අපේ වාර්තාකරු
ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය ඇතුළු සිරගත කර සිටින සියලු දේශපාලන සිරකරුවන් මුදා හරින ලෙස බල කරමින් කොළඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) විසින් සංවිධානය කරන ලද අන්තර්ජාල රැස්වීමක් පසුගිය ජූනි 17 වන සෙනසුරාදා පවත්වන ලදී.
හුදෙක් උද්ඝෝෂණ රැස්වීමක ස්වභාවය ඉක්මවා යමින්, මෙම අත්අඩංගුවට ගැනීම් ඇතුළු ප්‍රකාශනයේ හා කලාවේ නිදහසට එරෙහි රාජ්‍ය කඩා වැදීමේ පසුබිම් තතු සහ එහි දේශපාලන හැඟවීම් ද, ඊට මුහුණ දීමේ ඉදිරි මාවත කෙසේ විය යුතු ද යන කරුණු ද මෙහි දී ගැඹුරින් විමසා බැලින.
22 – 27 ක් අතර සංඛ්‍යාවක් දෙනා මෙම රැස්වීමට සජීවීව සම්බන්ධ වූ අතර, රාත්‍රී 11 පමණ දක්වා පැවැති රැස්වීමේ අවසාන භාගය දක්වාම එහි වැඩි දෙනා රැඳී සිටියෝය.
රැස්වීම ආරම්භ කරමින් මුලසුනේ කථාව ඉදිරිපත් කළ පරාක්‍රම කුරුප්පු සහෝදරයා රැස්වීමේ නිමිත්ත හා නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීමේ පසුබිම කෙටියෙන් පැහැදිලි කරමින්, කලාකාරිනියගේ නිර්මාණයට විෂය වී ඇති සමාජ ගැටළු පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කළේය. ඇගේ නිර්මාණ බුද්ධාගමට අපහාසයක් ලෙස චිත්‍රණය කිරීම විකෘතිකරණයක් බව පෙන්වා දුන් ඔහු, කලාකරුවන් හා නිදහස් අදහස් පල කරන්නන්ට ද, සත්‍යය වාර්තා කරන්නන්ට ද එරෙහිව මර්දනය මුදා හරිනු ලැබ තිබිය දී, අධිරාජ්‍යවාදයේ කුරිරු යුද අපරාධ, 1983 සංහාරය හා 2019 පාස්කු ප්‍රහාරය වැනි මානව සංහතියට එරෙහි අපරාධවලට වගකිව යුත්තන්ට නිදැල්ලේ සිටීමට ඉඩ හැර ඇති අයුරු පෙන්වා දුන්නේය. න්‍යෂ්ටික යුද්ධයක අන්තරාය හා උග්‍ර සමාජ අසමානතාවයක බරින් මැඩී සිටින සමාජයක මුදුනේ සිටින පාලක පන්තියකට සත්‍යය හා නිදහස් අදහස් ඉවසා සිටිය නොහැකි බව පෙන්වා දෙමින් ඔහු, මීට එරෙහිව කම්කරු, පීඩිත මහජනතාවගේ ලෝක පරිමාන සම්මුති විරහිත ඒකාබද්ධතාවයක අවශ්‍යතාව අවධාරණය කළේය.
රැස්වීම මීළඟට ඇමතුවේ කොක්‍රික සභාපති සංජය ජයසේකර සහෝදරයා ය. සංජය සඳහන් කලේ, ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරියගේ නිදහස වෙනුවෙන් මේ මොහොතේ පෙනී නොසිටින අතර මානව නිදහස, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ගැන කියා පාන කවරෙකුගේ හෝ කවර සංවිධානයක හෝ වේවා සුජාතභාවය මෙම පරීක්ෂාව මඟින් උර ගා බැලෙන බව යි. බරපතල කප්පාදු පියවර ක්‍රියාත්මක කරමින් සිටින රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ඊට එරෙහි ප්‍රතිරෝධය මැඩලීම සඳහා හමුදා වීදිවලට කැඳවා ඇත. මහජන විරෝධතා මර්දනය කිරීමට ද, නිදහස් අදහස්වලට වැට බැඳීමට ද නව නීති ගෙන ඒමට කටයුතු කරමින් සිටී.
ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වෙමින් තිබෙන බවට කෙරෙන ප්‍රෝඩාකාරී ව්‍යාජ මවා පෙන්වීම්, පේරාදෙනි සරසවියේ මහාචාර්ය වසන්ත අතුකෝරාල උපුටා දක්වමින් හෙළිදරව් කල ඔහු, ලංකාවේ ආර්ථිකය රැඳී පවතින්නේ ණය ආපසු නොගෙවීමේ නූල් පටින් බව පැහැදිලි කළේය. ඛනිජ තෙල්, ගෑස් සහ කිරිපිටි ගෙන්වීමටත්, බෙහෙත් හේත් අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙන් ගෙන්වීමටත් පමණක් වැය වී ඇති මුදල එම වසරේ ගෙවීමට තිබූ, එහෙත් නොගෙවූ ණය ප්‍රමාණය හා සැසඳේ. ලංකාවේ ආර්ථිකය අර්බුදයෙන් අර්බුදයට යමින් පවතී.
“මහාචාර්ය අතුකෝරාල පෙන්වන විදිහට, මේ කියන ආර්ථික පුනර්ජීවනය මඟින් 2028 වසර වෙනකොටත් ආර්ථිකය යන්නේ 2018 පැවැති තත්ත්වයට. හැබැයි මහජනයාගේ ආර්ථිකය එය 2018 පැවති මට්ටම කරා ගමන් කරන්නේ නැහැ. උද්ධමනය, බදු හා ණය පොලී වැඩිවීම් කෙලින්ම මහජනයා මත පතිත කෙරෙනවා. 2048 වන විට සංවර්ධිත රටක් බවට පත් වෙන බව කීම බොරුවක් බව එයින්ම ඔප්පු කෙරෙනවා,” සංජය සහෝදරයා තව දුරටත් පැවසීය.
“මේ තතු තුල ෆැසිස්ට්වාදී බලවේග සූදානම් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. මේ බලවේග වර්ධනය කෙරෙන්නේ කම්කරු පන්තියට හා මහජන අරගලවලට විරුද්ධවයි. මෙවැනි කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් අද වන විට සමාජයේ හැමතැනම තිබෙන නමුත් මහජනයා අතර ඒවාට පදනමක් නැහැ. මේ නිසා මේවා පෝෂණය කර එලියට ගැනීමට ආණ්ඩුව දැනුවත්ව ම මැදිහත් වෙමින් පවතිනවා. නතාෂා අත්අඩංගුවට ගැනීම මඟින් මූර්තිමත් කෙරෙන්නේ මෙවැනි කණ්ඩායම්වලට කලඑළි බැසීම සඳහා වේදිකාව සැකසීම” යි.
“මේ නිසා අප ඇය ආරක්ෂා කල යුතු වන්නේ හුදෙක් භාෂණයේ නිදහස රැකීම විදිහට පමණක් නොවෙයි. මූලිකවම දේශපාලන අර්ථයකින් එසේ කිරීම අත්‍යවශ්‍ය වෙනවා.
ලංකාවේ අර්බුදය ජාතික ප්‍රශ්නයක් ලෙස සැලකීමේ සාවද්‍ය ප්‍රවේශය වෙනුවට එය ජාත්‍යන්තර ප්‍රපංචයක කොටසක් ලෙස ගැනීමත්, ප්‍රශ්නයේ පන්ති ස්වරූපය සලකා බැලීමත් නිවැරදි ප්‍රවේශය බව අවධාරනය කල ඔහු මෙසේ කීවේ ය:
“තව අවුරුදු 5-10 ක් (රුසියාවට එරෙහි එක්සත් ජනපද හා නේටෝ) යුද්ධය දිගටම පැවතුනොත් ජර්මනිය ඇතුළු යුරෝපය ‘කාර්මිකහරනය’ වීමේ අනතුර මතු කර තිබෙනවා. ලංකාවේ වගේ ආර්ථිකයන්ගේ සීමිත වෙළඳපොළවල් පවතින්නේ ප්‍රධාන වශයෙන් යුරෝපයේ හා ඇමරිකාවේ. ඒ රටවල කර්මාන්ත බිඳ වැටීම මේ අපනයන ආර්ථිකයන් විනාශ කිරීමට ඍජු ලෙස බලපානවා. මහජන අයිතිවාසිකම්වලට නීතිය හරහා එල්ල කරන ප්‍රහාරවලට පිටුපසින් තිබෙන්නේ ආර්ථිකය පුනස්ථාපනය වීමක් නොව එහි විනාශය ඉදිරියේ මහජනයා මර්දනය කිරීමේ අවශ්‍යතාව බව මෙයින් ඉතා පැහැදිලි වෙනවා.
