යුක්‍රේන ෆැසිස්ට්වාදී ආන්ඩුවේ අත්අඩංගුවේ සිටින බොග්ඩාන් සයිරොටියුක් වහා නිදහස් කරනු!

කොලඹ ක්‍රියාකාරී කමිටුවේ ප්‍රකාශය.

යුක්‍රේනයේ SBU රාජ්‍ය ආරක්ෂක සේවය විසින් පසුගිය අප්‍රේල් 25 දින අත්අඩංගුවට ගනු ලැබ අධි ආරක්ෂක සිර ගෙයක රඳවා සිටින, බෝල්ෂෙවික් ලෙනින්වාදීන්ගේ තරුන රැකවල (YGBL) සංවිධානයේ නායක බොග්ඩාන් සයිරොටියුක් වහා නිදහස් කරන ලෙසත්,  ඔහුට එරෙහි සාපරාධී චෝදනා හකුලා ගන්නා ලෙසත් කොළඹ ක්‍රියාකාරී කමිටුව බලකර කියා සිටී. 

බොග්ඩාන් අත්අඩංගුවට ගෙන ඇත්තේ නැටෝ අධිරාජ්‍යවාදයේ සාපරාධී යුද්ධයට එරෙහිව හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් ගෙන යනු ලබන උද්ඝෝෂනය තුල ඔහු ඉටු කරමින් සිටි ප්‍රමුඛ ක්‍රියා කලාපය නිසා බව කොළඹ ක්‍රියාකාරී කමිටුවේ පිළිගැනීමයි. 

බොග්ඩාන් අත් අඩංගුවට ගැනීමට පසු යුක්‍රේනයේ ෆැසිස්ට්වාදී සෙලෙන්ස්කි ආන්ඩුව ලෝක කම්කරු පන්තියේ සමාජවාදී විශ්වවිද්‍යාලය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) යුක්‍රේනය තුල තහනම් කලේය. YGBL හි ලේඛන සදහා ලෝසවෙඅ වේදිකාවක් විය. මෙය, යුද්ධයට එරෙහි වීමට කම්කරු පන්තියට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට එල්ල කළ මාරක පහරක් ලෙස හඳුනා ගන්නා අපි, කම්කරුවන්ගේ ස්වාධීන ජාත්‍යන්තර ප්‍රකාශන මාධ්‍යයක් ලෙස පැවතීමටත්,  අධිරාජ්‍යවාදයේ ලෝක යුද්ධ වැඩ පිළිවෙලට එරෙහිව ජාත්‍යන්තරවාදී සමාජවාදී ඉදිරි දර්ශනයක් මත ලෝක කම්කරු පන්තිය සංවිධානය කිරීමට හා අදහස් ප්‍රකාශ කිරීමට හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට හා ලෝසවෙඅ ට ඇති අයිතිය පැහැර ගැනීමට අධිරාජ්‍යවාදීන් ප්‍රමුඛ අර්බුද ග්‍රස්ත ධනපති ආණ්ඩුවලට ඉඩ නොදී මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රහාරයට එරෙහිව  පෙරට එන ලෙසත් ලෝක කම්කරු පන්තියෙන්, සියලු පීඩිතයන්ගෙන් හා ශිෂ්‍යයන් ඇතුළු තරුණ ප්‍රජාවෙන් අපි ඉල්ලා සිටිමු.   

25 හැවිරිදි බොග්ඩාන්ට එරෙහිව රාජද්‍රෝහී චෝදනා නඟා ඇති යුක්‍රේන ෆැසිස්ට් තන්ත්‍රය, බොග්ඩාන් පසුගිය දෙවසර පුරා “ලෝක සමාජවාදී වෙබ් අඩවිය නම් රුසියානු ප්‍රචාරක හා තොරතුරු ඒජන්සියක නියෝජිතයන් විසින් පවත්වා ගෙන යනු ලබන ප්‍රකාශනයක පල කිරීම් සූදානම් කිරීමේ නියැලී සිටි” බව කියා සිටියි. ලෝසවෙඅට එරෙහිව එල්ල කරන මෙම අභූත මඩ ප්‍රහාරය හෙළා දකින කොක්‍රික, බොග්ඩාන්ට ද, ලෝක සමාජවාදී වෙබ් අඩවියට ද එරෙහිව මේ ඔසොවා ඇති මර්දන හස්තය බිඳ දැමීම සමස්ත ලෝක කම්කරු පන්තිය ක්ෂණික ව මුහුණ දී සිටින අභියෝගයක් බව කියා සිටී. මාරක අර්බුදයක කිඳී, ලේ ගංගාවන් හරහා පිහිනා අර්බුදයෙන් එතෙරවීමට මංමුලා සහගත ප්‍රයත්නයක යෙදී සිටින ලෝක අධිරාජ්‍යවාදය, ගාසා සමූලඝාතනවලට එරෙහි ශිෂ්‍ය හා මහජන විරෝධතා නීති විරෝධී කරමින් හා උද්ඝෝෂකයන් සිරගත කරමින් යුද විරෝධීන්ට හා සමාජවාදීන්ට මේ මොහොතේ එල්ල කරමින් සිටින ප්‍රජාතන්ත්‍ර විරෝධී අශිෂ්ඨ ප්‍රහාරයේ කුළු ගැන්වීමක් මෙම ප්‍රහාරයෙන් සනිටුහන් කෙරෙයි. එහි අර්ථය වන්නේ, අධිරාජ්‍යවාදයේ කුරිරු යුද සැලසුම් පරාජය කල හැකි එකම බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තිය ලෙස හඳුනා ගනිමින්, එහි ඒකාබද්ධතාවය සඳහා බොග්ඩාන් ද, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ද, ලෝක සමාජවාදී වෙබ් අඩවිය ද ගෙන යන අරගලය තවදුරටත් දරා සිටීමට අධිරාජ්‍යවාදයට හා එහි සහායකයන්ට නොහැකි වී ඇති බවයි. 

