gaza-burial mounds

අධිරාජ්‍යවාදී පිටුබලය ලත් ගාසා තීරයේ  ඊශ්‍රායල් සමූල ජන ඝාතනය: ලැන්සෙට් වෛද්‍ය සඟරාව පලස්තීන මරන සංඛ්‍යාව 186,000ක් ලෙස ගනන් බලයි

ජෝර්ඩන් ෂිල්ටන් විසිනි

 මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 ජූලි 9 දින ඉංග්‍රීසි බසින් පල වූ, ‘Imperialist-backed Israeli mass murder in Gaza: Lancet medical journal estimates Palestinian death toll at 186,000’ යන ශීර්ෂය යටතේ ජෝර්ඩන් ෂිල්ටන්විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු  විසිනි.

සම-සමාලෝචනය කරන ලද ලැන්සෙට් (Lancet ) වෛද්‍ය සඟරාවේ විශ්ලේෂනයකට අනුව, ඊශ්‍රායල පාලන තන්ත්‍රය ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව මාස නවයක ජන සංහාරයේදී මිනිසුන් 186,000ක් මරා දමා ඇත, එය සංගත මාධ්‍යවල ප්‍රසිද්ධියට පත් වූ මුලු ප්‍රමානයට වඩා බෙහෙවින් වැඩි ය.

gaza-burial mounds
පලස්තීන දරුවෙක් 2023 දෙසැම්බර් 31 ඉරිදා, ගාසා තීරයේ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයෙන් මිය ගොස් ගාසා නගරයේ ෂිෆා රෝහල් භූමිය තුල වලලනු ලැබූ මිනිසුන්ගේ සොහොන් දෙස බලයි [AP Photo/Mohammed Hajjar]

බිහිසුනු සංඛ්‍යාලේඛනයෙන් අදහස් කරන්නේ, ප්‍රදේශයේ යුද-පූර්ව  ජනගහනයෙන් සියයට 8 ක් පමන ගුවන් බෝම්බ ප්‍රහාරවලින් මරා දැමීමට, සාගින්නෙන් මිය යෑමට හෝ මූලික වෛද්‍ය ප්‍රතිකාර නොමැතිකම හේතුවෙන් රෝග හෝ නිදන්ගත සෞඛ්‍ය ගැටලුවලට ගොදුරු වී ඇති බවයි.

මහජන සෞඛ්‍ය විද්‍යාඥයින් විසින් භාවිතා කරන ලද ගතානුගතික ක්‍රමවේදයක් මත පදනම් වූ මරන සංඛ්‍යාව, ගාසා ජන සංහාරය හා එය නිෂ්පාදනය කර ඇති  ම්ලේච්ඡ ධනේශ්වර පද්ධතියට නැවතීමේ තිත තැබීම සදහා  ගෝලීය යුද විරෝධී ව්‍යාපාරයක ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර කම්කරු පන්තිය මැදිහත් වීමේ හදිසි අවශ්‍යතාවය යලිත් අවධාරනය කරයි. .

වාර්තාවේ ඇඟ සීතල කරවන ඇස්තමේන්තුව එහි ආරම්භක ලක්ෂ්‍යය ලෙස ගෙන ඇත්තේ අධ්‍යයනය සකස් කරන අවස්ථාවේ ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වාර්තා කරන ලද නිල මරන සංඛ්‍යාව වන 37,396 වේ. මෙම සංඛ්‍යාව නිසැකවම දැවැන්ත අඩු ගනනය කිරීමක් බව එය සඳහන් කලේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඇස්තමේන්තු කර ඇති පරිදි ගාසා තීරයේ සියලුම ගොඩනැගිලිවලින් සියයට 35ක් පෙබරවාරි මාසය අවසන් වන විට විනාශ වී ඇති අතර, අවම වශයෙන් මල සිරුරු 10,000 ක් සුන්බුන් යට වැලලී ඇති නමුත් ලැන්සෙට් අධ්‍යයනයට ඇතුලත් කර නොමැත.

