නේටෝ බලවතුන් යුක්රේනයට දිගු දුර මිසයිල යැවීමට පියවර ගනී

ඇන්ඩෘ ඩැමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි 10 දින NATO powers move to send long-range missiles to Ukraine යන සිරසින් යුතුව පලවූ ඇන්ඩෘ ඩැමන් සහෝදරයා විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොළදණ්ඩ විසිනි. 

Image
එක්සත් රාජධානියේ “Storm Shadow” දිගු දුර මිසයිලය  [Photo by Rept0n1x / CC BY-SA 3.0]

ක්‍රිමියාවට පහර දීමේ හැකියාව ඇති දිගු දුර මිසයිල යුක්රේනයට යැවීමට බ්‍රිතාන්‍යය සූදානම් වන බව අඟහරුවාදා එක්සත් රාජධානියේ ආරක්ෂක නිලධාරියෙක් වොෂින්ටන් පෝස්ට් වෙත සහතික කළේය.

වොෂින්ටන් පෝස්ට් වෙත අදහස් දැක්වූ එම  බ්‍රිතාන්‍ය නිලධාරියා මෙම ක්‍රියාව අනෙකුත් නේටෝ සාමාජිකයින්ට ද තමන්ගේ ම දිගු දුර මිසයිල යුක්‍රේනයට ලබා දීමට පසුබිම සකසන බව පෙන්වා දුන්නේ ය.

“එය එක්සත් රාජධානියට අසාමාන්‍ය ලෙස කළ හැකි දෙයකි… අපි යමක් ලබා දෙන්නේ නම් එය අන් අයට තරමක් පහසු වන බව අපි දනිමු,” ඔහු පැවසීය.  “විවිධ රටවල් අතර නියත වශයෙන් ම වෙනස්වූ අවදානම් දරා ගැනීමක් තිබේ.  අපි හැම විට ම ආරම්භකත්වය ගෙන සිටිමු. ”

“බ්‍රිතාන්‍යය යුක්රේනයට දිගු දුර මිසයිල සැපයීමේ අපේක්ෂාව ගැන විමසූ විට පෙන්ටගනයේ නිලධාරීන් කිසිදු සැලකිල්ලක් නොදැක්වූ බව” පෝස්ට් සඳහන් කළේ ය.

මෙම නිවේදනයේ අදහස වන්නේ  එක්සත් ජනපදය විසින් දිගු දුර ATACMS මිසයිල සැපයීම සහ එසේම එක්සත් ජනපදය විසින් දීර්ඝ කාලයක් තිස්සේ සූදානම් වෙමින් සිටි  F-16 ප්‍රහාරක ජෙට් යවන බවට කල නිවේදනය සඳහා මග හෙලි කර ගැනීමයි.  

එක්සත් ජනපදයේ ප්‍රධාන මිත්‍රයාගේ මෙම පියවර, නේටෝ නිලධාරීන් මෑතකදී කොන්දේසි විරහිතව බැහැර කළ තවත් ක්‍රියාවක් සලකුනු කරයි.

මැයි මාසයේදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, “අපි රුසියාවට පහර දෙන රොකට් පද්ධති යුක්‍රේනයට යැවීමට සැරසෙන්නේ නැත.” යි නිශ්චිතවම ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත්, ක්‍රිමියාවට පහර දීමට එක්සත් රාජධානියේ ආයුධ පද්ධති භාවිතා කරන බව පෝස්ට් පැහැදිලි කළේ ය. “යුක්රේන පාලනය යටතේ පවතින භූමිය සහ ක්‍රිමියාවේ විශාලතම නගරය සහ රුසියාවේ කළු මුහුදේ බලඇණියේ මූලස්ථානය වන සෙවාස්ටොපෝල් අතර දුර, “Storm Shadow” දිගු දුර මිසයිලයේ පරාසය තුළ පවතී”.

