ට්‍රම්ප්ගේ තීරු බදු ආපසු හැරවීම සහ ධනේශ්වර රාජ්‍යයේ පන්ති ස්වභාවය

පැට්‍රික් මාටින් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2025 අප්‍රේල් 11 දින “ Trump’s tariff pull-back and the class character of the capitalist state” යන හිසින් පල වූ පැට්‍රික් මාරින් විසින් ලියන ලද  ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Tariff
2025 අප්‍රේල් 7 වන සඳුදා නිව් යෝර්ක් හි නිව් යෝර්ක් කොටස් වෙළඳපොලේ වෙළෙන්දුන් වැඩ කරද්දි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රූපවාහිනියේ දිස් වෙයි. [AP Photo/Seth Wenig]

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති වන නමුත් ඔහු පාලනය කරන්නේ ධනේශ්වර කතිපයාධිකාරයක් වෙනුවෙන් ය. එය පසුගිය පැය 48 තුළ සිදු වූ සිදුවීම්වලින් උකහා ගත යුතු මූලික දේශපාලන නිගමනයකි.

සිදුවීම්වල මූලික දළ සටහන පැහැදිලිය. ට්‍රම්ප්, ලෝකයේ සෑම රටකටම පාහේ දැඩි තීරුබදු පැනවීමේ ඔහුගේ සැලැස්ම ආරම්භ කළේය, පසුබැසීමක් සිදු නොවන බව ප්‍රකාශ කළේය, කඩා වැටෙන වෙලඳපොලවල් සමච්චලයට ලක් කළේය, දැන් “ආයෝඡනය කිරීමට හොඳ කාලයක්” බව කියා සිටියේය. 

ඒත් ඉන් පැය කිහිපයක් ගත වූ පමනකින්ම ට්‍රම්ප්, මූල්‍ය ව්‍යසනයක් ආසන්න බව වෝල් වීදියේ සම්මුතිය වන්නේ යැයි ඔහු හට සන්නිවේදනය කළ භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සහ වාණිජ ලේකම් හොවාර්ඞ් ලූට්නික් යන බිලියනපති උපදේශකයන් දෙදෙනකු සමග සාකච්ඡා කිරීමට පොදි ගැසී ගත්තේය. ඔවුන් කාරණාව බල කර කියා  විට, ට්‍රම්ප් ඔහුගේ ටෲත් (Truth) සමාජ මාධ්‍ය වේදිකාවේ ප්‍රකාශයක් නිකුත් කරමින්, චීනය සමඟ හැර, ඔහුගේ තීරුබදු යුද්ධය සදහා  දින 90 ක “විරාමයක්” නිවේදනය කළේය.

ට්‍රම්ප් පරිපාලනය, චීනයට එරෙහිව වඩාත් සෘජු ආක්‍රමනකාරීත්වයට පූර්වගාමීව සිදු කරන ආර්ථික යුද්ධය උග්‍ර කරමින් සිටියදී, මෙම ව්‍යතිරේකය (එනම් චීනයට පමණක් එරෙහිව තීරු බදු පැනවීම), තීරනාත්මක වැදගත්කමක් ගනී. කෙසේ වෙතත් අනෙකුත් බොහෝ තීරුබදු තාවකාලිකව ප්‍රමාද කිරීම ට්‍රම්ප්ගේ පැත්තෙන් පැහැදිලි ආපසු හැරීමක් විය.

බ්‍රහස්පතින්දා ෆිනෑන්ෂල් ටයිම්ස් එහි කතුවැකියේ සිරස්තලය ලෙස යෙදූ පරිදි , “ඩොනල්ඩ් ට්‍රම්ප් වෙලඳපොලවල බලයට නැමෙයි”.

ආපසු හැරවීමට පෙර, කොටස් වෙලඳපොලේ දින දෙකක විකුණුම් තුළින් ඩොලර් ට්‍රිලියන 6කට වඩා විනාශ වූ අතර, Apple සමාගමට පමණක් ඩොලර් බිලියන 600 ක වෙළඳපල වටිනාකමක් (market value) අහිමි විය. ඔවුන්ගේ නිෂ්පාදනවලින් වැඩි ප්‍රමාණයක් දකුණු හා නැගෙනහිර ආසියාවේ නිෂ්පාදනය කරන අනෙකුත් තාක්ෂණික සමාගම් ද ඒ හා සමාන පාඩු අත්වින්දාහ. පුලුල් වශයෙන් සංගත ඇමරිකාව තීරුබදු යෙදවීම හෙලාදැක තිබුනද, ට්‍රම්ප් සහ ඔහුගේ ඉහල සහායකයින් ප්‍රකාශ කලේ අර්බුදය පහව යනු ඇති බවත් තීරුබදු පිලිවෙතේ අවසාන ප්‍රතිඵලය ඇමරිකානු ධනවාදය සඳහා ට්‍රම්ප් විසින් ප්‍රකාශ කරන ලද “නව ස්වර්ණමය යුගය” වන බවත්ය.

