නන්දන නන්නෙත්ති විසිනි.
කුඩු ජාවාරම “නැවැත්තුවේ නැති වුනොත් අපට සිද්ධ වෙනවා ඒ අය හොයාගෙන යන්න. ගැටුමක් ඇති වුනොත් ඒගොල්ලන්ට මැරුම්කන්න වෙනවා,“යැයි ආන්ඩුව නීති වරෝධී මත් ද්‍රව්‍ය හා පාතාලයට එරෙහිව යැයි දියත් කර ඇති යුක්තියේ මෙහෙයුමේ ක්‍රියාකාරීත්වය ගැන පසු ගිය සෙනසුරාදා යාපනයේ දී පැවති රැස්වීමක දී මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් යලි ප්‍රකාශ කලේ ය. රාජ්‍ය භීෂනය පීඩිත මහජනයා මත දිගේලී කිරීම තීව්‍ර කිරීමේ හා අඛන්ඩව පවත්වා ගෙන යාමේ පියවරක් ලෙස 20 දා පාතාලය මර්දනය කිරීමට යැයි කියමින් තවත් පොලිස් විශේෂ බලඇනි 20 ක් මුදා හරිමින් පොලිස්පති කීවේ මාස කිහිපයකින් පාතාලය “අවසන් කරන” බවයි.
පසු ගිය 11 දා රාත්‍රි පිටිගල සහ අම්බලන්ගොඩ ස්ථාන දෙකක දී වාර්තා වූ, සිව් දෙනෙකුගේ ජීවිත අහිමි කල හා තවත් හයදෙනෙකුට තුවාල සිදු කල, වෙඩි තැබීම් සිද්ධි දෙක පිලිබඳ සඳහන් කරමින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ද ඇමතිවරයා කී දෙය තවත් ආකාරයකින් අම්බලන්ගොඩ දී ප්‍රකාශයට පත් කර තිබිනි. “ඒ වගේ ක්‍රියාවල නිරත වන පිරිස්වලට තේරෙන භාෂාවෙන් ම පිලිතුරු දෙන්න අපි ක්‍රියා කරනවා“ යි ඔහු කී ය.
ශ්‍රී ලංකා පොලිස්පති පෙර සදහන් ප්‍රකාශ කරන අවස්ථාව වන විටත්, ඊට පෙර දින පෑලියගොඩ පොලිසිය අත් අඩංගුවට ගත් සැකකරුවකු වෙඩි තබා ඝාතනය කර තිබිනි. ජනවාරි 24 දින කලපලුවාවේ ධම්මරතන නම් භික්ෂුව ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස හම්බෙගමුව පොලිසිය විසින් 10 දා අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරුවා පෑලියගොඩ පොලිසියට බාර දෙන ලදී. සැකකරු යුද හමුදා කොමාන්ඩෝ බලකායේ සේවය කර ඇති පොලොන්නරුව අරනගම්විල පදිංචි කල්හාර දිල්ශාන් නමැති දරුනු අපරාධකාරයෙකියි පොලිසිය කියයි. පෑලියගොඩ පොලිසිය පසු දින රාත්‍රී 11ට පමන අන්තනගල්ල, ඌරාපොල ලිහිනියා ඇල ප්‍රදේශයට ඔහු රැගෙන ගොස් ඩෙඩි තබා මරා දැමුවේ ය. මාංචු දමා සන්නද්ධ පොලිස් බලකායක ආරක්ෂාව යටතේ ගෙන ගිය මේ පුද්ගලයා “පොලිස් නිලධාරියෙකු හෙලකට තල්ලු කර දමා පලා යාමට තැත් කරද්දී වෙඩි තැබූ” බව දිවයින වාර්තා කර ඇත.
මේ අනුව, ඉහත නිවේදනවලින් පැහැදිලි වන පරිදි, යුක්තියේ මෙහෙයුම යනු අධිකරන ක්‍රියා පටිපාටියට පිටින්, පිලිගත් මිනිස් අයිතිවාසිකම් හා පවතින නීති උල්ලංඝනය කරමින් මිනිසුන් ඝාතනය කිරීම දක්වා බලය පාවිච්චි කිරීමට පොලිසියට අවසර දෙන ආන්ඩුවේ ත්‍රස්ත ව්‍යාපාරයකි.
