history

poster

ඉතිහාසයේ මෙම සතිය: මැයි 22-28

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි 21 දින ඉංග්‍රීසියෙන් පලවූ This Week in History යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි.  පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

මීට වසර 25 කට පෙර, වසර 50 කට පෙර, වසර 75 කට පෙර සහ වසර 100 කට පෙර මෙම සතිය තුළ සිදු වූ වැදගත් ඓතිහාසික සිදුවීම් මෙම තීරුවේ නිරූපිතයි.

 වසර 25 කට පෙර: පකිස්ථානය න්‍යෂ්ටික ආයුධයක් පුපුරුවා හරියි

1998 මැයි 28 වන දින පකිස්ථානය න්‍යෂ්ටික ආයුධයක් පුපුරුවා හැරියේය. පෙර සතිවල ඉන්දියාව ද න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් සිදු කර තිබූ හෙයින්, මෙය දකුණු ආසියානුනු කලාපය සිව්වැනි ඉන්දු-පකිස්තාන යුද්ධයක අද්දරට ගෙන ගොස් තිබුණි. න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදුකිරීම සාධාරණීකරණය කරමින් පකිස්ථානය චෝදනා කළේ ඉන්දියාව විසින් සිය (පකිස්තාන) න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුකරන භූමියට ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවයි. ඉන්දියාව මෙම චෝදනාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ නමුත්, පකිස්ථානු පරීක්ෂණයට පෙර දිනවලදී, ප්‍රමුඛ පෙළේ ඉන්දීය රජයේ නිලධාරීන් නැවත නැවතත් අනතුරු ඇඟවූයේ ඉන්දීය හමුදා, ඉක්මනින්ම පකිස්ථානය විසින් අත්පත් කර ගෙන ඇති කාශ්මීරයට ඇතුල් විය හැකි බවයි.

Nawaz
නවාස් ෂරීෆ්, 2013 දී

 පකිස්ථාන අගමැති නවාස් ෂරීෆ් න්‍යෂ්ටික අත්හදා බැලීම් නිවේදනය කරමින් සිය මැයි 28 රූපවාහිනී දේශනයේදී මහා ව්‍යසනයේ භාෂාවෙන් කතා කලේය . “අද, අපි ඉන්දියාව සමඟ ගනුදෙනු බේරා ගෙන ඇත්තෙමු,” ඔහු ප්‍රකාශ කළේය. “අද න්‍යෂ්ටික ගින්නේ න්‍යෂ්ටික ගිනිදැල් සෑම තැනම විහිදී ඇත. ඒ ගැන මම දෙවියන්ට ස්තූතිවන්ත වෙනවා… අපි මේ ගිනිදැල්වලට පැන්නා….’ .පසුව, පකිස්ථානය තම පරදුව ඉහළ දමමින් , ගෞරි මිසයිල ඉක්මනින් න්‍යෂ්ටික යුධ ශීර්ෂ වලින් සන්නද්ධ කරන බව ප්‍රකාශ කළේය.

බැංකු මුදල් ඇදීමත් ඇතිවනු ඇතැයි යන  බියෙන්, ෂරීෆ් ආන්ඩුව මැයි 29 සිකුරාදා ඒවා වසා දැමීමට නියෝග කළේය, පසුව විදේශ වටිනාකම් සහිත ගිණුම්වලින් විදේශ මුදල් ආපසු ගැනීම දින නියමයක් නොමැතිව අත්හිටවන බව නිවේදනය කළේය. පකිස්ථානය සතුව තිබුණේ සති හයක  ආනයනයට පමණක් සෑහෙන විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 1 ක් පමණක් වූ බැවින්, පකිස්ථානය ඊළඟ මාසයේ දී ඩොලර් මිලියන 800 ක පොලී ගෙවීම පැහැර හරිනු ඇතැයි භීතීන්  පැවතුණි.

ඉන්දියාවේ හින්දු අධිපතිවාදී බීජේපී ආන්ඩුව සහ ෂරීෆ්ගේ ඉස්ලාමීය තන්ත‍්‍රය යන දෙකම ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට පහර දීම සඳහා යුද තර්ජනය යොදා ගත්හ. න්‍යෂ්ටික අත්හදා බැලීමේ නිවේදනයෙන් පැය කිහිපයක් ඇතුළත,  පකිස්ථාන ජනාධිපති රෆීක් තරාර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ සිවිල් අයිතිවාසිකම් අත්හිටුවමින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළේය. ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව, ඒ අනුයමින්, පකිස්ථානයට එරෙහි සිය ආක්‍රමණශීලී ආස්ථානයේ සියලු විරුද්ධවාදීන් “පක්ෂපාතී නැතිවුන්” ලෙස නම් කලේය.

නව දිල්ලියේ සහ ඉස්ලාමාබාද්හි පාලක කල්ලි තර්ජන හුවමාරු කරගනිමින්, න්‍යෂ්ටික ආයුධ, මිසයිල සහ අනෙකුත් මහා විනාශකාරී ආයුධ ප්‍රදර්ශනය කරමින් , “ජාතික සමගිය” සඳහා ආයාචනා කරන තරමට, ඔවුන් පොදු ගමන් පථයක සිටින බව වඩාත් පැහැදිලි විය. එකිකිනෙක රටේ ජාතික ධනේශ්වරය ස්වෝත්තමවාදය සහ මිලිටරිවාදය භාවිතා කළේ තමන්ගේ ප්‍රතිගාමී සමාජ ආර්ථික ප්‍රතිපත්ති කෙරෙහි යොමු වන මහජන අවධානය වෙනතකට යොමු කිරීමට සහ වැඩෙන සමාජ කනස්සල්ල සහ අපේක්ෂා භංගත්වය ප්‍රතිගාමී දිශාවකට යොමු කිරීමටය.

වසර 50 කට පෙර: තම මුහුණ (අවමානයෙන්) බේරා ගැනීමට උත්සාහ කරමින්, නික්සන් වෝටර්ගේට් වසන් කිරීම පිළිගනී

1973 මැයි 22 දින, එක්සත් ජනපද ජනාධිපති රිචඩ් නික්සන් ප්‍රථම වතාවට තම පරිපාලනයේ ඉහළ පෙළේ සාමාජිකයන් ඩිමොක්‍රටික් ජාතික සම්මේලනයේ වෝටර්ගේට් සහ ඩැනියෙල් එල්ස්බර්ග්ගේ මනෝ වෛද්‍යවරයාගේ කාර්යාල වල   ‘ගොඩනැගිලි බිදීමට’ සහභාගී වූ බව පිළිගත්තේය. එක්සත් ජනපද සෙනෙට් විමර්ශනය, සෝලිය පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම ආරම්භ කර සතියකට පසුව පිළිගැනීම සිදු විය.

ධවල මන්දිර මාධ්‍ය ලේකම් රොනල්ඩ් සීග්ලර් මගින් මාධ්‍ය වෙත, ලිඛිත ධවල මන්දිර ප්‍රකාශයක් නිකුත් කරමින් නික්සන් පිළිගත්තේ,  “ආචාරධර්ම විරෝධී මෙන්ම නීති විරෝධී ක්‍රියාකාරකම් සිදු වූ බව පැහැදිලිය” යන්න සහ වෝටර්ගේට් ඔත්තු බැලීමේ කුමන්ත්‍රණය වසන් කිරීමේ උත්සාහයක් පැවති බවයි.  ඔහුගේ පරිපාලනය, “ජාතික ආරක්ෂාවටට” තර්ජන ඇති  බව කියමින් ඇමරිකානු පුරවැසියන්ට එරෙහිව රහසිගත ඔත්තු බැලීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව නික්සන් විසින්  පිළිගත්තේය. එල්ස්බර්ග් විසින් පෙන්ටගන් පේපර්ස් (Pentagon Papers) මුදා හැරීමෙන් පසුව ධවල මන්දිරය විසින් රජයේ අනෙකුත් රහස් හෙළිදරව් වීම වැලැක්වීම සඳහා ” ද ප්ලමර්ස් “⁰ (The plumbers) නමැති රහස් ඔත්තු කණ්ඩායම නිර්මාණය කළ බව ද ඔහු පිළිගත්තේය.

ධවල මන්දිරය වෙනුවෙන් මෙම පිළිගැනීම,  කිසිදු වරදක් සිදු නොකළ බව පෙර ප්‍රකාශයන්ගෙන් තියුණු හැරීමක් විය. එහෙත් නික්සන් තවමත් කියා සිටියේ නීති විරෝධී ක්‍රියාවන් පිළිබඳව තමාට දැනුමක් නොතිබූ බවයි. “ඔවුන්ට හෝ තවත් සමහරෙකුට වෝටර්ගේට් සම්බන්ධව තිබිය හැකි කිසියම් සම්බන්ධයක් වසන් කිරීම පිනිස මගේ නියෝග ඉක්මවා ගොස් ජාතික ආරක්‍ෂක මෙහෙයුම් ආරක්‍ෂා කිරීමට මා දරන උත්සාහය පුළුල් කිරීමට උත්සාහ කළ පුද්ගලයන් සිටි බැව් දැන් පෙනේ,” යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ඉල්ලා අස්වීමේ අදහසක් නොමැති බව පැහැදිලි කරමින් නික්සන්  අතිරේක ප්‍රකාශයක් ද නිකුත් කලේය .  “මම මගේ වගකීම් අත්හරින්නේ නැහැ. මාව  තෝරා පත් කර ගත් කාර්යය මම දිගටම කරන්නෙමි. ”

නික්සන් පරිපාලනය “විධායක වරප්‍රසාද” සඳහා නීත්‍යානුකූලව සැක සහිතවූ අයිතිය ඉල්ලා සිටි අතර, එය ඔහුගේ පරිපාලනයේ ඉහළම පුද්ගලයින්ගෙන් බොහෝ දෙනෙකු සාක්ෂි දීමෙන් වලක්වනු ලැබීය. එසේ වුවද, මෙතෙක් පහළ මට්ටමේ නිලධාරීන් විසින් ලබා දී තිබූ සාක්‍ෂි අපකීර්තිමත් චිත්‍රයක් මවා පාමින් තිබුණි.

Caulfield
1973 මැයි 22 වැනි දින මධ්‍යසාර, දුම්කොළ, ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ කාර්යාංශයේ නිලධාරි ජැක් කෝල්ෆීල්ඩ් වෝටර්ගේට් නඩු විභාගයේදී සෙනෙට් සභාව හමුවේ සාක්ෂි දෙන ලදී.

නික්සන් වසන් කිරීම පිළිගත් දිනයේම, දුම්කොළ, ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙකු වන ජෝන් ජේ. කෝල්ෆීල්ඩ්, හිටපු ධවල මන්දිර උපදේශක ජෝන් ඩබ්ලිව්. ඩීන් සහ හිටපු ධවල මන්දිර ස්වදේශ කටයුතු උපදේශක ජෝන් ඩබ්ලිව්. එර්ලිච්මන්, වෝටර්ගේට් සොරුන්ගෙන් එක් අයෙකු වන ජේම්ස් මැක්කෝඩ්ට ඔහු නිශ්ශබ්දව සිට අනෙකුත් ධවල මන්දිර නිලධාරීන් අපරාධයට සම්බන්ධ බවට සාක්ෂි දීම ප්‍රතික්ෂේප කළහොත් ඔහුට සමාව ලබා දෙන බවට යෝජනා කරන ලෙස නියෝග කර තිබු බවට සාක්ෂි දුන්නේය.

මෙම හෙළිදරව් කිරීම් දැන් ප්‍රසිද්ධියට පත් වීමත් සමඟ, සාක්ෂි වලින් හෙළිදරව් වූ තරමේ  ප්‍රමාණයක් පිළිගැනීමට නික්සන්ට සිදුවිය.  කෙසේ වෙතත්, ඔහු ඊට වඩා වැඩි යමක් නොපැවසීමට ප්‍රවේශම් වූ අතර කුමන්ත්‍රණයේ තමාගේම භූමිකාව සම්බන්ධ තොරතුරු පිළිබඳව නොපැහැදිලි විය.  ඒ වන විට, කිසිදු සාක්ෂියක් කුමන්ත්‍රණයට නික්සන්ව  සෘජුව සම්බන්ධ කර නොතිබුණි. නිදසුනක් වශයෙන්, කෝල්ෆීල්ඩ් සෙනෙට් සභාවට පැවසුවේ නික්සන් මැකෝර්ඩ්ට සමාව පිරිනැමීම අනුමත කර ඇති බව හෝ දැන සිටි  බව හෝ  ගැන තමන්ගේම  දැනුමක් නොතිබූ  බවයි.

වසර 75 කට පෙර: GM වැටුප් වැඩි කිරීමට සහ ජීවන වියදම් දීමනාවට එකඟ වේ

 1948 මැයි 25 දින, ජෙනරල් මෝටර්ස් (GM) නිවේදනය කළේ, තමන් පැයකට ශත එකොළහක වැටුප් වැඩිවීමක් ලබා දෙමින් එක්සත් මෝටර් රථ කම්කරු (යූඒඩබ්ලිව්) වෘත්තීය සමිතිය සමඟ නව ගිවිසුමක් ඇති කර ගත් බවයි.  යූඒඩබ්ලිව් නිලයධරය විසින් ජයග්‍රහණයක් ලෙස හුවා දක්වන ලද ගනුදෙනුව, මෝටර් රථ කම්කරුවන් 225,000 ක් සම්බන්ධ කර ගැනීමට තිබූ වැඩ වර්ජනයක තර්ජනය යටතේ සිදු කරන ලදී

වඩාත්ම කැපී පෙනෙන ලෙස, GM කොන්ත්‍රාත්තුව, ජීවන වියදම් (COLA, හෝ ජීවන වියදම් ගැලපීම) මත පදනම්ව ස්වයංක්‍රීය වැටුප් දීමනාවක් සහිත එක්සත් ජනපදයේ පළමු ප්‍රධාන වෘත්තීය සමිති ගිවිසුමයි.  එය එක්සත් ජනපද කම්කරු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් සපයන සංඛ්‍යාලේඛන මත පදනම්ව සෑම මාස තුනකට වරක්  උද්ධමනයට අනුරූප වන වැටුප් වැඩි කිරීම් සඳහා කටයුතු සලසන ලදී.  

workers
මිචිගන් හී වයෝමිං වල ජෙනරල් මෝටර්ස් 36 වැනි වීදි කම්හලේ 1945-46 වැඩවර්ජනය අතරතුර මෝටර් රථ කම්කරුවන්.

ඇමරිකානු ට්‍රොට්ස්කිවාදී සංවිධානය වන සමාජවාදී කම්කරු පක්ෂය (එස්ඩබ්ලිව්පී), ගිවිසුම මගින් සලකුණු කරන ලද වෙනස සටහන් කර ගත්තේය. වසර ගනනාවක් තිස්සේ ට්‍රොට්ස්කිවාදීහු කම්කරුවන් මුහුන පාන පිරිවැයට වැටුප් සම්බන්ධ කරනා  (ස්ලයිඩින්) වැටුප් පරිමාණයක් ඉල්ලා සිටියහ. යූඒඩබ්ලිව් ඇතුළු වෘත්තීය සමිති නිලධරයන් මෙම ඉල්ලීමට විරුද්ධ වී තිබුණි.

කෙසේ වෙතත්, යූඒඩබ්ලිව්-ජීඑම් ගණුදෙණුවේ අඩංගු වූයේ කුඩා සැබෑ වැටුප් වැඩිවීමක් පමණක් වූ  අතර, යථාවක් ලෙස කළමනාකරණ ආඥාදායකත්වයක් ක්‍රියාත්මක වෙමින් පැවතුණ අතර, කොන්දේසි වල  වැඩිදියුණු වීමක් සිදු නොවුනි.  එස්ඩබ්ලිව්පී සඳහන් කළ පරිදි, “යූඒඩබ්ලිව් නායකයින් ස්ලයිඩින් පරිමාණ වැඩසටහන පිළිගෙන ඇත්තේ , සැබෑ මූලික වැටුප් වැඩි කිරීම, සුබසාධන ප්‍රතිලාභ සහ දුක්ගැනවිලි පිළිබඳව වැඩි දියුණු කිරීම් ආදිය සඳහා ශක්තිමත් කිරීමක් ලෙස නොව, ආදේශකයක් ලෙස ය.”

GM කොන්ත්‍රාත්තුව අනුමත කරන ලද්දේ වෘත්තීය සමිති නිලධරය විසින් පාවාදීම් මාලාවක් සිදු කිරීම  මධ්‍යයේ, සාපේක්ෂව සීමිත වැටුප් වැඩිවීම් මගින් දිග්ගැස්සුනු ආරවුල් අවසන් කිරීමෙනි. මැයි 21දා, CIO එක්සත් පැකින්හවුස් කම්කරුවන් (United Packinghouse Workers) ගේ දින 67ක වැඩවර්ජනය, එක් ප්‍රධාන සමාගමක් හැර අනෙකුත් සියලුම සමාගම් පැයකට ශත නවයක් ඉහල නැංවීමට එකඟ වීමෙන් පසුව, අවසන් කරන ලදී. මැයි 28දා , යූූඒඩබ්ලිව් නිලධරය  ක්‍රයිස්ලර් මෝටර් රථ කම්කරුවන් සඳහා පැයකට ශත දහතුනක වැඩිවීමක් ලැබීමෙන් පසු , දින 13ක වැඩ වැරීම නතර කළේය.

ආසන්න පශ්චාත් යුධ වර්ෂවලදී, කාර්මික අරගලයේ දැවැන්ත නැගිටීමකින් ඇමරිකානු ධනවාදය කම්පා වී තිබුණි. උද්ධමනය සැලකිය යුතු ලෙස වැඩි වීම මධ්‍යයේ, යුද කාලීන වැටුප් කැටිකිරීම් සහ පශ්චාත් යුධ කප්පාදුවේ ප්‍රතිවිපාකවලට එරෙහිව කම්කරුවන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමග, ප්‍රධාන කර්මාන්ත සියල්ලෙහිම ප්‍රධාන වැඩ වර්ජන සිදු විය. GM සහ අනෙකුත් මෝටර් රථ සමාගම් වලට  දිග්ගැස්සුනුු වැඩ  නැවතුම් වලින් පහර වැදුණි. යූඒඩබ්ලිව් ඇතුලු වෘත්තීය සමිති, මෙම  වර්ජන ලාභ පද්ධතියට එරෙහිව සමස්ත කම්කරු පන්තියේ දේශපාලන ව්‍යාපාරයක් තුලට ඒකාබද්ධ වීම වැලැක්වීමට හැකි සෑම දෙයක්ම කර තිබුණි.

1948 මැද භාගය වන විට, සියල්ලටත් වඩා ස්ටැලින්වාදීන්ගේ පශ්චාත් යුද නැඟිටීම පාවාදීම් මත පදනම් වූ, ඇමරිකානු හා ලෝක ධනවාදයේ ස්ථායීකරනයක සලකුනු දක්නට ලැබුණි. සෝවියට් සංගමයට එරෙහිව එල්ල කරන ලද ආක්‍රමණශීලී සීතල යුද්ධ ප්‍රතිපත්ති ද ඇතුලුව එක්සත් ජනපදය එහි ගෝලීය ආධිපත්‍යය වඩ වඩාත් තහවුරු කරමින් සිටියේය. GM සහ අනෙකුත් මෝටර් රථ සමාගම් ජාත්‍යන්තරව සිය මෙහෙයුම් පුළුල් කරනු දක්නට ලැබුනිනි. මෙම කොන්දේසි යටතේ, සීමිත සහන සැලසීම,  ඇමරිකානු අධිරාජ්‍යවාදයේ වඩා පුලුල් අවශ්‍යතා පෙරට ගැනීම අරමුනු කරගත් කාර්මික සාමය සඳහා ගෙවීමට අවශ්‍ය වන මිල ලෙස, පාලක ප්‍රභූවේ වඩා දූරදර්ශී කොටස් සැලකූහ.

වසර 100 කට පෙර: ජර්මනියේ රූර් නිම්නයේ මහා වැඩ වර්ජන පැන නගී

poster
1921 සිට ජර්මානු කොමියුනිස්ට් ප්‍රචාරක පෝස්ටරයක්. ඉහළින් ඇති සටන් පාඨය වන්නේ “කම්කරුවනි! කාන්තා කම්කරුවනි! ඔබට යාමට අවශ්‍ය කුමන මාර්ගයද? සමාජ ප්‍රජාතන්ත්‍රවාදයටද කොමියුනිස්ට් පක්ෂයටද?”

1923 මැයි 26දා ජර්මනියේ කාර්මික කේන්ද්‍රස්ථානය වූ ප්‍රංශය විසින් අල්ලාගෙන සිටි රූර් නිම්නයේ කම්කරුවන් 300,000 කට අධික පිරිසක් වැඩ වර්ජනයක නිරතව සිටියහ.

කලාපයේ වැඩ වර්ජන රැල්ලක් සතියකට පෙර පුපුරන සුලු බලයෙන් ආරම්භ විය. කම්කරුවෝ කොමියුනිස්ට් පක්ෂයේ (කේපීඩී) බලපෑම යටතේ වර්ජන කමිටු සහ සභා පිහිටුවනු ලැබුණි. ගෙල්සන්කර්චර් Gelsenkirchen නගරයේ, වර්ජකයෝ කම්හල් හා ෆැක්ටරි 30කට අධික ප්‍රමාණයක් වසා දැමූ අතර ආහාර ද්‍රව්‍ය සඳහා ගබඩා වලට කඩා වැදුණහ. එහි වැඩ වර්ජකයෝ තමන්ගේම පොලිස් බලකායක් පිහිටුවා ගත්හ. බොකම් (Bochum) හි වර්ජකයෝ රජයට පක්ෂපාතී පුවත්පත් වසා දැමූහ.

රූර් නිම්නයේ ජර්මානු බලධාරීන් විශේෂ සන්නද්ධ පොලිසියක් යැවීමට ප්‍රංශ අණදෙන නිලධාරියාගෙන් අවසර ඉල්ලා සිටියහ. ඩුසල්ඩෝර්ෆ්  (Düsseldorf) හි එක් නිලධාරියෙක් ප්‍රංශ හමුදාවට මෙසේ ලිවීය: “මේ සම්බන්ධව සිහිපත් කිරීමට මම අවසර පතමිපතමි: පැරිස් කොමියුනය පැවති කාලයේ [1871 දී ජර්මානු පැරිස් ආක්‍රමණයේ දී] මර්දනකාරී ක්‍රියාමාර්ග ගනිමින් ප්‍රංශ බලධාරීන්ගේ අවශ්‍යතා සපුරාලීමට ජර්මානු විධානය හැකි සෑම දෙයක්ම කරන ලදී.”

වැඩ වර්ජනවලට මැදිහත් වීමෙන්  මෙතෙක් වැළකී සිටී ප්‍රංශයන් මෙයට  එකඟ  වුනි. වර්ජකයින් සහ පොලිසිය අතර ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ඉදිරි දින කිහිපය තුළ පුද්ගලයන් 15 කට වැඩි පිරිසක් මිය ගියේය. මැයි 27 වන විට සිවිල් යුද තත්වයන් වර්ධනය වෙමින් පැවතුනි. නිව් යෝර්ක් ටයිම්ස්,  කේපීඩී රැස්වීමක් පොලීසිය සහ ධනේශ්වර ස්වේච්ඡා භටයින් විසින් විසුරුවා හරින ලද බොකම් හිදී ,”ධනේශ්වර ප්‍රති-විප්ලවවාදී ව්‍යාපාරයක්” මතුවෙමින් පවතින බව ලිවී ය.කෙසේ වෙතත්, වර්ජකයින් ප්‍රතිප්‍රහාර වශයෙන්, එදින සවස ප්‍රතිවිප්ලවවාදීන් නවාතැන් ගෙන සිටි ගිනි නිවන දෙපාර්තමේන්තු බැරැක්ක වට කළහ. 

ආසන්නතම හේතුව අධි උද්ධමනයයි. මැයි 22 දා, ඩොලරයක අගය ජර්මානු මාර්ක්   57,000 ක විනිමය අනුපාතයකට කඩා වැටුණි. පාන් මිල එක රැයකින් සියයට 100කින් වැඩි වූ අතර රජය ට්‍රොලි ගාස්තු තුන් ගුණයකින් වැඩි කළේය.

කම්කරුවන් හාම්පුතුන්ට මෙන්ම, ජර්මනියේ යුද වන්දි ගෙවීම බලාත්මක කිරීම සඳහා ජනවාරි මාසයේදී රූර් නිම්නය අත්පත් කරගත්   ප්‍රංශ හමුදාවටද  විරුද්ධ වී සිටියහ. නමුත් දැන් එහි සහ ජර්මනියේ සෙසු ප්‍රදේශවල විප්ලවීය තත්වයක් මතුවෙමින් තිබුණි. නැගෙනහිර ජර්මනියේ , සැක්සනි හි ඩ්‍රෙස්ඩන් ද මහජන විරෝධතා අත් දුටුවේය. එහිදී රැකියා විරහිතයන්ගේ සංගමය කඩ වසා දැමුවේ, තොග වෙළෙන්දන්ට බලපෑම් කර මිල අඩු කර ගැනීමේ අපේක්ෂාවෙනි.

ඉතිහාසඥ පියර් බෘවේ (Pierre Broue) යුගයේ මනෝභාවය විස්තර කරයි. පැරණි බොල්ෂෙවිකයෙකු  සහ සෝවියට් තානාපති වන වී. වී වොරොව්ස්කි  ස්විට්සර්ලන්තයේ දී ඝාතනය කිරීමෙන් පසු ඔහු මෙසේ ලිවීය.

“ඝාතනයට සහ රුසියාවට පහර දීමේ සැලසුම්වලට එරෙහිව, මැයි 13දා දින, පෙලපාලිකරුවන් 100,000ක් පමණ KPD විසින් බර්ලිනයට  ආකර්ෂණය කර ගත්තේය. මැයි 16 වන දින, 150,000 කට වැඩි පිරිසක් මොස්කව් වෙත ගමන් කරමින් තිබූ වොරොව්ස්කිගේ මිනී පෙට්ටිය වටකර යෝධ පන්දම් දල්වාගත් උද්ඝෝෂණයක් පැවැත් වීය. වික්ටර් සර්ජ් පසුව ලිව්වේ  එය, ‘විප්ලවවාදී බලමුලු ගැන්වීමේ කාල පරිච්ඡේදයේ ආරම්භය සනිටුහන් කලා’ සේය. “

ඉතිහාසයේ මෙම සතිය: මැයි 22-28 Read More »

the global socialist

ඊශ්‍රායලය ගොඩ නැඟීමේ සිට වසර 75: නක්බා සහ යුදෙව්-අරාබි සමගිය සඳහා අරගලය

ක්‍රිස් මාස්ඩන් හා ජීන් ෂොවුල් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි 12 දින 75 years since Israel’s foundation: The Nakba and the struggle for Jewish-Arab unity යන සිරසින් යුතුව පලවූ ක්‍රිස් මාස්ඩන් හා ජීන් ෂොවුල් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි

ඊශ්‍රායල රාජ්‍යය පිහිටුවීමේ 75 වැනි සංවත්සරය මැයි 14 දිනට යෙදේ. එය හෙබ්‍රෙව් දින දර්ශනයට අනුව, ඊශ්‍රායල රාජ්‍ය පිහිටුවීමට හා ඉන් පසු ඇති වූ යුද්ධ වලදී, සටන් කල හා මිය ගිය, එමෙන්ම රාජ්‍ය සේවයේ ක්‍රියාකාරී සිටින අය සිහි කරන දිනයට පසු දිනය වන අප්‍රේල් 25 ලෙස ඊශ්‍රායලය නිල වශයෙන් සලකුනු කර ඇත.

නිල සංවත්සරය නිහඬ අවස්ථාවක් විය. එය පැවැත්වුණේ, ෆැසිස්ට්වාදී ආගමික සහ පදිංචිකරුවන්ගේ පක්ෂවල සභාගයක් වන අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ලිකුඩ් සභාග ආන්ඩුව, ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයකින් ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල සීමා කිරීම සඳහා සකසා ඇති සැලසුම්වලට එරෙහිව යුදෙව් ඊශ්‍රායල ජාතිකයින් විසින් සිදු කරනු ලැබූ, ඊශ්‍රායෙල රාජ්‍යයේ ඉතිහාසයෙහි මෙතෙක් පැවති විශාලතම මහජන විරෝධතා පුපුරා යාම මධ්‍යයේ ය. ඊශ්‍රායල ඉතිහාසයේ වඩාත්ම අන්ත දක්ෂිනාංශික ආන්ඩුවට එරෙහි ප්‍රතිරෝධයේ පරිමාණය රාජ්‍යයේ පැවැත්මට තර්ජනයක් වෙමින් සිවිල් යුද්ධයකට බැසීමක් පිලිබඳ නැවත නැවතත් අනතුරු ඇඟවීම් වලට තුඩු දී ඇත. ඊශ්‍රායලයට විරුද්ධ සමහර පලස්තීන සටන්කාමී කන්ඩායම්වලට සහය දෙන ඊශ්‍රායලයේම අරාබි පුරවැසියන් සහ අසල්වැසි රාජ්‍යයන්, අන් සියල්ලටමත් වඩා ඉරානය සහ සිරියාව, ඉලක්ක කර ගනිමින් නෙතන්යාහු විසින් හිතාමතාම යුද උණුසුම  ඇවිස්සීමත් මෙය සමඟ සිදුවී ඇත.

