ඇන්ඩ්‍රියා ලෝබෝ විසිනි.
මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2025 අප්‍රේල් 24 දින ‘“Dirty War” Pope blesses Trump administration hours before his death’ යන හිසින් පලවූ ඇන්ඩ්‍රියා ලෝබෝ විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි.

ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ ලෙස උපත ලැබූ ෆ්‍රැන්සිස් පාප්වරයා, දිගුකාලීන නියුමෝනියාව හේතුවෙන් සති පහක් රෝහල්ගතව සිට, සඳුදා 88 වැනි වියේදී මිය ගියේය.
ඔහුගේ මරණය නිවේදනය කරමින් වතිකානුවේ ශාන්ත පීතර චතුරශ්‍රයේ සීනු නාද වූ තැන් සිට, ලෝකයේ බොහෝ රටවල සමාගම් පාලිත ප්‍රවෘත්ති චක්‍රයේ ආධිපත්‍යය දැරුවේ ලතින් ඇමරිකාවේ ප්‍රථම පාප්වරයා වන ආර්ජන්ටිනාවේ ජේසුයිට්වරයා පිළිබඳ පුහු චාටුකාර ආවැඩීම් භරිත ආවරණයෙනි.
ජනගහනයෙන් යන්තම් පහෙන් පංගුවක් කතෝලිකයන් ලෙස හඳුන්වා ගන්නා එක්සත් ජනපදයේ ප්‍රවෘත්ති මාධ්‍ය, පාප් පදවියේ ඇති සංකීර්ණතා ගැන අතුරක් නැතිව ගවේෂණයේ යෙදේ. මෙම අමානන්දය පැහැදිලි කළ හැක්කේ දේශපාලන හා පන්තිමය වශයෙන් පමණි.
බැරැක් ඔබාමා සහ ජෝ බයිඩන්ගේ ගුණකථනයන්ගෙන් අනුගාමීව, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, රෝමයේ සෙනසුරාදා පැවැත්වෙන පාප් වරයාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම ඔහුගේ දෙවන ධූර කාලයේ පළමු විදේශ සංචාරය වන බවයි.
මාධ්‍ය විසින් බර්ගොග්ලියෝව “දුප්පතුන්ගේ පියා”, “ජනතාවගේ මිනිසා” සහ “ප්‍රගතිශීලී පාප් වහන්සේ” ලෙස ශාන්තුවරකරණය කිරීම, පාලක ප්‍රභූන්ගේ ගෝලීය පැසිස්ට්වාදී පාලන ස්වරූපයන්ට හැරීම සදහා එහි ආශිර්වාදය ලබා දෙන කතෝලික පල්ලිය මත, “ප්‍රජාතන්ත්‍රවාදී” සහ “නූතන බවේ ” අවසාන වාර්නිෂ් වැස්ම තැවරීම අරමුනු කරයි.
සඳුදා ධවල මන්දිර පාස්කු බිත්තර ක්‍රීඩා උත්සවය අමතමින්, ඇමරිකානු අනාගත ෆියුරර් (ජර්මන් බසින් හිට්ලර් සදහා යෙදුමකි. මෙහිදී ට්‍රම්ප් අදහස් කරයි) බර්ගොග්ලියෝ “හොඳ මිනිසෙක්” ලෙස හැඳින්වීය. එක්සත් ජනපද සහ ප්‍රාන්ත ධජ රට පුරා අඩකුඹු කරන ලෙස නියෝග කරනා’තර, පල්ලිය (ආගම) සහ රාජ්‍යය වෙන් කිරීමට එරෙහිව පැහැදිලි අවමානයක් කරමින් ට්‍රම්ප් පැවසුවේ, “අපි ඇමරිකාවට නැවත ආගම ගේනවා” යනුවෙනි.