ගෝලීය නිෂ්පාදනය හා ලෝක වෙලඳපොල ද, ඒ මත ආධිපත්‍යය දරා සිටින ධනපති ජාතික රාජ්‍ය පද්ධතිය ද අතර මෝරා වැඩී ඇති ප්‍රතිවිරෝධයන්ගේ ආතතියෙන් මිරිකී ඇති සමස්ත ලෝක ධනපති පර්යායේ අර්බුදය, පෙර නො ඇසූ විරූ තරමේ සමාජ අසමානතාවයක් ලෙසත්, දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව පසුගිය සියවසේ මැද භාගයේ ගොඩ නංවන ලද පාලන ක්‍රම, ජාත්‍යන්තර සම්මුති, අන්තර් රාජ්‍ය සංවිධාන හා දේශසීමා ඇතුළු සමස්ත පර්යාය ම සුනුවිසුනු කරමින් අධිරාජ්‍යවාදී බලයන් ලෝක යුද්ධයක දිශාවට වේගයෙන් ඇද දැමීමක් ලෙසත් ප්‍රකාශයට පත් වෙමින් පවතී. අධිරාජ්‍යවාදය හා එහි බළල් අත් ලෙස ක්‍රියා කරන ධනේශ්වර තන්ත්‍රයන් සන්ත්‍රාසයට පත් ව සිටින්නේ මෙම ලෝක යුද්ධ ප්‍රයත්නයට එරෙහිව වේගයෙන් වර්ධනය වෙමින් පවතින මහජන ව්‍යාපාරයේ ඉදිරි ගමන පිළිබඳව ය. ලෝක යුද්ධයේ මාවත හැර යා හැකි වෙනත් මාවතක් නැති, පසුබැසීමට ඉඩක් නැති අධිරාජ්‍යවාදය එකී මහජන ව්‍යාපාරය තුලින් සමාජවාදී විප්ලවයේ අවතාරය දැකීම අරුමයක් නොවේ. ලෝකයේ රටක් රටක් පාසා ආණ්ඩු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තලා දැමීම කරා පැනගෙන සිටින්නේ එකී තතු මත ය. ලංකාවේ පාලක පන්තිය එක දිගට තබමින් සිටින ප්‍රජාතන්ත්‍ර විරෝධී ආඥාදායක පියවරයන්ට ඔවුන් තල්ලු කෙරෙන්නේ ද එකී අර්බුදයේ කොන්දේසි විසින් ම ය.

දශක තුනකට වැඩි කාලයක් පුරා සෑම දිනක ම යුද වැදී සිටි ඇමරිකානු අධිරාජ්‍යවාදය දැන් නැටෝව මෙහෙයවා ගනිමින් න්‍යෂ්ටික ලෝක යුද්ධයක් කරා වේගවත් පියවර තබමින් සිටී. යුක්‍රේන බලල් අත යොදා ගනිමින් රුසියාව සමඟ යුද වැදීම, මැද පෙරදිග දී ඊශ්‍රායලයේ අපරාධකාරී නෙතන්යාහු ෆැසිස්ට් තන්ත්‍රයේ  සමූලඝාතනවලට ආයුධ, මුදල් හා රාජ්‍ය තාන්ත්‍රික සහාය පිදීම, එම අපරාධවලට එරෙහිව නැඟෙන කම්කරු, ශිෂ්‍ය උද්ඝෝෂන නීති විරෝධී කිරීම හා උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගැනීම අඛණ්ඩව සිදු කෙරේ. ඊට සමගාමීව යුරෝපයේ, ආසියාවේ හා ලෝකය පුරාමත් ආණ්ඩු ස්වාධීන මහජන ක්‍රියාකාරීත්වයන් නීතිවිරෝධී කිරීමේ හා ක්‍රියාකාරීන් දඬුකඳේ ගැසීමේ නියැලී සිටිති. ඊනියා යුක්තියේ මෙහෙයුම නාමයෙන් ලංකාව තුල ද එම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමේ සැලසුම්  මෙහෙයවා ඇති අතර, මෑතක දී කොළඹ ක්‍රියාකාරී කමිටුවේ කැස්බෑව උද්ඝෝෂණයේ උද්ඝෝෂණ පත්‍රිකා අත් අඩංගුවට ගැනීමට හා එහි ක්‍රියාකාරීන්ට බලපෑම් හා තර්ජන කිරීමට පොලීසිය මැදිහත් වූයේ ද මේ තතු යටතේ ම ය. 

මේ අනුව, බොග්ඩාන් සහෝදරයා අත්අඩංගුවට ගැනීමට එරෙහිව නැඟී සිටීම වූ කලී හුදෙක් තරුණයෙකුගේ, සමාජවාදී ජාත්‍යන්තරවාදී විප්ලවවාදියෙකුගේ, ජීවිතය හා නිදහස පිලිබඳ ප්‍රශ්නයක් පමනක් නොවේ. එය ලංකාවේ ද, මේ කලාපයේ ද, හා සමස්ත ලෝකයේ ම ද කම්කරු පීඩිතයන්ගේ ජීවිත හා නිදහස පිලිබඳ ප්‍රශ්නයකි. 

බොග්ඩාන් සයිරොටියුක් වහා නිදහස් කරනු!

ලෝක සමාජවාදී වෙබ් අඩවියට අත නොතබනු!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top