ඊශ්‍රායලය පලස්තීනය වාඩිලා ගැනීම නීති විරෝධී බව ජාත්‍යන්තර අධිකරණය තීරණය කරයි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 ජූලි 19 දින ඉංග්‍රීසි බසින් පල වූ, ‘International Court of Justice finds Israel’s occupation of Palestine illegal’ යන ශීර්ෂය  යටතේ ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු  විසිනි.

ඊශ්‍රායල ආන්ඩුව සහ එහි අධිරාජ්‍යවාදී ආධාරකරුවන් අතිශය ප්‍රබල ලෙස හෙළා දකිමින් ජාත්‍යන්තර අධිකරණය (ICJ) සිකුරාදා ඊශ්‍රායලය පලස්තීනය වාඩිලා ගැනීම නීති විරෝධී බව තීන්දු කළ අතර, ඊට හැකියාව ලබාදීම නවත්වන ලෙස සියලුම රටවලට නියෝග කළේය.

ICJ
සභාපති විනිසුරු නවාෆ් සලාම් 2024 ජූලි 19 වැනි සිකුරාදා නෙදර්ලන්තයේ හේග් හි ජාත්‍යන්තර අධිකරණයේ හෙවත් ලෝක අධිකරණයේ තීන්දුව කියවයි. [AP Photo/Phil Nijhuis]

“1967 සිට වාඩිලා ගන සිටින පලස්තීන භූමි ප්‍රදේශ” මත ඊශ්‍රායලයේ 56 වසරක් පැරණි ආධිපත්‍යය “නීති විරෝධී” බව උසාවිය නිශ්චිතවම තීන්දු කළේය. වාඩිලා ගත් භූමි ප්‍රදේශ වලට, බටහිර ඉවුර, නැගෙනහිර ජෙරුසලම සහ ගාසා තීරය ඇතුළත් වන අතර, දැන් ක්‍රියාවට දමා ඇති සමූල ජන ඝාතනය තුල ඒවායේ ජනතාව ඊශ්‍රායලය විසින් ක්‍රමානුකූලව ඝාතනය  කරමින් පවතී. 

ගාසා තීරයේ ජනගහනයට එරෙහි ඊශ්‍රායල යුද්ධයේ සාපරාධීත්වයට එපිටින්, සමූල ජන ඝාතනය සිදු කෙරෙන සමස්ත රාමුවම නීති විරෝධී බවත්, අධිරාජ්‍යවාදී බලවතුන් විසින් ඊට හැකියාව ලබාදීමද නීති විරෝධී බවත්, සිය පුළුල් තීන්දුව තුල උසාවිය ප්‍රකාශයට  පත් කළේය.  

“වාඩිලා ගත් පලස්තීන ප්‍රදේශයේ ඊශ්‍රායලයේ නීතිවිරෝධී පැවැත්ම අවසන් කිරීම සහතික කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට සියලුම රාජ්‍යයන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු” බව අධිකරණය ප්‍රකාශ කළේය. නීති විරෝධී වාඩිලා ගැනීම සඳහා රටවල් “ආධාර ලබා දීම  හෝ පවත්වාගෙන යාම සදහා උපකාර” නොකළ යුතු බවද එය වැඩිදුරටත් සඳහන් කළේය.

“ඊශ්‍රායලයට තමන්ව ආරක්ෂා කර ගැනීමට අයිතියක් ඇත” යන ප්‍රකාශ මත පදනම්ව ගාසා සමූල ජන ඝාතනයට අරමුදල් සැපයීම සහ සන්නද්ධ කිරීම සඳහා අධිරාජ්‍යවාදී බලවතුන්ගේ යුක්තිසහගත කිරීම් ප්‍රතික්ෂේප කරමින්, “ඊශ්‍රායලයේ ආරක්ෂක උත්සුකයන් විසින්, භූමි ප්‍රදේශ බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම තහනම් වීම පිලිබඳ මූලධර්මය අභිබවා යා නොහැකි බව” තීන්දු කලේ ය. 

පලස්තීනයේ ජනතාවට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධය සඳහා එක්සත් ජනපදයේ සහයෝගය “යකඩ ආවරණයක්” සහිත බව බයිඩන් පරිපාලනය දුසිම් වාරයක් ප්‍රකාශ කර ඇත. ගාසා ජන සංහාරයේ ආරම්භයේ සිට, එක්සත් ජනපදය ඊශ්‍රායලයට ඩොලර් බිලියන 6.5 ක ආයුධ ලබා දී ඇති අතර තවත් ඩොලර් බිලියන 14 ක් ලබා දීමට පොරොන්දු වී ඇත. මෙයට රාත්තල් 2000 බෝම්බ 14,000කට වැඩි ප්‍රමාණයක් ඇතුළත් විය.

මෙම ආයුධ ආධාරයෙන් ඊශ්‍රායලය විසින් ඔක්තෝම්බර් මාසයේ සිට ගාසා වැසියන් 186,000ක් හෝ ඊට වැඩි පිරිසක් ඝාතනය කර ඇති බව ද ලාන්සට් (The Lancet) හි ප්‍රකාශයට පත් කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ICJ හි සභාපති නවාෆ් සලාම් මෙසේ පැවසීය:

“ඈඳා ගැනීම සහ වාඩිලාගෙන සිටින පලස්තීන භූමි ප්‍රදේශය මත ස්ථිර පාලනයක් තහවුරු කිරීම මගින්, ඊශ්‍රායලය විසින් වාඩිලාගෙන සිටින බලවතා ලෙස එහි තත්ත්වය දිගින් දිගටම අපයෝජනය කිරීම සහ පලස්තීන ජනතාවගේ ස්වයං නිර්ණය සඳහා ඇති අයිතිය අඛණ්ඩව ව්‍යර්ථීකරණය මගින්, ජාත්‍යන්තර නීතියේ මූලික ප්‍රතිපත්ති උල්ලංඝනය කෙරෙන අතර වාඩිලාගෙන සිටින පලස්තීන භූමියේ ඊශ්‍රායලය රැදී සිටීම නීති විරෝධී කරයි.”

සිකුරාදා තීන්දුවට ප්‍රතිචාර දක්වමින්, එක්සත් රාජධානිය පදනම් කරගත් ඔක්ස්ෆැම් සහන ආයතනය ප්‍රකාශ කළේ ඊශ්‍රායලය, “බටහිර ඉවුරේ සහ නැගෙනහිර ජෙරුසලමේ වර්ණභේදවාදයේ අපරාධය සිදු කරයි, එය බරපතලම ජාත්‍යන්තර අපරාධවලින් එකක්” බවයි.

ජාත්‍යන්තර අධිකරණ (ICJ) නඩුවේ පලස්තීනය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ පිලිප් සෑන්ඩ්ස් (Philippe Sands), තීන්දුවට ප්‍රතිචාර වශයෙන් ප්‍රකාශ කළේ:

“මේක මට මේ උසාවියෙන් දක්නට ලැබුනු තින්දු වලින් පැහැදිලි සහ දුරදිග යන තීන්දුවක්. … එහි නෛතික ප්‍රතිවිපාක අපැහැදිලිභවකින් මුළුමනින්ම තොරයි, එහි දේශපාලන ප්‍රතිවිපාක දුරදිග යන ඒවායි. … බොහෝ ප්‍රායෝගික ප්‍රතිවිපාක අතර, ජෙරුසලමේ එක්සත් ජනපද සහ අනෙකුත් තානාපති කාර්යාල නීති විරෝධී බවත් ජාත්‍යන්තර නීතියට ගරු කිරීම සඳහා ඒවා ඉවත් කළ යුතු බවත්, අතිමහත් බහුතරයකින් උසාවිය සිය මතය පැහැදිලි කර ඇත.”

ඊශ්‍රායලය නැගෙනහිර ජෙරුසලම සම්පූර්ණයෙන්ම ඈඳා ගෙන ජෙරුසලම එහි අගනුවර ලෙස ප්‍රකාශයට පත් කර ඇත. නීතිවිරෝධී වාඩිලෑම වැලඳ ගැනීමක් ලෙස, ට්‍රම්ප් පරිපාලනය එක්සත් ජනපද තානාපති කාර්යාලය ජෙරුසලමට ගෙන ගිය අතර, බයිඩන් පරිපාලනය විසින් එය අනුමත කෙරිණි.

අල් ජසීරා සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ජාත්‍යන්තර නීති විශේෂඥ විලියම් ෂබාස් ප්‍රකාශ කළේ:

“[උපදේශන තීන්දුව] හුදෙක් ඊශ්‍රායලයට එරෙහිව එල්ල වූවක් නොවේ. එය ඊශ්‍රායලයේ මිතුරන්ට එරෙහිව යොමු කර ඇති අතර, එය ඔවුන්ට පවසන්නේ, වාඩිලාගෙන සිටින ප්‍රදේශවල අඛණ්ඩ ප්‍රචණ්ඩ ක්‍රියා සහ පීඩාවන්ට සහ ජනාවාස ප්‍රතිපත්තියට කිසිදු ආකාරයකින් දායක විය නොහැකි බවයි.”

මෙම තීන්දුවට ප්‍රතිචාර දක්වමින් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ:

“ජාත්‍යන්තර අධිකරණය සිය මතය නිකුත් කර ඇති අතර, නිගමනය අතිශය පැහැදිලි ය: ඊශ්‍රායලය පලස්තීන ප්‍රදේශ වාඩිලා ගැනීම සහ ඈඳා ​​ගැනීම නීති විරෝධී වන අතර පලස්තීනුවන්ට එරෙහිව එහි වෙනස් කොට සැලකීමේ නීති සහ ප්‍රතිපත්ති, වාර්ගික වෙන් කිරීම සහ වර්ණභේදවාදය පිළිබඳ තහනම උල්ලංඝනය කරයි.

ඊශ්‍රායල නිලධාරීන් ප්‍රතිචාර දැක්වූයේ ජාත්‍යන්තර අධිකරණය (ICJ)  හෙළා දැකීමෙන් සහ තීන්දුවේ අන්තර්ගතය යලි තහවුරු කිරීමෙනි: එනම්  සමස්ත පලස්තීන ප්‍රදේශ වල ආධිපත්‍යය හා ඈඳා ගැනීමට ඊශ්‍රායලය උත්සාහ කරන්නේ ය යන්නයි.

 ඊශ්‍රායල ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටමා බෙන් ගවියර් (Itamar Ben-Gvir) ගෝරනාඩු  කළේ,“උසාවියේ  සදාචාරාත්මක දේශනා අපි පිළිගන්නේ නැහැ” ලෙසයි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ:

“යුදෙව් ජනතාව තමන්ගේම දේශය තුල යුධ ජයග්‍රාහකයන් නොවේ-අපේ සදාකාලික අගනුවර වන ජෙරුසලමේ හෝ  අපගේ මුතුන්මිත්තන්ගේ දේශය වන ජුඩියා සහ සමේරියාවේ තුල එය එසේ නොවේ.හේග් හි කිසිදු ව්‍යාජ තීරණයක් මෙම ඓතිහාසික සත්‍යය විකෘති නොකරනු ඇති අතර, අපගේ මව්බිමේ සියලුම ප්‍රදේශවල ඊශ්‍රායල ජනාවාස කිරීමේ නීත්‍යානුකූලභාවය විවාද කළ නොහැක.”

ICJ යනු එක්සත් ජාතීන්ගේ ඉහළම නීති ආයතනයයි. සිකුරාදා තීන්දුව, ගාසා තීරයේ ඊශ්‍රායල වාඩිලා ගැන්මේ නීත්‍යානුකූලභාවය පිළිබඳ තීන්දුවක් දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2022 කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් විය.  එය, ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් (ICC) වෙන් වූවක් වේ.  ICC හි ප්‍රධාන අභිචෝදකයා සමූල ජන ඝාතනය ගැන ඊශ්‍රායලයට චෝදනා  නගා තිබේ.

සිකුරාදා තීන්දුව ඊශ්‍රායල ආන්ඩුවට සහ එහි අධිරාජ්‍යවාදී ආධාරකරුවන්ට විනාශකාරී නෛතික චෝදනාවක් ඉදිරිපත් කලද, වෙනත් බොහෝ උසාවි තීන්දු සහ එක්සත් ජාතීන්ගේ යෝජනා මෙන් එයට කිසිඳු ප්‍රායෝගික බලයක් නොමැති බව සත්‍ය කාරනය ලෙස පවතී.

මෙම තීන්දුව පැමිණෙන්නේ, යුද අපරාධකාර අගමැති විසින් ඔහුට වැටුප් ගෙවන්නන් වන අධිරාජ්‍යවාදීන්ට  ප්‍රගති වාර්තාවක් ලබා දෙනු ඇති, කොන්ග්‍රසය අමතා කරන ඒකාබද්ධ දේශනයක් පැවැත්වීමට  ජුලි 24දා වොෂින්ටනයට නෙතන්යාහුගේ පැමිණීමට පෙරය. එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන්, ලෝකය පුරා නව යටත් විජිත ආධිපත්‍යය යලි තහවුරු කිරීමේ කොටසක් ලෙස ගාසා තීරයේ ජන සංහාරයට සහය දැක්වීමට තරයේ කැපවී සිටිති.

ගාසා ජන සංහාරයට එරෙහි වීමේ සහ අවසන් කිරීමේ කර්තව්‍යය කම්කරු පන්තියට පැවරෙන අතර, එය ඉටු කළ හැක්කේ යුද්ධයට හා අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට එරෙහිව ලොව පුරා කම්කරුවන්ගේ හා තරුනයන්ගේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් සමාජවාදය සඳහා සටනේ තීරණාත්මක මූලිකාංගයක් ලෙස ගොඩනැගීම හරහා පමනි.  නෙතන්යාහු වොෂින්ටනයේ පෙනී සිටින දිනයේ, සමාජවාදී සමානතා පක්ෂය, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සහ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (IWA-RFC) විසින් කැඳවන ලද රැලිය, මෙම ව්‍යාපාරය ගොඩනැගීමේ  තීරනාත්මක පියවරක් වනු ඇත. මෙම තීරණාත්මක අවස්ථාවට හැකි උපරිමයෙන් සහභාගී වන ලෙස අපි ඉල්ලා සිටිමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top