ඉතිහාසයේ මෙම සතිය: ජූනි 12-18

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුනි 11 දින ඉංග්‍රීසියෙන් පලවූ This Week in History යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි.  පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

මීට වසර 25 කට පෙර, වසර 50 කට පෙර, වසර 75 කට පෙර සහ වසර 100 කට පෙර මෙම සතිය තුළ සිදු වූ වැදගත් ඓතිහාසික සිදුවීම් මෙම තීරුවේ පල කෙරේ.

වසර 25 කට පෙර: නේටෝව බෝල්කන් වල යුද්ධය සඳහා සැලසුම් කරයි

map
සර්බියාව තුළ කොසෝවෝ හි පිහිටීම පෙන්නුම් කරන සිතියම

1998 ජූනි 16 දින,නේටෝව, ඇල්බේනියාවේ කඳු මතින් ප්‍රහාරක ජෙට් යානා 80ක් පමණ පියාසර කරමින් කොසෝවෝ හි සර්බියාවේ මිලිටරි මර්දනය අවසන් කිරීම ඉලක්ක කරගත්  පැය පහක බලය පෙන්වීමක් පැවැත්වීය.

මෙම අභ්‍යාස මගින් එක්සත් ජනපදය හා බටහිර යුරෝපීය බලවතුන් විසින් බෝල්කන් ප්‍රදේශය තුල තවත් මිලිටරි මැදිහත්වීමක් සූදානම් කිරීම සංඥා කලේය. වාර්තා වන පරිදි, නේටෝ නිලධාරීන් විසින් කොසෝවෝහි සර්බියානු හමුදා ක්‍රියාමාර්ග “නැවැත්වීම හෝ කඩාකප්පල් කිරීම” සදහා වන ගුවන් ප්‍රහාරවල සිට, පියාසර තහනම් කලාපයක් හෝ බර අවි තහනම් කලාපයක් බලාත්මක කිරීම දක්වා වූ මිලිටරි විකල්ප මාලාවක් සකස් කර ඇත.

සලකා බලන ලද තවත් පියවරක් වූයේ බටහිරින් ඇල්බේනියාව සහ දකුණින් මැසිඩෝනියාව සමඟ කොසෝවෝ දේශසීමා ඔස්සේ නේටෝ හමුදා යෙදවීමයි. එවැනි මෙහෙයුමක් සඳහා අවම වශයෙන් හමුදා භටයින් 20,000 ක් අවශ්‍ය වනු ඇතැයි ගණන් බලා තිබුණි. කොසෝවෝහි “සාම සාධක මෙහෙයුමක්” දියත් කිරීම සදහා  නේටෝව වෙත යෝජනා ද සිදුකෙරී තිබුණි.

නේටෝ අභ්‍යාසය සිදුවෙමින් තිබියදී, සර්බියානු ජනාධිපති ස්ලොබොඩාන් මිලොසෙවික් බොරිස් යෙල්ට්සින් රජය සමඟ සාකච්ඡා සඳහා මොස්කව් වෙත පැමිණියේය. මොස්කව්, කොසෝවෝ හි සටන් නතර කරන ලෙස ඉල්ලීමේදී බටහිර බලවතුන් සමග එක්ව සිටි නමුත් ඒ සමගම සර්බියාවට එරෙහි නේටෝ හමුදා බලයේ කිසියම්ම හෝ තර්ජනයක් හෙළා දුටුවේය. නේටෝවේ අවසාන  ප්‍රධාන මැදිහත්වීම- බොස්නියානු සර්බියානු හමුදාවන්ට එරෙහිව එල්ල කරන ලද දැවැන්ත බෝම්බ හෙලීමේ ව්‍යාපාරය-  ආසන්නයේද  නේටෝවෙන් ඈත් වෙමින් සහ බෙල්ග්‍රේඩ් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පවත්වමින් මොස්කව්  මේ සමානම  පාහේ භූමිකාවක් ඉටු කළේය.

