පී.ජී. පුන්‍යවර්ධන විසිනි
ධීවර කම්කරුවා, සුලු පන්නකරුවා සහ සුලු හා මධ්‍යම පරිමාන ව්‍යාපාරිකයා දක්වා ධීවර කර්මාන්තයේ නියැලි ලක්ෂ ගනනක් පැවැත්ම පිලිබද ගැඹුරු වන අවිනිශ්චිත තත්වයකට මුහුන දී සිටිති. උපකරන හා ඉන්ධන මිල උද්ධමනය, තරගකාරිත්වය, කිසිදා නො පියවෙන නය අර්බුදය යනාදියෙන් වෙලාගෙන සිටින ධීවර ජනයා තවමත් ජීවත් වන්නේ වැඩවසම් බැමිවලින් මුලුමනින් අත් මිදී ගත නො හැකි තත්වයක ය.
පසු ගිය දා හලාවත ප්‍රදේශයේ ධීවරයන් අතර කල මැදිහත් වීමක දී අප ලද තොරතුරුවලින් නියෝජනය වන්නේ ශ්‍රී ලංකා ධීවර ප්‍රජාවගේ ජීවන කොන්දේසි හා ජීවන තත්වයන් පිලිබඳ හරස්කඩකැයි අපට හැඟේ.
එහි දී, අපට මුන ගැසුනු, බහු දින යාත්‍රා හිමිකරුවකු වන නාලක කර්මාන්තය තුල තමන් මුහුන දී සිටින තත්වය මෙසේ ගෙන හැර පෑවේ ය. ඔහු පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත, තොඩුවාව ධීවර ග්‍රාමයේ වසන, දෙමාපිය උරුමයෙන් ධීවරයෙකු වූ අයෙකු වෙයි. විවාහයෙන් පසු ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා 2003 වර්ෂයේ ඉතාලියේ රැකියාවක් සඳහා පිටත්ව යන ඔහු, වසර දෙකක් ගිය පසු තම බිරිඳ ද කම්කරුවකු ලෙස ඉතාලිය වෙත ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත. බිරිඳත් සමග තවත් වසර 13ක් එහි සේවය කර පෙරලා දිවයිනට පැමිනියේ ය.
බහු දින යාත්‍රාවක් යොදාගෙන කර්මාන්තයේ යෙදීම සඳහා ඔහු 2017 වසරේ දී, (ඉතාලියෙන් ආපසු පිටත් වීමට පෙර ම) ලංකා බැංකුවෙන් රුපියල් කෝටියක්, සියයට හතක වාර්ෂික පොලියට, මාසිකව 150,000ක වාරික වශයෙන් අඛන්ඩව වසර 7ක් තුල ගෙවා නිම කිරීමේ කොන්දේසි මත ලබා ගන්නා ලදී. ඒ අනුව 2018 දී බහු දින යාත්‍රාවක් දියත් කල තමන්ට, දැන් සිය දූ දරුවන් ඥාති මිත්‍රාදීන් සමග යහපත් ජීවිතයක් ගත කල හැකි යයි කල්පනා කල බව නාලක අපට කීවේ ය.
2018 සහ 2019 වසර දෙකේ මුහුදු ගමන් 15ක් මගින් ඉහල ආදායමක් ලැබීමේ හැකියාව විසින් ඔහු දිරිමත් කරන ලදී. එහෙත් 2019 අවසානය වන විට කොවිඩ් ව්‍යාප්තිය ධීවර කර්මාන්තය ද වෙලා ගත්තේ ය. මේ වන විට ඔහු අඩි 50ක තවත් බහු දින ධීවර යාත්‍රාවක් සදහා මුදල් වැය කර තිබිනි.
