නික් බීම්ස්
මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 ජුනි 18 දින ‘’ UN report details developing countries’ rising debt burden” යන හිසින් පල වූ නික් බීම්ස් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු විසිනි.
බිලියන සංඛ්‍යාත ජනතාවන් දරිද්‍රතාවයේ ගැඹුරට තල්ලු කරමින්, බැංකු හා මූල්‍ය ආයතනවල ලාභ තර කිරීම සඳහා දුප්පත් හා අඩු සංවර්ධිත රටවල ධනය උරා බොන යෝධ වැකුම් ක්ලීනරයක් ලෙස ගෝලීය මූල්‍ය පද්ධතිය ක්‍රියාත්මක වේ.
මෙම මස මුලදී එක්සත් ජාතීන්ගේ වෙලඳ හා සංවර්ධන සමුලුව (UNCTAD) විසින් සකස් කරන ලද ගෝලීය වෙලඳාම පිලිබඳ වාර්තාවේ සෑම පිටුවකින්ම පාහේ ආර්ථික හා දේශපාලන ජීවිතයේ මෙම කරුන ඉස්මතු වේ.
“එකක් පසුපස එකක් ලෙස කඩා පාත්වන අර්බුද මෙන්ම ගෝලීය ආර්ථිකයේ මන්දගාමී හා සුමට නොවූ ක්‍රියාකාරිත්වය මගින් මෙහෙයවනු ලබන” ගෝලීය රාජ්‍ය නය වේගයෙන් ඉහල යන බව සඳහන් කරමින් වාර්තාව ආරම්භ වේ.
2023 දී, දේශීය හා විදේශීය නය වලින් සමන්විත සමස්ත රාජ්‍ය නය, වසරක් තුල ඩොලර් ට්‍රිලියන 5.6 ක වැඩිවීමක් සටහන් කරමින් ඩොලර් ට්‍රිලියන 97 දක්වා ලඟා විය.
තියුනුම වැඩිවීම සිදුවන්නේ ඊනියා සංවර්ධනය වෙමින් පවතින රටවල වන අතර, 2023 දී එය ඩොලර් ට්‍රිලියන 29ක් වෙමින්, ගෝලීය සමස්තයෙන් සියයට 30ක අගයක් වාර්තා කලේය. මෙම ප්‍රතිශතය 2010 හි දී සියයට 16ක් ව පැවතිනි.
වාර්තාව සඳහන් කලේ, නය බරෙහි බලපෑම වෙනස් වූවද, “එය දරා ගැනීමේ අඩුම හැකියාව ඇති අය වැඩිපුරම ගෙවීමට සිදු විමෙන් අවසන් වන ” “ජාත්‍යන්තර මූල්‍ය ව්‍යුහය තුල මුල් බැස ඇති අසමානතාවයන් මගින් උත්සන්න කරන” බවයි.
මෙය සැලකිය යුතු සොයා ගැනීමකි. දේශපාලන නායකයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර සංවිධාන, නය බර ලිහිල් කිරීමේ සහ සහන සංවිධානය කිරීමේ අවශ්‍යතාවය පිලිබඳව කරන සියලුම ප්‍රකාශ තිබියදී, ජාත්‍යන්තර මූල්‍යය පද්ධතියේ රාමුව තුල විසඳුම් සෙවිය නොහැකි බව එයින් පැහැදිලි වේ. වාර්තාවේ දක්වා ඇති බිලියන ගනන් ජනයාගේ දරිද්‍රතාවය දෛනිකව වැඩි වීම, පද්ධතියේ ව්‍යුහය තුලම මුල් බැස ඇත.
වාර්තාව පැහැදිලි කල පරිදි:
“සංවර්ධනය වෙමින් පවතින රටවල් ජාත්‍යන්තර මූල්‍ය සැකැස්ම සමඟ පොරබදමින් සිටින අතර, එහි මුල් බැස ඇති අසමමිතිය, තිරසාර සංවර්ධනය කෙරෙහි, එකක් පසුපස එකක් ලෙස කඩාවැටෙන අර්බුදවල බලපෑම තීව්‍ර කරයි. මෙම පද්ධතිය ඔවුන්ගේ නය බර තීව්‍ර කරන්නේ දැරිය හැකි සංවර්ධන මූල්‍ය වෙත ප්‍රවේශය සීමා කිරීමෙන් සහ වඩාත් සචල සහ මිල අධික මූලාශ්‍රවලින් නය ලබා ගැනීමට ඔවුන් තල්ලු කිරීමෙනි.
