නික් බීම්ස් විසිනි.
මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුලි 21 දින පල වූ ‘New York Times publishes graphic details of US hi-tech war with China‘ යන නික් බීම්ස් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය පරාක්‍රම කුරුප්පු විසිනි.
පසුගිය සති අන්තයේ නිව් යෝර්ක් ටයිම්ස්හි පල වූ, මාධ්‍යවේදී ඇලෙක්ස් ඩබ්ලිව්. පාමර් විසින් ලියන ලද ප්‍රධාන ලිපියක්, චීනයට එරෙහිව එක්සත් ජනපදය (එජ) පවත්වා ගෙන යමින් සිටින අධි තාක්ෂනික යුද්ධය කොපමන එකක්දැයි යන්න හෙලිදරව් කර ඇත. එම අධි තාක්ෂනික යුද්ධය වටා බයිඩන් පාලනය විසින් ගොතනු ලැබ ඇති මුසාවන් ද එමඟින් හෙලි කෙරී ඇත.
ඡායාරූපය: පරිගනක චිපයන් දේශීයව නිපදවීම හා ඒවායේ සැපයුම් දාම ශක්තිමත් කිරීම දිරි ගැන්වෙන නීති සම්පාදන කාර්යයන්ට සහාය දැක්වීම සඳහා වොෂින්ටනයේ ධවල මන්දිර මන්ඩපයේ දක්ෂින අංගන ශ්‍රවනාගාරයේ 2022 මාර්තු 9 වන දින පැවැති උත්සව අවස්ථාවකට සහභාගී වන ජනාධිපති ජෝ බයිඩන්. [AP Photo/ පැට්රික් සෙමන්ස්කි)
පසුගිය ඔක්තෝබරයේ දී, වෙලඳ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන කර්මාන්ත හා සුරැකුම් බියුරෝව (BIS) පරිගනක චිප අපනයනය කිරීම මත පැනවෙන පාලනයන් මාලාවක් දැක්වෙන ලේඛනයක් නිකුත් කලේය. නිව් යෝර්ක් ටයිම්ස් ලිපිය ආරම්භ කෙරෙන්නේ, එකී ලේඛනයේ පිටු 139 ක් පුරා ගත් නිල වාග් හරඹ හා තාක්ෂනික විස්තර අතරතුර, එම ලේඛනය “චීනය සමඟ ආර්ථික යුද්ධයක් ප්‍රකාශ කිරීමක් ලෙස සැලකිය හැක්කක්” බව සටහන් කරමිනි.
චීනයේ අධි-තාක්ෂනික ක්ෂේත්රයන් තුල ආයෝජනය කෙරෙන එජ මුදල් ප්‍රමානය කපා දැමීම සඳහා සැලසුම් කෙරුනු ආයෝජන ඇවිරීම් යාන්ත්රනයන් ඉක්මනින්ම නිවේදනය කිරීමට මෙන් ම, ඔක්තෝබර් නිවේදනයේ පටන් මේ දක්වා මතු වී ඇති, එම ඔක්තෝබර් 7 පියවරයන්ගෙන් රිංගා යා හැකි කපොලු වසා දැමීම සඳහා අපනයන පාලන යාන්ත්‍රන යාවත්කාලීන කිරීමට ද එක්සත් ජනපදය අපේක්ෂා කරන හෙයින් මේ යුද්ධය තවදුරටත් තීව්ර වීමට තදාසන්නව පවතී.
අපනයන පාලනය පිලිබඳ නිල වශයෙන් ප්‍රකාශිත සාධාරනීකරනය වන්නේ, ඒවායේ අරමුන චීනයේ යුදමය වර්ධනය මැඬලීම බවයි. භාන්ඩාගාර ලේකම් ජැනට් යෙලන්ගේ මෑත චීන සංචාරය අතරතුර ඇය කියා සිටියේ මේ පාලන ක්‍රියා මාර්ග පටු ක්ෂේත්රයක් පමනක් ඉලක්ක කර ගත් ඒවා වන අතර වඩාත් පුලුල් ආර්ථිකය කෙරේ ඒවා එල්ල නොවන බවයි.