Image
2023 මාර්තු 26 වැනි ඉරිදා ඊශ්‍රායලයේ ටෙල් අවිව්හි ඊශ්‍රායල නායකයා සිය ආරක්ෂක ඇමැතිවරයා නෙරපා හැරීමෙන් පසු, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ අධිකරණ ප්‍රතිසංස්කරණ සැලැස්මට එරෙහි විරෝධතාවක් අතරතුර ඊශ්‍රායල ජාතිකයෝ ගිනි මැල දල්වමින් අධිවේගී මාර්ගයක් අවහිර කරති.

නෙතන්යාහු සහ ඔහුගේ අන්ත දක්ෂිණාංශික කණ්ඩායම පසුගිය දෙසැම්බරයේ බලයට පත් වූ දා සිට, ඔහුගේ ආන්ඩුව සමාජ හා දේශපාලන විසම්මුතිය යටපත් කිරීමට පහසු වීම සඳහා අධිකරණයේ වියදමින් සිය බලය තහවුරු කර ගැනීමට කටයුතු කර ඇත. ආන්ඩුව උත්සාහ කරන්නේ වාඩිලාගෙන සිටින බටහිර ඉවුරේ ප්‍රදේශ බොහෝමයක් ස්ථීර ලෙස ඈඳා ගැනීමට සහ පලස්තීනුවන්ට පමනක් නොව ඉරානයට සහ එහි සහචරයින්ට එරෙහිව ලේවැකි මිලිටරි මැදිහත්වීම් වලට මග පාදා ගැනීමටය. නෙතන්යාහුගේ සභාගය ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ සේවය කිරීමට පලස්තීන නෙසට් සාමාජිකයන් නුසුදුස්සන් කිරීමටත්, ඊශ්‍රායල පුරවැසියන්ගෙන් සියයට 20 කට ස්ථිර ලෙස ඡන්ද බලය අහිමි කරමින් ඔවුන්ගේ පක්ෂ මැතිවරණවලට ඉදිරිපත් වීම තහනම් කිරීමටත් සැලසුම් කරයි.

මෙය, රාජ්‍යයේ නීතිමය පදනම ලෙස යුදෙව් ආධිපත්‍යය තහවුරු කරමින්, ඊශ්‍රායලයේ 2018 මූලික නීතිය, ජාතික-රාජ්‍ය නීතිය මත කේන්ද්‍ර කරගත් වර්ණභේදවාදී ආකාරයේ ව්‍යවස්ථාමය වෙනස්කම් සම්පිණ්ඩනය කරනු ඇත. නීතියෙන් ප්‍රකාශ කෙරෙන පරිදි, “ඊශ්‍රායල් රාජ්‍යයේ ජාතික ස්වයං නිර්ණය ක්‍රියාත්මක කිරීමේ අයිතිය යුදෙව් ජනතාවට අනන්‍ය වූවකි.” එය ඊශ්‍රායලයේ අගනුවර ලෙස සමස්ත ජෙරුසලම “සම්පූර්ණ හා එක්සත්” පුරයක් ලෙස ස්ථිර ලෙස ඈඳා ගැනීමට සහාය ප්‍රකාශ කරන අතර ජනාවාස ඉදිකිරීම “ජාතික වටිනාකමක්” ලෙස අනුමත කරයි. මෙය සහ අරාබි භාෂාව නිල රාජ්‍ය භාෂාවක් ලෙස පැවැති තත්ත්වය ඉවත් කිරීම, බොහෝ මානව හිමිකම් කණ්ඩායම් සාක්ෂ්‍ය දරන පරිදි ඊශ්‍රායලයේම අරාබි පුරවැසියන්ට දෙවන පන්තියේ තත්වයක් හිමි කර දීමකි. 

මෙම පියවරයන්ට දැක්වෙන නිල විරුද්ධත්වය මෙහෙයවනු ලබන්නේ ධනේශ්වර සියොන්වාදී පක්ෂවල විෂම  කන්ඩායමක් විසිනි. නෙතනියාහු සමඟ ඇති ඔවුන්ගේ නොඑකඟතාවයන්ගෙන් පිළිබිඹු කෙරෙන්නේ ඔහු රාජ්‍යයේ උත්සුකයන් අනතුරේ හෙළීම පිලිබඳ කනස්සල්ලයි. ඊශ්‍රායලයේ මතුවෙමින් පවතින ෆැසිස්ට් තර්ජනයට එරෙහි විරුද්ධත්වය, පලස්තීනුවන් සහ අරාබි ඊශ්‍රායල ජාතිකයන් මර්දනය කිරීමට එරෙහි විරුද්ධත්වය සමග සම්බන්ධ කිරීමට ඔවුහු අශමනීය ලෙස විරුද්ධ වෙති. ආඥාදායකත්වයේ සහ ඊශ්‍රායල-පලස්තීනයෙන් ඔබ්බට පැතිර යන යුද්ධයේ අන්තරායයට එරෙහි වීමේ මාර්ගයක් සොයා ගැනීමට අවශ්‍ය නම්, අවධානය යොමු කළ යුතු කේන්ද්‍රීය ප්‍රශ්නය මෙයයි.

ඉදින් ඊශ්‍රායලය ග්‍රෙගෝරියානු දින දර්ශනය පිළිගත්තේ නම්, එය පිහිටුවීමේ සංවත්සරය යෙදෙනු ඇත්තේ, ඊශ්‍රායලය පිහිටුවීමට පෙර හා පසුව පලස්තීන ජනයා මුහුණ දුන් “මහා ව්‍යසනය” සහ බොහොමයක් පලස්තීන ජනතාව අවතැන් කිරීම සනිටුහන් කරන නක්බා දිනයට පෙර දිනයට ය. සියොන්වාදය  විසින් යුදෙව් සහ අරාබි කම්කරු පන්තිය ඇද දමනු ලැබ ඇති මංමුලා සහගත හා ඛේදනීය තත්වයට එරෙහි දේශපාලන ප්‍රතිචාරයක් සම්පාදනය කළ හැක්කේ,  එකී කම්කරුවන් විසින් මෙම සිදුවීම් දෙක අතර සම්බන්ධය පරීක්ෂා කරනු ලැබීමෙන් පමනි, 

ඊශ්‍රායලය පිහිටුවීම.

ඊශ්‍රායලය තුල දිග හැරෙමින් පවතින අර්බුදය සියොන්වාදී රාජ්‍යය තුල ගැඹුරින් මුල් බැසගත් දේශපාලනික හා මතවාදී  ප්‍රතිවිරෝධයන්ගේ ප්‍රතිඵලයකි. ලෝකයේ වඩාත්ම අසමාන රටවලින් එකක කම්කරු පන්තිය හා පාලක ප්‍රභූව අතර වැඩෙන භේදය මගින් එය පෝෂණය වේ. ඊශ්‍රායලය පිහිටුවා ගැනීම පදනම් වූයේ, යුරෝපයේ කම්කරු පන්තිය ෆැසිස්ට්වාදය විසින් අභිභවනය කරනු ලැබීමෙන් ඉක්බිති ව, 1930 ගනන් සහ 1940 ගනන්වල යුරෝපයේ යුදෙව්වන් මුහුණ දුන්, යුදෙව්වන් මිලියන හයක් නාසි සමූලඝාතනයට ගොදුරු වීමෙන් කුලු ගැන්වුනු, ව්‍යසනය තුල ය. 

Image
1944 අවුෂ්විට්ස්හිදී හංගේරියානු යුදෙව්වන් “තෝරාගැනීම”. සංඛ්‍යාවෙන් 400,000 ක් වූ සමස්ත හංගේරියානු යුදෙව් ප්‍රජාව ම පාහේ 1944 ගිම්හානයේදී අවුෂ්විට්ස්හිදී ගෑස් යොදා මරණයට පත් කරන ලදී.  

ඊශ්‍රායලය පිහිටුවීමේ 50 වැනි සංවත්සරය සනිටුහන් කිරීම සඳහා බිල් වෑන් ඕකන් විසින් 1998 දී ලියන ලද  ලෝසවෙඅ (WSWS) ඉදිරි දර්ශනයක පැහැදිලි කර ඇති පරිදි:

ඊශ්‍රායලයේ උපත සහ පරිණාමය තුළ , 20 වැනි සියවසේ නොවිසඳුණු මහා ප්‍රතිවිරෝධතා සංකේන්ද්‍රණය වී ඇත. එහි ආවශ්‍යක මූලාරම්භය පවතින්නේ ඉතිහාසයේ මනුෂ්‍යත්වයට එරෙහි විශාලතම අපරාධවලින් එකක් වන නාසි සමූලඝාතනය තුළ ය. යුරෝපීය යුදෙව්වන් මිලියන හයක් සමූලඝාතනය කිරීම, සෝවියට් සංගමයේ සහ කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ ස්ටැලින්වාදී පරිහානිය විසින් ගෙන එන ලද කම්කරු පන්ති ව්‍යාපාරයේ අර්බුදය සඳහා ගෙවන ලද බිහිසුණු මිලයි. ස්ටැලින්වාදයේ අපරාධ සහ කම්කරු ව්‍යාපාරය මත එහි ආධිපත්‍යය, ෆැසිස්ට්වාදය තුල සිය අවසාන ආරක්ෂක වලල්ල තනා ගත් අර්බුද ග්‍රස්ත ධනේශ්වර ක්‍රමය අවසානයකට ගෙන ඒමෙන් කම්කරු පන්තිය වැළැක්වීය. 

කම්කරු පන්තියේ පරාජයන්, ස්ටැලින්වාදයේ අපරාධ සහ සමූලඝාතනයේ භීෂණය, ඊශ්‍රායලය නිර්මානය කිරීම සඳහා ඓතිහාසික කොන්දේසි නිර්මානය කල අතර, සියොන්වාදය ලෝක යුදෙව්වන් සමග සමාන කිරීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සහ ස්ටැලින්වාදයේ ආධාර සහිත ව සියොන්වාදී ව්‍යාපාරය ගත් උත්සාහය බොහෝ දුරට සාර්ථක විය. එය අවසානයේ දී අධෛර්යමත් කිරීම සහ බලාපොරොත්තු සුන්වීම මත පිහිටුවන ලද ව්‍යාපාරයක් හා රාජ්‍යයකි. ස්ටැලින්වාදයේ පාවාදීම් විසින් ලොව පුරා සිටින යුදෙව් වැඩකරන ජනතාව වෙත , එවන් බලගතු ආයාචනයක් ක්‍රියාවට නංවා තිබූ , සමාජවාදී විකල්පය කෙරෙහි කලකිරීමක් ඇති කරවන ලදී. ජර්මානු ෆැසිස්ට්වාදයේ අපරාධ, යුරෝපයේ හෝ වෙනත් ඕනෑම තැනක යුදෙව් විරෝධය පරාජය කළ නොහැකි බවට අවසාන සාක්ෂිය ලෙස ඉදිරිපත් කරන ලදී. සියොන්වාදයේ පිළිතුර වූයේ, රාජ්‍යයක් සහ හමුදාවක් ලබා ගනිමින් යුදෙව් ජනයාගේ ඓතිහාසික පීඩකයන් ඔවුන්ගේම ක්‍රීඩාව තුල පරාජය කරනු යන්නයි…

ඉතා නිශ්චිත භූ දේශපාලනික හේතු මත යුරෝපයේ රටක් නැති සහ නිවාස නොමැති ඉතිරිව සිටින යුදෙව් ජනගහනය පලස්තීනය වෙත යොමු කරන ලද බැවින් ඔවුන්ගේ උත්සාහයන් සාර්ථක විය. නාසි පීඩනයෙන් පලා යන යුදෙව්වන්ට එක්සත් ජනපද දේශසීමා වසා දැමූ වොෂින්ටනය, පැරණි යටත් විජිත බලවතුන් වන බ්‍රිතාන්‍යයේ සහ ප්‍රන්සයේ වියදමින් කලාපය තුල තමන්ගේම ආධිපත්‍යය තහවුරු කර ගැනීමේ මෙවලමක් ලෙස මැද පෙරදිග යුදෙව් රාජ්‍යයේ මතුවීම දුටුවේය.

ඊශ්‍රායලය යුදෙව් රාජ්‍යයක් ලෙස පිහිටුවීමට හැකි වූයේ, හිංසාව හා ම්ලේච්ඡත්වයට ගොදුරු වූ, ආරක්‍ෂිත තෝතැන්නක් සොයමින් සිටි ජනතාවක් මහා අපරාධයකට – මිලියනයකට ආසන්න පලස්තීනුවන් බලහත්කාරයෙන් නෙරපා හැරීමට සහ වාර්ගික පවිත්‍ර කිරීමේ කුරිරු ව්‍යාපාරයක් තුළ ඔවුන්ගේ ඉඩම් අත්පත් කර ගැනීමට සම්බන්ධ කර ගැනීමෙන් පමනි.  

සියොන්වාදය විසින් ප්‍රවර්ධනය කරන ලද ආරම්භක මිථ්‍යාවන්ට, යුදෙව්වන් වසර 2,000කට පෙර පලවා හරින ලද ඔවුන්ගේ බයිබලානුකුල “පොරොන්දු වූ දේශයට” නැවත පැමිණ සිටි බවට කළ ප්‍රකාශ, සහ යුදෙව් ධනේශ්වර රාජ්‍යයක් පිහිටුවීම මඟින් “දේශයක් නැති ජනයාට ජනයා නැති දේශයක්” සම්පාදනය කෙරෙනු ඇතැයි කළ ප්‍රකාශ ද ඇතුලත් විය.  

මෙම අවසාන ප්‍රකාශය විනිවිද පෙනෙන නමුත් දේශපාලනිකව අවශ්‍ය බොරුවක් විය.

දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව, 1922 දී පලස්තීනය නිදහස සඳහා සූදානම් කිරීමට බ්‍රිතාන්‍යයට “වරමක්” ලබා දුන් ජාතීන්ගේ සංගමයේ දැන් අනුප්‍රාප්තිකයා බවට පත් ව සිටි අලුතින් පිහිටුවන ලද එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඒ වන විට ද දැන් ජෝර්දානය ලෙස හඳුන්වනු ලබන රාජ්‍යය බ්‍රිතාන්‍යයන් විසින් නිර්මාණය කරනු ලැබීමෙන් පසුව ප්‍රමාණයෙන් කුඩා වී තිබූ පලස්තීනය, වෙන් වූ හා ප්‍රත්‍යාසන්න නොවන අරාබි හා යුදෙව් රාජ්‍ය කැබැලිති දෙකකට බෙදීමට යෝජනා කළේය. ජෙරුසලම ජාත්‍යන්තර පාලනය යටතේ තබා ගැනීමට ඉන් යෝජනා කෙරින. කිසිදා අනුමත නොකළ මෙම ප්‍රතිගාමී යෝජනාව, යුදෙව්වන් සහ පලස්තීනුවන් අතර සිවිල් යුද්ධයක් ද, ඊජිප්තුව, ජෝර්දානය, ඉරාකය සහ අනෙකුත් අරාබි රාජ්‍යයන් සම්බන්ධ 1948 අරාබි-ඊශ්‍රායල් යුද්ධය ද පුපුරා යාමට හේතුභූත විය. මේ දෙවනුව කී යුද්ධය සිදු වූයේ බ්‍රිතාන්‍යය වරම අවසන් වීමෙන් පසු, මැයි 14 වන දින ඊශ්‍රායල රාජ්‍යය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ය. බෙදීමේ සැලැස්ම යටතේ කැඳවුම් කෙරුනු ප්‍රමාණයට වඩා තුනෙන් එකකට වැඩි ප්‍රදේශයක් ඊශ්‍රායලය විසින් සිය පාලනයට නතු කර ගැනිණි. නොමඳ පලස්තීනුවෝ පලවා හරින ලදහ. 

බ්‍රිතාන්‍ය පාලිත පලස්තීනයේ ඊශ්‍රායලය ආරම්භ කරන විට, පලස්තීන මුස්ලිම්වරුන් 1,157,000 ක්, ක්‍රිස්තියානීන් 146,000 ක් සහ යුදෙව්වන් 580,000 ක් වශයෙන් එහි යුදෙව්වන් සිටියේ  ජනගහනයෙන් තුනෙන් එකක් පමණි. වසර දෙකකට පසු, ඊශ්‍රායලය බවට පත් වූ ප්‍රදේශයේ, ඉතිරි වූයේ 200,000 පමණ පලස්තීනුවන් පමණි. ඔවුන්ට 1966 දක්වා හමුදා පාලනය යටතේ පාලනය වීමට සිදු විය. 

Image
ඉහළ ගලීලයේ සසා අරාබි ගම්මානය සමඟ ඊශ්‍රායල සොල්දාදුවන් සටනක. [ඡායාරූපය ඊශ්‍රායලයේ ජාතික පුස්තකාලය/ඩිජිටල් හැඳුනුම්පත. 990040390490205171/ගිඩියොන් මාර්කො

පලස්තීනුවන් දහස් ගණනක් මරා දැමූ අතර, අවම වශයෙන් 700,000 ක් එක්කෝ පලවා හරින ලදහ; නැතහොත් පලා ගියෝය. ඔවුහු අසල්වැසි රටවල තාවකාලික කූඩාරම් කඳවුරුවල නවාතැන් ගත් සරණාගතයින් බවට පත් වූහ. අවම වශයෙන් සමූල ඝාතන 31ක් සිදු වූ බව තහවුරු වී ඇත. වාර්තා වූ ම්ලේච්ඡත්වයන්ට ඊශ්‍රායල හමුදා විසින් “පොලුවලින් ඔළුගෙඩි කුඩු කර” දරුවන් මරා දැමූ අල්-දවායිමා ගම්මානයේ සහ සොල්දාදුවන් විසින් 60 ත් 80 ත් අතර වැසියන් පිරිසක් ගොඩනැගිල්ලක් තුලට  තල්ලු කර එය පුපුරුවා හැර මරා දැමූ සාලිහා හි සිදුවීම් ඇතුලත් වේ.

පලවා හරින ලද එම පලස්තීනුවන්ට මෙන් ම ඔවුන්ගෙන් පැවතෙන්නන්ට ද නැවත ඊශ්‍රායලයට පැමිණීම තහනම් කරන ලදී. ඔවුන්ගේ නිවාස සහ දේපළ ඊශ්‍රායල රජය විසින් අත්පත් කර ගන්නා ලදී. එදා පටන් මේ දක්වා ම ඊශ්‍රායලය, නක්බාව සහ එහි වාර්ගික පවිත්‍රකරනය හෝ අරාබි-ඊශ්‍රායල් යුද්ධය තුල 1948 දී සම්මත කරන ලද ජාත්‍යන්තර නීතියේ සහ එක්සත් ජාතීන්ගේ 194 වන යෝජනාවෙහි දක්වා ඇති පරිදි පලස්තීනුවන්ගේ ආපසු පැමිනීමේ අයිතිය පිලිගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

ඊට වෙනස්ව, ඊශ්‍රායලයේ 1950 ආපසු පැමිණීමේ නීතිය සහ 1952 පුරවැසි නීතිය සෑම යුදෙව්වෙකුටම ඊශ්‍රායලයට පැමිණි වහාම පුරවැසිභාවය සඳහා අයිතිය ලබා දුන්නේය. යුද්ධයෙන් පසු වසර තුන තුළ, යුදෙව්වන් මිලියනයක් පමණ සංක්‍රමණය වූ අතර, සමහරක් පැමිණියේ යුරෝපයේ නටබුන් අතරින් නමුදු, ප්‍රධාන වශයෙන් ඔවුන් සංක්‍රමණය වූයේ මැද පෙරදිගින් සහ උතුරු අප්‍රිකාවෙන්ය. 

ඓන්ද්‍රීයව ප්‍රජාතන්ත්‍ර විරෝධී සමාජයක්

එබැවින් එහි ආරම්භයේ සිටම පලස්තීනුවන් බලහත්කාරයෙන් මර්දනය කිරීම සහ අසල්වැසියන් සමඟ යුද්ධ කිරීම මත ගොඩනැගුණු ඊශ්‍රායලය, අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් වර්ධනය කිරීමට ඓන්ද්‍රීයව අසමත් විය. සතුරු අසල්වාසීන් විසින් වට කරන ලද මිලිටරිකරනය වූ රාජ්‍යයක් ලෙස මතු වූ එය, ආගමික අනන්‍යතාව තහවුරු කිරීම මත පදනම් වූවක් විය. ශීඝ්‍රයෙන් න්‍යෂ්ටික හැකියාවන් වර්ධනය කරමින්, සමාජයේ කේන්ද්‍රීය ස්ථම්භය ලෙස සේවය කරන හමුදාව සමඟින්, එය එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් අධික ලෙස අරමුදල් සපයන බලකොටුව බවට පත් විය.

ඊශ්‍රායලයේ මිලිටරි හා දේශපාලන “සාර්ථකත්වයන්” වැඩි වන තරමට එහි දක්ෂිනාංශික හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන්මග වඩාත් නිසැකව තහවුරු විය. ධීර වීර දුබලයෙකු ලෙස සහ දරුණු ඓතිහාසික වැරදිවලට ගොදුරු වූ ජනගහනයක නිවහනක් ලෙස බොහෝ දෙනා විසින් වරක් සැලකූ ඊශ්‍රායලය, කලාපයේ ප්‍රමුඛතම මිලිටරි බලවේගය සහ එකම න්‍යෂ්ටික බලය බවට පත්වීමට නියමිතව තිබුනි.

Image
ගෝලාන් කඳුකරයේ ඉදිරියට යන ඊශ්‍රායල ටැංකි, 1967 ජූනි [ඡායාරූපය රජයේ මාධ්‍ය කාර්යාලය (ඊශ්‍රායලය) / CC BY-SA 4.0]

1967 දී, එක්සත් ජනපද පිටුබලය ඇතිව ඊජිප්තුව, සිරියාව සහ ජෝර්දානය ආක්‍රමනය කල ඊශ්‍රායලය, ජෝර්දාන් ගඟේ බටහිර ඉවුර, නැගෙනහිර ජෙරුසලම, ගෝලාන් කඳුකරය සහ ගාසා තීරය අල්ලාගෙන සරනාගතයන්ගේ නැවුම් වටයක් නිර්මානය කලේය.  මෙම ගැටුම යසර් අරෆත්ගේ නායකත්වය යටතේ පලස්තීන විමුක්ති සංවිධානය (PLO) පිහිටුවීමට සහ ඊශ්‍රායලය සහ පලස්තීනුවන් අතර අසමාන මිලිටරි අරගලයක් මතුවීමට හේතු විය.

ඊශ්‍රායලයේ ආර්ථික හා සමාජ ජීවිතය සමඟ දේශපාලන භූ දර්ශනය පරිවර්තනය වීම

අලුතින් අත්පත් කරගත් භූමි ප්‍රදේශ දෙවියන් වහන්සේ විසින් යුදෙව් ජනතාවට පොරොන්දු වන ලද සමාරිය සහ ජුදා දේශයන් ලෙස ඊශ්‍රායල ස්වෛරීත්වය යටතට ගෙන එන ලෙස, යලි ඉස්මතුව ආ දක්ෂිනාංශයක් ඉල්ලා සිටීමත් සමඟ, යුද්ධය සහ ජනාවාස ඉදිකිරීම, ප්‍රසාරණවාදී “මහා ඊශ්‍රායල” ප්‍රතිපත්තියකට මාරුවීම පිලිබඳ අනබෙරකරුවා වූයේය. මෙය සිදුකිරීම සඳහා පලස්තීනුවන් අඛණ්ඩව වාර්ගික විශුද්ධිකරනයට භාජනය කිරීම සහ යුදෙව් යටත් විජිත පන්නයේ ජනාවාස පිහිටුවීම අවශ්‍ය විය.

එමඟින්, 1973 අරාබි-ඊශ්‍රායල යුද්ධය, සිරියාව, ලෙබනනය සහ ඉරානයට එරෙහි මිලිටරි ආක්‍රමණය සහ සරනාගතයින්ගේත් අභ්‍යන්තරව අවතැන් වූ ජනතාවගේත් තවතවත් නව රැලි නිර්මානය කරමින් අත්පත් කර ගත් ප්‍රදේශවල මූලිකවම අනාරක්ෂිත හා දුගී පලස්තීනුවන්ට නැවත නැවතත් ප්‍රහාර එල්ල කිරීම ඇතුලු යුද්ධ නිරන්තරව පුපුරා යාම සඳහා මාර්ගය සකසා තිබින. 

ඊශ්‍රායලයේ අන්ත-ගතානුගතික දේශපාලන පක්ෂ, විශේෂයෙන් නිතිපතා සිදුවන යුදෙව් සංක්‍රමන රැලිවල සන්දර්භය තුල, කලින් අනාගමික යැයි සලකන ලද ප්‍රදේශවල යුදෙව් ආගමික නීතිය පනවමින් ද, වඩවඩාත් දක්ෂිනාංශික බවට පත් වූ ආන්ඩු පිහිටුවා ගැනීම නිර්නය කරමින් ද ප්‍රබල බලවේගයක් බවට පත් වූයේය. අනාගමික හා ගතානුගතික  යුදෙව්වන් අතර ගැටුම සමාජ ජීවිතයේ සෑම අංශයකම ලක්ෂණයක් බවට පත්ව ඇත.

දේශපාලන හා මිලිටරි සංස්ථාපිතය තුල ෆැසිස්ට් ප්‍රවනතාවයන් මතුවීම සඳහා පදනම නිර්මානය කලේ මෙයයි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැහැදිලි කර ඇති පරිදි, “මේවා දැන් රජයේ ප්‍රතිපත්ති නියම කරන සහ පලස්තීනුවන්ට පමණක් නොව බොහෝ ඊශ්‍රායල වැසියන්ට කුරිරු මර්දනයකින් තර්ජනය කරන බලවේගයි.”

1970 ගනන්වල සිට දශක ගනනාවක් තුල සමාජ ධනය අසාමාන්‍ය ලෙස ඉහලට ගලා යාමක් සහ දරිද්‍රතාවයේ මංමුලා සහගත වර්ධනයක් ද දක්නට ලැබුනි. 2010 වන විට, ඊශ්‍රායල පවුල් 20ක් පමණ ඊශ්‍රායල කොටස් වෙළෙඳපොළෙන් අඩක් පමණ පාලනය කළ අතර ඊශ්‍රායල සමාගම් වලින් හතරෙන් එකක් ඔවුන් සතු විය. ඉන් බොහොමයක් ධනවත් පවුල්වලට අයත් වන ව්‍යාපාරික කණ්ඩායම් දහයක්, පොදු සමාගම්වල වෙළඳපල වටිනාකමෙන් සියයට 30ක් පාලනය කලහ. ඊශ්‍රායලය එක්සත් ජනපද ඩොලර් ප්‍රකෝටිපතියන් 71ක් තමන් සතුවීම ගැන පුරසාරම් දොඩයි, එය ජනගහනයේ සෑම මිලියනයකටම 6.7ක් වන අතර, ලෝකයේ ඉහලම ඒක පුද්ගල ආදායම් වලින් එකක් ඔවුන් සතු නමුත් මේ සියල්ලෝම එහි පදිංචිව සිටින්නෝ නොවෙති. 

Image
2006 දී ඊශ්‍රායලයේ නිවසක් නැති මිනිසෙක්. [ඡායාරූපය: charcoal soul /Flickr / CC BY-ND 2.0]

ඊට ප්‍රතිවිරුද්ධ ධ්‍රැවයේ, සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය (OECD)ට අනුව, අසමානතාවය වඩාත්ම පවතින රටවල් අතරින් ඊශ්‍රායලය දෙවැනි වන්නේ එක්සත් ජනපදයට පමනි. OECD හි ශ්‍රේණිගත කිරීම් අනුව බල්ගේරියාව සහ කොස්ටාරිකාවට පසුව තුන්වන ඉහළම දරිද්‍රතා අනුපාතය ලැබී ඇත්තේ ඊශ්‍රායලයටයි. එහි දරිද්‍රතා අනුපාතය OECD සාමාන්‍යයට වඩා දෙගුනයකි. දරිද්‍රතාවය දැන් සමස්ත ඊශ්‍රායල ජාතිකයන්ගෙන් සියයට 27කට වැඩි ප්‍රමාණයකට සහ සියලුම දරුවන්ගෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයකට බලපාන අතර සියයට 10කට වැඩි (පවුල් 312,000ක්) පිරිසක් දැඩි ආහාර අනාරක්ෂිතභාවයට මුහුන දෙති. මෙම තතු, නෙතන්යාහුගේ අධිකරණ ප්‍රතිසංස්කරණයට එරෙහිව දැන් පුපුරා ගොස් ඇති දේශපාලන නොසන්සුන්තාවයේ පූර්වගාමියා වන, 2011 දී අරාබි වසන්තය සමීපයේ ඇති වූ මහජන විරෝධතාවලට ප්‍රේරණය සැපයූවේය.

