April 17, 2025

Protest

ඉදිරිදර්ශන: ට්‍රම්ප්ගේ ආඥාදායකත්වය නවත්වන්න! සමාජවාදය සඳහා කම්කරු පන්තියේ ව්‍යාපාරයක් ගොඩනඟන්න!

සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් ජනපදය) විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2025 අප්‍රේල් 04 දින “Stop Trump’s dictatorship! Build a movement of the working class for socialism!යන හිසින් යුතුව එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂ්ජය විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Protest
2025 මාර්තු 11 වන දින මහමුද් ඛලීල් නිදහස් කරන ලෙස ඉල්ලා සිය ගණනක් නිව්යෝර්ක් නගරයේ රැලි පැවැත්වීය.

එක්සත් ජනපදය පුරා, ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව ලක්ෂ ගණනක් සෙනසුරාදා පෙලපාලි යනු ඇතැයි අපේක්ෂා කෙරේ. කම්කරුවන් හා තරුනයන් අතර විරෝධයේ සහ කෝපයේ පුලුල් මනෝභාවයක කොටසක් වන විරෝධතා රට පුරා නගරවල පැවැත්වේ. 

සංක්‍රමණිකයන්ට එල්ල කරන ප්‍රහාර, ප්‍රකාශනයේ නිදහසට එරෙහි ප්‍රහාරය සහ ගාසා තීරයේ ජන සංහාරක යුද්ධයෙන් මිලියන ගනනක් කම්පනයට පත්ව සිටින අතර ඔවුන්ට ආපිට හැරී සටන් කිරීමට අවශ්‍ය වේ. නමුත් සිදුවෙමින් පවතින දේ, එහි මූලාරම්භය සහ එය නැවැත්වීමට කුමක් කළ යුතුද යන්න පිළිබඳ පැහැදිලි අවබෝධයකින් ප්‍රතිරෝධය දැක්වීමේ අධිෂ්ඨානය මෙහෙයවිය යුතුය.

පවත්නා තත්වය අතිශය පැහැදිලිකමකින් ප්‍රකාශ කළ යුතුය: ට්‍රම්ප් පරිපාලනය ඒකාධිපතිත්වයක් ස්ථාපිත කිරීමට ක්‍රමානුකූලව සහ හිතාමතාම ගමන් කරයි. එය මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහෝසි කිරීම, අපාලිත විධායක බලය තහවුරු කිරීම සහ සියලූ විරුද්ධත්වයන් තලා දැමීම ඉලක්ක කරගත් ෆැසිස්ට්වාදී වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරයි. මෙය ඉලක්ක කරන්නේ, සියල්ලටත් වඩා, කම්කරු පන්තියයි. ශිෂ්‍යයන් සහ සංක්‍රමණිකයන් මත අද පරීක්‍ෂා කෙරෙන දේ හෙට භාවිතා කරනුයේ වැඩ වර්ජන කරන කම්කරුවන්, සියලු සමාජ විරුද්ධත්වය සහ සියලු ආකාරයේ දේශපාලන විසම්මුතිය මර්දනය කිරීමට ය.

රට පුරා විශ්ව විද්‍යාල මණ්ඩපවල දැනටමත් භීෂණ පාලනයක් ක්‍රියාත්මක වෙමින් පවතී. ගාසා තීරයේ එක්සත් ජනපදයේ පිටුබලය ලබන ජන සංහාරයට විරුද්ධ වීම නිසා සාමකාමී විරෝධතාකරුවන් අවේක්ෂණයට (සෝදිසි කිරීමට) ලක් කර, අල්ලා ගෙන, රඳවා තබා ගෙන පිටුවහල් කරනු ලැබේ. AI බලයෙන් ක්‍රියාත්මක වන නිරීක්ෂණ වැඩසටහනක් වන “Catch and Revoke” යටතේ සිසුන්ගේ සමාජ මාධ්‍ය පළ කිරීම් සහ ප්‍රසිද්ධ ප්‍රකාශ, රටින් ඉවත් කිරීම සඳහා ඉලක්ක හඳුනා ගැනීම පිණිස රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අධීක්ෂණය කරනු ලැබේ.