කොටස් මිල පහත වැටීමටත් වඩා සැලකිය යුතු කරුණක් වූයේ  තීරුබදු ඇත්ත වශයෙන්ම බදාදා උදෑසන බලාත්මක වීමට නියමිතව තබියදී, සඳුදා සහ අඟහරුවාදා බැඳුම්කර වෙලඳපොල තුළට මූල්‍ය භීතිය පැතිරීමයි. ලොව විශාලතම වන  ඩොලර් ට්‍රිලියන 28ක් වූ සහ ලොව පුරා මූල්‍ය ගනුදෙනු සඳහා මිණුම් සලකුණ වූ එක්සත් ජනපද භාණ්ඩාගාර බිල්පත් වෙලඳපොලට ඇති කල බලපෑම විශේෂයෙන් තීරනාත්මක විය.

ට්‍රම්ප් අඟහරුවාදා බැඳුම්කර වෙලඳපොල වැටීම බලා සිටිමින් , “ඊයේ රාත්‍රියේ මිනිසුන් ටිකක් කලබල වන ආකාරය මම දුටුවෙමි”යි පැවසීය. බදාදා උදෑසන JP Morgan Chase හි ප්‍රධාන විධායක නිලධාරී Jamie Dimon විසින් Fox Business හි Maria Bartiromo හට ලබා දුන් සම්මුඛ සාකච්ඡාව නැරඹූ බව ඔහු පිළිගත්තේය. සම්මුඛ සාකච්ඡාව තුළදී තීරු බදු ඉහළ දැමීම නිසා අවධමනයක් සිදුවීමේ හැකියාව වැඩි බව පවසමින්, “මම සන්සුන්ව බලා සිටිමි, නමුත් එය වඩාත් නරක අතට හැරෙනු හැක” ඩිමොන් අනතුරු ඇඟවීය.

වඩාත් රළු අදහස් දැක්වීම් ද තිබුණි. Fundstrat Global Advisors හි කළමනාකාර හවුල්කරුවෙකු සහ පර්යේෂණ ප්‍රධානියෙකු වන Thomas Lee, ධවල මන්දිරය තාර්කිකව ක්‍රියා නොකිරීම ගැන බොහෝ අරමුදල් කළමණාකරුවන් කනස්සල්ලට පත්ව සිටින බවට – Quartz හි උපුටා දක්වන ලද- සංදේශයක් (memo) බදාදා යවන ලදී. “මෙය දෘෂ්ටිවාදයක් වත් නොවිය හැකි යැයි සමහරු බිය වෙති,” ලී ලිවීය. “ජනාධිපතිතුමාට පිස්සුද කියලා කිහිප දෙනෙක් නිහඬව කල්පනා කළා.”

බැංකු භීතිකාවක් හෝ වෛරස් වසංගතයක් නිසා නොව, හුදෙක් ඒ හෝ මේ ආයෝජනයේ වටිනාකම පමණක් නොව, එක්සත් ජනපද ආන්ඩුවේ ස්ථාවරත්වය සහ ගෝලීය ධනවාදයේ පදනම ලෙස එක්සත් ජනපද ඩොලරයේ භූමිකාව ප්‍රශ්නයට බඳුන් කරන, එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිමය තීරණයක් මගින් ඇති වූ අර්බුදයකට මුහුණ දීමට, මහ බැංකුවට මේ සතියේ පියවර ගැනීමට සිදුවනු ඇතැයි සැලකිය යුතු කනස්සල්ලක් පැවතුනි.

 වොෂින්ටන් පෝස්ට් හි කතුවැකියකින්  අනතුරු ඇඟවූයේ මෙසේය:

සාමාන්යයෙන් භීතිමත් නොසන්සුන් අවස්ථා වලදී, මෙම බැඳුම්කර ආයෝජකයින්  ආකර්ෂණය කර ගනී. මෙවර එසේ කිරීමට ඒවා අසමත් වීමෙන්, එක්සත් ජනපද ආන්ඩුව සිය නය ආපසු ගෙවනු ඇතැයි යන විශ්වාසයේ  පිරිහීම පිලිබිඹු විය.

බිලියනපති Amazon නිර්මාතෘ Jeff Bezos ට අයත් මෙම  පුවත්පත, ( හිටපු බ්‍රිතාන්‍ය) අගමැති Liz Truss විසින් බදු කප්පාදු සහ අධික ණය ගැනීම් ඒකාබද්ධ  වැඩසටහනක් බල කිරීම හරහා 2022 බ්‍රිතාන්‍ය ආන්ඩුව බිඳවැටීමේ “අවවාදාත්මක කතාව” උපුටා දැක්වූයේ ය. මෙය විශ්‍රාම වැටුප් අරමුදල් බිඳවැටීමේ තර්ජනයට ලක් වූ මූල්‍ය භීතියක් ඇවිල වූ අතර වැඩ පිලිවෙල ඉල්ලා අස්කර ගැනීමට ඇයට බල කෙරුනි. ඉන් සති කිහිපයකිනන් ඇය නිලයෙන් සහමුලින්ම පහ වීම සිදුවුණි.