ඔස්ලෝවේ බොරු පොරොන්දුව, PLO සහ පලස්තීන අධිකාරිය

ඊශ්‍රායල ජීවිතයේ නිරන්තර ලක්ෂණය වන්නේ පලස්තීනුවන්ට ලබා දෙන අපරූපී සැලකිල්ලයි. මෙම ගැටුම අවසන් කිරීමට ගත් කිසිදු නිල පියවරක් විසින් දේශපාලන යථාර්ථයන් වෙනස් කෙරී නැත. මහත් සේ අඬබෙර ගැසූ 1993 ඔස්ලෝ ගිවිසුම මගින් ඊශ්‍රායල ආක්‍රමණයට එරෙහිව වසර හයකට ආසන්න කාලයක් ගෙන ගිය පලස්තීන ඉන්ටිෆාඩාව අවසන් කෙරින. එහෙත් ඊශ්‍රායලය විසින් තීරනය කරන ලද එහි කොන්දේසි පලස්තීනුවන්ට උගුලක් අටවා ඇත. එය “රාජ්‍ය දෙකක විසඳුමක” මිරිඟුව ඉදිරිපත් කළ අතර, එය ඇත්ත වශයෙන්ම ඊශ්‍රායලය සමඟ කුඩා බෙදුණු සහ යාබද නොවූ පලස්තීන රාජ්‍ය කැබැල්ලකින් සමන්විත විය. ඒ වෙනුවට, අරෆත් සහ PLOව, ඊශ්‍රායලය පිළිගැනීමට, එහි ආරක්ෂාව සහතික කිරීමට සහ පලස්තීන විමුක්තිය සඳහා වූ සන්නද්ධ අරගලය අත්හැරීමට එකඟ වූහ.  

Image
පලස්තීන ජාතික අධිකාරියේ අගමැති මහමුද් අබ්බාස්, එක්සත් ජනපද ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් සහ ඒරියල් ෂැරොන්, අකාබා හි රතු මුහුදේ සමුළුවේ දී, 2003 ජූනි

නක්බා, ආපසු පැමිනීමේ අයිතිය, පලස්තීන ආයතනයක අගනුවර ලෙස ජෙරුසලමේ ස්ථානගත වීම සහ සියොන්වාදී ජනාවාසවල අනාගතය යන සියල්ල නොතකා හරිමින් ඔස්ලෝව විසින් පලස්තීන අධිකාරිය (PA) පිහිටුවන ලදී. එය සිය දේශසීමා පිලිබඳ කිසිදු පාලනයක් නොදරන, නාමික පොරොත්තු ආන්ඩුවක් පිහිටුවන ලදී. එහි පූර්න යැයි කියනු ලබන අධිකරන බලය ගාසා තීරයේ  සහ බටහිර ඉවුරේ සියයට 18ක් (A ප්‍රදේශය) කරා පමනක් බල පවත්වන අතර බටහිර ඉවුරේ සියයට 22 ක් (B ප්‍රදේශය) සඳහා එය ඊශ්‍රායලය සමඟ ඒකාබද්ධව අධිකරන බලය දරයි. බොහෝ ජනාවාස ඇති බටහිර ඉවුරේ සියයට 60ක් (C ප්‍රදේශය) සම්පූර්ණයෙන්ම ඊශ්‍රායල හමුදා පාලනය යටතේ පවතී.

එහි කේන්ද්‍රීය කර්තව්‍යය වූයේ ඊශ්‍රායල විරෝධී පලස්තීන විරුද්ධ පාර්ශ්වයට එරෙහිව පොලිස්කාරකමේ යෙදීමයි. පලස්තීන අධිකාරිය (PA) “ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිදු අභියාචනයක් ඉදිරිපත් වීම වලකාලනු ඇති බවත්, සිවිල් අයිතිවාසිකම් පිලිබඳ ඊශ්‍රායල සංගමයට එම ප්‍රදේශවලට ඇතුලුවීමට ඉඩ නොදීම මඟින් එහි පවත්නා තතු විවේචනය කිරීමෙන් එම සංගමය වලක්වනු ඇති බවටත් වන කරුන අගමැති යිට්සික් රාබින්ගේ ප්‍රශංසාවට එය පාත්‍ර විය.  

රාජ්‍යයක මෙම විකට චිත්‍රනය පවා ඒරියල් ෂැරොන්ට, බෙන්ජමින් නෙතන්යාහුට සහ ඔවුන්ගේ ලිකුඩ් පක්ෂයට පිළිකුල දනවන්නක් විය. 1995 නොවැම්බරයේදී දක්ෂිනාංශික ඊශ්‍රායල උම්මත්තකයෙකු විසින් රාබින් ඝාතනය කරනු ලැබීමට දින කිහිපයකට පෙර, ඔහුගේ රුධිරය ඉල්ලා බිරුසන් දුන් පිරිසට ඔවුහු (ලීකූඩ් පක්ෂය) අත්පොලසන් දුන්හ. 2000 ගිම්හානයේදී, ඩේවිඩ් කඳවුරේ දී, කම්කරු අගමැති එහුඩ් බරාක් පැහැදිලි කර දුන්නේ, බටහිර ඉවුරෙන් හා ගාසාවෙන් හමුදා ඉවත් කර ගැනීමේ යෝජනාව විසින් පලස්තීනුවන්ට ඉතිරි කෙරෙනු ඇත්තේ මුල් පලස්තීනයෙන් සියයට 15 ක් පමනක් බවයි.  අරෆත් මෙය අත්සන් කිරීම ප්‍රතික්ෂේප කල අතර “සාම ක්‍රියාවලිය” ඉන් අවසන් විය. අල්-අක්සා මුස්ලිම් පල්ලියේ මවුන්ට් පරිශ්‍රයට ෂැරොන්ගේ ප්‍රකෝපකාරී සංචාරය සහ දෙවන ඉන්ටිෆාඩාව පුපුරා යාම මීට නිදසුන් විය. 

Image
යසර් අරෆත් 1997 දී [ඡායාරූපය ඊශ්‍රායලයේ ජාතික පුස්තකාලය/ඩිජිටල් හැඳුනුම්පත. 990040390490205171/ගිඩියොන් මාර්කොවිස් / CC.

ඉන් අනතුරුව, සියොන්වාදී පක්ෂ සියල්ල ම “ජනවිකාස ගැටලුවට” එරෙහිව සටන් කිරීම සහ බටහිර ඉවුරේ පාලනය පුලුල් කිරීම ඉලක්ක කරගත් ප්‍රතිපත්ති ඉදිරිපත් කලෝය.

අද, ඊශ්‍රායල-පලස්තීනයේ ජීවත් වන යුදෙව් ඊශ්‍රායල සහ පලස්තීනුවන් ආසන්න වශයෙන් සමාන සංඛ්‍යාවක් සිටින අතර, පලස්තීනුවන් ඉක්මනින් බහුතරය බවට පත්වනු ඇත. ඊශ්‍රායල රාජ්‍යය මනින ලද්දේ එය නිර්නය කරන ජනගහනය පිලිබඳ යථාර්ථ තත්ත්වයෙන් නම්, එයට 1967ට පෙර පැවැති, ජාත්‍යන්තරව පිලිගත් දේශසීමා තුළ ජීවත් වන මිලියන 9.3 ඊශ්‍රායල ජාතිකයන් – ඔවුන්ගෙන් මිලියන 2ක් පලස්තීනුවෝ වෙති – පමණක් නොව, ඊශ්‍රායල හමුදා පාලනය යටතේ ජීවත් වන, 1967 අරාබි ඊශ්‍රායල යුද්ධයේදී අල්ලා ගත් පලස්තීන ප්‍රදේශවල ජීවත්වන මිලියන 5.4ක් පමණ පලස්තීනුවන් ද ඇතුලත් වනු ඇත. 

මේ අනුව, ඉක්මනින්ම, ජන විකාශනය සහ දුර්වල වීම මුස්ලිම් බහුතරයක් සහ යුදෙව් සුළුතරයක් සහිත භෞමික ප්‍රදේශයකට/රාජ්‍යකට  තුඩු දෙනු ඇත. පැවැත්මේ තර්ජනයක් ලෙස තමන් දකින දෙයට සියොන්වාදයේ එකම පිළිතුර වන්නේ යුද්ධය සහ වාර්ගික පවිත්‍රකරණයයි. 2002 දෙසැම්බරයේ අගමැති ඒරියල් ෂැරොන් ප්‍රකාශ කළේ යුදෙව් ජනාවාස සඳහා මග සැලසීමට පලස්තීනුවන් වාඩිලාගෙන සිටින ප්‍රදේශවලින් ඔවුන් පලවා හැරිය යුතු බවයි; නෙතන්යාහු ගිගුරුම් දෙමින්, “අපි මුළු ප්‍රදේශයම පිරිසිදු කරන්නෙමු…” යයි ප්‍රකාශ කලේය. 

ලේබර් පක්ෂයේ පිටුබලය ඇතිව ඊශ්‍රායලය සහ බටහිර ඉවුර අතර වෙන්වීමේ පවුර ගොඩනැගීම සඳහා වූ සාධාරණීකරණය ලෙස ෂැරොන් දෙවන ඉන්ටිෆාඩාව භාවිතා කළේය. මෙම ක්‍රියාවලියේදී ඊශ්‍රායලය ප්‍රධාන ජනාවාස කඳවුරු ඇතුළුව බටහිර ඉවුර තුළ කිලෝමීටර් 18ක් දක්වා වූ භූමි ප්‍රමාණයක් ස්ථිරවම අල්ලා ගත් අතර, භූමි ප්‍රමාණයෙන් සියයට 9ක් අත්පත් කරගෙන ඊශ්‍රායල පැත්තෙහි පලස්තීනුවන් 30,000ක් පමණ ද බටහිර ඉවුර පැත්තේ නැගෙනහිර ජෙරුසලමේ පලස්තීනුවන් 230,000ක් ද හුදකලා කළේය. වෙන්කිරීමේ පවුරේ අනුග්‍රහයෙන් ඊශ්‍රායලයට අත්පත් වූ බටහිර ජලධරයේ පාලනය සහ බටහිර ඉවුරේ භූගත ජලයෙන් සියයට 80 ක් මත ඊශ්‍රායල පාලනය විසින් මිලියන ගණනක ජනයාට නිදන්ගත හා කෘත්‍රිම ජල අර්බුදයකට මඟ පාදනු ලබමින්

වාරිමාර්ග කෘෂිකාර්මික ඉඩම් ප්‍රමාණය පූර්වයේ, 1967 දී, තිබූ සියයට 14 සිට, අද පවතින සියයට 2 අනුපාතය දක්වා තියුනු ලෙස පහත හෙලනු ලැබ ඇත.

මේ සියල්ල ඊශ්‍රායලයේ පාරට්ටු කරනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීත්‍යානුකූල ලෙස සලකනු ලැබීය.

Image
ඝාතනය කරන ලද පලස්තීන-ඇමරිකානු මාධ්‍යවේදිනී ෂිරීන් අබු අක්ලේ, බෙත්ලෙහෙම් හි බටහිර ඉවුරේ වෙන් කිරීමේ බිත්තිය, 2022 නිරූපනය කරන චිත්‍රය [ඡායාරූපය Dan Palraz / CC BY-SA 4.0] 

බටහිර ඉවුරේ ජනාවාස ව්‍යාප්තිය සහ ඒකාග්‍ර කිරීම සඳහා එක්සත් ජනපද අනුමැතිය ලබා ගැනීම අරමුනු කරගත් ෂැරොන්ගේ විසන්ධි කිරීමේ සැලැස්ම යටතේ 2005 දී ගාසා තීරය තවදුරටත් හුදකලා විය. 2007 දී හමාස් සංවිධානය විසින් මෙම වට වූ කොටසේ පාලනය අත්පත් කරගත් විට, ඊශ්‍රායලයේ පාලන උපාය මාර්ගය පූර්න පරිමාණ ආර්ථික අවහිර කිරීමක් බවට පත් විය. මෙම ක්‍රියාවලියේදී බටහිර ඉවුර දිළිඳු ගෙටෝවක් බවටත් ගාසා තීරය බන්ධනාගාරයක් බවටත් පරිවර්තනය වී ඇත.

සියොන්වාදය හෝ අරාබි ජාතිකවාදය යන දෙකම නොව සමාජවාදී ජාත්‍යන්තරවාදය! 

නෙතන්යාහුගේ පාලන සභාගය සහ විපක්ෂ කන්ඩායම අතර ගැටුමේ මූලිකම අංගය වන්නේ සියලු මූලධර්ම පිලිබඳ ඔවුන්ගේ එකඟතාවයයි. විරෝධතා නායකයන් ශ්‍රේෂ්ඨාධිකරණයට එල්ල කෙරෙන ප්‍රහාරයට එරෙහිව පිහිටුවා ඇත්තේ, “ප්‍රජාතන්ත්‍රවාදය” කෙරේ ඇති ඔවුන්ට වියුක්ත ආදරයක් නිසා නොව, සියොන්වාදය සහ ඊශ්‍රායල ධනේශ්වරයේ සමාජ අවශ්‍යතා වෙනුවෙන් එම නායකයන් නොසැලෙන ලෙස පෙනී සිටින නිසා ය. නෙතන්යාහු  සහ ඔහුගේ ෆැසිස්ට් ආධාරකරුවන් නෙතන්යාහු සිරගත වීම වැලක්වීමට වාර්ගික ශෝධනයේ, ආගමික-සංස්කෘතික ප්‍රහාරයේ සහ නෛතික උපාමාරුවල උත්සන්න කල න්‍යාය පත්‍රයක් අනුගමනය කරන විට, විපක්ෂ නායක බෙනී ගැන්ට්ස් (Benny Gantz) සහ නෙතන්යාහු ගේ කැරලිකාර ආරක්ෂක ඇමති යෝවාව් ගැලන්ට් (Yoav Gallant) වැනි චෝදනා නොලත් යුද අපරාධකරුවන් බියපත් වී සිටින්නේ එම පියවර විසින්, දශක ගනනාවක් පුරා පලස්තීනුවන්ට එරෙහිව එල්ල කෙරුණු නිර්දය ප්‍රහාරයන් ආවරනය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අධිකරණ පද්ධතිය වසා එලා තිබූ ව්‍යාජ “ප්‍රජාතන්ත්‍රවාදී” පිටවැස්මට එයින් හානි  වෙතැයි කියා ය.   

Image
2021 ජූනි 20 ඉරිදා , ඊශ්‍රායල අගමැති නෆ්තාලි බෙනට් (වමේ), ඊශ්‍රායල ජනාධිපති රූවන් රිව්ලින් (වමේ දෙවැන්නා), ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය බෙනී ගැන්ට්ස් (වමේ තෙවැන්නා), හිටපු අගමැති සහ විපක්ෂ නායක බෙන්ජමින් නෙතන්යාහු (වමේ සිව්වැන්නා), සහ අනෙකුත් ප්‍රභූවරු ඊශ්‍රායලයේ ජෙරුසලමේ අනුස්මරණ උත්සවයකට සහභාගී වෙති [AP Photo/Abir Sultan/Pool Photo via AP]

යුදෙව් ආධිපත්‍යවාදීන්ට සහ ආගමික ප්‍රතිගාමීන්ට මූලිකත්වය භාරදීම මගින් ඊශ්‍රායල සමාජය අස්ථාවර කිරීම, මැද පෙරදිග ඇති “එකම ප්‍රජාතන්ත්‍රවාදය” ලෙස ඊශ්‍රායලය  නිරූපණය කරන, ලෝකයේ විශාලතම යුදෙව් ප්‍රජාව වන එක්සත් ජනපදයේ යුදෙව් ප්‍රජාව ද – ඉන් කොටසක් වොෂින්ටනයේ සහ යුරෝපයේ අගනගරවල රැඳී සිටිති – ඇතුලු, සමස්ත ලෝකය පුරා ඊශ්‍රායලයට පවතින සහයෝගයට යටින් වල කපා  ඇත. සියොන්වාදයට එරෙහි විරෝධය යනු, ඊශ්‍රායලයෙන්, ඊට සමාන “ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාඡ්‍යයන්ගෙන් ” අපේක්ෂා නො කෙරෙන ප්‍රමිතීන් ඉල්ලා සිටින සහ, ඊශ්‍රායලය සහ වර්ණභේදවාදය යටතේ තිබූ දකුණු අප්‍රිකාව අතර ව්‍යාජ තුල්‍යතාවයක් දක්වන යම් ආකාරයක “වාම යුදෙව්-විරෝධයක්” ලෙස චිත්‍රණය කිරීමේ ප්‍රයත්නවලට එය බරපතල ලෙස වල කපා ඇත. 

සියල්ලටත් වඩා මෙය, ඊශ්‍රායලය එහි දඩ බල්ලා ලෙස වොෂින්ටනයේ භූ මූලෝපායික අවශ්‍යතා ලුහුබැඳ යන මෙම කලාපය තුල, වොෂින්ටනයේ ආක්‍රමණශීලී මිලිටරි පිලිවෙතට මෙයින් තර්ජනය කෙරෙයි.

රට තුල, විරෝධතා ව්‍යාපාරයේ න්‍යාය පත්‍රය දැනට සියොන්වාදී ධනේශ්වරයේ අනසක යටතේ පවතිමින් නාගරික මධ්‍යම පන්තියේ කොටස් වලින් සමාජ සහයෝගය ලබා ගන්නා නමුදු, දේශපාලන නැගිටීම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනයට සහ ප්‍රදේශ අත්පත් කරගෙන සිටීම, යුද්ධය සහ ඊශ්‍රායලයේ කතිපයාධිපත්‍යයේ සමෘද්ධිය වෙනුවෙන් ගෙවීම් වස් ක්‍රියාත්මක කෙරෙන කප්පාදු ආර්ථික ප්‍රතිපත්තිවලට ද එරෙහිව සමාජ අරගල පුපුරා යාමේ අවදානම මතු කරයි.

ආගමික-සංස්කෘතික අනන්‍යතාවය මත පදනම් වූ රාජ්‍යයක් සහ සියලු යුදෙව්වන්ට තිබෙන්නේයැයි කියනු ලබන දෙය ප්‍රවර්ධනය කරන සියොන්වාදය, පලස්තීනුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම පිලිබඳ පමනක් නොව, යුදෙව් කම්කරුවන්ගේ ස්වාධීන සමාජ හා දේශපාලන අවශ්‍යතා පිලිබඳව ද වන ඕනෑම ප්‍රකාශයට පත්වීමකට ද විරුද්ධ වීමේ පදනම දිගු කලක් තිස්සේ ගොඩ නඟා ගෙන ඇත. 

Image
ටෙල් අවිව් හි හිස්ටඩ්රට් (Histadrut) මූලස්ථානය [ඡායාරූපය צילום:ד”ר אבישי TIכר / CC BY 2.5]

හිස්ටඩ්රට් (Histadrut) වෘත්තීය සමිති සම්මේලනය, ඊශ්‍රායලයේ සේවා අංශය, එහි විශාලතම සමූහ ව්‍යාපාර, ජාතික බැංකුව සහ සෞඛ්‍ය හා වෛද්‍ය ආයතන පාලනය කරමින් රාජ්‍ය ආයතනයක් ලෙස මතු විය. ආර්ථික ලිබරල්කරණය සහ පුද්ගලීකරනය විසින් නිර්මිත තතු තුල එහි සාමාජිකත්වය, 1983 දී එය පැවැති මිලියන 1.8 ක (එවකට ශ්‍රම බලකායෙන් සියයට 85 ක්) තත්ත්වයේ සිට අද වන විට 200,000 ට වඩා අඩු අගයකට පත් වෙමින්, ගෝලීය පූර්වාදර්ශයක් නොමැති කඩා වැටීමකට ලක්ව ඇත. මහජන විරෝධතා අතරතුර, මහා වැඩ වර්ජනයක් සඳහා අරාබි සහ සංක්‍රමණික කම්කරුවන් හැර සෙසු කම්කරුවන්ට ඔවුන් කල කැඳවීම, නෙතන්යාහු සමග සම්බන්ධීකරණයෙන් යුතුව සිදු කරන ලද එකක් වූ අතර, එය කැඳවන ලද්දේ නිලධාරිවාදී පාලනයෙන් බැහැරව වර්ධනය වන වැඩ වර්ජනවල අන්තරායට එරෙහිව සටන් කිරීම සඳහාය.

ඊශ්‍රායල් රාජ්‍යයේ ආරම්භක දෘෂ්ටිවාදය වන කම්කරු සියොන්වාදය, එහි වෘත්තීය සමිති හස්තයට ද වඩා දරුණු කඩාවැටීමකට ලක්ව ඇත. මන්ද යත්, එහි සමාජවාදී මවාපෑම් , ධනවාදය සහ නිකායික ආගමික සුවිශේෂීවාදය මත පදනම් වූ රාජ්‍යයක සහ සමාජයක යථාර්ථයන් විසින් විනාශ කර ඇති බැවිනි.

ඊශ්‍රායලයේ 75 වැනි සංවත්සරයේදී, එහි කඩා වැටෙන දේශපාලන හා සමාජ කැලඹීම විසින් සනාථ කෙරෙන්නේ, විප්ලවවාදී සමාජවාදී විකල්පයක් සඳහා සටන් කිරීමට කොන්දේසි පවතින බවයි. එහෙත් සියොන්වාදයේ මූලික සිද්ධාන්ත අභියෝගයට ලක් නොවන තාක්, ධනේශ්වර පාලනයේ අර්බුදය විසඳනු ඇත්තේ තව දුරටත් දකුණට ඇදී යාමේ පදනම මතය.

සියල්ලටම වඩා භයානක වන්නේ, තීව‍්‍රවන දේශපාලන අර්බුදය, පලස්තීනුවන් මිලිටරිමය ආකාරයට මර්දනය කිරීම දෙසටත් සිරියාව හා ඉරානය සමඟ යුද්ධය ඇවිලවීම දෙසටත් වඩා තියුණු හැරීමකට මග පාදන හෙයිනි. යුක්රේනයේ රුසියාව සමග තථ්‍ය ලෙස යෙදී සිටින යුද්ධයේ සිට චීනය දක්වා විහිදෙන, ගෝලීය ආධිපත්‍යය සුරක්ෂිත කර ගැනීමේ  එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මිලිටරි ධාවනයේ කේන්ද්‍රීය භූමිකාවක් ඊශ්‍රායලය අත රැඳෙන හෙයින්, සමස්ත මැද පෙරදිගම ගිල ගන්නා යුද්ධයක තර්ජනය කිසිදා නොවූ තරම් සමීපස්ථ ව පවතී. 

ලෝකයේ යුදෙව්වන්ට තම අභයභූමිය සොයා ලෙස ගත හැකි වූ ජාතික රාජ්‍යයක සියොන්වාදී යුතෝපියාව, ඒ වෙනුවට කෙලින් ම ඇද වැටී ඇත්තේ, පොලිස් රාජ්‍ය ආකාරයේ පාලනය, ෆැසිස්ට්වාදයේ ඉස්මතුවීම, සිවිල් යුද්ධයේ පිපිරීම් සහ පලස්තීනුවන් හා ඊශ්‍රායලයේ අරාබි අසල්වැසියන් සමඟ යුද්ධය කරා ය. ඉදිරි මාවත පවතින්නේ ධනවාදයට එරෙහිව සහ සමාජවාදය සඳහා ඒකාබද්ධ අරගලයක් තුල යුදෙව් සහ පලස්තීන කම්කරු පන්තිය එක්සත් කිරීම තුලය.

අන්ත දක්ෂිනාංශික තර්ජනයට මුහුන දී සිටින යුදෙව් කම්කරුවන්, “තවත් කෙනෙකු වහල්භාවයට පත් කරන ජාතියක් තමන්ගේම දම්වැල් සාදයි” යන මාක්ස්ගේ ප්‍රකාශය ඔවුන්ගේ මුර පදය ලෙස ගත යුතුය. මැදපෙරදිග සහ අප්‍රිකාවේ සමස්ත පශ්චාත් යටත් විජිත ඉතිහාසය මෙන්ම පලස්තීන අධිකාරියේ ඉතිහාසයමත් පෙන්නුම් කර ඇති පරිදි, පලස්තීනුවන්ට ද පීඩිතභාවයෙන් විමුක්තිය සඳහා ජාතික ධනේශ්වර මාවතක් නොමැති බවට ගැඹුරු අවබෝධයක් වර්ධනය කර ගත යුතුය. 

Image
ලියොන් ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝ හි ඔහුගේ මේසය අසල

සැබෑ විප්ලවවාදී විකල්පයක් නොනවතින විප්ලවයේ න්‍යාය මත පදනම් විය යුතුය. ට්‍රොට්ස්කි පැහැදිලි කලේ, ධනේශ්වරයේ නැගීම පැවැති පූර්ව කාලපරිච්ඡේදයක් හා බැඳුනු පීඩිත ජාතීන්ගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී හා ජාතික කර්තව්‍යයන්, අධිරාජ්‍යවාදී යුගය තුල දී සාක්ෂාත් කර ගත හැක්කේ, සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් මත ක්‍රියාත්මක වන කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීමක් මඟින් පමනක් බවයි. 

සියලු ජාතික බෙදීම් ඉක්මවා යමින් කම්කරුවන්, අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහ අන්තර් ජාතික සංගතවල කොල්ලකාරී උත්සුකවලින් මිදී, මැද පෙරදිග එක්සත් සමාජවාදී රාජ්‍යයන් සඳහා සටන් කළ යුතුය. කලාපයේ සියලුම ජනයා සඳහා සමානාත්මතාවයේ අත්‍යවශ්‍ය මූලධර්මය මත ගොඩ නගා ගනු ඇති මෙය, අත්‍යවශ්‍ය සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා කලාපයේ අතිවිශාල ස්වභාවික සම්පත් භාවිතය මත පදනම්ව, සැමට ප්‍රජාතන්ත්‍රවාදී සහ සමෘද්ධිමත් අනාගතයක් සහතික කරනු ඇත. 

මේ සඳහා, සමාජවාදී විප්ලවවාදී නායකත්වයක් සැපයීමට ඊශ්‍රායලය, පලස්තීනය සහ කලාපය පුරා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනැගීම අවශ්‍ය කෙරේ.

ඊශ්‍රායලය ගොඩ නැඟීමේ සිට වසර 75: නක්බා සහ යුදෙව්-අරාබි සමගිය සඳහා අරගලය Read More »

This week in history: May 15-21 | ඉතිහාසයේ මෙම සතිය: මැයි 15-21

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි 15 දින ඉංග්‍රීසියෙන් පලවූ This Week in History යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි.  පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

මීට වසර 25 කට පෙර, වසර 50 කට පෙර, වසර 75 කට පෙර සහ වසර 100 කට පෙර මෙම සතිය තුළ සිදු වූ වැදගත් ඓතිහාසික සිදුවීම් මෙම තීරුවේ පල වේ.

වසර 25 කට පෙර: ඉන්දුනීසියානු පාලකයා වූ සුහර්තෝ ඉල්ලා අස්වෙයි

Image
(Photo)සුහර්තෝ

1998 මැයි 21 දින, තීව්‍ර වූ දේශපාලන අර්බුදයක් සමනය කිරීමේ මංමුලා සහගත උත්සාහයක් ලෙස, ඉන්දුනීසියානු ආඥාදායක සුහර්තෝ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වී, එතැනට තමන් විසින් ම නම් කර ගත් අනුප්‍රාප්තිකයා වන උප ජනාධිපති B. J. හබීබි, පත් කළේ ය. හමුදා ප්‍රධානීන්ගේ අනුග්‍රහය ඇතිව මෙම පියවර ගෙන තිබුණි.

දශක දෙකකට වැඩි කාලයක් සුහර්තෝගේ සමීපතම සහචරයෙකු වූ හබීබි, සුහර්තෝගේ ඉතිරි පස් අවුරුදු ධූර කාලය – 2003 දක්වා – සමස්ථ දේශපාලන ව්‍යුහයම නො වෙනස්ව තබා ගැනීම සදහා හා  අන දෙන නිලධාරී ධූරය සදහා වහාම දිවුරුම් දුන්නේ ය.