කෝර්නල් විශ්ව විද්‍යාලයේ Ph.D. උපාධි අපේක්ෂක මොහමඩ් ටාල්ට, ට්‍රම්ප්ගේ විධායක නියෝග උසාවියේදී අභියෝගයට ලක් කිරීම නිසාවෙන් ෆෙඩරල් නියෝජිතයන් ඔහු අල්ලා ගැනීමට උත්සාහ කිරීමෙන් පසු මේ සතියේ රට හැර යාමට සිදුවිය. කොලොම්බියාවේ උපාධි ශිෂ්‍යයෙකු සහ නීත්‍යානුකූල ස්ථිර පදිංචිකරුවෙකු වන මහමුද් ඛලීල් ICE (ආගමන හා රේගු බලාධිකාරය) විසින් අත් අඩංගුවට ගෙන ඇත. ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වලාභී රුමේෂා ඔස්ටර්ක් (Rumeysa Öztürk) ඇතුළු තවත් අය – වෙස්මුහුණු පැලඳ ගත් ෆෙඩරල් නියෝජිතයන් විසින් මහ දවල් පැහැරගෙන ගොස් ඇත.

ට්‍රම්ප් පරිපාලනය, සමූහ වශයෙන් පිටුවහල් කිරීම සහ දේශපාලන විරුද්ධවාදීන් නෙරපා හැරීම සඳහා මින් පෙර කිසි දිනෙක මේ අයුරු භාවිතා නොකළ යුද කාලීන ප්‍රඥප්තියක් වන විදේශ සතුරන්ගේ පනත (Alien Enemies Ac) ක්‍රියාත්මක කර ඇත. උසාවි තීන්දු නොතකා හැරීමට, පවතින නීති අභිබවා යාමට සහ ජනාධිපතිවරයාට අසීමිත විධායක බලය ලබා දීමට, තමන්ට අධිකාරය ඇතැයි පරිපාලනය ස්ථිරවමු කියා සිටී. ගොඩ නගමින් තිබෙන නෛතික රාමුව ආදර්ශයට ගනු ලබන්නේ ‘අයිතීන් පිළිබඳ පනත’ (Bill of Rights) නොව, රජු නැතහොත් පාලකයා, ස්ථිර “ව්‍යතිරේක තත්ත්වයක්” (“state of exception”) හරහා පාලනය කරන බව අවධාරනය කළ නාසි නීතිවේදියෙකු වන කාල් ෂ්මිට්ගේ අධිකාරීවාදී න්‍යායන් මත ය.

ලක්ෂ ගනනක් ෆෙඩරල් කම්කරුවන් දොට්ට දැමීම, සමාජ වැඩසටහන් විනාශ කිරීම, රාජ්‍ය අධ්‍යාපනය විසුරුවා හැරීම, කම්කරුවන්ගේ කොන්ත්‍රාත්තු ඉරා දැමීම සහ “අකීකරු” කම්කරුවන් ඉලක්ක කර ගැනීම සඳහා ෆෙඩරල් ඒජන්තයන්ගේ බලතල පුලුල් කිරීම වැනි පියවර ගනිමින් පාලක පන්තිය කම්කරු පන්තියට එරෙහිව යුද්ධයක් ගෙන යයි. විද්‍යාව සහ මහජන සෞඛ්‍යය සම්බන්ධයෙන් ගත් කල, දැනට පවතින COVID-19 වසංගතය සහ H5N1 “කුරුළු උණ” වසංගතයේ වර්ධනය වන තර්ජනය මධ්‍යයේ සියලුම සෞඛ්‍ය හා මානව සේවා ආයතන වසා දැමීමේ වගකීම එන්නත් විරෝධී කුමන්ත්‍රණවාදී න්‍යායාචාර්ය රොබට් එෆ් කෙනඩි කනිෂ්ඨ (Robert F. Kennedy Jr.) වෙත පැවරී ඇත.

ජාත්‍යන්තරව, ට්‍රම්ප් පරිපාලනය ලෝක යුද්ධයට සූදානම් වෙමින් සිටී. බ්‍රහස්පතින්දා, එය සමස්ත ලෝකයටම එරෙහි ආර්ථික යුද්ධයක් ප්‍රකාශ කිරීමක් බදු, නව විශාල තීරුබදු ප්‍රකාශයට පත් කළේය. “මේඩ් ඉන් ඇමෙරිකා” යන ධජය යටතේ මෙම පියවර, චීනය අඩපණ කිරීමට හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදී අවශ්‍යතා සමග පෙලගැසීමට සෑම රටකටම බල කිරීම අරමුනු කර ඇත. ඒවා ගෝලීය ගැටුම් තීව්‍ර කරන අතර විදේශයන්හි පමනක් නොව එක්සත් ජනපදය තුලම, දොට්ට දැමීම් අවුළුවාලමින් උද්ධමනය සහ කම්කරු පන්තිය මත ගැඹුරු වන ප්‍රහාර දියත් කරමින් දැවැන්ත ආර්ථික හා සමාජ අවුල් කිරීමක් ඇති කරනු ඇත .

