියලු කම්කරුවන්ට ද, පීඩිතයන්ට ද, තරුන තරුනියන්ට ද මග නොහැරිය හැකි එකකැයි අපි විශ්වාස කරමු. 

හෙට (20) දිනයේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව. 7.30 ට ඇරඹෙන මෙම ප්‍රසිද්ධ සමරු උත්සවය ජාත්‍යන්තර ප්‍රේක්ෂාගාරයකට නැරඹීමට හැකි වන පරිදි සජීවී ලෙස අන්තර්ජාලයේ trotsky.com ඔස්සේ විකාශනය කෙරේ. මෙම රැස්වීමට සහභාගී වන මෙන් ද, https://www.wsws.org/en/special/pages/leon-trotsky-commemoration-prinkipo.html සබැඳිය ඔස්සේ ඒ සඳහා ලියාපදිංචි වන මෙන් ද අපි theSocialist.LK සියලු පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.  

ලියොන් ට්‍රොට්ස්කි සමරු උලෙල හෙට (20) ප්‍රින්කිපෝහි දී: එය නරඹන්න Read More »

ධීවර ජනයා වෙලාගත් ආර්ථික සමාජ ගැටලු තව තවත් ඔද්දල් වෙයි

පී.ජී. පුන්‍යවර්ධන විසිනි 

ධීවර කම්කරුවා, සුලු පන්නකරුවා සහ සුලු හා මධ්‍යම පරිමාන ව්‍යාපාරිකයා දක්වා ධීවර කර්මාන්තයේ නියැලි ලක්ෂ ගනනක් පැවැත්ම පිලිබද ගැඹුරු වන අවිනිශ්චිත තත්වයකට මුහුන දී සිටිති. උපකරන හා ඉන්ධන මිල උද්ධමනය, තරගකාරිත්වය, කිසිදා නො පියවෙන නය අර්බුදය යනාදියෙන් වෙලාගෙන සිටින ධීවර ජනයා තවමත් ජීවත් වන්නේ වැඩවසම් බැමිවලින් මුලුමනින් අත් මිදී ගත නො හැකි තත්වයක ය.    

පසු ගිය දා හලාවත ප්‍රදේශයේ ධීවරයන් අතර කල මැදිහත් වීමක දී අප ලද තොරතුරුවලින් නියෝජනය වන්නේ ශ්‍රී ලංකා ධීවර ප්‍රජාවගේ ජීවන කොන්දේසි හා ජීවන තත්වයන් පිලිබඳ හරස්කඩකැයි අපට හැඟේ.     

Image Not Found
තොඩුවාව ධීවරයෝ

එහි දී, අපට මුන ගැසුනු, බහු දින යාත්‍රා හිමිකරුවකු වන නාලක කර්මාන්තය තුල තමන් මුහුන දී සිටින තත්වය මෙසේ ගෙන හැර පෑවේ ය. ඔහු පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත, තොඩුවාව ධීවර ග්‍රාමයේ වසන, දෙමාපිය උරුමයෙන් ධීවරයෙකු වූ අයෙකු වෙයි. විවාහයෙන් පසු ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා 2003 වර්ෂයේ ඉතාලියේ රැකියාවක් සඳහා පිටත්ව යන ඔහු, වසර දෙකක් ගිය පසු තම බිරිඳ ද කම්කරුවකු ලෙස ඉතාලිය වෙත ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත. බිරිඳත් සමග තවත් වසර 13ක් එහි සේවය කර පෙරලා දිවයිනට පැමිනියේ ය.

බහු දින යාත්‍රාවක් යොදාගෙන කර්මාන්තයේ යෙදීම සඳහා ඔහු 2017 වසරේ දී, (ඉතාලියෙන් ආපසු පිටත් වීමට පෙර ම) ලංකා බැංකුවෙන් රුපියල් කෝටියක්, සියයට හතක වාර්ෂික පොලියට, මාසිකව 150,000ක වාරික වශයෙන් අඛන්ඩව වසර 7ක් තුල ගෙවා නිම කිරීමේ කොන්දේසි මත ලබා ගන්නා ලදී. ඒ අනුව 2018 දී බහු දින යාත්‍රාවක් දියත් කල තමන්ට, දැන් සිය දූ දරුවන් ඥාති මිත්‍රාදීන් සමග යහපත් ජීවිතයක් ගත කල හැකි යයි කල්පනා කල බව නාලක අපට කීවේ ය.

2018 සහ 2019 වසර දෙකේ මුහුදු ගමන් 15ක් මගින් ඉහල ආදායමක් ලැබීමේ හැකියාව විසින් ඔහු දිරිමත් කරන ලදී. එහෙත් 2019 අවසානය වන විට කොවිඩ් ව්‍යාප්තිය ධීවර කර්මාන්තය ද වෙලා ගත්තේ ය. මේ වන විට ඔහු අඩි 50ක තවත් බහු දින ධීවර යාත්‍රාවක් සදහා මුදල් වැය කර තිබිනි.  

