මිගාර මල්වත්ත විසිනි.
මධ්‍යධරණී මුහුද අවට යුරෝපිය රාජ්‍යයන් දරුණු ගංවතුරකින් යටකරමින් හමාගිය ඩැනියෙල් කුණාටුව, අප්‍රිකාවේ ලිබියානු මධ්‍යධරණී වෙරලබඩ පිහිටි ඩර්නා නගරයට හා අසල වියලි නිම්නයට, ඉතා කෙටි කාලයක් තුළ අසාමාන්‍ය වර්ෂාපතනයක් ලබා දෙමින්, එම වියලි නිම්නය (වොඩිය) ජලයෙන් පුරවා ඩර්නා නගරය අසල ජල පෝෂක වේලි දෙකක් පුපුරුවා හැරියේය.
ලක්ෂයකට වැඩි පිරිසක් වාසය කරන ඩර්නා හි හතරෙන් එකක් මුළුමනින්ම ගසාගෙන ගියේය. නගරයේ පමණක් මියගිය සංඛ්‍යාව 20,000 ක් යැයි විශ්වාස කෙරේ. 1927 දී ඇල්ජීරියාවේ ඇති වූ දරුණු ගංවතුරෙන් සිදු වූ ජිවිත විනාසය හා සැසදීමේදී මෙහිදී සිදු වූ ජීවිත විනාශය, එය අගුටුමිටි ස්වභාවයකට පත් කරයි.
ලිබියාවට එරෙහිව , මහා ව්‍යසනයක් හැරෙන්නට වෙන කිසිවක් ලබා නොදුන්, එක්සත් ජනපද-නේටෝ ආක්‍රමණය, ට්‍රිපොලි සහ සර්ටේ වෙත බෝම්බ හෙලා ජීවිත 25000ක් බිලි ගත් අතර මාස 7ක් ගෙන ගිය යුද්ධය, 2011 ඔක්තෝම්බර් 20 වෙනිදා මුවමර් ගඩාෆි ඝාතනයත් සමග අවසන් විය.
ඉනික්බිතිව, බාහිර බලවතුන්ගේ පිටුබලය ලද ප්‍රතිවාදී කන්ඩායම් අතර ඇවිලී ගිය සිවිල් යුද්ධය මිනිස් ජීවිත දහස් ගණනක් බිලි ගත්තේ, විශාල තෙල් හා ගෑස් සංචිත පාලනය කිරීමට ගෙනගිය තරඟයේ ප්‍රතිඵලයක් ලෙසිනි. දැන් බෙන්ගාසි මූලස්ථානය කොට ගත් නැගෙනහිර කලාපයක් සහ අගනුවර වන ට්‍රිපොලියෙන් පාලනය වන බටහිර කලාපයක් ලෙස, එකිනෙකට සතුරු රජයන් දෙකකට ලිබියාව බෙදා ඇත. ට්‍රිපොලි සිට අගමැති අබ්දුල් හමීඩ් ඩ්බෙයිබේගේ ජාතික එකමුතුවේ රජය විසින් පාලනය කරනු ලබන අතර කලීෆා හෆ්තාර්ගේ ලිබියානු ජාතික හමුදාවේ සහාය ඇතිව අගමැති ඔසාමා හමාඩ් යටතේ නැගෙනහිර පාලනය කෙරේ.
නේටෝ ආක්‍රමණයට පෙර, 2010 දී, අප්‍රිකානු මහද්වීපයේ විශාලතම මෙන්ම වඩාත් සංවර්ධිත, වැඩිම ආයු අපේක්ෂාව සහිත, ආර්ථික වශයෙන් වඩාත් සමෘද්ධිමත් රට වූයේ ලිබියාව යි.
එක්සත් ජනපදය ගෙන ගිය ව්‍යසනකාරී යුද්ධයේ ප්‍රතිවිපාක ලෙස ගරාවැටෙන යටිතල පහසුකම් සහිත, දරිද්‍රතාවය සහ හිගනකම උරුම කර ගත් රටක් බවට ලිබියාව පරිවර්තනය වී ය. ජනගහණයෙන් තුනෙන් එකක් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වේ. මිලියන 6.7 ක ජනගහනයෙන් 900,000 කට ආසන්න පිරිසකට දැන් මානුෂීය ආධාර අවශ්‍යව පවතී.