බිඩෙන් යටතේ ආරම්භ වූ ගාසා තීරයේ වාර්ගික ශුද්ධ කිරීම “අවසන් කිරීමට”, යේමනය “විනාශ කර දැමීමට”, ග්‍රීන්ලන්තය, කැනඩාව සහ පැනමා ඇළ ඈඳා ගැනීමට සහ චීනයට එරෙහිව පූර්ණ යුද්ධය  දියත් කිරීමට ට්‍රම්ප් ප්‍රතිඥා දී ඇත. 1917 රුසියානු ඔක්තෝබර් විප්ලවයේ ශ්‍රේෂ්ඨ සම නායක ලියොන් ට්‍රොට්ස්කි අධිරාජ්‍යවාදී අර්බුදයේ පූර්ව අවධියක දී පැහැදිලි කල පරිදි, ලෝකය මුහුන දී සිටින්නේ “ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගිනිකඳුමය පිපිරීමට” ය.

මේ අතර, ට්‍රම්ප්, මස්ක්, බෙසෝස් සහ සෙසු බිලියනපතියන්  වංචා, අභ්‍යන්තර ගනුදෙනු ( insider dealing) සහ විවෘත සොරකම් හරහා ධනවත් වී ඇත. වෝල් ස්ට්‍රීට් යනු අපරාධ කාටලයකි. මේ රටේ දේශපාලන, ආර්ථික, සංස්කෘතික යන සෑම ආයතනයක්ම ඇතුළතින් කුණුවෙමින් පවතී. පාලක ප්‍රභූව ප්‍රතිගාමිත්වයේ ගැඹුර සොයමින්  සිටී.

කම්කරුවන් හා තරුනයින් මුහුන දෙන හදිසි ප්‍රශ්නය නම්: කළ යුත්තේ කුමක් ද? යන්නයි.

ට්‍රම්ප් යනු ක්‍රමයට පිටින් ක්‍රියා කරන ආගන්තුක බලවේගයක් නොවන බව මුලින්ම තේරුම් ගත යුතුය. ඔහු ඇමරිකානු ධනවාදයේ නිෂ්පාදනයක් වන අතර, ඔහු කතා කරන්නේ තම ධනය හා බලය ඕනෑම ආකාරයකින් පවත්වා ගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටින පාලක පන්තියක් වෙනුවෙන් ය. ට්‍රම්ප් කියන්නේ කොහේවත් සිට ප්‍රාදූර්භූත වූ යකෙකු නොවෙයි. ඔහු ඇමරිකානු සමාජයේ (යථා) ස්වභාවයට අනුරූප වන පරිදි දේශපාලනය ප්‍රචණ්ඩ ලෙස ප්‍රතිව්‍යුහගත කරන කතිපයාධිකාරයේ පුද්ගලාරෝපණය වේ.

ඩිමොක්‍රටික් පක්ෂය විපක්ෂය නොවේ – එය සිය කැමැත්තෙන්ම හවුල්කරුවෙකි. ගාසා තීරයේ එක්සත් ජනපදයේ පිටුබලය ලබන ඊශ්‍රායල ජන සංහාරය ආරම්භ වූයේ බිඩෙන් යටතේ ය. ශිෂ්‍ය විරෝධතාකරුවන්ට හිංසා පීඩා කිරීම ආරම්භ වූයේ බිඩෙන් යටතේ ය. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාර ගැඹුරු කිරීමට ට්‍රම්ප් පරිපාලනයට මුදල් සපයමින් රිපබ්ලිකානුවන්ගේ ‘අඛණ්ඩ යෝජනාව’ (continuing resolution- අතුරැ අයවැය) සම්මත කිරීම සහතික කළේ ඩිමොක්‍රටිකයෝ ය.