ඒ සඳහා සිය බිරිඳගේ ලංකා බැංකු ගිණුමෙන් වාර්ෂිකව සියයට 13 පොලියට තවත් රුපියල් කෝටියක ණය මුදලක් ලබා ගත්තේ ය. කොවිඩ් වසංගතයත් සමග මාලු අලෙවියේ ඇද වැටීමට සියලු ධීවරයෝ මුහුන පෑහ. ලක්ෂ 30-40 අතර මුදලක් යාත්‍රාව දියත් කිරීම සදහා වැය කලත් ඒ මුදලවත් උපයා ගැනීමට අවස්ථාවක් නො වූ වාර ගනන වැඩි විය. මාලු හිගයකට ද මුහුන දීම නිසා තව දුරටත් තත්වය නරක අතට හැරුනි. පොදුවේ ගත් කල 2019-20 කාලයේ මත්ස්‍ය නිශ්පාදනය 20% කින් පහත වැටුනු බව වාර්තා වී ඇත.
2022 තෙල්, ගෑස්, විදුලිය ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සම්පාදනය ඇන හිටුවීමට හෝ සීමා කිරීමට ආන්ඩුව තල්ලු වීමත්, ඒවායේ මිල ගනන්-විශේෂයෙන් ඉන්ධන මිල – තුන් ගුනයකින් ඉහල දැමීමත් ඊට සාපේක්ෂව මාලු මිලෙහි පැවති පහල අගයත් යන මේවා විසින් ධීවරයාගේ අනාගත සිහින ක්ෂ්මා විරහිත ලෙස සුන් කර දැමුනේ ය. ගෙවී ගිය මාස 5ට ම යාත්‍රව දියත් කලේ දෙවරක් පමනක් බව නාලක කීය. ඒ වන විටත් ධනපති මූල්‍ය ආයතන, ධීවර කර්මාන්තයේ උපකරන සපයන සමාගම් හා අපනයන සමාගම් ඔහුගේ උත්සාහයේ සාරය උරාගෙන අවසානය. තමන් අල්ලන ටූනා මත්ස්‍යයන් මිල දී ගන්නා අපනයකරු වන ජාඇල ජෝන් සී ෆුඩ් සමාගම ඒකාධිකාරයක් වීම නිසා මසුන් වැඩි ප්‍රමානයක් අල්ලා ගත් විට මිල පහල දැමීමට එම සමාගමට ඇති බලය තමන් අසහනයට පත් කරන බව ධීවරයෝ පැවසූහ.
“දැන් නම් තවත් ලංකාවේ අපේ ව්‍යාපාර කරගෙන දරුවන්ට උගන්වන්න, වෙනත් කිසි දෙයක් කරගන්න බැහැ.” ඒ නිසා බිරිඳ හා දරුවන් සමඟ යලි ඉතාලිය බලා පිටත්වීම හැර කල හැකි දෙයක් නැතැයි නාලක කීවේය.
තොඩුවාව පාලම අසල පදිංචි ධීවරයකු වන රෝහන, සිය සහෝදරයා සමග එන්ජින් බෝට්ටුවක් භාවිතයෙන් මසුන් ඇල්ලීම ජිවිකාව කර ගත්තෙකි. ඒ සඳහා දිනකට පෙට්‍රල්, ඔයිල් සහ බූමි තෙල් සදහා රුපියල් 7,100ක් වැය වන අතර ගිය වසරේ එම වියදම පැවතියේ රුපියල් 2000ක් ලෙස බව පෙන්වා දෙමින් ඔහු කීවේ, මෙසේය:
“අපි ගැන බලන්නෙ නැහැ මේ ආන්ඩු. අපි පාවිචි කරන දැල් පීස් එකක් දැනට අවුරුදු දෙකකට වගේ කලින් රුපියල් 18,000 තිබුනා. දැන් ඒ්කම රුපියල් 30,000ක් පමණ වෙනවා. දැල් කූට්ටමක් සම්පූර්ණ අලුතෙන් හදනවනම් රුපියල් ලක්ෂ හයක් පමණ යනවා. අපේ පාඩුවේ රස්සාව කරන් ජීවත් වෙන්න දැල් ආම්පන්න, එන්ජින් සහ අමතර කොටස්, භූමි තෙල් මිල අඩුකරල දෙනව නම් අනෙකුත් බඩු මුට්ටු මිල අඩු වෙනවා නම්, අපි අල්ලන මාළු වලට සාධාරන ස්ථාවර මිලක් ලැබෙනව නම් මේ කර්මාන්තය කරන්න පුළුවන්.”
