ලංකා ඉතිහාසයේ දැවැන්තම මහජන නැගිටීම හමුවේ සසප නිලධරයේ ඇල් මැරුනු ප්‍රතික්‍රියාව හා වාම කන්ඩායමේ සටන

නන්දන නන්නෙත්ති විසිනි.

Image
2022 ගාලුමුවදොර මහජන අරගල

මාක්ස්වාදියා  නිරන්තරව ම ⁣ඓතිහාසික ගමන් මගට බලපැම් කිරීමට උත්සාහ කරමින්, තම පිලිවෙත වඩාත් ප්‍රගාඩ ‌ඓතිහාසික සන්තතීන්ට සමපාත කරන තාක් දුරට එවන් ප්‍රයත්නයන්ට සැලකිය යුතු ජයග්‍රහන අත්පත් කර ගත හැකි ය.” (ඩේවිඩ් නෝර්ත් 1990 මාර්තු 5)

ශ්‍රි ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පසුගිය වසරේ (2022) අප්‍රේල්-ජුලි දැවැන්ත මහජන අරගල මාලාව තුල දී වර්ධනය වෙනවා වෙනුවට හැකිලුනේ හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ දියුනුම කොටස් අතර අපේක්ෂා භංගත්වය වර්ධනය කලේ හරියටම නෝත් ඉහත පෙන්වා දෙන මාක්වාදී භාවිතය දිගු කලක් තිස්සේ නො තකා සිටීම නිසා ය. අඩු තරමින් 2015 වසරේ සිට පන්ති අරගලය කැපී පෙනෙ ලෙස වර්ධනය වෙමින් පැවති අතර පක්ෂය එහි හුරු පුරුදු වැඩවල රඳවාගෙන සිටීමට නිලධරය වැඩ කලේ ය. වසර 27 ක් ඇදී ගිය යුද්ධයේ දී තනිවම, රාජ්‍ය මර්දනය හා වර්ගවාදී ප්‍රහාරවලට මුහුන දී ගෙන දෙමල ජාතියේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් වෙනුවෙන් කම්කරු පන්තියේ එකමුතුව සදහා පෙනී සිටි පක්ෂය, 2009 රාජපක්ෂගේ යුද ජයග්‍රහනයෙන් පසු ජාතික ප්‍රශන්යම අවසන් වී යැයි සලකන ආස්ථානයකට තල්ලු වුනු ආකාරයක් විද්‍යාමාන කලේය. මුස්ලිම් මෘත දේහ බලෙන් ආදාහනය කිරීම ආදී  සුලු ජාතික කන්ඩායම්වලට එරෙහි ම්ලේච්ඡ ක්‍රියාවන් ඉවසා සිටියේ මෙම දේශපාලන මානසිකත්වය තුල ය. 

2022 අප්‍රේල් අරගල හදිසියේ කඩා පාත් වූයේ නො වේ. 2017 දී වතු කම්කරුවන්ගේ 1000 ව්‍යාපාරයේ සිට 2022 අප්‍රේල් දක්වා පැන නැගි අරගල මාලාවේ සන්තිතිය තුල අත්දැකීම් තක්සේරු කර තත්‍ය වැඩපිලිවෙලක් සකස්කර ගැනීමට හා ‌ඓතිහාසික ගමන් මගට බලපාමින් කම්කරු පන්තියේ අරගලය තුල පක්ෂයේ තැන සටහන් කිරීමට ඇති තරම් කල් තිබිනි. පක්ෂ නායකත්වය එයට නොසූදානම් වූ අතර එය කල් පමා කෙරිනි.

මාර්තු 31 හදිසියේ පිපිරූ අරගලය සැලසුම් කල ආකාරයට අප්‍රේල් 3 දිග හැරුනි. අප්‍රේල් 5දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩලය මෙසේ ලිවී ය: “හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය විප්ලවවාදී සමාජ වැඩපිලිවෙලක පදනම මත ආන්ඩුවේ හා පාලක පන්තියේ සියලු පක්ෂවලට එරෙහිව කම්කරු පන්තිය ඒකරාෂි කිරීමට සටන් වදී.” 

නමුත් පක්ෂය, ‘ආරාධනා නැතිව අපි යන්නේ නැතැ’ යි කියමින් අරගල මාලාවේ ප්‍රධාන සංකේත භූමිය වූ ගාලුමුවදොර මැදිහත් වීම සඳහා පක්ෂයට ලැබුනු අවස්ථාවට ද පයින් ගැසුවේ ය. එය නිකම්ම අවස්ථාවක් නොවිනි. එක් අතකින් පක්ෂයේ කීර්තිමත් ඉතිහාසය ය, අනෙක් අතින් අරගලයම වල් වැදෙමින් තිබෙන බව අරගලය තුල සිටි ප්‍රගතිශීලි වුවමනාවන් පැවති කන්ඩායම්වලට වැටහෙන්නට පටන් ගෙන තිබිනි.