යුද්ධයට පෙර වර්ෂය වන 2010 දී ලිබියාවේ දළ දේශීය ,නිෂ්පාදිතය ඒක පුද්ගල ආදායම ඩොලර් 11,611 කි. 2021 වන විට,එකී ආදායම ඩොලර් 5,909 දක්වා අඩකින් අඩු විය. ඉතියෝපියාව (සියයට 591 කින් ඉහළට), කෙන්යාව (සියයට 468 කින් ඉහළට) සහ නයිජීරියාව (සියයට 230 කින් ඉහළ ගොස්) වැනි අප්‍රිකානු රටවලට ප්‍රතිවිරුද්ධව, 2010 සිට 2021 දක්වා රටේ ශුද්ධ ධනය සියයට 21 කින් තියුනු ලෙස පහත වැටිනි.
ලිබියාවට එරෙහිව එක්සත් ජනපද- නේටෝ ආක්‍රමණය සිදු වන්නේ ජනාධිපති බරක් ඔබාමාගේ පරිපාලනය යටතේ දීය.
ඔබාමා, ජනාධිපති ධුරයට පත්වූ 2009 වසරේ දීම, සාමය සඳහා වන නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබීය. අට වසරක තම ජනාධිපති ධුර කාලසීමාව තුලදී ඔහු එක් දිනක් හෝ යුද්ධයෙන් වියෝ නොවුනි. එමෙන්ම ඔහු ඉරාකයට හා ඇෆ්ගනිස්ථානයට එරෙහි හමුදා ආක්‍රමණය තවදුරටත් තීව්‍ර කලේ ය.ඔහු 2013 දී සිරියාව ආක්‍රමණය කරමින්, සිරියාව විනාශ කොට සිවිල් වැසියන් ලක්ෂ ගණනින් මරා දැමූ යුද්ධකට මුල් පිරී ය. , ඩ්‍රෝන යානා මගින් කරනු ලබන යුද්ධයකට මුල පුරමින් ,ඔහු ඇෆ්ගනිස්ථානය , පකිස්ථානය, යේමනය , සෝමාලියාව යන රටවලට ඩ්‍රෝන වැසි වස්සා,අහිංසක මිනිසුන් දහස් ගණනක් මරා දැමීය.
2011 ලිබියාව ආක්‍රමනයෙන් පසුව එහි ප්‍රතිවාදී මිලිෂියා කන්ඩායම් අතර සිවිල් යුද්දයක් ඇවිලීම පිටුපස අදිරාජ්‍යවාදීන්ගේ හා දනපති බලයන්ගේ පිටුබලය ලැබූ පාර්ශවයන්ගේ අරමුන වූයේ තෙල් සම්පත් මත සිය ආදිපත්‍ය පිහිටුවාලීමයි.
මේ කොන්දේසි යටතේ ඩර්නා වේලි නඩත්තු නොකෙරුනි.එබැවින්, ඩර්නාහී වේලි දෙක බිද වැටී එහි මිනිස් ජීවිත 20000 එක් රැයකින් පිස දැමීමේ වගකීමෙන් ගැලවීමට ඔබාමාට සහ ඔහුගේ සගයන්ට නොහැකිය.
ගඩාෆි තන්ත්‍රය පෙරලා දැමීම සඳහා මුස්ලිම් මූලධර්මවාදී කන්ඩායම් යොදා ගනු ලැබුනි. ISIS ලෙස හඳුන්වනු ලබන මුස්ලිම් මූලදර්මවාදී කොටසක් ජනාධිපති බෂාර් අල්-අසාද්ට එරෙහි කැරලිකාරී ව්‍යාපාරයකට සම්බන්ධ වීමට සිරියාවට යවන ලදී . ඉත පුහුණුව ලත් අනෙකුත් ඉස්ලාම් මූලධර්මවාදීන් දකුණට ගමන් කරමින්, චැඩ්, නයිජර්, මාලි, බුර්කිනා ෆාසෝ , මධ්‍යම අප්‍රිකානු ජනරජය සහ නයිජීරියාව ඇතුළු සහේල් ප්‍රදේශ අස්ථාවර කරමින් අප්‍රිකාවේ පුරා ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත කෙරුනි. 21 වන සියවසේ දෙවන දශකයේ, ලොව පුරා ව්‍යාප්ත වූ ඉස්ලාමිය මූලධර්මවාදී පිළිලය රෝපණය කර ව්‍යාප්ත වීමට ඉඩ සලසා දීමේ, ප්‍රධාන වග උත්තරකරු වන්නේ ද ඔබාමා ය.
