ඩේවිඩ් නෝර්ත් “අනතුරු ඇඟවීම යි: යුද්ධයට එරෙහිව සමාජවාදය” ලයිප්සිග් පොත් ප්‍රදර්ශනයේදී හඳුන්වා දෙයි: “මනුෂ්‍යත්වය අගාධයට ඇද වැටීමේ අන්තරායට මුහුණ දෙමින් සිටී”

ඩේවිඩ් නෝර්ත් විසිනි.

සෙනසුරාදා ජර්මනියේ ලයිප්සිග් පොත් ප්‍රදර්ශනයේදී, ලෝක සමාජවාදී වෙබ් අඩවි කර්තෘ මණ්ඩලයේ සභාපති සහ සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදය) ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත්, ඔහුගේ Sounding the Alarm: Socialism Against War (අනතුරු ඇඟවීම යි: යුද්ධයට එරෙහිව සමාජවාදය) කෘතියේ අලුතින් නිකුත් කරන ලද ජර්මානු පරිවර්තනය හඳුන්වා දුන්නේය. 2014 සිට 2024 දක්වා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ වාර්ෂික ඔන්ලයින් මැයි දින සැමරුම් උළෙලදී ලෝක ධනවාදයේ තීව්‍ර වන අර්බුදය සහ ගෝලීය යුද්ධය සදහා වන තල්ලුව ප්‍රස්ථාරගත කරමින් නෝර්ත් විසින් පවත්වන ලද දශකයක දේශන මෙම වෙළුම එක තැනකට ගෙන එයි.

බර්ලින් සහ ලයිප්සිග් අතර දුම්රිය මාර්ගයේ අනතුරක් හේතුවෙන්, නෝර්ත් සහ යොහැන්නස්  ස්ටර්න්ට පෞද්ගලිකව සහභාගි වීමට නොහැකි විය. නෝර්ත් ගේ පහත සඳහන් ප්‍රකාශයන් මෙන්ම ස්ටර්න්ගේ හැඳින්වීම ද සියලු දෙනාට ඇසීමට කියවන ලදී.

ඉංග්‍රීසි සංස්කරණය මෙහි ඇනවුම් කළ හැක.

***

Sounding the alarm
Sounding the Alarm: Socialism Against War, David North

නැවත වරක් Leipzig Buch Messe ( ලයිප්සිග් පොත් ප්‍රදර්ශනයට)ට සහභාගී වී මගේ නවතම කෘතිය වන Sounding the Alarm: Socialism Against War (අනතුරු ඇඟවීම යි: යුද්ධයට එරෙහිව සමාජවාදය) හි ජර්මානු භාෂා සංස්කරණය ඉදිරිපත් කිරීමට ලැබීම ගැන මම ඉතා සතුටු වෙමි. යොහැන්නස් ගේ ඉතා කාරුණික ප්‍රකාශය සඳහා මම ඔහුට ස්තූති කිරීමට කැමතියි. ඔහුගේ ප්‍රශංසාව කෙතරම් ප්‍රබලද වූයේ ද යත්  මගේම  කෘතිය මා විසින්ම ප්‍රශංසා කිරීමේ බර යොහැන්නස් මගේ උර මතින් ඉවත් කළේය.

2014 සහ 2024 අතර මා සාමාජිකයෙකු වන ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් පවත්වනු ලැබූ වාර්ෂික මැයි දින රැස්වීම්වලදී මා විසින් කරන ලද දේශනවල අනාවැකිමය ස්වභාවය ලෙස  ඔහු විසින් හඳුන්වනු ලැබූ දෙය යොහැන්නස්  විසින් අවධාරණය කර ඇත.

මෙය ඉහළ ප්‍රශංසාවකි, නමුත් මගේ කෘතියේ “අනාවැකිමය ස්වභාවය” ගැන සඳහනෙන් ඉස්මතු වූ ගුප්ත ප්‍රභා මණ්ඩලයෙන් ඈත් වීමට මම බැඳී සිටිමි. මම අනාගත වක්තෘවරයෙකු නොවන අතර (අනාගතයේ දැකීමේ සමත්) පළිඟු බෝලයක්ද මා සතුව නැත. මම, ඒ වෙනුවට, ඓතිහාසිකව දැනුවත් දේශපාලන විශ්ලේෂණයේ විද්‍යාත්මක ක්‍රමවේදයක් සමඟ වැඩ කිරීමේ වාසිය ඇති මාක්ස්වාදියෙකි.

