“මැතිවරන වසර”, පසුගිය ශ්‍රිලපොපෙ සම්මේලනය හා සුලු ධනේශ්වර බුද්ධිමතුන් ඔසවන ජවිපෙ – 02 කොටස
එල්.පී.උදයප්‍රේම විසිනි.
මෙම ලිපියේ පලුමු කොටස මාර්තු 12 දින පල විය. අද (13) පලවන්නේ එහි දෙවන කොටසයි.
ජවිපෙ / ජාතික ජන බලවේගයේ උගුල
පාලක පංතියේ උද්ඝෝෂන සියල්ලම එකට බැඳ ඉහලට ම ඔසොවා ගෙන යන්නේ ජාතික ජන බලවේගය (ජාජබ) යි. එය ධනපති හා මධ්‍යම පංතික සංවිධාන 28ක් ඈඳා ගනිමින්, ජවිපෙ මුල් වී තනා ගත්තකි. මේ සත්‍යය කම්කරු පීඩිත ජනයාගෙන් වසන් කිරීමට, එය විද්වතුන්, වෘත්තිකයන්, කලාකරුවන්, ව්‍යාපාරිකයන්, සිවිල් සමාජ කන්ඩායම් සහ බෞද්ධ භික්ෂුන්ගෙන් සැදුම් ලත් අපංතික සංධානයක් ලෙස පෙන්වීමට ජවිපෙ වෙර දරයි.
ජවිපෙ, 1988/89 සන්නද්ධ අරගලය ලේවැකි ලෙස මර්දනය කරනු ලැබීමෙන් ඉක්බිති, 90 දශකය මුල, යලි මැතිවරන දේශපාලයට පිවිස, කොලඹ පාලනය සමඟ සමීපස්ථ වෙමින් වැඩ ඇරැඹුවේ තම සුලු ධනේශ්වර සමාජවාදී ව්‍යාජ ප්‍රලාප මුලුමනින් ම වීසි කර දමමිනි. චන්ද්‍රිකා කූමාරතුංග සමග සංධානයකට ක්‍රියා කල එය, 2005 දී මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමට ද වැඩ කල අතර, ධනපති ආන්ඩුවල ඇමතිකම් දරමින් කම්කරු පීඩිත මහජනයාට එල්ල කල සියලු ම ප්‍රහාරයන්ට හිරිකිතයකින් තොරව සහය පිදී ය.
එහි තර්කානුකූල අන්තය ලෙස ජාජබ නම් වූ ධනපති සංධානය 2015 දී පැන නැගුනි.
ඇමරිකාවේ හා ඉන්දියාවේ පිටුබලය ඇති ව 2015 දී යහපාලන ආන්ඩුව බලයට ගෙන ඒමට කුමාරතුංග, වික්‍රමසිංහ හා මෛත්‍රීපාල සිරිසේන මූලිකත්වය ගෙන සිදු කල තන්ත්‍ර මාරුව පාලක පංතියේ අර්බුදය පමනක් නොව ඊට පැවති මහජන පදනම් සෝදා යෑම පිලිබඳ ව ද සංඥාවක් වීය. එම වසරේ ම ධනපති පක්ෂවලට විකල්පයක් ලෙස පෙන්නුම් කරමින් ජාජබ බිහි කිරීමට ජවිපෙ සහ ධනපති හා වරප්‍රසාදිත මධ්‍යම පංතික කොටස් මූලිකත්වය ගැනීම, පංති සම්බන්ධතාවන්හි නව පෙල ගැසීම්වල දැනුවත් ප්‍රකාශනයක් විය.