සංවර්ධනය වෙමින් පවතින රටවල සමස්ත විදේශ නය 2022 දී ඩොලර් ට්‍රිලියන 3.2 ක් වූ අතර ඉන් අඩක් සදහා එය ඔවුන්ගේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 28.4ක් සහ ඔවුන්ගේ අපනයනවලින් සියයට 92.4ක් තරම් ඉහල අගයක් විය.
2011 ට සාපේක්ෂව ආන්ඩු තම නය ගෙවීම සඳහා ආදායමට සාපේක්ෂව දෙගුනයක් සම්පත් දැන් වෙන් කිරීම නිසා තත්වය වඩාත් නරක අතට හැරෙමින් පවතින්නේ , “තිරසාර සංවර්ධනය සඳහා ආයෝජන සඳහා සම්පත්වල වඩාත් අඩු වන කොටසක් ඉතිරි කරමිනි.”
බොහෝ විට ඉදිරිපත් කරන චිත්‍රය වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලට ආර්ථික සංවර්ධනය සඳහා මූල්‍යමය වශයෙන් නය සහ ආධාර වෙන් කරන ආකාරයයි.
ඇත්ත වශයෙන්ම නම්, අරමුදල් ගලායාම සිදුවන්නේ අනෙක් දිශාවට ය. මෙය සංවර්ධනය වෙමින් පවතින රටවලට ඒවා කෙරෙහි වැඩි වැඩියෙන් යැපීමට බල කෙරෙමින් පවතින ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය තුල පුද්ගලික නය අරමුදල්වල ඉහල යන භූමිකාවේ ප්‍රතිඵලයක් වේ.
2022 දී, සංවර්ධනය වෙමින් පවතින රටවල් නව අරමුදල්වලින් තමන්ට ලැබුනු මුදලට වඩා වැඩිපුර ඩොලර් බිලියන 49 ක් ඔවුන්ගේ නය හිමියන්ට ගෙවා ඇත. ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සංවිධානවලින් ඩොලර් බිලියන 40 ක ගලා ඒමක් සිදු වූ අතර, හෙජ් අරමුදල් සහ පුද්ගලික සාමාන්‍ය කොටස් සමාගම් (private equity groups) වැනි පුද්ගලික නය දෙන්නන් වාර්තාගත ඩොලර් බිලියන 89 ක් ඉවතට ඇද ගත්හ. ඇත්ත වශයෙන්ම සිදුවුනු දේ නම්, නිල මාර්ග හරහා ලබා දුන් මුදල් පෞද්ගලික ප්රාග්ධනයට මුදල් සැපවීම සඳහා භාවිතා කරන කෙරීමය.
2010 දී 32 සිට, 2022 දී 52 ක් දක්වා වැඩි වූ රටවල් සංඛයාවක් මුදල් පිටතට ගලා යාමක් අත්විඳින ලදී. මෙම වැඩිවීමෙන් පිලිබිඹු වන්නේ , අනෙකුත් මහ බැංකු විසින්ද පසුව අනුගමනය කරන ලද, දශක කිහිපයකින් අත්දුටු ඉහලම මට්ටම් වලට පොලී අනුපාත ඉහල නැංවීම එක්සත් ජනපද ෆෙඩරල් රිසව් බැංකව විසින් ආරම්භ කිරිමෙන් පසුව , 2022 දී පටන් ගත් පොලී අනුපාත ඉහල යාමේ බලපෑමයි.
සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා නය ගැනීමේ පිරිවැය, එක්සත් ජනපදයට වඩා දෙගුනයේ සිට සිව් ගුනයක්ද, ජර්මනියට වඩා හය ගුනයේ සිට දොලොස් ගුනයක් වැඩිය යන කාරනය නය ගැනීම් තන්ත්‍රයේ විකෘති තර්කනය විදහා දක්වයි. දරා ගැනීමේ හැකියාව අවම අයටම වැඩි මුදලක් ගෙවීම සදහා බල කෙරෙයි.