එක්සත් රාජධානියේ නිවේදනය, යුක්රේනයට ප්‍රධාන යුද ටැංකි 200කට අධික ප්‍රමාණයක් යැවීමට මේ වසර මුල දී නේටෝ බලධාරීන් විසින් ගනු තැබූ තීරණයේ ස්වභාවයක් අනුගමනය කරයි. 2022 මාර්තු මාසයේදී බයිඩන් විසින් යුක්රේනයට යුධ ටැංකි යැවීම වීම බැහැර කරන ලදී:

අපි ප්‍රහාරාත්මක උපකරණ යැවීමට සූදාවම් වනවා ය යන අදහස සහ ඇමරිකානු ගුවන් නියමුවන් හා ඇමරිකානු කාර්ය මණ්ඩලය සමඟ ගුවන් යානා , යුධ ටැංකි සහ නැව් කණ්ඩායම් සමග පිවිසීම යන අදහස තේරුම් ගන්න – ඔබ ඔබම සුළු කොට නොතකන්න , ඔබ සියල්ලන්ම කුමක් කීවත්  ප්‍රශ්නයක් නැත – එය ‘ III වන ලෝක යුද්ධය’ ලෙස හැඳින්වේ.’

ජූනි මාසයේදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, “අපි යුද්ධයට අවතීර්ණ නොවෙමු… මේ අනුව, ප්‍රහාරක ගුවන් යානා හෝ යුද ටැංකි ඇතුළු ඇතැම් ආයුධ සැපයීම නොකිරීමට එකඟ වී ඇත යි ප්‍රකාශ කළේ ය.”

එක්සත් රාජධානිය විසින් Challenger යුධ  ටැංකි [ තුන්වන පරම්පරාවට අයත් නවීනතම යුධ ටැංකි වර්ගයක් ] යවන බව ප්‍රකාශ කිරීමෙන් පසු, මැක්‍රොන් ට්විටර් හි ප්‍රකාශ කළේ, යුක්රේනයට “ප්‍රංශය සැහැල්ලු සටන් ටැංකි සපයනු ඇත” යනුවෙනි.  දින කිහිපයකට පසු, ජර්මනිය සහ එක්සත් ජනපදය යන දෙකම ඔවුන්ගේම ප්‍රධාන යුද ටැංකි වන පිලිවෙලින් Leopard 2 සහ Abrams යුක්‍රේනයට යවන බව නිවේදනය කළහ.

එක්සත් ජනපදය ක්‍රිමියානු අර්ධද්වීපයේ ප්‍රහාර සෘජුවම අනුමත කිරීම සහ පහසුකම් සැලසීම දෙසට ක්‍රමානුකූලව ගමන් කර ඇත.

සැතපුම් සියගණනක් ගැඹුරට පහර දිය හැකි ATACMS යුධෝපකරණ ලබා නොදී එක්සත් ජනපදය HIMARS දිගු දුර මිසයිල ලෝන්චර යවන බව මැයි මස දී බයිඩන් නිවේදනය කළේය.

 HIMARS සඳහා එතෙක් සපයා තිබූ යුධෝපකරණවල පරාසය දෙගුණ කරමින් යුක්රේනයට බිම දියත් කරන ලද කුඩා විෂ්කම්භ බෝම්බය (GLSDB) යවන බව ජනවාරි මාසයේදී එක්සත් ජනපදය නිවේදනය කළේය.

 පෙබරවාරියේදී, දේශපාලන කටයුතු පිලිබඳ එක්සත් ජනපද උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් ක්‍රිමියාව තුල යුක්‍රේන ප්‍රහාර විවෘතව අනුමත කලාය. “ඒවා නීත්‍යානුකූල ඉලක්ක” නුලන්ඩ් පැවසීය. “යුක්රේනය ඔවුන්ට පහර දෙනවා. අපි ඒකට සහයෝගය දෙනවා.” ඇය පැවසුවාය.

පෙබරවාරියේ, නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කළේ, ” බයිඩන් පරිපාලනය අවසානයේ පිළිගැනීමට පටන් ගෙන ඇත්තේ, කියෙව් විසින් රුසියානු ආරක්ෂිත භූමියට පහර දෙනු ලැබීම, එවැනි පියවරක් උත්සන්න වීමේ අවදානම වැඩි කළත්, යුක්‍රේනයට බලය අවශ්‍ය විය හැකි බවයි.” “බයිඩන් පරිපාලනය යුක්රේනය, අර්ධද්වීපයට ප්‍රහාර එල්ල කිරීමට උපකාර කරමින් තවමත් එහි නිර්භීතම පියවරක් වනු ඇත්තේ කුමක් දැයි සලකා බලයි.”යනුවෙන් ටයිම්ස් තවදුරටත් සදහන් කළේය.

එලඹෙන “වසන්ත ප්‍රහාරය” සීමිත මිලිටරි ජයග්‍රහණ පමණක් ලබා ගනු ඇති බව පැහැදිලි වෙමින් පවතින හෙයින්, එක්සත් ජනපදය හා නේටෝ බලවත්හු යුද්ධයට සෘජුවම සම්බන්ධ වීම පිලිබදව ඉතිරිව ඇති සියලු සීමා කිරීම් අත්හැරීමට වේගයෙන් ගමන් කරමින් සිටිති.

පසුගිය සතියේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ නිල නිවසට ඉහළින් ඩ්‍රෝන යානා දෙකක් පුපුරා ගියේය. ඩ්‍රෝන් ප්‍රහාරයෙන් පසුව, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් “එය තමන්ව ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න තීරණය කිරීම අපි යුක්‍රේනයට භාර දෙමු” පවසමින් රුසියානු ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ ඔනෑම උත්සාහයක් බැහැර කිරීම ප්‍රකික්ෂේප කළේය.

මෙම ප්‍රකාශයන් එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය ග්‍රහණය කරගෙන සිටින දැවැන්ත නොසැලකිලිමත්කම සහ මංමුලා සහගත බව ගැන කථා කරයි. සමහර විට අද දින දක්වා, රුසියාවට එරෙහි  නේටෝ යුද්ධයක් සඳහා වූ වඩාත්ම විවෘතම  කැඳවීම තුලින් මෙම මනෝභාවය වඩාත් පැහැදිලිව පෙන්නුම් කරනු  ලැබ ඇත්තේ යුදවාදී ඉතිහාසඥ තිමෝති ස්නයිඩර් විසිනි.

 ටයිම්ස් සඟරාවේ ආගන්තුක අදහස් දැක්වීමක “අපි අමතක කරනවා, න්‍යෂ්ටික බලවතුන් යුද්ධ පරාජය කර ඇති බව”, ස්නයිඩර් නිගමනය කරන්නේ, “රුසියානුවන් න්‍යෂ්ටික යුද්ධයක් ගැන කතා කරන විට, ආරක්ෂිතම ප්‍රතිචාරය වන්නේ ඔවුන්ගේ සාම්ප්‍රදායික පරාජය සහතික කිරීමයි.” (පැහැදිලි කිරීමකින් තොරව, සිරස්තලය “පුටින් සටන් කරයි, සහ පරාජය වෙමින් පවතී, ඔහුගේ අවසාන යුද්ධය” ලෙස වෙනස් කරන ලදී.)

 ස්නයිඩර් මැසිවිලි නගමින් කියා සිටින්නේ “ඇමරිකානුවන්ගේ උත්සන්න වීමේ බිය පසුගිය වසරේ යුක්රේනයට ජයග්‍රහණය කිරීමට ඉඩ සලසන ආයුධ සැපයීම ප්‍රමාද කළ බවයි. ඍණාත්මක ප්‍රතිවිපාක නොමැතිව එකින් එක, උත්සන්න විය හැකි යැයි සැලකෙන ආයුධ පද්ධති දැන් ලබා දී ඇත.” බවයි.

රුසියාවේ “පරාජය” ඉල්ලා, ස්නයිඩර් පහත සඳහන් අසාමාන්‍ය ප්‍රකාශය කරයි: “රුසියාවට පසුබසින සොල්දාදුවන් සඳහා කාල කලාප 11 ක් සහ ප්‍රචාරක ප්‍රතිනිර්මාණයන් සඳහා ඕනෑ තරම් ක්‍රියාකාරකම් ඇත.”

න්‍යෂ්ටික සන්නද්ධ රුසියාවේ “පරාජය” සඳහා කැඳවුම් කරමින් ස්නයිඩර් ප්‍රකාශ කරන්නේ, “කිසිදු විකල්පයක් උපද්‍රවවලින් තොර නොවේ” යනුවෙනි. තාප න්‍යෂ්ටික යුද්ධයක දී “අපගේ හිසකෙස් අවුල් නොකරනු ඇතැයි මම නොකියමි” යනුවෙන් “ඩොක්ටර් ස්ට්‍රැන්ජලෝව්” හි ජෙනරාල් “බක්” ටර්ගිඩ්සන් විසින් කරන ලද ප්‍රකාශය ප්‍රතිනිර්මාණය කරයි.