ලිවීමේදී, සිදුවීම් වඩාත් පුළුල් ඓතිහාසික සන්ධර්භයක් තුළ ස්ථානගත කිරීමට, ඒවා සංකීර්ණ ඓතිහාසික වර්ධන ක්‍රියාවලියක අවස්ථා ලෙස පරීක්ෂා කිරීමට, රජයන් සහ දේශපාලනඥයන් ඔවුන්ගේ ප්‍රතිපත්ති සහ ක්‍රියාවන් සඳහා දෙන සාධාරණීකරණයන් කෙරෙහි අඩු අවධානයක් හෝ කිසිදු අවධානයක් පවා නොදැක්වීමට, ඊට විපරීතව ගෝලීය පරිමාණයෙන් ක්‍රියාත්මක වන වෛෂයික ආර්ථික ක්‍රියාවලිය කෙරෙහි අවධානය යොමු කිරීමට, ආණ්ඩු සේවය කරන පන්ති අවශ්‍යතාවයන් පරීක්ෂා කිරීමට, ගෝලීය වශයෙන් ඒකාබද්ධ ධනේශ්වර පද්ධතියක් තුළ ජාතික රාජ්‍යයන් අතර ගැටුම් උත්සන්න වීමේ ප්‍රතිවිපාක හැකි තරම් පරිස්සම් සහගතව සහ යථානුභූතිකව තක්සේරු කිරීමට සහ අවසාන වශයෙන්, කම්කරු පන්තිය මත ලෝක අර්බුදයේ බලපෑම සහ ධනවාදය පෙරලා දමා සමාජවාදී පදනමක් මත ලෝකය ප්‍රතිනිර්මාණය කිරීමට තුඩු දෙන විප්ලවවාදී පන්ති අරගලය පුපුරා යාමේ විභවය තක්සේරු කිරීමට, මම උත්සාහ කරමි.

මගේ පොත පෙන්නුම් කරන පරිදි, සිදුවීම් සඳහා මෙම ප්‍රවේශය ඉතා නිවැරදි දේශපාලන ඇගයීම් සහ අනාවැකි සඳහා පවා හැකියාව ලබාදී ඇත. කෙසේ වෙතත්, මා භාවිතා කිරීමට උත්සාහ කර ඇති මාක්ස්වාදී විධික්‍රමය, සංස්ථාපිත මාධ්‍යවේදීන්ගේ සහ ශාස්ත්‍රාලිකයන්ගේ ක්‍රියාකාරකම්වල ලක්ෂණයන් වන,  අදූරදර්ශී ධාරණාවාදයේ, අනඓතිහාසික තත්කාර්‍යවාදයේ සහ ධනවාදයේ සදාකාලික ස්වභාවය පිළිබඳ ස්වයං-මුළා කරවන විශ්වාසයේ සංකලනයට වඩා, මඟ පෙන්වීමේ සහ පෙර දැකීමේ වඩාත් විශ්වාසදායක මෙවලමක් බව ඔප්පු වී ඇත.

ධනේශ්වර දේශපාලඥයන් සහ මාධ්‍ය අනාවැකි කාරයින් ඉතා අල්ප වශයෙන් පමනක් පෙර-දැක ඇති බව ඉතා පැහැදිලිය. 1989 සහ 1991 අතර කාලපරිච්ඡේදය තුළ, සෝවියට් සංගමය හා නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී පාලන තන්ත්‍රයන් විසුරුවා හැරිම, ප්‍රජාතන්ත්‍රවාදයේ සහ සාමයේ නව යුගයක ආරම්භය සනිටුහන් කළ බව ඔවුහු ප්‍රකාශ කළහ. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මානුෂීයවාදීන්ගේ ආධිපත්‍යය යටතේ ධනවාදය තමන්ට උදා කල හැකි දේ ලෝකයට පෙන්වනු ලබනු ඇත.