කමලා හැරිස් ට්‍රම්ප්ව ෆැසිස්ට්වාදියෙකු ලෙස විවෘතව හැඳින්වීමෙන් වැඩි කල් නොගොස්ම, බිඩෙන් ට්‍රම්ප්ට “සාර්ථකත්වය” ප්‍රාර්ථනා කරමින් ධවල මන්දිරයට පිළිගත්තේය. ඩිමොක්‍රටිකයෝ ට්‍රම්ප්ගේ ආඥාදායකත්වයට විරුද්ධ වීම ප්‍රතික්ෂේප කරන්නේ ඔවුන් එහි මූලික අරමුනු සමග එකඟ වන බැවිනි: ඇමරිකානු අධිරාජ්‍යවාදය ආරක්ෂා කිරීම, සමාජ විරෝධය යටපත් කිරීම සහ වෝල් වීදියේ ආධිපත්‍යය පවත්වා ගැනීම. ඩිමොක්‍රටික් පක්ෂය යනු මූල්‍ය ප්‍රාග්ධනයේ, මිලිටරි-ඔත්තු සේවා යාන්ත්‍රිකයේ, සීඅයිඒ සහ පෙන්ටගනයේ සහ ඉහළ මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත කොටස්වල පක්ෂයකි. එහි ප්‍රධාන උත්සුකය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නොව එක්සත් ජනපද ගෝලීය ආධිපත්‍යය රැක ගැනීම සහ යුක්රේනයේ රුසියාවට එරෙහි යුද්ධයයි.

ඩිමොක්‍රටික් පක්ෂයට ආයාචනා කිරීමෙන් ට්‍රම්ප් නතර කළ නොහැක. ට්‍රම්ප්ගේ ජාතිකවාදී ආර්ථික යුද ප්‍රතිපත්ති වැලඳ ගන්නා ගමන්ම, “ඔබේ කොන්ග්‍රස් සභිකයාට ලියන්න” යන ඉල්ලීම් සමඟ, සමූහ රැකියා අහෝසි කිරීම් වලට ප්‍රතිචාර දක්වා ඇති වෘත්තීය සමිති යන්ත්‍රය විසින් ප්‍රවර්ධනය කරන ලද පුහු ප්‍රයෝග සහ සංකේත අභිනයන් හරහා ඔහුට විරෝධයක් දැක්විය හැකි නොවනු ඇත. බර්නි සෑන්ඩර්ස් සහ ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස් වැනියවුන් අප විශ්වාස ගැන්වීමට උත්සාහ කරන කරන පරිදි, බංකොලොත් පද්ධතියක වාටියේ කූරු ගෑම පිළිබඳ කාරණයක් ද නොවේ. ඔවුන්ගේ කාර්යභාරය වන්නේ විරුද්ධත්වය සමනය කිරීම සහ එය ඩිමොක්‍රටික් පක්ෂයේ රාමුව තුළ තබා ගැනීමයි.

අවශ්‍ය වන්නේ, ෆැසිස්ට්වාදයේ තර්ජනය පැන නගින්නේ ධනේශ්වර ක්‍රමයේම බිඳවැටීමෙන් බවට පැහැදිලි අවබෝධයකින් මෙහෙයවනු ලබන කම්කරු පන්තියේ මහජන විප්ලවවාදී ව්‍යාපාරයකි.

මෙම සටන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ සැබෑ ජන කොට්ඨාශය වන වන කම්කරු පන්තිය තුලට ගෙන යා යුතුය. ආඥාදායකත්වයට එරෙහි සටන, බලය ලබා ගැනීමේ, ධනවාදය අහෝසි කිරීමේ සහ සමාජවාදය ස්ථාපිත කිරීමේ වැඩපිලිවෙලකින් සන්නද්ධ කම්කරු පන්තියේ මහජන දේශපාලන ව්‍යාපාරයක් බවට පත්විය යුතුය.

සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටින්නේ වැඩවර්ජන හා පෙලපාලි ඇතුලු මහජන ප්‍රතිරෝධය බලමුලු ගැන්වීම සඳහා කම්හල්, සේවා ස්ථාන සහ අසල්වැසි ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙසයි. ධනේශ්වර කතිපයාධිකාරය විසින් කම්කරු පන්තියට එල්ල කරන දැවැන්ත ප්‍රහාරයට එරෙහිව සැබෑ අරගලයක් ගෙන යාම සඳහා වෘත්තීය සමිති නිලධරයන්ගෙන් ස්වාධීනව සම්බන්ධීකෘත සංවිධාන ජාලයක්- ක්‍රියාකාරී කමිටු වල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (IWA-RFC) වර්ධනය කරයි. 

සසප සටන් කරන්නේ මෙම නැගී එන ව්‍යාපාරය සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලකින් සහ ඉදිරිදර්ශනයකින් සන්නද්ධ කිරීමට ය. ආඥාදායකත්වයට එරෙහි අරගලය මූල්‍ය කතිපයාධිකාරයට හා ධනවාදයට ම එරෙහි අරගලයෙන් වෙන් කළ නොහැකි ය. මෙම කතිපයාධිකාරයේ ධනය උදුරා ගත යුතු අතර සමාජ අවශ්‍යතා සහ සමානාත්මතාවයේ පදනම මත සමාජය ප්‍රතිසංවිධානය කළ යුතුය.

