G20 සමුලුව සඳහා  වාර්තාව ගෝලීය මූල්‍ය පද්ධතියේ ගැටලු සඟවයි

නික් බීම්ස් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 සැප්තැම්බර් 06 දින පල වූ ‘Report to G20 summit glosses over problems in global financial system’ යන නික් බීම්ස් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය SF විසිනි.

මූල්‍ය අධිකාරීන් විසින් නිකුත් කරනු ලබන නිවේදනවල අරමුන වන්නේ තමන් ම රවටා ගැනීම ද, නැතහොත් ඒවා භාර දෙනු ලබන සංවිධාන රැවටීම ද; එසේත් නැතහොත්, “අශ්ව කුලප්පුවක්” වැනි කලබැගෑනියක් ඇතිවීම වැලැක්වීම සඳහා, ප්‍රසිද්ධ ලියකියවිලි වල ඕනෑවට වඩා වැඩි දේවල් ප්‍රකාශ නොකිරීම වඩාත් සුදුසු යැයි ඔවුන් සලකන නිසාද එසේ කටයුතු කරන්නේ ද යන්න සමහර විට දැනගැනීම අපහසුය.

නවදිල්ලියේ ආරම්භ වන G20 නායකයින්ගේ සමුලු රැස්වීමට, ලෝකයේ ප්‍රධාන මූල්‍ය නිරීක්ෂන ආයතනය වන මූල්‍ය ස්ථායිතා මන්ඩලයේ (Financial Stability Board- FSB) සභාපති ක්ලාස් නොට් නමින්  නිකුත් කල ලිපිය සම්බන්ධයෙන් මෙය අදාල ය.

G20
2023 අගෝස්තු 24, බ්‍රහස්පතින්දා, ඉන්දියාවේ නවදිල්ලියේ G20 සමුලු ලාංඡනය සහිත ඉදිකිරීම් භූමියක් අසල කම්කරුවෝ දිවා විවේකය ලබති. බොහෝ වීදි වෙලෙන්දන් සහ නගරය පුරා පැතිර ඇති පැල්පත් නගර සම්බන්ධයෙන් ගත් කල, නවදිල්ලිය අලංකාර කිරීම යන්නේ අදහස වන්නේ, අවතැන් වීම සහ ජීවනෝපායන් අහිමි වීමයි. . [AP ඡායාරූපය/මනිෂ් ස්වරුප්]

නොට් ආරම්භ කලේ, ගෝලීය ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ “ගම්‍යතාව (වේග-බලය) හීන වෙමින් පවතින බවටත්” ප‍්‍රධාන ආර්ථිකයන්හි පොලී අනුපාත ඉහල යාම වඩ වඩාත් (ආර්ථිකයට) දැනෙමින් පවතිනා බවටත්, අනතුරු ඇඟවීමක් කරමින්, එනමුත් මේ දක්වාම බැංකු පද්ධතියේ  ඔරොත්තු දීමේ  හැකියාව පවතින බව ප්‍රකාශ කරමිනි. “පශ්චාත් අර්බුද G20 ප්‍රතිසංස්කරන මගින් හඳුන්වා දුන් ශක්තිමත් බැංකු ප්‍රාග්ධන ස්වාරක්ෂක (බෆර) ” මෙයට කිසිසේත් අල්ප නොවන ආකාරයකින් බලපා ඇති බව ඔහු කියා සිටියේය.

මාර්තු මස බැංකු අංශයේ කැලඹීම, එක්සත් ජනපද ඉතිහාසයේ විශාලතම බැංකු බිඳ වැටීම් හතරෙන් තුනක් මෙන්ම, ක්‍රෙඩිට් ස්වීස් (Credit Suisse) හි බිඳවැටීම සහ පවරා ගැනීම ද අත් දුටුවේය. එය 2008 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් (GFC) පසුව ක්‍රියාත්මක කරන ලද මූල්‍ය ප්‍රතිසංස්කරන සඳහා “පරීක්‍ෂනයක්” වූ අතර, අවම වශයෙන්  කිවහොත් නොට් ප්‍රකාශ කරන අයුරින්, එම පරීක්ෂනයෙන් ඔවුන් සමත් වී ඇත.

