Inequality

billionaires

බිලියනපතියන්ගේ ධනය ඩොලර් ට්‍රිලියන 2 කින් පිම්මේ ඉහළ යද්දී, “රදල කතිපයාධිකාරය” විසින් ලෝකය පාලනය කරන බව ඔක්ස්ෆැම් පවසයි

ආන්ඩ්‍රේ ඩේමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2025 ජනවාරි 20 දින “Oxfam says world ruled by “aristocratic oligarchy,” as billionaire wealth surges by $2 trillion” යන හිසින් පල වූ ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද  ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු විසිනි.

billionaires
මාක් සකබර්ග්, ජෙෆ් බෙසොස්, සුන්දර් පිචෙයි සහ එලොන් මස්ක් ඇතුළු අමුත්තන්, 2025 ජනවාරි 20, සඳුදා, වොෂින්ටන් හි එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ලේ රොටන්ඩා හි 60 වැනි ජනාධිපති පදවි ප්‍රාප්තිය සදහා පැමිණ. (AP Photo/Julia Demaree Nikhinson, Pool)

සඳුදා, ඔක්ස්ෆැම් දරිද්‍රතාවයට එරෙහි පුණ්‍යායතනයෙහි වාර්ෂික වාර්තාවට අනුව, 2024 දී ලෝකයේ බිලියනපතියන්ගේ ධනය ඩොලර් ට්‍රිලියන 2කට ඉක්මවා වැඩි වීය. ගෝලීය සමාජය තුල වැඩි වැඩියෙන් ආධිපත්‍යය දරන්නේ “රදල කතිපයාධිකාරයක්” විසින් බව ඔක්ස්ෆෑම් අනතුරු ඇඟවීය.

ලෝක බිලියනපතියන්ගේ ධනය 2024 දී ඩොලර් ට්‍රිලියන 13 සිට ඩොලර් ට්‍රිලියන 15 දක්වා වර්ධනය වූ බව පුණ්‍යායතනය වාර්තා කළේය; එය 2023 ට වඩා තුන් ගුණයක වේගවත් බවකි.

2024 දී ධනවත්ම පුද්ගලයන් 10 දෙනාගේම ධනය සාමාන්‍යයෙන් දිනකට ඇමෙරිකානු ඩොලර් මිලියන 100කින් පමණ වර්ධනය විය.

බිලියනපතියන් සංඛ්‍යාව 204 කින් 2,769 දක්වා වර්ධනය විය. සාමූහිකව, ඔවුන්ගේ ධනය සෑම දිනකම ඩොලර් බිලියන 5.7 කින් පමණ වර්ධනය වූ අතර සාමාන්‍යයෙන් සතියකට නව බිලියනපතියන් හතර දෙනෙකු බිහි විය.

දශකය අවසන් වන විට ලෝකයේ ට්‍රිලියනපතියන්  එක් අයෙකු පමණක් සිටිනු ඇති බවට වූ එහි පසුගිය වසරේ ඇස්තමේන්තුව සමඟ සංසන්දනාත්මකව, මෙ වසරේ ඔක්ස්ෆැම් සිය වාර්තාවේ පුරෝකථනය කළේ , ඒ වන විට  ට්‍රිලියනපතියන් පස් දෙනෙකු සිටිනු ඇති බවයි.

“අපගේ ගෝලීය ආර්ථිකය වරප්‍රසාද ලත් සුළු පිරිසක් විසින් ග්‍රහණය කර ගැනීම, අතීතයේදී අපට සිතා ගැනීමටවත්  නොහැකි තරම් ඉහළ මට්ටමකට පැමිණ තිබේ” යැයි ඔක්ස්ෆෑම් ජාත්‍යන්තර විධායක අධ්‍යක්ෂ අමිතාබ් බෙහාර් පැවසීය. “බිලියනපතියන් බිහිවීම නැවැත්වීමට අපොහොසත් වීම මගින් දැන් ‘නුදුරේ-ට්‍රිලියනපතියන් වීමට සිටින්නන්’ බිහි කරමින් තිබේ. බිලියනපතියන්ගේ ධනය සමුච්චය වීමේ වේගය තුන් ගුණයකින් වේගවත් වී ඇතිවා පමණක් නොව ඔවුන්ගේ බලය ද එලෙසම වේගවත් වී ඇත,” ඔහු පැවසීය.

ලොව ධනවත්ම පුද්ගලයන් වන්නේ- ටෙස්ලා සහ ස්පේස් X නිර්මාතෘ එලොන් මස්ක්, ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 449; ඇමේසන් ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් බෙසොස්, ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 245; සහ ෆේස්බුක් ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග්, ශුද්ධ වත්කම ඩොලර් බිලියන 217 .

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තිය තුළ කැපී පෙනෙන ලෙස දක්නට ලැබුණේ මස්ක්, බෙසොස්, සකර්බර්ග්, ප්‍රංශයේ බ’නාඩ් ආනොල් සහ ගූගල් සම-නිර්මාතෘ සර්ජි බ්‍රින් ඇතුළු ලොව ධනවත්ම පුද්ගලයින් 10 දෙනාගෙන් පස් දෙනෙකුගේම පැමිණීමයි.

“ට්‍රම්ප් සහ මස්ක් ගැන සඳහන් කරමින් බෙහාර් පැවසුවේ, “මේ මොහොතේ ඔබ දකින්නේ (ලොව) ධනවත්ම පුද්ගලයාගේ සහාය ඇතිව බිලියනපති  ජනාධිපතිවරයෙකු අද දිවුරුම් දීමයි. එබැවින් මෙය බොහෝ දුරට ගෝලීය කතිපයාධිකාරීන්ගේ ඔටුන්නෙහි මාණික්‍යයයි.”

“මේ එක් නිශ්චිත පුද්ගලයෙකු ගැන නොවේ,” ඔහු තවදුරටත් පැවසීය. “එය, අවසානයේ ඔවුන්ට වඩ වඩාත් ලාභ  ලබා දෙන හා  දැන් බොහෝ දුරට බිලියනපතියන්ට ආර්ථික හා  සමාජ ප්‍රතිපත්ති හැඩගස්වා ගැනීමට හැකි වන පරිදි, අප විසින් නිර්මාණය කර ඇති ආර්ථික ක්‍රමය යි.”

මූල්‍ය ප්‍රභූවේ දැවැන්ත ධනවත්වීම සිදු වෙන්නේ මනුෂ්‍ය වර්ගයාගේ අතිමහත් බහුතරයකගේ ජීවන වියදම් අර්බුදයක් මධ්‍යයේ ය. සමාජයේ ධනවත්ම සියයට 1 සියලු ධනයෙන් සියයට 45කට ආසන්න ප්‍රමාණයක් හිමිකර ගන්නා අතර, මනුෂ්‍ය වර්ගයාගෙන් සියයට 44ක් (පරිවර්තක සටහන- මෙය 67% ලෙස නිවැරදි විය යුතුය) ලෝක බැංකුවේ දිනකට ඩොලර් 6.85 දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වෙති.

ඔක්ස්ෆෑම් වාර්තාව “රදල කතිපයාධිකාරයක්” ලෙස හඳුන්වන දෙයෙහි වඩ වඩාත් මුල් බැසගත් ස්වභාවය ද පෙන්වා දෙයි. වාර්තාවේ සඳහන් වන්නේ, “ ආන්තික (අතිමහත්) ධනය යනු ආන්තික (අතිමහත්) දක්ෂතා වල විපාකයක් යන අදහස අපගේ මාධ්‍ය සහ ජනප්‍රිය සංස්කෘතිය තුළ පැතිරී ඇති අතර දැඩි ලෙස ශක්තිමත් කර ඇත. නමුත් මෙම සංජානනය (අදහස) යථාර්ථය තුල  මුල් බැස ගන නැත. ”

එය තවදුරටත් මෙසේ පැවසීය: “2023 දී – පළමු වතාවට – ව්‍යවසායකත්වයට වඩා උරුමය හරහා තවත් නව බිලියනපතියන් ධනවත් විය. ලෝකයේ අවුරුදු 30 ට අඩු සියලුම බිලියනපතියන් ඔවුන්ගේ ධනය උරුමයෙන් අත් කර ගත්තේ විය.

මෙම මූල්‍ය කතිපයාධිකාරීන්ගේ ධනය ඇත්ත වශයෙන්ම “සිතා ගත නොහැකි”  බව පැහැදිලි කරන සංඛ්‍යාලේඛන වාර්තාවට ඇතුළත් වේ. එහි සඳහන් වූයේ, “මීට වසර 315,000 කට පෙර පළමු මානවයාගේ සිට ඔබ දිනපතා ඇමෙරිකානු ඩොලර් 1,000ක් ඉතිරි කළත්, ධනවත්ම බිලියනපතියන් දස දෙනාගෙන් කෙනෙකු තරම් ඔබට මුදලක්  එකතු නොවනු ඇත.”

එය තවදුරටත්, “ධනවත්ම බිලියනපතියන් 10 දෙනාගෙන් ඕනෑම කෙනෙකුගේ ධනයෙන් සියයට 99ක් අහිමි වුවත්, ඒත් තව දුරටත් ඔහු බිලියනපතියෙක්ම වනු ඇත.”

 වාර්තාව, සමාජ අසමානතාවයේ වර්ධනයට කර්මාන්ත වල වැඩිවන ඒකාධිකාරීකරණය සම්බන්ධ කරයි . “ඒකාධිකාරයන් කර්මාන්ත මත ඔවුන්ගේ ග්‍රහණය දැඩි කරන විට, බිලියනපතියන් ඔවුන්ගේ ධනය පෙර නොවූ විරූ මට්ටම්වලට අහස උසට නඟිනු අත්දකිමින්  සිටිති. ඒකාධිකාරී බලය ලොව පුරා ආන්තික (අති මහත්) ධනය හා අසමානතාවය උත්සන්න කරයි. ඒකාධිකාරී සංගතවලට වෙලඳපොල පාලනය කිරීමටත්, අනෙකුත් සමාගම් සහ කම්කරුවන් සමඟ ගනුදෙනු කිරීමේ (හුවමාරුවේ) නීති රීති සහ කොන්දේසි සැකසීමටත්, ව්‍යාපාර කටයුතු වලට හානි නොකර ගනිමින්  ඉහල මිල ගණන් නියම කිරීමටත් හැකිය.

උදාහරණයක් ලෙස, වාර්තාව සඳහන් කළේ “ඇමසන්, [ලෝකයේ දෙවන ධනවත්ම පුද්ගලයා වන බෙසොස් සතු] ජර්මනිය, ප්‍රංශය, එක්සත් රාජධානිය සහ ස්පාඤ්ඤය යන රටවල අන්තර්ජාල මිලදී ගැනීම්වලින් සියයට 70ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් හිමි කර ගන ඇති බවයි.”

සති අන්තයේ ධූරයෙන් ඉවත්ව යාමෙන් පසු කළ කතාවක දී, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, “අතිශයින් ධනයෙන්, බලයෙන් සහ බලපෑමෙන් යුත් කතිපයාධිකාරයක් ඇමරිකාව තුල හැඩගැසෙමින් පවතින බවට “අනතුරු ඇඟවීය.

එසේ වෙතත්, ඔක්ස්ෆෑම් වාර්තාව පැහැදිලි කරන්නේ, මෙම කතිපයාධිකාරය හුදෙක් “හැඩගැසෙමින් පවතින බව” පමණක් නොව, එය බයිඩන් පරිපාලනය යටතේ එහි ධනය හා බලය විශාල ලෙස වර්ධනය කර ගෙන ඇති බවයි. COVID-19 වසංගතයේ උච්චතම අවස්ථාවේදී බයිඩන් බලයට පත් වූ අතර, ඔහුගේ පරිපාලනයේ කේන්ද්‍රීය ගෘහස්ථ අවධානය වූයේ, වෝල් වීදියට ඇප දීම සහ ප්‍රධාන සංගත සඳහා පිරිවැය අඩු කිරීමේ අරමුන ඇතිව, ආසාදනවල මර්මස්ථාන වූ සේවා ස්ථාන වෙත කම්කරුවන් ආපසු ගෙන යාමයි. එහි ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙස ජාතික ආදායමේ කම්කරුවන්ගේ කොටස දශක ගනනාවක් තුල පහලම මට්ටමට වැටුනි.

මෙම මූල්‍ය කතිපයාධිකාරය දේශපාලන පක්ෂ දෙක මත ඇති  තම පාලනය, තමන්ගේ ධනය හා බලය ව්‍යාප්ත කිරීමට යොදා ගන්නේ ඔවුන්ගේ ධනයේ පදනම වන සූරා කැවෙන කම්කරු පන්තියේ වියදමෙනි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැහැදිලි කර ඇති පරිදි, එළබෙන ට්‍රම්ප් පරිපාලනය, “කතිපයාධිකාරය විසින්, එය වෙනුවෙන් සහ එහි” ආන්ඩුවකි.

ඔක්ස්ෆෑම් වාර්තාව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයේ (World Economic Forum) වාර්ෂික රැස්වීමට පූර්වයෙන්ය. වාර්තාව අසමානතාවයේ වර්ධනය පිලිබඳ බලගතු සහ ප්‍රතික්ෂේප කල නොහැකි දත්ත ඉදිරිපත් කරන අතර, එය තර්ක කරන්නේ “සංගත සහ සුපිරි ධනවතුන් ඔවුන්ගේ සාධාරණ බදු කොටස ගෙවීම සහතික කිරීම” මගින් මූල්‍ය කතිපයාධිකාරයේ වැඩිවන ග්‍රහණය බිඳ දැමිය හැකි බවයි. මූල්‍ය කතිපයාධිකාරය බලයේ සියලු ලීවර පාලනය කරන කොන්දේසි යටතේ මෙය ඉටු කළ යුතු ආකාරය එය පැහැදිලි නොකරයි.

එහෙත් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ අලුත් අවුරුදු ප්‍රකාශය පැහැදිලි කල පරිදි,

“කතිපයාධිකාරයට එරෙහි සටන එහි ස්වභාවයෙන්ම විප්ලවවාදී කර්තව්‍යයකි. එහි ධනය උදුරා ගත යුතු අතර ආර්ථික හා දේශපාලන ජීවිතය මත එහි ඇති ග්‍රහණය අහෝසි කළ යුතුය. දේශපාලන බලය ලබා ගැනීමටත්, නිෂ්පාදන ක්‍රියාවලිය මත ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ස්ථාපිත කිරීමටත්, සමාජවාදයේ පදනම මත – එනම් පුද්ගලික ලාභය මත නොව සමාජ අවශ්‍යතා මත – සමාජය ප්‍රතිසංවිධානය කිරීමටත්, ලෝක පරිමානව  කම්කරු පන්තිය බලමුලු ගැන්වීම මේ සදහා  අවශ්‍ය කරයි.”

බිලියනපතියන්ගේ ධනය ඩොලර් ට්‍රිලියන 2 කින් පිම්මේ ඉහළ යද්දී, “රදල කතිපයාධිකාරය” විසින් ලෝකය පාලනය කරන බව ඔක්ස්ෆැම් පවසයි Read More »

Stock exchange

ට්‍රම්ප් තීරුබදු යුද්ධය මූල්‍ය වෙලඳපොල අස්ථාවරත්වය උග්‍ර කරයි

නික් බීම්ස් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2025 පෙබරවාරි 7 දින “Trump tariff war exacerbates financial market fragility” යන හිසින් පල වූ නික් බීම්ස් විසින් ලියන ලද  ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු විසිනි.

එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප්ගේ ගෝලීය තීරුබදු යුද්ධයේ බලපෑම පිළිබඳ මාධ්‍ය ආවරණය මේ දක්වා ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත්තේ වෙළඳ ශේෂයන්, ගෝලීය සැපයුම් දාමයන් සහ ඉහළ නැංවීම් වල උද්ධමන බලපෑම වැනි කරුණු කෙරෙහි ය.

Stock exchange
නිව් යෝර්ක් කොටස් වෙළඳපොල බිමේ වෙළෙදාම්කරු මයිකල් ගැලුචි. [AP ඡායාරූපය/රිචඩ් ඩෲ]

නමුත් අඩු නොවන වැදගත්කමක් ඇති තවත් පැත්තක්ද තිබේ. එනම්,   අනපේක්ෂිත වර්ධනයන් සහ ට්‍රම්ප් මීළඟට කුමක් කරයිද යන්න පිළිබඳ අවිනිශ්චිතතාවය මගින් අර්බුදයක් ඇති කිරීමේ හැකියාව ඇති, වාර්තාගත මට්ටමේ ණය සහ සමපේක්ෂන මගින් පුම්බා ඇති බිඳෙනසුලු ගෝලීය මූල්‍ය වෙලඳපොලවල් මත, එහි කුමන බලපෑමක් ඇති කරනු ඇති ද යන්නයි.

මෙක්සිකෝවට සහ කැනඩාවට එරෙහිව පැනවූ සියයට 25ක තීරුබදු තර්ජනය සමඟින් ආරම්භ වූ ගෝලීය තීරුබදු යුද්ධය දිනපතාම පාහේ දිගු වෙමින් පවතී. ඊයේ ට්‍රම්ප් එහි නාම මාත්‍ර මිත්‍ර පාක්ෂික ජපානයට තීරුබදු පැනවිය හැකි බවට අනතුරු ඇඟවූ අතර, මෙතෙක් නම් නොකළ රටවල් මාලාවකට එරෙහිව ලබන සතියේ දී ‘එකට-එක’ කිරීමේ තීරුබදු එළිදක්වන බව නිවේදනය කළේය. යුරෝපීය සංගමය සෘජුවම මෙම වෙඩි තැබීමේ එල්ල රේඛාවේ සිටී.

සිදු විය හැකි  ප්‍රචණ්ඩ චලනය වෝල් වීදියේ දැනටමත් දර්ශනය වී ඇත. චීන  කෘතිම බුද්ධි (AI) සමාගමක් වන ඩිප් සීක්  (DeepSeek) තමන් විසින් AI සංවර්ධනය කිරීමේ ලාභදායී ක්‍රමයක් වර්ධනය කර ඇති බවට පසුගිය මාසයේ නිවේදනය කිරීම, එක්සත් ජනපද චිප් නිෂ්පාදක Nvidia හට  – ඉතිහාසයේ කිසියම් ම සමාගමකට අත්විඳීමට සිදුවූ විශාලතම එක්දින වැටීම වූ  – වෙළඳපල ප්‍රාග්ධනීකරණයෙන් ඩොලර් බිලියන 600 කට ආසන්න ප්‍රමාණයක් අහිමි වීමට හේතු විය.

දිනකට ඩොලර් ට්‍රිලියන 7.5ක් තරම් වෙළඳාම් කෙරෙන මුදල් වෙලඳපොලවල් ද තියුණු චලනයන්ට බඳුන් විය හැක. මෙක්සිකෝව සහ කැනඩාව මත සියයට 25ක තීරුබදු පැනවීමට ට්‍රම්ප් කළ තර්ජනයද, පසුව එය දින 30කින්  ප්‍රමාද කිරීමට එකඟ වීමෙන් පසුවද අත්දුටු ඩොලරයේ අගය වෙනස් වීම තුල මෙය දක්නට ලැබේ.

මෙම සතියේ ෆිනෑන්ෂල් ටයිම්ස් (FT) වාර්තා කළේ, වෝල් වීදියේ විශ්ලේෂකයින් “ජනාධිපතිගේ ප්‍රතිපත්ති සංගත ඇමරිකාව හරහා කඩා බිඳ දමමින් ක්‍රියාත්මක වන ආකාරය පිලිබඳ පූර්ව සලකුණක් ලෙස, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වෙලඳ යුද්ධවලට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිලිබඳ ප්‍රශ්න, බෝම්බ වර්ෂාවක් මෙන් එක්සත් ජනපද සමාගම් මතට  හෙලමින් සිටින” බවය.

ගෝලීය බැංකු සහ මූල්‍ය සමාගමක් වන UBS හි ට්‍රම්ප් ටැරිෆ් ලූසර්ස්  දර්ශකයේ  අදාල සමාගම් සමූහයක් ඇත. එය එක්සත් ජනපද තීරුබදු මගින් හෝ එකටෙක කිරීමක් ලෙස පනවනු ලබන තීරුබදු මගින් හෝ බලපෑ හැකි සමාගම්වල කාර්ය සාධනය නිරීක්ෂණය කරයි.