අධ්‍යයනයට අනුව, “මෑත ගැටුම්” වලදී වක්‍ර මරන සංඛ්‍යාව සාමාන්‍යයෙන් මුලු සෘජු මරන සංඛ්‍යාව මෙන් තුනේ සිට 15 ගුනයක් දක්වා පරාසයක පවතී. සෑම සෘජු මරනයක් සඳහාම වක්‍ර මරන හතරක් යන පහල අන්තයේ සූත්‍රය ගාසා ජන සංහාරයට අදාල කරමින් වාර්තාව දල වශයෙන් වින්දිතයන් 186,000 ක් පිලිබඳ එහි බිහිසුනු නිගමනයට පැමින ඇත.

ගාසා තීරයට හෙලන ලද දැවැන්ත බෝම්බ ප්‍රමානය සහ අන්ත අසරන ජනගහනයට ආහාර, වෛද්‍ය සැපයුම්, ඉන්ධන සහ අනෙකුත් මූලික අවශ්‍යතා ප්‍රතික්ෂේප කිරීමේ ඊශ්‍රායල ආන්ඩුවේ ම්ලේච්ඡ ප්‍රතිපත්තිය සැලකිල්ලට ගෙන, වක්‍ර මරන අනුපාතය බෙහෙවින් වැඩි විය හැකිය. එබැවින් මරන සංඛ්‍යාව ලැන්සෙට් ඇස්තමේන්තුවට වඩා දස දහස් ගනනක් හෝ සිය දහස් ගනනක් විය හැකිය. ලැන්සෙට් විසින් උපුටා දක්වන ලද “මෑත ගැටුම්” පරාසය තුල ම වන සෑම සෘජු මරනයකටම වක්‍ර මරන 10ක අනුපාතයක්,  මරන 400,000 කට වඩා වැඩි යැයි ඇස්තමේන්තු කරනු ඇත.

මෙම පරිමානයෙන් සමූහ මරන පිලිබඳ සංසන්දනාත්මක උදාහරන සොයා ගැනීමට, ඉතිහාසයේ වඩාත්ම කුරිරු පාලන තන්ත්‍රවල අපරාධ සිහිපත් කිරීම අවශ්‍ය වේ. යුරෝපයේ යුදෙව්වන් සමූලඝාතනය කිරීම සහ ජර්මානු අධිරාජ්‍යවාදය සඳහා “ලෙබෙන්ස්‍රාම්” (lebensraum- ප්‍රසාරනය සඳහා ඉඩ හසර ලබා ගැනීම) නිර්මානය කිරීම අරමුනු කරගත් පූර්ව සැලසුම් කල ආක්‍රමනකාරී ව්‍යාපාරය වූ සෝවියට් සංගමයට එරෙහි නාසීන්ගේ සමූලඝාතන යුද්ධය අතරතුර, යුදෙව්වන් සමූලඝාතනය කිරීමේ වගකීම පැවරූ Waffen-SS Einsatzgruppen විසින් පලමු මාස ​​හය තුල ඇස්තමේන්තුගත 500,000ක් ඝාතනය කලේය.

එක්සත් ජනපදය, ජර්මනිය සහ අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ අධි බලැති අවි අඛන්ඩව ගලා ඒමට ස්තුතිවන්ත වන්නට ඊශ්‍රායලයට පලස්තීනුවන් මෙතරම් පරිමානයෙන් මරා දැමීමට සහ ආබාධිත කිරීමට සහ ගාසා තීරයේ යටිතල පහසුකම් මකා දැමීමට හැකි වී තිබේ. රාත්තල් 2000ක බෝම්බ 14,000ක් පමන මෙයට ඇතුලත් වන අතර, ඉන් එකක් ගොඩනැගිලි කිහිපයක් සමතලා කිරීමට ප්‍රමානවත් වේ. රෝහල් සහ ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් ඉලක්ක කර ගැනීම සහ ජල පිරිපහදු කිරීම, අපද්‍රව්‍ය සහ අනෙකුත් මූලික යටිතල පහසුකම් විනාශ කිරීම මගින් වක්‍ර මරන සංඛ්‍යාව අවිවාදිත ලෙස ඉහල ගොස් ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ගාසා තීරයේ රෝහල්වලින් තුනෙන් එකක් සහ ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම්වලින් සියයට 30ක් පමනක් යම් ප්‍රමානයකට ක්‍රියාත්මක වේ.

පලස්තීනුවන්ට ආහාර, ජලය සහ අනෙකුත් ආධාර හිතාමතාම ප්‍රතික්ෂේප කිරීම බොහෝ දහස් ගනනක් සාගින්නෙන් මන්දගාමී මරනයට නිරාවරනය කර ඇත. සාගින්න මට්ටම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ලත් නවතම ඒකාබද්ධ ආහාර අදියර වර්ගීකරන වාර්තාවේ, ජාත්‍යන්තර විශේෂඥයින් සොයා ගත්තේ ගාසා වැසියන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට වඩා “දින ගනන් ආහාර නොගෙන සිටින” අතර “ව්‍යසනකාරී” ආහාර අනාරක්ෂිත මට්ටම්වලට මුහුන දෙන බවයි. ජනගහනයෙන් අඩකට වඩා වැඩි පිරිසකට නිවසේ කෑමට ආහාර නොමැති අතර, සියයට 96ක්  IPC හි පස්-අදියර පරිමානයේ 3 වන අදියර වන “අර්බුද” මට්ටම්වල ආහාර අනාරක්ෂිතභාවයට මුහුන දෙති.

මනුෂ්‍යත්වයට එරෙහි මෙම අපරාධ සිදු කරනු ලබන්නේ අන්ත දක්ෂිනාංශික සියොන්වාදී තන්ත්‍රය විසින් සිදු කරන හැඟීම් විරහිත  ගනන් බැලීමෙනි. කෙසේ වෙතත්, අගමැති බෙන්ජමින් නෙතන්යාහුට සහ ඔහුගේ ෆැසිස්ට් තන්ත්‍රයට ඔවුන් කරන ආකාරයටම කටයුතු කල හැක්කේ ඔවුන් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ කොන්දේසි විරහිත සහයෝගය භුක්ති විඳින නිසා පමනි.

එක්සත් ජනපද ජනාධිපති බයිඩන්, ජර්මානු චාන්සලර් ෂෝල්ස් සහ අනෙකුත් අධිරාජ්‍යවාදී නායකයින් ඊශ්‍රායලයේ යුද්ධායුධ ගබඩාව මුදල් මගින් මිලදී ගත හැකි අතීශය විනාශකාරීම ආයුධවලින් පිරී ඇති බව සහතික කර ඇතිවා පමනක් නොවේ, ඔවුන් යුදෙව්-විරෝධීන්  ලෙස අපකීර්තිමත් අයුරින් ගර්හා  කල බොහෝ යුදෙව්වන් ඇතුලු, සමුල ජන සංහාරයේ සියලුම විරුද්ධවාදීන් නිශ්ශබ්ද කිරීම සඳහා පුලුල් මර්දනයක් දියත් කර ඇත.

එම දේශපාලන නායකයන් සහ  ඔවුන් විසින් මුදලින් මිලට ගෙන ඇති සංගත මාධ්‍යයන්හි ඔවුන්ගේ  හොරනෑ, ඊශ්‍රායලයේ යුද අපරාධවල පරිමානය වසන් කිරීමට සහ යුක්ති සහගත කිරීමට වෙහෙස නොබලා වැඩ කර ඇත. ඔක්තෝම්බර් මස අගදී, ඊශ්‍රායල ප්‍රහාරයෙන් සති තුනකට අඩු කාලයකින් පසු නිල මරන සංඛ්‍යාව 6,500ක් ලෙස ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දුන් විට, “පලස්තීනුවන් භාවිතා කරන සංඛ්‍යාව පිලිබඳව තමාට විශ්වාසයක් නොමැති” බව බයිඩන් ප්‍රකාශ කලේය. අලුතින් තේරී පත් වූ බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් පසුගිය වසරේ ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාවකදී කුප්‍රකට ලෙස ප්‍රකාශ කලේ “ආත්‍ම ආරක්‍ෂාවේ” නාමයෙන් ගාසා තීරයට විදුලිය, ජලය, ඉන්ධන, වෛද්‍ය සහ ආහාර සැපයුම් කපා හැරීමට ඊශ්‍රායලයට “අයිතිය” ඇති බවයි.

ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ පසුගිය සියවසේ අධිරාජ්‍යවාදී ලෝක යුද්ධ හා සැසඳිය හැකි පරිමානයෙන් මරනය හා විනාශය සාමාන්‍යකරනය කිරීමයි. ධනවාදයේ සමහන් නොකල හැකි ප්‍රතිඝතිකතා, වෙලඳපොලවල්, අමුද්‍රව්‍ය සහ සූරාකෑම සඳහා ශ්‍රම සංචිතවල තම පාලනය සුරක්ෂිත කර ගැනීම සඳහා ලෝකය නැවත බෙදීමක නිරත වීමට ඇමරිකානු සහ යුරෝපීය අධිරාජ්‍යවාදය පොලඹවන බැවින්, ඔවුන් තම ආර්ථික හා භූ දේශපාලනික අවශ්‍යතා ලුහුබැඳීම සම්බන්ධයෙන් කිසිදු බාධාවක් නොඉවසනු ඇත.

ගෝලීයකරනය වූ ආර්ථිකය සහ ලෝකය ජාතික රාජ්‍යවලට බෙදීම අතර සහ නිෂ්පාදන මාධ්‍යවල පුද්ගලික හිමිකාරිත්වය සහ එහි සමාජ ස්වභාවය අතර ප්‍රතිවිරෝධතා, සෑම අධිරාජ්‍යවාදී රටකම පාලක ප්‍රභූන්ට, එකිනෙකාට එරෙහිව සහ ලොව පුරා කම්කරු පන්තියට එරෙහිව, යුද්ධය මගින් “ඔවුන්ගේ” ධනේශ්වර පන්තියේ අවශ්‍යතා ඉටු කිරීමට බල කරයි.

එලෙසම, එක්සත් ජනපදය, ජර්මානු, බ්‍රිතාන්‍ය සහ ප්‍රන්ස අධිරාජ්‍යවාදය ද, රුසියාව අර්ධ යටත් විජිතයක් කර ගැනීම සහ එහි ස්වභාවික සම්පත් කොල්ලකෑම සඳහා, ඔවුන්ගේ අතිමහත් බහුතරය තරුනයන් වූ   යුක්‍රේනියානුවන් 500,000 කගේ සහ රුසියානුවන් දස දහස් ගනනකගේ ජීවිත බිලිගත්, රුසියාවට එරෙහි යුක්‍රේනයේ යුධගිනි මැලයට ඉන්ධන සපයා ඇත. ඔවුන් ආසියා පැසිෆික් කලාපයේ චීනය සමග යුද්ධයට ද ඊට  නොඅඩු ආක්‍රමනශීලී ලෙස සූදානම් වෙමින් සිටිති. මෙම ගැටුම් මානව ශිෂ්ටාචාරයේ අවසානය සනිටුහන් කල හැකි මහා න්‍යෂ්ටික ගිනිමැලයක් දක්වා සර්පිලාකාරව වර්ධනය වීමේ අනතුර ඔවුන් වැලඳ ගනියි.

අද සිට, බයිඩන් වොෂින්ටනයේ ඔහුගේ සෙසු අධිරාජ්‍යවාදී යුධකාමීන් සමග නේටෝ සමුලුව පවත්වනු ඇත. ඉදිරි දින තුන තුල, ගැටුම නේටෝව සහ රුසියාව අතර සෘජු යුද්ධයක් බවට පත් වීම සහතික කරමින්, නේටෝ භූමි භටයන් යෙදවීමේ  පදනම මත, අවදානම්කාරී ලෙස යුක්‍රේනයේ යුද්ධය උත්සන්න කිරීමේ  සැලසුම්  ඔවුන්  අවසන් කරනු ඇත. අධිරාජ්‍යවාදී බලවතුන් එමගින් පැහැදිලි කරන්නේ ඔවුන්ගේ කොල්ලකාරී අවශ්‍යතා මගින් නියම කරන ඕනෑම තැනක ගාසා තීරයේ මරන හා විනාශයේ මට්ටම් පිලිගැනීමට තමන් සූදානම් බවයි.

නේටෝ සමුලුවෙන් සති දෙකකට පසුව, ගාසාවේ පලස්තීන ප්‍රශ්නයේ “අවසාන විසඳුම” පිලිබඳ කොන්ග්‍රසයේ ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකානුවන්ට ප්‍රගති වාර්තාවක් සැපයීමට නෙතන්යාහු වොෂින්ටනයට පැමිනෙනු ඇත. ඉරානය ඉලක්ක කර ගනිමින් බලශක්තියෙන් පොහොසත් මැද පෙරදිග මත තම ආධිපත්‍යය තහවුරු කර ගැනීම සඳහා කලාපය පුරා යුද්ධයක් සූදානම් කිරීමේ කොටසක් ලෙස එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමුල ජන සංහාරයට දක්වන වැදගත්කම අවධාරනය කිරීමට ඔහුට ද්විපාර්ශ්වික ආරාධනයක් ලබා දෙන ලදී.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ සමාජවාදී සමානතා පක්ෂය ජූලි 24 දා වොෂින්ටනයේ පෙලපාලියක් සහ මහජන රැස්වීමක් කැඳවයි. මෙම පෙලපාලියේ අරමුන බයිඩන්, නෙතන්යාහු සහ ඔවුන්ගේ සෙසු යුද අපරාධකරුවන්ට ගමන් මග වෙනස් කරන ලෙස ආයාචනා කිරීම නොවේ. ඒ වෙනුවට, එය ජන සංහාරයට සහ තුන්වන ලෝක යුද්ධයක් වර්ධනය කිරීමට විරුද්ධ වීමේ එකම යථාර්ථවාදී මාර්ගය ඉදිරිපත් කරන කම්කරු පන්තිය තුල ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා පදනම දමනු ඇත. පහත සඳහන් මූලධර්ම මත උද්ඝෝෂනය සංවිධානය කෙරේ.

පලමුව, යුද්ධයට එරෙහි අරගලයට ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් යන සංගත(වාදී) පක්ෂ දෙකෙන් කොන්දේසි විරහිත හා ආපසු හැරවිය නොහැකි බිඳීමක් අවශ්‍ය වේ.

දෙවනුව,  සමූල ජන සංහාරයට සහ යුද්ධයට එරෙහි ව්‍යාපාරය ජාත්‍යන්තර විය යුතු අතර, සෑම රටකම සහ සෑම මහාද්වීපයකම කම්කරුවන් ඔවුන්ගේ පොදු පන්ති අවශ්‍යතා මත එක්සත් කල යුතුය.

තෙවනුව, යුද්ධයේ මූලික හේතුව වන මූල්‍ය ප්‍රාග්ධනයේ ආඥාදායකත්වය සහ ආර්ථික ක්‍රමය අවසන් කිරීමේ සටන හැර යුද්ධයට එරෙහි බරපතල අරගලයක් තිබිය නොහැකි බැවින් යුද්ධයට එරෙහි සටන ධනේශ්වර විරෝධී හා සමාජවාදී විය යුතුය.

මෙම මූලධර්මවලට එකඟ වන සියලුම කම්කරුවන් සහ තරුනයින් ජූලි 24 වෙනිදා වොෂින්ටනයේදී අප හා එක්වන ලෙස අපි තරයේ දිරිමත් කරමු.

අධිරාජ්‍යවාදී පිටුබලය ලත් ගාසා තීරයේ  ඊශ්‍රායල් සමූල ජන ඝාතනය: ලැන්සෙට් වෛද්‍ය සඟරාව පලස්තීන මරන සංඛ්‍යාව 186,000ක් ලෙස ගනන් බලයි Read More »