බලාපොරොත්තු වූ පරිදි කිසිවක් සිදු නොවීය. මිලියන ගණනකගේ ජීවිත බිලිගත් නිමක් නැති යුද්ධවලින් පසුගිය වසර 35 කැළැල් වී ඇත. ධනේශ්වර ක්‍රමය අර්බුදවලින් අර්බුදය දක්වා පය පැටලී ගොස් පණ බේරා ගත්තේ, ඩොලර් ට්‍රිලියන ගණනින් දැවැන්ත ඇපදීම් ක්‍රියාවට නැංවීමෙන් පමනි. සමාජ අසමානතාවය ඓතිහාසිකව පෙර නොවූ විරූ මට්ටම් කරා ළඟා වී තිබේ. විනාශකාරී COVID-19 වසංගතය මිලියන ගනනක් ජීවිත බිලිගෙන ඇති අතර, ධනේශ්වර ආන්ඩු විසින් උකහා ගන්නා ලද එකම පාඩම නම්, වසංගතයේ මුල් සති වලදී, සංගත ලාභ අඩු කිරීමට තුඩු දුන් අගුලු දැමීම් සහ මුඛ ආවරණ වැනි අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පවා වැරැද්දක්  බවය. ජීවිත බේරා ගැනීමට වඩා ලාභ කොටස ආරක්ෂා කිරීම ඉතා වැදගත් ය.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉරණම ගැන කුමක් කිව හැකිද? මින් මාසයකට මඳක් වැඩි කාලයක් තුළ, 2025 මැයි 7 වන දින, තුන්වන රයිකය බිඳවැටීමේ අසූවන සංවත්සරය සමරනු  ලැබේ. නමුත් මෙම සංවත්සරය සම්පාත වන්නේ ලොව පුරා ෆැසිස්ට් ව්‍යාපාරවල ගෝලීය නැගීමත් සමඟ ය. ජර්මනියේ (අන්ත දක්ෂිණාංශික) AfD  වඩාත්ම බලගතු දේශපාලන පක්ෂය ලෙස මතුවෙමින් තිබේ. ෆැසිස්ට්වාදයට පල්ලම් බැසීමේ ක්‍රියාවලිය ඉතාලියේ, ප්‍රංශයේ සහ සත්තකින්ම එක්සත් ජනපදයේ සිදුවෙමින් පවතී.

දෙවන ට්‍රම්ප් පරිපාලනය ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ සර්ව-ව්‍යාපී බිඳවැටීමේ දේශපාලනිකව අශිෂ්ටතම ප්‍රකාශනය වනවා පමනි. ඇමරිකානු ව්‍යවස්ථාව මියගිය ලේඛනයක් බවට පත්වෙමින් තිබේ. මැඩිසන්, ජෙෆර්සන් සහ ලින්කන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම, කාල් ෂ්මිට්ගේ සාපරාධී නීති න්‍යායන් මගින් ප්‍රතිස්ථාපනය කෙරෙන ජනාධිපති ආඥාදායකත්වයක් ගොඩ නැගෙමින් තිබේ. එක්සත් ජනපදය දැන් අයිතිවාසිකම් පිළිබඳ පනත (Bill of Rights) Führer (දුෂ්ඨ ආඥාදායකත්වය) මූලධර්මයට යටත් වන රටකි. මෙමගින් “ව්‍යතිරේක/හදිසි අවස්ථා තත්ත්වයක්”-Ausnahmezustand-ප්‍රකාශ කිරීමට සහ ඔහු තෝරා ගන්නා ඕනෑම කෙනෙකුට සියලු නීතිමය ආරක්ෂාවන් අහිමි කිරීමට ජනාධිපතිට හැකියාව ලබා දේ. 