බැංකු අංශයේ ආතතියේ එක් එක් තනි සිද්ධීන්, “වර්තමාන පරිසරය තුල අවදානම් සහිත තත්ත්වයන් කෙතරම් වේගයකින් එලිමහනට පැමිනිය හැකි ද” යන්න පිලිබඳ දැඩි මතක් කිරීමක් බව ඔහු ලියා ඇත. කෙසේ වෙතත්, “එක් එක් බැංකු විසින් මුහුන දෙන ලද ප්‍රාතතීන් එකක් පසුපස එකක් ලෙස වැඩී යමින් පූර්න අර්බුදයක් කරා ඇද නොවැටී පැවතීම” දිරිගන්වනසුලු බවත්, එය G20 ප්‍රතිසංස්කරන(වල සාර්ථකත්වය) සඳහා සාක්ෂියක් බවත් ඔහු නිගමනය කලේය.

ඇත්ත වශයෙන්ම නම්, ඕනෑම වෛෂයික තක්සේරුවකින් හෙලිදරව් වන කරුන වන්නේ G20 ප්‍රතිසංස්කරන, පරීක්ෂනයෙන් සම්පූර්නයෙන්ම අසමත් වී ඇති බවයි.

එක්සත් ජනපදය සම්බන්ධයෙන් ගත් කල, සිලිකන් වැලි බැංකුව, සිග්නේචර් සහ ෆස්ට් රිපබ්ලික්  යන අසාර්ථක වූ එක්සත් ජනපද බැංකු තුනෙහි, ධනවත් පුද්ගලයන් සහ සංගත ඇතුලු තැන්පත්කරුවන්ට, ඔවුන්ගේ මුදල් එක්සත් ජනපද බලධාරීන් ලවා ඇප-සහතික කර ගැනීමට සිදු විය. එසේ නොකලේ නම් එය “පද්ධතිමය අර්බුදයක්” අවුලුවා ලීමට ඉඩ තිබුනි.

ක්‍රෙඩිට් ස්වීස්හි අභාවයත් සමඟ ජාත්‍යන්තර සම්මතයෙහි රාමුව හෙවත් ඊනියා ප්‍රතිසංස්කරනවල අසාර්ථකත්වය වඩාත් පැහැදිලිව පෙනෙන්නට විය.

ස්විට්සර්ලන්ත ජාතික බැංකුව ( ස්විට්සර්ලන්ත මහ බැංකුව)  සහ ස්විස් රජය විසින් සංවිධානය කරන ලද ගනුදෙනුවකදී, ගෝලීය මූල්‍ය අර්බුදයෙන්ට පසුව එලැඹ ගන්නා ලද, “සම්මතය” (“resolution”)  ලෙස නම් කරන ලද සියලුම රෙගුලාසි සහ ගිවිසුම්වලට පටහැනිව, ක්‍රෙඩිට් ස්වීස්, යූබීඑස්  (UBS) විසින් පවරා ගන්නා ලදී.

එකල මෙය විවෘතවම පිලිගන්නා ලදී. ස්විස් ජාතික බැංකුවේ සභාපති තෝමස් ජෝර්ඩන් පැවසුවේ “සම්මතය” පද්ධතිමය අර්බුදයක අවදානම ගෙනෙනු ඇති බවයි.

“සාමාන්‍ය තත්වයන් යටතේ න්‍යායිකව ගත් කල  සම්මතය ක්‍රියාවට දැමිය හැකි නමුත්, පොදුවේ අප පසුවූයේ මූල්‍ය වෙලඳපොලවල දැවැන්ත වික්ෂිප්තභාවයක් සහිත බිඳෙනසුලු පරිසරයක ය. මෙම තත්ත්වයන් යටතේ සම්මතය ස්විට්සර්ලන්තයේ පමනක් නොව ගෝලීය වශයෙන්ම විශාල මූල්‍ය අර්බුදයකට තුඩු දිය හැකිව තිබුනි,” ඔහු පැවසීය. 

වෙනත් වචන වලින් කිවහොත්, සම්මතය එය අවශ්‍ය නොවන තත්ත්වයන් යටතේ ඵලදායි වනු ඇති නමුත්, එහි ක්‍රියාකාරිත්වය අපේක්ෂිත තත්ත්වයන් තුල එය නිෂ්ප්‍රයෝජන වනු ඇත !

ස්විට්සර්ලන්ත මුදල් ඇමති කරින් කෙලර්-සටර් විසින් ද එම කරුනම ඉදිරිපත් කෙරිනි. ප්‍රධාන බැංකු අසාර්ථක වීම් වෙනුවෙන් සකස් කරන ලද හදිසි අවස්ථා ප්‍රොටෝකෝල (සම්මත කර ගත් ක්‍රියා පටිපාටි) වලට අනුව ක්‍රියා කිරීම “ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයක් අවුලුවාලිය හැකිව තිබුනු” බව ඇය පැවසුවාය.