ගිය වසරේ දෙසැම්බර් 17 දින සිට පොලිස් මෙහෙයුමක් ලෙස දියත් වූ මෙහෙයුම, මෙම මාර්තු 11 සිට පුලුල් කරමින් යුද හමුදාව ද ඒ සඳහා යොදා ගැනීමට තීන්දු කෙරුනි. ඒ වන විට රට පුරා වැටලීම් 68,931ක් සිදු කර රුපියල් කෝටි 85ක මත් ද්‍රව්‍ය සහ විවිධ වැරදි සම්බන්ධ සැකකරුවන් 68,577ක් අත් අඩංගුවට ගත් බව පොලිසිය වාර්තා කර තිබිනි. බොරු චෝදනා මත අත්අඩංගුවට ගත් බොහෝ අහිංසකයින් මීට ඇතුලත් ය. පොලිස් වාර්තා අනුව රුපියල් කෝටි 72 ක දේපල නීතිවිරෝධී වත්කම් ඒකකය මගින් අත් අඩංගුවට ගෙන පැවතිනි. තහනම් මත්ද්‍රව්‍ය ජාවාරම පවත්වාගෙන යන මහා ව්‍යාපාරිකයන්ට ඊනියා මෙහෙයුම ලඟා නො වන නිසා මෙම සංඛ්‍යාවලින් පාඨකයා මුලාවට පත් නො විය යුතු ය.
යුක්තියේ මෙහෙයුම මගින් තහනම් මත්ද්‍රව්‍ය ව්‍යාපාරය පාලනය කල බවට වාර්තාවක් නැත. නමුත් මෙහෙයුම බස් රථ තුල කාන්තාවන්ට ලිංගික හිරිහැර කරන පුද්ගලයන් සෙවීමේ සිට යාචකයන් අත් අඩංගුවට ගැනීම දක්වා දිගු කර ඇත. පෙබරවාරී 26දා, නුගේගොඩ, පාගොඩ පදිංචිව සිටි 69 හැවිරිදි මඩවලගේ නිව්ටන් නමැති මේසන්වරයකු වැඩට යාමට සිය සගයා එන තෙක් නුගේගොඩ දුම්රිය ස්ථානයේ බලා සිටිය දි, “රථවාහනවලට බාධා වන පරිදි සිඟමන් යැදීම” ට එරෙහි පොලිස් මෙහෙයුමක දී අත් අඩංගුවට ගැනීම යුක්තියේ ස්වභාවය පිලිබද නිදසුනකි. ඔහු හැඳුනුම්පත පෙන්වා තම අනන්‍යතාව තහවුරු කලත් පොලිසිය තවත් 9 දෙනෙකු සමග ඔහු ද අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර යාචකයින් රඳවා සිටින මධ්‍යස්ථානයකටත් පසුව මැගසින් බන්ධනාගාරයටත් යවන ලදී. පපුවේ අමාරුවකින් පෙලුනු මේ වයෝවෘධ මිනිසා 7දා රාත්‍රී 1.30ට පමන මිය ගිය බව බන්ධනාගාරයෙන් පවුලේ අයට දන්වා ඇතැයි නිව්ටන්ගේ ඥාතීහු මාධ්‍යයට පැවසූහ. කැකෑරෙන මහජන වික්ෂෝපය තෙරපා සිටීම සඳාහා සෑම තැනකම සන්නද්ධ බලකායන් මෙහෙයවමින් දුප්පතුන් මැඩ තබා ගැනීම හා සමාජය තුල රාජ්‍ය භීෂනය පැතිර වීම ඊනියා යුක්තියේ මෙහෙයුමේ ඉලක්කය වන බවට මේවා සාක්ෂි ය.
නීති විරෝධී මත් කුඩු වැටලීම් සම්බන්ධයෙන් යුක්තියේ මෙහෙයුම කුඩු භාවිත කරන හෝ ගෙන්වන අය නො ව අලෙවි කරන පුද්ගලයන් එල්ල කර ගන්නා බව මහජන ආරක්ෂක ඇමති අලස් මෙහෙයුම දියත් කරමින් කියා සිටියේ ය. දෙසැමිබර් 17 මෙහෙයුම දියත් කිරීම ගැන අවස්ථා ගනනක දී ම ඇමතිවරයා කියා සිටියේ කුඩු විකුනන අය නැති වූ විට බොන අයටත් ගෙන්වන අයටත් සිය අරමුනු ඉටු කර ගැනීමට ඉඩ නැති වන නිසා තම ඉලක්කය කුඩු විකුනන අය නැති කිරීම බව ය. මේ ප්‍රකාශය එල්ල කෙරෙන්නේ ගම් හා නගරවල ජීවනෝපායයට අන් මඟක් නැති නිසා මෙවන් ක්‍රියාවන්ට පෙලඹෙන දුගීන් වෙත ය. පෙබරවාරි 12දා පොලිස්පති කලුතර දී ප්‍රජා පොලිසි කමිටු රැස්වීමක් අමතමින් “ගෙදර කෙනෙක් අහුවෙනකොට දෙවෙනියා වැඩේට බැස්සා කියා“ වාරතාවක් ලැබී ඇති බව කී ය. “මේ ව්‍යාපාරයේ කෙනෙක් අල්ලං ගියාම එයා හිරගත වුනාම එයාගෙන් කුඩු ගත් කොට්ටාශයක් ඉන්නවා නම් ඒ අය කාගෙන්ද දැන් ගන්නේ කියා හොයා“ දිගටම මෙහෙයුම සිදු කරන හැටි ඔහු විස්තර කලේ ය. ගෙදර කෙනෙක් අත් අඩංගුවට ගත් විට එම අනතුර බාර ගැනීමට එම ගෙදරම තවෙකෙකු ඉදිරිපත් වනවා නම් එහි තේරුම එතැන ජීවනෝපාය පිලිබඳ බරපතල ප්‍රශ්න ඇති බව ය. කුඩු ව්‍යාපාරිකයන්ට එකෙකුට පසු එකෙක් ලෙස ඔවුන් යොදා ගත හැකි වන්නේ ඒ නිසා ය.
ප්‍රබල පාතාලයෙකු පොලිස් නිලධාරියෙකු සමග කල සංවාදයක් යැයි කියන හඬ පටයක් මෑත දී මාධ්‍ය හරහා ප්‍රසිද්ධ විය. “පොලිසිය හැටියට ඔබේ රාජකාරිය කරන්න. රාජකාරිය නිසා එය ඔබ කල යුතු ය. කුඩු විකුනන කීපදෙනෙකු අල්ලා නඩු දැමුවාට කමක් නැත. අපේ බිස්නස් නතර කරන්නට උත්සාහ නො කරන්න.“ යි ඔහු නිලධාරියාට කී ය. මහජන ආරක්ෂක ඇමතිගේ සැලැස්ම හරියටම මේ යෝජනාවට ගැලපේ.
මෙහෙයුම පුලුල් කිරීම ගැන නිවේදනය කල මාධ්‍ය සාකච්චාවක දී යුක්තිය මානව හිමිකම් උල්ලංගනය කරන්නේ ය යන මහජන අවබෝධය ගැන විමසන ලදුව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක එය ප්‍රතික්ෂේප කලේ ය. ඔහු ඊට සාක්ෂි ලෙස ගෙන හැර පෑවේ මේ දක්වා කිසිවෙක් මෙහෙයුමට එරෙහිව මානව හිමිකම් නඩුවක් පවරා නැත යන්න ය. නඩු කීමට සාක්ෂි අවශ්‍ය ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා හොදින් ම දන්නා පරිදි පොලිසිය පාතාල ක්‍රියාවලට බෙහෙවින් සමාන ලෙස වින්දිතයාට වාසි සාක්ෂි ඉතුරු නොකරමින්ම ක්‍රියාන්විතය මෙහෙයවයි. පොලිසියේ ඉහල තැන් වලින් මහජන පැමිනිලි නො තකා හැරේ. රටේ දූෂිත ම ආයතනයක් වන පොලිසිය යුක්තිය ඉටු කරනු ඇතැයි සිහි බුද්ධිය ඇති කිසිවෙකු විශ්වාස කරනු නැත.
පොලිස් ප්‍රකාශකගේ කුහක ප්‍රකාශයේ පල්ල යන අත්දැකීම් අපමන ය. ජනවාරී 20 දා මාතර තෙලිජ්ජවිල ත්‍රී ස්ටාර් නම් ජංගමදුරකථන අලෙවිසැලක දී මින්දික අලුත්ගමගේ නැමැති 22 හැවිරිදි අහිංසක තරුනයා ඩෙඩි තබා ඝාතනය කිරිම එවන් එක් සිද්ධියකි. වෙලදසැලේ හිමිකරු ඩිල්ෂාන් මදුසංඛ නමැති තරුනයෙකි. මෙය පොලිසිය විසින් කරන ලද අපරාධයක් බවට ඩිල්ෂාන් ප්‍රසිද්ධියේ කරුනු ඉදිරිපත් කලේ ය. තමන් බැහැරට ගිය අවස්ථාවේ තමන් ඝාතනය කිරීමට පැමිනි ඝාතකයන් වැරදී තම මිත්‍රයාට වෙඩි තබා ඇති බව ඔහු පැහැදිලි කලේ ය. ඊට හේතු ඔහු පෙන්වා දුන්නේ ය. 2020 අගෝස්තු 24 දින මාලිම්බඩ පොලිසිය තෙලිජ්ජවිල මත්පැන් අලෙවිසැලක මුදල් සොරකම් කලේ ය යි ඔහු අත්අඩංගුවට ගන්නා ලදී. පොලිසිය ඔහුට දරුනු වද හිංසා දුන් අතර ඔහු නිර්දෝෂී බව සීසීටීවී දර්ශන වැඩි දුර පරික්ෂා කිරීමේ දී තහවුරු විය. තරුනයා ශාරීරික ආබාධයන්ට ගොදුරු විය. තරුනයාගේ මව පොලිස් කොමිසම ඇතුලු අදාල සියලු තැන්වලට පැමිනිලි කල ද කිසිදු සහනයක් නො වීය. ශ්‍රේෂ්ඨාධිකරනයේ පැවරූ 68/2021 මූලික අයිතිවාසිකම් නඩුව පෙබරිවාරි 16දා නැවත විභාගයට ගැනීමට නියමිතව තිබිනි. මේ කටයුතු නතර කරන ලෙස තමන්ට පොලිසියෙන් ජීවිත තර්ජන එල්ල වූ බවත් පොලිසිය හැර තමන් මරා දැමීමට කිසිවෙකු නැති බවත් ඩිල්ෂාන් මාධ්‍ය හා සිය ෆේස්බුක් ගිනුම හරහා කියා සිටියේ ය.
මෑත ම සිද්ධිය මාර්තු 2 දින ගාල්ල, නාගොඩ, වලකුඹුර අත්තම් නිවාසවල පදිංචි වැඩ තහනම් වූ පොලිස් සැරයන්වරයෙකු හා පොලිසියේ දූෂන හෙලිදරව් කල සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකු වන නිමල් ජයසේකරගේ නිවසට කඩා වැදී ටී 56න් වෙඩි තබා, ඔහුගේ ටැබ් පරිඝනකය හා ජංගම දුරකථනය කොල්ල කෑමයි. ඔහු චෝදනා කරන්නේ මෙය ශ්‍රී ලංකා පොලිසිය සිදු කල බවයි. එසේ නැති නම් අදාල අවිය, පුද්ගලයන් හා පැමිනි මෝටර් සයිකලය අත් අඩංගුවට ගෙන පෙන්වන ලෙස ඔහු පොලිසියට අභියෝග කරයි.
බොහෝ පාතාල වෙඩික්කරුවන් හා සංවිධානාත්මක අපරාධකාරයන් හමුදාවේ හෝ පොලිසියේ සම්බන්ධයක් සහිත පුද්ගලයන් බව මෙහිදී නො තකා සිටිය යුතු නැත. දෙසැම්බර් 21 තංගල්ලේ දී පස්දෙනෙකු ඝාතනය කල කල්ලියේ ප්‍රධාන වෙඩික්කරු හිටපු නාවික හමුදා සෙබලෙකි. පෙබරවාරී 17 අම්බලංගොඩ පුද්ගලයකු ඝාතනය කිරිම සඳහා උත්සාහ කිරීමේ දී අත්අඩංගුවට පත් තුවක්කුකරු කිලිනොච්චි යුධ හමුදා කදවුරේ සිට පැමිනි සෙබලෙකි. ඔහු මෙහෙයවනු ලැබූ, කොන්ත්‍රාත්තුව ලබා ගත්, එම කඳවුරේම නිලධාරියෙකු ද අත් අඩංගුවට පත් විය.
පාතාලයෙන් සමාජ ජීවිතයට එල්ල වන තර්ජනය පොලිසිය විසින් හුවා දක්වනු ලබන්නේ, නීතියට පිටින් මිනී මැරීම, බොරු නඩු ඇටවීම, සමාජ ජීවිතය ත්‍රස්තයෙන් පරිපාලනය කිරීම යනාදී පොලිසියේ ක්‍රියාවන්ට එරෙහි ව එල්ලවන මහජන විරෝධය යටපත් කිරීමට ය. පීඩිත මහජනයාට හතුරු ධනපති පන්තියේ උපකරනයක් වන පොලිසියේ පැවැත් ම මහජන නිදහසට තර්ජනයකි. පොලිසියේ සහ රාජ්‍ය තන්ත්‍ර යේ ඉහල මට්ටමේ සහාය නැතිව මහා පරිමාන නීති විරෝධී ව්‍යාපාර පවත්වා ගෙන යා නො හැකි බව රහසක් නො වේ. මේ අංශයෙන් සැලකූ කල මහජනයාට බිය සැක නැති ජීවිතයක් අහිමි වී ඇත්තේ පාතාලය හා පොලිසිය යන ධනපති සමාජ අංශ දෙක ම නිසා ය.
පොලිසිය සාමාන්‍ය ජන ජීවිතය මත පවත්වා ගෙන යමින් තිබෙන පාලනයේ ස්වභාවය පිලිබද එක් නිදසුනකි, පසුගිය මාර්තු 14 දා හික්කඩුව පොලිසිය පීඩිත ධීවරයෙකු වන හික්කඩුවේ තුඩුවේගොඩ පදිංචි 42 හැවිරිදි ගංගේ නිශාද් කුමාරට සිදු කල හදිය. ඔහු සිය නිවස ආසන්නයේ දී අත්අඩංගුවට ගනු ලබන්නේ හැඳුනුම් පත ලග නො තිබීම නිසා ය. නමුත් ඔහු රැගෙන යනු ලබන්නේ බලහත්කාරයෙන් පොලිස් ගොඩනැගිල්ලේ තීන්ත ගාවා ගැනීමට ය. පවුලේ අය හැඳුනුම්පත රැගෙන ගොස් අනන්‍යතාව තහවුරු කලත් ඔහු නිදහස් නො කෙරින. තීන්ත ගෑම අවසන් නො කිරීමත්, තමන් වෙනුවෙන් නිතිඥයකු මැදිහත් කරවීමත් නිසා උරන වූ පොලිසිය සොරකමක සැක කරුවෙකු ලෙස ඔහුට එරෙහි චෝදනා ගොනු කර ඇත. ඊනියා යුක්තියේ මෙහෙයුම මෙම තත්වය සුරක්ෂිත කොට වර්ධනය කිරීම සඳහා ය.
“පොලිස් දත්තවලට අනුව 2022 වසරේ (ශ්‍රී ලංකාවේ) අපරාධ මාසිකව 60%න් ඉහල නැගුනු අතර සුලු අපරාධ කාන්ඩයේ ජනවාරී මාසයේ වාර්තා වූ 1,676 නොවැම්බර් අවසානය වන විට 29,908 දක්වා ඉහල ගිය බව සඳහන් කරන ග්ලෝබල් ඉනීෂියේටිව් (Global Initiative) ආයතනය, ශ්‍රී ලංකා අර්බුදයේ අපරාධ පිරිවැය (The crime cost of Sri Lanka) යන හිසින් ලියූ ලිපියකින් පෙන්වා දී ඇත්තේ, “ගෝලීය සංවිධානාත්මක අපරාධ දර්ශකය මඟින් මනිනු ලබන පරිදි ආර්ථික ආතතිය නීති විරෝධී ක්‍රියාකාරම්වල වැඩි වීමක් ද ජනනය කර ඇති,“ බවයි. සෑම වර්ගයේ ම මිනිස් ඝාතන 2019 ආර්ථික අර්බුදය ඉස්මත්තට එමින් තිබිය දී පැවති 273 සිට 2022 එහි උපරිම තුඩේ දී දී 533 දක්වා ඉහල නැඟ තිබීම තවත් සාක්ෂියකි.
