වෝර්සෝ හි ගෙටො නැගිටීමට වසර 80 ක් සපිරෙයි – 01 කොටස

ක්ලාරා වෙයිස් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අප්‍රේල් 26 දින පල වූ ක්ලාරා වෙයිස් සහෝදරිය විසින් ලියන ලද “80 years since the Warsaw Ghetto Uprising” යන ලිපියේ සිංහල පරිවර්තනය යි. කොටස් දෙකකින් පලකරනු ලැබෙන මෙම ලිපිය පරිවර්තනය කලේ මිගාර මල්වත්ත විසිනි.

අප්‍රේල් 19, 1943 වෝර්සෝ ගෙටො හි [නාසින් අල්ලාගත් කලාපවල යුදෙව්වන්ට වෙන් කල ප්‍රදේශ] නැගිටීමෙහි ආරම්භය සිදු විය. පසුගිය බදාදා,  එහි 80 වැනි සංවත්සරය සනිටුහන් කළේය. මෙම නැගිටීම මහාද්වීපයේ ( යුරෝපයේ) නාසි පාලනයට එරෙහිව මහා පරිමාණ නාගරික සන්නද්ධ ප්‍රතිරෝධයේ පළමු ක්‍රියාව විය.

දුර්වල ලෙස සන්නද්ධ සටන්කාමීන් සිය ගණනක් – ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ නව යොවුන් වියේ හෝ විසි ගණන්වල මුල් භාගයේ පසු වූ අය වූ අතර – සති කිහිපයක් නාසීන්ගේ කුරිරු එස්එස් හමුදාවන්ට එරෙහි වීමට සමත් වූහ.  මෙම නැගිටීම මෙහෙයවනු ලැබුවේ සමාජවාදී සියොන්වාදී හෂෝමර් හට්සායර්, වාම පෝලන්ත සියොන්වාදීන් සහ යුදෙව් කම්කරු බුන්ඩ් ඇතුළු කොමියුනිස්ට් තරුනයන්ගේ සහ යුදෙව් සමාජවාදී පක්ෂවල සන්ධානයක් විසිනි. ඒ සියල්ලෝම දැඩි ලෙස සෝවියට් ගැති වූ අතර යුදෙව් විරෝධී හා ෆැසිස්ට්වාදයට එරෙහි සටන නොබිඳිය හැකි ලෙස ධනවාදයට එරෙහි සටන බව ඒත්තු ගෙන සිටියහ.    නාසීන්ට කැරැල්ල මැඩපැවැත්වීමට හැකි වූයේ ගෙටොව ගිනිබත් කර, 13,000 ක් පමණ මිනිසුන් මරා දැමීමෙන් පමණි. ඔවුන්ගෙන් අඩක් පමණ පණපිටින් පුළුස්සා හෝ ගින්න මගින් ඇතිවන දුමාරයෙන් හුස්ම හිර කර මරා දැමුණි.

Image
SS සොල්දාදුවන් දැවෙන ගෙටෝවේ වීදි හරහා ගමන් කරයි.  පින්තූරය SS කමාන්ඩර් Jürgen Stroop විසින් වාර්තාවක් සඳහා ගන්නා ලද්දකි

සමූලඝාතනයේ (හොලොකොස්ටයේ) ගමන් මග නැවැත්වීමට හෝ වෙනස් කිරීමට එයට නොහැකි වුවද, නැගිටීම මගින් නාසි ආක්‍රමණිකයන්ගේ පදනම දෙදරුමට ලක් විය. එය සිදු වූයේ, ස්ටාලින්ග්‍රෑඩ්හිදී රතු හමුදාව විසින් නාසි ජර්මනිය පරාජය කිරීමෙන් යන්තම් මාස දෙකකට වැඩි කාලයකට පසුවය. එහිදී ( ස්ටැලින්ග්‍රාඩ්) මුළු ජර්මානු හමුදාවක්ම අතුගා දමා තිබුණි.  මෙම නැගිටීම නිසා සමකාලීනයන් අතර වෝර්සෝ ගෙටොව “කුඩා ස්ටාලින්ග්‍රෑඩ්” යන පදය උපයා ගත්තේය.  රතු හමුදාවේ දැන් ආරම්භක ප්‍රගතිය සමග, එය යුරෝපය පුරා නාසි තන්ත‍්‍රයට සහ එහි සහචරයින්ට එරෙහිව සමාජ හා විප්ලවවාදී අරගල පුපුරා යාම හඟවන ලදී.  එය ( වෝර්සෝ ගටො නැගිටීම) එතැන් සිට නාසි නායකත්වය යුරෝපීය යුදෙව්වන් මිලියන 6 ක ජන සංහාරය කිරීමේ ඉතිහාසයේ හොඳම ප්‍රචලිත කථාංගයක් බවට පත් වූ අතර ෆැසිස්ට්වාදයේ අතිමහත් සන්නද්ධ බලය හමුවේ ධෛර්ය සම්පන්න විරෝධයේ සංකේතයක් බවට පත්ව ඇත.