ඒ සඳහා සිය බිරිඳගේ ලංකා බැංකු ගිණුමෙන් වාර්ෂිකව සියයට 13 පොලියට තවත්  රුපියල් කෝටියක ණය මුදලක් ලබා ගත්තේ ය. කොවිඩ් වසංගතයත් සමග මාලු අලෙවියේ ඇද වැටීමට සියලු ධීවරයෝ මුහුන පෑහ. ලක්ෂ 30-40 අතර මුදලක් යාත්‍රාව දියත් කිරීම සදහා වැය කලත් ඒ මුදලවත් උපයා ගැනීමට අවස්ථාවක් නො වූ වාර ගනන වැඩි විය. මාලු හිගයකට ද මුහුන දීම නිසා තව දුරටත් තත්වය නරක අතට හැරුනි. පොදුවේ ගත් කල 2019-20 කාලයේ මත්ස්‍ය නිශ්පාදනය 20% කින් පහත වැටුනු බව වාර්තා වී ඇත.

2022 තෙල්, ගෑස්, විදුලිය ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සම්පාදනය ඇන හිටුවීමට හෝ සීමා කිරීමට ආන්ඩුව තල්ලු වීමත්, ඒවායේ මිල ගනන්-විශේෂයෙන් ඉන්ධන මිල – තුන් ගුනයකින් ඉහල දැමීමත් ඊට සාපේක්ෂව මාලු මිලෙහි පැවති පහල අගයත් යන මේවා විසින් ධීවරයාගේ අනාගත සිහින ක්ෂ්මා විරහිත ලෙස සුන් කර දැමුනේ ය. ගෙවී ගිය මාස 5ට ම ‍යාත්‍රව දියත් කලේ දෙවරක් පමනක් බව නාලක කීය. ඒ වන විටත් ධනපති මූල්‍ය ආයතන, ධීවර කර්මාන්තයේ උපකරන සපයන සමාගම් හා අපනයන සමාගම් ඔහුගේ උත්සාහයේ සාරය උරාගෙන අවසානය. තමන් අල්ලන ටූනා මත්ස්‍යයන් මිල දී ගන්නා අපනයකරු වන ජාඇල ජෝන් සී ෆුඩ් සමාගම ඒකාධිකාරයක් වීම නිසා මසුන් වැඩි ප්‍රමානයක් අල්ලා ගත් විට මිල පහල දැමීමට එම සමාගමට ඇති බලය තමන් අසහනයට පත් කරන බව ධීවරයෝ පැවසූහ.   

දැන් නම් තවත් ලංකාවේ අපේ ව්‍යාපාර කරගෙන දරුවන්ට උගන්වන්න, වෙනත් කිසි දෙයක් කරගන්න බැහැ.” ඒ නිසා බිරිඳ හා දරුවන් සමඟ යලි ඉතාලිය බලා පිටත්වීම හැර කල හැකි දෙයක් නැතැයි නාලක කීවේය. 

තොඩුවාව පාලම අසල පදිංචි ධීවරයකු වන රෝහන, සිය සහෝදරයා සමග එන්ජින් බෝට්ටුවක් භාවිතයෙන් මසුන් ඇල්ලීම ජිවිකාව කර ගත්තෙකි. ඒ සඳහා දිනකට පෙට්‍රල්, ඔයිල් සහ බූමි තෙල් සදහා රුපියල් 7,100ක් වැය වන අතර ගිය වසරේ එම වියදම පැවතියේ රුපියල් 2000ක් ලෙස බව පෙන්වා දෙමින් ඔහු කීවේ, මෙසේය: 

අපි ගැන බලන්නෙ නැහැ මේ ආන්ඩු. අපි පාවිචි කරන දැල් පීස් එකක් දැනට අවුරුදු දෙකකට වගේ කලින් රුපියල් 18,000 තිබුනා. දැන් ඒ්කම රුපියල් 30,000ක් පමණ වෙනවා. දැල් කූට්ටමක් සම්පූර්ණ අලුතෙන් හදනවනම් රුපියල් ලක්ෂ හයක් පමණ යනවා. අපේ පාඩුවේ රස්සාව කරන් ජීවත් වෙන්න දැල් ආම්පන්න, එන්ජින් සහ අමතර කොටස්, භූමි තෙල් මිල අඩුකරල දෙනව නම් අනෙකුත් බඩු මුට්ටු මිල අඩු වෙනවා නම්, අපි අල්ලන මාළු වලට සාධාරන ස්ථාවර මිලක් ලැබෙනව නම් මේ කර්මාන්තය කරන්න පුළුවන්.” 

සිය එකම පුතා ධීවරයකු නො විය යුතු යයි තමන් සිතන බව ඔහු පැවසී ය. 

රෝගුස් නැමැති අත්දැකීම් බහුල ධීවරයා හා තවත් ධීවරයෝ දෙදෙනෙක් අප සමග කතාබහට එක් වූයේ මෙසේය:

මේ සතියේ දින තුනක් මං තවත් දරුපවුල් කාරයෙක් එක්ක මූදට ගිහින්, පලවැනි දවසේ හුරුල්ලන් කිලෝ එකයි. දෙවෙනි දවසෙ කිලෝ දෙකයි. තුන්වැනි දවසෙ කිලෝ එකක්වත් අහු උනේ නැහැ.