ලිපිය ආරම්භයේ එන පහත දැක්වෙන ප්‍රධාන ඡේදය මඟින් මෙම කථාව ප්‍රබන්ධයක් බව හෙලිදරව් කෙරේ:
“ඔක්තෝබර් 7 දින පනවන ලද අපනයන පාලනයන් සමඟ එක්සත් ජනපද ආන්ඩුව, ඉහලම මට්ටමේ චිප නිෂ්පාදනයට, හා ඒවා මිල දී ගැනීමට පවා, චීනයට ඇති හැකියාව අබල දුබල කර දැමීමට ඇති සිය අභිලාෂය ප්‍රකාශයට පත් කර ඇත. මෙම පියවරවල තර්කනය සරල, ඍජු එකකි: වැඩි දියුනු චිප, සහ ඒවායින් බල ගැන්වෙන සුපිරි පරිගනක හා කෘත්‍රිම බුද්ධිය විසින් නව ආයුධ හා ප්රවීක්ෂන උපකරන නිෂ්පාදනයේ හැකියාව හිමි කෙරෙනු ඇත යන්න එම තර්කයයි. කෙසේවෙතත්, චීනයේ ආරක්ෂක තතුවලට වඩා බෙහෙවින් පුලුල් පරාසයක් කෙරේ එල්ල කෙරී ඇති මේ පියවරවල පැතිරීම් පරාසය හා අර්ථ භාරය සැලකිල්ලට ගත් කල, මීට වඩා ගත හැකි පුලුල් පියවරයන් තිබී ද යන්න සිතා ගැනීමට හෝ අසීරු ය. වොෂින්ටනයේ මූලෝපායික හා ජාත්‍යන්තර කටයුතු අධ්‍යයන කේන්ද්‍රස්ථානයේ පිහිටි කෘත්‍රිම බුද්ධිය හා උසස් තාක්ෂනය සඳහා වූ වද්වානි කේන්ද්‍රයේ අධ්යක්ෂ ග්‍රෙගරි සී. ඇලන් පවසන පරිදි, ‘මෙය අවබෝධ කර ගැනීමේ යතුර වන්නේ චීනයේ කෘත්‍රිම බුද්ධි කර්මාන්තයට බලගතු පහරක් දීමට එක්සත් ජනපදයට අවශ්‍ය වූ බැව් වටහා ගැනීමයි. ඒ අරමුන දිනා ගත හැකි මාධ්‍යය වන්නේ අර්ධ සන්නායකයි.‘”
පාමර් ලියා ඇත්තේ, ඔක්තෝබරයේ පාලනයන් “අත්‍යවශ්‍යයෙන් ම, චීනයේ උසස් තාක්ෂනයේ සමස්ත පරිසර පද්ධතියම අතු ඉති හා මුල් සිඳ එහැම පිටින් උපුටා දැමීමේ මං සෙවීමේ” පියවර බවයි.
ඇලන්ට අනුව මෙම පාලනයන් හුදෙක් ඉදිරි වර්ධනය වැලැක්වීම ඉලක්ක කර ගත් ඒවා නොවේ. “අපි ඔවුන්ගේ වර්තමාන ඉහලම තාක්ෂන වර්ධන මට්ටම සක්‍රිය ලෙස ආපස්සට යැවීමට කටයුතු කරන්නෙමු“යැයි ඔහු කියයි.
