මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අගෝස්තු 14 දින ඉංග්‍රීසියෙන් පලවූ This week in history: August 14-20 යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.
මීට වසර 25 කට පෙර, වසර 50 කට පෙර, වසර 75 කට පෙර සහ වසර 100 කට පෙර මෙම සතිය තුළ සිදු වූ වැදගත් ඓතිහාසික සිදුවීම් මෙම තීරුවේ පල කෙරේ.
වසර 25 කට පෙර: මූල්‍ය අර්බුදය තුල රුසියාව රුබලය අවප්රමාන කරයි
1998 අගෝස්තු 17 වන දින රුසියානු රජය රූබල් අගය අවප්රමානය කර කෙටි කාලීන භාන්ඩාගාර බිල්පත් (GKO) වෙලඳපොලේ වෙලඳාම අත්හිටුවා ජාත්‍යන්තර නය ආපසු ගෙවීම සඳහා දින 90 ක අත්හිටුවීමක් පැනවීය. 1987 ඔක්තෝම්බර් මාසයෙන් පසු ලන්ඩන් කොටස් වෙලඳපොලේ විශාලතම එක්දින කඩාවැටීමක්, ලතින් ඇමරිකාව පුරා කොටස් මිල කඩාවැටීමක්, වෝල් වීදියේ දැඩි පහත වැටීමක් සහ ෆෙඩරල් සංචිතය විසින් නියම කරන ලද සියයට 5.5 අනුපාතයට වඩා අඩුවෙන්, ලාභ (ඵලදා) අනුපාතය යන්තම් 5.43 දක්වා අඩු කරමින් එක්සත් ජනපද භාන්ඩාගාර බැඳුම්කර වෙත දඩිබිඩියේ දිව යෑමක්, සමඟ දවසේ වෙලඳපොල අවසන් විය.
ජූලි මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රුසියාවට ඩොලර් බිලියන 22.6 ක පැකේජයක් ලබා දුන් අතර එය කියා සිටියේ “රූබලය පිලිබඳ විශ්වාසය යථා තත්ත්වයට පත් කිරීම සහ වත්මන් අර්බුදය විසඳීම සඳහා බොහෝ දුර ගොස් ඇති” බවයි.
“මහ බැංකුවට ලැබිය හැකි අතිරේක සම්පත් සමඟ රූබල් මත තිබූ පීඩනය ඉවත්ව ඇති අතර දේශීය නය තත්ත්වය දැන් කලමනාකරනය කර ගැනීමට හැකි තත්ත්වයක තිබේ. ආසියාවෙන් වසංගත තත්වය පැතිර ඒමකට රුසියාව ගොදුරු විය හැකි වුවද, අවප්රමානය කිරීම, නය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ප්‍රාග්ධන පාලනය පිලිබඳ සමපේක්ෂනය දැන් විසිරී ගොස් ඇති අතර එමඟින් රටේ අවදානම පිලිබඳ ආයෝජකයින්ගේ නොසන්සුන්තාවය සැලකිය යුතු ලෙස අඩු කරයි.”
කෙසේ වෙතත් යන්තම් සති පහකට පසුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම බිඳ වැටුනු අතර එය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ආන්ඩුව බලයෙන් පහ කරන ලදී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැලැස්ම මුල සිටම බිඳවැටීමට පටන් ගත්තේය. මහ බැංකු අධිපති සර්ජී ඩුබ්යුනන් (Sergei Dubunin) හෙලිදරව් කලේ රුසියාවට ලබා දුන් පලමු IMF වාරිකයේ ඩොලර් බිලියන 4.8 න් ඩොලර් බිලියන 3.8 ක් පමන වියදම් කර ඇත්තේ රූබලයේ නිරර්ථක ආරක්ෂාවක් සඳහා වන අතර ඉතිරිය කෙටි කාලීන රජයේ නය පියවීම සඳහා භාවිතා කර ඇති බවයි.