FT ට අනුව, Goldman Sachs පවසා ඇත්තේ, BMW සහ Mercedes-Benz වැනි මෝටර් රථ කර්මාන්තයේ දැවැන්තයන් ඇතුළුව, ට්‍රම්ප්  තීරුබදු ගාස්තුවලට නිරාවරණය වන යුරෝපයේ හෙජ් අරමුදල් අරමුදල් සමාගම් “වැඩි වැඩියෙන් ෂෝටඩ් (shorted)” කර ඇති බවයි. සමාගම් කොටස් ‘ෂෝටිං’  (shorting) කිරීම යනු  ලාභයක් ගෙන ඒම සඳහා  එහි මිල පහත වැටෙනු ඇති බවට ඔට්ටු ඇල්ලීමයි. එය අනපේක්ෂිත ලෙස විරුද්ධ පැත්තට ගමන්  කළහොත් විශාල පාඩුවක් සිදුවිය හැකිය.

එක් දිනක සිට ඊළඟ දිනය දක්වා ට්‍රම්ප් විසින් කුමන විධායක නියෝගයක් ක්‍රියාත්මක කරනු ඇත්දැයි කිසිවෙකුට විශ්වාස නැති බැවින් වෙලඳපොලවල වැඩෙන කැළඹීමක් පවතී. දිනකට පමණක් පවතින ඉතා කෙටි කාලීන වෙළඳපල චලනයන් සඳහා ඔට්ටු ඇල්ලීමට භාවිතා කරන කොන්ත්‍රාත්තු වන ශුන්‍ය-දින ඹප්ෂන්ස්  (zero-day options) හි වෙළඳාම් (ගනුදෙනු) කිරීම  ජනවාරි 31 වන දින වාර්තාගත ඉහළම ඩොලර් ට්‍රිලියන 1.4 ක අගයක් සටහන් කල බවට වාර්තාවීමෙන් මේ බව පිළිබිඹු වේ.

ගෝලීය මූල්‍ය සමාගමක් වන GAM හි ආයෝජන අධ්‍යක්ෂ පෝල් මැක්නමාරා විසින් පල කරන ලද අදහස් වලින් මුදල් වෙලඳපොලවල අවිනිශ්චිතතාවය සාරාංශ කරන ලදී.

“විශාල ප්‍රශ්නය වන්නේ දේවල් මුව අද්දරට ගෙන යාම ඇතුළත් කරගන්නාවූ යම් මහා සැලැස්මක් [ට්‍රම්ප්ට] තිබේද යන්නයි,  එසේ නැතහොත් ඔහු ඉදිරියට යන ගමන තුළදී ඔහු එය සකසා ගන්නේද යන්නයි. මේ මිනිසාගේ මනස කියවීමට උත්සාහ කිරීම හුදෙක්ම … එය හුදෙක්ම ඇදහිය නොහැකි තරම් දුෂ්කර ය. එය අයෙක් ඒ අතට හෝ මේ අතට යා හැකි දෙයක් මත වෙළඳාම් කිරීමට උත්සාහ කිරීමක්.”

යම් සැලකිය යුතු ඔට්ටුවක් වැරදී, දාම ප්‍රතික්‍රියාවක් ආරම්භ කළහොත් අධික වෙළඳපල කැළඹීම් ඇතිවීමේ විභවය ඒ තුළ  

පසුගිය වසරේ සියයට 26 කින් ඉහළ යාමෙන් පසු මේ සතියේ අවුන්සයකට ඩොලර් 2,900 කට ආසන්න නව වාර්තාගත ඉහළ මට්ටමක් වාර්තා කළ රන් මිලෙහි ද, වැඩෙන අවිනිශ්චිතතාවය පිළිබිඹු වේ. එය මේ වසරේ මේ වන විට දැනටමත් සියයට 8 කින් ඉහළ ගොස් ඇත.

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති මගින් ජනනය කරන ලද “පෙර නොවූ විරූ” මට්ටමේ දේශපාලන හා ආර්ථික අවිනිශ්චිතතාවය ආරක්ෂිත තෝතැන්නක් ලෙස රත්‍රන් සඳහා ඇති ඉල්ලුම වැඩි කිරීමට හේතු වන බව ලෝක රන් කවුන්සිලයේ ප්‍රධාන වෙළඳපල මූලෝපායඥ ජෝන් රීඩ් පැවසීය. පසුගිය එක් එක් වසර තුන සඳහා  ටොන් 1,000 කට වඩා වැඩි ප්‍රමාණයක් මිල දී ගත් මහ බැංකු විශාලතම ගැනුම්කරුවන් අතර වීය.

අවම වශයෙන් තීරුබදු යුද්ධය විසින් අඩ වශයෙන් හෝ අවුලුවන ලද තවත් මූල්‍ය අර්බුදයක් සදහා වූ වැඩි විභවය, මූල්‍ය වෙලඳපොලවල දැනටමත් පවතින ඉතා අස්ථායී තත්වය මතින් පැමිණේ.

පසුගිය මාසයේ FT (ෆයිනෑන්ෂල් ටයිම්ස්) සමඟ සම්මුඛ සාකච්ඡාවකදී වෙල්කම් ට්‍රස්ට් නම් වූ විසල් පුණ්‍යාධාර පදනමේ හි ප්‍රධාන ආයෝජන නිලධාරි නික් මෝක්ස් අනතුරු ඇඟවූයේ, පුද්ගලික ණය වෙලඳපොලට මුදල් ගඟුලක් ගලා ඒම නිසා “සිදුවීමට ඇති අනතුරු” පවතින බවයි.

මෙම වෙලඳපොල බොහෝ දුරට ක්‍රියාත්මක වන්නේ නියාමනය කරන ලද බැංකු පද්ධතියට පිටින් ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ගෝලීය මූල්‍ය ආයතන එහි ක්‍රියාකාරකම් සහ පුළුල් බැංකු හා මූල්‍ය පද්ධතිය සමඟ ඇති සම්බන්ධතා සම්බන්ධයෙන් ඔවුන්ට සාපේක්ෂව අඩු දැනුමක් ඇති බව පවසා ඇත. ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු වේගයෙන් ව්‍යාප්ත වූ එහි වටිනාකම 2008 දී  ඩොලර් ට්‍රිලියන 2.5 ක් පමණ වූ අතර 2021 වන විට ඩොලර් ට්‍රිලියන 10 දක්වා හතර ගුණයකින් වැඩි වූ අතර මේ වසරේ එය ඩොලර් ට්‍රිලියන 15 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා.

“ආර්ථික වශයෙන් ලෝකය තව පොඩ්ඩක් අමාරු වූව හොත්, පුද්ගලික ණය ලෝකයේ යම් අනතුරු සිදුවීමට ඉඩ ඇති බව මම සිතමි,” මෝක්ස් පැවසීය. යම් ආකාරයක “පද්ධතිමය වැදගත්කමක්” තිබෙන සමහර “ඉහළ මට්ටමේ ආයෝජකයින්” වන ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට “සෑහෙන ලෙස හානි වනු ඇත,” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.

සිදුවීම්වල වේගය පිළිබඳ ඇඟවීමක් ලෙස, ඔහු සම්මුඛ සාකච්ඡාව ලබා දුන් ජනවාරි මැද සිට ලෝකය ආර්ථික වශයෙන් සැලකිය යුතු ලෙස වඩා දුෂ්කර වී ඇත.

ට්‍රම්ප්ගේ තීරුබදු යුද්ධයට අමතරව, ඔහුගේ ක්‍රිප්ටෝ මුදල් ප්‍රවර්ධනය කිරීම – එක්සත් ජනපදය “ලෝකයේ බිට්කොයින් සුපිරි බලවතා” කිරීමට ඔහුට අවශ්‍ය බව පවසා ඇත – ඔහුගේම ආධාරකරුවන් ඇතුළු සමහර මූල්‍ය කවයන් තුළ කනස්සල්ලට හේතු වෙමින් ඇත.

පසුගිය මාසයේ FT විසින් උපුටා දක්වන ලද ආයෝජක සටහනක, ‘එලියට්’ හෙජ් අරමුදල අනතුරු ඇඟවූයේ ක්‍රිප්ටෝ  බිඳවැටීම “විනාශයක්” ඇති කළ හැකි බවයි. එලියට් 1977 දී ආරම්භ කරන ලද්දේ, ට්‍රම්ප්ට සෘජුවම පිටුබලය දෙන දේශපාලන ක්‍රියාකාරී කමිටුවට ඩොලර් මිලියන 5ක් ද ඇතුළුව, පක්ෂයේ මැතිවරන ව්‍යාපාරයට ඩොලර් මිලියන 56ක් පරිත්‍යාග කළ, දිගුකාලීන රිපබ්ලිකන් ආධාරකරුවෙකු වන පෝල් සිංගර් විසිනි. 

මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති නමුත් “කිසිදු  හරයක්” නොමැති ක්‍රිප්ටෝ වත්කම් සඳහා ට්‍රම්ප් පරිපාලනය ලබා දෙන සහයෝගය ගැන එලියට් විවේචනය කළේ අරමුදල, “මෙවැනි වෙළඳපොළක් කිසිදා දැක නැති” බව පවසමිනි.” 

වෙලඳපොලවල සමපේක්ෂී නැගීම, ක්‍රිප්ටෝ හි ප්‍රමාණය වැඩිවීම නිසා පමණක් නොව, එහි “ධවල මන්දිරයට සමීප බව” ද හේතු විය.

බුබුලේ “නොවැළැක්විය හැකි බිඳවැටීම” “අපට තවමත් පෙර දැකිය නොහැකි අයුරින් මහා විනාශයක් කල හැකි” බව එය සඳහන් කළේය.

එක්සත් ජනපදය ලෝකයේ සංචිත මුදල ලෙස “අතිවිශාල වාසියක්” භුක්ති විඳිනා අතරතුර, ට්‍රම්ප් පරිපාලනය ඩොලරයට විකල්පයක් ලෙස එහි සහායකයෝ සකලකන ක්‍රිප්ටෝ ප්‍රවර්ධනය කරන්නේ මන්දැයි සටහන ප්‍රශ්න කරයි.

බොහෝ ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දී ඇති පරිදි, එක්සත් ජනපද ආන්ඩුවට වෙනත් කිසිම රටකට කළ නොහැකි පරිදි – දැන් ඩොලර් ට්‍රිලියන 36 ක පරිමාවක් ගන්නා-  දැවැන්ත ලෙස නය ගැති වීමට හැකියාව ලැබී ඇත්තේ ඩොලරයට හිමි තත්ත්වය නිසාම පමණි.

සමපේක්ෂන බුබුල බිඳවැටීමෙන් ඇතිවන මහත් විනාශය හරියටම කෙලෙස සිදුවේවිද යන්න පිලිබද නිශ්චිතව අනාවැකි කිව නොහැක. එසේම එය අවුලුවාලිය හැක්කේ කුමක් ද- ට්‍රම්ප්ගේ තීරුබදු යුද්ධයෙන් ගලා එන අර්බුදයක්, පුද්ගලික කොටස් අංශයේ ( private equity sector ) නරක ඔට්ටු (සම්පේක්ෂණ) මාලාවක්, ක්‍රිප්ටෝ වෙලඳපොලේ හෝ වෙනත් එකක බිඳවැටීම ආදියෙන් තවමත් අනපේක්ෂිත, ක්ෂනික හේතුව කුමක් ද යන්න සෘජුවම තහවුරු කර ගත නොහැක. එහෙත් කම්කරු පන්තියට එහි ප්‍රතිවිපාක පිළිබඳව නම් සැකයක් නැත.

එය, ෆැසිස්ට් ට්‍රම්ප් පරිපාලනය ආඥාදායකත්වය තුලින් මුහුණ දීමට සූදානම් වනු ලබන  කම්කරුවන්ගේ සමාජ තත්වයට දැවැන්ත ප්‍රහාර ගෙන එනු ඇත.

ධනේශ්වර අර්බුදයේ උමතුවෙන් මිදීමට ඇති එකම මාර්ගය –  එහි නොවැළැක්විය හැකි තර්කය මිලිටරි ගැටුම වන තීරු බදු යුද්ධ, මහා ජනතාවන්ගේ වියදමින් අධි ධනකුවේරයන්ගේ නිමක් නැති පොහොසත් කිරීම, සමාජ වියදම් කප්පාදු කිරීම සහ ආඥාදායකත්වය – සමස්ත ලාභ පද්ධතිය පෙරලා දැමීම සහ මානව අවශ්‍යතා මත පදනම් වූ සැලසුම්ගත සමාජවාදී ආර්ථිකයක් පිහිටුවීමයි.

ට්‍රම්ප් තීරුබදු යුද්ධය මූල්‍ය වෙලඳපොල අස්ථාවරත්වය උග්‍ර කරයි Read More »

IMF-oxfam-Aug28

මූල්‍ය ප්‍රාග්ධනය දුප්පත් රටවල ජීවනාලිය උරා බොයි

නික් බීම්ස්

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 අගෝස්තු 28 දින ‘’Finance capital sucking the lifeblood out of impoverished countries” යන හිසින් පල වූ නික් බීම්ස් විසින් ලියන ලද  ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු විසිනි.

විශේෂයෙන්ම කෝවිඩ් අර්බුදයේ බලපෑමට හසු වීම  නිසා, වඩා අඩු ආදායම්ලාභී සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් ගණනාවක පසුගිය වසර හතර තුළ සැලකිය යුතු ලෙස නරක අතට හැරී ඇති, ණය ආපසු ගෙවීම අබලන් කරවන  බලපෑම් දක්වන බ්ලොග් මාලාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත් කර ඇත.

IMF-oxfam-Aug28
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීම වොෂින්ටන්, 2022. [AP Photo/Patrick Semansky]

“වසංගතයේ ආර්ථික කැළැල්, ලොව පුරා සිදුවන ගැටුම් සහ ගෝලීය පොලී අනුපාත හදිසියේ ඉහළ යාම” මගින් අඩු ආදායම්ලාභී රටවලට දැඩි ලෙස පහර වැදී ඇති බව මෙම මස මුලදී එය පළ කළ සටහනක සඳහන් විය.

නමුත් මෙය විසින් ඇති කරන දුප්පත්කම, කුසගින්න සහ දුක්ඛිතභාවයේ තවත් පැත්තක් තිබේ. ප්‍රතිලාභ නෙලා ගැන්මේ යෙදෙන මූල්‍ය ප්‍රාග්ධනය යෝධ වැකුම් ක්ලීනරයක් මෙන්  මුදල් උරා ගනී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව, “මධ්‍යස්ථය වන  (median) අඩු ආදායම්ලාභී රටක්, වසර 10කට පෙර ණය සේවා සඳහා විදේශීය ණය හිමියන්ට ගෙවූ තම ආදායමේ කොටස මෙන් දෙගුණයක්  — වසර 10කට පෙර සියයට 6 සිට, 2023 අවසානයේ සියයට 14 ක් පමණ වන —  වියදම් කරයි ”

සමහර රටවල් සඳහා මෙම අනුපාතය සියයට 25 දක්වා ඉහළ අගයක් ගනී. මෙම වසර ආරම්භයේදී ලෝක බැංකුව වාර්තා කළේ අඩු ආදායම්ලාභී රටවල් සහ ඇතැම් මධ්‍යම ආදායම් ලබන රටවල් සඳහා වන මුළු ණය සේවාව, දේශීය ණය ආපසු ගෙවීම සමඟ එක්ව ගත් කල ඩොලර් බිලියන 185ක් ලෙස ගණන් බලා ඇති බවයි.

“මෙම අගය, සාමාන්‍යයෙන්, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ යටිතල පහසුකම් සඳහා ඔවුන්ගේ ඒකාබද්ධ රාජ්‍ය වියදම්වලට වඩා ඉහළ අගයක්” බව එය සඳහන් කරයි.

දශක හතරක් තුළ පැවති ඉහළම මට්ටමට  ඔසවා ඇති පොලී අනුපාත මගින්  සංවර්ධනය වෙමින් පවතින රටවලට ඇති විනාශකාරී බලපෑම පෙන්නුම් කරන වාර්තාවක් පසුගිය දෙසැම්බරයේ ලෝක බැංකුව නිකුත් කළේය. ඔවුන්, 2022 දී ඔවුන්ගේ ණය ගෙවීම සඳහා වාර්තාමය වන ඩොලර් බිලියන 443.5 ක් වියදම් කළහ. අඩු ආදායම්ලාභී රටවල්වලින් සියයට 60ක් පමණ ඉහළ අවදානම් සහිත ණය පීඩන තත්වයක  හෝ ඊට ආසන්නව සිටින බව එය සොයා ගත්තේය.

පෙර වසර තුන තුළ, සංවර්ධනය වෙමින් පවතින රටවල ස්වෛරී නය පැහැර හැරීම් 18 ක් සිදුවී ඇති අතර, එය පෙර දශක දෙක තුළ වාර්තා වූ සංඛ්‍යාවට වඩා වැඩි ය.

පසුගිය ඔක්තෝබරයේ ඔක්ස්ෆෑම් ජාත්‍යන්තර ආධාර ඒජන්සිය වාර්තා කළේ, බිලියන 2.4ක ජනතාවක් වෙසෙන ලෝකයේ දුප්පත්ම රටවලින් සියයට 57කට, ඉදිරි වසර පහ තුළ මුලු ඩොලර් බිලියන 229කින් රාජ්‍ය  වියදම් කපා හැරීමට සිදුවනු ඇති බවයි.

“ අද දින දුප්පත්ම රටවල්, ධනවත් ණය හිමියන්ට ණය ආපසු ගෙවීම සදහා සෞඛ්‍ය සේවයට වඩා හතර ගුණයක් වියදම් කරද්දී”, වර්තමානය සහ 2029 අතර, ණය සහ පොලී ගෙවීම සඳහා සෑම දිනකම ඩොලර් මිලියන 500ක් ගෙවීමට අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවලට බල කෙරී ඇත.

නය අර්බුදය පිලිබඳ ඔවුන්ගේ වාර්තා තුල, එය සමනය කිරීම අරමුනු කර ගෙන ඇතැයි කියා සිටින මුලපිරීම් වෙත ඇඟිල්ල දිගු කරමින් ඒවා ඉහළ නංවන ලෙස IMF සහ ලෝක බැංකුව ඉල්ලා සිටියි. ද්‍රවශීලතා අභියෝගයන්ට මුහුණ දෙන රටවලට උපකාර කිරීමට දැන් කාලය එළඹ ඇති බව IMF සිය නවතම බ්ලොග් අඩවියේ සඳහන් කර ඇත.

එවැනි ඇමතුම් අතීතයේ දී සිදු කර ඇති නමුත් IMF කිසි විටෙකත් අර්බුදය නරක අතට හැරීමට හේතුව සහ එහි විවිධ මුලපිරීම් එතරම් සීමිත වන්නේ මන්දැයි පැහැදිලි නොකරයි.

ඇත්ත වශයෙන්ම, ඔක්ස්ෆෑම් පෙන්වා දී ඇති පරිදි, අර්බුදයට විසඳුමක් ලබා දෙනවාට වඩා, IMF සහ ලෝක බැංකුව යන දෙකම එය උග්‍ර කිරීමට කටයුතු කරයි.

පසුගිය වසරේ මොරොක්කෝවේ මරකෙෂ් (Marrakech) හි පැවති සංවිධාන දෙකේ රැස්වීමකට ආසන්නයේ නිකුත් කරන ලද වාර්තාව පිළිබඳ අදහස් දැක්වීමකදී, ජාත්‍යන්තර අන්තර්කාලීන විධායක අධ්‍යක්ෂ අමිතාබ් බෙහාර් මෙසේ පැවසීය: “ දශක ගණනාවකට පසු පළමු වතාවට ලෝක බැංකුව සහ IMF, එම පැරණි අසාර්ථක පණිවිඩයම  සමඟ අප්‍රිකාවට ආපසු පැමිණ ඇත : ඔබේ වියදම් කපා දමන්න, රාජ්‍ය සේවකයින් නෙරපන්න, විශාල මිනිස් පිරිවැය නොතකා ඔබේ ණය ගෙවන්න.” 