මීට කලින් 1812 යුද්ධය, පළමු ලෝක යුද්ධය සහ දෙවන ලෝක සංග්‍රාමයේ දී පමණක් භාවිතා කර ඇති කුප්‍රකට පිටදේශ සතුරන්ගේ පනත (Alien Enemies Act) ට්‍රම්ප් පරිපාලනය ක්‍රියාවට නංවා ඇති සේම, සිසුන්, ඔවුන්ගේ නිවෙස් තුලින්  හෝ වීදිවලින් අල්ලා ගැනීම සඳහා වංචනික අනීතික කඩතුරාවක් ලෙස අත්තනෝමතික “විධායක නියෝග” නිකුත් කරයි. මෑත අතීතයේ චිලී, ආර්ජන්ටිනා සහ බ්‍රසීල ආඥාදායකත්වයන් සහ නාසි ජර්මනිය පවා සිහිපත් කරන දර්ශන දැන් එක්සත් ජනපදයේ බහුලව දක්නට ලැබේ.  මහමුද් කලිල් (Mahmoud Khalil), රුමේෂා ඔස්ටර්ක් (Rumeysa Ozturk) සහ, ඉතා මෑතක දී, මිනෙසොටා විශ්වවිද්‍යාලයේ නාඳුනන ශිෂ්‍යයෙකු අල්ලාගෙන ප්‍රාන්තයෙන් බැහැර රැඳවුම් මධ්‍යස්ථානයකට ගුවනින් යවා ඇත. “රාත්‍රිය සහ ඝන මීදුම”—Nacht und Nebel—එක්සත් ජනපදයට පැමිණ ඇත. තවත් ධෛර්යසම්පන්න ශිෂ්‍යයෙක් වන, කෝනල් විශ්වවිද්‍යාලයේ මොමොඩු ටාල් (Momodou Taal), එලෙස සලකනු ලැබීමට එරෙහිව උසාවිවල සටන් කරයි. මේ සියලු තරුණයන් අපරාධ කර නැත. පලස්තීනුවන් සමූහ වශයෙන් ඝාතනය කිරීමට සාමකාමීව විරෝධය දැක්වීම සඳහා නිදහස් භාෂණයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඔවුන් විසින් ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ එකම “වරද” වී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීමට සමගාමීව, සමූල ජන ඝාතනය යුක්තිසහගත කිරීම සහ නීත්‍යානුකූල කිරීම සමග අත්වැල් බැඳ, මිලිටරිවාදයේ යලි පිබිදීම අපි අත්දකිමින් සිටිමු. යුක්රේනයේ සහ ගාසා තීරයේ යුද්ධ, ලෝකය යලි බෙදීම සඳහා වන නව ගෝලීය යුද්ධයක පළමු වටය පමණක් බව ඔප්පු වෙමින් තිබේ. ලෙනින්, ට්‍රොට්ස්කි සහ අනෙකුත් අධිරාජ්‍යවාදයේ ශ්‍රේෂ්ඨ මාක්ස්වාදී විරුද්ධවාදීන් විසින් ලියන ලද  අධිරාජ්‍යවාදය පිළිබඳ පුරෝගාමී මූලික ලියවිලි (seminal texts) කියවීමට සහ අධ්‍යයනය කිරීමට දැන් කාලයයි.

පළමුවන ලෝක සංග්‍රාමය ආසන්නයේ ෆ්‍රාන්ස් මේරිං (Franz Mehring) අනතුරු ඇඟවූ පරිදි, යුද්ධයේ දෙවිවරු පිපාසිතව ඇත. ට්‍රම්ප්, පැනමා ඇළ සහ ග්‍රීන්ලන්තය අල්ලා ගන්නා බවට තර්ජනය කරන අතර, ඔහුගේ නාසි වීරයන්ගේ ‘සැලසුම් ලේඛනය’ අනුගමනය කරමින්, කැනඩාවේ “ඇන්ෂ්ලස්” (ඈඳා ගැනීම) සඳහා ඔහුගේ සැලසුම් ගැන විවෘතව පුරසාරම් දොඩයි.

ජර්මනිය සම්බන්ධයෙන් ගත් කල,  1914 සහ 1939 ට පූර්වයෙන් කල දෑ සිහිගන්වමින් එය දැන් තවත් විනාශකාරී අවි තරඟයක යෙදී සිටින්නේ, නැවත වරක් තමන්ටත් වාසිදායක බල වැයික්කියක් සාක්ෂාත් කර ගැනීම සඳහාය. නව “නැගෙනහිර වෙත ධාවනයක්” සූදානම් කරමින් පවතී. එය නතර නොකළහොත්, එය විල්හෙල්ම් II සහ ඇඩොල්ෆ් හිට්ලර් යටතේ මීට පෙර දැරූ උත්සාහයන්ටත් වඩා විශාල ව්‍යසනයකට තුඩු දෙනු ඇත.

මගේ පොත, මාතෘකාවේ පැහැදිලිව දක්වා ඇති පරිදි, අනතුරු ඇඟවීමට උත්සාහ කිරීමකි. මනුෂ්‍යත්වය අදුරු අගාධයට පලල්ලම් බැසීමේ අනතුරට මුහුණ දෙමින් සිටී. මෙම අර්බුදයෙන් මිදීමට ඇති එකම මාර්ගය ධනේශ්වර ක්‍රමය අවසන් කිරීම පමණි. රෝසා ලක්සම්බර්ග් විසින් ඉදිරිපත් කළ ලෙස, විකල්පය වන “සමාජවාදය හෝ ම්ලේච්ඡත්වය”ට අද අප සියල්ලන්ම මුහුණ දෙමින් සිටි. අනතුරු ඇඟවීම හඬ නංවා ඇත. අපි දැන්  එයට ප්‍රතිචාර දැක්විය යුතුයි.

අනතුරු ඇඟවීම යි: යුද්ධයට එරෙහිව සමාජවාදය  Mehring Books වෙතින් මිලදී ගන්න.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top