වොෂින්ටනය ද එකල කියා සිටියේ තමන් මානුෂීය හේතූන් මත ක්‍රියා කරන බවයි. එහි ප්‍රතිඵලය වූයේ යුගෝස්ලාවියාව බිඳවැටීම ආරම්භයේ සිටම සිදු වූ විශාලතම ජනවාර්ගික ජනගහන නෙරපා හැරීමයි. එය අවසන් වූයේ වාර්ගික සර්බියානුවන් 250,000 ක්  ක්‍රොඒෂියාවේ ක්‍රාජිනා ප්‍රදේශයෙන් පිටමං කිරීමෙනි. බොස්නියාවේ එ.ජ. සහ නේටෝ මැදිහත්වීමේ අවසාන ප්‍රතිඵලය වූයේ මුස්ලිම්, ක්‍රොඒට් සහ සර්බියානු පාලනයට නතු වූ ප්‍රදේශ කැබලි බවට වාර්ගික රේඛා ඔස්සේ රට බෙදීම ශක්තිමත් කිරීමයි. සරණාගතයින් ඔවුන්ගේ නිවෙස් වෙත ආපසු යාම, මූලෝපායික වශයෙන් තීරණාත්මක බ්‍රකෝ  (Brcko) නගරයේ තත්ත්වය යනාදී ප්‍රධාන ගැටළු කිසිවක් විසඳා නොතිබුණි.

යුගෝස්ලාවියානු අර්බුදයේ ආරම්භයේ සිටම, වොෂින්ටනය සහ බටහිර යුරෝපීය බලවතුන් කියා සිටියේ, ඔවුන්ගේ ක්‍රියාවන් යුගෝස්ලාවියාවේ පැරණි ජනරජයන් සඳහා ස්වයං නිර්ණ මූලධර්ම සහ ඔවුන්ගේ දේශසීමා වල පරිශුද්ධභාවය මගින් මෙහෙයවනු ලැබූ බවයි. යථාර්ථයේ දී, මෙම මූලධර්ම හුදෙක් ආර්ථික හා දේශපාලන ආත්මාර්ථකාමීත්වය හඹා යාම වසන් කළේය. ඔවුන් මෙම ප්‍රතිපත්තිය අනුගමනය කළේ යුගෝස්ලාවියානු රාජ්‍යය දුර්වල කිරීමට සහ බෝල්කන් ප්‍රදේශයේ තමන්ගේම ආධිපත්‍යය තහවුරු කර ගැනීමටය.

වසර 50 කට පෙර: සෝවියට් ස්ටැලින්වාදී නායක බ්‍රෙෂ්නෙව් එක්සත් ජනපදයට පැමිණේ

Brezhnev
නික්සන්, ( වමේ) සහ බ්‍රෙෂ්නෙව්

1973 ජූනි 16 වන දින, සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ලියොනිඩ් බ්‍රෙෂ්නෙව්, ජනාධිපති රිචඩ් නික්සන් හමුවීම සඳහා එක්සත් ජනපදයට පැමිණියේය. වොෂින්ටන් සමුලුව-එය හඳුන්වන පරිදි-1972 මැයි මාසයේදී  නික්සන් සෝවියට් සංගමයට ගිය පළමු ජනාධිපතිවරයා බවට පත්වූ  මොස්කව්හි පැවති එවැනිම රැස්වීමකින් පසුව සිදුවිය. එක්සත් ජනපදය හා සෝවියට් සංගමය අතර ප්‍රසිද්ධ  එදිරිවාදිකම් තාවකාලිකව දියවී ගිය සීතල යුද්ධයේ “ඩෙටාන්ට්” (එදිරිවාදිකම් සමහන් කර ගැනීමේ-détente) කාල පරිච්ඡේදයේ උච්චතම අවස්ථාව මෙම රැස්වීම් සනිටුහන් කළේය.

ධවල මන්දිරයේ පැවති නිල රැස්වීමේදී බ්‍රෙෂ්නෙව් පිළිගැනීම සඳහා උත්කර්ෂවත් මිලිටරි  සංදර්ශනයක් පැවැත්විණි. ඉන්පසු ඔහු සහ නික්සන් පැය හතරකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවක් සඳහා පෞද්ගලිකව මුණගැසුණි. එදින සවස පැවති රාජ්‍ය භෝජන සංග්‍රහයේදී නික්සන් අමුත්තන්ට මෙසේ පැවසීය.