කම්කරු ක්‍රියාකාරී කමිටු ගැන සදහන් කරමින් ප්‍රකාශය කියා සිටියේ,“මෙම කමිටු වර්ධනය වෙමින් අරගලය තුල උරගා බැලෙන කල්හි නාගරික හා ග්‍රාමීය මහජනයාගේ පුලුල්තම කොටස් තමා පිටුපස ඒකරාශි කර ගනිමින්, පාර්ලිමේන්තුව හා ධනේශ්වර ප්‍රභූවේ මර්ධනකාරී ආයතනවලට විරුද්ධව ස්වාධීන කම්කරු පන්ති බලයේ ඉන්ද්‍රියක් බවට පත් වනු ඇත,” යනුවෙනි.

නමුත් ඒ වන විටත් පක්ෂය පන්ති අරගලය තුලට යොමු වීමට මැලි වන තැනට ඇද වැටී තිබිනි. ඓතිහාසික ගමන් මගට බලපෑම සදහා වැඩ කිරීම කලකට පෙර සිටම මග හැර සිටීම නිසා අවශ්‍ය ඥනය අත්පත් කරගෙන නොසිටි කේඩරය ඊට යොමු කිරීම ද නො හැකි විය. ජාත්‍යන්තර කමිටුවේ ඉදිරි දර්ශනවලට වාචිකව එකග වන ගමන් ම අඩු තරමින් කේඩර තුල ඒවා ග්‍රහනය කර ගැනීම සදහා අත්‍යවශ්‍ය බැරෑරුම් සාක්ච්ඡාවටවත් උනන්දුවක් තන්ත්‍රයට නො වී ය.  

මේවාට බරපතල ඓතිහාසික හේතු ඇත. පක්ෂය මහජන පක්ෂයක් ලෙස ගොඩනැගීම සඳහා පසු ගිය අත්දැකීම් අව්‍යාජව සලකා බැලීමට පක්ෂය හැරීගත යුතුම ය. වාම පාර්ෂවය ඒ සදහා වෙහෙස නො බලා සටන් වදී. 

මේ සමග පලවන ලිපිය 2022 අරගලය පැන නැගීමත් සමග වාම කන්ඩායම පක්ෂයට කල යොජනාවකි. එය ද පක්ෂ සාමාජිකයන් පවා දැකගන්නේ ප්‍රථම වතාවට ය. මෙම යෝජනාවන්ට මාරන්තික සතුරුභාවයක් පෙන් වූ නායකත්වය නන්දන නන්නෙත්තිගේ සාමාජිකත්වය දෙවරක් අත්හිටුවනු ලැබීය. පක්ෂය තුල දෘඩතර සටන්කාමියෙක් වූ සංජය ජයසේකර සහෝදර⁣යාගේ හා පක්ෂයේ ආරම්භක සහෝදරයෙක් වන ආනන්ද වක්කුඹුරගේ සාමාජිකත්වය අත්හිටවනු  ලැබුනේ මෙම අවබෝධය මත සිට මහජන අරගලය තුලට විප්ලවවාදී ඉදිරිදර්ශනයක් සහිතව මැදිහත් වීමට තීරනය කිරීම නිසාය.

පසුව නන්දන හා සංජයද එම කන්ඩායමට සහාය දීම නිසා මිගාර මල්වත්ත හා අමරතුංග යන සහෝදරවරු ද නෙරපා හරින ලදී. සෙසු සාමාජිකයන් පක්ෂ ශාකා රැස්වීම්වල මේ කරුනු සාකච්චා කිරීම වලකනු ලැබිනි.

මෙම ලිපිය බැරෑරුම්ව සැලකිල්ලට ගන්නා මෙන් අපි, විශේෂයෙන් සසප සහෝදරවරුන්ගෙන් ද, සමස්ථ කම්කරු පන්තියෙන්, තරුනයන්ගෙන් හා ප්‍රගතිශීලී බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටිමු.  

***

o7. o4. 2021

නන්දන නන්නෙත්ති

ප්‍රිය විජේ සහෝදරය,

ශ්‍රී ලංකාව පුරා අග්නි ජාලාවක් මෙන් පැතිරී යන මහජන අරගල රැල්ල තුල අප පක්ෂය පිහිටා සිටින්නේ කොතැන ද, පිහිටුවාගත යුතු වන්නේ කොතැන ද,එය සාක්ෂාත් කර ගන්නේ කෙසේ ද යන ප්‍රශ්න දැන් තියුනු ම ස්වභාවයෙන් මතු වෙයි. 

අප්‍රේල් 4, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කතෘ මන්ඩලය පලකල ඉදිරි දර්ශනයට අනුව “ශ්‍රී ලංකාවේ සිදුවීම් ලෝකය පුරා කම්කරුවන්ගේ සමීපතම අවධානය ඉල්ලා සිටී.මෙම මහජන විරෝධතා,ජාත්‍යන්තර පන්ති අරගලයේ අනාගත වර්ධනය කෙරේ අර්ථභාරී බලපෑමක් ඇති කරනු ඇත.“ (Massive social protests erupt in Sri Lanka: A critical development in the working class. Wsws.org)

ඩේව් සහෝදරයා, අප්‍රියල් 1, අප ලියූ ලිපියට ප්‍රතිචාර දක්වමින්, “ශ්‍රී ලංකාවේ කම්කරු ජනයා බලය ගැනීමට සූදානම් විය යුතු ය.” යි ලිවී ය.(Tweet)

ඊජිප්තු විප්ලවයෙන් වසරකට පසුව පැවති එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂයේ දෙවන ජාතික සමුලුවේ දී සම්මත කරන ලද යෝජනාව තුල අපි මෙසේ ලීවීමු:

“විප්ලවවාදී අරගලයේ අනිවාර්යතාව පුරෝකතනය කර ඒවා සිදුවන තෙක් පමනක් බලා සිටීම ප්‍රමානවත් නො වේ. න්‍යායිකව මග පෙන්වන ඤානය හා විප්ලවවාදී භාවිතාව අතර එකමුතුව මත අවධාරනය කරන මාක්ස්වාදයට එවන් ආස්ථානයක් සමග පොදු කිසිත් නැත…සමාජවාදී විප්ලවයේ ජයග්‍රහනය සදහා විප්ලවවාදී පකෂයක පැවැත්ම අවශ්‍ය කරයි. මහජන අරගල පැතිරී යාමට පෙරාතුව, කම්කරු පන්තිය තුල හා සියල්ලට ඉහලින් එහි වඩාත් පෙරමුනු අංශය තුල, අර්ථභාරී දේශපාලන කටයුතු වර්ධනය කිරීම සදහා, සමාජවාදී සමානතා පක්ෂය එයට හැකි සියල්ල කල යුතු ය.” 

“ලොව පුරා පුනර්ජීවන වී ඇති පන්ති අරගලය මධ්‍යයයේ මෙම වැඩ කටයුතු ඉහල තලයකට එසවිය යුතු ය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව එහි ශාඛා හා අනුග්‍රාහක කන්ඩායම්වල කර්තව්‍ය මෙය යි.” (Ten years since the beginning of the Egyptian revolution. wsws)

කැබිනට් ඇමතියෝ ඉල්ලා අස් වූහ..යලි පත් කලේ ය. යලි ඉවත් විය.නැවත පත් කලේ ය.මන්ත්‍රීහු 44ක් ආන්ඩුවෙන් ඉවත් වූහ.

ඊයේ,පොලිසිය එම පාර්ලිමේන්තුව වටලාගෙන සිටි උද්ඝොෂකයන් අතරට ආයුධ සන්නද්ධව පැමිනි යුද හමුදාවේ යතුරු පැදි බලකාය සමග ගැටී එය පලවා හැරියේ ය.මේ අතර මැති ඇමතියෝ පස්සා දොරන් පලා ගියහ.

අද දහවල් දශක ගනනක් පවත්වාගෙන ආ හදිසි නීතිය ඉවත් කිරීමට සිදු විය. මහජනයා මැති ඇමතියන් පලා යනු වලකනු සදහා කටුනායක ගුවන් තොටුපල ද වට කලේ ය. පාලක පන්තිය සංවිධානයක නායකත්වයකින් තොරව ඇදී යන නිසා අරගලය අති භයන්කර යයි අදෝනා දෙති.

අද දහවල් හිටිපු ඇමති, විපක්ෂ මන්ත්‍රී, හරින් ප්‍රනාන්දු ගෝඨාබය ඉවත් විය යුතුය යි බල කරමින් පාරලිමේන්තුවේ කල කතාවේ දී .“ඇයි අපට මෙහෙම වෙලා තියෙන්නෙ” යි ප්‍රශන කලේ ය.“මේ රට කරන්න මොකෙක් හරි ඕනෙ. නැත්තන් කොහොමද මාසයක් හරි මේකෙ ඉන්නෙ.“ “හෙට අනිද්දට පාර්ලිමේන්තුවට ගහනවා ගහනවාමයි.“  යි කියමින් වැලපුනේ ය.

පාලක පන්තියේ මානසිකය එබදු ය.මහජනයා තීන්දු ගැනීමේ හා ඒවා ක්‍රියාත්මක කිරීමේ බලාධිකාරය වෙත පියවර තබමින් සිටී.

225 ම එපා යන ව්‍යාපාරයක් කලකට ඉහත සිට දියත් වී තිබිනි. ස්ටිකර් ප්‍රදර්ශනය කරමින් ඇරඹි මෙම ව්‍යාපාරය Gota Go Home දක්වා අවුත් කඩා පැනීමට පෙර මාස කිහිපයක් පෙල ගැසුනි.අප ඉතා නිවැරදිව පෙර දුටු පරිදි මෙම ව්‍යාපාරය ඉස්මතු වූයේ කොරෝනා වසන්ගතය විසින් උත්සන්න කෙරුනු ආර්ථික, දේශපාලනික හා සමාජ අර්බුදයේ රුදුරු ප්‍රතිවිපාක තුලිනි.

පසු ගිය (මාර්තු) 12-13 පැවැත් වූ සාමාජික රැස්වීමේ ලැබුනු ඉතා සීමිත විනාඩි කීපය ප්‍රයෝජනයට ගනිමින් කල මගේ ප්‍රතිපාදනය තුල දී දකුනු ආසියානු කලාපයේ දේශපාලනය සෑම දිනකම උනුසුම් හා වේගවත් වෙනස්කම්වලට බදුන් වන බව මම පෙන්වා දුනිමි. ලෝක අර්බුදය තුල දකුනු ආසියාවේ පාලක පන්තිය මග හැරිය නො හැකි මේ වෛශයික තත්වය විසින් මෙහෙයවෙන අතර එය කලාපයේ පන්ති අරගල අවුලුවන බව මම කීමි.ජාතික ප්‍රශ්නය විසදිය හැකි වන්නේත් කම්කරු පන්තිය බලය ගැනිම තුලින් පමනකැයි 1998 පක්ෂයේ ප්‍රකාශය උපුටා දක්වමින් මමත් සංජය සහෝදරයාත් පැහැදිලි කලෙමු.

අප සියලුම දෙනා 1985 භේදයෙන් අත්පත් කර ආරක්ෂා කල ජාතයන්තරවාදය හා නිශ්පාදනයේ භූගෝලීයකරනය තුලින් පැන නැගි ජාතිකවදී සියලු සංවිධානවල අවසානය හෙලිදරව් කල 1988 ඉදිරිදර්ශනය මත පදනම් වන අතර අප අතර පවතින මත භේද අපරාධ ලෙස නො සලකා ඒවා සාකච්ඡා කර විසදා ගැනීම අවශ්‍ය යයි මම අවධාරනය කලෙමි. 

ඔබත් දේශපාලන කමිටුවත් විසින් මගේ යෝජනාව තක්කඩිකම නිසා කල එකක් ලෙස හදුන්වා දෙමින් එය සාකච්ඡා වීම වලකන ලදී. දකුනු ආසියාවේ පන්ති අරගලය පිලිබද වග කීම් නො ව පුද්ගලවාදී හෙලා දැකීම හා අවලාද වෙනුවෙන් දවසක් ම වැය කරන ලදී. අප දේශපාලන ප්‍රශ්න සාකච්ඡා කිරීම සදහා මධ්‍යම කාරක සභාවට හා ජාත්‍යන්තර කමිටුව වෙත යොමු කල ලිපි ලැජ්ජාව නිසා සාකච්ඡාවට නො ගන්නා බව සාමාජික රැස්වීමේ දී ඔබ නිවේදනය කලේ ය.

පක්ෂය තුල දිගින් දිගටම පවතින මෙම තත්කාරයවාදී පිලිවෙත් විසින් වර්තමාන අරගලය තුල අපගේ අරගලයට බරපතල ලෙස හානි සිදු කලේ ය. ගිය මාසය තුල එක් වරක්වත් අම්බලන්ගොඩ ලෝකල් සභාව රැස් කලේ නැත. වැඩ කර ගැනුනේ හුදු නිවේදන මගිනි. 

අරගලය අප පසුකරගෙන ගමන් කරමින් තිබිනි. අප්‍රියල් 2, සෙනසුරාදා පීසී රැස්වීම තුල සාකච්ඡා කර මේ තත්වයට මුහුන දීම සදහා පක්ෂය සූදානම් කල යුතු ය යි මම කල යෝජනාව සැලකිල්ලට ගත්තාදැයි මම නො දනිමි. ඒ වන විටත් අරගල රැල්ල පුපුරා ගොස් තිබුනු අතර 3දා දීප ව්‍යාප්ත උද්ඝෝෂනය සංවිධානය වී පැවතිනි. මීට අදාල ප්‍රකාශනයක් නිකුත් කරගෙන 3 උද්ඝෝෂනයට සහභාගි විය යුතු යයි මම කීමි.

දේශපාලන කමිටුව ගත් තීන්දුව දැනගැනීමට නො හැකි වූ අතර රත්නසිරි සහෝදරයා කීවේ මෙය ස්වාභාවික හා භයානක අරගලයක් නිසා අප කිසිත් නො කරන බව ය.

3 දින උදේ හික්කඩුවේ අමරතුංග සහොදරයාගේ නිවසට පැමිනි ගම්මු කිහිප දෙනෙක් අපි කුමක් කරමුදැයි ඔහුගෙන් උපදෙස් පැතූහ. ඔහු සාමන්‍ය විස්තරයක් කල පසු “ඔයාල කතාව විතරයි.වැඩ නැහැ“යි කියා යන්ට ගියහ.මා වෙත පැමිනි අයට මම මගේ සහභාගීත්වය ස්තිර කල නමුත් පක්ෂයේ සැලැස්මක් නැති බැවින් මා සිටියේ දෙගිඩියාවෙනි.