ඉතාලියේ ෆැසිස්ට්වාදී අගමැති ජෝජියා මෙලනි (Giorgia Meloni), “ඔහුගේ මිත්‍රත්වය, ඔහුගේ උපදෙස්, ඔහුගේ ඉගැන්වීම් භුක්ති විඳීමේ වරප්‍රසාදය” ගැන ප්‍රශංසා කළාය. මෙලෝනි මුසෝලිනිගේ දේශපාලන උරුමක්කාරයා වන අතර, ඔහුගේ බ්ලැක්ෂර්ට් කල්ලි කතෝලික පූජකවරුන්ට සහ තරුණයින්ට පහර දෙන විට පවා පාප් පදවිය සමඟ සමීප මිත්‍රත්වයක් භුක්ති වින්දේය.
බ්‍රසීලයේ ලූලා ද සිල්වා සහ ස්පාඤ්ඤයේ පේද්‍රෝ සැන්චෙස්ගේ සිට පිලිපීනයේ ෆැසිස්ට්වාදී ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් දක්වා විශාල කතෝලික ජනගහනයක් සිටින රටවල රාජ්‍ය නායකයින් කිහිප දෙනෙක් ජාතික ශෝක දින ප්‍රකාශ කළහ.
මීට පෙර බර්ගොග්ලියෝව “මන්ද බුද්ධික” ලෙස හැඳින්වූ ආර්ජන්ටිනාවේ ෆැසිස්ට් ජනාධිපති හාවියර් මිලෙයි, පාප් වහන්සේ විසින් වතිකානුවේදී ඔහුව පිළිගත් අවස්ථාව සිහිපත් කල අතර සතියක ශෝක කාලයක් ප්‍රකාශ කළේය.
බර්ගොග්ලියෝගේ වේදනාකාරී රෝගාබාධ සහ යුද්ධය, අසමානතාවය, කෑදරකම සහ ජාතිවාදය වැනි දෑ වාචිකව හෙළා දැකීම පිළිබඳව ඔහු දැරූ ජනප්‍රිය ආස්ථාන ගැන අසන හෝ කියවන විට, ලොව පුරා සිටින කම්කරුවන්ට සහ තරුනයින්ට සැබෑ අනුකම්පාව ස්වභාවිකවම දැනේ. මෙම හැඟීම් මතුවන්නේ, වෛරයට පාත්‍ර වූ ධනේශ්වර දේශපාලකයන්ගේ සහ මාධ්‍ය ආයතනවල ස්තෝත්‍ර ගායනා නිසා නොව ඒවා නොතකාය.
ඉතා මෑතක දී, බර්ගොග්ලියෝ ට්‍රම්ප්ගේ සමූහ පිටුවහල් කිරීමේ සැලසුම් මානව අභිමානය උල්ලංඝනය කිරීමක් ලෙස හෙළා දැක ඇති අතර මෙම ප්‍රතිපත්ති කතෝලික අදහස්වලට අනුකූල බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද උප ජනාධිපති ජේඩී වැන්ස්ට විශේෂයෙන් බැණ වැදී ඇත.
ඉන්පසු පැය කිහිපයකින්ම මිය ගිය පාප්වරයාට වාන්ස්ගේ පාස්කු ඉරිදා සංචාරය දරාගත නොහැකි තරම් වූවා යැයි සැක කිරීම ගැන කෙනෙකුට සමාව දිය හැකි තරම් ය.
“ඔබ එතරම් හොඳ තත්වයකින් නොසිටිය බව මම දනිමි. නමුත් ඔබ වඩා හොඳ සෞඛ්‍යයකින් සිටිනු දැකීම සතුටක්” ඔහු ඇස් පනාපිට මිය යමින් සිටි මිනිසාට පැවසීය.
