මොරොක්කෝ භූමිකම්පා ව්‍යසනය: ධනවාදය උරුම කර දුන් තවත් එක් ඛේදවාචකයක්

මිගාර මල්වත්ත විසිනි.

දමොරොක්කෝවේ සිව්වන විශාලතම නගරය වන මරකේෂ් සිට දළ වශයෙන් කිලෝමීටර් 70 ක් දකුණින් පිහිටි අල්-හවුස් පළාතේ ඉගිල් අපිකේන්ද්‍රය කර ගනිමින් රික්ටර් පරිමාණයේ 6.8 ක ප්‍රබල භූ කම්පනයක් සැප්තැම්බර් 8 වෙනි සිකුරාදා රාත්‍රී 11ට පමන දකුණු මොරොක්කෝවේ දී සිදු විය. මෙම භූමිකම්පාව කේන්ද්‍රගත වූ උස් ඇට්ලස් කඳුකරයේ කුඩා, හුදකලා ගම් සහ නගරවලට ඉන් විනාශකාරී බලපෑමක් ඇති කළේය. මරණ සංඛ්‍යාව 2900 ඉක්මවා පැවතිනි. 5500 වැඩි පිරිසක් තුවාල ලැබූ අතර, ඉන් බොහොමයකට බරපතලය. කඩා වැටුණු ගොඩනැගිලි යට සිර වී මිය ගිය බොහෝ දෙනෙකුගේ සිරුරු සොයා නොගැනුණි. 

Morocco
2023 සැප්තැම්බර් 11, සඳුදා, මොරොක්කෝවේ, Marrakech අසල, Tafeghaghte ගම්මානයේ භූමිකම්පාවකින් හානියට පත් වූ තම නිවසේ සුන්බුන් අතර යමක් සොයන කාන්තාවක් (AP Photo/Mosa’ab Elshamy) [AP ඡායාරූපය /මොසාබ් එල්ෂාමි]

මෙම භූමිකම්පාවෙන් පුද්ගලයන් 300,000 ක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ. මරාකේෂ් සිට පිළිවෙලින් කිලෝමීටර් 180 සහ 200 ක දුරකින් පිහිටි, බටහිර මොරොක්කෝවේ වෙරළබඩ ඉම්සුවන් (Imsouane) සහ එසුවේරා (Essaouira) යන නගරවලට සහ අපිකේන්ද්‍රයට කිලෝමීටර් 350ක් උතුරින් රබාත් අගනුවරට ද භූමිකම්පාව දැනී තිබුණි.

නමුත්, නවීනතම ඉන්ජිනේරු තාක්ෂණය මගින් භූමිකම්පා ප්‍රතිරෝධී ගොඩනැගිලි ඉදිකිරීම සාර්ථකව කරගෙන යන තතු තුල, තවදුරටත් භුමිකම්පා, රික්ටර් පරිමානයේ ඉහළ අගයක් ගැනීම මගින්ම එම භූමිකම්පාවේ ව්‍යසනකාරී බව තීන්දු වන්නේ නැත.

මන්ද, ලෝකයේ වඩාත්ම භූමිකම්පා ඇති රටවලින් එකක් වන ජපානයේ, 2022 සිදු වූ ෆුකුෂිමා භූමිකම්පාව රිච්ටර් පරිමාණයෙන් 7.4 ක් විය. එහෙත්, ජපානයේ භූමිකම්පාවලට ඔරොත්තු දෙන ගොඩනැගිලි ඉදිකර තිබූ බැවින්, ලක්ෂ තුනකට ආසන්න සංඛ්‍යාවක් වෙසෙන ෆුකොෂිමා නගරයේ එම භූමි කම්පාවෙන් මිය ගියේ තිදෙනෙකු පමණි.  

මෙයින් පෙනී යන්නේ, ආරක්ෂිත ගොඩනැඟිලි නිසි යටිතල පහසුකම් සහිතව ඉදිකර ඇත්නම්, මොරොක්කෝවේ සිදු වූ භූමිකම්පාවට වඩා බලවත් භූමිකම්පාවලින් පවා නගර බේරී සිටිය හැකි බවයි.