G20 ප්‍රොටෝකෝලයන්ට අනුව ගෝලීය වශයෙන් වැදගත් බැංකුවක් ඈවර කල නොහැකි බව ඇය නිගමනය කර තිබුනි.

මාර්තු මස අත්දැකීම් නොසලකා හරිමින් නොට් පැවසුවේ, “2008 මහා මූල්‍ය අර්බුදයෙන් පසුව FSB විසින් සකස් කරන ලද ජාත්‍යන්තර සම්මත රාමුව එකී අරමුන සඳහා සුදුසු බවට” තමා ඒත්තු ගෙන සිටින බවයි.

කෙසේ වෙතත්, “වඩාත් ඉහල නය සේවා පිරිවැය තවදුරටත් ආර්ථිකය පුරා පැතිර පවත්නා බැවින් ඉදිරි මාසවලදී මූල්‍ය වෙලඳපොලවල තවදුරටත් ආතතීන් පැවැතීමේ ඉඩකඩ බැහැර කල නොහැකි” බව ඔහු සඳහන් කලේය.

ඒ අතරම, මූල්‍ය පද්ධතිය, “වේගවත් වෙමින් පවතින ඩිජිටල්කරනයට සහ දේශගුනික විපර්යාස අවදානම්වලට ප්‍රතිචාර දැක්වීමේ අවශ්‍යතාවය ඇතුලු, ගැඹුරු ව්‍යුහාත්මක වෙනස්කම් මධ්‍යයේ” පවතී.

මෑත වසරවල “ප්‍රධාන ප්‍රවනතා” වලින් එකක් වන්නේ, ඇතැම්විට “ඡායා බැංකු” ලෙස ද හඳුන්වනු ලබන, බැංකු නොවන මූල්‍ය අතරමැදිකරනයේ (Non Banking Financial Intermediation – NBFI) වර්ධනය වී ඇති වැදගත්කමයි. (NBFI යනු, ආයෝජන අරමුදල්, රක්ෂන සමාගම්, විශ්‍රාම අරමුදල්, ආයෝජන බැංකු, උගස්කරුවන් ආදී වශයෙන්, නය නිර්මානයට සහභාගී වන, එහෙත් නියාමන අධිකාරීන්ගේ පරීක්ෂාවට බඳුන් නොවන අතරමැදි මූල්‍යයයි – පරිවර්තක) එය නය ගැනීමේ ප්‍රභවයන් විවිධාංගීකරනය කර ඇති නමුත් නය ගොඩ ගැසීමටද හේතු වී තිබේ. 

“නිසි ලෙස කලමනාකරනය නොකලහොත්, කම්පන තත්ත්වයක දී, නය අරමුදල්වල ලීවරනය ආතතිය වර්ධනය කිරීමට හේතු විය හැකි අතර, භාන්ඩ සහ බැඳුම්කර වෙලඳපොලවල මෑත කාලීන ප්‍රාතතීන් මගින් පෙන්නුම් කෙරුනු පරිදි එය පද්ධතිමය කඩා වැටීමකට තුඩු දිය හැකිය.”

නමුත් කලමනාකරනය සදහා නිවැරදි තොරතුරු සහ දත්ත අවශ්‍ය වේ. එසේ නොමැති වූ කල නියාමකයින් වීමට නියමිත අයට වැඩ කරන්නට සිදුවන්නේ අඳුරේ අතපත ගාමින් ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් පිලිගනු ලැබ ඇති පරිදි, NBFI සම්බන්ධයෙන් ඔවුන් බොහෝ දුරට කිසිවක් ම හෝ නොදන්නා ප්‍රධාන ක්ෂේත්‍ර පවතී. 

නොට් මෙම ගැටලුව සම්බන්ධයෙන් ඔහුගේ සඳහන හැකිතාක් දුරට සැර බාල කරමින් මෙසේ ඉදිරිපත් කරයි:

“NBFI නය අරමුදල් විවිධ ආකාර ගත හැකි අතර, බොහෝ විට ඒවා හඳුනා ගැනීමට හෝ මැනීමට අපහසුය. එමඟින් ඒවා ආශ්‍රිතව පවතින අන්තරායකාරී අවදානම් තක්සේරු කිරීම සංකීර්න කෙරේ.”  

