චෙක්-ප්‍රංශ නවකථාකරු මිලාන් කුන්දේරාගේ ජීවිතය හා මරනය පිලිබඳ පරිකථනයක් (1929-2023) – 02 කොටස
ජේම්ස් මැක්ඩොනල්ඩ්, සැන්ඩි ඉංග්ලිෂ් විසිනි.
මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 27 දින ඉංග්‍රීසි බසින් පල වූ, ‘A comment on the life and death of Czech-French novelist Milan Kundera (1929-2023)’ යන ශීර්ෂය යටතේ ජේම්ස් මැක්ඩොනල්ඩ් හා සැන්ඩි ඉංග්ලිෂ් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනයේ දෙවැනි හා අවසාන කොටසයි. මුල් කොටස මෙහි පල විය යි. පරිවර්තනය පරාක්‍රම කුරුප්පු විසිනි.
පාලක ස්ටැලින්වාදී පක්ෂයට සමාජවාදය ඇති කිරීමට ඇති හැකියාව පිලිබඳව කුන්දේරා හා බොහෝ චෙක් කම්කරුවන්ට හා බුද්ධිමතුන්ට පැවැති මිත්‍යාවන් මේ වන විට පහ වෙන්නට පටන් ගෙන තිබින. ආරම්භයේ දී චෙක් ස්ටැලින්වාදීන්ට ධනේශ්වර-විරෝධී පියවර ක්‍රියාත්මක කිරීමේ කිසිදු අභිලාෂයක් නොවීය. ඒ වෙනුවට ඔවුහු පූර්ව-යුදකාලීන චරිතවලින් සැදුම් ලත් ධනේශ්වර තන්ත්‍රයක් මඟින් පාලනය ගෙන යාමට යත්න දැරූහ. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආක්‍රමනකාරීත්වය හා සීතල යුද්ධයේ ආරම්භය විසින් මෙම සැලසුම අවුල් කර දමන ලදී. අවසානයේ ස්ටැලින්වාදීහු, කම්කරු පන්තියේ පුලුල් ස්ථරවල සහාය සමඟ බලය තමාගේ ම අතට ගෙන චෙක් ආර්ථිකයෙන් වැඩි කොටස ජනසතු කලෝය. එහෙත්, තමාගේ ම වරප්‍රසාද රැක ගනු වස්, පොලිස් රාජ්‍යයක් ස්ථාපිත කරමින් අව්‍යාජ මාක්ස්වාදය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා සෞන්දර්යාත්මක ජීවිතය මැඩ පැවැත්වීමට කටයුතු කලෝය.
ලෝසවෙඅ විසින් පැහැදිලි කරනු ලැබ ඇති පරිදි, චෙකොස්ලොවැකියාව තුල දී ස්ටැලින්වාදී විරේක කිරීම් “සුවිශේෂී රෞද්‍රත්වයක්” අත්පත් කර ගත්තේය. 1948 සහ 1954 අතරතුර,
“දේශපාලන අපරාධ පිලිබඳ චෝදනා මත 90,000 කට හිංසා පීඩා පමුනුවන ලදී. 22,000 ක් පමන ජනයා ශ්‍රම කඳවුරු 107 කට ගාල් කෙරුනු අතර 1,000 කට වැඩි පිරිසක් අත්අඩංගුවේ දී මිය ගියෝය. 230 කට වැඩි ගනනකට මරන දඬුවම පමුනුවන ලදී. මෙකී දේශපාලන විරේක කිරීම්වලට අමතරව ස්ටැලින්වාදී ආන්ඩුව, ෆැසිස්ට්වාදයේ අපරාධ සඳහා සාමූහික ව වරද පැවරීමේ ප්‍රතිගාමී පදනම මත ජර්මානු හා හංගේරියානු වාර්ගික ජනයා දශ ලක්ෂ ගනනක් පිටුවාහල් කලේය.”