බන්ඩාරවෙල ලෝකල් සහාව නියෝජනය කරන බන්ඩාරවෙලින් සැතපුම් සියගනනක් ඈත කොලඹ ආසන්නයේ පදිංචි විලියම් සහෝදරයාට ලෝකල් ලෙකම් කීවේ අපි ෆේස් බුක්වලින් ලක්ෂ ගනනක් අතරට යන බව ය. විලියම් සහෝදරයාගෙන් බේරෙන්නට බැරි තැන ඔහු පක්ෂ ප්‍රකාශය මුද්‍රනය කර බෙදා හරින ලෙස විලියම්ට දැන්වී ය.

3දා ඇතැම් තැන්වල ලෝකල් රැස්වීම් යොදාගෙන තිබිනි. නුවර දී අයිවන් සහෝදරයා උද්ඝෝෂනයට සහභාගී වීම ගැන කතා කල විට මධ්‍යම පන්තික කඩි කදුලප්පුව යයි ඔහුට පහර දෙන ලදී. 

එලෙසින් ම දීප ව්‍යාප්ත උද්ඝෝෂනය නො තකා සුපුරුදු හා සාමාන්‍ය අන්දමින් කටුනායක නිදහස් වෙලද කලාපයේ වැඩ කිරීමට හලාවත ලෝකල් සභාව මෙහෙය වූ නමුත් ඇදිරි නීතිය නිසා එය වැලකුනි. 

4දා ධීවර කන්ඩායමක් නිහාල් සහෝදරයාගේ නිවසට පැමින සටන්පාඨ හා සහභාගී වන ආකරය විමසී ය. නිහාල් ලේකම් කපිලට කතා කලේ ය. අපට කතාවක් කරන්න ගන්න පුලුවන් දැයි බලන්නැයි කපිලගෙන් උපදෙස් ලැබිනි. 

තවත් සහෝදරයෙක්ගේ අඹු අරුවන් උද්ඝෝෂනයට සහභාගී වූයේ කතාව විතරයි වැඩ නෑ කියමින් ඔහුට පරිභව කරමිනි.

පක්ෂයේ දිගු කාලීන හිතවතෙක් ලසිත සහෝදරයාගේ ෆේස්බුක් සටහනකට comment කරමින් දැන්වත් සදලුතලයෙන් බැස මහ පොලවට එන ලෙස අවවාද කලේ ය.

අද 7 කපිල සහෝදරයා හලාවත ගුරුවරු සමග උද්ඝෝෂනයට සහභාගී වී ඇත.එය බලපෑම් සහගත මැදිහත් වීමකි.

කල් පසු වී කල සුලු මැදිහත් වීම් අසංවිධානාත්මක මෙන් ම නො සැලකිලිමත් ය. අප එසවූ සටන් පාඨ පුවරු කියවා ගැනීම පවා අපහසු ය. එයමත් පෙන්නුම් කරන්නේ තවමත් වර්ධනය වන විප්ලවවාදී තත්වය සම්බන්ධයෙන් අඩ අදුරේ ගැවසීම යි.

මේ අතර සංවිධානයක් නැතිව භයානකය යි කර අරිමින් සිටි ජවිපෙ ක්‍රමානුකූලව උදඝෝෂනය තුලට රිංගමින් සිටිති. ඊයේ මහරගම උදඝෝෂනය මෙහවූයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි. දැන් අපගේ පමාවේ වාසිය ද සහිතව සැබෑ අනතුර මතුවෙමින් තිබේ.

හිටපු හමුදාපතිවරයෙකු වන කමල් ගුනරත්න විරෝධතා ව්‍යාපාරය තුල සාමාකාමී මෙන් ම ප්‍රචන්ඩකාරී පිරිස් ද සිටින බව පැවසුවේ ය.

හම් භාන්ඩ සමාගමක් වන  පීජී මාර්ටින්ස් හිමිකරුවන් වැනි අය ද ගොටා නෙරපා හරින ලෙස උද්ඝෝෂනය කලහ. ගුනරත්නගේ සාමාකාමී කන්ඩායම යනු කම්කරු පන්තිය පාලනය කිරීමේ හා ජාතික රාජ්‍ය පවත්වාගෙන යාමේ අසමත්කම නිසා ගෝටාබය පලවා හැරීමට පෙල ගැසුනු ධනපතියන් හා එම අවශ්‍යතාවන්ගෙන් ම මෙහෙයවුනු සුලු ධනේශ්වරයයි. අනෙක් කන්ඩායම වාර්ගික හා ආගමික බෙදීම්වලට එරෙහිව ජාතික සමගිය ගැන කතා කල තරුනයන්, කම්කරුවන්, සහ ගෘහනීන් ඇතුලත් පීඩිත ස්ථරයයි. ආන්ඩුව  ප්‍රචන්ඩත්වය පරාජය කිරීමට පසුබට වන්නේ නැතැයි ගුනරත්න කියා සිටියේ ය.  

