Strike

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයට ඡන්දය දෙන්න: ICFI හි ජාත්‍යන්තර සමාජවාදී වැඩපිළිවෙළ පෙරට ගන්න!

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) විප්ලවවාදී වාම කන්ඩායම වන ශ්‍රී ලංකාවේ සහ දකුනු ආසියාවේ සමාජවාදී නායකත්වයේ (SLLA) ප්‍රකාශය.

  1. සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනයේදී කම්කරු පන්තියට, තරුනයින්ට, ශිෂ්‍යයින්ට, ගොවීන්ට සහ පීඩිත මධ්‍යම පන්තියට, මැතිවරනයට තරඟ කරන ධනේශ්වර, දක්ෂිනාංශික සහ ව්‍යාජ වාම පක්ෂ කිසිවක් අතර කිසිදු තෝරා ගැනීමක් නැත. ඔවුන්ගේ එකම තේරීම වන්නේ අන් සියල්ලන්ගෙන්ම වෙන්ව ජාත්‍යන්තර සමාජවාදයේ මූලධර්ම මත – අධිරාජ්‍යවාදී යුද්ධයට හා සමාජ අයිතීන් කප්පාදුවට එරෙහිව සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සදහා –  පදනම් වූ වැඩපිලිවෙලක් ඉදිරියට ගෙන යමින් මෙම මැතිවරනයට ඉදිරිපත් වන, ඔවුන්ගේම පක්ෂය වන,  සමාජවාදී සමානතා පක්ෂය යි (සසප). එය සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (ICFI-හජාජාක) ශ්‍රී ලංකා ශාඛාවයි.  සසප සඳහා ඡන්දයක් යනු, ප්‍රාග්ධනයේ කුරිරු පාලනයෙන් කම්කරු පන්තිය සැබැවින්ම  මුදවා ගත හැකි ජාත්‍යන්තර සමාජවාදය සඳහා ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශනය සහ වැඩපිලිවෙල පිලිගැනීම සහ ඉදිරියට ගෙන යාමට අනුමැතිය පලකිරීමකි. එබැවින් මෙම මැතිවරනයේදී සසපට ඡන්දය දෙන ලෙස SLLA අපගේ පන්ති සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටී.

ගෝලීය ධනේශ්වර අර්බුදය සහ ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ එහි ප්‍රකාශනය

  1. ශ්‍රී ලංකාව හෝ දකුනු ආසියාවේ වෙනත් ඕනෑම රටක් ගිලගෙන ඇති ගැඹුරු අර්බුදය හුදකලා සංසිද්ධියක් නොව ධනවාදයේ ගෝලීය බිඳවැටීමේ සංකේන්ද්‍රිත ප්‍රකාශනයකි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) වැනි අධිරාජ්‍යවාදී මූල්‍ය ආයතන විසින් නියම කරන ලද සහ අනුප්‍රාප්තික ආන්ඩු විසින් උද්‍රෝගීව වැළැඳ ගෙන ක්‍රියාත්මක කරන ලද දශක කිහිපයක නව ලිබරල් ප්‍රතිපත්ති, සමාජ දුක්ඛිතබාවයේ අගාධයට වැඩකරන ජනතාව  තල්ලු කර දමා ඇත. ඉහළ යන උද්ධමනය, විරැකියාව, දුබල සේවා කොන්දේසි, අසමානතාවය සහ දරිද්‍රතාවය, අපගමනයන්  නොව මානව අවශ්‍යතාවයට වඩා ලාභයට ප්‍රමුඛත්වය දෙන ගෝලීය පද්ධතියක සෘජු ප්‍රතිවිපාක වේ.
  1. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (SLPP), සමගි ජන බලවේගයට (SJB) හෝ වෙනත් කිසියම් ධනේශ්වර පාර්ශ්වයක් මගින් පෙනී සිටින ශ්‍රී ලංකාවේ ධනේශ්වර පාලක ප්‍රභූවට මෙම අර්බුදයට විසඳුමක් නැත. 2022 මහජන නැගිටීම මර්දනය හා පාවාදීමේ සිට, ජනාධිපති රනිල් වික්‍රමසිංහ පුරෝගාමීව ක්‍රියාවට දැමුනු කප්පාදු පියවර, අත්‍යවශ්‍ය සමාජ සේවා කප්පාදු සහ වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන් මත ප්‍රහාර වඩාත් දරුණු කිරීම සඳහා ඔවුන් කැපවී සිටිති.  මෙම පක්ෂ ඒවායේ මතුපිට වෙනස්කම් නොතකා, දේශීය හා ජාත්‍යන්තර ධනේශ්වරයේ, එනම් එකම පන්ති අවශ්‍යතා සඳහා සේවය කරති.
  1. අනෙකුත් සෑම රටකම මෙන් ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය, ප්‍රතිසංස්කරණය කිරීමට නොහැකි මෙන්ම මූලික සමාජ අයිතීන් පවා ලබා දීමට අකමැති වූ පද්ධතියක සිරවී සිටිති. එය මානව වර්ගයා ආර්ථික විනාශය, පාරිසරික ව්‍යසනය සහ ගෝලීය යුද්ධයේ තර්ජනය කරා නොවැලැක්විය හැකි ලෙස ගෙන යන පද්ධතියකි. සසප පමනක් අවධාරනය කරන්නේ විසඳුම ඇත්තේ, අණ්ඩ දමන ප්‍රතිසංස්කරන තුල හෝ එක් ධනේශ්වර පක්ෂයක් තවත් එකකින් ආදේශ කිරීම තුල නොව ධනේශ්වර ක්‍රමයම විප්ලවීය ලෙස පෙරලා දැමීම තුල බවයි.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ගෝලීය වර්ධනය: යුක්රේනය සහ ගාසා තීරයේ සිට ආසියාව දක්වා 