“අපිට අර පසුගිය අවුරුද්දේ මූදට යන්න තහනම් කලේ නැවක් පමුණුගමට ඉස්සරහ මූදේ ගිලිලා පරිසර හානියට ලක් වෙනවා කියලා. අන්න ඒ තහනමට වන්දි ලැබුනෙ භූමි තෙල් ලීටර් 150ක කූපන් එකක්. ඒකෙන් ලීටර් හැත්තෑ පහක් තමයි ඔය දවස් තුනේ පාවිච්චි කලේ. අපේ අක්කා කීවා මල්ලි බොරු වැඩ කරන්නේ නැතිව මාලු අහුවෙන දවස් එනකම් ඉන්න කියා.” 

සත්‍යය නම් එසේ බලා හෝ නො බලා සිටීම යන කුමන හෝ පියවරක් ධීවරයන් තමන්ගේ පීඩාවෙන් මුදා හරින්නේ නැති බව ය.  

42 වියැති තිදරු පියෙක් හා ධීවර කම්කරුවකු වන නිරෝෂන් ද අප හා දොඩමලු විය. ඔහුගේ බිරිඳ ගර්භාෂයේ පිලිකාවක් වැළඳී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටී. නමුත්, ඇය දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සදහා වෙනත් ගෙදරක කුලී වැඩ කරයි. 

Discussion
නිරෝෂන් ද-සෝෂලිස්ට් වාර්තාකරුවන් සමග කතා කරමින්

ඔහු බහුදින ධීවර යාත්‍රාවක ධීවර කම්කරුවකු වශයෙන් රැකියාව ආරම්භ කර ඇත්තේ වයස 17 දී ය. 25 වසරක් මහ මුහුද සමග පොර බැදීමෙන් ඔහුට ජීවිතය සඳහා ඉතිරි වූ දෙයක් නැති බව මෙයින් පෙනේ.

අප ධීවරයාගේ වැඩි මහල් පුත්‍රයා සාමාන්‍ය පෙල අවසන් වූ වහාම, එනම් පසු ගිය නොවැම්බර් මාසයේ, බහු දින යාත්‍රාවක කම්කරුවෙකු ලෙස සේවය ආරම්භ කලේ, සිය සොහොයුරන් දෙදෙනාට අධ්‍යාපනය ලබා දීමට ය. ගෙවී ගිය මාස හතටම ඔහුට යා හැකි වූයේ එක මුහුදු ගමන් වාරයක් පමනි. ඔහුගේ දෙවන පුතාට තොඩුවාව ගමේ පාසැලේ දැක් වූ ක්‍රීඩා හැකියාවන් නිසා මීගමුවේ ප්‍රසිද්ධ පාසැලකට ඇතුලු වීමේ අවස්ථාව ලැබුනි. “බස්ගාස්තු තුන්ගුනයක් වැඩි වෙලා, යන්න එන්න, කෑම කන්න, රුපියල් දාහක් දෙන්න ඕන දවසකට. මගේ ධීවර ජීවිතේ දී මම යන්තම් ගෙයක් හදා ගත්ත විතරයි,” ඔහු කීවේ ය. 

මේසා පරිමානයෙන් ධීවර ජීවිතවල අවිනිශ්චිත බව නැඟෙන්නේ, වර්තමාන ධීවර කාර්මිකයාට අවශ්‍ය බොහෝ තාක්ෂනික උපකරන නිර්මානය කර ඇති සමාජයක ය. එකෝ සවුන්ඩර් (Echo Sounder) සාගරයේ මසුන් සිටිනා තැන් සොයා දෙන උපකරනයකි. සොනාර් (Sonar) මුහුද යට ඇති ගල් පර හා වෙනත් බාධක මෙන් ම ගැඹුරු මුහුදේ මසුන් ගැවසෙන තැන් ගැන සංඥා ලබා දෙයි. කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුවට උෂ්නත්වය, සුලං, දිය වැල්, කුනාටු, උදම් රල කුනාටු, මසුන් රොක් වන තැන් සහ ඔවුන් පිහිනන දිසාව පෙන්වා දිය හැකි සැටලයිට් ගනනාවක් ඇත. බහු දින යාත්‍රා සදහා ශීතාගාර යන්ත්‍ර හා මසුන් පමා නො වී ගොඩට ගෙන ආ හැකි ප්‍රවාහන ක්‍රම ලෝකය විසින් සොයාගනු ලැබ ඇත. එහෙත් කර්මාන්තය ධීවරයන්ගේ ජීවිත උරා බීම පෙරටත් වඩා රුදුරු ලෙස සිදු කරයි. එම ජිවිතවලට වර්තමාන ලෝකය දිනාගෙන ඇති සංස්කෘතියේ ඉහල මට්ටමේ අසලකටවත් ලං විය හැකි බවට ඉඟියක් හෝ පවතින ක්‍රමය තුල නොපවතී. එය සාක්ෂාත් වනු ඇත්තේ ධීවර ජනයා කර්මාන්තය පාලනය තමන් අතට ගැනීම සඳහා කම්කරු පන්තිය සමග පෙල ගැසීමෙන් පමනි. 