එහි දැවැන්ත ඓතිහාසික හා දේශපාලන වැදගත්කම තිබියදීත් – එසේත් නැතිනම් ඒ නිසා – 80 වැනි සංවත්සරයේ සැමරුම් අතිශයින් නිහඬය.  ජර්මනියේ ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටේන්මියර්,  වෝර්සෝහිදී වූ සිදුවීම ගැන “සමාව” ඉල්ලා සිටිමින්  වාචාල කතා ගණනාවක් ප්‍රකාශ කරන  අතරම ජර්මන් ආණ්ඩුව යුක්‍රේනය තුළ දී රුසියාවට එරෙහිව යුද්ධයක් සඳහා යුද ටැංකි යවමින් සිටී. ඉතිහාසය මුසාකරනය කිරීමේ කේන්ද්‍රීය භූමිකාවක් ඉටුකරමින් සිටින පෝලන්ත ආණ්ඩුව යුදෙව් විරෝධීවාදය ප්‍රවර්ධනය කිරීමට සහ රුසියාවට එරෙහිව නේටෝ යුද්ධය ඉදිරියට ගෙන යාම සඳහා දායකත්වය සපයයි.

ජර්මනිය තුලම, ඉතා සුළු අනුස්මරණ පැවති අතර, ඒවා සියල්ලම පාහේ යුදෙව් ප්‍රජාවන් විසින් සංවිධානය කරන ලදී.  කැපී පෙනෙන විශේෂිත දෙයක් වූයේ ලයිප්සිග්හි සයිමන් ඩබ්නොව් ආයතනය විසින් සංවිධානය කරන ලද තෙදින ශාස්ත්‍රීය සම්මන්ත්‍රණය වන අතර, පෝලන්ත යුදෙව් ඉතිහාස ක්ෂේත්‍රය පලිබද  ප්‍රමුඛ පෙළේ ඉතිහාසඥයින් බොහෝ දෙනෙකුගෙන් එහි සිටි අතර නැගිටීම පිළිබඳ මෑත කාලීන ඓතිහාසික සොයාගැනීම් පිලිබඳව හා එයට සම්බන්ධ වූ විවිධ දේශපාලන ප්‍රවණතා ද සමාලෝචනය කරන ලදී.  .

සම්මන්ත්‍රණයේ සන්දර්භය තුළ, ලයිප්සිග් විශ්ව විද්‍යාලයේ සිසුන් නාසිවාදය විසින් හිංසාවට ලක් වූ, මරා දැමූ හෝ පිටුවහල් කරන ලද නිර්මාපකයින්ගේ කෘති පිළිබඳව ක්‍රියාකාරී ප්‍රසංගයක් ද සංවිධානය කළහ.  නාසීන් විසින් විනාශ කරන ලද සංගීත සංස්කෘතියේ පුලුල් විවිධත්වය සහ පොහොසත්කම ප්‍රකාශ කිරීමට පමණක් නොව, මෙම නිර්මාපකයින් පීඩාවට පත් වීමට පෙර ඔවුන් ජීවත් වූ ජීවිත පිළිබඳ හැඟීමක් ලබා දීම සඳහා සිසුන් විසින්ම සංගීත ඛණ්ඩ තෝරාගෙන තිබුණි.  1920 ගණන්වල බර්ලිනයේ සංගීත ජීවිතයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ සහ පසුව එක්සත් ජනපදයට සංක්‍රමණය වීමට බල කෙරුනු, පෝලන්ත-යුදෙව් නිර්මාපකයෙකු වන ඉග්නාට්ස් වැගල්ටර්ගේ, පලමු පියවරයන් තුනෙහි මුල්ම කෘතිවලින් එකක් වන ඩී මේජර් හි ස්ට්‍රිං ක්වාර්ටේට් හි පළමු පියවර  විශේෂයෙන් කැපී පෙනේ.  නාසීන් විසින් ඝාතනය කරන ලද චෙක්-යුදෙව් නිර්මාපකයෙකු වන අර්වින් ෂුල්හෝෆ්ගේ “අයිරනීස්” හි අත් හතරක් සඳහා කෙටි නමුත් නව්‍ය පියානෝ ඛණ්ඩ තුනක් ද සිදු වාදනය කරන  ලදී.

සිසුන් මහත් උනන්දුවෙන් සංගීත ඛණ්ඩ වාදනය කළ අතර එක් සිසුවෙකු එක් එක් නිර්මාපකයෙකු හා වාදනය කල සෑම නිර්මාන කොටසක් පිලිබඳව  බැරෑරුම් හැඳින්වීමක් ඉදිරිපත් කළේය.  සංගීත භාණ්ඩ සඳහා වූ ලීප්සිග් කෞතුකාගාරයේ පැවති මෙම ප්‍රසංගය කෙතරම් උනන්දුවක් දැක්වුයේද යත්, ප්‍රේක්ෂකයන්ට අසුන් ගැනීමට අමතර පුටු ගෙන ඒමට ද සිදු විය.

හොලෝකොස්ටයේ  පවතින බුද්ධිමය හා සංස්කෘතික බලපෑම  ග්‍රහණය කර ගැනීමට තරුනයන් හා කම්කරුවන් අතර ඇති පැහැදිලි පෙළඹවීම සමඟම ඓතිහාසික සත්‍යය යටපත් කිරීමට හා විකෘති කිරීමට සහ සිදු වූ දෙය හෑල්ලු කිරීමට හෝ සිදු වූ දේ අනුස්මරණය නොකිරීමට ආන්ඩු දරන උත්සාහයන් අතර කැපී පෙනෙන වෙනසක් ඇත. නිශ්චිතවම, එය සැමරීමට ධනේශ්වර ආන්ඩුවලට උනන්දුවක් නැත්තේ වෝර්සෝ ගෙටො නැගිටීමේ ඓතිහාසික පාඩම් වල සමකාලීන දේශපාලන අදාළත්වය නිසාය.

එහෙත් ලෝකයේ නව අධිරාජ්‍යවාදී යලි බෙදීමක දිග හැරෙන සුළි කුණාටුවට, ෆැසිස්ට් බලවේග ගොඩනැගීමට, සමාජ ප්‍රතිවිප්ලවයට සහ දැනට පවතින වසංගත හා දේශගුණික ව්‍යසනයට අද මුහුන දී සිටින කම්කරුවන්ට, වෝර්සෝ ගෙටො සමූලඝාතනය( හොලෝකොස්ටය) නැගිටීම සහ නම් වීරෝදාර එනමුත් ඛේදනීය අත්දැකීමෙන් ඉගෙන ගැනීමට ඉමහත් පාඩම්  රැසක් ඇත.  

වෝර්සෝ ගෙටෝ නැගිටීමේ මූලයෝ

සති හයක් වැනි කෙටි කාලයක් තුළ, එනම් 1942 ජූලි 22-සැප්තැම්බර් 8 වැනි දින අතර සිදු වූ, ඇස්තමේන්තුගත පරිදි, ගේටොවෙන් පිටුවහල් කරන ලද   යුදෙව්වන් 265,000ක් ,  ට්‍රෙබ්ලින්කා මරණ කඳවුරට ගෙන ආ  විගස ගෑස් යොදා ඝාතනය කිරීම, එනම් “මහා ක්‍රියාවේ” දී ලැබූ විනාශකාරී අත්දැකීම ගෙටොවේ සන්නද්ධ ප්‍රතිරෝධය සඳහා වූ සැලසුම්වල ක්ෂනික මූලාරම්භය විය. නැගෙනහිර යුරෝපය පුරා ගේටො හා ගාල් කඳවුරු මුර කිරීමට නාසීන් විසින් පුහුණු කරන ලද යුක්රේනියානු කුලී හේවායන් වන ඊනියා “ට්‍රව්නිකි” හමුදාව, යුදෙව්වන් ක්‍රමානුකූලව වටකර ගැනීමේ දී සහ ට්‍රෙබ්ලින්කා වෙත ප්‍රවාහනය කිරීමේදී සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළහ.

Image
වෝර්සෝ හි ඊසාන දෙසින් පිහිටි ට්‍රෙබ්ලින්කා සමූලඝාතන කඳවුරේ ස්මාරකය.  1942 ගිම්හානය සහ 1943 ගිම්හානය අතර ට්‍රෙබ්ලින්කා හි දී යුදෙව්වන් මිලියනයක් පමණ ගෑස් කුටි තුළ දී මරණයට ගොදුරු කරන ලදී .  එය අවුෂ්විට්ස්ට පසු යුරෝපයේ දෙවන මාරාන්තික සමූලඝාතන කඳවුර විය. © WSWS

“මහා පිටුවහල් කිරීම” (Great Deportation) යනු ඊනියා ” රයින්හාඩ් මෙහෙයුම” (Aktion Reinhard) හි කොටසකි, එය නාසි-ආක්‍රමණය කරන ලද පෝලන්තයේ මහා ආණ්ඩුවේ ගෙටෝවල ජීවත් වූ මිලියන 2ක සමස්ත යුදෙව් ජනගහනය ක්‍රමානුකූලව කාර්මික ඝාතනය කිරීම සඳහා වූ කේත නාමයයි.  රයින්හාඩ් ක්‍රියාකාරකම්  1942 ජනවාරි මාසයේ කුප්‍රකට වන්සී ( Wannsee) සමුළුවෙන් සති කිහිපයකට පසු, එනම්, 1942 මාර්තුවේ දී ආරම්භ කරන ලදී. මෙම සමුළුුවේදී ප්‍රමුඛ නාසි සහ ජර්මානු රාජ්‍ය නිලධාරීහු යුරෝපයේ සියලුම යුදෙව්වන් කාර්මිකව විනාශය කිරීමට එකඟ විය.  1942 මාර්තු සහ 1943 මාර්තු අතර වසරක කාලය තුළ, හොලෝකෝස්ටයට ගොදුරු වූ මිලියන 6 න් අඩකට වඩා ඝාතනය කරන ලදී.  යුදෙව්වන් මිලියන 1.47ක් ගෑස් යොදා ඝාතනය කරන ලද,1942 අගෝස්තු සහ නොවැම්බර් අතර මාස තුන තුළ, කාර්මිකකරන ලද ඝාතන එහි උච්චතම අවස්ථාවට ළඟා විය – සමූලඝාතනයට ගොදුරු වූ මුළු සංඛ්‍යාවෙන් හතරෙන් එකක් සහ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම ඒක පුද්ගල ඝාතන අනුපාතය විය.

Image
1942-1944 මාසය අනුව සමූලඝාතන අනුපාතය

වින්දිතයන් අතර වෝර්සෝහි යුදෙව් ප්‍රජාවේ බහුතරය විය.  යුද්ධයට පෙර, වෝර්සෝ යනු 400,000 ජනතාවක්, එනම් නගරයේ මුළු ජනගහනයෙන් තුනෙන් එකක් සමන්විත වූ ලොව විශාලතම යුදෙව් ප්‍රජාවගේ නිවහන විය.  1940 නොවැම්බරයේ පිහිටුවන ලද මෙම ගෙටොව, නාසින් වාඩිලාගෙන සිටි යුරෝපයේ තිබූ එවැනි ආකාරයේ විශාලතම එක වූ අතර යෝධ රැදවුම් කඳවුරක් ලෙස ක්‍රියාකාරී ලෙස ක්‍රියාත්මක විය.  වෝර්සෝ හි ඊනියා “ආර්ය කලාපය” තාප්පයක් මගින් ගෙටෝවෙන් වෙන් කළ අතර, ගෙටෝව පැවැති කාලය පුරාම වෙළඳාම සහ ජාවාරම් දෙකලාපය අතර දිගටම පැවතුනි.  එහි වැසියන්ට දිනකට කැලරි 184ක පමණ සාගිනි සලාකයක් ලබා ගැනීමට සිදු විය.  කුසගින්න, ටයිෆස් උණ  සහ වෙනත් රෝගවලින් පීඩා විදීම නිසා, මහා පිටුවහල් කිරීමට පෙර ගෙටෝ වැසියන්ගෙන් හතරෙන් එකක් පමණ මිය ගියහ.

නාසීන් විසින් ඇති කරනු ලැබූ  බිහිසුණු ජීවන තත්වයන් සහ දිගටම පැවති භීෂණය තිබියදී, පෝලන්ත යුදෙව්වන්ගේ පොහොසත් බුද්ධිමය හා සංස්කෘතික සම්ප්‍රදායන් පිළිබිඹු කරමින් ගෙටෝව විශිෂ්ට සංස්කෘතික හා දේශපාලන වැඩබිමක් බවට පත් විය.

ශ්‍රේෂ්ඨතම දේශපාලනික සහ සංස්කෘතික වැදගත්කමක් දැරූයේ ඔයනෙග් ෂබ්ෂ් (Oyneg Shabbes) ලේඛනාගාරය ආරම්භ කර පවත්වාගෙන ගිය සමාජවාදී සියොන්වාදී ඉතිහාසඥයෙකු වන එමානුවෙල් රිංගල්බ්ලම්  (Emanuel Ringelblum) විසින් සිදු කරන ලද ප්‍රතිපදානයයි. නාසිවාදය විසින් 1940 සිට ගෙටොව දියකර හැරීම දක්වා ඔයනෙග් ෂබ්ෂ් (Oyneg Shabbes ) විසින් පෝලන්ත යුදෙව්වන් අඛණ්ඩව විනාශ කිරීම ගැන පමණක් නොව, ගෙටොවේ එදිනෙදා ජීවිතය සහ සංස්කෘතික හා දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳවද විශාල තොරතුරු රාශියක් රැස් කරන ලදී.

ලේඛනාගාරය, විශේෂයෙන්ම, පෝලන්ත යුදෙව්වන්ට සහ ගෙටො ජීවිතයට මාක්ස්වාදයේ සහ සමාජවාදයේ දැවැන්ත බලපෑම පෙන්නුම් කරයි. එම බලපෑම හැදෑරිමෙන් තොරව නැගිටීමේ දේශපාලන මූලාරම්භය තේරුම් ගත නොහැක. ගෙටොවේ වඩාත් ක්‍රියාකාරී දේශපාලන ප්‍රවනතා අතර සමාජවාදී සියොන්වාදී බාලදක්ෂ ව්‍යාපාරය වන හෂෝමර් හට්සර්  (Hashomer Hatzair) සහ රිංගලබ්ලම්  සම්බන්ධ වූ වාම  පෝලන්ත සියෝන්වාදීන්  මෙන්ම කොමියුනිස්ට්වාදීන් ද විය. අන්තර් යුද්ධ පෝලන්තයේ බොහෝ දුරට කලා ශිල්පී යුදෙව් ජනතාව අතර සැලකිය යුතු බලපෑමක් ඇති කළ සහ දශක කිහිපයක් තිස්සේ සංවිධිත සංහාරවලට එරෙහිව යුදෙව් ප්‍රජාවන් තුළ ආත්මාරක්ෂක ඒකක පිහිටුවීමට මූලිකත්වය ගෙන සිටි යුදෙව් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු බුන්ඩ් පක්ෂය ද ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළේය. මෙම ප්‍රවනතාවන් සියල්ලම [1943] නැගිටීමට සම නායකත්වය දෙනු ලැබීය.

මහා පිටුවහල් කිරීම දක්වාම පාහේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වෝර්සෝ ගෙටො හි දේශපාලනිකව ක්‍රියාකාරීව සිටි බව රිංගල්බ්ලම්ගේ ලේඛනාගාරය පෙන්නුම් කරන අතර සමහර මූලාශ්‍ර පෙන්වා දෙන්නේ ට්‍රොට්ස්කිවාදීන් නැගිටීමට සම්බන්ධ වූ බවයි. [1]

1940 සහ 1941 අතර ට්‍රොට්ස්කිවාදීන් පෝලන්ත භාෂා සඟරා දෙකක් වෝර්සෝ ගෙටො හි ප්‍රකාශයට පත් කළහ. එනම් “රතු බැනරය” (Czerwony Sztandar) සහ න්‍යායාත්මක සඟරාව “මාක්ස්වාදී සමාලෝචන” (Pregłąd Marksistowski ) යි. ඒවා ගෙටොවේ  තාප්පයේ දෙපැත්තටම බෙදා හරින ලදී.  ඔවුන්ගේ ප්‍රකාශනවල ලියොන් ට්‍රොට්ස්කි විසින් රචනා කරන  ලද ලිපි පලවූ අතර, 1941 අගෝස්තුවේ නිකුත් කරන ලද ඔහුගේ ඝාතනයේ පළමු සංවත්සරය වෙනුවෙන් කැප කරන ලද පත්‍රිකාවක් ද, ඔක්තෝබර් විප්ලවයේ  සහ පැරිස් කොමියුනයේ පාඩම් සහ විප්ලවවාදී මාක්ස්වාදය සහ ස්ටැලින්වාදය අතර වෙනස ආදිය සහ සමකාලීන හා ඓතිහාසික සිදුවීම්වල න්‍යායික හා දේශපාලන විශ්ලේෂණ ද ඇතුළත් විය. පෝලන්ත ට්‍රොට්ස්කිවාදී  නායකයා සහ “පෝලන්ත ට්‍රොට්ස්කිවාදයේ පියා” වන සොලමන් එර්ලිච් (1907-1942) පිටමං කරනු ලැබූ අතර 1942 ගිම්හානයේදී ට්‍රෙබ්ලින්කාහි ගෑස් කුටියක් තුළ දී ඝාතනය කෙරුණි. [2]

Image
1941 අගෝස්තු මාසයේදී ට්‍රොට්ස්කි ඝාතනයේ පළමු සංවත්සරය වෙනුවෙන් වෝර්සෝ ගෙටෝහිදී
ට්‍රොට්ස්කිවාදීන් විසින් නිකුත් කරන ලද “ලියොන් ට්‍රොට්ස්කි පිළිබඳ මතකය” පත්‍රිකාවේ කවරය.

පෝලන්ත ට්‍රොට්ස්කිවාදීන්ගේ අවසන් සංරක්‍ෂිත ප්‍රකාශනය 1942 මැයි 1 දින පලවූ මැයි දින පත්‍රිකාවකි. පෝලන්තයේ සියලුම ජාතීන්ට අයත් කම්කරුවන්ට ආයාචනයක් ලෙස ලියා ඇති එය, යුරෝපයේ වාඩිලාගත් නාසීන්ට එරෙහිව සංවිධානාත්මක, සන්නද්ධ ප්‍රතිරෝධයක් සඳහා වූ බලගතු කැඳවීමකි. එය ධනවාදයට එරෙහි අරගලයේ දී යුරෝපයේ කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සඳහා සහ යුරෝපය පුරා හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීම සඳහා කැඳවුම් කලේය.  විශේෂයෙන්ම පෝලන්ත, යුදෙව් හා ජර්මානු කම්කරුවන්ගේ එකමුතුවේ අවශ්‍යතාවය ට්‍රොට්ස්කිවාදීන් අවධාරනය කලේ ය:

ජර්මානු කම්කරු පන්තිය සිය හදවතේ ගැඹුරින් සමාජවාදයේ පරමාදර්ශවලට සැබෑව රැඳී සිටින අතර අප සමඟ එක්ව හිට්ලර්වාදය සහ ධනවාදය තුරන් කිරීමට උත්සාහ කරයි.  මැයි දිනයේදී, අපි අපගේ ජර්මානු කම්කරු පංතියේ සහෝදරවරුන්ට අපගේ සහෝදරාමක හස්තය දිගු කරමු, අපි ලොව පුරා සිටින කම්කරුවන්ට අපගේ දෑත් දිගු කරමු, ඔවුන් සමඟ එක්ව අපගේ පොදු සතුරාට එරෙහිව සම්පූර්ණ හා අනුකම්පා විරහිත පළිගැනීමක් කරන්නෙමු. [3]