Evercore ISO හි ජ්‍යෙෂ්ඨ අර්ධ සන්නායක විශ්ලේෂකයෙකු වන සී. ජේ. මියුස් විසින් සිදු කර ඇති පහත ප්‍රකාශය, එක්සත් ජනපද පියවර කෙතෙක් දුර විහිද යන්නේ ද යන්න පිලිබඳ තවත් සංඥාවකි. “ඔබ මීට පස් වසරකට ඉහත දී මෙම නීති ගැන මට කියූවෙහි නම්, එය යුදමය පියවරකැයි මා ඔබට පවසනු ඇත – අප යුද්ධයකට පිවිස සිටිනු ඇත.”
ලිපියේ දැක්වෙන තොරතුරු මඟින් අනාවරනය වන්නේ, අර්ධ සන්නායක වර්ධනය කිරීම බලගතු හා අන්තර් සම්බන්ධිත වර්ධනයන් දෙකකින් – එනම්, තාක්ෂනික ප්රගමනයේ අතිමහත් වේගයෙන් සහ චිප සැලසුම් නිර්මානයේ හා නිෂ්පාදනයේ ගෝලීය වශයෙන් සමෝධානික (integrated) ස්වභාවයෙන් – ලක්ෂනය වන බවයි.
අර්ධ සන්නායක චිපයන් යනු, ට්‍රාන්සිස්ටර මඟින් ක්‍රියාත්මක කිරීම සහ අක්‍රිය කරනු ලබන දැවැන්ත විදුලි පරිපථ කැටයම් කර ඇති කුඩා සිලිකන් කැබලි වේ. 1950 ගණන්වල සොයා ගන්නා ලද ට්‍රාන්සිස්ටර මුලින් ම ප්‍රසිද්ධියට පත් වූයේ ඒවා ට්‍රාන්සිස්ටර් රේඩියෝ නමින් හැඳින්වුනු කපාට තාක්ෂණය අවශ්‍ය නොවන රේඩියෝ යන්ත්‍රවලට ඇතුලත් වීම සමඟ ය.
මුල්ම චිපයන්ට ඇතුලත් වූයේ “ට්‍රාන්සිස්ටර් අතලොස්සක්” පමනෙකි. “වර්තමානයේ නව ස්මාට් ජංගම දුරකථනයක ප්‍රධාන අර්ධ සන්නායකයෙහි ට්‍රාන්සිස්ටර් බිලියන් 10 ත් 20 ත් අතර සංඛ්‍යාවක් තිබේ. මේ සෑම ට්‍රාන්සිස්ටරයක් ම වෛරසයක තරමේ ප්‍රමානයෙන් යුතු අතර, ඒවා ලේයර් කේක් ගෙඩියක් පරිද්දෙන් සිලිකන්වල ව්‍යුහය තුලට කැටයම් කරනු ලැබ ඇත.”
1997 දී ආරම්භ වූ පර්යේෂන හා වර්ධනයන්ගේ ප්‍රතිඵලයක් ලෙස චිපයක් මත ස්ථර මුද්‍රනය කිරීමට යොදා ගැනෙනා අත්‍යන්ත පාර ජම්බුල (EUV) ශිලා මුද්‍රන (ලිතෝග්රෆි) යන්ත්‍රය නිපදවූ ASML නම් ලන්දේසි ව්‍යාපාර ආයතනය පිලිබඳ උදාහරනය උපුටා දක්වමින් පාමර් පෙර නොඇසූ විරූ ඇතැම් තාක්ෂනික වර්ධනයන් පිලිබඳ විස්තර ගෙන හැර දක්වා ඇත.
“මෙම යන්ත්‍රයේ නවතම මාදිලිය නැනෝ මීටර 10 ක් තරම් කුඩා ව්‍යුහයන් නිමවීමට සමත් ය; සංසන්දනය සඳහා කිවහොත්, මිනිස් රතු රුධිරානු සෛලයක සරස් ප්‍රමානය නැනෝ මීටර් 7000 ක පමන වෙයි. එය, සූර්යයා මතුපිට මෙන් හතලිස් ගුනයක උෂ්නත්වයෙන් යුතු ප්ලාස්මා නිපදවීම සඳහා, මිනිස් ඇසට දෘශ්‍යමාන නොවන, අත්‍යන්ත පාරජම්බුල ආලෝකය පිට කරන ලේසර් කිරන භාවිතා කරන අතර, ඒවා, දර්පන මාලාවක් මඟින් සිලිකොන් චිපයක් මතට වර්තනය කෙරෙයි.”
