Kamkaru Mawatha

කම්කරු මාවත ඉතිහාසයෙන්: ආර්ථික කඩා වැටීමේ බර කම්කරුවන් මතට – ආර්. ප්‍රේමදාස යූඇන්පී ප්‍රතිපත්ති පැහැදිලි කරයි

මෙහි පළ වන්නේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) නිල පුවත්පත වූ කම්කරු මාවත පත්‍රයේ, 395 කලාපයේ, 1977 ජූලි 23 වන දින පළ කරන ලද ලිපියකි.

1977 ජූලි 21 වන දින පැවැත්වීමට නියමිත වූ මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය (යූඇන්පී) මැතිවරණ වේදිකාව තුළ ඉදිරිපත් කරන ලද තම වැඩපිලිවෙල සම්බන්ධව විකොස ඉදිරිපත් කරන ලද විවේචන හා එහි විප්ලවවාදී වැඩපිළිවෙළ සම්බන්ධ ලිපි අතරින් පහත ලිපිය ද යූඇන්පී ප්‍රතිපත්ති ගණනාවක් විචාරයට ලක් කරයි.

වත්මන් රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ජනාධිපතිවරනයක් සඳහා සූදානම් වෙමින් සිටින අතර තුර  කම්කරු පන්තිය මත ආර්ථික හා මූල්‍ය අර්බුදයේ බර සම්පූර්නයෙන්ම දැමීම සදහා ගෙනයන වැඩපිලිවෙල සමග එදා 1977 ජුලි මැතිවරනයට ආසන්නයේ ජයවර්ධන හා ප්‍රේමදාස ඇතුලු යූඇන්පී නායකයන් හෙලිදරව් කල එහි කප්පාදු සැලසුම් සිහියට නැගීමත්, ඒවා ක්‍රියාත්මක කිරීමට පියවර ගත් ආකාරයත්, කම්කරු පන්තිය වෘත්තීය සමිති ව්‍යාපාරය හරහා පරාජයන් කරා ගෙනයනු ලැබීමත් නැවත අධ්‍යයනය කර ගැනීම අද දවසේ අරගලයන්ට පාඩම් සපයනු ඇත.

***

Premadasa
ආර්.ප්‍රේමදාස (මැද) ජේ.ආර්.ජයවර්ධන (දකුන) සමග

යුඑන්පී ආණ්ඩුවක් බලයට පැමිණියහොත් ක්‍රියාත්මක කරන ඇත්ත ප්‍රතිපත්ති ගැන පැහැදිලි හෙළිදරව්වක් කර ඇත්තේ එහි උප නායක ආර්. ප්‍රේමදාස යි.

අලුත් යූඑන්පී ආණ්ඩුවක ප්‍රතිපත්තිය  පැහැදිලි කරමින් ප්‍රේමදාස කර ඇති සම්මුඛ සාකච්ඡාවක්,”හිමාත්” නම් ඉන්දීය සඟරාවේ ජූනි දාසය කලාපයේ පළවෙයි. ඔහු එය මෙසේ පවසයි.

“වගකීම සහ විනය අප රටට අවශ්‍ය ය. ලංකාවේ මධ්‍යගතව ආර්ථිකය සැලසුම් කිරීම අසාර්ථකව ඇත. සැලසුම් කිරීමේ ක්‍රියාදාමය පහලින් පටන්ගත යුතුය. අප කම්කරුවන්ට වගකීම භාර දිය යුතුය. සෑම ආයතනයකම ලාභ හා පාඩුවලට (කම්කරුවන්) සහභාගි වන ක්‍රමයක් ඇති කිරීමට අපට අවශ්‍යව ඇත.”

“මේ වගකීම පැනනගින්නේ කෙසේදයි” අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඔහු,” තමන් වෙනුවෙන් නොව අනුන් වෙනුවෙන් ජීවත්වෙන සමාජයක් නිර්මාණය කිරීමට අපට අවශ්‍යව යයි”පැවසීය.

ධනපති ක්‍රමයේ කඩාවැටීමට කම්කරුවන් වගකියන ආණ්ඩුවක් පිහිටුවීමට තමන් බලාපොරොත්තු වන බව යුඑන්පි නායකයින් ජනතාවට නොකීවද ඔවුන්ගේ ඉලක්කය එය බව ඉහත ප්‍රකාශය  හෙළිදරව් කරයි. මේ ප්‍රකාශනය යූඑන්පී යේ ඇත්ත අරමුණ ගැන මැතිවරණයේදී කම්කරු පන්ති ව්‍යාපාරයට ලැබුණු අනතුරු ඇඟවීම් සියල්ලම සනාථ කරවන්නකි.

නිදහස් වෙළෙඳ කලාපයක් බිහි කර, විදේශ ආයෝජනයන් ගෙන්වන බවත්, බඩු මිල අඩු නොකරන බවත්, වෘත්තිය සමිති දඬු ගැසීමේ නීති ගෙනෙන බවත්, යූඑන්පී නායකයන් දී ඇති ප්‍රකාශයන් පිටුපස පවතින නියම යථාර්ථය මේ ප්‍රකාශයෙන් හෙළිදරව් වේ.

යූඑන්පී නායකයාගේ ප්‍රකාශයේ අර්ථය නම් ඔවුන්ගේ ආණ්ඩුවක මූලික ලක්ෂණය වන්නේ එය ලංකාවේ නිෂ්පාදන ක්‍රමයේ සම්පූර්ණ කඩාවැටීමේ බර කම්කරුවන් සහ දුගීන් මත පටවන ආණ්ඩුවක් බවයි.

මේ ආණ්ඩුව යටතේ කම්කරු පන්ති ව්‍යාපාරය වෙනුවෙන් සූදානම් කෙරෙන ඉරණම ගැන වැටහීමක් ඇතිකර ගැනීමට නම් අපි නැවත වරක් මේ මැතිවරණය පැවැත්වුණ ජාතික සහ ජාත්‍යන්තර දේශපාලන සහ ආර්ථික අර්බූදය දෙස හැරිය යුතුය.

කඩාවැටීම

මේ මැතිවරණයට පසු බලයට පත්වන ආණ්ඩුව බලය අතට ගන්නේ ලංකාවේ මෙතෙක් පැවති දරුණුම ආර්ථික කඩාවැටීම මධ්‍යයේය. ධනපති නිෂ්පාදන ක්‍රමයේ පරිපූර්ණ කඩාවැටීම මේ අර්බුදයේ මූලික ලක්ෂණයකි.

ආර්ථිකයේ මූලික අංගයක් පමණක් ගතහොත් 1976 වර්ෂයේ තේ නිෂ්පාදනය සියයට 8.1 කින් කඩා වැටී ඇත. පොල් නිෂ්පාදනයේ වැටීම සියයට 13 කි. වී නිෂ්පාදනය වී බුසල් කෝටි 6 සහ 8 ප්‍රමාණයේ සිට 5.5 දක්වා පහතට වැටුනි.

මූලික නිෂ්පාදනයන් මෙසේ කඩා වැටෙද්දී, ඉතාමත්ම භයානක තත්වය උද්ගතවූයේ කර්මාන්ත ක්ෂේත්‍රයෙහිය. පසුගිය පෙබරවාරි මාසය වන විට සංස්ථාවන්ගේ නිෂ්පාදනය සියයට 44 කින් පහත වැටී ඇත.

මේ නිෂ්පාදන කඩාවැටීමට අමතරව පුද්ගලික අංශයේ බරපතළ නිෂ්පාදන කඩාවැටීම ඇරඹී තිබිණි.

මේ කඩා වැටීම සිදු වූයේ එක්දාස් නවසිය හැත්තැ එකෙන් පසු ධනපති ලෝකය පුරාම පැතිර ගිය ජාත්‍යන්තර ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙසය. 1977 වන විට ඇති වූ තත්ත්වය නම් මේ අර්බුදය දැවන්ත කඩාවැටීමක් බවට ජාත්‍යන්තර වශයෙන් ම පරිවර්තනය වීමයි.