ධනපතියන්, ඉහල මධ්‍යම පංතික කොටස් හා ධනපති මාධ්‍ය තුල ජාජබට වැඩෙන සහයෝගයත්, ඇමරිකාව, ඉන්දියාව ඇතුලු බලවත් රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන් හා අයිඑම්එෆ් නියෝජිතයන් ජාජබ සමඟ සමීපව වැඩ කිරීමත් පෙන්නුම් කරන්නේ එය ධනපති සංවිධානයක් ලෙස ඔවුන්ගේ සැලකිල්ලට භාජනය වී ඇති බවයි. ජාජබයේ නායක අනුර කුමාර දිසානායකට මේ කලාපයේ ඇමරිකානු සහචරයා වන ඉන්දියාවේ පාලක ප්‍රභූව සමඟ පෙල ගැසීමට ආරාධනා ලැබීම එහි ම දිගුවකි.
විශ්‍රාමික ඉහල හමුදා නිලධාරීහු ද, අසාධාරනයට පාත්‍ර වූ රජයේ සිවිල් නිලධාරීහු ද, රාජ්‍ය පරිපාලනයේ ඉහල තනතුරු දැරූවෝ ද, රජයේ හා පෞද්ගලික අධ්‍යාපන ආයතනයන්හි ආචාර්යවරු හා සුලු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයෝ ද ජාජබ කර ගසා ගෙන ඉදිරියෙන්ම ගමන් කරන්නෝ වෙති. එකී පංති ස්ථරයේ ම ශාස්ත්‍රාලීය බුද්ධිමතුන් දෙදෙනෙකු වන ජයදේව උයන්ගොඩ සහ නිර්මාල් රංජිත් දේවසිරි, ජවිපෙ /ජාජබ තොරොම්බල් කිරීම සඳහා අවශ්‍ය න්‍යායික හා දේශපාලනික උද්ඝෝෂනයට අත ගසාගෙන සිටිති.
එදා කුමාරතුංග, රාජපක්ෂ හා සිරිසේනගේ අධිරාජ්‍ය ගැති පිලිවෙත් උත්කර්ෂයට නැංවූයේ යම් සේ ද , එපරිද්දෙන් ම මෙම ශාස්ත්‍රාලිකයෝ මෙවර ජවිපෙ /ජාජබ තොරොම්බල් කිරීමත්, ඊට උපදෙස් දීමත් තම වගකීම ලෙස පවරා ගෙන සිටිති. අනිද්දා පුවත්පතට ලියූ එක් ලිපියක උයන්ගොඩ මෙසේ සඳහන් කරයි: “ලංකාවේ දේශපාලනය පත් වූ අධිකාරවාදී පරිවර්තනය තුල ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරිමේ සමාජ අවශ්‍යතාවයෙහි ප්‍රධාන ප්‍රකාශකයෙකු වීමට, ලංකාවේ ප්‍රමුඛ විප්ලවවාදී ව්‍යාපාරය වූ ජනතා විමුක්ති පෙරමුනට ද ඉතිහාසය විසින් බල කෙරී තිබෙන බව පෙනේ.”
මෙම මහාචාර්යවරයාට අනුව, පාලක පංතියේ අර්බුදයෙන් “විනාශයට පත් බහුතරය වන කම්කරු, ගොවි, දුගී මධ්‍යම පංතික ජනතාවට,” “ස්වාධීන වමේ ව්‍යාපාරයක් හෝ කම්කරු පංති ව්‍යාපාරයක් නොතිබීම” තුල “ඒ සදහා දේශපාලන පියවරක් ගැනීමට හැකියාව තිබෙන්නේ ජාජබයට යි.”
“ස්වාධීන වමේ ව්‍යාපාරයක්”, “කම්කරු පංති ව්‍යාපාරයක් “යැයි ඔහු සඳහන් කරන දෙය වෙනුවට ජාජබට ගැනීමට හැකියාව ඇති, මහාචාර්යවරයා සඳහන් කරන “දේශපාලන පියවර” කුමක් ද? එය ධනපති පංතියෙන් ස්වාධීන පිලිවෙතක් ද?