  1. යුක්රේනය තුල රුසියාවට එරෙහිව එක්සත් ජනපද-නේටෝ යුද්ධය පුපුරා යාම සහ ගාසා තීරයේ ඊශ්‍රායලයේ ජන සංහාරක ප්‍රහාරය හුදකලා සිදුවීම් නොව ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් අනුගමනය කරනු ලබන ගෝලීය ආධිපත්‍යයේ පුලුල් මූලෝපායක ඒකාග්‍ර සංරචක වේ. ආසියාවේ උත්සන්න වන ආතතීන් සමග මෙම ගැටුම්, තීව්‍ර වන ආර්ථික හා භූ දේශපාලනික අභියෝග හමුවේ සිය ගෝලීය ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා එක්සත් ජනපදයේ නිර්දය ලුහුබැඳීම මගින් මෙහෙයවනු ලැබේ. සමස්ත කලාපයම ව්‍යසනකාරී යුද්ධයක ගිල්වා දැමීමට  තර්ජනය කරන මෙම අධිරාජ්‍යවාදී ප්‍රචණ්ඩත්වයේ සුළි කුණාටුව වෙත ලොව පුරා කම්කරුවන් මෙන් ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය ද ඇදගෙන යමින් තිබේ.
  1.  යුක්‍රේනයේදී, එක්සත් ජනපද (එජ) සහ එහි නේටෝ සහචරයින්, යුරේසියාවේ එජ ආධිපත්‍යය සඳහා ප්‍රධාන ප්‍රතිමල්ලවයන්ගෙන් එකෙකු වන රුසියාව දුර්වල කිරීම අරමුනු කරගත් ම්ලේච්ඡ ගැටුමක් අවුලුවා එය පවත්වා ගෙන ගොස් ඇත. දැනටමත් ලක්ෂ  ගනනක් ජීවිත බිලිගෙන ඇති යුක්රේනයේ යුද්ධය, වොෂින්ටනය පවසන පරිදි ප්‍රජාතන්ත්‍රවාදය හෝ යුක්‍රේන ස්වෛරීභාවය ආරක්ෂා කිරීම පිළිබඳ එකක් නොව, රුසියාව වටකර අස්ථාවර කිරීම මගින් ඇමරිකානු මූලෝපායික අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සඳහා අරමුණු කෙරුන කි. මෙම ගැටුම මනුෂ්‍ය වර්ගයාට ගණනය කළ නොහැකි ප්‍රතිවිපාක සහිත න්‍යෂ්ටික ගැටුමක් කරා ලෝකය තල්ලු කරයි.
  1. ඊට සමගාමීව, එක්සත් ජනපදය සහ ජර්මනිය ඇතුළු අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ පූර්න පිටුබලය සහ සන්නද්ධ කිරීම සහිතව, ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ගෙනයන සමූල ජන සංහාරය, මැද පෙරදිග සිය ආධිපත්‍යය තහවුරු කර ගැනීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ නිර්දය අධිෂ්ඨානය පිලිබඳ පැහැදිලි ප්‍රකාශනයකි. ගාසා තීරයේ පලස්තීනුවන් සමූල ඝාතනය, ඊශ්‍රායල වර්ණභේදවාදයට වොෂින්ටනයේ නොසැලෙන සහයෝගය සමග, එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ කුහකකම සහ ම්ලේච්ඡත්වය හෙලිදරව් කරන ඓතිහාසික පරිමාණ අපරාධයකි. යුරෝපයේ හා ආසියාවේ දී මෙන්ම මැද පෙරදිග අධිරාජ්‍යවාදී යුද තල්ලුව, ප්‍රධාන සම්පත් සහ මූලෝපායික භූමි ප්‍රදේශ පාලනය කිරීම  මගින් වෝල් වීදියේ (ඇමරිකානු මූල්‍ය ප්‍රාග්ධනයේ) ආධිපත්‍යය ශක්තිමත් කිරීම සඳහා වේ.
  1. මෙම ආක්‍රමණශීලී පියවර, දැන් චීනය වටකර එයට මුහුණ දීම අරමුනු කරගත් දැවැන්ත මිලිටරි සන්ධානයක් ගොඩනඟමින් ආසියාවට වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින පුලුල් අධිරාජ්‍යවාදී මූලෝපායක කොටසකි. ඉන්දියන් සාගරයේ තීරණාත්මක සන්ධිස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාව මෙම තීව්‍ර වන ගැටුමේ එල්ලයට වඩ වඩාත් හසු වෙමින් ඇත. එක්සත් ජනපදය චීනයට එරෙහි සිය මිලිටරි සූදානම තීව්‍ර කරමින්, එහි කලාපීය සහචරයින්ට සහ හවුල්කරුවන්ට පෙළ ගැසීමට බලකරමින් සිටින විට, ශ්‍රී ලංකාව යුද්ධයේ සුලිය තුලට ඇදෙමින් තිබේ. දැවැන්ත ආර්ථික හා දේශපාලන පීඩනය යටතේ කොලඹ ආණ්ඩුවේ වොෂින්ටනය සමග වැඩෙන පෙලගැසීම, ආසියාවේ එලඹෙන අධිරාජ්‍යවාදී යුද්ධයේ පෙරටුගාමී රාජ්‍යයක් බවට දිවයින පරිවර්තනය කිරීමට තර්ජනය කරයි.
  1. මෙම අන්තර් සම්බන්ධිත ගැටුම් – යුක්රේනයේ, ගාසා තීරයේ හෝ ඉන්දු පැසිෆික් කලාපයේ වේවා – ගෝලීය ධනවාදයේ යටින් පවතින එකම අර්බුදයේ ප්‍රකාශනයන් ය. වටිනාකම් නිපදවන ජාත්‍යන්තර පන්තියේ  අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගල සමග ඔවුන්ගේ අරගලය අවියෝජනීය ලෙස සම්බන්ධ වී ඇති බව ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය හඳුනාගත යුතුය. එක්සත් ජනපද-නේටෝ යුද ධාවනයට විරෝධීව, ගාසා තීරයේ පීඩිතයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට සහ චීනයට එරෙහි අධිරාජ්‍යවාදී වැටලීමට එරෙහි වීම සඳහා  කම්කරු පන්තිය විසින් නායකත්වය දෙන බලගතු ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට ජාත්‍යන්තර කමිටුව කැඳවා ඇත. ගෝලීය යුද්ධයට හා ම්ලේච්ඡත්වයට බැසීම නැවැත්විය හැක්කේ ධනවාදය විප්ලවීය ලෙස පෙරලා දැමීම සහ සමාජවාදය ස්ථාපිත කිරීම හරහා පමණි. මෙම වැඩසටහන සඳහා සටන් කරන්නේ සසප පමණකි.