මෙම උපාමාරුව, නව දේශපාලන සුජාතභාවයකින් මිලිටරි තන්ත‍්‍රය වසා ගැනීමටත්, පහළින් සමාජ පිපිරීමක් ඇති වීම වැලැක්වීමට උත්සාහ කිරීම සඳහා අමියන් රයිස් සහ මෙගාවතී සුකර්නොපුත්‍රි වැනි ධනේශ්වර විපක්ෂයේ ස්ථර ඇද ගැනීමටත් ගත් උත්සාහයකි.

නායකත්වය වෙනස් කිරීම අනුමත කිරීමට සන්නද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් විරන්ටෝ, හබීබිට පෙර ජාතිය ඇමතීමේදී, මෙම ක්‍රියා දාමයේ දී සුහර්තෝගේ හමුදා යාන්ත්‍රණයේ කේන්ද්‍රීය කාර්යභාරය ඉක්මනින් ප්‍රදර්ශනය විය. විරන්ටෝ කෙලින්ම කියා සිටියේ කිසිවකු වරදවා වටහා නො ගත යුතු බව ය: ජෙනරාල්වරු දේශපාලන පර්යාය පමණක් නොව සුහර්තෝ සහ ඔහුගේ පවුලේ අය ද ආරක්ෂා කරනු ඇත.

එම සතිය මුලදී, සුහර්තෝ වහා ඉල්ලා අස්විය යුතු යැයි බලකරමින්, දැවැන්ත මිලිටරි බලමුලු ගැන්වීමට විරුද්ධව, ප්‍රධාන ඉන්දුනීසියානු නගරවල පැවති උද්ඝෝෂණවලට, නිවසේ රැඳී සිටින ලෙස විපක්ෂ නායකයින් කළ ඉල්ලීම් නො තකා  සම්බන්ධ වූ ලක්ෂ සංඛ්‍යාත සිසුන්ට, කම්කරුවන්ට සහ වෘත්තීය පුද්ගලයින්ට, විරන්ටෝගේ ප්‍රකාශය සිහින් වැස්මකින් ආවරනය කල තර්ජනයක් විය. 

ජකර්තාහි ජාතික සභා ගොඩනැගිල්ල වාඩිලාගෙන සිටින සිසුහු “අන්තිමේ දී නිදහස” තමන්ට ලැබුනේ යයි ප්‍රකාශ කරමින් සුහර්තෝගේ නිවේදනයට ප්‍රීතියෙන් ප්‍රතිචාර දැක් වූහ. ජකර්තාහි වීදිවල පුළුල් සතුටක් පැවති බව වාර්තා විය.

සුහර්තෝ ධූරයෙන් නෙරපා හැරීම මිලිටරිය විසින් පමනක් නො ව ඊටත් වඩා පාලන තන්ත්‍රයේ පතුලෙන් ආර්ථික ලනු පැදුර සාරථකව ඇද දැමූ ජාත්‍යන්තර මූල්‍ය වෙලඳපොලවල් සහ ජාමූඅ විසින් සංවිධානය කරන ලදී. “වෙළඳපොල බලවේග” විසින් සුහර්තෝව බලහත්කාරයෙන් ඉවත් කර ඇති බව සුහර්තෝගේ එක් ඇමතිවරයෙක් ප්‍රකාශ කළේ ය.

1997 මැද භාගයේ සිට ආර්ථිකයේ සහ මුදල් ඒකකයේ බිඳවැටීම තුල ප්‍රකාශිත මෙම ක්‍රියාවලිය, සුහර්තෝ පැත්තකට වීමට පෙර, අවසන් පැය කිහිපය තුල තීව්‍ර විය. මීට පෙර බොහෝ නගරවල මහජන පෙළපාලි සහ රැස්වීම් තිබියදීත්, ජාතික සභාවේ නායකයින් විසින් සුහර්තෝට ඉල්ලා අස්වන ලෙස කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබුණි.

1965-66 දී, 500,000 සිට මිලියනයක් දක්වා ප්‍රමානයක් කම්කරුවන්, දේශපාලන ක්‍රියාකාරීන් සහ ගොවීන් ඝාතනය කල විසිවන සියවසේ දැවැන්තම දේශපාලන සමූලඝාතනයකින් බලය අල්ලා ගත් කුරිරු මිලිටරි ප්‍රබලයා හුදෙක් තනි පුද්ගල කුරිරු පාලකයෙකු නො වීය. ඔහුගේ ලේවැකි තන්ත‍්‍රය වසර 32ක් පුරා පවත්වා ගෙන යනු ලැබුනේ සුහර්තෝ විසින් කම්කරු පන්තිය සහ ග්‍රාමීය ජනතාව මත පටවන ලද ස්වදේශික පාලක පන්තියේ සහ බටහිර අධිරාජ්‍යවාදයේ ලාභ අවශ්‍යතා විසිනි. ඔහුගේ නෙරපා හැරීමත් සමඟම, මෙම බලවේගම තම අවශ්‍යතා වඩා හොඳින් ආරක්ෂා කර ගැනීම සඳහා වෙනස් හැඩයක් පමනක් සොයා ගත්තේ ය.

වසර 50 කට පෙර: බ්‍රෙෂ්නෙව් බටහිර ජර්මනියට යයි.

Image
(Photo) ලියොනිඩ් බ්‍රෙෂ්නෙව්, (වමේ) විලී බ්‍රැන්ඩ් සමඟ, 1981 දී

1973 මැයි 18 වන දින සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ලියොනිඩ් බ්‍රෙෂ්නෙව් බටහිර ජර්මනියේ අගනුවර වන බොන් වෙත රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක නිරත විය. සංචාරය, දෙවන ලෝක සංග්‍රාමය අවසානයේ මිත්‍ර පාක්ෂික බලවතුන් විසින් ජර්මනිය බෙදීමෙන් පසු සෝවියට් නායකයෙකු බටහිර ජර්මනියට ගිය පළමු අවස්ථාව ලෙස සටහන් වේ.

මෙම සංචාරයේ අරමුණ වූයේ බටහිර ජර්මනියේ චාන්සලර් විලී බ්‍රැන්ඩ්ට් හමුවී දෙරට අතර නව වෙළඳ ගනුදෙනු පිළිබඳව සාකච්ඡා කිරීමයි. බටහිර ජර්මනිය සෝවියට් සංගමයේ ප්‍රමුඛ බටහිර වෙළඳ හවුල්කරුවා වූ අතර දෙදෙනාම මෙම වාසිදායක සම්බන්ධතාව පුළුල් කිරීමට බලාපොරොත්තු වූවෝ ය.

බ්‍රෙෂ්නෙව්ගේ සංචාරය, සෝවියට් සංගමය සහ නේටෝ- වටා පෙළගැසුනු රටවල් අතර තීව්‍ර යුද සූදානම තාවකාලිකව දියවී ගිය සීතල යුද්ධයේ “සතුරුකම් ලිහිල් කිරීමේ “කාල පරිච්ඡේදයේ කොටසකි. වසරකට පෙර, 1972 මැයි මාසයේදී, එක්සත් ජනපද ජනාධිපති රිචඩ් නික්සන්, ආයුධ සීමා කිරීම සහ වෙළඳ ගිවිසුම් යන දෙකම අත්සන් කිරීම සඳහා බ්‍රෙෂ්නෙව් හමුවීමට මොස්කව් වෙත ගොස් තිබුණි.

වසර මුලදී ධනේශ්වර බටහිර ජර්මනිය ස්ටැලින්වාදී නැගෙනහිර ජර්මනිය සමඟ ගිවිසුමක් අත්සන් කර ඇති අතර එය වඩාත් සාමාන්‍ය දේශපාලන සබඳතා සඳහා දොර විවර කර නැගෙනහිර සහ බටහිර බර්ලිනය අතර ගමන් සඳහා ඇති සීමාවන් ලිහිල් කර තිබුණි.

බොන් හි සංචාරය කරන බ්‍රෙෂ්නෙව් ආරක්ෂා කිරීම සඳහා බ්‍රැන්ඩ්ට් අවම වශයෙන් ආරක්ෂක නිලධාරීන් 6,000කින් යුත් දැවැන්ත පොලිස් බලකායක් බලමුලු ගැන්වී ය. ඔහු අට වැදෑරුම් ආහාර (eight-course meal) වේලක් භුක්ති විඳ, පසුව ප්‍රසිද්ධ දේශනයක් පැවැත්වි ය. ජර්මානු ජාතික ගීය සඳහා අවධානය යොමු කිරීමෙන් පසු, සිය රූපවාහිනී කතාවේදී බ්‍රෙෂ්නෙව් ප්‍රේක්ෂකයන්ට මෙසේ පැවසීය.

“චන්සලර් බ්‍රැන්ඩ්ට් සමඟ අපගේ සාකච්ඡා අනාගතය සඳහා හොඳ ඉදිරි දැක්මක් ඇති බව තහවුරු කරයි… සියවස් කාර්තුවක සීතල යුද්ධයේ කාලපරිච්ඡේදය දැන් නැගෙනහිර සහ බටහිර රාජ්‍යයන් අතර සාමය, අන්‍යෝන්‍ය ගෞරවය සහ සහයෝගීතාවයේ සබඳතාවලට තැනක් ලබාදෙමින් තිබේ.”

එහෙත් අධිරාජ්‍යවාදී රටවල් සහ ස්ටැලින්වාදී නිලධරය අතර සාමකාමී සහජීවනය පිලිබඳ බලාපොරොත්තු සහගත ප්‍රකාශයන්ට යටින් පැවතියේ, ජර්මනිය සහ සෝවියට් සංගමය ඇතුලු සියලුම ජාතික ආර්ථිකයන් මත මිල ගනන් ඉහල යාමට සහ දැවැන්ත පීඩනයන් ඇති කිරීමට හේතු වූ ගෝලීය මූල්‍ය අර්බුදයයි.

බ්‍රැන්ඩ්ට් සඳහා, සෝවියට් සංගමය සමඟ සබඳතා විවෘත කිරීම, සෝවියට් වෙලඳපොලවලට ප්‍රවේශය ලබා ගැනීමෙන් මෙම අර්බුදය තරමක් සමනය කිරීමට අවස්ථාවක් ලබා දුන් අතර, බ්‍රෙෂ්නෙව්ට වෙළඳ ගනුදෙනු සඳහා ජර්මානු කාර්මික භාණ්ඩ වෙත ප්‍රවේශය සහ සෝවියට් කම්කරු පන්තියේ ශ්‍රමය විකිණීම සඳහා අනෙකුත් බටහිර යුරෝපීය රටවලට සමීප වීමට වේදිකාවක් ලබා දුන්නේ ය.

වසර 75 කට පෙර: පලස්තීනුවන් සමූහ ලෙස ජනවාර්ගික ශුද්ධ කිරීමට ලක් කිරීම මධ්‍යයේ අරාබි-ඊශ්‍රායල යුද්ධය ආරම්භ වේ

Image
(Photo) පලස්තීනය බෙදීම සඳහා එක්සත් ජාතීන්ගේ යෝජනාව නිරූපණය කරන සිතියම

1948 මැයි 15 වන දින, අලුතින් ප්‍රකාශයට පත් කරන ලද ඊශ්‍රායලය සහ අසල්වැසි අරාබි බහුතර රාජ්‍යයන්ගේ සභාගය අතර යුද්ධයක් ඇති විය. පලස්තීනයෙහි  බ්‍රිතාන්‍ය යටත් විජිත සන්තකය විධිමත් ලෙස අවසන් වූ වහාම ගැටුම ආරම්භ විය. පෙර සතියේ, එක්සත් ජනපදයේ සහ අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහයෝගය ඇතිව ඊස්රායලය නිදහස ප්‍රකාශ කර තිබුණි.

 මෙම යුද්ධය ආරම්භ වූයේ, පලස්තීනය තුල පුලුල්ව පැතිරුනු වාර්ගික පවිත්‍ර කිරීමේ කොන්දේසි යටතේය. නව ඊශ්‍රායල රාජ්‍යය විසින් මෙහෙයවන ලද ත්‍රස්තවාදී කල්ලි ගමින් ගමට ගොස් භීතිය සහ මහජන ප්‍රචණ්ඩත්වය හරහා ඔවුන්ව ජනශූන්‍ය කළහ.

ඒ වනවිට, මාස ගනනාවක් තිස්සේ සිදුවෙමින් පැවති මෙම මෙහෙයුම, අනෙකුත් සියලුම ජනවාර්ගික කන්ඩායම් හැර, යුදෙව් ජනවාර්ගිකත්වය සහ ආගම මත නව රාජ්‍යය පැහැදිලිවම පදනම් වූ ඊශ්‍රායල ස්වාධීන ප්‍රකාශනයට මුලුමනින්ම අනුකූල විය. විශේෂයෙන් කුප්‍රකට සිදුවීමක් ලෙස, මැයි 20 වන දින ඊශ්‍රායල හමුදා පලස්තීනයේ අල්-කබ්රි නගරය අත්පත් කර ගත්හ. 1,500කට වඩා වැඩි පිරිසක් සිටින එහි අනාරක්ෂිත ජනගහනය දිනක් ඇතුළත ඉවත් කරන ලද අතර, බොහෝ දෙනෙක් පලා ගිය අතර ගණන් කළ නොහැකි සංඛ්‍යාවක් ඝාතනය කරන ලදී.

ප්‍රධාන අරාබි රාජ්‍යයන්ගෙන් සමන්විත අරාබි ලීගය 1947 දී පලස්තීනය ජනවාර්ගික පදනමක් මත බෙදීමක් සඳහා වූ එක්සත් ජාතීන්ගේ පිටුබලය ලත් සැලැස්මට විරුද්ධ විය . බ්‍රිතාන්‍ය පාලනය අවසන් වූ පසු ඔවුහු වහාම යුද්ධය ප්‍රකාශ කළහ.

අරාබි නායකයන් ප්‍රකාශ කළේ ඔවුන්ගේ අරමුණ වූයේ, නීතිය හා සාමය යථා තත්ත්වයට පත් කිරීමත් , සමූලඝාතන මධ්‍යයේ  තවදුරටත් ලේ වැගිරීම වැළැක්වීම සහ  ඒකීය පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමට උදව් කිරීම බවයි; බ්‍රිතාන්‍ය පාලනය අවසන් වීම යන්නෙන් අදහස් කෙරෙන්නේ, එම ප‍්‍රදේශය සම්බන්ධයෙන් නීත්‍යානුකූලව පිහිටුවන ලද අධිකාරියක් නොමැති වීමේ කොන්දේසි යටතේ මෙම මැදිහත් වීම සිදුවන බවයි.

 ගැටුමට සම්බන්ධ අරාබි රාජ්‍යයන් වූයේ ඊජිප්තුව, ඉරාකය, සිරියාව, ජෝර්දානය, ලෙබනනය, යේමනය සහ සෞදි අරාබිය යි. මැයි 15 දා ඊජිප්තු ප්‍රමුඛ හමුදා පලස්තීනයේ දකුණේ සිට ආක්‍රමණයක් ආරම්භ කළහ. ඊශ්‍රායල ජයග්‍රහණයකට පෙර මෙම ගැටුම මාස දහයකට ආසන්න කාලයක් පැවතීමට නියමිත විය.

කලාපය පුරා කොල්ලකාරී මෙහෙයුම් සඳහා වෙරළ තීරයක් ලෙස ඔවුන් විසින් සැලකූ ඊශ්‍රායලයට එක්සත් ජනපදයේ සහ අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහයෝගය සමග මෙම ප්‍රතිඵලය බැඳී තිබුනි. එයට අරාබි රාජ්‍යයන් අතර ගැටුම් ද ආධාර විය. ඒ සෑම එකක්ම තමන්ගේම ධනේශ්වර පන්තියේ අවශ්‍යතා ඉදිරියට ගෙන යමින් සිටියහ. සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී නිලධරය, කම්කරු පන්තිය තවත් නොමනා පාවාදීමකට ගොදුරු කර  දී, සියොන්වාදී රාජ්‍යය පිහිටුවීමට සහාය දුන්නේ ය. 

වසර 100 කට පෙර: මියුනිච් හි බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් නාට්‍යයේ වේදිකා දැක්මට නාසි ප්‍රහාරක් එල්ල කෙ⁣රේ 

Image
(Photo) බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්,1954 දී

1923 මැයි 18 වෙනිදා, මියුනිච්, රෙසිඩෙන්ස්තියටර් හි බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ “ඉන් ද ජංගල් ඔෆ් සිටි” නාට්‍යයේ දර්ශනයක් නාසි පක්ෂයේ සාමාජිකයින් විසින් කඩාකප්පල් කරන ලදී.

නාට්‍යයේ එක් නළුවෙකු වන අර්වින් ෆේබර් පසුව මෙසේ පැවසීය.

 “ප්‍රේක්ෂකයෝ කුණු බිත්තර සහ දුගඳ හමන බෝම්බ වේදිකාවට විසි කළ අතර, නාට්‍ය දර්ශනය නතර කිරීමට සිදු විය, රඟහල විනාශ කර දැමූහ, නාට්‍යයේ මංගල දර්ශනයට පවා පොලිසිය පැමිණිය යුතු වූ අතර, ඔවුන් රඟහලේ සෑම පේළියකම වාඩි වී සිටින අතර, අපි මද ආලෝකය සහිත රගහලේ, රගපෑවෙමු. පසුකාලීන දර්ශනවලදී ද එය එසේම විය.”

බ්‍රෙෂ්ට් එකල ජර්මානු කොමියුනිස්ට් පක්ෂයේ (කේපීඩී) අනුගාමිකයෙක් විය. ඔහු ජර්මනියේ 1919 විප්ලවය විවේචනය කළ නමුත් කෙටි කාලීන බැවේරියානු සෝවියට් සමූහාණ්ඩුව තුළ ඔග්ස්බර්ග් සෝවියට් සභාවට සහභාගී විය.

මෙම නාට්‍යය එකිනෙකා විනාශ කිරීමට මැර කල්ලියක් වැනි අරගලයක යෙදෙන මිනිසුන් දෙදෙනෙකු ගැන වූ අතර එහි ප්‍රකාශිත දේශපාලන පණිවිඩයක් නො තිබුණි, නමුත් නාසීහු මෙම මුල් අවධියේ දී පවා වාමාංශික කලාකරුවන් සහ ප්‍රගතිශීලී සංස්කෘතිය කෙරෙහි වෛරය ප්‍රකාශ කළහ.

නාට්සි ක්‍රියාකාරකම් නැවතත් බ්‍රෙෂ්ට්ගේ වැඩවලට බාධා කළේ ය. නොවැම්බර් මාසයේ දී බ්‍රෙෂ්ට් මියුනිච් චේම්බර් රඟහලේදී සිය එඩ්වඩ් II නාට්‍යයේ  පෙරහුරුවකට පැමිණි විට, නළුවන් හිට්ලර්ගේ කුමන්ත්‍රණය පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව ඔහුට දැනගැනීමට ලැබුනි. බ්‍රෙෂ්ට් පෙරහුරුව අවලංගු කර, සිය යුදෙව් සහ කොමියුනිස්ට් මිතුරන් මුණගැසුණේ හිට්ලර් බලයට පත්වීම සාර්ථක වූ අවස්ථාවක ඔවුන් කළ යුතු දේ සාකච්ඡා කිරීමට ය. බලධාරීන් විසින් මෙම බලය පැහැර ගැනීමේ කුමන්ත්‍රණය මැඩ පවත්වන ලද අතර පසුදින පුහුනුවීම නැවත ආරම්භ විය.

බ්‍රෙෂ්ට් ඊළඟ වසරේ බර්ලිනයට ගියේ ය. නමුත් නාසි ප්‍රකෝප කිරීම ඔහුගේ නාට්‍ය සහ ඔපෙරා විවෘත කිරීමේ චාරිත්‍රානුකූල අංගයක් බවට පත් විය. 1933 කුප්‍රකට පොත් ගිනි තැබීමේදී නාසීන් විසින් පුළුස්සා දැමූ පොත් අතර ඔහුගේ පොත් ද විය.

This week in history: May 15-21 | ඉතිහාසයේ මෙම සතිය: මැයි 15-21 Read More »

This week in history: May 8-14| ඉතිහාසයේ මෙම සතිය: මැයි 8-14

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි 07 දින ඉංග්‍රීසියෙන් පලවූ This Week in History යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි.  පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

වසර 25 කට පෙර: ඉන්දියාව න්‍යෂ්ටික බෝම්බ අත්හදා බලයි

1998 මැයි 11 වන දින, ලෝක ජනගහනයෙන් අඩකට වඩා වැඩි ජීවත් වන ප්‍රදේශයක් වන දකුණු හා නැගෙනහිර ආසියාවේ න්‍යෂ්ටික අවි තරඟයක කොටසක් ලෙස ඉන්දියාව න්‍යෂ්ටික උපාංග පහක් පුපුරුවා හැරියේය.  ඉන්දියාව සමඟ දේශසීමා යුද්ධ කිහිපයක්ම සිදු කර ඇති පකිස්ථානය බිය ගැන්වීම සහ ඉන්දියාවේ කලාපීය ප්‍රතිවාදියා වන චීනයට අනතුරු හැඟවීමක් සිදු කිරීම යන දෙකම මෙම බල ප්‍රදර්ශනයේ අරමුණ විය.

පරීක්ෂණවලට දේශීය දේශපාලන අරමුනක් ද තිබුණි. එනම්, අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි යටතේ හින්දු ස්වෝත්තමවාදී භාරතීය ජනතා පක්ෂය දිල්ලියේ බලය අල්ලාගෙන සිටි බව පෙන්නුම් කිරීමයි. 

Image
ජායාරූපය: ඉන්දීය අගමැති වජ්පායි [ඡායාරූපය: ඉන්දීය රජය]

ඊට පෙර මාර්තු මාසයේ පැවති ජයග්‍රාහකයෙකු නිශ්චය නොවූ මැතිවරනයේ ප්‍රතිඵලයක් ලෙස පක්ෂ 18ක සභාගයක් බලයට පැමිණීයේය. සභාගයේ පාර්ලිමේන්තු ආසනවලින් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් සහ ප්‍රධාන අමාත්‍යාංශ සියල්ල හිමිකර ගනිමින් නව ආන්ඩුව මත භාරතීය ජනතා පක්ෂය ආධිපත්‍යය දැරීය. එහෙත් න්‍යෂ්ටික අත්හදා බැලීම් දක්වාම, ආන්ඩුවේ න්‍යාය පත්‍රය ප්‍රසිද්ධියේ සකස් කර තිබුනේ භාරතීය ජනතා පක්ෂයේ ප්‍රාදේශීය සහචරයින් විසිනි. ඔවුන් සභාගයට ඇති සහය ඉල්ලා අස්කර ගන්නා බවට තර්ජනය කරමින් භාරතීය ජනතා පක්ෂයෙන් නැවත නැවතත් සහන ලබාගෙන තිබුණි.

අත්හදා බැලීමෙන් පසු පකිස්තාන රජය තම න්‍යෂ්ටික උපකරණය ළඟදීම අත්හදා බලන බවට සංඥා කළේය. පකිස්ථාන විදේශ ඇමති ගොහාර්ඩ් අයූබ් මැයි 14 ප්‍රකාශ කලේ, “න්‍යෂ්ටික අත්හදා බැලීමකින් තොරව අප දැඩි දුෂ්කරතාවයකට පත් වනු ඇත. අපගේ ප්‍රතිපත්තිය වූයේ ඉන්දියාව සමඟ බල තුලනයක් ඇති කර ගැනීමයි.”

ඉන්දීය ආරක්‍ෂක අමාත්‍ය ජෝර්ජ් ෆර්නැන්ඩස් විසින් ඉන්දීය ආරක්‍ෂාවට දැඩි තර්ජනයක් ලෙස ආසන්න කාලයේ සඳහන් කර තිබූ චීනය, ඉන්දීය පරීක්‍ෂණවලට කෝපයෙන් ප්‍රතිචාර දැක්වීය. න්‍යෂ්ටික හැකියාව අත්හැරීමට ඉන්දියාවට බලපෑම් කරන ලෙස චීන විදේශ අමාත්‍ය ටැං ජියාක්සුආන් සියලු රජයන්ගෙන් ඉල්ලා සිටියේය.

ඉන්දියානු න්‍යෂ්ටික අත්හදා බැලීම් මගින් තමන් සම්පූර්ණයෙන්ම නොදැනුවත්ව හසු වූ බව එක්සත් ජනපද ආන්ඩුව පිළිගත් අතර, මෙකී ප්‍රමාද දෝෂය එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්ති විශ්ලේෂකයන් විසින් දශකයේ “නරකම බුද්ධිමය දෝෂය” ලෙස විස්තර කරන ලදී. 1994 නීතියක් වන , න්‍යෂ්ටික ව්‍යාප්තිය වැලැක්වීමේ පනතට අනුව, නොවැලැක්විය හැකි ලෙස, වොෂින්ටනය ඉන්දියාවට එරෙහිව පුලුල් සම්බාධක පැනවීමට නියමිතව තිබුණි. එහෙත් ඉන්දියාව සමග නව “මූලෝපායික හවුල්කාරිත්වයක්” සොයමින් සිටි ක්ලින්ටන් පරිපාලනය මුලදී ඇඟවුම් කළේ න්‍යෂ්ටික අත්හදා බැලීම් තහනම් කරන ජාත්‍යන්තර ගිවිසුමක් අත්සන් කිරීමට වහාම එකඟ වුවහොත් ඉන්දියාවට සම්බාධකවලින් ගැලවිය හැකි බවයි. ඊට දිල්ලියේ ප්‍රතිචාරය වූයේ තවත් න්‍යෂ්ටික උපකරණ දෙකක් පුපුරුවා හැරීමයි.

මේ තාක් කලක් තුල කෙදිනක හෝ යුද්ධයක දී න්‍යෂ්ටික අවි භාවිතා කර ඇති එකම බලවතා වන එක්සත් ජනපදය – න්‍යෂ්ටික ව්‍යාප්තිය සම්බන්ධයෙන් කුහක ආස්ථානයක් දැරීය. වොෂින්ටනයේ අරමුන වූයේ න්‍යෂ්ටික අවි තුරන් කිරීම නොව, එක්සත් ජනපදයට මෙතෙක් ලෝකයේ විශාලතම හා මාරාන්තික අවි ගබඩාව දරන්නා ලෙස තිබූ තත්ත්වය පවත්වා ගැනීමයි. ඊට ඉහත දශක දෙක පුරා එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ නියතයක් වූයේ එක්සත් ජනපද බලය ලෝක තලය මත ප්‍රක්ෂේපණය කිරීමට සහ ඇමරිකාවේ දේශපාලන හා ආර්ථික ආධිපත්‍යය අහිමි වීම සඳහා වන්දි ගෙවීමට එක්සත් ජනපද හමුදාව යොදා ගැනීමයි. 

වසර 50 කට පෙර: හිටපු එක්සත් ජනපද නීතිපති ජෝන් එන්. මිචෙල් අධිචෝදනා ලබයි. 

1973 මැයි 10 දින, අපරාධ මූල්‍යකරු සහ නික්සන් ආධාරකරු රොබට් එල්. වෙස්කෝ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළ කුමන්ත්‍රණ චෝදනා මත නික්සන්ගේ හිටපු කැබිනට් සාමාජිකයින් දෙදෙනෙකුට ෆෙඩරල් මහා ජූරි සභාවක් විසින් අධිචෝදනා ගොනු කරන ලදී. හිටපු නීතිපති ජෝන් එන්. මිචෙල් සහ හිටපු වාණිජ ලේකම් මොරිස් එච්. ස්ටැන්ස් විසින් ජනාධිපති නික්සන්ගේ නැවත තේරී පත්වීමේ ව්‍යාපාරයට වෙස්කෝ ලබා දී තිබූ ඩොලර් 200,000 ක නීති විරෝධී පරිත්‍යාගයක් පිළිබඳ විමර්ශනයට බාධා කරන ලද බවට චෝදනා එල්ල විය.

චෝදනා ප්‍රකාශයට පත් කරමින් එක්සත් ජනපද නීතීඥ විට්නි නෝර්ත් සේමූර් ජූනියර් පැවසුවේ, වෙස්කෝගේ ක්‍රියාකාරකම් පිළිබඳව කොමිසමේ විමර්ශනය සහ සාමාන්‍ය ගිණුම්කරණ කාර්යාලය යන දෙකට ම වංචා කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාට චෝදනා එල්ල වන බවයි. “යුක්තිය ගැන සැලකිලිමත් වන අපට මෙය බැරෑරුම් ලෙස කණගාටුදායක දිනයක්” යැයි නීතීඥවරයා වැඩිදුරටත් පැවසීය.

