ශ්රීලනිපය හා පෙරමුන අතුගෑවෙයි! අර්බුදය මැද යූඇන්පීය බලය ගනි. කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා නායකත්වය ගොඩනගමු!
සිරිමා බන්ඩාරනායකගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) ප්රමුඛ සමගි පෙරමුන ආන්ඩුව බලයෙන් අතුගා දැමූ 1977 ජුලි 21 මහ මැතිවරනයෙන් තුනෙත් දෙකක බලයක් ලබා ජේ.ආර්.ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂය (යූඇන්පී) බලයට පැමිනියේ විකල්ප කම්කරු මාවතක් අහිමි කැනු ලැබූ මහජනතාවගේ විරෝධී ජන්දයක් මගිනි. එතැන් සිට මහා කප්පාදු පියවරයන් එකිනෙක මහජනයා මත හෙලමින් ද, මෘග ප්රචන්ඩකම් කම්කරු පීඩිතයන් හා දේශපාලන විරුද්ධාවාදීන් මත හෙලමින් ද පාලනය ඇරඹි ජයවර්ධන රට භූගෝලීය ප්රාග්ධනයට විවෘත කිරීම සඳහා අවශ්‍ය ඒකාධිපති බලතල තමන් වෙත පවරා ගැනීමේ විධායක ජනාධිපති ක්‍රමයක් ස්ථාපිත කරමින් 1978 ජුලි 31 දින ලංකාවේ දෙවන ජනරජ ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කලේ ය. එම වසරේ සැප්තැම්බර් 7 සිට බලාත්මක වූ මෙම ඒකාධිපති හා වර්ගවාදී ව්‍යවස්ථාව යටතේ මෙම රට වසර 45ක් ධනපති පාලනයට නතුව පැවතියේය. සංශෝධන 21ක් හරහා ඒකාධිපති බලය අංශුවකින් හෝ කපා හැර නැති මෙම ව්‍යවස්ථාව යටතේ දහස් ගනනින් තරුනයන්, කම්කරුවන් බිලිගත් දකුනේ තරුන කැරැල්ලක් ද, උතුරේ තිස් අවුරුදු වර්ගවාදී යුද්ධයක් ද, භීෂනයද, දුප්පත්කමද, කාලකන්නිකමද කම්කරු පීඩත මහජනතාවගේ හිස මත පාත් කෙරුනි.
මෙම ධනපති ප්‍රහාරයට එරෙහිව විප්ලවවාදී කම්කරු පන්තික ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් හා වැඩපිලිවෙලක් ඉදිරිපත් කරමින් අප්‍රතිහත ධෛර්යකින් යුතුව සටන් වැදුනේ 1968 පිහිටුවන ලද විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) හා එහි අනුප්‍රාප්තික සමාජවාදී සමානතා පක්ෂය (සසප) යි. 1972 දී බන්ඩාරනායකගේ ආන්ඩුව තහනමට ලක් කරන තෙක් විකොස නිල පුවත්පත වූයේ “කම්කරු පුවත්” ය. තහනමින් පසු “කමිකරු මාවත” නමින් විකොස තම නිල පුවත්පත නිකුත් කලේ කම්කරුවන්, ගොවීන්, තරුනයන්, බුද්ධිමතුන් වෙත එදිනෙදා දේශපාලන පැහැදිලිකම නොපමාව රැගෙන එමිනි.
1977 ජුලි මැතිවරනයෙන් බලයට පත් යූඇන්පී ආන්ඩුව යටතේ ලංකාවේ නවලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට දිමීම සමග පන්ති අරගලය නව අධියරයන්ට පිවිසි අතර විකොස එම අරගලවල නායකත්වය සඳහා ඉදිරිදර්ශනය සම්පාදනය කරමින් ක්‍රියාකාරිව සටන් වැදුනේ ය.
විශේෂයෙන් මෙම වසර 45 කාලය තුලත්, ඉන් පෙරත්, ලංකාවේ ධනපති ක්රමයේ චලනයන්, කම්පනයන් පිලිබඳව එදා විකොස ලෙසත් පසුව ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) ආරම්භ කිරීම දක්වා සසප විසිනුත් කරන ලද දේශපාලන අරගලයේ කැඩපත වූ කම්කරු මාවත පුවත් පතේ තෝරාගත් ලිපි පලකිරීම සඳහා ද-සෝෂලිස්ට්.LK වෙබ් අඩවිය තීන්දු කර ඇති බව අප පාඨකයන්ට සහෝදරත්වයෙන් දැනුම් දෙමු. එසේ තොරාගත් ලිපි “කම්කරු මාවත ඉතිහාසයෙන්” නමින් විශේෂාංගයක් ලෙස මෙතැන් සිට පලකෙරෙනු ඇත.