ඔක්ස්ෆෑම් විශ්ලේෂණයට අනුව, ණය ගෙවීම සඳහා බිමක් සකසා ගැනීම සදහා යන මැයෙන්, අඩු ආදායම්ලාභී රටවල් සමඟ ගිවිස ගත් ණය වැඩසටහන් 27ක්,  ඇත්ත වශයෙන්ම වැඩි කප්පාදුවක් සඳහා වූ ධූම කඩතුරාවක් විය. මක්නිසාද යත්, “IMF විසින් සමාජ සේවා සඳහා වියදම් කිරීමට ආන්ඩු දිරිමත් කරන ලද සෑම ඩොලර් 1ක් සඳහාම, කප්පාදු පියවරයන් හරහා ඊට වඩා හය ගුණයක් කපා හරින ලෙස ඔවුන්ට පවසා තිබීම හේතුවෙනි.

“ දුප්පත් රටවලට, වියදම් කපා හැරීමේ, අසමානතාවයේ සහ දුක් වේදනාවේ හාමත් පරිභෝජන රටාවක් සදහා IMF, බලකරයි,” බෙහාර් පැවසීය.

කෙසේ වෙතත්, ගෝලීය ආයතන හෙළා දකින අතරම – ඔවුන් ආධාර ආයතනවලට වඩා මූල්‍ය වැම්පයරයන් වේ – ඔහු ඔක්ස්ෆෑම්හි  බංකොලොත් ප්‍රතිසංස්කරණවාදී  ඉදිරිදර්ශනය හෙළිදරව් කළේ, “රටවල් අතර පුලුල් වන අසමානතාවයේ රැල්ල ආපසු හැරවීම සදහා  ඔවුන්ට සැබෑ ලෙසම වෙනස් විය හැකි බව පෙන්වීම පිනිස ” ඔවුන් වෙත ආයාචනා කිරීමෙනි.

මෙම සමනය කිරීමේ පූචානම් කතා පිරිනමනු ලබන්නේ කිසියම් දැනුම පිළිබඳ අඩුපාඩුවක් නිසා නොවේ – ඔක්ස්ෆෑම් සහ අනෙකුත් එවැනි සංවිධානවල සියලුම වාර්තා මගින් ඒ බව පැහැදිලි කෙරේ- නමුත් අවසාන විග්‍රහයේ දී, ධනේශ්වර දේපල සම්බන්ධතා වල ආරක්ෂාව මත පදනම් වන ඔවුන්ගේ පන්ති ආස්ථානය නිසා ය.

සරණාගතයින් ඇමරිකාවේ ලේ “විෂ” කරන බව පවසමින් ඔහුගේ ෆැසිස්ට් ව්‍යාපාරය ගොඩනැගීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගසාකන සරණාගත අර්බුදය පිළිබඳ සැලකිය යුතු දත්ත කිහිපයක් ද ඔක්ස්ෆෑම් විසින් සපයා ඇත.

නිව් යෝර්ක් නගරය කරා පැමිණෙන සරණාගතයින් ගමනාරම්භ කරන රට වලින් ඉහළම රටවල් දහය, වසරකට ඩොලර් බිලියන 82 ක්  තරම් සුවිශාල මුදලක් විදේශ ණය හිමියන් හට රාජ්‍ය ණය සහ පොලී ලෙස ගෙවන බව එහි සඳහන් විය. මෙකී ණය හිමියන්ගෙන් බොහොමයක්, ට්‍රම්ප්, ඩිමොක්‍රටික් පක්ෂය හා  සමග දේශපාලන නියෝජිතයෙකු වන, එක්සත් ජනපද බැංකු, හෙජ් අරමුදල් සහ අනෙකුත් මූල්‍ය ආයතන වේ.

“මුදල් නැති නිසා” ණය සහ සාගිනි අර්බුදය විසඳිය නොහැක යන ඕනෑම අදහසක් විශාල බොරුවකට අඩු දෙයක් නොවේ..

ජූනි මාසයේ ප්‍රධාන බලවතුන්ගේ G7 රැස්වීම ආසන්නයේ ප්‍රකාශයට පත් කරන ලද විශ්ලේෂනයේ ඔක්ස්ෆෑම් පැවසුවේ G7 මිලිටරි වියදම්වලින් හුදෙක් සියයට 3ක් පමණක් ගැඹුරු වන ගෝලීය ආහාර හා නය අර්බුදය විසඳීමට උපකාරී වනු ඇති බවයි.

ගෝලීය කුසගින්න තුරන් කිරීම සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන 31.7 ක් අවශ්‍ය වන අතර අතිරේකව වසරකට ඩොලර් බිලියන 4 ක් අවශ්‍ය වේ. එවැනි වියදම් G7 බලවතුන්ගේ මුළු මිලිටරි අයවැයෙන් සියයට 2.9ක් පමනක් වනු ඇත.

ඔක්ස්ෆෑම් හි අසමානතා ප්‍රතිපත්තියේ ප්‍රධානී මැක්ස් ලෝසන් මෙසේ පැවසීය: “අද දින  යුද්ධයට අරමුදල් සැපයීම සඳහා රජයන් ඔවුන්ගේ සාක්කු ගැඹුරු බව  (ඇති තරම් මුදල් ඇති බව) සොයා ගනිමින් ඇත, නමුත් කුසගින්න නැවැත්වීම සම්බන්ධ කාරණාවේදී  ඔවුන් සැණෙකින් බංකොලොත් වෙයි.”

ප්‍රධාන බලවතුන්ට , ඔවුන්ගේ යුද වියදම්වලින් සමහරක් සමාජ හා මානුෂීය අවශ්‍යතා වෙත හරවා යැවීමට ආයාචනා කිරීම, IMF සහ ලෝක බැංකුව වැනි ගෝලීය ධනවාදයේ ආයතනවලට ඔවුන්ගේ ගමන් මාවත වෙනස් කරන ලෙස ආයාචනා කිරීම තරම්ම නිෂ්ඵල ය.

මක්නිසාද යත්, මෙම ධාවකයන් බිඳවැටීමක් කරා ශීඝ්‍රව‍ ධාවනය වන ධනේශ්වර පද්ධතියේ වෛෂයික අර්බුදය තුල මුල් බැස ඇති නිසා වේ. දේශපාලන හා ආර්ථික ජීවිතයේ මෙම වෛෂයික සත්‍යය හඳුනාගෙන ක්‍රියා කළ යුතුය.

දිළිඳු රටවල ජනතාවගේ ලේ උරා බොන එම මූල්‍ය බලවතුන් විසින්ම, දියුනු රටවල කම්කරු පන්තියට එරෙහි ප්‍රහාර – සමාජ තත්වයන්ට එරෙහිව නොනවතින ප්‍රහාරය සහ  කම්කරු පන්තිය මිලිටරි වියදම් සඳහා ගෙවිය යුතු බවට කෙරෙන බල කිරීම මෙහෙයවයි.

ධනවාදයේ අර්බුදය, වත්මන් බල අධිකාරීන්  විසින් විසඳිය නො හැකි වනවාක් මෙන්ම, ජාත්‍යන්තර සමාජවාදය සඳහා වන එක්සත් අරගලය තුල – දියුනු රටවල හා  දුප්පත් රටවල එකසේ –  කම්කරු පන්තිය එක්සත් කිරීම මගින් පමනක්ම විසදිය හැකි වේ.

මූල්‍ය ප්‍රාග්ධනය දුප්පත් රටවල ජීවනාලිය උරා බොයි Read More »

එක්සත් ජාතීන්ගේ වාර්තාව සංවර්ධනය වෙමින් පවතින රටවල ඉහල යන නය බර විස්තර කරයි

නික් බීම්ස්

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 ජුනි 18 දින ‘’ UN report details developing countries’ rising debt burden” යන හිසින් පල වූ නික් බීම්ස් විසින් ලියන ලද  ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු විසිනි.

බිලියන සංඛ්‍යාත ජනතාවන් දරිද්‍රතාවයේ ගැඹුරට තල්ලු කරමින්, බැංකු හා මූල්‍ය ආයතනවල ලාභ තර කිරීම සඳහා දුප්පත් හා අඩු සංවර්ධිත රටවල ධනය උරා බොන යෝධ වැකුම් ක්ලීනරයක් ලෙස ගෝලීය මූල්‍ය පද්ධතිය ක්‍රියාත්මක වේ.

මෙම මස මුලදී එක්සත් ජාතීන්ගේ වෙලඳ හා සංවර්ධන සමුලුව (UNCTAD) විසින් සකස් කරන ලද ගෝලීය වෙලඳාම පිලිබඳ වාර්තාවේ සෑම පිටුවකින්ම පාහේ ආර්ථික හා දේශපාලන ජීවිතයේ මෙම කරුන ඉස්මතු වේ.

එක්සත් ජාතීන්ගේ වෙලඳ හා සංවර්ධන සම්මේලන වාර්තාව: “නය බරිත ලොවක්” [ඡායාරූපය: UNCTAD]

 “එකක් පසුපස එකක් ලෙස කඩා පාත්වන  අර්බුද මෙන්ම ගෝලීය ආර්ථිකයේ මන්දගාමී හා සුමට නොවූ ක්‍රියාකාරිත්වය මගින් මෙහෙයවනු ලබන” ගෝලීය රාජ්‍ය නය වේගයෙන් ඉහල යන බව සඳහන් කරමින් වාර්තාව ආරම්භ වේ.

2023 දී, දේශීය හා විදේශීය නය වලින් සමන්විත සමස්ත රාජ්‍ය නය, වසරක් තුල ඩොලර් ට්‍රිලියන 5.6 ක වැඩිවීමක් සටහන් කරමින් ඩොලර් ට්‍රිලියන 97 දක්වා ලඟා විය.

තියුනුම වැඩිවීම සිදුවන්නේ ඊනියා සංවර්ධනය වෙමින් පවතින රටවල වන අතර, 2023 දී එය ඩොලර් ට්‍රිලියන 29ක් වෙමින්, ගෝලීය සමස්තයෙන් සියයට 30ක අගයක් වාර්තා කල‌ේය. මෙම ප්‍රතිශතය 2010 හි දී සියයට 16ක් ව පැවතිනි.

වාර්තාව සඳහන් කලේ, නය බරෙහි බලපෑම වෙනස් වූවද, “එය දරා ගැනීමේ  අඩුම හැකියාව ඇති  අය වැඩිපුරම ගෙවීමට සිදු විමෙන් අවසන් වන ” “ජාත්‍යන්තර මූල්‍ය ව්‍යුහය  තුල මුල් බැස ඇති අසමානතාවයන් මගින්  උත්සන්න කරන” බවයි.

මෙය සැලකිය යුතු සොයා ගැනීමකි. දේශපාලන නායකයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර සංවිධාන, නය බර ලිහිල් කිරීමේ සහ සහන සංවිධානය කිරීමේ අවශ්‍යතාවය පිලිබඳව කරන සියලුම ප්‍රකාශ තිබියදී, ජාත්‍යන්තර මූල්‍යය පද්ධතියේ රාමුව තුල විසඳුම් සෙවිය නොහැකි බව එයින් පැහැදිලි වේ. වාර්තාවේ දක්වා ඇති බිලියන ගනන් ජනයාගේ දරිද්‍රතාවය දෛනිකව වැඩි වීම, පද්ධතියේ ව්‍යුහය තුලම මුල් බැස ඇත.

වාර්තාව පැහැදිලි කල පරිදි:

“සංවර්ධනය වෙමින් පවතින රටවල් ජාත්‍යන්තර මූල්‍ය සැකැස්ම සමඟ පොරබදමින් සිටින අතර, එහි මුල් බැස ඇති අසමමිතිය, තිරසාර සංවර්ධනය කෙරෙහි, එකක් පසුපස එකක් ලෙස කඩාවැටෙන අර්බුදවල බලපෑම තීව්‍ර කරයි. මෙම පද්ධතිය ඔවුන්ගේ නය බර තීව්‍ර කරන්නේ දැරිය හැකි සංවර්ධන මූල්‍ය වෙත ප්‍රවේශය සීමා කිරීමෙන් සහ වඩාත් සචල සහ මිල අධික මූලාශ්‍රවලින් නය ලබා ගැනීමට ඔවුන් තල්ලු කිරීමෙනි.

සංවර්ධනය වෙමින් පවතින රටවල සමස්ත විදේශ නය 2022 දී ඩොලර් ට්‍රිලියන 3.2 ක් වූ අතර ඉන් අඩක් සදහා එය ඔවුන්ගේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 28.4ක් සහ ඔවුන්ගේ අපනයනවලින් සියයට 92.4ක් තරම් ඉහල අගයක් විය.

2011 ට සාපේක්ෂව ආන්ඩු තම නය ගෙවීම සඳහා ආදායමට සාපේක්ෂව දෙගුනයක් සම්පත් දැන් වෙන් කිරීම නිසා තත්වය වඩාත් නරක අතට හැරෙමින් පවතින්නේ , “තිරසාර සංවර්ධනය සඳහා ආයෝජන සඳහා සම්පත්වල වඩාත්  අඩු වන කොටසක්  ඉතිරි කරමිනි.”

බොහෝ විට ඉදිරිපත් කරන චිත්‍රය වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලට ආර්ථික සංවර්ධනය සඳහා මූල්‍යමය වශයෙන් නය සහ ආධාර වෙන් කරන ආකාරයයි.

ඇත්ත වශයෙන්ම නම්, අරමුදල් ගලායාම සිදුවන්නේ අනෙක් දිශාවට ය. මෙය  සංවර්ධනය වෙමින් පවතින රටවලට ඒවා කෙරෙහි වැඩි වැඩියෙන් යැපීමට බල කෙරෙමින් පවතින ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය තුල පුද්ගලික නය අරමුදල්වල ඉහල යන භූමිකාවේ ප්‍රතිඵලයක් වේ.

2022 දී, සංවර්ධනය වෙමින් පවතින රටවල් නව අරමුදල්වලින් තමන්ට  ලැබුනු මුදලට වඩා වැඩිපුර ඩොලර් බිලියන 49 ක් ඔවුන්ගේ නය හිමියන්ට ගෙවා ඇත. ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සංවිධානවලින් ඩොලර් බිලියන 40 ක ගලා ඒමක් සිදු වූ අතර, හෙජ් අරමුදල් සහ පුද්ගලික සාමාන්‍ය කොටස් සමාගම් (private equity groups) වැනි පුද්ගලික නය දෙන්නන් වාර්තාගත ඩොලර් බිලියන 89 ක් ඉවතට ඇද  ගත්හ. ඇත්ත වශයෙන්ම සිදුවුනු දේ නම්, නිල මාර්ග හරහා ලබා දුන් මුදල් පෞද්ගලික ප්රාග්ධනයට මුදල් සැපවීම සඳහා භාවිතා කරන කෙරීමය.

2010 දී 32 සිට, 2022 දී 52 ක් දක්වා වැඩි වූ රටවල් සංඛයාවක්  මුදල් පිටතට ගලා යාමක් අත්විඳින ලදී. මෙම වැඩිවීමෙන් පිලිබිඹු වන්නේ , අනෙකුත් මහ බැංකු විසින්ද පසුව අනුගමනය කරන ලද, දශක කිහිපයකින් අත්දුටු  ඉහලම මට්ටම් වලට පොලී අනුපාත ඉහල නැංවීම එක්සත් ජනපද ෆෙඩරල් රිසව් බැංකව විසින් ආරම්භ කිරිමෙන් පසුව , 2022 දී පටන් ගත් පොලී අනුපාත ඉහල යාමේ බලපෑමයි. 

සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා නය ගැනීමේ පිරිවැය, එක්සත් ජනපදයට වඩා දෙගුනයේ සිට සිව් ගුනයක්ද, ජර්මනියට වඩා හය ගුනයේ සිට දොලොස් ගුනයක්  වැඩිය යන කාරනය නය ගැනීම් තන්ත්‍රයේ විකෘති තර්කනය විදහා දක්වයි. දරා ගැනීමේ හැකියාව අවම  අයටම වැඩි මුදලක් ගෙවීම සදහා  බල කෙරෙයි.

සියලුම සංවර්ධනය වෙමින් පවතින රටවලින් අඩකට වඩා වැඩි සංඛ්‍යාවක්, රජයේ ආදායමෙන් අවම වශයෙන් සියයට 8ක් පොලී අනුපාත සඳහා වෙන් කරයි. පසුගිය දශකය තුල මෙම අගය දෙගුන වී ඇති අතර 2023 දී ඉන් බොහෝමයක් අප්‍රිකාවේ වූ, සංවර්ධනය වෙමින් පවතින රටවල් අතරින් වාර්තාගත 54ක්, එනම් සියයට 38 ක ප්‍රතිශතයක් , පොලී ගෙවීම් සඳහා ආදායමෙන් අවම වශයෙන් සියයට 10ක් වෙන් කර ඇත.

එම වසර තුල අධ්‍යාපනය සඳහා වන වියදම් ප්‍රමානය  ඉක්මවා පොලී වියදම් ගෙවන රටවල් 15ක් ද, ඒ්වා  සෞඛ්‍ය වියදම්වලට වඩා ඉහල අගයක් ගත් රටවල් 46ක් ද විය.

එක්සත් ජාතීන්ගේ වාර්තාව අවසන් කලේ “ජාත්‍යන්තර මූල්‍ය ව්‍යුහය” ප්‍රතිසංස්කරනය සඳහා වන ආයාචනා කිරීම සමඟින් සහ එවැනි කැඳවුම් එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලයේ වඩාත්ම මෑත රැස්වීමේදී මෙම ප්‍රශ්නය රටවල් 149 කට වැඩි ප්‍රමානයක් “මහ හඬින්” මතු කල බව පවසමිනි.  එසේ නමුත් මෙවැනි කැඳවුම් මීට පෙර අවස්ථා ගනනාවකදීම කර  ඇති වූවත්  ඇත්ත වශයෙන්ම සිදු වූයේ තත්ත්වය වඩාත් නරක අතට හැරීම පමනකි.

එපමනක් නොව, දරිද්‍ර රටවල බිලියන ගනන් ජනයා වඩ වඩාත් ගැඹුරුවන  දරිද්‍රතාවයට ඇද දමන එම “ජාත්‍යන්තර මූල්‍ය ව්‍යුහයම, ප්‍රධාන ආර්ථිකයන්හි කම්කරුවන්ගේ ජීවිත මත ද ආධිපත්‍යය දරන්නේ, දිනෙන් දින වඩාත් ඉහල මට්ටම් වලින් කම්කරුවන් සූරාකෑම සහ සමාජ වියදම් කප්පාදු කිරීම් මගින් තම අතෘප්තිකර ඉල්ලීම් සපුරාලීම සදහා පරපෝෂිත මූල්‍ය ප්‍රාග්ධනය  බලකර සිටිද්දීය.

ඉහල පොලී අනුපාතවල බලපෑම සංවර්ධනය වෙමින් පවතින රටවල් වල පොලී වියදම් බිල්පතෙහි පිලිබිඹු විය. එය 2023 දී ඩොලර් බිලියන 847 දක්වා ඉහල යමින්  2021 සිට සියයට 26 ක වැඩිවීමක් පෙන්වයි. 

2020-2022 කාලපරිච්ඡේදය තුල අප්‍රිකාවේ, ආසියාවේ සහ පැසිෆික් කලාපයේ බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල සෞඛ්‍ය සහ අධ්‍යාපනය සඳහා වියදම් කිරීමට වඩා පොලී බිල්පතේ වියදම වේගයෙන් ඉහල ගියේය.

මෙය සිදුවන රටවල් වල සංඛ්‍යාව ඉහල යමින් පවතින බව වාර්තාවේ. බිලියන 3.3 ක ජනතාවක් දැන් ජීවත් වන්නේ අධ්‍යාපනයට හෝ සෞඛ්‍යයට වඩා පොලී බිල සඳහා වියදම් කරන රටවල ය.

මක්නිසාද යත්, වාර්තාව විසින්ම පිලිගෙන ඇති පරිදි, අසමානතාවය පද්ධතිය තුලම “කාවැදී” ඇති බැවිනි.

ඉදිරි මාවත පවතින්නේ ඊනියා “ප්‍රතිසංස්කරනය” තුල නොවේ – එය කල නොහැක්කකි – ඊට විපරීතව එය පවතින්නේ , ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ සමස්ත මූල්‍ය පද්ධතියේ පොදු අයිතිය ස්ථාපිත කිරීම කේන්ද්‍රීය පදනමක් වන, ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා ප්‍රධාන ආර්ථිකයන්හි සහ අඩු සංවර්ධිත රටවල කම්කරු පන්තියේ  ඒකාබද්ධ අරගලය තුලය.  