ෆැබ් (fab) නමින් හඳුන්වනු ලැබෙන ක්ෂුද්‍ර චිප නිෂ්පාදනාගාරවල සිදු කෙරෙන චිප නිෂ්පාදනය “කවර දාක හෝ සාක්ෂාත් කර ගන්නා ලද සංකීර්නතම නිෂ්පාදනය” වන අතර, එය ශක්‍යතාවයක් බවට පත් වී ඇත්තේ ඉහලටම වැඩි වර්ධනය වූ ජාත්‍යන්තර ශ්‍රම විභජනය විසින් අත්පත් කර ගන්නා ලද වර්ධනයන් හේතුවෙනි.
ලිපියේ වැඩි දුරටත් මෙසේ පැහැදිලි කෙරෙයි: “වඩාත් විස්තෘත චිප නිෂ්පාදන කර්මාන්තය වූ කලී, …. සමස්ත ග්‍රහ ලෝකය පුරා ඉහලින්ම සුවිශේෂීකෘත කලාප හා සමාගම් තුල පැතිර ගිය අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකා මත රඳා සිටින ජාලයකි. එහි වික්‍රමාන්විත ශූරකම්වලට ශක්‍යතාවය ලැබී ඇත්තේ සුවිශේෂී ලෙස දීර්ඝ හා සංකීර්න සැපැයුම් දාමවලිනි. – වෙනත් වචනවලින් කිවහොත්, එය ගෝලීයකරනයේ ලාංඡනික නිමැවුමකි.”
Chip War (චිප යුද්ධය) නමින් යුත් පොතෙහි කර්තෘ ක්‍රිස් මිලර්, පාමර්ට පවසා ඇති පරිදි, “ඒවා දැන් ලඟා වී ඇති හැකියා මට්ටම් කරා ලඟා වීම, ලෝකයේ තීක්ෂනතම මනස් සියල්ල එක් ව වැඩ කිරීමෙන් තොරව කෙසේ නම් සාක්ෂාත් කර ගත හැකිදැයි සිතා ගත නොහැකිය.”
කෙසේවෙතත්, මානව අභිවර්ධනය ඉහත දී සිතා ගැනීමට හෝ නොහැකි පරිමානයන් කරා ඉහලට නැංවීම ශක්‍යතාවයක් බවට පත් කල මෙකී වර්ධනය ම, ලෝක ගෝලීය ආර්ථිකය මත එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යයට තර්ජනයක් වී ඇත. මේ වූ කලී, එය දැනටමත් දියත් කරමින් සිටින අධි තාක්ෂනික ක්ෂේත්රය අලලා ගත් යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ඇති වන මිලිටරිමය සංග්‍රාමයක් ද ඇතුලු සකලවිධ ආකාරයන් මඟින් ආපස්සට හැරවීමට ඔවුන් අධිෂ්ඨානශීලී ව සිටින තත්ත්වයකි.
ඉහල තාක්ෂන නිෂ්පාදනයේ ගෝලීය ස්වභාවයෙන් හැඟවෙන්නේ එක්සත් ජනපදයට හුදෙක් තමා විසින් පමනක් පනවනු ලබන පියවර මඟින් සිය ආධිපත්‍යය බලාත්මක කල නොහැකි බවයි.