ෆැසිස්ට්වාදයට, යුද්ධයට හා ආඥාදායකත්වයට එරෙහි සටන ජාතික දේශසීමාවල සීමාවන් තුළ ගෙන යා නොහැක. ධනේශ්වර පද්ධතියේ ගෝලීය ස්වභාවයට ජාත්‍යන්තර මූලෝපායක් අවශ්‍ය වේ. ලොව පුරා පාලක පන්තිය ෆැසිස්ට්වාදය, ආඥාදායකත්වය සහ යුද්ධය වෙත හැරෙමින් තිබේ. ඒ අතරම, එක්සත් ජනපදයේ සිට ජර්මනිය දක්වා, ප්‍රංශයේ සිට ශ්‍රී ලංකාව දක්වා සෑම රටකම වැඩෙන විරෝධතා සහ වැඩවර්ජන රැල්ලක් මතුවෙමින් තිබේ. කම්කරු පන්තිය ජාත්‍යන්තර පන්තියක් වන අතර එහි අරගල සියලු ජාතික, ජන වාර්ගික හා වාර්ගික රේඛා හරහා එක්සත් විය යුතුය.

පාලක පන්තියට සැලැස්මක් ඇත: ඒකාධිපතිත්වය, යුද්ධය සහ මර්දනය. කම්කරු පන්තියට ද සැලැස්මක් තිබිය යුතුය: බලය ලබා ගැනීම, ධනවාදය අවසන් කිරීම සහ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික සැලසුම් කිරීම සහ අධිරාජ්‍යවාදී යුද්ධය අවසන් කිරීම මත පදනම් වූ සමාජවාදී අනාගතයක් ගොඩනැගීම.

සමාජවාදී සමානතා පක්ෂයේ හා එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) වැඩපිලිවෙල එයයි. මේ සටන අතට ගන්න. සසප හා සසජාතශි සමග එකතු වන්න! ඒකාධිපතිත්වය නැවැත්වීමට, යුද්ධය අවසන් කිරීමට සහ පුද්ගලික ලාභය මත නොව මානව අවශ්‍යතා මත සමාජය ප්‍රතිසංවිධානය කිරීමට අවශ්‍ය විප්ලවවාදී නායකත්වය ගොඩනගන්න.

ඉදිරිදර්ශන: ට්‍රම්ප්ගේ ආඥාදායකත්වය නවත්වන්න! සමාජවාදය සඳහා කම්කරු පන්තියේ ව්‍යාපාරයක් ගොඩනඟන්න! Read More »

Tariff

ට්‍රම්ප්ගේ තීරු බදු ආපසු හැරවීම සහ ධනේශ්වර රාජ්‍යයේ පන්ති ස්වභාවය

පැට්‍රික් මාටින් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2025 අප්‍රේල් 11 දින “ Trump’s tariff pull-back and the class character of the capitalist state” යන හිසින් පල වූ පැට්‍රික් මාරින් විසින් ලියන ලද  ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Tariff
2025 අප්‍රේල් 7 වන සඳුදා නිව් යෝර්ක් හි නිව් යෝර්ක් කොටස් වෙළඳපොලේ වෙළෙන්දුන් වැඩ කරද්දි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රූපවාහිනියේ දිස් වෙයි. [AP Photo/Seth Wenig]

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති වන නමුත් ඔහු පාලනය කරන්නේ ධනේශ්වර කතිපයාධිකාරයක් වෙනුවෙන් ය. එය පසුගිය පැය 48 තුළ සිදු වූ සිදුවීම්වලින් උකහා ගත යුතු මූලික දේශපාලන නිගමනයකි.

සිදුවීම්වල මූලික දළ සටහන පැහැදිලිය. ට්‍රම්ප්, ලෝකයේ සෑම රටකටම පාහේ දැඩි තීරුබදු පැනවීමේ ඔහුගේ සැලැස්ම ආරම්භ කළේය, පසුබැසීමක් සිදු නොවන බව ප්‍රකාශ කළේය, කඩා වැටෙන වෙලඳපොලවල් සමච්චලයට ලක් කළේය, දැන් “ආයෝඡනය කිරීමට හොඳ කාලයක්” බව කියා සිටියේය. 

