ඊජිප්තුවේ හමුදා කුමන්ත්‍රනයෙන් වසර 10 කට පසු

ජොහැන්නස් ස්ටර්න් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුලි 08 දින පල වූ ‘10 years since the military coup in Egypt’ යන ජොහැන්නස් ස්ටර්න් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොලදන්ඩ විසිනි.

මෙම සතිය ඊජිප්තුවේ හමුදා කුමන්ත්‍රනයේ දසවන සංවත්සරය සනිටුහන් කරයි. 2013 ජූලි 3 දා එවකට හමුදා ප්‍රධානියා වූ ජෙනරාල් අබ්දෙල් ෆාටා අල්-සිසි අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහාය ඇතිව බලය පැමින මුලු ලෝකයේම වඩාත්ම ම්ලේච්ඡ හා ලේවැකි පාලන තන්ත්‍රයක් ස්ථාපිත කලේය.

Al-Sisi
හිටපු ජනරාල් අබ්දෙල්-ෆටා අල්-සිසි 2013 අප්‍රේල් 24 බදාදා [AP ඡායාරූපය/ජිම් වොට්සන්]

සිසිගේ කුමන්ත්‍රනය ලේ වැගිරීමකින් කුලු ගැන්වුනි . 2013 අගෝස්තු 14 දින, ඔහුගේ නායකත්වය යටතේ හමුදා සහ පොලිස් ඒකක, ඊජිප්තුවේ කයිරෝ අගනුවර කුමන්ත්‍රන විරෝධීන්ගේ විරෝධතා කඳවුරු දෙකක් විනාශ කල අතර, බොහෝ කාන්තාවන් සහ ලමුන් ඇතුලු 1,000 කට වැඩි පිරිසක් ඝාතනය කලහ. හියුමන් රයිට්ස් වොච් එය හැඳින්වූයේ “සංහාරයක්” හා “ඊජිප්තුවේ නූතන ඉතිහාසයේ නීති විරෝධී සමූහ ඝාතනවලින්  නරකම සිදුවීමක්” ලෙසිනි.

එතැන් පටන් තවත් සිය ගනනක් විරෝධතාකරුවන් රෙජීමයේ හෙංචයියන් විසින් මරා දමා ඇත. දේශපාලන සිරකරුවන් දස දහස් ගනනින් රටේ වධකාගාරවල රදවනු ලැබ ඇත.  උද්ඝෝෂන හා වැඩ වර්ජන තහනම් කර ඇත. පාලන තන්ත්‍රය  හුදු විවේචනයට ලක්  කරන පක්ෂ සහ සංවිධාන පවා මෙන්ම, ස්වාධීන මාධ්‍යය වාරනයට හා තහනමට ලක් කර ඇත. සිසිගේ ඊජිප්තුවේ මරන දන්ඩනය භාවිතා කිරීම නිරන්තරයෙන් ඉහල යයි. 2020 දී, මරන දන්ඩනය – බොහෝ විට එල්ලා මැරීම – නිල එකතුව 107 දක්වා තුන් ගුනයකින් වැඩි විය.

සිසිගේ කුමන්ත්‍රනය හුදෙක් එවකට ජනාධිපති, ඉස්ලාම්වාදී මොහොමඩ් මුර්සිට සහ ඔහු සාමාජිකත්වය දැරූ මුස්ලිම් සහෝදරත්වයට එරෙහිව එල්ල වූවක් නොවීය. ඔහු ඉලක්ක කලේ ඊජිප්තු විප්ලවය තලා දැමීමයි. 2011 මුල් භාගයේදී, මිලියන සංඛ්‍යාත කම්කරුවන් හා තරුනයන්, ඊජිප්තු ධනවාදය සහ කලාපය මත අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යය , එහි පදනම දක්වා සොලවමින්, මහජන වැඩ වර්ජන හා විරෝධතා හරහා බටහිර පිටුබලය ලත් දිගුකාලීන ආඥාදායක හොස්නි මුබාරක් බිම හෙලනු ලැබීය.

attack
ඊජිප්තු හමුදාව 2011 අප්‍රේල් 12 වන දින කයිරෝවේ මධ්‍යම තහ්රීර් චතුරශ්‍රයට පහර දීම

සිසිගේ කුමන්ත‍්‍රනයත් සමග මිලිටරිය උත්සාහ කලේ, මුර්සි යටතේවත් නොනැවතුනු මහජන ව්‍යාපාරය සදහටම නැවත්වීමට ය. 2013 මුල් භාගයේදී කම්කරුවන් ඉස්ලාමීය ආන්ඩුවට එරෙහිව වැඩ වර්ජන සහ සමාජ විරෝධතා 4,500 කට වඩා සංවිධානය කලහ. 2013 ජූනි මස අවසානයේ මහජන විරෝධතා කැඳවූ විට, මුර්සිගේ ධනේශ්වර ගැති පිලිවෙත්වලට, ගාසා තීරයේ ඊශ්‍රායල් ප්‍රහාරයට සහ සිරියාවේ  පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ අධිරාජ්‍යවාදී යුද්ධයට දෙන ඔහුගේ සහයෝගයට එරෙහිව විරෝධතා දැක්වීමට රට පුරා මිලියන ගනනක් සහභාගී වූහ.

2011 දී මුබාරක් පෙරලා දැමීමේ දී මෙන්, විරෝධතා , කම්කරු පන්තියේ දැවැන්ත බලය පෙන්නුම් කලේ ය. ඒ අතරම, කුමන්ත‍්‍රනය යලිත් වරක් ඊජිප්තු විප්ලවයේ මූලික ගැටලූව තියුනු අවධානයට යොමු කලේය: එනම් , දේශපාලන ඉදිරිදර්ශනයක් සහ නායකත්වයක් නොමැති වීමයි. ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත බලය සඳහා අරගලය කිරීම සඳහා කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට විප්ලවවාදී පක්ෂයක් නොමැති තතු තුල, අවසානයේ දී ආධිපත්‍යය දැරීමට මිලිටරිය සමත් විය.

මහජන ව්‍යාපාරය අවමංගත කර අවසානයේ එය සිසිගේ කුරිරු පාලනය යටතට ලබා දීමේ කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කලේ ඊජිප්තු ව්‍යාජ වම විසිනි. බ්‍රිතාන්‍යයේ සමාජවාදී කම්කරු පක්ෂය (එස්ඩබ්ලිව්පී) සහ ජර්මනියේ වාම පක්ෂය සමග සමීප සම්බන්ධතා පවත්වන විප්ලවවාදී සමාජවාදීන් (ආර්එස්) වැනි බලවේග, කම්කරු පන්තියට ස්වාධීන භූමිකාවක් ඉටු කල නොහැකි බැවින් ධනේශ්වරයේ එක් හෝ තවත් අංශයකට එය යටත් විය යුතු බව ප්‍රකාශ කලහ. 

2011 පෙබරවාරි 11 දින මුබාරක්ගේ වැටීමෙන් පසු, RS විසින් මුබාරක්ගේ හිටපු ආරක්ෂක ඇමති මුහම්මද් ටන්ටාවිගේ නායකත්වය යටතේ බලය ලබා ගත් සන්නද්ධ හමුදාවන්ගේ උත්තරීතර කවුන්සිලය (SCAF) පිලිබඳ මිත්‍යාවන් පතුරුවා හැරියේය. බ්‍රිතාන්‍යයේ ගාඩියන් හි, ආර්එස් ක්‍රියාකාරිකයෙකු සහ බ්ලොග්කරුවෙකු වන හොසාම් එල්-හමාලවි “තරුන නිලධාරීන් සහ සොල්දාදුවන්” “අපගේ සහචරයින්” ලෙස සමරන අතර හමුදාව “අවසානයේ ‘සිවිල්’ ආන්ඩුවකට සංක්‍රමනයවීම  සිදු කරනු ඇති “බව ප්‍රකාශ කලේය.