මෙම සතියේ සිදු කරන ලද සාකච්ඡා සහ එකඟතාවයන් හේතුවෙන් අපගේ සබඳතාවල සැලකිය යුතු දියුණුවක් සඳහා අපි අඩිතාලම දමා ඇත. ලෝකයේ ප්‍රබලම ජාතීන් දෙක සාමය සහ මිත්‍රත්වය සඳහා එක්ව ක්‍රියා කරනු ඇතැයි යන සෑම තැනකම සිටින මිනිසුන්ගේ බලාපොරොත්තු සදහා  අපි සුදුස්සන්  වෙමු.

බ්‍රෙෂ්නෙව් ඒ හා සමානව අදහස් දැක්වූ යේ:

අපගේ සාකච්ඡා ආරම්භය – ඒවායේ අන්තර්ගතය සහ ඒවා ක්‍රියාත්මක වන  සන්දර්භය යන දෙකම මගේ මතකයට නැගේ – ඒවායේ ප්‍රතිඵල ඵලදායී වනු ඇති බවටත්, සෝවියට්-ඇමරිකානු සබඳතාවන්හි නව මග සලකුණක් බවට පත් වනු ඇති බවටත් බලාපොරොත්තු වීමට හේතු සපයයි.

සමුලු රැස්වීමෙන් පිටත සංචාරයේ වැඩි කොටසක් නික්සන් විසින් බ්‍රෙෂ්නෙව් සමග වයින් පානය සහ  භෝජන සංග්‍රහ සඳහා කැප කරන ලදී. ප්‍රනීත භෝජන සහ  කෙළි-යාත්‍රා  සවාරි (yacht cruises) වලට අමතරව, එක්සත් ජනපද ජනාධිපතිවරයා, ප්‍රමුඛ ස්ටැලින්වාදී නිලධාරියාට ඔහුටම සැකසූ සුඛෝපභෝගී ලින්කන් කොන්ටිනෙන්ටල් [මෝටර් රථයක්]  තෑගි  දුන් අතර, එවිටමත් බ්‍රෙෂ්නෙව් සතු    ඉහළ මට්ටමේ මෝටර් රථ ලැයිස්තුවට එයද එකතු විය.

සතියක් පුරා පැවති සමුළුවේදී නික්සන් සහ බ්‍රෙෂ්නෙව් විසින් අත්සන් කරන ලද ගිවිසුම් ගණනාවක් විය. මෙම සාකච්ඡාවලට , ආයුධ සීමා කිරීම, වෙළඳ ගනුදෙනු සහ මැද පෙරදිගද ඇතුළත් විය. ප්‍රවාහනය සහ සාගර විද්‍යාව වැනි සාමාන්‍ය ගැටළු පිළිබඳ බොහෝ කොන්දේසි කල්තියා ලිහා සකස් කර තිබුණි. න්‍යෂ්ටික අවි භාවිතය වැලැක්වීම දෙරටේම නිල ප්‍රතිපත්තිය බවට පත් කරන බවට ප්‍රකාශ කළ න්‍යෂ්ටික යුද වැලැක්වීමේ ගිවිසුම අත්සන් කිරීම වඩාත් වැදගත් විය. කෙසේ වෙතත්, ඔවුන්ගේ න්‍යෂ්ටික හැකියාවන් සැබෑ ලෙස  ගලවා බිඳ දැමීමක් ගිවිසුම මගින් සිදු නොවුණි. 

එදිරිවාදිකම් සමහන් කර ගැනීම දෙසට වූ මෙම තල්ලුව,  දේශපාලන භූ දර්ශනයේ නාටකාකාර වෙනස්කම් මාලාවක් නිසා වීය. බ්‍රෙටන්-වුඩ්ස් ක්‍රමයේ අවසානයත් සමඟ ඇති වූ ගෝලීය මූල්‍ය අර්බුදය, සෝවියට්-සීනෝ භේදයේදී චීනය සහ සෝවියට් සංගමය අතර සබඳතා බිඳ වැටීම සහ වියට්නාම් යුද්ධයේදී එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ  පරාජය මේවා අතර විය. මෙම සිදුවීම්, දෙරටේම දේශපාලන අර්බුදය වේගවත් කරමින්, බ්‍රෙෂ්නෙව් සහ නික්සන් එක ලඟට තල්ලු කළ අතර, ඒ දෙදෙනාම ගනුදෙනුවක් ඇතිකර ගැනීම දේශපාලන අස්ථාවරත්වය සමනය කරනු ඇතැයි අපේක්ෂා කළහ.