සිය එකම පුතා ධීවරයකු නො විය යුතු යයි තමන් සිතන බව ඔහු පැවසී ය.
රෝගුස් නැමැති අත්දැකීම් බහුල ධීවරයා හා තවත් ධීවරයෝ දෙදෙනෙක් අප සමග කතාබහට එක් වූයේ මෙසේය:
“මේ සතියේ දින තුනක් මං තවත් දරුපවුල් කාරයෙක් එක්ක මූදට ගිහින්, පලවැනි දවසේ හුරුල්ලන් කිලෝ එකයි. දෙවෙනි දවසෙ කිලෝ දෙකයි. තුන්වැනි දවසෙ කිලෝ එකක්වත් අහු උනේ නැහැ.
“අපිට අර පසුගිය අවුරුද්දේ මූදට යන්න තහනම් කලේ නැවක් පමුණුගමට ඉස්සරහ මූදේ ගිලිලා පරිසර හානියට ලක් වෙනවා කියලා. අන්න ඒ තහනමට වන්දි ලැබුනෙ භූමි තෙල් ලීටර් 150ක කූපන් එකක්. ඒකෙන් ලීටර් හැත්තෑ පහක් තමයි ඔය දවස් තුනේ පාවිච්චි කලේ. අපේ අක්කා කීවා මල්ලි බොරු වැඩ කරන්නේ නැතිව මාලු අහුවෙන දවස් එනකම් ඉන්න කියා.”
සත්‍යය නම් එසේ බලා හෝ නො බලා සිටීම යන කුමන හෝ පියවරක් ධීවරයන් තමන්ගේ පීඩාවෙන් මුදා හරින්නේ නැති බව ය.
42 වියැති තිදරු පියෙක් හා ධීවර කම්කරුවකු වන නිරෝෂන් ද අප හා දොඩමලු විය. ඔහුගේ බිරිඳ ගර්භාෂයේ පිලිකාවක් වැළඳී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටී. නමුත්, ඇය දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සදහා වෙනත් ගෙදරක කුලී වැඩ කරයි.
ඔහු බහුදින ධීවර යාත්‍රාවක ධීවර කම්කරුවකු වශයෙන් රැකියාව ආරම්භ කර ඇත්තේ වයස 17 දී ය. 25 වසරක් මහ මුහුද සමග පොර බැදීමෙන් ඔහුට ජීවිතය සඳහා ඉතිරි වූ දෙයක් නැති බව මෙයින් පෙනේ.
අප ධීවරයාගේ වැඩි මහල් පුත්‍රයා සාමාන්‍ය පෙල අවසන් වූ වහාම, එනම් පසු ගිය නොවැම්බර් මාසයේ, බහු දින යාත්‍රාවක කම්කරුවෙකු ලෙස සේවය ආරම්භ කලේ, සිය සොහොයුරන් දෙදෙනාට අධ්‍යාපනය ලබා දීමට ය. ගෙවී ගිය මාස හතටම ඔහුට යා හැකි වූයේ එක මුහුදු ගමන් වාරයක් පමනි. ඔහුගේ දෙවන පුතාට තොඩුවාව ගමේ පාසැලේ දැක් වූ ක්‍රීඩා හැකියාවන් නිසා මීගමුවේ ප්‍රසිද්ධ පාසැලකට ඇතුලු වීමේ අවස්ථාව ලැබුනි. “බස්ගාස්තු තුන්ගුනයක් වැඩි වෙලා, යන්න එන්න, කෑම කන්න, රුපියල් දාහක් දෙන්න ඕන දවසකට. මගේ ධීවර ජීවිතේ දී මම යන්තම් ගෙයක් හදා ගත්ත විතරයි,” ඔහු කීවේ ය.