ඇමරිකාව වැනි දියුණු ධනපති රටවල නිෂ්පාදනය කඩා වැටීමද, ණය ගැතිකම උග්‍රම මට්ටමට නැගීමද, ගෙවුම් ශේෂ හිඟයන් සහ වෙළෙඳ ශේෂ හිඟයන් උත්සන්න වීම ද සිදු වූ අතර සිය බංකොලොත්කම පියවාගැනීමට ලෝක බැංකුවෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින්ද, වෙළඳ බැංකු වලින් ද ණය ගත් රටවලට ණය හෝ පොලී ගෙවීමට තවදුරටත් නොහැකිවීමෙත්, මේ නිසා මෙම මූල්‍ය පද්ධතියම කඩාවැටීමේත් තර්ජනය ඉස්මතු වෙයි.

අධිරාජ්‍යවාදීන්ගේ ඉත්තෙක්

වෙළඳ යුද්ධය දරුණුම මට්ටමට උදාවීමත් ආර්ථික කඩා වැටීම පාලනය කිරීමට දැරූ සෑම උත්සාහයක්ම අසාර්ථක වීමත් සමගම ලෝක මූල්‍ය ආයතනයන් සෑම රටකම ආර්ථික විනාශය උග්‍ර කිරීමේ ආයතනයන් බවට පත්වීම දැන් සිදුව ඇති මූලිකම විපර්යාසයකි. මේ තත්ත්වය තුළ බලය ගන්නා සෑම ධනපති ආණ්ඩුවකට ම කළ හැකි එකම කාර්යය වන්නේ මේ කඩා වැටීම ඉහළම මට්ටමට උත්සන්න කිරීමත්, අධිරාජ්‍යවාදීන්ගේ සෘජු ඉත්තකු ලෙස විනාශය දියත් කරන්නෙකු බවට පත්වීමය. කම්කරුවන්, ලාභය පමණක් නොව පාඩු ලැබීමේ වගකීමද බාරගන්නා අය  බවට පත් විය යුතු යයි ප්‍රේමදාස පවසන්නේ මේ තත්ත්වය යටතේ ය.

නිෂ්පාදනය කඩා වැටෙද්දී කර්මාන්ත සහ ෆැක්ටරි විශාල වශයෙන් වැසෙද්දී මේ කඩාවැටීම උග්‍ර කරවන ප්‍රතිපත්ති ආණ්ඩුව විසින් එදිනෙදා ක්‍රියාත්මක කරද්දී පාඩු ලැබීමේ වගකීම කම්කරුවන්ට භාරගත හැක්කේ එකම විධියකින් පමණකි. එනම් තම රැකියාව අහිමිවීම පිළිගැනීමට එකඟ වීමෙන් පමණි.

Workers

යූඑන්පිය කතා කරන්නේ කර්මාන්තවල සිදුවන සුළු අලාභයන් කම්කරුවන් විසින් විඳදරා ගැනීම නොවේ. ඇත්ත වශයෙන් ආර්ථික අර්බුදය මේ මට්ටමට උග්‍ර නොවූ පසුගිය අවුරුදු 7 තුළ ශ්‍රී ලංකා හවුල් ආණ්ඩුව යටතේ කර්මාන්ත සහ සංස්ථාවන් කඩා වැටීම ඇරඹුණු විට ක්‍රියාත්මක වූයේ ධනපති ක්‍රමයේ කඩාවැටීම කම්කරුවන් පිටින් යැවීමේ ප්‍රතිපත්තින් ය. බෝනස් කපාදැමීම, විශ්‍රාම වැටුප් අහිමි කිරීම, සේවක අර්ථසාධක අරමුදල් අහිමි කිරීම, අතිකාල දීමනා සහ ජීවන අංක දීමනාව අත්හිටවීම, ස්ථිර වැටුප් වෙනුවට ඵලදායිත්වය ට සහ නිෂ්පාදන පරිමාණයට ගැටගැසුණු වැටුප් ක්‍රමයක් දියත් කිරීම, සාමූහික කේවල් කිරීම මගින් දිනා තිබූ වැටුප් ගිවිසුම් අහෝසිකර අලුත් දිරිගැන්වීමේ ක්‍රමයක් සහ වැඩ වේගවත් කිරීම පැටවීම, කම්කරුවන් තොගපිටින් අස්කිරීම, කර්මාන්තශාලා වන් නවීකරණය සහ ප්‍රතිසංවිධානය කිරීමේ මුවාවෙන් පැක්ටරි අංශ වශයෙන් වසා දැමීම ආදී පියවරයන් කම්කරුවන් මත පැටවීමට ධනපති පන්තිය ශ්‍රී ලංකා ආණ්ඩුවේ මුල් වටය තුළම හවුල් ආණ්ඩුවේ උදව්ව සහිතව ඉදිරියට ආවේය.

මේ පියවරයන් කම්කරු පන්තිය දිනා සිටි සියලුම වරප්‍රසාදයන් විනාශ කිරීමේ ක්‍රියාමාර්ගයක් බවට පත්විය.

කර්මාන්තශාලා වල අලාභයට ධනපතියන් ද කම්කරුවන් ද වගකිය යුතු යැයි ඔවුහු පවසති. එහෙත් මේ කර්මාන්ත කඩා වැටීමට ධනපතියන් වග කීවේ කෙසේද?

කර්මාන්ත කඩා වැටීමට සහ අලාභ ලැබීම ඇරඹුණු විට ධනපති පන්තිය ගත් පියවර නම්, තමන් එතෙක් ලැබූ ලාභය කම්කරුවන් හෝ කර්මාන්තය ගොඩනැගීමට යෙදවීම නොවේ.

අර්බුදයේ මුල් අවධියේදී ධනපති පන්තියේ උත්සාහය වූයේ කම්කරු පන්තිය මත අර්බුදයේ බර එක් අතකින් පටවමින් ද අනික් අතින් බැංකු වලින් ලබා ගන්නා ණයවලින් එය දිව වීමට ද උත්සාහ කිරීමය.

මෙය අසාර්ථක වූ විට ඔවුන් ගත් පියවර නම් කර්මාන්තය පිළිබඳ සම්පූර්ණ වගකීම අතහැර තම ධනය ද රැගෙන වෙනත් ලාභදායි ජාවාරම් වෙත පැනීමයි. ආර්ථික කඩා වැටීම තුල මෙතෙක් සිදුවූයේද අනාගතයේ වඩාත් බරපතළ ලෙස සිදු වන්නේ ද මෙයයි.

එහෙත් ආර්ථික කඩා වැටීමට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ කම්කරු පන්තිය නොව ධනපති පන්තියයි. පසුගිය කාලය තුළ කඩාවැටීමට භාජනය වූ සෑම පැක්ටරියක් ම, සෑම කර්මාන්ත යක්ම මෙය සනාථ කරයි. මීට හොඳම උදාහරණය වැල්ලවත්ත රෙදි මෝලයි.

වැල්ලවත්ත රෙදි මෝලේ ඇතිවූ  කඩාවැටීම වළක්වා ගැනීමට ආණ්ඩුවද වාණිජ බැංකුව ද රුපියල් ලක්ෂ ගණනින් ණය පොම්ප කළහ. මෙය අසාර්ථක වූ පසු කඩාවැටීම කම්කරුවන් ගේ හිස මත පැටවීම ඇරඹුණි. කම්කරුවන් දාස් ගනන් අස්කර දමා, වැඩ වේගවත් කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කරමින් කම්කරුවන් අතට ලැබුණු වැටුප රුපියල් සිය ගණනින් අඩු කරමින් අවුරුදු හතළිහක පමණ අරගලයකින් දිනාගත් අයිතීන් සියල්ල අහෝසි කර අලූත් වහල් කොන්දේසි ක්‍රියාත්මක කරන ලදී. මේ ක්‍රියාමාර්ගයේ අවසානය වූයේ රෙදි මෝල ගොඩගැනීමේ සැලැස්ම සම්පූර්ණයෙන්ම අසාර්ථක වීමෙනි. මේ පියවරයන් ගෙන් අවුරුද්දකට පසුව, අර්බුදය තවත් උත්සන්න වීමෙන් පසුව රෙදි මෝල වසා දැමීමට තර්ජනය කිරීමට පාලකයින්ට සිදුවූයේ ඔවුන්ට ණය දීමට ආණ්ඩුව හෝ බැංකුකරුවන් ඉදිරිපත් නොවීම නිසයි.