සමාජ පිලිගැනීම හෝ නීතිය කුමක් වුවත්, එක් ජන කොටසකට පරම්පරාවෙන් පරම්පරාවට එකම රැකියාව උරුම වන පසුගාමී වැඩවසම් බන්ධනයට ධීවරයා බැද දමා ඇත්තේ පවතින ආර්ථිකය හා සමාජ තතු විසිනි.   

අප ධීවරයාගේ ජීවිතය මේ තත්වය පිලිබිඹු කරන සංකේතයකි. ඔහු මෙසේ කීවේය: 

මුහුදු රැකියාව ආරම්භ කරපු කාලෙ වගේ නො වෙයි, දැන් මේ රස්සාව නිශ්චිතව බලාපොරොත්තු තියාගෙන කරන්න බැහැ. දැන් මාළු ඉන්න ප්‍රදේශ වලට යන්න විතරක් දින පහළොවක්, විස්සක් ගත වෙනවා. සමහර අවස්ථාවල බෝට්ටුවෙ ගැන් එක පිරෙන්න මාළු අස්වැන්න ගෙනාවත් අපට සොච්චම් මුදලක් තමයි  ලැබෙන්නේ. අපි මාස දෙකක්, දෙක හමාරක් මුහුදේ ගතකරල එද්දී, සමහර විට මාළු මිල හොඳටම පහත වැටිලා තිබීම, මූදෙ ගත කරන දින ගනන වැඩී වී මාලු අවපැහැ ගැනිම ආදිය නිසා අපේ ආදායම පහල යනවා.” 

ගෙවීම සිදු වන්නේ ශ්‍රමයට හෝ ශ්‍රම ශක්තියට නො ව ආදයම ලැබුනොත් පමනි. එසේ නොමැති නම් ධීවර කම්කරුවාගේ ශ්‍රමය නොමිලේ “විකිනේ.” රැකියාවට පිටත්ව යන විට බෝට්ටු හිමිකරුගෙන් රුපියල් 25,000ක හෝ 30,000ක නය මුදලක් ගෙදර වියදම සඳහා ලැබෙයි. 

මේ අවුරුද්දේ පසු ගිය මාස හතටම ට්‍රිප් දෙකයි ලැබුනේ. මුල් ට්‍රිප් එක සාර්ථක නැහැ. මේ වතාවෙදී ගොඩ ආවේ මැයි මාසයේ 20 වැනි දා. හොඳ මිලක් තිබුනා. මට ලැබුනා  රුපියල් ලක්ෂ පහයි තිහක්. නමුත් කෑමට කඩවලට ගෙවීමට ඇති නය, යහළුවන්ගෙන් ගත් අතමාරු, බැංකු නය වාරික හා විදුලිය බිල් ආදිය ගෙවිමෙන් පසු, ඊට අමතරව කලේ දරුවන්ගෙ හිත හැදෙන්න පල්ලියේ වාර්ෂික මංගල්‍යය දිනයට අඳීන්නත් එක්ක තුන්දෙනාට ඇදුම් හා සපත්තු ගැනීම. කෑමට බඩු ටිකක් ගෙනාවා. තවත් නය තියෙනවා පියව ගන්න බැරිවුනු.”

2022 මාර්තු මාසයේ 2 දින ලෝක බැංකුව ලංකාවේ ‍ධීවර කර්මාන්තය සම්බන්ධ වාර්තාවක සඳහන් කර ඇත්තේ, “දැනට ශ්‍රී ලංකාවේ සති 5ක් මුහුදේ ගත කරන 5000කට ආසන්න ‘බහු දින’ ධීවර යාත්‍රා බොහොමයක නිසි ශීතකරන නොමැතිකම හේතුවෙන් අල්ලා ගත් කෙලවල්ලන්ගෙන් අඩක් පමන වෙරලට ගෙන ඒමට පෙර නරක් වී යන” බව ය. යාත්‍රා නවීකරනය, වැඩි දියුනු කල මත්ස්‍යයන් ඇල්ලීමේ ක්‍රමෝපාය යොදා ගැනීම, මුහුදේ ගතකරන කාලය අඩු කිරිම සඳහා වැඩි දියුනු කල ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරිම මගින් මේ ගැටලු විසදා ගත හැකි බව එම වාර්තාව කියයි. පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම හා ව්‍යාපාරය පලදායී ලෙස සංවිධානය කිරීමට ද එය යෝජනා කරයි. කෙසේ වෙතත් නවීන ක්‍රම භාවිතය සමග ධීවර රැකියා සෑහෙන ප්‍රමානයක් අහෝසි වීම ගැන ද එය අනතුරු හඟවා ඇත. සුලු ව්‍යාපාරිකයන්ට මෙවැනි වැඩි දියුනු කිරීම් සදහා ප්‍රාග් ධනය නැත. විශාල ජනකායක් නට්ටම් කිරීම වත්මන් ධනපති සංවර්ධනයේ අර්ථයයි.  