ගුනරත්නගේ හමුදාව සිය ගනනක් විරෝධතාකරුවන් අත් අඩංගුවට ගත්තේ ය. අප, තවමත් රදවාගෙන සිටින මෙම දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා, කම්කරුවන් හා සෙසු පීඩිතයන් අතර, බලගතු මැදිහත් වීමක් කල යුතු ය. මහජන  වයාපාරයේ ප්‍රජාතනත්‍රවාදී අයිතින් ආරක්ෂා කිරීම අනෙක් කරුනයි. අපගේ අරගලයේ මූලික ඉලක්කයක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සදහා, මහජන ව්‍යාපාරය තුල දැනුවත් ප්‍රයත්නයක් දැරීමයි. කම්කරු පන්තිය විසින් බලය  අල්ලා ගනු ලැබීම කම්කරු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීම සදහා මූලික අවශ්‍යතාව වන්නේ ය. අපගේ අරගලයේ අරමුන එයයි. 

ධනපති පක්ෂ, ව්‍යාජ වාම පක්ෂ සහ සෙසු අවස්ථාවාදී වයාපාර මෙම අරගලය මධ්‍යයේ සිටී. නායකත්වය අප අතට ගැනීම තීරනාත්මක ය. එය සටනකින් තොරව, පක්ෂයකින් තොරව සිදුවනු නැත. දැන් අප මුහුන දී සිටින අභියෝගය මෙයයි. 

නමුත් හොද ම පිලිවෙත අප අතේ යයි පුරසාරම් දොඩනු වෙනුවට, කම්කරුවන් හා තරුනයන් සමග උරෙනුර ගැටී ගෙන යන ජීවමාන අරගලය තුල මහජනයා උගන්වා ගැනීම සදහා අප දැන් හැරී ගත යුතු ය.

මේ අතර උද්ඝෝනය තමන්ට භයානක යයි ධනපති පන්තිය ගනන් බලන අතරේ ව්‍යාජ වම්මු සහ දේශපාලනික බෙල හීනයෝ මෙය නායකත්වයක් නැති නිසා අනිවාර්ය පරාජයට නියමිත යයි දෙසති.

ඉතිහාසය මීට හාත්පසින් ම වෙනස් ය.1953 හර්තාලය විසින් ආන්ඩුව මහ මුහුදේ නවතා ලිබූ නිව්ෆවුන්ඩ්ලන්ඩ් නමැති බ්‍රිතාන්‍ය නැවට පලවා හරින ලදී. නැවත එය කැදවා ගන්නා ලද්දේ කම්කරු පන්තියේ පක්ෂවල එනම් සමසමාජ.කොප නායකයන් විසිනි.  

ඉල්ලීම් 21 ව්‍යාපාරය යටපත් කිරීම සදහා අගමැති සිරිමා බන්ඩාරනායකට ලසසප, කොප නායකයන්ගේ සහාය ලැබුනි. ඔවුන් ඊට සහාභාගි වූයේ ප්‍රතිඝාමීත්වයට එරෙහිව ධනපති ක්‍රමය අහෝසි කර සමාජවාදය ගොඩ නගන සටනේ අතරමැදි පියවරක් ලෙස එය හුවා දක්වමිනි. 1976 දීත් කම්කරුවෝ ආන්ඩුවේ හදිසි නීති නො තකා සටන් වැදී සමගි පෙරමුනු ආන්ඩුව බිම හෙලූහ. 

1968 මැයි ජුනි ප්‍රංශ කම්කරු අරගලය මැඩ පැවැත්වීම සදහා සිය හමුදාව මෙහෙයවිය හැකියයි හමුදාපතිට විශ්වාසයක් නො වූ තැන, අගමැති ඩිගෝල් ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ සහායෙන් පන බේරා ගත්තේ ය.

අප පක්ෂය 1968 දී ගොඩ නැගුවේ මෙම පසු ගිය හා ඉදිරියේ සිදු වීමට නියමිත පාවා දීම් ආරක්ෂා කල ලෝක ප්‍රපංචයක් වූ පැබලෝවාදයට එරෙහි ජාත්‍යන්තර අරගලය තුලිනි.

දැනටමත් පාලක පන්තිය පරාජයකින් ගැලවීම සදහා යත්න දරමින් සිටී.අපගේ පෙර දැකීම් පරිදි ම ධනේශවරයට පැරනි වාම මුක්කු නැත. සමාජවාදය නැමැති කවදා හෝ ලබා දීමට පොරොන්දු විය හැකි වැඩ පිලිවෙලක් අද කිසිවෙකු සතු නො වේ.

මේ ග්‍රීසිය හෝ ඊජිප්තුව ද නො වේ. ව්‍යාජ වම්මුන්ට නිදැල්ලේ හරඹ කරනු නො හැකි ය. පැබ්ලෝවාදී පාවාදීමට එරෙහිව ජාත්‍යන්තරවාදය විශේෂයෙන් නො නවතින විප්ලවය සදහා වසර 54ක් සටන් කල පක්ෂයක් මෙහි ඇත. 