1952 නොවැම්බර් මාසයේ දුෂ්ට හා කුප්‍රකට ස්ලන්ස්කි නඩු විභාගය තුල දී,
“රුඩොල්ෆ් ස්ලන්ස්කි සහ [කොමියුනිස්ට්] පක්ෂ නායකයන් ගනනාවකට යුගෝස්ලාවියා නායක ටිටෝ කෙරේ සහානුකම්පාව දැක්වීම පිලිබඳ චෝදනා එල්ල කෙරින. වැලිදු, නිලධරය දැනුවත් ව ම, කම්කරු පන්තියේ දේශපාලන සවිඥානකභාවයට තවදුරටත් යටි වල කැපීම සඳහා විෂකුරු ජාතිකවාදයේ සහ යුදෙව්-විරෝධයේ වාතාවරනයක් අවුලුවා ගැනීමට ක්‍රියා කලේය. (මෙම නඩු විභාගයේ විත්තිකරුවන් 14 දෙනාගෙන් එකොලොස් දෙනෙක් සිය යුදෙව් සම්භවය නිසා සුවිශේෂී ලෙස හෙලා දකින ලද්දෝය.)”
පෙනී යන පරිදි, පශ්චාත් යුද සමයේ කුන්දේරාගේ කටයුතු නැඹුරු වූයේ ශාස්ත්‍රීය ස්ටැලින්වාදය සහ අව්‍යාජ විවේචනයත්, කාව්‍යමය ප්‍රකාශනයත් අතර දෝලනය වීමටය. ස්ටැලින්ගේ භීෂනය පිලිබඳ කෘෂෙව්ගේ හෙලිදරව් කිරීම්වලින් පසුව 1956 දී ඔහු CSK සංවිධානයට යලි ඇතුලත් කර ගන්නා ලදී.
1957 වර්ෂයේ ඔහුගේ පෙම් කවි පොතක් Monologues (ආත්ම කථන) නමින් ප්‍රකාශයට පත් විය. 1960 දී සාහිත්‍යක ඉතිහාසය පිලිබඳ කුන්දේරාගේ කෘතිය වන The Art of the Novel: Vladislav Vancura’s Journey to the Great Epic (නවකතාවේ කලාව: මහා වීරාඛ්‍යානයක් කරා ව්ලදිස්ලාව් වැන්කියුරාගේ චාරිකාව) ප්‍රකාශයට පත් විය. එය, යුද්ධාන්තර චෙක් ඇවන්ගාඩ් ලේඛකයෙකු වූ ද, 1925 රචිත ප්‍රකාශනවාදී යුද-විරෝධී Ploughshares into Swords (අසිපත් බවට පත් නගුල් දත්) නම් කෘතියේ කතුවරයා වූ ව්ලදිස්ලාව් වැන්කියුරා පිලිබඳ නිබන්ධයක් විය. කුන්දේරාගේ කෘතිය හංගේරියානු දාර්ශනික හා විචාරක (දේශපාලනික ව ස්ටැලින්වාදයට පක්ෂපාතී) ජෝර්ජ් ලුකාෂ්ගේ ආභාෂය ලැබීය.
කුන්දේරාගේ කලාත්මක වශයෙන් වැදගත් වූ අභිවෘත්තිය 1948 සිදුවීම් හා 1968 දී ප්‍රාග් වසන්තය සෝවියට් යුද ටැංකි මඟින් මැඩලීම විසින් කථාවසානයකට ගෙන එන ලදැයි යමෙකුට කිව හැකිය. මේ සම්බන්ධයෙන් ගත් කල, ඔහුගේ වර්ධනය ලෝක ගෝලීය මධ්‍යම පාන්තික බුද්ධිමතුන් ගනය තුල ඔක්තෝබර් විප්ලවයේ උරුමයෙන් ඉවතට, සමාජවාදයෙන් ඉවතට හා කම්කරු පන්තියෙන් ඉවතට යොමු වූ වඩාත් පුලුල් ප්‍රවනතාවක් පිලිබිඹු කලේය. 1968 දී බොහෝ චෙක් බුද්ධිමතුන් තමන් වාමාංශිකයැයි සලකා ගත් නමුදු, විසම්මුතික කවවල දක්ෂිනාවෘත පැද්දී යාම 1970 ගනන්වල මැද භාගයේ සිට ම ජව බලය ලද්දේය.
1968 දිනවලින් ඉක්බිති ව ආ “සාමාන්‍යකරනයේ” කාල පරිච්ඡේදය තුල කුන්දේරාට චෙක් ස්ටැලින්වාදී බලධාරීන්ගේ තාඩන පීඩනවලට මුහුන දීමට සිදු වූ අතර, 1975 දී ප්‍රංශයට විගමනය වීමට ඔහුට බල කෙරින. 1979 දී The Book of Laughter and Forgetting ප්‍රකාශයට පත් වූ කල්හි, ඔහුගේ සියලු කෘතීන් චෙකොස්ලොවැකියාව තුල තහනම් කෙරුනු අතර, එපමනකින් නොනැවතී ඔහුගේ චෙකොස්ලෝවැකියානු පුරවැසි භාවය ද අහෝසි කරන ලදී.