අඛන්ඩ මූල්‍ය ගලායාමකට මුහුන දුන් රුසියානු බලධාරීන් තව දුර සහාය සඳහා IMF සහ G-7 රටවල් වෙත යොමු වූ නමුත් එය ප්‍රතික්ෂේප විය. සතියකට ඩොලර් බිලියන 1 බැගින් වූ නිල සංචිත පහත වැටීමත් සමඟ, ඔවුන්ට මුදල් අවප්රමානය කිරීම සහ නය ආපසු ගෙවීම කැටි කිරීම හැර වෙනත් විකල්පයක් ඉතිරිව තිබුනේ නැත.
එම සති අන්තයේම ජනාධිපති යෙල්ට්සින් විසින් අගමැති සර්ජි කිරියෙන්කෝගේ මාස පහක පැරනි ආන්ඩුව නෙරපා හරින ලද බව සහ පෙර අගමැති වික්ටර් චර්නොමිර්ඩින් නැවත බලයට කැදවූ කරන ලද නිවේදනය සමඟ ඒකාබද්ධව, රුසියානු පාලනයේ අර්බුදය සහ මූල්‍ය වෙලඳපොලේ අවුල් ජාලය, ජාත්‍යන්තර ප්රවනතාවයක තියුනුම ප්රකාශනය වූවා පමනි: ධනවාදයේ ගැඹුරු වන ගෝලීය අර්බුදය හමුවේ මූල්‍ය අධිපතීන්ගේ සාමාන්‍ය ව්‍යාකූලත්වය සහ සිදුවීම් වල ගමන් මග පාලනය කිරීම කෙසේ වෙතත් අනාවැකි කීමට පවා ඔවුන්ට ඇති නොහැකියාව.
වසර 50කට පෙර: ඩෙට්රොයිට් ක්‍රයිස්ලර් කම්හලේ ස්වයං සිද්ධ (වෘත්තීය සමිති විසින් නොකැදවූ /අනුමැතිය නොදුන් ) වාඩි ලා ගැනීමේ වර්ජනයට පොලිසිය පහර දෙයි
1973 අගෝස්තු 15 දින, පැය 30කට වැඩි කාලයක් වාඩිලා ගනිමින් වැඩ වර්ජනයක් ගෙන ගිය කම්කරුවන් 50කට ආසන්න පිරිසක් ඉවත් කිරීමට ඩෙට්රොයිට් පොලිසිය ක්‍රයිස්ලර් මැක් ස්ටැම්පින් කම්හලට කඩා වැදුනි. මෙම වාඩිලෑම කම්හලේ සියලුම නිෂ්පාදන නතර කල අතර අගුලු දැමීම නිසා කම්හලෙන් පිටත සිටි තවත් සිය ගනනක් කම්කරුවන් විසින් සහාය දක්වන ලදී.
සමාගම් ආරක්ෂකයින් දෙදෙනෙකු සේවකයෙකුට පහර දීමත් සමඟ සටන්කාමී වාඩිලෑම ඇවිල ගියේය. බිලී ගිල්බ්‍රෙත් නම් කම්කරුවා සතියකට පෙර සේවයෙන් පහ කිරීමට ඉලක්ක කර තිබුනේ ඔහු තම වැඩ බිමේ අනාරක්ෂිත වාතාශ්‍රය පිලිබදව විරෝධය පල කිරීම සඳහා වැඩ නැවැත්වීමට නායකත්වය දුන් බැවිනි. විරෝධතාවයට සම්බන්ධ තවත් කම්කරුවන් හතර දෙනෙකු ද සේවයෙන් පහ කර තිබුනි.
ගිල්බ්‍රත් නැවත කම්හලට පැමින තිබුනේ ඔහු සේවයෙන් පහකිරීම ස්ථිරද සහ ඔහුව නැවත සේවයේ පිහිටුවීමට හැකිදැයි සොයා බැලීමටය. සමාගම් ආරක්ෂකයින් ඔහුට පහර දෙනු ලැබුනේ එවිටය.
