ඊනියා නිදහසේ 76 වන සැමරුම: කම්කරු පන්තියට එරෙහි සංදර්ශනයක්

පී.ජී. පුණ්‍යවර්ධන විසිනි.

පසුගිය වසරේ වියදම සමඟ සැසඳූවිට මහජන මුදලින් අඩු තරමින් රුපියල් ලක්ෂ 2000ක් කාබාසනියා කරමින් ද, මහා මාර්ග මහජනයාට අවුරා ලමින්  හමුදා සරඹ පුහුණුවීම් පවත්වමින් ද ලංකාවේ ධනපති ආණ්ඩුව ඊනියා නිදහසේ 76 වන වසර සැමරීමට කටයුතු යොදමින් සිටී. මෙකී ‘නිදහස්’ සමරුව සඳහා ධනපති පන්තියේ සියලු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ද, ආගමික සංස්ථා ද රාජ්‍යය සමඟ ස්වේච්ඡාවෙන් ම පෙළ ගැසී සිටිති.  

ඔවුන් විසින් සමරනු ලබන මෙම ‘නිදහසේ’ ස්වභාවය සංකේතවත් කරමින් පසුගිය සතියේ කැළණි සරසවියේ සිසුන්ගේ හා සමගි ජන බලවේගයේ විරෝධතා ව්‍යාපාරවලට කඳුළු ගෑස් හා අධි බල ජල ප්‍රහාර එල්ල කරනු ලැබීය.

Independence
“නිදහසේ” 75 වන සැමරුම

අධික ජීවන බරින් හා සමාජයේ සෑම ක්ෂේත්‍රය ම අළලා ගත් අතිශය තියුණු සමාජ අසමානතාවයක පීඩනයෙන් මැඩී සිටින ලංකාවේ කම්කරුවන්, ගොවීන්, ශිෂ්‍යයන්, තරුනයන් ඇතුළු පීඩිත ජනයාගේ අත්දැකීම වී ඇත්තේ දිනෙන් දින තම නිදහස අහිමි කෙරෙමින් පවතින ආකාරයයි. මත්ද්‍රව්‍ය මැඩීමේ නාමයෙන් දෛනික පදනමකින් සිදු කෙරෙන හිංසා පීඩාවන් එදිනෙදා ජීවිතය බවට පත් වී ඇති අතර, ත්‍රස්ත පනත් ඉදිරියට දමන අතර, මහජනයාගේ විරෝධය හා සාකච්ඡා වළක්වමින් සමාජ මාධ්‍ය වාරණයේ නව නීති පෙබරවාරි 01 දා සිට බලාත්මක කර තිබේ.

මානව වර්ගයාගේ විද්‍යාත්මක නිපදවීම් හරහා අත්පත් වී ඇති සන්නිවේදනයේ නව වර්ධනයන් කම්කරු පීඩිත ජනයාට අහිමි කරමින්, ඒවා වරප්‍රසාද ලත් පන්තිවල පන්ති අවශ්‍යතා වෙනුවෙන් පමණක් මෙහෙයවා ගැනීමත්, නිදහස් සාකච්ඡාවේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය මුළුමනින් වසා දැමීමත් මෙම නීතිවල අරමුනයි. 

ජාතික ආර්ථිකයක් පිලිබඳ සියලු බලාපොරොත්තු සිඳී ගිය, තම රාජ්‍යය සතු ජාතික සම්පත් විදේශීය ධනපතියන්ට පවරා දීමේ අනවරත ප්‍රයත්නයකින් දිවි රැක ගැනීමට තැත් කරන පාලක පන්තියේ මෙම අවි ආයුධ හා සරඹ ප්‍රදර්ශනය “ජාතික ආරක්ෂාවට” එල්ල කෙරෙන කවර හෝ පරිබාහිර සතුරෙකු බිය ගැන්වීම සඳහා නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. ඊනියා නිදහස සැමරීම සඳහා යුද සරඹ පැවැත්වීමේ සැබෑ අරමුණ වන්නේ ධනපති රාජ්‍යයේ සැබෑ සතුරා වන කම්කරු පන්තිය බිය ගන්වා ඉහත නීති බන්ධනවලට යටත් වනු වස් තමන් සතු විනාශකාරී මර්දන බලය ප්‍රදර්ශනය කිරීම විනා අනෙකක් නොවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝග ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින ධනපති ආණ්ඩුව ද, එකී නියෝගවලට සිය යටහත් අවනත භාවය පළ කර ඇති ව්‍යාජ වාම ව්‍යාපාර හා වෘත්තීය සමිති නිලධරයන් ඇතුළු සියලු ජාතිකවාදී ව්‍යාපාර ද, ධනපති මාධ්‍ය ද උත්කර්ෂයෙන් සැමරීමට සැරසෙන මෙකී ‘නිදහස’ කිසි විටෙකත් කම්කරු පීඩිත ජනයාගේ නිදහසක් ව තිබුනේ නැත. 1947 දී නිදහස් පනත ඉදිරිපත් වූයේ ම, දෙවැනි ලෝක යුද්ධයෙන් ඉක්බිතිව ධනපති  ක්‍රමය හා ආසියාකරයේ අධිරාජ්‍යවාදී පීඩනය පවත්වා ගෙන යනු වස් අටවා ගනු ලැබු රාජ්‍ය පද්ධතියේ උපාංගයක් ලෙස ඊනියා ‘නිදහස්’ ලංකා රාජ්‍යය නම් පීඩක උපකරණය නිර්මාණය කිරීමට ය. එය වැඩ ආරම්භ කළේ ම වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය අහිමි කරමිනි. නිදහස් පනත ඉදිරිපත් වූ අවස්ථාවේ යෝජිත ‘ඩොමීනියන්’ රාජ්‍යයට එරෙහිව විප්ලවවාදී ට්‍රොට්ස්කිවාදී වැඩ පිළිවෙලක් මත සටන් වැදුණු බෝල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය (බෝල්ෂෙවික් සමසමාජ පක්ෂය), අධිරාජ්‍යවාදයේ කූටෝපායයට එරෙහිව ලංකාවේ, ඉන්දියාවේ සහ දකුණු ආසියාවේ කම්කරු පන්තිය සඳහා ඉදිරි දර්ශනයක් ඉදිරිපත් කරමින්, සියලු ගොවියන්, දුගීන් ඇතුලු පීඩිතයන් ඒ වටා බලමුළු ගන්වා ගැනීමට සටන් කළ අතර, එම අරගලයට බලගතු මහජන සහායයක් දිනා ගැනීමට ද එය සමත් විය. 