“දැන් අප ඉදිරියේ මතු මතු වී ඇති අභියෝගය හමුවේ අප මූලිකව ඉදිරිපත් කරන වැඩ පිළිවෙල පදනම් වෙන්නේ වෘත්තීය සමිති හා ව්‍යාජ වාම සංවිධානවලින් ස්වාධීනව, කම්කරු පන්තියේ ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන බිහි කර ගැනීම මතයි. කොළඹ ක්‍රියාකාරී කමිටුව සටන් වදින්නේ ඒ සඳහායි. විශේෂයෙන් පහුගිය වසරේ අරගල පාවා දීමේ පාඩම් ඉගෙන ගනිමින් අප මේ ස්වාධීන සංවිධාන ගොඩ නැඟීමටත්, එම ස්වාධීන සංවිධාන ජාලය ජාත්‍යන්තර පරිමානව සන්ධානගත කිරීමටත් කටයුතු කල යුතුයි. ජාත්‍යන්තර කමිටුව දැනටමත් මේ වැඩ පිළිවෙල ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ ආකාරයෙන් විනා පැරණි ආකාරයේ සටන්වලින් පන්ති සටන් ජය ගැනීමේ කිසිම ඉඩකඩක් නැහැ.”
විවිධ පැතිකඩ අලලා පැයකට ආසන්න කාලයක් සිදු කල එම ව්ශ්ලේෂනය අවසානයේ ප්‍රශ්න සඳහා අවස්ථාවක් සහභාගී වූවන්ට ලැබුනු අතර, ඒ අවස්ථාව ඩැහැගත් ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) උප ලේකම් සමන් ගුනදාස, සසප ‘විනය කඩකිරීම’ නිසා නෙරපනු ලැබ ඇති බැවින් සංජය ජාත්‍යන්තර කමිටුව පිහිටුවා ඇති කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සංධානයට සම්න්ධ විය යුතු යැයි ප්‍රකාශ කිරීම ‘වංචනික’ යැයි කියා සිටියේය. එයට පිලිතුරු දුන් සංජය මෙම කාරනය මතුකිරීම රැස්වීමේ එතෙක් දීර්ඝව ගෙනහැර පෑ වෛශික දේශපාලන සත්‍යයන්ට හා රැස්වීමේ මාතෘකාවට හා අරමුනුවලට කිසිසේත් සම්බන්ධයකින් තොරව රැස්වීම නොමගයවා එය කඩාකප්පල් කිරීමේ අපේක්ෂාවෙන්ම කල මැදිහත් වීමක් බව පෙන්වා දෙන ලදී. (රැස්වීමේ පසු අවස්ථාවක ද ගනදාස ඒ ආකාරයෙන්ම රැස්වීම අපගමනය කිරීමේ නිර්ලජ්ජිත උත්සාහය ඉදිරියට ගෙනයන ලද අතර මේ සම්බන්ධ දේශපාලන වගවිභාග කිරීමක් ඉදිරි ලිපියකින් ඉදිරිපත් කෙරේ)
ඉන් අනතුරුව රැස්වීම ඇමතූ කමිටු සාමාජික හා සසප හිටපු මධ්‍යම කාරක සභිකයෙක් වන නන්දන නන්නෙත්ති සහෝදරයා, “දැන් මේ ධනපති පන්ති ආගම ඉහලට ඔසවා ජනයා භේද කිරීමේ යෙදී සිටියත්, ධනපති විප්ලවය පැන නැඟුණු කාලයේ එම විප්ලව පැන නැඟුනේ ම, ආගමික සීමා ද ඇතුළු සියලු වැඩවසම් සීමාවන්ට එරෙහිව” බව පෙන්වා දුන්නේය.
නන්නදන මෙසේ ද පැහැදිලි කලේය:
“එහෙත්, පසුකාලීනව බිහි වූ ධනේශ්වර රාජ්‍යවල ධනපති පන්ති වාර්ගික, ආගමික රේඛා නොතකා සමස්ත ජාතියක් ඒකාබද්ධ කොට අරගලයක් මෙහෙයවීමේ අත්දැකීම් හරහා කිසිදා ගමන් කර නැති අතර, පීඩිත පන්ති කෙරේ භීතියෙන් යුතු ඔවුහු මුල පටන්ම ක්‍රියා කර ඇත්තේ වාර්ගික, ආගමික, කුල භේද අවුලා ලමින් පීඩිතයන් භේද භින්න කර පාලනය කිරීමටය.