සියලුම සංවර්ධනය වෙමින් පවතින රටවලින් අඩකට වඩා වැඩි සංඛ්‍යාවක්, රජයේ ආදායමෙන් අවම වශයෙන් සියයට 8ක් පොලී අනුපාත සඳහා වෙන් කරයි. පසුගිය දශකය තුල මෙම අගය දෙගුන වී ඇති අතර 2023 දී ඉන් බොහෝමයක් අප්‍රිකාවේ වූ, සංවර්ධනය වෙමින් පවතින රටවල් අතරින් වාර්තාගත 54ක්, එනම් සියයට 38 ක ප්‍රතිශතයක් , පොලී ගෙවීම් සඳහා ආදායමෙන් අවම වශයෙන් සියයට 10ක් වෙන් කර ඇත.
එම වසර තුල අධ්‍යාපනය සඳහා වන වියදම් ප්‍රමානය ඉක්මවා පොලී වියදම් ගෙවන රටවල් 15ක් ද, ඒ්වා සෞඛ්‍ය වියදම්වලට වඩා ඉහල අගයක් ගත් රටවල් 46ක් ද විය.
එක්සත් ජාතීන්ගේ වාර්තාව අවසන් කලේ “ජාත්‍යන්තර මූල්‍ය ව්‍යුහය” ප්‍රතිසංස්කරනය සඳහා වන ආයාචනා කිරීම සමඟින් සහ එවැනි කැඳවුම් එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලයේ වඩාත්ම මෑත රැස්වීමේදී මෙම ප්‍රශ්නය රටවල් 149 කට වැඩි ප්‍රමානයක් “මහ හඬින්” මතු කල බව පවසමිනි. එසේ නමුත් මෙවැනි කැඳවුම් මීට පෙර අවස්ථා ගනනාවකදීම කර ඇති වූවත් ඇත්ත වශයෙන්ම සිදු වූයේ තත්ත්වය වඩාත් නරක අතට හැරීම පමනකි.
එපමනක් නොව, දරිද්‍ර රටවල බිලියන ගනන් ජනයා වඩ වඩාත් ගැඹුරුවන දරිද්‍රතාවයට ඇද දමන එම “ජාත්‍යන්තර මූල්‍ය ව්‍යුහයම, ප්‍රධාන ආර්ථිකයන්හි කම්කරුවන්ගේ ජීවිත මත ද ආධිපත්‍යය දරන්නේ, දිනෙන් දින වඩාත් ඉහල මට්ටම් වලින් කම්කරුවන් සූරාකෑම සහ සමාජ වියදම් කප්පාදු කිරීම් මගින් තම අතෘප්තිකර ඉල්ලීම් සපුරාලීම සදහා පරපෝෂිත මූල්‍ය ප්‍රාග්ධනය බලකර සිටිද්දීය.
ඉහල පොලී අනුපාතවල බලපෑම සංවර්ධනය වෙමින් පවතින රටවල් වල පොලී වියදම් බිල්පතෙහි පිලිබිඹු විය. එය 2023 දී ඩොලර් බිලියන 847 දක්වා ඉහල යමින් 2021 සිට සියයට 26 ක වැඩිවීමක් පෙන්වයි.
2020-2022 කාලපරිච්ඡේදය තුල අප්‍රිකාවේ, ආසියාවේ සහ පැසිෆික් කලාපයේ බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල සෞඛ්‍ය සහ අධ්‍යාපනය සඳහා වියදම් කිරීමට වඩා පොලී බිල්පතේ වියදම වේගයෙන් ඉහල ගියේය.
මෙය සිදුවන රටවල් වල සංඛ්‍යාව ඉහල යමින් පවතින බව වාර්තාවේ. බිලියන 3.3 ක ජනතාවක් දැන් ජීවත් වන්නේ අධ්‍යාපනයට හෝ සෞඛ්‍යයට වඩා පොලී බිල සඳහා වියදම් කරන රටවල ය.
මක්නිසාද යත්, වාර්තාව විසින්ම පිලිගෙන ඇති පරිදි, අසමානතාවය පද්ධතිය තුලම “කාවැදී” ඇති බැවිනි.
ඉදිරි මාවත පවතින්නේ ඊනියා “ප්‍රතිසංස්කරනය” තුල නොවේ – එය කල නොහැක්කකි – ඊට විපරීතව එය පවතින්නේ , ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ සමස්ත මූල්‍ය පද්ධතියේ පොදු අයිතිය ස්ථාපිත කිරීම කේන්ද්‍රීය පදනමක් වන, ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා ප්‍රධාන ආර්ථිකයන්හි සහ අඩු සංවර්ධිත රටවල කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලය තුලය.