සසප විප්ලවවාදී වැඩසටහන: ජාත්‍යන්තර සමාජවාදී මූලෝපායක් සඳහා 

  1. සසප වැඩපිලිවෙල පදනම් වී ඇත්තේ ජාත්‍යන්තර කමිටුව විසින් ආරක්ෂා කරන ලද සහ විස්තාරනය කරන ලද මාක්ස්වාදයේ මූලධර්ම මත ය. එය ධනේශ්වර රාජ්‍යයට සහ එහි පක්ෂවලට කම්කරු පන්තිය ගැට ගැසීමට උත්සාහ කරන සියලු ආකාරයේ ජාතිකවාදයට, අවස්ථාවාදයට සහ ප්‍රතිසංස්කරණවාදයට සම්මුති විරහිතව විරුද්ධ වන වැඩපිලිවෙලකි. සමාජයේ විප්ලවවාදී පරිවර්තනයකට නායකත්වය දිය හැකි එකම සමාජ බලවේගය කම්කරු පන්තිය බව අවබෝධ කර ගැනීම මත පදනම්ව, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා ජාත්‍යන්තර කමිටුව සටන් කරයි.
  1. සසප වැඩපිලිවෙලට කේන්ද්‍රීය වන්නේ ජාත්‍යන්තරවාදය යි. ධනේශ්වර අර්බුදයේ ගෝලීය ස්වභාවය ගෝලීය විසඳුමක් ඉල්ලා සිටී. සසප සියලු ජාතිකවාදී මිත්‍යාවන් ප්‍රතික්ෂේප කරන අතර සමාජවාදී විප්ලවය සඳහා අරගලය, ජාතික රංගභූමියෙන් ආරම්භ වී, ජාත්‍යන්තර තලයේ දිග  හැරී, ලෝක තලය තුල සම්පූර්ණ කළ යුතු බවත් අවධාරනය කරයි. මෙය ලෝකයේ සෑම රටකම ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනැගීම ඉල්ලා සිටී. ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය, ධනේශ්වර ක්‍රමයට එරෙහි පොදු සටනක දී ලොව පුරා සිටින තම පන්ති සහෝදර සහෝදරියන් සමඟ එක්විය යුතුය.
  1. සසප වැඩසටහනට පහත දේ ඇතුළත් වේ:
  • කම්කරු ආණ්ඩුවක් පිහිටුවීම: සමාජයේ සමාජවාදී ප්‍රතිසංවිධානය සඳහා කැප වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමට සසප කැඳවුම්කර  සිටී. මෙම ආන්ඩුව ප්‍රධාන කර්මාන්ත, බැංකු සහ මූල්‍ය ආයතන අත්පත් කර ගනු ඇති අතර, ඒවා කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට නතු කරනු ඇත.
  • සමාජවාදී සැලසුම්ගත ආර්ථිකයක්: සසප පුද්ගලික ලාභය මත නොව සමාජ අවශ්‍යතා මත පදනම් වූ සැලසුම්ගත ආර්ථිකයක් වෙනුවෙන් පෙනී සිටී. කම්කරු පන්තිය විසින් නිපදවන ධනය සමස්තයක් ලෙස සමාජයේ අවශ්‍යතා සපුරාලීම සඳහා යොදා ගැනීම සහතික කරමින්, සියලු ප්‍රධාන කර්මාන්ත සහ සම්පත් ජනසතු කිරීම මෙයට ඇතුළත් වේ.
  • ජාමූඅ (IMF)  කප්පාදු ප්‍රතික්ෂේප කිරීම: සසප ජාමූඅ සහ අනෙකුත් අධිරාජ්‍යවාදී මූල්‍ය ආයතන විසින් පනවා ඇති සියලුම කප්පාදු පියවරයන්ට විරුද්ධ වේ. ධනේශ්වර ප්‍රභූව පොහොසත් කරන අතරම ජනතාව දරිද්‍රතාවයට පත් කිරීමට භාවිතා කර ඇති සියලුම විදේශ නය ප්‍රතික්ෂේප කරන ලෙස පක්ෂය බලකර ඉල්ලා සිටී.
  • ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම: ධනේශ්වර රාජ්‍යයෙන් සහ එහි දේශපාලන යාන්ත්‍රණයෙන් ස්වාධීනව සංවිධානය වීමට, වැඩ වර්ජනය කිරීමට සහ විරෝධතාවයට ඇති අයිතිය ඇතුළුව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම හා ව්‍යාප්ත කිරීම සඳහා සසප සටන් කරයි. සියලු ආකාරයේ වාර්ගික හා ආගමික වෙනස්කම් කිරීම් වැනි බෙදීම් කම්කරු පන්තිය දුර්වල කිරීමට සහ පාලක ප්‍රභූව ශක්තිමත් කිරීමට සේවය කරන බව හඳුනා ගනිමින් පක්ෂය ඒවාට විරුද්ධ වේ.
  • මිලිටරිවාදයට සහ යුද්ධයට විරුද්ධත්වය: ශ්‍රී ලංකාවේ, එක්සත් ජනපදයේ හෝ ගෝලීය වශයෙන් වේවා, සමාජය මිලිටරීකරණයට සහ යුද්ධය කරා ධාවනයට  සසප ඒකාන්තයෙන් විරුද්ධ වේ. න්‍යෂ්ටික  අවි ආයුධ සහ මිලිටරි-කාර්මික සංකීර්ණය විසුරුවා හැරීම සහ දැවෙන සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා සම්පත් නැවත වෙන් කොට බෙදා හැරීම සඳහා පක්ෂය පෙනී සිටී.
  • ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග සහයෝගීතාවය: ධනවාදයට එරෙහිව කම්කරු පන්තියේ ලෝක ව්‍යාප්ත ව්‍යාපාරයක් ගොඩනැගීමට සසප කැපවී සිටී. යුරෝපයේ හා එක්සත් ජනපදයේ වැඩ වර්ජනවල සිට ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව පුරා මහජන විරෝධතා දක්වා සෑම රටකම කම්කරුවන්ගේ ස්වාධීන අරගල සමඟ පක්ෂය පූර්ණ සහයෝගීතාවය ප්‍රකාශ කරයි.
  • සමාජවාදය සඳහා අරගලය තුල තරුනයන් හා සිසුන් පෙළගැස්වීම: සමාජවාදය සඳහා අරගලයේ දී තරුනයන් සහ ශිෂ්‍යයන් අත්‍යවශ්‍ය බලවේගයක් බව සසප පිළිගනී. ධනවාදය යටතේ, තරුනයන් විරැකියාව, අවධානම් සහගත රැකියා  සහ දිනෙන් දින ඉහල යන ණය මට්ටම් වලින් යුත්  අනාගතයකට මුහුන දෙයි. ධනේශ්වර ක්‍රමය ඔවුන්ට ලබා දෙන්නේ සූරාකෑමේ සහ අනාරක්ෂිත ජීවිතයක් මිස අනෙකක් නොවේ. ප්‍රතිසංස්කරනවාදයේ සහ අනන්‍යතා දේශපාලනයේ ආවෘත අන්තයක ඔවුන් කොටු කිරීමට උත්සාහ කරන ධනේශ්වර පක්ෂ හා ව්‍යාපාරවලින් බිඳී, කම්කරු පන්තිය පිටුපස පෙලගැසී, ජාත්‍යන්තර කමිටුවේ තරුන අංශය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (IYSSE) සංවිධානය ගොඩනගන ලෙස සසප තරුනයන්ගෙන් හා සිසුන්ගෙන් ඉල්ලා සිටී. 