ඔහුගේ ඇතැම් නවකතා අනෙකුත් ඒවාට වඩා අභිලාෂවත් හා සාර්ථක වන අතර ම, සමස්තයක් ලෙස කුන්දේරාගේ කෘතීන් තුල කර්තෘවරයා, හොඳට හෝ නරකට වේවා, කර්තෘමය ස්වයං-සම්ප්‍රජානන ප්‍රවර්ගයකට විශාල අවධානයක් යොමු කරන්නේ, ඇතැම් අවස්ථාවන්හි ඍජුව ම පාඨකයා ආමන්ත්‍රනය කරමිනි.
උදාහරනයක් ලෙස, The Unbearable Lightness of Being හි දී, සල්ලාල ටෝමාස්, කලාකාරිනිය සබීනා සහ සෙසු චරිතවල කථා පුවත් ප්‍රකාශ කරන ප්‍රථම පුරුෂ කථකයා මත්, විටින්විට තේමාත්මක, දාර්ශනික හා ඓතිහාසික නිරීක්ෂනයන් දායක කරන කර්තෘ කුන්දේරාගේ හඬ තුලට ලොප් වන, සිදුවීම්වලින් අබද්ධ සහ විශ්ලේෂනාත්මක කථන හඬක් බවට පත් වෙයි.
මෙම ශෛලිය “පශ්චාත් නූතනවාදය” ලෙස නම් කරනු ලැබ ඇත්තේ, ප්‍රබන්ධමය කථා ප්‍රවෘත්තියක් පවත්වා ගෙන යාම එ’විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම නිසා ය. එයින් පිලිබිඹු කෙරෙන දෘෂ්ටිය – එනම්, සිදුවීම් පිලිබඳ ආඛ්‍යානයන් නෛසර්ගිකව ම ආත්මීය, විශ්වාස කල නොහෙන හා අසංගත වන බව – 1970 ගනන්වල අග භාගයේ සිට බිහි වූ කලා කෘතීන් විශාල සංඛ්‍යාවක් කෙරේ ආනුභාවය පැවැත්වීය; නො එසේ නම්, ඍජුව ම ඒවා හැඩ ගැස්වීය. – ඒ කිසියම් අර්ථදායී අයුරකින් නම් නොවේ – ප්‍රබන්ධ ලෙස කුන්දේරාගේ කෘතීන්, විඥානයේ ප්‍රවර්ග සහ කර්තෘ විවරන අතර මාරුවීම මඟින් ඒ හැටියෙන් ම විරූපී වී නොමැති අතර, ඔහුගේ කෘතීන්ට තවමත් පශ්චාත් යුද කාලීන චෙකොස්ලෝවැකියාවේ විවිධ නිමේෂයන්හි ජීවිතය පිලිබඳ විචිත්‍රවත් නිරූපන ලබා දිය හැකි ව තිබිනි.
ඔහුගේ චරිත බොහොමයක් ගොරෝසු, අකරුනාවන්ත හා අවස්ථාවාදී පෞද්ගලික සම්බන්ධතා විසින් විනාශ මුඛයට යැවෙති. (Laughable Loves තුල ඔහුගේ කෙටිකතා එකතුවෙහි ද බොහොමයක මෙම තතු දැකිය හැකිය) යම්තාක් දුරකට මෙය, විශේෂයෙන් ම 1968 න් පසුව එලැඹි කාල පරිච්ඡේදයේ, සමාජ ජීවිතය නිසැකව ම පිලිබිඹු කරන නමුදු, කොයි හැටි වෙතත්, ලේඛකයා එයින් ප්‍රීති ප්‍රමෝදයට පත් වෙන සෙයක් පෙනී යයි. ඉන් වැඩි හරියක් හුදෙක් පාඨකයාගේ මුවෙහි අප්‍රසන්න රසයක් පමනක් ඉතිරි කරනු ඇත.