යුදෙව් සංස්කෘතික ජාතිකවාදය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ සමාජවාදී ප්‍රවනතාවන් අතර පවා, යුදෙව්වන්ගේ ඉරනම, සියල්ලටම වඩා යුරෝපයේ ජනතාවගේ උපකාරය සහ සමාජ විප්ලවයේ වර්ධනය මත රඳා පවතින බවට අවබෝධයක් තිබුණි.  විශේෂයෙන්ම 1942 වසන්තයේ දී යුරෝපයේ විප්ලවයක් සිදු විය හැකි බවට බලාපොරොත්තු ඉහළ ගියේය. රිංගලබ්ලම් මෙන් වාම පෝලන්ත සියෝන්වාදීන්ගේ සහ ඔයනෙග් ෂබ්ෂ් (Oyneg Shabbes) ලේඛනාගාරයේ සාමාජිකයෙකු වූ ඒබ්‍රහම් ලෙවින් (Abraham Lewin), 1942 මැයි 16 වන දින ඔහුගේ දිනපොතේ මෙසේ සටහන් කර ඇත:

මරණය, විනාශය, ව්‍යසනය, මරණ-වේදනාව යන වචන නළලේ ලියා ඇති නාසි යුගාවසාන විනාශයේ තිරිසන් දර්ශනය වන අගාධය අප සෑම කෙනෙකුටම සමීප වෙමින් පවතී.  අසීමිත අනාරක්ෂිත බවක්, කිසිදා නොනවතින බියක්, අපගේ සියලු ඛේදජනක හා කටුක අත්දැකීම්වල භයානකම පැතිකඩයි … සත්‍යය නම් වර්තමානයේ ජීවිතයත් මරණයත් අතර අරගලයක් පවතින රුසියානු භූමියේ සිදුවන සිදුවීම් සමඟ අපගේ හදවත් කාලයත් සමග  ස්පන්දනය වේ.  මෙම භූමිය තුල, මිනිසා සහ තිරිසනුන් අතර ද, දුක්ඛිත සහ ලේ වැගිරෙන මනුෂ්‍ය වර්ගයා සඳහා වඩා හොඳ හෙටක් පිළිබඳ බලාපොරොත්තුව සහ ලොව මෙතෙක් දැක ඇති වඩාත්ම ලේ පිපාසිත නීරෝගේ ජයග්‍රහණය පිළිබඳ බිය අතර ද ජීවිතය හා මරණය පිලිබඳ අරගලයක් සිදුවෙමින් පවතී.  [4]

ලෙවින් සහ අනෙකුත් අය ෆැසිස්ට්-පාලක ඉතාලියේ නොසන්සුන්තාව පිළිබඳ පුවත් සහ, විශේෂයෙන් ජර්මනියෙන් අලුතින් පැමිණි පිටුවහල් කරනු ලැබූවන් විසින් ගෙන එන ලද  ආර්ථික අර්බුදයේ ලක්ෂණ සහ ජර්මන් රයිකයේ (Reich) [තුන්වන රයිකය යනු1933 සහ 1945 අතර ජර්මනියේ නාසි පාලනය යි] දේශපාලන නොසන්සුන්තාවයන් ගැන වාර්තා දැන ගැනීමට උනන්දුවෙන් කටයුතු කළහ.  මහා පිටුවහල් කිරීම ආරම්භ වීමට සති හයකට පෙර, 1942 ජූනි 3 වන දින, ලෙවින් මෙසේ සඳහන් කළේය:

ජර්මනිය, ඔස්ට්‍රියාව සහ චෙකොස්ලොවැකියාව යන රටවලින් පැමිණෙන ලිපි සමස්ත ජර්මන් රයිකය  පුරා යම් විප්ලවීය පැසවීමක් පෙන්නුම් කරයි.  නිදසුනක් වශයෙන්, බර්ලිනයේ සිට පහත සඳහන් අන්තර්ගතය සහිත ප්‍රකාශන වීදියේ අලවා ඇති බව අපට අසන්නට ලැබුණි: “අපි සාමය ඉල්ලා සිටිමු, අපි අපේ ස්වාමිපුරුෂයන් සහ පුතුන් නැවත කැඳවන ලෙස බලකර සිටිමු”.  චෙකොස්ලෝවැකියාවේ ලිපිවල ද මෙම දැඩි විප්ලවීය ස්වභාවය ඇත.  … මෙම සියලු ලිපි ස්පන්දනය වන්නේ මෙම ලෝක ව්‍යාප්ත ඝාතනයට ඉක්මන් අවසානයක් පිළිබඳ විශ්වාසය සමඟිනි.  මුළු පීඩිත යුරෝපයම වරදවා වටහා ගැනීමකට ලක්ව පැවතිය හැකිද?  හදවත ඉතා ගැඹුරින් ආශා කරන්නේ ගැළවීමයි.  අපි මේ සිහිනය සමඟ නිදාගන්නෙමු;  අපි මේ සිහිනෙන් අවදි වන්නෙමු.  ලෝකවාසීන්ගෙන් සියයට 95කගේ ආදරණීය බලාපොරොත්තු ඉටු නොවී, පිරිහුණු සහ ම්ලේච්ඡ මිනීමරුවන්ගේ නපුරු බලවේගය ජයගත හැකිද?  හේතුව සහ හදවත අපට පවසන්නේ, හිට්ලර්ගේ සහ මුසෝලිනිගේ භූමියේ වන සතුන් නොව සෝවියට් රුසියාවේ, එංගලන්තයේ සහ ඇමරිකාවේ මිනිසුන් තුළ මූර්තිමත් වූ මානව වර්ගයා පිළිබඳ ජයග්‍රහනය සාක්ෂාත් වනු ඇති  බවයි. [5]

Image
සමාජවාදී සියොන්වාදී වාම පෝලන්ත  සියෝන් හි සාමාජිකයෙකු වන ඒබ්‍රහම් ලෙවින් , ඔහුගේ දියණිය ඔරා සමඟ.

මහා පිටුවහල් කිරීමේ දී ලෙවින්ට ඔහුගේ බිරිඳ සහ දියණිය අහිමි විය.  ඔහුද 1943 මුල් භාගයේදී ඝාතනය කරන ලදී. ගෙටොවේ මහා පිටුවහල් කිරීමෙන් දිවි ගලවා ගත් සෑම කෙනෙකුටම ඔහුගේ හෝ ඇයගේ පවුලේ වැඩි කොටසක් අහිමි විය.  දිවි ගලවා ගත් අය, සාමාන්‍යයෙන්, කම්කරුවන් ලෙස “ප්‍රයෝජනවත්” ලෙස සලකනු ලැබූ තරුණ අය වූ අතර, එබැවින් පිටුවහල් කිරීම්වලින් තාවකාලිකව නිදහස් කරන ලදී.

ඉතිරිය දෙවන කොටසින්.

1] ලුඩ්වික් හාස්, 1945 දක්වා පෝලන්තයේ ට්‍රොට්ස්කිවාදය. URL: https://www.marxists.org/archive/hass/1992/xx/tinpoland.html

 [2]Warsaw Ghetto හි ට්‍රොට්ස්කිවාදීන්ගේ ප්‍රකාශන Archiwum Ringelbluma, Tom 21, Prasa Getta Warszawskiego: Radykalna lewica niesyjonistyczna, opracowali: Piotr Laskowski, Sebastian Matuszewski, Warszawa 2016. මෙම වෙලුම අන්තර්ජාලය ඔස්සේ ප්‍රකාශනය කර ඇත:  https://cbj.jhi.pl/documents/940239/19/ 

 [3] Ulotka “1 Maja 1942” in: Ibid., p.  279. මෙම කතුවරයාගේ පරිවර්තනය.

 [4] Abraham Lewin, A Cup of Tears: A Diary of the Warsaw Ghetto, සංස්කරණය කර පරිවර්තනය කළේ Antony Polonsky, Blackwell Publishers, 1988, pp. 73, 74.

 [5] Ibid., පි.  115.

#theSocialistLK #WSWS 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top