NPP සහ FSP හි බංකොලොත්භාවය: කම්කරු පන්තිය සඳහා විකල්පයක් නොවේ

  1. ශ්‍රී ලංකාවේ ගැඹුරු වන සමාජ අර්බුදය මධ්‍යයේ, ජාතික ජන බලවේගය (NPP) සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (FSP) වැනි පක්ෂ ස්ථාපිත ධනේශ්වර පක්ෂවලට විකල්ප ලෙස පෙනී සිටියි. එසේ වෙතත්, ඔවුන්ගේ ඉතිහාසය, වැඩපිලිවෙල සහ දේශපාලන ක්‍රියාකාරකම් හෙළිදරව් කරන්නේ මෙම සංවිධාන කම්කරු පන්තියේ අවශ්‍යතාවලට මූලිකවම විරුද්ධ වන අතර ධනේශ්වර පර්යායට මුක්කු ගැසීමට පමණක් සේවය කරන බවයි.
  1. ධනේශ්වර සංස්ථාපිතයේ දක්ෂිනාංශික පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් නායකත්වය දෙන NPP, සාම්ප්‍රදායික පක්ෂවලට “ප්‍රගතිශීලී” විකල්පයක් නියෝජනය කරන බව කියා සිටියත්, එහි සමස්ත දේශපාලන දිශානතිය ධනවාදය සුරැකීම දෙසට ය. ජවිපෙ ක්‍රියාමාර්ගය මුල් බැස ඇත්තේ එහි ආරම්භයේ සිටම එහි දේශපාලනය සංලක්ෂිත වූ ජාතිකවාදී සහ ප්‍රතිසංස්කරණවාදී දැක්ම තුළමය. මහජනතාව මුහුන දෙන ව්‍යසනකාරී තත්වයන්ට NPP සැබෑ විසඳුමක් ලබා දෙන්නේ නැත. එය අර්බුදයේ පද්ධතිමය හේතූන් ආමන්ත්‍රණය කිරීමට අපොහොසත් වෙමින් ධනවාදයේ රාමුව තුළ මෘදු ප්‍රතිසංස්කරණ යෝජනා කරයි. දූෂණ-විරෝධී පියවර සහ වඩා “කාර්යක්ෂම” ධනේශ්වර රාජ්‍යයක් සඳහා එන්පීපීයේ කැඳවුම්, ධනේශ්වර අර්බුදයේ මූල හේතු වසන් කිරීමට සහ කම්කරු පන්තියේ වැඩෙන කෝපය පවතින පර්යායට තර්ජනයක් නොවන ආරක්ෂාකාරී මං පෙත් ඔස්සේ හරවා යැවීමට දරන උත්සාහයන්ට වඩා වැඩි දෙයක් නොවේ.
  1. එපමනක් නොව, දෙමල ජනතාවට එරෙහි වර්ගවාදී යුද්ධයට සහාය දීමේ එහි භූමිකාව ද ඇතුලත්, NPP යේ (සිංහල) ස්වෝත්තමවාදී ඉතිහාසය,වාර්ගික රේඛා හරහා කම්කරු පන්තිය එක්සත් කිරීමට එහි ඇති නොහැකියාව හෙලිදරව් කරයි. එහි වාර්තාව පෙන්නුම් කරන්නේ එය සියලු කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම කෙරෙහි  විශ්වාස තැබිය නොහැකි බවයි. ඒ වෙනුවට, එය උත්සන්න වන සමාජ ප්‍රහාර හමුවේ කම්කරු පන්තිය නිරායුධ කිරීමට පමණක් සේවය කරන මිත්‍යාවක් වන “පිරිසිදු” සහ “සාධාරණ” ධනේශ්වර ආන්ඩුවක් සදහා පවතින හැකියාව පිලිබඳ මිත්‍යාවන් පෝෂණය කිරීමට උත්සාහ කරයි. ඔවුහු බලයට පත්වුව හොත් NPP අධිරාජ්‍යවාදී ඉල්ලීම්වලට අනුකූලව කම්කරු පන්තිය මත ධනේශ්වර පීඩනය ශක්තිමත් කරනු ඇත. 
  1. ඒ ආකාරයෙන්ම, 2012 දී ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ද විප්ලවවාදී විකල්පයක් සැපයීමට අසමත් වේ. පෙසප වඩාත් රැඩිකල් වාචාලකමේ යෙදෙමින් ජවිපෙ හි “පාවාදීම්” ගැන විවේචනය කරන අතරම, මූලික වශයෙන් ජාතිකවාදී හා ජනතාවාදී ඉදිරිදර්ශනයකට කැපවී සිටී. NPP මෙන්ම  FSP ද ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීම වෙනුවට එහි ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටියි. එහි වැඩපිළිවෙල පදනම් වී ඇත්තේ ප්‍රමාණවත් තරම් “ප්‍රගතිශීලී” බලවේග බලමුලු ගන්වන්නේ නම්, කම්කරු පන්තියේ අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියා කරන ලෙස ශ්‍රී ලංකා රාජ්‍යයට බලපෑම් කළ හැකිය යන ව්‍යාජ පදනම මතය.
  1. පෙසප ජාතිකවාදී දිශානතිය කම්කරු පන්තියේ විමුක්තිය සඳහා අත්‍යවශ්‍ය ජාත්‍යන්තරවාදී මූලධර්මවලට ද විරුද්ධ ව පිහිටයි. එය කම්කරුවන්ගේ අරගල වඩාත් පහසුවෙන් පාලනය කර විසුරුවා හැරිය හැකි පාර්ලිමේන්තු දේශපාලනයේ ආවෘත අන්තයට යොමු කිරීමට උත්සාහ කරයි. රාජ්‍ය යාන්ත්‍රණයට ගැඹුරින් ඒකාග්‍ර වී ධනේශ්වර පාලනයේ මෙවලම් ලෙස ක්‍රියා කරන වෘත්තීය සමිති සමග පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සන්ධානය, ‘පවතින තත්ත්වය’ පවත්වාගෙන යාමේ එහි භූමිකාව තවදුරටත් අවධාරනය කරයි.