“වර්තමාන ලෝක ධනවාදය මුහුණ දී සිටින්නේ ලෝක යුද්ධය ද, විප්ලවය ද වශයෙන් වූ එහි අවසාන ප්‍රශ්නයට ය. ස්වකීය රටවල ජනයාට කිසිවක් හෝ දීමට අසමත් තතුවලට මුහුණ පා සිටින අධිරාජ්‍යවාදී රටවල්වල උත්සුකයන් දැන් යොමු වී පවතින්නේ ලෝකය යලි බෙදා ගැනීම දිසාවටය.
“මේ අර්බුදයට මිනිසුන් දක්වන සංවේදීතාව ඔවුහු විවිධ විෂයයන් හරහා විවිධ ආකාරයෙන් ප්‍රකාශයට පත් කරති. මේවායේ ප්‍රකාශයට පත් කරන විඥානය පැහැදිලි කර ගත යුතු වන්නේ මිනිසුන්ගේ භෞතික ජීවිතයේ පරස්පර විරෝධතා වගවිභාග කිරීම අනුසාරයෙන් බව අප වටහා ගත යුතුය. එනම්, එය කළ හැක්කේ නිෂ්පාදනය, නිෂ්පාදන බලවේග හා සමාජ සම්බන්ධතා අතර පවතින ගැටුම පිලිබඳ විශ්ලේෂනයකින් ය. මාක්ස් පවසන අන්දමට නිෂ්පාදන සම්බන්ධතා කිසියම් කාලයක නිෂ්පාදන බලවේගවලට ආධාරයක් වන තත්වයක සිට ඊට බාධාකාරී තිරිංගයක් බවට පරිවර්තනය වන අතර, එවිට සමාජ විප්ලවයක් පිලිබඳ කාල පරිච්ඡේදයක් ආරම්භ වේ. සියල්ලන් විසින් යට ගසනු ලබන්නේ හරියටම මෙන්න මේ තත්ත්වයයි.
“නතාෂාගේ සමාජ විඥානය නොතකා, ඇයගේ පන්තිය, වටපිටාව නොතකා, ඇයගේ කලාත්මක ප්‍රකාශනය පවතින ක්‍රමයට එරෙහිව කැරලිකාරී ආකාරයෙන් නැඟී සිටිනවා. ඊනියා වමුන්, රැඩිකලුන් එල්ලෙන්නේ ඇයගේ පුද්ගලික සමාජ දෘෂ්ටිය ලෙස ඔවුන් විස්තර කරන දේ මතයි. පාලක පන්තිය ඉතා සංවේදී වන කරුණු දෙකක් මතු වී තිබෙනවා. එකක් තමයි, පාලක පන්තිය තමන් පාලක පන්තියක් ලෙසට පැවතීම ම අභියෝගයට ලක් වෙලා ඉතා දුර්වල ව සිටීම. අනික, නතාෂාගේ කලාව විසින් මතු කරන නිදහස පිලිබඳ ප්‍රශ්නය තමන්ට බිය ගෙන දෙන සමාජ අවශ්‍යතාවයක් ලෙස වර්ධනය වන බව ඔවුන්ට දැනී තිබීම. ආණ්ඩුවත්, ඉන් යැපෙන ආගමික සංස්ථාපිතයත් අනෙක් අයත් භීතියට පත් කරන කරුණ එයයි.
“කලා කෘතියක් පිළිබඳව මේ පැන නැගිලා තිබෙන ප්‍රශ්නය පන්ති ප්‍රශ්නයක්. මේ කාරණය සම්පූර්ණයෙන් අමතක කරලා ප්‍රශ්න මතුපිටින් පෙනෙන හැටියට ගැනීම විසින් ප්‍රශ්නය හඳුනා ගැනීමට සහ විසඳීමට බාධා කෙරෙනවා. සිරගත කර තියෙන්නේ දැන් නතාෂා නෙවෙයි. නතාෂා හුදෙක් රූපික ප්‍රකාශනයක් විතරයි. සිරගත කර තිබෙන්නේ කලාවේ නිදහස, භාෂණයේ නිදහස, ස්වකීය විමුක්තිය සඳහා ගමන් කිරීමට ජනයාට ඇති නිදහස, අදහස් පල කිරීමට හා සංවිධානය වීමට පීඩිත ජනයාට ඇති නිදහසයි. මේ රැස්වීමට සහභාගී වන සහ ඊට පසුව ඇහුම්කන් දෙන සියලු සහෝදර සහෝදරියන්ගෙන් විශේෂයෙන් කම්කරු පන්තියෙන් මා ඉල්ලා සිටින්නේ මේ සඳහා අරගලය බාල කිරීමට උත්සාහ දරන, ඒ සඳහා වෙනත් ආදේශක යෝජනා කරන සියල්ලන්ට එරෙහිව කලාවේ සහ ප්‍රකාශනයේ නිදහස අත්පත් කර ගැනීම සඳහා සටන් වදින ලෙසයි. එතනදී කොළඹ ක්‍රියාකාරී කමිටුව ලෙස මම වගකීමෙන් කියනවා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ වැඩ පිළිවෙලට අපි මුළුමනින් අවනත බව. අපේ සංවිධානය ගොඩ නැඟුවේ එහෙම. ඒක ඉදිරියට යන්නේ ඒ විදිහට. අපේ සාකච්ඡා පවත්වන්නේ ඒ මූලධර්ම මත” යනුවෙන් නන්දන නන්නෙත්ති සහෝදරයා සඳහන් කළේය.
