මහජන නැගිටීම මධ්‍යයේ බංග්ලාදේශ අගමැති ඉන්දියාවට පලා යයි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 අගෝස්තු මස 8 වන දින ඉංග්‍රීසි බසින් පල වූ, ‘Bangladeshi Prime Minister flees to India amid mass uprising යන ශීර්ෂය  යටතේ කීත් ජෝන්ස් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු  විසිනි.

බංගලිදේශයේ දීර්ඝ කාලීන අගමැතිනි ෂීක් හසීනා, ඇගේ වඩ වඩාත් කුරිරු අත්තනෝමතික පාලනයට එරෙහි මහජන නැගිටීමක් මධ්‍යයේ සඳුදා රටින් පලා ගියාය .

2024 අගෝස්තු 5, සඳුදා, බංග්ලාදේශයේ ඩකාහි, අගමැතිනි ෂේක් හසීනාගේ ඉල්ලා අස්වීම සමරමින්  විරෝධතාකරුවන් සටන් පාඨ කියති. [AP Photo/Rajib Dahr]

 රූපවාහිනියෙන් ජාතියට ප්‍රකාශයක් කරමින් හසීනා ඉල්ලා අස් වූ බව හමුදා ප්‍රධානී ජෙනරාල් වකර්-උස්-සමන් ප්‍රකාශ කළේ, හමුදා පරිවාර සමඟ හසීනා සහ ඇගේ සොහොයුරිය ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ  දිස්වීමෙන් පැය ගනනකට පසුවය.පසුගිය වසර 15 තුළ බංග්ලාදේශ රජයට නායකත්වය දුන් හසීනා සිය පාලන තන්ත්‍රය සමඟ සමීප සබඳතා පවත්වන ඉන්දියාවට පියාසර කර ඇති බව පසුව දැනගන්නට ලැබුණි.

මිලියන 170 ක ජනතාවක් සිටින රට “විප්ලවවාදී කාලපරිච්ඡේදයක් පසු කරමින් සිටින” බව ප්‍රකාශ කරමින් ජෙනරාල් වකර්-උස්-සාමාන් කියා සිටියේ, නව ආන්ඩුවකට සාමකාමී සංක්‍රමණයක් සහ යථා තත්ත්වයට පත් කිරීම හමුදාව විසින් අධීක්ෂණය කරනු ඇති බවයි. ඔහු දැනටමත් විපක්ෂ නායකයින් සහ “සිවිල් සමාජ” කණ්ඩායම් සමඟ සාකච්ඡා කර ඇති බව කියා සිටියේය.

ජනරාල්වරයා , සාමාන්‍ය ජනතාව වීදිවලින් ඉවත් වන ලෙස ඉල්ලා සිටිමින්,  ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු අඟහරුවාදා උදෑසන පාසල්, විද්‍යාල, කර්මාන්තශාලා සහ කාර්යාල නැවත විවෘත කරන ලෙස නියෝග කළේය. මහජන කෝපය සමනය කිරීමට උත්සාහ කරමින්, වකර්-උස්-සමාන් ජනතාවගේ මිතුරෙකු ලෙස පෙනී සිටියේය. ඔහු සපථ කලේ, “මම ඔබ සැමට පොරොන්දු වෙනවා”  “අපි සියලු මිනිස් ඝාතන වලට යුක්තිය ඉටු කරන්නෙමු … රටේ හමුදාව කෙරෙහි විශ්වාසය තබන්න. කරුණාකර ප්‍රචණ්ඩත්වයේ මාවතට ආපසු නොයන්න, කරුණාකර ප්‍රචණ්ඩකාරී නොවන සහ සාමකාමී මාර්ග වෙත ආපසු යන්න.” 

ජෙනරාල්වරයා කතා කරද්දී, ජාතික අගනුවර වන ඩකාහි වීදි දිගේ ප්‍රීති ඝෝෂාකාරී ජන ගගක් ගලමින් තිබුනි. අග්‍රාමාත්‍යවරයාගේ නිවසට සහ රජයේ ගොඩනැගිලි කිහිපයකට කඩා වැදී කොල්ලකන ලදී. නිව් යෝර්ක් ටයිම්ස්, හසීනාගේ නිවසට ඇතුළු වූ දහස් සංඛ්‍යාත ජනතාව අතර සිටි බව කියා සිටි ඇඟලුම් සේවක මොන්සුර් අලි උපුටා දැක්වීය. “අපි එතනට ගියේ තරහෙන්. එහි කිසිවක් ඉතිරි වෙලා නෑ. ”

සෑම දෙයකින්ම ඇඟවුම් කෙරෙන්නේ, ලේ වැකි මර්දනය හරහා තනතුරේ එල්ලී සිටීමට ඇය දැරූ උත්සාහය බංග්ලාදේශ ධනවාදය භයානක ලෙස අස්ථාවර කරන බව නිගමනය කිරීමෙන් පසුව, හමුදාවේ ඉහළ නිලධාරීන් හසීනාට බලය අත්හැරීමට බල කළ බවයි.