සෑම විටම මෙන් මොස්කව්හි නියෝගවලට අනුකූලව, ඇමරිකානු කොමියුනිස්ට් පක්ෂයේ ස්ටැලින්වාදීන් නික්සන් සමඟ බ්‍රෙෂ්නෙව්ගේ නව මිත්‍රත්වය සමරමින් සංචාරයට ඔවුන්ගේ පූර්ණ අනුමැතිය ලබා දුන්හ. ඔවුහු මෙම හමුවීම  “සාමකාමී සහජීවනය” සඳහා ඉදිරි පියවරක් ලෙස ප්‍රශංසා කළහ. එසේම, ඔවුන් වෝටර්ගේට් පරීක්‍ෂණයට එරෙහිව නික්සන්ව ආරක්ෂා කළ අතර, නික්සන්ට තනතුරෙන් ඉවත් වීම සදහා බල කිරීමට මතුවිය හැකි කම්කරුවන්ගේ ඕනෑම ව්‍යාපාරයක් මැඩපැවැත්වීමට , වෘත්තීය සමිති නිලධරයට සහාය විය.

වසර 75 කට පෙර: මැලේසියාවේ යටත් විජිත විරෝධී අරගලයට බ්‍රිතාන්‍යය ම්ලේච්ඡ ප්‍රහාරයක් දියත් කරයි

 insurgent
1952 දී ,තුවාල ලැබූ කැරලිකරුවෙකු ,ඔහුව අල්ලා ගත් බ්‍රිතාන්‍ය භටයන් විසින් ප්‍රශ්න කරන ආකාරය

1948 ජූනි 17 වන දින බ්‍රිතාන්‍ය යටත් විජිත බලධාරීන් මැලේසියානු කම්කරුවන්ට සහ රටේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයට අනුබද්ධ වාම ක්‍රියාකාරීන්ට එරෙහිව කුරිරු මර්දනයක් දියත් කළහ. මෙම ප්‍රහාරය , මැලේසියාවේ විධිමත් නිදහසෙන් පසුවත් පැවති වසර 12ක ගරිල්ලා යුද්ධයක් අවුලුවාලූ   අතර එය 1969 සිට 1989 දක්වා යළිත් ඇවිලී ගියේය.  වෙනත් වචනවලින් කිවහොත්, මෙම සටන සියවස  තුනෙන් එකක් පමණ වූ කාලයකට විහිදී ගියේය.

1700 ගණන්වල අග භාගයේ සිට වසර සිය ගණනක් පුරා බ්‍රිතාන්‍යය මැලේසියානු කලාපයේ විවිධ ප්‍රාන්ත යටත් විජිතයන් බවට පත් කර ගත්හ. 1946 දී, ඔවුන් ඒවා මැලේසියා සංගමයට එක් කළේ , ඒ වන විටත් පැවති , දැඩි යටත් විජිත පාලනය යටතේය . මෙය දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව, චීනය, ඉන්දියාව, වියට්නාමය සහ ඉන්දු පැසිෆික් කලාපයේ වෙනත් තැන්වල දැවැන්ත අරගල හරහා යටත්විජිතවාදයට ලෝකය පුරා අභියෝග කරමින් සිටි කාල පරිච්ඡේදයකි.

ජපානයේ  යුද කාලීන ජයග්‍රහණ සහ වාඩිලෑම මගින් පැරණි යටත් විජිත බලයේ අධිකාරයට බරපතල පහරක් එල්ල කළ මැලේසියාවේ, පශ්චාත්-යුද නැගීමක් ද ඇති විය. සැලකිය යුතු විරැකියාවෙන් හා උග්‍ර දරිද්‍රතාවයෙන් සලකුණු කෙරුනු  යුද්ධයේ ආර්ථික ප්‍රතිඵල, දේශීය වැඩවසම් ආකාර  ප්‍රභූව අතර බ්‍රිතාන්‍ය පාලනයට සහ ඔවුන්ගේ රූකඩවලට එරෙහි සතුරුකම සමඟ ඒකාබද්ධ විය. 1946 මුල් භාගයේදී, පළමු පූර්ණ-දින මහා වැඩවර්ජනය පවත්වන ලද අතර, ඊළඟ වසරේදී, ඒවායින් සමහරක් විශාල වූ වැඩ  නැවතුම් 300 කට වඩා වැඩි ප්‍රමාණයක් සිදු විය, .