දෙමළ ජාතික ප්‍රශ්නය පිලිබඳ සසප/හජාජාක ඉදිරිදර්ශනය

  1. දෙමළ ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා ප්‍රතිපත්තිමය හා ඓතිහාසිකව පදනම් වූ ඉදිරිදර්ශනයක් සසප- ශ්‍රී ලංකාව සහ හජාජාක සතුව ඇත; එය දෙමල ධනේශ්වරයේ බංකොලොත් ජාතිකවාදයට සහ සිංහල පාලක ප්‍රභූවේ ස්වෝත්තමවාදයට හාත්පසින්ම වෙනස් ය. සසප අවධාරනය කරන්නේ, දෙමළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කල හැක්කේ ජාත්‍යන්තරවාදී හා සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම් වූ ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සමස්ත කම්කරු පන්තියේ එක්සත් අරගලය තුලින් පමනක් බවය.
  1. දකුනු ආසියාව පුරා වාර්ගික ගැටුම් සහ නොවිසඳුණු ජාතික ප්‍රශ්න මාලාවක් ඉතිරි කළ 1947 දී බ්‍රිතාන්‍ය ඉන්දියාවේ ප්‍රතිගාමී බෙදීම තුල දෙමළ ජාතික ප්‍රශ්නයේ මූලයන් පවතී. ශ්‍රී ලංකාවේ, සිංහල පාලක ප්‍රභූව, සමාජ අතෘප්තිය වෙනතකට යොමු කිරීමට සහ කම්කරු පන්තිය එක්සත් වීම වැලැක්වීම සඳහා දෙමළ සුලුතරයට එරෙහිව ක්‍රමානුකූලව වෙනස්කම් කරමින්, සිය පන්ති පාලනය පවත්වා ගැනීම සඳහා වාර්ගික බෙදීම් දිගු කලක්  යහමින් අපහරනය කොට ඇත. මෙය, අනුප්‍රාප්තික ආන්ඩු විසින් දෙමළ ජනතාවට එරෙහිව සමූල  ජන ඝාතන ව්‍යාපාරයක් දියත් කල කුරිරු සිවිල් යුද්ධයට  මග හෙලි කල අතර,  2009 දී මුල්ලිවයික්කාල්හි මහා සංහාරයෙන් අවසන් විය.
  1. ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ස්වාධීන ධනේශ්වර රාජ්‍යයක් පිහිටුවීමට උත්සාහ කළ දෙමළ ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ බෙදුම්වාදී ඉදිරිදර්ශනය සසප තරයේ ප්‍රතික්ෂේප කලේය. දෙමළ ධනේශ්වර ජාතිකවාදය තුල මුල් බැසගත් එල්ටීටීඊයේ වැඩපිලිවෙළ දෙමළ මහජනතාවගේ පීඩනයට කිසිදු විසඳුමක් ලබා දුන්නේ නැත. ඒ වෙනුවට, එය කම්කරු පන්තිය බෙදීමට සහ දෙමළ අරගලය විවිධ අධිරාජ්‍යවාදී බලවතුන් සමග පෙලගැස්සීමට සේවය කලේය. සහයෝගය සඳහා ඉන්දියාවට සහ අධිරාජ්‍යවාදී බලවතුන් වෙත ආයාචනා කිරීමේ එල්ටීටීඊ උපායමාර්ගය මූලික වශයෙන් දෙමළ ජනතාවගේ අවශ්‍යතාවලට විරුද්ධ වූ අතර සංවිධානයේ අවසාන පරාජයට හේතු විය.
  1. සසප, ඊට ප්‍රතිවිරුද්ධව, ජාතික ස්වයං-නිර්ණ අයිතියේ අත්‍යවශ්‍ය ප්‍රගතිශීලී අන්තර්ගතය වන සියලු ආකාරයේ ජාතික පීඩනයන්ට තිත තැබීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සඳහා දෙමළ ජනතාවට ඇති අයිතිය තහවුරු කරයි. එසේ වෙතත්, සසප අවධාරනය කරන්නේ, හුදෙක්ම ධනේශ්වර සූරාකෑමේ, පන්ති පීඩනයේ සහ අධිරාජ්‍යවාදී ආධිපත්‍යයේ නව ආකාර නිර්මානය කරන වෙනම ධනේශ්වර රාජ්‍යයක් ගොඩනැගීම හරහා මෙම අයිතිය සාක්ෂාත් කර ගත නොහැකි බවයි. ඒ වෙනුවට සසප සටන් කරන්නේ දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදී සමූහාණ්ඩු සංගමයක් සඳහා වන පුලුල් අරගලයේ කොටසක් ලෙස, ශ්‍රී ලංකා ඊලාම් සමාජවාදී එක්සත් ජනපදයක් පිලිබඳ ඉදිරිදර්ශනය සඳහා අරගලය තුල සිංහල හා දෙමළ කම්කරු පන්තියේ එකමුතුකම සඳහා ය.
  1. මෙම ඉදිරිදර්ශනය පදනම් වී ඇත්තේ සිංහලයන්ගේ විමුක්තිය මෙන්ම දෙමළ ජනයාගේ විමුක්තිය ද සාක්ෂාත් කරගත හැක්කේ ධනවාදය පෙරලා දමා සමාජවාදය ස්ථාපිත කිරීමෙන් පමණක් ය යන අවබෝධය මත ය. සසප පෙනී සිටින්නේ ශ්‍රී ලංකාවේ ධනේශ්වරය විසින් සියලු ජනවර්ගවල කම්කරු පන්තිය මත පටවා ඇති ඒකීය රාජ්‍ය ව්‍යවස්ථාමය ව්‍යුහය අහෝසි කිරීම සහ සියලු ජාතිකත්වයන් සඳහා පූර්ණ සමානාත්මතාවය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහතික කරන සමාජවාදී සමූහාන්ඩු සංගමයක් පිහිටුවීම සඳහා ය. මෙය අධිරාජ්‍යවාදයට හා ධනවාදයට එරෙහිව දකුනු ආසියාව පුරා සහ ගෝලීය වශයෙන් කම්කරුවන් එක්සත් කරන ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමේ අරගලයෙන් වෙන් කල නොහැක.
  1. දෙමළ ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා වන සසප වැඩපිළිවෙල මේ අනුව සියලු ආකාරයේ ජාතිකවාදයට හා ස්වෝත්තමවාදයට මූලිකවම විරුද්ධ ය. එය දෙමළ ජනතාව පීඩාවට පත් කිරීම හුදකලා ප්‍රශ්නයක් නොව ධනේශ්වර ක්‍රමයේ පුලුල් ප්‍රතිවිරෝධතාවල ප්‍රකාශනයක් බව පිළිගන්නා ඉදිරිදර්ශනයකි. සියලු ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මුලුමනින්ම සාක්ෂාත් කරගනු ලබන සමාජවාදී අනාගතයක් සඳහා පොදු අරගලයක් තුල, වාර්ගික රේඛා හරහා කම්කරු පන්තිය එක්සත් කිරීමට සසප සටන් කරයි. ධනවාදය විප්ලවීය ලෙස පෙරලා දැමීමෙන් පමණක්ම දෙමළ ජනතාව මුහුණ දුන් ඓතිහාසික අසාධාරණයන් නිවැරදි කළ හැකි අතර ජාතික ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබා ගත හැකිය.

