චෙක්-ප්‍රංශ නවකථාකරු මිලාන් කුන්දේරාගේ ජීවිතය හා මරනය පිලිබඳ පරිකථනයක් (1929-2023) – 01 කොටස

ජේම්ස් මැක්ඩොනල්ඩ්, සැන්ඩි ඉංග්ලිෂ් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 27 දින ඉංග්‍රීසි බසින් පල වූ, ‘A comment on the life and death of Czech-French novelist Milan Kundera (1929-2023)’ යන ශීර්ෂය යටතේ ජේම්ස් මැක්ඩොනල්ඩ් හා සැන්ඩි ඉංග්ලිෂ් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය පරාක්‍රම කුරුප්පු  විසිනි.

චෙක්-ප්‍රංශ නවකතාකරු මිලාන් කුන්දේරා, පසුගිය ජූලි 16 දින පැරීසියේ අභාවප්‍රාප්ත විය. 94 වන වියේ දී සිදු වූ ඔහුගේ මරනය විසින් සනිටුහන් කෙරුනේ, කාලය විසින් ඉක්මවා යනු ලැබ තුබූ වැදගත් නවකතාකරුවෙකුගේ අභාවයයි.

කුන්දේරා ප්‍රංශය කරා විගමනය වූ 1975 වසර හා ආශ්‍රිත කාලය වන විට සහ, විශේෂයෙන් ම 1980 ගනන්වල ඔහු බටහිර ලෝකයේ සාර්ථකත්වය ලද කාලය වන විට, යුරෝපයේ හා ඇමරිකාවේ බුද්ධිමය හා සංස්කෘතික කව ඇද බැඳගෙන තුබුනේ අශුභවාදය, මුලාවන් දූරිභූත වීමෙන් ඇති වන අපේක්ෂා භංගත්වය හා ඓතිහාසික ප්‍රගතිය පිලිබඳ මතිය ප්‍රතික්ෂේප කිරීමයි. කුන්දේරාගේ ලේඛන, සාහිත්‍යය තුල මෙකී මනෝභාවයේ පුරාකෘතිමය ප්‍රකාශනය බවට ම පාහේ පත් විය. සෑමවිටම හා නොවෙනස් ලෙස ම ප්‍රති-කොමියුනිස්ට්වාදී හා නරුම වූ ඔහුගේ අහේතුකවාදය ආමන්ත්‍රනය කලේ, තැචර් – රේගන් සමාජ ප්‍රතිවිප්ලවය, සමාජ අසමානතාවයේ මහා පිම්ම සහ විශ්ව විද්‍යාල මන්ඩප තුල පශ්චාත්නූතනවාදයේ නැඟීම විසින් නිර්මානය කරන ලද ප්‍රතිගාමීත්වයට ය.    

තමාගේ ම කලා නිර්මාන ද, ස්වකීය වර්ධනය ද තම ප්‍රමාද දෝෂ ද සම්බන්ධයෙන් වගකිව යුත්තේ කුන්දේරා ම බවට විවාදයක් නැත. කෙසේවෙතත්, ඔහුගේ කනගාටුදායක ගමන්පථය හා ඉරනම සම්බන්ධයෙන් අන් සියල්ලටමත් වඩා විශාලතර හා ගැඹුරුතර දෝෂ දර්ශනයට ලක් විය යුත්තේ, “කම්කරු පන්ති ව්‍යාපාරයේ සිෆිලිස් රෝගය” ලෙස ලියොන් ට්‍රොට්ස්කි විසින් හඳුන්වා දෙන ලද ස්ටැලින්වාදයයි. ට්‍රොට්ස්කි පැහැදිලි කල පරිදි, එහි කාර්යභාරය “අපරාධකාරී ද, අනර්ථකාරී ද වේ.” මක්නිසාද යත්, ස්ටැලින්වාදය, “අධිරාජ්‍යවාදයට තමන් පුදන සේවාවන් ඔක්තෝබර් විප්ලවයෙන් හා බෝල්ෂෙවික්වාදයෙන් සොරකම් කර ගත් අධිකාරයෙන් ආවරනය කරන නිසාය.” කුන්දේරාගේ ජීවිතය හා ඔහුගේ කෘති එකට ගත් විට එය, ස්ටැලින්වාදයේ කටයුතුවල ව්‍යසනකාරී බලපෑම් පිලිබඳ කාරක අධ්‍යයනයකට (Case Study) සෑහේ.  