ගංවතුරෙන් විනාශ වූ ඩර්නා හි ජනතාවට ආධාර කරන පුණ්‍යායතනට දායක වන ලෙස මෙම ව්‍යසනකාරී ආක්‍රමණයේ ප්‍රධාන නියමුවා වූ , හිටපු ජනාධිපති බරක් ඔබාමා සති අන්තයේ ට්විටර්හි මිලියන 132ක් වූ ඔහුගේ අනුගාමිකයන්ගෙන් ඉල්ලා සිටියේ ය
ලිබියාව හා මැද පෙරදිග කලාපය අස්ථාවරත්වයට ඇද දැමූ, ලොව පුරා භීෂණය , ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදය පැතිර වීමට දායක වු, 21 වන සියවසේ, අංක එකේ යුද අපරාධකරු වන ඔබාමා, තමන් ද ඍජුවම වගකිව යුතු සිය අපරාධයකාරී අතීතය සැගවීම වස් ඩර්නාහී ඊනියා ” මානුෂික ආධාර වැඩසටහනක්” ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් විය.
ලිබියාවේ යුද්ධයට වගකිව යුතු , යුද්ධය යුක්තිසහගත කිරීමේ ප්‍රධාන භූමිකාව ඉටු කළ එවකට දී උප ජනාධිපති වූ ජෝ බයිඩන් සහ රාජ්‍ය ලේකම් වූ හිලරි ක්ලින්ටන් ද ඊට ඇතුළත් ය.
බිල් සහ හිලරි ක්ලින්ටන් විසින් පවත්වාගෙන යනු ලබන පදනම වන ගෝලීය ක්ලින්ටන් පදනම (Clinton Global Initiative ) අනුග්‍රහය දක්වන සමුළුව සැප්තැම්බර් මස 19 හා 20 යන දෙදින තුළ පැවත් වීය. පුරසාම් හා නොයෙකුත් නන්දෙඩවිලි ඇතුළත් වූ එහි න්‍යාය පත්‍රයේ ලිබියානු ව්‍යසනය හෝ එහි හිලරි ක්ලින්ටන්ගේ භූමිකාව හෝ සඳහනක් නොවී ය.
මේ ව්‍යසනය පිලිබද එලිදරව්වේ දී ඇමරිකානු සංගත මාද්‍ය ඊට ඔබාමා-බයිඩන් පාලනය සහ එක්සත් ජනපද ආන්ඩුවේ වගකිවයුතු යන්න ගැන කිසිවක් නොකි යයි.
එමෙන්ම වොෂින්ටනයේ යුද අපරාධකරුවන් සම්බන්ධයෙන් දේශපාලනිකව හෝ අධිකරණමය වශයෙන් කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොවනු ඇත.
ජනාධිපති බයිඩන් ලිබියානු ජනතාවට සහයෝගය සහ අනුකම්පාව සඳහා ඔහුගේම ශුද්ධ ආයාචනයක් නිකුත් කළේය. “ලිබියාවේ විනාශකාරී ගංවතුරෙන් ආදරණීයයන් අහිමි වූ සියලුම පවුල්වලට ජිල් සහ මම අපගේ ගැඹුරු ශෝකය ප්‍රකාශ කරමි,” පසුගිය සතියේ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ එක්සත් ජනපදය සහන සංවිධාන වෙත හදිසි අරමුදල් යවන බවයි. තවමත් ඩොලර් ප්‍රමානයන් ප්‍රකාශයට පත් කර නැත. නමුත් එය යුක්රේනයේ රුසියාවට එරෙහි යුද්ධයට වියදම් කර ඇති ඩොලර් මිලියන 80,000 කට ආසන්න මුදල තබා 2011 දී ලිබියානු යුද්ධය සඳහා එක්සත් ජනපදය විසින් වියදම් කරන ලද ඩොලර් මිලියන 1100 හා සසඳන විට එය සොච්චම් අගයක් ගනු ඇත.
2011මාර්තු 19 දින ලිබියාවට එරෙහි හමුදා ආක්‍රමනය දියත් කෙරෙනු ලැබුවේ, බෙන්ගාසි ජනයා සමූලගාතනය කිරීමේ ගඩාෆි හමුදා තර්ජනයෙන් බේරා ගැනීමේ කඩතුරාවට මුවාවී ගෙන ය.
ඊට දින දෙකකට පෙර, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මෙම ප්‍රබන්ධය අනුමත කරමින්, ලිබියාවට පහර දීම සඳහා එක්සත් ජාතීන්ගේ අනුමැතිය ලබා දුන්නේය. එහෙයින් නේටෝ අධිරාජ්‍යවාදීන් පමණක් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ලිබියානු ඛේදවාචකයේ වගකීම ඍජුවම දරයි.