අවසාන කතාව පැවැත්වූ කොළඹ ක්‍රියාකාරී කමිටුවේ ලේකම් ශාන්ත විජේසූරිය සහෝදරයා පසුගිය වසරේ අරගලයේ අත්දැකීම් සමඟ සම්බන්ධ කර ගනිමින් මෙම සිදුවීම විභාග කළේය: “එම අරගලයේ දී අප අත් දුටුවේ තමන්ගේ පීඩනයන් පුපුරුවා හරිමින් මිනිසුන් නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට පෙරට ආ ආකාරයයි. දැන් මේ නිදහස් අදහස් ගලා ඒම සඳහා උත්තේජනය සපයන ලද්දේ මෙම අරගලයේ අත්දැකීම්වල ආශ්වාදය යි”, ඔහු ප්‍රකාශ කළේය.
පෙර වසරේ අරගලය දිග හැරුණු ආකාරය සිහිපත් කල ශාන්ත සහෝදරයා එදා දිග හැරුණු සමාජ ගැටළු සමාජයේ පුළුල් හරස්කඩකට බල පෑ අයුරු සහ, එම ජනයාට පෙර පරිදි ජීවත් විය නොහැකි තතු උදා වූ ආකාරය පැහැදිලි කළේය. මේ අනුව විවිධ පන්ති කණ්ඩායම් මේ අරගලය තුල ක්‍රියාත්මක වූහ. මේ මහජන නැඟිටීම පරාජයට පත්වීමට මූලිකව බලපෑවේ විප්ලවවාදී නායකත්වයක් නොපැවතීමේ ගැටලුවයි.
ගෝඨාගෝගම දේශනයක් සඳහා කෙරුණු කැඳවුම ඉදිරියේ සසප ලංකාවේ නායකත්වයේ හැසිරීම විවේචනය කළ ශාන්ත සහෝදරයා ඔවුන් පක්ෂයේ නමින් ආරාධනයක් ඉල්ලා සිටි බව සැලවූ බව සඳහන් කරමින් ප්‍රකාශ කලේ, එසේ ලිඛිත ආරාධනයක් ලබා දිය හැකි නිල සංවිධානයක් එහි නොවූ බවත්, එසේ ඉල්ලා සිටීම මගින් පක්ෂ නායකත්වය පක්ෂය මහජන අරගලවලට පිටස්තරින් පිහිටුවා තැබීමේ ආකල්පය හෙලිදරවු කල බවයි. මේ ආරාධනයට ප්‍රතිචාර දැක්වූ සංජය සහෝදරයාට විනය චෝදනා එල්ලවීම පිලිබඳ ඔහු විමතිය පළ කළේය.
මේ අරගලය ප්‍රදර්ශනය කල බලය ඉමහත් එකක් විය. රටේ ඉහලම මධ්‍යස්ථාන වූ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය හා අගමැති කාර්යාලය අත්පත් කර ගැනීමට එය සමත් විය. එහි අඩුව ලෙස පැවතුනේ ශක්තිය නොව වැඩ පිළිවෙලක් හා නායකත්වයක් නොමැතිකම ය.
නතාෂා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් දැක්වූ අදහස් විවේචනයට භාජනය කළ ඔහු, ඇයගේ නිදහස වෙනුවෙන් ගනු ලබන ආස්ථානය ද, එසේ ආස්ථානයක් ගන්නා මිනිසුන් ද ඓතිහාසික යැයි සඳහන් කළේය.