 මෝල වසා දැමීමට ගත් උත්සාහය කම්කරු පන්තිය විසින් පරාජය කිරීමෙන් පසුව, එහි වගකීමට සම්පූර්ණයෙන් ම කර ගැසීමට ආණ්ඩුවට සිදුවිය. ස්ටැලින්වාදී න්ගේ උදව් ඇතිව කම්කරුවන්ට තවත් වැඩ වේගවත් කිරීමේ සැලසුම් පටවා තාවකාලිකව එයගොඩ දැමීමට උත්සාහයක් දරන ලදී.

එයින් පසුව දැන් උද්ගතව ඇත්තේ සම්පූර්ණ පේෂකර්මාන්තයේම කඩාවැටීමේ බර පේෂකර්ම සංස්ථාවේ සහ ආණ්ඩුවේ කර මත වැටීමයි. සංස්ථාවේ කම්කරුවන්ට වැටුප් ගෙවීමට ණය ගැනීම සඳහා සංස්ථාවේ දේපල උකස් කිරීමට ද දැන් සිදුව ඇත.

වැල්ලවත්ත මෝල

මේ සියල්ල සිදුවීමට පෙරම, පේෂ කර්මාන්තයේ කඩාවැටීමට ආණ්ඩුව මූහුන දුන්නේ, අත්යන්ත්‍ර සහ සුළු ෆැක්ටරි මත පදනම් ව තිබූ කර්මාන්තය ජාතික පරිමාණයෙන් ම කඩාවැටීමට පියවර ගැනීමෙනි. කර්මාන්ත කඩා වැටීම එක් අවධියකින් නතර නොවන්නක් බව මෙය හොඳින්ම ඔප්පු කළේය.

Mill

සෑම කර්මාන්තයකම සිදුවූයේ වැල්ලවත්ත රෙදි මෝලේ සිදු වූ දෙයයි. සෑම කර්මාන්තයකම අර්බූදයෙන් බේරීමට ධනපති පංතිය සහ ආණ්ඩුව ගත්තේ එහි අනුගමනය කළ පියවරයි. මේ සියළු පියවරවල ඉරණම ද එයයි. මේ සියලු ප්‍රතිගාමී විසඳුම් නොතකා ආර්ථික කඩා වැටීම උග්‍ර මට්ටම් වලට සේන්දු වීම මීට හේතුව විය.

වතු ආර්ථිකය තුළ මේ පියවරයන් මීටත් වඩා ම්ලේච්ඡ අන්දමින් දියත් කරන ලදී. තේ වතු වලින් විශාල ප්‍රමාණයක් වසාදමා  ඒවායේ කම්කරුවන් විශාල ප්‍රමාණයක් එළවා දැමීමේ ප්‍රතිපත්තියක් ආණ්ඩුව ‍ ක්‍රියාත්මක කළ අතර මෙහි ප්‍රතිඵලය වූයේ වතුකම්කරුවන් දහස් ගණනින් රැකියා අහිමි වීමට ගොදුරු වීමයි.

කර්මාන්ත කඩා වැටීමට වගකීම කම්කරු පංතිය භාර ගැනීමෙන් මෙම කඩාවැටීම විසඳීම සම්පූර්ණ ප්‍රෝඩාවක් වන්නේ මේ පරිහානිය තුළදී රටේ ජනතාවට අවශ්‍ය මූලික භාණ්ඩවලට අදාල නිෂ්පාදනයන් සහ කර්මාන්ත පවත්වාගෙන යෑමට ධනපති පංතියට නොහැකි නිසයි. ආර්ථික කඩා වැටීමේ මූලික ලක්ෂණය නම් මේ නිෂ්පාදන අංශයන් කඩා වැටීමයි. ධනපති පන්තියට අද ගැනීමට ඉතිරිව ඇති එකම කර්මාන්තය නම් මැණික් කර්මාන්තය, සී.ආර්.එ. මුදල්වලින් සුඛෝපභෝගී භාණ්ඩ ගෙන්වීම සහ සංචාරක කර්මාන්ත වැනි පරපුටු ජාවාරම් ය. මේ පරපුටු ජාවාරම්වල ලාභය යෙද වී ඇත්තේ කම්කරුවන්ට බෙදීමට හෝ මේ ජනතාව වෙනුවෙන් යෙදවීමට නොව සාගතය මධ්‍යයේ ධනපති පංතියට අවශ්‍ය සුඛෝපභෝගී භාණ්ඩ ගෙන්වීමටය.

යුඇන්පිය දැන් උත්සාහ කරන්නේ මේ ආර්ථික  සැලසුම් ජාතික පරිමාණයෙන් දියත් කිරීමයි. කර්මාන්ත කඩාවැටීමට කිසිම අයුරකින් උරදීමට දැන් ධනපති ආණ්ඩුවට හෝ බැංකුවලට නොහැකිය. ව්‍යාපාර රජයට ගැනීමෙන් හෝ ණය දීමෙන් ආර්ථික කඩා වැටීම කල් දැමීමට හෝ සමනය කිරීමට ඔවුන්ට කිසිසේත්ම හැකියාවක් නොමැත. බලයට එන ධනපති පක්ෂයකට කළ හැකි එකම දේ නම් අධිරාජ්‍යවාදී හාම්පුතුන්ගේ නිර්දේශයන්ට සම්පූර්ණයෙන්ම යටත් වීමයි.

යූඇන්පිය දියත් කිරීමට උත්සාහ කරන ක්‍රියාමාර්ගය ඔවුන්ට ක්‍රියාත්මක කළ හැකි වන්නේ සිවිල් යුද්ධයක් මගින් පමණකි. ඔවුන් සූදානම් වන්නේ ද ඒ සඳහා ය. ජනතාවගේ ප්‍රශ්න විසඳීමේ පොරොන්දු දී බලයට පැමිණීමෙන් පසුව කම්කරු පන්තියට විරුද්ධව එල්ල කිරීමට උත්සාහ කරන මේ ප්‍රහාරයන්ට විරුද්ධව කම්කරු පන්තිය දැවැන්තව නැගී සිටිනු ඇත.

කම්කරු පන්තිය ආර්ථික අර්බුදයට කර ගැසිය යුතුයැයි යන්නෙහි එකම අර්ථය නම් ව්‍යාපාරයේ ඉතිහාසයේ දී දිනාගත් අයිතීන් සියල්ල අහෝසි කළ යුතුය යන්නයි. මේ අයිතීන් දිනා ගැනීම සඳහා සංවිධානය වීම මැතිවරණයෙන් පසු කම්කරු පන්තිය ඉදිරියේ ඉස්මතුවන මූලික ප්‍රශ්නයකි.

වෘත්තිය සමිති ව්‍යාපාරය කුඩු පට්ටම් කිරීම සඳහා නීති ගෙන ඒම ගැන යූඇන්පිය මැතිවරණය තුළ කතා කර ඇත්තේ කම්කරු පංතියේ ස්වාධීනත්වයත් එහි ශක්තියත් විනාශ කිරීම ධනපති පංතියේ නව සැලසුම් සඳහා අත්‍ය‍යාවශ්‍ය වන හෙයිනි. වෘත්තීය සමිතිවල නායකත්වය,  කම්කරුවන්ගේ අයිතීන් රැකීම නොව ධනපති ආණ්ඩුවේ සැලසුම් ක්‍රියාත්මක කරන නායකත්වයක් බවට පත් කිරීම එහි එල්ල යයි. එහෙත් යුඑන්පීය බලාපොරොත්තු වන පරිදි පාර්ලිමේන්තුවේ නීති සම්මත කිරීමෙන් ලංකාවේ ස්වාධීන වෘත්තීය සමිති   විනාශ කිරීමට ඔවුන්ට නොහැකි වනු ඇත.

කම්කරු පන්තියේ මූලික අයිතිවාසිකම් වලට විරුද්ධව එල්ලවන මෙම ප්‍රහාරයට විරුද්ධව තමන් සටන් නොකරන බව සමසමාජ ස්ටැලින්වාදී නායකයෝ ද සියලුම වර්ගයේ ප්‍රතිසංස්කරණවාදී නායකයෝ ද දැනටමත් හෙළි කර ඇත. වෘත්තීය සමිති ව්‍යාපාරය කුඩුපට්ටම් කිරීමේ නීති තමා බලයට පැමිණියහොත් ක්‍රියාත්මක කරන්නේ යයි යුඇන්පිය ප්‍රකාශ කළ පසුව, සමසමාජ සහ ස්ටැලින්වාදී නායකයෝ ද, වෘත්තිය සමිති නායකයෝ ද මේ ප්‍රහාරය නැවත්වීම ගැන වචනයක්වත් ප්‍රකාශ නොකළහ. කම්කරු පන්ති ව්‍යාපාරය ඉදිරියේ ඉස්මතු වී ඇති මෙම තර්ජනයට කම්කරු පන්තිය මුහුණ දෙන්නේ කෙසේද? ඒ සඳහා සංවිධානය විය යුත්තේ කුමන ප්‍රතිපත්ති මත ද, මෙය පරාජය කිරීමට ගත යුතු නිශ්චිත පියවර යන් මොනවාද? යන ප්‍රශ්න ගැන කිසිම ප්‍රකාශයක් දීම ඔවුහු ප්‍රතික්ෂේප කර ඇත.