පැසවීමේ මෙම සන්දර්භය තුළ, මැලේසියානු කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛකත්වයට  පැමිණීමත් සමඟ, බ්‍රිතාන්‍යයන් මර්දනයක් සඳහා කඩතුරාවක් සපයා ගැනීමට නොඉවසිලි සහගත විය. එය 1948 ජූනි මාසයේ දී වතු හිමියන් කිහිප දෙනෙකු ඝාතනය කිරීමත් සමඟ මේ සතියේ දී  පැමිණියේය. ජූනි 17 වැනි දින බ්‍රිතාන්‍යය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින් ඊට ප්‍රතිචාර දැක්වීය.

මෙම ඝාතන සම්බන්ධයෙන්, ඒවායේ අපරාධකරුවන් හෝ යටින් දිවෙන හේතූන් පිළිබඳව හෝ විමර්ශනයක් සිදු කර නොතිබුණි. ඒ වෙනුවට සියලු මූලික සිවිල් අයිතිවාසිකම් අත්හිටුවන ලදී. අසාමාන්‍ය බලතල යටතේ කොමියුනිස්ට් සහ වෘත්තීය සමිති සංවිධායකයින්, දේශපාලන සම්බන්ධකම් ගැන වැරදි ලෙස සැක කළ අය සමඟ වටකර සිරගත කරන ලදී. ඇඳිරි නීතිය සහ අනෙකුත් මර්දන ක්‍රියාමාර්ග ද පනවන ලදී.

කොමියුනිස්ට් පක්ෂය, රාජ්‍යය සමඟ ගැටුමකට සූදානම් වෙමින් සිටි බව පෙනේ. එහි නායකයින් කිහිප දෙනෙකුට, පක්ෂය ගොවි ස්ථර අතර අනුගාමිකයන්  වර්ධනය කිරීමට පටන් ගෙන තිබුණු ගම්බද ප්‍රදේශවලට පැන යාමට හැකි විය. එහිදී ඔවුන් නැවත කණ්ඩායම් ගත වී දශක ගණනාවක් පුරා පැවති ගරිල්ලා අරගලයක් ආරම්භ කරනු ලැබුනි. බ්‍රිතාන්‍යයන්  විසින්, පසුව  එක්සත් ජනපදය එම රටට එරෙහිිව කල යුද්ධයේදී වියට්නාම් මහජනතාවට එරෙහිව   භාවිතා කළ ක්‍රමවලට සමාන “ප්‍රති-කැරලි” (counter-insurgency) ක්‍රම භාවිතා කරනු ලැබීය.,

කොමියුනිස්ට් පක්ෂයට, එහි සාමාජිකයන් සුවිශේෂී ධෛර්යය ප්‍රදර්ශනය කළද, ඉදිරි ගමනක් ඉදිරි පත් කිරීමට නොහැකි විය. සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී නිලධරය දෙවන ලෝක සංග්‍රාමයේ දී එහි අවසානය වන විට ලෝකය බෙදාගැනීම සඳහා ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් සමඟ ගිවිසුමකට එළැඹ තිබුණි. එහෙයින්, ආසියාවේ සහ අනෙකුත් සෑම තැනකම විප්ලවවාදී අරගලයට නිලධරය සතුරු විය. ඒ අතරම, රටේ කාර්මික කම්කරු පන්තිය මත නොව, සුලු ධනේශ්වර හිමිකරුවන් විසින් ආධිපත්‍යය දැරූ මිශ්‍ර සමාජ ස්ථර, ගොවීන් ,  මත පදනම් වූ අරගලයක් සඳහා මැලේසියානු කොමියුනිස්ට් පක්ෂයේ දිශානතිය තුල මාඕවාදයේ ප්‍රතිගාමී බලපෑම් පැහැදිලි විය.