කුන්දේරා නවකතා 10 ක කතුවරයා විය. ඉන් වඩාත්ම ප්‍රසිද්ධියට පත් වූ ඒවා වූයේ, The Joke (සරදම) [1967], The Book of Laughter and Forgetting (හාස්‍යයේ සහ අමතකවීමේ පොත) [1979] හා The Unbearable Lightness of Being (පැවැත්මේ උසුලා සිටිය නොහැකි තරමේ සැහැල්ලුව) [1984] යන ඒවා ය. එමෙන්ම, කුන්දේරා විසින් ලියන ලද තවත් පොත් හා නිබන්ධ ගනනාවක් වෙයි. The Art of the Novel (නවකතා කලාව) [1986] සහ The Curtain (තිරය) [2005] වන් කෘතීන් මෙන් ම, කෙටි කතා (ඒවායින් ඇතැම් ඒවා Laughable Loves (හාස්‍යජනක ප්‍රේමයන්) [1974] කෘතිය තුල පල වී ඇත) සහ නාට්‍ය ගනනාවක් ද ඊට ඇතුලත් ය. ඔහුගේ නාට්‍ය අතරින් වඩාත් කැපී පෙනෙන නිර්මානය වූයේ, 1983 දී මහත් වූ මාධ්‍ය තූර්ය ඝෝෂා මධ්‍යයේ කේම්බ්‍රිජ්, මැසචුසෙට්ස්හි (ඇමරිකන් රිපර්ටරි තියටර්) නිෂ්පාදනයක් ලෙස ලේඛිකා-විචාරිකා සූසන් සොන්ටැග් විසින් අධ්‍යක්ෂනය කරන ලද Jacques and His Master (ජැක් සහ ඔහුගේ හාම්පුතා) [1981] නම් නලුවයි.        

චෙකොස්ලෝවැකියාවේ අතෘප්තිය පැතිර ගිය කාල පරිච්ඡේදයක් වූ 1950 ගනන්වල අගභාගයේ හා 1960 ගනන්වල දී කුන්දේරා සැලකිය යුතු කලාකරුවෙකු ලෙස පරිනත විය. ආර්ථික පරිහානියක් විසින් ජනගහනයේ වඩාත් වරප්‍රසාදිත ස්ථර සතුටු කිරීමට බල කෙරී තුබූ අන්ටෝනින් නොවෝට්නිගේ තන්ත්‍රය කෙරේ, සැලකිය යුතු කම්කරු පන්ති ප්‍රතිවිරෝධයක් ජනනය කරනු ලැබ තිබින. 1962 දී ගමනාගමන සීමා කිරීම් ලිහිල් කිරීමට කටයුතු කල නොවෝට්නි නව “විවෘත භාවයක” හැඟවීමක් වශයෙන් කීර්තිමත් ජර්මානු-චෙක් ලේඛක ෆ්‍රාන්ස් කෆ්කා පුනරුත්ථාපනය කලේය. චෙක් චිත්‍රපටය මේ වන විටත් “නව රැල්ල” ලෙස එහි වර්ධනය ආරම්භ කොට තිබූ අතර, 1964 වන විට මිලෝස් ෆෝමන්ගේ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය වූ බ්ලැක් පීටර් ප්‍රදර්ශනයට පැමින තිබින. කුන්දේරා, ප්‍රාග්හි ප්‍රාසාංගික කලා ඇකඩමියේ (FAMU) සිනමා සහ රූපවාහිනී පාසලේ දී මෙකී සිනමාකරුවන් බොහෝ දෙනෙකුට සමීප ව සිටි අතර, ඇත්තෙන්ම ඔවුන්ගෙන් ගනනාවකට උගන්වා ද තිබින.   

ඔහුගේ ප්‍රථම නවකතාව වූ ද ජෝක් කෘතිය 1965 වන විට නිමා කර තිබූ නමුත් එය 1967 වන තෙක් පල වූයේ නැත. එය, චෙකොස්ලෝවැකියානු කොමියුනිස්ට් පක්ෂයේ (CSK) පක්ෂපාත සාමාජිකයෙකු වූ ලුඩ්වික් නම් ශිෂ්‍යයෙකු පිලිබඳ කථා ප්‍රවෘත්තියකි. ඔහු, “ට්‍රොට්ස්කි දිනේවා!” යන පාඨයෙන් අවසන් වන හාස්‍යජනක තැපැල්පතක් සිය පෙම්වතියට යැවීම නිසා පක්ෂයෙන් නෙරපනු ලබයි.   

කුන්දේරා ම 1950 දී ලද අත්දැකීම් මත පදනම් වූවක්යැයි සැලකෙන ‘විහිලුව’, ලුඩ්වික්ට හමුදා දන්ඩන ඒකකයක ගෙවන පස් වසරක ජීවිතයක් හිමි කර දෙන අතර, ඒ කාලයේ ඔහු ප්‍රාදේශීය කම්හල් කම්කරු ස්ත්‍රියක වන ලුසී සමඟ පෙමින් බැඳෙයි. කාලයාගේ ඇවෑමෙන් ඔහු විද්‍යාඥයෙකු බවට පත් වන අතර, නවකතාවේ කථා පුවත කේන්ද්‍ර වන්නේ තමන් පක්ෂයෙන් නෙරපා හැරීමට මුල් වූවන්ගෙන් පලි ගැනීම සඳහා ලුඩ්වික්ට පවතින අභිලාෂය වටා ය.

මෙම පොත, ස්ටැලින්වාදී තන්ත්‍රයේ කුහකවත මෙන් ම එහි අභූතරූපතාව කෙරේ ද ආමන්ත්‍රනය කල හෙයින්, 1968 වර්ෂයේ සහනදායී “ප්‍රාග් වසන්තය” සමයේ එය දැවැන්ත ජනප්‍රියත්වයක් අත්පත් කර ගත්තේය. එය ප්‍රකාශයට පත්වීමට පවා පෙර, සිනමාකරු යෙරොමිල් යිරැෂ් එහි සිනමා තිර පිටපත ලිවීම ආරම්භ කලේය. චිත්‍රපටය 1969 දී තිරගත විය.

Kundera
මිලාන් කුන්දේරා, 1980 [ඡායාරූපය: එලිසා කැබෝ / අවසරය: CC BY 3.0]

සිය ඉදිරි ප්‍රබන්ධවල දී කුන්දේරා පූර්වව්‍යාපෘත වීමට නියමිත වූ බොහොමයක් තේමා ඒ වන විටත් පැවැතින: ඉතිහාසය පිලිබඳ අවිශ්වාසය, අභූතරූපය හා අවිචාරය කෙරේ පමන ඉක්මවා පුම්බවන ලද ආකර්ෂනය, සහ, පුලුල් ලෝකයෙන් ආරක්ෂා වී රැකවරනය ලැබීමේ මඟක් ලෙස පෞද්ගලික ජීවිතය – විශේෂයෙන් ම ප්‍රේමය හා කාමය – වෙත හැරීමක්. ද ජෝක්හි ඔහු සිය කම්කරු චරිත නිරූපනය කරන්නේ තන්ත්‍රයට ප්‍රතිවිරුද්ධ ලෙස හෝ උදාසීන ලෙස වේවා, එනමුත් අත්‍යවශ්‍යයෙන් ම අකර්මන්‍ය චරිත ලෙස ය. ලුඩ්වික්ට නරක ලෙස සැලකීමෙන් හා ඔහු නෙරපා හැර පිටස්තරයෙකු බවට පත් කිරීමේ ආතතීන්ගෙන් නිපන් ඔහුගේ චිත්තවේගී ආතතීහු, තුමූ ම, අතෘප්තිකර චිත්තවේගීය සම්බන්ධතා මාලාවක් තුල වැඩ කිරීමට නැඹුරු වෙති. ජීවිතය වඩාත් යහපත් කර ගැනීම සඳහා වන සමාජ අරගලයක් තුල කවරාකාර හෝ විසඳුමක් පවතින බවක් ලුඩ්වික් මෙන් ම පැහැදිලිව ම කුන්දේරා මත් නොදකියි.  

ලේඛකයා චෙකොස්ලෝවැකියානු ඉතිහාසය තුල – විශේෂයෙන් ම 1948 න් මෙපිට කාලය තුල – ඒ අත මේ අත සැරිසරන නමුත්, 1953 සිදු වූ ස්ටැලින්ගේ මරනය සම්බන්ධයෙන් වේවා, ස්ටැලින්ගේ අපරාධ රාශියක් පිලිබඳ විස්තරාත්මක තොරතුරු හෙලිදරව් කල නිකිටා කෘෂෙව්ගේ 1956 “රහස් දේශනය” සම්බන්ධයෙන් වේවා, නැතහොත් නාසීන් විසින් අල්ලා ගනු ලැබීම සහ චෙකොස්ලෝවැකියාවේ ම විප්ලවවාදී ඉතිහාසය සම්බන්ධයෙන් පවා වේවා, ඔහුගේ කෘතීන්ගේ එන කවර හෝ චරිතයක් සිතන්නේ, කැපී පෙනෙන අල්පමාත්‍ර වූ පමනෙකිනි. ඒවා සම්බන්ධ ව සඳහන් වන නමුදු, පෙනී යන පරිදි, ඒවා ඔහුගේ චරිත මත කිසියම් මුද්‍රාවක් තබා නැත. එකී වර්ෂවල ස්ටැලින්වාදයේ අර්බුදය කෙරේ ඔහුගේ ප්‍රතිචාරය පලාත්බද වූත් ජාතික වූත් එකක් බැව් පෙනී යයි.

පශ්චාත් යුද්ධකාලීන කාල පරිච්ඡේදයේ විප්ලවවාදී උදම් රල හමුවේ කුන්දේරා කිසිසේත් නොසැලුනු බවක් මෙයින් අදහස් නොවේ. (ඔහුගේ කථාවේ එන පහත විස්තරය බලන්න.) 1948 කොමියුනිස්ට් පක්ෂය බලය අල්ලා ගැනීමේ ප්‍රථම සංවත්සරය වෙනුවෙන් පැවැති මහජන පෙලපාලියකි. ඉතාලි ස්ටැලින්වාදී නායක පල්මිරෝ ටොග්ලියට්ටි කුඩා වේදිකාව මත පෙනී සිටියි. තරුන ගායක කන්ඩායමකට, ‘බන්දේරා රෝසා’ නම් ඉතාලි විප්ලවවාදී ගීය ගායනා කිරීම මඟින් සිය ජාත්‍යන්තරවාදය පල කිරීමට අවශ්‍ය වේ. මේ සිදුවීම, සිය කථාවේ එක් චරිතයක දෘෂ්ටි කෝනයෙන් ඔහු විස්තර කරන්නේ මෙසේය:  

… ටිකෙන් ටික වඩවඩාත් කටහඬවලින් ගීතය පන ලැබීය, සිදුවෙමින් පවතින්නේ කුමක්දැයි ජනයා අවබෝධ කර ගැනීමට පටන් ගත්හ. මේ අතර ගීතය, ප්‍රතිරාව නංවන දැවැන්ත කෝෂයකින් පිට ව නැඟෙන සමනලයෙකු සේ ජනක්ෂෝභය මතින් චතුරශ්‍රය තුල නැඟී ආවේය.

එහෙත් ඉනික්බිතිව නවකතාව මාරු වන්නේ CSK ශිෂ්‍ය සංවිධානය ගර්හිත හා තකතීරු ආකාරයෙන් ලුඩ්වික්ගේ ඊනියා මිත්‍යාමතික තැපැල්පත සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කරන සිදුවීම කරා ය:

“මා විවෘත තැපැල්පතක මගේ වාක්‍ය ලියා තිබුනේ සියලු දෙනා විසින් එය දකිනු ලැබීම සඳහායැයි ද, මගේ වචනවල, මගේ චිත්තවේගයන්ගේ ස්වභාවයෙන් පැහැදිලි කිරීමට සමත් නොවන වෛෂයික වැදගත්කමක් තුබුනේයැයි ද ඔවුහු කීහ. මා කෙතරම් දුරට ට්‍රොට්ස්කි කියවා ඇත්දැයි ඔවුහු ඊලඟට ප්‍රශ්න කලෝය. එකක්වත් නැතැයි මම කීමි. මට කියවීමට පොත් දුන්නේ කවුරුන්දැයි ඔවුහු මගෙන් ඇසූහ. කිසිවෙකු නැතැයි මම කීවෙමි. මට මුන ගැසී ඇති ට්‍රොට්ස්කිවාදීන් කවුරුන්දැයි ඔවුහු ඇසූහ. කිසිවෙකු නැතැයි මම කීවෙමි. වහා ම ක්‍රියාත්මක වන ලෙසින් ශිෂ්‍ය සංගමයේ මගේ තනතුරින් මා ඉවත් කරන බව කියූ ඔවුහු, මගේ කාර්යාලයේ යතුරු ඔවුන්ට දෙන ලෙස කියා සිටියෝය.

මෙම අකරතැබ්බයෙන් පසු ලුඩ්වික් නරුම භාවයට පත්වෙයි. නවකතාව මෙහි දී රට තුල නින්නාද දෙන තතක් හැඬවීය – ඇතැම්විට, යම් තරමකින් ඒ, නවකතාවේ අග කොටසට වන්නට කුන්දේරා, “සමාජවාදය” එය පැවැති ආකාරයෙන් ප්‍රතිසංස්කරනය කල හැකිය යන ශක්‍යතාව බැහැර කල නිසා විය හැකිය.

තන්ත්‍රයට එරෙහි ප්‍රතිවිරෝධතාව සැබෑ ප්‍රගතිශීලී ආකෘතීන් අත්පත් කර ගත් අතර ම, ජාතිකවාදී ආකෘතීන් ද අත්පත් කර ගත් බව, කිසිසේත් පුදුමයට කරුනක් නොවේ. 1967ජූනියේ පැවැති චෙක් ලේඛක සංගමයේ සිව්වන සම්මේලනයේ දී කුන්දේරා පැවැත්වූ කථාව කේන්ද්‍රගත වූයේ චෙක් ජාතික සාහිත්‍යය සහ, යුරෝපා සංස්කෘතිය තුල එය දරන ස්ථානය පිලිබඳ ප්‍රශ්න මත ය. මෙය ඔහුගේ ජීවිතය පුරා ම ඔහු යලියලිත් පෙරලා පැමිනි විෂයයක් විය.

Novotny
චෙක් ස්ටැලින්වාදී නායක ඇන්ටොනින් නොවෝට්නි [ඡායාරූපය ANEFO / අවසරය: CC BY 3.0)

ද ජෝක් කෘතිය තුල කුන්දේරා, ස්ටැලින්වාදය යනු මාක්ස්වාදයේ ප්‍රභේදයකි යන සාවද්‍ය වූත්, ගැඹුරින් ම මංමුලාසහගත වූත් සංකල්පයේ තරයේ එල්බ සිටී. ලේඛකයා ට්‍රොට්ස්කිගේ කෘතීන් අතරින් සමහරක් කියවා තුබුනා විය හැකිය. එහෙත් ඔහුගේ ප්‍රථම නවකතාව තුල ශ්‍රේෂ්ඨ රුසියානු විප්ලවවාදියාගේ නම හුදෙක් අත්‍යන්ත මිත්‍යාවාදයකි; ප්‍රකෝපකරනයකි; 1923 සිට වාම විපක්ෂය සහ හතරවැනි ජාත්‍යන්තරය විසින් ඉදිරිපත් කරන ලද ලෝක විප්ලවයේ වැඩ පිලිවෙල පිලිබඳ කිසිදු සඳහනක් නැත.

ඒ කාලයේ මෙම ඉතිහාසය කුන්දේරාට හා අනෙකුත් විරුද්ධ මතධාරී බුද්ධිමතුන්ට බොහෝදුරට ම දත නොහැක්කක් විය. මෙය හුදෙක් ස්ටැලින්වාදී මර්දනය හා වාරනය නිසා ම ඇති වූ තත්ත්වයක් නොව, ඉදින් චෙකොස්ලෝවැකියාවේ හා සෝවියට් සංගමයේ දී මෙන් ඔවුන් බලයේ සිටියේ වේවා, නැතහොත් ප්‍රංශයේ හා ඉතාලියේ මෙන් ඔවුන් කම්කරු පන්තිය තුල ධනවාදයට පක්ෂපාතී “විපක්ෂ” ආරක්ෂක බැම්මක පරිද්දෙන් ක්‍රියා කලේ වී වේවා, පශ්චාත් යුදකාලීන උත්පාතයේ තතු යටතේ කම්කරු පන්තිය හා පොදුවේ වාම බුද්ධි ජීවීන් මත ආධිපත්‍යය දැරූ ස්ටැලින්වාදී හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නිලධරයන්ගේ දැවැන්ත දේශපාලන හා සංස්කෘතික ආනුභාවය මත ද ඇති වූවක් විය.   

එමෙන් ම, ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් ලේඛනගත කරනු ලැබ ඇති පරිදි, සෝවියට් සංගමයේ හා නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී නිලධරයන් වමට තල්ලු කිරීමට හා ප්‍රතිසංස්කරනය කිරීමට හැකි බව කියා සිටි පැබ්ලෝවාදය නමින් පතල වූ ප්‍රවනතාවය බිහි වීමෙන් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය මත ම ද සෑහෙන පීඩනයක් ක්‍රියාත්මක විය. පැබ්ලෝවාදය, ස්ටැලින්වාදීන් විසින් පාලනය කරන ලද රටවල අව්‍යාජ ට්‍රොට්ස්කිවාදයට එරෙහිව කඩාකප්පල්කාරී ලෙස ක්‍රියා කලේය.   

කුන්දේරා 1929 දී චෙකොස්ලෝවැකියාවේ බර්නෝ හි මධ්‍යම පන්තික පවුලක, ප්‍රමුඛ චෙක් ජාතික පියානෝ වාදක ගාන්ධර්වයෙකු වූ ලුඩ්වික් කුන්දේරාගේ පුත්‍රයා ලෙස උපත ලැබීය. ඔහුගේ හැඩ ගැස්ම කෙරේ වැදගත් බලපෑමක් කල අවුරුදු ගත වූයේ ජර්මානුන් විසින් යටත් කරනු ලැබ සිටි තතු යටතේ ය. 1944 දී රතු හමුදාව නාසීන් පරාජය කර බටහිරට පන්නා දමා චෙකොස්ලොවැකියාව නිදහස් කර ගත් අතර, දශ ලක්ෂ සංඛ්‍යාත චෙක් ජනයා සමාජවාදයේ අපේක්ෂාවන්ට සහාය දුන්නෝය. ඔහුගේ පරපුරේ බොහෝ දෙනා අනුව යමින් කුන්දේරා ද සිය 18 වන වියේ දී, එනම් 1947 දී, කොමියුනිස්ට් පක්ෂයට බැඳුනු අතර, ඊලඟ වර්ෂයේ ස්ටැලින්වාදීන් බලයට පැමිනීම උද්‍යෝගිමත් අභිනන්දනයකින් යුතුව පිලිගත්තේය.     

ආරම්භයේ දී කුන්දේරා ප්‍රාග්හි චාල්ස් සරසවියේ සංගීත සංයෝජනය උගත්තේය – ඔහුගේ කෘතීන් තුල සංගීතය කෙරේ වූ නොසැලෙන ආදරයක් හා සැලකිල්ලක් පෙන්නුම් කෙරේ – එහෙත් පසුව ඔහු ප්‍රාසාංගික කලා ඇකඩමිය (FAMU) තෝරා ගත්තේය. මෙම කාල පරිච්ඡේදය තුල ඔහු ව්ලදිමීර් මායාකොව්ස්කි රුසියානු-සෝවියට් කවියාගේ කවි පරිවර්තනය කර පල කල අතර තමන්ගේ ම අධිතාත්විකවාදී කවි ද පල කලේය. 1950 දී ඔහු CSK සංවිධානයෙන් නෙරපා හරින ලදී. එහෙත් FAMU වෙතින් උපාධිය ලැබූ ඔහු එකී සරසවියේ ම ලෝක සාහිත්‍යය පිලිබඳ කථිකාචාර්යවරයෙකු ලෙස පත් කර ගන්නා ලදී. ඔහුගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය වූ Man: A Wide Garden (මිනිසා: පුලුල් ගෙවුයනක්) 1953 දී ප්‍රකාශයට පත් විය.

දෙවන කොටසට…

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top