මෙහි අර්ථය නම් මැතිවරණයෙන් පසු බලයට පත්වෙන ආණ්ඩුවකට මේ ප්‍රහාරයන් ක්‍රියාත්මක කිරීමට ඉඩ දීමට ඔවුන් තීන්දුවක් ගෙන ඇති බවයි.

මේ ප්‍රතිපත්තිය යටින් පවතින්නේ ජනතාවට විරුද්ධව සිවිල් යුද්ධය දියත් කරන ආණ්ඩුවක් බලයෙන් ඉවත් කර දැමීම ඔවුන් ප්‍රතික්ෂේප කරන බවයි. යූඑන්පී ආණ්ඩුවක් බලයෙන් පහකර දැමීමට කම්කරු පන්තිය මෙහෙයවීම ප්‍රතික්ෂේප කරන මොවුන් වහාම කම්කරු පන්ති ව්‍යාපාරයේ නායකත්වයෙන් එළවා දැමීම කම්කරු පන්තියේ ඉදිරියේ ඉස්මතුව ඇති මූලික කර්තව්‍යයයි.

මැතිවරණයෙන් පසුව බලයට එන ධනපති ආණ්ඩුව වහාම එළවා දැමීම සඳහා කම්කරු පන්තිය සංවිධානය කිරීමේ වගකීමට උර දී ඇත්තේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය පමණකි. මේ මැතිවරණය තුළ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය කම්කරු පන්තියට ඉදිරිපත් කළ ඉදිරිදර්ශනයන් එහි අඩංගු වූ සියලු අනතුරු ඇඟවීම් සහ ක්‍රියාමාර්ගය මැතිවරණ තුළ වර්ධනය වූ දේශපාලනය තත්වය විසින් සම්පූර්ණයෙන්ම සනාථ කර ඇත.

එළඹ ඇති අභියෝගයට මුහුණදීමට හැකි එකම මාර්ගය නම් ජාතික බංකොලොත්කම සහ ආර්ථික කඩා වැටීම වැලැක්වීම සඳහා  ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කිරීමට කම්කරු සහ සෙසු පීඩිතයන් මෙහෙයවීමයි.

වතුකරය

සියලුම කර්මාන්ත සහ පැක්ටරි කම්කරු පාලනය යටතේ ජනසතු කිරීමට කම්කරු පන්තිය මෙහෙයවීම මූලිකම අවශ්‍යතාවය ලෙස ඉස්මතු ව ඇත. පැක්ටරි වසා දැමීමටත් කම්කරුවන් දොට්ට දැමීමටත් විරුද්ධව කම්කරු පංතිය තම වතු සහ පැක්ටරි වාඩිලා ගැනීමේ පියවර ගන්නා බවත් කර්මාන්ත ක්ෂේත්‍රයම පුරා මෙම වාඩිලා ගැනීමේ සටන් පැතිර යන බවත් ඉතාමත් පැහැදිලිය. වතු කඩා දැමීමට විරුද්ධව වතුකරය පුරා පැතිරුණු සටන් ගැන අනාගතේ සිදුවන සටන් වල ස්වභාවය කුමක්දැයි යන්න කල්තියාම එළි කර ඇත. වතුකරය තුළ කම්කරුවන් වාඩිලා ගැනීමේ සටන්වලින් ආන්ඩුවේ සැලැස්ම පරාජය කළා පමණක් නොව ඊට විරුද්ධව ධනපති පංතිය ආයුධ සන්නද්ධ මැර කණ්ඩායම් මෙහෙයවමින් වතුකරය තුල සිවිල් යුද්ධ තත්ත්වයක් නිර්මාණය කළේය. තම ආරක්ෂාව සඳහා අවශ්‍ය සියලුම පියවර ගැනීමෙන්, විශේෂයෙන්ම ආරක්ෂක කමිටු ගොඩනැගීමේ සහ ධනපති හමුදා සහ මැර කණ්ඩායම් නිරායුධ කිරීමේත් අවශ්‍යතාවය කම්කරුවන් ඉදිරියේ ඉස්මතු විය.

කර්මාන්ත වාඩිලා ගැනීමත් සමඟම මතුවන ප්‍රධාන අවශ්‍යතාවය නම් කර්මාන්තය වසා දැමීමට ධනපති පංතියට ඉඩ නොදී ඒවා පවත්වාගෙන යෑමයි. වාඩිලා ගැනීමත් සමගම ඒවා පවත්වාගෙන යෑමේ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය මතු වේ. කඩාවැටීමට භාජනය වන සෑම පැක්ටරියක ම පොත් පත් විවෘත කරමින් ඒවායේ ගණන් හිලව් පරික්ෂා කිරීම සඳහා වෘත්තිය සමිති වල විශේෂ කමිටු පිහිටු විය යුතුය.

ජාතික බංකොළොත් භාවය වළක්වා කර්මාන්ත පද්ධතීය ආරක්ෂා කර ගත හැක්කේ අධිරාජ්‍යවාදී බැංකු හ මූල්‍ය සංස්ථා වන්ගෙන් සම්පූර්ණයෙන් කැඩෙන ආණ්ඩුවකට පමණි. මෙම සංස්ථාවලට ණය සහ පොලී ගෙවීම් සම්පූර්ණයෙන්ම නවත්වන, විදේශ වෙළඳාමේ ඒකාධිකාරියක් පිහිටවන ආණ්ඩුවකට පමණකි. ආර්ථික විනාශයට විරුද්ධව සටන් කරන සෑම කම්කරුවෙකුම මේ ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කිරීම සඳහා වහාම විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට බැඳීමට තීන්දු ගත  යුතුය. යූඑන්පී ආණ්ඩුවක් බලයෙන් ඉවත් කිරීම සඳහා සටන දිනිය හැක්කේ මේ පියවර ගැනීමෙන් පමණි.

(අවධාරනයන් theSocialist.LK වෙතිනි. මුල් ලිපියේ “න”, “ණ”,”ල” ,”ළ” රීතිය බැහැරව අක්ෂර වින්‍යාස යොදා ඇත)

කම්කරු මාවත ඉතිහාසයෙන්: ආර්ථික කඩා වැටීමේ බර කම්කරුවන් මතට – ආර්. ප්‍රේමදාස යූඇන්පී ප්‍රතිපත්ති පැහැදිලි කරයි Read More »

JRJ

කම්කරු මාවත  ඉතිහාසයෙන්: කොලපත-මහපාර හැර වෙන කිසිවක් දීමට යූඇන්පීයට බැරි⁣ය

JRJ
1978 අගමැති ලෙස පත් වීමෙන් පසු නුවර පත්තිරිප්පුවේ සිට ජේ.ආර් ජයවර්ධන ‘ජාතිය අමතයි’ (ඡායාරූපය:ජයවර්ධන කේන්ද්‍රය) 

මෙහි පළ වන්නේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) නිල පුවත්පත වූ කම්කරු මාවත පත්‍රයේ 1977 ජූලි 18 වන දින පළ කරන ලද ලිපියකි.