පසුගිය සතියේ සිදුවීම් ධනේශ්වර රාජ්‍යයේ පන්ති පදනම් පිලිබඳ දැඩි හෙලිදරව්වක් සපයයි. “අනභිභවනීය” ට්‍රම්ප් බැඳුම්කර වෙලඳපොලේ සහ ජේමි ඩිමොන්ගේ බල කිරීම් හමුවේ කඩා බිඳ වැටුනි. වෝල් වීදියට ගමන් පථ නිවැරදි කිරීමක් අවශ්‍ය ව සිටි අතර එයට එය ලැබුණි. ට්‍රිලියන ගනන් වෙලඳපොල පාඩු සහ භාණ්ඩාගාර වෙලඳපොලේ ඇති වූ දෙදරීම් තාවකාලික වුව හදිසි පසුබැස්මක් බල කිරීමට ප්‍රමාණවත් විය.

ඩිමොක්‍රටික් පක්ෂය ට්‍රම්ප්ව හුවා දක්වා ඇත්තේ නවතාලිය නොහැකි දේශපාලන දැවැන්තයෙකු ලෙසය. එය, ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් බිඳ දැමීම, ඔහුගේ වෙලඳ යුද ප්‍රතිපත්ති, ඔහුගේ ෆැසිස්ට්වාදී ප්‍රකාශයන් හමුවේ තමන් අසරණ බැව් අයැද සිටියි. ඇයි? ඔවුන් එකම පන්ති අවශ්‍යතා බෙදා හදා ගන්නා බැවිනි. රිපබ්ලිකානුවන්ට වඩා නොඅඩුව ඩිමොක්‍රටිකයෝ මූල්‍ය කතිපයාධිකාරයට සේවය කරන අතර එහි ධනය සහ ගෝලීය තත්වය ආරක්ෂා කරන ප්‍රතිපත්තිවලට කිසිදු අව්‍යාජ විරුද්ධත්වයක් නොපානු ඇත.

වෝල් වීදියේ බලපෑම සහ අප්‍රේල් 5දා රට පුරා පැතිර ගිය මහජන පෙලපාලි කෙරෙහි දක්වන ලද මුලුමනින්ම නොතකා හැරීම අතර වෙනස මගින් මෙම යථාර්ථය වඩාත් පැහැදිලි විය. ට්‍රම්ප්ගේ ඒකාධිපතිවාදයට, ඔහුගේ යුද ධාවනයට, සංක්‍රමණිකයන්ට, කම්කරුවන්ට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටම එරෙහි ඔහුගේ ප්‍රහාරවලට එරෙහිව මිලියන ගණනක් පාරට බැස්සාහ. වෙලඳපොලවල චලනයන් නිමක් නැති විවරණ වල විෂය වූ අතර, මහජන විරෝධතා, මාධ්‍ය විසින් සුළු ප්‍රාදේශීය ප්‍රශ්නයක් ලෙස පවා සලකනු ලැබූ අතර, ඒවා කිසි විටෙකත් සිදු නොවූවාක් මෙන් ඉක්මනින් අතුරුදහන් විය.

ට්‍රම්ප් පරිපාලනය එක් මිනිසෙකුගේ පුද්ගලික නිර්මාණයක් නොව, ධනේශ්වර කතිපයාධිකාරයක දේශපාලන මෙවලමකි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විනාශ කිරීම හුදෙක් ට්‍රම්ප්ගේ ඒකාධිපති ආවේගයන්ගේ ප්‍රතිඵලයක් නොව, ක්ෂූද්‍ර ප්‍රභූ පැලැන්තියක් විසින් පන්ති පාලනයේ සමාජ යථාර්ථය පිලිබිඹු කිරීම සදහා රාජ්‍යය සවිඥානිකව පිලිසැකසුම් කිරීමකි.

පාලක පන්තිය තුල දරුණු ගැටුම් පවතී – නමුත් ඒවා එහි ආධිපත්‍යය ආරක්ෂා කර ගැනීම සහ නැගෙන සමාජ විරෝධය මැඩපැවැත්වීමේ වඩාත් සුදුසු පිළිවෙත පිලිබඳව කතිපයාධිකාරය ඇතුලත ගැටුම් වේ. ධනේශ්වර රාජ්‍යයේ පන්ති ස්වභාවයෙන් ගැලවී ගත නොහැකි නිගමනයක් ගලා එයි: කම්කරු පන්තිය, පාලක පන්තියේ සියලු කන්ඩායම්වලින් බිඳී එය පෙරලා දැමීමේ සටන දියත් කළ යුතුය.

විප්ලවවාදී මහජන අරගල තුලින් පැන නගින සහ කම්කරු පන්ති බහුතරය නියෝජනාත්මක, සැබෑ සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදයේ නව ආකෘති සහ ව්‍යුහයන් කම්කරුවන්ගේ ආන්ඩුවක පදනම ලෙස වර්ධනය කල යුතුය. එනම්, ආර්ථික ජීවිතයේ සමාජවාදී ප්‍රතිසංවිධානය සඳහා පදනම ලෙස එක්සත් ජනපදයේ සහ ලොව පුරා, කම්කරුවන් විසින් කම්කරුවන් සඳහා කම්කරුවන්ගේ ආන්ඩුවකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top