නමුත් බර්ගොග්ලියෝ තම පාප් පදවියේ ප්‍රමුඛතාවයක් ලෙස සංක්‍රමණික අයිතිවාසිකම් රාමුගත කිරීම, දේශගුණික විපර්යාසය “සදාචාරාත්මක අර්බුදයක්” ලෙස ‘නිවේදනය’ කිරීම, LGBTQ ප්‍රජාව නිර්සාපරාධීකරණය කිරීමට කැඳවුම් කිරීම, සහ අනෙකුත් අවම “ප්‍රගතිශීලී” හැසිරීම් කිසි විටෙකත්, සමලිංගික විවාහ, ගබ්සාව හා ලිංගික අනන්‍යතාවය ආදී කාරණා සම්බන්ධ එහි නිල ඉගැන්වීම් වෙනසක් නොකොට පවත්වාගෙන යන කතෝලික පල්ලියේ ප්‍රතිගාමී ස්වභාවය වෙනස් කිරීමට අදහස් නොකෙරුනේ වීය.
බර්ගොග්ලියෝගේ නිහතමානිකම සඳහා වන ඉල්ලීම්, කතෝලික පල්ලිය ලොව විශාලතම ඉඩම් හිමියා ලෙස ඩොලර් බිලියන සිය ගණනක වත්කම් සහ එම තත්ත්වය පවත්වා ගැනීම නතර කර නැත.
ඒ ගැන කියතොත්, අසමානතාවය “සමාජයේ රෝගයක්” ලෙස ඔහුගේ විස්තර කිරීම, ටෙස්ලාහි ඉලෝන් මස්ක්, ඇමසන්හි ජෙෆ් බේසස්, ඇපල් හි ටිම් කුක් සහ ෆේස් බුක්හි හි මාර්ක් සකබර්ග් ඇතුළු අද දින තාක්‍ෂණික සහ මූල්‍ය ප්‍රභූ පැලැන්තියේ සාමාජිකයින් සදහා, වඩාත්ම මිත්‍රශීලී සහ වඩාත්ම තෘප්තිමත් බවින් යුතු සත්කාරකත්වය සැපයීමෙන් ඔහුව වැළකාලීමට අසමත් විය.
ප්‍රසිද්ධියට පත්වූ, යුද්ධය අවසන් කිරීම සඳහා දකුණු සුඩාන යුද නායකයන්ගේ පාද සිප ගනිමින් “සාමය” සඳහා ඔහුගේ ආයාචනා, ඔබාමා, බයිඩන් සහ ට්‍රම්ප් ඇතුළු දෙවන ලෝක යුද්ධයෙන් පසු දරුණුතම යුද අපරාධවලට වගකිව යුතු අධිරාජ්‍යවාදී නායකයින් වෙත භක්තිවන්ත ආශිර්වාදය පුද කිරිම සමඟ අතිනත ගෙන ගියේය.
ගෝලීයකරණ සහ ස්මාර්ට්ෆෝන් යුගයේ එහි ඇති බුද්ධි ද්‍රෝහිතාව ( obscurantism) නිසා පොදුවේ තරුණයන් සහ කම්කරුවන් පිළිකුල් කරන බැවින්, සමාජීය සහ පාරිසරික ගැටළු සම්බන්ධයෙන් එවැනි සංදර්ශනාත්මක ආස්ථානයන් (performative stances), අනුගාමිකයින්ගේ ඓතිහාසික පහත වැටීමක් මධ්‍යයේ, කතෝලික පල්ලියේ ජනතා විශ්වසනීයත්වය යම් තරමකින් හෝ නැවත ලබා ගැනීම අරමුණු කර ගෙන ඇත. ලොව පුරා වැඩෙන මහජනතාවගේ රැඩිකල්කරණයට සීමිත අනුගත වීමක් පල්ලියේ පැවැත්ම පිලිබද ප්‍රශ්නයක් ලෙස දැක ගනු ලැබීය.