ජය හෝ පරාජය තීන්දු කරනු ඇත්තේ අරගලයයි. සියලු ඊනියා වම්මු කුජීත වී ඇත. වෘත්තීය සමිති එලිදරව් වී ඇත. මර ඇදට වැටුනු මේ පක්ෂ හා නායකයන්ට මුක්කුව දී කෙලින්කර ගෙන තබා ගත්තේ පාලක පන්තිය විසිනි. දැන් එම නායකයන්ට කල හැකි කිසිවක් ම නැත.

අපි කලකට පෙර සිට වටහාගෙන සිටින පරිදි පාලක පන්තියට බේරී සිටීම සදහා ජාත්‍යන්තර කමිටුවෙන් ඒජන්සියක් අවශ්‍ය ය. ධනවාදය සිය ව්‍යාජ වාම කල්ලිවල සහාය ඇතිව කම්කරු පන්තිය මත බරපතල පීඩනය යොදා ඒ මගින් සසපය පීඩනයට ලක් කරන්නේ එබැවිනි. මෙය පක්ෂය තුල වඩාත් විවෘත ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවක අවශ්‍යතාව වෙනදාට වඩා දැඩි ලෙස මතු කර ඇත.

සියලු සාධක අනුව අද ශ්‍රී ලංකාව ජාත්‍යන්තර කම්කරු පන්තියේ විමුක්ති අරගලයේ උරගල ය. අවම වශයෙන් මේ විප්ලවවාදී අර්බුදය දකුනු ආසියානු පක්ෂය ගොඩ නැගීම සදහා අවස්ථාව වන අතර මහජන අරගලයේ කිසියම් පරාජයකට මුහුන දුනහොත් එහි අලාභහානි අවම කිරීමට සමත් වනු නියත ය. අප කල් පමා කලහොත් ලේ වැකි ඓතිහාසික අපරාධයකට වගකිව යුතු වනවා පමනක් නො ව සමාවක් නො ලැබෙනු ඇත. බරපතලම දෙය වන්නේ ලෝක කම්කරු පන්තියට එයින් විය හැකි හානිය යි. අප ඉදිරි දර්ශන වර්ධනය  කරන්නේ අරගලය තුල ය. පිකට්, ප්‍රසිද්ධ රැස්වීම්, වාඩිලාගැනීම්, පෙලපාලි සංවිධනය කරමින් මහජන ව්‍යාපාරය සමග සිටිමින් එය වර්ධනය කල යුතු ය.

“දැන් හැරීගත යුත්තේ කම්කරු පන්තිය කරා ය. අසමානතාව, යුද්දය සහ ඒකාධිපතිත්වයට එරෙහි කම්කරුවන් හා තරුනයන් කෙරෙන් මතුවන විරුද්ධත්වයේ සෑම විධ්‍යමාන වීමකදී ම සක්‍රීය ලෙස මැදිහත් වීම කරා ය. දේශපාලන මට්ටම ඉහල දැමීමට, කම්හල් සහ පාසල් තුල කේඩරයන් නිර්මානය කිරීමට, ඉතිහාසයේ පාඩම් හා ධනේශ්වර ක්‍රමයේ ස්වභාවය පැහැදිලි කිරීමට වෙහෙස නො බලා කටයුතු කිරීම අවශ්‍ය ය. සමාජවාදය සදහා සටන් වැදීමට අදිෂ්ඨාන කර ගත් ජනයාගේ හිගයක් නො වනු ඇත.”   

“එහෙත් මේ අධිෂ්ඨානය සමාජවාදය සදහා වන ලෝක පරිමාන ව්‍යාපාරයක් තුල කම්කරු පන්තියේ අරගල ඒකාබද්ද කරන මූලෝපායකින් සන්නද්ද කල යුතු ය.” (www.wsws.org/en/articales/2020/01/03/pers-j03.html)  

“විප්ලවවාදී පක්ෂය, තමන් විශ්ලේෂනය කරන සිද්ධීන්ට සහභාගී වන අතර කම්කරු බලය හා සමාජවාදය සදහා ලෝකය වෙනස් කිරිමේ අරගලය තුල දැඩි ප්‍රයත්න දරයි.” (the resurgence of class and the tasks of the socialist party)

අප දැනටමත් අත්‍යවශ්‍ය ඉදිරි දර්ශන වර්ධනය කර ඇත. මේ වන තුරුත් ජන අරගලය සම්බන්ධ පක්ෂයේ විශේෂ කැදවුමක් ලෝසවෙ තුල නැත. අද විජේ සහෝදරයාගේ ප්‍රකාශයක් වීඩියෝවක් ලෙස නිකුත් වී තිබේ. එය වැදගත් පියවරකි. මා රත්නසිරි සහෝදරයා මගින් පීසීයට යෝජනා කල පරිදි අත් පත්‍රිකා දසදහස් ගනනින් බෙදා හරිමින් මැදිහත් වීම තීව්ර කල යුතු ය.