ඒ බව මෙම භූමිකම්පාව තුළ දීම දැක ගත හැකි විය. මරණ 2900 කට වැඩි ප්‍රමාණයක් සිදු වූ, රික්ටර් පරිමාණයෙන් 6.8 වූ භූමිකම්පාවෙන්ද, මිලියනයකට ආසන්න ජනගහනයක් සහිත ගෝලීය සංචාරක මධ්‍යස්ථානයක් වන, ශක්තිමත්ව භූ කම්පනයන්ට ඔරොත්තු දෙන ගොඩනැගිලි ඉදිකර තිබූ මරාකේෂ් හි මිය ගියේ 18 දෙනෙකු පමණි. සැබැවින්ම, මරාකේෂ් ට ආසන්න කදුකර ගම්මානවල විනාශයට සාපේක්ෂව මරාකේෂ් හි භූමිකම්පා හානිය ඉතාමත් අල්පය. 

Map
මොරොක්කෝ භූමිකම්පා සිතියම (Encyclopedia Britannica)

වාර්තාගත 2900කට වැඩි වූ මුළු මරණ සංඛ්‍යාවෙන් 2000 කට ආසන්න ගනනක් වාර්තා වී ඇත්තේ, ප්‍රමුඛවම අල්-හවුස් කලාපයේ, තාරූඩන්ට් (Taroudant) හා චිචෝවා (Chicagoland) වැනි කදුකර ප්‍රදේශ වලිනි. එහි මිය ගිය බොහෝ දෙනෙක් කඳුකර ගම්මානවල වැසියෝ වූහ. පැරණි, අවදානමට ලක්විය හැකි ඔවුන්ගේ මඩ ගඩොල් නිවාස භූමිකම්පාවෙන් විනාශ වූ අතර එම සුන්බුන් තුළ සිරවීමෙන් ඔවුහු මිය ගියහ. මරාකේෂ් සිට සැතපුම් 40ක් නිරිත දෙසින් පිහිටි ටෆහෝටා (Tafeghaghte) ගම්මානයේ වැසියන් 200 න් 90 ක් මියගොස් ඇති බව තහවුරු වී ඇත. තවත් දුසිම් ගනනක් අතුරුදහන් වී ඇති අතර ඔවුන්  සුන්බුන්වල සිරවී මිය ගොස් ඇතැයි විශ්වාස කරනු ලබයි. 

අයහපත් තත්ත්වය නිසා ගලවාගැනීමේ කණ්ඩායම් වලට එහි ළඟා වීමට අපහසු වීය. ඉන්ටර්නැෂනල් ජර්නල් ඔෆ් ඩිසාස්ටර් රිස්ක් (International Journal of Disaster Risk) සඟරාව අපේක්ෂා කල අන්දමට, මේ නිසා දරුණුතම බලපෑමට මුහුන පෑ, දුෂ්කර කඳුකර ගම්මානයන්හි මරණ සංඛ්‍යාව ඛේදජනක ලෙස ඉහළ ගොස් තිබුණි. 

2021 දී, ඉහත කී සගරාව මගින් කෝටි 150 ක ජනතාවක්, ලොව පුරා භූමිකම්පා ඇති ප්‍රදේශවල ජීවත් වන බව සොයා ගෙන ඇත. ෆෝබ්ස් සගරාවේ ලැයිස්තුවට අනුව කත්මන්ඩු, ඉස්තාන්බුල්, දිල්ලි, ක්විටෝ, මැනිලා, ඉස්ලාමාබාද්, සැන් සැල්වදෝර්, මෙක්සිකෝ සිටි, ඉස්මීර් සහ ජකර්තා යන මිලියන සංඛ්‍යාත ජනතාවන් ජීවත් වන නගර 10ක්, භූමිකම්පා සිදු විය හැකි විශාල නගර වශයෙන් නම් කර ඇත. භූමිකම්පාවලට ඔරොත්තු දෙන නිවාස තැනීමට අඩු ප්‍රමුඛතාවයක් දෙන බවට 1999 නේචර් සඟරාව අනතුරු අඟවමින් සදහන් කොට තිබුනේ, “අනාගත නගරවල භූමිකම්පාවලට ඔරොත්තු දෙන ඉදිකිරීම් නොමැතිකම අනාරක්ෂිත වනු ඇත,” යනුවෙනි.