දැන්, සෑම තැනකම සිටින පාලක ප්‍රභූන් “ජනතාවගේ පාප්වරයාගේ” මරණය, එහි සියලු පසුගාමීත්වය සහ නූගත්කම සමඟ “ආගමේ නැවත පැමිණීමක්” ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් ලෙස ගසාකයි. දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු ධනවාදයේ ගැඹුරුම අර්බුදය මධ්‍යයේ, වැඩවසම් ආකාරයේ ෆැසිස්ට් ප්‍රතිගාමිත්වය ප්‍රවර්ධනය කිරීම හරහා ලෝකයේ කතිපයාධිකාරීන් පොහොසත් කිරීමට සහ වැඩෙන මහජන විරෝධය මර්දනයට ආවරණයක් සැපයීමට එවැනි ප්‍රයත්නයන් අවශ්‍ය බව ඔවුන් දැක ගනී.
කතෝලික පල්ලියේ පෙර කල සිදු කළ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නවල ස්වභාවය එබඳු වූ අතර, එය ධර්මාධිකරණය (Inquisition-මධ්‍යතන යුග වල) සහ යටත් විජිත යුගයේදී ස්වදේශික ජනයාගේ සමූල ජන සංහාරය අධීක්ෂණය කළ ප්‍රතිගාමිත්වයේ එම බලකොටුව ලෙසම පවතී.
ලියෝ පාප්වරයා IX (1049–1054) වැනි චරිත පූජක දූෂණ සහ සිමොනි (පූජකත්වය ‘දූෂ්‍ය ගනුදෙනු’ මගින් කෙලසීම – simony) හෙළා දුටු නමුත්, ග්‍රාමීය පල්ලි අපචාරවල ගිලී සිටි අතර, පල්ලිය විසින් ‘මිථ්‍යාදෘෂ්ටික’ ලෙස හෙළා දකිනලද කැතරිසම් (Catharism) වැනි ව්‍යාපාරවල නැගීම සඳහා දායක විය. ට්‍රෙන්ට් කවුන්සිලය (1545-1563) ධර්මය සහ විනය මධ්‍යගත කළ නමුත් දේශපාලන බලය සමඟ පල්ලියේ පෙළගැස්ම සහ මූලධර්ම පරිණාමයට එරෙහි ප්‍රතිරෝධය තහවුරු කළේය. ජෝන් XXIII ගේ ප්‍රතිසංස්කරණ (1962-1965), දේවමෙභෙයේ ක්‍රමය (liturgy) සහ ලෝකය සමඟ සම්බන්ධ වීම නවීකරණය කරන ලද නමුත්, ක්‍රියාවට නැංවීම පිළිබඳ පශ්චාත්-කවුන්සලයානු (post-conciliar) සටන්, බෙදීම් ගැඹුරු කළ අතර පද්ධතිමය පූජකවාදය හෝ අපයෝජන අර්බුද විසඳීමට අසමත් විය.
ෆ්‍රැන්සිස්ගේම අතීතය පිළිබිඹු කරන්නේ කතෝලික පල්ලියේ ෆැසිස්ට්වාදය සමඟ ඇති ස්වභාවික සන්ධානයයි. රටේ “කිලිටි යුද්ධය” (Dirty War 1976-1983) තුළ ආර්ජන්ටිනාවේ පල්ලියේ ප්‍රමුඛ චරිතයක් ලෙස, වාමාංශික කොටස් වලින් පල්ලිය “පවිත්‍ර කිරීමේ” උත්සාහයේ දී, මිලිටරි ආඥාදායකත්වය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් පූජකයන් සහ ගිහි කම්කරුවන් විසින් බර්ගොග්ලියෝට චෝදනා කරන ලදී.