එක්සත් ජාතීන්ගේ වාර්තාව සංවර්ධනය වෙමින් පවතින රටවල ඉහල යන නය බර විස්තර කරයි Read More »

Stf

පාතාලය, යුක්තියේ මෙහෙයුම නම් මගඩිය හා මහජන ආරක්ෂාව

නන්දන නන්නෙත්ති විසිනි.

කුඩු ජාවාරම “නැවැත්තුවේ නැති වුනොත් අපට සිද්ධ වෙනවා ඒ අය හොයාගෙන යන්න. ගැටුමක් ඇති වුනොත් ඒගොල්ලන්ට මැරුම්කන්න වෙනවා,“යැයි  ආන්ඩුව නීති වරෝධී මත් ද්‍රව්‍ය හා පාතාලයට එරෙහිව යැයි දියත් කර ඇති යුක්තියේ මෙහෙයුමේ ක්‍රියාකාරීත්වය ගැන පසු ගිය සෙනසුරාදා යාපනයේ දී පැවති රැස්වීමක දී මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් යලි ප්‍රකාශ කලේ ය.  රාජ්‍ය භීෂනය පීඩිත මහජනයා මත දිගේලී කිරීම තීව්‍ර කිරීමේ හා අඛන්ඩව පවත්වා ගෙන යාමේ  පියවරක් ලෙස 20 දා පාතාලය මර්දනය කිරීමට යැයි කියමින් තවත් පොලිස් විශේෂ බලඇනි 20 ක් මුදා හරිමින් පොලිස්පති කීවේ මාස කිහිපයකින් පාතාලය “අවසන් කරන” බවයි.  

Stf
2024 මාර්තු 20 විශේෂ පොලිස් බල ඇනි 20 ක් මුදා හැරීම Image Courtesy of NewsWire

පසු ගිය 11 දා රාත්‍රි පිටිගල සහ අම්බලන්ගොඩ ස්ථාන දෙකක දී වාර්තා වූ, සිව් දෙනෙකුගේ ජීවිත අහිමි කල හා තවත් හයදෙනෙකුට තුවාල සිදු කල, වෙඩි තැබීම් සිද්ධි දෙක පිලිබඳ සඳහන් කරමින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ද ඇමතිවරයා කී දෙය තවත් ආකාරයකින් අම්බලන්ගොඩ දී ප්‍රකාශයට පත් කර තිබිනි. “ඒ වගේ ක්‍රියාවල නිරත වන පිරිස්වලට තේරෙන භාෂාවෙන් ම පිලිතුරු දෙන්න අපි ක්‍රියා කරනවා“ යි ඔහු කී ය. 

ශ්‍රී ලංකා පොලිස්පති පෙර සදහන් ප්‍රකාශ කරන අවස්ථාව වන විටත්, ඊට පෙර දින පෑලියගොඩ පොලිසිය අත් අඩංගුවට ගත් සැකකරුවකු වෙඩි තබා ඝාතනය කර තිබිනි. ජනවාරි 24 දින කලපලුවාවේ ධම්මරතන නම් භික්ෂුව ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස හම්බෙගමුව පොලිසිය විසින් 10 දා අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරුවා පෑලියගොඩ පොලිසියට බාර දෙන ලදී. සැකකරු යුද හමුදා කොමාන්ඩෝ බලකායේ සේවය කර ඇති පොලොන්නරුව අරනගම්විල පදිංචි කල්හාර දිල්ශාන් නමැති දරුනු අපරාධකාරයෙකියි පොලිසිය කියයි. පෑලියගොඩ පොලිසිය පසු දින රාත්‍රී 11ට පමන අන්තනගල්ල, ඌරාපොල ලිහිනියා ඇල ප්‍රදේශයට ඔහු රැගෙන ගොස් ඩෙඩි තබා මරා දැමුවේ ය. මාංචු දමා සන්නද්ධ පොලිස් බලකායක ආරක්ෂාව යටතේ ගෙන ගිය මේ පුද්ගලයා “පොලිස් නිලධාරියෙකු හෙලකට තල්ලු කර දමා පලා යාමට තැත් කරද්දී වෙඩි තැබූ” බව දිවයින වාර්තා කර ඇත. 

මේ අනුව, ඉහත නිවේදනවලින් පැහැදිලි වන පරිදි, යුක්තියේ මෙහෙයුම යනු අධිකරන ක්‍රියා පටිපාටියට පිටින්, පිලිගත් මිනිස් අයිතිවාසිකම් හා පවතින නීති උල්ලංඝනය කරමින් මිනිසුන් ඝාතනය කිරීම දක්වා බලය පාවිච්චි කිරීමට පොලිසියට අවසර දෙන ආන්ඩුවේ ත්‍රස්ත ව්‍යාපාරයකි.  

ගිය වසරේ දෙසැම්බර් 17 දින සිට පොලිස් මෙහෙයුමක් ලෙස දියත් වූ මෙහෙයුම, මෙම මාර්තු 11 සිට පුලුල් කරමින් යුද හමුදාව ද ඒ සඳහා යොදා ගැනීමට තීන්දු කෙරුනි. ඒ වන විට රට පුරා වැටලීම් 68,931ක් සිදු කර රුපියල් කෝටි 85ක මත් ද්‍රව්‍ය සහ විවිධ වැරදි සම්බන්ධ සැකකරුවන් 68,577ක් අත් අඩංගුවට ගත් බව පොලිසිය වාර්තා කර තිබිනි. බොරු චෝදනා මත අත්අඩංගුවට ගත් බොහෝ අහිංසකයින් මීට ඇතුලත් ය. පොලිස් වාර්තා අනුව රුපියල් කෝටි 72 ක දේපල නීතිවිරෝධී වත්කම් ඒකකය මගින් අත් අඩංගුවට ගෙන පැවතිනි. තහනම් මත්ද්‍රව්‍ය ජාවාරම පවත්වාගෙන යන මහා ව්‍යාපාරිකයන්ට ඊනියා මෙහෙයුම ලඟා නො වන නිසා මෙම සංඛ්‍යාවලින් පාඨකයා මුලාවට පත් නො විය යුතු ය. 

යුක්තියේ මෙහෙයුම මගින් තහනම් මත්ද්‍රව්‍ය ව්‍යාපාරය පාලනය කල බවට වාර්තාවක් නැත. නමුත් මෙහෙයුම බස් රථ තුල කාන්තාවන්ට ලිංගික හිරිහැර කරන පුද්ගලයන් සෙවීමේ සිට යාචකයන් අත් අඩංගුවට ගැනීම දක්වා දිගු කර ඇත. පෙබරවාරී 26දා, නුගේගොඩ, පාගොඩ පදිංචිව සිටි 69 හැවිරිදි මඩවලගේ නිව්ටන් නමැති මේසන්වරයකු වැඩට යාමට සිය සගයා එන තෙක් නුගේගොඩ දුම්රිය ස්ථානයේ බලා සිටිය දි, “රථවාහනවලට බාධා වන පරිදි සිඟමන් යැදීම” ට එරෙහි පොලිස් මෙහෙයුමක දී අත් අඩංගුවට ගැනීම යුක්තියේ ස්වභාවය පිලිබද නිදසුනකි. ඔහු හැඳුනුම්පත පෙන්වා තම අනන්‍යතාව තහවුරු කලත් පොලිසිය තවත් 9 දෙනෙකු සමග ඔහු ද අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර යාචකයින් රඳවා සිටින මධ්‍යස්ථානයකටත් පසුව මැගසින් බන්ධනාගාරයටත් යවන ලදී. පපුවේ අමාරුවකින් පෙලුනු මේ වයෝවෘධ මිනිසා 7දා රාත්‍රී 1.30ට පමන මිය ගිය බව බන්ධනාගාරයෙන් පවුලේ අයට දන්වා ඇතැයි නිව්ටන්ගේ ඥාතීහු මාධ්‍යයට පැවසූහ. කැකෑරෙන මහජන වික්ෂෝපය තෙරපා සිටීම සඳාහා සෑම තැනකම සන්නද්ධ බලකායන් මෙහෙයවමින් දුප්පතුන් මැඩ තබා ගැනීම හා සමාජය තුල රාජ්‍ය භීෂනය පැතිර වීම ඊනියා යුක්තියේ මෙහෙයුමේ ඉලක්කය වන බවට මේවා සාක්ෂි ය.  

නීති විරෝධී මත් කුඩු වැටලීම් සම්බන්ධයෙන් යුක්තියේ මෙහෙයුම කුඩු භාවිත කරන හෝ ගෙන්වන අය නො ව අලෙවි කරන පුද්ගලයන් එල්ල කර ගන්නා බව මහජන ආරක්ෂක ඇමති  අලස් මෙහෙයුම දියත් කරමින් කියා සිටියේ ය.  දෙසැමිබර් 17 මෙහෙයුම දියත් කිරීම ගැන අවස්ථා ගනනක දී ම ඇමතිවරයා කියා සිටියේ කුඩු විකුනන අය නැති වූ විට බොන අයටත් ගෙන්වන අයටත් සිය අරමුනු ඉටු කර ගැනීමට ඉඩ නැති වන නිසා තම ඉලක්කය කුඩු විකුනන අය නැති කිරීම බව ය. මේ ප්‍රකාශය එල්ල කෙරෙන්නේ ගම් හා නගරවල ජීවනෝපායයට අන් මඟක් නැති නිසා මෙවන් ක්‍රියාවන්ට පෙලඹෙන දුගීන් වෙත ය. පෙබරවාරි 12දා පොලිස්පති කලුතර දී ප්‍රජා පොලිසි කමිටු රැස්වීමක් අමතමින් “ගෙදර කෙනෙක් අහුවෙනකොට දෙවෙනියා වැඩේට බැස්සා කියා“ වාරතාවක් ලැබී ඇති බව කී ය. “මේ ව්‍යාපාරයේ කෙනෙක් අල්ලං ගියාම එයා හිරගත වුනාම එයාගෙන් කුඩු ගත් කොට්ටාශයක් ඉන්නවා නම් ඒ අය කාගෙන්ද දැන් ගන්නේ කියා හොයා“ දිගටම මෙහෙයුම සිදු කරන හැටි ඔහු විස්තර කලේ ය. ගෙදර කෙනෙක් අත් අඩංගුවට ගත් විට එම අනතුර බාර ගැනීමට එම ගෙදරම තවෙකෙකු ඉදිරිපත් වනවා නම් එහි තේරුම එතැන ජීවනෝපාය පිලිබඳ බරපතල ප්‍රශ්න ඇති බව ය. කුඩු ව්‍යාපාරිකයන්ට එකෙකුට පසු එකෙක් ලෙස ඔවුන් යොදා ගත හැකි වන්නේ ඒ නිසා ය. 

ප්‍රබල පාතාලයෙකු පොලිස් නිලධාරියෙකු සමග කල සංවාදයක් යැයි කියන හඬ පටයක් මෑත දී මාධ්‍ය හරහා ප්‍රසිද්ධ විය. “පොලිසිය හැටියට ඔබේ රාජකාරිය කරන්න. රාජකාරිය නිසා එය ඔබ කල යුතු ය. කුඩු විකුනන කීපදෙනෙකු අල්ලා නඩු දැමුවාට කමක් නැත. අපේ බිස්නස් නතර කරන්නට උත්සාහ නො කරන්න.“ යි ඔහු නිලධාරියාට කී ය. මහජන ආරක්ෂක ඇමතිගේ සැලැස්ම හරියටම මේ යෝජනාවට ගැලපේ. 

මෙහෙයුම පුලුල් කිරීම ගැන නිවේදනය කල මාධ්‍ය සාකච්චාවක දී යුක්තිය මානව හිමිකම් උල්ලංගනය කරන්නේ ය යන මහජන අවබෝධය ගැන විමසන ලදුව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක එය ප්‍රතික්ෂේප කලේ ය. ඔහු ඊට සාක්ෂි ලෙස ගෙන හැර පෑවේ මේ දක්වා කිසිවෙක් මෙහෙයුමට එරෙහිව මානව හිමිකම් නඩුවක් පවරා නැත යන්න ය. නඩු කීමට සාක්ෂි අවශ්‍ය ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා හොදින් ම දන්නා පරිදි පොලිසිය පාතාල ක්‍රියාවලට බෙහෙවින් සමාන ලෙස වින්දිතයාට වාසි සාක්ෂි ඉතුරු නොකරමින්ම ක්‍රියාන්විතය මෙහෙයවයි. පොලිසියේ ඉහල තැන් වලින් මහජන පැමිනිලි නො තකා හැරේ. රටේ දූෂිත ම ආයතනයක් වන පොලිසිය යුක්තිය ඉටු කරනු ඇතැයි සිහි බුද්ධිය ඇති කිසිවෙකු විශ්වාස කරනු නැත. 

පොලිස් ප්‍රකාශකගේ කුහක ප්‍රකාශයේ පල්ල යන අත්දැකීම් අපමන ය. ජනවාරී 20 දා මාතර තෙලිජ්ජවිල ත්‍රී ස්ටාර් නම් ජංගමදුරකථන අලෙවිසැලක දී මින්දික අලුත්ගමගේ නැමැති 22 හැවිරිදි අහිංසක තරුනයා ඩෙඩි තබා ඝාතනය කිරිම එවන් එක් සිද්ධියකි. වෙලදසැලේ හිමිකරු ඩිල්ෂාන් මදුසංඛ නමැති තරුනයෙකි. මෙය පොලිසිය විසින් කරන ලද අපරාධයක් බවට ඩිල්ෂාන් ප්‍රසිද්ධියේ කරුනු ඉදිරිපත් කලේ ය. තමන් බැහැරට ගිය අවස්ථාවේ තමන් ඝාතනය කිරීමට පැමිනි ඝාතකයන් වැරදී තම මිත්‍රයාට වෙඩි තබා ඇති බව ඔහු පැහැදිලි කලේ ය. ඊට හේතු ඔහු පෙන්වා දුන්නේ ය. 2020 අගෝස්තු 24 දින මාලිම්බඩ පොලිසිය තෙලිජ්ජවිල මත්පැන් අලෙවිසැලක මුදල් සොරකම් කලේ ය යි ඔහු අත්අඩංගුවට ගන්නා ලදී. පොලිසිය ඔහුට දරුනු වද හිංසා දුන් අතර ඔහු නිර්දෝෂී බව සීසීටීවී දර්ශන වැඩි දුර පරික්ෂා කිරීමේ දී තහවුරු විය. තරුනයා ශාරීරික ආබාධයන්ට ගොදුරු විය. තරුනයාගේ මව පොලිස් කොමිසම ඇතුලු අදාල සියලු තැන්වලට පැමිනිලි කල ද කිසිදු සහනයක් නො වීය. ශ්‍රේෂ්ඨාධිකරනයේ පැවරූ 68/2021 මූලික අයිතිවාසිකම් නඩුව පෙබරිවාරි 16දා නැවත විභාගයට ගැනීමට නියමිතව තිබිනි. මේ කටයුතු නතර කරන ලෙස තමන්ට පොලිසියෙන් ජීවිත තර්ජන එල්ල වූ බවත් පොලිසිය හැර තමන් මරා දැමීමට කිසිවෙකු නැති බවත් ඩිල්ෂාන් මාධ්‍ය හා සිය ෆේස්බුක් ගිනුම හරහා කියා සිටියේ ය.

මෑත ම සිද්ධිය මාර්තු 2 දින ගාල්ල, නාගොඩ, වලකුඹුර අත්තම් නිවාසවල පදිංචි වැඩ තහනම් වූ පොලිස් සැරයන්වරයෙකු හා පොලිසියේ දූෂන හෙලිදරව් කල සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකු වන නිමල් ජයසේකරගේ නිවසට කඩා වැදී ටී 56න් වෙඩි තබා, ඔහුගේ ටැබ් පරිඝනකය හා ජංගම දුරකථනය කොල්ල කෑමයි. ඔහු චෝදනා කරන්නේ මෙය ශ්‍රී ලංකා පොලිසිය සිදු කල බවයි. එසේ නැති නම් අදාල අවිය, පුද්ගලයන් හා පැමිනි මෝටර් සයිකලය අත් අඩංගුවට ගෙන පෙන්වන ලෙස ඔහු පොලිසියට අභියෝග කරයි.  

පොලිස් සැරයන් නිමල් ජයසේකරගේ හෙලිදරව්ව

බොහෝ පාතාල වෙඩික්කරුවන් හා සංවිධානාත්මක අපරාධකාරයන් හමුදාවේ හෝ පොලිසියේ සම්බන්ධයක් සහිත පුද්ගලයන් බව මෙහිදී නො තකා සිටිය යුතු නැත. දෙසැම්බර් 21 තංගල්ලේ දී පස්දෙනෙකු ඝාතනය කල කල්ලියේ ප්‍රධාන වෙඩික්කරු හිටපු නාවික හමුදා සෙබලෙකි. පෙබරවාරී 17 අම්බලංගොඩ පුද්ගලයකු ඝාතනය කිරිම සඳහා උත්සාහ කිරීමේ දී අත්අඩංගුවට පත් තුවක්කුකරු කිලිනොච්චි යුධ හමුදා කදවුරේ සිට පැමිනි සෙබලෙකි. ඔහු මෙහෙයවනු ලැබූ, කොන්ත්‍රාත්තුව ලබා ගත්, එම කඳවුරේම නිලධාරියෙකු ද අත් අඩංගුවට පත් විය.

පාතාලයෙන් සමාජ ජීවිතයට එල්ල වන තර්ජනය පොලිසිය විසින් හුවා දක්වනු ලබන්නේ, නීතියට පිටින් මිනී මැරීම, බොරු නඩු ඇටවීම, සමාජ ජීවිතය ත්‍රස්තයෙන් පරිපාලනය කිරීම යනාදී පොලිසියේ ක්‍රියාවන්ට එරෙහි ව එල්ලවන මහජන විරෝධය යටපත් කිරීමට ය. පීඩිත මහජනයාට හතුරු ධනපති පන්තියේ උපකරනයක් වන පොලිසියේ පැවැත් ම මහජන නිදහසට තර්ජනයකි. පොලිසියේ සහ රාජ්‍ය තන්ත්‍ර යේ ඉහල මට්ටමේ සහාය නැතිව මහා පරිමාන නීති විරෝධී ව්‍යාපාර පවත්වා ගෙන යා නො හැකි බව රහසක් නො වේ. මේ අංශයෙන් සැලකූ කල මහජනයාට බිය සැක නැති ජීවිතයක් අහිමි වී ඇත්තේ පාතාලය හා පොලිසිය යන ධනපති සමාජ අංශ දෙක ම නිසා ය.

පොලිසිය සාමාන්‍ය ජන ජීවිතය මත පවත්වා ගෙන යමින් තිබෙන පාලනයේ ස්වභාවය පිලිබද එක් නිදසුනකි, පසුගිය මාර්තු 14 දා හික්කඩුව පොලිසිය පීඩිත ධීවරයෙකු වන හික්කඩුවේ තුඩුවේගොඩ පදිංචි 42 හැවිරිදි ගංගේ නිශාද් කුමාරට සිදු කල හදිය. ඔහු සිය නිවස ආසන්නයේ දී අත්අඩංගුවට ගනු ලබන්නේ හැඳුනුම් පත ලග නො තිබීම නිසා ය. නමුත් ඔහු රැගෙන යනු ලබන්නේ බලහත්කාරයෙන් පොලිස් ගොඩනැගිල්ලේ තීන්ත ගාවා ගැනීමට ය. පවුලේ අය හැඳුනුම්පත රැගෙන ගොස් අනන්‍යතාව තහවුරු කලත් ඔහු නිදහස් නො කෙරින. තීන්ත ගෑම අවසන් නො කිරීමත්, තමන් වෙනුවෙන් නිතිඥයකු මැදිහත් කරවීමත් නිසා උරන වූ පොලිසිය සොරකමක සැක කරුවෙකු ලෙස ඔහුට එරෙහි චෝදනා ගොනු කර ඇත. ඊනියා යුක්තියේ මෙහෙයුම මෙම තත්වය සුරක්ෂිත කොට වර්ධනය කිරීම සඳහා ය.