මහාචාර්යවරයා එකී ප්‍රශ්නය වංචනිකව මග හැර යමින්, කම්කරු පීඩිත මහජනයාට අවශ්‍ය “ස්වාධීන වමේ ව්‍යාපාරය” ජාජබයේ වර්තමාන අවස්ථාවාදී හා ධනපති පිලිවෙතින් සපුරා ගත හැකියැයි මවා පායි. එහෙත්,සමාජවාදී ව්‍යාපාරය තුල ස්වාධීන යන්නෙන් කවදත් අදහස් වූයේ ධනේශ්වරයෙන් දේශපාලනිකව හා සංවිධානාත්මක ව මුලුමනින්ම වෙන් වී ගෙන, සමාජවාදය සඳහා කරන්නා වූ සටනයි.
මහාචාර්යවරයා “ස්වාධීන” යන්න විකෘති කොට සඳහන් කරන්නේ වැරැදීමකින් නො වේ. එය ඔහුගේ ප්‍රතිගාමී දේශපාලනික පංති උවමනාවන්ගෙන් ගලා එන්නකි.
එහි එල්ලය වන්නේ, ධනේශ්වර ප්‍රහාරයට එරෙහි අරගලයේ දී, සමාජවාදී පිලිවෙත මත නැගී සිට, අවශේෂ පීඩිත මහජනයා තමන් වටා බලමුලු ගන්වා ගැනිමේ දී කම්කරු පංතියට පැවරෙන ඓතිහාසික වගකීම කල් තියා ව්‍යාකූල කිරීමයි.
ධනපති පාලනයට අභියෝග කල 2022 මහජන නැගිටීමේ අන්තරායන් පිලිබඳ භීතියට පත්ව සිටින ධනේශ්වරය හා ධනේශ්වර ගැති මධ්‍යම පංතික කොටස් තමන් පත් එම ව්‍යසනය පහ කර ගැනීමේ විකල්ප සොයමින් සිටියි.
“2024 දේශපාලන ප්‍රතිඵල නො පැහැදිලි වසරක් වේවි ද?” නම් තේමාවක් සහිත මහාචාර්යවරයාගේ ලිපියක ධනපති පාලනයේ එක් කල්ලියක්, කෙරෙහි ඔහු තුල පවතින විරෝධය පල කර ඇත. ඒ අනුව, “ලංකාවේ පාලක පංතිය බලයෙන් ඉවත් කිරීම” අවශ්‍යයැයි ඔහු පෙන්වා දෙයි. එහෙත් ඒ පිලිබඳ ව විපක්ෂ දේශපාලන බලවේගවල පවතින නුසූදානම ගැන සඳහන් කරමින්, “එම ප්‍රශ්නයට තවමත් පැහැදිලි පිලිතුරක් නැති වීම ලංකාවේ වර්තමාන දේශපාලන යථාර්ථයේ ම කොටසක් වී තිබේ”යැයි කනස්සල්ලට පත් වෙයි. එකී පසුබිම තුල ධනපති පක්ෂවලින් මුක්කු ගසා කෙලින් කර ගත හැකියැයි ඔහු තක්සේරු කරන්නේ ජවිපෙ /ජාජබ යි.
මහාචාර්යවරයා ඒ සඳහා ජවිපෙ /ජාජබට උපදෙස් දෙන්නේ, “රාජ්‍යයේ හා වෙලඳ පොලේ ආර්ථික හා සමාජ වගකීම් පිලිබඳ අලුත් සිතීමක් හා ප්‍රතිපත්ති දැක්මක් ඉදිරිපත් කිරීමට”ය.
මහාචාර්යවරයා ශාස්ත්‍රාලීය වචන හරඹයන් අස්සෙන් ජාජබට යෝජනා කරන, ජනතාවට ඉදිරිපත් කලයුතු යැයි උපදෙස් දෙන, “අලුත් සිතීම”හා අලුත් “ප්‍රතිපත්තිය” කුමක් ද ?