තවමත් තනි ඔරු, යාන්ත්‍රික නොවූ ෆයිබර් ග්‍ලාස් ඔරු, කොල්ලෑ සහිත රුවල් ඔරු, කොල්ලෑ සහිත පදින ඔරු, වල්ලම්, තෙප්පම්, කට්ටුමරන් යනාදී ඉතා නො දියුනු සහ අනතුරුදායක වැඩවසම් තාක්ෂන උපකරන භාවිත කරන දුප්පත් ධීවරයින් තව දුරටත් නො සලකා හැරීමට නියමිත ය. දැනටමත් ධීවරයෝ වරාය හෝ සුදුසු තොටුපල නැතිව පීඩා විඳීති. කර්මාන්තය වැඩි දියුනු කිරිම සිදු කලත් ඒ ධනපති ඒකාධිකාරයන්ට ධීවරයන් තව දුරටත් මිරිකා උරා ගැනීමට මිස දුප්පත් ධීවරයන්ට සහන සැලසීම සඳහා නො වේ. සමස්ථ නිෂ්පාදන කර්මාන්තය ම කම්කරු පාලනය යටතේ ජනසතු කරන සමාජවාදී වැඩ පිලිවෙලකට පමනක් ධීවර ආම්පන්න පහසු මිලට සපයමින්, ධනේශ්වර මූල්‍ය ආයතනවලින් නිකුත් කල නය අහෝසි කර, අවශ්‍ය පහසුකම් සපයා ධීවර ගැටලු අවසාන වසයෙන් විසඳිය හැකි ය. 

ධීවර ජනයා වෙලාගත් ආර්ථික සමාජ ගැටලු තව තවත් ඔද්දල් වෙයි Read More »

KM

‘කම්කරු මාවත’ ඉතිහාසයෙන්

KM

ශ්‍රීලනිපය හා පෙරමුන අතුගෑවෙයි! අර්බුදය මැද යූඇන්පීය බලය ගනි. කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා නායකත්වය ගොඩනගමු!

සිරිමා බන්ඩාරනායකගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) ප්‍රමුඛ සමගි පෙරමුන ආන්ඩුව බලයෙන් අතුගා දැමූ 1977 ජුලි 21 මහ මැතිවරනයෙන් තුනෙත් දෙකක බලයක් ලබා ජේ.ආර්.ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂය (යූඇන්පී) බලයට පැමිනියේ විකල්ප ⁣කම්කරු මාවතක් අහිමි කැනු ලැබූ මහජනතාවගේ විරෝධී ජන්දයක් මගිනි. එතැන් සිට මහා කප්පාදු  පියවරයන් එකිනෙක මහජනයා මත හෙලමින් ද, මෘග ප්‍රචන්ඩකම් කම්කරු පීඩිතයන් හා දේශපාලන විරුද්ධාවාදීන් මත හෙලමින් ද පාලනය ඇරඹි ජයවර්ධන රට භූගෝලීය ප්‍රාග්ධනයට විවෘත කිරීම සඳහා අවශ්‍ය ඒකාධිපති බලතල තමන් වෙත පවරා ගැනීමේ විධායක ජනාධිපති ක්‍රමයක් ස්ථාපිත කරමින් 1978 ජුලි 31 දින ලංකාවේ දෙවන ජනරජ ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කලේ ය. එම වසරේ සැප්තැම්බර් 7 සිට බලාත්මක වූ මෙම ඒකාධිපති හා වර්ගවාදී ව්‍යවස්ථාව යටතේ මෙම රට වසර 45ක් ධනපති පාලනයට නතුව පැවතියේය. සංශෝධන 21ක් හරහා ඒකාධිපති බලය අංශුවකින් හෝ කපා හැර නැති මෙම ව්‍යවස්ථාව යටතේ  දහස් ගනනින් තරුනයන්, කම්කරුවන් බිලිගත් දකුනේ තරුන කැරැල්ලක් ද, උතුරේ තිස් අවුරුදු වර්ගවාදී යුද්ධයක් ද, භීෂනයද, දුප්පත්කමද, කාලකන්නිකමද කම්කරු පීඩත මහජනතාවගේ හිස මත පාත් කෙරුනි.

මෙම ධනපති ප්‍රහාරයට එරෙහිව විප්ලවවාදී කම්කරු පන්තික ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් හා වැඩපිලිවෙලක් ඉදිරිපත් කරමින් අප්‍රතිහත ධෛර්යකින් යුතුව සටන් වැදුනේ 1968 පිහිටුවන ලද විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) හා එහි අනුප්‍රාප්තික සමාජවාදී සමානතා පක්ෂය (සසප) යි. 1972 දී බන්ඩාරනායකගේ ආන්ඩුව තහනමට ලක් කරන තෙක් විකොස නිල පුවත්පත වූයේ “කම්කරු පුවත්” ය. තහනමින් පසු “කමිකරු මාවත” නමින් විකොස තම නිල පුවත්පත නිකුත් කලේ කම්කරුවන්, ගොවීන්, තරුනයන්, බුද්ධිමතුන් වෙත එදිනෙදා දේශපාලන පැහැදිලිකම නොපමාව රැගෙන එමිනි.