මෙම කෘතීන් තුල – විශේෂයෙන් ම The Book of Laughter and Forgetting සහ The Unbearable Lightness of Being යන කෘතීන් තුල – දහස් ගනන් යුරෝපීය බුද්ධිමතුන්ගේ මනෝභාවයන් පිලිබිඹු විය. The Book of Laughter and Forgetting කෘතිය 1983 දී ඉංග්‍රීසියට පරිවර්තනය වීමෙන් පසුව එය ඇස නොගැසීම සිදු විය නොහැක්කක් තරම් විය. එම පොත (තමන් කුන්දේරාගේ මිතුරෙකු ලෙස සලකා ගත්) පිලිප් රොත්, ඊ.එල්. ඩොක්ටරෝ, ඩේවිඩ් ලොජ්, අර්වින් හෝව් හා ජෝන් අප්ඩයික් ඇතුලු බොහෝ මුල් පෙලේ බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලේඛකයන් හා විචාරකයන්ගේ විමර්ශනයට ලක් වූ අතර, සෑම විටෙක ම පාහේ ඔවුන්ගේ විචාර ප්‍රශංසාත්මක ඒවා විය. එය පැහැදිලිව ම කිසියම් තතක් හඬවා තිබින.
පශ්චාත් නූතනවාදයේ තථ්‍ය සෞන්දර්යාත්මක සීමාසහිතකම් – හරි හැටිම කිවහොත් එහි තථ්‍ය කලාත්මක-බුද්ධිමය දෝෂය – රඳා පවතින්නේ, ඔහුට ග්‍රහනය කල නොහැකි වූ සහ ඔහු ඉක්මවා යමින් මුලුමනින් ඔහු අභිභවනය කල ක්‍රියා සන්තතියක් වන ඉතිහාසය කෙරේ කුන්දේරා දක්වන ආකල්පය තුල ය. කුන්දේරාට අනුව ඉතිහාසය පවතියි. එහෙත් ඒ, සමාජ පන්තීන්ගේ ගැටුම මඟින් නාට්‍යාකාරී හා කම්පනකාරී අයුරින් ඉදිරියට හා ඇතැම්විට පසුපසට තල්ලු කර දමනු ලබන ප්‍රගතිය වශයෙන් නොවේ. ඒ වෙනුවට, ඔහුට අනුව එය, යතාර්ථය තුලින් නොව චින්තාවන්ගෙන් සම්භව වන වැරදීම්වලට සාමාන්‍යයෙන් තුඩු දෙන්නා වූ මනෝභාවයන් හා මායාවන් මාලාවකි.
උදාහරනයක් ලෙස, The Unbearable Lightness of Being තුල “මහා ප්‍රයානය” නමින් යුත් සමස්ත ඡේදයක් වෙයි. එය හුදෙක්, පසුකලෙක පශ්චාත් නූතනවාදී චින්තනයේ සහ ලේඛනවල දී ඉමහත් ගර්හාවන්ට පාත්‍ර කල “මහා ආඛ්‍යාන” ලෙස හඳුන්වා දෙන ලද දෙය පිලිබඳ තවත් ප්‍රකාශනයකි. මෙහි දී ඔහු, සිය චරිත අතරින් එකක් වූ ෆ්‍රාන්ස්ගේ තුරුනු යුගය නරුම ලෙස විස්තර කරයි. මෙම චරිතය තරුන කුන්දේරා සමඟ සැසඳෙතැයි යමෙකුට අනුමාන කල හැක:
“ඉතින් ඔහු පැරීසියේ විසූ තාක් කල් ඔහු තමන්ට හැකි සෑම පෙලපාලියකට ම සහභාගී විය. යමක් උත්සවාකාරයෙන් සැමරීම, යම් ඉල්ලීම් ඉදිරිපත් කිරීම, යමකට එරෙහිව විරෝධය දැක්වීම; එලිමහනේ සිටීම, අන්‍යයන් සමඟ සිටීම කෙතරම් කදිම ද? … ඔහු පෙලපාලිය, කෑ ගසන සමූහයා දුටුවේ යුරෝපයේ හා එහි ඉතිහාසයේ ප්‍රතිමූර්තිය සේ ය. මහා ප්‍රයානය යුරෝපය විය. විප්ලවයෙන් විප්ලවයට, අරගලයෙන් අරගලයට, සදා ඉදිරියට ඇදෙන ප්‍රයානය …
“මහා ප්‍රයානය යනු සහෝදරත්වය, සමානාත්මතාවය, සාධාරනත්වය, සන්තුෂ්ටිය කරා වැටී ඇති මාවත දිගේ ඇදෙන තේජස්වී පෙලපාලියයි; එය දිගට ම, නොනැවතී ඇදෙයි. නිර්ධන පන්ති ආඥාදායකත්වය ද, ප්‍රජාතන්ත්‍රවාදය ද? පාරිභෝගිකවාදී සමාජය ප්‍රතික්ෂේප කිරීම ද, නිෂ්පාදන ඵලදායීතාව වැඩි කිරීම ද? ගිලටීනය ද, මරන දන්ඩනය අහෝසි කිරීම ද? ඒ සියල්ල අදාල නොවේ.”