Image
ජායාරූපය: ජෝන් මිචෙල්

1970 දී, අන්‍යෝන්‍ය අරමුදල් ආයෝජන සමාගමක් වන Investors Overseas Service (IOS) පවරා ගැනීමට වෙස්කෝ මෙහෙයුම් ආරම්භ කළේය. මෙම සමාගම එක්සත් ජනපදයේ සහ යුරෝපයේ සුපිරි ධනවත් ප්‍රභූ සාමාජිකයන්ගෙන් මුදල් රඳවාගෙන ආයෝජනය කළේය.

සමාගමේ ප්‍රධානියා වූ පසු වෙස්කෝ IOS වෙතින් මුදල් වංචා කිරීමට පටන් ගත්තේය. අවම වශයෙන් ඩොලර් මිලියන 200ක් වූ එම මුදල් කොස්ටාරිකාවේ ඔහුගේ පුද්ගලික ගිණුම්වලට බැර වුනි. 1973 දී කොස්ටාරිකාවට පලා ගිය ඔහු එහි දේශපාලනඥයන්ට ඩොලර් මිලියන 2කට වඩා අල්ලස් දී නීති සම්මත කරවා ගනිමින් එක්සත් ජනපදයට පිටුවහල් කිරීම වලක්වා ගැනීමට ක්‍රියා කළේය.

එහෙත් එක්සත් ජනපදයෙන් පිටව යාමට පෙර, 1972 දී, බලයේ සිටින ජනාධිපති නැවත පත් කර ගැනීම සඳහා වූ කමිටුවට වෙස්කෝ ඩොලර් 200,000 රහසිගතව යවා ඇත. වෙස්කෝගේ  ආයතනයේ සේවය කළ ජනාධිපති නික්සන්ගේ බෑණනුවන් වන ඩොනල්ඩ් නික්සන් හරහා ඔහු තවත් දායකත්වයක් ලබා දුන්නේය. දෙවන ගෙවීම සිදු කරනු ලැබුවේ නීතිපතිවරයා ලෙස මිචෙල් තමන්ට එරෙහි වංචා විමර්ශනයට මැදිහත් වන බවට ඇති පැහැදිලි අවබෝධයත් සහිතවය.

අධිචෝදනා පත්‍රය නික්සන් පාලනාධිකාරය සොලවා ලමින් වර්ධනය වූ අර්බුදය තව දුරටත් පුලුල් වීමක් විය. වෝටර්ගේට් කඩාවැටීමට සෘජුවම සම්බන්ධ නොවූවත්, මෙම අල්ලස් සම්බන්ධ අවමානය, ජනාධිපතිවරයා නැවත තෝරා පත්කර ගැනීම සඳහා පවත්වා ගෙන ගිය ප්‍රචාරක සංවිධානය වූ ජනාධිපතිවරයා නැවත තෝරා පත්කර ගැනීමේ කමිටුව නීතිවිරෝධී ක්‍රියාකාරකම් රාශියකට සම්බන්ධ බව ඔප්පු කරන තවත් සාක්ෂියක් විය.

මිචෙල් සහ ස්ටැන්ස් වෙස්කෝ නඩුවේ දී තමන් චෝදනා ලද සෑම වරදක්ම දිගටම ප්‍රතික්ෂේප කලෝය. 1974 දී දෙදෙනාටම එරෙහි චෝදනා අවසානයේ ඉවත් කර ගන්නා ලදී. එහෙත් බලයේ සිටින ජනාධිපතිවරයාගේ හිටපු නීතිපතිවරයෙකුට එල්ල වූ අධිචෝදනා පත්‍රය, අපවාදයන් තම නිලයට අභියෝගයක් නොවන මට්ටමේ පවත්වා ගැනීමට තවමත් අපේක්ෂා කරමින් සිටි නික්සන්ට විඳින්නට වූ දැවැන්ත පසුබෑමක් බව ඔප්පු විය.

ඉදිරියේ දී එළැඹී මැයි මාසයේදී වෝටර්ගේට් පිළිබඳ එක්සත් ජනපද සෙනෙට් අනුකමිටු විමර්ශනය සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සජීවී විකාශන සමඟ නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිත විය. ජූලි මාසයේදී මිචෙල් එම කමිටුව ඉදිරියට කැඳවනු ලැබූ  අතර එහිදී ඔහු ද කුමන්ත්‍රණය පිළිබඳ කිසිදු දැනුවත්කමක් තිබූ බව ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කළේය. 1975 දී කුමන්ත්‍රණය කිරීම සහ වෝටර්ගේට් අනවසර ප්‍රවිෂ්ඨය සම්බන්ධයෙන් යුක්තිය ඉටුවීමට බාධා කිරීම යන චෝදනාවලට ඔහු වරදකරු විය. මුලදී වසර අටක් දක්වා ඊට සිරදඬුවම් නියම වූ අතර, ඔහු විසින් සිරදඬුවම් විඳිනු ලැබුවේ මාස 19 ක් පමණි.

වසර 75 කට පෙර: සියොන්වාදී නායකයෝ පලස්තීනයේ ඊශ්‍රායල රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරති

1948 මැයි 14 වන දින ඩේවිඩ් බෙන්-ගුරියන් විසින් නායකත්වය දෙනු ලැබූ සියොන්වාදී නායකයෝ ඊශ්‍රායල නිදහස ප්‍රකාශයට පත් කරමින්, සමීපස්ථව පැවැති එම වසර අවසානයේ බ්‍රිතාන්‍යය පලස්තීනයේ යටත් විජිත පාලනයෙන් ඉවත් කර ගැනීම අතරතුර යුදෙව් රාජ්‍යයක් පිහිටුවනු ඇති බව නිවේදනය කලෝය.

අරාබි මුස්ලිම්වරුන්ගේ, ක්‍රිස්තියානීන්ගේ සහ පලස්තීනයේ අනෙකුත් වැසියන්ගේ අයිතීන්ට ගරු කිරීම පිළිබඳ යන්තමින් කල සඳහනක් මෙම ප්‍රකාශනයේ ඇතුලත් වී තිබූ අතර ම, එම රාජ්‍යය ජාතිකවාදයේ අන්ත දක්ෂිනාංශික ස්වරූපයක් වන යුදෙව් ආගම සහ වාර්ගිකත්වය මත පදනම් වන බව එහි පැහැදිලිව කියැවින. මෙය, වාර්ගික-ආගමික පදනම් මත පලස්තීනය බෙදීම අනුමත කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඊට ඉහත වසරේ අගභාගයේ දී සම්මත කර තිබූ යෝජනාවකට අනුකූල විය.

Image
ජායාරූපය : බෙන්-ගුරියන් ඊශ්‍රායල රාජ්‍යය ප්‍රකාශ යට පත්කරයි.

එක්සත් ජනපදයේ ජනාධිපති හැරී ටෲමන්ගේ ඩිමොක්‍රටික් පාලනය විසින් මෙම ප්‍රකාශය වහාම සාදරයෙන් පිළිගනු ලැබීය. ටෲමන් එක්සත් ජාතීන්ගේ සහ අනෙකුත් ජාත්‍යන්තර සංසදවලදී ඊශ්‍රායල රාජ්‍යයක් සඳහා වූ තල්ලුවට නායකත්වය දුන්නේ, එය මැද පෙරදිග පුරා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ විභව වෙරළ තීරයක් ලෙස සලකමිනි.

ඊශ්‍රායල ප්‍රකාශයෙන් මිනිත්තු 11කට පසු ට්‍රෲමන් ප්‍රකාශයක් නිකුත් කළේය: “පලස්තීනයේ යුදෙව් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කර ඇති බව මෙම ආන්ඩුවට දන්වා ඇති අතර, එහි තාවකාලික ආන්ඩුව තමන් පිළිගන්නා ලෙස ඉල්ලා ඇත. නව ඊශ්‍රායල රාජ්‍යයේ තථ්‍ය අධිකාරිය ලෙස එක්සත් ජනපදය තාවකාලික රජය පිළිගනී.”

නිවේදනයට පෙර සියොන්වාදී නායකයින් අතර පැවති විවාදයකින් ප්‍රකාශයේ ඇඟවුම් පැහැදිලි විය. සමහර අය අමතර ඈඳීම්වලින් තොරව එක්සත් ජාතීන්ගේ යෝජිත බෙදීම පිළිගැනීමට ඉල්ලා සිටියහ.

නමුත් බෙන්-ගුරියන් සහ අනෙකුත් අය මෙම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබිණ. අනාගත ඊශ්‍රායල අගමැති සාකච්ඡාව අතරතුර මෙසේ ප්‍රකාශ කළේය: “අප එක්සත් ජාතීන්ගේ යෝජනාව පිළිගත් නමුත් අරාබිවරුන් එසේ කළේ නැත. ඔවුහු අපට එරෙහිව යුද්ධ කිරීමට සූදානම් වෙමින් සිටිති. අප ඔවුන් පරාජය කර ජෙරුසලමට යන මාර්ගයේ දෙපස ම ඇති ප්‍රදේශ හෝ බටහිර ගලීලය අල්ලා ගත්තොත්, මෙම ප්‍රදේශ රාජ්‍යයේ කොටසක් වනු ඇත.”

ප්‍රකාශනයට පෙර මාසවලදී, ඉර්ගුන් (Irgun) වැනි අන්ත දක්ෂිනාංශික සියොන්වාදී පැරාමිලිටරි හමුදා, වඩා පුලුල්  හගානා (Haganah) සංවිධානය සමග එක්ව වාර්ගික පවිත්‍ර කිරීමේ වැඩසටහනක් මෙහෙයවීමට වග බලා ගෙන තිබුණි. අරාබි කැරලිකරුවන්ට එරෙහිව සටන් කිරීමේ ආවරණය යටතේ, දැඩි ලෙස සන්නද්ධ වූ සියොන්වාදී හමුදා නැවත නැවතත් ගම්මානවලට ඇතුළු වී සමූහ ඝාතනයන් සහ සංහාරයන් හරහා සියලුම හෝ බොහෝ අරාබි වැසියන් ඒවායින් ඉවත් කර තිබුණි. එහි ප්‍රත්‍යක්ෂ අරමුන වූයේ බෙදීමට පෙර හැකි තරම් ප්‍රධාන නගර සහ නගරවල යුදෙව් බහුතරය සහ සියොන්වාදී පාලනය තහවුරු කිරීමයි.

ඊශ්‍රායල ප්‍රකාශය සහ එක්සත් ජනපදය හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන් විසින් එය ක්ෂනිකව අනුමත කරනු ලැබීම, පලස්තීන ජනතාවට එරෙහි මෙම යුද්ධය, නව ඊශ්‍රායල රාජ්‍යය සහ කලාපීය අරාබි බලවතුන් අතර ගැටුමක් බවට පරිවර්තනය කිරීමේ වේදිකාව සැකසීය.

වසර 100 කට පෙර: සෝවියට් රාජ්‍ය තාන්ත්‍රිකයා ස්විට්සර්ලන්තයේදී ඝාතනය කෙරේ 

1923 මැයි 10 වන දින,ස්විට්සර්ලන්තයේ ලෝසාන් හි සිසිල් හෝටලයේ අවන්හලේදී ස්විට්සර්ලන්ත-රුසියානු හිටපු සාර්වාදී සහ ධවල ආරක්ෂක නිලධාරියෙකු වූ මොරිස් කොන්රාඩි විසින් ඉතාලියේ සෝවියට් නියෝජිත වට්ස්ලාව් වොරොව්ස්කි  ඝාතනය කරන ලදී.

වොරොව්ස්කි සහ සෝවියට් නියෝජිත කණ්ඩායමේ තවත් සාමාජිකයින් දෙදෙනෙකු වන අයිවන් ඒරියන්ස් සහ මැක්සිම් ඩිවිල්කොව්ස්කි, ලෝසාන් සමුළුවේ නිරීක්ෂකයන් වූ අතර, එම සමුළුව තැත් කරමින් සිටියේ, අධිරාජ්‍යවාදී බලවතුන් සහ කෙමාල් අටටුර්ක්ගේ තුර්කි ජාතිකවාදී තන්ත්‍රය අතර සමථයක් ඇති කිරීමට ය.

Image
ජායාරූපය: වට්ස්ලාව් වොරොව්ස්කි.

කොන්රාඩි සහ ඔහුගේ සහචරයෙක් තිදෙනා රාත්‍රී ආහාරය ගනිමින් සිටි මේසය අසලට පැමිණ, පිස්තෝලයකින් වෙඩි තබා වොරොව්ස්කිව එතැනම මරා දමා ඒරියන්ස් සහ ඩිවිල්කොව්ස්කිට තුවාල සිදු කලෝය.

මැයි 20 වන දින මොස්කව්හි වොරොව්ස්කිගේ අවමංගල්‍යයට ශෝකවන්නන් 250,000 කට වැඩි පිරිසක් සහභාගී වූහ.

වොරොව්ස්කි යනු 1894 දී රුසියානු සමාජවාදී ව්‍යාපාරයට සම්බන්ධ වූ පැරණි බොල්ෂෙවික්වාදියෙකි. ඔහු 1897 දී සාර්වාදී රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඔර්ලොව් හි සිරගත කරන ලදී. 1902 දී ඔහු නිදහස් වූ පසු, ඔහු බටහිර යුරෝපයට සංක්‍රමණය වූ අතර එහිදී ඔහු සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී පුවත්පතක් වන ඉස්ක්‍රා බෙදා හැරීමට සහාය විය. 1903 දී ඔහු ලෙනින්ගේ නායකත්වයෙන් යුත් රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ බොල්ෂෙවික් කන්ඩායමට සහාය දුන්නේය.

1905 පළමු රුසියානු විප්ලවයට සහභාගී වූ ඔහු, එහි පරාජයෙන් පසු, 1907 සිට 1912 දක්වා රහසිගත වැඩවල නිරත වූ අතර, ඔහු නැවත අත්අඩංගුවට ගෙන වොලොග්ඩා පළාතට පිටුවහල් කරන ලදී. ඔහු 1917 රුසියානු විප්ලවයේ දී ප්‍රමුඛ පක්ෂ සාමාජිකයෙකු ලෙස ඊට සහභාගී වූ අතර, 1919 කොමියුනිස්ට් ජාත්‍යන්තරය පිහිටුවීමේ දී සහභාගී වූ රුසියානු නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙකු ද විය.  පසුව කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ විධායක කමිටුවේ සාමාජිකයෙකු බවට පත් වූ ඔහු, ස්වීඩනය සහ පෝලන්තය සමඟ සාකච්ඡා වලදී සෝවියට් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස සේවය කළේය.

කොන්රාඩිගේ මිනීමැරුම් නඩු විභාගය “කොන්රාඩි පලහිලව්ව” ලෙස  ලොව පුරා ප්‍රසිද්ධියට පත් විය. තතු වූ පරිද්දෙන් ගත් කල එය සෝවියට් සමූහාණ්ඩුවට එරෙහි විභාගයක් වූ අතර, එය කොමියුනිස්ට් විරෝධී සාවද්‍ය නිරූපණයට සහ අපවාදයට ලක් විය. කොන්රාඩි නිදොස් කොට නිදහස් කරන ලදී.

This week in history: May 8-14| ඉතිහාසයේ මෙම සතිය: මැයි 8-14 Read More »

ඉතිහාසයේ මෙම සතිය: මැයි 1-7

This week in history: May 1-7 | ඉතිහාසයේ මෙම සතිය: මැයි 1-7

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අප්‍රේල් 30 දින ඉංග්‍රීසියෙන් පලවූ This Week in History යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි.  පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි

වසර 25 කට පෙර: Chrysler සහ Daimler-Benz ඒකාබද්ධ වීම.

1998 මැයි 7 දින, ජර්මනියේ ඩේම්ලර්-බෙන්ස් AG (Daimler-Benz AG ) සහ එක්සත් ජනපදයේ ක්‍රයිස්ලර් කෝපරේෂන් (Chrysler Corporation ) ඒකාබද්ධ වීමෙන් ඩේම්ලර් ක්‍රයිස්ලර් AG ( DaimlerChrysler AG ) පිහිටුවීම සඳහා  කොන්ත්‍රාත්තුවක් අත්සන් කරන ලදී.

ඩොලර් බිලියන 38 ක කොටස් ගනුදෙනුවකින් ඩේම්ලර්-බෙන්ස්  විසින් ක්‍රයිස්ලර් කෝපරේෂන් පවරා ගනු ලැබීම ලෝක ආර්ථිකය ගෝලීයකරනයවීමේ  බලගතු නිරූපනයක් විය. ජර්මනියේ සහ සමස්තයක් ලෙස යුරෝපයේ විශාලතම කාර්මික සමාගම, විශාලතම ඇමරිකානු සංගත වලින් එකක් අත්පත් කර ගත් අතර, ඉන් 410,000 ක ශ්‍රම බලකායක් සහ ඩොලර් බිලියන 130 කට වැඩි වාර්ෂික නිෂ්පාදනයක් සහිත ජාත්‍යන්තර යෝධයෙකු නිර්මානය කෙරින. 

මෙම සංයෝජනය ඉතිහාසයේ විශාලතම කාර්මික ඒකාබද්ධ කිරීම වූ අතර, එය මේ තාක් විදේශීය ව්‍යාපාරයක් මගින් ඇමරිකානු සමාගමක් අත්පත් කරගත් විශාලතම කොටස් ගනුදෙනුව විය. ඒකාබද්ධ වීමෙන් බිහි වූ සමාගම, නිෂ්පාදනය කරන ලද වාහන සංඛ්‍යාව අනුව ශ්‍රේණිගත කිරීමේදි, ජීඑම්, ෆෝර්ඩ්, ටොයෝටා , වොක්ස්වැගන් වලට පසුව පස්වන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා විය.

Image
ෆියට් ක්‍රයිස්ලර් සමාගමේ වොරන් ස්ටැම්පින් කම්හලෙන් මෝටර් රථ සේවකයෝ තම සේවා මුරය නිම කර පිටත්ව යති.  [ඡායාරූපය: WSWS]

කුඩා හෝ අසාර්ථක සමාගම් වඩාත් බලවත් ප්‍රතිවාදීන් විසින් ගිල දමනු ලැබීම හා බැඳුනු පූර්ව මෝටර් රථ කර්මාන්ත ඒකාබද්ධ කිරීම් මෙන් නොව, ඩේම්ලර්-ක්‍රයිස්ලර් ගනුදෙනුව සිදු කෙරුනේ 1997 දී ඩොලර් බිලියන 5.7 ක ඒකාබද්ධ ශුද්ධ ඉපැයීම් ලැබූ ඉහළ ලාභදායී සමාගම් දෙකක් සම්බන්ධවීම ලෙස ය. ඩේම්ලර්-බෙන්ස් ඉහත අලාභයන්ගෙන් ගොඩ එමින් 1990 ගණන්වල මුල් භාගයේදී වාර්තාගත ලාභයක් ලබා ගැනීමට සමත් වූ අතර, ක්‍රයිස්ලර් වෙනත් ඕනෑම මෝටර් රථ නිෂ්පාදකයෙකුට වඩා එක වාහනයකින් වඩාත් විශාල ලාභයක් ලබා ගත්තේය.

මෙම සංයෝජනය පිටුපස ඇති ගාමක බලවේගය වූයේ ලෝකයේ සියලුම ප්‍රධාන වෙලඳපොලවල්  සහ විශේෂයෙන් ලෝක ධනවාදයේ ප්‍රධාන මධ්‍යස්ථාන තුන වන උතුරු ඇමරිකාව, යුරෝපය සහ ආසියාව තුළ තරඟ කළ හැකි ගෝලීය වශයෙන් පදනම් වූ විශාල ව්‍යවසායන් නිර්මානය කිරීමේ අවශ්‍යතාවයයි.  ඒකාබද්ධ වීමට පෙර, ක්‍රයිස්ලර් සහ ඩේම්ලර්-බෙන්ස්  අත්‍යාවශ්‍යයෙන්ම කලාපීය නිෂ්පාදකයෝ වූහ – උතුරු ඇමරිකාවේ තුන්වන විශාලතම වෙලඳපොල  පංගුව ක්‍රයිස්ලර් සතු වූ අතර, යුරෝපයේ සුඛෝපභෝගී රථ වෙලඳපොල පාලනය කරන ලද්දේ ඩේම්ලර්-බෙන්ස්  විසිනි.

1980 ගනන්වල සහ 1990 ගනන්වල මුල් භාගයේ සිය මූල්‍ය අර්බුද වලදී එහි යුරෝපීය සහ ලතින් ඇමරිකානු මෙහෙයුම් විකිනීමට ක්‍රයිස්ලර් සමාගමට බල කෙරුනි.  ඓතිහාසික ඒකාබද්ධ වීමට පෙර මාසයේ දී, ක්‍රයිස්ලර් සමාගම, එහි දේශීය වෙලඳපොලේ විකුණන ලද වාහන 250,000 කට ආසන්න ප්‍රමාණයකට සාපේක්ෂව, එය උතුරු ඇමරිකාවෙන් පිටත වාහන අලෙවි කලේ 17,713 ක් පමනෙකි. ඩේම්ලර්-බෙන්ස් යුරෝපයෙන් පිටත සිය පළමු කම්හල විවෘත කලේ පෙර වසරේ ඇලබාමා හි ටස්කලෝසා හි කම්හලක මර්සිඩීස් -බෙන්ස් රථ වල ක්‍රීඩා උපයෝගිතා අනුවාදයක් එකලස් කිරීම ආරම්භ කල කල්හි පමනෙකි.

ඒකාබද්ධ වීමට ආසන්න කාලයේ මූල්‍ය විචාරකයන් සහ මෝටර් රථ කර්මාන්ත විශ්ලේෂකයන් අනාවැකි පල කලේ, ජීඑම්, ෆෝර්ඩ්, ටොයෝටා, හොන්ඩා සහ නව ඩේම්ලර්-ක්‍රයිස්ලර් සමඟ තරඟ කිරීම සඳහා ඉතිරි කලාපීය මෝටර් රථ නිෂ්පාදකයින්ට ගෝලීය පරිමාන සමාගම්වලට ඒකාබද්ධ වීමට බල කෙරෙනු ඇති බවයි.  ඔවුන්ට ජාතික වෙලඳපොලකට අලෙවි කරමින් ජාතික වශයෙන් සීමා වූ නිෂ්පාදකයන් ලෙස සිටිය නොහැකි ව තිබින. එක් විශ්ලේෂකයෙක් ලන්ඩන් ටයිම්ස් පුවත්පතට පැවසූ පරිදි, “රටේ ධජ පහත වැටී ඇති අතර ලාභදායීතාවයේ ධජය ඉහල ගොස් ඇත.”

වසර 50 කට පෙර: ලෙබනන් හමුදාව පලස්තීන සරණාගත කඳවුරුවලට ෂෙල් වෙඩි එල්ල කරයි.

1973 මැයි 3 වෙනිදා ලෙබනන් හමුදාව බේරූට්හි විශාල පලස්තීන සරනාගත කඳවුරු තුල සිය මූලස්ථානය ස්ථාපනය කර ගත් පලස්තීන විමුක්ති සංවිධානය (PLO) සහ අනෙකුත් පලස්තීන මිලීෂියාවන්ට එරෙහිව ප්‍රහාරාත්මක මිලිටරි මෙහෙයුමක් ආරම්භ කළේය.  එදින සවස සටන් විරාමයක් කැඳවන තෙක් හමුදාව සහ පලස්තීන හමුදා අතර සටන් දවස පුරා පැවතුනි.

පලස්තීන පුවත්පත් ඒජන්සියේ වාර්තාවන් විසින් වාර්තා කරන ලද්දේ , ලෙබනන් යුද ටැංකි වලින් ෂැටිලා සරණාගත කඳවුරට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම ඇතුළු සටන් වලින් 19 දෙනෙකු මිය ගොස් 89 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.  ලෙබනන් රජය වාර්තා කළේ සොල්දාදුවන් 12 දෙනෙකු මිය ගොස් 40 දෙනෙකු තුවාල ලැබූ බවයි.

1970 සැප්තැම්බරයේදී ජෝර්දානයෙන් පලස්තීනුවන් සමූහ වශයෙන් පලවා හැරීමෙන් පසුව බේරූට්හි විශාල කඳවුරු පිහිටුවන ලදී. “කළු සැප්තැම්බර්” අතරතුර, ජෝර්දාන හමුදාව සහ PLO අතර පූර්ණ-පරිමාණ සටන් ආරම්භ විය.

එම ගැටුම අවසන් වූයේ PLO හි සම්පූර්න පරාජයකිනි.  1967 සය දින යුද්ධයේදී, ඊශ්‍රායල ආක්‍රමනයෙන් පසු මුලින්ම ඔවුන්ගේ නිවෙස්වලින් අවතැන් වූ පලස්තීන සරනාගතයින් බලහත්කාරයෙන් ඉවත් කිරීමට ජෝර්දානය වහාම ක්‍රියාත්මක විය.

මුලදී, ලෙබනන් රජය සරනාගතයින් පිලිගැනීමට එකඟ වූ අතර පිටුවහල්ව සිටි තථ්‍ය පලස්තීන රජය වන PLOවට එහි දේශසීමා තුළ ක්‍රියාත්මක වීමට ඉඩ දුන්නේය.  කෙසේ වෙතත්, 1972 සැප්තැම්බර් මාසයේ මියුනිච් ඔලිම්පික් උළෙලේදී ඊශ්‍රායල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමූල ඝාතනය කිරීම ඇතුලු ඉහල පෙලේ ත්‍රස්තවාදී ප්‍රහාර කිහිපයකින් පසුව, පලස්තීන ගරිල්ලා සටන්කරුවන් මර්දනය කිරීමට ඊශ්‍රායලය සහ එක්සත් ජනපදයෙන් එල්ල වූ බලපෑම්වලට ලෙබනනය නතු විය.

මියුනිච් ඝාතනවලට පලිගැනීමක් වශයෙන් 1973 අප්‍රේල් 9 වැනිදා ඊශ්‍රායල විශේෂ බලකාය ලෙබනනයට ගොඩ බැස PLO නායකයන් කිහිප දෙනෙකු ඝාතනය කළේය.  ඊට ප්‍රතිචාර වශයෙන් PLO හි ප්‍රධානී යසර් අරෆත් ඊශ්‍රායලයට එරෙහිව තවත් ප්‍රහාර සඳහා සූදානම් වීමට නියෝග කළේය.

PLO සටන්කාමීත්වය පූර්න පරිමානයේ ඊශ්‍රායල ආක්‍රමනයකට තුඩු දෙනු ඇතැයි යන බියෙන් ලෙබනන් ආන්ඩුව සන්නද්ධ පලස්තීන හමුදා සෘජුවම මර්දනය කිරීමට උත්සාහ කලේය.  එහෙත් PLO මර්දනය කිරීම, ආගමික හා වාර්ගික රේඛා ඔස්සේ බෙදී ගිය විවිධ කන්ඩායම් අතර බලය අවිනිශ්චිත ලෙස තුලනය කල ලෙබනන් ආන්ඩුව තුලම දේශපාලන අර්බුදය තීව්‍ර කළේය.

පලස්තීන ප්‍රශ්නය මෙම අර්බුදයට ඉමහත් ලෙස ඉන්ධන එක් කළේය.  මැරොනයිට් ක්‍රිස්තියානි කන්ඩායම් PLOවට විරුද්ධ වූ අතර ඊශ්‍රායලය සමඟ සබඳතා සාමාන්‍යකරනය කිරීමට සහාය දුන්නේය.  අනෙක් අතට මුස්ලිම් කන්ඩායම් පොදුවේ පලස්තීනුවන්ට සහාය දුන්හ.

1973 මැයි මාසයේ බේරූට් හි සටන් මෙම කන්ඩායම් අතර දෙවසරකට පසු ඇවිලීමට නියමිත වූ සිවිල් යුද්ධයේ පූර්වගාමියා විය.  මැරොනයිට් මිලීෂියාවන්ට ආයුධ සහ මිලිටරි පුහුනුව ලබා දීමෙන් සිවිල් යුද්ධය උසිගැන්වීමේ දී ඊශ්‍රායල ආන්ඩුව එහි ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට නියමිතව සිටියේය.

වසර 75 කට පෙර: උතුරු කොරියාවේ ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාන්ඩුව ප්‍රකාශයට පත් කරන ලදී

1948 මැයි 1 දින, උතුරු කොරියාවේ කම්කරු පක්ෂය ලෙස හැඳින්වූ ස්ටැලින්වාදී පක්ෂයට සම්බන්ධ බලවේග, කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාන්ඩුව (DPRK) ප්‍රකාශයට පත් කළේය. ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ සෝවියට් සංගමය අතර වර්ධනය වෙමින් පවතින සීතල යුද්ධ ගැටුම මධ්‍යයේ මෙම ක්‍රියාව සිදු විය. සෝවියට් හමුදා උතුරේ සිටි අතර දකුනේ ආධිපත්‍යය දැරුවේ එක්සත් ජනපද හමුදාව ය. 