1977 ජුලි මැතිවරනයෙන් බලයට පත් යූඇන්පී ආන්ඩුව යටතේ ලංකාවේ නවලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට දිමීම සමග පන්ති අරගලය නව අධියරයන්ට පිවිසි අතර විකොස එම අරගලවල නායකත්වය සඳහා ඉදිරිදර්ශනය සම්පාදනය කරමින් ක්‍රියාකාරිව සටන් වැදුනේ ය.

විශේෂයෙන් මෙම වසර 45 කාලය තුලත්, ඉන් පෙරත්, ලංකාවේ ධනපති ක්‍රමයේ චලනයන්, කම්පනයන් පිලිබඳව එදා විකොස ලෙසත් පසුව ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) ආරම්භ කිරීම දක්වා සසප විසිනුත් කරන ලද දේශපාලන අරගලයේ කැඩපත වූ කම්කරු මාවත පුවත් පතේ තෝරාගත් ලිපි පලකිරීම සඳහා ද-සෝෂලිස්ට්.LK වෙබ් අඩවිය තීන්දු කර ඇති බව අප පාඨකයන්ට සහෝදරත්වයෙන් දැනුම් දෙමු. එසේ තොරාගත් ලිපි “කම්කරු මාවත ඉතිහාසයෙන්” නමින් විශේෂාංගයක් ලෙස මෙතැන් සිට පලකෙරෙනු ඇත.

වත්මන් අරගලවලට අවැසි පාඩම් උකහා ගැනීමේත්, විකොස අරගලයේ ජීවමාන අත්දැකීම් සහි කැඳවීමේත්, ඓතිහාසික මුසාකරනයන්ට එහෙිව සිදුවීම් පිලිබඳ තත්‍ය සමාජවාදී විශ්ලේෂන වෙත හැරී ගැනීමේත් උපකාරයක් ලෙස මෙම ලිපි පරිශීලනය කිරීම වැදගත් ලෙස සැලකිය යුතුය.

එහි ආරම්භයක් ලෙස ඉහත කී 1977 මැයි මහ මැතිවරනය අවසානයේ එහි දේශපාලන ඇඟවුම වග විභාග කරමින් විකොස 1977 ජුලි 23 සෙනසුරාදා  කම්කරු මාවත 395 කලාපයේ පල කල පහත ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරමු. 

ද-සෝෂලිස්ට්.LK කර්තෘ මන්ඩලය.

***

ශ්‍රීලනිපය හා පෙරමුන අතුගෑවෙයි

අර්බුදය මැද යූඇන්පීය බලය ගනි.

කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා නායකත්වය ගොඩනගමු!

ජුලි 21 මැතිවරනයේදී, එතෙක් බලයේ සිටි ධනේශ්වර ශ්‍රීලනිප ආන්ඩුව මෙතෙක් පැවති කිසිම ආන්ඩුවක් අත් නොදුටු ආකාරයේ අන්ත පරාජයක් ලද අතර වසර හයක් තිස්සේම එම ධනපති පාලනයේ ප්‍රධාන මුක්කුව ලෙස ක්‍රියාත්මක වූ සමසමාජ-කොමියුනිස්ට් පක්ෂවල සියලුම නියෝජිතයන් ද පාර්ලිමේන්තුවෙන් එලියට අතුගෑවී ගියේය. 

1977
1977 ජුලි 23 පිහිටවූ ජයවර්ධනගේ කැබිනට් අමාත්‍ය මන්ඩලය (ජායාරූපය: අනුරාධ දූල්ලෑව විජේරත්න)

ලංකාවේ අනෙක් ප්‍රධාන ධනපති පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය එහි නායකයින් බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි ජන්ද ගනනක් ලබමින් ආසන 168 කින්139ක් දිනා ගනිමින් දැවැන්ත විරෝධතා ජන්දයක ප්‍රතිඵලයක්  ලෙස බලයට තල්ලු වී පැමින ඇත.

21දා මහ මැතිවරනයේ ප්‍රතිඵල ලංකාවේ පංති සටනේ නව ගුනාත්මක අවධියක ආරම්භයක් වෙයි. පලමු වැනුව, මේ තරම්ම තියුනු ලෙස ද දැවැන්ත ලෙසද බලයේ සිටිආන්ඩුවක්, තුනෙන් දෙකක ජන්දයකින් බලය ලබා සිටි ආන්ඩුවක් එලවා දමන ලද අවස්ථාවක් නොවීය. මැතිවරන ප්‍රතිථල තීන්දු කෙරී ඇත්තේ බලය ඉල්ලූ පක්ෂ ඉදිරිපත් කල ප්‍රතිපත්ති මගින් නොව බලයේ සිටි ආන්ඩුව ගෙන ගිය ආර්ථික විනාශයේ ප්‍රතිපත්ති වලින් බව උවමනාවටත් වඩා පැහැදිලිය. 