ඔහුගේ පසුකාලීන කෘතීන් මෙම සංකල්ප පුනරාවර්ත කල අතර, ඉන් වැඩි ම කොටසක් සම්බන්ධයෙන් ගත් කල, ඔහු ලෝකයෙන් හෝ ලෝකය පිලිබඳ ව හෝ අලුතින් සොයා ගත් යමක් වී නම් එය අල්ප විය. උදාහරනයක් ලෙස, Immortality (අමරනීයත්වය) [1988] තුල පිටු 345 ක් පුරා දිග හැරී ඇති ලේඛනය ප්‍රබල සංස්කාරකවරයෙකුගේ සේවය ඉල්ලා සිටියි. කුන්දේරාගේ සන්දර්භනයන් ඇතැම්විට පැහැදිලි බුද්ධිමය හා සෞන්දර්යාත්මක තතක් හඬවන නමුදු, එතරම් ම නිරතුරුව ඒවා අතිසරල හා අමු හඬ ද නංවයි.
මෙම නවකතාවේ “දේශපාලන” විරෝධයක එකම සිද්ධිය සිදුවන්නේ, කුන්දේරාගේ තවත් වෙනස් මමංකාරයක් ලෙස පෙනී යන මහාචාර්ය ඇවනේරියස් රාත්‍රියේ සඟවා ගත් මස් කපන පිහියක් ද සහිත ව ව්‍යායාමය සඳහා දිව යමින්, නවතා තිබෙන මෝටර් රථවල ටයර් කපා දමන අවස්ථාවේ ය. ඇවනේරියස් මෝටර් රථවලින් ඇති වන ව්‍යවර්තනයට, යුරෝපයේ වාස්තුවිද්‍යාව අගය කිරීමට කෙනෙකුට ඇති ශක්‍යතාවය කෙරේ මෝටර් රථවලින් ඇති කෙරෙන බාධාවට විරුද්ධ වෙයි. සිය චරිතය සමඟ සංවාදයේ යෙදෙන කුන්දේරා, ඇවනේරියස් සිය ක්‍රියාවන්ගේ නිෂ්ඵල භාවය සහ, ඔහු සිය නාශක ක්‍රියාව සිදු කරන්නේ “විනෝදය” සඳහා බව වටහා ගනිතැයි නිගමනය කරයි. සියලු දේශපාලන ක්‍රියාවන් ඇතුලත් වන පරිදි මෙම නිගමනය විස්තාරනය කිරීමට අපට නිදහස ඇත. දේශපාලනික නිෂ්ඵලභාවය සහ යමෙකුගේ සම්මුතිගත සෞන්දර්යාත්මක අත්දැකීම, මේ අවස්ථාවේ කුන්දේරාගේ ලේඛන අභිවෘත්තිය තුල පරදු තැබී තුබුනේ මේවා ය.
නවකතාවේ පසු කොටසක, ඓතිහාසික ක්‍රියාකාරීත්වය දේශපාලනික විරෝධය සම්බන්ධයෙන් පහත දැක්වෙන හෙලාදැකීම කරා සිඳවනු ලැබේ:
“මිනිසුන්ට සිය මිට මෙලැවූ අත් අවකාශයේ ලෙලැවීමට සලස්වමින්, රයිෆල් තුවක්කු ඔවුන්ගේ අතට දෙමින්, යුක්තිසහගත හා අයුක්තිසහගත අභිප්‍රායයන් වෙනුවෙන් අරගලවලට සම්බන්ධවීමට ධාවක බලය සපයන්නේ තර්ක බුද්ධිය නොව, අධිවර්ධිත ප්‍රානේන්ද්‍රියයි. එය නොමැති වූ කල ඉතිහාසයේ මෝටරයෙහි ධාවනය නතරවන්නා වූ ද, යුරෝපයට තන බිමේ වැතිර අහසේ පාවා යන වලාකුලු දෙස නිවී සැනසිල්ලේ බලා සිටීමට සිදු වන්නා වූ ද ඉන්ධනය එයයි.”