1910 සිට 1945 දක්වා කොරියාව සමස්තයක් ලෙස පැවතුනේ ජපන් ආක්‍රමනය යටතේ ය. දෙවන ලෝක යුද්ධය මධ්‍යයේ මෙම යටත් විජිත පාලනයේ ම්ලේච්ඡත්වය තීව්‍ර විය.  ජනගහනයෙන් බහුතරයක් යැපුම් කෘෂිකර්මාන්තයේ දිගටම වැඩ කළ නමුත්, ගැටුම මධ්‍යයේ, යුද කර්මාන්තයේ වැඩ කලවුන් ද ඇතුලු කාර්මික කම්කරු පන්තියක් ද මතු විය.

Image
කොරියාවේ ස්ටැලින්වාදී නායකයන් විසින් සෝවියට් හමුදාපතිවරු ප්යොංයැං වෙත සාදරයෙන් පිලි ගැනෙති [ඡායාරූපය: කොරියානු මහජන සඟරාව]

1945 ජපානය පරාජය වීමත් සමඟ අවිනිශ්චිත තත්වයක් වර්ධනය විය. ජපන් අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් කළ පක්ෂවාදී ව්‍යාපාරයක් දේශපාලන ප්‍රකාශනයක් සොයා ගැනීමට පටන් ගත්තේය.  මහජන කමිටු, ජනප්‍රිය ස්වයං පාලනයේ ආයතන ලෙස රට පුරා බිහි විය. සමහරක් ස්ටැලින්වාදීන්ගේ ආධිපත්‍යය දැරූ අතර අනෙක් ඒවා රැඩිකල් කම්කරුවන්ගේ, ගොවීන්ගේ සහ ක්‍රිස්තියානි කන්ඩායම්වල නායකත්වය යටතේ පැවතින.

1945 අගභාගයේදී, සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී නිලධරය නිදහස ලබා දීමට පෙර කොරියාවේ වසර පහක “භාරකාරත්වය” සඳහා එකඟ විය.  සෝවියට් හමුදා රටේ උතුර අල්ලා ගත් අතර එක්සත් ජනපද හමුදාව දකුනට පැමින බෙදීමකට වේදිකාව සැකසීය.

මෙය යුද්ධයේ අවසාන අදියරේ දී සහ එහි අවසානයේ දී අධිරාජ්‍යවාදය සමග නිලධාරි තන්ත‍්‍රය සිදු කල ප‍්‍රතිවිප්ලවවාදී ගනුදෙනුවේ කොටසක් විය.  විශේෂයෙන්ම නැගෙනහිර යුරෝපයේ සහ සෝවියට් සංගමයේ අනෙකුත් දේශසීමා ප්‍රදේශවල බලපෑම් ක්ෂේත්‍රයක් ඇතිකර ගැනීමට හිලව් වශයෙන්, බටහිර යුරෝපය තුල සහ ජාත්‍යන්තරව ධනවාදය යලි ස්ථාවර කිරීමට ස්ටැලින්වාදීහු කැපවී සිටියහ.

සෝවියට් බලපෑම යටතේ පැවති ප්‍රදේශ ද ඇතුලුව ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගෝලීය ආධිපත්‍යය තහවුරු කිරීම අරමුනු කරගනිමින්, එක්සත් ජනපදය සෝවියට් සංගමය සමග ගැටුමක් දියත් කිරීමත් සමග ආතතීන් වර්ධනය විය. 1946 දී උතුරේ අන්තර්වාර රජයක් පිහිටුවීමට ස්ටැලින්වාදීහු උදව් කලහ.  ස්ටැලින්වාදී කම්කරු පක්ෂය වැඩි වැඩියෙන් මහජන කමිටු තුළ සිය ආධිපත්‍යය තහවුරු කර ගත් අතරම එය, ස්ටැලින්වාදී හමුදාවන්ගෙන් සහ ජපන් ජාතිකයින්ට එරෙහිව සටන් කළ හිටපු ගරිල්ලන්ගෙන් සැදුම්ලත් ප්‍රාථමික හමුදාවක් පිහිටුවන ලදී.

1948 මුල් භාගය වන විට සීතල යුද්ධය බොහෝ දුරට උත්සන්න විය. දක්ෂිනාංශික ජාතිකවාදී බලවේගවල ආධිපත්‍යය සුරක්ෂිත කිරීම අරමුනු කරගනිමින් එක්සත් ජනපදය අලුතින් පිහිටුවන ලද එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග එක්ව මැතිවරන සංවිධානය කලේය. කෙසේ වෙතත්, එකී බලවේගවලින් සමහරක් පරාජයට බියෙන් ඡන්දය වර්ජනය කලහ. කොයි ලෙසින් ගනු ලැබූව ද , කොරියාවේ ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාන්ඩුව පිහිටුවීම මඟින් හඟවනු ලැබුනේ වර්ධනය වෙමින් පවතින ගෝලීය ගැටුමට අනුකූලව, උතුරු සහ දකුන අතර භේදයේ ගැඹුරු වීමකි.

වසර 100 කට පෙර: කැනේඩියානු පාර්ලිමේන්තුව චීන බහිෂ්කරන පනත සම්මත කරයි

1923 මැයි 4 වන දින, කැනඩාවේ පාර්ලිමේන්තුව, අගමැති විලියම් ලියොන් මැකෙන්සි කිංගේ ලිබරල් ආන්ඩුව විසින් ලියන ලද නීතියක් සම්මත කලේය. නිල වශයෙන් චීන සංක්‍රමන පනත ලෙස හැඳින්වූ නමුත් එය, වඩාත් හොඳින් හැඳින්විය හැකි ව තිබුනේ චීන බහිෂ්කරන පනත ලෙස ය. එය විවිධ ප්‍රවර්ගවල චීන ජාතිකයන්ට කැනඩාවට ඇතුලුවීමේ දී, දැඩි සීමා පැනවීය. සමහර චීන වෙලෙන්දන්, සිසුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින්ට කැනඩාවේ තාවකාලිකව රැඳී සිටිය හැකි වූ නමුත් බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ඇති ජනවාර්ගික චීන ජාතිකයන් ඇතුලු කිසිදු චීන ජාතිකයෙකුට එහි සංක්‍රමණය විය නොහැකි විය. 

මීට අමතරව, කැනේඩියානු පුරවැසිභාවය ඇති චීන ජාතිකයන් ද ඇතුළු චීන සම්භවයක් ඇති සෑම පුද්ගලයෙකුම, මෙම නීතිය සම්මත කිරීමෙන් පසු මාස 12 ක් ඇතුලත බලධාරීන් වෙත ලියාපදිංචි වී හැඳුනුම්පතක් ලබා ගැනීමට බැඳී සිටියේය.  අවනත නොවූ ඕනෑම අයෙකු සිරගත කිරීමට හෝ ඩොලර් 500 දක්වා දඩයකට මුහුන දීමට නියමිත විය. වසර දෙකකට වැඩි කාලයක් කැනඩාවෙන් පිටව ගිය ඕනෑම චීන ජාතිකයෙකුට නැවත රටට ඇතුලුවීම තහනම් විය.

කැනේඩියානු පැසිෆික් දුම්රිය මාර්ගයේ වැඩ කරන චීන කම්කරුවන් [ඡායාරූපය: පුස්තකාලය සහ ලේඛනාගාරය/Bibliothèque et Archives Canada]

1881 සිට 1885 දක්වා කැනේඩියානු පැසිෆික් දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා බොහෝ චීන කම්කරුවන් කැනඩාවට පැමින ඇත. දුම්රිය මාර්ගය අවසන් වූ පසු, චීන විරෝධී හැඟීම් ඇති වීමට පටන් ගත් අතර චීන කම්කරුවන්ගේ ස්ථිර පදිංචිය අධෛර්යමත් කිරීම සඳහා දේශීය නීති දුසිම් ගනනක් සම්මත කරන ලදී.

1885 දී, පාර්ලිමේන්තුව, ලිබරල්වාදීන් යටතේ ද, සෑම චීන සංක්‍රමනිකයෙකුටම ඩොලර් 50 ක ඇඟ බද්දක් පැනවූ පූර්ව චීන ආගමන පනතක් සම්මත කලේය.  1910 සංක්‍රමණ පනතක් මගින් “කැනඩාවේ දේශගුනයට හෝ අවශ්‍යතාවලට නුසුදුසු යැයි සැලකෙන ඕනෑම ජාතියකට අයත් සංක්‍රමනිකයන්” වාසය කිරීම සීමා කලේය.

චීන බහිෂ්කාර පනත අවලංගු කරන ලද්දේ 1947 ජුනි මාසයේදී පමනි. කැනඩාවේ ජාතිය සහ ආගම සම්බන්ධ සංක්‍රමන සීමා 1967 දක්වා පැවතුනි.

එක්සත් ජනපදය 1882 දී තමන්ගේම චීන බහිෂ්කාර පනතක් සම්මත කර තිබූ අතර, එය වසර 10 කට චීන ජාතිකයින් සංක්‍රමනය වීම තහනම් කලේය.  1902 දී තහනම ස්ථීර කරන ලද අතර, 1943 දී, එක්සත් ජනපදය වසරකට චීන ජාතිකයින් 105 දෙනෙකුට ඇතුලු වීමට අවසර දුන් අවස්ථාවේ එය අවලංගු කරන ලදී.  මෙම කෝටාව 1952 වන තෙක් අහෝසි නොකෙරින.

#theSocialistLK #WSWS

ඉතිහාසයේ මෙම සතිය: මැයි 1-7 Read More »

ඉතිහාසයේ මෙම සතිය: අප්‍රේල් 24-30

This Week in History: April 24-30 | ඉතිහාසයේ මෙම සතිය: අප්‍රේල් 24-30

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අප්‍රේල් 23 දින ඉංග්‍රීසියෙන් පලවූ This Week in History යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි.  පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි

මීට හරියටම වසර 25 කට පෙර, වසර 50 කට පෙර, වසර 75 කට පෙර සහ වසර 100 කට පෙර මෙම සතිය තුළ සිදු වූ වැදගත් ඓතිහාසික සිදුවීම්වල පැතිකඩක් මෙම තීරුවේ දැක්වේ.

වසර 25 කට පෙර: ඉරාකයට එරෙහිව ආර්ථික සම්බාධක පවත්වා ගැනීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඡන්දය දෙයි.

Image

රුසියානු තෙල් නැවක්, Volgoneft-147, ඉරාකය සමඟ වෙළඳාම් කිරීමට උත්සාහ කිරීමේ දී, ඇමරිකානු හමුදා විසින් 2000 පෙබරවාරි 3 වන දින අත්අඩංගුවට ගන්නා ලදී. එක්සත් ජනපදය මෙහෙයවන සම්බාධක උල්ලංඝනය කරමින් කුසගින්නෙන් පෙළෙන රටකට “තහනම් ද්‍රව්‍ය” බෙදා හරිනු ඇතැයි යන සැකය මත භාණ්ඩ ප‍්‍රවාහකයන් නිරන්තරයෙන් අත්අඩංගුවට ගන්නා ලදී.  

1998 අප්‍රේල් 27 වන දින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඉරාකයට එරෙහිව ආර්ථික සම්බාධක පවත්වා ගැනීමට ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කළේය.  එය ඊළඟ මාසවලදී මන්දපෝෂණයට සහ වැළැක්විය හැකි රෝගවලට ගොදුරු වූ දස දහස් ගණන් ඉරාක වැසියන්ට, ඔවුන්ගෙන් බහුතරයක් වන   ළමයින්ට, පැනවූ මරණ දඬුවමක් විය.

ප්‍රංශය, රුසියාව, චීනය සහ තවත් ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයින් කිහිප දෙනෙකු සම්බාධක පිලිබඳව ප්‍රශ්න කළ නමුත්, අවසානයේ වෙලඳාම පිලිබඳ තහනම දිගටම පවත්වා ගත යුතු බවට එක්සත් ජනපදයේ අවධාරනයට හිස නමා, මහා බ්‍රිතාන්‍යය විසින් ස්ථිර කරන ලද මෙම යෝජනාවට පක්ෂ ව ඡන්දය ප්‍රකාශ කරන ලදී. සම්බාධක ඉවත් කිරීමේ ඕනෑම පියවරකට එරෙහිව එක්සත් ජනපද නිෂේධ බලය භාවිතා කරන බව එක්සත් ජනපද තානාපති බිල් රිචඩ්සන් රැස්වීමට පෙර නිවේදනය කළේය.

ඉරාකයට ඇති එකම සහනය වූයේ සමාලෝචන ක්‍රියාපටිපාටිය වේගවත් කිරීම වන අතර, එය කලින් පැවැති පරිදි මාස හයකට වරක් නොව, දින 60කට වරක් සිදු කිරීමට නියමිත විය. එහෙත් නිෂේධ බලය ඇති ස්ථිර සාමාජිකයින් පස් දෙනාගෙන් – චීනය, ප්‍රංශය, රුසියාව, බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය – කිසිවෙකු හෝ  ඉරාකයේ එක්සත් ජාතීන්ගේ අවි පරීක්ෂකවරුන්ගේ මීළඟ පූර්ණ පරිමාන වාර්තාව ඊලග ඔක්තෝම්බර් මස එනතුරු, සම්බාධක වල සැලකිය යුතු වෙනසක් යෝජනා කරනු ඇතැයි අපේක්ෂා නොකෙරිණ 

චීන නියෝජිත ෂෙන් ගුෆෙන්ග් ඇතුළු සමහර ආරක්ෂක කවුන්සිලයේ නියෝජිතයින් ඉරාක මරණ පිළිබඳ ප්‍රශ්නය මතු කිරීමට උත්සාහ කළ විට, එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍යය විසින් ඔවුන්ට තරවටු කරන ලදී. ඇතැම් විට වඩාත්ම නරුම සහ නිර්දය ප්‍රකාශය පැමිණියේ එක්සත් ජාතීන්ගේ බ්‍රිතාන්‍ය තානාපති ශ්‍රීමත් ජෝන් වෙස්ටන් විසින් විය යුතුය; ඔහු “(යෝජනාවලට) ඉරාකයේ අනුකූලත්වය කෙරේ වෙනුවට ඉරාක දුක් වේදනා කෙරේ අවධානය යොමු කිරීමට” එරෙහිව අනතුරු ඇඟවීය.

එක්සත් ජාතීන්ගේ අවි පරීක්ෂාවට ඉරාකය අනුකූල වීම පිළිබඳ සැලකිය යුතු සාක්ෂි ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඡන්දය ප්‍රකාශ විය. න්‍යෂ්ටික අවි සඳහා පරීක්‍ෂණ පැවැත්වූ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) වාර්තා කළේ, පසුගිය මාස හය තුළ ඉරාක පරමාණුක අවි වැඩසටහනක් පිළිබඳ කිසිදු සාක්ෂියක් තමන්ට හමු නොවූ බවයි.

මානුෂික වශයෙන්  අතිරේක මාස හයක කාලයක් සම්බාධක පැනවීමේ මිල සැලකිය යුතු එකක් විය. එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛනවලට අනුව, සම්බාධක පැනවීමට පෙර අවසන් වසර වන 1989 දී ඉරාක ළමුන් අතර මරණ අනුපාතය වූ වසරකට 7,000 සිට 1996 දී එය 57,000 දක්වා ඉහළ ගියේය. 

ඉරාකයේ මෙම අතිවිශාල මරණ සංඛ්‍යාව ආහාර, ඖෂධ, වෛද්‍ය උපකරණ සහ ආරක්ෂිත පානීය ජල හිඟයේ ප්‍රතිඵලයක් වන අතර, එය පාචනය, කොලරාව, මැලේරියාව, ටයිපොයිඩ් උණ සහ ඇප්ලාස්ටික් රක්තහීනතාවය ඇතුළුව පවතින වසංගතවලට දායක විය. 1980 ගණන්වල ඉතියෝපියාව වැනි දරුණුතම සාගත ව්‍යසනයන්ගෙන් පිටත කලාතුරකින් දක්නට ලැබෙන ක්වාෂියෝර්කෝර් සහ මාරස්මස් වැනි දරුණු ආහාර ඌනතා රෝග එහි නිතර සටහන් විය.

මීට අමතරව, මධ්‍යස්ථ දියුණු සමාජවල  දරුවන්ට කලාතුරකින් පමණක් මාරාන්තික වූ ඇදුම සහ දියවැඩියාව වැනි තත්වයන් පවා ඉරාකය තුල දී  ගනන් මිනුම් නැති ප්‍රමානයේ මරණ සංඛ්‍යාවක් සිදු කල අතර, ස්ටෙරොයිඩ් ආශ්වාසක (ඉන්හේලර්), ඉන්සියුලින් සහ අනෙකුත් සාමාන්‍ය වෛද්‍ය සැපයුම් නොමැතිකම නිසා ඉරාකයේ බොහෝ දෙනෙක් මිය ගියහ.වසර 50 කට පෙර: නිව් යෝර්ක් නගරයේ පොලිසිය 10 හැවිරිදි පිරිමි ළමයෙකු ඝාතනය කරයි

Image
ක්ලිෆර්ඩ් ග්ලෝවර්

1973 අප්‍රේල් 28 වන දින නිව් යෝර්ක් නගරයේ ක්වීන්ස් හි පොලිසිය පලා යාමට උත්සාහ කළ 10 හැවිරිදි පිරිමි ළමයෙකුට වෙඩි තබා මරා දැමීය.  ඉනික්බිතිව එලඹි දිනවල අසල්වැසි දකුණු ජැමෙයිකාවේ අසල ප්‍රදේශයේ මෙම ඝාතනයට විරෝධය පළ කරමින් කැරලි ඇති වනු දැක ගත හැකි විය.

සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඔවුන්ගේ පිස්තෝල ඇද, ඇවිදිමින් සිටි ක්ලිෆර්ඩ් ග්ලෝවර් නම් පිරිමි මෙම ළමයාට ඔහුගේ සුළු පියා වන ඇඩ් ආම්ස්ටෙඩ්ට එල්ල කර ඇත.  ඔවුන් පොලිසිය බව නොදැන සිටි ආම්ස්ටෙඩ් සහ ග්ලෝවර්, මොවුන් ඔවුන්ව කොල්ලකෑමට උත්සාහ කරන බව විශ්වාස කරමින් නිලධාරීන් වෙතින් පලා ගියහ. ඔවුන් පලා යන විට එක් නිලධාරියෙකු වන තෝමස් ෂියා ඔවුන්ට වෙඩි තැබූ අතර වෙඩි පහරවල් දෙකක් ග්ලෝවර්ට වැදීමෙන් ග්ලෝවර් මිය ගියේය.

10 හැවිරිදි ග්ලෝවර් සතුව ආයුධයක් තිබූ බවත්, එය වෙඩි තැබීමට හේතුව වූ බව ෂියා ප්‍රකාශ කරනු ලැබුවත් එවැනි ආයුධයක් කිසිදා හමු නොවීය.

වෙඩි තැබීමෙන් පසු දින පුවත්පත් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ආම්ස්ටෙඩ් සිහිපත් කලේ මෙසේය: “අපි නිශ්ශබ්දව ඇවිදිමින් හිටියා , මෙම මෝටර් රථය නවත්වන අතරේදී මෙම සුදු ජාතිකයා තුවක්කුවකින් දොර විවර කලා ‘තෝ කළු බැල්ලිගෙ පුතා’ කියලා වෙඩි තිබ්බා,” 

ඝාතනයට ලක් වූ තරුණයා සමඟ ඔහුගේ සම්බන්ධය ගැන කතා කරමින් ආම්ස්ටෙඩ් පැවසුවේ, “මම ඔහුට පුතෙකු මෙන් ආදරය කලා.  එයා මට තාත්තා කියලා කතා කළා”.  අසල්වැසියන් සහ මිතුරන් වාර්තාකරුවන්ට පැවසුවේ ග්ලෝවර් පාසලෙන් පසු කාර්මිකයෙකු ලෙස රැකියාව කල ආම්ස්ටෙඩ් වෙත පැමිණෙන බවත් වැඩ ගැන ඉගෙන ගැනීමට සහ සුලු වැඩවලට උදව් කිරීමට ප්‍රිය කල බවත්ය.

ඝාතනය පිලිබඳ පුවත පැතිරීමත් සමග, අසල්වැසි දකුණු ජැමෙයිකානු  ප්‍රදේශයේ කම්කරු පන්ති ජනයා තුල පුලුල් කෝපයක් හට ගැනුනි.  පොලිසිය ඔවුන් මර්දනය කිරීමට උත්සාහ කිරීමත් සමඟ විරෝධතා ප්‍රචන්ඩකාරී වූ අතර ප්‍රදේශවාසීන් සහ පොලිසිය අතර විවෘත ගැටුම් ඇති විය.

ග්ලෝවර්ගේ ඝාතනයෙන් පසු ගතවූ දින කිහිපය තුළ පොලිස් නිලධාරීන් 14 දෙනෙකු තුවාල ලැබූ අතර, අවම වශයෙන් විරෝධතාකරුවන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුනි..

විරෝධතා හේතුවෙන් නිව් යෝර්ක් දිස්ත්‍රික් නීතිපති කාර්යාලයට ෂියාට එරෙහිව මිනීමැරුම් චෝදනා ඉදිරිපත් කිරීමට බල කෙරුනි.  කෙසේ වෙතත්, චෝදනාව ක්ෂනිකව ම පාහේ සාපරාධී නොසැලකිලිමත් කමින් සිදු වූ මනුෂ්‍ය ඝාතනයක් ලෙස අර්ථ දක්වා දක්වා ප්‍රහීන කරන ලදී.  රාජකාරියේ යෙදී සිටියදී මිනීමැරුමක් සම්බන්ධයෙන් නඩු විභාගයකට මුහුණ දුන් නිව්යෝර්ක් නගරයේ පලමු පොලිස් නිලධාරියා ෂියා විය.

ෂියාව විධිමත් ලෙස නිදොස් කිරීම සඳහා පමණක් කැඳවන ලද නඩු විභාගය ව්‍යාජ එකක් බව මුල සිටම පැහැදිලි විය.  මෙම අපරාධය සිදු වූයේ ප්‍රධාන වශයෙන් කලු ජාතිකයන්ගෙන් සමන්විත ජනගහනයක් සිටි දකුණු ජැමෙයිකාවේ වුවත්, ජූරි සභාව එක් කළු ජාතිකයෙකු සහ සුදු ජූරි සභිකයන් 11 දෙනෙකුගෙන් සමන්විත විය. 

ෂියා සාක්ෂි දෙමින් කියා සිටියේ ඔහු ආත්මාරක්ෂාව සඳහා වෙඩි තැබූ බවයි. ග්ලෝවර් “යමක් චලනය කළ බව මා දුටුවා. මා එය රිවෝල්වරයක් යැයි විශ්වාස කලා” ලෙස ඔහු කියා සිටියේ ය. නඩු විභාගය අවසන් වූයේ ෂියා “නිවැරදිකරු” යන තීන්දුව ගැනීමෙන් පසුව ඔහුට නිදහසේ පිටව යාමට ඉඩ දීමෙනි. 

නඩු විභාගය අවසන් වීමෙන් පසුව, එම තීන්දුවට විරෝධය පළ කරමින් දකුණු ජැමෙයිකාවේ සිය ගණනක් සහභාගි වූ පෙළපාලි පැවැත්විණි. ඉන්පසු,  මිනීමැරුම් ක්‍රියාවන් සම්බන්ධයෙන් පොලිසියට සමාව දීමට “ආත්ම ආරක්‍ෂාව” යන ප්‍රකාශය දිගටම භාවිතා කෙරේ.

වසර 75 කට පෙර: සියොන්වාදී හමුදා පලස්තීන ගම්මාන ඉලක්ක කර ගනිමින් තවත් වාර්ගික ශුද්ධ කිරීමේ මෙහෙයුමක් දියත් කරයි

Image
ඩේවිඩ් බෙන්-ගුරියන්, මැද,, යිගල් ඇලන් සහ යිට්ෂාක් රබින් සමඟ නෙගෙව්හි දී, 1948 අරාබි-ඊශ්‍රායල් යුද්ධයේදී

1948 අප්‍රේල් 28 වන දින, විශාලතම සියොන්වාදී මිලීෂියාව වන හගානාහි පැරාමිලිටරි අංශය වන පල්මාක් (Palmach) විසින් යිට්චාක් (Yiftach) මෙහෙයුම දියත් කරන ලදී.  එහි අරමුණ වූයේ සෆෙඩ් නගරයේ පාලනය සියතට ගැනීමයි. කඳුකර නැගෙනහිර ගලීලයේ ඉහළම සහ විශාලතම ජනගහනයක් සිටින මධ්‍යස්ථානය ලෙස මෙම නගරය උපායමාර්ගිකව තීරණාත්මක විය.

මෙම ප්‍රහාරය “ඩලට් සැලසුම” ලෙස නම් කරන ලද පුලුල් වැඩසටහනක කොටසකි.  එය ඊශ්‍රායලයේ ප්‍රථම අගමැති වීමට නියමිත ව සිටි සියොන්වාදී නායක ඩේවිඩ් බෙන්-ගුරියන් විසින් පුද්ගලිකව ඉල්ලා සිටින ලද්දක් සහ යෝජනා කරන ලද්දකි . ඩලට් යටතේ, සියොන්වාදී බලවේග හැකිතාක් පලස්තීනය මත තම ආධිපත්‍යය තහවුරු කිරීමට පොර වැදුනු අතර, ඊට නගර ප්‍රචන්ඩ ලෙස අල්ලා ගැනීම සහ අරාබි වැසියන් නෙරපා හැරීම ඇතුළත් විය.

මැයි මාසයේ දී සිදු කිරීමට නියමිත ව තිබූ බ්‍රිතාන්‍යය පලස්තීනයෙන් ඉවත් වීමටත්, එක්සත් ජාතීන් විසින් අනුමත කරන ලද පරිදි රට වාර්ගික පදනමක් මත  බෙදීමටත් පෙරාතුව වඩාත් හිතකර වූ “භූමියෙහි ස්ථාපිත කරුනු” තහවුරු කිරීම මෙහි අරමුන විය.

අප්‍රේල් 28 දා, හගනා හමුදා කඳවුරක භට පිරිස් සීරුවෙන් තබා, ප‍්‍රහාරයක් සඳහා වූ සැලසුම් සක්‍රීය කරන ලදී.  ඊලඟ දින දෙක තුල, ඔවුහු සිවිල් වැසියන් විවෘතව ඉලක්ක කරගත් ප්‍රහාරයක් ආරම්භ කලහ. ප්‍රධාන නගරවල කල පෙර වැටලීම් වලදී මෙන්, එය ආරම්භ වූයේ අසල කුඩා ගමකට පහර දීමෙනි.  මැයි 1 වනදා සිට හගානා විසින් සෆෙඩ් සිට කිලෝමීටරයක් උතුරින් පිහිටි කුඩා ගම්මානයක් වන එයින් අල්-සෙයිටුන් (Ein al-Zeitun ) වෙත බෝම්බ හෙලීමට පටන් ගත්තේය.

මෙයට ඩේවිඩ්කා නම් අතිශය ඝෝෂාකාරී මෝටාර් උපකරනයක් භාවිතා කිරීම ද ඇතුලත් වූ අතර, එහි සාවද්‍ය භාවය නිසා වෙඩි තැබීම අවිචාරවත් ලෙස සිදු විය. ඉනික්බිතිව අඩුම තරමින් ගමේ වැසියන් 70ක් ඝාතනය කරන ලදී.  ඒ අතර, පලා යාමට උත්සාහ කරමින් අල්ලා ගත් තරුනයන් සහ පිරිමි ලමුන් 37 දෙනෙකුගෙන් යුත් කන්ඩායමක් ඇතුලත් වූ බැව් පෙනී යයි.

පසුව හගානා සෘජුවම සෆෙඩ් ඉලක්ක කර ප්‍රහාරයක් දියත් කළේය.  ඇතැම් අරාබි ප්‍රතිරෝධයන් මධ්‍යයේ එය මුලින් නගරයේ බලකොටුව අල්ලා ගැනීමට අසමත් විය.  පලස්තීන නායකයෝ, බ්‍රිතාන්‍යයන් සමඟ එක්ව, සටන් විරාමයක් සඳහා ආයාචනා කලහ.  ඒ වෙනුවට හගානා විසින් මැයි 9 දින තවත් ප්‍රහාරයක් ආරම්භ කෙරුනු අතර, “දැවැන්ත, සම්බන්ධීකෘත” ලෙස විස්තර කෙරුනු මෝටාර් බෝම්බ ප්‍රහාරයක් සහ තරංගාකාරයෙන් ඇදුනු හමුදා නඟරයට දැඩි ලෙස වෙඩි තැබීම ද මීට ඇතුලත් විය. ඉහත දී බහුතර පලස්තීන ජනගහනයක් සිටි මෙම නගරය අත්පත් කර ගැනීමට මෙම ප්‍රහාරය සමත් විය.