මිලිටරිය එහි සැබෑ ස්වභාවය හෙලිකරමින්, වැඩ වර්ජන සහ විරෝධතා ප්‍රචන්ඩ ලෙස යටපත් කරද්දී, “දෙවන විප්ලවයක්” සඳහා වූ ඉල්ලීම් කම්කරුවන් හා තරුනයින් අතර මතු විය. ආර්එස් මෙය පැහැදිලිවම ප්‍රතික්ෂේප කල අතර ඒ වෙනුවට “විප්ලවයේ දක්ෂිනාංශය” ලෙස මුස්ලිම් සහෝදරත්වය ප්‍රවර්ධනය කලේය. ඔවුන් 2012 ජනාධිපතිවරනයේ දෙවන වටයේ දී මුර්සිට සහාය දුන් අතර, පසුව “විප්ලවයේ ජයග්‍රහනයක්” සහ “ප්‍රතිවිප්ලවය පසුපසට තල්ලු කිරීමේ විශිෂ්ට ජයග්‍රහනයක්” ලෙස ඉස්ලාම්වාදියාගේ ජයග්‍රහනය සැමරූහ.

හමුදා කුමන්ත‍්‍රනයේ දී ආර්එස් භූමිකාව ඉන් පසුව එහි ප‍්‍රතිවිප්ලවවාදී ස්වභාවය මුලුමනින්ම හෙලිදරව් කලේය. ආර්එස් එය “දෙවන විප්ලවයක්” ලෙස හැඳින්වූ අතර නැවතත් මිලිටරි නායකත්වය පිලිබඳ මිත්‍යාවන් අවුලුවාලීය . ජූලි 11දා ප්‍රකාශයක් නිකුත් කරමින්, එය “මිලියන ගනන් දුප්පත් ඊජිප්තුවරුන්ගේ ප්‍රයෝජනය සඳහා සමාජ සාධාරනත්වය සාක්ෂාත් කර ගැනීම සඳහා වහා පියවර ගන්නා ලෙස” කුමන්ත්‍රන පාලන තන්ත්‍රය මත පීඩනය යෙදිය යුතු බව ඉල්ලා සිටියේය.

කුමන්ත‍්‍රනය සඳහා ආර්එස් සහාය වචනවලට සීමා වූයේ නැත.  එය ඒ සඳහා ක්‍රියාකාරීව මාර්ගය සකස් කර තිබුනි. ව්‍යාජ වම්මු, “ලිබරල්වාදීන්” (මොහොමඩ් එල්-බරාදෙයි), ඊජිප්තු බිලියනපතියන් (නගුයිබ් සවිරිස්) සහ මුබාරක් තන්ත‍්‍රයේ හිටපු නියෝජිතයන් (අහමඩ් ෂෆීක්) ආදීන්ගෙන් සමන්විත  අච්චාරුවක් වූ තමරොද් සන්ධානයේ වඩාත් ක‍්‍රියාකාරී ආධාරකරුවන් අතර ආර්එස් ද විය.මහජන ප්‍රතිරෝධය මිලිටරියේ මෝල් සඳහා ධාන්‍ය බවට පත් කිරීම එහි මෙහෙවර විය

ජුලි 3දා සිසි රාජ්‍ය රූපවාහිනියෙන් බලය පවරා ගැනීම නිවේදනය කරන විට, තමරොද් නායක මහමුද් බද්ර් සහ මොහොමඩ් අබ්දෙල් අසීස් ඔහුගේ පසෙක විය. යන්තම් සති කිහිපයකට පෙර, 2013 මැයි 28 වන දින, ඔවුන් දෙදෙනා ගීසා හි ආර්එස් මූලස්ථානයේදී පිලිගෙන සමරනු ලැබීය. මීට පෙර, ආර්එස් , තමරොඩ් “විප්ලවය සම්පූර්න කිරීමේ මාර්ගයක්” ලෙස හඳුන්වමින් ප්‍රකාශයක් නිකුත් කල අතර “මෙම ව්‍යාපාරයට සම්පුර්නයෙන්ම සහභාගී වීමේ අභිප්‍රාය” ප්‍රකාශ කලේය.

වසර දහයකට පසුව, ආර්එස් එහි අතීත පිය සටහන් මකා දැමීමට හැකි වෙර දරමින් සිටී. “ඊජිප්තුව: ප්‍රතිවිප්ලවයේ දශකයක්” යන මාතෘකාවෙන් යුත් කුමන්ත්‍රනයේ සංවත්සරය පිලිබඳ ඔහුගේ ලිපියේ හමාලවි සඳහන් කරන්නේ, “මොර්සිගේ පාලනය සම්බන්ධයෙන් ඊජිප්තු කම්කරුවන්ගේ කලකිරීම අවසානයේ ප්‍රතිගාමී තත්වයකට යොමු කෙරුනේ විවිධ කඳවුරුවල කම්කරු ව්‍යාපාර නායකයින්ගේ බලපෑමට ස්තුති විමට” බවයි. හමාලවි මෙම “නායකයන්” සහ “කඳවුරු” අතර තමන් සහ ආර්එස් ද සිටි බව මග හැර යයි.

Cabinet minister
සිසිගේ කුමන්ත්‍රනකාරී කැබිනට් මන්ඩලයේ පසුව පලමු කම්කරු ඇමති වූ කමල් අබු ඊටා ගීසා හි විප්ලවවාදී සමාජවාදී මධ්‍යස්ථානයේදී කතා කරයි. [ඡායාරූපය Hossam el-Hamalawy / CC BY 2.0]

හමාලවි නම් කරන එක් පුද්ගලයෙක් වන්නේ   “ස්වාධීන” වෘත්තීය සමිති නායකයා සහ සිසිගේ කුමන්ත්‍රන කැබිනට් මන්ඩලයේ මිනිස්බලය පිලිබඳ පලමු ඇමති කමල් අබු එයිටා ය. අමාත්‍යවරයා ලෙස ඔහු “ (කම්කරුවන්ගේ වැඩවර්ජන ආදී) කාර්මික ක්‍රියා නිෂ්ක්‍රීය කිරීමේ කේන්ද්‍රීය කාර්යභාරයක්” ඉටු කර ඇත. ඔහුගේ පාලනය යටතේ “කාර්මික සංවිධායකයින්  නෙරපා හැරිම්,ගොදුරු කර ගැනිම්  හෝ අලුයම වැටලීම් මගින් අත්අඩංගුවට ගැනීම් වලට බදුන් කෙරින. ස්වාධීන වෘත්තීය සමිති වල  ගෙල සිරකර, වැඩ වර්ජන තහනම් කර ඇත.” නැවතත්, නසාර්වාදී  අබු ඊටා වසර ගනනාවක් ආර්එස් හි සමීපතම සගයෙකු බව සඳහන් කිරීමට හමාලවි අසමත් වේ.

හමාලවි, ආර්එස් සහ ඔවුන්ගේ ජාත්‍යන්තර සහචරයින් තම දේශපාලන පථය  ව්‍යසනයට තුඩු දී ඇති බව පිලිගැනීමට අකමැති වීම එක් නිගමනයකට පමනක් ඉඩ සලසයි: ව්‍යාජ-වම— ධනවත් මධ්‍යම පන්තික ස්ථරයන්ගේ අවශ්‍යතා ප්‍රකාශ කරන ධනේශ්වර ගැති ප්‍රවාහ — මොනතරම් ලේ වැකි ඕනෑම ප්‍රතිවිප්ලවයකට වඩා කම්කරු පන්තික ස්වාධීන විප්ලවවාදී ව්‍යාපාරයකට බිය වේ.