ඔක්තෝබරයේ ගනු ලැබූ තීරන සමඟ වහා වටහා ගැනුනු දෙයක් වූයේ, මෙම ක්‍රියාවලියේ දී චීනයේ හුස්ම සිර කල හැකි තීරනාත්මක නිල ස්ථාන එක්සත් ජනපදය විසින් පාලනය කෙරෙන අතර ම, එහි සෙසු කොටස්වල පාලනය නෙදර්ලන්තය හා ජපානය මෙන් ම තායිවානය ද ඇතුලත් සෙසු රටවල් අත පවතින බවයි. ඉදින් ඔවුන් චීනයට කෙරෙන අපනයන දිගටම පවත්වා ගෙන ගියහොත් එජ තහනම් නියෝග “බොහෝ දුරටම නිෂ්ප්රයෝජන” ඒවා බවට පත්වනු ඇත.
ජපානය හා නෙදර්ලන්තය ද එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති ආකාරයට සමාන පාලනයන් පැනවීම සහතික කර ගැනීම සඳහා ජනවාරියේ බයිඩන් පාලනය කටයුතු කරන්නේ මේ අනුව ය. මෙම පියවරෙහි තර්කනය පැහැදිලි එකකි. එමඟින් සැල කර සිටිනු ලබන්නේ, චීනයට එරෙහිව තමන් විසින් අනවනු ලබන පියවර බල ගැන්වීම සඳහා එක්සත් ජනපදයට, ඉහල තාක්ෂනික වර්ධනයේ ජාත්‍යන්තර පොලිස් භටයා බවට පත් වීමට සිදු වන බවයි.
ලෝක ගෝලීය ක්‍රියාවලිය තුල තායිවානය හා එහි තායිවාන් අර්ධ සන්නායක නිෂ්පාදන සමාගම (Taiwan Semiconductor Manufacturing Company – TSMC), විශාලතම චිප නිෂ්පාදකයා ලෙස – විශේෂයෙන් ම වඩාත් ම වැඩි දියුනු චිපයන් සම්බන්ධයෙන් – ප්රමුඛ භූමිකාවක් ඉටු කරයි. ඒ අනුව, තායිවානය චීනයේ කොටසක් ලෙස නොව වෙනම රටක් ලෙස පිලිගැනීමේ දිශාවට එක්සත් ජනපදය වඩවඩාත් ගමන් කිරීමත් සමඟ, දිනෙන් දින වඩවඩාත් උත්සන්න වන එජ-චීන ආතතීන් හමුවේ තායිවානය මේසා කේන්ද්‍රීය ස්ථානයක් උසුලන්නේ මක් නිසාදැයි ඉන් අවධාරනය කෙරෙයි.
ලිපියේ සඳහන් කෙරෙන පරිදි, “එම දිවයිනේ ෆැබ් නිෂ්පාධනාගාර චීනය විසින් අල්ලා ගන්නා ලදහොත්, හෝ ආක්රමනයක දී ඒවායේ නිෂ්පාදන ක්‍රියාදාමයන් නිෂ්ක්‍රිය වුවහොත්, ඉන් ගෝලීය ආර්ථිකයට ඇති කෙරෙන පාඩුව ව්‍යසනකාරී එකක් වනු ඇත.” එක්සත් ජනපදයේ ඇතැම් යුද මූලෝපාය ප්රවීනතා අභ්‍යාසකරුවන් විසින් යෝජනා කර ඇත්තේ, ඉදින් චීනය (තායිවානය) ආක්රමනය කලහොත්, “TSMCයේ ෆැබ් නිෂ්පාධනාගාර චීනයේ පාලනයට නතුවීම වැලැක්වීම සඳහා එක්සත් ජනපදය ඒවා විනාශ කල යුතු” බවයි.