මේසා පරිමානයෙන් ධීවර ජීවිතවල අවිනිශ්චිත බව නැඟෙන්නේ, වර්තමාන ධීවර කාර්මිකයාට අවශ්‍ය බොහෝ තාක්ෂනික උපකරන නිර්මානය කර ඇති සමාජයක ය. එකෝ සවුන්ඩර් (Echo Sounder) සාගරයේ මසුන් සිටිනා තැන් සොයා දෙන උපකරනයකි. සොනාර් (Sonar) මුහුද යට ඇති ගල් පර හා වෙනත් බාධක මෙන් ම ගැඹුරු මුහුදේ මසුන් ගැවසෙන තැන් ගැන සංඥා ලබා දෙයි. කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුවට උෂ්නත්වය, සුලං, දිය වැල්, කුනාටු, උදම් රල කුනාටු, මසුන් රොක් වන තැන් සහ ඔවුන් පිහිනන දිසාව පෙන්වා දිය හැකි සැටලයිට් ගනනාවක් ඇත. බහු දින යාත්‍රා සදහා ශීතාගාර යන්ත්‍ර හා මසුන් පමා නො වී ගොඩට ගෙන ආ හැකි ප්‍රවාහන ක්‍රම ලෝකය විසින් සොයාගනු ලැබ ඇත. එහෙත් කර්මාන්තය ධීවරයන්ගේ ජීවිත උරා බීම පෙරටත් වඩා රුදුරු ලෙස සිදු කරයි. එම ජිවිතවලට වර්තමාන ලෝකය දිනාගෙන ඇති සංස්කෘතියේ ඉහල මට්ටමේ අසලකටවත් ලං විය හැකි බවට ඉඟියක් හෝ පවතින ක්‍රමය තුල නොපවතී. එය සාක්ෂාත් වනු ඇත්තේ ධීවර ජනයා කර්මාන්තය පාලනය තමන් අතට ගැනීම සඳහා කම්කරු පන්තිය සමග පෙල ගැසීමෙන් පමනි.
සමාජ පිලිගැනීම හෝ නීතිය කුමක් වුවත්, එක් ජන කොටසකට පරම්පරාවෙන් පරම්පරාවට එකම රැකියාව උරුම වන පසුගාමී වැඩවසම් බන්ධනයට ධීවරයා බැද දමා ඇත්තේ පවතින ආර්ථිකය හා සමාජ තතු විසිනි.
අප ධීවරයාගේ ජීවිතය මේ තත්වය පිලිබිඹු කරන සංකේතයකි. ඔහු මෙසේ කීවේය:
“මුහුදු රැකියාව ආරම්භ කරපු කාලෙ වගේ නො වෙයි, දැන් මේ රස්සාව නිශ්චිතව බලාපොරොත්තු තියාගෙන කරන්න බැහැ. දැන් මාළු ඉන්න ප්‍රදේශ වලට යන්න විතරක් දින පහළොවක්, විස්සක් ගත වෙනවා. සමහර අවස්ථාවල බෝට්ටුවෙ ගැන් එක පිරෙන්න මාළු අස්වැන්න ගෙනාවත් අපට සොච්චම් මුදලක් තමයි ලැබෙන්නේ. අපි මාස දෙකක්, දෙක හමාරක් මුහුදේ ගතකරල එද්දී, සමහර විට මාළු මිල හොඳටම පහත වැටිලා තිබීම, මූදෙ ගත කරන දින ගනන වැඩී වී මාලු අවපැහැ ගැනිම ආදිය නිසා අපේ ආදායම පහල යනවා.”
ගෙවීම සිදු වන්නේ ශ්‍රමයට හෝ ශ්‍රම ශක්තියට නො ව ආදයම ලැබුනොත් පමනි. එසේ නොමැති නම් ධීවර කම්කරුවාගේ ශ්‍රමය නොමිලේ “විකිනේ.” රැකියාවට පිටත්ව යන විට බෝට්ටු හිමිකරුගෙන් රුපියල් 25,000ක හෝ 30,000ක නය මුදලක් ගෙදර වියදම සඳහා ලැබෙයි.