1977 ජූලි 21 වන දින පැවැත්වීමට නියමිත වූ මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය මැතිවරණ වේදිකාව තුළ ඉදිරිපත් කරන ලද තම වැඩපිලිවෙල සම්බන්ධව විකොස ඉදිරිපත් කරන ලද විවේචන හා එහි විප්ලවවාදී වැඩපිළිවෙළ සම්බන්ධ ලිපි අතරින් පහත ලිපිය යූඇන්පී ප්‍රතිපත්ති ගණනාවක් විචාරයට ලක් කරයි. වර්තමාන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලබන රාජ්‍ය ව්‍යවසායයන් පුද්ගලීකරණය කිරීමට අදාළ න්‍යාය පත්‍රය ඒ ආකාරයෙන්ම ජේ.ආර් ජයවර්ධන විසින්ද තම මැතිවරණ වේදිකාව තුළ ඉදිරිපත් කරනු ලැබීම ඉතිහාසය පුනරාවර්තනය වන්නේ ධනපති ක්‍රමයේ අර්බුදයෙන් ගොඩ ඒමේ අවශ්‍යතාවයන් සැපිරීම සඳහා බවත් නව  වැඩපිළිවෙළ වඩාත්  ඉහලට එසවුනු කප්පාදු පියවර වලින් සමන්විත වන බවත් අද මහ ජනතාව අත් දකිමින් සිටි. 1977 ජේ.ආර් ජයවර්ධන ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ ලංකාව විවෘත වෙලදපොලට නිරාවරණය  කිරීමේ න්‍යාය පත්‍රය පූර්ණ කිරීමේ ඉතිරි කොටස හරියටම ඉටුකිරීමට ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයට වික්‍රමසිංහ අවශ්‍ය පොරොන්දු දෙමින් නීතිමය, ආරක්ෂක හා දේශපාලන රාමුව සකස්කරමින් පවතී. ඉතිහාසයේ බරපතළ වැරදි නැවත පුනරාවර්තනය නොකිරීම සඳහා කම්කරු මහජනතාව මෙකී ඓතිහාසික අත්දැකීම් දැඩි ලෙස අවධාරණයට ගත යුතුය.    

***

කොලපත-මහපාර හැර වෙන කිසිවක් දීමට යූඇන්පීයට බැරි⁣ය

යූඇන්පීය තව දින කිහිපයකින් පසු පැවැත්වෙන මැතිවරනයේදී බලය ඉල්ලා සිටින එක් ධනපති පක්ෂයකි. එය ඉදිරිපත් තර ඇත්තේ මෙතෙක් මොනයම්ම හෝ ධනපති පක්ෂයක් විසින්වත් ඉදිරිපත් කර නැති ප්‍රමානයේ අසීමිත බංකොලෝත් වැඩ පිලිවෙලකි. එහි ප්‍රධාන අංගයන් මේවාය.

බඩු මිල අඩු නොකිරීම

අකුරැස්සේදී හා දෙනියායේදී ගිය සතියේ පවත්වන ලද රැස්වීම් වලදී බඩු මිල කෙසේවත් පහල දැමිය නොහැකි බවත්,ලෝකයේ වනත් රටවල බඩු මිල ඉහල යාම සලකා බලන විට බඩු මිල පහත දානවා යැයි කරන පොරොන්දවු බොරු පොරොන්දුක් බවත් යූඇන්පී නායකයා කල ප්‍රකාශය ධනපති පත්තරවල  පවා පල විය.  මේ අනුව පාන් මිල, හාල්මිල, මූලික එලවලු වර්ග වල මිල ආදියහි කිසිදු මිල පහල යාමක් සිදු නොවේ. පිටිකිරි හා ලදරු ආහාර පිලිබඳ තත්වයද එසේමය.

බඩු මිල අඩු නොකිරිමේ තීන්දුව බෙහෙත් ද්‍රව්‍ය හා පාසැල් පොත් කෙරේ ⁣කෙලින්ම බලපානු ඇත.

ලෝක වෙලඳ ලොගේ මිලට අනුව ලංකාවේ බඩු මිලද හැසිර වීමේ යූඇන්පීයේ ප්‍රකාශිත අරමුනට අනුව විශාල ප්‍රමානයන්ගෙන් බඩු මිල ඉහල දැමීමේ තීන්දු ක්ෂනිකව ක්‍රියාවට දැමීමට ඔවුනට සිදුවනු ඇත.

ලංකාවේ ආහාර ද්‍රව්‍ය සඳහහා පමනක් රටේ මාසික ආදායමෙන් ආදායමෙන් සියයට 85ක්  වැයවෙන බවට ඔවුන් දැන් ගෙන යන ප්‍රචාරය ට අනුව දැනට ලැබෙන සීමිත ආහාර සහනාධාර කපා දැමීමේ තීන්දුව ඔවුන් විසින් ගත යුතුව ඇත. ශ්‍රීලනිපය 1973 දී හාල් සලාකය හරි අඩකින් කැපීමට ගත් තීන්දුව එහි තර්කානුකූල අන්තය කරා ගෙන ඒම මීළඟ ධනපති ආණ්ඩුවට වැළැක්විය නොහැකිය.

කෘෂිකර්මාන්තය විනාශ කිරීම 

“බඩු මිල පහත නෙහෙළීම” පිළිබඳ ජේ.ආර් ජයවර්ධන කර ඇති ප්‍රකාශනය කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් මරනීය වෙයි. මෙහි අර්ථය නම් පොහොර මිල, ට්‍රැක්ටර් මිල, රසායනික ද්‍රව්‍ය මිල පිළිබඳ කිසිදු සහනයක් යූඇන්පී යෙන් බලාපොරොත්තු විය නොහැකි බවය. 

ශ්‍රීලනිපය කෘෂිකර්මාන්තය ගැන අනුගමනය කල ප්‍රතිපත්තිය ගොඩ මඩ දෙකහිම ගොවිතැන විනාශ කලේය. රාජාංගනය මීට උදාහරනයකි. රජරට පලාත පුරා ගොවි බිම් විනාශ වී පැන නැගී ඇති අර්බුදයත්,  උඩරට ප්‍රදේශයේ විශාල වශයෙන් එළවළු වගාවන්හි ඇති අර්බුදයත් ඉදිරි මාසවලදී ආහාර ද්‍රව්‍යයන්ගේ  විශාල මිල ඉහල යාමක් හා  හිඟයක් නිර්මානය කරනු ඇත.

මේ තත්ත්වයෙන් රට ගොඩනැගීමේ කිසිදු සැලැස්මක් යුඇන්පිය ඉදිරිපත් කොට නැත.

විශේෂයෙන්ම ගොවියාට වතුර සැලසීම පිළිබඳ ප්‍රශ්නය ගැන එය මුළුමනින්ම නිහඬය.

පොල් සහ තේ වගාවන් වල දැන් වාර්තා වී ඇති කඩා වැටීම නතර කිරීමට ද කිසිදු වැඩපිළිවෙළක් ගැන යූඇන්පිය කතා නොකරයි.

දේශීය කර්මාන්ත විනාශ කිරීම හා සංස්ථා වසා දැමීම

බියගම පැවැති රැස්වීමක දී ජේ.ආර් ජයවර්ධන මෙසේ ප්‍රකාශ කළේය. 

“රජය විසින් පසුගිය අවුරුදු හත ඇතුළත සංස්ථා ගනනක්ම ඇති කලා. ඉන් සමහර ඒවායේ පාලනය ඉතාමත් ම පහත් තත්වයකට පත්විය.  මෙම අකාර්යක්ෂම සංස්ථා වලින් ඒවා පිහිටුවීමේ පරමාර්ථය ඉටු වී නෑ. සමහර සංස්ථා වසා දැමීමට සිදුවිය හැකිය.” මේ ජනපති නායකයා කෙලින්ම ප්‍රකාශයට පත් කරන්නේ හාම්පුතුන්ගේ සංගමය හා ලංකා  වෙලඳ ව්‍යාපාරිකයින්ගේ සංගමය කාලයක් තුළ කර ඇති ඉල්ලීමකි. එනම් පෞද්ගලික ධනපතියාගේ සෘජු බලපෑම යටතට ලංකාවේ සියලු වෙළඳ ව්‍යාපාර යටත් විය යුතු බවය. 

ඔහු ඉදිරිපත් කරන්නේ කාර්මික සංස්ථා තුල 44% ක ප්‍රමානයට ශ්‍රිලනිප ආන්ඩු කාලය තුල සිදු වූ කඩා වැටීම ගොඩ ගැනීමේ ක්‍රමයක් නොවේ. මේවා මුළුමනින්ම වසා දැමීමටත් පිටරට කොම්පැනි වල සෘජු ගනුදෙනු කාරයන් බවට පත්වීමටත් ලංකාවේ කොම්පනි කාර්යන්ට හා වෙලඳ ව්‍යාපාරිකයන්ට මග සලසා දීමේ වැඩපිලිවෙලකි.