වසර 100 කට පෙර: අයර්ලන්ත සිවිල් යුද්ධය අවසන් වේ

Image
ඊමන් ඩී වැලේරා

1921 ඇන්ග්ලෝ-අයර්ලන්ත ගිවිසුමට විරුද්ධ වූ ජාතිකවාදී සින් ෆෙයින් දේශපාලන නායකයා ද, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව 1916 පාස්කු නැගිටීමේ ප්‍රවීනයෙකු ද වූ ඊමන් ඩී වැලේරා, 1923 අප්‍රේල් 27 වන දින, සිය ආධාරකරුවන් වන අයර්ලන්ත රිපබ්ලිකන් හමුදාව (IRA) සහ නිල බ්‍රිතාන්‍ය සහාය ලබන අයර්ලන්ත නිදහස් රාජ්‍යයේ ජාතික හමුදාව අතර සටන් විරාමයක් ඉල්ලා සිටියේය.  .

1919-1921 අයර්ලන්ත නිදහස් යුද්ධය සහ ඉන් පසුව ඇති වූ සිවිල් යුද්ධය අවසන් කෙරුනු ගිවිසුමක් මඟින් උතුරු අල්ස්ටර් පලාත බෙදනු ලැබීය.  අල්ස්ටර්හි ප්‍රොතෙස්තන්ත ප්‍රාන්ත හයක් එක්සත් රාජධානියේ කොටසක් ලෙස දිගටම පැවති අතර, බොහෝ දුරට කතෝලික ප්‍රාන්තවූ දකුනුදිග ප්‍රාන්ත 26 ක් නිදහස් රාජ්‍යයට සම්බන්ධ විය. ගිවිසුම මගින් නිදහස් රාජ්‍යයේ විදේශ ප්‍රතිපත්තිය පාලනය කිරීමේ අයිතිය බ්‍රිතාන්‍යයට ලබා දුන් අතර නිදහස් රාජ්‍ය නිලධාරීන් බ්‍රිතාන්‍ය කිරීටයට පක්ෂපාතී බවට දිවුරුම් දීම ද අවශ්‍ය එමඟින් අවශ්‍ය කෙරින.

ගිවිසුම් විරෝධී IRA (අයර්ලන්ත සමූහාන්ඩු හමුදාව) සංවිධානය 1922 ජූනි මාසයේ සිට නිදහස් රාජ්‍යයට එරෙහිව ගරිල්ලා ව්‍යාපාරයක් දියත් කර තිබුණි. එය කිසිදු සැලකිය යුතු නාගරික මධ්‍යස්ථානයක් අල්ලා ගැනීමට අපොහොසත් වූ අතර බ්‍රිතාන්‍ය ආයුධ සැපයූ ජාතික හමුදාවට යුද ජයග්‍රහන ලබා ගැනීමට හැකි විය.

ජනවාරි මාසයේදී, නිදහස් රාජ්‍යය විසින් අල්ලා ගන්නා ලද ගිවිසුම් විරෝධී සටන්කරුවන් වහාම ඝාතනය කිරීමේ ප්‍රතිපත්තියක් ආරම්භ කරන ලදී. ඒ අනුව ගිවිසුම් විරෝධීන්ට, පලමුව යටත් වී පසුව සිරකරුවෙකු ලෙස සටන් විරාමයක් ඉල්ලා සිටි  ෆ්‍රෑන්ක් ඩීල් වැනි, ස්වකීය ප්‍රමුඛ නායකයින් අහිමි  වූයේය.  IRA වෙත විශාලතම පහර එල්ල වූයේ එහි හමුදා නායක ලියම් ලින්ච් අප්‍රේල් 10 වන දින ටිපරරි ප්‍රාන්තයේ දී ක්‍රියාන්විතයේ යෙදී සිටියදී මරා දැමීමත් සමඟය.

ඩි වැලෙරාගේ ප්‍රකාශය අයර්ලන්තයේ ස්වෛරීභාවය පිළිබඳ සියලු ප්‍රශ්න ප්‍රජාතන්ත්‍රවාදී කොන්දේසි මත විසඳිය යුතු බව ඉල්ලා සිටියේය. නිදහස් රාජ්‍ය ආන්ඩුව මුලදී ඩි වැලෙරාගේ යෝජනාව පිලිබඳ ව සැක සහිත වෙමින් එය ප්‍රතික්ෂේප කලේ, IRA ආයුධ භාර දීමක් පිලිබඳ යෝජනා ඔහු විසින් ඉදිරිපත් කෙරී නොමැති බව සඳහන් කරමිනි. අප්‍රේල් 30 වන දින, ලින්ච් වෙනුවට IRA නායකයා ලෙස පත් වූ ෆ්‍රෑන්ක් අයිකන්, මිලිටරි මෙහෙයුම්වල අනදෙන නිලධාරියා ලෙස, මෙහෙයුම් අත්හිටුවන ලෙස ඔහුගේ හමුදාවන්ට නියෝග කළේය. මැයි 24 වන දින සටන් විරාම නියෝගයක් සමඟ, ආයුධ නිදහස් රාජ්‍යයට භාර දෙනු වෙනුවට, අවි අත් හැරීමේ නියෝගයක් නිකුත් කිරීමට නියමිත විය.

#theSocialistLK #WSWS 

ඉතිහාසයේ මෙම සතිය: අප්‍රේල් 24-30 Read More »

thesocialist

ඉතිහාසයේ මෙම සතිය: අප්‍රේල් 17-23

This week in history: April 17-23 | ඉතිහාසයේ මෙම සතිය: අප්‍රේල් 17-23

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අප්‍රේල් 17 දින ඉංග්‍රීසියෙන් පලවූ This Week in History යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි

වසර 25 කට පෙර: සුහර්තෝට එරෙහිව සිසුහු විරෝධතාවයක් පවත්වති.

Image
ඉන්දුනීසායානු ශිෂයයන්  1988 නොවැම්බර් හි දී උද්ඝෝෂනයක

1998 අප්‍රේල් 23 වන දින, සිසුන්ට නැවත අධ්‍යාපනය ලබා ගැනීමට පැමිණෙන ලෙස ඉල්ලා සිටි ජනාධිපති සුහර්තෝගේ දැඩි මර්දන තර්ජන නොතකා, ඉන්දුනීසියාවේ විශ්ව විද්‍යාල හතක සිසුහු ජකර්තා හි වීදි දිගේ පා ගමනින් ගමන් කලෝය.

විරැකියාව මිලියන 18.7 දක්වා ළඟා වී තිබුණි. මූලික භාණ්ඩ සඳහා වූ මිල සහනාධාර අවසන් කිරීම සඳහා වූ ජාමූඅ ඉල්ලීම් ක්‍රියාවට නැංවීම අතරතුර භාණ්ඩ වල මිල ගණන් අහස උසට නැඟ තිබූ අතර, එය තව දුරටත් ඉහල යමින් තිබුනි.  විනාශකාරී නියඟයක් සහ ආහාර මිල ඉහල යාම හේතුවෙන් ඉන්දුනීසියානුවන් මිලියන 7.5ක් උග්‍ර ආහාර හිඟයකට මුහුන දුන් බව ගනන් බලා තිබේ.

පෙර පැවති පෙලපාලිවලට වඩා සිසුහු මෙහිදී නිර්භීත වූහ. ඔවුන් වීදි බැස්සේ, උද්ධමනය හා විරැකියාව ඉහල යාමෙන් පීඩාවට පත් වූ කම්කරුවන් සහ අනෙකුත් අය සම්බන්ධ කර ගැනීමටය. පෙලපාලි සරසවි භූමියට සීමා කිරීමට කැරලි මර්දන පොලිසිය සහ හමුදා භට පිරිස් යොදවා තිබුනි.

එදිනම, බැංඩුන්, යෝගකාර්තා සහ බන්ඩාර්ලම්පුං ඇතුළු අවම වශයෙන් තවත් නගර හතක සිසුහු, සුහර්තෝගේ පාලනය අවසන් කරන ලෙස ඉල්ලා රැස්වීම් වලට සහ පෙලපාලිවලට සහභාගී වූහ. 

බාලි දූපතේදී, සිසුන් 3,000ක පමණ සහභාගී වූ විරෝධතාවයකට, පොලිසිය බැටන් පොලු සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කල අවස්ථාවේ ඩෙන්පසාර්හි උදයන විශ්වවිද්‍යාලයේ ගේට්ටුවෙන් පිටත සිටි පෙලපාලිකරුවෝ 12 දෙනෙක් තුවාල ලැබූහ. 

අප්‍රේල් 20 වන දින, නැගෙනහිර ජාවාහි නගරයක් වන සුරබයා හි, දහස් ගණනක් සිසුන් අධි ටමා තාක්ෂන ආයතනයේදී රැලියක් පැවැත්වූ අතර, පසුව ඔවුහු අසල පිහිටි පුත්‍රා බංගස් විශ්ව විද්‍යාලය වෙත පාගමනින් ගොස්, “ප්‍රතිසංස්කරනය හෝ යුද්ධය!” යනුවෙන් කෑ ගැසූහ.  අනෙකුත් විරෝධතා ජකර්තා, බොගෝර්, බැන්ඩුන්ග් සහ දකුණු කලිමන්තන් පලාතේ අගනුවර වන බන්ජර්මසින් හි පැවැත්විනි. 

සුහර්තෝ ආඥාදායකත්වය පෙලපාලි කෙරේ පාරිතෝෂයේ හා දණ්ඩනයේ (carrot-and-stick) ප්‍රවේශයක් අනුගමනය කළ අතර, දේශපාලන ක්‍රියාකාරීන් කොටු කර රඳවා තබා ගනිමින් සහ වීදිවල දැඩි ලෙස පොලිසිය සහ මිලිටරිය යොදවා සිටින අතරතුර, ඇතැම් ශිෂ්‍ය නායකයින් කෙරේ සුහදශීලී වෙමින් විධිමත් සාකච්ඡා සඳහා ඔවුන් යොමු කරවා ගැනීමට එය උත්සාහ කළේය.  අප්‍රේල් 18 වන දින, රජයේ ඇමතිවරුන් සහ තෝරාගත් සිසුන් පිරිසක් අතර ජකර්තා පොළ භූමියේ දී බෙහෙවින් ප‍්‍රසිද්ධියට පත් වූ මන්ත්‍රනයක් පැවැත්විණි. නමුත්, ඉන්දුනීසියාවේ විශ්ව විද්‍යාලය, බන්ඩුං තාක්ෂන ආයතනය සහ යෝගකාර්තා හි ගද්ජා මාඩා විශ්ව විද්‍යාලය යන ඉන්දුනීසියාවේ විශාලතම සහ සුප්‍රසිද්ධ ආයතන තුනෙහි කිසිදු ශිෂ්‍ය නියෝජිතයෙක් ඊට පැමින සිටියේ නැත. 

ඊට සහභාගී වූ ශිෂ්‍ය නායකයන් සංඛ්‍යාව විශාල වශයෙන් ඉක්මවා ගිය ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රධානීන් සහ දේශපාලන හා ආර්ථික විචාරකයන් පිරිසක් එහි වූහ. සහභාගී වූවන් අතරට, සමාජ කටයුතු අමාත්‍ය සිටි හර්දියන්ති රුක්මනා, ප්‍රධාන ආර්ථික අමාත්‍ය ගිනන්ජාර්  කර්තසස්මිතා සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානී ජෙනරාල් විරන්තෝ ඇතුලත් වූහ. 

වසර 50 කට පෙර: කීසිංගර් මාෂල් සැලැස්මේ අවසානය නිවේදනය කරයි. 

1973 අප්‍රේල් 23 වන දින, දෙවැනි ලෝක යුද්ධය අවසන් වී වසර තුනක් ගෙවී ගිය 1948 දී පටන් පැවැති මාර්ෂල් සැලැස්ම නිල වශයෙන් අහෝසි කරමින්, ජනාධිපති රිචඩ් නික්සන්ගේ ජාතික ආරක්ෂක උපදේශක හෙන්රි කිසිංජර් ප්‍රකාශ කලේ ධවල මන්දිරය, යුරෝපය සම්බන්ධයෙන් සිය විදේශ ප්‍රතිපත්තියේ වෙනසක් සිදු කරනු ඇති බවයි. නව “කිසිංජර් සැලැස්ම” වඩාත් විවෘතව සහ සෘජුවම යුරෝපය මත එක්සත් ජනපදයේ ආර්ථික ආධිපත්‍යය පවත්වා ගෙන යාම සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිත විය.

“ආර්ථික ස්වයං අභිලාෂයන් ඒකපාර්ශ්විකව හඹා යාම මගින් යුරෝපය සිය පුලුල් වගකීම් නොසලකා හරින බවටත්, යුරෝපය පොදු ආරක්ෂාවේ බරෙහි සාධාරන කොටස දරන්නේ නැති බවටත් ඇමරිකාවේ පැමිනිලි තිබේ,”යැයි කිසිංජර් සිය කතාවේදී පැවසීය. නව ප්‍රතිපත්තිය බලාත්මක කිරීම සඳහා නික්සන් යුරෝපයට යන බව නිවේදනය කරමින්, කිසිංජර් තවදුරටත් පැවසුවේ “එක්සත් ජනපදය එහි අත්ලාන්තික් හවුල්කරුවන්ට යෝජනා කරන්නේ, වසර අවසානයේදී ජනාධිපතිවරයා යුරෝපයට යන විට, අප, අනාගතය සඳහා ඉලක්ක පිහිටුවමින් තමන්, නව අත්ලාන්තික් ප්‍රඥප්තියක් සකස් කර තිබෙනු ඇති” බවයි. 

මාෂල් සැලැස්මේ එක් ඉලක්කයක් වූයේ එක්සත් ජනපද සංගත සඳහා වෙලඳපොලවල් සැපයීම සඳහා යුරෝපයේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම උත්තේජනය කිරීමයි.  තවත් දෙයක් වූයේ විප්ලවය වැළැක්වීමයි.  සමාජවාදයට සහ රුසියානු විප්ලවයේ පරමාදර්ශයන්ට හිතපක්ෂව සිටි මිලියන ගණනකගේ විනාශය හා දරිද්‍රතාවය යුරෝපයේ සහ ඇමරිකාවේ කැරලිකාර වාතාවරණයක් නිර්මානය කර තිබුනි. ඇමරිකානු පාලක පන්තිය තීරණය කළේ දේශීය ප්‍රතිසංස්කරණවලට ඉඩ දීමෙන් සහ යුරෝපීය ප්‍රකෘතිමත් කිරීම සඳහා බිලියන ගනන් ලබා දීමෙන් කම්කරු පන්තිය සමනය කළ හැකි බවයි.

මේ පදනම මත ලෝක වෙළෙඳාම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය.  එහෙත් 1973 වන විට ධනේශ්වර ස්ථාවරකරනයේ කෙටි කාලය අවසන් විය.  1960 ගනන් තුල, බටහිර ජර්මනියේ සහ ජපානයේ යලි ගොඩනැගුනු කර්මාන්ත ඇමරිකානු වෙලඳපොල ආධිපත්‍යයට වල කැපීමට පටන් ගත් අතර යුරෝපයේ, එක්සත් ජනපදයේ සහ ලොව පුරා කම්කරුවන් විශාල පිරිසක් අරගලයට ගමන් කරමින් සිටියහ.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ එක්සත් ජනපද පුරෝගාමියා වන බුලටින් හි ප්‍රකාශයක් විසින් පැහැදිලි කෙරුනේ, යුරෝපය සඳහා වූ කිසිංජර් සැලැස්මෙහි අර්ථය වන්නේ, “එක්සත් ජනපදයේ ආර්ථික අවශ්‍යතාවලට එය මුළුමනින්ම යටත් වීම” බවයි. “ඇමරිකානු අධිරාජ්‍යවාදය  ජාත්‍යන්තරව මුදා හැරීමට සූදානම් වන ම්ලේච්ඡත්වයේ අවතාරය ” එමඟින් ඉස්මතු කර දක්වන ලදී.

එම ප්‍රකාශයේ තවදුරටත් මෙසේ සඳහන් විය:

මාෂල් සැලැස්ම, කිසිංජර් සැලැස්ම මගින් ප්‍රතිස්ථාපනය කිරීම යන්නෙන් අදහස් කරන්නේ සම්මුතිය කරා වන ප්‍රවනතාවය ආධිපත්‍යය දැරූ කාලපරිච්ඡේදයක සිට එක්සත් ජනපදය දැන් කම්කරු රාජ්‍යයන් යලි අත්පත් කර ගැනීම සඳහා ලෝක යුද්ධයේ සැබෑ සූදානම දෙසට හැරෙන බවයි. එසේම, මේ සමගම , දියුනු ධනේශ්වර රටවල කාර්මික කම්කරු පන්තියට එරෙහිව සිවිල් යුද්ධයට අවතීර්ණ වන බවයි.

යුරෝපය සෝවියට් සංගමයට එරෙහි පවුරක් බවට පත් කිරීමට ඔවුන්ට මාෂල් සැලැස්ම අවශ්‍යව තිබූ අතර, 1970 ගනන්වල මතුවන නව කාලපරිච්ඡේදයේ දී, ඇමරිකානු ධනවාදය අවසානයේ ඉල්ලා සිටිනු ඇත්තේ “යුරෝපීය ධනවාදයේ දේශපාලන හා ආර්ථික ස්වාධීනත්වයේ සෑම අංශු මාත්‍රයක් ම විනාශ කිරීම” බව එම ප්‍රකාශයෙන් පැහැදිලි කෙරුණි. 

වසර 75 කට පෙර: සියොන්වාදීහු පලස්තීනයේ හයිෆාහි පාලනය තහවුරු කර ගනිති

1948 අප්‍රේල් 21 සහ 22 යන දිනවල ප්‍රධාන සියොන්වාදී පැරාමිලිටරි සංවිධානය වන හගානා විසින් වාර්ගික පවිත්‍ර කිරීමේ මෙහෙයුමක් දියත් කළ අතර, පලස්තීන වැසියන් දහස් ගනනකට හයිෆා නගරයේ වූ තම නිවෙස් හැර යාමට බල කෙරුනි.

මෙම ප්‍රචන්ඩ ප්‍රහාරය සිදු වූයේ පලස්තීන සිවිල් යුද්ධයේ සන්දර්භය තුළ වන අතර එය වසර අගදී පූර්න අරාබි-ඊශ්‍රායල් යුද්ධයක් දක්වා වර්ධනය විය.  බ්‍රිතාන්‍යය, තම අධිරාජ්‍යයේ අර්බුදය මධ්‍යයේ, පලස්තීනය නම් සිය පැරනි යටත් විජිත සන්තකයෙන් ඉවත් වෙද්දී, එක්සත් ජනපදයේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිටුබලය ඇති සියොන්වාදී සංවිධාන, ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් සමග පෙලගැසුනු වාර්ගික-ආගමික රාජ්‍යයක් පිහිටුවීමට උත්සාහ ගත්හ.

මධ්‍යධරනී වෙරල තීරයේ පිහිටි හයිෆා නගරය, උපායමාර්ගික වශයෙන් තීරනාත්මක විය.  එය ප්‍රධාන වෙලඳ වරායක් මෙන්ම ප්‍රධාන හමුදා වේදිකා මුරපොලක් ද විය.  ගැටුමට පෙර, එහි ජනගහනය මිශ්‍ර එකක් වූ අතර, එහි සිටි වැසියන්ගෙන් අඩක් පමන අරාබි ජාතිකයෝ වූහ.

හයිෆා වෙත ප්‍රහාරය එල්ල වූයේ වඩ වඩාත් ප්‍රචන්ඩකාරී වෙමින් තිබූ ගැටුම් මාලාවක් මධ්‍යයේ ය.  අන්ත දක්ෂිනාංශික සියොන්වාදී පැරාමිලිටරි කන්ඩායම්, පලස්තීන ගම්වැසියන් සමූල ඝාතනය කිරීම් වලට සහ අරාබි ජනගහනය තුරන් කිරීම ඉලක්ක කරගත් අනෙකුත් අපරාධවලට සම්බන්ධ වූහ. මේවාට බෝම්බ හෙලීම වැනි විවෘත ත්‍රස්තවාදී ක්‍රියා ඇතුළත් විය. පලස්තීන ප්‍රතිරෝධී  සංවිධාන මේවාට ප්‍රතිප්‍රහාර එල්ල කලෝය.

හයිෆා වැටලීම මෙහෙයවනු ලැබූයේ, ආසන්න කාලයේ දී යුද අපරාධ සිදු කර තිබුනු අන්ත දක්ෂිනාංශික සියොන්වාදී පැරාමිලිටරි සංවිධානවලින් එකක් වන ඉර්ගුන් විසින් නොවේ. ඒ වෙනුවට එය මෙහෙයවූයේ වඩාත් මධ්‍යස්ථයැයි සලකනු ලැබුවාවූත්, ප්‍රධාන සියොන්වාදී දේශපාලන සංවිධානවල පිටුබලය ලැබුවා වූත් හගානා සංවිධානය යි.

අප්‍රේල් 21 දා, එහි සන්නද්ධ  භට කණ්ඩායම් පහක්  සම්බන්ධීකෘත   ප්‍රහාරයකින් නගරයට සහ එහි අරාබි සටන්කරුවන්ට පහර දුන්හ. නගරයෙන් පිටත සියොන්වාදී ප‍්‍රචාරක ට‍්‍රක් රථ නිවැසියන්ගෙන් ඉල්ලා සිටියේ “විදේශීය සටන්කරුවන්” අතහැර යටත් වන ලෙසයි.

නගරයේ පලස්තීන නාගරික නිලධාරියෙක් පසුව එම දර්ශනය විස්තර කලේ මෙසේය:

අරාබි ජාතියේ ඉතිහාසය තුල පූර්වාදර්ශයක් නොවූ තරමේ ව්‍යාකූලත්වයකින් හා භීෂණයකින් දහස් ගණනක් ස්ත්‍රීහු, ලමෝ සහ පුරුෂයෝ වරාය දිස්ත්‍රික්කයට කඩිමුඩියේ ගියහ. ලෙබනනය කරා යාමට තම වාරය එනතෙක් බලා සිටීම සඳහා ඔවුහු පාවහනින් තොරව සහ නිරුවතින් වෙරලට පලා ගියෝය. ඔවුන් තම නිජබිම, තම නිවාස, තම දේපළ, තම මුදල්, තම සුභසාධනය සහ තම ව්‍යාපාර අත්හැර ගියේ තම ගෞරවය සහ ආත්මය යටත් කරමිනි.

වසර 100කට පෙර: Der Stürmer ( ඩර් ස්ටර්මර්) නම් නාසි පුවත්පතේ පළමු කලාපය පලවේ.

1923 අප්‍රේල් 20 වැනි දින, විෂකුරු ලෙස යුදෙව් විරෝධී, නාසි ගැති ජර්මානු පුවත්පතක් වූ Der Stürmer (ඩර් ස්ටර්මර්) (ඉංග්‍රීසි අරුතින් The Stormer [කඩාපනින්නා] හෝ The Attacker [ප්‍රහාරකයා]) හි පළමු කලාපය ජුලියස් ස්ට්‍රයිකර් විසින් ප්‍රකාශයට පත් කරන ලදී. එය 1945 දී නාසි පාලන තන්ත්‍රය බිඳ වැටෙන තෙක් ම කෙටි අතුරු බිඳීම් කිහිපයක් පමනක් සහිත ව සතිපතා පලවිය. 

1937 වන විට, ආරම්භයේ 2,500ක සිට 500,000කට ආසන්න ප්‍රමානයක් දක්වා වැඩී ගිය සංසරනයක් සහිත Der Stürmer (ඩර් ස්ටර්මර්) නාසි පක්ෂයේ නිල ප්‍රකාශනයක් නොවූවත්, නාසි ප්‍රචාරනයේ තීරනාත්මක කාර්යභාරයක් එමඟින් ඉටු කරනු ලැබීය. නවීන ජන මාධ්‍ය හරහා දුෂ්ටතම යුදෙව් විරෝධී සහ වර්ගවාදී අදහස් පතුරුවා හැරීම සම්බන්ධයෙන් Der Stürmer (ඩර් ස්ටර්මර්) කුප්‍රකටය. එය යුදෙව්වාගේ වර්ගවාදී කාටූන් විකට රූපයක් වර්ධනය කර, යුදෙව් පිරිමින් විසින් ජර්මානු කාන්තාවන් පොලඹවා ගැනීමේ අර්ධ අසභ්‍ය කථා ප්‍රකාශයට පත් කරන ලද අතර, යුදෙව්වන් විසින් ක්‍රිස්තියානි දරුවන් චාරිත්‍රානුකූලව ඝාතනය කිරීම් පිලිබඳ කියාපෑමේ ප්‍රකාශයන් ප්‍රවර්ධනය කරන ලදී.  සෑම කලාපයකම මුල් පිටුවේ පහළින්, “Die Juden sind unser Unglück!” (“යුදෙව්වන් අපේ අවාසනාවයි!”) යන සටන් පාඨය දිස් විය.  

ස්ට්‍රයිකර් පළමු ලෝක යුද්ධයේදී ජර්මානු හමුදාවේ පාබල සෙබළෙකු විය. පලමු ලෝක යුද්ධයේදී, ජර්මනිය ලත් පරාජයෙන් පසුව ඇති වූ සමාජ වියවුල තුල, ඔහු ජර්මනියේ සියලු දුෂ්කරතා පිලිබඳව යුදෙව්වන්ට දොස් පවරමින් අන්ත දක්ෂිනාංශික ක්‍රියාකාරිකයෙකු බවට පත්විය.  1922 වසරේ මියුනිච්හිදී ඇඩොල්ෆ් හිට්ලර්ගේ කතා ඇසීමෙන් පසු ඔහු හිට්ලර්ගේ අනුගාමිකයෙකු විය. 1923 නොවැම්බරයේ හිට්ලර් විසින් මෙහෙයවන ලද අසාර්ථක කුමන්ත්‍රණයේ දී, ඔහු හිට්ලර්  සමඟ ගමන් කලේය.1925 න් පසු නාසි පක්ෂයේ ප්‍රාදේශීය නිලධාරියෙකු බවට පත් වූ අතර 1932 දී රයිච්ග්ටැග් ( ජර්මන් පාර්ලිමේන්තුව)ට නාසි උප ප්‍රධානියෙකු ලෙස තේරී පත් විය.

1933 න් පසු නාසි පාලන තන්ත්‍රය නීත්‍යානුකූල කිරීම සහ ආක්‍රමනශීලී යුද්ධය සහ යුදෙව්වන් සමූලඝාතනය කිරීම සඳහා ජර්මානු ජනතාව අතර ප්‍රචාරනය කිරීමේ දී ඩර් ස්ටර්මර් තීරනාත්මක කාර්යභාරයක් ඉටු කලේය. ඔවුන් එම සමූලඝාතනය සඳහා කැඳවීම 1933 තරම් ඉහත කාලයක දී සිදු කල අතර, එතැන් පටන් එය දිගටම එම ආස්ථානය දරා සිටියේය.

සමහර ප්‍රමුඛ නාසීන් මෙම පුවත්පත, එහි අශිෂ්ටත්වය නිසා තහනම් කිරීමට උත්සාහ කල අතර, හිට්ලර් එය ආශාවෙන් කියවීමටත්, ආරක්ෂා කිරීමටත් කටයුතු කලේය.

නියුරම්බර්ග් යුද අපරාධ නඩු විභාගයේදී ස්ට්‍රයිකර්ට එරෙහි තීන්දුවේ මෙසේ සඳහන් විය.

“25 වසරක් පුරා යුදෙව්වන්ට වෛර කිරීම, ලිවීම සහ දේශනා කිරීම සඳහා ස්ට්‍රයිකර් පුළුල් ලෙස හඳුන්වනු ලැබුවේ “යුදෙව්වන්ට ඇම දමන්නන්ගේ අංක එක” ලෙස ය. ඔහුගේ කථා සහ ලිපිවල, සතියෙන් සතිය, මාසයෙන් මාසය, ඔහු ජර්මානු මනසට යුදෙව් විරෝධයේ වෛරසය ආසාදනය කල අතර, ජර්මානු ජනතාව සක්‍රීය හිංසා පීඩාවලට පෙලඹවීය. …

දේශපාලන සහ වාර්ගික හේතූන් මත, නැගෙනහිර යුදෙව්වන් ඉතාමත් බිහිසුනු තතු යටතේ මරා දමන අවස්ථාවේ ස්ට්‍රයිකර් විසින් මිනීමැරීමට, වධබන්ධනයට ලක් කිරීමට සහ සමූලඝාතනය කිරීමට පොලඹවනු ලැබීම පැහැදිලිවම යුධ අපරාධ හා සම්බන්ධ වන අතර  … එය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයකි.”