“මේ අවුරුද්දේ පසු ගිය මාස හතටම ට්‍රිප් දෙකයි ලැබුනේ. මුල් ට්‍රිප් එක සාර්ථක නැහැ. මේ වතාවෙදී ගොඩ ආවේ මැයි මාසයේ 20 වැනි දා. හොඳ මිලක් තිබුනා. මට ලැබුනා රුපියල් ලක්ෂ පහයි තිහක්. නමුත් කෑමට කඩවලට ගෙවීමට ඇති නය, යහළුවන්ගෙන් ගත් අතමාරු, බැංකු නය වාරික හා විදුලිය බිල් ආදිය ගෙවිමෙන් පසු, ඊට අමතරව කලේ දරුවන්ගෙ හිත හැදෙන්න පල්ලියේ වාර්ෂික මංගල්‍යය දිනයට අඳීන්නත් එක්ක තුන්දෙනාට ඇදුම් හා සපත්තු ගැනීම. කෑමට බඩු ටිකක් ගෙනාවා. තවත් නය තියෙනවා පියව ගන්න බැරිවුනු.”
2022 මාර්තු මාසයේ 2 දින ලෝක බැංකුව ලංකාවේ ධීවර කර්මාන්තය සම්බන්ධ වාර්තාවක සඳහන් කර ඇත්තේ, “දැනට ශ්‍රී ලංකාවේ සති 5ක් මුහුදේ ගත කරන 5000කට ආසන්න ‘බහු දින’ ධීවර යාත්‍රා බොහොමයක නිසි ශීතකරන නොමැතිකම හේතුවෙන් අල්ලා ගත් කෙලවල්ලන්ගෙන් අඩක් පමන වෙරලට ගෙන ඒමට පෙර නරක් වී යන” බව ය. යාත්‍රා නවීකරනය, වැඩි දියුනු කල මත්ස්‍යයන් ඇල්ලීමේ ක්‍රමෝපාය යොදා ගැනීම, මුහුදේ ගතකරන කාලය අඩු කිරිම සඳහා වැඩි දියුනු කල ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරිම මගින් මේ ගැටලු විසදා ගත හැකි බව එම වාර්තාව කියයි. පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම හා ව්‍යාපාරය පලදායී ලෙස සංවිධානය කිරීමට ද එය යෝජනා කරයි. කෙසේ වෙතත් නවීන ක්‍රම භාවිතය සමග ධීවර රැකියා සෑහෙන ප්‍රමානයක් අහෝසි වීම ගැන ද එය අනතුරු හඟවා ඇත. සුලු ව්‍යාපාරිකයන්ට මෙවැනි වැඩි දියුනු කිරීම් සදහා ප්‍රාග් ධනය නැත. විශාල ජනකායක් නට්ටම් කිරීම වත්මන් ධනපති සංවර්ධනයේ අර්ථයයි.
තවමත් තනි ඔරු, යාන්ත්‍රික නොවූ ෆයිබර් ග්‍ලාස් ඔරු, කොල්ලෑ සහිත රුවල් ඔරු, කොල්ලෑ සහිත පදින ඔරු, වල්ලම්, තෙප්පම්, කට්ටුමරන් යනාදී ඉතා නො දියුනු සහ අනතුරුදායක වැඩවසම් තාක්ෂන උපකරන භාවිත කරන දුප්පත් ධීවරයින් තව දුරටත් නො සලකා හැරීමට නියමිත ය. දැනටමත් ධීවරයෝ වරාය හෝ සුදුසු තොටුපල නැතිව පීඩා විඳීති. කර්මාන්තය වැඩි දියුනු කිරිම සිදු කලත් ඒ ධනපති ඒකාධිකාරයන්ට ධීවරයන් තව දුරටත් මිරිකා උරා ගැනීමට මිස දුප්පත් ධීවරයන්ට සහන සැලසීම සඳහා නො වේ. සමස්ථ නිෂ්පාදන කර්මාන්තය ම කම්කරු පාලනය යටතේ ජනසතු කරන සමාජවාදී වැඩ පිලිවෙලකට පමනක් ධීවර ආම්පන්න පහසු මිලට සපයමින්, ධනේශ්වර මූල්‍ය ආයතනවලින් නිකුත් කල නය අහෝසි කර, අවශ්‍ය පහසුකම් සපයා ධීවර ගැටලු අවසාන වසයෙන් විසඳිය හැකි ය.