යුක්තියේ මෙහෙයුම මෙම ප්‍රවනතාව පාලනය කලා නොව උත්සන්න කලේ ය. 2023 මුල් මාස 6 තුල මාසයකට දල වශයෙන් 4 ක් වූ වෙඩි තබා ඝාතන කල සංඛ්‍යාව යුක්තියේ මෙහෙයුම ක්‍රියාත්මක කල මේ වසරේ දී මාසයකට 7 දක්වා ඉහල ගොස් ඇත.
ආන්ඩුව අනුගමනය කරමින් සිටින්නේ කැරලි මර්දනයට උපයෝගී වූ බවට පිලිගත්, 2016 – 2022 පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටර්ටේ ගෙන ගිය පිලිපීන “මත්ද්‍රව්‍ය වලට එරෙහි යුද්ධය” පිලිවෙතයි. එය පිලිපීන දුප්පතුන් 7000ත් 12,000 අතර සංඛ්‍යාවකට ඝාතනය කරනු ලැබිනි. ඉන් වැඩි දෙනා නාගරික දුගීහු වූහ. හියුමන් රයිට්ස් වොච් පර්යේෂනයකින් සොයා ගෙන ඇති පරිදි, පොලීසිය නීති විරෝධී ඝාතන සාධාරනීකරනය කිරීමට සාක්ෂ්‍ය ව්‍යාජනය කිරීමේ යෙදී සිටියහ.
තහනම් මත්ද්‍රව්‍ය භාවිතය හා අපරාධ වැඩි වීම ලෝක ප්‍රපංචයකි. 2021 වසර තුල මිලියන 296ක් මත් ද්‍රව්‍ය භාවිත කර ඇති බව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ සම්බන්ධ කාර්යාලය වාර්තා කර ඇත. එම වාර්තාවට අනුව එය පෙරට වඩා 23% වැඩි වීමකි. ගෙවී ගිය වසර 10 තුල මත්ද්‍රව්‍ය භාවිතය නිසා මානසික රෝග වැලඳුනු ගනන මිලියන 39.5 දක්වා 45%න් ඉහල නැගී ඇත. මත් ද්‍රව්‍ය කර්මාන්තය යනු මෙවන් මහා වෙලඳපොලක් ඇති එකකි. මෙම කර්මාන්තය ලෝක මෝටර් රථ වෙලඳපොල මෙන් දෙගුනයක් විශාල බව එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අන්නන් ප්‍රකාශ කර ඇත.
ලෝක ආදායමෙන් 76%ක් ගිල දමන ඉහල ආදායම්ලාභී 10% ක පන්ති පාලනය විසින්, ඉන් 2%ක් පමනක් ලබන පහල 50% තුල සිටින තරුනයන්ගෙන් ලොව පුරා මිලියන 296 ක පාරිභෝගිකයන් සහිත වෙලඳපොලක් නිර්මානය කර ඇත. කිසිදු ධනපති තන්ත්‍රයක් මේ තත්වයෙන් මහජනයා ගලවා ගැනීමෙහි ලා සමත් නො වන්නේ ය. සමාජයේ පීඩිත කොටස්වලින් මෙන් ම ආරක්ෂක අංශ තුලින් ද අදාල ව්‍යාපාර සඳහා අවශ්‍ය වන අපරාධකාරයන් සම්පාදනය කිරීම පමනක් ධනවාදය පවතින තාක් සිදු වනු ඇත.
කම්කරු මහජනතාව සෙසු පීඩිත ජනයා පෙලගස්වා ගනිමින් ධනවාදයට එරෙහි සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා සටන් කිරීමෙන් මෙපිට මහජනයාගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂාව තහවරු වන්නේ නැත. ඒ සඳහා අත්‍යවශ්‍ය විප්ලවවාදී නායකත්වය ගොඩනැගිය යුතුව ඇත.
යුක්තියේ මෙහෙයුම පිළිබඳ ඉතා ගැඹුරු හා විද්‍යාත්මක දේශපාලන විශ්ලේෂනයකි.අපූරුයි නන්දන