ගිල්බ්‍රත් වෙත ආරක්ෂකයින් පැමිනි විට, අනෙකුත් කම්කරුවන් ඔහුව ආරක්ෂා කිරීමට මැදිහත් වූ අතර කම්කරුවන් සහ ආරක්ෂකයින් අතර සටන් ආරම්භ විය. ක්‍රයිස්ලර් කලමනාකාරීත්වය ඊට ප්‍රතිචාර දැක්වූයේ, කම්හලේ පූර්න පරිමානයේ වාඩිලාගැනීමක් නැවැත්වීමට උත්සාහ කරමින්, කම්හල අගුලු දමා, උදෑසන වැඩ මුරය සඳහා පැමිනීමට නියමිත කම්කරුවන් 2,050 දෙනාගේ පැමිනීම වැලැක්වීමයි.
ඒ වන විටත් ඇතුලේ සිටි කම්කරුවන් වාඩි ලා ගැනීම ආරම්භ කලහ.සියලුම කම්කරුවන් නැවත සේවයේ පිහිටුවන තුරු නිෂ්පාදනය නැවත ආරම්භ කිරීමට ඔවුන් ඉඩ නොදෙන බවත් , සම්පූර්න සමාව සහ ආපසු වැටුප් ලබා දීමත් , සහ වාඩි ලා ගෙන සිටි කම්කරුවන්ට එරෙහිව පසුව පලිගැනීම් සිදු නොවිය යුතු බවත් ඔවුහු ප්‍රකාශ කලහ.
මෙම වාඩි ලා ගැනීම,සති දෙකකට අඩු කාලයකදී ක්‍රයිස්ලර් හි පැවති තුන්වන ස්වයං සිද්ධ වැඩ වර්ජනයයි. කම්කරුවන්ගේ වැටුප් කා දමමින් තිබූ ඉහල උද්ධමනය මධ්‍යයේ, විශේෂයෙන්ම වත්මන් එක්සත් මෝටර් රථ කම්කරුවන් (යූඒඩබ්ලිව්) කොන්ත්‍රාත් ගිවිසුම 1973 සැප්තැම්බර් 14 දිනෙන් කල් ඉකුත් වීමට නියමිතව තිබූ හෙයින්, මෝටර් රථ කර්මාන්තය පුරා සටන්කාමී මනෝභාවයක් පැතිර ගොස් තිබුනි.
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ , එක්සත් ජනපද පූර්වගාමියා වන බුලටින වාර්තාකරුවන්ට කතා කල එක් සේවකයෙක් ක්‍රයිස්ලර් මැක් කම්හලේ තත්වය විස්තර කලේ, “එම ස්ථානය රස්නෙයි, අපිරිසිදු හා අනතුරු සහිතයි නමුත් සමිතිය ඒ ගැන කිසිවක් කරන්නේ නැත .” ලෙසය. තවත් සේවකයෙක් පැවසුවේ, “මේ දැන් බොහෝ කම්හලේ වෘත්තීය සමිති නියෝජිතයින් තැනින් තැන සිටිමින් ආරක්ෂකයින් සහ කලමනාකාරිත්වය සමඟ කතා බහ කරමින් සිටිති.” ලෙසය.
වාඩි ලා සිටි වර්ජකයින් පොලිසිය විසින් කම්හලෙන් ඉවත් කිරීමෙන් පසුව පවා, මෙම ස්වයං සිද්ධ අරගලය දිගටම කෙරී ගෙන ගියේ , සියලුම කම්කරුවන් යලි සේවයේ පිහිටුවීම සඳහා ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කරන තුරු සිය ගනනක් කම්කරුවන් වැඩවර්ජනයේ රැඳී සිටිමින් ය. යූඒඩබ්ලිව් නිලධරය ඉන් පසුව මැදිහත් වූයේ වැඩවර්ජන බිඳීමේ මැර සංදර්ශනයක් ලෙස පමනක් විස්තර කල හැකි ආකාරයටය.
මෙම ස්වයං සිද්ධ වර්ජනය දෙවන දිනටත් දිගටම සිදු වෙද්දී , යූඒඩබ්ලිව් ව මුලු මිචිගන් ප්‍රාන්තය පුරා කාර්ය මන්ඩල, ප්‍රාදේශීය කමිටු නිලධාරීන් සහ කමිටු සාමාජිකයන් 1,000ක් බලමුලු ගැන් වූයේ පොලු සහ බේස්බෝල් පිතිවලින් සන්නද්ධව මැක් කම්හල වෙත පැමින පිකට් වැට බිඳ දමා කම්කරුවන් නැවත කම්හලේ එකලස් කිරීමේ පේලියට යැවීමට කටයුතු කිරීමටය.