1971 මහා මිනිස් ඝාතනය, සය අවුරුදු හදිසි නීතිය, එක දිගටම සිදුවූ පොලිස් මර්දන, පෙර නොවූ ආකාරයට සිදුවූ බඩු මිල ඉහලයාම, රැකියා හිඟය හා ආර්ථික විනාශය ධනපති ශ්‍රිලනිපයේ විනාශය සලකුනු කල ප්‍රධාන කරුනු විය.

මැතිවරන ප්‍රතිඵලවල පරස්පර විරෝධී බව රැඳී ඇත්තේ, ඉහත කී මහා ආර්ථික විනාශයට එරෙහිව වැටුනු ජන්දය ධනපති යූඇන්පීය වටා ගොනු වීමෙහිය. මේ තත්වය තුඩු දෙනු ඇත්තේ 1970-1977 කාලයේ පැවතුනා⁣ටත් වඩා අන්ත දරුනු පුපුරනසුලු තත්වයකට යි. මෙය වැලැකිවිය නොහැකිය.

බලාපොරොත්තුව

අලුත් යූඇන්පී ආන්ඩුව බලයට පත් වන්නේ බඩු මිල, රැකියා හා ජීවන තත්වය ගැන මහජනයා ගේ දැවැන්ත බලලාපොරොත්තු පුපුරන සුලු මට්ටමට උග්‍ර වී ඇති තත්වයකදී ය.  නමුත් ධනපති ක්‍රමයේ අන්ත බංකොලොත්කම කොතෙක් ද යත් එම බලාපොරොත්තු යම්තම් වත් සැපිරිය හැති තත්වයක් ධනපති ක්‍රමය තුල නැත.

මෙම කරුන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය මගින් පමනක්ම, මැතිවරනය පෙරදී ද, මැතිවරනය මැද දී ද දැඩි ලෙස අවධාරනය කෙරුනි.  ශ්‍රීලනිපයේ තුනෙන් දෙකක වැඩි ජන්ද සංඛ්‍යාව වසරකටත් අඩු කාලයකදී දවා හලු කල එම අර්බුදය මෙදා ආන්ඩුවේ පවුරු පදනම් සුන් කිරීම කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමනි. 

ආර්ථික අර්බුදයේ ගැඹුර පිලිබඳ කරුනු සංක්ෂිප්තව ඉදිරිපත් කලහොත්: රටේ විදේශ නය ප්‍රමානය රුපියල් කෝටි 500 පැන ඇත. නයට පොලී වශයෙන් වාර්ශිකව රුපියල් කෝටි 143ක් වැය වෙයි. මූලික කර්මාන්ත වල නිෂ්පාදනයේ පහත වැටීම පෙර නොවූ විරූ පරිදි සිදු වෙයි. 1976 දී සංස්ථා අංශයේ සියයට 44 කින් ද, තේ කර්මාන්තයේ සියයට 8.1 කින් ද, පොල් කර්මාන්තයේ සියයට 13 කින්ද නිෂ්පාදනය කඩා වැටුනි.

ධනපති අර්ථ ශාස්ත්‍රඥයන් පෙන්වන පරිදි මෙය අකාර්යක්ෂමතාවයේ හෝ දූෂනයේ ප්‍රතිඵලයක් නොව අද පැන නැගී ඇති උ්‍රග්‍ර ධනපති ආර්ථික කඩා වැටීමේ විවෘත ප්‍රතිඵලය යි.

බඩු මිල ප්‍රශ්නය මත තාවකාලිකව හෝ උපාමාරු යෙදීමට අපහසු වන්නාවූත්, රැකියා අර්බුදය උග්‍ර කරන්නා වූත් ධනවාදයේ මෙම අර්බුදය තුල කම්කරුවන්ට ගොවීන්ට-පීඩිතයන්ට හා තරුනයන්ට විසඳුමක් නැත. 

විසඳුම ඇත්තේ සියලු ධනපති දේපල වන්දි විරහිතව ජනසතු කරන ලද කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා සටන ඔස්සේ පමනකි.

සමසමාජ-ස්ටැලින්වාදී නායකයෝ මේ වැඩපිලිවෙල එදත් ප්‍රතික්ෂේප කලහ. අදත් ප්‍රතික්ෂේප කරති. ඔවුන් මුලු මුනින්ම පාහේ පාර්ලිමේන්තුවෙන් එලියට අතුගෑවී  යෑම ඔවුන් ගෙන ගිය ද්‍රෝහී මහජන පෙරමුනු දේශපාලනයේ විවෘත ප්‍රතිඵලය විය.

බඩු මිල වැඩි කිරීමට ද, රැකියා හිඟය නිර්මානය කිරීමට ද, පොලිස් මර්දනය උග්‍ර කිරීමට ද ඔවුන් පිදූ සහාය ඔවුන් පාර්ලිමේන්තුව තුලින් අතුගෑවී යෑමට පදනම දැමුවා පමනක් නොව, පසුගිය ආන්ඩුවට එරෙහිව පැන නැගි දැවැන්ත ජනතා නැගිටීමේ නායකත්වය කම්කරු පන්තිය විසින් දිනා ගනු ලැබීමට ප්‍රධාන භාධාවක් විය. ඒ අර්ථයෙන් ගත් විට දක්ෂිනාංශික යූඇන්පි ආන්ඩුවට පාර කැපීමේ පුර්න වගකීම පැවරිය යුත්තේ සමසමාජ-ස්ටැලින්වාදී නායකත්වය වෙතයි.