කම්කරු පන්තිය තවමත් ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස අර්බුදයට මැදිහත් වී නැත. එහෙත් රජයේ රැකියා වෙන්කිරීමේ ප්‍රතිගාමී ක්‍රමයක් සම්බන්ධයෙන් පසුගිය මස මුලදී විශ්ව විද්‍යාල සිසුන් විසින් ආරම්භ කරන ලද විරෝධතා ව්‍යාපාරයට වැඩකරන ජනතාව වැඩි වැඩියෙන් එකතු වී ඇත. ඔවුන් එසේ කර ඇත්තේ රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට එරෙහි වීමට සහ මහා විරැකියාව,  උග්‍ර දරිද්‍රතාවය සහ දිනෙන් දින ගැඹුරු වන සමාජ අසමානතාවය කෙරෙහි ඔවුන්ගේ කෝපය ප්‍රකාශයට පත් කිරීමට ය.

මිලිටරිය සහ පාලක පන්තිය පැහැදිලිවම භිය වන්නේ රටේ දැවැන්ත ඇඟලුම් කර්මාන්තයේ  දිගැස්සුනු කඩාකප්පල්වීිම, ලාභ අඩු කර, රටේ ආර්ථික අර්බුදය උග්‍ර කිරීමට සහ සේවක අසහනයට ඉන්ධන සපයනු ඇති බවයි.

ඉරිදා, රට පුරා ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන් සහ ආරක්ෂක හමුදා අතර ඇති වූ ගැටුම්වලින් පොලිස් නිලධාරීන් 13 දෙනෙකු ඇතුළු සියයකට ආසන්න පිරිසක් මිය ගියහ. එමගින්, විරෝධතා ව්‍යාපාරය ආරම්භ වූ දා සිට සිදුවූු මරණ සංඛ්‍යාව 300 ඉක්මවා ගියේය.

මර්දනය සහ ආන්ඩුවේ  පුර්ණ ඇඳිරි නීතිය නොතකා, ‘වෙනස් කොට සැලකීමට එරෙහි ශිෂ්‍යයෝ’ (Students Against Discrimination) හසීනා ඉල්ලා අස්වන ලෙස බල කිරීම සඳහා ඩකා හි අගමැති නිල නිවස වෙත සඳුදා මහා පාගමනක් කැඳවූහ.

සඳුදා වනතුරු හසීනා දැඩි පිළිවෙතක් අනුගමනය කරමින්, සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව, කුප්‍රකට ත්‍රස්ත-විරෝධී හදිසි ක්‍රියාකාරී බලඇණිය ඇතුළු පොලිසිය සහ ඇගේ දේශපාලන පක්ෂය වන අවාමි ලීගය විසින් සංවිධානය කරන ලද මැරයන්  මුදා හැරියාය. ඇය සිසුන් “ත්‍රස්තවාදීන්” ලෙස හෙලා දකිමින්  ආන්ඩුවේ ඇඳිරි නීතිය කඩ කරන අය ” මරා දැමීමට වෙඩි තැබීමේ” නියෝග ලබා දුන් අතර, ව්‍යාපාරය ප්‍රධාන විරුද්ධ පක්ෂ වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (the Bangladesh Nationalist Party- BNP) සහ  ඉස්ලාමීය වර්ගවාදී පක්ෂයක් වූු ජමාත්-ඊ- ඉස්ලාමි (Jamaat-e-Islami) විසින් සංවිධානය කර ඇති බව ව්‍යාජ ලෙස ප්‍රකාශ කළාය. 

