ක්‍රෙම්ලිනයට එරෙහි යුක්රේන ප්‍රහාරය සාපරාධී ප්‍රකෝපකරනයකි

අන්ඩ්‍රෙ ඩැමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි මස 03 දින Ukrainian attack on Kremlin is a criminal provocation යන සිරසින් යුතුව පලවූ අන්ඩ්‍රෙ ඩැමන් සහෝදරයා විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

Image

බදාදා, රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපතිවරයාගේ නිල නිවස වන මොස්කව්හි ක්‍රෙම්ලිනයට ඉහළින් ඩ්‍රෝන යානා දෙකක් පුපුරා ගියේය.  රුසියානු විදේශ අමාත්‍යාංශය මෙම පිපිරීම් හැඳින්වූයේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඝාතනය කිරීමට යුක්රේන රජය ගත් උත්සාහයක් ලෙසිනි.  “මෙම ක්‍රියාවන් සැලසුම් සහගත ත්‍රස්තවාදී ක්‍රියාවක් සහ ජනාධිපතිවරයාගේ ජීවිතය නැති කිරීමට ගත්  උත්සාහයක් ලෙස අපි සලකමු,” මොස්කව් පැවසීය.

ක්‍රෙම්ලිනයට එරෙහි යුක්‍රේන ප්‍රහාරය සහ පුටින් ඝාතනය කිරීමට තැත් කිරීම සාපරාධී මෙන්ම නොසැලකිලිමත් ලෙස කරන ලද ප්‍රකෝප කිරීමකි. එය රුසියාවේ පළිගැනීම් අවුලුවාලීම හැර වෙනත් අරමුණක් ඉටු නොකරන අතර එය යුද්ධයට නේටෝවේ මැදිහත්වීම දැවැන්ත ලෙස උත්සන්න කිරීමට හා යුක්ති සහගත කිරීමට යොදා ගනු ඇත.

බරපතල ලෙස, ක්‍රෙම්ලිනයට ප්‍රහාරය එල්ල වූයේ, බෝම්බ ප්‍රහාරයට පැය කිහිපයකට පෙර සෙලෙන්ස්කි යුක්රේනයෙන් නේටෝ භූමියට එනම්  ෆින්ලන්තයට පැමිණීමෙන් පසුවය; එය මොස්කව් විසින් කරන  පළිගැනීම් වලින් ඔහුව ආරක්ෂා කර ගැනීමේ උත්සාහයක් වූවාට සැකයක් නැත.

යුද ප්‍රයත්නයේම ශක්‍යතාව සඳහා තීරනාත්මක යැයි කියෙව් පාලන තන්ත‍්‍රය විශ්වාස කරන, බොහෝ ප‍්‍රසිද්ධියට පත් වූ යුක්‍රේන ප්‍රහාරය ආසන්නයේ මෙම ප්‍රහාරය සිදු විය.

කාන්දු වූ පෙන්ටගනයේ ලේඛනවලින් පෙන්නුම් කරන්නේ යුක්රේනය, මහජනතාව විශ්වාස කිරීමට පෙලඹවූවාට වඩා බෙහෙවින් නරක මිලිටරි තත්වයක සිටින බවයි. එයින් අදහස් කරන්නේ ප්‍රහාරයේ සාර්ථකත්වයට බොහෝ දුරට ඉඩ නොමැති අතර නේටෝ හමුදාවන්ගේ සෘජු මැදිහත්වීමකින් තොරව ව්‍යසනයකින් පවා අවසන් විය හැකි බවයි.

රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ මාධ්‍ය ලේකම් කරීනි ජීන්-පියරේ ගේ ප්‍රකාශ වලින් ප්‍රකාශිත එක්සත් ජනපදයේ ප්‍රතිචාරය  එම ප්‍රහාරයට එක්සත් ජනපදය සෘජුවම වගකිව යුතු බවට පත් කරන අතර, එම නිසා ඇමරිකානු රාජ්‍යයේ ඉහළම මට්ටමක ඇති නොසැලකිලිමත්කමේ විශ්මය ජනක මට්ටමට ඒවා සාක්ෂි දරයි.  

ප්‍රහාරයෙන් ටික වේලාවකට පසු, වොෂින්ටන් පෝස්ට් තීරු රචක ඩේවිඩ් ඉග්නේෂස් විසින් බ්ලින්කන්ගෙන් අසා සිටියේ “ඩ්‍රෝන් ප්‍රහාරයකින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඝාතනය කිරීමට යුක්රේනය උත්සාහ කළ බවට ක්‍රෙම්ලිනය පසු දිනම චෝදනා කරනු ලබනවා…… යුක්රේනය විසින් මෙම යුද්ධයේදී නායකත්වයට එල්ල කරන එවැනි ප්‍රහාර සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ස්ථාවරය කුමක්ද?”

එක්සත් ජනපදය වගකීමෙන් වෙන් කරනවා වෙනුවට, බ්ලින්කන් එවැනි ප්‍රහාරවල නීත්‍යානුකූලභාවය පැහැදිලිවම අනුමත කළේ, “තමන්ව ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න තීරණය කිරීමට අපි එය යුක්‍රේනයට භාර දෙමු” යනුවෙන් ප්‍රකාශ කරමිනි.