අප්‍රිකානු සහ යුරේසියානු භූගෝලීය තැටි අතර වූ දිගු බිදීම් මත මොරොක්කෝව පිහිටා ඇත. එම ප්‍රසිද්ධ භූමිකම්පා කලාපය මොරොක්කෝවේ එමාසිග් (Amazigh) හෙවත් බර්බර් (Berber) ප්‍රජාවගේ නිවහන වේ. 1960 දී අගඩිර් සහ 2004 දී අල් -හොසීමාහි විශාල භූමිකම්පා මේ කලාපය අත් දැක්කේ ය. එහෙත්, මොරොක්කෝවේ හයවන මොහොමඩ් රජුගේ පාලන තන්ත්‍රය මරාකේෂ් වැනි විශාල නගරවල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී මෙම කලාපය ක්‍රමානුකූලව අතහැර දැමීය. ඊට එරෙහිව කලාපයේ වැසියන්ගෙන් පැනනැගි විරෝධතා ද මර්දනය කෙරුනි.

මෑත භූමිකම්පා සිදු වී තිබියදීත් මොරොක්කෝවේ භූමිකම්පා කලාපවල බොහෝ ගොඩනැගිලි සහ විශේෂයෙන් ග්‍රාමීය නිවාස ඉදිකර තිබුනේ කම්පනවලට ඔරොත්තු දීමට නොවේ. එහෙයින්, දිලිදු ග්‍රාමීය මොරොක්කෝ වැසියන්ට සිදු ව ඇත්තේ අනාරක්ෂිත මඩ ගඩොල් නිවාසවල ජීවත්වීමට ය. එපමණක් නොව, හදිසි ආපදාවක දී, ඊට ප්‍රතිචාර දැක්වීමට සැලකිය යුතු, කිසිදු සැලසුමක් රජය සිදු කර නොතිබුණි.

ඉතා දුර්වල යටිතල පහසුකම් නිසා සාමාන්‍ය දිනක දී වුවත් ප්‍රවේශ වීමට අපහසු , වඩාත්ම දුෂ්කර කලාපයකි එය. රෝහල් පද්ධතිය ද ඉතා දුර්වල තත්ත්වයක පවති. භූමිකම්පාව හේතුවෙන් ඇති වූ සුන්බුන් වලින් මාර්ග පද්ධතිය ඇහිරී තිබූ නිසා, එම කලාපයට ප්‍රවේශ වීම වඩා දුෂ්කර වී තිබුණි. එහෙයින් මෙම ආපදාව සදහා ක්ෂණික ආධාර ලබා දීමට යම් ආශ්චර්යයක් සිදු විය යුතු යැයි, මොරොක්කෝව පිලිබඳව අධ්‍යයනය කරන ස්ටැන්ෆෝර්ඩ් විශ්ව වවිද්‍යාලයේ පර්යේෂකයෙකු වන සමියා එරැසවුකි ( Samia Errazzouki ) පැවසුවාය.

එක්සත් ජනපදයේ සහ ප්‍රංශ අධිරාජ්‍යවාදයේ දිගුකාලීන මිත්‍රයෙකු වූ මොරොක්කෝවේ හයවන මොහොමඩ් රජු, භූමිකම්පාව සිදු වන විට පැරිසියේ අයිෆල් කුළුණ අසල පිහිටි ඔහුගේ යුරෝ මිලියන 80 වටිනා මන්දිරයේ නිවාඩුවක් ගත කරමින් සිටියේය. ඔහු නැවත මොරොක්කෝවට පැමිනිය ද මේ සම්බන්ධව කිසිදු බැරෑරුම් ප්‍රකාශයක් කළේ නැත. එමෙන්ම, ආන්ඩුවේ වෙනත් නිලධාරියෙකුවත් ඒ පිලිබද ව ප්‍රකාශයක් නිකුත් කොට නොතිබුනි.

භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ගේ දුක්ඛිත තත්වය පිළිබඳ දක්වන උදාසීනත්වයේ දී මොරොක්කෝ රජු අභිබවා ගියේ මොරොක්කෝවේ හිටපු යටත් විජිත බලයක් වූ ප්‍රංශය පමණි. ප්‍රංශයේ මොරොක්කෝ ඩයස්පෝරාව මිලියන 1.5 කට අධික ජනතාවක් සිටින අතර මරාකේෂ් යනු ප්‍රංශයේ ඉතා ජනප්‍රිය නිවාඩු ගමනාන්තයකි. 

මෙහි දී මොරොක්කෝ රාජාණ්ඩුව ප්‍රංශයට වඩා ස්පාඤ්ඤ, බ්‍රිතාන්‍ය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයන්හි ගලවා ගැනීමේ කණ්ඩායම්වලට ආරාධනා කිරීමට කැමති බව ඇඟවීමෙන් පසු, ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ රජය මොරොක්කෝවේ බේරා ගැනීමේ කටයුතු වලට සහ එහි සංවිධානවලට ආධාර වසයෙන් යුරෝ මිලියන 5 ක සොච්චමක් පරිත්‍යාග කරන බවට නිවේදනය කළේය. එහෙත්, රුසියාවට එරෙහි නේටෝ යුද්ධය සඳහා මැක්‍රොන් යුක්රේනයට යවා ඇති සීසර් බර කාලතුවක්කු පද්ධති 30 න් එකක වටිනාකම මොරොක්කෝවට පරිත්‍යාග කළ මුදලට සමාන වේ!

මෙම නොසලකා හැරීමෙන් හා ව්‍යසනය සුලු කොට සැලකීමෙන් පෙනී යන්නේ, කම්කරු පීඩිත මහජනතාවගේ ජීවිත කෙරෙහි පාලක පන්තියේ අවඥා සහගත ආකල්පය යි.  ධනපති අර්බුදය දිනෙන් දින උඩු දුවන තත්ත්වයේ දී ධනපති ක්‍රමය තුළ ස්වකීය අර්බුදය ජය ගැනීමට ධනපති පන්තිය, කම්කරු පන්තියේ සියලු සුබසාධනයන් කප්පාදු කොට ස්වකීය ලාභ අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම පමණක් තෝරා ගැනීමට සිදු වීම මෙම මහා ව්‍යසනයන් පිටුපස පවතින වෛෂයික යථාර්ථයයි.

පෙබරවාරියේ, තුර්කියේ සහ සිරියාවේ සිදු වූ භූමිකම්පාවෙන් 50,000 කට වැඩි පිරිසක් මිය ගියේ ය. භූමිකම්පාවෙන් පීඩාවන්ට පත් වූ දහස් ගණනක් තවමත් කූඩාරම්වල ජීවත් වේ. ඔවුන්ගේ මෙම ගැටළුව විසදීමට තුර්කි ආන්ඩුවට කිසිදු වැඩ පිළිවෙලක් නැත. එකී පාලනය යටතේ, ඔවුන්ට බල කෙරෙනු ඇත්තේ යලි එම ප්‍රදේශ වලට ගොස්, නිවාස තනා ගෙන පෙර පරිදි ජීවත් විමටත් අනාගතයේ ඇති වන භූමිකම්පාවන් තුල දස දහස් ගණනින් මිය යෑමටත් ය.