“පොලිස් දත්තවලට අනුව 2022 වසරේ (ශ්‍රී ලංකාවේ) අපරාධ මාසිකව 60%න් ඉහල නැගුනු අතර සුලු අපරාධ කාන්ඩයේ ජනවාරී මාසයේ වාර්තා වූ 1,676 නොවැම්බර් අවසානය වන විට 29,908 දක්වා ඉහල ගිය බව සඳහන් කරන ග්ලෝබල් ඉනීෂියේටිව් (Global Initiative) ආයතනය, ශ්‍රී ලංකා අර්බුදයේ අපරාධ පිරිවැය (The crime cost of Sri Lanka) යන හිසින් ලියූ ලිපියකින් පෙන්වා දී ඇත්තේ, “ගෝලීය සංවිධානාත්මක අපරාධ දර්ශකය මඟින් මනිනු ලබන පරිදි ආර්ථික ආතතිය නීති විරෝධී ක්‍රියාකාරම්වල වැඩි වීමක් ද ජනනය කර ඇති,“ බවයි. සෑම වර්ගයේ ම මිනිස් ඝාතන 2019 ආර්ථික අර්බුදය ඉස්මත්තට එමින් තිබිය දී පැවති 273 සිට 2022 එහි උපරිම තුඩේ දී දී 533 දක්වා ඉහල නැඟ තිබීම තවත් සාක්ෂියකි. 

යුක්තියේ මෙහෙයුම මෙම ප්‍රවනතාව පාලනය කලා නොව උත්සන්න කලේ ය. 2023 මුල් මාස 6 තුල මාසයකට දල වශයෙන් 4 ක් වූ වෙඩි තබා ඝාතන කල සංඛ්‍යාව යුක්තියේ මෙහෙයුම ක්‍රියාත්මක කල මේ වසරේ දී මාසයකට 7 දක්වා ඉහල ගොස් ඇත.  

ආන්ඩුව අනුගමනය කරමින් සිටින්නේ කැරලි මර්දනයට උපයෝගී වූ බවට පිලිගත්, 2016 – 2022 පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටර්ටේ ගෙන ගිය පිලිපීන “මත්ද්‍රව්‍ය වලට එරෙහි යුද්ධය” පිලිවෙතයි. එය පිලිපීන දුප්පතුන් 7000ත් 12,000 අතර සංඛ්‍යාවකට ඝාතනය කරනු ලැබිනි. ඉන් වැඩි දෙනා නාගරික දුගීහු වූහ. හියුමන් රයිට්ස් වොච් පර්යේෂනයකින් සොයා ගෙන ඇති පරිදි, පොලීසිය නීති විරෝධී ඝාතන සාධාරනීකරනය කිරීමට සාක්ෂ්‍ය ව්‍යාජනය කිරීමේ යෙදී සිටියහ.

තහනම් මත්ද්‍රව්‍ය භාවිතය හා අපරාධ වැඩි වීම ලෝක ප්‍රපංචයකි. 2021 වසර තුල මිලියන 296ක් මත් ද්‍රව්‍ය භාවිත කර ඇති බව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ සම්බන්ධ කාර්යාලය වාර්තා කර ඇත. එම වාර්තාවට අනුව එය පෙරට වඩා 23% වැඩි වීමකි. ගෙවී ගිය වසර 10 තුල මත්ද්‍රව්‍ය භාවිතය නිසා මානසික රෝග වැලඳුනු ගනන මිලියන 39.5 දක්වා 45%න් ඉහල නැගී ඇත. මත් ද්‍රව්‍ය කර්මාන්තය යනු මෙවන් මහා වෙලඳපොලක් ඇති එකකි. මෙම කර්මාන්තය ලෝක මෝටර් රථ වෙලඳපොල මෙන් දෙගුනයක් විශාල බව එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අන්නන් ප්‍රකාශ කර ඇත.

ලෝක ආදායමෙන් 76%ක් ගිල දමන ඉහල ආදායම්ලාභී 10% ක පන්ති පාලනය විසින්, ඉන් 2%ක් පමනක් ලබන පහල 50% තුල සිටින තරුනයන්ගෙන් ලොව පුරා මිලියන 296 ක පාරිභෝගිකයන් සහිත වෙලඳපොලක් නිර්මානය කර ඇත. කිසිදු ධනපති තන්ත්‍රයක් මේ තත්වයෙන් මහජනයා ගලවා ගැනීමෙහි ලා සමත් නො වන්නේ ය. සමාජයේ පීඩිත කොටස්වලින් මෙන් ම ආරක්ෂක අංශ තුලින් ද අදාල ව්‍යාපාර සඳහා අවශ්‍ය වන අපරාධකාරයන් සම්පාදනය කිරීම පමනක් ධනවාදය පවතින තාක් සිදු වනු ඇත.

කම්කරු මහජනතාව සෙසු පීඩිත ජනයා පෙලගස්වා ගනිමින් ධනවාදයට එරෙහි සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා සටන් කිරීමෙන් මෙපිට මහජනයාගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂාව තහවරු වන්නේ නැත. ඒ සඳහා අත්‍යවශ්‍ය විප්ලවවාදී නායකත්වය ගොඩනැගිය යුතුව ඇත.

පාතාලය, යුක්තියේ මෙහෙයුම නම් මගඩිය හා මහජන ආරක්ෂාව Read More »

Yukthiya

Defeat the State Terror called “Operation Yukthiya” against oppressed youth and the masses

Statement of the Colombo Action Committee for People’s Struggles

Yukthiya
Image courtesy:adaderana.lk

It is already clear that the state terror unleashed in the name of Operation Yukthiya is one way the government is intensifying its repression against the youth and the rest of the oppressed. Its goal is the protracted class struggle.

The government suddenly jumped on to the crackdown on drugs as one of the measures to forcefully maintain the much hated capitalist state; to keep the society terrorized with violence and to garner the support of a backward social stratum. This has already given way to allow the police to act beyond the limits of the existing law and making that situation the norm in the country. What the country has is a police force that has a long history of being warrented and been operating to kill persons outside the judicial procedure.

A complaint made  to the Police Commission by Aruna Indika Wijesuriya, a professional photographer based in Madapatha, Piliyandala, exposes the repressive drama, hence bringing us a picture of what is happening right now across the country. According to the complaint, on December 6, the police raided the young man’s house at night, searched it thoroughly and found nothing suspicious, but arrested the young man and demanded a ransom of 10,000 rupees for his release. It is alleged that Sergeant Alwis and police driver Madushanka have requested the bribe and Indika’s friends gave them the requested amount. He was released on police bail the next day.

Aruna’s father, Shanta Wijesuriya, who is a well-known journalist and political activist, came to know about this later and went with his son to Kesbewa police station to complain about this, but the police avoided accepting the complaint. The police hunters were furious because the father and son tried to complain against the police for taking bribes.

On December 13, a group of plain clothed police officers assaulted Aruna, searched his house and arrested him again. When the youth made a phone call to his cousin, the police surrounded the relative’s house as well. Again, around 3 am, On December 17, a police team including Alwis, who was accused of taking bribes, surrounded the youth’s home. There, a young man named Shehan was also with the police, and the police showed Shehan something that appeared to be a pack containing the illegal drug called ‘Ice’ and asked, “Shehan, did Aruna give you this?” But, facing protests from those present, the police retreated with the following warning: “Aruna Oya Adath Dinum( (Aruna, you have won today too)”.

Later, on February 2, the police officer, identified as Paul, had threatened Wijesuriya – the father of the youth – at Kesbewa courts premises saying that he would “shoot him if he tries to be smart”. On the same day at around 5 pm, the police raided a place where the young man was taking photographs and arrested him. The next day, his girlfriend, who went to visit him, was arrested on the charge that she had recorded the conversation of the police officers, beaten and harassed by removing her clothes forcibly, checking for illegal drugs. The cousin who visited the youth was also arrested and later released. The court rejected the request of the police to send the young man for rehabilitation, alleging that the boy who was brought to the court with ‘ice’ had used the substance. Allegations that he had used it were nullified by the medical evidence. There is no place to complain about these injustices. The institutions which claim to be investigating and redressing such grievances continue to ignore complaints. The response received from many such institutions was that there is no evidence to prove the allegations.

On February 6, social media reported an incident where the father of two was arrested by the Baddegama Police. The victim, Jeewantha Kumara of Ganegama, within the jurisdiction of the Baddegama Police was arrested with 2 grams and 350 milligrams of “ice”. Police assaulted Jeewantha and his brother, and their sister, a school-girl, video-taped how the police team in plainclothes assaulted her two brothers. She watched and taped how one of the police team tried to put a black parcel in her brother’s pocket. The police assaulted her, snatched her phone, arrested Jeewanta and filed a case. The phone which recorded the incident was never returned and has disappeared with all the evidence. The girl and her other brother had to be admitted to Karapitiya Hospital and receive treatments. There is no reason to think that the complaints made to the Elpitiya Senior Superintendent of Police and Galle Assistant Superintendent of Police will bring justice to these oppressed people.

The case of shooting down a carpenter at Narammala is a well-known crime among hundreds of such incidents. On January 18, police personnel in plain clothes ordered him to stop the lorry he was driving. When he did not stop, the vehicle was chased and he was shot dead. This is the way the so-called Operation Yukthiya is being carried out and the Public Security Minister Tiran Alas has assured in Parliament that the operation will continue irrespective of any objections such as concerns of human rights.

This attempt by the state repressive apparatus to pose itself as the agents of morality against immorality, is deceitful, evil, and despicable. It is a desperate attempt to curb the resistance of the working and oppressed people, arising from the implementation of austerity dictates of the International Monetary Fund (IMF), hence imposing the crisis of capitalist class rule on the oppressed masses.

The root of all crimes is the rule of the bankrupt capitalist class. It is not limited to Sri Lanka. These rampant economic, political and social problems are not caused by illicit-drug users. The drug business operates through politically supported transnational and domestic parasitic crime networks. Addiction to drugs itself is the result of social unrest flowing from endless economic, political and social problems. Under these circumstances, the daily operations by military and police, establishing military police roadblocks at every other inch and conducting search operations are nothing but setting up the mechanism to subjugate the lives of the workers and oppressed people to the conditions of the police state. These operations have nothing to do with eradication of illicit drugs.

The statistics of the World Bank show how the poverty in the society is increasing day by day. Poverty, which was 11.3 percent of Sri Lanka’s population in 2019, has increased to 12.7 percent in 2020; and then from 13.1 percent in 2021 to 25 percent in 2022, and to 27.9 percent in 2024. This is a manifestation of the bankruptcy of capitalism on a global scale. World Bank reports show that between September 2022 and March 2023, world poverty increased by 11 million from 648 to 659 million. That’s by calculating the income below $2.15 per day. But, taking into account the lower middle income level and upper middle income level countries, i.e. the levels of $3.65 and $6.85, this figure rises by another 28 million. The poor are consumed by hunger, disease and discomfort. On the other hand, the income of the top 1% supre-rich is increasing by leaps and bounds.

The results of this level of inequality include the escalation of social tragedy, from drug addiction to various crimes and suicides. There was a recent incident where a 14-year-old boy jumped to the fast approaching train and committed suicide near Tambalagamuwa railway station on February 11. Following the sound of the train’s horn, the other children moved out of the way, but this child spread his hands and was smiling while waiting for the train to go over him. The train driver has stated that he had never seen anything like this in his entire life. Later, the child’s guardian aunt told the media that the child was suffering from acute malnutrition.

Attention of the masses is, and should be, focused on these issues. The world is gripped by the struggles of workers, farmers and youth. Anti-democratic measures and terror-mongering displayed by governments bringing social media censorship laws, anti-terror laws are not at all manifestations of the strength of capitalist governments, which are largely discredited among the masses, so lacking popular support, but manifestations of their organic weakness. Those governments cannot fulfill even a single economic or social need of the people. Anywhere in the world, such regimes have been enabled to persist because trade unions and pseudo-left fronts have infiltrated every instance of class struggle, to disrupt, control and compromise mass struggles. We workers, peasants and other oppressed people must realize that self-defense does not come at all from official capitalist institutions, and that freedom and security cannot be guaranteed except through the formation of an independent mass movement against the capitalist establishment under the working class revolutionary programme.

We, the Colombo Action Committee for People’s Struggles, request all progressive people opposed to capitalist attacks to come forward to build and unify action committees at workplaces and residential areas, which can ensure the safety of the oppressed people. Only such a mass movement can really wipe out capitalist rule and all the tendencies that block the path of social progress.

Abolish all repressive laws!

Forward towards a Workers’ and Peasants’ Government!

[This statement was originally published here in Sinhales on February 17, 2024]

Defeat the State Terror called “Operation Yukthiya” against oppressed youth and the masses Read More »

Picket

දුප්පතුන් එල්ල කරගත් ආන්ඩුවේ මිලිටරි-පොලිස් මර්දනයට එරෙහිව ක්‍රියාකාරී කමිටු  උද්ඝෝෂනයේ

පරාක්‍රම කුරුප්පු විසිනි.

‘යුක්තියේ මෙහෙයුම’ නමින් තරුනයන්ට හා පීඩිතයන්ට එරෙහිව උත්සන්න ආකාරයකින් මුදා හැර ඇති රාජ්‍ය භීෂනයට එරෙහි පිකට් උද්ඝෝෂනයක් ඊයේ (පෙබරවාරි 27 දින) පස්වරුවේ කැස්බෑව බස් නැවතුම්පොල ඉදිරියේ පවත්වන ලදී.  කොලඹ ක්‍රියාකාරී කමිටුවේ මෙහෙයවීමෙන් යුතුව, කැස්බෑව ක්‍රියාකාරී කමිටුව හා සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ හා ප්‍රදේශවාසී පිරිසකගේ ද සක්‍රිය සහභාගීත්වයෙන් එය පැවැත්විනි. මෙම උද්ඝෝෂනය කැස්බෑව ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ගැනීමේ ආරම්භක ලක්ෂ්‍යයක් වන අතර, එය කම්කරුවන් ඇතුලු පදිකයන් හා බස් මගීන් ප්‍රමුඛ මහජනයාගේ බරපතල අවධානයට ලක් විය.  කැස්බෑව ප්‍රදේශවාසී තරුනයන් හා වාම දේශපාලනික ක්‍රියාකාරීන් පෝස්ටර් ඇලවීමේ කටයුතුවලට හා උද්ඝෝෂනයට සම්බන්ධ වෙමින් සහාය දුන්නෝය.

Picket
පිකට් උද්ඝෝෂනයේ අවස්ථාවක්

පිලියන්දල ප්‍රදේශවාසී වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු වන අරුන ඉන්දික විජේසූරියට එල්ල වූ හා පසුගිය පෙබරවාරි 17 දින thesocialist.lk හි වාර්තා කරන ලද මර්දන ක්‍රියාවලිය ගැන ප්‍රදේශවාසීන් අතර පවතින විරෝධය මෙකී අවධානයේ කේන්ද්‍රයේ පිහිටා පැවතීය. එකී ලිපියෙහි අප විසින් පෙන්වා දුන් පරිදි, ඊනියා ‘යුක්තියේ මෙහෙයුම’ මත්කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වන්නක් නොව තරුනයන්ට හා පීඩිතයන්ට එරෙහිව ක්‍රියාත්මක වන භීෂනකාරී උපකරනයක් බව දැන් මහජනයා සිය දෛනික අත්දැකීම් හරහා වටහා ගනිමින් සිටිති. කල් තබා පෝස්ටර් මඟින් මෙම උද්ඝෝෂනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු යටත් විජිත සමයේ නීති යටතේ උසාවියෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් අතැතිව කොක්‍රික ලේකම් ශාන්ත විජේසූරියගේ නිවෙසට කඩා පැන එහි තිබූ රැස්වීම් පෝස්ටර් හා පත්‍රිකා පැහැර ගන්නා ලදී. මෙසේ උද්ඝෝෂනයට එරෙහිව උත්සන්න කෙරුනු භීෂනය, ඊට සහභාගී වීමට එරෙහිව පොලිස් තර්ජනය කිරීම් හා බිය ගැන්වීම් කරා ද පෙරට ගෙන ගිය බවට වාර්තා ලැබී ඇත. උද්ඝෝෂනයට එරෙහි තහනම් නියෝගයක් ලබා ගත් බවට වාර්ථා වී පැවති නමුදු, එවැනි නියෝගයක් පෙන්වීමට හෝ උද්ඝෝෂනය අවස්ථාවේ ඊට එරෙහිව මැදිහත් වීමට පොලිසිය කටයුතු කලේ නැත. සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් ගනනාවක් උද්ඝෝෂනය දුරින් සිට නිරීක්ෂනය කල බව දක්නට ලැබින.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාරයට, මිලිටරි පොලිස් රාජ්‍ය භීෂනයට, මර්දනකාරී අනපනත්වලට හා ධනවාදයට එරෙහි පුවරු අතැති ව තරුනයෝ, කම්කරුවෝ හා ගෘහනීහු උද්ඝෝෂනයට සහභාගී වූහ. ඒවායේ සටහන් වූ පහත දැක්වෙන පාඨ මහජන අවධානය දිනා ගත්තේය:

  • අහිංසකයන් අත්අඩංගුවට ගැනීම නතර කරනු!
  • “යුක්තියේ මෙහෙයුම” සැබෑ පාතාලයට එරෙහිව නො වේ!
  • දුගීන්ට එරෙහි හමුදා-පොලීසි කෲරත්වය පරාජය කරනු! 
  • දුගී බව අපරාධීකරනය කිරීමට ඉඩ නොදෙනු!
  • මත්කුඩු ජාවාරමේ ඵල නෙලන්නේ ධනවාදයයි. ධනවාදය අහෝසි කරනු!
  • IMF එපා! කප්පාදුව එපා!
  • මර්දක අන පනත් එපා!
  • ගාසාවේ ජන සංහාරය නවතනු!
  • අධිරාජ්‍යවාදය හා ලෝක යුද්ධය එපා!
  • සමාජවාදය සඳහා සටන් වදිමු!
  • කම්කරු ගොවි ආන්ඩුවක් සදහා පෙරට!

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට උපත දී ඒවා පවත්වා ගෙන යනු ලබන්නේ ම ධනපති පන්ති පාලනය විසින් බවට ඔවුන්ගේ සටන්පාඨ වලින් හඬ ගා කියන ලදී. එකී සටන් පාඨ පහත දක්වා ඇත:

* මහජන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් – ආරක්ෂා කරව්!

* ⁠ප්‍රකාශනයේ නිදහස – රැකගනිව්!

* ⁠‍යුක්තියේ මෙහෙයුම නමින් එන ධනපති උගුල- හෙලි දරව් කරව්!

* ⁠සූදානම් වන රාජ්‍ය මර්දනය – පරාජය කරව්!

තරුන ලමයි- බිලි ගන්නා

විෂ මත් කුඩු – පාතාලය

ඉදි කෙරුවේ -ධනවාදය

වැඩි වැඩියෙන් – ලාභ සොයා

රැකියාවට – ජීවිතයට

සුභසාදන – සේවාවට

පහර දීපු – ධනවාදය

මුකවාඩම් නීති එපා

රාජ්‍ය භීෂණය එපා

පාතාලෙට මුවා වෙලා

අපේ දරුවො මඩිනු එපා !

* ධනපති මිලිටරි පොලිස් භීෂනයට- ඉඩ නොදෙව්!

* පොලිස් ප්‍රජා ආරක්ෂක කමිටු – එපා!

* කම්කරු ගොවි ක්‍රියාකාරී කමිටු – ගොඩ නගව්!

* සියලු මර්දන නීති- අහෝසි කරව්!

* සුබ සාධන සේවා- රැක ගනිව්!

* ⁠ධනවාදය – පෙරලා දමව්!

* ⁠කම්කරු ගොවි ආන්ඩුවක් – ගොඩ නගව්!

උද්ඝෝෂනය ආරම්භයේ කථා කල කොක්‍රික විධායක කමිටු සාමාජික නන්දන නන්නෙත්ති, ලෝක පරිමානවම ධනය බෙදී යාමේ බිහිසුනු අසමතාවය සංඛ්‍යා ලේඛන සහිත ව පෙන්වා දෙමින්, මේ තත්ත්වය තරුනයන් අපේක්ෂා භංගත්වයට ඇද දමන ආකාරය පැහැදිලි කලේය. බොහෝවිට අඩු මාත්‍රාවෙන් කායික වේදනා නාශක ලෙස භාවිතා කෙරෙන රසායනයන් මත්ද්‍රව්‍ය ලෙස ස්වකීය මානසික වේදනාවන් යටපත් කිරීමට භාවිතා කිරීමට මෙසේ අපේක්ෂා භංගත්වයට ඇද වැටෙන තරුන ජනයා යොමු වෙති. විෂ මත්ද්‍රව්‍ය යනු ලෝකයේ දැවැන්ත ලෙස ලාභ ලබන ව්‍යාපාරයකි. එය දැන් ලෝකයේ ආන්ඩු පාලනය කිරීමට සමත් ය. එම ව්‍යාපාරයේ මුල් පවතින්නේ ධනවාදය තුල ය. දරුවන් මත් උවදුරින් මුදා ගැනීමට නම් ධනවාදය පෙරලා දැමිය යුතු බව පෙන්වා දුන් නන්නෙත්ති, ඒ සඳහා ස්වාධීන කමිටු ගොඩ නඟමින් සංවිධානය වන ලෙස සියලු පීඩිතයන්ට ආරාධනා කලේය.