මේ රටේ නිෂ්පාදනය කරනවාට වඩා පිටරටින් බඩු ගෙන්වා මෙහි විකිනීම හොඳ යයි ඔහු මහරගම දී කල කතාවේ තේරුම එයයි. එය ජාතික කර්මාන්ත මුළුමනින්ම අත්හැර දැමීමට කරන ලද කතාවකි.

කම්කරුවන් විශාල වශයෙන් රැකියා වලින් එල වීමත්, කිසිදු අලුත් රැකියාවක් ඇති නොවීම නිසා රැකියා හිඟය උග්‍ර වීමත්, දැනට ඇති සීමිත ධනයද පිටරට ඇදී යාම නිසා පූර්න බංකොලොත් භාවයක් මෙම පියවරේ ප්‍රතිඵල වනවා ඇත.

නිදහස් වෙළඳ කලාපය නැමැති ප්‍රෝඩාව 

ලංකාවේ අක්කර 200ක පමන ප්‍රදේශයක් විදේශීය ධන ආයෝජකයන්ට පවරා දී නිදහස් වෙලඳ කලාපයක් ඇති කරන බව යූඇන්පී වැඩපිලිවෙලේ ප්‍රධාන අංගයක් වුවත් එය මුළුමනින්ම ප්‍රෝඩාවකි.

අමෙරිකාව ප්‍රමුඛව සියලුම අධිරාජ්‍යවාදී රටවල මූලික ප්‍රතිපත්තිය නම් වෙළඳ යුද්ධයේ ප්‍රතිපත්තියයි. කිසිම රටක් සංවර්ධනය කිරීම සඳහා මුදල් යෙදවීමේ ප්‍රතිපත්තිය ඔවුන් මුළුමනින්ම අතහැර දමා ඇත. එසේම දීර්ඝ කාලීන ආයෝජන සඳහා මුදල් යෙදවීම අද බහුජාතික කොම්පැනි විසින්  සලකුනු ලබන්නේ යල්පැන ගිය ප්‍රතිපත්තියක් ලෙස ය.

ජේ.ආර් ජයවර්ධන අධිරාජ්‍යවාදීන්ට මොනම විදියේ අනර්ඝ කොන්දේසි හදා දුන්නත් එම කොම්පැනි  ජනසතු නොකරන බවටත්, රටේ වෘත්තීය සමිති අයිති නැති කරන බවට මොන පොරොන්දුව දුන්නත් ඉබ්බන්ගෙන් පිහාටු ගැනීම මෙන්ම බංකොලොත් අධිරාජ්‍යවාදීන්ගෙන් නය ආධාර හා ආයෝජන ගෙන්වා ගැනීම ද කල නොහැක්කකි.

වෘත්තීය සමිති කැඩීම හා ආරක්ෂක නීති තර කර ගැනීම   

“දවස” පත්තරයට යූඑන්පී නායකයා දුන් ප්‍රකාශනයක මෙසේ සඳහන් වේ. “එක් වෘත්තියක් සඳහා එක සමිතිය බැගින් පිහිටුවීමෙන් ඒ ඒ සේවකයන් රාජකාරි යෙදී සිටින ආයතනය පාලනය සඳහා ඔවුන්ගේ සහභාගිත්වය ලබා ගැනීම පහසු වන්නේය.” තවදුරටත් දේශපාලන පක්ෂ හා වෘත්තිය සමිති අතර ඇති සම්බන්ධය නොසුදුසු යැයිද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

“තනි සමිතියක්” පිළිබඳ අදහසත්, වාමාංශික දේශපාලන පක්ෂ හා වෘත්තිය සමිති අතර ඇති සම්බන්ධය කැඩීමට ගන්නා උත්සාහයත් අද යූඇන්පීය විසින් අලුතින් ඉදිරිපත් කරන ඒවා නොවේ. ඒවා කවදත් ඔවුන්ගේ වුවමනාවන් විය. එහෙත් අද ධනපති ක්‍රමය මුහුන පා ඇති අර්බුදය නිසා මේ පියවර ගැනීමට ඔවුන් වඩාත් මෘග  අන්දමින් ඉදිරිපත් විය යුතුය.

ජනරජ ව්‍යවස්ථාව හා වෙනත් නීති ප්‍රතිසංස්කරනය කරන බවට ඔවුන් දෙන පොරොන්දුවේ අදහස එයයි. මහජන ආරක්ෂක පනත, අපරාධ යුක්ති පනත හා සේවා අහෝසි කිරීමේ පනත වැනි ශ්‍රීලනිපයට සම්මත කරගත නොහැකි වූ පනත් නැවත ගෙන ඒමට ද අලුතෙන් තවත් මර්දන නීති රාශියක් ගෙන ඒමටද යූඇන්පිය සූදානම් ය.

ජනාධිපති භාවය හා ඒකාධිපති බලතල හා සිවිල් යුද්ධය  

ජේ.ආර් ජයවර්ධන තමන් වටා සියලු බලතල ඒකරාශී කර ගැනීමට ධනපති ප්‍රජාතන්ත්‍රවාදය යටතේ පවතින බල බෙදීම යන ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අත්හැර දැමීමටත් ගන්නා උත්සාහය ඒකාධිපතිත්වයක් සදහා ගන්නා උත්සාහයකි.

මෙය යූඑන්පී ආන්ඩුවක ඇත්ත අරමුන පැහැදිලි කරයි. එනම් අන්ත දුගී ආර්ථික තත්වයන්,  කම්කරුවන්, ගොවීන් හා සෙසු පීඩිත කොටස් මත පැටවීමට අවශ්‍ය පොලිස්-මිලිටරි කුමන්ත්‍රනයකට පසුබිම සකස් කර ගැනීමය. යූඇන්පීයේ ඇත්ත ගමන් දිසාව එයයි.

ලංකාවේ සියයට 43 ක් පමණ වන රුපියල් 200ට අඩු ආදායම් ලබන දුගීන්ට ද, රුපියල් 200 – 400 අතර පඩි ලබන ඉතිරි සියයට 37 ට ද, යූඇන්පිය විසින් හිමි කරනවා ඇත්තේ, කොලපත හා මහපාර පමනය. ඔවුන්ගේ අනාගතය රැඳී ඇත්තේ ශ්‍රීලනිපය  මෙන්ම යූඑන්පීයත් පරාජය කිරීමේත්, කම්කරු ගොවි ආන්ඩුවක් ගොඩ නගා ගැනීමෙත් මාවත ඔස්සේ පමනය.

කම්කරු මාවත  ඉතිහාසයෙන්: කොලපත-මහපාර හැර වෙන කිසිවක් දීමට යූඇන්පීයට බැරි⁣ය Read More »

KM

‘කම්කරු මාවත’ ඉතිහාසයෙන්

KM

ශ්‍රීලනිපය හා පෙරමුන අතුගෑවෙයි! අර්බුදය මැද යූඇන්පීය බලය ගනි. කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා නායකත්වය ගොඩනගමු!

සිරිමා බන්ඩාරනායකගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) ප්‍රමුඛ සමගි පෙරමුන ආන්ඩුව බලයෙන් අතුගා දැමූ 1977 ජුලි 21 මහ මැතිවරනයෙන් තුනෙත් දෙකක බලයක් ලබා ජේ.ආර්.ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂය (යූඇන්පී) බලයට පැමිනියේ විකල්ප ⁣කම්කරු මාවතක් අහිමි කැනු ලැබූ මහජනතාවගේ විරෝධී ජන්දයක් මගිනි. එතැන් සිට මහා කප්පාදු  පියවරයන් එකිනෙක මහජනයා මත හෙලමින් ද, මෘග ප්‍රචන්ඩකම් කම්කරු පීඩිතයන් හා දේශපාලන විරුද්ධාවාදීන් මත හෙලමින් ද පාලනය ඇරඹි ජයවර්ධන රට භූගෝලීය ප්‍රාග්ධනයට විවෘත කිරීම සඳහා අවශ්‍ය ඒකාධිපති බලතල තමන් වෙත පවරා ගැනීමේ විධායක ජනාධිපති ක්‍රමයක් ස්ථාපිත කරමින් 1978 ජුලි 31 දින ලංකාවේ දෙවන ජනරජ ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කලේ ය. එම වසරේ සැප්තැම්බර් 7 සිට බලාත්මක වූ මෙම ඒකාධිපති හා වර්ගවාදී ව්‍යවස්ථාව යටතේ මෙම රට වසර 45ක් ධනපති පාලනයට නතුව පැවතියේය. සංශෝධන 21ක් හරහා ඒකාධිපති බලය අංශුවකින් හෝ කපා හැර නැති මෙම ව්‍යවස්ථාව යටතේ  දහස් ගනනින් තරුනයන්, කම්කරුවන් බිලිගත් දකුනේ තරුන කැරැල්ලක් ද, උතුරේ තිස් අවුරුදු වර්ගවාදී යුද්ධයක් ද, භීෂනයද, දුප්පත්කමද, කාලකන්නිකමද කම්කරු පීඩත මහජනතාවගේ හිස මත පාත් කෙරුනි.