ඒත් ඉන් පැය කිහිපයක් ගත වූ පමනකින්ම ට්‍රම්ප්, මූල්‍ය ව්‍යසනයක් ආසන්න බව වෝල් වීදියේ සම්මුතිය වන්නේ යැයි ඔහු හට සන්නිවේදනය කළ භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සහ වාණිජ ලේකම් හොවාර්ඞ් ලූට්නික් යන බිලියනපති උපදේශකයන් දෙදෙනකු සමග සාකච්ඡා කිරීමට පොදි ගැසී ගත්තේය. ඔවුන් කාරණාව බල කර කියා  විට, ට්‍රම්ප් ඔහුගේ ටෲත් (Truth) සමාජ මාධ්‍ය වේදිකාවේ ප්‍රකාශයක් නිකුත් කරමින්, චීනය සමඟ හැර, ඔහුගේ තීරුබදු යුද්ධය සදහා  දින 90 ක “විරාමයක්” නිවේදනය කළේය.

ට්‍රම්ප් පරිපාලනය, චීනයට එරෙහිව වඩාත් සෘජු ආක්‍රමනකාරීත්වයට පූර්වගාමීව සිදු කරන ආර්ථික යුද්ධය උග්‍ර කරමින් සිටියදී, මෙම ව්‍යතිරේකය (එනම් චීනයට පමණක් එරෙහිව තීරු බදු පැනවීම), තීරනාත්මක වැදගත්කමක් ගනී. කෙසේ වෙතත් අනෙකුත් බොහෝ තීරුබදු තාවකාලිකව ප්‍රමාද කිරීම ට්‍රම්ප්ගේ පැත්තෙන් පැහැදිලි ආපසු හැරීමක් විය.

බ්‍රහස්පතින්දා ෆිනෑන්ෂල් ටයිම්ස් එහි කතුවැකියේ සිරස්තලය ලෙස යෙදූ පරිදි , “ඩොනල්ඩ් ට්‍රම්ප් වෙලඳපොලවල බලයට නැමෙයි”.

ආපසු හැරවීමට පෙර, කොටස් වෙලඳපොලේ දින දෙකක විකුණුම් තුළින් ඩොලර් ට්‍රිලියන 6කට වඩා විනාශ වූ අතර, Apple සමාගමට පමණක් ඩොලර් බිලියන 600 ක වෙළඳපල වටිනාකමක් (market value) අහිමි විය. ඔවුන්ගේ නිෂ්පාදනවලින් වැඩි ප්‍රමාණයක් දකුණු හා නැගෙනහිර ආසියාවේ නිෂ්පාදනය කරන අනෙකුත් තාක්ෂණික සමාගම් ද ඒ හා සමාන පාඩු අත්වින්දාහ. පුලුල් වශයෙන් සංගත ඇමරිකාව තීරුබදු යෙදවීම හෙලාදැක තිබුනද, ට්‍රම්ප් සහ ඔහුගේ ඉහල සහායකයින් ප්‍රකාශ කලේ අර්බුදය පහව යනු ඇති බවත් තීරුබදු පිලිවෙතේ අවසාන ප්‍රතිඵලය ඇමරිකානු ධනවාදය සඳහා ට්‍රම්ප් විසින් ප්‍රකාශ කරන ලද “නව ස්වර්ණමය යුගය” වන බවත්ය.

කොටස් මිල පහත වැටීමටත් වඩා සැලකිය යුතු කරුණක් වූයේ  තීරුබදු ඇත්ත වශයෙන්ම බදාදා උදෑසන බලාත්මක වීමට නියමිතව තබියදී, සඳුදා සහ අඟහරුවාදා බැඳුම්කර වෙලඳපොල තුළට මූල්‍ය භීතිය පැතිරීමයි. ලොව විශාලතම වන  ඩොලර් ට්‍රිලියන 28ක් වූ සහ ලොව පුරා මූල්‍ය ගනුදෙනු සඳහා මිණුම් සලකුණ වූ එක්සත් ජනපද භාණ්ඩාගාර බිල්පත් වෙලඳපොලට ඇති කල බලපෑම විශේෂයෙන් තීරනාත්මක විය.

ට්‍රම්ප් අඟහරුවාදා බැඳුම්කර වෙලඳපොල වැටීම බලා සිටිමින් , “ඊයේ රාත්‍රියේ මිනිසුන් ටිකක් කලබල වන ආකාරය මම දුටුවෙමි”යි පැවසීය. බදාදා උදෑසන JP Morgan Chase හි ප්‍රධාන විධායක නිලධාරී Jamie Dimon විසින් Fox Business හි Maria Bartiromo හට ලබා දුන් සම්මුඛ සාකච්ඡාව නැරඹූ බව ඔහු පිළිගත්තේය. සම්මුඛ සාකච්ඡාව තුළදී තීරු බදු ඉහළ දැමීම නිසා අවධමනයක් සිදුවීමේ හැකියාව වැඩි බව පවසමින්, “මම සන්සුන්ව බලා සිටිමි, නමුත් එය වඩාත් නරක අතට හැරෙනු හැක” ඩිමොන් අනතුරු ඇඟවීය.