තාක්ෂනික යුද්ධය ආරම්භ කෙරුනේ, ට්‍රම්ප් පාලනය යටතේ එක්සත් ජනපදය 2019 දී චීන තාක්ෂන දැවැන්තයා වන හුආවෙයි (Huawei) සමාගමට එරෙහිව චිප් තහනමක් පැනවූ කල්හි ය. එහි බලපෑම අතිශය විනාශකාරී එකක් විය. 2020 දී හුආවෙයි සමාගම ලෝකයේ විශාලතම ස්මාර්ට් දුරකථන අලෙවිකරු වූවා පමනක් නොව, විදුලි සංදේශන පද්ධතීන් සඳහා වැදගත් සංරචක සැපයුම්කරුවෙකු ද විය. ස්මාර්ට් දුරකථන අලෙවි වෙලඳ පොලෙහි දී ඇපල් හා සැම්සුන් අභිබවා ගිය සියයට 18 ක පංගුවකට එය හිමිකම් කීය. එහි ආදායම 2021 දී තුනෙන් පංගුවකින් ඇද වැටුනු අතර 2022 වන විට එහි වෙලඳපොල පංගුව යන්තම් සියයට 2 ක් පමනක් වන මට්ටමකට කඩා වැටින.
“පරිබාහිර භූමි භාගයන් සම්බන්ධයෙන් ඇති බලයේ පුලුල්තම ප්රභාෂනයක් (assertion)” ලෙස නිව්යෝර්ක් ටයිම්ස් ලිපිය මඟින් හඳුන්වා දෙනු ලැබූ අපනයන පාලන නීතියකට – එනම්, විදේශීය ඍජු නිෂ්පාදන නීතියට – හුආවෙයි සමාගම යටත් කිරීමට ට්‍රම්ප් පරිපාලනය කටයුතු කල අවස්ථාවේ එම සමාගම සම්බන්ධයෙන් ලද අත්දැකීම, 2020 දී එකී යුද්ධය තවදුරටත් වර්ධනය සඳහා වූ අපේක්ෂාවන්ට දොර විවර කලේය.
මෙයින් අදහස් වූයේ, කිසියම් නිෂ්පාදනයකට ඇමරිකානු තාක්ෂනය හෝ මෘදුකාංග හෝ අඩංගු නම්, එය එක්සත් ජනපදයට පිටස්තර භූමියක තනන ලද හා කිසිදාක රට තුලට ඇතුලු නොවූ එකක් වුව, සහ එහි අවසාන ස්වරූපයෙන් ගත් කල එක්සත් ජනපදයේ නිපදවූ කිසිදු සංරචකයක් ඊට අඩංගු නොවූවේ වුව, තවමත් එය ඇමරිකානු භාන්ඩයක් ලෙස සැලකිය හැකි බව ය.
BIS හි හිටපු නිලධාරියෙකු වන කෙවින් වුල්ෆ්ට අනුව, “පෘථිවිය මත පිහිටා ඇති සෑම වාත්තු වැඩ පොලක් ම අවම ලෙස කිවහොත් අර්ධ වශයෙන් හෝ එජ මෙවලම් භාවිතා කරන හෙයින්, මෙම නීතිය මෙම ග්‍රහ ලෝකයේ සියලු අර්ධ සන්නායක ඇමරිකානු නීතියට යටත් කලේය. ඔබේ ෆැබ් නිෂ්පාධනාගාර තුල ඇමරිකානු නොවන මෙවලම් 100 ක් තිබුනේ වී වුව, එහි එක් එජ මෙවලමක් වී නම් නිෂ්පාදන රේඛාව ඔස්සේ ගමන් කරන ඕනෑම වේෆරයක් (අර්ධ සන්නායක පෙත්තක්) එයින් කෙලෙසෙනු ඇත.”
හුආවෙයි සමාගම සමඟ ආරම්භ කෙරුනු දෙය බයිඩන් පාලනය යටතේ විස්තීරනය කෙරෙමින් පවතී. CSIS බුද්ධි මන්ඩලයේ ග්‍රෙගරි ඇලන්ගේ වචනවලින් කිවහොත්, “ට්‍රම්ප් පාලනය සමාගම් පසුපස හඹා ගියේය. බයිඩන් පාලනය සමස්ත කර්මාන්ත පසුපසින් හඹා යයි.”