මැරයෝ ගිල්බ්‍රත් සොයා ගොස් ඔහුට අනෙකුත් කම්කරුවන් ඉදිරියේ විවෘතව පොලු මුගුරුවලින් පහර දුන්හ. උප සභාපති ඩග් ෆ්රේසර්ගේ නායකත්වයෙන් යුත් යූඒඩබ්ලිව් නිලධාරීන් පැවසුවේ තමන් පැමිනියේ “ක්‍රමවත් ලෙස රැකියාවට නැවත පැමිනීම” සහතික කිරීමට සහ “කොන්ත්‍රාත්තුව බලාත්මක කිරීමට” බවයි.
වසර 75 කට පෙර: දක්ෂිනාංශික දකුනු කොරියානු රාජ්‍යය එක්සත් ජනපද පිටුබලය ඇතිව ප්‍රකාශයට පත් කෙරේ.
1948 අගෝස්තු 15 වන දින, ඇමරිකානු අධිරාජ්‍යවාදය සමඟ සන්ධානගතවූ අන්ත දක්ෂිනාංශික බලවේග විසින් දකුනු කොරියාවේ ස්වාධීන රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරන ලදී. කොරියාවේ උතුරු ප්‍රදේශය, ජපන් ආක්රමනය පලවා හරින ලද නිදහස් සටන්කාමීන් විසින් ආධිපත්‍යය දැරූ සහ සෝවියට් සංගමයට බැඳී සිටි තත්වයන් යටතේ, මෙම ප්‍රකාශය කොරියාවේ බෙදීමකට සමාන වූ අතර එය අද දක්වාමත් නොකඩවා පවතී.
කොරියාව 1910 සිට 1945 දක්වා අධිරාජ්‍ය ජපානයේ ආරක්ෂක රාජ්‍යයක් ලෙස ම්ලේච්ඡ ලෙස පාලනය කර තිබුනි. එම කාලය තුල නිදහස් ව්‍යාපාර නැවත නැවතත් මතු විය. දෙවන ලෝක සංග්‍රාමයේ අවසාන අදියරේදී, ග්‍රාමීය ගොවි ජනතාවගේ පුලුල් ස්ථර මෙන්ම ප්‍රධාන නාගරික මධ්‍යස්ථානවල කම්කරු පන්තිය ද සම්බන්ධ කරගනිමින් බලගතු නිදහස් ව්‍යාපාරයක් වර්ධනය විය.
යුද්ධය අවසානයේ ජපානය පරාජය කිරීමත් සමඟ කොරියාව සදහා පොරබැදීමක් ඇති විය. එක්සත් ජනපදය හා සෝවියට් සංගමය යුද්ධයේදී නාමික සහචරයින් ලෙස කටයුතු කර තිබුනි. අධිරාජ්‍යවාදය සමග එහි ප්‍රති-විප්ලවවාදී සහයෝගීතාවය මත පදනම්ව, ස්ටැලින්වාදී නිලධරය , කොරියාවේ සමාජවාදී විප්ලවය සදහා වූ කිසිදු ආකාරයක ඉදිරිදර්ශනයක් ප්‍රතික්ෂේප කර තිබුනි.
ඒ වෙනුවට, එය ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් සමග වෙනත් ගනුදෙනුවක් ඇතිකරගෙන තිබුනි. ඒ යටතේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂ බටහිර යුරෝපයේ සමාජවාදී විප්ලවය වලක්වා ලූ අතර, ඒ වෙනුවට අධිරාජ්‍යවාදය විසින් සෝවියට් සංගමයට නැගෙනහිර යුරෝපයේ ස්වාරක්ෂක (බෆර්) කලාපයක් ලබා දී තිබුනි. මෙම වැඩපිලිවෙලට අනුකූලව, සෝවියට් නිලධරය කොරියාව තුල ධනවාදය සමග කිසිදු ආකාරයක බේරුම් කර ගැනීමක් ප්‍රතික්ෂේප කල අතර, දකුනේ එක්සත් ජනපද මිත්‍ර බලයකට වඩ වඩාත් හරි හරියට සිටින පරිදි උතුරේ ජාතිකවාදී පාලනයක් පිහිටුවීමට උදව් කලේය.