මෙම ප්‍රලාපයන් මතු වූ දිනයේම, නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් වොෂින්ටන් පෝස්ට් වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් අතර, ගැටුමේ දී නේටෝවේ කේන්ද්‍රීය අරමුන 2014 දී යුක්රේනයට අහිමි වූ ප්‍රදේශ, ප්‍රධාන වශයෙන් ක්‍රිමියානු අර්ධද්වීපය නැවත අත්පත් කර ගැනීම බව ඔහු පැහැදිලි කළේය.

ස්ටෝල්ටන්බර්ග් ප්‍රකාශ කළේ, “යුක්රේනයේ යුද්ධය මූලික වශයෙන් නේටෝව වෙනස් කර ඇත, නමුත් යුද්ධය ආරම්භ වූයේ 2022 දී නොවන බව ඔබ මතක තබා ගත යුතුය. යුද්ධය ආරම්භ වූයේ 2014 දී ය. එතැන් සිට, සීතල යුද්ධයේ අවසානයෙන් පසු, නේටෝව අපගේ සාමූහික ආරක්ෂාවේ විශාලතම ශක්තිමත් කිරීම ක්‍රියාත්මක කර ඇත. ” යනුවෙනි.

ස්ටෝල්ටන්බර්ග් තවදුරටත් මෙසේ පැවසීය: “අපගේ ඉතිහාසයේ පළමු වතාවට, සන්ධානයේ නැගෙනහිර කොටසේ සටන් කිරීමට සූදානම් භටයෝ, පෝලන්තය, ලිතුවේනියාව යන බෝල්ටික් රටවල සිටිති.. ඇත්ත වශයන්ම බෝල්ටික් මුහුදේ සිට කළු මුහුද දක්වා පහළට සටන් කණ්ඩායම් අටක් ඇත. අපගේ හමුදාවන්ගේ ඉහළ සූදානම. ඒ වගේම ආරක්ෂක වියදම් වැඩි කිරීම. 2014 වන තෙක් නේටෝ සහචරයින් ආරක්ෂක අයවැය අඩු කරමින් සිටියහ. 2014 සිට යුරෝපය සහ කැනඩාව පුරා සිටින සියලුම මිත්‍ර රටවල් ඔවුන්ගේ ආරක්ෂක වියදම් සැලකිය යුතු ලෙස වැඩි කර ඇත. තවද අපි අපගේ විධාන ව්‍යුහය නවීකරණය කර ඇත, අපට තවත් ක්‍රියාකාරකම් ඇත. අපි සයිබර් වැනි නව හමුදා වසම් පිහිටුවා ඇත. එබැවින් සමස්තයක් වශයෙන්, මෙය 2014 දී ආරම්භ වූ නේටෝවේ දැවැන්ත පරිවර්තනයකි.

ඔහු තවදුරටත් පැවසුවේ, “එක්සත් ජනපදයට නේටෝව තුළ සිටින 30ක් තරම් වන මිතුරන් සහ හවුල්කරුවන්  වෙනත් කිසිදු ප්‍රධාන බලවතෙකුට නැත. රුසියාවට හෝ චීනයට ඊට සමාන දෙයක් නැත. නේටෝ සහචරයින් එක්ව ලෝකයේ මිලිටරි ශක්තියෙන් සියයට 50 ක් සහ ලෝකයේ ආර්ථික ශක්තියෙන් සියයට 50 ක් නියෝජනය කරයි.”

මෙම ඡේදය  “ප්‍රකෝප නොකළ යුද්ධයක්” බවට නේටෝ බලවතුන්ගේ ආඛ්‍යානය බිඳ දමයි. ඒ වෙනුවට, නේටෝ බලවත්තු එම වසරේ ඔවුන්ට සිදු වූ භෞමික පාඩු ආපසු හැරවීමේ අරමුන ඇතිව ගැටුම අවුලුවා තීව්‍ර කළ බව පැහැදිලි කරති.

#theSocialistLK #WSWS

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top