උද්ඝෝෂනය ඇමතූ කොක්‍රික ලේකම් ශාන්ත විජේසූරිය, යුක්තියේ මෙහෙයුම මත්ද්‍රව්‍ය වලට එරෙහි මෙහෙයුමක් නොව මහජනයාට එරෙහි මෙහෙයුමක් බව පැහැදිලි කලේය. තම පුත් ඉන්දික විජේසූරියට හා තමන්ට ද එරෙහිව එල්ල වූ තර්ජන පිලිබඳ කෙටි පැහැදිලි කිරීමක් කරමින්, එකී සිදුවීම් කම්කරු දුගී මහජනයාට එරෙහිව මුදා හැරෙමින් පවත්නා ප්‍රහාරයේ සන්දර්භය තුල තබා දැක්වීය. මේ මෙහෙයුම පසුපසින් පවතින්නේ මහජන විරෝධය පාගා ත්‍රස්ත කර නිහඬ කිරීමට දැරෙන ප්‍රයත්නය බව ඔහු පෙන්වා දුන්නේය.

උද්ඝෝෂනය ඇමතූ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ  කැඳවුම්කරු මෙකී මෙහෙයුම් මහජන නිදහස පාගා දැමීමක් බවත්, යුක්තියේ මෙහෙයුම නම් මෙම අයුක්තියට එරෙහිව, රාජ්‍ය භීෂනයට එරෙහි උද්ඝෝෂන සෑම නගරයක් පාසා පැවැත්වීමට කොලඹ ක්‍රියාකාරී කමිටුව සමඟ ක්‍රියාත්මක වීමට තමන් සූදානම් බවත් කියා සිටියේ ය.

උද්ඝෝෂනය අවසානයේ උද්ඝෝෂකයන් අමතා කථා කල කොක්‍රික සභාපති සංජය ජයසේකර උද්ඝෝෂනයට සහභාගී වූවන්ට සිය ස්තුතිය පල කලේය. IMF නියෝග වලට අවනත ව මහජනයා මත දැවැන්ත පීඩනයක් මුදා හරින ආන්ඩුව, ඊට එරෙහිව නැඟෙන අරගල මර්දනය කිරීම සඳහා, පාර්ලිමේන්තුව හරහා සමාජ මාධ්‍ය වාරනයට ද, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් හා අරගලකරුවන් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා සිරගත කිරීමට ද, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මර්දනය කිරීමට ද රුදුරු නීති පනවමින් සිටින බව කියා සිටියේ ය. එහි නවතම ක්‍රියාවලිය ‘යුක්තියේ මෙහෙයුම’ නමින් අරඹා ඇත. මෙම වැඩ පිලිවෙල විසින් දිගටම සිදු කලේ ගම්බද හා නගරබද තරුනයන් දඬු ගැසීම බව ඔහු පෙන්වා දුන්නේය. කොක්‍රික උද්ඝෝෂනයේ පත්‍රිකා පැහැර ගැනීම උද්ඝෝෂනය පිලිබඳ ආන්ඩුවේ භීතිය ප්‍රකාශයට පත් කරන්නක් බව පෙන්වා දුන් ඔහු, මහජන අයිතිවාසිකම් පාගා දැමීමේ මෙම ප්‍රහාරවලට එරෙහිව ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීමේත්, සියලු ක්‍රියාකාරී කමිටුවල ඒකාබද්ධතාවයේත් අවශ්‍යතාවය අවධාරනය කලේය.      

රාජ්‍ය භීෂනයට එරෙහිව කම්කරු පීඩිත ජනයා ස්වාධීන ව බලමුලු ගැන්වීම වශයෙන් මෙම උද්ඝෝෂනය විසින් ගනු ලැබ ඇති ප්‍රාරම්භය පෙරට ගෙන යමින් තම ප්‍රදේශවල සිදු කෙරෙන රාජ්‍ය භීෂන කටයුතු පිලිබඳ වාර්තා theSocialist.lk වෙබ් අඩවිය හරහා හෙලිදරව් කිරීමට ද, එම භීෂනයෙන් ආරක්ෂා වීමට ස්වාධීන කමිටු ඇති කර ගැනීමට ද අපි අපේ පාඨකයන් දිරි ගන්වමු. අදම කොලඹ ක්‍රියාකාරී කමිටුව හා කැස්බෑව ක්‍රියාකාරී කමිටුව සමග සබඳතා ගොඩ නගන්න.

දුප්පතුන් එල්ල කරගත් ආන්ඩුවේ මිලිටරි-පොලිස් මර්දනයට එරෙහිව ක්‍රියාකාරී කමිටු  උද්ඝෝෂනයේ Read More »

Rw

ශ්‍රී ලංකා ආන්ඩුව සමාජ මාධ්‍ය මර්දන නීතිය සම්මත කරයි, නව ප්‍රති-ත්‍රස්ත පනතත් පාර්ලිමේන්තුවට

සංජය ජයසේකර විසිනි.

රට තුල විසම්මුතියේ නිදහස මර්දනය කිරීම සඳහා පාලක පන්තිය විසින් දිගු කලක් තිස්සේ සූදානම් කරන ලද 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිලිබඳ පනත (OSA) නීතියක් ලෙස බලාත්මක කරමින් ශ්‍රී ලංකා කථානායක මහින්ද යාපා අබේවර්ධන පසුගිය බ්‍රහස්පතින්දා (01) ඊට තම අත්සන තැබීය. මෙම නීතිය ජනවාරියේ අග භාගයේ දී පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 46 කින් සම්මත කර ගන්නා ලද්දේ, පසුගිය ඔක්තෝම්බර් මාසයේ පනත් කෙටුම්පත ඉදිරිපත් කල අවස්ථාවේ සිදු කෙරුනු විභාගයේ දී, රටේ ශ්‍රේෂ්ඨාධිකරනය විසින් යෝජනා කරන ලද සීමිත සංශෝධනවලට පවා අනුකූල නොවන විධිවිධාන ද සහිතව ය. එවැනි යෝජනාවලට යටත්ව, නීතිය සමස්තයක් ලෙස ව්‍යවස්ථානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරනයේ  තීරනය විය.

මෙම නීතිය පැහැදිලිවම ප්‍රජාතන්ත්‍ර විරෝධී ය. එය ඔන්ලයින් ද්වාරයක (portal)  ප්‍රකාශයට පත් කෙරෙන “ඕනෑම ප්‍රකාශයක අසත්‍යතාවය” තීරනය කිරීමට සහ ප්‍රකාශ කිරීමට ඇති එකම බලය ලෙස  මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිලිබඳ කොමිෂන් සභාව (OSC) බල ගන්වන අතර, ඉක්බිතිව එවැනි ප්‍රකාශිත “සත්‍යය” ට  පටහැනි ප්‍රකාශයක් කරන හා  සන්නිවේදනය කරන ඕනෑම කෙනෙකුට නඩු පවරනු ඇත. 

“අසත්‍ය ප්‍රකාශය” යනු “එය වැරදි බව හෝ අසත්‍ය බව එය සිදු කරන්නා දන්නා වූ ද, නැතහොත් ඒ බවට විශ්වාස කරන්නා වූ ද  විශේෂයෙන් ම රැවටීමේ හෝ නොමග යැවීමේ චේතනාවෙන් සිදු කරන්නා වූ ද ප්‍රකාශයක්” ලෙස අර්ථ දැක්වේ. මෙම දැනුම හෝ විශ්වාසය OSC විසින් අසත්‍ය බව ප්‍රකාශ කරන ලද හෝ රජයේ බලධාරීන් සත්‍ය යැයි ප්‍රකාශ කර ඇති දේ මගින් හැඩගැසෙනු ඇතැයි උපකල්පනය කල යතුය.

“අසත්‍ය ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම මඟින්”, (අ) “ජාතික ආරක්ෂාවට, මහජන සෞඛ්‍යයට හෝ මහජන සාමයට තර්ජනයක් ඇති කරවන” හෝ “විවිධ පන්තිවලට අයත් තැනැත්තන් අතර එදිරිවාදී සහ වෛරී හැඟීම් ප්‍රවර්ධනය කරන” (12 වගන්තිය); (ආ)  අධිකරණයට අපහාස කිරීමක් සිදුවන්නා වූ අසත්‍ය ප්‍රකාශයක් මාර්ගගත ගිණුමක් මඟින් හෝ මාර්ගගත ස්ථානයක් හරහා සන්නිවේදනය කරන (13); (ඇ) “කැරලි ගැසීමේ වරදක් සිදු කිරීමට හේතු වනු” ඇති පරිදි, “ප්‍රකෝප කරවීමෙන් හෝ පෙළඹවීමෙන්  කැරලි ගැසීමේ වරද සිදුවිය හැකි බවට වූ චේතනාවෙන් ම හෝ ඒ බව දැන දැන ම, …. ද්වේශ සහගතව හෝ නිකරුණේ මාර්ගගත ගිණුමක් මගින් හෝ මාර්ගගත ස්ථානයක් හරහා  අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය” කරන (14); (ඈ) “අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම මගින් ආගමික වැඳුම් පිදුම් කිරීමක හෝ ආගමික පූජාවන්හි නීත්‍යනුකූලව යෙදී සිටින යම් රැස්වීමකට ස්වේච්ඡාවෙන් ම බාධා කරන” (15); (ඉ) “යම් පන්තියකට අයත් තැනැත්තන්ගේ ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍ර කිරීමේ ඒකාන්ත සහ ද්වේශ සහගත චේතනාවෙන්, මාර්ගගත ගිණුමක් මගින් හෝ මාර්ගගත ස්ථානයක් හරහා වාචික හෝ ලිඛිත වචන මගින් හෝ ද්‍රව්‍යමය නිරූපණ මගින් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීමෙන් ඒ පන්තියේ ආගමට නැතහොත් ආගමික විශ්වාසවලට නින්දා කරන හෝ නින්දා කිරීමට තැත් කරන (16); (ඊ) ශ්‍රී ලංකා නාවික හමුදාවේ, යුද්ධ හමුදාවේ හෝ ගුවන් හමුදාවේ යම් නිලධරයකු, නාවිකයකු, සෙබළකු හෝ ගුවන් නැවියකු කැරලි ගැස්වීමේ චේතනාවෙන් හෝ මහජනයා අතර බියක් හෝ තැතිගැන්මක් ඇති කරවීමේ චේතනාවෙන් යම් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කර එමගින් රජයට විරුද්ධ වරදක් හෝ මහජන සාමයට විරුද්ධව වරදක් සිදු කිරීමට යම් තැනැත්තකු පොලඹවන (19) ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව නඩු පැවරිය හැකිය; යමෙකුට (ඉලක්කගත තැනැත්තාට) “හිරිහැර කිරීමේ චේතනාවෙන්” එම පුද්ගලයාගේ හෝ ඔහුට සම්බන්ධ අයෙකුගේ යම් පෞද්ගලික තොරතුරක් (සත්‍ය හෝ අසත්‍ය) පල කිරීමෙන් හා එමගින් එම පුද්ගලයන්ට “හිරිහැරයක් සිදු කරවන ප්‍රකාශයක් සිතාමතා ම සිදු කරන හෝ සන්නිවේදනය කරන” අයෙක් ද පනත යටතේ වරදක් සිදු කරයි (20). එවැනි සියලු ප්‍රකාශ “තහනම් ප්‍රකාශ” වේ.

වරදක් සිදු කිරීමට තැත් කිරීම, අනුබල දීම සහ කුමන්ත්‍රනය කිරීම ද පනත යටතේ අපරාධ වැරදි වේ.

මෙම වැරදි සඳහා වන දඬුවම් වසර තුනේ සිට පහේ සිට හත දක්වා වූ සිරදඬුවම් පරාසයක පවතින අතර ඇතැම් අවස්ථාවල දී තදනන්තර ව සිදු වන වරද සඳහා රුපියල් මිලියනයක් දක්වා දඩ මුදල් සමඟ සිරදඬුවම දෙගුනයක් විය හැකිය.

අන්තර්ජාලයේ තහනම් ප්‍රකාශයක් අඩංගු (වෙබ් අඩවියක්, වෙබ් පිටුවක්, චැට් රූම් හෝ සංසදයක් වැනි) ස්ථානයකට අවසාන පරිශීලකයන්ගේ ප්‍රවේශයන් පිවිසීමට සම්බාධක පනවන සේ කවර හෝ අන්තර්ජාල සේවා සම්පාදකයෙකුට හෝ අන්තර්ජාල අතරමැදියෙකුට නියෝග කිරීමේ පුළුල් බලතල OSCය සතු ය. එවැනි ප්‍රකාශ ඉවත් කරන සේ නියෝග කිරීමට එයට හැකිය. වෙබ් අඩවියක්, සමාජ මාධ්‍ය ගිනුමක් හෝ වේදිකාවක් “අන්තර්ජාලයේ ප්‍රකාශිත ස්ථානයක්” ලෙස අසාදු ලේඛනගත කිරීමට ද එයට බලය ඇත. “චංචල, සහ නිශ්චල දේපොල අත්පත් කර ගැනීමට සහ ඒවා විකිනීමට, බදු දීමට, උකස් කිරීමට, හුවමාරු කිරීමට හෝ වෙනත් ආකාරයකින් බැහැර කිරීමට” ද කොමිසමට බලය තිබේ.

“ව්‍යාජ ප්‍රවෘත්තිකරණය” අපරාධයක් ලෙස නම් කළ යුතුය යන්න කලක සිට පාලක පන්තියේ ඉල්ලීමකි. එය පසුගිය කාලයේ අනුප්‍රාප්තික ආන්ඩුවල න්‍යාය පත්‍රයේ තිබුනි –  පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව 2019 සිරිසේන-වික්‍රමසිංහ රජය සමයේ ද, ඉන් ඉක්බිති ව, ප්‍රධාන වශයෙන් සමාජ මාධ්‍ය හරහා සංවිධානය කෙරුනු  2022 අප්‍රේල්-ජූලි මහජන අරගල වලින් පසුව බලයෙන් පහකල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ ද නීති කෙටුම්පතක් එසේ සූදානම් කර තිබුනි. “ජාත්‍යන්තර ප්‍රමිතීන්ට” අනුකූල වන සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල නියාමන නීතියක් ඉල්ලා සිටි සිවිල් සමාජ කන්ඩායම්, ජාත්‍යන්තර සංවිධාන සහ දක්ෂිනාංශික දේශපාලන පක්ෂ විසින් මතු කරන ලද පුලුල් විරෝධතා හේතුවෙන් මෙම උත්සාහයන් තාවකාලිකව පරාජයට පත් විය.

Rw
ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 පෙබරවාරි 4 වන දින කොලඹදී පැවති රජයේ 76 වැනි නිදහස් දින සැමරුම් උත්සවයේදී හමුදා පෙලපාලිවලට ආචාර කරයි. ඡායාරූපය: රොයිටර්

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් කියා සිටියේ කාන්තාවන්ට සහ ලමයින්ට සිදුවන අන්තර්ජාල හිරිහැරවලට එරෙහිව සටන් කිරීමට මෙම නීතිය අවශ්‍ය බවයි. මෙය කඩතුරාවක් පමනි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කීර්ති නාමයට හානි කරන “වැරදි තොරතුරු” මැඩලීමේ අභිප්‍රාය ද ඔහු හෙලි කලේය. මෙය මුලු පාර්ලිමේන්තුවම ප්‍රතික්ෂේප කල 2022 මහජන අරගල අතරතුර සිදු වූ පුලුල් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය පිලිබඳ සඳහනකි.

පාර්ලිමේන්තුවේ සිටින සෑම විරුද්ධ පක්ෂයක් ම, සමාජ මාධ්‍ය නියාමන නීතියක්  සියතෙහි තිබිය යුතුය යන්න සම්බන්ධයෙන් රජය සමඟ එකඟ වේ.

පාර්ලිමේන්තු විවාදය අතරතුර, ජාතික ජන බලවේගයේ (NPP) නායක අනුර කුමාර දිසානායක, අලස්ගේ ප්‍රකාශය සමඟ එකඟ වූයේ, “[සමාජ මාධ්‍ය තුල] සිදු නොවිය යුතු දේත් සිදුවෙමින් පවතින” බව පවසමිනි.

ජාත්‍යන්තර තාක්ෂනික දැවැන්තයින් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අවකාශය අතහැර දමනු ඇතැයි ප්‍රධාන විපක්ෂයේ සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා කනස්සල්ලට පත් විය. ඔහුගේ කනස්සල්ල, ආයෝජන ආකර්ෂනය කර ගැනීම සඳහා අසීමිත නිදහසක් ලබා දිය යුතු බවට හර්ෂ ද සිල්වා සලකන අධි-ලාභ ලබන තාක්ෂණික කර්මාන්ත හිමි ධනපතියන් පිලිබඳ ව ය. දැනටමත් ලොව පුරා මෙම සමාගම් නිදහස් භාෂනය මත රාජ්‍ය වාරනය පවත්වා ගෙන යාමේ හවුල්කරුවන් ලෙස ක්‍රියාත්මක ව සිටිති.

බලයට පැමිනියහොත් සහ එසේ බලයේ සිටින කල්හි, මෙම පක්ෂ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ඉල්ලීම් සපුරාලීම සඳහා කම්කරු පන්තියට සහ දේශපාලන විරුද්ධවාදීන්ට – විශේෂයෙන්ම  වාම විරුද්ධවාදීන්ට – එරෙහිව  මෙම නීති නිර්දය ලෙස භාවිතා කරනු ඇත.

ධනේශ්වර රාජ්‍යයේ සහ පාර්ලිමේන්තුවේ පීඩාකාරී නීති පද්ධතියට ඇති සිය යටහත් පහත් බව ප්‍රකාශ කරමින්, ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාධ්‍ය වෙත පැවසුවේ, “මේ ආකාරයේ [නව නීතියෙන් ආවරනය වන] තත්වයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට දැනටමත් නීති ඇති” නිසා  යෝජිත නීතිය අනවශ්‍ය වන බවය. එහි “මහජන කවුන්සිල” වැඩසටහන පාර්ලිමේන්තු ක්‍රමයටම ගැටගැසූ උපාංගයකි.

මධ්‍යම පාන්තිකයින් අතර තවත් මතයකට, ඉරිදා (04) දින “අනිද්දා” ව්‍යාජ වාම පත්‍රයට ගාමිනී වියන්ගොඩ විසින් ලියන ලද ලිපියකින් හඬක් දී ඇත. මෙම පනත් කෙටුම්පත, “ලඟදී එලැඹීමට නියමිත තීරනාත්මක මැතිවරනවල දී ඒවාට ආරක්ෂාකාරීව මුහුන දීමේ පරිසරයක් …කල්තියා සකසා ගැනීම සඳහා” රජයට අවශ්‍ය වන දේශපාලනික උපාමාරු යෙදීමක් බව වියන්ගොඩ පවසයි. තමාට ජනාධිපතිවරන ජයග්‍රහනයක් ලබාගැනීමේ අවස්ථාව දුර්ලභ  බව දන්නා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම නීති සම්පාදනය කරන්නේ තමන් වෙනුවෙන් නොව,  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද කප්පාදු පියවරයන් ජනතාවගේ කර මත පටවා ඉදිරියට යෑමට සූදානම් බව තහවුරු කර ඇති NPP හා SJB ඇතුලු ධනපති සංස්ථාපිතය සඳහා ය. මෙම රැඩිකල්වාදීන් ජනතාවගෙන් වසන් කරන සත්‍යය මෙයයි.