ඇත්ත වශයෙන් ම කිවහොත්, එජ සමස්ත චීන ආර්ථිකයම පසුපස හඹා යන බව පැවසිය හැක. අප්‍රේල් මාසයේ දී චීනය ඛනිජ තෙල් සඳහා කල වියදමට වැඩි වියදමක් පරිගනක චිප් සඳහා දැරීය යන කරුනෙන්, එම ආර්ථිකය කෙතරම් දුරට චිප මත රඳා පවතින්නේ ද යන්න ඉස්මතු කෙරේ.
නව ඇමරිකානු ආරක්ෂනයක් සඳහා වූ කේන්ද්‍රයේ දැන් සේවය කරන එජ හිටපු වෙලඳ නිලධාරියෙකු වන එමිලි කිල්ක්රීස් විසින් සිදු කර ඇති, නිව්යෝර්ක් ටයිම්ස් ලිපියේ උපුටා දැක්වෙන පහත ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ, ඉලක්කය වී ඇත්තේ සමස්ත චීන ආර්ථිකය ම බව ය.
“චීනය ප්රගමනයක් නොලද යුතු ප්රමුඛ තාක්ෂනික ක්ෂෙත්ර පවතින බව අපි කීවෙමු. කරුනු යෙදී ඇති පරිදි, එසේ ඔවුන් ප්‍රගතියක් නොලද යුතු ක්ෂේත්‍ර වන්නේ අනාගත ආර්ථික වර්ධනය හා සංවර්ධනය බල ගන්වන එකී ක්ෂේත්රයන් ම ය,” ඇය ප්‍රකාශ කරයි.
චිප නිෂ්පාදනයේ පවතින සමෝධානික ලෝක ගෝලීය ස්වභාවය සහ එහි සියලු ක්රියාකාරීත්වයන් සිය දේශසීමා තුලට ගෙන ඒම එක්සත් ජනපදයට කල හැක්කක් නොවේය යන්න ද සැලකිල්ලට ගත්විට පෙනී යන්නේ, එහි තාක්ෂනික යුද්ධයට ප්‍රධාන පෙලේ දුෂ්කරතාවලට මුහුන පෑමට සිදු වන බවය.
කෙසේවෙතත්, එම ප්රයත්නයේ අඩු කිරීමක් සිදුවෙතැයි එයින් අදහස් නොවේ. ඊට පටහැනි ලෙස, ජපානයට හා නෙදර්ලන්තයට එරෙහි බයිඩන් පාලනයේ ක්‍රියාවන්ගෙන් හෙලිදරව් වන පරිදි, මිතුරන්ට හා සතුරන්ට එක සේ බලපාන අයුරින් සිය තහනම් කිරීම් හා සීමා පැනවීම් සමස්ත ලෝක ගෝලය පුරා පැතිරෙන සේ ප්රසාරනය කරමින් එජ තම ප්රයත්න දෙගුන කරනු ඇත.
වාණිජ දෙපාර්තමේන්තුව දැන් එන්විඩියා (Nvidia) වැනි සමාගම්වලට බලපාන පරිදි, කෘත්‍රිම බුද්ධියට සම්බන්ධ අර්ධ සන්නායක චීනයට විකිනීම පාලනය කිරීමේ නව පාලනයන් සූදානම් කරමින් සිටී – මෙසේ තාක්ෂනික යුද්ධය උත්සන්න කිරීම පිලිබඳව එකට එක කරන බවට චීනය අනතුරු හඟවා ඇත.
එජ පියවරයන්ට එරෙහිව එකට එක කිරීමට චීනයට සිදු වනු ඇතැයි එක්සත් ජනපදයේ සිටින චීන තානාපති ක්සී ෆෙං මේ සතිය මුල දී අනතුරු හැඟවීය.