වත්මන් අරගලවලට අවැසි පාඩම් උකහා ගැනීමේත්, විකොස අරගලයේ ජීවමාන අත්දැකීම් සහි කැඳවීමේත්, ඓතිහාසික මුසාකරනයන්ට එහෙිව සිදුවීම් පිලිබඳ තත්‍ය සමාජවාදී විශ්ලේෂන වෙත හැරී ගැනීමේත් උපකාරයක් ලෙස මෙම ලිපි පරිශීලනය කිරීම වැදගත් ලෙස සැලකිය යුතුය.
එහි ආරම්භයක් ලෙස ඉහත කී 1977 මැයි මහ මැතිවරනය අවසානයේ එහි දේශපාලන ඇඟවුම වග විභාග කරමින් විකොස 1977 ජුලි 23 සෙනසුරාදා කම්කරු මාවත 395 කලාපයේ පල කල පහත ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරමු.
ද-සෝෂලිස්ට්.LK කර්තෘ මන්ඩලය.
***
ශ්රීලනිපය හා පෙරමුන අතුගෑවෙයි
අර්බුදය මැද යූඇන්පීය බලය ගනි.
කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා නායකත්වය ගොඩනගමු!
ජුලි 21 මැතිවරනයේදී, එතෙක් බලයේ සිටි ධනේශ්වර ශ්‍රීලනිප ආන්ඩුව මෙතෙක් පැවති කිසිම ආන්ඩුවක් අත් නොදුටු ආකාරයේ අන්ත පරාජයක් ලද අතර වසර හයක් තිස්සේම එම ධනපති පාලනයේ ප්‍රධාන මුක්කුව ලෙස ක්‍රියාත්මක වූ සමසමාජ-කොමියුනිස්ට් පක්ෂවල සියලුම නියෝජිතයන් ද පාර්ලිමේන්තුවෙන් එලියට අතුගෑවී ගියේය.
ලංකාවේ අනෙක් ප්‍රධාන ධනපති පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය එහි නායකයින් බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි ජන්ද ගනනක් ලබමින් ආසන 168 කින්139ක් දිනා ගනිමින් දැවැන්ත විරෝධතා ජන්දයක ප්‍රතිඵලයක් ලෙස බලයට තල්ලු වී පැමින ඇත.
21දා මහ මැතිවරනයේ ප්‍රතිඵල ලංකාවේ පංති සටනේ නව ගුනාත්මක අවධියක ආරම්භයක් වෙයි. පලමු වැනුව, මේ තරම්ම තියුනු ලෙස ද දැවැන්ත ලෙසද බලයේ සිටිආන්ඩුවක්, තුනෙන් දෙකක ජන්දයකින් බලය ලබා සිටි ආන්ඩුවක් එලවා දමන ලද අවස්ථාවක් නොවීය. මැතිවරන ප්‍රතිථල තීන්දු කෙරී ඇත්තේ බලය ඉල්ලූ පක්ෂ ඉදිරිපත් කල ප්‍රතිපත්ති මගින් නොව බලයේ සිටි ආන්ඩුව ගෙන ගිය ආර්ථික විනාශයේ ප්‍රතිපත්ති වලින් බව උවමනාවටත් වඩා පැහැදිලිය.
1971 මහා මිනිස් ඝාතනය, සය අවුරුදු හදිසි නීතිය, එක දිගටම සිදුවූ පොලිස් මර්දන, පෙර නොවූ ආකාරයට සිදුවූ බඩු මිල ඉහලයාම, රැකියා හිඟය හා ආර්ථික විනාශය ධනපති ශ්‍රිලනිපයේ විනාශය සලකුනු කල ප්‍රධාන කරුනු විය.
මැතිවරන ප්රතිඵලවල පරස්පර විරෝධී බව රැඳී ඇත්තේ, ඉහත කී මහා ආර්ථික විනාශයට එරෙහිව වැටුනු ජන්දය ධනපති යූඇන්පීය වටා ගොනු වීමෙහිය. මේ තත්වය තුඩු දෙනු ඇත්තේ 1970-1977 කාලයේ පැවතුනාටත් වඩා අන්ත දරුනු පුපුරනසුලු තත්වයකට යි. මෙය වැලැකිවිය නොහැකිය.