මෙම ධනපති ප්‍රහාරයට එරෙහිව විප්ලවවාදී කම්කරු පන්තික ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් හා වැඩපිලිවෙලක් ඉදිරිපත් කරමින් අප්‍රතිහත ධෛර්යකින් යුතුව සටන් වැදුනේ 1968 පිහිටුවන ලද විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) හා එහි අනුප්‍රාප්තික සමාජවාදී සමානතා පක්ෂය (සසප) යි. 1972 දී බන්ඩාරනායකගේ ආන්ඩුව තහනමට ලක් කරන තෙක් විකොස නිල පුවත්පත වූයේ “කම්කරු පුවත්” ය. තහනමින් පසු “කමිකරු මාවත” නමින් විකොස තම නිල පුවත්පත නිකුත් කලේ කම්කරුවන්, ගොවීන්, තරුනයන්, බුද්ධිමතුන් වෙත එදිනෙදා දේශපාලන පැහැදිලිකම නොපමාව රැගෙන එමිනි.

1977 ජුලි මැතිවරනයෙන් බලයට පත් යූඇන්පී ආන්ඩුව යටතේ ලංකාවේ නවලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට දිමීම සමග පන්ති අරගලය නව අධියරයන්ට පිවිසි අතර විකොස එම අරගලවල නායකත්වය සඳහා ඉදිරිදර්ශනය සම්පාදනය කරමින් ක්‍රියාකාරිව සටන් වැදුනේ ය.

විශේෂයෙන් මෙම වසර 45 කාලය තුලත්, ඉන් පෙරත්, ලංකාවේ ධනපති ක්‍රමයේ චලනයන්, කම්පනයන් පිලිබඳව එදා විකොස ලෙසත් පසුව ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) ආරම්භ කිරීම දක්වා සසප විසිනුත් කරන ලද දේශපාලන අරගලයේ කැඩපත වූ කම්කරු මාවත පුවත් පතේ තෝරාගත් ලිපි පලකිරීම සඳහා ද-සෝෂලිස්ට්.LK වෙබ් අඩවිය තීන්දු කර ඇති බව අප පාඨකයන්ට සහෝදරත්වයෙන් දැනුම් දෙමු. එසේ තොරාගත් ලිපි “කම්කරු මාවත ඉතිහාසයෙන්” නමින් විශේෂාංගයක් ලෙස මෙතැන් සිට පලකෙරෙනු ඇත.

වත්මන් අරගලවලට අවැසි පාඩම් උකහා ගැනීමේත්, විකොස අරගලයේ ජීවමාන අත්දැකීම් සහි කැඳවීමේත්, ඓතිහාසික මුසාකරනයන්ට එහෙිව සිදුවීම් පිලිබඳ තත්‍ය සමාජවාදී විශ්ලේෂන වෙත හැරී ගැනීමේත් උපකාරයක් ලෙස මෙම ලිපි පරිශීලනය කිරීම වැදගත් ලෙස සැලකිය යුතුය.

එහි ආරම්භයක් ලෙස ඉහත කී 1977 මැයි මහ මැතිවරනය අවසානයේ එහි දේශපාලන ඇඟවුම වග විභාග කරමින් විකොස 1977 ජුලි 23 සෙනසුරාදා  කම්කරු මාවත 395 කලාපයේ පල කල පහත ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරමු. 

ද-සෝෂලිස්ට්.LK කර්තෘ මන්ඩලය.

***

ශ්‍රීලනිපය හා පෙරමුන අතුගෑවෙයි

අර්බුදය මැද යූඇන්පීය බලය ගනි.

කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා නායකත්වය ගොඩනගමු!

ජුලි 21 මැතිවරනයේදී, එතෙක් බලයේ සිටි ධනේශ්වර ශ්‍රීලනිප ආන්ඩුව මෙතෙක් පැවති කිසිම ආන්ඩුවක් අත් නොදුටු ආකාරයේ අන්ත පරාජයක් ලද අතර වසර හයක් තිස්සේම එම ධනපති පාලනයේ ප්‍රධාන මුක්කුව ලෙස ක්‍රියාත්මක වූ සමසමාජ-කොමියුනිස්ට් පක්ෂවල සියලුම නියෝජිතයන් ද පාර්ලිමේන්තුවෙන් එලියට අතුගෑවී ගියේය. 

1977
1977 ජුලි 23 පිහිටවූ ජයවර්ධනගේ කැබිනට් අමාත්‍ය මන්ඩලය (ජායාරූපය: අනුරාධ දූල්ලෑව විජේරත්න)

ලංකාවේ අනෙක් ප්‍රධාන ධනපති පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය එහි නායකයින් බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි ජන්ද ගනනක් ලබමින් ආසන 168 කින්139ක් දිනා ගනිමින් දැවැන්ත විරෝධතා ජන්දයක ප්‍රතිඵලයක්  ලෙස බලයට තල්ලු වී පැමින ඇත.

21දා මහ මැතිවරනයේ ප්‍රතිඵල ලංකාවේ පංති සටනේ නව ගුනාත්මක අවධියක ආරම්භයක් වෙයි. පලමු වැනුව, මේ තරම්ම තියුනු ලෙස ද දැවැන්ත ලෙසද බලයේ සිටිආන්ඩුවක්, තුනෙන් දෙකක ජන්දයකින් බලය ලබා සිටි ආන්ඩුවක් එලවා දමන ලද අවස්ථාවක් නොවීය. මැතිවරන ප්‍රතිථල තීන්දු කෙරී ඇත්තේ බලය ඉල්ලූ පක්ෂ ඉදිරිපත් කල ප්‍රතිපත්ති මගින් නොව බලයේ සිටි ආන්ඩුව ගෙන ගිය ආර්ථික විනාශයේ ප්‍රතිපත්ති වලින් බව උවමනාවටත් වඩා පැහැදිලිය. 

1971 මහා මිනිස් ඝාතනය, සය අවුරුදු හදිසි නීතිය, එක දිගටම සිදුවූ පොලිස් මර්දන, පෙර නොවූ ආකාරයට සිදුවූ බඩු මිල ඉහලයාම, රැකියා හිඟය හා ආර්ථික විනාශය ධනපති ශ්‍රිලනිපයේ විනාශය සලකුනු කල ප්‍රධාන කරුනු විය.

මැතිවරන ප්‍රතිඵලවල පරස්පර විරෝධී බව රැඳී ඇත්තේ, ඉහත කී මහා ආර්ථික විනාශයට එරෙහිව වැටුනු ජන්දය ධනපති යූඇන්පීය වටා ගොනු වීමෙහිය. මේ තත්වය තුඩු දෙනු ඇත්තේ 1970-1977 කාලයේ පැවතුනා⁣ටත් වඩා අන්ත දරුනු පුපුරනසුලු තත්වයකට යි. මෙය වැලැකිවිය නොහැකිය.

බලාපොරොත්තුව

අලුත් යූඇන්පී ආන්ඩුව බලයට පත් වන්නේ බඩු මිල, රැකියා හා ජීවන තත්වය ගැන මහජනයා ගේ දැවැන්ත බලලාපොරොත්තු පුපුරන සුලු මට්ටමට උග්‍ර වී ඇති තත්වයකදී ය.  නමුත් ධනපති ක්‍රමයේ අන්ත බංකොලොත්කම කොතෙක් ද යත් එම බලාපොරොත්තු යම්තම් වත් සැපිරිය හැති තත්වයක් ධනපති ක්‍රමය තුල නැත.