කම්කරුවන් හා තරුනයන් මෙම අත්දැකීමෙන් අවශ්‍ය දේශපාලන නිගමන උකහා ගත යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ සමාජ අයිතීන් සඳහා වන ඔවුන්ගේ අරගලය සාර්ථක කර ගැනීම සඳහා ඔවුන්ට ඔවුන්ගේම ස්වාධීන විප්ලවවාදී නායකත්වයක් සහ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් අවශ්‍ය වේ. ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවය පිලිබඳ ඉදිරිදර්ශනය මත පදනම් වූ ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, විප්ලවයේ සෑම අදියරකදීම මෙම දිශානතිය සඳහා සටන් කර ඇත.

2011 පෙබරවාරි 10 දින කම්කරු පන්තිය විසින් මුබාරක් පෙරලා දැමීමට පෙර දින, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් මෙසේ ලිවීය:

විප්ලවවාදී මාක්ස්වාදීන්ගේ වගකීම වන්නේ කම්කරුවන් දැවැන්ත දේශපාලන අත්දැකීම් හරහා ගමන් කරන විට, බලය සඳහා ස්වාධීන අරගලයක අවශ්‍යතාවය පිලිබඳ අවබෝධයක් ඔවුන් අතර වර්ධනය කිරීමයි. විප්ලවවාදී මාක්ස්වාදීන් කම්කරුවන්ට සිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අභිලාෂයන් ධනේශ්වර පක්ෂවල අනුග‍්‍රහය යටතේ සාක්ෂාත් කරගත හැකිය යන සියලු මිත්‍යාවන්ට එරෙහිව උපදෙස් දිය යුතුය. ඔවුන් ධනේශ්වර පන්තියේ දේශපාලන නියෝජිතයින්ගේ බොරු පොරොන්දු නිර්දය ලෙස හෙලිදරව් කල යුතුය. දේශපාලන අරගලය උත්සන්න වන විට කම්කරු පන්තියට බලය පැවරීමේ පදනම බවට පත් විය හැකි කම්කරුවන්ගේ බලයේ ස්වාධීන අවයව නිර්මානය කිරීම සදහා ඔවුන් දිරිමත් කල යුතුය. කම්කරුවන්ගේ අත්‍යවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් සාක්ෂාත් කර ගැනීම සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමෙන් වෙන් කල නොහැකි බව ඔවුන් පැහැදිලි කල යුතුය.

සියල්ලටත් වඩා, විප්ලවවාදී මාක්ස්වාදීන් තමන්ගේ රටේ දේශසීමාවෙන් ඔබ්බට ඊජිප්තු කම්කරුවන්ගේ දේශපාලන නිම්වලලු එසවිය යුතුය. ඊජිප්තුවේ දැන් දිගහැරෙමින් පවතින අරගල, ලෝක සමාජවාදී විප්ලවයේ නැගී එන ගෝලීය ක්‍රියාවලියකට අවියෝජනීය ලෙස සම්බන්ධ වී ඇති බවත් ඊජිප්තුවේ විප්ලවයේ ජයග්‍රහනය සඳහා ජාතික නොව ජාත්‍යන්තර මූලෝපායක් අවශ්‍ය බවත් ඔවුන් පැහැදිලි කල යුතුය.

පන්ති අරගලය ලොව පුරා උත්සන්න වෙමින් පවතින සහ කම්කරුවන් ඔවුන්ගේ ආන්ඩුවල යුද ගැති සහ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව කැරලි ගසමින් සිටින තතු යටතේ, මෙම මාක්ස්වාදී ප්‍රහාරය ශක්තිමත් කිරීම අවශ්‍ය වේ. ඊජිප්තුවේ විප්ලවය  අතිශය වෛෂයිකව කොන්දේසි යටතේ වර්ධනය විය. නොතිබුනේ ආත්මීය සාධකයයි: එනම්, ජනතාව තුල මුල් බැසගත් ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය සඳහා සටන් කරන විප්ලවවාදී පක්ෂයකි. ඊජිප්තුවේ විප්ලවයේ සහ ප්‍රතිවිප්ලවයේ තීරනාත්මක පාඩම නම්, කල් ඇතිව එවන් විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීමේ අවශ්‍යතාවයයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top