ධනපති ක්‍රමය හැසිරවීම මගින් අර්බුදය විසඳිය හැකි යැයි මේ නායකයන් ගෙනගිය වැඩ පිලිවෙල දක්ෂිනාංශයට හා මිලිටරි ඒකාධිපතීත්වයට පාර කපන වැඩපිලිවෙලක් බව අපි නිරතුරුව කම්කරු පංතියට අනතුරු හැඟැ වූයෙමු. 

නායකයින්ගේ ද්‍රෝහී දේශපාලනය හා නායකත්වයම කම්කරු ව්‍යාපාරයෙන් ඉවත් කර නොදමා ධනපති ප්‍රහාරයට මුහුන දිය නොහැකි යැයි අපි නිරතුරුව කීවෙමු. අද මෙය උවමනාවටත් වඩා සනාථ වී තිබේ.

1970 සිට දීන ලෙස ශ්‍රීලනිපයට සහාය දුන් ඔවුහු අද යූඇන්පී ප්‍රහාරයන්ට දොර හැර මුලුමුලින්ම නායකත්වයක් නැති තත්වයට කම්කරු ව්‍යාපාරය ඇද ලා සිටිති.

එහෙත් ලංකාවේ කම්කරු පංතිය තවමත් ශක්තිය නොබිඳි අපරාජිත බලවේගයක් ලෙස පවතී. පසුගිය හවුල දෙදරවා හැර සිරිමා බන්ඩාරනායක ආන්ඩුව දෙදරවා හැරීමේ හැකියාව කම්කරු පංතියට තිබුනි. අපි එම සටනේ පෙරමුනේ සිටියෙමු. 

දරුනු ආර්ථික අර්බුදය මධ්‍යයේ බඩු මල නැංවීමේත්, රැකියා නැසීමේත්, ආර්ථික විනාශය ඇති කිරීමේත් ප්‍රතිපත්ති හැර වෙනත් ප්‍රතිපත්ති අනුගමනය කරන්නට යූඇන්පීයට නොහැකිය. මේ තත්වය කෙලින්ම යූඇන්පීයට එරෙහි දැවැන්ත පංති සටන් පැන නංවනු නියතය. ඒ තත්වයේදී යලිත් වරක් ධනපති පක්ෂ සමග හවුලක් ඇටවීමට කම්කරු ව්‍යාපාරයේ නයකත්වය දිව යනු ඇත. ඊට එරෙහිව සමාජවාදී වැඩපිලිවෙලක් උඩ කම්කරු බලය සඳහාත් කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහාත් නොසැලී සටන් වදින නායකත්වය ගොඩනගා ගැනීම දැන් ජීවිතයත් මරනයත් අතර ප්‍රශ්නයක් වෙයි.

විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය එම කටයුත්තට කැප වෙයි. මැතිවරන ව්‍යාපාරය මැද දී අප කල මැදිහත්වීම එවැනි නායකත්වයක් සඳහා දැවැන්ත පදනමක් දමා ඇත. යූඇන්පීය පලවා හැර  මහජන පරමුනට යලි ඉඩ නොදී කම්කරු-ගොවි ආන්ඩුවක් පිහිටුවීම සඳහා කම්කරු ව්‍යාපාරය මෙහෙයවීමේ සටන අපි අරඹමු.

යූඇන්පීය ඉදිරියේ යලිත් වරක් ධනපති ශ්‍රීලනිපයට හෝ වෙනත් ධනපති පතුරකට හෝ හේත්තු වීමේ දේශපාලනයක් ගෙන යෑමට සමසමාජ – ස්ටැලින්වාදී නායකයින්ට ඉඩ නොදෙන ලෙස අපි එම පක්ෂවල සාමාජිකයින්ගෙන් හා වෘත්තීය සමිති ව්‍යාපාරයෙන් ඉල්ලමු. 

යූඇන්පීය මේ ඉමහත් අර්බුදය මැද ඔවුන්ගේ ප්‍රහාරයන් එල්ල  කිරීමේ දී මූලික ඔට්ටුව අල්ලනු ඇත්තේ  කම්කරු ව්‍යාපාරයේ නායකත්වය කරන ද්‍රොහී කමි උඩයි.

විප්ලවවාදී නායකත්වය තීරනාත්මක වන්නේ එබැවිනි. විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට බැඳෙන ලෙසත්, යූඇන්පීය පලවා හැර කම්කරු-ගොවි ආන්ඩුවක් ගොඩනැගීමේ සටනේ  දී ඒ වටා එක් වන ලෙසත් අපි සියලු සටන්කාමීන්ගෙන් ඉල්ලමු.

‘කම්කරු මාවත’ ඉතිහාසයෙන් Read More »

Scroll to Top