අද දක්වාත් මේ ප්‍රශ්නයට අදාලව මධ්‍යම කාරක සභාව කැදවීමට අප අසමත් වී ඇත. මෙය දිගු කලක තිස්සේ පවත්වාගෙන යනු ලබන නරක පුරුද්දක් පමනක් නො වේ. වර්තමාන ගැටලුවල ප්‍රධාන ම හේතුවකි. අප වර්තමාන තාක්ෂනය යටතේ මකාස කැදවා ගැනීම ඉතා පහසු ය. ඔබ මකාස නො කැදවූයේ ප්‍රශ්න මතු වීම හැකි තාක් මග හැරීම උදෙසා ය. එහෙත් දැන් ප්‍රශ්න අපගේ හිස මතටම කඩා වැදී ඇත. තවමත් කාලය තිබේ. අපට දැවැන්ත මහජන පක්ෂයක් ලෙස ඉස්මතු වීමට අවශ්‍ය සියල්ල ඇත. අපි අවස්ථාව දැනුවත්ව අත්පත් කර ගත යුතු ය.

“අප වර්ධනයේ කොන්දේසි විශ්ලේනය කරන්නේ ඒවා අපට හොරා ද අපගේ කැමැත්තෙන් ස්වාධීනව ද හැඩගැසෙන ආකාරයෙන් ම ය. අප එසේ කරන්නේ ඒවා වටහා ගැනීමෙන් අනතුරුව අපගේ ක්‍රියාත්මක කැමැත්ත මගින් හෙවත් සන්විහිත පන්තියේ කැමැත්ත මගින් ඒවා මත ක්‍රියා කිරීම සදහා ය. ඉතිහාසය කෙරෙහි අපගේ මාක්ස්වාදී ප්‍රවේශයේ මේ දෙපැත්ත ඉතා සමීප ලෙසත් අවියෝජනීය ලෙසත් එකට බැදී ඇත. හුදෙක් සිදුවන දේ සැලකිල්ලට ගැනීමට පමනක් අප සීමා වුවහොත් කුමක් සිදු වේ ද? දීර්ඝකාලීන වසයෙන් බලන විට එවැනි ප්‍රවේශයක් දෛවවාදය (fatalism) හා උපේක්ෂාව (indifferentism) කරා ද, සාමාජික ථීනමිද්ධය (social apathy) කරා ද පිරිහෙයි. එමතු නො ව එක්තරා මන්ටමක දී එය මෙන්ශෙවික්වාදයේ අංශයක් වැලද ගනී. එසේ වැලද ගන්නේ දෛවවාදයේ මහත් කොටසක් හා මිනිසුන්ට හොරා සිදු වන දෙය නමස්කාර පෙරදැරිව පිලි ගැනීම ගැබ්වන අංශය යි. අනික් අතට, අප හුදෙක් විප්ලවවාදී ක්‍රියාවට, විප්ලවවාදී කැමත්තට සීමා වුවහෙත් සිදු වන්නේ කුමක් ද? එවිට අප ආත්මීයවාදයට (subjectivism) වැටීමේ අනතුර මතුව එයි. ඒ ආත්මීයවාදයෙහි විවිධ රූප ඇත. අරාජකවාදය (anarchism) එහි එක් රූපයකි. වාම සමාජ විප්ලවවාදය තවත් රූපයකි සමාජ විප්ලවවාදය යනු ආත්මීයවාදයේ රුසියානු දේශීය රූපාකර ය යි. අවසාන වසයෙන් ආත්මීයවාදයේ මේ රූපයන්ට කොමියුනිස්ට්වාදය තුල ම එය ප්‍රකාශයට පත් වන විධි ඇතුලත් වේ. වලැඩිමීර් ඉලිච් ලෙනින් ඒ විධි හැදින් වූයේ “වාමාවාදය නමැති ලදරු රෝග යනුවෙනි. සමස්ත විප්ලවවාදී දේශපාලන කලාව ම සමන්විත වන්නේ වෛශයික විශලේෂනය ආත්මීය ක්‍රියාව සමග නිරවද්‍ය ලෙස බද්ධ කිරීමෙන් ය. ලෙනිනවාදී ගුරු කුලයේ සාරය මෙතැන ගැබ් වේ.” (ලියොන් ට්‍රොට්ස්කි, යුරෝපය හා ඇමරිකාව)  


විප්ලවවාදී සුබ පැතුම්

නන්දන

ප.ලි  

මෙම ලිපිය නිම කරමින් සිටින අතර, “පක්ෂය, ශ්‍රී ලංකාව් රාජපක්ෂ ආන්ඩුව පෙරලා දමනු !..” යනුවෙන් ප්‍රකාශයක් පල කර ඇත. මෙය වැදගත් පියවරකි. පක්ෂයක් හැටියට අප අරගලයේ න්‍යායික ගැටලු විසදා ගැනීම සදහා ඒකාබද්ධ ප්‍රයත්නයක් දැරිය යුතු ය. මධ්‍යම කාරක සහාව හැකි සෑම අවස්ථාවක ම කැදවීම අවශ්‍ය ය. ඒ සදහා පියවර ගන්නා මෙන් යෝජනා කරමි.

ජායාරූපය facebook තුලිනි.

#theSocialistLK

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top