ඉග්නේෂස් නැවතත් ඔහුගෙන් මෙසේ ඇසුවේය: “රුසියානු භූමියට ආපසු පහර දීමට යුක්රේනය තනිවම තීරණය කළහොත්, එක්සත් ජනපදය ඔවුන්ව විවේචනය නොකරයිද?”  මෙයට, බ්ලින්කන් නැවතත්, පිලිතුරු දෙමින් කියා සිටියේ, “මේවා යුක්රේනය තමන්ව ආරක්ෂා කර ගන්නේ කෙසේද, එහි භූමිය නැවත ලබා ගන්නේ කෙසේද, එහි භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය යථා තත්ත්වයට පත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව ගත යුතු තීරණ වේ,” යන්නයි.

පසු දින, ධවල මන්දිර සාකච්ඡාවකදී, ජීන්-පියරේට එම ප්‍රශ්නයම වෙනත් ආකාරයකින් යොමු කරන ලදී: “යුක්රේනයට එරෙහිව මෙම යුද්ධය දියත් කළ රුසියානු හමුදා ප්‍රධානියා ලෙස, පරිපාලනය විසින් පුටින්ව දකින්නේ නීත්‍යානුකූල මිලිටරි ඉලක්කයක් ලෙසද? “

ඇය පුටින් ඝාතනය හෙළා දැකීම ප්‍රතික්ෂේප කරමින්, “මම අනුමාන කරන්න යන්නේ නැහැ” කියා ප්‍රකාශ කළාය.

මෙම ප්‍රකාශයන් පැහැදිලි කරන්නේ ගැටුමේ දී එක්සත් ජනපදයේ අරමුන රුසියාවේ පාලන තන්ත්‍රය වෙනස් කිරීම වන අතර,  වොෂින්ටනය විසින් බලයෙන් පහ කර  මරා දැමූ පෙර නායකයන්  ගණයටම පුටින් ද ඇතුළත් කර ඇති බවයි: මුවම්මර් ගඩාෆි සහ සදාම් හුසේන් යන දෙදෙනාම එක්සත් ජනපදය බලල් අත් ලෙස යොදාගත් (ප්‍රොක්සි) හමුදා විසින් ඝාතනය කරන ලද අතර, අත්අඩංගුවේ සිටියදී ස්ලෝබොඩාන් මිලසොවික් මිය ගියේය.

දේශපාලන නායකයෙකු ඝාතනය කිරීම, ප්‍රහාරයක් සාධාරණීකරණය කිරීමට හේතුවක් කරගන්නා බව බොහෝ කලක සිට හඳුනාගෙන තිබේ.  ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්, 2003 ඉරාක ආක්‍රමණය සාධාරණීකරණය කරමින්, සදාම් හුසේන් කලින් තම පියා ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ බවට වූ සාවද්‍ය ප්‍රකාශය උපුටා දැක්වීය.  ඔස්ට්‍රියාවේ ආදිපාදවරයා වූ ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ඝාතනය කිරීමත් සමඟ පළමු ලෝක යුද්ධය ආරම්භ විය.

මොස්කව්හි බෝම්බ ප්‍රහාරය පුටින් මරා දැමීමට සමත් නොවූවත් එය රුසියානු රජයේ මූලස්ථානය වන ක්‍රෙම්ලිනයට ප්‍රහාර එල්ල කිරීමකි.  ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීමේ මූලික හේතුව ලෙස හා ඉරාකය ආක්‍රමණය කිරීමට සැලකිය යුතු හේතුවක් ලෙස 2001 සැප්තැම්බර් 11 වන දින ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ පෙන්ටගනයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර එක්සත් ජනපදය ඉදිරිපත් කළ අතර, ක්‍රෙම්ලිනයට ප්‍රහාරය සැලසුම් කිරීමේදී, එය යුද්ධය උත්සන්න කිරීමට රුසියාව තුල පීඩනය තීව්‍ර කරන බව කියෙව් හොඳින්ම දැන සිටියේය.

බ්ලින්කන්ගේ ප්‍රකාශයෙන් ඉක්බිතිව, වොෂින්ටනය සහ කියෙව් විසින් මෙහෙයුමට ඔවුන්ගේ විවෘත මැදිහත්වීම ආපසු හැරවීමට උත්සාහ දැරීය.  “අපි පුටින්ට පහර දුන්නේ නැහැ,” සෙලෙන්ස්කි පැවසීය.  නමුත්  ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු යුක්රේන තැපැල් සේවය විසින් ක්‍රෙම්ලිනය ගිනිගෙන දැවෙන අයුරු දැක්වෙන මුද්දරයක් නිකුත් කරන බවට කරන ලද නිවේදනය මගින් මෙම ප්‍රකාශය අසත්‍ය විය.