අනිකුත් අවස්ථාවාදීන් සේම මහාචාර්ය උයන්ගොඩ ද “අලුත් සිතීම” හා “අලුත් ප්‍රතිපත්තිය” කොට ගෙන ඇත්තේ වර්තමාන අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තිය වන අයිඑම්එෆ් වැඩ පිලිවෙල යි. එය ක්‍රියාවට ලන ඕනෑම පක්ෂයකට ඊට “අවශ්‍ය වන ශක්තිය” – එනම්, මැතිවරනයෙන් ලබාගන්නා පැහැදිලි ජනවරමක් – “පැවතිය යුතුයැයි ඔහු කියා සිටියි. දුගී මහජනයා යලියලිත් රවටා ඇති පැරනි ධනපති පක්ෂ ඊට අසමත් බැවින්, දැන් ජාජබ ඊට යොදා ගැනීමෙන් එය ජය ගත හැකියැයි මහාචාර්යවරයා ගනන් බලයි. ඔහුගේ යෝජනාව මෙසේය: “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීමේදී අවශ්‍ය වන ශක්තිය ජාජබයට ලබා ගත හැකි වනු ඇත්තේ, දුගී ජනතාවට ද සේවය කරන ආර්ථික හා සමාජ ප්‍රතිපත්ති රාමුවක් සඳහා ඊලඟ මැතිවරනවල දී පැහැදිලි ජනවරමක් ලබා ගත් විට ය.”
මහජනයාගේ සියලුම සමාජ අයිතීන් අතුගා දැමෙන අයිඑම්එෆ් පිලිවෙත් සමඟ “දුගී ජනයාට ද” සේවය කිරීමේ සැලසුම් නැති බව ඕනෑම කම්කරුවෙක්, පීඩිතයෙක් දනී. ලොව පුරා අත්දකින මේ සත්‍යය වසන් කරමින් මහාචාර්යවරයා ජාජබට උපදෙස් දෙන්නේ, “දුගී ජනතාවට ද” සේවය කරන ආර්ථික හා සමාජ ප්‍රතිපත්ති “ඉදිරිපත් කරන ලෙස යි.
ජනතාවගේ දුක, මහජනයා අත්විඳින ආර්ථික බර හා ධනපති විරෝධය ගැන වට වන්දනාවකින් පසු මහාචාර්යවරයා අවසානයේ දී සම්ප්‍රාප්ත වන්නේ සියලුම අවස්ථාවාදීන් වන්දනාමාන කරන එම අයිඑම්එෆ් දෙවොලට ම ය.
උයන්ගොඩගේ ජවිපෙ /ජාජබ පිම්බීමේ ව්‍යායාමයට උල්පන්දම් දෙමින් මහාචාර්ය දේවසිරී සඳහන් කරන්නේ, ජාජබට “ඇති වෙමින් පවතින ජනතා නැඹුරුව සංසන්දනය කල යුත්තේ 1956 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (මහජන එක්සත් පෙරමුන) වෙත ඇති වූ ජනතා නැඹුරුවට” බවයි. ඔහු තවදුරටත් සඳහන් කරන්නේ, “…. ජනතාව මාලිමාව හරහා ප්‍රර්ථනා කරන්නේ ‘නව පනස් හයයි'” යනුවෙනි. 56 ආන්ඩුව “ජනතා ආන්ඩුව” ලෙස නම් කල බව සඳහන් කරන දේවසිරි, “නව” පනස් හය ද බිහි කරන්නේ ජනතා ආන්ඩුවක් යැයි සපථ කරයි.
තමන්ගේ මල්ලට ඡන්ද වැටේ නම් ඕනෑ ම බොරුවක් ඇද බාන ධනපති දේශපාලඥයෙකු මෙන් ආචාර්ය දේවසිරි, තමන් ආසක්ත ව සිටින ජවිපෙ /ජාජබ උඩට ඔසොවා තැබීමට ගෙන එන මේ සාම්‍යය කෙතරම් විකාරයක් ද?