වසර 100 කට පෙර: රතු හමුදාව සයිබීරියාවේ ධවල ආරක්ෂකයින්ගේ (White Guard) අවසන් ශේෂයන් පරාජය කරයි

Pepelyayev
රුසියානු ධවල හමුදාවේ ජෙනරාල් ඇනටෝලි පෙපෙලියෙව්

1923 ජුනි 16 වන දින, ස්ටෙපාන් වොස්ට්‍රෙට්සොව්ගේ අණ යටතේ රතු හමුදා ඒකකයක්, සයිබීරියාවේ මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද යකුට් ස්වයං පාලන සෝවියට් සමාජවාදී ජනරජයේ අයන්හි ඇනටෝලි පෙපෙලියෙව්ගේ අණ යටතේ වූ ධවල ආරක්ෂක හමුදා පරාජය කරන ලදී. පෙපෙල්යෙව්  යනු සයිබීරියාවේ අද්මිරාල් ඇලෙක්සැන්ඩර් කොල්චක්ගේ ප්‍රතිවිප්ලවවාදී හමුදාවන්ට නායකත්වය දුන් හිටපු සාර්වාදී නිලධාරියෙකි.

රතු හමුදාව 1920 වන විට පෙපෙලියෙව් සමඟ දඹර කර ගත් කොල්චක් පරාජය කර ඔහුටට මරණ දණ්ඩනය හිමි කර දී තිබුණි. නමුත් පෙපෙලියෙව්  සයිබීරියාවේ දිගටම ක්‍රියාකාරී වූ අතර ව්ලැඩිවොස්ටොක්හි බොල්ෂෙවික් විරෝධී රජයක් සමඟ සම්බන්ධ වීමට උත්සාහ කළේය. අනෙකුත් සුදු හමුදා ද ඔකොට්ස්ක් මුහුද අසල සයිබීරියාවේ තමන්ගේම පාලන ප්‍රදේශ පිහිටුවා ගත්හ.

සුදු රුසියානු සංක්‍රමණයේ මධ්‍යස්ථානයක් වූ උතුරු චීන නගරයක් වන හාර්බින් හි ටයිෆස් රෝගයෙන් සුවය ලබමින් සිටි පෙපෙලියෙව්, 1922 අගෝස්තු මාසයේදී සිය ගණනක් ස්වේච්ඡා භටයින් ද සමඟ හිටපු සාර්වාදී බලඇණියේ නෞකාවක ඔකොට්ස්ක් මුහුද දිගේ ඔකොට්ස්ක් වෙත යාත්‍රා කළේය. එහිදී, ඔහු කිලෝමීටර් 1,000  ( සැතපුම් 620 ) රට අභ්‍යන්තරයේ වූ එවක බොල්ෂෙවික් පාලනය යටතේ වු, යකූට්ස්ක් (Yakutsk) නගරයට යාමට පිටත් විය. ඔහුට රතු හමුදාවේ ප්‍රතිරෝධය ජය ගැනීමට නොහැකි වූ අතර, ඔක්තෝම්බර් මාසයේදී ව්ලැඩිවොස්ටොක් බොල්ෂෙවික්වරුන් අතට පත් වූ හෙයින්, වොස්ට්‍රෙට්සොව් විසින් වටලනු ලැබූ  අයාන් වෙත ඔකොට්ස්ක් මුහුද දිගේ පසුබැසීමට පෙපෙලියෙව්ට සිදුවිය.

පෙපෙලියෙව් නිලධාරීන් 102 ක් සහ සොල්දාදුවන් 230 ක් සමඟ අල්ලාගෙන ව්ලැඩිවොස්ටොක් වෙත ප්‍රවාහනය කරන ලද අතර එහිදී ඔහුට නඩු පවරා මරණ දඬුවම නියම කරන ලදී. බොහෝවිට,1918 දී පර්ම් අල්ලා ගැනීමෙන් පසු ඔහු රතු හමුදා සොල්දාදුවන් 20,000 ක් නිදහස් කර ඇති නිසා ඔහුගේ මරණ දඩුවම  ලිහිල් කිරීමට යෙදුනි. 1936 දී නිදහස් කරනු ලැබූවද, ස්ටැලින්ගේ විරේක කිරීම් අතරතුර 1938 දී නැවත අත්අඩංගුවට ගෙන ඝාතනය කෙරුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top