විරෝධතාවලට එරෙහිව හමුදාව යොදවා තිබියදීම, ඒවා ප්‍රචණ්ඩ ලෙස මර්දනය කිරීමේ උත්සාහයේදී පොලිසිය ප්‍රධාන භූමිකාවක් ඉටු කළේය. දහස් ගණනක් අත්අඩංගුවට ගැනීම ඊට ඇතුළත් විය. පුවත්පත් වාර්තාවලට අනුව, පසුගිය සිකුරාදා පැවති රැස්වීමක දී කනිෂ්ඨ නිලධාරීන් නිරායුධ විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට සිදුවීම ගැන සිය ඉහළ නිලධාරීන්ට කනස්සල්ල පළ කළහ.

හමුදා මාණ්ඩලික ප්‍රධානියා හසීනාගේ ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කිරීමෙන් පැය කිහිපයකට පසු, බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් පැවසුවේ, නාවික හා ගුවන් හමුදා ප්‍රධානීන්, විපක්ෂ නායකයින් සහ  ජෙනරාල් වකර්-උස්-සමාන් සමඟ රැස්වීමක තමා මුලසුන දැරූ බවයි.

“අන්තර්වාර ආන්ඩුවක්” පිහිටුවීමට ඉඩ සැලසීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව රැස්වීමේදී තීරණය කළ බවත්, “පවත්නා අරාජික තත්ත්වය සාමාන්‍යකරණය කිරීමට හමුදාව පියවර ගනු ඇති” බවත් ජනාධිපතිවරයා පැවසීය.

හසීනාගේ අවාමි ලීගය විසින් ආධිපත්‍යය දරන වත්මන් පාර්ලිමේන්තුව, පසුගිය ජනවාරියේ දී BNP ය සහ එහි මිත්‍රපක්ෂයන්, වඩාත් වැදගත් ලෙස ජමාත්-ඊ-ඉස්ලාමි වර්ජනය කළ, ඡන්දයකින් තේරී පත් විය. සිය දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමේ ආන්ඩුවේ වාර්තාව සහ මැතිවරනය අධීක්‍ෂණය කිරීම සඳහා භාරකාර ආන්ඩුවක් පත් කිරීමට ඉඩ දීම ප්‍රතික්ෂේප කිරීම, ඔවුන් හේතු වශයෙන් දැක්වූහ.

දූෂණ නඩුවක් සම්බන්ධයෙන් 2018 දී සිරගත කරන ලද BNP හි දිගුකාලීන නායිකා කලීඩා (Khaleda Zia) වහාම නිදහස් කළ යුතු බවට රැස්වීම එකඟ වූ බව ද ජනාධිපති ෂහාබුදීන් නිවේදනය කළේය.

ධනේශ්වර පාලනයේ ආරක්‍ෂාව වන සහ මර්දනයේ හා ආඥාදායකත්වයේ කුප්‍රකට වාර්තාවක් ඇති බංග්ලාදේශ හමුදාවේ මැදිහත්වීම ‘වෙනස් කොට සැලකීමට එරෙහි ශිෂ්‍යයෝ’ හි නායකයන් සාදරයෙන් පිළිගෙන ඇත. සියලුම වාර්තා පොරොන්දු වූ අන්තර්වාර රජය පිහිටුවීමට ශිෂ්‍ය සංගමය ක්‍රියාකාරීව සහභාගී වන බව  පෙන්නුම් කරයි.

එවන් ආන්ඩුවක්, රට යථා තත්ත්වයට පත් කිරීම සහ ඩොලර් බිලියන 4.7ක IMF ඇපදීමේ නයකට හිලව් වශයෙන් හසීනාගේ නායකත්වයෙන් යුත් අවාමි ලීග් ආන්ඩුව  2023 දී එකඟ වූ කප්පාදු හා පුද්ගලීකරන පියවරයන්  අඛණ්ඩව ක්‍රියාවට නැංවීමේ වගකීම පැවරී ඇති දක්ෂිනාංශික ධනේශ්වර තන්ත්‍රයක් වනු ඇත.

අන්තර්වාර ආන්ඩුව තුළ BNP යට සහ එහි මිත්‍රපක්ෂයන්ට  ප්‍රමුඛ ස්ථානයක් හිමි වීම සදහා  බොහෝ දුරට ඉඩ ඇත. නමුත් හමුදාව සිංහාසනය පිටුපස බලය ලෙස පවතිනු ඇත.