1956 බන්ඩාරනායකගේ නායකත්වයෙන් මහජන එක්සත් පෙරමුන (මඑපෙ) බලයට ආවේ, බටහිර ආර්ථිකයේ පශ්චාත් යුද කාලීන උත්පාතය මධ්‍යයේ ය. එය සමසමාජ පක්ෂයේ හා ස්ටැලින්වාදයේ විවෘත පාවාදීම් හරහා ලද මැතිවරන ජයක් විය. සමසමාජය හා කොමියුනිස්ට් පක්ෂය මඑපෙ සමඟ ඇති කර ගැනීමට ගිය මැතිවරන නිතරඟ ගිවිසුම බන්ඩාරනායක උල්ලංඝනය කල කල් හි පවා සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ ඒක පාර්ශ්වික නිතරඟ පිලිවෙතකින් මඑපෙට සහාය පිදූ අතර, 1956 මැතිවරනයේ සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ බලය පැවැති ආසනවලට තරඟ කල මඑපෙ අපේක්ෂකයන් වැඩි දෙනෙකු ලබා ගත් අල්ප ඡන්ද සංඛ්‍යාවන් හා එහි දී ඔවුන්ගේ ඇප මුදල් පවා රාජ සන්තක වීම විසින් මඑපෙ ‘ජන බලවේගයේ’ දිග පලල හා ගැඹුර පෙන්නුම් කෙරින.
අධිරාජ්‍යවාදී බලවේග හා සෝවියට් රුසියාව ඇතුලු නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී කඳවුර අතර බල තුලනය මත පදනම් වූ ලෝක දේශපාලනය තුල, ඇතැම් සහන දිනා ගැනීමට ජාතික ධනපති ආන්ඩු සමත් විය. එමගින් අධිරාජ්‍යවාදයෙන් ස්වාධීනත්වය තහවුරු කරගැනීමට හැකිය යන මායාව පැතිර වීමට ද හැකි විය.
බන්ඩාරනායක ප්‍රධාන ආර්ථික මර්මස්ථාන හා සේවා රාජ්‍යයට පවරා ගෙන ජනසතු දේපොල නමින් ඒවා රාජ්‍යයේ පාලනයට ගනිමින් ජාතික ආර්ථිකය “නගා සිටුවීමට” පියවර ගැනීම හා අධිරාජ්‍යවාදීන් ට පැවති පාලන බලතල සීමා කිරීම් ද ඒ ප්‍රතිසංස්කරන අතර විය. නමුත්, ලංකාවේ ධනේශ්වරයේ උපායයන් ක්ෂය වී යාමත් සමඟ 56 “ජනතා ආන්ඩුව” දෙමල ජනතාවට විරුද්ධ ව සිංහල ස්වෝත්තමවාදය කරා ඉක්මනින් පල්ලම් බැස්සේ ය.
එකී ඉතිහාසය ගසා බසා දමන ආචාර්ය දේවසිරී, 1956 සිදු වූ බල පෙරලිය නැවතත් 2024 දී “නව” පනස් හය ලෙස සිදු වන්නේයැයි ද, මෙවර එය ක්‍රියාවට නගන්නේ ජවිපෙ /ජාජබය බවට ද පාරම්බායි. 1956 සහ 2024 පිලිබඳ සංසන්දනයේ දී දේවසිරි නොතකා හරින මූලික ම දේ වන්නේ ආර්ථික හා දේශපාලනික තත්වයේ සිදු වී ඇති බරපතල වෙනසයි. එනම්, 1956 බල පෙරලිය අධිරාජ්‍යවාදයේ ආර්ථික උත්පාතයක සිදු වූවකි. එහෙත් ඔහුගේ “නව” පනස් හය සිදු වන්නට යන්නේ ලෝක පරිමාන මහා ආර්ථික-මූල්‍ය අර්බුදයක් තුල ය. එයින් මෙහෙයවෙන දියුනු හා පසුගාමි ධනපති ආන්ඩු එකසේ මහජනයා මත කඩාපාත් කරන්නේ සමාජ ප්‍රතිවිප්ලවයේ හා යුද්ධයේ විනාශයන් ය. ආඥාදායක හා ෆැසිස්ට් පාලනයන් ය. ලංකාවේ පාලක පංතිය එය මූර්තිමත් කරයි.