සැප්තැම්බර් 18-26 දිනයන්හී නිව් යෝක් නගරයේ දී පැවත් වූ එක්සත් මහ මන්ඩල රැස්වීමේ දී ගෝලීය කුසගින්න හා රෝග වැලක් වීමට, මොරොක්කෝව,ලිබියාව ,තුර්කිය සහ තවත් ගනන් නැති රටවල් ගනනාවක “ස්වාභාවික විපත්”සදහා උපකාර කිරීමේ අවශ්‍යතාව පිලිබද ව ද සුලු සදහනක් විය.එහිදී ලෝක බලවතුන් හදිසි අවශ්‍යතාව ලෙස ඉස්මතු කලේ යුක්‍රේනයට සහය දැක්වීමට ලෝකය බලමුලු ගැන්වීම යි.
එහි දී ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂුල්ස් , 20 වන සියවසේ ජර්මානු අධිරාජ්‍යවාදයේ මහා අපරාධකරු ඇඩෝල්ෆ් හිට්ලර් විසින්, 2 වන ලෝක මහා සංග්‍රාමයේ දී රුසියාවට එරෙහිව අනුගමනය කරන ලද වැඩ පිළිවෙල , තමන් ඉදිරියට රැගෙන යන බවට පැහැදිලිව ඉගි කලේය .
මෙහි දී රුසියාවට එරෙහි යුද්ධයට ඩොලර් මිලියන 40,000 කට ආසන්න මුදලක් වැය කොට ඇති යුරෝපා සංගමය, ඩර්නා ගංවතුරෙන් විපතට පත් වූවන්ට ආධාර වශයෙන් ඩොලර් 537,000ක් ( එනම් ඩොලර් මිලියන භාගයකට මදක් වැඩි මුදලකි) ලබා දීමට පොරොන්දු විය.
මෙසේ අධිරාජ්‍යවාදී බලවතුන් යුද විනාශය සදහා මිනිය නොහැකි ධනස්කන්දයක් යොදවන අතරතුර, මිනිස් ජීවිත ගොඩනැගීම සඳහා වෙන්කරනුයේ, නොසලකා හැරිය හැකි තරම් වූ සොච්චම් මුදලකි. එපමණක් නොව, පසුගිය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී තවදුරටත් පැහැදිලි වූයේ , අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ප්‍රධානතම උත්සුකය වන්නේ, ඕනෑම මිලක් ගෙවා දමාඉ, අධිරාජ්‍යවාදී යුධ අග්නි ජාලාව තව තවත් අවුලුවා ලීමයි.
ලිබියාවේ එක්සත් ජනපද-නේටෝ යුද්ධයට සහ යුක්රේනයේ රුසියාවට එරෙහි යුද්ධයට පිටුබලය දුන් ව්‍යාජ-වාම කන්ඩායම් සහ “වාම” විද්වත් හූ නිශ්ශබ්දතාවයක් පවත්වාගෙන යති. නමුත් , නුදුරේදීම, මෙම බුද්ධි ජීවීන් ,තම නිශ්ශබ්දතාවය බිද දමා,අදිරාජ්‍යවාදීන්ගේ ඊනියා ” මානුෂික ආධාර වැඩසටහන්” තොරොම්බල් කිරීමට හා ඒ පිලිබද ව සිදු කරන ප්‍රශස්ති ගායනා මගින්, කමිකරු පීඩිත මහජනතාවන් නැවතත් මුලාවෙහි හෙලීමට ක්‍රියා කරනු ඇත.
ව්‍යාජ-වාම කණ්ඩායම් හා වාම බුද්ධිමතුන් ලෙස පෙනී සිටින අධිරාජ්‍යවාදයේ සියලුම ඒජන්සි වලට, අධිරාජ්‍යවාදයට සහ එහි සියලු අපරාධවලට එරෙහි දේශපාලන වාර්තාවක් ඇත්තේ ලෝක සමාජවාදී වෙබ් අඩවියට සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට පමනි.
එහෙයින්, අප විසින් මෙහි පළකරනු ලබන ලිපි ලේඛන හදාරමින්, ඒවා පුළුල් සාකච්ඡාවකට බදුන් කරන ලෙස, අපි කම්කරුවන්ගෙන්, තරුණයන්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටිමු.