ගාසා ජන සංහාරය හා ආරොන් බුෂ්නෙල්ගේ මරනය විසින් මතු කෙරෙන දේශපාලන පාඩම් කවරේද? – 01 කොටස

ඩේවිඩ් නෝර්ත් විසිනි. 

පහත පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් ඈන් ආබර්හි මිචිගන් සරසවියේ “The Gaza genocide and the death of Aaron Bushnell: What are the political lessons?” නමින් පසුගිය මාර්තු 12 වන අඟහරුවාදා පැවැත්වූ දේශනයකි. මෙය ලෝසවෙඅ ඉංග්‍රීසි බසින්  පසුගිය මාර්තු 14 දින පල විය. සිංහල පරිවර්තනය පරාක්‍රම කුරුප්පු විසිනි.

යූ ටියුබ් නාලිකාවේ පල කරන ලද මෙකී දේශනයේ වීඩියෝව, “වයස් සීමාවක” ට හා “නරඹනනාගේ විචක්ෂනය” ට යටත් වීඩියෝවක් ලෙස වර්ග කිරීම දේශපාලන වාරනයක් ලෙස හඳුන්වා දෙමින් ලෝසවෙඅ ඊට දක්වා ඇති විරෝධය සමඟ සහෝදරාත්මක ව එක් වන TheSocialist.LK වෙබ් අඩවිය, ලෝකය පුරා ම අර්බුද-ග්‍රස්ත ධනේශ්වර පාලක පන්තිය මුදා හැර ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වනසා දැමීමේ, ම්ලේච්ඡත්වයේ හා ආඥාදායකත්වයේ ප්‍රහාරවල කොටසක් ලෙස මෙම වාරනය දැක ගන්නා අතර, ලෝසවෙඅට එරෙහි වාරනය පරාජය කිරීමට එක් වන මෙන්, ලොව පුරා සියලු කම්කරුවන්, පීඩිතයන්, තරුනයන්, ශිෂ්‍යයන් හා බුද්ධිමතුන් ඇතුලු, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් පෙනී සිටින සියල්ලන් කැඳවා සිටියි.

2024 පෙබරවාරි 25 වන දින ප.ව. 1 ට සුලු වෙලාවකට පෙර, 25 වියැති ආරොන් බුෂ්නෙල්, වොෂින්ටන් ඩී.සී. හි පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලය ඉදිරිපිට දී සිය දිවි නසා ගත්තේය. තානාපති කාර්යාලය කරා පැමිනෙන අතරතුර ආරොන් සජීවී ලෙස ප්‍රකාශයක් අන්තර්ජාලයේ විකාශනය කලේය. ඔහු මෙසේ කීය:

“මම එක්සත් ජනපද ගුවන් හමුදාවේ ක්‍රියාකාරී කාර්ය නියුතු සාමාජිකයෙක් මි. මම තව දුරටත් ජන ඝාතනයේ අපරාධ සහායකයෙකු නොවන්නෙමි. මා සූදානම් වන්නේ විරෝධතා දැක්වීමක් වශයෙන් ආන්තික ක්‍රියාවක් සිදු කිරීමට ය. එහෙත් පලස්තීනය තුල ජනයා අත්දකිමින් සිටින දෙය සමඟ සැසඳීමේ දී මෙම ක්‍රියාව කිසිසේත් ආන්තික නොවේ. අනාගතයේ සාමාන්‍ය තතු බවට පත් විය යුතුයැයි අපේ පාලක පන්තිය විසින් තීරනය කරනු ලැබ ඇති තත්ත්වය වන්නේ මෙයයි.”

තානාපති කාර්යාලය කරා පැමිනීමත් සමඟ කිසියම් ගිනි ගන්නා සුලු ද්‍රවයක් තමා මත වත් කර ගත් ආරොන් ගිනි තබා ගත්තේය. ගිනි දැල්වලින් සිය සිරුර වෙලී යද්දී ඔහු “පලස්තීනය නිදහස් කරනු!” යනුවෙන් කෑ ගැසීය. එම ස්ථානයට කැඳවනු ලැබූ රහස් සේවා නිලධාරියෙක් තරුනයාට තුවක්කුවක් එල්ල කර “බිම දිගා වෙනු” යනුවෙන් අන කලේය. තවත් නිලධාරීහු එහි පැමිනෙමින් ගින්න නිවා දැමීමට ගිනි නිවන උපකරන පාවිච්චි කලෝය. ප්‍රාදේශීය රෝහලකට ප්‍රවාහනය කරන ලද ආරොන්, ඉන් පැය හතක ඇවෑමෙන් ප.ව. 8.06ට පිලිස්සුම් තුවාලවලින් මරනයට පත් වූයේය. 

Ab
ආරොන් බුෂ්නෙල් 

අපේක්ෂා කල හැකි පරිද්දෙන් ම, මෙම සිය දිවි නසා ගැනීම සම්බන්ධයෙන් බයිඩන් පාලනය කිසිදු නිල නිවේදනයක් නිකුත් නො කෙලේය. සිය සෑම කථාවක් ම “දෙවියෝ අපේ සෙබලුන් රකිත්වා,” යන ධෘව පදයෙන් අවසන් කරන ජනාධිපති බයිඩන්, එජ ගුවන් හමුදා සාමාජිකයෙකු වන ආරොන් බුෂ්නෙල්ගේ මරනය සම්බන්ධයෙන් කනගාටුව පල කරනු තබා ඒ පිලිබඳ ව වචනයක්වත් කියා නැත.  

ඊශ්‍රායල රජයේ සහචර සහ සියොන්වාදයට පක්ෂපාතී මාධ්‍ය බොහෝ දුරට ම මේ සිදුවීම යට ගසමින්, ආරොන් යනු, ඔහුගේ සියදිවි නසා ගැනීම කවර හෝ දේශපාලනික හා සමාජමය වැදගත්කමකින් තොර සංසිද්ධියක් ලෙස සැලකිය යුතු හුදු රෝගියෙකු ලෙස අපකීර්තිමත් ආකාරයෙන් චිත්‍රනය කිරීමටත් ක්‍රියා කලෝය. 

එහෙත් මෙය ලෝක ජනගහනයේ අතිමහත් බහුතරයක ප්‍රතිචාරය නො වීය. අසංඛ්‍ය සංඛ්‍යාත දශ ලක්ෂ ගනනක් ජනයා මෙම සිදුවීම වීඩියෝවක් ලෙස හෝ ඡායාරූපයක් ලෙස දුටු අතර, එය, විය යුතු ම ලෙස, කම්පනය, සංවේගය හා අනුවේදනය ජනිත කර ඇත. තරුනයෙකු – ඒ සා බියකරු අයුරින් – මරනයට පත්වීම සෞඛ්‍ය සම්පන්න මානව සංවේදනයන්ට ප්‍රගාඪ බලපෑමක් නො කල හැකි නොවේ මය. 

කෙසේවතුදු, ආරොන් බුෂ්නෙල්ගේ මරනය නිසා ජනිත ශෝකය හා ඔහුගේ පරමාදර්ශවාදය සහ නොවක්බව කෙරේ ඇති වන ගෞරවය, එවැනි “ආන්තික විරෝධයේ” ස්වයං-විනාශකාරී ක්‍රියාවක් ගාසාවේ ජන ඝාතනයටත්, වඩාත් පොදුවේ කිවහොත් අධිරාජ්‍යවාදයේ අපරාධවලටත් දේශපාලන විරෝධය දැක්වීමේ ඵලදායී ආකාරයක් ලෙස නිර්දේශ කිරීම තිබියේවා, එකී සියදිවි නසා ගැනීම සාධාරනීකරනය කිරීම හා ප්‍රශංසා කිරීම හෝ දක්වා විස්තීරනය කිරීම නො කල යුත්තකි.   

ආරොන්ගේ සියදිවි නසා ගැනීම දැන් අනුමත කරන, හා එමඟින් ඍජු හෝ වක්‍ර ලෙස ඒ මඟ අනුකරනය කිරීමට දිරි දෙන සියල්ලෝ – කෝනෙල් වෙස්ට් ද ඒ අතර සිටී – හුදෙක් වගකීම් විරහිත අය පමනක් නො වෙති. ඔවුහු ගාසා ජන ඝාතනයට එරෙහි විරුද්ධත්වයන්ගේ – හා වඩාත් පුලුල් ව ගත් කල අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලයේ – දිරිය බල සුන් කිරීමට හා එම විරෝධතා දේශපාලනික ව අවමංගත කර දැමීමට දායකත්වය ලබා දෙති. ඔවුහු අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වය හා එය පදනම් වී සිටින ධනේශ්වර පර්යාය නවතා එය අවසානයක් කර දැමීම සඳහා අත්‍යවශ්‍ය වන, දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ දේශපාලනික ව සවිඥානක මහජන ව්‍යාපාරයක් ගොඩනැඟීමේ මඟ අවුරා පුද්ගල ප්‍රානත්‍යාගියෙකුගේ නිරර්ථක විරෝධය ඒ හරහට ඉදිරිපත් කර සිටිති.

මෙම කථාබහ අතරතුර මෙකී විවේචනය තවදුරටත් ප්‍රසාරනය කිරීමට මම අදහස් කරමි. එහෙත් පලමුවෙන් ආරොන්ගේ මරනය වඩාත් පුලුල් සමාජ සන්දර්භයක බහා ලීමට මට අවශ්‍ය ය. 

ආරොන්ගේ මරනය සිදු වූ නිරවද්‍යතම තතු සත්තකින් ම සුවිශේෂී ය. එහෙත් සියදිවි නසා ගැනීම වූ කලී එක්සත් ජනපදය තුල මරනවල අසාමාන්‍ය හේතුවක් නොවේ. මෙය නො තකා නො හල යුතු වැදගත් කරුනකි.    

2021 දී සියදිවි නසා ගැනීම එක්සත් ජනපදය තුල මරනවල හේතුව වශයෙන් ප්‍රමුඛතාවය අනුව එකොලොස්වන ස්ථානය ගත්තේය. (එම වසරේ) 48,183 ක් ඇමරිකානුවෝ සිය පන හානි කර ගැනීමෙන් මරනයට පත් වූහ. ලක්ෂ 17 ක් දෙනා සියදිවි නසා ගැනීමේ ප්‍රයත්න දැරූහ. වයස අනුව ගලපන ලද සියදිවි නසා ගැනීම් අනුපාතය (එක් එක් වයස් කාන්ඩවල මරන අනුපාත එකී වයස් කාන්ඩවල ජන අනුපාතය සමඟ ගලපා ප්‍රමත කල අගයකි) පුද්ගලයන් 100,000 කට 14 ක් පමන විය. දිනක සාමාන්‍යය ලෙස 132 ක් දෙනා සියදිවි නසා ගත්හ. බැරෑරුම් පෞද්ගලික අර්බුද හරහා ගමන් කල හා ඇතැම්විට සිය ජීවිතය අවසාන කර ගැනීමේ උත්සාහය සාර්ථක කර ගත් පවා සිසු සගයන්, මිතුරන් හඳුනන බොහෝ දෙනෙකු මෙහි රැස් ව සිටින ඔබ අතර සිටින බව මට නිසැක ය. 2021 සියදිවි නසා ගැනීමේ මරනවලින් සියයට 69 ක් සුදු පිරිමින් වන අතර, අප්‍රිකානු-ඇමරිකානු පිරිමින්ගේ එම අනුපාතය සියයට 8.3 කි. පුරුෂයන්ගේ සියදිවි නසා ගැනීම්, ස්ත්‍රී දිවි නසා ගැනීම් මෙන් සිව් ගුනයක් පමන නිරතුරු ව සිදු වී ඇත. වැඩි ම සියදිවි නසා ගැනීම් අනුපාත වාර්තා වන්නේ 25-34 හා 75-84 වයස් කාන්ඩවල වැඩිහිටියන් අතරිනි.       

Sucide

එක්සත් ජනපදය තුල ප්‍රාන හානි කර ගැනීම්වල සැලකිය යුතු කොටසක්, සෙබලුන් හා පැරනි සොල්දාදුවන්ගෙන් සමන්විත වේ. සෙබලුන් අතර සියදිවි නසා ගැනීම්වල සැලකිය යුතු ඉහල යාම, මෙම රට අඛන්ඩ ව යුද්ධවලට පැටලී සිටීම සමඟ පැහැදිලි සම්බන්ධයක් දරයි.

2014 දී නිකුත් කරන ලද අධ්‍යයන වාර්තාවක් පෙන්නුම් කරන පරිදි, “2004-05, 2006-07 හා 2008-09 වර්ෂවල (සෙබල) සියදිවි නසා ගැනීම් අනුපාත සක්‍රිය සේවයේ යෙදී සිටි පුද්ගලයන් 100,000 කට 12.1 සිට 18.1 දක්වාත්, 24.5 දක්වාත් අනුපිලිවෙලින් ඉහල ගියේය.” හමුදා සේවා සාමාජිකයන් මුහුන දෙන අවදානම් හා ඔවුන්ගේ ප්‍රත්‍යස්ථිතිය තක්සේරු කිරීමේ හමුදා අධ්‍යයනයක් මඟින් ද සොයා ගනු ලැබුවේ, “සියදිවි නසා ගැනීම් අවදානම, සුදු ජාතික පිරිමින් වීම, කනිෂ්ඨ ශ්‍රේනියකට බඳවා ගනු ලැබ සිටීම, මෑතක දී නිලයෙන් පහල හෙලනු ලැබ තිබීම හා වර්තමානයේ හෝ ඉහත දී (යුද) සේවයේ යොදවා තිබීම සමඟ සම්බන්ධ” බවයි;[1] මෙම විස්තරය ආරොන් බුෂ්නෙල්ට බොහෝ සෙයින් අදාල වන්නකි.   

Journal of Affective Disorders (චිත්තවේගික අක්‍රමතා පිලිබඳ ජර්නලය)හි 2013 පල වූ තවත් අධ්‍යයනයකින් වාර්තා කර ඇත්තේ, ගුවන් හමුදාව තුල “සියදිවි නසා ගැනීම් නාටකාකාරයෙන් ඉහල ගොස් ඇති” බවයි. 2010 දී එය 27 වසරක් තුල වාර්තා වූ ඉහල ම අගය කරා එලඹුණු බව අධ්‍යයනය පෙන්වා දෙයි.[2] මෙම ප්‍රවනතාව දිගට ම ඉදිරියට යමින් 2020 දී ගුවන් හමුදාවේ සියදිවි නසා ගැනීම් සංඛ්‍යාව 109 ක් බවට පත් වූයේය. මෙම සංඛ්‍යාවට සක්‍රිය සේවයේ යෙදී සිටියවුන්, අතිරේක භටයන් හා රැකවලුන් ද ඇතුලත් විය. 2021 දී සියදිවි නසා ගැනීම් 72 ද, 2022 දී 91 ද වාර්තා වූ අතර, 2023 මුල් කාර්තු දෙක තුල සියදිවි නසා ගැනීම් 46 ක් ගුවන් හමුදාව වාර්තා කලේය. ගුවන් හමුදා සාමාජිකයන් අතර මරනයේ ප්‍රමුඛතම තනි හේතුව වන්නේ සියදිවි නසා ගැනීමයි. 

චිත්තවේගික අක්‍රමතා පිලිබඳ ජර්නලයේ 2013 අධ්‍යයනය, ගුවන් හමුදාවේ සියදිවි නසා ගැනීම්වල හේතු අගයමින් මෙසේ සඳහන් කරයි: “සියදිවි නසා ගැනීමෙන් මරනයට පත් සක්‍රිය ගුවන් හමුදා සාමාජිකයන් අතරින්, සටන් පවතින ප්‍රදේශයක කවදා හෝ සේවයේ යොදවා ඇති අයවලුන් ඇත්තේ හතරෙන් පංගුවක් පමනකි. ඍජුවම සටන් අත්දැකීම් ලබා ඇත්තේ සියයට 7 කට අඩු කොටසකි.” කෙසේවෙතත්, “ශෝකාකූල හෝ කනස්සලුකාරී සංවේදනයක්, නැතහොත් ‘මා කල දේ පිලිබඳ පසුතැවිලි වීමක්'” ගුවන් හමුදා සාමාජිකයන් අතර ස්වයං ප්‍රානඝාතක ආවේගයන්ට අදාල ව පවතින බවට වාර්තාව සොයා ගත්තේය. ඍජු සටන් අත්දැකීම් ලද්දවුන් අතර එවැනි හැඟීම් විශේෂයෙන් සැලකිය යුතු ලෙස පවතින අතර, හමුදා සාමාජිකයන්ගේ වඩාත් පුලුල් කන්ඩායම් අතර එම හැඟීම් කෙතෙක් දුරට පවතින්නේ ද යන්න තවමත් නො පැහැදිලි ය.    

ආරොන් බුෂ්නෙල්ගේ සිය පන නසා ගැනීම තක්සේරු කිරීමේ දී මෙම සාධකය සැලකිල්ලට ගත යුතුය. ඔහුගේ ක්‍රියාවන්ට යටින් අතිශය බලගතු දේශපාලන ආවේගයන් හා අභිප්‍රායයන් පැවැති බව මෙයින් ප්‍රතික්ෂේප නො කෙරේ. එහෙත් එම සාධකය එසේ සැලකිල්ලට ගැනීම, ඔහුගේ මරනයට මඟ පෑදූ අත්දැකීම්වල වඩා පුලුල් සමාජ සන්දර්භය පිලිබඳ ව වටහා ගැනීමට ආධාරකාරී වේ.

ආරොන් බුෂ්නෙල්, රෙඩිට් (Reddit) සමාජ මාධ්‍යය තුල “acebush1” නමින් පෙනී සිටි බව, ‘ද ඉන්ටර්සෙප්ට්’ (The Intercept) නම් එජ අන්තර්ජාල පුවත්පත තහවුරු කර ගෙන ඇත. එය මෙසේ වාර්තා කරයි:  

acebush1 නම් Reddit පරිශීලකයා, වසංගතයේ ආරම්භයේ දී ඔවුන්ගේ මුදල් (හිඟකම්) පිලිබඳ අරගලයන් සම්බන්ධයෙන් පල කිරීමෙන් පසු වහා හමුදාවට බැඳුනේය. 2020 මාර්තු 19 වන දින acebush1 ඌබර් ඊට්ස්හි රියදුරෙක් වීමට විමසුම් කලේය. ඊලඟ මාසයේ ඔවුහු මූල්‍යාධාර ඉල්ලීමක් පල කලෝය:

“උදව් අවශ්‍යයි – stimulus (එජ රජය බදු ගෙවන්නන්ට ආර්ථික දුෂ්කරතාවලින් පෙලෙන කාල වලදී ගෙවනු ලබන දීමනාවක්) හෝ විරැකියා ආධාර හෝ ලබා ගත නොහැකියි. මුදල් සම්පූර්නයෙන් හිඳී යාමට ආසන්නයි.” 

2020 මැයි මාසයේ ආරොන් ගුවන් හමුදාවේ “මූලික සහ තාක්ෂනික පුහුනු” වැඩ සටහන සඳහා ලියාපදිංචි වූ අතර, අවසානයේ ඔහු සන් අන්ටෝනියෝහි ලැක්ලන්ඩ් ගුවන් හමුදා මූලස්ථානයේ ස්ථානගත කෙරින. ඔහු සයිබර්-ආරක්ෂක මෙහෙයුම් විශේෂඥයෙකු ලෙස 531 වන රහස් තොරතුරු සහායක බලගනය සමඟ පුහුනු කෙරින. 

ඉන්ටර්සෙප්ට් පුවත්පතට අනුව, 2020 අගෝස්තුවේ දී ඔහු, හමුදා ගුවන් යානයක වීඩියෝවක්, ගුවන් හමුදාවට කල හැකි වී තිබෙන දේ පිලිබඳ විස්මය පල කරන සිරස්තලයක් එක් කරමින්, නැවත පල කලේය. කෙසේවෙතත්, ගුවන් හමුදාව පිලිබඳ ඔහුගේ ආකල්පය සහ ඔහුගේ ම දේශපාලන සංකල්ප ද සැලකිය යුතු ලෙස වමට දෝලනය වෙමින් පැවැති බව ඔහුගේ පලකිරීම්වලින් නිසැක ලෙස පැහැදිලි වේ. ඇලබාමාවේ පැවැති සිරකරුවන්ගේ වර්ජනයක් කෙරේ සහානුකම්පාව දැක්වූ ඔහු, 19 වන සියවසේ විසූ අරාජකවාදී දාර්ශනික මැක්ස් ස්ටර්නර් දැක්වෙන මේම් රූපයක් පලකලේය. ඉන්ටර්සෙප්ට් මෙසේ වාර්තා කරයි: “2023 දී acebush1 ‘පලස්තීනය නිදහස් කරනු!’ යන මැයෙන් යුත් පල කිරීමක් සිදු කරමින්, ක්‍රියාකාරිකයෙකු විසින් ඊශ්‍රායල ආරක්ෂක කොන්ත්‍රාත්කාර එල්බිට් සිස්ටම්ස් ක්‍රියාකාරිත්ව කොටස්කාරීත්වය දරන ඩ්‍රෝන සමාගමක් වන යූඒවී ටැක්ටිකල් සිස්ටම්ස් අත්පත් කර ගනු ලැබීම දැක්වෙන වීඩියෝවකට සම්බන්ධ වන අන්තර්ජාල සම්බන්ධක ඇමිනුම ද එයට ඈඳීය.”  

2023 ජූනියේ acebush1 මෙසේ ලිවීය:

“අඩ දුරකට වඩා ගෙවා නිම වනතුරු එය කෙතරම් දැවැන්ත වැරදීමක් දැයි වටහා ගැනීමට මා අසමත් වූ හෙයින්, සහ මේ මොහොතේ මට ඉතිරි ව ඇත්තේ තවත් එක් වසරක් පමනක් හෙයින්, මගේ කොන්ත්‍රාත් කාලය අවසන් වන තුරු මෙය දරා සිටින්නෙමි. කෙසේවෙතත්, එය මගේ ඉතිරි මුලු ජීවිත කාලය පුරා ම මට දරා සිටින්නට සිදුවන පසුතැවීමකි.”

තම ජීවිත නසා ගත්තා වූ හෝ ඒ සඳහා යත්න දැරුවා වූ ගුවන් හමුදා සාමාජිකයන්ගේ ශෝකාකූල භාවයේ සාධකය සිහියට නඟා ගන්න. තවත් ප්‍රකාශයක, r/AirForce සබ්රෙඩිට් හුය තුල පරිශීලකයෙකු විසින්, පැරනි සෙබලුන්ට, ඉදින් එය යලිත් කරන්නට සිදු වුවහොත්, ඔවුන් තවමත් ඒ සඳහා ඉදිරිපත් වනු ඇත්දැයි අසන ලද ප්‍රශ්නයකට acebush1 මෙසේ පිලිතුරු දී ඇතැයි ඉන්ටර්සෙප්ට් වාර්තා කරයි: 

“කොහෙත්ම නැත. ප්‍රචන්ඩ ලෙස ලෝකාධිපත්‍යය (සඳහා දැරෙන ප්‍රයත්නය)ට මම දුස්සහාය දී ඇත්තෙමි. මගේ අත්වලින් ලේ සෝදා හැරීමට මට කිසි දා නොහැකි වනු ඇත.  

දැන් ලබා ගත හැකි තොරතුරු මත පදනම් ව කිව හැකි පරිදි ආරොන් ගුවන් හමුදාවේ ප්‍රහාරක මෙහෙයුම්වලට ඍජු ව සම්බන්ධ වී නැත. එ නමුත්, ඔහු එක්සත් ජනපදය විසින් සිදු කරනු ලැබ ඇති අපරාධවලට තමන් ද සදාචාරාත්මක වගකීමක් දරන බව පැහැදිලි ව හඟිමින්, ගුවන් හමුදා සාමාජිකයන් අතර සියදිවි නසා ගැනීම්වලට හේතු වන සැලකිය යුතු සාධකයක් ලෙස චිත්තවේගික අක්‍රමතා පිලිබඳ ජර්නලයේ අධ්‍යයනය සඳහන් කරන වරදකාරී හැඟීම බෙදා ගනී.”

මෙම වරදකාරී හැඟීම ආරොන්ගේ සියදිවි නසා ගැනීමට දායකත්වය දී ඇති තාක් දුරට, එය ඔහුගේ සදාචාරාත්මක අවංක භාවය පිලිබඳ සාක්ෂි දරයි. තව ද එය, ආරොන් බුෂ්නෙල්ගේ මරනයට, පවත්නා සමාජ පර්යාය – ධනේශ්වර ක්‍රමය තුල මුල් බැස ඇති ආර්ථික, දේශපාලනික හා දෘෂ්ටිවාදාත්මක මර්දනයේ හා අපරාධකාරීත්වයේ දැවැන්ත සමාජමය ව්‍යුහය – පැටලී සිටින ආකාරය ගැඹුරින් හසු කර ගනී. ආරොන්ගේ මරනය සම්බන්ධයෙන් ඔහුගේ පෞද්ගලික මානසික තතු කෙරේ පමනක් අවධානය සංකේන්ද්‍රනය කරන සියලු පැහැදිලි කිරීම් ව්‍යාජ ය; එය, පෞද්ගලිකත්වය සමාජයෙන් හුදෙකලාව වර්ධනය වන්නේයැයි සලකනු වැනි ය. ආරොන්ගේ මරනයේ ප්‍රධාන හා තීරනාත්මක හේතූන් වනුයේ පරිබාහිර සාධක ය; සමාජයීය හා දේශපාලනික තතුවලින් පැන නඟින ඒවා ය. ආරොන්ගේ සියදිවි නසා ගැනීම පිලිබඳ සියල්ල අතර වඩාත් ම වැදගත් කරුන වන්නේ මෙය යි.  