OSA නීතියක් බවට පත් කර ඇති අතරතුර, පවතින 1979 යේ  කුරිරු ‘ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA)’ යටතේ අත්අඩංගුවට ගැනීමේ, පරිපාලනමය වශයෙන් රඳවා තබා ගැනීමේ හෝ අත්අඩංගුවේ තබා ගැනීමේ සහ නඩු පැවරීමේ බලතල අභිබවා යමින් රජය නව ප්‍රති-ත්‍රස්ත නීතියක් ගෙන ඒම සඳහා කටයුතු කරමින් සිටී. පසුගිය මාසය තුල පාර්ශව 35 කට වැඩි සංඛ්‍යාවක් රටේ ශ්‍රේෂ්ඨාධිකරනය ඉදිරියේ යෝජිත නීතිය අභියෝගයට ලක් කලහ. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වධහිංසාවට ගොදුරු වූ කවියෙක් වන අහ්නාෆ් ජසීම් උසාවියට පෙත්සමක් ඉදිරිපත් කරමින් මෙසේ කීවේ ය: “මෙම ඒකාධිපති නීතිය… මූලිකවම සැලසුම් කර ඇත්තේ කම්කරු පන්තියට එරෙහිව සාමූහික දඬුවම් කිරීමේ ආයුධයක් ලෙස භාවිතා කිරීමටය. එය මෙහෙයවනු ලබන්නේ පන්ති වෛරය විසිනි.”

වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත් කිරීමෙන් අනතුරුව වහා ම, ජාමූඅ විසින් නියම කරන ලද දරුනු කප්පාදු පියවරයන් ක්‍රියාවට නැංවීමට සූදානමින්, වැඩකරන ජනතාවට සහ දුප්පතුන්ට එරෙහිව තම ආන්ඩුවේ පන්ති යුද්ධය ප්‍රකාශ කලේය. මෙම පසුබිම තුල මෙම නීති, දේශපාලන විසම්මුතියට, විශේෂයෙන්ම වාමාංශික දේශපාලන අදහස් සහ ව්‍යාපාරවලට, මාධ්‍යවේදීන්ට සහ ක්‍රියාකාරීන්ට එරෙහිව බිය ගැන්වීම්, හිරිහැර කිරීම්, ප්‍රශ්න කිරීම්, අත්අඩංගුවට ගැනීම් සහ සිරගත කිරීම් සඳහා ද, වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය ගිනුම් අවහිර කිරීම සඳහා ද වික්‍රමසිංහගේ අවි ගබඩාවේ ඇති නව ආයුධ වේ. සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට, කලාකරුවන්ට, විරෝධතාකරුවන්ට සහ වාර්ගික-සුලු ජාතීන්ට එරෙහිව කුරිරු ත්‍රස්ත විරෝධී, මහජන ආරක්ෂාවේ සහ වෛරී ප්‍රකාශන නීති භාවිතා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය කුප්‍රකට ය.

මෑතක දී අලස් විසින් “මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සටන් කිරීමට” විශේෂ පොලිස් බලකායන් යොදවනු ලැබ, දෙසැම්බර් 17 සිට 56,000 කට අධික පිරිසක් අත්අඩංගුවට ගනු ලැබ ඇත. “යුක්තිය” යන ව්‍යාජ නාමයෙන් යුතු මෙම මෙහෙයුම සැලසුම් කර ඇත්තේ, දරිද්‍රතාවයෙන් පෙලෙන නාගරික හා ග්‍රාමීය ප්‍රදේශ ත්‍රස්ත කිරීමටත්, රට පුරා වැඩකරන ජනතාව හා තරුනයන් බිය ගැන්වීමටත් ය. අලස් පවසන පරිදි, පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම “මුලිනුපුටා දැමීමේ” සැලසුම්වල කොටසක් ලෙස  පසුගිය මාසයේදී රජය මුහුනු හඳුනාගැනීමේ තාක්ෂනය භාවිතා කිරීම ආරම්භ කලේය.

රටේ වාර්ගික ව්‍යවස්ථාව යටතේ ඔහුට ලබා දී ඇති ඒකාධිපති බලතල සමඟින් වික්‍රමසිංහ පොලිස් රාජ්‍යයක් කරා බොහෝ දුර පැමින ඇත. ඔහු ත්‍රිවිධ හමුදාව වර්ජන කඩන්නන් ලෙස යොදවා ඇති අතර කම්කරු නායකයින් දඩයම් කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා නීති භාවිතා කර ඇත.

කෙසේ වෙතත්, ගෝලීය අධිරාජ්‍යවාදී අර්බුදය, මහජනතාවට එරෙහි මෙම ප්‍රහාරයේ දී වික්‍රමසිංහ හුදෙකලා කර නැත. OSB පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන්තම් මාසයකට පෙර, එක්සත් රාජධානිය සමාජ මාධ්‍ය නිදහස ඉලක්ක කර ගනිමින් එවැනිම නීතියක් සම්මත කලේය. ඉන්දියාවේ, පුවත්පත් තොරතුරු කාර්යාංශය (PIB) විසින් “ව්‍යාජ” යැයි දැනුම් දෙනු ලබන මධ්‍යම රජය පිලිබඳ අන්තර්ගතයන් ඉවත් කිරීමට වෙබ් අඩවිවලට සහ සමාජ මාධ්‍ය වේදිකාවලට දැන් සිදු වේ. 

වෘත්තීය සමිති නායකයින් වික්‍රමසිංහගේ ජාමූඅ “ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ” සැලසුම්වලට යටත් වී ඇති අතර කප්පාදුවට එරෙහිව සටන් කිරීමට හෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සදහා  ඔවුන්ට දේශපාලන වැඩපිලිවෙලක් නොමැත. මෙම මර්දන නීති අහෝසි කිරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට සටන් කල හැක්කේ කම්කරු පන්තියට පමනක් වන අතර, එම සටන කල යුත්තේ එම පන්තියයි. වැඩකරන ජනතාවගේ ආන්ඩුවක් ගෙන ඒමටත්, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ග්‍රහනයෙන් ආර්ථිකය මුදවා ගැනීමට සහ සමාජවාදී ආකාරයෙන් ආර්ථික ජීවිතය ප්‍රතිව්‍යුහගත කිරීමටත්, වාර්ගික බෙදීම් සහ කර්මාන්ත ක්ෂේත්‍රයන් හරහා එක්සත් වූ ඔවුන්ගේම ස්වාධීන සංවිධාන තුල සංවිධානය වීම මේ සඳහා අත්‍යවශ්‍ය වේ.

(මෙහි ලිපිය පෙබරවාරි 09 දින theSocialist.lk හි පලකල  Sri Lanka government enacts social media crackdown law, tables new anti-terrorism law යන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු හා පරාක්‍රම කුරුප්පු විසිනි)

ශ්‍රී ලංකා ආන්ඩුව සමාජ මාධ්‍ය මර්දන නීතිය සම්මත කරයි, නව ප්‍රති-ත්‍රස්ත පනතත් පාර්ලිමේන්තුවට Read More »

Yukthiya

“යුක්තියේ මෙහෙයුම“ නමින් පීඩිත තරුනයන් ඇතුලු මහජනයාට එරෙහිව මුදා හැර ඇති රාජ්‍ය භීෂනය පරාජය කරනු!

කොලඹ ක්‍රියාකාරී කමිටුවේ ප්‍රකාශය.

Yukthiya
Image courtesy:adaderana.lk

යුක්තියේ මෙහෙයුම නමින් මුදා හැර ඇති රාජ්‍ය භීෂනය, ආන්ඩුව, තරුනයන්ට සහ සෙසු පීඩිතයන්ට එරෙහි මර්දන උත්සන්න කරන එක් ආකාරයක් බව දැනටමත් පැහැදිලි වී ඇත. එහි ඉලක්කය දිග්ගැසෙමින් පවතින පන්ති අරගලයයි.

ආන්ඩුව හදිසියේ මත් කුඩු මර්දනයට පැන ගත්තේ මහජන වෛරයට පාත්‍ර වී ඇති ධනේශ්වර රාජ්‍යය බලහත්කාරයෙන් පවත්වා ගැනීමේ එක් පියවරක් ලෙස ය; ප්‍රචන්ඩත්වයෙන් සමාජය ත්‍රස්ත කර තබා ගැනීමට මෙන් ම, පසුගාමී සමාජ තට්ටුවක සහාය ගොනුකර ගැනීමට ය. පවතින නීතියේ සීමාවන් ඉක්මවා ක්‍රියා කිරීම සඳහා පොලිසියට අවසර දීම හා එම තත්වය රටේ සාමාන්‍යය බවට පත්කිරීම මේ මගින් දැනටමත් සිදු වී ඇත. මේ වනාහී නඩු විභාග නො පවත්වා චූදියන් මරා දැමීමට අවසර ලැබ ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් දිගු ඉතිහාසයක් ඇති පොලිසියකි.

පිලියන්දල, මඩපාත පදිංචි වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු වන, අරුන ඉන්දික විජේසූරිය පොලිස් කොමිෂමට කර ඇති පැමිනිල්ලකින් හෙලිදරව් කරන මර්දන නාටක මාලාව, රට පුරා දැන් සිදුවන දෙයෙහි චිත්‍රයක් අප හමුවට ගෙන එයි. එකී පැමිනිල්ලට අනුව, දෙසැම්බර් 6 දා රාත්‍රී කැස්බෑව පොලිසිය තරුනයාගේ නිවසට කඩා පැන, එය සහමුලින් පරික්ෂා කර, සැක කටයුතු කිසිත් සොයා නොගත්  නමුත්, තරුනයා අත් අඩංගුවට ගෙන, නිදහස් කිරීම සදහා රුපියල් 10,000ක පගාවක් ඉල්ලා ඇත. පගා ගැනීම සදහා ඉදිරිපත් වී ඇත්තේ සාජන් අල්විස් සහ පොලිස් රියදුරු මදුශංක ය. ඉන්දිකගේ මිතුරෝ එම මුදල ලබා දුන්හ. පසු දින පොලිස් ඇප මත ඔහු මුදා හැරුනි. 

මේ ගැන පසුව දැනගත් ප්‍රසිද්ධ පුවත්පත් කලාවේදියෙකු හා දේශපාලන ක්‍රියාකාරියෙකු වන තරුනයාගේ පියා ශාන්ත විජේසූරිය මේ සම්බන්ධයෙන් පැමිනිලි කිරීමට කැස්බෑව පොලිසියට සිය පුතු සමග ගිය අතර, පොලිසිය පැමිනිල්ල බාර ගැනීම මග හැරියේ ය. පගාව ගැනීමට විරුද්ධව පැමිනිලි කිරීමට උත්සාහ කල නිසා පොලිස් දඩයක්කාරයෝ උරන වූහ. 

දෙසැම්බර් 13, සිවිල් ඇඳුමින් පැමිනි පොලිස් පිරිසක් අරුනට පහර දී ඔහුගේ නිවස ද පරික්ෂා කර නැවතත් ඔහු අත් අඩංගුවට ගත්හ. තරුනයා සිය ඥාති සහෝදරයෙකුට දුරකථන ඇමතුමක් දුන් විට පොලිසිය එම ඥාතියාගේ නිවස ද වට කලේ ය. නැවත, දෙසැම්බර් 17 පාන්දර 3ට පමන පගා ගැනීමේ චෝදනාවට ලක් වූ අල්විස් ඇතුලු පොලිසිය තරුනයාගේ නිවස වට කරන ලදී. එහිදී ෂෙහාන් නමැති තරුනයෙකු ද පොලිසිය සමග සිටි අතර, අයිස් පැකට් එකක් ලෙස පෙනී ගිය දෙයක් ෂෙහාන්ට පෙන් වූ පොලිසිය “ෂෙහාන්, මේක ඔයාට දුන්නේ අරුන නේ ද“ යි විමසුවේ ය. නමුත්, නිවස තුල දී පැන නැගි විරෝධතා හමුවේ, පොලිසිය “අරුන ඔයා අදත් දිනුම්“ ය අනතුරු හඟවමින් පසු බැස්සේ ය.

පසුව, පෙබරවාරි 2 දහවල් කැස්බෑව උසාවි භූමියේ දී, එම පොලිසියේ පෝල් නමින් හඳුන්වන නිලධාරියා, තරුනයාගේ පියා වන විජේසූරියට, “වැඩිය දැගලුවොත් වෙඩි තබන” බවට තර්ජනය කර ඇත. එදිනම සවස 5ට පමන තරුනයා ඡායාරූපකරනයේ යෙදී සිටි ස්ථානයකට කඩා වැදුනු පොලිසිය ඔහු අත් අඩංගුවට ගත් අතර, පසු දින ඔහු බැලීමට ගිය ඔහුගේ පෙම්වතිය පොලිසියේ කතාබහ පටිගත කලේ ය යන චෝදනාව මත අත් අඩංගුවට ගෙන පහර දී, ඇයගේ ඇඳුම් බලහත්කාරයෙන් ගලවා අයිස් ඇත්දැයි පරීක්ෂා කරමින් අතවර කර ඇත. තරුනයා බැලීමට ගිය ඥාති සහෝදරයා ද අත් අඩංගුවට ගෙන පසුව මුදා හරින ලදී. අයිස් දමා ඒ සමග උසාවියට ඉදිරිපත් කල තරුනයා අයිස් භාවිතා කර ඇතැයි ද ඒ අනුව පුනරුත්ථාපනයට දමන ලෙස ද පොලිසිය කල ඉල්ලීම උසාවිය ප්‍රතික්ෂේප කලේ ය. වෛද්‍ය පරීක්ෂනවලින් අයිස් භාවිත කලේ ය යන චෝදනාව නිශ්ප්‍රභ වී තිබිනි.   

මේ සිද්ධීන් ගැන පැමිනිලි කිරීමට තැනක් නැත. පැමිනිලි විභාග කරන තැන් දිගින් දිගටම පැමිනිලි බාර ගැනීම මග හැර ඇත. එවන් බොහෝ තැන්වලින් ලැබී ඇති පිලිතුර නම් ඔප්පු කිරීමට සාක්ෂි නැති බව ය.

පෙබරවාරි 6 සමාජ මාධ්‍ය වාර්තාවක් බද්දෙගම පොලිසිය එම වසමේ ගනේගම ජීවත් වූ දෙදරු පියෙකු වන ජීවන්ත කුමාර අයිස් ග්‍රෑම් 2යි මිලි ග්‍රෑම් 350ක් දමා අත් අඩංගුවට ගැනීමේ සිද්ධියක් වාර්තා කලේ ය. සිවිල් ඇදුමින් පැමිනි පොලිස් කන්ඩායම සිය සහෝදරයා වන ජිවන්තට හා එතනට පැමිනි අනික් සහෝදරයාට පහර දීම සහ ඉන් එක් අයෙක් සිය සහෝදරයාගේ සාක්කුවට කලු පැහැති පාර්සලයක් දැමීමට උත්සාහ කිරීම පාසැල් ශිෂ්‍යාවක් වන නැගනිය විසින් වීඩියෝ ගතකරන ලදී. ඇයට පහර දී දුරකථනය උදුරා ගත් පොලිසිය ජීවන්ත අත්අඩංගුවට ගෙන නඩු පැවරූ අතර සියල්ලට සාක්ෂි දැරූ දුරකථනය අතුරුදන් කර ඇත. ශිෂ්‍යාවට හා ඇගේ අනෙක් සහෝදරයාට කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සිදු විය. ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට, ගාල්ල සහකාර පොලිස් අධිකාරීන්ට කල පැමිනිලිවලින් මෙම පීඩිත මිනිසුන්ට යුක්තිය ඉටු වනු ඇතැයි සිතීමට හේතුවක් නැත. 

මෙවැනි සිය ගනනක් සිද්ධීන් අතර, ජනවාරි 18 සිදු වූ, පොලිසිය සිවිල් ඇඳුමෙන් සිට අත දැමූ විට නතර නො කලේ යයි, නාරම්මල වඩු කාර්මිකයාගේ ලොරිය ලුහුබැඳ ගොස් ඔහුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය ප්‍රකට ය. මෙසේ ක්‍රියාත්මක වන ඊනියා යුක්තියේ මෙහෙයුම මානව හිමිකම් වැනි කිසිදු විරෝධතාවකට යටත් නො වී ඉදිරියට යනු ඇති බවට මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් පාර්ලිමේන්තුවේ දී සහතික කර ඇත.

දුරාචාරයට එරෙහි සදාචාරයේ නියෝජිතයන් ලෙස රාජ්‍ය මර්දන යන්ත්‍රය පෙනී සිටීමට දරන මේ ප්‍රයත්නය වංචනික ය, දුෂ්ට ය, නින්දිත ය. එය, ධනපති පන්ති පාලනයේ අර්බුදය පීඩිත මහජනතාව මත පටවමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කප්පාදු නියෝග ක්‍රියාත්මක කිරීමේ දී මතු වන කම්කරු, පීඩිත ජනයාගේ විරෝධතා මැඩ පැවැත්වීමේ මංමුලා සහගත ප්‍රයත්නයකි.

සියලු අපරාධවල මූලය බංකොලොත් ධනපති පන්තියේ පාලනයයි. එය ලංකාවට පමනක් සීමා වූවක් නොවේ. මේ ඉහවහා ගිය ආර්ථික, දේශපාලනික හා සමාජ ප්‍රශ්න ඇති කර තිබෙන්නේ මත් ද්‍රව්‍ය භාවිතා කරන්නන් විසින් නොවේ.  මත්ද්‍රව්‍ය ව්‍යාපාරය දේශපාලන සහාය ලත් ජාත්‍යන්තර හා දේශීය පරපුටු අපරාධ ජාලයන් හරහා ක්‍රියාත්මක වේ. මතට ඇබ්බැහිවීම ම යනු, නිමක් නැති ආර්ථික, දේශපාලන සමාජ ප්‍රශ්නවලින් නිපන් සමාජ අසහනයේ ප්‍රතිඵල වේ. මෙම තතු යටතේ ලංකාවේ ආන්ඩුව විසින් ක්‍රියාවට දමමින් සිටින දෛනික පොලිස් හමුදා පරීක්ෂාවන්, අඟලෙන් අඟලට පොලිස් හමුදා මාර්ග බාධක ඉදි කිරීම් හා සෝදිසි කිරීම් කම්කරු පීඩිත ජීවිත පොලිස් රාජ්‍ය කොන්දේසි වලට යට කිරීම සඳහාම සැකසූ යාන්ත්‍රනයක් මිස මත්ද්‍රව්‍ය මැඩීම කෙරෙහි කිසිදු සම්බන්ධයක් නැත. 

ලෝක බංකුවේ සංඛ්‍යා ලේඛන අනුව, සමාජය වෙලාගෙන පවතින දුප්පත්කම දිනෙන් දින ම වැඩි වන ආකාරය සංඛ්‍යා ලේඛනවලින් දැක්වේ. 2019 දී ලංකාවේ ජනගහනයෙන් සියයට 11.3 වූ දුප්පත්කම, 2020 දී 12.7ට ද, 2021 වසරේ 13.1 සිට 2022 දී 25 දක්වා ද ඉහල යමින්, 2024 දී 27.9 දක්වා මහා ජනකායක් වෙලා ගන්නා තතු කරා වර්ධනය වී ඇත. මෙය ලෝක පරිමානව පැතිරුනු ධනවාදයේ බංකොලොත්කමේ ප්‍රකාශනයකි. 2022 සැප්තැම්බර් හා 2023 මාර්තු අතර ලෝක දුප්පත්කම මිලියන 648 සිට 659 දක්වා මිලියන 11කින් වැඩි වූ බව ලෝක බැංකු වාර්තා පෙන්වා දෙයි. ඒ, දෛනිකව ඩොලර් 2.15 ට අඩු ආදායම් ගනන් බැලීමෙනි. නමුත් පහල මධ්‍යම හා ඉහල මධ්‍යම කාන්ඩයේ රටවල්, එනම් ඩොලර් 3.65 සහ 6.85 මට්ටම් සැලකිල්ලට ගත් කල එය තවත් මිලියන 28කින් ඉහල යයි. දුප්පතුන්, කුසගින්න, ලෙඩ රෝග හා අසහනය විසින් ගිල ගනු ලැබ ඇත. අනික් අතින් 1%ක් වන ඉහල ධනපතියන්ගේ ආදායම පිම්මේ ඉහල යමින් පවතී.