බංග්ලාදේශයේ නිල දේශපාලනය දශක ගණනාවක් තිස්සේ,  හසීනා සහ ඇගේ අවාමි ලීගය සහ සියා සහ ඇගේ BNP අතර ඇති දැඩි එදිරිවාදිකම් වටා කැරකෙමින් තිබින. බංග්ලාදේශ නිදහස් අරගලයේ ප්‍රමුඛතම දේශපාලන නායකයා සහ රටේ එවක ජනාධිපති වූ ඇගේ පියා වූ ෂේක් මුජිබර් රහ්මාන් 1975 දී ඝාතනය කිරීමෙන් පසුව, සාර්ථක හමුදා කුමන්ත්‍රණයක කොටසක් ලෙස හසීනා අවාමි ලීගයේ නායකත්වයට පත් වූවාය.

සියා, 1983 දී BNP හි තථ්‍ය නායකයා බවට පත් වූයේ, ඇගේ  සැමියා වූු පක්ෂයේ නිර්මාතෘ සහ බංග්ලාදේශයේ පස්වන ජනාධිපති සියාඋර් රහමන් (Ziaur Rahman) හමුදා නිලධාරීන් කණ්ඩායමක් විසින් ඝාතනය කිරීමෙන් වසර දෙකකට පසුවය.

මෙම පක්ෂ දෙකම ජාත්‍යන්තර ප්‍රාග්ධනයට අවනත වූද, විස්තීර්ණ ගජමිතුරු ධනේශ්වර සහ දූෂිත අනුග්‍රහ ජාලයන් ඇතිවූද , තම දේශපාලන ප්‍රතිවාදීන්ට එරෙහිව මර්දනය සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී සටකපටකම් භාවිතා කර ඇතිවූද පක්ෂ වන අතර, කම්කරු පන්තිය තුලින් වන ඕනෑම බැරෑරුම් විරුද්ධ ව්‍යාපාරයකට  යකඩ හස්තයකින් මුහුණ දී ඇත.

BNP ය, ශිෂ්‍ය ව්‍යාපාරයට තම “සහාය” ප්‍රකාශ කළේ, ආන්ඩුවේ මර්දනයට එරෙහිව මහජනයා කෝපයෙන් වීදි බැසීමෙන් පසුව, ජූලි මැදදී පමනි.

ලෝකයේ අටවන වැඩිම ජනගහනය සහිත රට වන බංග්ලාදේශයේ දැන් දිග හැරෙමින් පවතින අර්බුදය සහ වසර දෙකකට පෙර ශ්‍රී ලංකාව කැළඹූ අර්බුදය අතර බොහෝ සමානකම් තිබේ. 2022 ජූලි මාසයේදී මහජන විරෝධතා සහ වැඩවර්ජන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පන්නා දැමීය. එහෙත් වෘත්තීය සමිතිවල සහ විරුද්ධ පක්ෂවල සහය ඇතිව,  ප්‍රකාශිතවම මහා ව්‍යාපාරික ගැති සහ වොෂින්ටන් ගැති රනිල් වික්‍රමසිංහ යටතේ නව ආන්ඩුවක් ඉක්මනින්ම පිහිටුවන ලදී.  එය ම්ලේච්ඡ ජාමූඅ කප්පාදු පියවර මහජනයා මත පටවන අතරම කම්කරු පන්තිය සමග ප්‍රචණ්ඩකාරී ගැටුමක් සඳහා සූදානම් වෙමින් රාජ්‍යයේ මර්දනකාරී බලවේග ගොඩ නගා  ඇත.

සමාන ප්‍රතිඵලයක් වැලැක්වීම සඳහා, බංගලාදේශ කම්කරුවන් සහ සිසුන් ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ වැඩපිලිවෙල මත පදනම් වූ නව මගක්  සැලසුම් කළ යුතුය – එනම් 1917 ඔක්තෝබර් රුසියානු විප්ලවය සහ ඉක්බිතිව එහි ස්ටැලින්වාදී පරිහානියට එරෙහි අරගලය සජීවීකරණය කල වැඩසටහනයි. බංග්ලාදේශයේ කම්කරු පන්තිය සමස්ත දේශපාලන සංස්ථාපිතයට සහ පාලක පන්තියේ සියලුම කොටස්වලට සහ එහි රාජ්‍ය යාන්ත්‍රණයට එරෙහිව ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස පිහිටුවා ගත යුතුය. ආර්ථික ජීවිතයේ සමාජවාදී ප්‍රතිසංවිධානයට සහ අධිරාජ්‍යවාදයට හා ගෝලීය ප්‍රාග්ධනයට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට කැපවී සිටින, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන අරගලය තුල ග්‍රාමීය කම්කරුවන් තමන් පිටුපස පෙළගස්වා ගැනීමට එය උත්සාහ කල යුතුය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top