කුන්දේරා සිය යුගයේ කම්පන හා ඛේදාන්ත පිලිබිඹු කලේය; එහෙත් ඒ අකර්මන්‍ය ලෙස සහ පාර්ශ්වික ලෙස ය. ඔහු සිය කලාත්මක අන්තර් දෘෂ්ටිය අවිචාරී බුද්ධිමය ඉබාගාතේ යාමක ඝන ස්ථරයකින් වසා දැමීය. ඔහු චෙකොස්ලොවැකියාවෙන් පිට වීමෙන් සහ සාපේක්ෂ ව නිදහසේ ලිවීමට ඉඩ ලැබීමෙන් පසු එම ඉබාගාතේ යාම වඩාත් කඨෝර සහ ආත්මීය මට්ටමකට නැඟිනි. (ඇතැම්විට ද ජෝක් හැරුනු විට) ඔහුගේ කෘතීන් බොහෝදුරට මතු වී පෙනෙන්නේ ඔහුගේ කාලය පිලිබඳ විමර්ශනය කිරීමෙහි ලා ඇතැම් තැන්වල දී නිරවද්‍ය හා තීක්ෂන වූත්, සෙසු තැන්වල දී දුබල හා නිෂ්ප්‍රයෝජන වූත් ප්‍රයත්නයන් මාලාවක් ලෙස ය. එහෙත් එම ප්‍රයත්නයන්ට, ජීවිතය පිලිබඳ වඩාත් ම නිරවද්‍ය සහ සුපැහැදිලි චිත්‍රනයක් සඳහා වූ මාවතෙන් ඔහු ඉවතට තල්ලු කර දැමීමට ක්‍රියාත්මක වූ බලගතු සාමාජයීය ක්‍රියාවලීන්ගෙන් හානි සිදු වී ඇත.
යලිත්, බුද්ධිමය හා කලාත්මක ජීවිතය මත ස්ටැලින්වාදය ඉටු කල විනාශකාරී වැඩ කොටස පිලිබඳ වඩාත් ම ප්‍රගාඪ අන්තර් දෘෂ්ටිය සතුව තුබුනේ ට්‍රොට්ස්කි වෙත ය. ඔහු වරක් සටහන් කල පරිදි:
“සමස්ත ලෝක තත්ත්වය විසින් නිපුන හා සංවේදී කලාකරුවෝ විප්ලවවාදී නිර්මානාත්මක භාවයේ මාවතට අවතීර්න වීම කරා පොලඹවනු ලැබෙති. එහෙත්, අහෝ! මේ මාවත ප්‍රතිසංස්කරනවාදයේ හා ස්ටැලින්වාදයේ කුනු වන මෘත කලේබර විසින් අවහිර කරනු ලැබ ඇත.”
මාක්ස්වාදීන්ට “කලාව මෙහෙයවීමට, එනම්, ඊට අන පැනවීමට හෝ ක්‍රමෝපාය නිර්දේශ කිරීමට” කිසිදු අභිරුචියක් නැතැයි ට්‍රොට්ස්කි වැඩි දුරටත් කියා සිටියේය. ඔහු නිරීක්ෂනය කල පරිදි, අව්‍යාජ නිර්මානාත්මක විප්ලවවාදී ක්‍රියාකාරීත්වයට
“එය දැනුවත්ව ම සමාජ සංවර්ධනය සඳහා සේවය කරන කල්හි වුව, ඊට ම ආවේනික අභ්‍යන්තර නීති පවතී. විප්ලවවාදී කලාව මුසාව, කුහකකම හා අනුග්‍රහයේ සාරය සමඟ අනුකූල නොවේ. ඉදින් මහජනයාගේ විප්ලවවාදී ව්‍යාපාරය අද දින මානව වර්ගයාගේ ක්ෂිතිජය අඳුරු කරන සංශයවාදයේ හා අසාරවාදයේ වලාකුලු පහ කර හරින්නේ නම් කවියෝ ද, චිත්‍ර ශිල්පියෝ ද, මූර්ති ශිල්පියෝ ද සංගීතඥයෝ ද සිය මාවත් හා විධික්‍රම තුමූ ම සොයා ගනු ඇත්තාහ.”
මේ වූ කලී, ස්ටැලින්වාදය විසින් හානි පමුනුවන ලද්දා වූ කුන්දේරා සහ පරම්පරා ගනනාවක කලාකරුවන්ට උචිත සමරු පාඨයක් වෙයි.