දකුනු ආසියාව පුරා ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනැගීම

  1. ධනවාදයේ අර්බුදය ගෝලීය වන අතර, ගැඹුරු සමාජ අසමානතාවයෙන්, වාර්ගික ගැටුම් සහ අධිරාජ්‍යවාදී යුද්ධයේ සදාතනික තර්ජනයෙන් පීඩිත කලාපයක් වන දකුනු ආසියාවේ තරම් මෙය කොතැනකවත් පැහැදිලි නැත. ඉන්දියාවේ සහ පකිස්ථානයේ සිට බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව දක්වා උපමහාද්වීපය පුරා සිටින පාලක පන්තීන් මෙම අර්බුද විසඳීමට මුලුමනින්ම අසමත් බව ඔප්පු කර ඇත. ඒ වෙනුවට, ඔවුන් සූරාකෑම තීව්‍ර කිරීම, ජාතිකවාදී හා වාර්ගික බෙදීම් අවුලුවාලීම සහ කම්කරු පන්තියේ අරගල මර්දනය කිරීම වෙත යොමු වී ඇත. මෙම සන්දර්භය තුළ, දකුනු ආසියාවේ සෑම රටකම ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනැගීමේ අවශ්‍යතාවය හුදු සංවිධානාත්මක කර්තව්‍යයක් නොව කම්කරු පන්තියට ජීවිතය සහ මරණය පිලිබඳ ප්‍රශ්නයකි.
  1. මිලියන සිය ගනනක් වන දකුනු ආසියාවේ කම්කරු පන්තිය ධනවාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි අරගලයට නායකත්වය දිය හැකි එකම සමාජ බලවේගයයි. එසේ වෙතත්, මෙම විභවය සාක්ෂාත් කර ගැනීම සඳහා, කම්කරු පන්තිය ජාතික දේශසීමා ඉක්මවා යමින් කලාපය පුරා සහ ගෝලීය වශයෙන් කම්කරුවන් එක්සත් කරන විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලකින් සන්නද්ධ විය යුතුය. ට්‍රොට්ස්කිවාදයේ නොබිඳුණු අඛණ්ඩ පැවැත්ම දරා සිටින සහ සියලු ආකාරයේ ජාතිකවාදයට සහ අවස්ථාවාදයට මූලධර්මාත්මකව එරෙහි වන්නා වූ හජාජාක මෙම ඓතිහාසික කර්තව්‍යයට අවශ්‍ය නායකත්වය සපයයි. අර්ධ යටත් විජිත රටවල ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ කර්තව්‍යයන් සාක්ෂාත් කරගත හැක්කේ කම්කරු පන්තිය විසින් මෙහෙයවනු ලැබ ජාත්‍යන්තරව ව්‍යාප්ත වන සමාජවාදී විප්ලවයෙන් පමනක් යන අවබෝධය වන නොනවතින විප්ලවයේ ඉදිරිදර්ශනය වටා කම්කරු පන්තියේ දියුනු කොටස් උගන්වා ගැනීම සහ ඔවුන් බලමුලු ගැන්වීම සඳහා දකුනු ආසියාව පුරා ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනැගීම අත්‍යවශ්‍ය වේ.

කම්කරු පන්තියේ කාර්මික බලය බලමුලු ගැන්වීම

  1. මෙම විප්ලවවාදී අරගලයේ සාර්ථකත්වයට කේන්ද්‍රීය වන්නේ පන්ති අරගලයේ විධික්‍රම- වර්ජන, කම්හල් වාඩිලා ගැනීම් සහ මහා වැඩ වර්ජන- හරහා කම්කරු පන්තියේ දැවැන්ත කාර්මික බලය බලමුලු ගැන්වීමයි. දකුනු ආසියාව පුරා, කම්කරුවන් ම්ලේච්ඡ සූරාකෑමට, වැටුප් සොරකම් කිරීමට, අනාරක්ෂිත සේවා කොන්දේසිවලට සහ සමාජ ආරක්ෂණයන් විසුරුවා හැරීමට එරෙහිව දෛනික සටන් වල නිරතව සිටිති. එහෙත්, දිගු කලක් තිස්සේ ධනේශ්වර රාජ්‍යයට ඒකාබද්ධ වී පන්ති සහයෝගීතාවයේ උපකරණ ලෙස ක්‍රියාකරන සම්ප්‍රදායික වෘත්තීය සමිති විසින් මෙම අරගල නැවත නැවතත් පාවා දෙනු ලැබේ. පාලක පක්ෂවලට හා ජාතිකවාදී න්‍යායපත්‍රවලට බැඳී ඇති මෙම වෘත්තීය සමිති, ධනේශ්වර පද්ධතියට එල්ල වන ඕනෑම අභියෝගයක් වළක්වමින් කම්කරු පන්තියේ සටන්කාමීත්වය මැඬලීමට හා ආවෘත අන්තයන් වෙත හරවා යැවීමට සේවය කරයි.
  1. ඊට ප්‍රතිචාර වශයෙන්, සෑම වැඩපොළක් සහ ප්‍රජාවක් තුළම ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවීම සඳහා ජාත්‍යන්තර කමිටුව පෙනී සිටියි. කම්කරුවන් විසින්ම පාලනය වන මෙම කමිටු, නිල වෘත්තීය සමිතිවල නිලධාරිවාදී ග්‍රහණයෙන් පිටත ගොඩනැගිය යුතුය. ඒවා, කම්කරුවන්ට තම අරගල ප්‍රජාතන්ත්‍රවාදීව සංවිධානය කිරීමටත්, කම්කරු පන්තියේ අනෙකුත් කොටස් සමඟ සම්බන්ධ වීමටත්, විප්ලවවාදී ලෙස දේශපාලන බලය අත්පත් කර ගැනීම සඳහා සූදානම් වීමටත් යොදා ගැනෙන මාධ්‍යයන්  වේ. මෙම කමිටු හුදෙක් ආර්ථික ඉල්ලීම් සඳහා වන වාහකයන් නොව, ධනපතියන් අස්වාමික කරනා සහ සමාජවාදී රේඛා ඔස්සේ සමාජය ප්‍රතිසංවිධානය කරන කම්කරු ආන්ඩුවක් සඳහා අඩිතාලම දමනා ද්විත්ව බලයේ අත්තිවාරම් ව්‍යුහයන් වේ.