බලාපොරොත්තුව
අලුත් යූඇන්පී ආන්ඩුව බලයට පත් වන්නේ බඩු මිල, රැකියා හා ජීවන තත්වය ගැන මහජනයා ගේ දැවැන්ත බලලාපොරොත්තු පුපුරන සුලු මට්ටමට උග්‍ර වී ඇති තත්වයකදී ය. නමුත් ධනපති ක්රමයේ අන්ත බංකොලොත්කම කොතෙක් ද යත් එම බලාපොරොත්තු යම්තම් වත් සැපිරිය හැති තත්වයක් ධනපති ක්‍රමය තුල නැත.
මෙම කරුන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය මගින් පමනක්ම, මැතිවරනය පෙරදී ද, මැතිවරනය මැද දී ද දැඩි ලෙස අවධාරනය කෙරුනි. ශ්‍රීලනිපයේ තුනෙන් දෙකක වැඩි ජන්ද සංඛ්‍යාව වසරකටත් අඩු කාලයකදී දවා හලු කල එම අර්බුදය මෙදා ආන්ඩුවේ පවුරු පදනම් සුන් කිරීම කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමනි.
ආර්ථික අර්බුදයේ ගැඹුර පිලිබඳ කරුනු සංක්ෂිප්තව ඉදිරිපත් කලහොත්: රටේ විදේශ නය ප්‍රමානය රුපියල් කෝටි 500 පැන ඇත. නයට පොලී වශයෙන් වාර්ශිකව රුපියල් කෝටි 143ක් වැය වෙයි. මූලික කර්මාන්ත වල නිෂ්පාදනයේ පහත වැටීම පෙර නොවූ විරූ පරිදි සිදු වෙයි. 1976 දී සංස්ථා අංශයේ සියයට 44 කින් ද, තේ කර්මාන්තයේ සියයට 8.1 කින් ද, පොල් කර්මාන්තයේ සියයට 13 කින්ද නිෂ්පාදනය කඩා වැටුනි.
ධනපති අර්ථ ශාස්ත්‍රඥයන් පෙන්වන පරිදි මෙය අකාර්යක්ෂමතාවයේ හෝ දූෂනයේ ප්‍රතිඵලයක් නොව අද පැන නැගී ඇති උ්රග්ර ධනපති ආර්ථික කඩා වැටීමේ විවෘත ප්‍රතිඵලය යි.
බඩු මිල ප්රශ්නය මත තාවකාලිකව හෝ උපාමාරු යෙදීමට අපහසු වන්නාවූත්, රැකියා අර්බුදය උග්‍ර කරන්නා වූත් ධනවාදයේ මෙම අර්බුදය තුල කම්කරුවන්ට ගොවීන්ට-පීඩිතයන්ට හා තරුනයන්ට විසඳුමක් නැත.
විසඳුම ඇත්තේ සියලු ධනපති දේපල වන්දි විරහිතව ජනසතු කරන ලද කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා සටන ඔස්සේ පමනකි.
සමසමාජ-ස්ටැලින්වාදී නායකයෝ මේ වැඩපිලිවෙල එදත් ප්‍රතික්ෂේප කලහ. අදත් ප්‍රතික්ෂේප කරති. ඔවුන් මුලු මුනින්ම පාහේ පාර්ලිමේන්තුවෙන් එලියට අතුගෑවී යෑම ඔවුන් ගෙන ගිය ද්‍රෝහී මහජන පෙරමුනු දේශපාලනයේ විවෘත ප්‍රතිඵලය විය.
බඩු මිල වැඩි කිරීමට ද, රැකියා හිඟය නිර්මානය කිරීමට ද, පොලිස් මර්දනය උග්‍ර කිරීමට ද ඔවුන් පිදූ සහාය ඔවුන් පාර්ලිමේන්තුව තුලින් අතුගෑවී යෑමට පදනම දැමුවා පමනක් නොව, පසුගිය ආන්ඩුවට එරෙහිව පැන නැගි දැවැන්ත ජනතා නැගිටීමේ නායකත්වය කම්කරු පන්තිය විසින් දිනා ගනු ලැබීමට ප්‍රධාන භාධාවක් විය. ඒ අර්ථයෙන් ගත් විට දක්ෂිනාංශික යූඇන්පි ආන්ඩුවට පාර කැපීමේ පුර්න වගකීම පැවරිය යුත්තේ සමසමාජ-ස්ටැලින්වාදී නායකත්වය වෙතයි.