“චීන ආන්ඩුවට නිකම් බලා සිටිය හැකි නොවේ,” ඔහු පැවසීය. “අපි ප්‍රකෝප කිරීම් නොකරන්නෙමු. එහෙත් අප ප්‍රකෝප කිරීම් හමුවේ පැකිලෙන්නේ නැත. එබැවින් චීනය නිසැකවම අපේ ප්‍රතිචාරය දක්වනු ඇත.”
එයින් එක්සත් ජනපදයේ පය ආපස්සට ගැනීමක් සිදු නොකෙරෙනු ඇත. ඊට වඩා එය හේතු වනු ඇත්තේ, තාක්ෂනික යුද්ධය මිලිටරි ගැටුමක් බවට පරිවර්තනය කිරීම වඩාත් වේගවත් වීමට ය.
න්‍යෂ්ටික අවියෙන් සන්නද්ධ බලවතුන් දෙදෙනෙකු අතර යුද්ධයක මේ තත්‍ය හා වර්තමාන අනතුර ජාත්‍යන්තර කම්කරු පන්තිය ඉදිරියේ තීරනාත්මක දේශපාලන කාරනා ඉස්මතු කරයි.
විද්‍යාඥයන්, ඉංජිනේරුවන් සහ ලෝ පුරා කම්කරුවන්ගේ සහකරනයේ ප්‍රතිඵලය වන පරිගනක චිප් තාක්ෂනයේ අතිමහත් වර්ධනය නිෂ්පාදන බලවේගවල දැවැන්ත ප්රසාරනයක් වන අතර, එය, කුසගින්න, දුක්ඛිතභාවය හා දරිද්‍රතාවය සදහටම නිමා කර ලෝක වාසී ජනයාගේ ජීවන කොන්දේසිවල පෙර නොදුටු විරූ ප්රගමනයක් අත්පත් කරදීමෙහි ලා සමත්ය.
ධනේශ්වර ක්රමයේ රාමුව තුල එය උන්මත්තකභාවය පැන නංවයි. මෙම උන්මත්තකභාවයේ මූල පද්ධතිය පවතින්නේ ධනේශ්වර දේශපාලනඥයන්ගේ චෛතන්‍යය තුල නොව, ලාභ පද්ධතියේ සමාජ සම්බන්ධතා හා, ගෝලීය ආර්ථිකයත්, ලෝකය එකිනෙකාට සතුරු සහ විසදෘශ ජාතික රාජ්‍යවලට බෙදී තිබීමත් අතර ප්‍රතිරෝධය තුල ය.
මානව ශ්‍රමය විසින් නිර්මානය කරන ලද නිෂ්පාදන බලවේග, ඒවා වර්ධනය වී තුබූ සමාජ සම්බන්ධතා සමඟ ගැටුමට එලඹෙන විට සමාජවාදී විප්ලවය පැන නඟින බව, අවුරුදු 150 කට ම පාහේ ඉහත දී කාල් මාක්ස් පැහැදිලි කලේය. පසුගිය සිය වසරකට අධික කාලයක් තුල ඇති වූ යුද්ධ හා විප්ලවවල ගාමක බලවේගය වූ එකී ප්රතිවිරෝධය, දැන් එහි තීව්‍රතාවයේ නව උච්ඡස්ථානයක් කරා එලැඹී ඇත.
ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් පමනක් අද දින ඉදිරිපත් කරනු ලැබෙන ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරි දර්ශනය සඳහා අරගලය යනු, කිසියම් දුරස්ථ හෝ මනෝරාජික කල්පිතයක් නොවේ. එය යලි ම්ලේච්ඡත්වය කරා ඇද වැටීම වලක්වා, ධනේශ්වර ක්රමයේ විනාශකාරී ග්රහනයෙන් මානව වර්ගයා මුදා ගැනීමට නව මාවතක් විවෘත කර ගැනීමේ ආසන්නතම වෛෂයික අත්‍යවශ්‍යතාවයක් වෙයි. (අවධාරනයන් පරිවර්තකගෙනි)