වඩාත් රළු අදහස් දැක්වීම් ද තිබුණි. Fundstrat Global Advisors හි කළමනාකාර හවුල්කරුවෙකු සහ පර්යේෂණ ප්‍රධානියෙකු වන Thomas Lee, ධවල මන්දිරය තාර්කිකව ක්‍රියා නොකිරීම ගැන බොහෝ අරමුදල් කළමණාකරුවන් කනස්සල්ලට පත්ව සිටින බවට – Quartz හි උපුටා දක්වන ලද- සංදේශයක් (memo) බදාදා යවන ලදී. “මෙය දෘෂ්ටිවාදයක් වත් නොවිය හැකි යැයි සමහරු බිය වෙති,” ලී ලිවීය. “ජනාධිපතිතුමාට පිස්සුද කියලා කිහිප දෙනෙක් නිහඬව කල්පනා කළා.”

බැංකු භීතිකාවක් හෝ වෛරස් වසංගතයක් නිසා නොව, හුදෙක් ඒ හෝ මේ ආයෝජනයේ වටිනාකම පමණක් නොව, එක්සත් ජනපද ආන්ඩුවේ ස්ථාවරත්වය සහ ගෝලීය ධනවාදයේ පදනම ලෙස එක්සත් ජනපද ඩොලරයේ භූමිකාව ප්‍රශ්නයට බඳුන් කරන, එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිමය තීරණයක් මගින් ඇති වූ අර්බුදයකට මුහුණ දීමට, මහ බැංකුවට මේ සතියේ පියවර ගැනීමට සිදුවනු ඇතැයි සැලකිය යුතු කනස්සල්ලක් පැවතුනි.

 වොෂින්ටන් පෝස්ට් හි කතුවැකියකින්  අනතුරු ඇඟවූයේ මෙසේය:

සාමාන්යයෙන් භීතිමත් නොසන්සුන් අවස්ථා වලදී, මෙම බැඳුම්කර ආයෝජකයින්  ආකර්ෂණය කර ගනී. මෙවර එසේ කිරීමට ඒවා අසමත් වීමෙන්, එක්සත් ජනපද ආන්ඩුව සිය නය ආපසු ගෙවනු ඇතැයි යන විශ්වාසයේ  පිරිහීම පිලිබිඹු විය.

බිලියනපති Amazon නිර්මාතෘ Jeff Bezos ට අයත් මෙම  පුවත්පත, ( හිටපු බ්‍රිතාන්‍ය) අගමැති Liz Truss විසින් බදු කප්පාදු සහ අධික ණය ගැනීම් ඒකාබද්ධ  වැඩසටහනක් බල කිරීම හරහා 2022 බ්‍රිතාන්‍ය ආන්ඩුව බිඳවැටීමේ “අවවාදාත්මක කතාව” උපුටා දැක්වූයේ ය. මෙය විශ්‍රාම වැටුප් අරමුදල් බිඳවැටීමේ තර්ජනයට ලක් වූ මූල්‍ය භීතියක් ඇවිල වූ අතර වැඩ පිලිවෙල ඉල්ලා අස්කර ගැනීමට ඇයට බල කෙරුනි. ඉන් සති කිහිපයකිනන් ඇය නිලයෙන් සහමුලින්ම පහ වීම සිදුවුණි.

පසුගිය සතියේ සිදුවීම් ධනේශ්වර රාජ්‍යයේ පන්ති පදනම් පිලිබඳ දැඩි හෙලිදරව්වක් සපයයි. “අනභිභවනීය” ට්‍රම්ප් බැඳුම්කර වෙලඳපොලේ සහ ජේමි ඩිමොන්ගේ බල කිරීම් හමුවේ කඩා බිඳ වැටුනි. වෝල් වීදියට ගමන් පථ නිවැරදි කිරීමක් අවශ්‍ය ව සිටි අතර එයට එය ලැබුණි. ට්‍රිලියන ගනන් වෙලඳපොල පාඩු සහ භාණ්ඩාගාර වෙලඳපොලේ ඇති වූ දෙදරීම් තාවකාලික වුව හදිසි පසුබැස්මක් බල කිරීමට ප්‍රමාණවත් විය.