ධනපති ක්‍රමය හැසිරවීම මගින් අර්බුදය විසඳිය හැකි යැයි මේ නායකයන් ගෙනගිය වැඩ පිලිවෙල දක්ෂිනාංශයට හා මිලිටරි ඒකාධිපතීත්වයට පාර කපන වැඩපිලිවෙලක් බව අපි නිරතුරුව කම්කරු පංතියට අනතුරු හැඟැ වූයෙමු.
නායකයින්ගේ ද්‍රෝහී දේශපාලනය හා නායකත්වයම කම්කරු ව්‍යාපාරයෙන් ඉවත් කර නොදමා ධනපති ප්‍රහාරයට මුහුන දිය නොහැකි යැයි අපි නිරතුරුව කීවෙමු. අද මෙය උවමනාවටත් වඩා සනාථ වී තිබේ.
1970 සිට දීන ලෙස ශ්‍රීලනිපයට සහාය දුන් ඔවුහු අද යූඇන්පී ප්රහාරයන්ට දොර හැර මුලුමුලින්ම නායකත්වයක් නැති තත්වයට කම්කරු ව්‍යාපාරය ඇද ලා සිටිති.
එහෙත් ලංකාවේ කම්කරු පංතිය තවමත් ශක්තිය නොබිඳි අපරාජිත බලවේගයක් ලෙස පවතී. පසුගිය හවුල දෙදරවා හැර සිරිමා බන්ඩාරනායක ආන්ඩුව දෙදරවා හැරීමේ හැකියාව කම්කරු පංතියට තිබුනි. අපි එම සටනේ පෙරමුනේ සිටියෙමු.
දරුනු ආර්ථික අර්බුදය මධ්‍යයේ බඩු මල නැංවීමේත්, රැකියා නැසීමේත්, ආර්ථික විනාශය ඇති කිරීමේත් ප්‍රතිපත්ති හැර වෙනත් ප්‍රතිපත්ති අනුගමනය කරන්නට යූඇන්පීයට නොහැකිය. මේ තත්වය කෙලින්ම යූඇන්පීයට එරෙහි දැවැන්ත පංති සටන් පැන නංවනු නියතය. ඒ තත්වයේදී යලිත් වරක් ධනපති පක්ෂ සමග හවුලක් ඇටවීමට කම්කරු ව්‍යාපාරයේ නයකත්වය දිව යනු ඇත. ඊට එරෙහිව සමාජවාදී වැඩපිලිවෙලක් උඩ කම්කරු බලය සඳහාත් කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහාත් නොසැලී සටන් වදින නායකත්වය ගොඩනගා ගැනීම දැන් ජීවිතයත් මරනයත් අතර ප්‍රශ්නයක් වෙයි.
විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය එම කටයුත්තට කැප වෙයි. මැතිවරන ව්‍යාපාරය මැද දී අප කල මැදිහත්වීම එවැනි නායකත්වයක් සඳහා දැවැන්ත පදනමක් දමා ඇත. යූඇන්පීය පලවා හැර මහජන පරමුනට යලි ඉඩ නොදී කම්කරු-ගොවි ආන්ඩුවක් පිහිටුවීම සඳහා කම්කරු ව්‍යාපාරය මෙහෙයවීමේ සටන අපි අරඹමු.
යූඇන්පීය ඉදිරියේ යලිත් වරක් ධනපති ශ්‍රීලනිපයට හෝ වෙනත් ධනපති පතුරකට හෝ හේත්තු වීමේ දේශපාලනයක් ගෙන යෑමට සමසමාජ – ස්ටැලින්වාදී නායකයින්ට ඉඩ නොදෙන ලෙස අපි එම පක්ෂවල සාමාජිකයින්ගෙන් හා වෘත්තීය සමිති ව්‍යාපාරයෙන් ඉල්ලමු.
යූඇන්පීය මේ ඉමහත් අර්බුදය මැද ඔවුන්ගේ ප්රහාරයන් එල්ල කිරීමේ දී මූලික ඔට්ටුව අල්ලනු ඇත්තේ කම්කරු ව්‍යාපාරයේ නායකත්වය කරන ද්‍රොහී කමි උඩයි.
විප්ලවවාදී නායකත්වය තීරනාත්මක වන්නේ එබැවිනි. විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට බැඳෙන ලෙසත්, යූඇන්පීය පලවා හැර කම්කරු-ගොවි ආන්ඩුවක් ගොඩනැගීමේ සටනේ දී ඒ වටා එක් වන ලෙසත් අපි සියලු සටන්කාමීන්ගෙන් ඉල්ලමු.