පසුගිය සැප්තැම්බර් 10 දා, ලිබියාවේ ඩර්නා නගරයට ආසන්නව පිහිටා තිබූ වේලි දෙකක් පුපුරා ගොස්, ඩර්නා නගරය හා ඒ අවට ප්‍රදේශය ජලයෙන් යට වීමෙන් 20, 000 වැඩි ගනනක්ගේ ජීවිත විනාශ කෙරුනි. එය ද ස්වභාවික විපතක් ලෙස අර්ථ දැක්වීමට ධනපති මාධ්‍ය මගින් උත්සාහ කරනු ලැබුවද , එම ව්‍යසනය පිටුපස පවතින සාධකය වන්නේ, 2011 ලිබියාවට එරෙහි නේටෝ ආක්‍රමණයයි. එහි ප්‍රතිඵලයක් ලෙස අධිරාජ්‍යවාදීන්ගේ හා වෙනත් ධනපති බලවේගයන්ගේ පිටුබලය ලබන ප්‍රතිවාදී ධනපති කල්ලි කණ්ඩායම් අතර ඉන්ධන සම්පත මත සිය ආධිපත්‍යය තහවුරු කර ගැනීමේ දශකයකට වැඩි කාලයක් ඇදී ගිය සිවිල් යුද්ධයකට තල්ලු විය. එමගින් රටේ යටිතල පහසුකම් පද්ධතිය සම්පූර්ණ නොතකා හැරිනි.

ඊට අමතරව, මේ සදහා ඇති වඩාත් ප්‍රශස්ත උදාහරණය නම්, 2019 වසරේදී ඉස්මතු වී, විටින් විට, රැළි වශයෙන් මතුවෙමින්, අද දක්වාම ලොව පුරා ව්‍යාප්තව පවතින, කොවිඩ් වසංගතයි. මේ වන විට එමගින් මරා දැමූ මිනිස් ජීවිත සංඛ්‍යාව කෝටි 3 ඉක්මවනු ලබයි. එනම් පලමු වන ලෝක සංග්‍රාමය මගින් විනාශ වූ ජීවිත සංඛ්‍යාවට වඩා 1 කෝටියක් මේ වන විටත් වැඩිය. මේ වසංගතය පුපුරා යන මොහොතේම නිසි පරිදි අගුළු දැමීම් ඇතුළු සෞඛ්‍ය පියවර ගනු ලැබුණි නම්, සති කිහිපයක් තුළ මෙම වෛරසය ලෝකයෙන් තුරන් කළ හැකිව තිබුණි. නමුත් එහි බර පැන දැරීමට ධනපති ආන්ඩු සූදානම් නොවීය. ඔවුන්ගේ උත්සුකය වූයේ ධනපති ආර්ථිකය රැකීමයි.

මර්දනය කල හැකිව තිබූ වෛරස් රෝගයක් මිලියන ගනනින් ජීවිත අහිමි කල ගෝලීය වසංගතයක් බවට පත් වූයේත්, ඉවක් බවක් නොමැතිව කාබන් වායුව වායුගෝලයට මුදා හැරීමෙන්, මධ්‍යධරණී මුහුද අධික ලෙස රත් වීමෙන් ඒ හරහා හමා ගිය, ඩැනියෙල් කුණාටුව අති බිහිසුනු වූයේත්, ලිබියාවේ ඩර්නා නගරයට ආසන්නව පිහිටා තිබූ වේලි දෙක කඩා බිද වැටී, ඩර්නා නගරය හා ඒ අවට ප්‍රදේශය ගංවතුරට යට වීමෙන් 20,000 වැඩි පිරිසක් මරණයට පත් වූයේත්, පසුගිය පෙබරවාරියේදී ඇති වූ තුර්කි-සිරියානු භූමිකම්පාව,  මොරොක්කෝ භූමිකම්පාව මගින් දහස් ගණනක් මිය ගොස් ඛේදවාචකයන් බවට පත්වූයේත්, ඇෆ්ගනිස්ථානයේ ඔක්තෝම්බර් අග සිදුවූ භූමිකම්පා මගින් තවත් දස දහස් ගනනකට උන්හිටි තැන් අහිමි කෙරුනේත් මෙම ලාභ ගරන පද්ධතියේ ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය කර ඇති, පාරිසරික, සමාජ, ආර්ථික හා දේශපාලන කොන්දේසි හේතුවෙනි.