ඊශ්‍රායල රාජ්‍යය හා බයිඩන් පාලනයේ එහි අනුග්‍රාහකයන්ගේ අපරාධවලට දෙන අත්‍යවශ්‍ය හා එක ම ප්‍රතිචාරය වන්නේ සියදිවි නසා ගැනීමයැයි ආරොන් තීරනය කලේ ඇයි? පැහැදිලිව ම දේශපාලනික වන තත්ත්වයකට ඒ සා තනි පුද්ගල ආකාරයකින් ප්‍රතිචාර දැක්වීමට ඔහු තීරනය කලේ මන් ද?

ආරොන්ගේ මරනයේ ඛෙදාන්තය හා තත්කාලීන සමාජයේ වඩාත්ම දුෂ්කර ගැටලු අනාවරනය කෙරෙන්නේ මෙම ප්‍රශ්නය පිලිබඳ ව කෙරෙන පරීක්ෂාව තුල ය. පන්ති උත්සුකයන්ගේ මැදිහත්වීම හරහා අන්තර් සම්බන්ධිත ගෝලීය ආර්ථික හා දේශපාලන සම්බන්ධතා වලින් පැන නඟින්නා වූ ද, මෙම ග්‍රහලෝකයේ ජීවත් වන සෑම මානවයෙකුට ම බල පවත්වන්නා වූ ද වඩාත් ම සංකීර්න සමාජ ගැටලු පවා, සාමාන්‍යයෙන් අත්දකිනු ලබන්නේත්, පොදුවේ අර්ථ කථනය කෙරෙන්නේත් පුද්ගලභාවය අනුසාරයෙනි.   

මෙම ප්‍රවනතාව හුදු පෞද්ගලික විනිශ්චයේ දෝෂයක් ප්‍රකාශයට පත් වීමක් නොවේ. ධනේශ්වර ක්‍රමය – ඊනියා “පෞද්ගලික ව්‍යවසායය” – සමාජය හුදු හුදෙකලා පුද්ගලයන්ගේ සමුච්චයක් ලෙස සැලකීමේ සංකල්පය වැර ගන්වයි.   

ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සංකල්පනය විස්තාරනය කිරීමේ ක්‍රියාවලිය තුල, මෙම සංකල්පනයට අභියෝග කරමින් එය ප්‍රතික්ෂේප කල ප්‍රථමයා වන්නේ මාක්ස් ය. 1845 දී ඔහු මෙසේ ලිවී ය: “මිනිසාගේ සාරය වන්නේ එක් එක් තනි පුද්ගලයාට නෛසර්ගික වූ වියුක්තනයක් නොවේ. එහි යතාර්ථය තුල එය සමාජ සම්බන්ධතාවයන්ගේ සමූහ වෘන්දයයි.”[3]   

දෛනික ජීවිතයේ තනි පුද්ගල ස්වභාවය හා ඒ සමඟ බැඳුනු පෞද්ගලික හුදෙකලාවත්, එමඟින් පෝෂනය කෙරෙන පරත්වාරෝපනයේ සංවේදයත්, අප ජීවත් වන කාල සීමාව බඳු දේශපාලන ප්‍රතිගාමීත්වයේ කාල පරිච්ඡේදයක් තුල, සමාජ හා පන්ති සාමූහිකත්වයන්හි බැඳීම් ඛාදනය කර දමන සුවිශේෂී මාරාන්තික ස්වභාවයක් අත්පත් කර ගනී. මාක්ස්වාදී විප්ලවවාදියෙකු වූ ද, බෝල්ෂෙවිකයෙකු හා පසුව ලියොන් ට්‍රොට්ස්කි නායකත්වය දුන් වාම විපාර්ශ්වයේ ප්‍රමුඛයෙකු වූ ද, අවසානයේ ස්ටැලින්ගේ විරේක කිරීම්වල ගොදුරක් වූ ද එව්ජිනි ප්‍රියොබ්‍රසන්ස්කි 1912 දී ලියූ ලිපි මාලාවක් තුල, සියදිවි නසා ගැනීම වූ කලී, පන්ති අරගලය මැඩ පැවැත්වූ කල් හි විශේෂයෙන් ම ව්‍යාප්ත වන, සමාජය විසින් සිදු කරනු ලබන “සමාජ ඝාතනයේ” රූපාකාරයක් ලෙස අර්ථ කථනය කලේය.   

එව්ජිනි ප්‍රියොබ්‍රසන්ස්කි
එව්ජිනි ප්‍රියොබ්‍රසන්ස්කි

ඔහු මෙසේ ලිවීය:

“ප්‍රතිවිප්ලවයේ හා සමාජ අක්‍රමවත්භාවයේ යුගයක් තුල සියදිවි නසා ගැනීම්වල ඉහල අනුපාත පැවතීම ද අප සාකච්ඡා කරමින් සිටි දෘෂ්ටි කෝනය අනුසාරයෙන් ම පහසුවෙන් පැහැදිලි කල හැක. උද්‍යෝගී යුගයක දී ජනයා පොදු අරමුනු ජය ගැනීමට වඩාත් සමීප ව ඒකරාශී වෙති, පුද්ගලයන් හුදෙකලා වීම අවමයකට සිඳී යයි, සාමූහිකත්වයේ බලගතු බලවේග පුද්ගලයාගේ ජීවිතය හා අරගලය තුල ඔහුගේ සහායයට සිටී. විසමෝධානයේ යුගයක් තුල, පැරනි සංගමනයන් කඩා වැටෙන කල්හි හා නව සංගමනයන් තවමත් බිහි විය යුතු ව ඇති කල්හි, සමාජයේ කේන්ද්‍රාභිසාරී බලයන් අභිබවා කේන්ද්‍රාපසාරී බලයන් බල පවත්වන කල්හි මැවෙන චිත්‍රය මෙහි පරිපූර්න ප්‍රතිබද්ධයයි. බලරහිත තනි පුද්ගලයා සමාජයට මුහුන දෙන විට, වඩාත් වෙනස් කාල පරිච්ඡේදයක දී, අහිතකර තතු සමඟ මුහුනට මුහුන දෙන ඔහුගේ ප්‍රථම ගැටුමේ දී ම ඔහුගේ සමතුලනය බිඳී, විනාශ මුඛයට පත් වී යයි. එකී කොන්දේසි වඩාත් වෙනස් කාල පරිච්ඡේදයක දී ඔහු මත ආවශ්‍යක පසුවිපාක ඇති නොකරනු ඇත“.[4] 

ප්‍රියොබ්‍රසන්ස්කිගේ විශ්ලේෂනය, ආරොන්ගේ සියදිවි නසා ගැනීමට මඟ පෑදූ පෞද්ගලික, සමාජයීය හා දේශපාලනික සාධකවල අන්තර්ක්‍රියා සම්බන්ධයෙන් වඩාත් ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට දායක වෙයි. වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ පල කරන ලද තොරතුරුවලට අනුව, ආරොන් ඇතිදැඩි වී ඇත්තේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ ඕර්ලියන්ස්හි පිහිටි කමියුනිටි ඔෆ් ජීසස් (ජේසූන්ගේ ප්‍රජාව) නම් ආගමික සංකීර්නයක් තුල ය. 1970 ගනන්වල මැද භාගය තරම් ඉහත කාලයක සිට මෙම කන්ඩායමට එරෙහිව එහි හිටපු සාමාජිකයන් අපයෝජන චෝදනා එල්ල කර ඇත. ආරොන් 2019 දී කන්ඩායමෙන් බිඳී වෙන් විය. ඉනික්බිති ව, වසංගතය විසින් අවුලුවන ලද ආර්ථික ගැටලුවල පීඩනය යටතේ ඔහු මිලිටරියට බැඳුනේ ය.      

එම සංස්කෘතියේ පැවැති කිසිත් නොතකන ස්වභාවය හා කෲරත්වය විසින් ඔහු වැඩි කල් නොයවා ම පලවා හැරින. ඔහු වාම දේශපාලනයේ දිශාවට ගමන් කල අතර, නිරතුරු ව සිදු වන පරිද්දෙන් ඔහු පලමුව විවිධාකාර මධ්‍යම පාන්තික දේශපාලන ප්‍රවනතා සමඟ සම්බන්ධතා ඇති කර ගත්තේය.  

ගාසාවට එල්ල කල ඊශ්‍රායල ප්‍රහාරය ක්‍රියාවට නැඟුනේ ආරොන්, දේශපාලනික වාං මාලාවෙන් කිවහොත්, ආගමෙන් හා ප්‍රතිගාමී ඇමරිකානු ජාතිකවාදයෙන් බිඳී යාමේ පසුවිපාක සමඟ ගනුදෙනු කිරීම ආරම්භ කල මොහොතේ ම ය. උචිත වචන ප්‍රියොබ්‍රසන්ස්කිගෙන් නයට ගෙන ගැලපෙන පරිදි යලි වචන යොදා කිවහොත්, ආරොන්ගේ “පැරැනි සංගමනයන්” බිඳ වැටී තුබූ අතර, “නව සංගමනයන්” යන්තම් මතුවීමට පටන් ගත්තා පමනක් විය.

ඒ අනුව, පෞද්ගලික ආත්ම පරිත්‍යාගයේ ක්‍රියාවක් මඟින් ගාසාවේ භීෂනය අවසාන කිරීමට ආරොන් යත්න දැරීය. සිය උදාර අභිමතාර්ථය ජය ගත හැකි අන් මඟක් ඔහු නොදිටී ය. සිය පෞද්ගලික ප්‍රාන පූජාව හරහා ඔහු සෙසු තනි පුද්ගලයන්ට ආයාචනා කලේය. සිය පෞද්ගලික ශෝකය හා කෝපාවේගය සඵල ක්‍රියාවකට පරිවර්තනය කල හැකි අන් මඟක් ඔහුට නො පෙනින. තමාගේ ම ජීවිතය අවසාන කර ගැනීමෙන් තම පෞද්ගලික විරෝධය දැක්වීමට ගත් තීරනය මඟින් ප්‍රකාශයට පත් වූයේ ආගමික ආභාෂයෙන් යුතු ලෝක දෘෂ්ටියෙන් ඔහුගේ බුද්ධිමය බිඳී යාමේ අසම්පූර්නකම මෙන් ම, ධනේශ්වර-අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට යටින් දිවෙන, එහෙත් ඒ අතර ම පන්ති අතර ගැටුමේ විදාරනය පොලඹවා ලන සහ ලෝක සමාජවාදී විප්ලවයට විභවය නිර්මානය කරන ධනවාදී සමාජයේ වෛෂයික ප්‍රතිවිරෝධතා පිලිබඳ ඔහුගේ අනවබෝධයයි.