කම්කරු පන්තියට බලය: ඉදිරි මාවත

  1. මෙම ක්‍රියාකාරී කමිටුවල කාර්යය සේවා ස්ථානයෙන් ඔබ්බට විහිදේ. ඒවා සියලු ධනේශ්වර හා සුලු ධනේශ්වර පක්ෂවල ප්‍රතිගාමී භූමිකාව හෙලිදරව් කරන අතරම, දේශපාලන අධ්‍යාපනයේ, මාක්ස්වාදී න්‍යායේ හා ඓතිහාසික අරගලවල පාඩම් වල කම්කරුවන් පුහුණු කිරීමේ මධ්‍යස්ථාන බවට පත්විය යුතුය. ඔවුන් දකුනු ආසියාවේ කම්කරුවන්ගේ අරගලයන් ලොව පුරා, විශේෂයෙන්ම දියුනු ධනේශ්වර රටවල පන්ති සහෝදර සහෝදරියන්ගේ අරගලයන් සමග සම්බන්ධ කරමින් ජාත්‍යන්තර සහයෝගීතාවයේ නාලිකාවන් ලෙස ද ක්‍රියා කල යුතුය. ජාත්‍යන්තර කම්කරු පන්තියේ එකමුතුකම සාක්ෂාත් කිරීමේ මෙම කර්තව්‍යය හජාජාක විසින් පිහිටුවන ලද ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය භාරගෙන ඇත. 
  1. තම අරගල විධික්‍රම සංවිධානය කර ගන්නා සහ  විප්ලවවාදී පක්ෂය විසින් නායකත්වය දෙනු ලැබෙන කම්කරු පන්තිය,  ජනතාව මුහුන දෙන දැවැන්ත සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්න විසඳීමට සමත් එකම බලවේගය බව වටහා ගැනීම තුල බලය සඳහා අරගලය මුල්බැස ගත යුතුය. ක්‍රියාකාරී කමිටු ධනේශ්වර රාජ්‍යයට අභියෝග කිරීමට සහ සමාජවාදී මූලධර්ම මත පදනම් වූ කම්කරුවන්ගේ ආන්ඩුවක් පිහිටුවීමට හැකි සෘජු කම්කරු බලයේ අවයව බවට පරිණාමය විය යුතුය.
  1. දකුනු ආසියාවේ සෑම රටකම, කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය ලෙස හජාජාක කොටස් ගොඩනැගීමේ සහ ක්‍රියාකාරී කමිටු හරහා කම්කරුවන් බලමුලු ගැන්වීමේ අවශ්‍යතාවය හදිසි වේ. විකල්පය වන්නේ දරිද්‍රතාවය, පාරිසරික ව්‍යසනය, වාර්ගික ලේ වැගිරීම් සහ ලෝක යුද්ධය යන ම්ලේච්ඡත්වය කරා  අඛණ්ඩව පල්ලම් බැස යාමයි. ජාත්‍යන්තර සමාජවාදයේ මූලධර්ම සහ සියලු ජාතික, වාර්ගික සහ ආගමික බෙදීම් හරහා කම්කරු පන්තියේ එකමුතුකම මත පදනම් වූ ඉදිරි මාවත සහ අවශ්‍ය නායකත්වය හජාජාක පමනක්ම ඉදිරිපත් කරයි. එක්සත් ජනපදයේ හජාජාක ශාඛාව, ධනවාදී ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂවලට එරෙහිව එලඹෙන ජනාධිපතිවරනයට තරඟ කරන්නේ එම ජාත්‍යන්තරවාදී හා සමාජවාදී වැඩපිලිවෙලම සමගිනි. දකුනු ආසියාවේ සහ ඇත්ත වශයෙන්ම ලෝකයේ අනාගතය රඳා පවතින්නේ බලය අල්ලා ගැනීමට සහ සමාජවාදී රේඛා ඔස්සේ සමාජය ප්‍රතිසංවිධානය කිරීමට කම්කරු පන්තියට ඇති හැකියාව මත ය. 

මෙම ඉදිරිදර්ශනය සමඟ සිට ගන්න. සසපට ඡන්දය දෙන්න!

SLLA හා සම්බන්ධ වන්න, සසප ගොඩ නඟන්න!

[මෙම ප්‍රකාශය 2024 අගෝස්තු මස 31 දින ඉංග්‍රීසි බසින් පල විය]

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයට ඡන්දය දෙන්න: ICFI හි ජාත්‍යන්තර සමාජවාදී වැඩපිළිවෙළ පෙරට ගන්න! Read More »