වර්තමානයේ දී, සමාජ සුබසාධනයට හා මහජන යටිතල පහසුකම් සදහා වෙන්කරන ඉතා සුළු මුදලක් වුව සිය ලාභ අවශ්‍යතාවයට මාරකව පිහිටා ඇති බැවින්, ලෝකයේ, සෑම ජාතික ආන්ඩුවකම පාලනයේ සිටින ධනේශ්වර පන්තිය, මේ වන විට ඒ සියලු දේ ප්‍රතික්ෂේප කර ඇත. ඒ වෙනුවට, 1990 සිට, යුගෝස්ලාවියාව, ඇෆ්ගනිස්ථානය, ඉරාකය, ලිබියාව, සිරියාව මාලි සහ යුක්රේනයේ එක්සත් ජනපද-නේටෝ යුද්ධ හා වර්තමානයේ පලස්තින මහජනතාවට එරෙහිව ඊශ්‍රායලය ගෙනයන සංහාරය සඳහා මේ වන විට,  ඩොලර් ට්‍රිලියන ගනනක් වියදම් කර ඇති අතර, තවත් ඩොලර් බිලියන ගණනක් ඒ සදහා වෙන් කර ඇත. ලෝක ජනගහනයෙන් අඩක සතු ධනයට සමාන මුදලක්, අද ලෝකයේ ධනවත්ම පුද්ගලයන් අට දෙනා සතුව ඇත. නමුත්, පහසුවෙන් සුවකළ හැකි මෙන්ම නිවාරණය කල හැකි රෝග නිසා මිලියන ගණනින් මහජනතාව මිය යන අතර, මෙසේ භූමිකම්පා අවධානම් ප්‍රදේශවල,  භූමිකම්පාවකදී ඔවුන්ව මරණයට පත් කළ හැකි නිවාසවල විශාල පිරිසක් ජීවත් වෙති.

උමතු ආකාරයෙන් ධනය පසුපස හඹා යන,  වෙනසක් සඳහා වන ඉල්ලීම් වලට මිලිටරිවාදීමය ආකාරයෙන් පිලිතුරු දෙන, ඉතා කුඩා, වගකීම් විරහිත පාලක ප්‍රභූවක්, ජනගහනයේ යහපැවැත්මට සහ පැවැත්මට පවා අත්‍යවශ්‍ය අතිවිශාල සමාජ සම්පත් යුද්ධය හා මර්දනය පිනිස නාස්ති කරන යථාර්ථයකට ලොව පුරා කම්කරු පන්තිය මුහුන දී සිටී. 

කම්කරු පන්තියේ ඉදිරි මාවත නම්, සමාජ සම්පත් පුද්ගලික ලාභයට යටත් කිරීමට එරෙහිව, ඒවා ධනපති ග්‍රහනයෙන් උදුරා ගැනීමෙන් ඒවා පාලනය කිරීම සහ භූමිකම්පා ආරක්ෂාව ඇතුළු මූලික සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා ඒවා භාවිතා කිරීමයි. ප්‍රන්ස හමුදා නයිජර්, මාලි සහ බර්කිනා ෆේසෝ වැනි රටවලින් ඉවත් විය යුතු යැයි ද, පලස්තින ජන සංහාරය වහා නවතා දමන ලෙස කම්කරුවන් හා තරුනයින් විශාල පිරිසක් ඉල්ලා සිටින තතු යටතේ, යුරෝපය හා අප්‍රිකාව පුරා කම්කරු පීඩිත මහජනතාවගේ කෝපය පුපුරා යද්දී – එවන් අරගලයක් සඳහා වෛෂයික කොන්දේසි මතුවෙමින් තිබේ. ධනවාදයට එරෙහිව සහ සමාජවාදය සඳහා අරගලයක් තුල අප්‍රිකාවේ, යුරෝපයේ හා ජාත්‍යන්තරව කම්කරුවන් එක්සත් කිරීම අත්‍යවශ්‍ය වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top