මේ අපරාධවලට දඬුවම් ලෙස ස්ට්‍රයිකර් 1946 ඔක්තෝබරයේ දී එල්ලා මරා දමන ලදී. 

#WSWS #CACPS

ඉතිහාසයේ මෙම සතිය: අප්‍රේල් 17-23 Read More »

socialist reviews

ඉතිහාසයේ මෙම සතිය: අප්‍රේල් 10 -16

This week in history | ඉතිහාසයේ මෙම සතිය

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අප්‍රේල් 09 දින ඉංග්‍රීසියෙන් පලවූ This Week in History යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

වසර 25 කට පෙර: මහ සිකුරාදා ගිවිසුම තීන්දු විය.

Image

අප්‍රේල් 10, 1998, දකුණේ සිට, බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර්, එක්සත් ජනපද සෙනෙට් ජෝර්ජ් මිචෙල් සහ අයර්ලන්ත අගමැති බර්ටි අහර්න්, උතුරු අයර්ලන්තයේ සාමය සඳහා වූ සිකුරාදා ගිවිසුමට අත්සන් කිරීමෙන් පසු එකට පෙනී සිටියහ.  (AP ඡායාරූපය/ගොනුව)

1998 අප්‍රේල් 10 වන දින, උතුරු අයර්ලන්තයේ නව දේශපාලන විධිවිධාන සඳහා වූ ඊනියා මහ සිකුරාදා ගිවිසුම, බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත රජයන් අතර අවසන් වශයෙන් තීන්දු විය. මේ සඳහා, අගමැති ටෝනි බ්ලෙයාර්ගේ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ ආන්ඩුව විසින් ඊට ඉහත ගිම්හානයේදී සාකච්ඡා ආරම්භ කරන ලදී.

උතුරු අයර්ලන්තයෙහි, සංගත ආයෝජන සඳහා වඩාත් ස්ථාවර ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් යුතු මාධ්‍යයක් ලෙස, එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ අයර්ලන්තය එක්ව සකසන ලද මෙය, වැඩකරන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්වල සෘජු වියදමින් මහා ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා සහතික කිරීම සම්බන්ධයෙන් වූ ගිවිසුමක් ප්‍රකාශයට පත් කිරීමක් විය. එමෙන්ම එය, අනාගත සිදුවීම් මාලාවේ සැබෑ තත්ත්වය සම්බන්ධයෙන් කිසිවක් හෝ කියා සිටීමට අයර්ලන්ත කම්කරුවන්ට කවර හෝ අවකාශයක් ලබා දීම බැහැර කිරීමක් විය.

මාස ගණනක හෙට්ටු කිරීමෙන් පසු ගිවිසුමක් ලබා ගැනීමට සියලු පාර්ශ්වයන් උනන්දුවෙන් සිටි තත්වයක් තුල, සාකච්ඡා වල සභාපති, හිටපු එක්සත් ජනපද සෙනෙට් සභික ජෝර්ජ් මිචෙල් විසින් අවසන් කිරීමේ දින නියම කල අතර, ආන්ඩු දෙක විසින් පිලිගන්නා ලද කෙටුම්පත් ලේඛනය අවසන් මොහොතේ දී ඊට සිදු කෙරුනු වෙනස්කම් නිසා එය දීර්ඝ කරන ලදී.  එක්සත් ජනපද ජනාධිපති ක්ලින්ටන් උතුරු අයර්ලන්තයේ ජාතිකවාදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සහ කම්කරු පක්ෂයේ නායක ජෝන් හියුම් වෙත ලබා දුන් උදෑසන දුරකථන ඇමතුමක් මගින් අවසන් පැකේජයේ මුද්‍රාව තැබින.

ගිවිසුම ” හුය පට” තුනකින් සමන්විත විය. පලමු හුය පට වූයේ සමානුපාතික නියෝජනයෙන් තේරී පත් වූ සාමාජිකයින් සහිත නව උතුරු අයර්ලන්ත සභාවක් සඳහා වූ යෝජනාවයි. දෙවැන්න, උතුරු-දකුනු අමාත්‍ය මන්ඩලයක් පිහිටුවීම මෙන්ම වෙලඳ හා සංචාරක වැනි ක්ෂේත්‍රවල දේශසීමා ආයතන පිහිටුවීම පිලිබඳව විය. තුන්වන හුය පට, වෙස්ට්මිනිස්ටර් සහ ඩබ්ලින් යන දෙඅංශයෙන්ම මෙන්ම ස්කොට්ලන්ත සහ වේල්ස් වල නියෝජිතයන්ගෙන් ද සැදුම් ලත් ඊනියා දූපත් සභාවක් සඳහා වූ යෝජනාවලින් සමන්විත විය.

එහි අන්තර් පක්‍ෂ සහයෝගය තිබියදීත්, නව ගිවිසුම සියවස් ගණනාවක් පුරා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය විසින් වගා කරන ලද නිකායික ගැටුම් අවසන් කිරීමට පදනම දැමුවේ නැත.  ඒ වෙනුවට, එය අයර්ලන්තයේ මූලික බෙදීම් වූ, ආගම සහ ජාතික අනන්‍යතාවය යන සංකල්පය තහවුරු කලේය.  උතුරු අයර්ලන්තය ඒකාබද්ධතාවාදී (unionist) සහ අයර්ලන්ත ජාතිකවාදී “ප්‍රජාවන්” (communities) ලෙස බෙදීම මත පදනම්ව ව්‍යවස්ථාපිත පියවර මාලාවක් පැනවීමට නියමිතව තිබුණි.

සෑම වසර හතකටම වරක් ඒකාබද්ධ කිරීමේ හැකියාව පිලිබඳ ජනමත විචාරන පැවැත්වීම යන කරුනුවලට සීමා වූ සිය බලපෑමට හිලව් වශයෙන්, අයර්ලන්ත සමූහාන්ඩුව උතුරු ප්‍රාන්ත හයට සිය හිමිකම් කීම අත්හැරිය යුතු විය. පොදු උත්සුකයන් සහිත ක්ෂේත්‍ර පිලිබඳව සාමූහික තීරන ගැනීම සඳහා උතුරු/දකුනු අමාත්‍ය මණ්ඩලයක් විසින් නායකත්වය උසුලනු ලබන අන්තර් දේශසීමා ආයතන ඇති කරන ලදී.

දශක ගනනාවක ලේ වැකි සිවිල් ගැටුමකින් පසුව, උතුරු අයර්ලන්ත සභාවකට බලය පැවරෙන රජයක් පිහිටුවීම සඳහා, ගිවිසුම මගින් කොන්දේසි නියම කරන ලදී.  එහි එක් කේන්ද්‍රීය ඉලක්කයක් වූයේ ප්‍රාන්ත හයේ බ්‍රිතාන්‍ය පාලනය රැක ගනිමින්, ආර්ථික වශයෙන් හානි කරන නිකායික ගැටුම් පාලනයට ගෙන ඒමේ මාවතක් ලෙස අයි.ආර්.ඒ හි දේශපාලන අංශය වන  ෂින් ෆේන්  (Sinn Fein)  ජනරජ ජාතිකවාදීන් රජයේ ව්‍යුහයන් තුළට සම්බන්ධ කර ගැනීමයි.  ඒ අතරම, මහා ව්‍යාපාරික උත්සුකයන්ට එරෙහිව කිසිදු ඒකාබද්ධ දේශපාලන ව්‍යාපාරයක් වැලැක්වීම මගින් අයර්ලන්තයේ ධනේශ්වර පාලනය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වූ කම්කරු පන්තිය තුල ආගමික බෙදීම් පෝෂණය කිරීම දිගටම කරගෙන යන ලදී.

වසර 50 කට පෙර: චිලීයේ තඹ පතල් කම්කරුවන් දහස් ගණනක් වැඩ වර්ජනයක නිරත වෙති

Image

1973 අප්‍රේල් 15 වන දින, ලොව විශාලතම භූගත තඹ ආකරය වන  එල් ටෙනියන්ටෙ ( El Teniente) හි සේවය කළ චිලියේ පතල් කම්කරුවන් දහස් ගණනක්, රටේ දැවැන්ත උද්ධමන අර්බුදයට සමගාමීව වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා වැඩ වර්ජනයක නිරත විය.  වර්ජනය දින 70ක් පැවති අතර, අවසානයේදී ඇලන්ඩේ ආන්ඩුව කම්කරුවන්ට එරෙහිව පොලිසිය හා මිලිටරිය යොදාගැනීමෙන් එය යටපත් කරන ලදී.

එල් ටෙනියන්ටෙ ආකරය, ඉහත දී එක්සත් ජනපදය පදනම් කරගත් කෙනෙකොට් තඹ සංස්ථාව  (Kennecott Copper Corporation) සතු ව තිබූ නමුත් 1971 දී සමාජවාදී පක්ෂය ප්‍රමුඛ සැල්වදෝර් ඇලෙන්ඩේ රජය විසින් එය (වන්දි සහිතව) ජනසතු කරන ලදී.  වැඩවර්ජනය පැහැදිලිවම දේශපාලනික ස්වභාවයක් ගත්තේය. මෙයින් අදහස් වූයේ, චිලීගේ නය ගෙවීම සඳහා පතල් කම්කරුවන්ගේ ජීවන තතුවලට කිසිදු දියුනුවක් ලබා නොදෙන බවට ජාත්‍යන්තර මූල්‍යයට ප්‍රතිඥා දුන් ඇලන්ඩේගේ කම්කරු හිතවාදී යැයි කියන ආන්ඩුවට එරෙහිව පතල් කම්කරුවන් වැඩ වර්ජනයක යෙදී සිටි බවයි.

1973 මාර්තු මාසයේ පැවති කොන්ග්‍රස් මැතිවරනයෙන් යන්තමින් පන බේරා ගැනීමෙන් පසු, සමාජවාදී පක්ෂය, චිලීහි ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය සහ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදීන්ගෙන් සමන්විත ඇලන්ඩේගේ “ජනප්‍රිය එකමුතු” (Popular Unity) සභාගය ගැඹුරු දේශපාලන අර්බුදයකට හසු  විය.  ඇලෙන්ඩේගේ ආන්ඩුව, කම්කරු පන්තියෙන් නැඟෙන කවර හෝ සහ සියලු වැටුප් ඉල්ලීම් මැඩ පැවැත්වීමට විදේශ ප්‍රාග්ධනය සහ චිලී හමුදාවේ ඔවුන්ගේ දක්ෂිනාංශික සහ ෆැසිස්ට්වාදී සහචරයින් යොදමින් සිටි පීඩනයෙන් මිරිකී යමින් තිබින.

මෙම දක්ෂිනාංශික කන්ඩායම් සීඅයිඒ හරහා එක්සත් ජනපද ජනාධිපති රිචඩ් නික්සන්ගේ පරිපාලනය සමඟ සමීප සන්නිවේදනයක් පවත්වා ගෙන ගියහ.  ඒ වන විටත් , ඔවුහු,1973 සැප්තැම්බර් මාසයේදී ඇලෙන්ඩේ බලයෙන් පහ කරනු ඇති කුමන්ත්‍රනය සැලසුම් කරමින් සිටියහ.

චිලී රජය අතිවිශාල විදේශ නය ප්‍රමානයක් ලබාගෙන තිබුනි.  1973 ආරම්භය වන විට විදේශ නයවල මුළු පිරිවැය ඩොලර් බිලියන 4 ඉක්මවූ අතර එය 2023 පවතින උද්ධමනය සඳහා ගැලපූ විට ඩොලර් බිලියන 27 කට සමාන විය. මෙම නය සඳහා පොලිය ගෙවීමට පමනක් චිලියට වසරකට ඩොලර් මිලියන 300 කට ආසන්න මුදලක් වැය විය.

තඹ රටේ පැවැති වටිනාම සම්පත වූ අතර, චිලියේ සියලුම අපනයනවලින් සියයට 80 ක් ඉන් සමන්විත විය. මේවා මූලික වශයෙන් එක්සත් ජනපදයට සහ බටහිර යුරෝපයට යැවින.  චිලියේ නිෂ්පාදනය කරන ලද තඹවලින් තුනෙන් එකක් නිෂ්පාදනයට වගකියන ලද්දේ එල් ටෙනින්ටේ ආකරයයි. මෙය, තඹ පතල් කම්කරුවන් චිලී කම්කරු පන්තියේ අතිශයින්ම වැදගත් කොටසක් බවට පත් කළේය.

නය අර්බුදය හමුවේ සහ ඔහුගේ ආන්ඩුවේ දක්ෂිනාංශික කොටස්වලට මුලුමනින්ම යටත් වීම තුල, ඇලෙන්ඩේගේ එකම විසඳුම වූයේ රජය සතු පතල් වලින් තඹ නිෂ්පාදනය වැඩි කරන ලෙස ඉල්ලා සිටින අතරම වැටුප් අඩු මට්ටමක තබා ගනිමින් එය විදේශයන්හි විකිනීමෙන් ලැබෙන ලාභය උපරිම කර ගැනීමයි. සාරය වශයෙන් ගත් කල, ඔහු උත්සාහ කළේ අධිරාජ්‍යවාදී මූල්‍යකරුවන්ගේ ඉල්ලීම් තෘප්තිමත් කිරීම සඳහා පතල් කම්කරුවන් සූරාකෑම වැඩි කිරීමටයි.  මෙම වැඩපිලිවෙලට, වර්ජකයන්ට එරෙහිව පොලිස් මර්දනය ඉල්ලා සිටි ස්ටැලින්වාදීන්ගේ සම්පූර්න පිටුබලය ලැබුනි.

කම්හල් වාඩිලාගැනීම් සහ රටේ අනෙකුත් ප්‍රදේශ වල කම්කරුවන්ගේ මිලීෂියාවන් (workers’ militia) පිහිටුවීම සමග අත්වැල් බැඳගත් පතල් කම්කරුවන්ගේ වැඩවර්ජනය, චිලී කම්කරු පන්තියේ දේශපාලන නිර්භීතකම පෙන්නුම් කලේය. ඒ අතරම, එය මහජන පෙරමුනු ආන්ඩුවේ බංකොලොත්භාවය සහ සැබෑ විප්ලවවාදී නායකත්වයක අවශ්‍යතාවය පැහැදිලිව පෙන්වා දුන්නේය.

වැඩවර්ජනය පතල් කම්කරුවන්ගේ පරාජයකින් අවසන් වුවද, කම්කරු ව්‍යාපාරය මුලුමනින්ම තලා දමන තුරු දක්ෂිනාංශිකයින් සෑහීමකට පත් වූයේ නැත.  ජුනි මාසයේදී වර්ජනය අවසන් වූ වහාම දෙවන සන්නද්ධ රෙජිමේන්තුව ඇලෙන්ඩේට එරෙහිව කුමන්ත්‍රනයක් දියත් කරන ලදී.

මෙම උත්සාහය අසාර්ථක වූ අතර, එය ඇලෙන්ඩේ පෙරලා දමා එම වසරේ අගභාගයේදී ඔගස්ටෝ පිනෝචේගේ මිලිටරි ආඥාදායකත්වය බලයට ගෙන ඒමට හැකි සාර්ථක කුමන්ත්‍රනයක් සඳහා වේදිකාව සකසන ලදී.  කම්කරුවන්ගේ මිලීෂියා සහ කම්හල් කවුන්සිල (factory councils) මර්දනය කිරීමට සහ නිරායුධ කිරීමට, පිනොචේට සහ ඔහුගේ ෆැසිස්ට් මැරයින්ට එරෙහිව ඔවුන්ව අනාරක්ෂිත කිරීමට ඇලෙන්ඩේ ජූනි කුමන්ත්‍රනය නිදහසට කරුනක් ලෙස භාවිතා කරන ලදී.

වසර 75 කට පෙර: මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වරදකරු වූ නාසි ඝාතන කණ්ඩායම

Image

නියුරම්බර්ග් හි පැවති Einsatzgruppen “කමාන්ඩෝ” නඩු විභාගයේ ප්‍රධාන ජර්මානු විත්තිකරුවන් දෙදෙනෙකු වන SS මේජර් ජෙනරාල් Otto Ohlendorf (ඉදිරිපස) සහ SS බ්‍රිගේඩියර් ජෙනරාල් Heinz Jost (පසුපස) .  Ohlendorf ඝාතනය කරන ලද අතර Jost නිදහස් වීමට පෙර වසර දහයක් සිරගතව සිටියේය.  [ඡායාරූපය: Telford Taylor papers]

1948 අප්‍රේල් 10 වන දින, ජර්මානු අයින්සැට්ස්ගෘපන් (Einsatzgruppen) හි නායකයින් පිළිබඳ එක්සත් ජනපද හමුදා නඩු විභාගයක් අවසන් වූයේ, සියලු විත්තිකරුවන් මනුෂ්‍යත්වයට එරෙහි දරුණු අපරාධවලට වැරදිකරුවන් වෙමින් සහ 24 දෙනාගෙන් 14 දෙනෙකුට මරන දන්ඩනය නියම කරමිනි.  දෙවන ලෝක සංග්‍රාමයේදී,  අයින්සැස්කොෆන්, නාසි පක්ෂයේ පැරාමිලිටරි අංශය වන SS හි ජංගම ඝාතක කණ්ඩායම් විය.

විත්තිකරුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් විවිධ අයින්සැට්ස්ගෘපන් අංශවල ප්‍රධාන අණ දෙන නිලධාරීන් වූ අතර නියෝජ්‍ය ප්‍රධානීන් සහ සහායකයින් කිහිප දෙනෙක් ද වූහ. ඔවුන්ගේ නඩු විභාගය වූ කලී, නියුරම්බර්ග් නඩු විභාගයෙන් පසුව පැවැති, ජාත්‍යන්තර අධිකරණයක් විසින් නොව ජර්මනියේ පිහිටි ඇමරිකානු හමුදා අධිකරණයක් විසින් පවත්වන ලද නඩු විභාගවලින් එකක් විය.

සාමූහිකව, විත්තිකරුවන් මිලියනයකට වැඩි පිරිසක් ඝාතනය කිරීම සෘජුවම අධීක්ෂණය කළ බවට චෝදනා එල්ල විය.  වඩාත් මෑතකාලීන අධ්‍යයනයන්ට අනුව, යුදෙව්වන් මිලියන 1.3 ක්, රොමානි ජනයා 250,000 ක් සහ තවත් අඩ මිලියනයක් පාක්ෂිකයන් (partisans), ආබාධිතයන් සහ සෙසු වාර්ගික සුළුතරයන් ද ඇතුළු මිලියන දෙකක් පමණ දක්වා අයින්සැට්ස්ගෘපන්හි (Einsatzgruppen) සිදු කල ඝාතන සංඛ්‍යාව ඉහල යයි.

අයින්සැට්ස්ගෘපන් විත්තිකරුවන්ට එරෙහි මූලික චෝදනාව වූයේ, “ සංවිධානාත්මක ජන සංහාර සැලැස්මක කොටසක් ලෙස, දේශපාලන, වාර්ගික සහ ආගමික හේතූන් මත හිංසනයන් හරහා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, මිනීමැරුම්, සමූලඝාතනය, සිරගත කිරීම් සහ ජර්මානු ජාතිකයන් සහ වෙනත් රටවල පුරවැසියන් ඇතුළු සිවිල් ජනතාවට එරෙහිව වෙනත් අමානුෂික ක්‍රියාවන්” සිදු කිරීම ය. එම හේතු මත, ඔවුන්ට යුද අපරාධ චෝදනා එල්ල කරන ලද අතර, අපරාධ සංවිධානයක, එනම් එස්එස් සහ එහි විවිධ අනු කොටස්වල සාමාජිකයන් වීම සම්බන්ධයෙන් ද ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල විය.

අයින්සැට්ස්ගෘපන් නිලධාරීන් ගාල් කඳවුරුවල මිනීමැරුම් යන්ත‍්‍ර පමණක් නොව, අතිවිශාල ජීවිත සංඛ්‍යාවක් බිලිගනිමින් සිදු කෙරුනු සමූහ සංහාරයන් සහ වෙනත් භීෂණයන් ද අධීක්‍ෂනය කර තිබුනි.  දැඩි දඬුවම් ප්‍රකාශයක් නිකුත් කරමින් විනිසුරුවරු විත්තිකරුවන් ගැන ලියා ඇත්තේ ඔවුන්, “මනස එහිම චින්තන ප්‍රතිරූපයට එරෙහිව කැරලි ගසන සහ භාෂාව එය නිරූපනය කිරීමට අසමත් වන තරමේ මානව අවමානයක අවලෝකනය තුල, පරිකල්පනය පවා තුෂ්නිම්භූත කරවන සුළු පෙර නොවූ විරූ තරම් කෲර සහ සිතාගත නොහැකි තරම් ම්ලේච්ඡ අපරාධවලට” වැරදිකරුවන් වන බවයි. 

මරණ මිලියනය “වියුක්ත සංඛ්‍යාවක්” ලෙස සැලකීමට එරෙහිව අනතුරු හඟවමින් විනිසුරුවෝ මෙසේ ලිවූහ: “මෙම අපරූපී ඓක්‍යය මනසට උකහා ගත හැකි ඒකකවලට බිඳ දැක්වූ විට පමණක් මෙම නඩු විභාගයේදී අප මෙනෙහි කරන දේවල භයානක බව කෙනෙකුට තේරුම් ගත හැකිය. අලුගෝසුවාගේ තුවක්කු ඉදිරියේ මිනිසුන් දස දෙනෙකු පමණක් – පිරිමින්, ගැහැණුන් සහ ළමයින්, සමහර විට එකම පවුලක සියල්ලන් — ඇද වැටෙන ආකාරය යමෙකු දෘශ්‍යමාන කළ යුතුය.  මිලියනයක් දහයෙන් බෙදුවොත් පෙනී යන්නේ, මේ දර්ශනය සිය දහස් වාරයක් සිදු වී ඇති බවයි…”

මරණ දණ්ඩනයට නියම වූ 14 දෙනාගෙන් ඇත්ත වශයෙන්ම එල්ලා මරා දමනු ලැබුවේ හතර දෙනෙකු පමණි.  ඉතිරි අයගේ දඩුවම් සිර දඬුවම් බවට පරිවර්තනය කරන ලදී . සෝවියට් දේශය සමග සීතල යුද්ධ ගැටුමේ කොටසක් ලෙස, 1950 ගනන්වල නාසි සිර දඬුවම් කොන්දේසි ලිහිල් කිරීමට එජ සහාය ලත් බටහිර ජර්මානු අධිකාරීන් ක්‍රියා කල අතර, මරාදැමීමට නියම නොවූ අනෙක් අය සමග, මෙකී මරන දන්ඩනයට නියම වූවන් ගනනාවක් ද,  එකී මෘදු සැලකිල්ලේ ප්‍රතිලාභීහු වූහ.  නිදසුනක් වශයෙන්, සමූහ මිනීමරුවන්ගෙන් එක් අයෙක්, මුලදී මරනීය දන්ඩනය නියම කරනු ලැබුවද, ඔහුගේ සිර දඬුවම වසර දහයකට ලිහිල් කරනු ලදුව 1951 දී නිදහස් වූ අතර, හේ 1987 දක්වා නිදහසේ ජීවත් විය.

වසර 100 කට පෙර: ජපන් ඔටුන්න හිමි කුමරු තායිවානයට පැමිණේ

Image

1923 අප්‍රේල් 12 වන දින ජපාන ඔටුන්න හිමි හිරෝහිතෝ කුමරු හමුදා උපාමාරුවල කොටසක් ලෙස තායිවානයේ සති දෙකක සංචාරයක් ආරම්භ කළේය.  1895 දී චීන-ජපන් යුද්ධයේ අවසානයෙන් පසුව ෆෝමෝසා ලෙසින් හැඳින්වෙන මෙම දූපත ජපානයේ යටත් විජිතයක්ව පැවතිණි. මීට වසර දෙකකට පෙර, හිරෝහිතෝ  ජපන් උපරාජයා බවට පත් වූයේ, ඔහුගේ පියා වන ටයිෂෝ අධිරාජ්‍යයා මානසික රෝගී තත්ත්වය නිසා  එදිනෙදා කාර්යාලීය රාජකාරි ඉටු කිරීමට නුසුදුසු වූ බැවිනි.

හිරෝහිතෝ තායිවානයට කල පලමු සංචාරය වූයේ මෙයයි. ජපන් අධිරාජ්‍යයේ රාජ්‍ය තාන්ත්‍රික හා මිලිටරි බලපරාක්‍රමය අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්ට සිහිපත් කර දීම සඳහා ඔහු 1921 දී යුරෝපයේ රාජ්‍ය චාරිකාවක්  කර තිබුණි.  ජපානය පළමු ලෝක සංග්‍රාමයේදී මිත්‍ර පාක්ෂිකයින්ගේ පැත්තෙන් සටන් කල අතර යටත් විජිත කොල්ලයේ තම කොටස ජර්මනියෙන් ඉල්ලා සිටියේය. එය බටහිර පැසිෆික් කලාපයේ නව මිලිටරි සංස්ථාපිතයක් පිහිටුවීම සඳහා ප්‍රංශය, එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය සමඟ ප්‍රධාන නාවික ගිවිසුමක් ද අවසන් කර තිබුණි.  1922 දී ජපානයට සෝවියට් සයිබීරියාවෙන් ඉවත් වීමට බල කෙරුනි.

හිරෝහිතෝගේ තායිවාන සංචාරයේ අරමුන වූයේ ජපානයේ ජනයාට – විශේෂයෙන්ම පාලක පන්තියට – ඔහු කොරියාව ද, සහ සඵල ලෙස චීනයේ සමහර කොටස් ද ඇතුලත් රටේ විදේශීය දේපලවල නිසි පාලනය අතැතිව සිටින බව සහතික කිරීමයි. තායිවානයට ගොඩබැසීමේදී හිරෝහිතෝගේ පලමු ක්‍රියාව වූයේ 1895 දී පලමු ජපන් ගවේෂණ බලකාය සමඟ මියගිය ඔහුගේ ඥාතියෙකු වන කිටා ශිරකාවා කුමරුගේ  සොහොන් කොත වෙත පැමිණීමයි.

එහෙත් හිරෝහිතෝ තමා සහ පොදුවේ ජපන් පාලනය, මධ්‍යස්ථභාවයේ සහ සදාචාරයේ ආදර්ශයක් බව ප්‍රාදේශීය චීන පාලක පන්තියට ඒත්තු ගැන්වීමට ද උත්සාහ කළේය.  ඔහු ජපානය විසින් ඉදිකරන ලද පාසල්වලට ගිය අතර, සිරගත කරන ලද චීන ජාතිකවාදීන්ගේ දඬුවම් ද ලිහිල් කලේය.

ජපන් පාලනය විසින් තබන ලද පරදු ඉහල මට්ටමක ඒවා විය: ජපානය විසින් දිවයින තුල දැවැන්ත නවීකරණ වැඩසටහනක් දියත් කර තිබුනු අතර, දුම්රිය මාර්ග ද, ජපානයට අපනයනය කිරීම සඳහා උක් සහ අනෙකුත් මුදල් භෝග නිෂ්පාදනය කිරීම සඳහා වැවිලි කර්මාන්ත ද ඔවුන් විසින් වර්ධනය කරනු ලැබ තිබින.

එවකට ජපානයේ බලධාරීන්ට චීනයේ, කොරියාවේ පමණක් නොව, තායිවානයේ ද ජාතික ව්‍යාපාරවල වර්ධනය සමඟ කටයුතු කිරීමට සිදු වූ අතර, මෙම දිවයිනේ දී, ඔවුන්ගේ ප්‍රතිපත්ති තරමක් මධ්‍යස්ථ විය.  1919 දී ජපන් ජාතිකයින් සිවිල් ආණ්ඩුකාරවරයෙකු පත් කර ඇත (සෘජු හමුදා පාලනය වෙනුවට).  මෙම අවස්ථාවේදී, එක් ඉතිහාසඥයෙකු සඳහන් කර ඇති පරිදි, “තායිවාන සංස්කෘතිය මුලිනුපුටා දැමීමට සහ යටහත් පහත්, දෙවන පන්තියේ ජපන් පුරවැසියන්ගෙන් යුත් දිවයිනක් නිර්මාණය කිරීමට ජපානය වෙහෙස මහන්සි වී වැඩ කලේය.”

#theSocialstLK #WSWS

ඉතිහාසයේ මෙම සතිය: අප්‍රේල් 10 -16 Read More »

Scroll to Top