නව දකුනු කොරියාවේ එක්සත් ජනපද පාලකයා තෝරා ගැනීම, 1948 වන විට සෝවියට් සංගමයට එරෙහිව තීව්ර වන සීතල යුද්ධය වඩ වඩාත් යුක්ති සහගත කිරීමට භාවිතා කරන ලද ප්රජාතන්ත්රවාදී වාචාලකමේ ව්‍යාජ ස්වභාවය අවධාරනය කලේ ය.
නව ජනාධිපති සිංමන් රී, දශක ගනනාවක් තිස්සේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ රූකඩ යෙකු විය. ඔහු ප්‍රථමයෙන් එක්සත් ජනපදයේ කාලය ගත කර ඇති අතර, 1904 තරම් මුල් භාගයේදී එවකට ජනාධිපති තියඩෝර් රූස්වෙල්ට් සමඟ වූ මුනගැසීම් ඇතුලු දේ හරහා එහි දේශපාලන සංස්ථාපිතය විසින් ඔහුව ලංකරගෙන තිබුනි. ඇමරිකාව විසින් 1945 දී නැවත ඔහු කොරියාවට බැස්ස වීමට පෙර වසර ගනනාවක්, රී වොෂින්ටනයේ ඇමරිකානු මිලිටරි සහ බුද්ධි ඒජන්සිවල ආගන්තුක නිවැසියෙක් ලෙස ජීවත් විය. ජපන් අධිරාජ්‍යවාදයට එරෙහි නිදහස් අරගලයේ දී ඔහු කිසිදු භූමිකාවක් ඉටු කර නොතිබුනි.
රීගේ දකුනු කොරියානු ජනාධිපති ධුරයට පත්වීම, ඉතා සීමිත මැතිවරන මත පදනම් වූ අතර , තථ්‍ය මිලිටරි පාලනයක් ස්ථාපිත කිරීම කරා වේගයෙන් ඉදිරියට ගියේය. සියලු සමාජ සහ දේශපාලන විරුද්ධත්වයන් ඉලක්ක කර ප්රචන්ඩ මර්දනයක් දියත් කර ගනිමින්, සන්නද්ධ හමුදා නව දකුනු කොරියානු රාජ්‍යයේ ආධිපත්‍යය දැරීමට පැමිනීමට නියමිත විය. මෙම ආන්ඩුව පදනම් වූයේ එක්සත් ජනපදයෙන් ආනයනය කරන ලද මූලධර්මවාදී ක්‍රිස්තියානි ධර්මය, උමතු කොමියුනිස්ට් විරෝධී සහ ආඥාදායක වැඩපිලිවෙලක් මත ය.
වසර 100කට පෙර: කොමියුනිස්ට් ජාත්‍යන්තරය ජර්මනියේ විප්ලවය සඳහා සූදානම් වීම ගැන විවාද කරයි
1923 අගෝස්තු 15 වන දින, කොකේසස්හි නිවාඩුවක් ගත කරමින්, කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ විධායක කමිටුවේ සභාපති ග්‍රිගරි සිනොවියෙව්, ජර්මානු කොමියුනිස්ට් පක්ෂය (කේපීඩී) බලය අල්ලා ගැනීම සඳහා මහජනතාවට නායකත්වය දීමේ අවශ්‍යතාවය පිලිබඳ නිබන්ධන කෙටුම්පත් කිරීමට පටන් ගත්තේය. “අර්බුදය පරිනත වෙමින් පවතී,” ඔහු ලිවීය. “තීරනාත්මක සිදුවීම් අන්තරස්ථව (අන්තර්ගතව) පවතී. ජර්මානු කොමියුනිස්ට් පක්ෂය ඉක්මනින් හා අධිෂ්ඨානශීලීව එලඹෙන අර්බුදය දෙසට යොමු විය යුතුය. … පරදුවට තැබී ඇති දෑ අති විශාල ය.”