ඔහුට කල හැකි වැඩිමනත්ම දෙය වූයේ, ප්‍රධාන දත්තවල හිඩැස් පිරවීම සහ “ආශ්‍රිත අන්තරායකාරී අවදානම් ආමන්ත්‍රනය කිරීම” සඳහා “ගත හැකි ක්‍රියාමාර්ග” හඳුනා ගනිමින් මෙම ක්ෂේත්‍රයේ පවතින ප්‍රවනතා පිලිබඳ සමුලුවට වාර්තාවක් ඉදිරිපත් කිරීමයි.

මෙම ප්‍රකාශ වලින් ලබා ගත හැකි එකම නිගමනය නම් වර්තමානයේ FSB සහ අනෙකුත් සෑම මූල්‍ය අධිකාරියක්ම අඳුරේ අතපත ගාන බවයි.

ඩිජිටල්කරනයේ ප්‍රධාන ක්ෂේත්‍රය වන්නේ ක්‍රිප්ටෝ වත්කම් ඉස්මතුවීමයි. පසුගිය වසර පුරා සිදු වූ සිදුවීම් ගනනාවක් විසින් “සාම්ප්‍රදායික මූල්‍ය පද්ධතිය සමඟ එහි වැඩෙන බන්ධනයන් සැලකිල්ලට ගත් කල, සමීප නිරීක්ෂනයක් අවශ්‍ය කෙරෙන ක්‍රිප්ටෝ-වත්කම් පද්ධතික වටාපිටාවේ ඇති අන්තරායන්ට තුඩු දීමේ ශක්‍යතා ඉස්මතු කර පෙන්වා තුබූ” බව නොට් ලිවීය.

“ගෝලීය මූල්‍ය පද්ධතියේ අන්තර් සම්බන්ධිතභාවය නිසා එක් මූල්‍ය ආයතනයක සිදුවන සයිබර් සිදුවීමක් හෝ එහි තුන්වන පාර්ශ්ව සැපයුම්කරුවෙකුගේ සිදුවීමක්, දේශසීමා සහ පුලුල් අංශ හරහා පැතිරී යා හැකි බව” ඔහු පැහැදිලි කලේය.

“මෑත කාලීන කාලගුනික සිදුවීම් අරේඛීය (රේඛීය නොවන) ප්‍රතිඵල ඇති කිරීම සඳහා ශක්‍යතාව පෙන්වා ඇති” බැවින්, දේශගුනික විපර්යාසද මූල්‍ය පද්ධතියට අවදානම් ඇති කරයි; ඊට හේතුවන්නේ, අපේක්ෂිත ප්‍රමානයට වඩා අත්‍යන්ත ලෙස වැඩි ආර්ථික ප්‍රතිවිපාක ඇති කිරීම සහ එම හේතුවෙන් මූල්‍ය පද්ධතිය තුල එකී අවදානම පෝෂ්‍ය කිරීම සිදුවන හෙයිනි.

අවසාන වශයෙන්, ඉදිරි මාස සහ වසර වලදී ගෝලීය මූල්‍ය පද්ධතියට අභියෝග සහ කම්පනවලට මුහුන දීමට සිදුවනු ඇති බව සහතික යයි අනතුරු අඟවමින් නොට් ප්‍රකාශ කලේ, අධිකාරීන්ගේ ක්‍රියාවන් විසින් ඒවා  විස්තාරනය කෙරෙනවාට වඩා ඒවා අවශෝෂනය කර ගැනීමට “හැකියාවක් තිබීමේ විභවයක්” ඇති බවයි. වෙනත් වචනවලින් කිවහොත්, වැඩි කම්පනයක් ඇති වූ විටෙක, බලධාරීන්ට එය පාලනය කිරීමට හැකියාව තිබිය හැකි නමුත්, එය නිශ්චිත නැති බවයි.

සමස්තයක් ලෙස ගත් කල, ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත “ලෝකයේ බලවත්ම මූල්‍ය මුර බල්ලා” ලෙස විස්තර කර ඇති පාර්ශ්වය විසින් ඉදිරිපත් කෙරෙන මෙම වාර්තාව චිත්‍රනය කරන පින්තූරය පෙන්වා දෙන්නේ, සිය මූල්‍ය පද්ධතිය අර්බුද ඇති විය හැකි මූලාශ්‍රවලින් පිරී ඇති බැව් ධනේශ්වර පාලක පන්තියේ නියෝජිතායතන දන්නා බවයි. එහෙත් ඊලඟ පහර වදින්නේ කොතනින් ද යන්න පිලිබඳ සැබෑ අදහසක් ඔවුන්ට නොමැති අතර, එය වැලැක්වීම සඳහා කුමක් කල යුතුද යන්න පිලිබඳව ඔවුන්ට ඇත්තේ ඊට ද අඩු වැටහීමකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top