මෙම කරුන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය මගින් පමනක්ම, මැතිවරනය පෙරදී ද, මැතිවරනය මැද දී ද දැඩි ලෙස අවධාරනය කෙරුනි.  ශ්‍රීලනිපයේ තුනෙන් දෙකක වැඩි ජන්ද සංඛ්‍යාව වසරකටත් අඩු කාලයකදී දවා හලු කල එම අර්බුදය මෙදා ආන්ඩුවේ පවුරු පදනම් සුන් කිරීම කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමනි. 

ආර්ථික අර්බුදයේ ගැඹුර පිලිබඳ කරුනු සංක්ෂිප්තව ඉදිරිපත් කලහොත්: රටේ විදේශ නය ප්‍රමානය රුපියල් කෝටි 500 පැන ඇත. නයට පොලී වශයෙන් වාර්ශිකව රුපියල් කෝටි 143ක් වැය වෙයි. මූලික කර්මාන්ත වල නිෂ්පාදනයේ පහත වැටීම පෙර නොවූ විරූ පරිදි සිදු වෙයි. 1976 දී සංස්ථා අංශයේ සියයට 44 කින් ද, තේ කර්මාන්තයේ සියයට 8.1 කින් ද, පොල් කර්මාන්තයේ සියයට 13 කින්ද නිෂ්පාදනය කඩා වැටුනි.

ධනපති අර්ථ ශාස්ත්‍රඥයන් පෙන්වන පරිදි මෙය අකාර්යක්ෂමතාවයේ හෝ දූෂනයේ ප්‍රතිඵලයක් නොව අද පැන නැගී ඇති උ්‍රග්‍ර ධනපති ආර්ථික කඩා වැටීමේ විවෘත ප්‍රතිඵලය යි.

බඩු මිල ප්‍රශ්නය මත තාවකාලිකව හෝ උපාමාරු යෙදීමට අපහසු වන්නාවූත්, රැකියා අර්බුදය උග්‍ර කරන්නා වූත් ධනවාදයේ මෙම අර්බුදය තුල කම්කරුවන්ට ගොවීන්ට-පීඩිතයන්ට හා තරුනයන්ට විසඳුමක් නැත. 

විසඳුම ඇත්තේ සියලු ධනපති දේපල වන්දි විරහිතව ජනසතු කරන ලද කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා සටන ඔස්සේ පමනකි.

සමසමාජ-ස්ටැලින්වාදී නායකයෝ මේ වැඩපිලිවෙල එදත් ප්‍රතික්ෂේප කලහ. අදත් ප්‍රතික්ෂේප කරති. ඔවුන් මුලු මුනින්ම පාහේ පාර්ලිමේන්තුවෙන් එලියට අතුගෑවී  යෑම ඔවුන් ගෙන ගිය ද්‍රෝහී මහජන පෙරමුනු දේශපාලනයේ විවෘත ප්‍රතිඵලය විය.

බඩු මිල වැඩි කිරීමට ද, රැකියා හිඟය නිර්මානය කිරීමට ද, පොලිස් මර්දනය උග්‍ර කිරීමට ද ඔවුන් පිදූ සහාය ඔවුන් පාර්ලිමේන්තුව තුලින් අතුගෑවී යෑමට පදනම දැමුවා පමනක් නොව, පසුගිය ආන්ඩුවට එරෙහිව පැන නැගි දැවැන්ත ජනතා නැගිටීමේ නායකත්වය කම්කරු පන්තිය විසින් දිනා ගනු ලැබීමට ප්‍රධාන භාධාවක් විය. ඒ අර්ථයෙන් ගත් විට දක්ෂිනාංශික යූඇන්පි ආන්ඩුවට පාර කැපීමේ පුර්න වගකීම පැවරිය යුත්තේ සමසමාජ-ස්ටැලින්වාදී නායකත්වය වෙතයි.

ධනපති ක්‍රමය හැසිරවීම මගින් අර්බුදය විසඳිය හැකි යැයි මේ නායකයන් ගෙනගිය වැඩ පිලිවෙල දක්ෂිනාංශයට හා මිලිටරි ඒකාධිපතීත්වයට පාර කපන වැඩපිලිවෙලක් බව අපි නිරතුරුව කම්කරු පංතියට අනතුරු හැඟැ වූයෙමු. 

නායකයින්ගේ ද්‍රෝහී දේශපාලනය හා නායකත්වයම කම්කරු ව්‍යාපාරයෙන් ඉවත් කර නොදමා ධනපති ප්‍රහාරයට මුහුන දිය නොහැකි යැයි අපි නිරතුරුව කීවෙමු. අද මෙය උවමනාවටත් වඩා සනාථ වී තිබේ.

1970 සිට දීන ලෙස ශ්‍රීලනිපයට සහාය දුන් ඔවුහු අද යූඇන්පී ප්‍රහාරයන්ට දොර හැර මුලුමුලින්ම නායකත්වයක් නැති තත්වයට කම්කරු ව්‍යාපාරය ඇද ලා සිටිති.

එහෙත් ලංකාවේ කම්කරු පංතිය තවමත් ශක්තිය නොබිඳි අපරාජිත බලවේගයක් ලෙස පවතී. පසුගිය හවුල දෙදරවා හැර සිරිමා බන්ඩාරනායක ආන්ඩුව දෙදරවා හැරීමේ හැකියාව කම්කරු පංතියට තිබුනි. අපි එම සටනේ පෙරමුනේ සිටියෙමු. 

දරුනු ආර්ථික අර්බුදය මධ්‍යයේ බඩු මල නැංවීමේත්, රැකියා නැසීමේත්, ආර්ථික විනාශය ඇති කිරීමේත් ප්‍රතිපත්ති හැර වෙනත් ප්‍රතිපත්ති අනුගමනය කරන්නට යූඇන්පීයට නොහැකිය. මේ තත්වය කෙලින්ම යූඇන්පීයට එරෙහි දැවැන්ත පංති සටන් පැන නංවනු නියතය. ඒ තත්වයේදී යලිත් වරක් ධනපති පක්ෂ සමග හවුලක් ඇටවීමට කම්කරු ව්‍යාපාරයේ නයකත්වය දිව යනු ඇත. ඊට එරෙහිව සමාජවාදී වැඩපිලිවෙලක් උඩ කම්කරු බලය සඳහාත් කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහාත් නොසැලී සටන් වදින නායකත්වය ගොඩනගා ගැනීම දැන් ජීවිතයත් මරනයත් අතර ප්‍රශ්නයක් වෙයි.

විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය එම කටයුත්තට කැප වෙයි. මැතිවරන ව්‍යාපාරය මැද දී අප කල මැදිහත්වීම එවැනි නායකත්වයක් සඳහා දැවැන්ත පදනමක් දමා ඇත. යූඇන්පීය පලවා හැර  මහජන පරමුනට යලි ඉඩ නොදී කම්කරු-ගොවි ආන්ඩුවක් පිහිටුවීම සඳහා කම්කරු ව්‍යාපාරය මෙහෙයවීමේ සටන අපි අරඹමු.

යූඇන්පීය ඉදිරියේ යලිත් වරක් ධනපති ශ්‍රීලනිපයට හෝ වෙනත් ධනපති පතුරකට හෝ හේත්තු වීමේ දේශපාලනයක් ගෙන යෑමට සමසමාජ – ස්ටැලින්වාදී නායකයින්ට ඉඩ නොදෙන ලෙස අපි එම පක්ෂවල සාමාජිකයින්ගෙන් හා වෘත්තීය සමිති ව්‍යාපාරයෙන් ඉල්ලමු. 

යූඇන්පීය මේ ඉමහත් අර්බුදය මැද ඔවුන්ගේ ප්‍රහාරයන් එල්ල  කිරීමේ දී මූලික ඔට්ටුව අල්ලනු ඇත්තේ  කම්කරු ව්‍යාපාරයේ නායකත්වය කරන ද්‍රොහී කමි උඩයි.

විප්ලවවාදී නායකත්වය තීරනාත්මක වන්නේ එබැවිනි. විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට බැඳෙන ලෙසත්, යූඇන්පීය පලවා හැර කම්කරු-ගොවි ආන්ඩුවක් ගොඩනැගීමේ සටනේ  දී ඒ වටා එක් වන ලෙසත් අපි සියලු සටන්කාමීන්ගෙන් ඉල්ලමු.

‘කම්කරු මාවත’ ඉතිහාසයෙන් Read More »

Scroll to Top