දින කිහිපයකට පෙර, වැඩ වර්ජන මාලාවක් මගින් ජර්මානු කූනෝ ආන්ඩුව ඇද වැටුනු අතර කොමියුනිස්ට්, සමාජ ප්රජාතන්ත්රවාදී හා පක්ෂ වලට අයත් නොවන කම්කරුවන්ගෙන් සැදුම්ලත් කර්මාන්තශාලා කමිටු කම්කරු පන්තිය තුල දැවැන්ත බලපෑමක් අත්පත් කරගෙන තිබුනි. කාර්මික රූර් නිම්නයේ ප්‍රංශ වාඩි ලා ගැන්ම දරාගත නොහැකි තත්වයක් නිර්මානය කර තිබූ අතර ජාතික සහ ප්‍රාන්ත ආන්ඩු , කොමියුනිස්ට්වාදී ප්‍රකාශන පලකල කාර්යාල වටලා කම්කරුවන් අත්අඩංගුවට ගැනීමට පටන් ගෙන තිබුනි.
එසේ වුව ද, කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ ප්රමුඛ පක්ෂය වන රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ (ආර්සීපී) නායකත්වයේ ගැටුම් උග්‍ර ස්වභාවයක් ගෙන තිබුනි. ලෙනින් රෝගාතුරව වැඩ කිරීමට නොහැකිව සිටි අතර ට්‍රොට්ස්කි විසින් රුසියානු පක්ෂය සහ කොමියුනිස්ට් ජාත්‍යන්තරය මත ගතානුගතික රාජ්‍ය සහ පක්ෂ නිලධරයේ අවශ්‍යතා වඩ වඩාත් ප්‍රකාශ කරමින් එහි සිටි “ත්රිත්වීන්” වන ස්ටාලින්, සිනොවියෙව් සහ කමනෙව්ට එරෙහිව සිය සටන ආරම්භ කර තිබුනි.
ස්ටැලින්, ජර්මනියේ තත්වය ඉතාම නිවට ලෙස තක්සේරු කරමින් සහ ජර්මානු පාලක පන්තියේ ශක්තිය අතිශයෝක්තියට නංවමින්, සිනොවියෙව්ට මෙසේ ලිවීය: “මගේ මතය අනුව, ජර්මානුවන් [එනම්, කේපීඩී] මැඩපැවැත්විය යුතු අතර එය උත්තේජනය නොකල යුතුය.” 1917 සැප්තැම්බරයේ දී , රුසියාවේ බලය අල්ලා ගැනීමේ සූදානමට ස්ටාලින්, සිනොවියෙව් සහ කමනෙව් සියල්ලන්ම විරුද්ධව සිටියහ.
එම ගිම්හානයේ පසුව, ආර්සීපීයේ මධ්‍යම කාරක සභාවේ රැස්වීමකදී, බලය අල්ලා ගැනීමේ සූදානම සඳහා කේපීඩීයට සහාය වීමට “විප්ලවයේ සොල්දාදුවෙකු ලෙස” තමන් ජර්මනියට යවන ලෙස ට්‍රොට්ස්කි ඉල්ලා සිටියේය. මෙම ත්‍රිත්වයේ බලපෑම මත ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප විය.
එම ගිම්හානයේ සෝවියට් නායකත්වයේ සාකච්ඡාවල දී ඔහුගේ භූමිකාව ගැන වසර හයකට පසු ට්‍රොට්ස්කි පැවසූ පරිදි, ඔහු යෝජනා කලේ “ සන්නද්ධ කැරැල්ල සූදානම් කිරීම සහ ජර්මානු මධ්‍යම කමිටුවේ සහාය සඳහා අවශ්‍ය බලවේග බලමුලු ගැන්වීම පිලිබඳ ප්රශ්නය සම්බන්ධයෙන් වඩාත් කාලෝචිත සහ අධිෂ්ඨානශීලී ආස්ථානයක් ගත යුතු” බවයි.