දේවසිරිගේ නව පනස් හය ඉදි කරන ජවිපෙ /ජාජබ, ධනපති පක්ෂ සමඟ තරඟ වැදීමේ දී බන්ඩාරනායක මෙන් ජනසතු දේපල පිහිටුවීමේ හෝ විදේශීය ආයෝජකයන්ගෙන් දේශීය ආර්ථිකය රැකගැනීමේ ප්‍රතිඥාවන් මූලිච්චාවටවත් ගෙන එන්නේ නැත. ජවිපෙ /ජාජබ නායකයන් අයිඑම්එෆ් නියෝජිතයන් මුන ගැසෙමින් ඔවුන්ගේ පිලිවෙත් සම්බන්ධයෙන් දක්වා ඇති එකඟතාවයෙන් පෙන්වන්නේ එහි ප්‍රතිවිරුද්ධය යි.
මේ තතු යටතේ 2024 ජවිපෙ /ජාජබ “ජනතා ආන්ඩුව” 56 බන්ඩාරනායකගේ ආර්ථික මොඩලයේ ආන්ඩුවක් නො වන බව ආචාර්ය දේවසිරී දනී. 90 වර්ෂයේ සිට ධනපති ආන්ඩුවලට වැදී අධිරාජ්‍යවාදී උවමනාවන් වෙනුවෙන් පෙනී සිටීමෙන් ජවිපෙ එය ඇති තරම් තහවුරු කොට ඇත.
ආචාර්ය දේවසිරී හා මහාචාර්ය උයන්ගොඩ ස්වකීය ප්‍රතිගාමී උද්ඝෝෂනයට කර ගසන්නේ ජවිපෙ/ජාජබය ධනපති පක්ෂවලට විකල්පයක් ලෙස ධනේශ්වරයේ හා ධනපති ගැති මධ්‍යම පංතික කොටස් තුල ඇති වී ඇති විශ්වාසය පෙර දැරිව ය. අයිඑම්එෆ්, විදේශීය හා දේශීය මහ සමාගම් පමනක් නොව අධිරාජ්‍යවාදයේ මත් අත්ගෙඩියක් ලෙස ක්‍රියා කිරීමේත්, කම්කරුවන්ට එරෙහි ෆැසිස්ට් බලවේගයන් වර්ධනය කිරීමට බොහෝ සෙයින් විභවයක් සහිත වීමේත් ස්වභාවය කැටි කරගත් ජවිපෙ දේශපාලනය මහජනයාට වසන් කිරීමටත්, එකී පිලිවෙත් බදා වැලඳ ගැනීමටත් මෙම ශාස්ත්‍රාලිකයන්ගේ පවතින උත්සුකය පැහැදිලි ව මේ මගින් පෙන්නුම් කෙරෙයි.
‘යුක්තිය මෙහෙයුම’ නමින් රාජ්‍ය භීෂනය මුදා හරිමින්, එය වඩාත් ශක්තිමත් කර ගැනීමට ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්දන අන පනත් ක්‍රියාවට නංවමින් ධනපති පාලක පංතිය සූදානම් වන්නේ සාමකාමී පංති පාලනයක් සඳහා නො වේ. පංති පාලනයට අභියෝගයක් වී සිටින ලක්ෂ සංඛ්‍යාත කම්කරු පීඩිත මහජනයා මත ධනේශ්වර රාජ්‍යයේ බලහත්කාරය පැටවීමට ය. මැතිවරන උද්ඝෝෂනය හා මැතිවරනයමත් ඒ සදහා පිනුම් පිත්තක් කර ගැනීම පාලක පංතියේ සූදානම යි. එනම්, ඉදිරි මැතිවරනයකින් බලයට පත්වන කුමන හෝ ආන්ඩුයක් මේ පිලිවෙත් වඩාත් කෘෘර ලෙස ඉදිරියට ගෙන යනු ඇත.