මෙය හුදෙක් පුද්ගලික අසාර්ථක වීමක් නොවේ; ආර්ජන්ටිනාවේ පල්ලියේ ධුරාවලිය සමස්තයක් ලෙස ජුන්ටාවෙහි වධකයන්ට සහ ඝාතකයින්ට ආවරණය සහ සදාචාරමය අනුමැතිය ලබා දෙමින් ඔවුන් “දෙවියන්ගේ වැඩ” කරන බවට සහතික විය. කම්කරුවන්, ශිෂ්‍යයන් සහ බුද්ධිමතුන් අතර “වාමාංශිකයන්” යැයි සැලකෙන 30,000ක් “අතුරුදහන් කර,” වධ බන්ධනවලට ලක් කර ඝාතනය කරන ලදී.
බර්ගොග්ලියෝ 1976 දී ජේසු නිකායික පූජකවරුන් වන ඔර්ලන්ඩෝ යෝරියෝ සහ ෆ්‍රැන්සිස්කෝ ජැලික්ස් පැහැරගෙන යාමට සම්බන්ධ යයි සැලකුන අතර, ඔවුන්ව ආරක්ෂා කිරීමට අපොහොසත් වූ බව කියනු ලැබේ. ඔවුන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට හේතු වූ සාධකයක් වූ, බුවනෝස් අයර්ස් මුඩුක්කු ප්‍රදේශයේ ඔවුන්ගේ සමාජ වැඩ සඳහා සහය නොදැක්වූ බවට ඔහුට චෝදනා එල්ල වුණි .
මිලිටරි ජුන්ටාව විසින් වධක මධ්‍යස්ථානවල කාන්තාවන්ට උපන් බිළිඳුන් ක්‍රමානුකූලව පැහැරගෙන ඔවුන් පාලන තන්ත්‍රය හා සමග පෙලගැසුනු පවුල්වල තබා ඇත. දිවි ගලවා ගත් අය සහ ඒ අය අතරින් එස්ටෙලා ඩි ලා ක්වාඩ්‍රා සාක්ෂි දෙමින් කියා සිටියේ , 1978 දී බර්ගොග්ලියෝ තම අතුරුදහන් වූ ගැබිනි සහෝදරිය ගැන විමසීමට ඇගේ පියාට අත් අකුරින් සටහනක් ලබා දුන් බවත්, දරුවා රෙජිමය විසින් රැගෙන ගොස් ඇති බවත් දැන ගැනීමට ලැබුණු බවත්ය. ඔහු ඒකාධිපතිත්වය අවසන් වන තුරු ළදරු සොරකම් ගැන දැන නොසිටි බවට 2010 දී බර්ගොග්ලියෝගේ උසාවි ප්‍රකාශයට මෙය පටහැනි විය. බර්ගොග්ලියෝ 2010 දී මෙම චෝදනා සම්බන්ධයෙන් සාක්ෂි දුන් නමුත් දිවි ගලවා ගත් අය ඔහුගේ මගහැරීමේ ප්‍රතිචාර සහ මුලදී විවෘත අධිකරණයේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කිරීම විවේචනය කළහ.
පාප්වරයා ලෙස, ෆ්‍රැන්සිස් කිසි දිනෙක සිය උපන් බිම වන ආර්ජන්ටිනාවට පැමිණියේ නැත.
ගාසාවේ ජන සංහාරයට විරෝධය පෑ විදේශීය සිසුන් ඇතුළු, ලතින් ඇමරිකාවේ මිලිටරි ජුන්ටාවන්ගේ ක්‍රියාකාරකම් ප්‍රතිරාවය කරනා දේශපාලන “අතුරුදහන් කිරීම්” අනුගමනය කරනා ට්‍රම්ප් පරිපාලනයට ආශීර්වාද කිරීම – ඉරිදා ඔහුගේ මානසික තත්වයෙන් ස්වාධීනව – බර්ගොග්ලියෝට අපහසු නොවීය.
එය වැන්ස් හමුවීම තුල සිදුකල ඔහු ගේ අවසන් ප්‍රධාන නිල ක්‍රියාව වූ අතර ඔහු පිලිබද මතකයේ වඩාත්ම වැදගත් එකක් වනු ඇත.