එක්සත් ජනපද නිලධාරීන් නිව් යෝර්ක් ටයිම්ස්, වොෂින්ටන් පෝස්ට් සහ අනෙකුත් පුවත්පත්වලට ද ප්‍රකාශ කළේ එක්සත් ජනපදය ප්‍රහාරය ගැන කලින් දැන නොසිටි බවයි.  තවත් පියවරක් ඉදිරියට යමින්, අධිරාජ්‍ය ගැති චැතම් හවුස් චින්තන පර්ශදයේ ජේම්ස් නික්සි, ප්‍රහාරය ක්‍රෙම්ලිනයේ “ව්‍යාජ ධජයක්” [තමන් විසින්ම වැරැද්දක් සිදු කර, එම වැරද්ද තම සතුරු පාර්ශ්වය මත පැටවීමෙන්, තමන් විසින් කරන යුධ ආක්‍රමණයක් සාධාරණීකරණය කර ගැනීමට හේතුවක් නිර්මාණය කර ගැනීම] බව ප්‍රකාශ කළේය.

වගකීම ප්‍රතික්ෂේප කිරීමේ මෙම ප්‍රයත්නයන්ට  කිසිදු ආකාරයේ විශ්වාසනීයත්වයක් නොමැති අතර එම ප්‍රකාශ එක්සත් ජනපද නිලධාරීන්ගේ විවෘත උදම් වීම සමග පරස්පර වී ඇත.

යුද්ධයට පිවිසුමට ආසන්නයේ ප්‍රමුඛ චරිතයක් වන කර්නල් ඇලෙක්සැන්ඩර් වින්ඩ්මන්, ප්‍රහාරයට ප්‍රශංසා කරමින්,  ප්‍රකාශ කළේ එය “රුසියාව සැබවින්ම කෙතරම් දුර්වල ද යන්න ප්‍රකාශ කරයි” ලෙස යි.  ඔහු තවදුරටත් කියා සිටියේ, “ක්‍රෙම්ලිනයට එරෙහි ඩ්‍රෝන් ප්‍රහාරවල වැදගත්ම දෙය වන්නේ පුටින්ට ඇති වූ ලැජ්ජාවයි.  ඔහුට  භයානක ලෙස  දුර්වල බව පෙනේ[sic].”

යුක්‍රේන සහ එ.ජ. නිලධාරීන්ගේ ප්‍රතික්ෂේප කිරීම්, 2022 ඔක්තෝම්බර් 8 වෙනිදා කර්ච් පාලමට එල්ල වූ ප්‍රහාරයෙන් සැකසූ රටාව අනුගමනය කරයි. වොෂින්ටනය සහ කියෙව් එයට ඇති තම සම්බන්ධය ප්‍රතික්ෂේප කළ අතර  මෙම ප්‍රහාරය යුක්‍රේන විශේෂ බළකාය විසින් සිදු කර ඇති බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා පසුව අනාවරණය කළේය.

බෝම්බ ප්‍රහාරය පිළිබඳව ධවල මන්දිරයේ ප්‍රතිචාරයෙන් පැහැදිලි වන්නේ, යුද්ධය උත්සන්න කිරීම සඳහා එය යුක්රේන ආන්ඩුවට හිස් චෙක්පතක් වැනි දෙයක් ලබා දෙන බවයි.  මෙයින් අදහස් කරන්නේ සෙලෙන්ස්කි ආන්ඩුව ගත හැකි කුමන හෝ සාපරාධී ක්‍රියාවකට ලෝකය බලහත්කාරී ලෙස ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන සිටින බවයි.

යුද්ධය ඉදිරියට ඇදී යනවිට, බයිඩන් පරිපාලනය තමන් නොකරනු ඇති බවට ප්‍රකාශ කල සියල්ල කිරීමට ඉදිරියට ගොස් තිබේ.  එක්සත් ජනපදය එහි මිලිටරි අරමුණු සාක්ෂාත් කර ගැනීමේ මාධ්‍යයක් ලෙස ගැටුම උත්සන්න කිරීමට ඇති සෑම බාධකයක්ම බිඳ දැමීමට අදහස් කරයි.

පුටින්⁣ගේ විභව ඝාතනය සුජාත කරන එක්සත් ජනපද නිලධාරීන්ගේ ප්‍රකාශයන්, දැන් වොෂින්ටනයේ සහ අනෙකුත් නේටෝ අගනගරවල ආධිපත්‍යය දරන නොසැලකිලිමත්කම, මංමුලා සහගත බව සහ සිහි විකල් වූ මෝඩකමේ තරම හෙලිදරව් කරයි.  යුද්ධය හුදෙක් තීව්‍රතාවයෙන් පමණක් නොව භූගෝලීය විෂය පථය තුළද ප්‍රසාරණය වෙමින් පවතින අතර, නැගෙනහිර යුරෝපයේ සිට පැසිෆික් කලාපය දක්වා පැතිරීමේ තර්ජනයක් මතු කරයි.

මේ යුද්ධය නැවැත්විය යුතුය.  කම්කරු පන්තියේ වැඩෙන අරගල වෙත නැඹුරු වූ ද සමාජවාදී වැඩපිලිවෙලකින් සන්නද්ධ වූ ද යුද්ධයට එරෙහිව මහජන ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීම හදිසි අවශ්‍යතාවයක්ව පවතී.

#theSocialistLK #WSWS

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top