යලිත් කිව යුත්තේ, ආරොන්ගේ වර්ධනයේ මෙකී සීමාවන් හුදෙක් පෞද්ගලික ස්වභාවය සම්බන්ධ ඒවා නොව, ඊට වඩා, පවත්නා සමාජ, දේශපාලන හා බුද්ධිමය තතු ප්‍රකාශයට පත්වීමක් බවයි. ආරොන් උපත ලද්දේ 21 වන සියවසේ එලිපත්තෙහි ය; ඒ, ස්ටැලින්වාදය, සමාජ ප්‍රජාතන්ත්‍රය හා එක්සත් ජනපදය තුලත් ජාත්‍යන්තරවත් පන්ති සහයෝගීතාවාදී වෘත්තීය සමිති ද විසින් කම්කරු පන්තියේ අරගල පාවා දෙනු ලැබීම්වල ප්‍රතිඵලයක් ලෙස සිදු වූ සෝවියට් සංගමය විසුරුවා හැරීමේ දේශපාලන හා සමාජ ව්‍යසනයට දශකයකට ම පාහේ පසුව ය. එක්සත් ජනපදය තුල සංවිධිත කම්කරු පන්ති අරගලයේ සැලකිය යුතු හා කල් පවත්නා විද්‍යමාන වීම් මුලුමනින් ම පාහේ අහෝසි වී තිබින. සිය ජීවිතයේ මුල් විසි වසර තුල ආරොන් සැලකිය යුතු වැඩ වර්ජනයක් දැක නැතිවා විය යුතුය.

තවත් කරුනකි. ඩිමොක්‍රටික් පක්ෂය සමඟ සමඟ කරට අත ලා ගත් වෘත්තීය සමිති නිලධරයන් විසින් පන්ති අරගලය මැඩ පවත්වනු ලැබීම සමඟ අතින’ත ගෙන ගමන් කල සිදුවීමක් විය. ඒ, සරසවි තුල පදනම් වූ බුද්ධිජීවීන් එකාවන් ව ම පාහේ මාක්ස්වාදය ප්‍රතික්ෂේප කිරීමයි. සමාජවාදය කම්කරු පන්තිය සමඟ ඇති ඓතිහාසික සම්බන්ධය බැහැර කෙරුනු අතර, සමාජවාදී විප්ලවයේ ඉදිරි දර්ශනයට ද ලැබුනේ එකී සැලකිල්ල ම ය. “වාම” දේශපාලනය යන්න සමාජ පන්තිය පිලිබඳ තීරනාත්මක ප්‍රශ්නය මත නොව, පෞද්ගලික අනන්‍යතාවයේ විවිධාකාර රූපාකාරයන් මත අවධානය යොමු කෙරෙන ආකාරයෙන් ප්‍රති අර්ථකථනය කරන ලදී.  මෙම තතු, පුද්ගලවාදයේ ප්‍රතිගාමී හා දිරිසුන් දෘෂ්ටියේ බලපෑම වෙර ගැන්වීමට බල පෑ අතර, අද ද එම බලපෑම පවතී.    

ආරොන්ගේ පරමාදර්ශවාදයට ගෞරවය පුද කිරීම වැදගත් ය. ඔහුගේ පෞද්ගලික කැප කිරීම අමතක නො කල යුතුය. එහෙත් ඔහුගේ මරනයට ගරු කිරීම් වස් ඔහුගේ මරනයේ නිසි දේශපාලන පාඩම් උකහා ගැනීම අවශ්‍ය ය. මේ කාර්යයෙහි ලා, ආරොන්ගේ සියදිවි නසා ගැනීම උත්කර්ෂයට නැංවීම – ඊශ්‍රායල රාජ්‍යය විසින් පවත්වා ගෙන යනු ලබන ජන ඝාතනයට එරෙහි අරගලය තුල ඵලදායී මූලෝපායයක හා උපායක් ලෙස අවධාරනය කිරීම ම පවා දක්වා එකී පෞද්ගලික ජීවිත පූජාව ඔසොවා තැබීම – කර්කශ ම විවේචනයට පාත්‍ර කිරීම වූ කලී  මඟ හැර යා නොහැකි දේශපාලන වගකීමක් වෙයි.  

  1. “2004 හා 2009 අතර එජ සෙබලුන් අතර සියදිවි නසා ගැනීම් අනුපාත දෙගුන වූ බව පර්යේෂනයකින් පෙන්වා දෙයි.” BMJ හි 2014 මාර්තු 6 දින පල විය.  
  2. Journal of Affective Disorders, 148 වෙලුම (2013), 37-41.
  3. “Theses on Feuerbach”, මාක්ස්-එංගල්ස් එකතු කල කෘති (ඉංග්‍රීසි), වෙලුම 5 (නිව්යෝර්ක්: International Publishers, 1976), පි. 7
  4. E. A. ප්‍රියොබ්‍රෙසන්ස්කි, The Preobrazhensky Papers, Documents and Materials, වෙලුම 1: 1886-1920, සංස්කරනය: රිචඩ් ඩේ සහ මිඛායෙල් M. ගොරිනොව්, ඉංග්‍රීසි පරිවර්තනය: රිචඩ් ඩේ [චිකාගෝ: Haymarket Books, 2015], පි. 243-44

මතු සම්බන්ධයි…

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top