මෙහි ප්‍රතිඵල තුලට, මතට ඇබ්බැහි වීමේ සිට විවිධ අපරාධ හා සිය දිවි නසා ගැනීම දක්වා සමාජ ඛේදවාචකයක් උත්සන්න වීම ඇතුලත් ය. මෑත ම සිද්ධියක් නම්  පෙබරවාරි 11 වන දින තඹලගමුව දුම්රිය ස්ථානය අසල දී සිදු වූ, 14 වියැති දරුවෙකු දුම්රියට පැන දිවි නසා ගැනීම ය. දුම්රිය නලා හඩට අවනතව සෙසු දරුවන් මාර්ගයෙන් ඉවත් වූ අතර මේ දරුවා දැත දෙපසට විහිදාගෙන සිනාමුසුව දුම්රිය තමන් යට කරගෙන යන තෙක් බලා සිටීමේ බිහිසුනු අත් දැකීම විස්තර කරමින් රියදුරා පවසා ඇත්තේ තම ජිවිත කාලයේ මෙවන් දෙයක් දැක නැති බව ය‍. පසුව කල විමසීමක දී දරුවාගේ ලොකු අම්මා මාධ්‍යයට පවසා ඇත්තේ දරුවා උග්‍ර කෑම බීම හිඟයකින් පෙලුනු බවයි.

මහජනයාගේ අවධානය පවතින්නේ ද, පැවතිය යුතු වන්නේ ද මෙම ප්‍රශ්න කෙරේ ය. ලෝකය කම්කරුවන්ගේ, ගොවීන්ගේ හා තරුනයන්ගේ අරගලවලින් ඇලලී යමින් තිබේ. ආන්ඩු සමාජ මාධ්‍ය වාරන පනත්, ප්‍රති-ත්‍රස්ත පනත් ගෙන එමින් ප්‍රදර්ශනය කරන ප්‍රජාතන්ත්‍ර විරෝධය සහ භීෂනය පැතිරවීම කිසිසේත් ධනපති ආන්ඩුවල ශක්තියේ ප්‍රකාශන නොව, ඒවායේ ඓන්ද්‍රීය දුර්වලකමේ ප්‍රකාශනයන් වේ. එම ආන්ඩුවලට මහජනයාගේ එකදු ආර්ථික හා සමාජ අවශ්‍යතාවක් හෝ ඉටු කල නො හැකි ය. ලෝකයේ කොතැනක වුවත්, එවන් තන්ත්‍රයන්ට තව දුරටත් පැවතීමට හැකියාව ලැබී ඇත්තේ වෘත්තීය සමිති හා ව්‍යාජ වාම පෙරමුනු විසින් මහජන අරගල කඩාකප්පල් කිරීම, පාලනය කිරීම හා සම්මුති ගැස්සවීම සදහා පන්ති අරගලයේ සෑම සිද්ධියක් තුලටම කඩා වැදී ම නිසා ය. කම්කරුවන්, ගොවීන් හා සෙසු පීඩිතයන් වන අපි ස්ව-ආරක්ෂාව නිල ධනපති ආයතනවලින් කිසි සේත් නො ලැබෙන බවත්, ඒ වෙනුවට, එම සංස්ථාපිතයන්ට එරෙහිව කම්කරු පන්ති විප්ලවවාදී ක්‍රියා මාර්ගය යටතේ ස්වාධීන මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම තුලින් හැර අන් මගකින් නිදහස සහ ආරක්ෂාව සහතික නො වන බවත් වටහාගත යුතු වෙමු.

කොලඹ ක්‍රියාකාරී කමිටුව, පීඩිත මහජනතාවගේ ආරක්ෂාව සහතික කර ගත හැකි කමිටු වැඩපල හා නිවහන් ප්‍රදේශ  ආශ්‍රයෙන් ගොඩ නැගීමට පෙරට එන මෙන් ධනේශ්වර ප්‍රහාරවලට විරුද්ධ සියලු ප්‍රගතිශීලී ජනතාවගෙන් ඉල්ලමු. ධ⁣නපති පාලනය අවසන් කරමින්, ඒ හා බැඳී සමාජ ප්‍රගතියේ මාවත අහුරන සියලු ප්‍රවනතා සැබැවින් ම සමාජය තුලින් අතුගා දැමිය හැකි වන්නේ සහ එසේ කිරීම අවශ්‍යකර පවතින්නේ එවන් මහජන ව්‍යාපාරයකටම පමනි.

සියලු මර්දන නීති අහෝසි කරනු!

කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා පෙරට!!

“යුක්තියේ මෙහෙයුම“ නමින් පීඩිත තරුනයන් ඇතුලු මහජනයාට එරෙහිව මුදා හැර ඇති රාජ්‍ය භීෂනය පරාජය කරනු! Read More »

Davos

කෘත්‍රිම බුද්ධිය සහ එහි ඇඟවුම් – ඩාවොස් රැස්වීමේ කේන්ද්‍රීය මාතෘකාවක්

නික් බීම්ස් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 ජනවාරි 18 දින පල වූ ‘AI and its implications a central topic at Davos meeting’ යන හිසින් නික් බීම්ස් විසින් ලියන ලද  ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු විසිනි.

මෙම වසරේ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි (Davos) ගෝලීය ප්‍රභූන්ගේ ලෝක ආර්ථික සංසදයේ (World Economic Forum) රැස්වීමේ පොදු වේදිකා වල මෙන්ම, සැබෑ සාකච්ඡා-කටයුතු බොහොමයක් සිදු කෙරෙන පුද්ගලික සුඛෝපභෝගී හෝටල් (කට්ටල්) කාමර වල ප්‍රධාන මාතෘකාවක් වන්නේ  කෘත්‍රිම බුද්ධිය (AI) යි.

Davos
යාන් ලෙකන් (Yann LeCun), මෙටා හි (Meta) ප්‍රධාන AI විද්‍යාඥ සහ AI හි පුරෝගාමියා 2024 ජනවාරි 16 වන දින Davos හි පැවති ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වේ. [AP Photo/Markus Schreiber]

AI තාක්ෂනය විසින්, ශ්‍රමයේ ඵලදායිතාව අතිවිශාල ලෙස වර්ධනය කිරීමට සහ එමගින් සමාජ ප්‍රගමනය සඳහා පදනම සැපයීමට හැකියාව ඇති තාක්‍ෂනයේ ප්‍රධාන දියුනුවක් නියෝජනය කෙරෙයි.

එහෙත් නිෂ්පාදන මාධ්‍යවල (ඊනියා බුද්ධිමය දේපල ඇතුලුව) පුද්ගලික හිමිකාරිත්වය සහ පුද්ගලික ලාභය උකහා ගැනීම මත පදනම් වූ ධනවාදයේ සමාජ සම්බන්ධතා යටතේ එය වර්ධනය වීම යන්නෙන් අදහස් වන්නේ එය මෙම බලපෑම ඇති නොකරනු ඇති බව සහ එහි ප්‍රතිලෝමය සිදුවනු ඇති බවයි.

සමාජවාදී ආර්ථික සබඳතා පිහිටුවීමේ අවශ්‍යතාවය මතු කරන ආර්ථික හා දේශපාලන ජීවිතයේ මෙම සත්‍යය, මෙම සතියේ රැස්වීම සඳහා WEF විසින් සකස් කරන ලද ගෝලීය අවදානම් වාර්තාවේ වක්‍රව වුවද පිලිගෙන ඇත.

තාක්‍ෂනික දියුනුව සහ භූ දේශපාලනික ගතිකත්වය – මෙය, එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන මිලිටරිවාදයේ නැඟීම පිලිබඳ නොපැහැදිලි සඳහනකි – එකට එක්වීම, දියුනු රටවල මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල ද නව ජයග්‍රාහකයින් සහ පරාජිතයින් සමූහයක් නිර්මානය කරනු ඇතැයි එහි දැක්වේ.

ඉදින්, “මහජන අවශ්‍යතා වෙනුවට වානිජ දිරිගැන්වීම් සහ භූ දේශපාලනික අවශ්‍යතා… AI සහ අනෙකුත් පර්යන්තික තාක්‍ෂනයන්හි (නව තාක්‍ෂනයන්-frontier technologies) සංවර්ධනයේ මූලික ධාවකයන් ලෙස පවතින්නේ නම්, ඉහල සහ අඩු ආදායම්ලාභී රටවල් අතර ඩිජිටල් පරතරය අදාල ප්‍රතිලාභ උත්පාදනය කිරීමේදී දැඩි විෂමතාවයක් සහ අවදානම් ඇති කෙරෙනු ඇත. අවදානමට ලක්ව ඇති රටවල සහ ප්‍රජාවන්ගේ ආර්ථික ඵලදායිතාව, මූල්‍යය, දේශගුනය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා මෙන්ම ඒ ආශ්‍රිත රැකියා උත්පාදනය කෙරෙහි බලපාන අති ප්‍රබල කෘතිම බුද්ධි  පාරවේධනයන්ගෙන් ( නවමු නිර්මාන- breakthroughs) ඩිජිටල් ලෙස හුදකලා වී ඒවා වඩාත් පසුපසට  තල්ලු වනු ඇත.

වෙනත් වචන වලින් කිවහොත්, AI හි සංවර්ධනය ගෝලීය සමාජ අසමානතාවය සහ දරිද්‍රතාවය අවසන් කිරීමේ මාධ්‍යයක් බවට පත්වීම වෙනුවට, ප්‍රධාන ධනේශ්වර බලවතුන්ගේ ලාභ චේතනා සහ අවශ්‍යතා අනුව එම තතු වඩාත් නරක අතට හැරෙනු ඇත.

ලේඛනයේ තවත් කොටසක, එය AI සහ අනෙකුත් දියුනු තාක්‍ෂනයන්හි පෘථුල ඇඟවුම් පෙන්වා දෙයි.

“වඩාත් ප්‍රබල පොදු කාර්ය සඳහා වූ AI තාක්‍ෂනයන්හි අපාලිත ව්‍යාප්තිය ඉදිරි දශකය තුල ආර්ථිකයන් සහ සමාජයන් රැඩිකල් ලෙස යලි හැඩ ගස්වනු ඇත… එමෙන්ම එය සමාන්තර වර්ධනයන් සමඟ ද අන්තර් ක්‍රියා කරනු ඇත. මෙහි ඇඟවුම් ගැඹුරු වීම සඳහා ඒවා හිතාමතා අනිසි ලෙස භාවිතා කිරීම අවශ්‍ය නොවේ.

“භෞතික ලෝකය මත වැඩි පාලනයක් පවරා දෙනු ලබන ස්වයං-වැඩිදියුනු වන උත්පාදක AI ආකෘති (self-improving generative AI models) විසින් සමාජ ආර්ථික ව්‍යූහයන්හි විශාල පරිමානයේ වෙනස්කම් අවුලුවනු ලැබීම මඟින් නව අවදානම් පැන නඟිනු ඇත.”

ධනේශ්වරය යනු, පාලනය කරන්නේ කෙසේදැයි තමන් නොදත් භූතාත්ම යම ලෝකයෙන් කැඳවා ගත් ආධුනික යක්දෙස්සා වැනියැයි මාක්ස් විසින් කොමියුනිස්ට් ප්‍රකාශනයේ  කරන ලද නිරීක්‍ෂනය මෙහිදී කෙනෙකුට සිහි ගැන්වෙනු ඇත.

කම්කරු පන්තිය විසින් සිදුකරනු ලබන සමාජ විප්ලවය තුලින් සාක්ෂාත් කරගනු ලබන සමාජවාදය සඳහා ඇති වෛෂයික ඓතිහාසික අවශ්‍යතාවය පැන නගින්නේ, නිෂ්පාදන බලවේගවල වර්ධනය සහ ඒවා කොටු වී ඇති ධනවාදයේ සමාජ සම්බන්ධතා අතර ප්‍රතිවිරෝධතාවයෙන් බවට වන මාක්ස්ගේ විශ්ලේෂනය, වඩාත් ගැඹුරු තලයක දී ඉන් සිහිපත් කෙරේ.

මෙම ඉදිරිදර්ශනයට විකල්පය වශයෙන් පවතින්නේ ම්ලේච්ඡත්වයට කරා පල්ලම් බැසීමයි. එකී ම්ලේච්ඡත්වයේ වඩාත් ම සුපැහැදිලි ප්‍රකාශනය වනුයේ යුද්ධයයි. 

WEF වාර්තාව පෙන්වා දී ඇති පරිදි, AI තාක්ෂනය මෙහි දී තීරනාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

“යන්ත‍්‍ර බුද්ධිය, ගැටුම් සහගත තීරන ගැනීම – ස්වයංක්‍රීයව ඉලක්ක තෝරා ගැනීම සහ අරමුනු තීරනය කිරීම – දක්වා රිංගා ගැනීම විසින්, ඉදිරි දශකය තුල අහම්බෙන් හෝ හිතාමතා (ගැටුම්) උත්සන්න වීමේ අවදානම සැලකිය යුතු ලෙස ඉහල නැංවෙනු ඇත”යි එය පවසයි.

අන්‍යයෝ ද අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තාහ. ඔක්තෝබර් මාසයේ දී, එක්සත් ජනපද සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ගැරී ජෙන්ස්ලර් ෆයිනෑන්ෂල් ටයිම්ස් (FT) සමඟ සම්මුඛ සාකච්ඡාවක යෙදෙමින් පැවසුවේ, මූල්‍ය පද්ධතිය තුල  AI වේදිකාවල භාවිතය පාලනය කිරීමට ක්‍රමයක් සොයා නොගතහොත් ඉදිරි දශකය තුල අර්බුදයක් ඇතිවිම නොවැලැක්විය හැකි ම පාහේ වනු ඇති බවයි.

වෙලඳපල සහභාගිකරුවන් එකම AI ආකෘති භාවිතා කිරීම මඟින් “රංචු” හැසිරීමක් ජනනය කර, ඉන් අර්බුදයක් මුදා හල හැකි බව ඔහු පැවසීය.

මෙම අනතුරු ඇඟවීම් ඩාවෝස් රැස්වීමට ආසන්නයේ  FT සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ස්පාඤ්ඤ බැංකුවේ අධිපතිවරයා සහ බැංකු අධීක්ෂනය පිලිබඳ බාසල් කමිටුවේ සභාපති පැබ්ලෝ හර්නාන්ඩස් විසින් ප්‍රතිරාවය කරන ලදී.

ශීඝ්‍රයෙන් දියුනු වන තාක්‍ෂනය, විශේෂයෙන්ම AI තාක්ෂනය, “ඉතිහාසයේ ගමන් මග වෙනස් කල හැකි අතර, ඒ යහපත සඳහා ම වීම අත්‍යවශ්‍ය නොවේ,”යැයි ඔහු පැවසීය.

පසුගිය දශකය තුල ආර්ථික ගැටලු ඉහල යාමේ අර්ථය වූයේ වඩාත් විශාල ජාත්‍යන්තර සහයෝගීතාවයක් අවශ්‍ය වන බවයි. 

“කෙසේ වෙතත්, භූ දේශපාලනික මට්ටමින් අප නිරීක්ෂනය කරන දෙයින් පෙනී යන්නේ පොදු එකඟතාවලට එලඹීම වඩ වඩාත් දුෂ්කර වෙමින් පවතින බවයි. එය මට කනස්සල්ලකි, එමෙන්ම එය බොහෝ දෙනෙකුගේ ද කනස්සල්ලට කරුනකි ”ඔහු පැවසීය.

“මූල්‍ය ස්ථායීතාවය යනු එක් මානයක් පමනි, AI හා බැඳුනු තවත් විභව වැදගත්කමින් ඉතා ඉහල ප්‍රතිවිපාක පවතී. … සම්බන්ධීකෘත ගෝලීය ප්‍රතිචාරයක් ලබා දීමට අපට නොහැකි වුවහොත්, මෙම අභියෝගවලට නිවැරදි විසඳුම ලබා ගැනීමේ සම්භාවිතාව අඩු වනු ඇත.”

එහෙත් ගෝලීය සහයෝගීතාවයේ අවශ්‍යතාවය වැඩි වන අතරම, එය  සාක්ෂාත් කර ගැනීමේ අපේක්ෂාව, ධනේශ්වර ක්‍රමයේ කේන්ද්‍රීය ප්‍රතිවිරෝධතාව මත – එනම්, ඒකාබද්ධ හා අන්තර් සම්බන්ධිත ලෝක ආර්ථිකය ද, සෑම එකෙක්ම තමන්ගේම අවශ්‍යතා පසුපස හඹා යන මහ බලවතුන් සහ එකිනෙකාට පරසතුරු ජාතික රාජ්‍ය පද්ධතිය ද අතර ප්‍රතිවිරෝධතාව මත – අබලන්ව යයි.

කර්මාන්තයේ සියලුම අංශවල AI භාවිතය වැඩි වීම, ශ්‍රම වෙලඳපොලේ “ප්‍රතිව්‍යුහගත කිරීම” ලෙස මෘදූක්තියෙන් (මෘදු ලෙස) හඳුන්වන දෙයට ද හේතු වනු ඇත.

පසුගිය මාර්තු මාසයේදී ගෝල්ඩ්මන් සැක්ස් වාර්තාවක් නිකුත් කරමින් පැවසුවේ, එක්සත් ජනපදයේ සහ යුරෝ කලාපයේ සිදු කෙරෙන වැඩවලින් හතරෙන් එකක් ස්වයංක්‍රීයකරනයට AI හේතු විය හැකි බවයි.

මානව නිමැවුම් වලින් වෙන්කර හඳුනාගත නොහැකි අන්තර්ගතයන් ජනනය කරන AI පද්ධති ඉදිරි දශකය තුල වාර්ෂික දල දේශීය නිෂ්පාදිතය සියයට 7 කින් වැඩි කල හැකි බව එහි සඳහන් වේ. නමුත් මෙම ඵලදායිතාවයේ වැඩිවීම ජීවන මට්ටම්වල ද්‍රව්‍යමය දියුනුවක්  ඇති කරනු නැති අතර, එය ලාභයේ වැඩිවිමක් පමනක් ඇති කරනු ඇත.

වාර්තාව දක්වන පරිදි, ප්‍රධාන ආර්ථිකයන්හි කම්කරුවන් මිලියන 300ක් පමන එහි ප්‍රතිවිපාකවලට නිරාවරනය කරමින් AI තාක්ෂනය ශ්‍රම වෙලඳපොලට “සැලකිය යුතු බාධාවක්” ගෙන එනු ඇත. සියලුම රැකියාවලින් තුනෙන් දෙකක් කිසියම් ප්‍රමානයක ස්වයංක්‍රීයකරනයකට නිරාවරනය වී ඇති බව වාර්තාව පවසයි.

Davos රැස්වීම ආරම්භ වන විට ප්‍රතිඵල නිකුත් කල, PwC ගිනුම්කරන සමාගම විසින් ඓදු කෙරුනු ගෝලීය ප්‍රධාන විධායකයින්ගේ සමීක්ෂනයකින් පවසා ඇත්තේ, ඔවුන්ගෙන් හතරෙන් එකක් AI මගින් මෙම වසරේ රැකියා නියුක්තිය සියයට 5 කින් අඩු කිරීමට හේතු වනු ඇතැයි අපේක්ෂා කරන බවයි. සියයට 46ක් පමන කියා සිටියේ තත්පර කිහිපයකින් පෙල (Text), රූප සහ කේත ජනනය කල හැකි උත්පාදක AI (generative AI) භාවිතය ඉදිරි වසර තුල ලාභය ඉහල නංවනු ඇති බවයි.

මෙම වාර්තා සහ සමීක්ෂන අවධාරනය කරන්නේ ධනය වැඩි කිරීම සඳහා AI හි ඇති දැවැන්ත විභවයයි; නමුත් එය ධනේශ්වර පාලක පන්තීන්ගේ අතේ පැවතියහොත් එය සමාජ ප්‍රගතිය නොව තව තවත් අසමානතාවය සහ දුක්ඛිතභාවය ගෙන එනු ඇත. එහි සුසංයෝගී සංවර්ධනය සඳහා අවශ්‍ය ගෝලීය සහයෝගීතාවය ගෙන ඒම වෙනුවට, එය දැනටමත් යුද්ධය තුල ප්‍රකාශ වන භූ දේශපාලන ගැටුම් සහ ආතතීන් තීව්‍ර කරනු ඇත.

කෘත්‍රිම බුද්ධිය සහ එහි ඇඟවුම් – ඩාවොස් රැස්වීමේ කේන්ද්‍රීය මාතෘකාවක් Read More »

Scroll to Top