ඩිමොක්‍රටික් පක්ෂය ට්‍රම්ප්ව හුවා දක්වා ඇත්තේ නවතාලිය නොහැකි දේශපාලන දැවැන්තයෙකු ලෙසය. එය, ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් බිඳ දැමීම, ඔහුගේ වෙලඳ යුද ප්‍රතිපත්ති, ඔහුගේ ෆැසිස්ට්වාදී ප්‍රකාශයන් හමුවේ තමන් අසරණ බැව් අයැද සිටියි. ඇයි? ඔවුන් එකම පන්ති අවශ්‍යතා බෙදා හදා ගන්නා බැවිනි. රිපබ්ලිකානුවන්ට වඩා නොඅඩුව ඩිමොක්‍රටිකයෝ මූල්‍ය කතිපයාධිකාරයට සේවය කරන අතර එහි ධනය සහ ගෝලීය තත්වය ආරක්ෂා කරන ප්‍රතිපත්තිවලට කිසිදු අව්‍යාජ විරුද්ධත්වයක් නොපානු ඇත.

වෝල් වීදියේ බලපෑම සහ අප්‍රේල් 5දා රට පුරා පැතිර ගිය මහජන පෙලපාලි කෙරෙහි දක්වන ලද මුලුමනින්ම නොතකා හැරීම අතර වෙනස මගින් මෙම යථාර්ථය වඩාත් පැහැදිලි විය. ට්‍රම්ප්ගේ ඒකාධිපතිවාදයට, ඔහුගේ යුද ධාවනයට, සංක්‍රමණිකයන්ට, කම්කරුවන්ට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටම එරෙහි ඔහුගේ ප්‍රහාරවලට එරෙහිව මිලියන ගණනක් පාරට බැස්සාහ. වෙලඳපොලවල චලනයන් නිමක් නැති විවරණ වල විෂය වූ අතර, මහජන විරෝධතා, මාධ්‍ය විසින් සුළු ප්‍රාදේශීය ප්‍රශ්නයක් ලෙස පවා සලකනු ලැබූ අතර, ඒවා කිසි විටෙකත් සිදු නොවූවාක් මෙන් ඉක්මනින් අතුරුදහන් විය.

ට්‍රම්ප් පරිපාලනය එක් මිනිසෙකුගේ පුද්ගලික නිර්මාණයක් නොව, ධනේශ්වර කතිපයාධිකාරයක දේශපාලන මෙවලමකි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විනාශ කිරීම හුදෙක් ට්‍රම්ප්ගේ ඒකාධිපති ආවේගයන්ගේ ප්‍රතිඵලයක් නොව, ක්ෂූද්‍ර ප්‍රභූ පැලැන්තියක් විසින් පන්ති පාලනයේ සමාජ යථාර්ථය පිලිබිඹු කිරීම සදහා රාජ්‍යය සවිඥානිකව පිලිසැකසුම් කිරීමකි.

පාලක පන්තිය තුල දරුණු ගැටුම් පවතී – නමුත් ඒවා එහි ආධිපත්‍යය ආරක්ෂා කර ගැනීම සහ නැගෙන සමාජ විරෝධය මැඩපැවැත්වීමේ වඩාත් සුදුසු පිළිවෙත පිලිබඳව කතිපයාධිකාරය ඇතුලත ගැටුම් වේ. ධනේශ්වර රාජ්‍යයේ පන්ති ස්වභාවයෙන් ගැලවී ගත නොහැකි නිගමනයක් ගලා එයි: කම්කරු පන්තිය, පාලක පන්තියේ සියලු කන්ඩායම්වලින් බිඳී එය පෙරලා දැමීමේ සටන දියත් කළ යුතුය.

විප්ලවවාදී මහජන අරගල තුලින් පැන නගින සහ කම්කරු පන්ති බහුතරය නියෝජනාත්මක, සැබෑ සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදයේ නව ආකෘති සහ ව්‍යුහයන් කම්කරුවන්ගේ ආන්ඩුවක පදනම ලෙස වර්ධනය කල යුතුය. එනම්, ආර්ථික ජීවිතයේ සමාජවාදී ප්‍රතිසංවිධානය සඳහා පදනම ලෙස එක්සත් ජනපදයේ සහ ලොව පුරා, කම්කරුවන් විසින් කම්කරුවන් සඳහා කම්කරුවන්ගේ ආන්ඩුවකි.

ට්‍රම්ප්ගේ තීරු බදු ආපසු හැරවීම සහ ධනේශ්වර රාජ්‍යයේ පන්ති ස්වභාවය Read More »

Scroll to Top