සමසමාජ නායකයින් මෙම ඉදිරිදර්ශනය අත්හැර ලංකා ජාතික රාජ්‍යයට කම්කරු පන්තික වැඩපිලිවෙල යටකිරීම කිරීම සඳහා ගෙනගිය ප්‍රතිගාමී ධාවනය ධනපති සිරිමා බන්ඩාරනායකගේ ආන්ඩුවට පිවිසගැනීමෙන් කූඨාප්‍රාප්ති විය.  බුද්ධාගමට හා එම සංස්ථාපිතයට ඉහලම වරප්‍රසාද පුදමින් ද, සිංහල ස්වෝත්තමවාදය උත්කර්ෂයට නංවමින් ද මෙම ධනපති සභාග හවුල 1972  ජනරජ  ව්‍යවස්ථාව හරහා කම්කරු පන්තිය මත මාරාන්තික කුලිගෙඩි පහරක් පාත් කලේය. විෂකුරු දෙවන ජනරජ ව්‍යවස්ථාව, පීඩිත සුලුතර ජනයාට නොපනත්කම් කිරීම, ත්‍රස්ත මර්දන පනත්, හදිසි අවස්ථා විධිවිධාන හා වාරණ රෙගුලාසි ආදී විවිධ පියවර මඟින් තවදුරටත් උල් දත් සවි කරනු ලැබූ මෙම රාජ්‍යය ජන වර්ගික බෙදීම් තුල උතුරේත් දකුනේත් කම්කරුවන්ගේ එක්සත් සටන් මොට කිරීමට යොදා ගැනුනි. 

උග්‍ර ආර්ථික හා මූල්‍ය අර්බුදයක් මධ්‍යයේ  මුළුමනින් ම කුණු වී කෑලි ඇද හැලෙන තතු යටතේ එකී රාජ්‍යය රැකගනු වස් කම්කරු පීඩිත ජනයාගේ උරමත කඩා පාත් කරන කප්පාදු පියවරයන්ට එරෙහි මහජන ප්‍රතික්‍රියාව කෙරේ දක්වන අසීමාන්තික භීතිය විනා වෙනත් කිසිදු ‘ජාතික’ අභිමානයක් මෙම ප්‍රදර්ශනාත්මක සමරුවෙන් හැඟවෙන්නේ නැත.

සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කරමින්, සියලු පීඩිත ජනයාගේ නිදහස දිනා ගැනීම අද දින පැවරී ඇත්තේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ උර මතය යන සත්‍යය අද ඕනෑවටත් වඩා පැහැදිලිය. වාර්ගික රේඛා පරයා ලංකාවේ කම්කරු පන්තිය එක්සත් කිරීම මගින් දේශපාලන බලය තම පන්තිය අතට ගෙන, ජාත්‍යන්තර මූල්‍ය කථිපයාධිපත්‍යයේ අඬුවෙන් ආර්ථිකය නිදහස් කොට ආර්ථිකය සමාජවාදී ලෙස ප්‍රතිසංවිධානය කිරීම සඳහා තමන්ගේම ස්වාධීන බල සංස්ථා ගොඩනගමින් කම්කරුවන්, තරුනයන්, ගොවීන් අද අදම දේශපාලන සටන පෙරට ගත යුතුය. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top